BBC Interview [Sinhala]: Countering Hate Speech and Fake News in Sri Lanka

Today, I was interviewed on video for BBC Sinhala service for my views on hate speech and fake news. Given below is my remarks in Sinhala, excerpts from which are to be used.

In summary, I said these phenomena predate social media and the web itself, but cyber space has enabled easier and faster dissemination of falsehoods and hatred. Additionally, anonymity and pseudonymity — fundamental qualities of the web – seem to embolden some to behave badly without revealing their identities.

The societal and state responses must be measured, proportionate and cautious, so as not to restrict everybody’s freedom of expression for the misdeeds of a numerical minority of web users. I urged a multi-pronged response including:

– adopting clear legal definitions of hate speech and fake news;

– enforcing the existing laws, without fear or favour, against those peddling hatred and falsehoods;

– mobilising the community of web users to voluntarily monitor and report misuses online; and

– promoting digital literacy at all levels in society, to nurture responsible web use and social media use.

 

වෙබ්ගත අවකාශයන් හරහා වෛරී කථනය හා ව්‍යාජ පුවත් ගලා යාම ගැන අද ලොකු අවධානයක් යොමු වී තිබෙනවා. වර්ගවාදී හා වෙනත් අන්තවාදී පිරිස් සමාජ මාධ්‍ය වේදිකා හරහා ආන්තික සන්නිවේදනය කරමින් සිටිව බවත් අප දන්නවා.

එහෙත් මේ ප්‍රවනතා එකක්වත් ඉන්ටර්නෙට් සමඟ මතු වූ ඒවා නොවෙයි. 1990 දශකයේ වෙබ් අවකාශය ප්‍රචලිත වීමට දශක ගණනාවකට පෙරත් අපේ සමාජයන් තුළ මේවා සියල්ලම පැවතියා. ප්‍රධාන ධාරාවේ සමහර මාධ්‍ය හරහා මෙන්ම කැලෑ පත්තර හරහාත් පල් බොරු මෙන්ම මඩ ප්‍රහාරද ගලා යන බව අපි හොඳාකාර දන්නවා!

වෙබ් පැතිරීමත් සමග සිදුව ඇත්තේ මේ ආන්තික ප්‍රවාහයන්ට නව ගැම්මක් ලැබීමයි. එසේම සැඟවී සිට, ආරූඪනාමිකව යම් අයට තර්ජන කරන්න, අපහාස කරන්න නැතිනම් ව්‍යාජ පුවත් පතුරුවන්න ඉන්ටර්නෙට් හරහා වඩා ලෙහෙසියි.

එහෙත් මෙහි වරද සයිබර් අවකාශයේ නොව එය අවභාවිත කරන සාපේක්ෂ සුලුතරයකගේයි. රටේ ආර්ථිකයට, ජනසමාජය බෙහෙවින් ප්‍රයෝජනවත් තොරතුරු ප්‍රභවයක් හා අධ්‍යාපනික මෙවලමක් වන වෙබ් අවකාශය ටික දෙනකුගේ නොහොබිනා ක්‍රියා නිසා සැමට අහිමි කිරීම හෝ සීමා කිරීම නොවෙයි මේ ප්‍රශ්නයට නිසි ප්‍රතිචාරය.

අප දැන් කළ යුතුව ඇත්තේ භෞතික ලෝකයේ වුවත්, සයිබර් අවකාශයේ වුවත්, වෛරී කථනය, ව්‍යාජ පුවත් හා අන්තවාදී සන්නිවේදනවලට එරෙහිව සීරුවෙන් හා බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමයි.

එසේ කිරීමේදී අප සැවොම ඉහළ වටිනාකමක් දෙන භාෂණයේ නිදහස රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි. අප නොරිසි දේ කියන අයටත් භාෂණ නිදහස එක සේ හිමි බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.

මෙහිදී නිරවුල් නිර්වචන ගැන එකඟ වීම මූලික පියවරක්. උදාහරණයකට, දේශපාලකයන් නිර්දය ලෙස විවේචනය කිරීම හෝ වෙනත් නාමධාරී චරිත ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කිරීම ආදිය කිසිසේත් වෛරී කථනයන් නොවෙයි.

ඉන්ටර්නෙට් වාරණයට මා විරුද්ධයි. ෆේස්බුක් වැනි ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවලට මෙරට සිට ප්‍රවේශ වීම අවහිර කිරීම කිසිදු සමාජ ප්‍රශ්නයකට තිරසාර විසඳුමක් නොවෙයි.

යම් මට්ටමකට නීති හා නියාමන අවශ්‍යයි. එහෙත් පවතින අපහාස නීති හා වෛරී කථනවලට එරෙහි නීති පවා හරිහැටි ක්‍රියාත්මක නොවන පසුබිමක නීතිවලින් පමණක් විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ.

සරල උපමිතියක් ගනිමු. මහපාරේ කෙළ ගසන, රේල්පාරේ මළපහ කරන අය තාමත් අප අතර සිටිනවා. අපරාධකරුවන් පොදු අවකාශයේ සැරිසරනවා. එසේ වූ පලියට අපි පාරවල් හෝ රේල්පාරවල් වසා දමන්නේ නැහැ. බියෙන් ගෙදරට වී සිටින්නේත් නැහැ. වෙනත් ක්‍රමෝපායන් හරහා ඒවා සමනය කරන්න තැත් කරනවා. ආරක්ෂක උපක්‍රම යොදා ගන්නවා.

වෛරී කථනය, ව්‍යාජ පුවත් වැනි සමාජ විරෝධී ක්‍රියා නීතියෙන් පමණක් නතර කළ නොහැකියි. ඒවා කරන අයට එරෙහිව ප්‍රජාවක් ලෙස පෙල ගැසීම අවශ්‍යයි. විනයානුකූල හැදියාව, ආචාරශීලී වීම ආදී ගතිගුණ ගෙදරින්, පාසලෙන් ප්‍රවර්ධනය කළ යුතුයි.

ඩිජිටල් තාක්ෂණය හා වෙබ් අවකාශය අප බොහෝ දෙනකුට අලුත් අත්දැකීමක්. මේවා ප්‍රවේශමින්, ආචාර ධර්මීයව භාවිත කරන සැටි කියා දෙන ඩිජිටල් සාක්ෂරතාවය අද හදිසි අවශ්‍යතාවක්.

සමාජ මාධ්‍ය අවහිර කිරීම හා නව මාධ්‍ය භීතිකාව: 2018 මාර්තු 8 වනදා ලියූ සටහනක්

This comment on Sri Lanka’s social media blocking that commenced on 7 March 2018, was written on 8 March 2018 at the request of Irida Lakbima Sunday broadsheet newspaper, which carried excerpts from it in their issue of 11 March 2018. The full text is shared here, for the record.

සමාජ මාධ්‍ය අවහිරය ඇරඹුනාට පසුවදා, 2018 මාර්තු 8 වනදා, ඉරිදා ලක්බිම පත්‍රයේ ඉල්ලීම පිට ලියන ලද කෙටි සටහනක්. මෙයින් උපුටා ගත් කොටස් 2018 මාර්තු 11 ඉරිදා ලක්බිමේ පළ වුණා.

Sunday Lakbima 11 March 2018

සමාජමාධ්‍ය අවහිර කිරීම හා නව මාධ්‍ය භීතිකාව:

– නාලක ගුණවර්ධන

‘‘අන්න සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!

නව සන්නිවේදන තාක්ෂණයන්ට දොස් තබන්නටම බලා සිටින උදවිය යළිත් වරක් මේ දිනවල මේ චෝදනාව මතු කරනවා. මොකක්ද මෙහි ඇත්ත නැත්ත?

2018 මාර්තු 7 වනදා රජය සමාජ මාධ්‍ය කිහිපයකට තාවකාලික සීමා පැනවූවා. හේතුව ලෙස දැක්වූයේ රටේ වාර්ගික ගැටුම් ඇති කරන පිරිස් සමාජ මාධ්‍ය හරහා තම ප්‍රහාරයන් සම්බන්ධීකරණය කරන බවට සාක්ෂි ලැබී ඇති බවයි.

මේ අනුව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකා දෙකත්, WhatsApp හා Viber යන චැට් වේදිකා දෙකත් දින කීපයකට මෙරට සිට පිවිසීම අවහිර කොර තිබෙනවා. මේ නියෝගය දී ඇත්තේ ටෙලිකොම් නියාමන කොමිසමයි (TRCSL).

හදිසි අවස්ථාවක නීතිය හා සාමය රැකීමේ එක් පියවරක් ලෙස මේ තාවකාලික තහන්චිය සාධාරණීකරණය කළත්, මෙය සාර්ථක වේද යන්න සැක සහිතයි. අවහිර කරන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වේදිකාවලට අනියම් ක්‍රමවලින් හෙවත් proxy server හරහා පිවිසීමේ දැනුම සමහරුන් සතුයි.

වෛරීය ක්‍රියා සඳහා සමාජමාධ්‍ය අවභාවිත කරන අය කොහොමටත් පරිගණක තාක්ෂණය දන්නා නිසා මෙවැනි තහන්චියකින් ඔවුන් නතර කළ හැකිද යන්න රජය මෙනෙහි කළ යුතුයි.

සමාජ මාධ්‍ය අවභාවිත කරන්නේ සාපේක්ෂව සුලු පිරිසක්. උදාහරණයකට අපේ රටේ මිලියන් හයකට වැඩි දෙනකුට ෆේස්බුක් ගිනුම් ඇති අතර එයින් වෛරීය පණිවුඩ පතුරුවන්නේ හා ප්‍රහාරවලට සන්නිවේදන කරන්නේ ටික දෙනකු පමණයි.

