සිවුමංසල කොලු ගැටයා #372: ආරංචිද වැඩේ? ඕපාදූපවල පරිණාමීය වැදගත්කමක් තිබෙනවාලු!

Even though it is widely practised in most human societies, gossip is much maligned. At best it is seen as frivolous and a waste of time, and at worst, as malicious and anti-social.

But not all gossip is bad, and, a growing body of research shows that gossip can be useful in maintaining social norms and keeping people in line. In my latest Ravaya column (in Sinhala language, published on 22 July 2018), I look at the evolutionary, sociological and anthropological insights offered by gossip related research in recent years.

Exploring the Lankan gossip-sphere, I note how certain mainstream media companies have started explicitly gossip news websites that now attract large visitor numbers. To sustain this traffic, they publish increasingly sensational, click-bait kind of content. Such manufacturing and marketing of gossip, I argue, is an inevitable by-product of online freedom of expression.

Finally, I ask why Lankan mass communications researchers dismiss gossip with such contempt, and wonder what findings could be made about our collective psyche if only our researchers adopt a more open-minded approach to this topic…

Gossip has served an evolutionary purpose, and continues to be relevant for humans as social animals…

ගොසිප් නැතිනම් ඕපාදූප ගැන මෙරට විද්වත් සමාජයේ ඇත්තේ අවඥා සහගත ආකල්පයක්. කිසිදු වැදගත්කමක් නැති, හරසුන් හා කාලය කා දමන ක්‍රියාවක් ලෙස එය සැළකෙනවා.

ජන සන්නිවේදනය ගැඹුරින් අධ්‍යයනය කළ හා එම විෂය උගන්වන බොහෝ ගුරුවරුන්ද ගොසිප් හෙළා දකිනවා. මෑතදී මා සහභාගි වූ සාකච්ඡාවක ගොසිප් හඳුන්වා දෙනු ලැබුවේ ‘දුශ්ශීල’ ක්‍රියාවක් හැටියටයි.

අනුන්ගේ අඩුපාඩු හා දුක් කරදර ගැන ඔවුන් නැති තැන මහත් ඕනැකමින් කතා කිරීම මාද අනුමත කරන්නේ නැහැ. එහෙත් අප බොහෝ දෙනකු ගොසිප් ලෙස තේරුම් ගන්නා දෙයට වැඩි යමක් ඕපාදූප නම් සමාජ ප්‍රපංචයෙහි තිබෙනවා.

සමාජ මාධ්‍ය හා සෙසු ජනමාධ්‍ය සමහරක් හරහා ද ගොසිප් අධිවේගීව ගලා යන අද කාලේ එය ගෙඩි පිටින් හෙළා දකිනු වෙනුවට එහි ගතිසොබා අවබෝධ කර ගනිමු. මගේ ස්ථාවරය එයයිග

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාඥ හා පරිණාමීය මනෝ විද්‍යාඥ (anthropologist and evolutionary psychologist)  රොබින් ඩන්බාර් (Dr Robin Dunbar)” ගොසිප් පිළිබඳව කලෙක සිට පර්යේෂණ කරන්නෙක්. මෙම ක්ෂේත්‍රයේ ලොව පිළිගත් විද්වතෙක්.

ඔහු කියන්නේ මානව වර්ගයාගේ ආරම්භයේදී ගොසිප් ලෙස වර්ග කෙරුණේ සමීපතයන් සමග දොඩමලු වෙමින් හුවමාරු කරගන්නා තොරතුරු බවයි. ඇත්තටම භාෂා කතා කිරීම ඇරඹීමටත් පෙර පටන් අපේ වානර ආදිතමයෝ සිය වටපිටාව ආහාර ප්‍රභවයන්, අන්තරායන් ගැන ඉඟි බසින් තොරතුරු හුවමාරු කර ගත්තා.

රැලේ යම් සාමාජිකයන් විශ්වාස කළ හැකිද, ඔවුන් ආත්මාර්ථකාමීන් ද ආදී සමාජ තක්සේරුවක් ද ක්‍රමයෙන් හුවමාරු වීම ඇරඹුණා. ගොසිප්වල ප්‍රභවය මෙතැනයි.

මානවයන් පරිණාමය වූ අප්‍රිකානු සැවානා තණ බිම්වල පණ කෙන්ද රැක ගෙන, සමූහ ජීවිත ගෙවීමට මුල් යුගයේ ගොසිප් අත්‍යවශ්‍ය වූ බව ඩන්බාර්ගේ මතයයි.

කල්පිතයක් ලෙස ඩන්බාර් කියන්නේ මානව සමාජයන්හි භාෂා බිහි වීමට ගොසිප් කිරීමේ අවශ්‍යතාව ප්‍රබල උත්තේජකයක් වූ බවයි.

භාෂාවන් බිහි වී මානව සන්නිවේදනය වඩාත් දියුණු වූවාට පසුව ද සමාජ තොරතුරුවල අගය අඩු වූයේ නැහැ. කණ්ඩායම් ලෙස ජීවත් වන සමාජශීලී සත්ත්වයන් වන මානව අපට අපේ ප්‍රජාවේ සාමාජිකයන් ගැන බැලූ බැල්මට නෙපෙනෙන තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් ලෙස පරිණාමීයව හා ඓතිහාසිකව ගොසිප් හෙවත් ඕපාදූප තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කොට තිබෙනවා.

ආගිය තොරතුරු හා සාමිචී කතා කිරීම සමාජ සම්බන්ධතා ඇති කිරීමට මෙන්ම ඒවා කලක් තිස්සේ ප්‍රාණවත්ව පවත්වා ගැනීමට බොහෝ ඉවහල් වන බව ඔහුගේ මතයයි.

”මානව අප එකිනෙකා සමග කතාබහ කරන හැම විටම ප්‍රායෝගික නැතහොත් බුද්ධිමය වශයෙන් වැදගත් කාරණාවලට පමණක් එය සීමා කරන්නේ නැහැ. සැහැල්ලුවෙන්, දඟකාරකමින්, විනෝදකාමීව කතා කිරීම අප කාටත් අවශ්‍යයි. එහිදී ගොසිප් යම් ප්‍රමාණයක් හුවමාරු වීම පරිණාමීය ලෙස අප ලද උරුමයක්. මෙය වාචිකව හුවමාරු වනවාට අමතරව මේ වන විට සමාජ මාධ්‍යවල ලිඛිතව හෝ රූප හරහා ද සිදු වනවා” යයි ඩන්බාර් විග්‍රහ කරනවා.

දිගු කලක් තිස්සේ චිම්පන්සීන් හා වෙනත් වානර විශේෂවල හැසිරීම අධ්‍යයනය කර ඇති ආචාර්ය ඩන්බාර්, තම විද්වත් විග්‍රහයන් කැටි කරමින් 1996දී Grooming, Gossip and the Evolution of Language නමින් පොතක් පළ කළා.

ඔහු කියන්නේ ගොසිප්වලට අමතරව කතන්දර කීමද මානව ඉතිහාසයේ හා ප්‍රාග් ඉතිහාසයේ දිගටම අපේ වර්ගයාට ආවේණික ප්‍රබල පුරුද්දක් බවයි.

ගොසිප් සම්ප්‍රදායන් මෙන්ම කතාන්දර කීමේ පුරුද්දත් එකිනෙකට බෙහෙවින් වෙනස් වූත්, ස්වාධීනව බිහි වී විකාශනය වූත් මානව ශිෂ්ටාචාරයන් රැසක් හමු වනවා. ඩන්බාර් කියන්නේ මෙය අහම්බයක් නොව සංස්කෘතික පරිණාමයේ මූලික හා තවමත් වැදගත් අංගයක් බවයි.

”සමාජශීලී සත්ත්වයන් ලෙස මානවයන්ට තම තමන් සෙසු ප්‍රජාවට බද්ධ වන්නේ කෙසේද යන්නත්, තමන්ගේ සාපේක්ෂ තරාතිරම කුමක්ද යන්නත් නිරතුරු විමසීම හා දැන ගැනීම අවශ්‍ය වනවා. මෙය සවිඥානිකව කළත් නොකළත් ඕපාදූප හා වෙනත් සාමීචි කතාවල අතුරු ඵලයක් වන්නේ තමා අයත් වන ප්‍රජාවට සමානුපාතිකව තමන් සිටින ස්ථානය ගැන අවබෝධයක් පුද්ගලයාට ලබා දීමයි.”

ඩන්බාර්ගේ පර්යේෂණ සමාජ මාධ්‍යවලට අදාළ කරමින් විද්වත් විග්‍රහයන් කර ඇති ප්‍රකට සමාජ විද්‍යාඥවරියක් වන සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) කියන්නේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා ගැනීමට එහා යන පරිණාමීය මානව අවශ්‍යතාවක් ද ඉටු වන බවයි.

නාගරීකකරණය නිසා තව දුරටත් භෞතික වශයෙන් කඩපිල්වල, ළිඳ ළඟ හෝ වෙනත් පොදු තැන්වල එතරම් මුණ නොගැසෙන තම ප්‍රජාව සමග නිරතුරු සාමීචී හා ගොසිප් හුවමාරු කර ගන්නට සමාජ මාධ්‍ය විසින් විකල්ප අවකාශයක් බිහි කර තිබෙනවා. (සමාජ මාධ්‍ය හරහා ගලා යන සියල්ල ගොසිප් වේයැයි මෙයින් අදහස් වන්නේ නැහැ.)

පරිනාමීයව පමණක් නොව නූතන යුගයේ පවා ඕපාදූප හෙවත් ගොසිප් අප සිතනවාට වඩා වැදගත් සමාජ සන්නිවේදන මෙහෙවරක් ඉටු කරන බව පසුගිය දශක දෙකක පමණ කාලයේ කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

Left to Right – Dr Robin Dunbar, Dr Zeynep Tufekci, Dr Robb Willer

‘ගොසිප්වල සමාජ විද්‍යාත්මක වැදගත්කම’ නමින් තීරණාත්මක පර්යේෂණ ලිපියක් 2012දී විද්වත් සඟරාවක පළ වුණා. එය ලියා තිබුණේ ගොසිප් ගැන මැදහත්ව කලක් තිස්සේ අධ්‍යයනය කළ සමාජ විද්‍යාඥයන් පිරිසක් විසින්. ඔවුන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් හා කැලිෆෝනියා බර්ක්ලි සරසවිවලට සම්බන්ධයි.

‘ජනප්‍රිය මතය නම් සියලු ඕපාදූප සැම විටම අහිතකර බවයි. බොහෝ ඕපාදූපවල ඍණ ගතිගුණ තිබෙන බව ඇත්ත. එහෙත් තුලනාත්මකව මේ සංසිද්ධිය විමර්ශනය කළ අපට පෙනී ගියේ ඕපාදූපවල සමාජමය වැදගත්කමක් තිබෙන බවයි.’ සමාජ විද්‍යා මහාචාර්ය රොබ් විලර් (Dr Robb Willer)  ප්‍රකාශ කළා.

‘සමාජශීලී සත්ත්වයන් හැටියට මානව අප බොහෝ සමාජ සම්බන්ධතා පවත්වා ගන්නවා. එහිදී යමකු පිළිබඳ අප නොදන්නා හෝ නොදුටු පැතිකඩක් තිබිය හැකියි. පිටතට පෙනෙන චරිතගති හෝ චර්යාවලට එහා යන ගතිගුණ පැවතිය හැකියි. ඕපාදූප හරහා මෙවන් තොරතුරු හුවමාරු කැරෙනවා. ඒවා සමහර විට අතිශයොක්තියට ලක් විය හැකි බව ඇත්ත. එහෙත් අනතුරු ඇඟවීම් ද එතුළ ගැබ්ව තිබෙනවා.’

මහාචාර්ය විලර් සහ පර්යේෂක පිරිස සොයා ගත් තවත් මානයක් නම් තමා ගැන සමාජයේ කොයි අන්දමින් කතා බහ වෙයිද යන්න ගැන බොහෝ දෙනකු අවධානය යොමු කරන බවයි.

මොන ඕපාදූපයකට තමන් පාත්‍ර වේද යන්න අවිනිශ්චිත නිසා සමාජ ගනුදෙනුවලදී හැකි තාක් නීතිගරුකව, ආචාරශීලීව පෙනී සිටීමට පුද්ගලයන් තැත් කරනවා. එය ඕපාදූප වල සමාජියීය බලපෑමක් ලෙසයි ඔහු හඳුනා ගන්නේ.

තමන් වෙසෙන පටුමග හා අවට පොදු ප්‍රදේශය පිරිසිදු කිරීම හරහා මදුරුවන් බෝ වීම අවම කිරීමට තැත් කරන ප්‍රජාවක් ගැන මොහොතකට සිතන්න. නිවැසියන් සැවොම එවන් පොදු වැඩකට ඉත සිතින් ශ්‍රමය දානය කරන්නේ නැහැ. සමහරු හරිම ආත්මාර්ථකාමීයි. එහෙත් තවත් පිරිසත් නොකැමැත්තෙන් වුව පොදු වැඩට එක් වනවා. හේතුව අසල්වාසීන් තමන් ගැන කෙසේ කතා කරනු ඇති ද යන හේතුව නිසා.

මෙවන් අවස්ථාවල ඕපාදූපවල සමාජයීය හිතකර බලපෑම හොඳින්ම පෙනී යන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම නිරීක්ෂණ ඉහත කී අමෙරිකානූ පර්යේෂණයට පමණක් සීමා වන්නේ නැහැ. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ පර්යේෂකයන් ද ඕපාදූපවල සමාජමය බලපෑම් ගැන අත්හදා බැලීම් ගණනාවක් කළා. ඔවුන්ගේ නිගමනය වූයෙත් කුඩා කණ්ඩායම් හා සීමිත ප්‍රජාවන් තුළ පුද්ගල හැසිරීමට ඕපාදූප තීරණාත්මකව බලපාන බවයි.

සන්නිවේදන තාක්ෂණයන් වඩාත් පුළුල්ව පැතිරුණු වත්මන් සමාජයේ ගොසිප් ද මාධ්‍යකරණය වී තිබෙනවා. මෙය ද අලුත් ප්‍රවණතාවක් නොවෙයි.

නළු නිළියන් හා වෙනත් සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ගැන තහවුරු නොවූ තොරතුරු මාධ්‍ය හරහා සංසරණය වීම කලක සිට සිදු වන්නක්. සමහර කලාකරුවන් හා චිත්‍රපට/නාට්‍ය නිෂ්පාදකයන් මේ ජන උනන්දුව සූක්ෂම ලෙස තමන්ගේ නිර්මාණ ප්‍රවර්ධනයට ද යොදා ගන්නවා.

ඕපාදූප මාධ්‍යකරණය වීම එතරම් හිතකර දෙයක් නොවෙයි. අන්තර් පුද්ගල සාමීචි කතාබහේදී හා සමාජ මාධ්‍යවල තහවුරු නොකළ තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා ගලා යාම ප්‍රකාශන නිදහසේ කොටසක්.

එහෙත් ඊට වඩා වගකීම් සහගත, ප්‍රමිතිගත තොරතුරු බෙදා හැරීමක් අප ප්‍රධාන ධාරාවේ පත්තර, ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය වලින් අපේක්ෂා කරනවා.

එහෙත් අද සිදු වන්නේ කුමක්ද? බොහෝ මහා මාධ්‍ය චූල මාධ්‍ය මට්ටමට බැස ක්‍රියා කිරීමයි.

උදාහරණයක් ලෙස දේශපාලන ඕපාදූප අද අපේ මාධ්‍යවල ප්‍රධාන අංගයක් වෙලා. සතියේ දේශපාලන විග්‍රහයන් ලෙස සති අන්ත පුවත්පත්වල පළ වන බහුතරයක් අන්තර්ගතය අතන මෙතන කසු කුසු කතා මිසක දේශපාලන න්‍යාය මත පදනම් වූ විග්‍රහයන් නොවෙයි.

මා දන්නා තරමට නම් ‘පොලිටිකල් ගොසිප්’ ප්‍රධාන ධාරාවේ පත්‍රවල මේ ආකාරයේ මූලික අංගයක් කළේ ලසන්ත වික්‍රමතුංගගේ මාධ්‍යකරණයයි. ඔහු 1990 දශකය මුලදී පටන් ගත් සම්ප්‍රදාය පසුව සෙසු බොහෝ පුවත්පත් අනුකරණය කළා.

දේශපාලකයන්ගේ කෙරුවාව හා කයිවාරු ගැන මහජනයා දැන ගත්තාට වරදක් නැහැ. එහෙත් දේශපාලන විචාර ලෙස මාධ්‍ය සිය ග්‍රාහකයන්ට සපයන්නේ එවන් ඕපාදූප හා සරල සිල්ලර කතා පමණක් නම්, හරවත් දේශපාලන සංවාදයන්ට එයින් දායකත්වයක් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

ගොසිප්වලට ලොකු ඉල්ලුමක් තිබෙන බව නම් පැහැදිලියි. දැන් දැන් සමහර පත්තරවල ගොසිප් එළිපිටම පළ කරනවා. එසේම මෙරටින් වැඩිම පිරිසක් වෙබ්ගතව කියවන වෙබ් අඩවි අතර ඉහළින් සිටින්නේ තමන් විසින්ම ‘ගොසිප් අඩවි’ යැයි හඳුන්වා ගන්නා වෙබ් අඩවි කිහිපයක්.

මේ හැරුණු කොට පුවත් වෙබ් අඩවි සමහරක් ද ඕපාදූප මට්ටමේ දුස්තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා පුවත් සේ පළ කරනවා. මහා මාධ්‍ය කළමනාකරුවන් සමහරෙක් මේවායේ ජනප්‍රියත්වය දෙස බලා තමන්ගේ මාධ්‍යත් වඩාත් එවැනි ගොසිප් මට්ටමකට ගෙන යාමට තැත් කරනු පෙනෙනවා. මෙය කනගාටුදායක ප්‍රවණතාවක්.

[මෙහිදි යළිත් වරක් වැදගත් පැහැදිලි කිරීමක් කළ යුතුයි. තමන්ගේ වෙබ් අඩවි ලිපින හරහා පළ කැරෙන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි කිසිසේත්ම සමාජ මාධ්‍ය නොවෙයි. සමාජ මාධ්‍ය වේදිකා වන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමග මේවා පටලවා නොගත යුතුයි.]

ඉතින් ගොසිප් හොඳද – නරකද? මේ ගැන සුචරිතවාදී විග්‍රහයක් මා ලබා දෙන්නේ නැහැ. අද කතා කළ දේ මෙසේ සම්පිණ්ඩනය කළ හැකියි.

  • අප සමහරුන් කැමති වුවත්, නැතත් ගොසිප්/ඕපාදූප යනු ජන සමාජයේ කිඳා බැස ගත්, පරිණාමීයව උරුම වූ චර්යා රටාවක්.
  • අන්තර් පුද්ගල මට්ටමේදීත්, සමාජ මාධ්‍යවලදීත් ගොසිප් හුවමාරුව ප්‍රකාශන නිදහසේ කොටසක් මෙන්ම එහි මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වාසි තිබෙනවා.
  • මහා මාධ්‍යවල ගොසිප් නැඹුරුව නම් අහිතකරයි. ගොසිප් අන්තර්ගතය මහා මාධ්‍යවල කතුවරුන්ට අවශ්‍යම නම් එය පැහැදිලිව ගොසිප් ලෙස ලේබල් කොට ඉදිරිපත් කිරීම වඩා හොඳයි. ඒත් එසේ කිරීම හරහා මාධ්‍ය ගැන තිබෙන මහජන විශ්වාසය තවත් පලුදු වනවා.
  • අපේ රටේ සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් දේශීය ගොසිප් ප්‍රවණතා හා ගති සොබා විද්වත්ව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ජන සන්නිවේදන ඇදුරන් මෙය හෙළා දුටු පමණට ගොසිප්වල සුජාතභාවය අහෝසි වන්නේ නැහැ.

 

 

සිවුමංසල කොලු ගැටයා #369 – අත්ත බිඳෙයි පය බුරුලෙන්: සමාජ මාධ්‍ය නියාමනයේ යුරෝපීය අත්දැකීම්

Deutsche Welle Global Media Forum (GMF), in Bonn, Germany, 11 – 13 June 2018

Trends like ultra-nationalistic media, hate speech and fake news have all been around for decades — certainly well before the web emerged in the 1990s. What digital tools and the web have done is to ‘turbo-charge’ these trends.

This is the main thrust of this week’s Ravaya column, published on 1 July 2018, where I capture some discussions and debates at the 11th Deutsche Welle Global Media Forum (GMF), held in Bonn, Germany, from 11 to 13 June 2018.

I was among the 2,000+ media professionals and experts from over 100 countries who participated in the event. Across many plenaries and parallel sessions, we discussed a whole range of issues related to politics and human rights, media development and innovative journalism concepts.

On 13 June 2018, I moderated a session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” which was organised by the Institut für Auslandsbeziehungen (ifa) or Institute for Foreign Relations, a century old entity located in Bonn. Most of the column draws on my own panel’s explorations, about which I have already written in English here: DW Global Media Forum 2018: Moderating panel on ‘Digitalization and Polarization of the Media’

L to R – Nalaka Gunawardene (moderator), Christian Humborg, Jillian York, and Curd Knupfer. [Photo courtesy DW GMF 2018]
මා සාම්ප්‍රදායික පොතේ උගතකු නොවෙයි. එහෙත් උද්‍යොගිමත්ව දැනුම ගවේෂණයට හා විචාරශීලීව ඕනෑම මාතෘකාවක් විමර්ශනයට සමත් නිසාදෝ ලොව විවිධ රටවලින් වැඩමලු, සම්මන්ත්‍රණ ආදියේ කතා කිරීමට නිතර ආරාධනා ලබනවා.

2018 ජූනි 11-13 තෙදින තුළ ජර්මනියේ බොන් නුවර පැවති ගෝලීය මාධ්‍ය සමුළුවේ (Global Media Forum) එක් සැසි වාරයක් මෙහෙය වීමට මට ඇරයුම් ලැබුණා.

