සිවුමංසල කොලූගැටයා #191: දියුණුවන ලෝකයේ අයින්ස්ටයින් අබ්දුස් සලාම්

Abdus Salam & Malala  Yousafzai
Abdus Salam & Malala Yousafzai

Malala Yousafzai, the Pakistani teenager turned activist, shared this year’s Nobel Peace Prize. She became the second Pakistani national in her country’s 67 year history as an independent state. Her Nobel has revived memories of the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In this week’s Ravaya column (in Sinhala), I look at this illustrious South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world.

I interviewed Salam twice as a young reporter – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

2014 සඳහා වන නොබෙල් සාම ත්‍යාගය දකුණු ආසියානු ජාතිකන් දෙදෙනෙකුට සම සේ හිමිව තිබෙනවා. එනම් ළමා වහල් සේවයට එරෙහිව දශක ගණනක් අරගල කරන ඉන්දියානු සමාජ ක‍්‍රියාකාරික කයිලේශ් සථ්‍යාර්ථි හා ළමයින්ට ඉගෙනීමේ අයිතිය උදෙසා ප‍්‍රබල හඬක් නගන පාකිස්ථානු දැරිය වන මලාලා යූසෆ්සායි.

මලාලාගේ සුවිශේෂත්වය වසර 113ක නොබෙල් ත්‍යාග ඉතිහාසයේ ත්‍යාගයක් ලද ලාබාලම පුද්ගලයා වීමයි. 2012 ඔක්තෝබරයේ පාකිස්ථානු තලෙබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලද ඇය, දැරියන්ට හා කාන්තාවන්ට අඩුවෙන් සළකන, ඉගෙනීමට තහංචි පනවන ඉස්ලාම් මූලධර්මවාදීන්ට එරෙහිව ප‍්‍රසිද්ධියේ කථා කිරීම නතර කළේ නැහැ.

ස්ත‍්‍රී – පුරුෂ බව, සමාජ පසුබිම හෝ වෙනත් සාධක මත පදනම් නොවී සියළු දරු දැරියන්ට අධ්‍යාපනයට එක සමාන අයිතියක් ඇතැයි ද එය සාක්‍ෂාත් කර දීමට රජයන් හා ජන සමාජයට ලොකු වගකීමක් පැවරෙතැයි ද ඇය කියනවා.

බි‍්‍රතාන්‍ය ඉන්දියාව දෙකඩ කිරීමෙන් 1947 අගෝස්තුවේ බිහි වූ පාකිස්ථානයේ වසර 67ක ඉතිහාසයේ නොබෙල් ත්‍යාගයක් ලද දෙවැන්නා ඇයයි. එය මුලින්ම ලැබුවේ පාකිස්ථානයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැළකෙන ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). ඔහු 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයේ සමලාභියකු වූවා.

මලාලාගේ නොබෙල් ත්‍යාගය නිසා සලාම්ගේ චරිත කථාව ගැනත් යළි ලෝක අවධානය යොමුව තිබෙනවා. අහ්මදි නම් ඉස්ලාමීය නිකායට අයත් වීම නිසා සලාම් සිට උපන් රටේ බොහෝ කොන් කිරීම් හා අවමන්වලට ලක් වුණා. ඔහු නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු පවා ජන්මය පදනම් කර ගත් කැනහිලිකම් නතර වූයේ නැහැ. මැදහත් මතධාරී පාකිස්ථානුවන් මේ ගැන සිහිපත් කරන්නේ මහත් පශ්චත්තාපයෙන්.

Young Abdus Salam
Young Abdus Salam

අබ්දුස් සලාම් උපන්නේ 1926 ජනවාරි 29දා බි‍්‍රතාන්‍ය ඉන්දියාවේ සහිවාල් දිස්ත‍්‍රික්කයේ සන්තෝක්දාස් ගමේ. ඔහුගේ පියා පන්ජාබ් ප‍්‍රාන්තයේ අධ්‍යාපන නිලධාරියෙක්. ඔහු හැදුණේ වැඩුණේ අගහිඟකම් රැසක් මැද. පාඩම් කළේ ලාම්පු එළියෙන්. පළමු වරට විදුලි එළියක් දුටුවේ වයස 15දී.

ඉගෙනීමට ඉතා දක්‍ෂ වූ සලාම්, තරග විභාගවලින් ඉහළම ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්වවල පිහිටෙන් ඉහළට උගත්තා. කලා හා විද්‍යා ක්‍ෂෙත‍්‍ර දෙකටම එක සේ ඇලූම් කළ හා දස්කම් තිබූ සලාම් ශිෂ්‍යයා වැඩිදුර ඉගෙනීමට භෞතික විද්‍යාව තෝරා ගත්තා. 1944දී ගණිතයෙන් හා භෞතික විද්‍යාවෙන් පළමුවන උපාධිය ලබා ගන්නා විට වයස 18යි.

ඒ කාලයේ බොහෝ දෙමවුපියන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ දරුවන් සිවිල් සේවකයන් වනු දැකීමයි. පියාගේ ඇවිටිලි නිසා සලාම් ඉන්දීය දුම්රිය පරිපාලන සේවයට ඉල්ලූම් කළත් ඔහු තෝරා ගැනුනේ නැහැ. හේතුව ඇස් පෙනීමේ තිබු දුර්වලතා. සලාම් දරුවා කුඩාවියේ පටන් ඇස් කණ්ණාඩි පැළඳ සිටියා.

පන්ජාබ් සරසවියෙන් උසස් උපාධියකට උගන්නට පටන් ගත් සලාම්, 1946දී සමස්ත ඉන්දියාවේම සිසුන් සමග තරග කොට විදේශ ශිෂ්‍යත්වයකට සුදුසුකම් ලැබුවා. මේ අනුව ඔහු බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ සාන්ත ජෝන් කොලීජියට ඇතුළු වුණා.

කේම්බි‍්‍රජ් සරසවියේ ගණිතයට හා භෞතික විද්‍යාවට ලොව පළමු පෙලේ දේශකයන් යටතේ උගත් ඔහු 1951දී සෙද්ධාන්තික භෞතික විද්‍යාවෙන් (theoretical physics) ආචාර්ය උපාධියක් ලැබුවා. එවිට වසය 25යි. ඒ වන විටත් විද්‍යාත්මක නිබන්ධන ලිවීම හරහා ලෝකයේ කැපී පෙනෙන තරුණ භෞතික විද්‍යාඥයකු බවට ඔහු ප‍්‍රකට වී සිටියා.

සලාම් කේම්බි‍්‍රජ් හි ගත කළ 1946-1951 පස් වසරක කාලය තුළ මවු රටෙහි ලොකු පෙරළි සිදුවුණා. බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් දේශපාලන නිදහස ලැබූ භාරතය පාකිස්ථානය හා ඉන්දියාව ලෙස රටවල් දෙකක් බවට පත්වුණා. 1951දී සලාම් ආපසු ආවේ පාකිස්ථානයටයි.

කෙටි කලක් ලාහෝරයේ රජයේ කොලිජියක ගණිතය උගැන් වූ ඔහු 1952දී පන්ජාබ් සරසවියේ ගණිත විද්‍යා අංශයේ ප‍්‍රධානියා වුණා. ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා පර්යේෂණායතනයක් එරට පිහිටුවන්නට ඔහුට ඕනෑ වුණත් එයට අවශ්‍ය සම්පත් තිබුණේ නැහැ.

එසේම වැඩි වැඩ කිරීමට නොයන ලෙස සෙසු සරසවි ඇදුරන් ඔහුට නිතර අවවාද කළා. ලෝකයේ විද්‍යා පර්යේෂණ පත‍්‍රිකා හා සඟරා බොහෝමයක් එරටට නොලැබීම නිසා තම විෂය ක්‍ෂෙත‍්‍රයේ ලිංමැඩියකු වීමේ අවදානමක් ද ඇති බව සලාම් තේරුම් ගත්තා.

1953දී අහ්මදියා භක්තිකයන් ඉලක්ක කළ ප‍්‍රචණ්ඩ කෝලාහල ලාහෝරයේ හට ගත්තා. ටික දිනකින් හමුදාව තත්ත්වය සමනය කළත් 200 දෙනකු පමණ මිය ගොස් බරපතල දේපළ හානි ද සිදු වුණා. මේ සිද්ධියෙන් ටික දිනකට පසු සලාම් නැවතත් කේම්බි‍්‍රජ් සරසවියට ගියා. එහි ගණිතවිද්‍යා මහාචාර්ය වුවා.

1957දී ලන්ඩනයේ ඉම්පීරියල් සරසවියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාර්ය ධූරයට පත් ඔහු 1959දී රාජකීය සමිතිය නම් ඉතා ඉහළ මට්ටමේ බුද්ධිමතුන්ගේ එකතුවේ අධිසාමාජිකත්වය පත් කරගනු ලැබුවා. එවිට වයස 33යි.

Abdus Salam in the classroom
Abdus Salam in the classroom

ඇල්බට් අයින්ස්ටයින්ගේ සිට ලොව ප‍්‍රමුඛ භෞතික විද්‍යාඥයන්ට කලෙක සිට ඕනෑ වූයේ භෞතික විද්‍යාවේ මූලික බලයන් සතරම එක් වී එකීකෘත බල ක්‍ෂෙත‍්‍රයක් (Unified Field) බිහි වේද යන්න සොයා බලන්නයි. මෙය ක්වන්ටම්වාදය සම්බන්ධ වන සංකීර්ණ විෂය පරාසයක්.

අයින්ස්ටයින් මිය ගියේ 1955දී. ඔහු නතර කළ තැනින් මේ චින්තන ගවේෂණ ඉදිරියට ගෙන යාමට මුල් වූ භෞතික විද්‍යාඥයන් අතර සලාම් කැපී පෙනුණා. විද්‍යුත්චුම්භක බලය හා දුර්වල බලය (electromagnetic force and weak force) යන දෙක අන්තර්ක‍්‍රියා කිරීම පිළිබඳ පර්යේෂණ කළ ඔහු එය අවබෝධ කර ගැනීමට ආකෘතියක් යෝජනා කළා (Standard Electroweak Theory, or ‘Standard Model’).

1950-60 ගණන්වල මතු කළ මේ සෙද්ධාන්තික අදහස්ල අත්හදා බැලීමේ මට්ටමින් තහවුරු කෙරුණේ 1973දී යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය (CERN) මගින්.

සලාම්ට සමාන්තරව මේ පර්යේෂණ කළ තවත් භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු සිටියා. එනම් ස්ටීවන් වයින්බර්ග් හා ෂෙල්ඩන් ලී ග්ලැෂෝ (Steven Weinberg, Sheldon Lee Glashow). වෙන වෙනම වැඩ කළත් එකම සොයාගැනීමට ලඟා වූ මේ තිදෙනාට 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සම සේ පිරිනැමුණා.

ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයකු වුව ද සලාම් ජීවිත කාලය පුරාම නිහතමානී වුවා. එසේම තම සංස්කෘතික උරුමය අගය කළා. තම ඉස්ලාමීය දැක්ම හා පන්ජාබීය පසුබිම කිසිදා අමතක කළේ නැහැ.

මේ නිසා 1979 දෙසැම්බර් 10 වනදා ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී එරට රජුගෙන් නොබෙල් ත්‍යාගය පිළිගන්නට සලාම් පන්ජාබීය ඇඳුම් කට්ටලයකින් සැරසී සාම්ප‍්‍රදායික තලප්පාවක් ද පැළඳ ගියා. එසේම සම්මානලාභී දේශනයේදී උර්දු කාව්‍යයන් හා ශුද්ධ කුරානයේ උධෘතයන් ඇතුළත් කළා.

Dr Abdus Salam receives Nobel Prize in Physics, Stockholm, 10 Dec 1979
Dr Abdus Salam receives Nobel Prize in Physics, Stockholm, 10 Dec 1979

1954 සිට පාකිස්ථානයෙන් පිටත බොහෝ කල් ගත කළත් ඔහු මවු රට සමග සබඳතා දිගටම පවත්වාගෙන ගියා. 1961 සිට 1974 දක්වා පාකිස්ථානු ජනධිපතිවරයාගේ ප‍්‍රධාන විද්‍යා උපදේශක වූ ඔහු පාකිස්ථානු න්‍යෂ්ටික බලශක්ති කොමිසමේ සාමාජිකයකු ද වූවා. එරට විද්‍යා කොමිසමේ ද සිටියා.

1957දී අභ්‍යවකාශ යුගය ඇරැඹී කෙටි කලෙකින් එම තාක්‍ෂණය දියණුවන රටවලට ප‍්‍රයෝජනවත් වන සැටි දුර දක්නා නුවණින් වටහාගත් ඔහු 1961දී පාකිස්ථානයේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩපිළිවෙලක් ඇරැඹීමට මුල් වුණා. ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ පාකිස්ථානයයි. (2014 අගෝස්තු 10 වනදා කොලම ද බලන්න.)

සලාම්ගේ පාකිස්ථානු විද්‍යා කටයුතු සියල්ල සිවිල් මට්ටමේ පැවතුණත් සමහරුන් කියන්නේ ඔහු එරට න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට හමුදාවත් සමග රහසිගතව කටයුතු කළ බවයි. මේ ගැන තොරතුරු තහවුරු කර ගැනීම අපහසුයි.

