සිවුමංසල කොලු ගැටයා #372: ආරංචිද වැඩේ? ඕපාදූපවල පරිණාමීය වැදගත්කමක් තිබෙනවාලු!

Even though it is widely practised in most human societies, gossip is much maligned. At best it is seen as frivolous and a waste of time, and at worst, as malicious and anti-social.

But not all gossip is bad, and, a growing body of research shows that gossip can be useful in maintaining social norms and keeping people in line. In my latest Ravaya column (in Sinhala language, published on 22 July 2018), I look at the evolutionary, sociological and anthropological insights offered by gossip related research in recent years.

Exploring the Lankan gossip-sphere, I note how certain mainstream media companies have started explicitly gossip news websites that now attract large visitor numbers. To sustain this traffic, they publish increasingly sensational, click-bait kind of content. Such manufacturing and marketing of gossip, I argue, is an inevitable by-product of online freedom of expression.

Finally, I ask why Lankan mass communications researchers dismiss gossip with such contempt, and wonder what findings could be made about our collective psyche if only our researchers adopt a more open-minded approach to this topic…

Gossip has served an evolutionary purpose, and continues to be relevant for humans as social animals…

ගොසිප් නැතිනම් ඕපාදූප ගැන මෙරට විද්වත් සමාජයේ ඇත්තේ අවඥා සහගත ආකල්පයක්. කිසිදු වැදගත්කමක් නැති, හරසුන් හා කාලය කා දමන ක්‍රියාවක් ලෙස එය සැළකෙනවා.

ජන සන්නිවේදනය ගැඹුරින් අධ්‍යයනය කළ හා එම විෂය උගන්වන බොහෝ ගුරුවරුන්ද ගොසිප් හෙළා දකිනවා. මෑතදී මා සහභාගි වූ සාකච්ඡාවක ගොසිප් හඳුන්වා දෙනු ලැබුවේ ‘දුශ්ශීල’ ක්‍රියාවක් හැටියටයි.

අනුන්ගේ අඩුපාඩු හා දුක් කරදර ගැන ඔවුන් නැති තැන මහත් ඕනැකමින් කතා කිරීම මාද අනුමත කරන්නේ නැහැ. එහෙත් අප බොහෝ දෙනකු ගොසිප් ලෙස තේරුම් ගන්නා දෙයට වැඩි යමක් ඕපාදූප නම් සමාජ ප්‍රපංචයෙහි තිබෙනවා.

සමාජ මාධ්‍ය හා සෙසු ජනමාධ්‍ය සමහරක් හරහා ද ගොසිප් අධිවේගීව ගලා යන අද කාලේ එය ගෙඩි පිටින් හෙළා දකිනු වෙනුවට එහි ගතිසොබා අවබෝධ කර ගනිමු. මගේ ස්ථාවරය එයයිග

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාඥ හා පරිණාමීය මනෝ විද්‍යාඥ (anthropologist and evolutionary psychologist)  රොබින් ඩන්බාර් (Dr Robin Dunbar)” ගොසිප් පිළිබඳව කලෙක සිට පර්යේෂණ කරන්නෙක්. මෙම ක්ෂේත්‍රයේ ලොව පිළිගත් විද්වතෙක්.

ඔහු කියන්නේ මානව වර්ගයාගේ ආරම්භයේදී ගොසිප් ලෙස වර්ග කෙරුණේ සමීපතයන් සමග දොඩමලු වෙමින් හුවමාරු කරගන්නා තොරතුරු බවයි. ඇත්තටම භාෂා කතා කිරීම ඇරඹීමටත් පෙර පටන් අපේ වානර ආදිතමයෝ සිය වටපිටාව ආහාර ප්‍රභවයන්, අන්තරායන් ගැන ඉඟි බසින් තොරතුරු හුවමාරු කර ගත්තා.

රැලේ යම් සාමාජිකයන් විශ්වාස කළ හැකිද, ඔවුන් ආත්මාර්ථකාමීන් ද ආදී සමාජ තක්සේරුවක් ද ක්‍රමයෙන් හුවමාරු වීම ඇරඹුණා. ගොසිප්වල ප්‍රභවය මෙතැනයි.