2007 සිට වාර්ෂිකව පවත්වන මේ සමුළුව සංවිධානය කරන්නේ ජර්මනියේ ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතනය වන ඩොයිෂවෙල  (Deutsche Welle) විසින්.

මෙවර සමුළුවට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් 2,000 ක් පමණ මාධ්‍යවේදීන්, මාධ්‍ය කළමනාකරුවන් හා මාධ්‍ය පර්යේෂකයන් සහභාගී වුණා. මහා මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය ඇති කරන බලපෑම් හා අභියෝග ගැන විවෘතව කතාබහ කිරීමට එය හොඳ වේදිකාවක් වූවා.

අපේ සමහරුන් පොදුවේ ‘බටහිර රටවල්’ යයි කීවාට සැබෑ ලෝකයේ එබඳු තනි ගොඩක් නැහැ. බටහිරට අයත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ බොහෝ කාරණාවලදී යුරෝපීය රටවල් එකඟ වන්නේ නැහැ.

එසේම යුරෝපා සංගමය ලෙස පොදු ආර්ථීක හවුලක් යුරෝපීය රටවල් 28ක් ඒකරාශී කළත් එම රටවල් අතරද සංස්කෘතික හා දේශපාලනික විවිධත්වය ඉහළයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මෙම විවිධත්වය නිිසා නොයෙක් බටහිර රාජ්‍යයන් මාධ්‍ය ප්‍රතිපත්ති ගැන දක්වන නිල ස්ථාවරයන් අතර වෙනස්කම් තිබෙනවා. බොන් නුවරදී දින තුනක් තිස්සේ අප මේ විවිධත්වය සවියක් කර ගනිමින් බොහෝ දේ සාකච්ඡා කළා.

ලෝකයේ රටවල් කෙමෙන් ඩිජිටල්කරණය වන විට ඒ හරහා උදා වන නව අවස්ථාවන් මෙන්ම අභියෝග ගැනත් සංවාද රැසක් පැවැත් වුණා.

Mariya Gabriel, EU Commissioner in charge of Digital Economy and Society

යුරෝපා හවුලේ ඩිජිටල් ආර්ථීකයන් හා සමාජයන් පිළිබඳ කොමසාරිස්වරි වන මරියා ගේබ්‍රියල් මේ ගැන ආරම්භක සැසියේ දී හොඳ විග්‍රහයක් කළා.

පොදුවේ වෙබ් අවකාශයත්, විශේෂයෙන් ඒ තුළ හමු වන සමාජ මාධ්‍යත් මානව සමාජයන් වඩාත් ප්‍රජාතන්ත්‍රීය කිරීමට හා සමාජ අසමානතා අඩු කිරීමට බෙහෙවින් දායක විය හැකි බව පිළි ගනිමින් ඇය කීවේ මෙයයි.

”එහෙත් අද ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා බහුතරයක් මේ යහපත් විභවය සාක්ෂාත් කර ගැනීමට දායක වනවා වෙනුවට දුස්තොරතුරු (disinformation) හා ව්‍යාජ පුවත් එසැනින් බෙදා හැරීමට යොදා ගැනෙනවා. මෙය සියලු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. සමහර සමාජ මාධ්‍ය වේදිකා මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කාරියම කරනවා. එනම් කාලීන තොරතුරු එක් රැස් කිරීම හා බෙදා හැරීම. එහෙත් ඔවුන් එසේ කරන විට සංස්කාරක වගකීමක් (editorial responsibility) නොගැනීම නිසා ව්‍යාකූලතා මතු වනවා.”

ඇගේ මූලික නිර්දේශයක් වූයේ සමාජ මාධ්‍ය වේදිකා නියාමනය නොව මාධ්‍ය බහුවිධත්වය (media pluralism) ප්‍රවර්ධනය කළ යුතු බවයි.

රටක මාධ්‍ය බහුවිධත්වය පවතී යයි පිළිගන්නේ මාධ්‍ය ආයතන හා ප්‍රකාශන/නාලිකා ගණන වැඩි වූ පමණට නොවේ.

Image courtesy UNESCO

තනි හිමිකරුවකුගේ හෝ ටික දෙනකුගේ හිමිකාරීත්වය වෙනුවට විසිර ගිය හිමිකාරිත්වයන් තිබීම, අධිපතිවාදී මතවාද පමණක් නොව පුළුල් හා විවිධාකාර මතවාදයන්ට මාධ්‍ය හරහා ඇති තරම් අවකාශ ලැබීම, හා සමාජයේ කොන්ව සිටින ජන කොටස්වලට ද සිය අදහස් ප්‍රකාශනයට මාධ්‍යවල ඇති තරම් ඉඩක් තිබීම වැනි සාධක ගණනාවක් තහවුරු වූ විට පමණක් මාධ්‍ය බහුවිධත්වය හට ගන්නවා. (මේ නිර්නායක අනුව බලන විට අපේ රටේ මාධ්‍ය රැසක් ඇතත් බහුවිධත්වය නම් නැහැ.)

ඩිජිටල් මාධ්‍ය බහුල වෙමින් පවතින අද කාලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කෙතරම්  බහුවිධත්වයක් පැවතීම තීරණාත්මකද? මේ ප්‍රශ්නයට පිළිතුරු සංවාද හරහා මතු වුණා.

මේ වන විට ලොව ජනගහනයෙන් අඩකටත් වඩා ඉන්ටර්නෙට් භාවිතා කළත්, පුවත් හා කාලීන තොරතුරු මූලාශ්‍රයන් ලෙස ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවල වැදගත්කම තවමත් පවතිනවා. (පුවත් හා සඟරා නම් කෙමෙන් කොන් වී යාම බොහෝ රටවල දැකිය හැකියි.)

මේ නිසා මාධ්‍ය බහුවිධත්වය තහවුරු කරන අතර මාධ්‍ය විචාරශීලීව පරිභෝජනය කිරීමට මාධ්‍ය සාක්ෂරතාවයත් (media literacy), ඩිජිටල් මාධ්‍ය නිසි ලෙස පරිහරණයට ඩිජිටල් සාක්ෂරතාවයත් (digital literacy) අත්‍යවශ්‍ය හැකියා බවට පත්ව තිබෙනවා.

ඩිජිටල් සාක්ෂරතාවය යනු හුදෙක් පරිගණක හා ස්මාර්ට් ෆෝන් වැනි ඩිජිටල් තාක්ෂණ මෙවලම් තනිවම භාවිතා කිරීමේ හැකියාව පමණක් නොව ඩිජිටල් අන්තර්ගතයන් විචාරශීලීව ග්‍රහණය කිරීමේ හැකියාව ද එහි වැදගත් අංගයක් බව සමුළුවේ යළි යළිත් අවධාරණය කෙරුණා.

මරියා ගේබ්‍රියල් මෑත කාලයේ යුරෝපයේ කළ සමීක්ෂණයක සොයා ගැනීම් උපුටා දක්වමින් කීවේ වයස 15-24 අතර යුරෝපීය ළමුන් හා තරුණයන් අතර ව්‍යාජ පුවතක් හා සැබෑ පුවතක් වෙන් කර තේරුම් ගැනීමේ හැකියාව තිබුණේ 40%කට බවයි.

එයින් පෙනෙන්නේ යම් පිරිස් විසින් දුස්තොරතුරු සමාජගත කර මැතිවරණ, ජනමත විචාරණ හා වෙනත් තීරණාත්මක සමාජයීය ක්‍රියාදාමයන් අවුල් කිරීමේ අවදානමක් පවතින බවයි.

මෙබැවින් මාධ්‍ය සාක්ෂරතාවය හා ඩිජිටල් සාක්ෂරතාවය වැඩි කළ යුත්තේ තනි පුද්ගලයන්ගේ කුසලතා වර්ධනයට පමණක් නොවෙයි. අසත්‍යන්, අර්ධ සත්‍යන්, හා කුමන්ත්‍රණවාදී තර්ක හරහා ප්‍රජාතාන්ත්‍රීය සමාජයන් නොමඟ යැවීමටත්, ඒ හරහා රාජ්‍යයන් අස්ථාවර කිරීමටත් එරෙහිව සමාජයේ ප්‍රතිශක්තිය ගොඩ නැංවීමටයි.

මා මෙහෙය වූ සැසි වාරයේ අප මෙම සමාජයීය අභියෝගය ගැන විද්වත් මෙන්ම ප්‍රායෝගික ලෙසත් සාකච්ඡා කළා.

මගේ සැසියේ කථීකයන් වූයේ ජර්මනියේ බර්ලින් නුවර ෆ්‍රී සරසවියේ දේශපාලන විද්‍යාඥ ආචාර්ය කුර්ඩ් නුප්ෆර් (Dr Curd Knupfer), ඇමරිකාවේ ඉලෙක්ට්‍රොනික් ෆ්‍රන්ටියර් පදනමේ භාෂාණ නිදහස පිළිබඳ අධ්‍යක්ෂිකා ජිලියන් යෝක් (Jillian York) සහ විකිමීඩියා ජර්මන් පදනමේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් හුම්බොග් (Christian Humborg) යන තිදෙනායි.

Nalaka Gunawardene moderating moderated session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” at DW Global Media Forum 2018 in Bonn, 13 June 2018

සැසිවාරය අරඹමින් මා මෙසේ ද කීවා:

”වෙබ්ගත අවකාශයන් හරහා වෛරී කථනය හා ව්‍යාජ පුවත් ගලා යාම ගැන අද ලොකු අවධානයක් යොමු වී තිබෙනවා. වර්ගවාදී හා වෙනත් අන්තවාදී පිරිස් සමාජ මාධ්‍ය වේදිකා හරහා ආන්තික සන්නිවේදනය කරමින් සිටිව බවත් අප දන්නවා. එහෙත් මේ ප්‍රවනතා එකක්වත් ඉන්ටර්නෙට් සමඟ මතු වූ ඒවා නොවෙයි. 1990 දශකයේ වෙබ් අවකාශය ප්‍රචලිත වීමට දශක ගණනාවකට පෙරත් අපේ සමාජයන් තුළ මේවා සියල්ලම පැවතියා. වෙබ් පැතිරීමත් සමග සිදුව ඇත්තේ මේ ආන්තික ප්‍රවාහයන්ට නව ගැම්මක් ලැබීමයි. එනිසා දැන් අප කළ යුතුව ඇත්තේ භෞතික ලෝකයේ වුවත්, සයිබර් අවකාශයේ වුවත්, වෛරී කථනය, ව්‍යාජ පුවත් හා ආන්තික සන්නිවේදනවලට එරෙහිව සීරුවෙන් හා බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමයි. එසේ කිරීමේදී අප සැවොම ඉහළ වටිනාකමක් දෙන භාෂණයේ නිදහස රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි. අප නොරිසි දේ කියන අයටත් භාෂණ නිදහස එක සේ හිමි බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.”

එසේම තව දුරටත් ‘නව මාධ්‍ය’ හා ‘සම්ප්‍රදායික මාධ්‍ය’ හෙවත් ‘ප්‍රධාන ධාරාවේ මාධ්‍ය’ කියා වර්ගීකරණය කිරීම ද එතරම් අදාල නැති බව මා පෙන්වා දුන්නා. සමහර සමාජවල (උදා: කොරියාව, සිංගප්පූරුව) ප්‍රධාන ධාරාව බවට ඩිජිටල් මාධ්‍ය දැනටමත් පත්ව තිබෙනවා. එසේම වසර 20කට වැඩි ඉතිහාසයක් ඇති ඩිජිටල් මාධ්‍ය තව දුරටත් එතරම් අලුත් හෝ ‘නව මාධ්‍ය’ වන්නේ ද නැහැ.

ඒ නිසා ලේබල්වලට වඩා වැදගත් සමස්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණයන්ම ජන සමාජ වලට කරන බලපෑම පොදුවේ අධ්‍යයනය කිරීමයි.

සමාජ මාධ්‍ය වේදිකා හරහා නොයෙක් පුද්ගලයන් පළකරන හෝ බෙදාගන්නා (ෂෙයාර් කරන) අන්තර්ගතයන් පිළිබඳ එකී වේදිකා හිමිකාර සමාගම් කෙතරම් වගකිව යුතුද?

2018 ජනවාරි 1 වැනිදා සිට ජර්මනියේ ක්‍රියාත්මක වන නව නීතියකට අනුව සමාජ මාධ්‍ය වේදිකාවක වෛරී ප්‍රකාශ යමකු සන්නිවේදනය කෙරුවොත් පැය 24ක් ඇතුළත එය ඉවත් කිරීමේ වගකීම් අදාළ වේදිකා පරිපාලකයන්ට භාර කැරෙනවා. එසේ නොකළොත් යූරෝ මිලියන් 50 (අමෙරිකානු ඩොලර් මිලියන් 62ක්) දක්වා දඩ නියම විය හැකියි.

සද්භාවයෙන් යුතුව හඳුන්වා දෙන ලද නව නීතියේ මාස කිහිපයක ක්‍රියාකාරීත්වය කෙසේදැයි මා විමසුවා. ජර්මන් කථීකයන් කීවේ වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා මහත් සේ වෙර දැරීම තුළ වෛරී නොවන එහෙත් අසම්මත, විසංවාදී හා ජනප්‍රිය නොවන විවිධ අදහස් දැක්වීම්ද යම් ප්‍රමාණයක් ඉවත් කොට ඇති බවයි.

දේශපාලන විවේචනයට නීතියෙන්ම තහවුරු කළ පූර්ණ නිදහස පවතින ජර්මනිය වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටකට මෙම නව නීතිය දරුණු වැඩි බවත්, එය සංශෝධනය කොට වඩාත් ලිහිල් කළ යුතු බවත් මෑතදී පත්වූ නව ජර්මන් රජය පිළිගෙන තිබෙනවා.

Image courtesy Human Rights Watch

නව නීතිය යටතේ අසාධාරණ හා සීමාව ඉක්මවා ගොස් ඉවත් කරනු ලැබූ වෙබ් අන්තර්ගතයන් අතර දේශපාලන හා සමාජයීය උපහාසය පළ කරන ප්‍රකාශනද තිබෙනවා. සමාජ ප්‍රශ්නයක් ගැන ජන අවධානය යොමු කිරීමට හාසකානුකරණය (parody) පළ කිරීම සමහර හාස්‍යජනක (satire) ප්‍රකාශනවල සිරිතයි.

එහෙත් නව නීතියේ රාමුව වුවමනාවටත් වඩා තදින් ක්‍රියාත්මක කළ ට්විටර් හා ෆේස්බුක් වැනි වේදිකාවල පරිපාලකයෝ මෙවන් හාස්‍යජනක හෝ උපහාසාත්මක අන්තර්ගතයද ජර්මනිය තුළ දිස්වීම වළක්වා තිබෙනවා.

උපහාසය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ වැදගත් අංගයක්. එයට වැට බඳින නීතියක් නැවත විමර්ශනය කළ යුතු බව ජර්මන් පර්යේෂකයන්ගේ මතයයි. (සමාජ මාධ්‍ය නියාමනය ගැන මෑත සතිවල කතා කළ ලක් රජයේ සමහර උපදේශකයෝ ජර්මන් නීතිය උදාහරණයක් ලෙස හුවා දැක්වූ බව අපට මතකයි.)

අපේ සංවාදයේ එකඟ වූ මූලධර්මයක් නම් සමාජ ව්‍යාධියකට කරන නියාමන ‘ප්‍රතිකාරය’ ව්‍යාධියට වඩා බරපතළ විපාක මතු කරන්නේ නම් එය නිසි ප්‍රතිකාරයක් නොවන බවයි.

සමුළුව පැවති තෙදින පුරා විවිධ කථීකයන් මතු කළ තවත් සංකල්පයක් වූයේ ඩිජිටල් හා වෙබ් මාධ්‍ය අතිවිශාල සංඛ්‍යාවක් බිහි වීම හරහා තොරතුරු ග්‍රාහකයන් එන්න එන්නම කුඩා කොටස්/කණ්ඩායම්වලට බෙදෙමින් සිටින බවයි.

රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සංඛ්‍යාව වැඩිවීම සමග දශක දෙක තුනකට පෙර පටන් ගත් මේ කඩ කඩ වීම (audience fragmentation)  වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම සමග බෙහෙවින් පුළුල්ව තිබෙනවා.

තමන් රිසි මති මතාන්තර පමණක් ඇසිය හැකි, දැකිය හැකි වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිටු වටා ජනයා සංකේන්ද්‍රණය වීම ‘filter bubbles‘ ලෙස හඳුන් වනවා. ඍජු පරිවර්තනයක් තවම නැතත්, තම තමන්ගේ මතවාදී බුබුලු තුළම කොටු වීම යැයි කිව හැකියි. මෙවන් ස්වයං සීමාවන්ට පත් වූ අයට විකල්ප තොරතුරු හෝ අදහස් ලැබෙන්නේ අඩුවෙන්.

පත්තර, ටෙලිවිෂන් බලන විට අප කැමති මෙන්ම උදාසීන/නොකැමති දේත් එහි හමු වනවා. ඒවාට අප අවධානය යොමු කළත් නැතත් ඒවා පවතින බව අප යන්තමින් හෝ දන්නවා. එහෙත් තමන්ගේ සියලු තොරතුරු හා විග්‍රහයන් වෙබ්/සමාජ මාධ්‍යවල තෝරා ගත් මූලාශ්‍ර හරහා ලබන විට මේ විසංවාද අපට හමු වන්නේ නැහැ.

එහෙත් අපේ සංවාදයට නව මානයක් එක් කරමින් මා කීවේ ඔය කියන තරම් ඒකාකාරී මූලාශ්‍රවලට කොටු වීමක් අපේ වැනි රටවල නම් එතරම් දක්නට නැති බවයි. විවිධාකාර මූලාශ්‍ර පරිශීලනය කොට යථාර්ථය පිළිබඳ සාපේක්ෂව වඩාත් නිවැරදි චිත්‍රයක් මනසේ ගොඩ නගා ගන්නට අප බොහෝ දෙනෙක් තැත් කරනවා.

Some of the participants at session on “Digitalization and polarization of the media” at DW Global Media Forum 2018

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉන්ටර්නෙට් පර්යේෂණායතනය (Oxford Internet Institute)  2018 මාර්තුවේ පළ කළ සමීක්ෂණයකින්ද මෙබන්දක් පෙන්නුම් කරනවා. වයස 18ට වැඩි, ඉන්ටර්නෙට් භාවිත කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් 2000ක සාම්පලයක් යොදා ඔවුන් කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ තනි හෝ පටු වෙබ් මූලාශ්‍රයන්ට කොටු වීමේ අවදානම තිබුණේ සාම්පලයෙන් 8%කට පමණක් බවයි.

එනම් 92%ක් දෙනා බහුවිධ මූලාශ්‍ර බලනවා. මතු වන තොරතුරු අනුව තමන්ගේ අදහස් වෙනස් කර ගැනීමට විවෘත මනසකින් සිටිනවා.

බොන් මාධ්‍ය සමුළුවේ අප එකඟ වූයේ ජනමාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණයන් සමාජයට, ආර්ථීකයට හා දේශපාලන ක්‍රියාදාමයන්ට කරන බලපෑම් ගැන  සමාජ විද්‍යානුකූලව, අපක්ෂපාත ලෙසින් දිගටම අධ්‍යයනය කළ යුතු බවයි. ආවේගයන්ට නොව සාක්ෂි හා විද්වත් විග්‍රහයන්ට මුල් තැන දෙමින් නව ප්‍රතිපත්ති, නීති හා නියාමන සීරුවෙන් සම්පාදනය කළයුතු බවයි.

අමෙරිකානු සමාගම්වලට අයත් ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි වේදිකා සිය ජන සමාජයන්හි මහත් සේ ප්‍රචලිත වී තිබීම ගැන සමහර යුරෝපීය ආණ්ඩුවල එතරම් කැමැත්තක් නැහැ. එහෙත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට හා මානව නිදහසට ගරු කරන රාජ්‍යයන් ලෙස ඔවුන් වෙබ් වාරණයට, අනවශ්‍ය ලෙස නියාමනයට විරුද්ධයි. ලිහිල් ලෙසින්, අවශ්‍ය අවම නියාමනය ලබා දීමේ ක්‍රමෝපායයන් (light-touch regulation strategies) ඔවුන් සොයනවා.

මේ සංවාද පිළිබඳව අවධියෙන් සිටීම හා යුරෝපීය රටවල අත්දැකීම් අපට නිසි ලෙස අදාළ කර ගැනීම වැදගත්. අපේ ආදර්ශයන් විය යුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රීය රටවල් මිස දැඩි මර්දනකාරී චීනය වැනි රටවල් නොවේ.

Speakers for the DW-GMF 2018 session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public”

සමාජ මාධ්‍ය අවහිර කිරීම හා නව මාධ්‍ය භීතිකාව: 2018 මාර්තු 8 වනදා ලියූ සටහනක්

This comment on Sri Lanka’s social media blocking that commenced on 7 March 2018, was written on 8 March 2018 at the request of Irida Lakbima Sunday broadsheet newspaper, which carried excerpts from it in their issue of 11 March 2018. The full text is shared here, for the record.

සමාජ මාධ්‍ය අවහිරය ඇරඹුනාට පසුවදා, 2018 මාර්තු 8 වනදා, ඉරිදා ලක්බිම පත්‍රයේ ඉල්ලීම පිට ලියන ලද කෙටි සටහනක්. මෙයින් උපුටා ගත් කොටස් 2018 මාර්තු 11 ඉරිදා ලක්බිමේ පළ වුණා.

Sunday Lakbima 11 March 2018

සමාජමාධ්‍ය අවහිර කිරීම හා නව මාධ්‍ය භීතිකාව:

– නාලක ගුණවර්ධන

‘‘අන්න සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!

නව සන්නිවේදන තාක්ෂණයන්ට දොස් තබන්නටම බලා සිටින උදවිය යළිත් වරක් මේ දිනවල මේ චෝදනාව මතු කරනවා. මොකක්ද මෙහි ඇත්ත නැත්ත?