දේශීය විද්‍යා පර්යේෂණ දියුණු කිරීම පිළිබඳ නිසි දැක්මකින් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළ සලාම්ට පෙරදිග විද්‍යාව හා බටහිර විද්‍යාව යයි කෘති‍්‍රම බෙදීමක් තිබුණේ නැහැ. ඔහු විද්‍යා උපදේශකව සිටි කාලය තුළ දක්‍ෂ තරුණ පාකිස්ථානු විද්‍යාඥයන් 500 දෙනෙකුට වඩා අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ ඉහළම පෙළේ සරසවිවල ආචාර්ය උපාධිය ලබා ගන්නට ශිෂ්‍යත්ව මත යැවූ බව ඔහුගේ සමීප මිතුරකු වූ ඉෂ්ෆාක් අහමඞ් කියනවා.

සලාම් පාකිස්ථානු රජය සමග තිබූ සබඳතා නතර කළේ 1974දී අලි භූතෝ අගමැතිවරයාගේ රජය කාලයේ අහ්මදිවරුන් ඉස්ලාම් භක්තිකයන් නොවේ යයි නව නීතියක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පසුවයි. 1974න් පසු ඔහුගේ පදිංචිය ලන්ඩන් නුවරට මාරු කළා. එහෙත් පාකිස්ථානු සරසවි හා විද්වත් සංගම් සමග ඔහු දිවි ඇති තුරු සබඳතා පවත්වා ගත්තා.

දියුණුවන රටවල දිගටම රැඳී සිටිමින් දුෂ්කරතා මැද පර්යේෂණ කරන විද්‍යාඥයන් ලොව නව දැනුම් සමුදයට වඩා සමීප කරන ක‍්‍රමෝපායක් 1964දී සලාම් ඇරඹුවා. එනම් ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ ලෝක කේන්ද්‍රයයි (International Center for Theoretical Physics, ICTP). එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝව හා න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය IAEA සමග එක්ව ඉතාලි රජයේ අනුග‍්‍රහයෙන් ඇරැඹූ මේ කේන්ද්‍රය ඉතාලියේ ටි‍්‍රයෙස්ට් නුවර පිහිටුවනු ලැබුවා.

ICTP යනු උපාධි පිරිනමන සරසවියක් නොවෙයි. එහි ගුරුන් හා සිසුන් යයි බෙදීමක් නැහැ. එහි එන්නේ වසර කිහිපයක් වෘත්තීය අත්දැකීම් ඇති, ශාස්ත‍්‍රගවේෂී විද්‍යාඥයෝ. ලොව විවිධ රටවලින් එන තම ක්‍ෂෙත‍්‍රයේම විද්වතුන් සමගත්, වෙනත් ක්‍ෂෙත‍්‍රවල විද්වතුන් සමගත් දැනුම හුවමාරු කර ගන්නට හා තම විෂයට අදාල අලූත්ම පර්යේෂණ නිබන්ධන කියවන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මෙහි එන විද්‍යාඥයෝ සති කිහිපයක් හෝ උපරිම මාස 3ක් ගත කර ආපසු සිය රට යා යුතුයි.

සලාම්ට නොබෙල් ත්‍යාගයට අමතරව ලොව නන් දෙසින් ගෞරව ආචාර්ය උපාධි, සම්මාන හා ත්‍යාග රැසක් ලැබුණා. ඔහු රටවල සංචාරය කරන විට රාජ්‍ය නායකයකු තරම් ගරු සරු ඇතිව පිළිගනු ලැබුවා. ජිනීවා නුවර මහාමාර්ගයක් ඔහු නමින් නම් කොරුණා. තම රටේ විද්‍යාඥයන්ට නොබෙල් ත්‍යාග ලැබීමට ගුරුහරුකම් ලබා දෙන ලෙස කොරියානු රජය ඔහුගෙන් ඉල්ලා සිටියා.

එහෙත් ආගමික අන්තවාදය නිසා පාකිස්ථානයේ ඔහුගේ ආරාධිත දේශනවලට ප‍්‍රචණ්ඩත්වයේ තර්ජන එල්ල වුණා. මේ තර්ජන නිසා ඔහුට ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීමට ඇරැයුම් කිරීමට එරට සරසවි බිය වුණා.

We are sorry, Dr Abdus Salam! By Nayyar Afaq, The Express Tribune, Pakistan: 21 November 2013

පාකිස්ථාන සම්භවය ඇති විද්‍යා ප‍්‍රතිපත්ති විශේෂඥයකු වන අතාර් ඔසාමා කියන්නේ අබ්දුස් සලාම් තෙවන ලෝකයේ අයින්ස්ටයින් වූ බවයි. ඔහුට පාකිස්ථානයේ කෙසේ වෙතත් ලොව වෙනත් බොහෝ රටවල නම් නොමද ගෞරවය ලැබී තිබෙනවා.

මෙය විග‍්‍රහ කරන පාකිස්ථානු බුද්ධිමතකු වන අදිල් නජාම් කියන්නේ කෙටි කාලීන පටු දේශපාන වාසි තකා ගෙන අහ්මදිවරුන් හෙළා දැකීමේ අලිභූතෝ රජයෙ ප‍්‍රතිපත්තිය එයට මුල් වූ බවයි. අහමදි විරෝධය කෙතරම් පැතිර ගියාද කිවහොත් පසුව ආ පාලකයන්ට එය නතර කළ නොහැකි වුණා.

1996 නොවැම්බර් 21 දා සලාම් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් නුවරදී මිය ගියා. ඔහු ඉල්ලා සිටි පරිදි දේහය පාකිස්ථානයට ගෙන යනු ලදුව පන්ජාබයේ ඔහුගේ දෙමවුපියන් ද මිහිදන් කළ අහ්මදි සුසාන භූමියක තැන්පත් කරනු ලැබුවා.

”මෙහි සැපවෙන්නේ ඉස්ලාම් ලෝකයේම මුල්ම නොබෙල් ත්‍යාගලාභියාය” යන වැකිය ඔහුගේ සොහොන් කොතේ අනුගාමිකයන් විසින් සටහන් කළත් ටික කලකට පසු ඉල්ලාම් යන වචනය කටු ගා දමා තිබෙනවා.

මෑත වසරවල පාකිස්ථානයේ බුද්ධිමතුන් ටික දෙනෙකු ප‍්‍රබල හඬක් මතු කරමින් කියන්නේ කල් ගත වී හෝ අබ්දුස් සලාම්ට උපන් රටේ නිසි ගෞරවය ලබා දිය යුතු බවයි. එහෙත් දේශපාලන කල්ලිවාදයට හා ආගමික අන්තවාදයට හසුව නිතිපතා කැළඹීලි සමග වෙසෙන පාකිස්ථානු ජනතාවට මෙයට විරාමයක් නැති පාටයි.

A letter from Dr Abdus Salam to Malala, Dawn newspaper, Pakistan. 11 Oct 2014

L to R - Abdus Salam , Steven Weinberg, Sheldon Lee Glashow:  co-winners of Nobel Prize in Physics 1979
L to R – Abdus Salam , Steven Weinberg, Sheldon Lee Glashow: co-winners of Nobel Prize in Physics 1979

අපේ රටේ බලවත්ම තීරකයෝ ජ්‍යොතිෂකාරයන්ද? ගාමිණී වියන්ගොඩ අසයි

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014 – Photo by Buddhini Ekanayake

සිවුමංසල කොලූ ගැටයා හේතුවාදීන්ගේ විමර්ශනයට ලක් වෙයි.

මගේ අලූත්ම පොත කාල බෝම්බ ඕනෑකර තිබේ! නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23 දා සංවාද මණ්ඩපයක් කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වූවා.

2011 මුල සිට මා රාවය පුවත්පතට ලියන සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා එම හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංග මහතාත්, ලේකම් තාරක වරාපිටිය මහතාත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා. එයින් සාරාංශයක් මෙන්න.

Gamini Viyangoda - Photo by Buddhini Ekanayake
Gamini Viyangoda – Photo by Buddhini Ekanayake

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මහතා:

මෙය සෑම හේතුවාදියකුම කියවිය යුතු පොතක්. අපේ හේතුවාදීන්ගේ කථාබහවල හා සංවාදවල යම් සීමිත බවක් තිබෙනවා. ආගම්, ඇදහිලි හා විශ්වාස වෙත වැඩි අවධානයක් අප යොමු කරනවා. එහෙත් හේතුවාදීන් ලෙස එවැනි දාර්ශනික සාකච්ඡාවලට පමණක් සීමා නොවී, එයින් ඔබ්බට ද අප සමාජය විග‍්‍රහ කළ යුතුයි. තව කථාබහ කළ යුතු හා විචාරශීලීව බැලිය යුතු බොහෝ දේ තිබෙනවා.

එවැනි පරාසයකට බැල්ම හෙලන මේ පොතට හේතුවාදීන්ගේ වපසරිය පුළුල් කළ හැකියි. මේ පොතේ විවිධාකාර විෂයයන් ගැන හා ලක් සමාජයේ විවිධ හරස්කඩවලට පැතිරුණු ලිපි අඩංගුයි.

ඒ හැම ලිපියක් පිටුපසම දිව යන හුය ලෙස මා දකින්නේ විවෘතභාවය හා විචාරශීලීත්වයයි. ඒ තමයි මේ ලිපි එකට ගැට ගසන පොදු සාධකය.

ලක් සමාජයේ චින්තනයේ සීමා හා පටු බව අතික‍්‍රමණය කරන්න, මේ ලිපි හරහා අපට මග පෙන්වීමක් කරනවා. ඒ ඔස්සේ යොමු විය හැකි නම් ආගම් අරභයාත්, ලෞකික ජීවිතය අරභයාත් අප වඩාත් තර්කානුකූල සමාජයක් බවට පත් වේවි.

මෙසේ වීම ශ‍්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවයක්. අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂයජ්‍යොතිෂ සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යොතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.

අපේ මැතිවරණ පවත්වන්නේ පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහර ජ්‍යොතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.

අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.

මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.

එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.

මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට නාලකගේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.

S M Banduseela speaks - Photo by Buddhini Ekanayake
S M Banduseela speaks – Photo by Buddhini Ekanayake

ප‍්‍රවීණ විද්‍යා පරිවර්තක හා හේතුවාදී ක‍්‍රියාකාරික එස්. එම්. බන්දුසීල මහතා:

ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල හා සභාවල බොහෝ විට කථා නොවන දේ නාලක නිතර ඔහුගේ තීරු ලිපියට මාතෘකා කර ගන්නවා. හැම දෙයක් කෙරෙහිම විචාරශීලීව බලන්නට හා ප‍්‍රශ්න කරන්නට ඔහුට හැකියාවක් තිබෙනවා. ඔහුගේ ලිපි කියැවීමෙන් අපේ රටේ බහුලව පැතිර ඇති ළිං මැඩි මානසිකත්වයෙන් අත්මිදිය හැකියි.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිවල මා දකින තවත් වැදගත් ගුණාංගයක් නම් ලේඛකයා කිසිදු මතයක් හෝ විග‍්‍රහයක් හෝ සඳහා අනවශ්‍ය ලෙස පෙනී නොසිටිම. මෙය අපේ මාධ්‍යවල දුර්ලභයි. බොහෝ අය තැත් කරන්නේ තමන් කියන දේ පමණක් නිවැරදි යයි ඒත්තු ගන්වන්න. එහෙත් නාලක කරන්නේ අපට හිතන්නට ඇති තරම් කරුණු හා මානයන් සපයා දී අපේ විග‍්‍රහයන් අපටම කළ හැකි තැනකට අප කැඳවා ගෙන යාමයි.

එසේම විද්‍යා, කලා, මාධ්‍ය හැම ක්‍ෂෙත‍්‍රයකටම පැතිර පවතින අධිපතිවාදී මතවලට ඔහු නිතර අභියෝග කරනවා. එසේ කරන්නේ සියුම්ව හා ආචාරශීලීව ප‍්‍රතිතර්ක ගොනු කිරීමෙන්.

Photo by Buddhini Ekanayake
Photo by Buddhini Ekanayake

සිවුමංසල කොලූගැටයා #190: දුෂණයට එරෙහි ඉන්දියානු ජන අවිය: බින්දුවේ නෝට්ටුව

In this week’s Ravaya column (in Sinhala), I describe the Zero Rupee Note, an innovative effort developed by activists in India to fight systemic political corruption.

The notes, which have no monetary value but carry a moral power, are paid in protest by angry citizens to government servants who solicit bribes in return for services which are supposed to be free.

See also: Paying Zero for Public Services (on World Bank blog)

Zero Rupee Note
Zero Rupee Note

අයථා ලෙස ඉමහත් වත්කම් සම්භාරයක් රැස් කර ගැනීම පිළිබඳව චෝදනා සනාථ වී තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා වසර හතරක සිර දඬුවමක් ලැබුවා. කෝටි 100ක දඩයක් ද ගෙවීමට නියම වුණා.

මේ තීන්දුව ලැබුණේ වසර 18ක් තිස්සේ ඇදී ගිය දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. එහෙත් කල් ගත වී හෝ දුෂිත දේශපාලකයකු නීතියේ රැහැනට කොටු වීම ගැන ඉන්දියාව පුරාත් සෙසු දකුණු ආසියානු රටවලත් මහජන ප‍්‍රමෝදයක් මතු වුණා. අංග සම්පූර්ණ නොවුණත්, අඩු පාඩු ඇතත් ඉන්දියාවේ අධිකරණ ස්වාධීනත්වය පවතින බවට මේ නඩු තීන්දුව උදාහරණයක්.