මානවයන් පරිණාමය වූ අප්‍රිකානු සැවානා තණ බිම්වල පණ කෙන්ද රැක ගෙන, සමූහ ජීවිත ගෙවීමට මුල් යුගයේ ගොසිප් අත්‍යවශ්‍ය වූ බව ඩන්බාර්ගේ මතයයි.

කල්පිතයක් ලෙස ඩන්බාර් කියන්නේ මානව සමාජයන්හි භාෂා බිහි වීමට ගොසිප් කිරීමේ අවශ්‍යතාව ප්‍රබල උත්තේජකයක් වූ බවයි.

භාෂාවන් බිහි වී මානව සන්නිවේදනය වඩාත් දියුණු වූවාට පසුව ද සමාජ තොරතුරුවල අගය අඩු වූයේ නැහැ. කණ්ඩායම් ලෙස ජීවත් වන සමාජශීලී සත්ත්වයන් වන මානව අපට අපේ ප්‍රජාවේ සාමාජිකයන් ගැන බැලූ බැල්මට නෙපෙනෙන තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් ලෙස පරිණාමීයව හා ඓතිහාසිකව ගොසිප් හෙවත් ඕපාදූප තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කොට තිබෙනවා.

ආගිය තොරතුරු හා සාමිචී කතා කිරීම සමාජ සම්බන්ධතා ඇති කිරීමට මෙන්ම ඒවා කලක් තිස්සේ ප්‍රාණවත්ව පවත්වා ගැනීමට බොහෝ ඉවහල් වන බව ඔහුගේ මතයයි.

”මානව අප එකිනෙකා සමග කතාබහ කරන හැම විටම ප්‍රායෝගික නැතහොත් බුද්ධිමය වශයෙන් වැදගත් කාරණාවලට පමණක් එය සීමා කරන්නේ නැහැ. සැහැල්ලුවෙන්, දඟකාරකමින්, විනෝදකාමීව කතා කිරීම අප කාටත් අවශ්‍යයි. එහිදී ගොසිප් යම් ප්‍රමාණයක් හුවමාරු වීම පරිණාමීය ලෙස අප ලද උරුමයක්. මෙය වාචිකව හුවමාරු වනවාට අමතරව මේ වන විට සමාජ මාධ්‍යවල ලිඛිතව හෝ රූප හරහා ද සිදු වනවා” යයි ඩන්බාර් විග්‍රහ කරනවා.

දිගු කලක් තිස්සේ චිම්පන්සීන් හා වෙනත් වානර විශේෂවල හැසිරීම අධ්‍යයනය කර ඇති ආචාර්ය ඩන්බාර්, තම විද්වත් විග්‍රහයන් කැටි කරමින් 1996දී Grooming, Gossip and the Evolution of Language නමින් පොතක් පළ කළා.

ඔහු කියන්නේ ගොසිප්වලට අමතරව කතන්දර කීමද මානව ඉතිහාසයේ හා ප්‍රාග් ඉතිහාසයේ දිගටම අපේ වර්ගයාට ආවේණික ප්‍රබල පුරුද්දක් බවයි.

ගොසිප් සම්ප්‍රදායන් මෙන්ම කතාන්දර කීමේ පුරුද්දත් එකිනෙකට බෙහෙවින් වෙනස් වූත්, ස්වාධීනව බිහි වී විකාශනය වූත් මානව ශිෂ්ටාචාරයන් රැසක් හමු වනවා. ඩන්බාර් කියන්නේ මෙය අහම්බයක් නොව සංස්කෘතික පරිණාමයේ මූලික හා තවමත් වැදගත් අංගයක් බවයි.

”සමාජශීලී සත්ත්වයන් ලෙස මානවයන්ට තම තමන් සෙසු ප්‍රජාවට බද්ධ වන්නේ කෙසේද යන්නත්, තමන්ගේ සාපේක්ෂ තරාතිරම කුමක්ද යන්නත් නිරතුරු විමසීම හා දැන ගැනීම අවශ්‍ය වනවා. මෙය සවිඥානිකව කළත් නොකළත් ඕපාදූප හා වෙනත් සාමීචි කතාවල අතුරු ඵලයක් වන්නේ තමා අයත් වන ප්‍රජාවට සමානුපාතිකව තමන් සිටින ස්ථානය ගැන අවබෝධයක් පුද්ගලයාට ලබා දීමයි.”

ඩන්බාර්ගේ පර්යේෂණ සමාජ මාධ්‍යවලට අදාළ කරමින් විද්වත් විග්‍රහයන් කර ඇති ප්‍රකට සමාජ විද්‍යාඥවරියක් වන සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) කියන්නේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා ගැනීමට එහා යන පරිණාමීය මානව අවශ්‍යතාවක් ද ඉටු වන බවයි.

නාගරීකකරණය නිසා තව දුරටත් භෞතික වශයෙන් කඩපිල්වල, ළිඳ ළඟ හෝ වෙනත් පොදු තැන්වල එතරම් මුණ නොගැසෙන තම ප්‍රජාව සමග නිරතුරු සාමීචී හා ගොසිප් හුවමාරු කර ගන්නට සමාජ මාධ්‍ය විසින් විකල්ප අවකාශයක් බිහි කර තිබෙනවා. (සමාජ මාධ්‍ය හරහා ගලා යන සියල්ල ගොසිප් වේයැයි මෙයින් අදහස් වන්නේ නැහැ.)

පරිනාමීයව පමණක් නොව නූතන යුගයේ පවා ඕපාදූප හෙවත් ගොසිප් අප සිතනවාට වඩා වැදගත් සමාජ සන්නිවේදන මෙහෙවරක් ඉටු කරන බව පසුගිය දශක දෙකක පමණ කාලයේ කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

Left to Right – Dr Robin Dunbar, Dr Zeynep Tufekci, Dr Robb Willer

‘ගොසිප්වල සමාජ විද්‍යාත්මක වැදගත්කම’ නමින් තීරණාත්මක පර්යේෂණ ලිපියක් 2012දී විද්වත් සඟරාවක පළ වුණා. එය ලියා තිබුණේ ගොසිප් ගැන මැදහත්ව කලක් තිස්සේ අධ්‍යයනය කළ සමාජ විද්‍යාඥයන් පිරිසක් විසින්. ඔවුන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් හා කැලිෆෝනියා බර්ක්ලි සරසවිවලට සම්බන්ධයි.

‘ජනප්‍රිය මතය නම් සියලු ඕපාදූප සැම විටම අහිතකර බවයි. බොහෝ ඕපාදූපවල ඍණ ගතිගුණ තිබෙන බව ඇත්ත. එහෙත් තුලනාත්මකව මේ සංසිද්ධිය විමර්ශනය කළ අපට පෙනී ගියේ ඕපාදූපවල සමාජමය වැදගත්කමක් තිබෙන බවයි.’ සමාජ විද්‍යා මහාචාර්ය රොබ් විලර් (Dr Robb Willer)  ප්‍රකාශ කළා.

‘සමාජශීලී සත්ත්වයන් හැටියට මානව අප බොහෝ සමාජ සම්බන්ධතා පවත්වා ගන්නවා. එහිදී යමකු පිළිබඳ අප නොදන්නා හෝ නොදුටු පැතිකඩක් තිබිය හැකියි. පිටතට පෙනෙන චරිතගති හෝ චර්යාවලට එහා යන ගතිගුණ පැවතිය හැකියි. ඕපාදූප හරහා මෙවන් තොරතුරු හුවමාරු කැරෙනවා. ඒවා සමහර විට අතිශයොක්තියට ලක් විය හැකි බව ඇත්ත. එහෙත් අනතුරු ඇඟවීම් ද එතුළ ගැබ්ව තිබෙනවා.’

මහාචාර්ය විලර් සහ පර්යේෂක පිරිස සොයා ගත් තවත් මානයක් නම් තමා ගැන සමාජයේ කොයි අන්දමින් කතා බහ වෙයිද යන්න ගැන බොහෝ දෙනකු අවධානය යොමු කරන බවයි.