2018 මාර්තු 7 වනදා රජය සමාජ මාධ්‍ය කිහිපයකට තාවකාලික සීමා පැනවූවා. හේතුව ලෙස දැක්වූයේ රටේ වාර්ගික ගැටුම් ඇති කරන පිරිස් සමාජ මාධ්‍ය හරහා තම ප්‍රහාරයන් සම්බන්ධීකරණය කරන බවට සාක්ෂි ලැබී ඇති බවයි.

මේ අනුව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකා දෙකත්, WhatsApp හා Viber යන චැට් වේදිකා දෙකත් දින කීපයකට මෙරට සිට පිවිසීම අවහිර කොර තිබෙනවා. මේ නියෝගය දී ඇත්තේ ටෙලිකොම් නියාමන කොමිසමයි (TRCSL).

හදිසි අවස්ථාවක නීතිය හා සාමය රැකීමේ එක් පියවරක් ලෙස මේ තාවකාලික තහන්චිය සාධාරණීකරණය කළත්, මෙය සාර්ථක වේද යන්න සැක සහිතයි. අවහිර කරන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වේදිකාවලට අනියම් ක්‍රමවලින් හෙවත් proxy server හරහා පිවිසීමේ දැනුම සමහරුන් සතුයි.

වෛරීය ක්‍රියා සඳහා සමාජමාධ්‍ය අවභාවිත කරන අය කොහොමටත් පරිගණක තාක්ෂණය දන්නා නිසා මෙවැනි තහන්චියකින් ඔවුන් නතර කළ හැකිද යන්න රජය මෙනෙහි කළ යුතුයි.

සමාජ මාධ්‍ය අවභාවිත කරන්නේ සාපේක්ෂව සුලු පිරිසක්. උදාහරණයකට අපේ රටේ මිලියන් හයකට වැඩි දෙනකුට ෆේස්බුක් ගිනුම් ඇති අතර එයින් වෛරීය පණිවුඩ පතුරුවන්නේ හා ප්‍රහාරවලට සන්නිවේදන කරන්නේ ටික දෙනකු පමණයි.

ඔවුන් පාලනය කරන්න පොලිසියට නොහැකි වීම නිසා සමස්ත මිලියන් හයටම ෆේස්බුක් ප්‍රවේශ වීම අවහිර කරන්න පියවර අරන්.

මේ නිසා ජාතීන් අතර සහජීවනය, සමගිය හා සාමය පිලිබඳ ෆේස්බුක් හරහා වටිනා පණිවුඩ දුන් කුමාර් සන්ගක්කාර වැනි අයගේ සන්නිවේදනත් මේ මොහොතේ සමාජගත් වන්නේ නැහැ. මුස්ලිම් ජනයා රැක ගන්න පෙරට ආ සිංහලයන් ගැන තොරතුරු ගලා යාමට ක්‍රමයක් ද නැහැ.

Popular meme – one among many – condemning Social Media Blocking in Sri Lanka in early March 2018

“සමාජ මාධ්‍යකාරයෝ” කියා පිරිසක් ඇත්තටම නැහැ. ඒවා අපට වඩාත් හුරු ආකාරයේ විධිමත් ජනමාධ්‍ය නොවෙයි. ෆේස්බුක් වැනි වේදිකාවලට ගොඩ වන්නේ, ඒවායේ සේවා නොමිලයේ ලබන්නේ සාමාන්‍ය ජනයායි. බොහෝ කොටම පෞද්ගලික සාමීචි කතාවලට. විටින්විට දේශපාලන හා කාලීන වෙනත් කථාත් එහි මතු වනවා.

ඒත් සැබැවින්ම රට ගිනි තබන ජාතිවාදී, අවස්ථාවාදී මැරයෝ නම් ෆේස්බුක් තිබුණත් නැතත් තම ප්‍රචන්ඩත්වයට කෙසේ හෝ මාර්ග පාදා ගනීවි. නිසි ලෙස නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වනවා නම් මේ දාමරිකයන් අත් අඩන්ගුවට ගෙන උසාවි ගත කළ යුතුයි.

මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. ඉන්ටර්නෙට් වාරණයටත් විරුද්ධයි. බහුතරයක් අහිංසක, හිතකර සන්නිවේදන සිදුවන වේදිකාවක්, මැරයන් ටික දෙනකුද එහි ගොඩ වී නීතිවිරෝධී වැඩට භාවිත කළ පමණින් එය ගෙඩිපිටින් අවහිර කිරීම පරිනත ක්‍රියාවක් නොවෙයි.

මේ තර්කයම මොහොතකට තැපැල් සේවාවට නැතහොත් ජන්ගම දුරකථනවලට ආදේශ කළොත්? 1988-89 වකවානුවේ ජවිපෙ විසින් තර්ජනාත්මක ලිපි කීපයක් තැපෑලෙන් යැවූ නිසා සමස්ත ලියුම් බෙදිල්ලම විටින්විට නතර කළ බව අපට මතකයි.

ඒ මෝඩ ක්‍රියාවෙන් කී ලක්ෂයක් ලියුම් ප්‍රමාද වී ගොඩ ගැසුනාද? ලියුම් බෙදිල්ල නතර කළා කියා එවකට යටිබිම්ගත ප්‍රචන්ඩ දේශපාලනයක නිරතව සිටි ජවිපෙ සන්නිවේදන නතර වුණේ නැති බව නම් අපට මතකයි.

නූතන සන්නිවේදන යථාර්ථයට අනුගත වන නව පන්නයේ නියාමන ක්‍රම හා ප්‍රතිපත්තිමය ප්‍රතිචාර අපට අවශ්‍යයි. එහි විවාදයක් නැහැ එහෙත් 20 වන සියවසේ වාරණ මානසිකත්වයෙන් 21 සියවසේ වෙබ් මාධ්‍යවලට ප්‍රතිචාර දක්වන්නට බැහැ.

බ්ලොක් කළ වෙබ් සේවාවලට අනුයක් ක්‍රම මගින් මැරයෝ පිවිසෙද්දී අහිංසක ජනයා එහි යා නොහැකිව ලත වීම පමණයි සිදුවන්නේ!

සමාජ මාධ්‍ය තවමත් සාපේක්ෂව අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

තවත් සමහරුන් සමාජ මාධ්‍ය කවදාවත් තමන් භාවිත කළ අයත් නොවෙයි! එහෙන් මෙහෙන් අහුලාගත් දෙයින් විරෝධතා නගනවා!

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා. එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි.  එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

Muslim intellectual demonises Social Media as ‘even more dangerous than physical violence against muslims’: Lakbima, 11 March 2018

[Interview] “අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති උදවිය ගොඩක් ඉන්නවා!”

I have just given an interview to Sunday Lakbima, a broadsheet newspaper in Sri Lanka (in Sinhala) on social media in Sri Lanka – what should be the optimum regulatory and societal responses. The interviewer, young and digitally savvy journalist Sanjaya Nallaperuma, asked intelligent questions which enabled me to explore the topic well.

This is part of my advocacy work as a fellow of the Internet Governance Academy.

Irida Lakbima, 14 May 2017 – Interview with Nalaka Gunawardene on Social Media in Sri Lanka

විද්‍යා ලේඛක හා ස්වාධීන මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන මෙරට තොරතුරු සමාජයේ නැගී ඒම ගැන වසර විස්සකට වැඩි කලක් තිස්සේ විචාරශීලීව ලියන කියන අයෙකි. ජර්මනිය කේන්ද්‍ර කර ගත් ඉන්ටර්නෙට් නියාමනය පිළිබඳ ජාත්‍යාන්තර ඇකඩමියේ සම්මානිත පර්යේෂකයෙකි.

 ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි භාවිතය මොන වගේ තැනකද තිබෙන්නේ?

2017 ඇරඹෙන විට මෙරට ජනගහනයෙන් 30%ක් පමණ (එනම් මිලියන් 5ක් පමණ) නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරමින් සිටි බව රාජ්‍ය දත්ත තහවුරු කළා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. වෙබ්ගත වන ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයින් ලබන තොරතුරු ඔවුන් හරහා විශාල පිරිසකට සමාජගත වන නිසා.

අඩු තරමින් සමාජ මාධ්‍ය එකක්වත් භාවිත කරන අය මිලියන 3.5ක් පමණ මෙරට සිටිනවා. ෆේස්බුක් තමයි ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාව. එයට අමතරව වැනි වේදිකා හරහා ද ලක්ෂ ගණනක් අය තොරතුරු, අදහස් හා රූප බෙදා ගන්නවා (ෂෙයාර් කරනවා). මේ තමයි නූතන සන්නිවේදන යථාර්ථය.

සමාජ ජාල වෙබ් අඩවිවල පළවන දේ ලංකා සමාජයට කොතරම් බලපෑමක් කරනවාද?

වෙබ් කියන්නේ ඉතා විශාල හා විවිධාකාර අවකාශයක්. සංකල්පීය නිරවුල් බව අවශ්‍යයි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (පුවත්පත් හා සඟරා, රේඩියෝ, ටෙලිවිෂන්) ආයතනවල නිල වෙබ් අඩවි තිබෙනවා. මේ කවුද – මොනවද කරන්නෙ කියා ප්‍රකටයි. මේවා රටේ නීතිරීතිවලට අනුකූලව පවත්වා ගෙන යන ව්‍යාපාරයි. උපමිතියකින් මා මේවා සම කරන්නේ සුපර්මාකට් වගේ කියායි.

ඊළඟට වෙබ්ගතව පමණක් පවතින ආයතනගත වූ මාධ්‍ය තිබෙනවා. සමහරක් මේවා රට තුළත් අනෙක්වා රටින් පිට සිටත් පවත්වා ගෙන යනවා. සැවොම ලියාපදින්චි වීත් නැහැ (එසේ කිරීම මෙරට කිසිදු නීතියකින් අනිවාර්ය නැති නිසා). මේවායේ පූර්ණකාලීනව නියැලෙන අය සිටිනවා. කතුවරුන් ප්‍රකාශකයන් සමහර විට ප්‍රකට නැහැ. මගේ උපමිතියට අනුව මෙවන් වෙබ් අඩවි තනිව ඇති කඩ සාප්පු වගේ. මේවා සමාජ මාධ්‍ය නොවේ!

ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා කැරෙන තොරතුරු, අදහස් හා රූප හුවමාරු ඉහත කී දෙවර්ගයටම වඩා වෙනස්. මෙවන් වේදිකාවලට ඕනැම කෙනකුට නොමිළේ බැඳිය හැකියි. ඉහළ පරිගණක දැනුමක් ඕනැ නැහැ. යම් බසකින් ටයිප් කරන්න නම් දැනගත යුතුයි. මේවා මහජන සන්නිවේදන වේදිකා මිස ආයතනගතව හෝ වෘත්තීය මට්ටමින් කැරෙන මාධ්‍ය නොවෙයි. මගේ උපමිතියට අනුව කලබලකාරී පොලක කැරෙන ඝෝෂාකාරී ගනුදෙනු වගෙයි.

සමාජ මාධ්‍ය ගැන කථා කරන බොහෝ දෙනා මේ තුන පටලවා ගන්නවා. අප නිරවුල්ව ප්‍රශ්න විග්‍රහ කිරීම ඉතා වැදගත්. වෙබ් අවකාශයේ අපට හමු වන “සුපිරි වෙළඳසැල්”, “කඩ” හා “පොල” යන තුනේම වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. ඒවා ගැන හරිහැටි දැනගෙන තමයි ගොඩවිය යුත්තේ!

ලංකාවේ අපි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නේ ඇබ්බැහියක් විදියටද?

ඕනැම සමාජයක නව තාක්ෂණයකට, නව මාධ්‍යයකට සීමාන්තිකව සමීප වන සුළුතරයක් සිටිය හැකියි. ඒ අයට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. එහෙත් බහුතරයකට එසේ ඇලී ගැලී සිටින්නට කාලයත් නෑ. අසීමිතව දත්ත භාවිතයට වියදම් කරන්නත් බෑ!

Facebook වැනි ලංකාවේ ප්‍රචලිත සමාජ මාධ්‍යවල පළවන දෑ කොතරම් සත්‍යතාවයකින් යුතු දේද?

දිනපතා හුවමාරු වන තොරතුරු, අදහස් හා රූප /විඩියෝ කන්දරාව අතර හැම විදියේම දේ තිබෙනවා. ආ ගිය කතා, සතුටු සාමීචි, දේශපාලන වාද විවාද, සමාජ හා ආර්ථික කතා මෙන්ම අන්තවාදී ජාතිවාදය හෝ ආගම්වාදය පතුරුවන අන්තර්ගතයන් ද හමු වනවා.

මේවා සත්‍ය හෝ අසත්‍ය විය හැකියි. නැතිනම් ඒ දෙක අතර දෝලනය විය හැකියි. විචාරශීලීව මේවා ග්‍රහණය කරන්න අපේ බොහෝ දෙනා නොදන්න නිසා තමයි ප්‍රශ්න මතු වන්නේ. අපේ රටේ සයිබර් සාක්ෂරතාවය තාමත් පහලයි. කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධ ගෙඩිපිටින් විශ්වාස කොට එය බෙදා ගන්නා (ෂෙයාර් කරන) පිරිස වැඩි එනිසයි.

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් (Fake News) ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද ද තිබෙනවා. “ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති” බවට මීට සති කීපයකට පෙර පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයක්.

එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ‘share’ වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු වීසා ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.

සමහර මෙවන් ප්‍රබන්ධ අහිංසක වින්දනයක් ගෙන දිය හැකි වුවත් සෞඛ්‍යය හා අධ්‍යාපනය වැනි කරුණු අලලා ගොතන බොරු කථාවලින් සමාජ හානි සිදු වන්නට පුළුවන්.

 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බරවා පරීක්ෂා කිරීමට කටයුතු කරන විට ඒඩ්ස් බෝ කරන ලේ පරීක්ෂාවක් යැයි විශාල මතවාදයක් පැතිර ගියේ ඇයි?

සෞඛ්‍යය ගැන බොහෝ දෙනා සැළකිලිමත්. එනිසා බොරු ප්‍රචාර පතුරුවන්නොත් එයට අදාල වන්නට වැර දරනවා. රටේ එක් ජාතියක පිරිමි හා ගැහැණුන් පමණක් වඳ කරන්න ගන්නා “උත්සාහයන්” ගැන මෙන්ම HIV/AIDS ගැනත් බොරු භීතිකා විටින්විට යම් පිරිස් පතුරුවනවා. සමාජ මාධ්‍ය වේදිකාවල ස්වභාවය අනුව කවුරු කොතනින් පටන් ගත්තා ද යන්න සොයා ගැනීම අති දුෂ්කරයි. මේවා පැතිර යාම හැකි තාක් අවම කර ගැනීම තමයි අපට කළ හැක්කේ. එසේ නැතිව වාරණ, තහන්චි හෝ බ්ලොක් කිරීම අපරිණත ක්‍රියාවක්.

එවැනි තොරතුරු සොයා බැලීමකින් තොරව හුවමාරු කරගැනීම පෙළඹෙන්නේ ඇයි?

අපේ පොතේ උගතුන් බොහෝ දෙනකු පවා අභව්‍ය යමක් කියා රවටන්න ලෙහෙසියි. ලක් සමාජයේ ජනප්‍රිය “නවීන බිල්ලෝ” හදා ගෙන තිබෙනවා. විදෙස් රහස් ඔත්තු සේවා, වතිකානුව, ඉන්දීය රජය, බහුජාතික සමාගම් වැනි යමක් ඈඳා ගනිමින් කුමන හෝ අභව්‍ය කථාවක් ගොතා මුදා හැරියොත් දිගට හරහට පැතිරෙනවා.

කටකථා වගේ තමයි. අද සමාජ මාධ්‍ය හරහා කටකථාවලට උත්තේජක හෙවත් “ස්ටීරොයිඩ්” ලැබෙනවා වගේ වැඩක් වෙනවා.

අපේ රටේ වෙබ් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි පිවිසෙන්නේ ස්මාට්ෆෝන් හෝ වෙනත් ජංගම උපාංග හරහායි. බොහෝ විට කඩිමුඩියේ. සංශයවාදීව, දෙතුන් වතාවක් සිතා බලා යම් තොරතුරක් ග්‍රහණය කර ගන්න ඉස්පාසුවක් දුවන ගමන් සමාජ මාධ්‍යවලට පිවිසෙන බොහෝ දෙනාට නෑ.

එවැන්නක් කරන්නේ සමාජ මාධ්‍ය භාවිතයට තරම් ලංකාවේ සමාජය දියුණු නැති නිසාද?

මා නිතර කියන පරිදි අපේ රටේ සයිබර් සාක්ෂරතාවය තාමත් පහලයි.  අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති උදවිය ගොඩක් ඉන්නවා! මේක ව්‍යක්ත ලෙස සන්නිවේදනය වන අවස්ථාවක් මම පසුගියදා ෆේස්බුක් තුළම දැක්කා. එහි තිබුණේ මෙයයි: “ෆේස්බුක් එකේ share වන හැම මගුලම ඇත්ත කියා ගන්න එපා!” යැයි “1802 ජූනි 16 වනදා මහනුවර මගුල් මඩුවේදී” ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියයි. දැන් අපේ සමහර මිනිස්සු ඕකත් ඇත්ත කියලා share කරනවා!

උපහාසයෙන්වත් අපේ විචාරශීලී වෙබ් භාවිතය හා සයිබර් සාක්ෂරතාවය වැඩි කර ගත යුතුයි. මෙය දිගු කාලීන වැඩක්. ඉක්මන් විසඳුම් මෙවන් සමාජ ප්‍රශ්නවලට නැහැ.

මේ විදියට අසත්‍ය ප්‍රචාර ප්‍රචලිත කිරීමට සමාජ ජාල භාවිතා කිරීමේ ඉදිරි ප්‍රවනතාවයන් මොන වගේ වෙයිද

තවත් උපමිතියකින් විග්‍රහ කරනවා නම් ෆේස්බුක් වේදිකාව  හරියට ගාලුමුවදොර පිටිය වගේ. පොදු, විවෘත අවකාශයක්. එතැනට යන අය ජාතික ගීය කියනවාද, බැති ගී කියනවාද, පෙම් ගී කියනවාද, හූ කියනවාද යන්න පුද්ගලයා මත තීරණය වන්නක්.

සමහර විට එක් අයෙක් පටන් ගත්තාම අවට ඉන්න ටික දෙනෙක් හොඳ හෝ නරක යමකට එක් වනවා. එයට වෙනස් ප්‍රතිචාරද තිබිය හැකියි. සමහරුන් කිසිවක් නොකියා, වික්ෂිප්තව ඔහේ බලා සිටීවි. තවත් අයෙක් ‘ඔහෙලාට ඔල්මාදයද මේ වගේ හූ කියන්න’ කියා එයට අභියෝග කරාවි.

අපට සමාජ මාධ්‍යවල උදක්ම ඕනෑ කරන්නේ භාවිත කරන ප්‍රජාව තුළින්ම සදාචාරත්මක, ධනාත්මක සන්නිවේදන සඳහා ඉල්ලුම වැඩි කිරීමටයි. හූ කියන අය කොතැනත් සිටිය හැකියි. එහෙත් ඒ අය කොන් වෙනවා නම් දිගටම එසේ කරන එකක් නැහැ.

“සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම ඕනෑ” යයි කෑමොර දෙන උදවියට මා කියන්නේ මුලින්ම සමාජ මාධ්‍ය මොනවාදැයි තේරුම් ගන්න කියායි. ගාලුමුවදොර පිටියට ආචාරධර්ම රාමුවක් නිර්දේශ කරනු වෙනුවට එහි යන එන අය අශීලාචාර හැසිරීම්වලින් වළක්වා ගන්න තැත් කිරීමයි වැදගත්. මෙය පොලිසිය, දණ්ඩන පනවා කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

අසත්‍ය පළවීම් හමුවේ සමාජ ජාල ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට අප කටයුතු කළ යුත්තේ කෙසේද?

සයිබර් සාක්ෂරතාව වැඩි කර ගැනීම හා භාවිත කරන ප්‍රජාව තුළින්ම ප්‍රමිතීන් (user community standards) ගොඩ නගා ගැනීම තමයි හොඳම මාර්ගය. සමාජ මාධ්‍ය තුළ අති බහුතරයක් සන්නිවේදන ප්‍රයෝජනවත් හා හරවත් ඒවා බව අමතක නොකරන්න.

එසේම සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන සන්නිවේදන ඉතා වැදගත් සමාජීය මෙහෙවරක් ඉටු කරනවා. වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) අප දිගටම පවත්වා ගත යුතුයි.

මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට හා මාධ්‍ය ලොක්කන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි. ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටනවා කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!

සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ තම දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්. මෙයින් මා කියන්නේ  ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.

 

සිවුමංසල කොලූගැටයා #276: අසාර්ථක වූ තුර්කි කුමන්ත්‍රණයෙන් මතු වන නවීන සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (appearing in the print issue of 24 July 2016), I discuss the role of new communications technologies and social media during the coup d’état that was attempted in Turkey against the government on the night of on 15 July 2016.

The attempt was carried out by a faction within the Turkish Armed Forces that organized themselves under a council called the Peace at Home Council. Reasons for its failure have been widely discussed.

Citizen resistance to Turkey coup on 16 July 2016 - wire service photos
Citizen resistance to Turkey coup on 16 July 2016 – wire service photos

As Zeynep Tufekci, an assistant professor at the University of North Carolina School of Information and Library Science, described in a New York Times op-ed on 20 July 2016: “In the confusing hours after the coup attempt began, the country had heard from President Recep Tayyip Erdogan — and even learned that he was alive — when he called a television station via FaceTime, an easy-to-use video chat app. As the camera focused on the iPhone in the anchor’s hand, the president called on the people of Turkey to take to the streets and guard the airports. But this couldn’t happen by itself. People would need WhatsApp, Twitter and other tools on their phones to mobilize. The president also tweeted out the call to his more than eight million followers to resist the coup.”

She added: “The journalist Erhan Celik later tweeted that the public’s response had deterred potential coup supporters, especially within the military, from taking a side…Meanwhile, the immediacy of the president’s on-air appeal via FaceTime was an impetus for people to take to the streets. The video link protected the government from charges that it was using fraud or doctoring — both common in the Turkish news media — to assure the public that the president was safe. A phone call would not have worked the same way.”

I discuss the irony of a leader like Erdogan, who has been cracking down on independent media practitioners and social media users, had to rely on these very outlets in his crucial hour of need.

I echo the views of Zeynep Tufekci for not just Turkey but other countries where autocratic rulers are trying to censor the web and control the media: “The role of internet and press freedoms in defeating the coup presents a significant opportunity. Rather than further polarization and painting of all dissent as illegitimate, the government should embrace real reforms and reverse its censorship policies.”

See also: How the Internet Saved Turkey’s Internet-Hating President

Photo from The Daily Beast
Photo from The Daily Beast

කුමන හෝ හේතුවක් නිසා රටක දේශපාලන බලය බලහත්කාරයෙන් අත්කර ගැනීමට එරට හමුදාවට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

එහෙත් විටින් විට ලෝකයේ විවිධ රටවල හමුදා කුමන්ත්‍රණ සිදුවනවා. දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය හා පාකිස්ථානය මේ අමිහිරි අත්දැකීම් රැසක් ලබා තිබෙනවා.

යුරෝපය හා ආසියාව හමු වන තැන පිහිටි තුර්කියේ මීට දින කීපයකට පෙර අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණයට මා අවධානය යොමු කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් එහි වැදගත් භූමිකාවක් ඉටු කළ නිසායි.

නව මාධ්‍යයන් හරහා කුමන්ත්‍රණයට එරෙහිව මහජනයා පෙළ ගැස්වීමට එරට නායකයා සමත් වුණා. විශාල අවි හා සෙබල බල පරාක්‍රමයක් සතු හමුදාවක් ජන බලය හා සන්නිවේදන හැකියාව හරහා ආපසු බැරැක්කවලට යැවීමට හැකි වීම විමසා බැලිය යුතු සංසිද්ධියක්.

කුමන්ත්‍රණය මාස ගණනක් සිට සූක්ෂ්ම ලෙසින් සැලසුම් කරන ලද බව හෙළි වී තිබෙනවා. රටට සාමය සඳහා සභාව (Peace at Home Council) ලෙසින් සංවිධානය වූ තුර්කි හමුදාවේ කොටසක් තමයි මේ උත්සාහයේ යෙදුණේ.

එහි අක්මුල් තවමත් හරිහැටි පැහැදිලි නැහැ. එහෙත් 2016 ජූලි 15-16 දෙදින තුළ ඔවුන් රටේ බලය අල්ලා ගන්නට ප්‍රචණ්ඩව තැත් කළා.

තුර්කි ජනාධිපති රෙචෙප් ටයිප් අර්ඩොගන් (Recep Tayyip Erdoğan) කෙටි නිවාඩුවකට අගනුවරින් බැහැරව, මර්මාරිස් නම් පිටිසර නිවාඩු නිකේතනයේ සිිටියා. ජූලි 15-16 මධ්‍යම රාත්‍රියට ආසන්නව යුද්ධ ටැංකි එරට අගනුවර අන්කාරා, විශාලතම නගරය වන ඉස්තාන්බුල් හා තවත් ප්‍රධාන නගරවලට ඇතුළු වුණා. ප්‍රහාරක ගුවන් යානා පහළින් පියාසර කළා.

තම බලය පෙන්වීමට හමුදා කුමන්ත්‍රණකරුවෝ කිහිප පොළක ප්‍රහාර දියත් කළා. රටේ පාර්ලිමේන්තු මන්දිරයට හා ජනාධිපති මැදුරට හානි සිදු කෙරුණා.

කුමන්ත්‍රණකරුවන්ගේ එක් ඉලක්කයක් වූයේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීමයි. එහෙත් කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ඔහුගේ ආරක්ෂක පිරිස ඔහු නැවතී සිටි නිවාඩු නිකේතනයෙන් රහසිගත තැනකට ගෙන ගියා.

මැදියම් රැය පසු වූ විගස රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් (TRT) ආයතනයට ඇතුලු වූ හමුදා පිරිසක්, එහි සිටි නිවේදකයන්ට ප්‍රකාශයක් කියවන මෙන් බලකර සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය හා නිර්ආගමික පාලනය රටේ යළි ස්ථාපිත කිරීමට හමුදාව බලය පවරා ගන්නා බව එහි සඳහන් වුණා. තාවකාලිකව මාෂල් නීතිය ක්‍රියාත්මක කරන බවත්, නව ව්‍යවස්ථාවක් ළඟදීම හඳුන්වා දෙන බවත් හමුදා කුමන්ත්‍රණකරුවෝ රටට ප්‍රකාශ කළා.

The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe
The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe

පාන්දර 3.10 වනවිට තමන් රටේ සමස්ත පාලන බලය සියතට ගෙන ඇති බව කුමන්ත්‍රණකරුවන් ලොවට කීවත් එය එසේ වූයේ නැහැ. ජනාධිපති අර්ඩොගන් හා අගමැති බිනාලි යිල්දිරිම් (Binali Yıldırım) ඒ තීරණාත්මක අලුයම පැය කිහිපයේ තීක්ෂණ ලෙසින් සිය ප්‍රතිරෝධය දියත් කළා.

හමුදා කුමන්ත්‍රණකරුවන් දේශපාලනික හා සම්ප්‍රදායික රාජ්‍ය මාධ්‍ය මර්මස්ථාන මුලින් ඉලක්ක කළ නමුත් නව සන්නිවේදන තාක්ෂණයන් හා නව මාධ්‍ය ගැන අවධානයක් යොමු කළේ නැහැ. පළපුරුදු හා සටකපට දේශපාලකයකු වන තුර්කි ජනාධිපතිවරයා මේ දුර්වලතාව සැනෙකින් වටහා ගත්තා.

තුර්කිය විශාල රටක්. ලෝක බැංකු දත්තවලට අනුව එරට මිලියන 80කට ආසන්න ජනගහනයෙන් බාගයකට වඩා (58%) ඉන්ටනෙට් භාවිත කරනවා. මෙයින් බහුතරයක් ස්මාට්ෆෝන් හිමිකරුවන්. 2015 අග වනවිට එරට ජංගම දුරකථන සක්‍රීය ගිණුම් මිලියන 73ක් තිබුණා.

හමුදා කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ජනාධිපතිවරයා තමාට හිතවත් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන තක්සේරු කරන අතරම සන්නිවේදන ජාල හරහා තුර්කි ජනයා වෙත ආයාචනා කිරීමට තීරණය කළා. මේ සඳහා අවශ්‍ය වූ ව්‍යාපාරික සබඳතා හා තාක්ෂණික දැනුම ඔහුගේ කාර්ය මණ්ඩලය සතුව තිබුණා.

සියල්ල පාන්දර යාමයේ සිදු වුණත් ඉක්මනින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ජනාධිපතිගේ හිතවත් පිරිස දැන සිටියා.

කුමන්ත්‍රණකරුවන් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා, ටෙලිකොම් සමාගම් හෝ සමාජ මාධ්‍ය ජාල සියතට ගැනීමට මුල් වටයේ කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. මහජන ඡන්දයෙන් පත්වූ තම රජය රැක ගන්නට වීදි බසින්න යැයි ජනාධිපතිවරයා මේ මාධ්‍ය හරහා යළි යළිත් ඉල්ලා සිටියා.

මුලින්ම රටේ සියලුම ජංගම දුරකථන ග්‍රාහකයන් වෙත කෙටි පණ්වුඩයක් යවමින් ජනපති අර්ඩොගන් කීවේ හැකි සෑම අයුරකින්ම කුමන්ත්‍රණයට විරෝධය දක්වන්න කියායි.

NINTCHDBPICT000252431176

ඒ අනුව ඉස්ලාම් බහුතර (96.5%) එරටෙහි ආගමික ස්ථාන ලවුඩ්ස්පීකර් හරහා විශේෂ යාඥා විසුරු වන්නට පටන් ගත්තා. අවේලාව නොබලා බොහෝ ජනයා වීදි බැස්සා.

ප්‍රධාන නගරවල වීදිවලට පිරුණු ජනයා බහුතරයක් පාලක පක්ෂයේ අනුගාමිකයන් වුවද සියලු දෙනා එසේ වූයේ නැහැ. කොතරම් අඩුපාඩු හා අත්තනෝමතික හැසිරීම් තිබුණද බහුතර ඡන්දයකින් පත් වූ රජයක් පෙරළීමට හමුදාවට කිසිදු වරමක් හෝ අවසරයක් නැතැයි විශ්වාස කළ අයද එහි සිටියා.

තුර්කියේ හමුදාව යනු බලගතු ආයතනයක්ග එම හමුදාව රාජ්‍ය පාලනයට මැදිහත් වීමේ කූප්‍රකට ඉතිහාසයක් තිබෙනවා. 1960 මැයි මාසයේ, 1971 මාර්තුවේ හා 1980 සැප්තැම්බරයේ හමුදා කුමන්ත්‍රණ සාර්ථක වී මිලිටරි පාලන බිහි වුණා. 1995දී ඡන්දයෙන් පත් වූ හවුල් රජයට 1977දී හමුදාව ‘නිර්දේශ’ ගණනක් ඉදිරිපත් කොට ඒවා පිළි ගන්නට බලපෑම් කළා. මේ මෑත ඉතිහාසය ජනතාවට මතකයිග

තුර්කි රාජ්‍යය නිර්ආගමිකයි (secular state). එහෙත් මෑත කාලයේ ඉස්ලාමීය දේශපාලන පක්ෂ වඩාත් ජනප්‍රිය වීම හරහා රාජ්‍ය පාලනයේ ඉස්ලාමීය නැඹුරුවක් හට ගෙන තිබෙනවා.

හමුදාව මෙයට කැමති නැහැ. ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශිත පරිදි රාජ්‍යය තව දුරටත්  නිර්ආගමික විය යුතු බවත්, ඉස්ලාම්වාදීන් බලගතු වීම සීමා කළ යුතු බවත් හමුදාවේ මතයයි. මෙය මතවාදී අරගලයකට සීමා නොවී දේශපාලන බල අරගලයකට තුඩු දී තිබෙනවා. 2016 කුමන්ත්‍රණයේ පසුබිම සංකීර්ණ වුවද ආගමික-නිර්ආගමික ගැටුමද එහි එක් වැදගත් සාධකයක්.

කුමන්ත්‍රණකරුවන් නිවාඩු නිකේතනයට පහර දීමට කලින් එතැනින් පලා ගිය ජනාධිපති අර්ඩොගන්, සැඟවී නොසිට  හිරු උදා වන විට එරට විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ඉස්තාන්බූල් ගුවන් තොටුපළට සිය නිල ගුවන් යානයෙන් පැමිණියා. මැදියම් රැයේ ටික වේලාවකට කුමන්ත්‍රණකාරීන් අත්පත් කර ගත් ගුවන් තොටුපළ ඒ වන විට යළිත් හිතවත් හමුදා අතට පත්ව තිබුණා.

ගුවන් තොටුපළේ සිට මාධ්‍යවේදියකුගේ ස්මාට්ෆෝන් එකක් හරහා ජනාධිපතිවරයා එරට පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක් වූ CNN Turkට සජීව ලෙසින් සම්බන්ධ වුණා.

‘ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න නගරවල වීදි හා චතුරස්‍රවලට එක් රොක් වන්න. මේ කුමන්ත්‍රණකරුවන් අපට ඉක්මනින් ඉවත් කළ හැකි වේවි. ඔවුන්ට නිසි පිළිතුර දෙන්න ඕනෑ අපේ මහජනතාවයි’ ඔහු ආයාචනා කළා.

කුමන්ත්‍රණකරුවන් නොසිතූ විලසින් මේ පණිවුඩ ඉතා ඉක්මනින් එරට ජනයා අතර පැතිර ගියා. ෆේස්බුක්, ට්විටර් හා අනෙක් සමාජ මාධ්‍ය ජාල මෙයට මහත් සේ දායක වුණා.

මේ අතර ජනපති කාර්ය මණ්ඩලය සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනපතිවරයා ආරක්ෂිත බවත්, ඔහු කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව කරන අරගලයට ඍජුව නායකත්වය දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍යවලට හා විදෙස් රටවලට දැනුම් දුන්නා.

හමුදාව බලය ඇල්ලීමට තැත් කිරීම කෙතරම් තුර්කි වැසියන් කුපිත කළාද කිවහොත් සමහර ස්ථානවල යටත් වූ කුමන්ත්‍රණකාමී හමුදා සෙබලුන් හා නිලධාරීන්ට සාමාන්‍ය ජනයා වට කර ගෙන පහර දෙනු ලැබුවා. ඔවුන් ප්‍රසිද්ධ නිග්‍රහවලට ලක් වුණා.

CncnmhQXEAApKN0

යම් අවස්ථාවක කුමන්ත්‍රණකරුවන් CNN Turk පෞද්ගලික නාලිකාව නිහඬ කිරීමට ද තැත් කළා. ඇමරිකානු CNN මාධ්‍ය ජාලය හා තුර්කි සමාගමක් හවුලේ කරන මේ නාලිකාව හමුදා බලපෑම් ප්‍රතික්ෂේප කළා. දිගටම සිය සජීව විකාශයන් කර ගෙන ගියා.

කුමන්ත්‍රණය දියත් කොට පැය 24ක් ගතවීමට පෙර රටේ පාලන බලය යළිත් ඡන්දයෙන් පත් වූ රජය යටතට මුළුමනින්ම ගැනීමට ජනපති-අගමැති දෙපළ සමත් වුණා.

ඉන් පසුව කුමන්ත්‍රණයට සම්බන්ධ දහස් ගණනක් හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අය අධිකරණ ක්‍රියාදාමයකට ලක්වනු ඇති. මේ බොහෝ දෙනකු නොමඟ ගිය හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ හිතවත් පරිපාලන නිලධාරීන් බව පසුව හඳුනාගනු ලැබුවා.

කුමන්ත්‍රණය අසාර්ථක වීමට හේතු දේශපාලන විචාරකයෝ තවමත් සමීපව අධ්‍යයනය කරනවා. ඔවුන් පිළිගන්නා එක් දෙයක් තිබෙනවා. 20 වන සියවසේ බොහෝ අවස්ථාවල විවිධ රටවල සාර්ථක වූ බලය ඇල්ලීමේ ආකෘතියක් මෙවර තුර්කියේදී ව්‍යර්ථ වූයේ 21 වන සියවසේ සන්නිවේදන තාක්ෂණයන් නිසා බවයි.

‘කුමන්ත්‍රණකරුවන් පොතේ හැටියට සියල්ල සැලසුම් කොට ක්‍රියාත්මක වුණා. රාජ්‍ය නායකයා අගනුවරින් බැහැරව සිටි, සිකුරාදා රැයකයි ඔවුන් බලය අල්ලන්න තැත් කළේ. ඒත් ඔවුන්ගේ අවාසියට ඔවුන් භාවිත කළ වට්ටටෝරුව යල් පැන ගිහින්.’ යයි ඉස්තාන්බුල් නුවර පර්යේෂකයකු වන ගැරත් ජෙන්කින්ස් කියනවා.

මේ සමස්ත සිදුවීම් දාමයේ ඉතාම උත්ප්‍රාසජනක පැතිකඩ මෙයයි. සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි කියමින් ඒවා හෙළි දැකීමට හා විටින් විට ඒවා බ්ලොක් කිරීමට පුරුදුව සිටි අර්ඩොගන් ජනපතිවරයාට තීරණාත්මක මොහොතේ ඒවා ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වීමයි.

මේක ඇත්තටම කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වීමේ කතාවක්.

A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency
A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency

2003-2014 කාලයේ තුර්කි අගමැතිව සිටි අර්ඩොගන් 2014දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ප්‍රකාශිත ඡන්දවලින් 51.79%ක් ලබමින් ජය ගත්තා. ඔහු තමා වටා විධායක බලය කේන්ද්‍ර කර ගනිමින්, විපක්ෂවලට හිරිහැර කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා නැගෙනවා. මාධ්‍ය නිදහසට හා පුරවැසියන්ට ප්‍රකාශන නිදහසටත් ඔහුගේ රජයෙන් නිතර බාධා පැමිණෙනවා.

නිල මාධ්‍ය වාරණයක් හා නොනිල මාධ්‍ය මර්දනයක් පවත්වා ගෙන යාම නිසා තුර්කිය ජාත්‍යන්තර ප්‍රජාවේ හා මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටින රටක්.

තමන්ගේ අධිපතිවාදය ප්‍රශ්න කරන, විකල්ප මතවලට ඉඩ දෙන දෙස් විදෙස් මාධ්‍ය අර්ඩොගන් සලකන්නේ සතුරන් ලෙසයි. එහෙත් රාජ්‍ය මාධ්‍ය පැය කිහිපයකට ඔහුගේ පාලනයෙන් ගිලිහී ගිය විට ඔහුගේ උදව්වට ආවේ ඔහු නිතර දෙස් තබන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය හා විදෙස් මාධ්‍යයි.

2014දී ඔහු නව නීතියක් හඳුන්වා දුන්නේ ඕනෑම මොහොතක වෙබ් අඩවි බ්ලොක් කිරීමේ බලය රජයට පවරා ගනිමින්.

එසේම අර්ඩොගන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නෙක්. සමාජ මාධ්‍යවලට නිතර දෙවේලේ බැණ වදින ඔහු තමාගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් පවත්වා ගෙන යනවා. ට්විටර් නිල ගිණුමට මේ වන විට මිලියන 8කට වඩා අනුගාමිකයන් සිටිනවා. කුමන්ත්‍රණය දිග හැරෙන අතර සිය ජනයාට හා ලෝකයට කතා කරන්නට ඔහු ට්විටර් ගිණුමද යොදා ගත්තා.

මේ දෙබිඩි හැසිරීම අපේත් එක්තරා හිටපු පාලකයෙක් සිිහිපත් කරනවා!

කුමන්ත්‍රණයට එරෙහිව අර්ඩොගන් රජයට උපකාර වූ තවත් සාධකයක් පසුව හෙළි වුණා. කුමන්ත්‍රණය ඇරඹී ටික වේලාවකින් එරට ප්‍රධානම ජංගම දුරකථන ජාලය සියලුම ග්‍රාහකයන්ට නොමිලයේ දත්ත සම්ප්‍රේෂණ පහසුකම් ලබා දුන්නා. නූතන දේශපාලන ක්‍රියාකාරකම්වලදී ටෙලිවිෂන් හා රේඩියෝවලට වඩා ටෙලිකොම් සේවාවන් වැදගත් වන බව මේ හරහා අපට පෙනී යනවා.

කුමන්ත්‍රණයේ සන්නිවේදන සාධකය විග්‍රහ කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයට ජූලි 20 වනදා ලිපියක් ලියූ තුර්කි සම්භවය සහිත ඇමරිකානු සරසවි ඇදුරු සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) මෙසේ කියනවා.

‘කුමන්ත්‍රණය පරදවන්න ස්වාධීන මාධ්‍ය හා වෙබ්ගත නව මාධ්‍ය ලබා දුන් දායකත්වය ජනපති අර්ඩොගන් අගය කළ යුතුයි. දැන්වත් මාධ්‍ය වාරණය, මර්දනය හා නවමාධ්‍ය හෙළා දැකීම නතර කොට ප්‍රකාශන නිදහසට ගරු කරන දේශපාලන ප්‍රතිසංස්කරණවලට යොමු විය යුතුයි… ස්වාධීන මාධ්‍යයන් හා විවෘත ඉන්ටර්නෙට් සංස්කෘතියක් පැවතීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට මහත් සවියක් බව මේ අත්දැකීමෙන් අපට හොඳටම පෙනී යනවා.’

How the Internet Saved Turkey’s Internet-Hating President

People stand on a Turkish army tank in Ankara on July 16 - Reuters
People stand on a Turkish army tank in Ankara on July 16 – Reuters

සිවුමංසල කොලූගැටයා #258: සමාජ මාධ්‍ය මොනවාදැයි නොදැන ඉබාගාතේ දොස් කියන්නෝ

Social media bashing is a popular sport among media critics and others in Sri Lanka. Sadly, some have no clear idea what social media is (and isn’t), thus conflating this category of web content with others like news websitea and gossip websites.

In this week’s Ravaya column (appearing in issue of 21 February 2016), I try to explain this basic categorization along with a brief history of the web and web 2.0. I also reiterate the basic user precautions for social media users where the motto us: user beware!

Digital futures

“බලන්න මේ සමාජ මාධ්‍යකාරයන්ගේ කසි කබල් ගොසිප්වල හැටි! මාධ්‍ය ආචාර ධර්ම රකින්නෙ කොහොමද මේ රොත්ත එක්ක?”

මෑතදී එසේ මට කීවේ අප අතර සිටින ප්‍රවීන හිටපු පත්‍ර කතුවරයෙක්. ඔහු එයට උදාහරණ ලෙස ඕපාදූප පළ කරන ජනප්‍රිය දේශීය පුවත් වෙබ් අඩවි කිහිපයක නම් කීවා. එහෙත් ඉන් එකක්වත් සමාජ මාධ්‍ය (social media) නොවෙයි.

සමාජ මාධ්‍ය හෙවත් වෙබ්ගත සමාජ ජාලවලට දොස් පැවරීම දැන් විලාසිතාවක් වෙලා. රටේ සිදු වන ළමා අපචාර, ලිංගික අපරාධ, සිය දිවි නසා ගැනීම් මෙන් ම, තමන් නොරිසි ප‍්‍රතිඵල ගෙන දෙන දේශපාලන පෙරළිවලදී පවා සමහරුන් වගකීම පවරන්නේ ෆේස්බුක් ප‍්‍රධාන සමාජ මාධ්‍යවලටයි.

2015 අග වන විට ෆේස්බුක් ගිණුම් මිලියන් 1,500ක් පමණ ලොව රටවල් 150කට වැඩි සංඛ්‍යාවක විසිරුණු ජනයා විසින් අරඹා තිබුණා. මේ අතර ලාංකිකයන් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් මිලියන් 3ක් පමණ ද තිබෙනවා.

“අපේකම” නැති කිරීමේ සූක්ෂම විජාතික කුමන්ත‍්‍රණයක කොටසක් ලෙසත් සමහරුන් සමාජ මාධ්‍ය දකිනවා. පිටරටින් ආ දෙයක් නිසාත්, බටහිර රටවලින් පැන නැගුණු නිසාත් ෆේස්බුක් සැක කරන අය අතර නිරතුරු එහි සැරිසරන උදවිය මෙන්ම කිසිදා එහි නොගිය, එය කුමක්දැයි හරිහැටි නොදන්නා අයත් සිටිනවා.

සමාජ මාධ්‍යවලට මෙතරම් බිය වන්නේත්, දොස් තබන්නේත් ඇයි? මේ භීතිය නියෝජනය කරන්නේ ගතානුගතිකත්වය හා නූතනත්වය අතර සදාකාලික ගැටුම ද?

අලූතෙන් නැතිනම් සාපේක්ෂව මෑතදී මතුව ආ සන්නිවේදන තාක්ෂණයන් හා මාධ්‍යයන් කරුණු විමසීමකින් පවා තොරව, ගෙඩි පිටින් හෙළා දැකීම අපේ සමහරුන්ගේ සිරිතයි. චිත‍්‍රකතා, ටෙලිවිෂන්, ජංගම දුරකථන, ඉන්ටර්නෙට් වැනි හැම රැල්ලකට ම එරෙහිව අවිචාරශීලී විරෝධතා එල්ල වුණා. මේ සම්ප‍්‍රදායේ අලූත්ම ඉලක්කය වී ඇත්තේ වෙබ්ගත සමාජ මාධ්‍යයි.

16 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

 28 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

සමාජ මාධ්‍ය මොනවා ද කියා හරිහැටි නොදන්නා හෝ නිරවුල් අවබෝධයක් නැති අයත් මෙසේ විවේචන එල්ල කිරීම හාස්‍යජනකයි. එවන් අය අතර පොතේ උගත්තු, පූජකයන් සහ ජන මතය හසුරුවන චරිතයන් ද සිටිනු දැකීම ඛේදජනකයි.

වෙබ් අවකාශය ගැන විවේචනයක යෙදීමට පෙර අඩු තරමින් එහි මූලික ගති සොබා හා එතුළ හමු වන අන්තර්ගතයේ මුල් පෙළේ වර්ගීකරණය ගැන මූලික වැටහීමක් හෝ තිබීම වැදගත්.

ගෙවී ගිය 2015 වසරේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන්, සරසවි සිසුන්, මාධ්‍යවේදීන් ඇතුලූ ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට සමාජ මාධ්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන්නට මා දේශන පැවැත්වූවා. ඔවුන් සමග කළ සංවාද වලින් හෙළි වූයේ නිතර දෙවේලේ සමාජ මාධ්‍ය භාවිත කරන සමහරුන්ට පවා ඒවායේ සීමා පරාසයන් ගැන හරි වැටහීමක් නොමැති බවයි.

වෙබ් (World Wide Web) කියන්නේ ඉන්ටර්නෙට් අවකාශයේ අන්තර්ගතයන් (හුදෙක් අංක හා සංකේතවලට සීමා නොවී) රූපමය ආකාරයෙන් බැලිය හැකි, කතු කළ හැකි පහසුකමටයි. 1969 සිට සීමිත මිලිටරි හා පර්යේෂක භාවිතයන් සඳහා ඉන්ටර්නෙට් ජාල ගොඩ නැගුණත් එය පුළුල්ව සමාජගත වීමට උදවු වුණු වෙබ් පහසුකම නිපදවනු ලැබුවේ 1989දී.

එතැන් පටන් ටිකෙන් ටික ලෝක ව්‍යාප්ත වූ වෙබ් අවකාශයට මුදල් ගෙවා ලබාගන්නා ගිණුමක් හරහා සම්බන්ධ වීමේ හැකියාවේ ශී‍්‍ර ලංකාවේ උදා වූයේ 1995දී. ඒ අනුව ඉන්ටර්නෙට් මෙරටට පැමිණ දැන් වසර 21ක් පිරීමට ආසන්නයිග

මුල් වසර කිහිපයේ වෙබ් සබඳතාවල වේගය ඉතා අඩු වූ නිසා අකුරුවලින් ඔබ්බට ගිය රූප, ශබ්ද හා වීඩියෝ ආදියට ප‍්‍රවේශ වීමට හැකි වූයේ නැහැ. මේ තත්ත්වය ටිකෙන් ටික හොඳ අතට පෙරැලූනේ 2004 පමණ පටන් පුළුල්පථ (Broadband) ඉන්ටර්නෙට් සේවා ව්‍යාප්ත වීමත් සමගයි.

ඒ අනුව වඩාත් විචිත‍්‍ර වෙබ් අන්තර්ගතයන්ට පිවිසීමටත්, ඒවා බෙදා ගන්නටත් හැකි වූවා. ඒ සමගම අන්තර් කි‍්‍රයාකාරීත්වය වැඩි වීමටත්, භාවිත කිරීමේ ලෙහෙසිය ඉහළ යාටමත් පටන් ගත්තා.

සමාජ මාධ්‍ය ලෙස පොදුවේ හඳුන්වන වෙබ් භාවිතයන් ප‍්‍රචලිත වීම ඇරඹුණේ පුළුල්පථ සේවා පැතිරීමත් සමගයි. ඒ අනුව Facebook 2004දීත්, YouTube 2005දීත් ක්ෂුද්‍ර පණිවුඩ හුවමාරුවක් ලෙස Twitter 2006දීත් අප අතරට ආවා.

Social-Media-for-Marketing

මුලදී ටික දෙනෙකු පමණක් සම්බන්ධ වූ මේ නොමිලයේ ලැබෙන සමාජ මාධ්‍ය සේවාවන් වඩාත් ජනපි‍්‍රය වුයේ සිංහල හා දෙමළ භාෂා වලින් ද ඒවායේ අන්තර්ගතය කියැවීමට හා ලිවීමට හැකි වූ පසුයි.

සමාජ මාධ්‍ය බිහි වී සීඝ‍්‍රගාමීව පරිනාමය වන අතරේ එයට සමාන්තරව වෙනත් වෙබ් ප‍්‍රවණතා ද ඉදිරියට ගියා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ පුවත්පත් සිය වෙබ් අඩවි බිහි කිරීම පටන් ගත්තේ 1995 සැප්තැම්බරයේ (ඬේලි නිවුස් හා සන්ඬේ ඔබ්සවර් පත‍්‍රවලින්). මේ වන විට වෙබ් හරහා පමණක් පුවත් ආවරණය කරන, පුවත් වෙබ් අඩවි ගණනාවක් බිහිව තිබෙනවා. LBO, Asian Mirror, Lanka eNews ඇතුලූ මෙබඳු පුවත් වෙබ් අඩවි රැසක් තිබෙනවා.

මේවා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතින් සම්පාදනය කැරෙන, ව්‍යාපාරික මට්මින් පළ කැරෙන මාධ්‍ය ගොන්නටම වැටෙනවා. එකම වෙනස ඔවුන් පළ කිරීමට යොදා ගන්නා මාධ්‍යය පමණයි.

මෙම පුවත් වෙබ් අඩවි හෝ එම ආකෘතියම අනුකරණය කරමින් බිහිව ඇති ගොසිප් ( ඕපාදූප) වෙබ් අඩවි හෝ කිසිසේත්ම සමාජ මාධ්‍ය ගණයට වැටෙන්නේ නැහැ. මේ සංකල්පීය නිරවුල් බව ඉතා වැදගත්.

සමාජ මාධ්‍ය භාවිත කරන මිලියන් ගණනක් ලක් ජනයා අතරින් ටික දෙනකු කරන මෝඩ වැඩ හෝ අසැබි වැඩ නිසා සමස්ත සමාජ මාධ්‍යවලටම (වැඩිපුරම ෆේස් බුක් එකට) දොස් පවරන්නේ ඇයි?

පත්තරයක්, ටෙලිවිෂන් හෝ රේඩියෝ සේවාවක් නීති විරෝධී හෝ සදාචාර විරෝධී යමක් කළොත් එහි වගකීම දරන්නට හා දොස් අසන්නට නිශ්චිත හිමිකරුවන්, කළමනාකරුවන් හා කතුවරුන් සිටිනවා. එහෙත් සමාජ මාධ්‍ය යනු එවන් ජන මාධ්‍යයක් නොව සන්නිවේදන වේදිකාවක් පමණයි.

Texts, Internet and Social Media - gifts from God, says Pope, 22 Jan 2016
Texts, Internet and Social Media – gifts from God, says Pope, 22 Jan 2016

සයිබර් සංකල්ප විස්තර කිරීමට මා ඇතැම් විට භෞතික ලෝකයේ උපමිතීන් යොදා ගන්නවා.

ගාලූ මුවදොර පිටියට ගොස් ජනකායක් මැද කිසිවකු මුහුදට පැන දිවි නසා ගත හොත් පිටියට පරිපාලන වශයෙන් වග කියන ආයතනය එම කි‍්‍රයාවට දොස් අසන්නේ නැහැ.

කි‍්‍රකට් තරගයක් නරඹන තිස් දහසක් පේ‍්‍රක්ෂකයන් අතරින් එක් අමනයෙක් පිටියට දුම් බෝම්බයක් වීසි කළොත් පිටියේ පරිපාලකයින් එයට වගකිව යුතු යයි කිසිවකු නොකියනු ඇති.

සමාජ මාධ්‍ය ද මෙසේ විසල් හා විවිධ ජනකායක් ගැවසෙන ස්ථානයි. එම සයිබර් වේදිකා පරිපාලනය කරන ෆේස්බුක් වැනි සමාගම්වලට හැක්කේ තාක්ෂණකිව මනා ලෙස කි‍්‍රයා කරන, සයිබර් ප‍්‍රහාර වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අවකාශයක් පවත්වා ගැනීමයි. එයින් ඔබ්බට එම වේදිකාවට ගොඩ වන සෑම අයකුම කියන හෝ බෙදා ගන්නා හෝ වචන, රූප හා වීඩියෝ බිලියන් ගණනක් නිරතුරු නිරීක්ෂණය කිරීමට ඔවුන්ට නොහැකියි.

සමාජ මාධ් භාවිත කරන අපටත් යම් වගකීම් තිබෙනවා. බහුතරයක් දෙනා සිය වගකීම් ඉටු කළත් ඉඳහිට එසේ නොකරන අයකුගේ අමන කිරයාවකින් සමස්ත වේදිකාව අවමානට ලක් වනවා.

සමාජ මාධ්‍ය නියාමනය කරන්නැයි ඇතැම් දෙනා රජයට ඉල්ලීම් හා බලපෑම් කරනවා. ඒවා යහපත් අරමුණින් කරනවා විය හැකි නමුත් මේ සංසිද්ධිය ගැන නිරවුල් අවබෝධයකින් තොරව හා ආවේගශීලීව කරන බව පෙනෙනවා.

සමාජ මාධ්‍ය කි‍්‍රයාත්මක වන්නේ ගෝලීය මට්ටමින්. ඒවා හිමි සමාගම් යම් රටක නීති රාමුව තුළ ලියාපදිංචිව සිටිනවා. උදාහරණයකට ෆේස්බුක් හා ට්විටර් වේදිකා අයත් සමාගම් අමෙරිකාවේ ලියාපදිංචි සමාගම්. එරට සමාගම් දැඩි නීති හා නියාමන රාමුවකට නතු වනවා. වංචනික ව්‍යාපාරික කි‍්‍රයා හෝ අයථා ඒකාධිකාරයන් ගොඩනංවා ගැනීම ආදිය ගැන එරට නීති තන්ත‍්‍රය තදින් සිටිනවා. යුරෝපීය රටවල ලියාපදිංචි සන්නිවේදන සමාගම් සඳහා ද මෙයට සමාන නීති හා නියාමන පද්ධතියක් බල පවත්වනවා.

එසේම මේ ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවක අප ගිණුමත් අරඹන විට ඔවුන්ගේ කොන්දේසි ගණනාවකට අප අනුගත වන බවට එකඟවීමට සිදු වනවා. බොහෝ දෙනකු මේ කොන්දේසි නොකියවා ම එයට එකඟ වී ගිණුම් අරඹනවා. සමාජ මාධ්‍ය හරහා තමන් හුවමාරු කර ගන්නා අන්තර්ගතය නීතිමය හා සදාචාරාත්මක රාමුවක් තුළ තිබිය යුතුය යන්න මේ කොන්දේසි හරහා පුළුල්ව කියැවෙනවා.

එතැනින් ඔබ්බට පළ කරන හෝ හුවමාරු හෝ අදහස්, රූප, ශබ්ද ඛණ්ඩ හා වීඩියෝ ආදිය එකින් එක විමර්ශනයට ලක් කැරෙන්නේ නැහැ. එසේ කිරීමට බැරි තරම් අති විශාල අන්තර්ගතයක් හැම පැයකම මේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

එසේම ලොව විවිධ භාෂා වලින් නිර්මිත මේ අන්තර්ගතයන් කියවා තේරුම් ගැනීම සමාජ මාධ්‍ය පරිපාලනය භාරව සිටින තාක්ෂණෙවීදීන්ට ලෙහෙසියෙන් හැකි දෙයක් ද නොවෙයි.

භාෂණයේ හා කථනයේ නිදහස ඉහළින් අගය කරන පරිනත සමාජයන්ගේ එම නිදහස වගකීමකින් යුතුව භාවිත කරනු ඇතැයි විශ්වාසයක් ද තිබෙනවා. ඉඳහිට මේ විශ්වාසය කඩ වූවත්, බහුතරයක් අවස්ථාවල එසේ වන්නේ නැහැ.

මේ නිසා මහජනයා නිරායාසයෙන් සැක කිරීම, ආවේක්ෂණයට ලක් කිරීම ආදිය පරිණත රජාතන්තරවාදයක් ඇති රටවල කරන්නේ හේතු සාධක ඇති අවස්ථාවලදී, නිසි අධිකරණ අධීක්සණයක් යටතේ පමණයි.

සමාජ මාධ්‍ය ජාල යනු සයිබර් අවකාශයේ සැරිසරන ජනයා මුණ ගැසී ඩිජිටල් වශයෙන් සාමීචි හා හුවමාරු කර ගන්නා වේදිකායි. මේ වේදිකාවලට පිවිසෙන අප සැමටත් අපේ ආරක්ෂාව ගැන යම් වගකීමක් තිබෙනවා.

ඒ වගකීම මුළුමනින් ම රජයට හෝ වේදිකා පරිපාලකයන්ට හෝ පවරා ඔහේ ඉබාගාතේ සැරිසරන්නට අපට ඉඩක් නැහැ. එසේ කිරීම හරියට දිවා රාතී‍්‍ර නොතකා මුදල් රැසක් අතැතිව, ආභරණ පැළඳගෙන ප‍්‍රසිද්ධ උද්‍යානයක ඇවිද යාමක් වගෙයි.

සමාජ මාධ්‍ය මා සම කරන්නේ ජනයාගෙන් පිරී ඉතිරුණු පොළකටයි. පොළේ අනේකවිධ දේ අලෙවි කැරෙනවා. කලබලය, ඝෝෂාකාරී බව අධික වෙතත්, අලූත් එළවළු, පළතුරු හා වෙනත් එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය හොඳ මිලකට ගන්නට බොහෝ දෙනකු පොළට එනවා.

පොළට පිවිසෙන පාරිභෝගිකයකු මෙන් ම වෙළෙන්දකු ද තම පසුම්බිය හා අනෙකුත් දේ ප‍්‍රවේශම් කරගත යුතුයි. එසේම මිලට ගන්නා විට හොඳ හැටි සොයා බලා එය කළ යුතුයි. සාධාරණ වෙළඳුන් අතර හොරට කිරණ, බාල බඩු විකුණන වෙළඳුන් ද සිටිය හැකියි. එසේම පාරිභෝගිකයන් සේ සැරිසරන සමහරුන් ගැට කපන්නන් වීමට ද හැකියි.

පොළ පවත්වන භූමිය පලාත් පාලන ආයතනයකින් වෙන් කරනු ලැබූවක් විය හැකි අතර, එයට අවශ්‍ය යම් මූලික ආරක්ෂාවක් පොලිසියෙන් සමහර විට සැපයෙනු ඇති. එහෙත් පොළට පිවිසෙන හැමගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමට රජයටවත්, පොලිසියටවත් බැහැ. එයට තම තමන්ගේ පෞද්ගලික වගකීමක් ද පවතිනවා.

සමාජ මාධ්‍ය වේදිකාවල තත්ත්වයන් මීට වඩා බෙහෙවින් සමානයි. නොසැළකිල්ලෙන් සැරිසරන්නෝ යම් ඇබැද්දි වලට මුහුණ දිය හැකියි.

උදාහරණයකට තම ගිණුමේ මුරපදය (password) අන් අයට සොයා ගත හැකි ලෙස තැබුවහොත් ගිණුමට අනවසරයෙන් පිවිසී හානි කිරීමට ඉඩක් තිබෙනවා. අපේ රටේ බොහෝ ෆේස්බුක් ආරවුල් හට ගන්නේ මිතුරන් හෝ පෙම්වතුන් ලෙස මුරපද බෙදා ගෙන සිට, විරසක වූ පසු එය අවභාවිත කොට ගිණුමට කඩාකප්පල්කාරී කි‍්‍රයා කිරීම නිසයි.

රටේ සෑම දෙනා ම පොළට යන්නේ නැති බවත් අප දන්නවා. එහි ගාලගෝට්ටිය, රස්නය හා තදබදය නොකැමැත්තෝ වායුසමීකරණය කළ සුපර්මාකට්වලට යනවා. මිල සහ අලූත් බවේ වෙනසක් තිබිය හැකියි. එහෙත් වඩාත් විවේකීව හා සැප පහසුවෙන් තමන්ගේ බඩු තෝරා මිලට ගත හැකියි.

සමාජ මාධ්‍යවල දෙනෝදාහක් දෙනා සමග ගැවසීමට නොකැමැති නම් වෙනත් වෙබ් අඩවි හරහා තම තොරතුරු අවශ්‍යතා සම්පාදනය කර ගත හැකියි. එහෙත් තම මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු ගැවසෙන්නේ ෆෙස්බුක්හි නම් වෙන තැනකට යන්නෝ තරමක් හුදෙකලා වනවා.

ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි හරියට සුපර්මාකට් වගේ. වෙබ් හරහා පමණක් පළ කරන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි, තනි කඩ සාප්පු වගේ. මේවායේ සහ පොළ අතර වෙනස අප දන්නවා. මේ උපමිතිය හරහාවත් සමාජ මාධ්‍ය අන් වෙබ් කොටස් සමග පටලවා නොගන්න!

Supermarket, shop or streetside fair? The choice is yours!
Supermarket, shop or streetside fair? The choice is yours!

See also:

26 April 2014: සිවුමංසල කොලූගැටයා #165: සමාජ මාධ්‍ය ලක් සමාජයේම කැඩපතක්

29 June 2014: සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

 

සිවුමංසල කොලූගැටයා #257: 21 වන සියවසේ අපේ මාධ්‍ය පරිභෝජන රටා වෙනස් වන සැටි

CPA Study on consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka - Jan 2016
CPA Study on consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka – Jan 2016

In this week’s Ravaya column (appearing in issue of 14 February 2016), I discuss key findings of the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka. It was launched on 27 January 2016 by the non-profit research and advocacy group, the Centre for Policy Alternatives (CPA).

The report draws on a survey of 1,743 randomly selected men and women, interviewed in Sinhala or Tamil language during June-July 2015. They were asked about mobile phone use and web access. The survey was conducted by Social Indicator, CPA’s survey research unit.

As the launch media release noted, “From the use of Facebook to smartphones, from news on TV to news via SMS, from how information read digitally is spread to others who are offline, the report offers insights into how content is produced, disseminated and discussed in Sri Lanka’s most densely populated province and home to the country’s administrative and business hubs.”

I was one of the launch speakers, and my presentation was titled: Information Society is Rising in Sri Lanka: ARE YOU READY?

Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo
Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo

අපේ රටේ වඩාත්ම පුළුල්ව භාවිත වන සන්නිවේදන මාධ්‍යය කුමක්ද?

විටින් විට සරසවිවලදී හා වෙනත් මහජන සභාවන්හිදී මා කරන දේශනවලදී මේ ප‍්‍රශ්නය මතු කරනවා. සභාවේ සිටින අයගේ දැනුම හා ආකල්ප ගැන හොඳ ඉඟියක් ඔවුන් මෙයට පිළිතුරු දෙන ආකාරයෙන් මට ලද හැකියි.

නිවැරදි පිළිතුර රේඩියෝ බවට තර්ක කරන අය මට තවමත් හමු වනවා. ඔවුන්ගේ දැනුම දශක එක හමාරකට වඩා පැරණියි.

වසර 2000 පමණ වන තුරු මෙරට නිවෙස්වල බහුලවම හමු වූයේ රේඩියෝ යන්ත‍්‍ර බව ඇත්තයි. එහෙත් ඉනික්බිති ටෙලිවිෂන් යන්ත‍්‍ර එම තැන හිමි කර ගත්තා.

වසර තුනකට වරක් නිවාස 25,000ක පමණ විශාල දීපව්‍යාප්ත නියැදියක් හරහා රජයේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කරන ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණවල ප‍්‍රතිඵල හරහා මෙය මනාව තහවුරු වනවා.

මෙවන් රාජ්‍ය සමීක්ෂණයකින් මතු වන සොයා ගැනීම් පවා සමහරුන් ප‍්‍රශ්න කරනවා. ‘සමීක්ෂණවලින් මොනවා සොයා ගත්තත් අපේ ගම්වල තාමත් වැඩි දෙනෙක් භාවිත කරන්නේ රේඩියෝව තමයි’ කියමින් රොමැන්ටික් ලෝකවල ජීවත් වන අය සිටිනවා.

2012 ජන සංගණනයේදී එක් ප‍්‍රශ්නයක් වූයේ නිවසේ තිබෙන සන්නිවේදන මෙවලම් ගැනයි. මුළු රටම සමීක්ෂාවට ලක් කළ මෙයින් හෙළි වූයේ රටේ නිවෙස්වල දැන් වැඩිපුරම ඇති සන්නිවේදන මෙවලම ජංගම දුරකතනය බවයි. (78.9%). එයට ආසන්නව දෙවැනි තැන ගන්නේ ටෙලිවිෂන් (78.3%). රේඩියෝව ලබා ඇත්තේ තෙවන ස්ථානයයි (68.9%).

මේ සංඛ්යා ලේඛන වාර්ෂිකව වෙනස් වනවා. අලූත්ම දත්ත හා විශ්ලේෂණ හරහා අපේ දැනුම යාවත්කාලීන කර ගැනීම ඉතා වැදගත්. නැතිනම් පිළුණු වූ දැනුම හරහා වැරදි නිගමන හා රොමාන්ටික් තර්කවලට එළැඹීමේ අවදානමක් තිබෙනවා.

සන්නිවේදන තාක්ෂණයන් හා සේවාවන් සමාජයක ප‍්‍රචලිත වීම ගැන රාජ්‍ය පර්යේෂණායතනවල සමීක්ෂණ හා අලෙවිකරණ දත්ත හරහා යම් අවබෝධයක් ලද හැකියි. මෙය මා දකින්නේ සන්නිවේදනයේ සැපයුම් පැත්ත (supply side of communications) හැටියටයි.

එහෙත් මෙහි ඉල්ලූම් පැත්ත හෙවත් ජන සමාජයේ විවිධ පුද්ගලයන් මේවා කිනම් භාවිතයන් සඳහා යොදා ගන්නවාද යන්න විමර්ශනය කිරීම වඩාත් අසීරුයි (demand side). එවන් ගවේෂණවලදී කිසිදු සන්නිවේදන මාධ්‍යයක් ගැන පූර්ව මතයක් හෝ නිගමනයක් හෝ තබා නොගෙන විවෘත මනසකින් තොරතුරු එක් රැස් කිරීම අත්‍යවශ්‍යයි.

මෙරට බස්නාහිර පළාතේ වැසියන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය හා නව මාධ්‍ය භාවිත කරන සැටි ගැන කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල ජනවාරි 27දා නිකුත් වුණා. සමීක්ෂණය කළේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයට (Centre for Policy Alternatives, CPA) අනුයුක්ත ජනමත විමසීම් අංශය වන Social Indicator ආයතනයයි. මෙහි ප්‍රතිඵල සන්නිවේදනයට සම්බන්ධ සැමගේ අවධානයට ලක් විය යුතුයි.

බස්නාහිර පළාත මේ සමීක්ෂණයට යොදා ගැනීම තේරුම් ගත හැකියි. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 43%ක් දායක කරන මේ පළාත වැඩියෙන්ම ජනගහනය, මාධ්‍ය කර්මාන්ත හා තාක්ෂණ භාවිතය සංකේන්ද්‍රණය වී ඇති ප‍්‍රදේශයයි. එසේම ආදායම් මට්ටම් ද සාපේක්ෂව වැඩි නිසා නව තාක්ෂණයන් හා වෙළෙඳපොළ ප‍්‍රවණතා මුලින් ප‍්‍රචලිත වන්නේත් මේ පළාතේයි.

බස්නාහිර පළාත තුළ මාධ්‍ය භාවිතය අධ්‍යයනයෙන් දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ඒ ගැන ඉදිරි ප‍්‍රවණතා ගැන ඉඟියක් ලද හැකියි. මෙවන් සමීක්ෂණ දීපව්‍යාප්තව කිරීමට CPA අදහස් කරනවා.

2015 ජුනි-ජූලි වකවානුවේ ක්ෂේත‍්‍ර දත්ත එකතු කළ මේ සමීක්ෂණයට බස්නාහිර පළාත පුරාම විහිදුණු පුද්ගලයන් 1,743ක් සම්බන්ධ කරගනු ලැබුවා. සමීක්ෂණයට සහභාගි වන්නන් තෝරා ගැනීමට නිර්ණායක දෙකක් යොදා ගත්තා. එනම් ඔවුන් ජංගම දුරකතන භාවිත කිරීම හා ඉන්ටර්නෙට් පරිශීලනය කිරීමයි.

සිංහල හෝ දෙමළ බසින් සමීක්ෂකයන් අසන ප‍්‍රශ්නාවලියකට පිළිතුරු සටහන් කර ගත් අතර පිරිමි 55.8%ක් හා ගැහැනු 44.2%ක් සහභාගි වූවා. ඔවුන් තෝරා ගනු ලැබුවේ අලෙවිකරණ සමීක්ෂණ (market research) කිරීමේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව අහඹු ලෙසයි.

කාලීන තොරතුරු දැන ගැනීමට හා ඒවා අන් අය සමග බෙදා ගැනීමට කුමන සන්නිවේදන මාධ්‍ය භාවිත කරනවාද යන්න මෙහිදී සොයා බැලූණා. සමීක්ෂණයට සම්බන්ධ වූවන්ගෙන් අති බහුතරයක් (97.4%) එදිනෙදා පුවත් ගැන අතිශයින් හෝ තරමක් දුරට හෝ උනන්දුවක් දක්වන බව කීවා.

ඔවුන් බහුතරයකගේ වඩාත්ම ජනප‍්‍රිය පුවත් මූලාශ‍්‍රය වූයේ පෞද්ගලික ටෙලිවිෂන් සේවාවන්. ඉන් පසු වැඩිපුරම සඳහන් කෙරුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හා සෙසු ඉන්ටර්නෙට් ප‍්‍රභවයන්.

මෙම පිළිතුරු වයස් කාණ්ඩ අනුව විග‍්‍රහ කළ විට වයස 18-24 පරාසයේ අයට නම් වඩාත්ම ප‍්‍රමුඛ පුවත් මූලාශ‍්‍රය වූයේ ෆේස්බුක්. දෙවැනි තැනට පුද්ගලික ටෙලිවිෂන් හා තෙවැනි තැනට සෙසු ඉන්ටර්නෙට් ප‍්‍රභවයන්.

පුවත්වල විශ්වසනීයත්වය ගැන ද ප‍්‍රශ්න කරනු ලැබුවා. ප‍්‍රතිචාරකයන් 63.1%ක් කීවේ විශ්වාස කළ හැකි පුවත් ප‍්‍රභවයන් එකකට වඩා තමන් දන්නා බවයි. සියලූ පුවත් මාධය තමන්ට එක හා සමාන බව කී 25.3%ක්ද කිසිදු මාධ්‍යයක් විශ්වාස නොකළ 10%ක්ද සිටියා.

සමීක්ෂණයට පාත‍්‍ර වූ අයගෙන් 50%ක්ම කීවේ ගෙවී ගිය වසර තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ ඉන්ටර්නෙට් හරහා හෝ තමන් දැන ගත් සමාජයීය හෝ දේශපාලනික තොරතුරක් ගැන තමන් වැඩිදුර සොයා බැලූ හා දැනුවත් වූ බවයි.

එවන් තොරතුරක් ගැන කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තාදැයි අසනු ලැබුවා. එහිදී ඉන්ටර්නෙට් හරහා ලද තොරතුරක් ගැන ක‍්‍රියාත්මක වූ සංඛ්‍යාව 22.9%ක් වූ අතර, ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයකින් ලද තොරතුරක් නිසා යම් පියවරක් ගත් සංඛ්‍යාව මුළු නියැදියෙන් 20.8%ක් වුණා.

කුමක්ද මේ ක‍්‍රියාමාර්ගය? 61.5%ක් දෙනා පවුලේ අය හා හිතමිතුරන් දැනුවත් කිරීමට ඉන්ටර්නෙට් හරහා ලද තොරතුරු යොදා ගෙන තිබෙනවා. ඒ අතර 16.5%ක් දෙනා වෙබ්ගත සංවාදවලට සහභාගි වී තිබෙනවා.

මේ සොයා ගැනීම ඉතා වැදගත්. 2015 ජූනි නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) නිල දත්තවලට අනුව මෙරට සමස්ත ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මිලියන 4.3යි. සමහර ගිණුම් එක් අයකුට වඩා භාවිත කරන නිසා ඉන්ටර්නෙට් පරිශීලනය කරන සංඛ්‍යාව මිලියන 6ක් හෝ ජනගහනයෙන් 28%ක් පමණ යැයි අපට ඇස්තමේන්තු කළ හැකියි.

Hand holding a cell phone under social media icons on blue background Vector file available.

මෙය තවමත් සංඛ්‍යාත්මකව සුළුතරයක් බව ඇත්තයි. එහෙත් ඉහත සොයා ගැනීම තහවුරු කරන පරිදි ඉන්ටර්නෙට් ඍජුව භාවිත කරන අය ලබා ගන්නා තොරතුරු හා අදහස් ඔවුන් විසින් තම තමන්ගේ සමීපතයන් හා පෞද්ගලික ජාලයන් සමග බෙදා ගැනෙනවා. මේ හරහා වෙබ්ගත අන්තර්ගතය එහි සෘජුව නොගැවසෙන විශාල පිරිසක් අතරට ද කාන්දු වනවා.

විශේෂයෙන් ගුරුවරුන්, මාධ්‍යවේදීන්, පර්යේෂකයන් වැනි අයගේ තොරතුරු විකාශය කිරීමේ (information amplification) විභවය ඉහළයි. ගමක හෝ ප‍්‍රජාවක එක් අයකු ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් පිවිසීම කළොත් කාලීන තොරතුරු එම ගමටම ගලා යාමේ හැකියාව ඉහළයි.

ඉන්ටර්නෙට් සුළුතරයකගේ සුපිරි මාධ්‍යයක්ය කියමින් එය ගැන එතරම් නොතකන පණ්ඩිතයන් නොදකින යථාර්ථය මෙයයි!

CPA සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 77.3%ක්ම ඉන්ටර්නෙට් පිවිසියේ තම ස්මාට්ෆෝන් හරහා. මෙය දීපව්‍යාප්ත TRC සංඛ්‍යා ලේඛනය වන 83%ට සමීපයි.

අලූත් තොරතුරක් ලද විට එය බෙදා ගැනීම මානව ගති සොබාවක්. මේ පුරුද්දට ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් භාවිතය හරහා ලොකු තල්ලූවක් ලැබෙනවා.

සිත් ගන්නා පුවතක් හෝ ලිපියක් හෝ ඊමේල් මගින් ලදහොත් එය අන් අය සමග ත්‍බදා ගන්නට කැමති බව සමීක්ෂණයේ ප‍්‍රතිචාරකයන් 55.9%ක් කියා තිබෙනවා. ඒ සඳහා ඊමේල් (23.6%), සමාජ මාධ්‍ය (18.4%) හෝ ඒ දෙකම (13.9%) යොදා ගන්නවා.

වැදගත් හෝ සිත් ගන්නා යමක් ඔබේ ජංගම දුරකතනයට ලැබුණොත් කුමක් කරනවාද? මේ ප‍්‍රශ්නයට 24.2%ක් දෙනා කීවේ එක්කෝ කෙටි පණිවුඩයක් (SMS) හෝ ක්ෂණික පණිවුඩ යෙදුමක් (Instant Messaging, IM) හරහා බෙදා ගන්නා බවයි. 16.6% කීවේ එම තොරතුර සමාජ ජාල හරහා ‘ෂෙයාර්’ කරන බවයි. මේ දෙකම කරන බව කී පිරිස 16.2%ක් ද සිටියා.

මෙසේ පුළුල්ව බෙදා ගැනීමේ හොඳ නරක දෙකම තිබෙනවා. සමබර තොරතුරු මෙන්ම අසත්‍ය හෝ අන්තවාදී තොරතුරු ද ඉක්මනින් පැතිර යා හැකියි.

ප‍්‍රතිචාරකයන් 37.2%ක් කීවේ යම් පුවතක් ඍජුව වෙබ් අඩවියක පළ වී තිබී දැන ගන්නවාට වඩා එම පුවතම මිතුරන්/සහෘදයන් මගින් ඊමේල් හෝ සමාජ මාධ්‍ය හෝ හරහා ලද හොත් තමන් එය වඩාත් විශ්වාස කරන බවයි.

එසේම 51.1%ක් දෙනා කීවේ මින් පෙර තමන් කිස්සේත් විශ්වාස නොකළ පුවතක්, තම මිතුරකු විසින් සමාජ මාධ්‍යයක් හරහා බෙදා ගත් විට එම පුවත ගැන මුලින් දැක්වූ අවිශ්වාසය පසෙක ලා තමන් එය නැවත සලකා බැලිය හැකි බවයි.

මෙසේ සහෘදයන් විසින් යමක් ෂෙයාර්කිරීම හරහා එහි විශ්වසනීයත්වය වැඩි කර ගැනීම ඉන්ටර්නෙට් මාධ්‍ය පුරාම දැකිය හැකි ප‍්‍රවණතාවක්.

මාධ්‍ය අන්තර්ගතයේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත් අංගයක්. මෑතක් වන තුරු එය සදහා අප බොහෝ දෙනකු යොදා ගත්තේ අදාල මාධ්‍ය ආයතනයෙහි සමස්ත කෙරුවාව හා අදාල ලේඛකයාගේ මීට පෙර ක‍්‍රියාකලාපය ආදී සාධකයි. සහෘදයන් විසින් නිර්දේශ කරනු ලැබීම දැන් ප‍්‍රබල සාධකයක්ව තිබෙනවා.

එහෙත් යමක් ලියූ තැනැත්තා තවමත් බොහෝ දෙනකුට වැදගත්. පුවත්පතක හෝ ඉන්ටර්නෙට් ප‍්‍රභවයක පුවතක් හෝ ලිපියක් ලියූ ලේඛකයාගේ නම තමන් සැළකිල්ලට ගන්නා බව 63.2%ක් දෙනා කියනවා.

2015දී තීරණාත්මක ජාතික මැතිවරණ දෙකක් මෙරට පැවැත් වුණා. මැතිවරණ කාලයේදී වැඩිම විශ්වාසයක් තිබෙන තොරතුරු මූලාශ‍්‍රය කුමක්ද?

වැඩිම පිරිසක් (40.3%ක්) මැතිවරණ කාලයේදී වඩාත්ම විශ්වාස කළේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකායි. ඉතිරි අයගෙන් 18.3%ක් කීවේ ඉන්ටර්නෙට් බවයි. තවත් 16%ක් ෆේස්බුක් මුල් තැනට පත් කළා. පත්තර හා රේඩියෝ ගැන මහජන විශ්වාසය බෙහෙවින් අඩු වෙලා!

මහජනතාව සමග සබඳතා පැවැත්වීමට රජයේ ඇමතිවරුන් නිල වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම අවශ්‍ය බව 42.2%ක් දෙනා විශ්වාස කරනවා. තවත් 26.2%ක් දෙනා එය තරමක් දුරට හෝ අවශ්‍ය යයි කියනවා. (මෙහිදී කතා කරන්නේ දේශපාලන ප‍්‍රතිරූප වර්ධනය නොව අමාත්‍යාංශවල මහජන තොරතුරු හා සේවා සැපයීමට සෙසු ක‍්‍රමවේදයන්ට අමතරව සමාජ මාධ්‍ය ද යොදා ගැනීම ගැනයි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි රජය මෙය සියලූ රාජ්‍ය ආයතනවලට අනිවාර්ය කොට තිබෙනවා.)

දේශීය භාෂාවලින් වෙබ් අන්තර්ගතය සීමිත වීම පෙර තරම් දරුණු නොවූවත් තවමත් බලපාන සාධකයක්. සිංහලෙන් හා දෙමළෙන් තොරතුරු හා වෙබ් අඩවි වැඩි වේ නම් තමන් ඉන්ටර්නෙට් භාවිතයද වැඩි කරන බව සමීක්ෂණයට පාත‍්‍ර වූවන්ගෙන් 57.1%ක් දෙනා කියා සිටියා.

එසේම 60.4%ක් කීවේ තමන්ට දත්ත භාවිතය වෙනුවෙන් වැඩිපුර ගෙවීමේ හැකියාවක් තිබේ නම් ඉන්ටර්නෙට් භාවිතය වැඩි වනු ඇති බවයි.

L to R - Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016
L to R – Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016

දැනට පවත්නා ඉන්ටර්නෙට් වේගයන්වල මදකමද සමහරුන්ගේ මැසිවිල්ලට හේතුවක්. යම් ඉහළ මිලක් ගෙවා තමන්ට වඩා වේගවත් ඉන්ටර්නෙට් සේවා ලද හැකි නම් එය සලකා බලන බව 30.8%ක් දෙනා කීවා. තවත් 42.5%ක් සමහරවිට එසේ කරනු ඇතැයි කීවා.

ඊමේල් හා වෙබ් ප‍්‍රභවයන්ට අමතරව SMS පුවත් සේවාවන්ට මිලක් ගෙවා බැඳී ඇති පිරිස සමීක්ෂණයේ ප‍්‍රතිචාරකයන් අතරින් 34.8%ක් වූවා.

මේ සමීක්ෂණයේ ප‍්‍රතිඵල විවිධ අයුරින් විග‍්‍රහ කළ හැකියි. එය එළි දැක්වීමේදී මා කීවේ මෙවන් සමීක්ෂණ දත්ත පොදු අවකාශයේ බෙදා ගැනීම වැදගත් බවයි. අලෙවිකරණ පර්යේෂණායතන කරන බොහෝ සමීක්ෂණ ප‍්‍රකාශයට පත් වන්නේ නැහැ.

එසේම වයස 18-24 පරාසයේ ජන කාණ්ඩයේ මාධ්‍ය භාවිතය සෙසු සමාජයට වඩා සැලකිය යුතු ලෙසින් වෙනස් වීම සමීප අධ්‍යයනයට ලක් කළ යුතු බව මා අවධාරණය කළා.

ඔවුන් පත්තර කියවන්නේ, රේඩියෝ හා ටෙලිවිෂන් සමග බද්ධ වන්නේද ඩිජිටල් ස්මාට්ෆෝන් හරහායි. එසේම ඔවුන් නිශ්ක්‍රිය මාධ්‍ය පාරිභෝගිකයන් නොවෙයි. ඔවුන් බොහෝ දෙනකු මාධ්‍යවලට එසැනින් ප්‍රතිචාර දක්වනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම වෙබ් අන්තර්ගතයන්ද විචාරයට ලක් කරනවා. තමන්ගේම මාධ්‍ය නිර්මාණ (මීම්, කෙටි වීඩියෝ ආදිය) නිපදවා වෙබ් හරහා බෙදා ගන්නවා.

ඉදිරි වසරවලදී මෙරට මාධ්‍ය ග්‍රාහකයන් ලෙස වඩාත් ප්‍රබල වන්නේ මේ පිරිසයි. අපේ ගතානුගතිකයන් කැමති වූවත් නැතත් අනාගතය මේ තරුණ තරුණියන් අතින් හැඩ ගැසෙනවා. ඔවුන්ගේ ගති සොබා දැන ගනීම හා ඔවුන්ට සමීප වන මාර්ග සොයා ගැනීම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ හා සමාගම් යන සියලු පාර්ශවයන්ට එක සේ වැදගත්.

සම්පූර්ණ CPA වාර්තාව මෙතැනින්: www.bit.ly/mediasurveywp

සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 26 July 2015), I review how Lankan politicians and political parties are using social media in the run-up to the general election to be held on 17 August 2015.

In particular, I look at how President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe are using Facebook and Twitter (mostly to ‘broadcast’ their news and images, and hardly ever to engage citizens). I also remark on two other politicians who have shown initiative in social media use, i.e. former President Mahinda Rajapaksa and JHU leader Champika Ranawaka (both of who have held live Q&As on social media with varying degrees of engagement).

I raise questions like these: Can political parties afford to not engage 25% of Lankan population now regularly using the web? When would election campaigners – rooted in the legacy media’s practice of controlling and fine-tuning messages – come to terms with the unpredictable and sometimes unruly nature of social media?

While politicians, their campaigners and parties struggle to find their niches on social media, politically conscious citizens need to up their game too. Cyber literacy has been slower to spread than mere internet connectivity in Sri Lanka, and we need enlightened and innovative use of social media in the public interest. Every citizen, activist and advocacy group can play a part.

Can social media communications influence voting patterns?
Can social media communications influence voting patterns?

ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන මට්ටමට එළැඹ සිටින අපේ රටේ මෙම සයිබර් සාධකය මැතිවරණ ප‍්‍රචාරණයට හා ඡන්දදායක මතයට කෙසේ බලපානවාද යන්න විමසීම වැදගත්.

2010 මහ මැතිවරණයේ භාවිත වූවාට වඩා බෙහෙවින් මෙවර මැතිවරණයේ ඉන්ටර්නෙට් භාවිතය සිදුවන බව නම් කල් තබාම කිව හැකියි.

දේශපාලන පක්ෂ, ඡන්ද අපේක්ෂකයන්, සිවිල් සමාජ සංවිධාන හා සාමාන්‍ය පුරවැසියන් යන මේ පිරිස් සතරම වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වෙත යොමු වීමත් සමග දේශපාලන තොරතුරු හා මතවාද ගලා යෑම පෙර පැවතියාට වඩා වෙනස්වන්නේ කෙලෙසද?

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා දේශපාලන චරිත හා පක්ෂවලින් ප‍්‍රශ්න කරන්නට හා ඔවුන් අභියෝගයට ලක් කරන්නට හැකි වීම හරහා දේශපාලන සංවාද වඩා හරවත් විය හැකිද? මෙය කෙතරම් පුළුල්ව රටේ සමාජගත වනවාද?

Twitter and Facebook - leading social media platforms
Twitter and Facebook – leading social media platforms

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් (Facebook). එහි මෙරට ගිණුම් මිලියන් 2.5කට වඩා තිබෙනවා. ව්‍යාජ ගිණුම් හෝ ද්විත්ව ගිණුම් පසෙක තැබුවහොත් අඩු තරමින් මිලියන් 2ක් ලාංකිකයන් ෆේස්බුක් සැරිසරනවා යැයි කිව හැකියි. මෙරට ජනප‍්‍රිය අනෙක් සමාජ මාධ්‍යවන්නේ ට්විටර් (Twitter), වීඩියෝ බෙදා ගන්නා යූටියුබ් (YouTube) හා ඡායාරූප හුවමාරු කැරෙන ඉන්ස්ටග‍්‍රෑම් (Instagram).

මේ හැම සයිබර් වේදිකාවකම මේ දිනවල දේශපාලනයට අදාළ තොරතුරු, මතවාද හා රූප බෙහෙවින් සංසරණය වනවා.

දේශපාලන පක්ෂවලට හා ඡන්ද අපේක්ෂකයන්ට මේ යථාර්ථය නොසලකා සිටීමට බැහැ. එහෙත් බොහෝ පක්ෂවල මැතිවරණ කැම්පේන් හසුරුවන්නේ සාම්ප‍්‍රදායික මාධ්‍ය ගැන දන්නා, එහෙත් නව මාධ්‍ය ගැන හරි අවබෝධයක් නැති හිටපු මාධ්‍යවේදීන් හෝ දැන්වීම් ඒජන්සි විසින්.

පත්තරවල මුදල් ගෙවා ඉඩ මිලට ගැනීමට හා රේඩියෝ-ටෙලිවිෂන් නාලිකාවල ගුවන් කාලය මිලට ගැනීමට මේ උදවිය හොඳහැටි දන්නවා. මුදලට වඩා කාලය, ශ‍්‍රමය හා නිර්මාණශීලී බව අවශ්‍ය වන සමාජ මාධ්‍යවලට නිසි ලෙස ප‍්‍රවේශ වන හැටි මේ අයට වැටහීමක් නැහැ.

සමාජ මාධ්‍යවලටත් මුදල් ගෙවා ඕනැම කෙනකුට තම ප‍්‍රචාරය උත්සන්න කර ගත හැකියි. ෆේස්බුක් ගෝලීය වේදිකාවක් වුවත්, තම භාණ්ඩය හෝ සේවාව හෝ පණිවුඩය නිශ්චිත රටක, නිශ්චිත වයස් කාණ්ඩයකට ඉලක්ක කොට පෙන්වීම කර ගත හැකියි.

එසේම ෆේස්බුක් හා ට්විටර් ගිණුම් සඳහා තොග වශයෙන් ලෝලීන් (fans) හා මනාප (likes) විකුණන විදේශීය සමාගම් තිබෙනවා. අපේ සමහර දේශපාලන චරිත අරඹා ඇති සමාජ මාධ්‍ය ගිණුම්වලට ඔවුන් හීන්සීරුවේ මුදල් ගෙවා මෙසේ තොග පිටින් ලෝලීන් හා මනාප ලබා ගෙන ඇති බව හෙළිව තිබෙනවා. සමහර දේශපාලකයන්ට ශ‍්‍රී ලංකාවේ සිටින Fans ගණනටත් වඩා තුර්කියේ සිටින සංඛ්‍යාව වැඩිවීමට හේතුව එයයි.

20 March 2015: Social Media Analysis: Sri Lankan Politicians and Social Media

මුදල් ගෙවා ලබා ගන්නා සමාජ මාධ් රමුඛත්වය විශ්වසනීය හෝ සාර්ථක වන්නේ නැහැ. මෙය කුලියට ගත් බස් රථවලින් මුදල් ගෙවා සෙනග රැළිවලට ගෙනෙනවාට සමානයිග සයිබර් සාක්ෂරතාව පුළුල් වන විට මෙබඳු උපක‍්‍රම ගැන වැඩි දෙනකු දැන ගන්නවා.

social-media

කෙටි කාලීනවත් දිගු කාලීනවත් වඩාත් සාර්ථක ප‍්‍රවේශය නම් නිරතුරු සමාජ මාධ්‍ය හරහා පුරවැසියන් සමග සාමීචියේ හා සංවාදයේ යෙදී සිටීමයි (මැතිවරණයක් එළැඹි විට පමණක් නොවෙයි).

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

සමාජ ජාල මාධ්‍ය භාවිත කරන සියලූ ලාංකික දේශපාලකයන් හෝ දේශපාලන පක්ෂ හෝ නිතිපතා ෆලෝ කරන්නට මට හැකි වී නැහැ. එය ලේසි පාසු කාරියක්ද නොවෙයි.

එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ද, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ට්විටර් ගිණුමද හරහා කුමක් සන්නිවේදනය වේද යන්න ගැන මා විමසිලිමත්ව සිටිනවා.

President Sirisena's verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time
President Sirisena’s verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time

කාර්යබහුල මෙවන් නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් විසින්. එය ලොව පුරා සම්ප‍්‍රදායක්. බොහෝ විට මේ ගිණුම් හරහා නායකයා කරන කියන දේ ගැන සංක්ෂිප්ත තොරතුරු හා ඡායාරූප/කෙටි වීඩියෝ බෙදා හැරෙනවා.

මේ අන්තර්ගතයම නිල වෙබ්අඩවි හා මාධ්‍ය ප‍්‍රකාශන හරහා ද නිකුත් කැරෙන නමුත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය පවා අද කාලේ නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියැවෙන දේ ගැන අවධානයෙන් සිටිනවා. අවශ්‍ය විටදී යම් දේ එතැනින් උපුටා දක්වනවා.

සමාජ මාධ්‍ය ගත වන දේශපාලන නායකයන් හා ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් මුහුණ දෙන අභියෝග ගණනාවක් තිබෙනවා. මූලික එකක් නම් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් විශ්වාසදායක නිල ගිනුම් (verified accounts) බව තහවුරු කර ගැනීමයි.

ඉන්ටර්නෙට් වෙබ් අඩවි ලිපිනයන් (URLs) මෙන්ම සමාජ මාධ්‍ය ගිණුම් නාමයන් ද මුලින්ම එය ලියාපදිංචි කරන්නාට හිමි කර ගත හැකියි. රාජ්‍ය නිලධාරිවාදය නැති සයිබර් අවකාශයේ අපූර්වත්වය එය වුවත් එය අවභාවිතයට යොදන අයද සිටිනවා.

President Sirisena's verified Twitter account - screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time
President Sirisena’s verified Twitter account – screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time

 

මෙරට ජනාධිපති හා අගමැති දෙදෙනාගේම නම් පදනම් කර ගෙන ඇරඹූ ව්යාජ ෆේස්බුක් හා ට්විටර් ගිණුම් තිබෙනවා. ඕනෑකමින් අධ්යයනය කළ විට මේවා ව්යාජ බව පෙනී යතත්, බැලූ බැල්මට ජනයා මුලා කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා රසිද්ධ පුද්ගලයන් (දේශපාලන නායකයන්, සිනමා තරු, රීඩකයන් ආදීන්) අනන්යතාව තහවුරු කළ සමාජ මාධ් ගිණුම් සකසා ගැනීමත්, එය පැහැදිලිව පෙන්නුම් කිරීමත් වැදගත්.

පසුගිය ජනාධිපතිවරණයේදී කැම්පේන් වැඩට සමාජ මාධ්‍ය යම් පමණකට ඔවුන් යොදා ගත්තද ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ දෙපළටම අනන්‍යතාව තහවුරු කළ සමාජ මාධ්‍ය ගිණුම් තිබුණේ නැහැ. මේවායේ අවශ්‍යතාව අප සමහරක් දෙනා ප‍්‍රසිද්ධ අවකාශයේ පෙන්වා නිතර දුන්නා.

මේ අනුව 2015 මැයි මාසයේ පටන් ජනාධිපති සිරිසේනට තහවුරු කරන ලද නිල ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තිබෙනවා. ප‍්‍රමාද වී හෝ මෙය ලබා ගැනීම හිතකර ප‍්‍රවණතාවක්. එහෙත් වික‍්‍රමසිංහ නමින් ට්විටර් ගිණුම් ගණනාවක් පවතින අතර එයින් කුමක් ඔහුගේ නිල ගිණුම් ද යන්න තහවුරු කර නැහැ. අපට කළ හැක්කේ අනුමාන පමණයි.

මේ දෙදෙනාගේ සමාජ මාධ්‍ය භාවිතය ද ප‍්‍රශස්ත මට්ටමක නැහැ. ගිය වසර අගදී කැම්පේන් කරන විටත්, ජනාධිපති ලෙස තේරී පත් වූ පසුවත් මෛත‍්‍රිපාල සිරිසේන සමාජ මාධ්‍ය භාවිත කරන්නේ තොරතුරු හා ඡායාරූප බෙදාහරින්නට මිස පුරවැසියන් සමග සංවාදයට නොවෙයි.

ජනපතිවරණයට පෙර හා පසු සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන සජීව සැසි වාරයක් (Live Q&A) කරන මෙන් අප ඉල්ලා සිටියා. මේ වනතුරු එබන්දක් සිදුකර නැහැ. තම ජයග්‍රහනයට උපකාර වූවා යයි ඔහුම ප්‍රසිද්ධියේ පැසසූ සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප්‍රශ්නවලට මුහුණ දීමට ජනපති සිරිසේන පැකිලෙන්නේ ඇයි?

Ranil Wickremesinghe Twitter account - IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg
Ranil Wickremesinghe Twitter account – IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg

වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ සමාජ මාධ්‍ය භාවිතය වඩාත් පසුගාමීයි. ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මේ දිනවල ප‍්‍රචාරක රැලිවල ඡායාරූප හා කෙටි කෙටි වීඩියෝ බෙදා හරිනවා. එහෙත් රටේ ප‍්‍රශ්න ගැන හෝ ප‍්‍රතිපත්ති/විසඳුම් ගැන කිසිදු සංවාදයක් පෙනෙන්නට නැහැ.

සමාජ මාධ්‍ය භාවිතය හරහා දේශපාලන චරිත ප‍්‍රචාරණයට එහා යන තවත් බොහෝ දේ කළ හැකියි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ට අදහස් හා යෝජනා ඉල්ලා ලබා ගත හැකියි. රටේ දැවෙන ප‍්‍රශ්න ගැන (සීරුවෙන් හා ප‍්‍රවේශමෙන්) සංවාද කොට මහජන මතය ගැන දළ හැඟීමක් ලද හැකියි. ඡන්දදායකයන්ගේ රුචි අරුචිකම්, ප‍්‍රමුඛතා හා අපේක්ෂා ගැන ගවේෂණය කළ හැකියි.

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය හා පිලිපීනය වැනි ආසියානු රටවල දේශපාලකයන් හා පක්ෂ මෙසේ වඩාත් හරවත් හා පුළුල් ලෙසින් සමාජ මාධ්‍ය යොදා ගන්නවා.

මැතිවරණ ආසන්න වන විට මිලියන් ගණන් වැය කරමින් ජනමත සමීක්ෂණ පැවැත්වීම දැන් අපේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවලත් සිරිතක්. බොහෝ විට සොයා ගැනීම් ප‍්‍රසිද්ධියට පත් නොකරන මේ සමීක්ෂණවලින් කැම්පේන් පණිවුඩ හා අවධාරණය කළ යුතු තැන් ආදිය ගැන යම් ඉඟි ලැබෙන බව ඇත්තයි. එහෙත් සමීක්ෂකයන් අසන හැම ප‍්‍රශ්නයකටම ජනයා අවකංව පිළිතුරු නොදෙන නිසා මේ සමීක්ෂණවල ආවේණික සීමා තිබෙනවා.

එයට වඩා විවෘත ලෙස මත දැක්වීමක් සමාජ මාධ්‍ය තුළ කැරෙනවා. මේවා විශ්ලේෂණය කරන මෘදුකාංග හරහා යම් සමුච්චිත ප‍්‍රවණතා සොයා ගත හැකියි. එබඳු විශ්ලේෂණ දැන් වෙනත් රටවල දේශපාලන පක්ෂ සන්නිවේදකයෝ කරනවා. ඒ හරහා කැම්පේන් පණිවුඩ වඩාත් සමාජගත කර ගත හැකියි.

සමාජ මාධ්‍යවල විභවය තේරුම් ගෙන ඇතැයි පෙනෙන ජාතික මට්ටමේ දේශපාලන චරිත දෙකක් නම් මහින්ද රාජපක්ෂ හා චම්පික රණවකයි. ඔවුන්ගේ දේශපාලන මතවාදයන් කුමක් වෙතත්, මෙරට සෙසු දේශපාලකයන්ට සාපේක්ෂව ඔවුන් සමාජ මාධ්‍ය හරහා යම් පුරවැසි පිරිසක් සමග සන්නිවේදනය කරනවා. නිතිපතා නොවූවත් විටින් විට හෝ පුරවැසි ප‍්‍රශ්නවලට සමාජ මාධ්‍ය හරහා පිළිතුරු ද දෙනවා.

Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time
Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time

ගිය වසරේ මේ දෙපළ පැවැත් වූ ට්විටර් ප‍්‍රශ්නෝත්තර සැසිවලදී දුෂ්කර යැයි සැලකිය හැකි අන්දමේ ප‍්‍රශ්න මා ඉදිරිපත් කළා. රාජපක්ෂ එවන් ප‍්‍රශ්න නොතකා හැර ලෙහෙසි යයි පෙනෙන ප‍්‍රශ්නවලට පමණක් පිළිතුරු දුන්නා. එහෙත් රණවක ආන්දෝලනාත්මක මාතෘකා ගැන පවා තම මතයේ සිට පිළිතුරු සැපයූවා. එම පිළිතුරු ගැන මා සෑහීමකට පත් නොවූවත් ඔහු එසේ සංවාදයේ නියැලීම මා අගය කරනවා.

සමාජ මාධ්‍යවල බොරු පුරාජේරු පම්පෝරි කරන්න අමාරුයි. එය භාවිත කරන සමහර පුරවැසියන් ගරුසරු නොවීමට හා සත්‍යවාදී නොවීමට ද ඉඩ තිබෙනවා. සමහර දේශපාලන කැම්පේන්කරුවන් සමාජ මාධ්‍ය සංවාදවලට ඉඩ නොදෙන්නේ මේ අවදානම නිසා විය හැකියි.

දේශපාලන රැස්වීම් වේදිකාවක කථිකයකුට ඉඳහිට හූ හඬක් ලැබිය හැකි වුවත් ඉන් ඔබ්බට යන අභියෝග මතු වන්නේ නැහැ. ටෙලිවිෂන් දේශපාලන සංවාදවලත් මෙහෙයවන්නා විසින් යම් සමනයක් පවත්වා ගන්නවා. මෙබඳු තිරිංග නැති සමාජ මාධ්‍ය හරහා දුෂ්කර ප‍්‍රශ්න, අවලාද, බොරු චෝදනා හා අපහාස එල්ල විය හැකියි.

එහෙත් පොදු අවකාශයේ සිටින, මහජන නියෝජිතයන් වීමට වරම් පතන දේශපාලකයන් මෙබඳු මහජන රතිචාරවලට මුහුණ දීමේ හැකියාව හා පරිණත බව සමාජ මාධ් හරහා රටටම පෙනෙනවා.

Mahinda Rajapaksa's verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time
Mahinda Rajapaksa’s verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time

සමාජ මාධ්‍ය පරිහරණය කරන පුරවැසි අපටත් වගකීම් තිබෙනවා. අප කැමති දේශපාලන පක්ෂයට හා චරිතවලට සයිබර් සහයෝගය දෙන අතරේ යම් සංයමයක් පවත්වා ගත යුතුයි. ප‍්‍රතිවිරුද්ධ මතධාරීන්ට අසැබි ලෙසින් පහර නොගසා තර්කයට තර්කය මතු කළ යුතුයි. එසේම නොකඩවා ගලා එන විවිධ විග‍්‍රහයන් හා රූප වැඩිදුර පතුරුවන්නට පෙර ඒවා වෛරීය දේශපාලනයට අදාළදැයි මඳක් සිතිය යුතුයි.

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි රවේශ වන්නේ ස්මාට් ෆෝන් හරහායි. ස්මාට්ෆෝන් තිබුනාට මදි. ස්මාට් පුරවැසියන් වීමටත් ඕනෑ! වැඩවසම් ගතානුගතිකත්වය හා වෛරීය ජාතිකත්වය පසු කර නව දේශපාල සදාචාරයක් බිහි කරන්නට අප දායක විය යුතුයි!

See also other related columns of mine:

16 March 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

23 March 2014: සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

21 Dec 2014: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

28 Dec 2014: සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

 

 

BBC Sinhala interview: සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරීත්වය 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට කොපමණ බලපෑමක් කළේද?

On 13 Feb 2015, while briefly in London, I visited BBC’s new Media Centre and recorded brief interviews with BBC Sinhala and BBC Tamil services (radio) on the role of social media during the Sri Lanka Presidential Election 2015 – the topic of my talk at University of London the previous day.

BBC Sinhala published the story online on 22 Feb 2015, along with an edited down audio track.

Here is the accompanying text. Listen to audio interview on BBC Sinhala website.

Nalaka Gunawardene in BBC World Service studio, 13 Feb 2015
Nalaka Gunawardene in BBC World Service studio, 13 Feb 2015 – Photo by Saroj Pathirana

සමාජ මාධ්‍ය ඔස්සේ ‘නැති බැරි අයට වැඩි අනුකම්පාවක්’

22 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 11:33 GMT

පසුගිය ජනාධිපතිවරණයේදී ‘ඇති හැකි’ අපේක්ෂකයන්ට වඩා ‘නැති බැරි’ අපේක්ෂකයන්ට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩි ‘අනුකම්පාවක්’ ලැබුණු හැඩක් පෙනී ගිය බව සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයෝ පවසති.

එබැවින් සම්පත් විශාල වශයෙන් යොදා ගනිමින් පුළුල් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වඩා සීමිත සම්පත් යොදා ගෙන සිය පණිවුඩය ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයාට වැඩි අවධානයක් යොමු වූ ආකාරයක් දක්නට ලැබුණු බව විද්‍යා ලේඛක සහ තීරු ලිපි රචක නාලක ගුණවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරීත්වය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට කොපමණ බලපෑමක් කළේද යන්න සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණයක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් ජනපතිවරණයේදී ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය ජාලවල බලපෑම සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම පිණිස ලන්ඩනයට පැමිණ සිටි නාලක ගුණවර්ධන එම අදහස් පල කළේ බීබීසී මැදිරියේදී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

‘නිදහස් අදහස්’

විශේෂයෙන්ම නිදහස් අදහස් ප්‍රකාශනයට ප්‍රබල බාධක පැවතුණු වාතාවරණයක සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට සහ සිය විවේචන එලි දැක්වීමටත් සමාජ ක්‍රියාකාරිකයන් මෙන්ම විපක්ෂයද සමාජ මාධ්‍ය ජාල යොදා ගත් බවත් නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

“අනෙක් කාරණය තමයි කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවූ නමුත් දේශපාලනය ගැන උනන්දුවක් තියෙන තරුණ පිරිස් මේ සමාජ මාධ්‍ය ජාල යොදා ගත්තා ඔවුනොවුන් අතර කතාබහ කරන්න මේ සමාජ ක්‍රමය, සංස්කෘතිය කෙසේ නම් වෙනස් වෙන්න ඕනෙද? ඔවුන් සෘජුව අමතන්න පටන් ගත්තා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා,” ඔහු පැවසීය.

ෆේස්බුක් හෙවත් මුහුණු පොත ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය බවට පත්වෙද්දී, ජනපතිවරණය සමයේ ට්විටර් ජාලය ඔස්සේද පුළුල් ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබුණි.

ජනපතිවරණය සමයේ විශේෂයෙන්ම සිංහල බ්ලොග් අඩවිවල ක්‍රියාකාරීත්වයද කැපී පෙනුණි.

කෙසේ නමුත් සිය නිවේදන සහ පුවත් අඩවිවල යොමු (ලින්ක්) බෙදාහැරීම හැරුණු විට විශේෂයෙන්ම සිය ඡන්දදායකයන් සමඟ අදහස් හුවමාරුවකට, නොඑසේනම් සංවාදයකට, ජනපතිවරණ අපේක්ෂකයන් ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල යොදා නොගත් බව නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

“මේක දැක්මේ තියන සීමාවක්,” ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වය සිය ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් සැපයූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ද පිළිගෙන තිබුණි.

Nalaka Gunawardene (left) with his BBC interviewer Saroj Pathirana
Nalaka Gunawardene (left) with his BBC interviewer Saroj Pathirana – Photo by Prasanna Ratnayake

 

 

 

 

සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 11 January 2015, I offer an initial analysis of media-based political campaign communications during the run-up to Sri Lanka’s 7th Presidential Election on 8 January 2015. The column was written on 5 January, as physical campaigning (meetings and outdoor promotion) came to an end. The Ravaya issue carrying this hit the newsstands on election day.

In this, I pay particular attention to the use of social media by political parties as well as independent citizens and civil society groups. I also discuss the missed opportunity of holding a televised live debate between the two main candidates – to which opposition’s common candidate Maithripala Sirisena agreed, but was declined by incumbent president Mahinda Rajapaksa.

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

 

Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL
Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL

මා මේ කොලම ලියන්නේ 2015 ජනාධිපතිවරණයට තෙදිනකට පෙරයි. මෙය මුද්‍රණයෙන් පිට වන විට ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ලැබෙමින් පවතිනු ඇති. පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දේශපාලන සංවාද ඉතා අවශ්‍ය මොහොතක් ඉක්බිති එළැඹෙනවා. එයට දායක වෙමින්, ගෙවී ගිය සති කිහිපයේ ජනාධිපතිවරණය වටා සිදු වූ සන්නිවේදන ක‍්‍රියාදාමයන් ගැන මුල් අදියරේ විග‍්‍රහයක් අපට දැන් කළ හැකියි.