දුෂණ චෝදනා එල්ල වී සාක්ෂි මතු වූ විට ප‍්‍රාන්ත හෝ මධ්‍යම රජයේ ඇමතිවරුන් ප‍්‍රශ්න කිරිමට ඉන්දීය අපරාධ විමර්ශකයන් පසුබට වන්නේ නැහැ. මහා පරිමාණයෙන් රාජ්‍ය දේපල වංචා කිරීමේ චෝදනා එක පිට එක ලැබූ කොංග‍්‍රස් ප‍්‍රමුඛ සන්ධාන රජය දශකයක පාලන කාලයකින් පසුව 2014 අපේ‍්‍රල් මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවා. එයට හේතු ගණනාවක් මුල් වුණත්, දුෂණය පිළිබඳ ඉන්දීය මහජන පිළිකුළ හා විරෝධය එම මැතිවරණයේදී ප‍්‍රබල සාධකයක් වූවා යැයි කිව හැකියි.

ගෙවී ගිය වසර තුන හතරක කාලය තුළ දේශපාලකයන් හා නිලධාරීන් දුෂණය, අල්ලස හා පොදු දේපල වංචනික ලෙස සතු කර ගැනීමට එරෙහිව ඉන්දියාවේ මධ්‍යම පාංතිකයන්ගෙන් ප‍්‍රබල විරෝධයක් මතුව ආවා.

දුෂණය එරට අළුත් සංසිද්ධියක් නොවෙයි. එහෙත් එය මහා පරිමාණයෙන් හා වඩාත් පුළුල්ව සිදු වීමට පටන් ගත්තේ 1991දී ආර්ථික ප‍්‍රතිපත්ති වඩාත් ලිහිල් කිරීමෙන් පසුව බව ඇතැම් ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. එසේම දුෂණයට එරෙහිව හඬක් නැගීමට හැකියාව හා ඉදිරිපත් වීම ඇති මධ්‍යම පංතියක් වඩාත් ප‍්‍රබලව මතුව ආයේත් මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසාම යැයි තර්ක කළ හැකියි. පෙර මෙන් පාලකයන්ගේ ඕනෑම අකටයුත්තක් ඔහේ විඳ දරා ගන්නට අද ඉන්දියානුවන් සූදානම් නැහැ.

2011දී අන්නා හසාරේ සමාජ ක‍්‍රියාකාරිකයා බිම් මට්ටමෙන් නායකත්වය දුන්නේ මේ දුෂණ විරෝධයටයි. සිවිල් සමාජ අරගලයන් හරහා දුෂණ විරෝධය දිගටම ක‍්‍රියාත්මක වනවා. එබඳු ව්‍යායාමයක් නම් රුපියල් බින්දුවේ නෝට්ටුවයි (Zero Rupee Note).

බින්දුවේ නෝට්ටුව හඳුන්වා දුන්නේ 2007දී දුෂණයට එරෙහි ජනතා සංවිධානයක් වන 5 වන කුළුණ (5th Pillar) විසින්. එහෙත් ඒ සංකල්පය 2001දී යෝජනා කළේ අමෙරිකාවේ මේරිලන්ඞ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ඉන්දියානු ජාතික සතින්දර් මොහාන් භගත්.

නිවාඩුවක් ගත කිරීමට මවු රටට ගිය විටෙක රජයේ ඕනෑම කාර්යාලයකින් ඕනෑම වැඩක් කර ගන්නට ලොකු කුඩා නිලධාරින්ට යම් අල්ලසක් දිය යුතු බව අත්දැකීමෙන් දැන ගත් ඔහු මෙබඳු අවස්ථාවල අසරණ වන මහජනයාට උදව්වට එන සරල අවියක් ලෙස බින්දුවේ නෝට්ටුව නිර්මාණය කළා.

Corruption in India: Wikipedia entry

මහජන මුදලින් නඩත්තු කරන රාජ්‍ය ආයතනවල මහජනයාගෙන් වැටුප් ලබන නිලධාරින් හා සෙසු රාජ්‍ය සේවකයන් අත යටින් යමක් ඉල්ලූ විට මුවින් නොබැන ඔවුන්ට දීමට මේ නෝට්ටුව යොදා ගන්නැයි දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයෝ එරට ජනතාවට කියනවා.

බින්දුවේ නෝට්ටුව ඉන්දියාවේ වත්මන් රුපියල් 50 නෝට්ටුවේ ඉදිරිපස පෙනුමට සමානයි. එහෙත් ප‍්‍රමාණයෙන් එය රුපියල් දහසේ නෝට්ටුවටත් වඩා ටිකක් විශාලයි.

ගාන්ධිතුමාගේ රූපයට සමීපව ලොකු අකුරෙන් මුද්‍රණය කර ඇත්තේ ‘හැම තරාතිරමකම දුෂණය පිටුදකින්න’ (ELIMINATE CORRUPTION AT ALL LEVELS) යන උද්‍යොග පාඨයයි.

එරට මහ බැංකුව මුදල් නෝට්ටුවල යොදන නිල ප‍්‍රකාශය වෙනුවට එතැන මේ වැකිය මුද්‍රණය කොට තිබෙනවා. I PROMISE TO NEITHER ACCEPT NOR GIVE BRIBE (අල්ලසක් ලැබීමට හෝ දීමට හෝ එරෙහිව මම ප‍්‍රතිඥා දෙමි).

නෝට්ටුවේ පිටත පැත්තේ එය නිකුත් කරන ආයතන සමග සන්නිවේදනය කළ හැකි තොරතුරුත්, තොරතුරු දැන ගැනීමේ මහජන අයිතිය තහවුරු කරන ඉන්දියානු නීතිය ගැන කෙටි සඳහනකුත් තිබෙනවා. එසේම ‘මෙය මුදල් නෝට්ටුවක් නොවේ’ යන්න පැහැදිලිව මුද්‍රණය කොට තිබෙනවා.

මේ නෝට්ටුවලට කිසිදු මූල්‍යමය අගයක් නැහැ. එය භාවිතා කිරිම හරියට පත‍්‍රිකාවක් හෝ තුණ්ඩුවක් හෝ භාවිතයට සමානයි. තනි තනිව අල්ලසට එරෙහි වනවාට අමතරව රාජ්‍ය ක්‍ෂෙත‍්‍රය වසා පිළිකාවක් ලෙස පැතිර ඇති දුෂණයට එරෙහිව ජනතාව පෙළ ගැසෙන බවට ද බින්දුවේ නෝට්ටු ප‍්‍රබල සංඥාවක්.

සාමාන්‍යයෙන් දුෂිත නිලධාරින් හා සුළු සේවකයන් අල්ලස් පැතිම හා ඉල්ලා බල කිරීම කරන්නේ මහජනතාවට එයට එරෙහි වීමට විකල්පයක් නැතැයි සිතමින්. එහෙත් ජනතාව බලාත්මක වී, සංවිධානය වී හඬක් නගන විට රාජ්‍ය සේවකයන් තිගැස්මකට පත් වී අල්ලස් පැතීම අඩු වන බව ඉන්දියානු ක‍්‍රියාකාරිකයෝ වසර කිහිපයක අත්දැකීම් අනුව පෙන්වා දෙනවා.

2007දී බෙදා හැරීම අරඹා 2014 අගෝස්තු වන විට මෙම බින්දුවේ නෝට්ටු මිලියන් 2.5ක් පමණ ඉන්දියානු භාෂා 22කින් නිකුත් කොට තිබෙනවා. එරට මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ නිල බලය ඇති මහ බැංකුව මෙයට විරෝධයක් දක්වා නැහැ.

බින්දුවේ නෝට්ටුවේ බලය ඇත්තේ එහි සංකේතාත්මක බවෙහියි. නිල කාරියක් ඉටු කර දීමට නොනිල ගෙවීම් පතන බොහෝ රාජ්‍ය සේවකයන් එය කරන්නේ වක‍්‍රාකාරයෙන් ඇඟවීම් හරහා බවත්, එබඳු අවස්ථාවක මේ මුදල් නෝට්ටුවක් හෝ දෙක තුනක් දීමෙන් මුවින් නොබැනම තම ප‍්‍රතිපත්තිමය ස්ථාවර ප‍්‍රකාශ කිරීමට මහජනයාට හැකි බවත් මෙහි ප‍්‍රවර්ධකයන් කියනවා.

Vijay Anand
Vijay Anand

පස්වන කුළුණේ ආරම්භක විජේ ආනන්ද් මෙය හඳුන්වන්නේ සහයෝගීතාව නොදීම සඳහා වන අවිහිංසාවාදී මෙවලමක් හැටියටයි. මේ නෝට්ටු සාර්ථක ලෙස යොදා ගෙන, අනවශ්‍ය ගැටුම් හෝ ප‍්‍රශ්නවලට නොගොස් හීන් සීරුවේ තමන්ගේ නිල අවශ්‍යතාවය ඉටු කර ගත් (එහෙත් අල්ලසක් නොගෙවූ) අවස්ථා දහස් ගණනක් ඉන්දියානු පුරවැසියන් වාර්තා කර තිබෙනවා.

“බොහෝ රාජ්‍ය සේවකයන් මේ නෝට්ටු දුටු වට චකිතයට පත් වනවා. වැඩි කථා බහක් නැතිව අපේ වැඬේ ඉටු කර දෙනවා. ඇත්තටම අපටත් ඕනෑ එපමණයි,” එක් ක‍්‍රියාකාරිකයෙක් තම අත්දැකීම විස්තර කළේ එලෙසයි.

අල්ලසක් ඉල්ලීම හා දීම ඉන්දියානු නීතියෙන් සපුරා තහනම්. එහෙත් එය බහුලව සිදු වනවා. 2005දී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නම් දුෂණ විරෝධී ආයතනය කළ සමීක්‍ෂණයක් හෙළි කළේ ඉන්දියානුවන්ගෙන් 62%ක් දෙනාට පගාවක් දීමට සිදුවීමේ සෘජු අත්දැකීම් තිබෙන බවයි. (එම සමීක්‍ෂණයට ඉන්දියානු ප‍්‍රාන්ත 20ක 14,405 දෙනකුගේ මත විමසනු ලැබුවා.)

The Zero Rupee Note: Vijay Anand at TEDxLeeds

මහා පරිමානයේ දුෂණ ඉහළ තලයේ සිදු වන අතර කුඩා පරිමානයේ දුෂණ ද අධික වී ඇති බවත්, සාමාන්‍ය ජනයා වඩාත් තලා පෙලන්නේ මේ සිල්ලර මට්ටමේ දුෂණ බවත් ඒ ගැන අධ්‍යයන කරන පර්යේෂකයෝ කියනවා.

ඉන්දියාවේ සමීක්‍ෂණවලදී වඩාත්ම දුෂිත යයි ජනයා කියා සිටින්නේ පොලිසිය, ඉඩම් පරිපාලකයන්, අධිකරණ තන්ත‍්‍රය, පලාත් පාලන ආයතන, විදුලිබල සැපයුම් තන්ත‍්‍රය හා රජයේ රෝහල් පද්ධතියයි. එසේම ප‍්‍රාථමික ශ්‍රේණිවලදී පාසල් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ද දුෂණ හා අල්ලස් ගැනීම ප‍්‍රචලිත බව 45%ක් දෙනා සමීක්‍ෂණයන්ට කියා තිබෙනවා.

පස්වන කුළුණ සංවිධානය ගණන් බලා ඇති අන්දමට ඉන්දියාවේ (මධ්‍යම හා ප‍්‍රාන්ත) රාජ්‍ය සතු දහස් ගණනක් ආයතනවලින් මහජන සේවා ලබා ගැනීමට ඉන්දියානු මහජනයා දෙන සුළු හා මධ්‍යම පරිමානයේ අල්ලස්වල වටිනාකම වසරකට ඩොලර් බිලියන් 5ක් පමණ වනවා.

”අල්ලස් පතන බොහෝ රාජ්‍ය සේවකයෝ එය හෙළිදරවු වනවාට බියයි. විනය පරික්‍ෂණවලට මුහුණ දී අපකීර්තියට පත් වන නිසා. එසේම වැඩක් කරවා ගන්නට රජයේ කාර්යාලයකට යන සාමාන්‍ය ජනයා ද නිලධාරින්ට බියයි. ඔවුන් සමග තර්ක කරන්නට යන්නේ ටික දෙනයි. මේ නිසා අවිහිංසාවාදී ලෙස දුෂණයට එරෙහි වීමට බින්දුවේ නෝට්ටුව හරහා ඉඩක් ලැබෙනවා’’ යයි එහි ප‍්‍රවර්ධකයෝ කියනවා.

මෙයට අමතරව බින්දුවේ නෝට්ටුවේ රූප විශාල පරිමානයේ බැනර් ලෙස පාසල් හා පොදු ස්ථානවල ප‍්‍රදර්ශනය කැරෙනවා. ”අල්ලස ශූන්‍ය කරමු. එයට මගේ සහයෝගය’ (“Zero corruption: I will neither receive nor give bribes”) යන ප‍්‍රකාශයට ලක්‍ෂ ගණනක් බාල මහලූ ඉන්දියානුවන් අත්සන් කොට තිබෙනවා. ලෙහෙසියට, පහසුවට පෝලිම් පනින්නට හෝ අයථා වැඩකට රාජ්‍ය සේවකයන්ට නොනිල ගෙවීම් නොකරන බවට පාසල් යන වියේ පටන් සිසුන්ට ප‍්‍රතිඥාවක් සකසා තිබෙනවා.

මේ වන විට මෙම සංකල්පය රටවල් ගණනාවක දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

2013 නොවැම්බ මාසයේ මැලේසියාවේ දුෂණ හා වංචා වලට එරෙහි රාජ්‍ය කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ද චෙන්නායි නුවරට ගොස් විජේ ආනන්ද් ඇතුළු පිරිස මුණ ගැසී උපදෙස් ලබා ගත්තා. රාජ්‍ය නොවන සංවිධානයක් (ඔව්, NGO එකක්!) වන පස්වන කුළුණෙන් හොඳ දෙයක් ගැන උගෙනීමට තරම් මැලේසියානු රාජ්‍ය නිලධාරීන් නිහතමානියි. මෙය නිල වශයෙන්ම එරට අරඹන්නට ඔවුන්ට ඕනෑකම තිබෙනවා.