මොන ඕපාදූපයකට තමන් පාත්‍ර වේද යන්න අවිනිශ්චිත නිසා සමාජ ගනුදෙනුවලදී හැකි තාක් නීතිගරුකව, ආචාරශීලීව පෙනී සිටීමට පුද්ගලයන් තැත් කරනවා. එය ඕපාදූප වල සමාජියීය බලපෑමක් ලෙසයි ඔහු හඳුනා ගන්නේ.

තමන් වෙසෙන පටුමග හා අවට පොදු ප්‍රදේශය පිරිසිදු කිරීම හරහා මදුරුවන් බෝ වීම අවම කිරීමට තැත් කරන ප්‍රජාවක් ගැන මොහොතකට සිතන්න. නිවැසියන් සැවොම එවන් පොදු වැඩකට ඉත සිතින් ශ්‍රමය දානය කරන්නේ නැහැ. සමහරු හරිම ආත්මාර්ථකාමීයි. එහෙත් තවත් පිරිසත් නොකැමැත්තෙන් වුව පොදු වැඩට එක් වනවා. හේතුව අසල්වාසීන් තමන් ගැන කෙසේ කතා කරනු ඇති ද යන හේතුව නිසා.

මෙවන් අවස්ථාවල ඕපාදූපවල සමාජයීය හිතකර බලපෑම හොඳින්ම පෙනී යන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම නිරීක්ෂණ ඉහත කී අමෙරිකානූ පර්යේෂණයට පමණක් සීමා වන්නේ නැහැ. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ පර්යේෂකයන් ද ඕපාදූපවල සමාජමය බලපෑම් ගැන අත්හදා බැලීම් ගණනාවක් කළා. ඔවුන්ගේ නිගමනය වූයෙත් කුඩා කණ්ඩායම් හා සීමිත ප්‍රජාවන් තුළ පුද්ගල හැසිරීමට ඕපාදූප තීරණාත්මකව බලපාන බවයි.

සන්නිවේදන තාක්ෂණයන් වඩාත් පුළුල්ව පැතිරුණු වත්මන් සමාජයේ ගොසිප් ද මාධ්‍යකරණය වී තිබෙනවා. මෙය ද අලුත් ප්‍රවණතාවක් නොවෙයි.

නළු නිළියන් හා වෙනත් සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ගැන තහවුරු නොවූ තොරතුරු මාධ්‍ය හරහා සංසරණය වීම කලක සිට සිදු වන්නක්. සමහර කලාකරුවන් හා චිත්‍රපට/නාට්‍ය නිෂ්පාදකයන් මේ ජන උනන්දුව සූක්ෂම ලෙස තමන්ගේ නිර්මාණ ප්‍රවර්ධනයට ද යොදා ගන්නවා.

ඕපාදූප මාධ්‍යකරණය වීම එතරම් හිතකර දෙයක් නොවෙයි. අන්තර් පුද්ගල සාමීචි කතාබහේදී හා සමාජ මාධ්‍යවල තහවුරු නොකළ තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා ගලා යාම ප්‍රකාශන නිදහසේ කොටසක්.

එහෙත් ඊට වඩා වගකීම් සහගත, ප්‍රමිතිගත තොරතුරු බෙදා හැරීමක් අප ප්‍රධාන ධාරාවේ පත්තර, ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය වලින් අපේක්ෂා කරනවා.

එහෙත් අද සිදු වන්නේ කුමක්ද? බොහෝ මහා මාධ්‍ය චූල මාධ්‍ය මට්ටමට බැස ක්‍රියා කිරීමයි.

උදාහරණයක් ලෙස දේශපාලන ඕපාදූප අද අපේ මාධ්‍යවල ප්‍රධාන අංගයක් වෙලා. සතියේ දේශපාලන විග්‍රහයන් ලෙස සති අන්ත පුවත්පත්වල පළ වන බහුතරයක් අන්තර්ගතය අතන මෙතන කසු කුසු කතා මිසක දේශපාලන න්‍යාය මත පදනම් වූ විග්‍රහයන් නොවෙයි.

මා දන්නා තරමට නම් ‘පොලිටිකල් ගොසිප්’ ප්‍රධාන ධාරාවේ පත්‍රවල මේ ආකාරයේ මූලික අංගයක් කළේ ලසන්ත වික්‍රමතුංගගේ මාධ්‍යකරණයයි. ඔහු 1990 දශකය මුලදී පටන් ගත් සම්ප්‍රදාය පසුව සෙසු බොහෝ පුවත්පත් අනුකරණය කළා.

දේශපාලකයන්ගේ කෙරුවාව හා කයිවාරු ගැන මහජනයා දැන ගත්තාට වරදක් නැහැ. එහෙත් දේශපාලන විචාර ලෙස මාධ්‍ය සිය ග්‍රාහකයන්ට සපයන්නේ එවන් ඕපාදූප හා සරල සිල්ලර කතා පමණක් නම්, හරවත් දේශපාලන සංවාදයන්ට එයින් දායකත්වයක් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

ගොසිප්වලට ලොකු ඉල්ලුමක් තිබෙන බව නම් පැහැදිලියි. දැන් දැන් සමහර පත්තරවල ගොසිප් එළිපිටම පළ කරනවා. එසේම මෙරටින් වැඩිම පිරිසක් වෙබ්ගතව කියවන වෙබ් අඩවි අතර ඉහළින් සිටින්නේ තමන් විසින්ම ‘ගොසිප් අඩවි’ යැයි හඳුන්වා ගන්නා වෙබ් අඩවි කිහිපයක්.

මේ හැරුණු කොට පුවත් වෙබ් අඩවි සමහරක් ද ඕපාදූප මට්ටමේ දුස්තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා පුවත් සේ පළ කරනවා. මහා මාධ්‍ය කළමනාකරුවන් සමහරෙක් මේවායේ ජනප්‍රියත්වය දෙස බලා තමන්ගේ මාධ්‍යත් වඩාත් එවැනි ගොසිප් මට්ටමකට ගෙන යාමට තැත් කරනු පෙනෙනවා. මෙය කනගාටුදායක ප්‍රවණතාවක්.

[මෙහිදි යළිත් වරක් වැදගත් පැහැදිලි කිරීමක් කළ යුතුයි. තමන්ගේ වෙබ් අඩවි ලිපින හරහා පළ කැරෙන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි කිසිසේත්ම සමාජ මාධ්‍ය නොවෙයි. සමාජ මාධ්‍ය වේදිකා වන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමග මේවා පටලවා නොගත යුතුයි.]

ඉතින් ගොසිප් හොඳද – නරකද? මේ ගැන සුචරිතවාදී විග්‍රහයක් මා ලබා දෙන්නේ නැහැ. අද කතා කළ දේ මෙසේ සම්පිණ්ඩනය කළ හැකියි.

  • අප සමහරුන් කැමති වුවත්, නැතත් ගොසිප්/ඕපාදූප යනු ජන සමාජයේ කිඳා බැස ගත්, පරිණාමීයව උරුම වූ චර්යා රටාවක්.
  • අන්තර් පුද්ගල මට්ටමේදීත්, සමාජ මාධ්‍යවලදීත් ගොසිප් හුවමාරුව ප්‍රකාශන නිදහසේ කොටසක් මෙන්ම එහි මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වාසි තිබෙනවා.
  • මහා මාධ්‍යවල ගොසිප් නැඹුරුව නම් අහිතකරයි. ගොසිප් අන්තර්ගතය මහා මාධ්‍යවල කතුවරුන්ට අවශ්‍යම නම් එය පැහැදිලිව ගොසිප් ලෙස ලේබල් කොට ඉදිරිපත් කිරීම වඩා හොඳයි. ඒත් එසේ කිරීම හරහා මාධ්‍ය ගැන තිබෙන මහජන විශ්වාසය තවත් පලුදු වනවා.
  • අපේ රටේ සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් දේශීය ගොසිප් ප්‍රවණතා හා ගති සොබා විද්වත්ව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ජන සන්නිවේදන ඇදුරන් මෙය හෙළා දුටු පමණට ගොසිප්වල සුජාතභාවය අහෝසි වන්නේ නැහැ.