ජනාධිපතිවරණ සන්නිවේදනයේ යෙදුණේ මැතිවරණ කොමසාරිස්වරයා, අපේක්ෂකයන් 19 දෙනා හා ඔවුන්ගේ අනුගාමිකයන් පමණක් නොවෙයි. දේශපාලන උනන්දුව ඇති විද්වතුන්, කලාකරුවන් හා සෙසු පුරවැසියන් ද වැඩිපුර කාලය ගත කළේ මේ ගැන කතාබහ කරන්නයි. මේ සා දැඩි උනන්දුවක් මා අවසන් වරට දුටුවේ 1994දී.

විවිධ කෝණ හා මානවලින් විග‍්‍රහ කළ හැකි මේ සංසිද්ධිය මා විමසන්නේ නව සන්නිවේදන මාධ්‍යයන් හා නව මාධ්‍ය කෙසේ යොදා ගත්තා ද යන්න සෙවීමටයි. අර්ධ වැඩවසම් මානසිකත්වයක තවමත් කොටු වී සිටින ලක් සමාජය නූතනත්වය වැළඳ ගන්නට දෙගිඩියාවකින් පසු වන සැටිත් ඒ හරහා අපට දැකිය හැකියි.

එසේම මේ තරම් සන්නිවේදන මාධ්‍ය තිබියදීත් රටේ ජනමතය හරිහැටි හඳුනා ගැනීම හා කියැවීම කෙතරම් අසීරුද යන්නත් අපට පෙනී යනවා.

සමහරුන් තර්ක කරන්නේ මෙවර අධිතාක්ෂන මැතිවරණ ප්‍රචාරක කැම්පේන් තිබූ බවයි. යෝධ ටෙලිවිෂන් තිර ජනාකීර්න හන්දිවල තැබූ පමණින් හෝ ඉන්ටර්නෙට් හරහා ඉවක් බවක් නැතිව කැම්පේන් පණිවුඩ බෙදා හැරිය පමණින් ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය මෙරටට ළඟා වන්නේ නැහැ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රචාරණ වැඩ සියුම්ව පිරික්සා බලන විට පෙනී ගියේ නව සන්නිවේදන තාක්ෂනයන් හරහා ද ඔවුන් තවමත් අනුගමනය කළේ එක දිශාවකට – එනම් කැම්පේන්කරුවන් වෙතින් මහජනයාට – ගලා ගිය පරණ තාලේ සන්නිවේදන ආකෘතියක් බවයි (one-way communications model).

ඇති තරම් සංවාද කිරීමට සමාජ මාධ්‍යවල මනා විභවයක් තිබුනත් එයට අවශය දැක්ම දෙපිලටම තිබුනේ නැහැ. මේ නිසා වෙබ් සරන මිලියන් හතරක පමණ ලක් ජනයා තම තමන් අතර කළ දේශපාලන සංවාදවලට අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ කැම්පේන් නිල වශයෙන් සම්බන්ධ වූයේ සීමිතවයි. නව දේශපාලන සන්නිවේදනයක් බිහි කිරීමේ අගනා අවස්ථාව දෙපිලම අත හැරියා.

එහෙත් සාපේක්ෂව පොදු විපක්ෂය නව මාධ්‍ය හරහා වඩාත් පුරවැසියන් සමග කථාබහ කළා යයි කිව හැකියි. රජයේ මාධ්‍ය ඔවුනට නොතිබි පසුබිම තුළ ඔවුනට මේ විකල්ප හැකි තරම් යොදා ගන්නට සිදු වූවා.

නවීන සන්නිවේදන තාක්ෂණයන් සූක්ෂම හා අවස්ථානුරූපී ලෙස භාවිත කළ තවත් පිරිසක් ද සිටියා. ඔවුන් ඍජුව දේශපාලන පක්ෂයකට හෝ පක්ෂයක් මුදල් ගෙවා සේවය ලබා ගත් දැන්වීම් ආයතනයකට හෝ අයත් නොවූ, එහෙත් දේශපාලනය හා යහපාලනය ගැන දැඩි උනන්දුවක් ඇති අයයි.

ඔවුන් තනි ගොඩකට වර්ග කරන්නත් අමාරුයි. විශේෂයෙන් ෆේස්බුක්, ට්විටර් (Twitter) හා යූටියුබ් (YouTube) ආදී සමාජ මාධ්‍ය ජාල හරහා දේශපාලන දෙපිලම විචාරයට හා අභියෝගයට ලක් කැරෙන කෙටි, ව්‍යක්ත හා ඇතැම් විට හාස්‍යජනක නිර්මාණ ඔවුන් මුදා හැරියා.

පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ එදා-මෙදා කතා, පාලක පක්ෂයේ හා විපක්ෂයේ කයිවාරුව හා කෙරුවාව අතර පරතරය, මේ කවුරුත් රැවටීමට තැත් කරන අහිංසක ඡන්දදායකයාගේ සිහින හා අපේක්ෂා, අන්තවාදයට එරෙහිව කැරෙන සමාජ ප‍්‍රතිරෝධය ආදිය මේ නිර්මාණවලට නිමිති වුවා.

ඒවා අකුරින්, රූපයෙන් හෝ වීඩියෝවලින් සමන්විත වූ අතර අධි වියදම් දරා වෘත්තීය මට්ටමෙන් නිපදවන කැම්පේන් දැන්වීම් බොහොමයකට වඩා මේ පුරවැසි නිර්මාණ සාර්ථක වූ බව මගේ වැටහීමයි.

මෙයින් බොහොමයක නිර්මාණකරුවා කවුදැයි සොයා ගන්නත් අපහසුයි. ඒ තරමට ශීඝ‍්‍රයෙන් හා උද්ේ‍යාගයෙන් මේවා සමාජ මාධ්‍ය හා ජංගම දුරකතන හරහා බෙදා ගත් (share කළ) බැවින්. මේවා පොදුවේ හඳුන්වන්නේ වෙබ් මීම් (web memes) නමින්.

මෙරට වෙබ් මීම් උපසංස්කෘතිය ජනාධිපතිවරණය වකවානුවේ කඩඉමක් පසු කොට නව මානයකට පිවිසියා. වෘත්තීය දැන්වීම් සමාගම් හා කැම්පේන් හසුරුවන්නෝ සමහරක් මේ ස්වේච්ඡා පුරවැසි නිර්මාණ කොපි කරන්නට හා ඒවා සමග තරග කරන්න තැත් කරනු පෙනී ගියා. මේ ප‍්‍රවණතා ඉදිරි මැතිවරණවල වඩාත් ප‍්‍රබලව පැන නගිනු ඇති.

Purawesi Balaya = Citizen Power icon
Purawesi Balaya = Citizen Power icon

පුරවැසි බලය වැනි මෑතදී බිහි වූ සිවිල් සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ද මේ නව මීම් රැල්ල මනා සේ හසුරුවනු මා දුටුවා. මෙවර මැතිවරණයේ ඉතා පුළුල්ව ප‍්‍රතිරාවය වූ වැකියක් වූයේ ‘යටත්වැසියන් නොවී පුරවැසියන් වෙමු’ යන්නයි. මෙරට තත්කාලීන දේශපාලන හා රාජ්‍ය පාලන යථාර්ථයේ ගරා වැටීම කෙටියෙන් හා මැනවින් හසු කර ගත් මෙය ද මීම් එකක් ලෙස හැඳින්විය හැකියි.

තවත් පුරවැසි මාධ්‍යකාරියක විසින් මුදා හැරිය වැකියක් මෙසේයි. ‘උපන් දා සිට කරපු පව් නැත වරක් පැන්නොත් මල්ලියේ!’ පක්ෂ මාරු කිරීමේ ශීඝ‍්‍රතාව වැඩි වෙද්දී සංසරණයට ආ මෙය ද ඉක්මනින් සයිබර් අවකාශය පුරා පැතිර ගියා.

කාටූන් චිත‍්‍ර හැකියාව එතරම් නැතත් හොඳ හාසජ්‍යනක අදහස් මීම් රූප ලෙස බිහි වී අප කුල්මත් කළා.

මෙරට දේශපාලන සන්නිවේදන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නාමික හෝ නිර්නාමික සාමාන්‍ය පුරවැසියන්ට නිර්මාණශීලී ලෙස දේශපාලන සිදුවීම් ගැන පොදු අවකාශයේ ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට හැකිව තිබෙනවා.

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

රටේ ජනගහනයෙන් 25%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන අතර වැඩිහිටියන් අතිබහුතරයක් අත ජංගම දුරකතන තිබෙන අද දවසේ මෙබඳු සන්නිවේදනවලින් ජනමතයට ඇති වන බලපෑම සුළුපටු නොවේ. එහෙත් අපේ දේශපාලන පක්ෂ හෝ සරසවි මාධ්‍ය පර්යේෂකයන් මේ නව යථාර්ථය තවම තේරුම් ගෙන නැහැ.

බ්ලොග් රචක හා දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනවාරි 4 වැනිදා ලියූ පරිදි: “මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළහ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේය. අද වන විට තරුණ පරපුරෙන් 80‍% පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවලමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය යග ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි.”

අජිත් හා මා වැන්නවුන් මේ නව අවකාශයන්ට වඩාත් සමීප නිසා ඒවා අධිතක්සේරු කරනවා යැයි යමකු තර්ක කළ හැකියි. ෆේස්බුක් ජාලයට සමහරුන් නිගරුවට මෙන් යොදන ‘බුකිය’ වචනය භාවිත කරමින් මෙවන් අයකු මෑත දිනෙක කීවේ ‘බුකියේ මතය නොවෙයි බහුතරයක් ලක් සමාජයේ මතය’ යනුවෙන්.

මැතිවරණ ප‍්‍රතිඵල හරහා මෙහි යථාර්ථය පෙනී යනු ඇති. එහෙත් මිලියන් හතරක් පමණ ලාංකිකයන් සැරිසරන වෙබ් අවකාශය හා මිලියන් 15ක් දෙනා ඇති ජංගම දුරකතන නොතකා ජනමතය විමර්ශනය කිරීම ද නුවණට හුරු නැහැ. (ස්මාට් ෆෝන් මිලියන 3ක් පමණ මෙරට ඇතැ’යි අනුමාන කරන අතර ඒ හැම එකකින්ම ඉන්ටර්නෙට් සබඳතා ලද හැකියි. බහුමාධ්‍ය රූප ඵඵී හුවමාරු කර ගන්නටත් පුළුවන්.)

මෙරට දේශපාලන පක්ෂ තවමත් යල්පැන ගිය සන්නිවේදන මානසිකත්වයක සිටින බව තහවුරු කළ තවත් එක් අවස්ථාවක් වූයේ ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර නොකෙරුණු සජීව ටෙලිවිෂන් විවාදයයි.

TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014
TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014

2013 නොවැම්බර් 24දා මගේ කොලම අවසන් කරමින් මා මෙසේ කීවා: “අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා විමසුවා. ඔහු කීවේ එබදු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි. මෙබදු ස්වාධීනත්වයක් ළගදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි.”

2014 දෙසැම්බර් 13දා මගේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම @NalakaG හරහා මා මේ ප‍්‍රශ්නය මතු කළා: “ජාත්‍යන්තර ස්වරූපයේ සජීව ටෙලිවිෂන් විවාදයකට අපේක්ෂකයන් දෙදෙනා කැඳවන්නට දැන්වත් ශ‍්‍රී ලංකාව සූදානම්ද? එසේ නම් කුමන නාලිකාවද?”

මෙයට ට්විටර් හරහා නොසිතූ තරම් දුසිම් ගණනාවක මහජන ප‍්‍රතිචාර ලැබුණා. එයින් බහුතරයක් දෙනා මෙබන්දක් කළොත් හොඳ බව පිළිගත්ත ද එයට සරිලන නාලිකාවක් හෝ අපක්ෂපාතව එය මෙහෙයවිය හැකි චරිතයක් හමු වේදැ’යි ප‍්‍රශ්න කළා.

මුළුමනින් අපක්ෂපාතී මාධ්‍ය නාලිකා ලොව කිසි තැනෙක නැති බවත්, අවශ්‍ය වන්නේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප‍්‍රවර්ධන ව්‍යාපාර (කැම්පේන්)වලට පිළිගත හැකි පොදු රාමුවකට එකඟ වී එය ක‍්‍රියාත්මක කිරීම බවත් මා කියා සිටියා.

විවාදය ටෙලිවිෂන් නාලිකා සියල්ලේ එකවර විකාශය කිරීම, රූපවාහිනී නාලිකාව හා ප‍්‍රධාන පෙළේ පෞද්ගලික නාලිකා එකක හෝ දෙකක සම සහභාගිත්වයෙන් විවාදය සිදු කිරීම ආදී විකල්ප යෝජනා වුණා.

සමාජ මාධ්‍ය සංවාදවල අපූරුව නම් එකිනෙකා නොහඳුනන උද්යෝගිමත් පිරිසක් මෙබඳු කාලීන හා වැදගත් මාතෘකාවක් ගැන විවෘතව හා සංවරව මත දැක්වීමයි. මේ සයිබර් සංවාදයේ යම් තැනෙක මෙබඳු විවාදයක් මෙහෙයවීමට පරිණත මාධ්‍ය බරිත සිටීදැ’යි එක් තරුණ පුරවැසි මාධ්‍යවේදියකු (ගිහාන් ප‍්‍රනාන්දු) අභියෝගාත්මකව මගෙන් ප‍්‍රශ්න කළා.

කිසිදු ටෙලිවිෂන් නාලිකාවක දැනට සක‍්‍රීය සේවයේ නියුතු නිවේදකයන් හෝ තීරකයන් හෝ නොසලකා මේ අසාමාන්‍ය කටයුත්තට ගාම්භීර, කෘතහස්ත හා දේශපාලනිකව පක්ෂග‍්‍රාහී නැතැ’යි පෙනෙ අයකු සොයා ගත යුතු බව මගේ නිර්දේශය වූවා. මේ සඳහා මා නම් දෙකක් යෝජනා කළා. පළමුවැන්නා මෙරට ජ්‍යෙෂ්ඨතම ඉංග‍්‍රීසි පුවත්පත් කතුවරයකුව සිට දැන් පොත් වෙළෙඳාමේ නිරත වන විජිත යාපායි. දෙවැන්නා මෙරට ටෙලිවිෂන්-රේඩියෝ මාධ්‍ය දෙකෙහිම පුරෝගාමී හපන්කම් කළ අඩ සියවසක විද්‍යුත් මාධ්‍ය අත්දැකීම් ඇති පාලිත පෙරේරායි.

මේ ට්විටර් සංවාදයේ යම් අවස්ථාවක මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් ද එයට සම්බන්ධ වුණා. ඔහු කීවේ අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති උපදේශකයන් දෙපිලක් ලෙස මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගැන විවාද කළ හැකි බවයි. එහෙත් ජනාධිපතිවරණයක් යනු රටේ නායකයා තෝරන ඡන්දයක් නිසා අපේක්ෂකයන්ම සහභාගි වී මුහුණට මුහුණ ලා සිය දැක්ම හා ප‍්‍රතිපත්ති ගැන විවාද කළ යුතු බව බහුතරයකගේ අදහස ලෙස ඉක්මනින්ම මතු වුණා.

මේ සියල්ල සයිබර් අවකාශයේ කතාබහ වූයේ එක් සෙනසුරාදාවක දහවලේ හා සැන්දෑවේ. ඊට පසුවදා ඉරිදා සමහර පුවත්පත්වලත් ජනාධිපති අපේක්ෂක සංවාදය ගැන පුවත් පළ වුණා. මගේ මාධ්‍ය මිතුරකු මට මතක් කර දුන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පණතේ 117 වන වගන්තියේ මෙබඳු විවාදයකට නීතියෙන්ම ඉඩක් ලබා දී ඇති බවයි.

අවම වශයෙන් අපේක්ෂකයන් දෙදෙනකු එකඟ වේ නම් ඔවුන් අතර විද්‍යුත් මාධ්‍ය විවාදයක් පැවැත්විය හැකි බවත්, ඒ සඳහා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය මාධ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතු බවත් එහි කියැවෙනවා. මේ වගන්තිය ටෙලිවිෂන් මාධ්‍යයටත් අදාළ කරගත හැකියි. (1981දී මේ නීතිය සම්පාදනය වන විට ඇරැඹී නොතිබි රූපවාහිනී සංස්ථාව 1982 මුල්ම ජනාධිපතිවරණය පැවති වසරේම විකාශයන් පටන් ගත්තා.)

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව ටෙලිවිෂන් විවාදයට මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂ අපේක්ෂකයා සූදානම් බවට එළැඹුණු දින කිහිපයේ ප‍්‍රකාශයට පත් වුණා. එහෙත් අපේක්ෂක මහින්ද රාජපක්ෂ එයට ඉදිරිපත් නොවූ නිසා විවාදය සිදු වූයේ නැහැ.

පසුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතිය හා යුක්තියට අදාළ තේමාවන් ගැන විවාදයකට මේ දෙපළටම විවෘත ඇරයුමක් කළත් එය ද රාජපක්ෂ පිල පිළි ගත්තේ නැහැ. නීතිඥ ක්ෂේත‍්‍රය වෙනුවෙන් විවාදය මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් තිදෙනකු පවා තෝරා ගෙන සිටියා.

විවාදයකට ඒම හෝ නොඒම අපේක්ෂකයන්ගේ අභිමතය වුවත් පොදු උන්නතිය හා රටේ අනාගතය ගැන කැක්කුමක් ඇති ලෙසින් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුණු අපේක්ෂකයකු ප‍්‍රසිද්ධ විවාද දෙකක් (ටෙලිවිෂන් හා නීතිඥ සංගමයේ) මග හැරියේ ඇයි?

තමන්ගේ ප‍්‍රතිපත්ති හා මෙතෙක් ආ මග සාධාරණීකරණය කිරීම කෘතහස්ත දේශපාලකයන්ට අමාරුද?

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව විවාද පැවැත්වීම ඇමරිකානු සම්ප‍්‍රදායක් යැයි ද එබඳු බටහිරට පුරුදු අපට අනවශ්‍ය යැයි තර්ක කළ අයද සිටියා. මේ විවාද පැවැත්වීම නූතන යුගයේ ඇරැඹුණේ 1960 අමෙරිකානු ජනාධිපතිවරණයේදී බව සැබෑවක්. එහෙත් එම සංකල්පය මේ වන විට ලොව විවිධ රටවල ක‍්‍රියාත්මක වනවා.

2010 මැයි මැතිවරණයට පෙර බි‍්‍රතාන්‍යයේ දේශපාලන පක්ෂ නායකයන් අතර පළමුවරට සජීව ටෙලිවිෂන් විවාද 3ක් පැවැත් වුණා. විවාද මෙහෙය වූයේ එහි ප‍්‍රවීණතම විද්්‍යුත් මාධ්‍යවේදීන් තිදෙනෙක්. කන්සර්වෙටිව්, කම්කරු හා ලිබරල් පක්ෂ නායකයන් සහභාගි වූ මේ විවාදවලට පෙර අදාළ විවාද කොන්දේසි 70ක් දේශපාලන පක්ෂ සියල්ල එකඟ වී සිටියා.

2013 පෙබරවාරියේ කෙන්යාවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එරට මුල්ම සජීව ටෙලිවිෂන් විවාදයට සහභාගි වුණා. පැය තුනහමාරක් සජීවී ලෙසින් ටෙලිවිෂන් හරහාත්, ඉන්ටර්නෙට් යූටියුබ් හරහාත් කෙන්යානුවෝ එය නැරඹුවා. සමහර ප‍්‍රශ්නවලට අපේක්ෂකයන් හරිහැටි පිළිතුරු නොදී ලිස්සා ගිය බවට චෝදනා ද එල්ල වුණා. තමන්ගේ දේශපාලන දැක්ම හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විවෘත සභාවක් අබියස ව්‍යක්තව පහදා දීමේ හැකියාව ඇත්තේ කුමන අපේක්ෂකයන්ට ද යන්න කෙන්යානු ඡන්දදායකයන්ට බලා ගත හැකි වුණා. එයට ප‍්‍රතිචාර දැක් වූ එක් පේ‍්‍රක්ෂකයෙක් කීවේ ‘දේශපාලන වේදිකාවල වෛරීය කතා කරනවාට වඩා සංයමයෙන් හා ප‍්‍රතිපත්තිවලට අවධානය යොමු කරමින් අපේක්ෂකයන් හැසිරුණු ආකාරය ප‍්‍රශංසනීයයි.’

European Union Presidency - Candidates join TV debate in May 2014
European Union Presidency – Candidates join TV debate in May 2014

2014 මැයි මාසයේ යුරෝපා කොමිසමේ ජනාධිපති තනතුරට ඉදිරිපත් වූ අපේක්ෂකයන් නෙදර්ලන්තයේ මාස්ට‍්‍රයික්ට් නුවරදී සජීව ටෙලිවිෂන් විවාදයකට සහභාගි වුණා. එය EuroNews නාලිකාව මගින් ලොව පුරා සජීව ලෙසින් විසුරුවා හැරියා.

ජපානය ද මහ මැතිවරණයකට පෙර ප‍්‍රධාන පක්ෂවල නායකයන් සම්බන්ධ කර ගෙන මෙබඳු සජීවී ටෙලිවිෂන් විවාද පවත්වයි. එයට මුල් වන්නේ එම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නායකත්ව මට්ටමක සිටින ප්‍රෙස් ක්ලබ් හෙවත් මාධ්‍ය සමාජයයි.

මේ හැම විවාදයක්ම මෙන්ම ගෙවී ගිය අඩ සියවසක ඇමරිකානු ජනාධිපති අපේක්ෂක විවාදයන් ද යූටියුබ් හරහා ඕනෑම අයකුට නැරඹිය හැකියි. මේ සම්ප‍්‍රදාය ටිකෙන් ටික ප‍්‍රචලිතවීමත් සමග පූර්ව මැතිවරණ කාලය තුළ වඩාත් හරවත්ව මාධ්‍ය යොදා ගැනීමකට හා දේශපාලන සංස්කෘතිය වඩාත් සහභාගිත්ව මට්ටමකට ගෙන ඒමට උපකාර වනවා.

මේ ගෝලීය ප‍්‍රවණතාවලට ශ‍්‍රී ලංකාව කවදා අනුගත වේද?