ආර්ජෙන්ටිනාව, නේපාලය, මෙක්සිකෝව, බෙනින් යන රටවල් ද බින්දුවේ නෝට්ටුවේ වසර කිහිපයක අත්දැකීම් ගැන ඉන්දියානු ක‍්‍රියාකාරිකයන්ගෙන් තොරතුරු ලබා ගෙන තිබෙනවා. මේ අතර ලෝකයේ අල්ලස හා දුෂණය ප‍්‍රබලව හමුවන යේමනයේ මෙයට සමාන ව්‍යාපෘතියක් 2014දී ක‍්‍රියාත්මක වනවා. ඒ සඳහා එරට මුදල් නෝට්ටුව ආශ‍්‍රයෙන් නිර්මාණය කල ‘‘අවංක රියාල්’’ (Honest Riyals) දහස් ගණනක් දැනටමත් පාසැල් හා සරවිවල බෙදා හැර තිබෙනවා.

දැඩි බලහත්කාරකමින් හෝ ගිනි අවි පෙන්වා හෝ අල්ලස් ඉල්ලන රටවල ‘‘බින්දුවේ නෝටුව’’ වැනි අවිහිංසක විරෝධයක් සාර්ථක වන්නේ නැහැ. එහෙත් ජනමතය හා තමන්ගේ ප‍්‍රතිරූපය ගැන රාජ්‍ය නිළධරීන් හා සෙසු රාජ්‍ය සේවකයන් තරමක් හෝ තැකීමක් කරන ජන සමාජ වල නම් මෙය සාර්ථකව හා උපක‍්‍රමශීලිව යොදා ගත හැකයි.

පස්වන කුළුන ඇතුළු ඉන්දියානු ජන සංවිධාන මේ ක‍්‍රියාකාරකම්වල රාමුව ලෙස යොදා ගන්නේ 2005දී හඳුන්වා දුන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව පනතයි. මේ හරහා ඕනෑම මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත් පාලන ආයතනයක වියදම් හා වෙනත් තොරතුරු ඉල්ලා සිටීමට හා නියමිත දින ගණනක් තුළ ලැබීමට සෑම ඉන්දියානු පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. ඒ සඳහා පැහැදිලි ක‍්‍රමවේදයක් නීතියෙන් සකසා තිබෙනවා.

බින්දුවේ නෝට්ටුවක් අල්ලස් පතන රාජ්‍ය නිළධාරියෙකුට දීමෙන් සංකේතවත් වන්නේ අල්ලසට එරෙහි පුළුල් ජන ව්‍යාපාරයක තමන් ද කොටස් කරුවෙකු බවයි. තමා හමුවට එන බැලූ බැල්මට අසරණ යයි පෙනෙන තනි පුද්ගලයන්ගෙන් ගතමනාව ඉල්ලන බොහෝ නිලධාරීන් සාමූහික විරෝධයකට බයයි.

මෙබන්දක් ශ‍්‍රී ලංකාවේත් ක‍්‍රියාත්මක කළ හැකිද? එසේ වුව හොත් අපේ රාජ්‍ය සේවකයන්ගේ ප‍්‍රතිචාරය කෙබඳු වේද? තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කොට නැති, මහජනතාවගෙන් වැටුප් ලැබුවත් ජනතාවට වග වීමට කැප වී නැති අපේ රාජ්‍ය සේවය කෙසේ නම් අල්ලස හා දුෂණයේ ග‍්‍රහණයෙන් මුදවා ගත හැකිද? අපේ රාජ්‍ය නිලධාරීන් NGOවලට මෙතරම් ගරහන්නේ මෙබඳු ඉන්දියානු ආදර්ශ මෙහි පැතිරේ යයි බියෙන්වත්ද?

The Zero Rupee Note – A Short Film

 

මරදානේ මැකලම් පාරේ පොත්කඩ ඉවත් කැරෙනු ඇතැයි බියක්

Secondhand book sellers at D R Wijewardena Mawatha, Colombo, Sri Lanka. Photo by Chathuri Dissanayake, GPI
Secondhand book sellers at D R Wijewardena Mawatha, Colombo, Sri Lanka. Photo by Chathuri Dissanayake, GPI

පාසල් සිසුවකු කාලේ පටන් මා බොහෝ දේ කියැවීමට ආසා කළා. පොත්, පත්තර, සඟරා අතට හසුවන හැමෙකක්ම කියෙව්වා. ඉඳහිට පත්තරයක් හැර අන් ප‍්‍රකාශන අලූත් පිටපත් ගන්නට මට හැකියාවක් තිබුණේ නැහැ. පාසල් ගුරුවරුන් වූ මගේ   දෙමව්පියන්ට එතරම් අතමිට සරු වූයේත් නැහැ.

මේ නිසා මා second-hand පොතපත සොයා ගෙන ගියා. ඒ සෙවිල්ලට මහත් සේ උපකාර වූයේ මරදානේ මැකලම් පාරේ (ඞී.ආර්. විජේවර්ධන මාවතේ) තිබූ කුඩා පොත්කඩ කිහිපයයි. වරක් කියවා පසෙකට දැමූ එහෙත් යළි යළිත් කියවිය හැකි පොත් දහස් ගණනක් මේවායේ තිබුණා. බොහෝ කොටම ඉංග‍්‍රීසි පොත් හා සඟරා.

ඩෙස්මන්ඞ් මොරිස්,  කොලින් විල්සන්, අයිසැක් ඇසිමෝෆ්, ආතර් සී. ක්ලාක්, ලූයිස් තොමස් වැනි විද්‍යා ලේඛකයන්ගේ මුල් කෘති රැසක් මේ කඩවලින් හමු වුණා. වැඩිපුරම නවකථා තිබුණත් වෙනත් පොත පත ඉලක්කගතව සොයා ගන්නට හෝ ඇතැම් විට ඇනැවුම් කරන්නට හැකි වුණා.

මරදානේ පාසල් ගිය මා එවකට නිතර එහි ගියත් පාසල් නික්ම ගිය පසු එතරම් මේ කඩපේලිය වෙත යැවුණේ නැහැ. එහෙත් ඉඳහිට හෝ ඔවුන් පසු කර යන හැම විටෙකම ස්තුති පූර්වක බැල්මක් මා හෙළනවා.

මේ කඩහිමියෝ පොත් ගැන දන්නවා. අද කාලේ ලස්සන පොත්කඩයක සිටින කාර්ය මණ්ඩලයට වඩා අපේ සෙවිල්ලකට උද්‍යොගයෙන් උදව් කරනවා.

මේ කඩ හිමියන් සිටින්නේ රජයට අයත් ඉඩම්වල අවසර ලබා කුලී ගෙවමින්. විජේවර්ධන මාවත ප‍්‍රදේශයම නවීකරණය කරගෙන යනවා. ලෝටස් කුලූණක් හා සුපිරි හෝටල් ඉදි වෙනවා. කැසිනෝ මෙහි එතැයි ද කියනවා.

මේ “නාගරික සංවර්ධනය” හමුවේ ජනාදරයට පත් පොත්කඩ ටික ඉවත් කැරෙනු ඇතැයි බියක් කඩ හිමියන්ට තිබෙනවා. එය හරිහැටි නිල වශයෙන් සනාථ වී නැහැ. සමහර විට පැය 24කට වැඩි දැනුම්දීමක් නොලැබෙතැයි ඔවුන් සිතනවා.

ඉංග‍්‍රීසි මාධ්‍යවේදිනී චතුරි දිසානායක ලියා ඡායාරූපගත කළ මෙ විශේෂාංග ලිපිය බලන්න.

Global Press Institute (GPI): 24 September 2014
Priyankara Pitiduwagamage, owner of Priyankara Bookshop on the D.R. Wijewardena Mawatha, an avenue in Colombo, waits for customers outside his secondhand bookshop. He and other bookshop owners hope that they will be integrated into the new entertainment and leisure facilities being developed on this street by the government.  GPI Photo by Chathuri Dissanayake
Priyankara Pitiduwagamage, owner of Priyankara Bookshop on the D.R. Wijewardena Mawatha, an avenue in Colombo, waits for customers outside his secondhand bookshop. He and other bookshop owners hope that they will be integrated into the new entertainment and leisure facilities being developed on this street by the government. GPI Photo by Chathuri Dissanayake

සිවුමංසල කොලූගැටයා #189: ලෝක දේශපාලනය කළඹන නොබෙල් සාම ත්‍යාගය

The selection of Nobel Peace Prize laureate often stirs more debate than all other Nobel prizes (in chemistry, physics, medicine, literature and economics) combined. The peace prize remains an essentially political one, reflecting the reality that most conflicts — and their resolution — are largely influenced by political considerations.

Members of the Norwegian Nobel Committee, all Norwegian nationals, may not be too well known beyond their country. Yet their annual selection reverberates around the world.

Five years ago, on a visit to the Norwegian capital, I listened to a talk by Dr Geir Lundestad, a historian who is Director of the Nobel Institute in Oslo and secretary to the Norwegian Nobel Committee. He gave some interesting insights into the legacy and limitations of the prize. I share these in my latest Ravaya column (in Sinhala) just as the winners of Nobel Peace Prize 2014 are to be announced this week.

I wrote on the same topic in English in Oct 2013 (not a translation!): When Worlds Collide #87: Nobel Peace Prize – Saluting peace-makers or stirring political controversy?

Nobel Prize medal

හැම වසරකම නොබෙල් ත්‍යාගලාභීන් ගැන නිවේදනය නිකුත් කරන්නේ ඔක්තෝබර් මාසයේ.

ස්වීඩන් ජාතික නිපැයුම්කරු ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ අන්තිම කැමැත්තට අනුව ක්‍ෂෙත‍්‍ර 5ක නොබෙල් ත්‍යාග පිරිනැමීම 1901දී ඇරැඹුණා. එම ක්‍ෂෙත‍්‍ර නම් සාහිත්‍යය, ලෝක සාමය, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව. 1968 සිට ආර්ථික විද්‍යාව සඳහා ද ත්‍යාගයක් පිරිනැමෙනෙවා.

මේ ත්‍යාග අතරින් වැඩිපුරම මහජන හා මාධ්‍ය අවධානයට ලක් වන්නේත්, බොහෝ වසරවල ආන්දෝලනයට තුඩු දෙන්නෙත් නොබෙල් සාම ත්‍යාගයයි. මේ නිසා එහි ඉතිහාසය ගැන මදක් විපරම් කර බලමු.

2014 නොබෙල් සාම තා්‍යාගය ඔක්තෝබර් 10 වනදා නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදී නෝරිජියානු නොබෙල් කමිටුව විසින් නිවේදනය කිරීමට නියමිතයි. මේ ලිපිය ලියැවෙන්නේ එයට පෙර 2013 දක්වා සාම ත්‍යාග පිළිබඳ තොරතුරු පදනම් කර ගෙනයි.

Alfred Nobel
Alfred Nobel

නොබෙල්ගේ නිර්දේශය වූයේ සෙසු නොබෙල් ත්‍යාගලාභීන් තම මවුරට වූ ස්වීඩනයේ විද්වත් ආයතන විසින් තෝරන අතර සාම ත්‍යාගය පමණක් අසල්වැසි නෝර්වේ රටේ පාර්ලිමේන්තුව මගින් පත් කරන ස්වාධීන විද්වත් කමිටුවක් විසින් තෝරා ගත යුතු බවයි. තම රටේ පාර්ලිමේන්තුව ගැන එතරම් විශ්වාසයක් ඔහුට නොතිබෙන්නට ඇති.

ඔහු කියා තිබුණේ සාම ත්‍යාගය ලබන්නා ගෙවී ගිය වසරේ (හෝ වසර කිහිපයක් පුරා) ජාතීන් අතර සාමය හා සහජීවනය ප‍්‍රවර්ධනය කරන්නත්, ජාතික හමුදා විසුරුවා හරින්නත්, සාමය පිළිබඳ සමුළු පවත්වන්නත් වැඩිපුර හෝ වැදගත් කාර්ය භාරයක් ඉටු කර තිබිය යුතු බවයි.

මේ පුළුල් නිර්නායක විග‍්‍රහ කරමින් අසීරු තෝරා ගැනීම කරන්නේ නෝර්විජියානු නොබෙල් කමිටුවයි (Norwegian Nobel Committee). එහි සාමාජිකයන් නෝර්වේ රටේ සරසවි ඇදුරන්, පර්යේෂකයන් හා සෙසු විද්වතුන්. ඔවුන් නාමධාරින් නොවෙයි. එහෙත් ඔවුන්ගේ තීරණය ලොව පුරා විවාදයට ලක්වනවා.

නොබෙල් සාම ත්‍යාග රීතිවලට අනුව ත්‍යාගය එක් අයකුට, දෙදෙනකුට හෝ තිදෙනකුට දිය හැකියි. මේ ත්‍යාගලාභීන් පුද්ගලයන් හෝ ආයතන හෝ විය හැකියි. එක ත්‍යාගයක් තිදෙනකුට වැඩි සංඛ්‍යාවකට දිය නොහැකියි.

තනි ත්‍යාගලාභීන්ට අවස්ථා 64කදීත්, හවුල් ත්‍යාගලාභීන් දෙදෙනකුට අවස්ථා 28දීත් නොබෙල් සාම ත්‍යාගය ලබා දී තිබෙනවා. තිදෙනකුට සමව ලැබී ඇත්තේ දෙවතාවක පමණයි (1994 හා 2011).

