සිවුමංසල කොලූගැටයා #69: සංක‍්‍රමණික “විදේශීය” ජීවින්ගෙන් පිරුණු අපේ දුපත

“Let genes, ideas and spices flow freely again!”

I made this appeal at the end of an op-ed essay written in July 2009, when I was concerned about increasing levels of insularity and suspicion of everything foreign among Lankans as they adjusted to the post-war realities.

My metaphor was spices, for which Lanka was famed for millennia. I wrote: “The traditional Lankan curry contained up to a baker’s dozen of spices and herbs. Most such plants were not native – black pepper came from South India, cloves from Indonesia and chilli all the way from the Americas. Cinnamon was Sri Lanka’s contribution to this delightful mix. The diverse origins didn’t really matter: the islanders knew just how to mix the native and foreign to achieve legendary results.”

As with the spices, ancient Lankans knew how to mix the home-grown with external elements. Indeed, the island’s fauna, flora and people would be radically different today if such influences and cross-fertilisation didn’t happen.

Read the latest version of that essay: Sri Lanka – Spice Island or Bland Nation?

In this week’s Ravaya column (in Sinhala) I explore the same theme, based on a recent interview with zoologist and systems ecologist Dr Ranil Senanayake, a rare public intellectual in Sri Lanka with the courage of his convictions.

Dr Ranil Senanayake, photo by Janaka Sri Jayalath

කලක් තිස්සේ කොළඹ නිදහස් චතුරශ‍්‍රය අවට මාර්ග දෙපස වවා තිබූ Weeping Willow ගස් 2011 අගෝස්තු මාසයේ හදිසියේ ම කපා ඉවත් කරනු ලැබුවා. නගරය පියකරු කිරීමේ වැඩපිළිවෙළක එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දුන් අතර, එය සාධාරණීකරණය කරන්නට සමහර පරිසරවේදීන් මතු කළ තර්කය වූයේ “ඒවා අපේ දේශීය ශාක නොවන” බවයි.

ඒ වෙනුවට ඒ තැන්වල ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය වන නා ගසේ පැළ සිටුවන ලද බවත් මාධ්‍ය වාර්තා කළා. නා ගස (Mesua ferrea var. nagassarium) ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය ලෙස නම් කරනු ලැබුවේ 1986 පෙබරවාරියේදී. මෙරට නිජබිම කර ගත්ල පහතරට තෙත් කලාපයේ ස්වාභාවිකව වැවෙන නා ගස, දිගු කලක් තිස්සේ අපේ ජන ජීවිතයට හා සංස්කෘතියට සමීප ශාකයක්. එහි සවිමත් දැව පුරාණයේදී පාලම් තැනීමට යොදා ගත් බව කියනවා. මේ ශාකය ඉන්දියානු මෙන් ම මලයානු අර්ධද්වීපයේත් හමු වනවා.

අපේ ඇතැම් පරිසරවේදීන්ගේ ස්ථාවරයන් ගැන කලෙක සිට මා විමසිල්ලෙන් සිටිනවා. එයින් එකක් නම් දේශීය (native) හා විදේශීය (exotic) වශයෙන් ජෛව සම්පත් බෙදා වෙන් කොට, ලේබල් ඇලවීමයි. මෙහි කෙතරම් පදනමක් තිබේ ද? එයින් ඇති වන වාසි අවාසි කවරේ ද?

පරිසරවේදීන් පුන පුනා කියන කථාවක් නම් අප ජීවත් වන මේ ග‍්‍රහලෝකය අපේ පොදු දායාදයක් බවයි. එහි විවාදයක් නැහැ. එමෙන්ම වසර කෝටි ගණනක් තිස්සේ සිදුවෙමින් ආ, තවමත් නොනිමි පොදු ජෛව පරිනාමීය ක‍්‍රියාවලියක් අප කාටත් උරුමයි. අන් සියළු ශාක හා සත්ත්ව විශේෂ සමග අපත් එහි කොටසක්.

