I have just given an interview to Sunday Lakbima, a broadsheet newspaper in Sri Lanka (in Sinhala) on social media in Sri Lanka – what should be the optimum regulatory and societal responses. The interviewer, young and digitally savvy journalist Sanjaya Nallaperuma, asked intelligent questions which enabled me to explore the topic well.
This is part of my advocacy work as a fellow of the Internet Governance Academy.

විද්‍යා ලේඛක හා ස්වාධීන මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන මෙරට තොරතුරු සමාජයේ නැගී ඒම ගැන වසර විස්සකට වැඩි කලක් තිස්සේ විචාරශීලීව ලියන කියන අයෙකි. ජර්මනිය කේන්ද්‍ර කර ගත් ඉන්ටර්නෙට් නියාමනය පිළිබඳ ජාත්‍යාන්තර ඇකඩමියේ සම්මානිත පර්යේෂකයෙකි.
ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි භාවිතය මොන වගේ තැනකද තිබෙන්නේ?
2017 ඇරඹෙන විට මෙරට ජනගහනයෙන් 30%ක් පමණ (එනම් මිලියන් 5ක් පමණ) නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරමින් සිටි බව රාජ්‍ය දත්ත තහවුරු කළා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. වෙබ්ගත වන ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයින් ලබන තොරතුරු ඔවුන් හරහා විශාල පිරිසකට සමාජගත වන නිසා.
අඩු තරමින් සමාජ මාධ්‍ය එකක්වත් භාවිත කරන අය මිලියන 3.5ක් පමණ මෙරට සිටිනවා. ෆේස්බුක් තමයි ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාව. එයට අමතරව වැනි වේදිකා හරහා ද ලක්ෂ ගණනක් අය තොරතුරු, අදහස් හා රූප බෙදා ගන්නවා (ෂෙයාර් කරනවා). මේ තමයි නූතන සන්නිවේදන යථාර්ථය.
සමාජ ජාල වෙබ් අඩවිවල පළවන දේ ලංකා සමාජයට කොතරම් බලපෑමක් කරනවාද?
වෙබ් කියන්නේ ඉතා විශාල හා විවිධාකාර අවකාශයක්. සංකල්පීය නිරවුල් බව අවශ්‍යයි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (පුවත්පත් හා සඟරා, රේඩියෝ, ටෙලිවිෂන්) ආයතනවල නිල වෙබ් අඩවි තිබෙනවා. මේ කවුද – මොනවද කරන්නෙ කියා ප්‍රකටයි. මේවා රටේ නීතිරීතිවලට අනුකූලව පවත්වා ගෙන යන ව්‍යාපාරයි. උපමිතියකින් මා මේවා සම කරන්නේ සුපර්මාකට් වගේ කියායි.
ඊළඟට වෙබ්ගතව පමණක් පවතින ආයතනගත වූ මාධ්‍ය තිබෙනවා. සමහරක් මේවා රට තුළත් අනෙක්වා රටින් පිට සිටත් පවත්වා ගෙන යනවා. සැවොම ලියාපදින්චි වීත් නැහැ (එසේ කිරීම මෙරට කිසිදු නීතියකින් අනිවාර්ය නැති නිසා). මේවායේ පූර්ණකාලීනව නියැලෙන අය සිටිනවා. කතුවරුන් ප්‍රකාශකයන් සමහර විට ප්‍රකට නැහැ. මගේ උපමිතියට අනුව මෙවන් වෙබ් අඩවි තනිව ඇති කඩ සාප්පු වගේ. මේවා සමාජ මාධ්‍ය නොවේ!
ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා කැරෙන තොරතුරු, අදහස් හා රූප හුවමාරු ඉහත කී දෙවර්ගයටම වඩා වෙනස්. මෙවන් වේදිකාවලට ඕනැම කෙනකුට නොමිළේ බැඳිය හැකියි. ඉහළ පරිගණක දැනුමක් ඕනැ නැහැ. යම් බසකින් ටයිප් කරන්න නම් දැනගත යුතුයි. මේවා මහජන සන්නිවේදන වේදිකා මිස ආයතනගතව හෝ වෘත්තීය මට්ටමින් කැරෙන මාධ්‍ය නොවෙයි. මගේ උපමිතියට අනුව කලබලකාරී පොලක කැරෙන ඝෝෂාකාරී ගනුදෙනු වගෙයි.
සමාජ මාධ්‍ය ගැන කථා කරන බොහෝ දෙනා මේ තුන පටලවා ගන්නවා. අප නිරවුල්ව ප්‍රශ්න විග්‍රහ කිරීම ඉතා වැදගත්. වෙබ් අවකාශයේ අපට හමු වන “සුපිරි වෙළඳසැල්”, “කඩ” හා “පොල” යන තුනේම වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. ඒවා ගැන හරිහැටි දැනගෙන තමයි ගොඩවිය යුත්තේ!
ලංකාවේ අපි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නේ ඇබ්බැහියක් විදියටද?
ඕනැම සමාජයක නව තාක්ෂණයකට, නව මාධ්‍යයකට සීමාන්තිකව සමීප වන සුළුතරයක් සිටිය හැකියි. ඒ අයට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. එහෙත් බහුතරයකට එසේ ඇලී ගැලී සිටින්නට කාලයත් නෑ. අසීමිතව දත්ත භාවිතයට වියදම් කරන්නත් බෑ!
Facebook වැනි ලංකාවේ ප්‍රචලිත සමාජ මාධ්‍යවල පළවන දෑ කොතරම් සත්‍යතාවයකින් යුතු දේද?
දිනපතා හුවමාරු වන තොරතුරු, අදහස් හා රූප /විඩියෝ කන්දරාව අතර හැම විදියේම දේ තිබෙනවා. ආ ගිය කතා, සතුටු සාමීචි, දේශපාලන වාද විවාද, සමාජ හා ආර්ථික කතා මෙන්ම අන්තවාදී ජාතිවාදය හෝ ආගම්වාදය පතුරුවන අන්තර්ගතයන් ද හමු වනවා.
මේවා සත්‍ය හෝ අසත්‍ය විය හැකියි. නැතිනම් ඒ දෙක අතර දෝලනය විය හැකියි. විචාරශීලීව මේවා ග්‍රහණය කරන්න අපේ බොහෝ දෙනා නොදන්න නිසා තමයි ප්‍රශ්න මතු වන්නේ. අපේ රටේ සයිබර් සාක්ෂරතාවය තාමත් පහලයි. කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධ ගෙඩිපිටින් විශ්වාස කොට එය බෙදා ගන්නා (ෂෙයාර් කරන) පිරිස වැඩි එනිසයි.
ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් (Fake News) ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද ද තිබෙනවා. “ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති” බවට මීට සති කීපයකට පෙර පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයක්.
එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ‘share’ වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු වීසා ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
සමහර මෙවන් ප්‍රබන්ධ අහිංසක වින්දනයක් ගෙන දිය හැකි වුවත් සෞඛ්‍යය හා අධ්‍යාපනය වැනි කරුණු අලලා ගොතන බොරු කථාවලින් සමාජ හානි සිදු වන්නට පුළුවන්.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බරවා පරීක්ෂා කිරීමට කටයුතු කරන විට ඒඩ්ස් බෝ කරන ලේ පරීක්ෂාවක් යැයි විශාල මතවාදයක් පැතිර ගියේ ඇයි?
සෞඛ්‍යය ගැන බොහෝ දෙනා සැළකිලිමත්. එනිසා බොරු ප්‍රචාර පතුරුවන්නොත් එයට අදාල වන්නට වැර දරනවා. රටේ එක් ජාතියක පිරිමි හා ගැහැණුන් පමණක් වඳ කරන්න ගන්නා “උත්සාහයන්” ගැන මෙන්ම HIV/AIDS ගැනත් බොරු භීතිකා විටින්විට යම් පිරිස් පතුරුවනවා. සමාජ මාධ්‍ය වේදිකාවල ස්වභාවය අනුව කවුරු කොතනින් පටන් ගත්තා ද යන්න සොයා ගැනීම අති දුෂ්කරයි. මේවා පැතිර යාම හැකි තාක් අවම කර ගැනීම තමයි අපට කළ හැක්කේ. එසේ නැතිව වාරණ, තහන්චි හෝ බ්ලොක් කිරීම අපරිණත ක්‍රියාවක්.
එවැනි තොරතුරු සොයා බැලීමකින් තොරව හුවමාරු කරගැනීමට පෙළඹෙන්නේ ඇයි?
අපේ පොතේ උගතුන් බොහෝ දෙනකු පවා අභව්‍ය යමක් කියා රවටන්න ලෙහෙසියි. ලක් සමාජයේ ජනප්‍රිය “නවීන බිල්ලෝ” හදා ගෙන තිබෙනවා. විදෙස් රහස් ඔත්තු සේවා, වතිකානුව, ඉන්දීය රජය, බහුජාතික සමාගම් වැනි යමක් ඈඳා ගනිමින් කුමන හෝ අභව්‍ය කථාවක් ගොතා මුදා හැරියොත් දිගට හරහට පැතිරෙනවා.
කටකථා වගේ තමයි. අද සමාජ මාධ්‍ය හරහා කටකථාවලට උත්තේජක හෙවත් “ස්ටීරොයිඩ්” ලැබෙනවා වගේ වැඩක් වෙනවා.
අපේ රටේ වෙබ් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි පිවිසෙන්නේ ස්මාට්ෆෝන් හෝ වෙනත් ජංගම උපාංග හරහායි. බොහෝ විට කඩිමුඩියේ. සංශයවාදීව, දෙතුන් වතාවක් සිතා බලා යම් තොරතුරක් ග්‍රහණය කර ගන්න ඉස්පාසුවක් දුවන ගමන් සමාජ මාධ්‍යවලට පිවිසෙන බොහෝ දෙනාට නෑ.
එවැන්නක් කරන්නේ සමාජ මාධ්‍ය භාවිතයට තරම් ලංකාවේ සමාජය දියුණු නැති නිසාද?
මා නිතර කියන පරිදි අපේ රටේ සයිබර් සාක්ෂරතාවය තාමත් පහලයි. අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති උදවිය ගොඩක් ඉන්නවා! මේක ව්‍යක්ත ලෙස සන්නිවේදනය වන අවස්ථාවක් මම පසුගියදා ෆේස්බුක් තුළම දැක්කා. එහි තිබුණේ මෙයයි: “ෆේස්බුක් එකේ share වන හැම මගුලම ඇත්ත කියා ගන්න එපා!” යැයි “1802 ජූනි 16 වනදා මහනුවර මගුල් මඩුවේදී” ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියයි. දැන් අපේ සමහර මිනිස්සු ඕකත් ඇත්ත කියලා share කරනවා!
උපහාසයෙන්වත් අපේ විචාරශීලී වෙබ් භාවිතය හා සයිබර් සාක්ෂරතාවය වැඩි කර ගත යුතුයි. මෙය දිගු කාලීන වැඩක්. ඉක්මන් විසඳුම් මෙවන් සමාජ ප්‍රශ්නවලට නැහැ.
මේ විදියට අසත්‍ය ප්‍රචාර ප්‍රචලිත කිරීමට සමාජ ජාල භාවිතා කිරීමේ ඉදිරි ප්‍රවනතාවයන් මොන වගේ වෙයිද
තවත් උපමිතියකින් විග්‍රහ කරනවා නම් ෆේස්බුක් වේදිකාව හරියට ගාලුමුවදොර පිටිය වගේ. පොදු, විවෘත අවකාශයක්. එතැනට යන අය ජාතික ගීය කියනවාද, බැති ගී කියනවාද, පෙම් ගී කියනවාද, හූ කියනවාද යන්න පුද්ගලයා මත තීරණය වන්නක්.
සමහර විට එක් අයෙක් පටන් ගත්තාම අවට ඉන්න ටික දෙනෙක් හොඳ හෝ නරක යමකට එක් වනවා. එයට වෙනස් ප්‍රතිචාරද තිබිය හැකියි. සමහරුන් කිසිවක් නොකියා, වික්ෂිප්තව ඔහේ බලා සිටීවි. තවත් අයෙක් ‘ඔහෙලාට ඔල්මාදයද මේ වගේ හූ කියන්න’ කියා එයට අභියෝග කරාවි.
අපට සමාජ මාධ්‍යවල උදක්ම ඕනෑ කරන්නේ භාවිත කරන ප්‍රජාව තුළින්ම සදාචාරත්මක, ධනාත්මක සන්නිවේදන සඳහා ඉල්ලුම වැඩි කිරීමටයි. හූ කියන අය කොතැනත් සිටිය හැකියි. එහෙත් ඒ අය කොන් වෙනවා නම් දිගටම එසේ කරන එකක් නැහැ.
“සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම ඕනෑ” යයි කෑමොර දෙන උදවියට මා කියන්නේ මුලින්ම සමාජ මාධ්‍ය මොනවාදැයි තේරුම් ගන්න කියායි. ගාලුමුවදොර පිටියට ආචාරධර්ම රාමුවක් නිර්දේශ කරනු වෙනුවට එහි යන එන අය අශීලාචාර හැසිරීම්වලින් වළක්වා ගන්න තැත් කිරීමයි වැදගත්. මෙය පොලිසිය, දණ්ඩන පනවා කරන්න පුළුවන් දෙයක් නොවෙයි.
අසත්‍ය පළවීම් හමුවේ සමාජ ජාල ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට අප කටයුතු කළ යුත්තේ කෙසේද?
සයිබර් සාක්ෂරතාව වැඩි කර ගැනීම හා භාවිත කරන ප්‍රජාව තුළින්ම ප්‍රමිතීන් (user community standards) ගොඩ නගා ගැනීම තමයි හොඳම මාර්ගය. සමාජ මාධ්‍ය තුළ අති බහුතරයක් සන්නිවේදන ප්‍රයෝජනවත් හා හරවත් ඒවා බව අමතක නොකරන්න.
එසේම සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන සන්නිවේදන ඉතා වැදගත් සමාජීය මෙහෙවරක් ඉටු කරනවා. වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) අප දිගටම පවත්වා ගත යුතුයි.
මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට හා මාධ්‍ය ලොක්කන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි. ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටනවා කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!
සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ තම දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්. මෙයින් මා කියන්නේ ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.