List of all Nobel Peace Prize Laureates

2013දී නොබෙල් සාම ත්‍යාග ලාභියාට ස්වීඩන් ක්‍රෝනර් මිලියන් 10ක් (අමෙරිකානු ඩොලර් මිලියන් 1.4ක් හෝ ශ‍්‍රී ලංකා රුපියල් 178,861,000ක් පමණ) ලැබුණා. ඒ සමග ඩිප්ලෝමා නම් වන ත්‍යාග ප‍්‍රකාශයක් හා පදක්කමක් ද ලැබෙනවා. මෙය පිරිනමන්නේ වසරේ දෙසැම්බර් 10 වනදා ඔස්ලෝ නුවර නගර ශාලාවේදී. නෝර්වේ රජතුමා එහි මුලසුන හොබවනවා.

2013 ඇතුලූව මේ වන විට නොබෙල් සාම ත්‍යාගය පුද්ගලයන් 101 දෙනකුට හා සංවිධාන 25කට ලැබී තිබෙනවා. මුල්ම සාම ත්‍යාගය 1901දී හිමි වූයේ රතු කුරුස ව්‍යාපාරයේ ආරම්භක ස්විස් ජාතික ෂන් හෙන්රි ඩුනාන්ට්හටයි. (19 වතාවකදී ත්‍යාගය කිසිවකුට පිරිනැමුණේ නැහැ. ඒ එම වසරවල අදාල නිර්නායක සපුරා ගත් සුදුසු ත්‍යාගලාභීන් නොසිටි නිසා. පළමු හා දෙවන ලෝක යුද්ධ වකවානුවල ඇතැම් වසරවලදී සාම ත්‍යාග පිරිනැමීම කෙරුණේ නැහැ. අවසන් වරට සාම ත්‍යාගයක් නොදීමේ තීරණය සිදු වූයේ 1972දී.)

නොබෙල් සාමත්‍යාගය මුල් වරට කාන්තාවකට හිමිවූයේ 1905දී. බර්තා ෆොන් සට්නර් Baroness Bertha Sophie Felicita von Suttner නම් ඔස්ටි‍්‍රයානු ජාතික සාම ක‍්‍රියාකාරිනියට. 2013 දක්වා ත්‍යාගය ලද පුද්ගලයන් 101 අතර කාන්තාවන් 15 දෙනකු සිටිනවා.

අප‍්‍රකට නෝර්විජියානු විද්වතුන් පස් දෙනකු ලෝක සාමය ගැන ජනමතයට බලපෑම් කරන මේ සාම ත්‍යාග තීරණය ගැනීම සාධාරණද? මේ ප‍්‍රශ්නය විටින් විට මතු වනවා.

Dr Geir Lundestad
Dr Geir Lundestad

මීට වසර කිහිපයකට පෙර ඔස්ලෝ නුවර සමුළුවකට ගිය අවස්ථාවේ නෝර්වීජියානු නොබෙල් කමිටුවේ ලේකම් හා නොබෙල් ආයතනයේ අධ්‍යක්‍ෂ ගියර් ලූන්ඩෙස්ටාඞ් (Dr Geir Lundestad) නම් නෝර්වීජියානු ඉතිහාසඥයාට සවන් දෙන්නත්, ඔහුගෙන් ප‍්‍රශ්න අසන්නත් මට අවස්ථාවක් ලැබුණා.

ලූන්ඩෙස්ටාඞ් කීවේ සාම ත්‍යාගය ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වය බහුල ලෝකයක අවිහිංසාවේ හා සංහිඳියාවේ පරමාදර්ශ නියෝජනය කරන්නට ගන්නා උත්සාහයක් බවයි.

‘‘නොබෙල් සාම ත්‍යාගයෙන් අප උත්සාහ කරන්නේ තම රටවල හා සමාජයන්හි සාමය හා සමාජ සාධාරණත්වය උදෙසා මහත් කැපවීමෙන් අරගල කරන පුද්ගලයන් හා සංවිධානවලට ගෞරව කිරීමයි. එබඳු අය දහස් ගණනක් අතුරෙන් අපට ලැබෙන නාමයෝජනා අනුව වඩාම සුදුසු ත්‍යාගලාභීන් තෝරා ගැනීම අසීරු කාර්යක්.’’

දැනටමත් දේශීයව හෝ ලෝක මට්ටමෙන් හෝ යම් පිළිගැනීමකට පාත‍්‍රව සිටින ත්‍යාගලාභීන්ට සාම ත්‍යාගය අමතර ගෞරවයක් වන අතර මේ දක්වා අප‍්‍රකටව එහෙත් කැපවීමෙන් කි‍්‍රයා කරන අයට සාම ත්‍යාගය හරහා ලෝක ව්‍යාප්ත පිළිගැනීමක් ලැබෙනවා. ඒ සමග ලොවටම තමන්ගේ අරගල ප‍්‍රකාශ කිරීමේ වේදිකාවක් බිහි වන බව ඔහුගේ විග‍්‍රහයයි. බොහෝ සමාජ අරගලයන්ට ඇති තරම් ජන අවධානය යොමු කර ගැනීම අපහසු වී ඇති අද කාලයේ මෙය ඉතා ප‍්‍රයෝජනවත්.

යුද්ධය හා ප‍්‍රචණ්ඩත්වය රටවල් අතර මෙන්ම රටවල් ඇතුළත ද හමුවනවා. සාමය, සංහිඳියාව හා සමාජ සාධාරණත්වය යනු සංකීර්ණය හා බහුවිධ මානයන් ඇති ප‍්‍රවාහයන්. මේවා හරිහැටි අධ්‍යයනය කොට අගැයීමට ලක් කිරීම ලොකු අභියෝගයක්.

නොබෙල් සාම ත්‍යාගලාභීන් තෝරා ගන්නේ ලොව පුරා නාමයෝජකයන් විසින් කරන නාමයෝජනා අතරින්. නාම යෝජකයකු වීම එතරම් අපහසු නැහැ. සියළු රටවල ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, සරසවි කුලපතිවරුන්, ඉතිහාසය, සමාජ විද්‍යාව, දර්ශන විද්‍යාව, නීතිය යන ක්‍ෂෙත‍්‍රවල විෂය ක්‍ෂෙත‍්‍රවල මහාචාර්යවරුන් සහ මීට පෙර ත්‍යාගය ලැබූ සියලූ දෙනාටත් තමන් රිසි පුද්ගලයකු හෝ ආයතනයක් හෝ සාම ත්‍යාගයට නාම යෝජනා කළ හැකියි. මේ සඳහා ක‍්‍රමවේදය නොබෙල් සාම ත්‍යාග වෙබ් අඩවියේ පැහැදිලිව දක්වා තිබෙනවා.

http://nobelpeaceprize.org/en_GB/nomination_intro/

‘‘නාම යෝජනාවක් කිරීම එතරම් සංකීර්ණ නැහැ. එසේම නාම යෝජනාවකට පාත‍්‍ර වීම සංකේතාත්මකව එතරම් වැදගත් කරුණක් ද නොවෙයි’’ ලූන්ඩෙස්ටාඞ් කියනවා. සමහර දෙනා තම හිතවතුන් හරහා වාර්ෂිකව තමන්ව නාම යෝජනා කර ගන්නවා. නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය වසරේ පෙබරවාරි 1. (2014 සඳහා නාමයෝජනා 278ක් ලැබුණා. එයින් 47ක් සංවිධාන.)

නාම යෝජිත පුද්ගලයන් හා ආයතනය ගැන ස්වාධීන විමර්ශන කිරීමට නොබෙල් කමිටුවේ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඔවුන් නාම යෝජනාවල රහසිගත බව රැුක ගනිමින් තොරතුරු සොයා බලනවා. නොබෙල් කමිටුව විද්වත් උපදේශකයන් කිහිප දෙනකුගේ මත ද විමසනවා.

එහෙත් අවසාන තීරණය තනිකරම කමිටු සාමාජිකයන්ගේ. නෝර්වීජියානු පාර්ලිමේන්තුවට හෝ බලයේ සිටින රජයට හෝ මේ ක‍්‍රියාදාමයට බලපෑම් කළ නොහැකියි. එය ලොවට නිවේදනය කරන්නේ කමිටුවේ ලේකම්වරයා.

කෙතරම් සුපරීක්‍ෂාකාරිව හා අපක්‍ෂපාතව ක‍්‍රියා කළත් නොබෙල් සාම ත්‍යාගයට පරිපූර්ණ වාර්තාවක් නැති බව ලූන්ඩෙස්ටාඞ් අවංකව පිළිගන්නවා.

සමහර ත්‍යාගලාභින් පිළිබඳව ලෝක ව්‍යාප්ත ජනප‍්‍රසාදය මතු වුණා. 1967 අමෙරිකානු කළු ජන අයිතීන්ට අරගල කළ මාටින් ලූතර් කිං, 1979 තෙරේසා මවුතුමිය හා 1993 නෙල්සන් මැන්ඩෙලා ඒ ගණයට අයිතියි.

ලෝකයේ සමහර රටවල ‘ත‍්‍රස්තවාදී’ ලේබලය අලවනු ලැබූ පලස්තීන විමුක්ති ව්‍යාපාරයේ නායක යසර් අරෆත්ට 1994 ත්‍යාගයේ තුනෙන් එකක් හිමි වුණා. ඒ ඊශ‍්‍රායල අගමැති යිට්සක් රේබින් හා විදේශ ඇමති ෂිමෝන් පෙරස් සමග හවුලේ. මැදපෙරදිග සාමයට ඔවුන් ගත් උත්සාහයන් මේ ත්‍යාගයට හේතු වුණා.

එහෙත් මෑත වසරවල සමහරත්‍යාගයන් ප‍්‍රබල විවේචනයට ලක් වුණා. මුල් ධූර කාලය සඳහා තේරී පත් වූ අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට ධූරයේ මාස කිහිපයක් කටයුතු කළ පසු 2009 ත්‍යාගය පිරිනැමීම බොහෝ දෙනාගේ විමතියට ලක් වුණා. එයට පෙර 2002දී ත්‍යාගයෙන් පිදුම් ලද හිටපු අමෙරිකානු ජනාධිපති ජිමී කාටර්ට එය ලැබුණේ ජීවිත කාලයක් සැබෑ මෙහෙවරක් කළ පසු වයස 82දී.

ආයතන හා සංවිධානවලට සාම ත්‍යාගය ලැබුණු විට එය එතරම් ආන්දෝලනයට තුඩු දෙන්නේ නැහැ. ලෝක රතු කුරුස සංගමයට (ICRC) එය තෙවරක් ලැබී තිබෙනවා (1963, 1944, 1917). සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UNHCR) එය දෙවරක් පිරිනැමුණා (1954, 1981). පසුගිය දෙවසරේම ත්‍යාගය ලැබුණෙත් ආයතනවලටයි. 2012දී යුරෝපා සංගමයටත්, 2013දී රසායනික අවි නීති විරෝධී කිරීම සඳහා සංවිධානයටත් (Organization for the Prohibition of Chemical Weapons, OPCW).

නොබෙල් සාම ත්‍යාග ඉතිහාසයේ බරපතලම දෝෂය ලෙස සැලකෙන්නේ 20 වන සියවසේ අහිංසාවාදයේ ප‍්‍රතිමූර්තිය වූ මහත්මා ගාන්ධිට ත්‍යාගයක් නොලැබීමයි. කිහිප විටක්ම (1937, 1938, 1939, 1947) ඔහු නාමයෝජනා ලැබුවත් එවකට සිටි නොබෙල් ත්‍යාග කමිටු ත්‍යාගයක් දුන්නේ නැහැ.

1984 ජනවාරි 30 වනදා ඔහු සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය පසු යළිත් නාමයෝජිත වූවත් ත්‍යාගය ලැබුණේ නැහැ. මේ දෝෂය යම් තරමකට හෝ නොබෙල් කමිටුව පිළිගත්තේ 1989දී දලයිලාමා තුමාට ත්‍යාගය පිරිනැමූ අවස්ථාවෙයි.

Mahatma Gandhi, the Missing Laureate, by Øyvind Tønnesson, Nobelprize.org Peace Editor, 1998-2000

යුරෝපීය හා උතුරු අමෙරිකානු සම්භවයක් තිබූ පිරිමි ත්‍යාගලාභීන්ට බොහෝ කොටම සීමා වී තිබූ සාම ත්‍යාගය ගෝලීයකරණය වීම ඇරැඹුණේ 1960 ත්‍යාගය සමගයි.

දකුණු අප‍්‍රිකාවේ ජාතීන් අතර සමානාත්මතාවයට ගෙන ගිය අඩසියවසක අරගලයට නන් අයුරින් නායකත්වය දුන් ඇල්බට් ලූතුලි (1960) හා ආච්බිෂොප් ඩෙස්මන්ඞ් ටූටූ (1984) ත්‍යාගලාභීන් වීම ඔවුන්ට ලෝක ව්‍යප්ත ප‍්‍රතිරූපයක් ලබා දුන්නා. 1990-92 කාලය තුළ වර්ණභේදවාදය නිමා කිරීමට මහත් කැපවීමෙන් හා සීරුවෙන් ක‍්‍රියා කළ දකුණු අප‍්‍රිකාවේ අවසාන සුදු ජනාධිපති එෆ්. ඩබ්ලියු. ඩික්ලර්ක් හා නෙල්සන් මැන්ඩෙලාට 1993 ත්‍යාගය සම සේ පිරිනැමුණා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සම අයිතීන් දිනා ගත්තේ ඒ සඳහා ඉමහත් කැපවීමෙන් ක‍්‍රියා කළ බොහෝ දෙනෙකුගේ උත්සාහයන් නිසයි. ඔවුන් කිහිප දෙනෙකුට සාම ත්‍යාග දීමෙන් අප කළේ ඒ අරගලයට සහයෝගයක් දීම පමණයි,’’ ලූන්ඩෙස්ටාඞ් කියනවා.

සමහර අවස්ථාවල සාම ත්‍යාගලාභියා මෙන්ම එය පිරිනැමුණු වසර ද තීරණාත්මක වුවා. 1981දී ඇරැඹි පෝලන්ත කම්කරු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් දිනා ගැනීමේ අරගලයට නායකත්වය දුන් ලෙක් වවෙන්සාට (Lech Walesa) 1983 ත්‍යාගය හිමිවුණා. ටිකෙන් ටික නැගී ආ ජන බලවේගයන් බලවත් වී නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් ඒකාධිපති පාලන බිඳ වැටුණේ 1989-90දී. එයට වාවෙන්සාගේ සාම ත්‍යාගය ද යම් තල්ලූවක් දෙන්ට ඇති.

එසේම පෙරෙස්ත්‍රොයිකා (ප‍්‍රතිසංස්කරණ) හා ග්ලාස්නෝස්ට් (විවෘත බව) හරහා දරදඬු සෝවියට් පාලන තන්ත‍්‍රය නිමා කළ මිහායෙල් ගොර්බචෝෆ්ට 1990 ත්‍යාගය පිරිනැමුණා.

නොබෙල් සාම ත්‍යාගය සමාජවාදී පිළට එරෙහි වූවක් හා ධනවාදයේ අතකොළුවක් යන මතය වඩාත් ප‍්‍රබලව මතුව ආයේ මේ ත්‍යාගවලින් පසුවයි. එහෙත් ත්‍යාගයට දේශපාලන මතවාද ඉක්මවා යන මානුෂික හා මානව හිමිකම් දැක්මක් ඇතැයි ලූන්ඩෙස්ටාඞ් පෙන්වා දෙනවා.

දකුණු අප‍්‍රිකාවට අමතරව නැගෙනහිර ටිමෝරය, බුරුමය යන රටවල ද දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට සාම ත්‍යාගය යම් පමණකට උපකාර වූවා යයි කිව හැකියි.

ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වයට තුඩු දෙන සමාජ ආර්ථික සාධකවලට වැඩි අවධානයක් යොමු කිරීම 2000න් පසු පිරිනැමුණු සාම ත්‍යාගවල විශේෂත්වයක්. 2004දී කෙන්යාවේ සමාජ ක‍්‍රියාකාරිනී හා පරිසරවේදීනී වංගාරි මාතායිට (Wangaari Mathaai) ත්‍යාගය දුන්නේ අප‍්‍රිකාවේ පාරිසරික සංරක්‍ෂණයට කාන්තාවන් පෙළගැස්වීමේ පුරෝගාමී මෙහෙවර සඳහායි.

2006 දී බංග්ලාදේශයේ ආචාර්ය මොහමඞ් යුනුස් හා ඔහු ඇරැඹූ ග‍්‍රාමීන් බැංකුවට (Dr Muhammud Yunus and Grameen Bank) ත්‍යාගය ලැබුණේ දුගී බව දුරු කිරීමට ක්ෂුද්‍රණය හා ප‍්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ ආකෘතියක් නවෝත්පාදනය කිරීම නිසායි.

නොබෙල් ත්‍යාග ඉතිහාසයේ මේ දක්වා ලාංකිකයකුට කිසිදු ත්‍යාගයක් හිමිවී නැහැ. එබන්දක් පිළිබඳ මෙරට ප‍්‍රචලිත දුර්මතයක් පහදා දිය යුතුයි.

2007 සාම ත්‍යාගය සම සේ බෙදී ගියෙ දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් මඩුල්ල (Inter-governmental Panel on Climate Change, IPCC) හා හිටපු අමෙරිකානු උපජනාධිපති හා දේශගුණික ක‍්‍රියාකාරික ඇල් ගෝටර්ට (Al Gore). ත්‍යාගය ඔස්ලෝ නුවරදී ලබා ගත්තේ ෂඡුක්‍ක්‍ සභාපති ඉන්දියානු විද්‍යාඥ ආචාර්ය රාජේන්‍ද්‍ර පචෞරි (Dr Rajendra Pachauri) හා ඇල් ගෝර් දෙපළයි.

IPCC මඩුල්ලේ ලොව නන් රටවලින් විද්වත් බව මත තෝරා ගත් විද්‍යාඥයන් 2,500කට වඩා සිටිනවා. මේ සියලූ දෙනාට ඔස්ලෝ යාම ප‍්‍රායෝගික නොවූ නිසා එවකට එහි සිටි උප සභාපතිවරුන් සිවු දෙනාටත්, කණ්ඩායම් නායක විද්‍යාඥයන්ටත් විශේෂ ආරාධිතයන් ලෙස ත්‍යාග ප‍්‍රදාන උත්සවය ඇරැයුම් කෙරුණා. ඒ අනුව එවකට IPCC උපසභාපතිවරයකු වූ ලාංකික ඉංජිනේරු හා ආර්ථික විද්‍යාඥ ආචාර්ය මොහාන් මුණසිංහත් එහි ගියා.

එහෙත් උත්සවයට සම්බන්ධ වූ පමණින් ඔහු ත්‍යාගලාභියෙකු යයි කීම වැරදියි. මොහාන් මුණසිංහ 2007 නොබෙල් සාම ත්‍යාගයේ සමලාභියකු වීද යන්න මා 2008 සැප්තැම්බරයේ නොබෙල් ආයතනයට ගිය අවස්ථාවේ එක එල්ලේ විමසුවා. 2007 ත්‍යාගය පාර්ශවයන් දෙකක් අතර සම සේ බෙදී ගිය බවත්, එනම් ඇල් ගෝර් හා IPCC ආයතනය පමණක් බවත් ඔවුන් තහවුරු කළා.

මා හඳුනන හා ගරු කරන ආචාර්ය මුණසිංහට මේ ගෞරවය නැති වුණාට ලොව විවිධ රටවලින් ලැබුණු ගෞරවයන් රැසක් තිබෙනවා. ඔහු මෙරට සිටින කීර්තිමත් විද්වතකු බවට විවාදයක් නැහැ.

 

සිවුමංසල කොලූගැටයා #188: ලිංමැඩියා මර්දනය කෙසේ කළ හැකිද?

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Writing a foreword to my latest collection of Ravaya columns, titled ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ (Wanted: Time Bombs of the Mind!), researcher and public intellectual Dr Udan Fernando comments on two societal trends in post-war Sri Lanka (since 2009).

One is the indulgence — and even perverse ‘celebration’ — of insularity, conflating it for distinctiveness and cultural identity. This is found among certain academics, artistes and social activists.

The other is obsessive nostalgia for, and romanticising of, history – at least, a certain interpretation of historical events and processes. Never mind whatever problems of development and governance of today, these nostalgists seem to contend, we were once a great nation (or the greatest of all).

In my column (published in Ravaya newspaper, 5 October 2014), I discuss how best to counter insularity and unhealthy obsession with history. I also lament, as does Udan, the gradual decline of Lankans with bilingual or trilingual skills which enabled them to connect with each other and the wide world outside their island.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය ලෙස 2013-14 වකවානුවේ මා ලියූ ලිපි 44ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ නමින් ගිය මාසයේ නිකුත් වුණා.

එයට පෙරවදනක් ලිවීමට මා ඇරැයුම් කළේ රාවය හරහා මා හඳුනා ගත් මිතුරකුට. ඔහු ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. ස්වාධීන සමාජ විද්‍යා පර්යේෂකයෙක්. කලක් නෙදර්ලන්තයේ විසීම නිසා ලිබරල් සමාජයක හා නිර්ආගමික රාජ්‍යයක සෘජු අත්දැකීම් ඇති, බොහෝ දේ තුලනාත්මකව දැකිය හැකි අයෙක්.

පෙරවදනේ ඔහු මෙසේ කියනවා. “දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම කොස්මොපොලිටන ඌරුව නාලකගේ තීරු ලිපි තුළ නොමසුරුව සනිටුහන් වෙයි. එය ලිංමැඩියා මර්දන ව්‍යාපාරයට කෙරෙන මහගු දායකත්වයක් බවයි මගේ තක්සේරුව.”

මා කිසිදු දේශපාලන මතවාදයක් කරපින්නා ගත් අයකු නොවෙයි. එහෙත් අධිපතිවාදයන්ට නොකැමති, නිතර ප‍්‍රශ්න කරන හා බල සංකේන්ද්‍රණයට එරෙහි දැක්මක් නම් මට තිබෙනවා.

Dr Udan Fernando
Dr Udan Fernando

උදන් මෙය දකින්නේ මෙලෙසයි. “පසුගිය වසර පහ තුල ලාංකේය සමාජයට වැළදී ඇති බරපතල ම රෝගය විය හැක්කේ අතීතකාමයයි. මේ වන විට අතීතකාමය නිධන්ගත රෝගයක් බවට පත් වී ඇත. පෙර එක දවසක තිබුනා යැයි කියන ශ්‍රී විභූතියෙන් බඩගින්නේ හෝ සිට අපි සතුටු වෙමු. ඉතිහාසය හා ඉතිහාසිකරණය නාලක භාවිතා කරන්නේ නිර්මානාත්මක ආකාරයකටය. ඔහුගේ ප්‍රවේශය ඉතිහාසය යම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස සලකා බැලීමය. ඉන් ඉතිහාසය අනවශ්‍ය ලෙස රොමැන්තිකකරණය නොවේ. එලෙස ගත් කල ජාතික ව්‍යාධියක් සුව කරනු පිණිස නාලකගේ තීරු ලිපි පැසසුමට ලක් කළ යුතුය.”

ළිං මැඩියාව ඇති බොහෝ දෙනෙකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ. තවත් සමහරුන් එය ඕනෑ කමින් හුවා දක්වමින් ගැන උදම් අනනවා. ලෝකය ගැන වඩාත් දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.

මනෝ ලෝකවල සිට සිතැඟි දේ මවා ගන්නට අප කාටත් ඉඩක් තිබෙනවා. එය පෞද්ගලිකත්වය හා මානව නිදහසට අදාල කරුණක්. එහෙත් අප මෙහි කථා කරන්නේ පොදු අවකාශය (public space) හා පොදු උන්නතියට (public interest) අදාලවයි.

ළිං මැඩියන් සේ සිටීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇතත්, ළිං මැඩියන් ලෙස අන් සැම (විශේෂයෙන් ළමා හා තරුණ පරපුර) බලෙන් රඳවා තබා ගන්නට නම් කිසිවකුත් අයිතියක් නැහැ. එසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ප‍්‍රවණතා අරභයා ළිං මැඩියා මානසිකත්වය මතුවීම ඉතා අහිතකරයි.

දේශපාලකයෝ ළිං මැඩියන්ට හරි ආසයි. තමන් කියන ඕනෑම අභව්‍ය කථාවක්, තර්කයක් හෝ කුමන්ත‍්‍රණවාදයක් වැඳ ගෙන අසා සිට අන්තිමේදී හුරේ දමන මහජනතාවක් හැමදාමත් පවත්වා ගන්නට බහුතරයක් දේශපාලකයන්ට ඕනෑකම ඇති.

උදන්ගේ තර්කයට අනුව ලක් සමාජයේ ලිංමැඩියාවට එක් ප‍්‍රධාන හේතුවක් නම් තනි බසක් පමණක් කථා කරන, එබසින් පමණක් පොත් කියවන හා සන්නිවේදනය කරන බහුතරයක් සිටීමයි.

මෙය සිංහල හා දෙමළ ජන කොටස් දෙකටම පොදු වුවත් සුළු ජන කොට්ඨාශයක් ලෙස දෙමළ ජනයා සිංහලත්, එයට අමතරව ඉංගී‍්‍රසිත් ප‍්‍රගුණ කරන්නට වැඩි උනන්දුවක් ගන්නා බව මගේ නිරීක්‍ෂණයයි.

සන්නිවේදන තාක්‍ෂණ හරහා මින් පෙර නොතිබූ පරිදි ඉංග‍්‍රීසි උගන්නට නව අවස්ථා විවර වී තිබෙනවා. එහෙත් ආකල්පීය හේතු නිසා හෝ කුඩා වියේ ඇති කරනු ලැබූ ඉච්ඡාභංගත්වය නිසා හෝ ඕනෑකමින්ම ඉංග‍්‍රීසිය මග හරින හා එය තවමත් අධිරාජ්‍යවාදී කඩුවක් යයි සිතන අය තරුණ පරපුර අතර පවා සිටිනවා. මෙබඳු පිරිස් අතර ළිංමැඩියාව ප‍්‍රබලයි.

සිංහලට පමණක් සීමා වූ දැනුම් හා ආකල්ප ග‍්‍රහණයක් ඇති විට සිදු වන දෙය උදන් විග‍්‍රහ කරන්නේ මෙලෙසයි.

“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුනු දෙයකි. එහි ප්‍රතිපලයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් — විශේෂයෙන් පුවත්පත්වල — ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”

“අවාසනාවකට බොහෝ සිංහල ලියන්නන් ඇසුරු කරන්නේ සිංහල පොතපත පමණය. සිංහල පමණක් කතා කරන්නන් පමණය. මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි. උදේ පිසූ කිරිබත ම රත් කර දිවා ආහාරයට ගෙන ඉන් ඉතිරි වූ ටික රත් කර රාත්‍රී ආහාරයට ගන්නා විට පිළුණු රසය මතු වීම වැළැක්විය නොහැක. එහෙත් එක භාෂාවකට පමණක් විලංගු ලා ගත් බොහෝ දෙනා එම පිළුණු කිරිබත තලු මරමින් අනුභව කරයි.”

ද්විභාෂිකත්වයේ වැගත්කම පිළිගැනීම හරහා තනි බසක් පමණක් ප‍්‍රගුණ කළ කිසිවකු හෑල්ලූ කිරීමක් සිදු වන්නේ නැහැ. අප කැමති වුණත් නැතත් සමාජ යථාර්ථයන් ඇති සේ දැකීම අවශ්‍ය දෙයක්.

From L to R - A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera
From L to R – A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera

ද්විභාෂිකත්වයේ ද විවිධ මට්ටම් තිබෙනවා. සමහර ද්විභාෂිකයන් භාෂා දෙකක් ව්‍යක්ත ලෙස කථා කරන හා ඒ දෙකෙන්ම නිර්මාණශීලි හෝ විචාරශීලි කාර්යයන්හි නිරත විය හැකි අයයි. ඉංග‍්‍රීසි හා සිංහල දෙබසින්ම ලියූ තිස්ස අබේසේකර මෑත කාලීන හොඳ උදාහරණයක්.

තවත් සමහරුන් භාෂා දෙකක් මනාව දැන එම සංස්කෘතින්ට සමීප වුණත් ඔවුන් ලියන්නේ එයින් එක් බසකින් පමණයි. කලක් මගේ ජේ්‍යෂ්ඨ සගයකු වූ ඉංග‍්‍රීසි පුවත්පත් කතු අජිත් සමරනායකත් ඉංග‍්‍රීසි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනත් දෙදෙනාම සිංහල, සාහිත්‍ය නාට්‍ය හා සිනමා ක්‍ෂෙත‍්‍රයන්ට සමීපව සිටියා. ඔවුන් ඒවායේ නව ප‍්‍රවණතා මනා සේ හඳුනා ගත්තා. එහෙත් ඔවුන් බොහෝ කොටම ලිිව්වේ ඉංග‍්‍රීසියෙන්. (එයත් වැදගත් හා අවශ්‍යයි. මෙරට ඇතැම් මධ්‍යම පංතිකයන්ට දේශීය කලා නිර්මාණ ඉංග‍්‍රීසි පුවත්වත් හරහා හඳුන්වා දුන්නේ මේ දෙපල හා තවත් ඔවුන් වැනි ටික දෙනෙක්.)

Groundviews.org, 19 Sep 2008: Remembering A J Gunawardana: A creative public intellectual

දෙමළ, සිංහල, ඉංග‍්‍රීසි භාෂා තුනෙහිම කලා ක්‍ෂෙත‍්‍ර හැකි පමණින් නිරික්සා ඇගැයීමක් කරන මගේ තවත් ජ්‍යෙෂ්ඨ මිත‍්‍රයෙක් සිටිනවා. ඔහු නිදහසේ මාධ්‍යවේදී හා විචාරක කේ. එස්. සිවකුමාරන්. මෙරට ඉංග‍්‍රීසි පුවත්පත් හැමෙකටම පාහේ ලිපි සපයන ඔහුගේ කුතුහලය හා දැනුම ඉතා පුළුල්.

ළිං මැඩියාව අපේ රටට පමණක් සීමා වූවක් නොවෙයි. හැම රටකම එයින් පෙළෙන අය සිටිනවා. සමහර රටවල එයට තුඩු දෙන සාධක වෙනස්. හොඳ උදාහරණයන් නම් අමෙරිකා එක්සත් ජනපදයයි. දැනුම් මූලාශ‍්‍රයන් ලෙහෙසියෙන් සොයා ගත හැකි වූත් අධ්‍යාපන හා සාක්‍ෂරතා මට්ටම් ඉහල වූත් එරට බොහෝ දෙනා තම රටින් බාහිර ලෝකය ගැන ඇත්තේ සීමිත හා බොහෝ සෙයින් විකෘති වූ වැටහීමක්.

වඩාම ආසන්න අසල්වැසි රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවෙන් ඔබ්බට නොගිය අමෙරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමහර අමෙරිකානුවන් සිතන්නේ යුරෝපය ද තුන්වන ලෝකයේ ම කොටසක් කියා බවයි!

අමෙරිකාව ආන්තික උදාහරණයක්. බටහිර යුරෝපයේ නැතිනම් ඉන්දියාවේ වැසියන් බොහෝ දෙනෙකුට නම් තම රට හා ලෝකය ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ජාතිකාභිමානය ඔස්සේ තම රට ගැන අධිතක්සේරුවකට යන්නේ නැහැ. එසේම කුමන්ත‍්‍රණවාදී තර්ක අවිචාරශීලී ව පිළි ගන්නේ ද නැහැ. (එයට අති සමතුන් වන්නේ පාකිස්ථානය හා බංග්ලාදේශ් රටවල වැසියන්. එරටවල බොහෝ උගතුන් පවා තමන්ගේ රටට වින කරන්නට මුලූ ලොවම කැස කවන බව විශ්වාස කරනවා.)

10 February 2013: සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

ලිං මැඩියාවේ විවිධ පැතිකඩ කලින් කලට මෙරට ප‍්‍රචලිත වනවා. පුරා විද්‍යාත්මකව කිසිදු සාක්‍ෂියක් නැති ජනප‍්‍රවාදයක් වන රාවණා රජු හා ඔහුගේ හපන්කම් ගැන අද දවසේ සංසරණය වන කථා මෙයට උදාහරණයක්.

L to R - Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi
L to R – Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi

බොහෝ දෙනා තම රටේ ඉතිහාසය උල්ප්පා දැක්වීමට කැමතියි. එහෙත් අතිශයෝක්තියෙන් ඔබ්බට යන බෙහෙවින් අභව්‍ය සිදුවීම් අපට සැළකිය හැක්කේ ප‍්‍රබන්ධ හැටියට පමණයි. තමන් කැමති ඕනෑම ෆැන්ටසියක් ඇදහීමට පුද්ගල නිදහස ඇතත් එය යොදා ගෙන පොදු අවකාශයේ හා මාධ්‍ය හරහා ජනතාව නොගම යැවීම සාරධර්ම විරෝධීයි.

රාවණා ප‍්‍රවාදයන් ගැන මෙරට බොහෝ සැබෑ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් නිහඬව සිටින පසුබිමක කොළඹ සරසවියේ ඉතිහාසය පිළිබඳ පර්යේෂක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එය ප‍්‍රසිද්ධියේ විචාරයට ලක් කිරීම ඉතා වැදගත්. (2014 සැප් 14 රාවයේ පළ වූ ඔහුගේ ලිපිය කියවන්න.)

නිර්මාල් රංජිත් දේවසිරි හා ලියනගේ අමරකීර්ති වැනි ද්විභාෂික වියතුන් අපේ සරසවිවල දුර්ලභයි. ලිංමැඩියාව තවත් ප‍්‍රවර්ධනය කරන මධ්‍යස්ථාන බවට අපේ සරසවි පත්ව ඇත්තේ එනිසායි.

සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

Last week, I wrote in my Ravaya column (in Sinhala) about Lankan writer Deeman Ananda (1933-2007), who wrote over 1,000 books of crime fiction, detective fiction and other thrillers in Sinhala from 1960s well into the 1980s.

I had lots of reader responses – many of them thanking me for the info and insights on this neglected writer.

Today, I probe further why a popular and prolific writer like Deeman Ananda was ridiculed and demonized by the literary mainstream and critics. I argue that the artificial and rigid divide between Lankan popular culture and so-called high culture is at the root of such discrimination. Besides Ananda, other creative professionals – from singers and dramatists to comic artists – have also suffered from this misplaced prejudice.

'Giants' of popular culture in Sri Lanka: L to R - Deeman Ananda, Nimal Lakshapathiarachchi, Titus Thotawatte
‘Giants’ of popular culture in Sri Lanka: L to R – Deeman Ananda, Nimal Lakshapathiarachchi, Titus Thotawatte

අපේ රටේ මුළු පරම්පරාවක්ම කියවීමට හුරු කළ ඞීමන් ආනන්ද ලේඛකයා ගැන ලියූ කොලමට විවිධාකාර ප‍්‍රතිචාර ලැබුණා. පණ්ඩිතයන් හා විචාරකයන් කෙතරම් හෙළා දුටුවත් ඔහු පොදු ජනයා අතර තවමත් වීරයකු බව නම් පැහැදිලියි.

ප‍්‍රතිචාර අතර අභව්‍ය එකක් වූයේ මෙරට ‘සිංහල බෞද්ධ සංස්කෘතිය සැළසුම් සහගතව විනාශ කිරීමේ බටහිර කුමන්ත‍්‍රණයක’ ඞීමන් ආනන්ද නියෝජිතයකු වූ බවයි. මේ කුමන්ත‍්‍රණ ‘බිල්ලා’ හැම කථාබහකම ඉන්නවා. මට නම් දැන් අහලා එපා වෙලා.

මීට සති කිහිපයකට පෙර එස්. එම්. බන්දුසීලයන් සමග මා කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී දේශනයක් කළා. 1930-1950 අතර කාලයේ බටහිර ලෝකයේ ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් වූ ලිහිල් හා අඩු මිළැති විද්‍යා ප‍්‍රබන්ධ හා අනෙකුත් ත‍්‍රාසජනක කථා (pulp fiction)ගැන කථා කරමින් අප මතු කළ ප‍්‍රශ්නය වූයේ එයින් ආභාෂය ලැබූ අපේ ජනප‍්‍රිය සංස්කෘතියක් වී ද යන්නයි.

අපට සොයා ගත හැකි වූ ආසන්නම උදාහරණ වූයේ මුල් යුගයේ සිංහල චිත‍්‍රකථා (විශේෂයෙන් ජී. එස්. ප‍්‍රනාන්දු හා සුසිල් පේ‍්‍රමරත්නගේ ශෛලීන්) සහ ඞීමන් ආනන්දගේ ත‍්‍රාසජනක කථායි. මේ දේශනය අවසානයේත්, සයිබර් අවකාශයේත් යම් සංවාදයක් මතු වුණා. එහිදී කියැවුණු එක් වැදගත් කරුණක් නම් ජනප‍්‍රිය සංස්කෘතිය මෙරට හරිහැටි ස්ථාපිතවීමට එරෙහිව යම් අධිපතිවාදී හෝ ගතානුගතික බලවේග නැගී සිටින බවයි.

ලක් සමාජයට සරල අහිංසක වින්දනයක් ලබා දීමට තැත් කළ තවත් බොහෝ ශිල්පීන්ට මේ අත්දැකීම ඇති. මේ විරෝධය ප‍්‍රබල ලෙසින් ඞීමන් ආනන්දට ජීවිත කාලයක් පුරා තිබුණා.

Dayawansa Jayakody
Dayawansa Jayakody

වරක් 1990 දශකය මුලදී ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි එවකට සිටි සංස්කෘතික අමාත්‍ය වි. ජ. මු. ලොකුබණ්ඩාරට යෝජනා කළා මෙරට වැඩිම පොත් ගණනක් ලියූ ලේඛකයා ලෙස ආනන්දට රාජ්‍ය සාහිත්‍ය උලෙළකදී, විශේෂ සම්මානයක් දෙන ලෙස. එයට යන වියදම දැරීමට ද ජයකොඩි කැමතිව සිටියා.

‘‘අවසාන විනිශ්චයේදී ප‍්‍රකාශයකයන් වන අපි සැවොම පොත් මුදලාලිලා. වැඩියෙන්ම පොත් පළ කරන ප‍්‍රකාශකයාට සම්මානයක් දෙනවා නම් වැඩියෙන්ම පොත් ලියූ ලේඛකයාටත් සම්මාන දිය හැකියි කියා මා තර්ක කළා’’ දයාවංශ ජයකොඩි කියනවා.

එහෙත් ඇමතිවරයා වටා සිටි නිලධාරින් හා ‘ප‍්‍රබුද්ධ’ සාහිත්‍යකරුවන් එයට ඉඩ දුන්නේ නැහැ. ඒ තරමට ඔවුන් ආනන්දව කොන් කළා. සමහර විට ඉරිසියාව හා කුහකකම නිසා වෙන්න ඇති.

කලාවෙන් වින්දනයක් ලැබීම පාපයක් හෝ බොළඳ ක‍්‍රියාවක් නොවෙයි. එසේම සරල වින්දනය සඳහා කලා කෘති නිර්මාණය කිරීම කලාව බාල්දු කිරීමක් ද නොවෙයි.

ඞීමන් ආනන්දට පමණක් නොව කරුණාසේන ජයලත් වැනි තරුණ පරපුර අතර කලක් ජනප‍්‍රිය වූ ලේඛකයන් ද සාහිත්‍ය පණ්ඩිතයෝ ප‍්‍රසිද්ධියේ හෙළා දුටුවා. සිත් ගන්නා සුළු ලිහිල් භාෂා ශෛලියකින් හරබර චරිතකථා, නවකථා, කෙටිකථා හා වෙනත් සමාජ විචාරයන් ලියූ ප‍්‍රවීණ පත‍්‍ර කලාවේදී ගුණදාස ලියනගේ සූරින් පවා මෙරට සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඇති තරම් ඇගැයීමට ලක් වුණේ නැහැ.

15 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

ඔවුන් කොන් කිරීම තුලින් සංකේතවත් වූයේ මෙරට සාහිත්‍ය කලා ක්‍ෂෙත‍්‍ර අරක් ගෙන සිටින හා සමස්ත ජන සමාජය වෙනුවෙන් තීරණ ගන්නා අතලොස්සකගේ අධිපතිවාදය හා උද්දච්චකමයි. ජනප‍්‍රිය සංස්කෘතියේ වැදගත්කම හඳුනාගෙන එයට සමාන්තරව පවතින්නට නොදී අකුල් හෙළීම පෙන්නුම් කරන්නේ මේ සංස්කෘතික බහිරවයන්ගේ පටු මානසිකත්වයයි.

මෙය හුදෙක් සාහිත්‍යයට පමණක් නොව පොදුවේ සමස්ත සංස්කෘතියටම අදාල විසමතාවයක්. චිත‍්‍ර කලා ක්‍ෂෙත‍්‍රයේ බහුතරයක් ශිල්පීන් චිත‍්‍රකථා නිර්මාණකරුවන් දැඩි සේ පහත් කොට අවඥාවෙන් සැළකූ හැටි අප මීට පෙර කොලමක සඳහන් කළා.

‘අයාලේ ගිය සිතක සටහන්’ (2007) පොතේ තිස්ස අබේසේකර සූරින් මෙසේ කියනවා: ‘‘මොහිදින් බෙග් අතිශ්‍රේෂ්ඨ කටහඬක් තිබූ ගායකයෙකි. සී.ටී. ප‍්‍රනාන්දුට ද ඒ හා සමාන දුර්ලභ ගණයේ කටහඬක් තිබුණේය. එහෙත් සිංහල සංගීතය වට කොට ගොඩනැගී තිබුණු විචාර ස්ථාවරය, සී. ටී. ප‍්‍රනාන්දුව බැහැර කළේය.’’

1973දී ගුවන් විදුලි සංස්ථාව සියලූ ගායක ගායිකාවන් සඳහා කටහඬ පරික්‍ෂණයක් පවත්වා ශ්‍රේණිගත කරන විට සී. ටී. ප‍්‍රනාන්දු විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයකු ලෙස වර්ග කළ යුතු බවට සුනිල් සාන්තයන් කියා සිටියත් මඩුල්ලේ සෙසු සාමාජිකයන් දෙදෙනා ඊට එකඟ නොවූ බව අබේසේකර කියනවා. හේතුව? ‘‘සී.ටී.ප‍්‍රනාන්දු පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් දුර්වල වූ’’ නිසා.

සම්භාව්‍ය පිරිස ඔහුට හරිහැටි පිළිගැනීමක් දුන්නේ නැතත් මෙරට සංගීත රසිකයෝ සී. ටී. ප‍්‍රනාන්දුගේ ගීතවලට මහත් සේ ඇළුම් කළා.

H. R. Jothipala (1936-1987)
H. R. Jothipala (1936-1987)

පසු කලෙක එච්. ආර්. ජෝතිපාල හා ජිප්සීස් කණ්ඩායමට එරෙහිව ද මෙබඳු ප‍්‍රතිරෝධ මතු වුණා. ‘ජනප‍්‍රිය’ ලේබල් ගසා කොන් කිරීමට ප‍්‍රබුද්ධයෝ සමහරුන් උත්සාහ කළා.

රේඩියෝ මාධ්‍යය රජයේ ඒකාධිකාරයක්ව තිබූ දශකවල ඒ හරහා හරවත් දේ ප‍්‍රචාරය වූ බව ඇත්තයි. එහෙත් රේඩියෝව ජන සමාජයේ සිටියේ ඉස්කෝලෙ මහත්තයා/ඉස්කෝල් හාමිනේ බඳු ගාම්භීර ස්වරූපයෙන්. එහි වරදක් නැතත් එතරම් හෘදයංගම බවක් තිබුණේ ද නැහැ.

රේඩියෝව ශ‍්‍රාවකයන්ට වඩාත් සමීප කරමින් පවුලේ නෑයකු හෝ ලෙන්ගතු මිතුරකු මට්ටමට ගෙන ආයේ පෞද්ගලික FM නාලිකායි. මේ පරිනාමයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සිරස නාලිකාවට සහ එහි ප‍්‍රධානියා වූ නිමල් ලක්‍ෂපතිආරච්චිට ප‍්‍රබුද්ධ කල්ලියේ දැඩි අප‍්‍රසාදය හා ප‍්‍රතිරෝධය එල්ල වුණා.

හැමදාමත් හැම අසන්නාම ශාස්ත‍්‍රීය සංගීතය, ශාස්තී‍්‍රය සාකච්ඡුා හා ගරු ගාම්භීර ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයන්ම ඇසිය යුතුද? කිසිසේත් නැහැ. 1990 දශකයේ පටන් මෙරට ටෙලිවිෂන් හා රේඩියෝ ග‍්‍රාහකයන්ට තෝරා ගත හැකි පරාසය (choice) පුළුල් වුණා.

මා සංස්කෘතිය ගැන විශාරදයෙක් නොවෙයි. එහෙත් මට තේරෙන හැටියට නම් රටක ජනප‍්‍රිය සංස්කෘතිය දියුණු වූවාට එහි ඓතිහාසික උරුමයට හෝ සම්භාව්‍ය යයි සැළකෙන සංස්කෘතික අංගයන්ට හෝ හානියක් වන්නේ නැහැ. (එසේම සංස්කෘතිය නිතිපතා ජන සමාජය තුළ අලූත් වන ගතික සංසිද්ධියක්. එය කටුගෙයක හෝ ලේඛනාගාරයක හෝ රක්‍ෂිතව තබා ගත හැකි දෙයක් නොවෙයි. එයට තනි හිමිකරුවකු ද නැහැ. එය පොදු ජනයාගේ සම්පතක්.)

ජනප‍්‍රිය සංස්කෘතිය අපට අලූත් දෙයක් ද නොවේ (මෑත දශකවල එයට අලූත් මුහුණුවර හා පැතිකඩ ලැබුණත්). අපේ පැරණි බලි, තොවිල්, ශාන්තිකර්ම, විරිඳු ආදියේ ඇතැම් තැන්වල සරල වින්දනය හා හාස්‍ය රසය ලබා දෙන්නට උත්සාහ කරනවා. අනවශ්‍ය තරමට අහංකාර හා මාන්නාධික වූ රජවාසල ප‍්‍රභූන් (සමහර අවස්ථාවල රජු පවා) උපහාසයට ලක් කළ අන්දරේ ජනප‍්‍රිය සංස්කෘතියේ සංකේතයක්.

අපේ පණ්ඩිතයන් කියන්නේ සරල සංගීතය වෙනුවට ශාස්ත‍්‍රීය සංගීතය, FM නාලිකාවල ලිහිල් කථාබහ (චිට්චැට් කිරීම) වෙනුවට බරපතල ශාස්ත‍්‍රීය සාකච්ඡ පමණක් පොදු අවකාශයේ තිබිය යුතු බවයි. මේ කොලම ලියන්නට පටන් ගත් මුල් වසරේ (2011) මගේ පණ්ඩිත මිතුරන් අවංකවම මට අවවාද කළේ සරල ලිහිල් සිංහල බසකින් ලිවීමෙන් මගේ ප‍්‍රතිරූපය හෑල්ලූ වන බවයි.

මා මෙය දකින්නේ නොමග ගිය විදග්ද බවක් හැටියටයි. ජනප‍්‍රිය සංස්කෘතිය හා සම්භාව්‍ය සංස්කෘතිය තරගකාරී නොවී වර්ධනය විය හැකි බවට පෙර අපර දෙදිගම   ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. අපේ කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, ජපානය වැනි රටවල් සම්භාව්‍ය සංස්කෘතිය හා ජනප‍්‍රිය සංස්කෘතිය යන දෙකටම ඉඩ හා ඇගැයීමක් ලබා දෙනවා. එය සමාජ තරාතිරම් අනුව හෝ උගත්කමේ මට්ටම අනුව හෝ බෙදී ගිය යථාර්ථයක් ද නොවෙයි.

මැංගා (Manga) චිත‍්‍රකථා කියවා රසවිඳින බොහෝ ජපන්නු සම්භාව්‍ය නවකථා ද කියවනවා. බොළඳ යයි පෙනෙන බොලිවුඞ් චිත‍්‍රපට බලන්නට රිසි ඉන්දියානුවෝ බොහෝ දෙනා අතිශයින් කලාත්මක හා සංවේදී සම්භාව්‍ය සිනමා කෘතිවලට ද කාලය මිඩංගු කරනවා. අපේ රටේ මෙන් ප‍්‍රබුද්ධ – පීචං කෘති‍්‍රම ධ‍්‍රැවීකරණයක් ඔවුන්ගේ නැහැ.

වඩාත් පරිනත මාධ්‍ය සංස්කෘතියක් ඇති බි‍්‍රතාන්‍යය, ජපානය හා කොරියාව වැනි රටවලත් සම්භාව්‍ය, ජනප‍්‍රිය හා මේ දෙක අතර දෙමුහුම් වැනි මාධ්‍ය තිබෙනවා. එසේම සම්භාව්‍ය කුලයේ මාධ්‍ය පවා වැඩි ජන අවධානය ලබා ගන්නට සරල වින්දන උපක‍්‍රම යම් තාක් දුරට යොදා ගන්නවා.

බි‍්‍රතාන්‍යයේ BBC කලක් සිටියේ ප‍්‍රභූ නැන්දා කෙනෙක් වගේ. එරට වැසියන්ට එයට දුන් විකට නාමය ආන්ටි බීබ් (Auntie Beeb). එහෙත් අද BBC පවා ජනප‍්‍රිය සංස්කෘතියට යම් තරමකට අනුගත වී තිබෙනවා.

1982දී විකාශයන් ඇරඹූ ජාතික රූපවාහිනියේ මුල් වසරවල තීරක මට්ටමේ සිටි බොහෝ දෙනා ගුවන් විදුලි සංස්ථාවෙන් ආ අයයි. ඊට අමතරව කලා හා සංස්කෘතික ක්‍ෂෙත‍්‍රවල විද්වතුන් කිහිප දෙනෙකු ද සිටියා. මේ අය බහුතරයක් ටෙලිවිෂන් මාධ්‍යය පණ්ඩිත කරන්නට තැත් කරන විට එය වඩාත් සැහැල්ලූ, හෘදයාංගම එහෙත් හරවත් මාධ්‍යයක් බවට පත් කළේ ටයිටස් තොටවත්ත සූරින්. මේ බව ඔහු මිය ගිය අවස්ථාවේ කොලමකින් මා මෙසේ සිහිපත් කළා.

“මුල් යුගයේ මෙරට ටෙලිවිෂන් මාධ්‍යය හැසිර වූ අයගේ තර්කය වුණේ හරවත් දේ රසවත්ව කීමට බැරි බවයි. ඔවුන්ගේ පණ්ඩිතකම වෙනුවට ටයි මාමා අපට ලබා දුන්නේ හාස්‍යය, උපහාසය, රසාස්වාදය මනා සේ මුසු කළ එහෙත් හරවත් ටෙලිවිෂන් නිර්මාණයි. උවමනාවට වඩා ශාස්ත‍්‍රීය, ගාම්භීර හා ‘ප‍්‍රබුද්ධ’ විදියට නව මාධ්‍යය ගාල් කරන්නට උත්සාහ කළ සරසවි ඇදුරන්ට හා සිවිල් සේවකයන්ට ටයි මාමාගෙන් වැදුණේ අතුල් පහරක්.

“ඔහු කළ ලොකු ම සංස්කෘතික විප්ලවය නම් ළදරු රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් පෙළගැස්ම අනවශ්‍ය ලෙසින් ‘පණ්ඩිත’ වන්නට ඉඩ නොදී, එයට සැහැල්ලූ, සිනහබර ශෛලියක් එකතු කිරීමයි. කට වහර හා ජන විඥානය මුල් කර ගත් ටයි මාමාගේ කතන්දර කීමේ කලාව නිසා රූපවාහිනිය යන්තම් බේරුණා. එසේ නැත්නම් සැළලිහිනියා පැස්බරකු වීමේ සැබෑ අවදානමක් පැවතුණා.”

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

තොටවත්ත ඉතා හොඳින් පෙන්වා දුන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය හරබර අදහස් රටට දෙන්නට මැනවින් යොදා ගත හැකි බවයි. හැමටම එය කළ නොහැකි වුවත්, සරල වින්දනයේ හා උපහාසයේ කිසිදු වරදක් නැහැ. බුම්මාගෙන සිටින පඬි සමාජයකට වඩා සැහැල්ලූවෙන් සිනහවෙන් සිටින සමාජයක් අපට ඕනෑ.

තව තවත් ටයිටස් තොටවත්තලා, නිමල් ලක්‍ෂපතිආරච්චිලා, ඞීමන් ආනන්දලා අපේ සමාජයට අවශ්‍යයි. අද නව මාධ්‍ය හරහා තමන්ගේම ජනප‍්‍රිය සංස්කෘතික හැකියාවන් පෙන්නුම් කරන දක්‍ෂයන් සිටිනවා. ඒ සමහරුන් අප නමින් හඳුනන්නේ නැහැ. එහෙත් ඔවුන් බිහි කරන (බොහෝ විට උපහාසාත්මක) මීම් (meme) ආකාරයේ නිර්මාණ ඉන්ටර්නෙට් හරහා බහුලව බෙදා ගැනෙනවා.

කණගාටුවට කරුණ නම් මෙරට ජනප‍්‍රිය සංස්කෘතිය ගැන උපේක්‍ෂාසහගතව හා ගවේෂණාත්මකව බැලීමට පෙළැඹී ඇත්තේ විද්වතුන් අතලොස්සක් පමණක් වීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්න හා මහාචාර්ය චන්‍ද්‍රසිරි පල්ලියගුරු මේ අතර කැපී පෙනෙනවා.