අපේ ලෝකයේ පරිනාමීය ඉතිහාසයේ ඉතා දිගු කලක් සිදු වූ ක‍්‍රියාදාමයන් ගැන අප දන්නේ භූවිද්‍යාව, සත්ත්ව විද්‍යාව හා උද්හිද විද්‍යාව ආදී ක්‍ෂෙත‍්‍රවල දැනුම ගවේෂණය නිසායි. පරිනාමයේදී හා ජීවින් පැතිර යාමේදී සිදු වූ දේ ගැන ජාන විශ්ලේෂණය හරහා සොයා ගෙන යාමේ හැකියාව දැන් අපට තිබෙනවා.

පරිනාමීය හා ජෛව විකාශන ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි කරුණක් නම් ලොව විවිධ තැන්වල බිහි වූ සත්ත්ව හා ශාක විශේෂල ජන්ම භූමිවල සිට ඉතා දුර බැහැර ගොස් ඇති බවයි. ගොඩබිම් හා සාගර හරහා වසර දහස් ගණනක් පුරා ගිය මේ චාරිකාවලදී ජාන සංකලනයක් අනිවාර්යයෙන් ම සිදුව තිබෙනවා. සියයට සියයක් “දේශීය” හෝ මිශ‍්‍ර නොවූ ජීව විශේෂ ඉතා දුර්ලභයි.

යම් ශාක විශේෂයක් දේශීය හෝ විදේශීය යැයි වර්ග කරන්නේ කෙසේ ද? සමස්ත දකුණු ආසියාවේ පළමුවන ක‍්‍රමීය පරිසර විද්‍යාඥයා (Systems Ecologist) ලෙස 1978 දී ආචාර්ය උපාධිය ලැබූල මෙරට සිටින ප‍්‍රවීණතම ජෛව විද්‍යාඥයකු වන ආචාර්ය රනිල් සේනානායකගෙන් මා මෑතකදී මේ ගැන විමසුවා.

තිරසාර හෝ දිගුකල් දැක්මක් නැතිල අයාලේ යන ආර්ථික සංවර්ධනය කලක් තිස්සේ නිර්දය ලෙස විවේචනය කරන ඔහු 1978-80 වකවානුවේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කළ විද්වතුන් ටික දෙනාගෙන් කෙනෙක්. එමෙන්ම මෙරට වන වගා කිරීමට යැයි කියමින් පයිනස් හා යුකැලිප්ටස් බඳු සමශීතෝෂ්ණ කලාපීය ශාක විශේෂ ප‍්‍රවර්ධනය කිරීමට එරෙහිව අරගල කළ අයෙක්.

‘‘යම් ශාක හෝ සත්ත්ව විශේෂයක් දේශීය ද විදේශීය ද යන්න අප විග‍්‍රහ කරන්නේ කාලයට හා ස්ථානයට සාපේක්‍ෂවයි. එහිදී අප විමසිය යුත්තේ යම් ජීවි විශේෂයක් සැළකිය යුතු කාලයක් (වසර දහස් ගණනක් පුරා) එක් තැනෙක රැඳෙමින් එහි පාරිසරික සාධකවලට හැඩ ගැසී ඇත් ද යන්නයි,’’ රනිල් කියනවා.

එහිදී ‘දේශීය’ යැයි පිළිගැනීමට අප ආපස්සට යා යුතු කාලයේ සීමාවක් තිබේ ද? මේ ගැන පොදු එකඟතාවක් නැහැ. මෙරට ග‍්‍රාමීය ගෙවතුවල සාම්ප‍්‍රදායිකව වවන ගස්, වැල් හා පඳුරු ආකාරයේ ශාක ගැන පර්යේෂණ කරන විට ඔහුට පෙනී ගියේ එම ශාක විශේෂවලින් සියයට 80ක් පමණ ම මෙරටට බැහැරින් පැමිණ ඇති බවයි.

‘‘අපේ ජන ජීවිතයට ඉතා සමීප ඇතැම් ශාක පසුගිය සහශ‍්‍ර කිහිපය තුළ මිනිසුන් විසින් ගෙනැවිත් හඳුන්වා දී තිබෙනවා. හොඳ උදාහරණ නම් ඉන්දියාවෙන් ආ අඹ ගසත්, මැලේසියාවෙන් පැමිණි කොස්. මේවා විදේශීය ශාක ලෙස අද අප දකිනවාද?’’ රනිල් ප‍්‍රශ්න කරනවා.

ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් ‘අපේ’ ශාක පමණක් ඉතිරි වන්නට ඉඩ දී වෙනත් රටකින් මෙහි ආ සියළු ම ශාක ඉවත දැමුවහොත් කුමක් සිදු වේද? මේ කල්පිතය මා රනිල්ට ඉදිරිපත් කළා.

‘‘අප ඇලූම් කරන ලොකු කුඩා ශාක රැසක් ම විදේශිකයන් කියා පසෙක තබන්නට සිදු වේවි! කොස් හා අඹවලට අමතරව අපට හුරුපුරුදු බොහෝ එලවළු, පළතුරු හා කුළුබඩු අපේ රටේ උපන් විශේෂ නොවෙයි. අතීතයේ යම් දිනෙක මේ දුපතට පාවී ගෙන පැමිණි හෝ මිනිසුන් විසින් හඳුන්වා දුන් ඒවායි. ඒවා ඉවත් කළොත් අපට පොල්, මී ගස්, කිතුල් ආදී ශාකත්, බෙහෙත් පැළෑටි ගණනාවකුත් පමණක් ඉතිරි වේවි!’’ ඔහු කියනවා.

සාම්ප‍්‍රදායික ලාංකික හොද්ද සඳහා ප‍්‍රශස්ත වශයෙන් කුලූබඩු විශේෂ 13ක් යෙදිය යුතු බව කියැවෙනවා. මේවායින් දේශීය සම්භවයක් ඇත්තේ කුරුඳු හා කරඳමුංගුවලටයි. බහුතරයක් පිටස්තරයෝ. මේ පිටස්තරයන්ගේ දායකත්වය නැති ව්වහොත් අපේ හොද්ද කෙතරම් නීරස වේවි ද?

එපමණක්ම නොවෙයි, අපේ ප‍්‍රධාන ආහාරය බත් ලබා දෙන වී ශාකයත් සමශීතෝෂණ දේශගුණය ඇති චීනයෙන් ඇරඹී ඉන්දියාව හරහා අපට ලැබුණු දායාදයක්. ‘‘වී වගාව මෙරටට හඳුන්වා දී කලක් ගත වී ඇතත්, ජාන විද්‍යාත්මකව බලන විට එය එතරම් දිගු කාලයක් නොවෙයි,’’ රනිල් කියනවා.

මෙහිදී මට සිහිපත් වන්නේ අපේ ගොවිතැන් උරුමය සොයා ගෙන ගිය ආචාර්ය රේ විජේවර්ධන නිතර කී කථාවක්. වී සමශීතෝෂණ ශාකයක් වූවත්, කාලයාගේ ඇවෑමෙන් ඝර්ම කලාපීය රටවල ජනයා වී ගොවිතැනට හොඳහැටි හුරු වී ඇති බව රේ පෙන්වා දුන්නා. අපේ මුතුන් මිත්තන්ගේ ප‍්‍රධාන ආහාරය බත් පමණක් නොව කොස්, දෙල් හා විවිධ අලවර්ග වූ බවත්, ඒ සමහරක් බහුවාර්ෂික බෝග වසර පුරා ම හිරු එළිය උකහා ගනිමින් ආහාර නිපදවිය හැකි ඝර්ම කලාපීය දේශගුණයට මනා සේ ගැලපෙන බවත් ඔහු කියා සිටියා. (2011 අගෝස්තු 28 දා කොලම කියවන්න.)

මේ සියල්ල සැලකිල්ලට ගත් විට ජෛව ලෝකය දේශීය හා විදේශීය විශේෂ ලෙස ගොඩවල් දෙකකට බෙදීම තේරුමක් නැති ක‍්‍රියාවක් බව රනිල් සේනානායක පෙන්වා දෙනවා. ලෝකයේ කිසිම තැනක මුළුනින් ම දේශීය වූ ජීව විශේෂ පමණක් හමු නොවන බවත්, මහා සාගර මැද ඇති කුඩා දුපත්වල පවා අතීතයේ යම් දිනෙක සාගර දියවැල් ඔස්සේ පාවී ආ ශාක විශේෂ වැවෙන බවත් ඔහු කියනවා.