ඔවුන් පාලනය කරන්න පොලිසියට නොහැකි වීම නිසා සමස්ත මිලියන් හයටම ෆේස්බුක් ප්‍රවේශ වීම අවහිර කරන්න පියවර අරන්.

මේ නිසා ජාතීන් අතර සහජීවනය, සමගිය හා සාමය පිලිබඳ ෆේස්බුක් හරහා වටිනා පණිවුඩ දුන් කුමාර් සන්ගක්කාර වැනි අයගේ සන්නිවේදනත් මේ මොහොතේ සමාජගත් වන්නේ නැහැ. මුස්ලිම් ජනයා රැක ගන්න පෙරට ආ සිංහලයන් ගැන තොරතුරු ගලා යාමට ක්‍රමයක් ද නැහැ.

Popular meme – one among many – condemning Social Media Blocking in Sri Lanka in early March 2018

“සමාජ මාධ්‍යකාරයෝ” කියා පිරිසක් ඇත්තටම නැහැ. ඒවා අපට වඩාත් හුරු ආකාරයේ විධිමත් ජනමාධ්‍ය නොවෙයි. ෆේස්බුක් වැනි වේදිකාවලට ගොඩ වන්නේ, ඒවායේ සේවා නොමිලයේ ලබන්නේ සාමාන්‍ය ජනයායි. බොහෝ කොටම පෞද්ගලික සාමීචි කතාවලට. විටින්විට දේශපාලන හා කාලීන වෙනත් කථාත් එහි මතු වනවා.

ඒත් සැබැවින්ම රට ගිනි තබන ජාතිවාදී, අවස්ථාවාදී මැරයෝ නම් ෆේස්බුක් තිබුණත් නැතත් තම ප්‍රචන්ඩත්වයට කෙසේ හෝ මාර්ග පාදා ගනීවි. නිසි ලෙස නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වනවා නම් මේ දාමරිකයන් අත් අඩන්ගුවට ගෙන උසාවි ගත කළ යුතුයි.

මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. ඉන්ටර්නෙට් වාරණයටත් විරුද්ධයි. බහුතරයක් අහිංසක, හිතකර සන්නිවේදන සිදුවන වේදිකාවක්, මැරයන් ටික දෙනකුද එහි ගොඩ වී නීතිවිරෝධී වැඩට භාවිත කළ පමණින් එය ගෙඩිපිටින් අවහිර කිරීම පරිනත ක්‍රියාවක් නොවෙයි.

මේ තර්කයම මොහොතකට තැපැල් සේවාවට නැතහොත් ජන්ගම දුරකථනවලට ආදේශ කළොත්? 1988-89 වකවානුවේ ජවිපෙ විසින් තර්ජනාත්මක ලිපි කීපයක් තැපෑලෙන් යැවූ නිසා සමස්ත ලියුම් බෙදිල්ලම විටින්විට නතර කළ බව අපට මතකයි.

ඒ මෝඩ ක්‍රියාවෙන් කී ලක්ෂයක් ලියුම් ප්‍රමාද වී ගොඩ ගැසුනාද? ලියුම් බෙදිල්ල නතර කළා කියා එවකට යටිබිම්ගත ප්‍රචන්ඩ දේශපාලනයක නිරතව සිටි ජවිපෙ සන්නිවේදන නතර වුණේ නැති බව නම් අපට මතකයි.

නූතන සන්නිවේදන යථාර්ථයට අනුගත වන නව පන්නයේ නියාමන ක්‍රම හා ප්‍රතිපත්තිමය ප්‍රතිචාර අපට අවශ්‍යයි. එහි විවාදයක් නැහැ එහෙත් 20 වන සියවසේ වාරණ මානසිකත්වයෙන් 21 සියවසේ වෙබ් මාධ්‍යවලට ප්‍රතිචාර දක්වන්නට බැහැ.

බ්ලොක් කළ වෙබ් සේවාවලට අනුයක් ක්‍රම මගින් මැරයෝ පිවිසෙද්දී අහිංසක ජනයා එහි යා නොහැකිව ලත වීම පමණයි සිදුවන්නේ!

සමාජ මාධ්‍ය තවමත් සාපේක්ෂව අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

තවත් සමහරුන් සමාජ මාධ්‍ය කවදාවත් තමන් භාවිත කළ අයත් නොවෙයි! එහෙන් මෙහෙන් අහුලාගත් දෙයින් විරෝධතා නගනවා!

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා. එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි.  එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

Muslim intellectual demonises Social Media as ‘even more dangerous than physical violence against muslims’: Lakbima, 11 March 2018