‘‘මේ සොබා දහම් යථාර්ථය තේරුම් නොගෙන ආවේගශීලිව ලේබල් අලවන්නේ මතුපිටින් ප‍්‍රශ්න විග‍්‍රහ කරන, නොගැඹුරු දැනුමක් ඇති උදවිය’’ බව ඔහුගේ මතයයි. ලේබල් ඇලවීම වෙනුවට අද අවශ්‍යව ඇත්තේ තැනට හා කාලයට උචිත ජීව විශේෂ මොනවාද යන්න මනාව තේරුම් ගෙන ඒවා ප‍්‍රවර්ධනය කිරීමයි.

ගොවිබිමේ, ගෙවත්තේ හා මිනිස් මැදිහත්වීම ඇති ස්වාභාවික නොවන වෙනත් පරිසර පද්ධතිවල දෙස් විදෙස් ශාක භාවිතයේ වරදක් නැති බව ඔහු කියනවා.

ජීවි විශේෂ දේශීය හා විදේශීය ලෙසින් වර්ග කිරීම පරිසර විද්‍යාත්මක පදනමකට වඩා ජාතිකවාදී දැක්මක් ඔස්සේ කැරෙන බව පෙනෙනවා. එහිදී මතුව එන්නේත් බොහෝ මානව සමාජවල බෙදීම් හා ගැටුම්වලට තුඩු දෙන ‘අප’ සහ ‘ඔවුන්’ නැතහොත් ‘අපේ එකා’ සහ ‘පිටස්තරයා’ (Us and Them) නම් වර්ගීකරණයයි. මෙය ජෛව හෝ ජාන විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැංවූවක් නොවෙයි.

May 2009 blog post: Us and Them: Sri Lanka’s first landmine on the road to peace…

ඉතිහාසයේ ආපස්සට ගිය හොත් අද ශ‍්‍රී ලංකාව මවුබිම සේ සළකන අති බහුතරයක් දෙනාගේ මුතුන් මිත්තන් වෙනත් රටක සිට මෙහි ආ බව පිළිගත යුතු වනවා. එසේ නම් මෙරට මුල් පදිංචිකරුවන් ලෙස නිජබිම් උරුමය ඇත්තේ වැදි ජනතාවට පමණක් ද? අන් හැම ජාතියක් ම සංක‍්‍රමණිකයන් ද?

“පිටතින් පැමිණි හැම දෙයක් දෙස ම සැකයෙන් බලනවා නම් ඉතින් සිංහලයන් මේ දුපතට ආවේත් ඉන්දියාවේ සිට නිසා, අපත් විජාතික හෝ විදේශික වනවා නේද?’’ රනිල් සේනානායක අසනවා.

‘‘අප නොදන්න සහ දන්නා (ලිඛිත) ඉතිහාසය පුරාම ඉන්දියානු සාගරයේ මානවයන් සංචරණය කොට තිබෙනවා. එදා මෙදා තුර මේ දුපතට ආ සමහරුන් මෙහි පදිංචි වුණා. තවත් සමහරුන් අපේ ජාන සංචිතයට ඔවුන්ගේ ජාන සම්මාදම් කොට ආපසු ගියා. මෙය ශාක හා සතුන්ට මෙන්ම මානව අපටත් අදාළයි. මේ ඓතිහාසික හා ප‍්‍රාග් ඓතිහාසික සිදුවීම් අමතක කොට ජාතික හා විජාතික යැයි සරල වර්ගීකරණයක් කිරීම හාස්‍යජනකයි!’’ රනිල් පෙන්වා දෙනවා.

අපේ පරිසරවේදීන්ට හා ජාතිකවාදීන්ට මේ තිත්ත ඇත්ත මතක් කර දිය හැකි විද්වතුන් ටික දෙනකු හෝ ඉතිරිව සිටීම සතුටට කරුණක්.

Cartoon by Jeff MacNelly, Chicago Tribune

Cartoon by Jeff MacNelly, Chicago Tribune

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: