සිවුමංසල කොලු ගැටයා #373: පෑදි දියට බොර දිය එක් කරන ව්‍යාජ පුවත් මවන්නෝ කවරහුද?

In this Ravaya column (published on 29 July 2018), I further explore the contours of fake news in Sri Lanka. I point out, with examples, that certain politicians (including national leaders) and senior journalists are actively engaged in creating and/or disseminating myths, misconceptions and fallacies that give rise to fake news.

I debunk, with official (police) data, that contrary to popular perception and reckless media claims, there is no ‘crime wave’ sweeping across Sri Lanka. In fact, the opposite is true: incidence of serious crimes are showing a gradual decline, even though the current levels are still too high.

Similarly, when some ill-informed academics and social activists engage in loose talk about ‘Sri Lanka’s rising suicide rate’. This could be due to mainstream media and social media’s coverage of various suicide incidents. Sections of the media have begun calling Sri Lanka ‘suicide capital’ of the world. Others are quick to blame new technologies such as social media as a ‘cause’ for some recent youth suicides, without any research to back such claims.

Police data (which is the most reliable on this subject) shows otherwise. Sri Lanka has made major advances in reducing its suicide rate from the peak in the mid 1990s (when there were 8,514 reported suicide deaths in 1995), to 3,025 suicide deaths reported in 2016. Compared to neighbouring South Asian countries, where there has been little change in suicide rates, Sri Lanka has managed to reduce its crude suicide rate by 70% during the last two decades.

Cartoon Courtesy: Daily Mirror Sri Lanka

ව්‍යාජ පුවත් (Fake News) ගැන අවසන් වරට අප 2018 ජූනි 24 වනදා තීරු ලිපියෙන් සාකච්ඡා කළා.

මුසාව, මුලාව හා දුස්තොරතුරු වැනි විවිධ පැතිකඩ ඇති මේ සංකීර්ණ සමාජ ප්‍රශ්නයට නීති හෝ රෙගුලාසිවලින් පමණක් විසඳුම් ලබා ගත නොහැකි බව මා අවධාරණය කළා.

කෙන්ද කන්ද කරන්නට සමත් ජනමාධ්‍ය කලාවක් ප්‍රචලිත අද කාලේ ව්‍යාජ පුවත් ප්‍රචලිත වීම ගැන සමාජ මාධ්‍යවලට පමණක් දොස් කීම නිසි ලෙස රෝග විනිශ්චයක් නොවන බවත් මා පෙන්වා දුන්නා.

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ගැන, රටේ HIV වයිරසය ප්‍රචලිත වීමේ ප්‍රවණතා ගැන, නව බදු පණතින් ආදායම් බදු අය කැරෙන විවිධ නිර්නායක ගැන හා වෙනත් බොහෝ කරුණු පිළිබඳව නොයෙකුත් දුර්මතයන් හා පල් බොරු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා නිතර පැතිරෙනවා.

රජයේ නිල ප්‍රකාශකයන්ට මේ බොරු නිවැරදි කිරීමට හා ඇත්ත ඇති සැටියෙන් පහදා දීමට සෑහෙන කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුව තිබෙනවා.

මගේ විග්‍රහයට අනුව නම් ව්‍යාජ පුවත් දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජගත කරන ප්‍රධාන දෙපිරිසක් සිටිනවා. එක් පිරිසක් නම් වෘත්තීය බවින් තොර හෝ මඳ වූ මාධ්‍යවේදීන්. අනෙක් පිරිස නම් කිසිදු සමාජයීය වගකීමකින්  තොරව කටට එන දේ කියන විවිධාකාර දේශපාලකයින්.

මේ නිසා ව්‍යාජ පුවත්වලට එරෙහි නව නීතියක් ගෙන ආවොත් මුලින්ම චෝදනා ගොනු කළ යුතු වන්නේ සමහරක් නාමධාරී දේශපාලකයන්ට හා මාධ්‍යකරුවන්ටයි!

මෑත උදාහරණ කීපයක් හරහා මෙය විග්‍රහ කරමු.

දත්ත මත පදනම් නොවී, බැලූ බැල්මට හෝ මාධ්‍ය හරහා අසන දකින දෙය මත පමණක් පදනම් වී හෝ සමස්ත ලක් සමාජය ගැන ලොකු නිගමනවලට එළඹෙන නැඹුරුවක් අප දකිනවා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීන්, වෘත්තිකයන් හා සරසවි ඇදුරන් වැනි වගකිව යුතු අය අතින්ද සිදු වීම කනගාටුදායකයි.

‘රටේ දරුණු අපරාධ සංඛ්‍යාව වැඩි වෙලා. අපරාධ රැල්ලක් සමාජය සිසාරා යනවා’ යයි සමහරුන් මොර දෙනවා. මෑත සතිවල මිනී මැරුම්, ලිංගික අපරාධ ආදිය ගැන වාර්තා ගණනාවක් ළඟ ළඟ මතු වීම මීට තුඩු දෙන්නට ඇති.

සිදුවීම් කීපයක් හනි හනිකට වාර්තා වීම මත පමණක් ප්‍රවණතාවක් නිර්ණය කළ නොහැකියි. එයට වාර්ෂික දත්ත සම්මුච්චයන් (aggregated annual data) වසර කීපයක් සඳහා විමර්ශනය කළ යුතුයි.

දිවයින පුරා සිදුවන අපරාධ ගැන නිතිපතා නිල තොරතුරු ඒකරාශි කරන හා සංඛ්‍යා ලේඛන වාර්තා කරන ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුවට තිබෙනවා. අපරාධ වැඩි වේද අඩු වේද යන්න සොයා ගත හැක්කේ මාධ්‍ය වාර්තා හරහා නොව මෙම නිල දත්ත ප්‍රවේශමින් විමසීමෙනුයි. පොලිස් නිල වෙබ් අඩවිය තුළින් මහජනයාට අපරාධ සංඛ්‍යා ලේඛන අධ්‍යනය කළ හැකියි. https://www.police.lk/index.php/crime-trends

ගෙවී ගිය වසර පහ (2013-2017) සඳහා දරුණු අපරාධ පිළිබඳ පොලිස් සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමේදී සියලු ආකාරයේ බරපතළ අපරාධ වල විවිධාකාර අඩුවීම් පෙනී යනවා.

උදාහරණයකට 2015දී 476ක් ලෙස වාර්තා වූ සමස්ත මිනී මැරුම සංඛ්‍යාව (homicides), 2017දී 452ක් වූවා.

බරපතළ තුවාලකිරීම් (Grievous hurt) 2015දී 1,299ක් වාර්තා වූ අතර, 2017 වන විට එය 1,075ක් වූවා.

මංකොල්ලකෑම් (robberies) 4,017ක් වාර්තා වූ 2015 වසරට සාපේක්ෂව 2016දී එය 3,455ක් ද 2017දී 3,366ක් ද ලෙස යම් තරමකට අඩු වී තිබෙනවා.

ගෙවල් බිඳීම් (house breaking) 2015දී අවස්ථා 12,707ක් පොලිසිවලට වාර්තා වූ අතර 2016දී එය 10,287ක් ද 2017දී 8,913ක් ද ලෙස අඩු වූවා.

පොලිස් සංඛ්‍යා ලේඛන සාරාංශයේ වර්ග 26ක බරපතළ අපරාධ පිළිබඳ තොරතුරු සම්පිණ්ඩිතයි. එයින් බහුතරයක් වර්ගවලදී 2015ට සාපේක්ෂව 2017 වන විට සංඛ්‍යාත්මක අඩුවීම් පෙන්නුම් කරනවා.

වැඩි වී ඇති එක් වර්ගයක් නම් සියලු ආකාරයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිපදවීම, ප්‍රවාහනය, රටින් පිටතට ගෙන යාම/ගෙන ඒම, හා ළඟ තබා ගැනීම යන වරද සඳහා අපරාධ විමර්ශනයයි. 2015දී එබඳු වැරදි 1,641 සොයා ගත් අතර 2016දී 2,078ක් ද, 2017දී 2,845ක් අල්ලා ගෙන තිබෙනවා. එනම් මත්ද්‍රව්‍ය විරෝධී පොලිස් ක්‍රියා උත්සන්න කර ඇති බවයි.

නිල සංඛ්‍යා ලේඛන ලෙහෙසියෙන්ම වෙබ්ගත වී සොයා ගත හැකිව තිබියදීත් අපරාධ රැල්ලක්ගැන සමහරු කතා කරන්නේ ඇයි? නොදන්නාකමටද? නැත්නම් රජය හා පොලිසිය අපකීර්තියට පත් කිරීමටද?

පසුගිය වසර කීපය තුළ වාර්තාගත බරපතළ අපරාධවල යම් තරමක අඩු වීමකට අමතරව විමර්ශනය හමාර කරන ලද අපරාධ සංඛ්‍යාවද වැඩි වී තිබෙනවා.

රටේ ජනගහනයට සාපේක්ෂව අපරාධ සංඛ්‍යාව තවමත් නොසතුටුදායක තරම් වැඩි බව ඇත්ත. එහෙත් මාධ්‍ය තලු මරමින් අපරාධ වාර්තා කිරීම කළ පමණට එය අපරාධ රැල්ලක් යයි හැඳින්වීම මා නම් දකින්නේ සිතා මතා පතුරුවන දුස්තොරතුරක් ලෙසයි.

මේ පිළිබඳ පුවත්පතකට අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදය කුමාර අමරසිංහ මෙසේ කියනවා. ”මාධ්‍ය බොහෝ විට උලුප්පා දක්වන්නේ බිහිසුණුම අපරාධ සමහරක් ගැනයි. මාධ්‍ය ග්‍රාහකයන් කම්පා කරවන, ආවේග ඉස්මතු කරන ප්‍රවෘත්ති වාර්තාකරණය වැඩි කර තිබෙනවා. සිදු වන අපරාධ සමහරක බිහිසුණු බව ඉහළ ගොස් ඇතත් සමස්තයක් ලෙස රටේ බරපතළ අපරාධ සංඛ්‍යාව කෙමෙන් අඩු වී තිබෙනවා.”

ඔහු කියන්නේ අපරාධ නිල සංඛ්‍යා ලේඛන සියුම්ව විග්‍රහ කළ යුතු බවයි. ඒ හරහා අපරාධවලට තුඩු දෙන සමාජ හා ආර්ථීක සාධක හඳුනා ගැනීමට ඉඟි ලැබෙනවා. අපේ මාධ්‍ය කීයක් මෙය කරනවාද?

Incidence of suicide in Sri Lanka, 1880–2015. Arrows show timing of pesticide bans between 1984 and 2008

දිවිනසා ගැනීම් පිළිබඳව ද මෙවැනිම උද්වේගකර වූත්, වාර්ෂික දත්ත හා ප්‍රවනතා මත නොව බැලූ බැල්මට මාධ්‍ය පුවත් මත පදනම් කර ගන්නා වූත් වැරදි විග්‍රහයන් අපේ රටේ බහුලයි. මේ ගැන මා 2017 ඔක්තෝබර් 15 හා 22 යන දිනවල තීරු ලිපි දෙකකින් විස්තරාත්මකව කතා කළා.

එහිදී මා සාක්ෂි සහිතව කීවේ මෙයයි:

“දිවි නසා ගැනීම් පිළිබඳ දත්ත විකෘති කිරීම්, දුර්මත පතුරුවා හැරීම හා අතිශයෝක්තින්ද මාධ්‍යවල නිතර හමු වනවා. එවන් එක් බෙහෙවින් ප්‍රචලිත වූ දුර්මතයක් නම් අපේ රටේ දිවි නසා ගැනීම් වසරක් පාසා ඉහළ යමින් තිබෙන බවයි. මෙය මාධ්‍යවේදීන් පමණක් නොව සමහර ආගමික පූජකවරුන් හා සරසවි ඇදුරන්ද අවිචාරශීලී ව ප්‍රතිරාවය කරනු මා දකිනවා. තවත් නිතර කියැවෙන කථාවක් නම් ජනගහනයට සාපේක්ෂව දිවි නසා ගැනීම් සංඛ්‍යාව ඉහළම රටවලින් අතර සිවු වන තැන ශ්‍රී ලංකාව සිටිනවා යයි කීමයි.

“මේ දෙකම අසත්‍යයන්. වසර ගණනාවක් පිළුනු වූ දත්ත මත පදනම්ව වැරදි ලෙස කරන විග්‍රහයන්. සැබෑ තත්ත්වය විකෘති කරමින් ප්‍රතිපත්ති සම්පාදකයන් හා ජන සමාජය මුලා කිරීමට මෙවැනි දුර්මතවලට හැකියි.”

රටේ ප්‍රචලිත හා මාධ්‍ය හරහා ජනප්‍රිය කර තිබෙන දුර්මතයන් නිල සංඛ්‍යා ලේඛන යොදා ගනිමින් වැරදි යැයි පෙන්වා දුන් විටත් එය නොපිළිගන්නා අය සිටිනවා. ගිය වසරේ දිවි නසා ගැනීම් ගැන දත්ත මත පදනම් වූ විග්‍රහය පිළිනොගත් එක් පාධකයෙක් කීවේ ‘අපේ පොලිසියේ දත්ත විශ්වාස කරන්නට අමාරුයි’ කියායි.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආයතන පිළිබඳ මහජන විශ්වාසය අඩුයි. එයට හේතු තිබෙනවා. එසේම නිල සංඛ්‍යා ලේඛන පවත්වා ගන්නා රාජ්‍ය ආයතනවල ද ඉඳහිට වැරදි සිදු වනවා. එහෙත් සාපේක්ෂව ගත් විට දේශීය මට්ටමේ සමාජ ප්‍රශ්න අවබෝධ කර ගන්නට අපට ඇති හොඳම පදනම නිල සංඛ්‍යා ලේඛනයි.

ජාත්‍යන්තරව දත්ත සම්මුච්ච කරන හා සංශෝධනය කරන විද්වතුන් හා ආයතන ශ්‍රී ලංකාවට අදාළ දත්ත ලබා ගන්නේ ද නිල මූලාශ්‍ර වලින්. එම නිල සංඛ්‍යා ලේඛනවල නිවැරදි බව හා විශ්වසනීයත්වය තවත් වැඩි කර ගත හැකි නමුත් අපට දැනට තිබෙන හොඳම මුලාශ්‍ර වන්නේ රාජ්‍ය දත්තයි.

රාජ්‍යය කෙරෙහි මහජනයා තුළ වැඩි පිළිගැනීමක් හා විශ්වාසයක් ඇති රටවල ව්‍යාජ පුවත් හා දුස්තොරතුරු ගෙඩි පිටින් ඇදහීම අඩුයි.

‘ආණ්ඩු අපට බොරු කියනවා’ යන්න බහුලව සමාජගත වූ රටක ව්‍යාජ පුවත් පාලනය කිරීම අති දුෂ්කරයි. ශ්‍රීි ලංකාවේ රාජ්‍යය පිළිබඳ මහජන විශ්වාසය ක්ෂිණ වූයේ එක් රජයක් යටතේ නොව දශක ගණනාවක් පුරා විවිධ රජයන් යටතේයි. මේ ගරා වැටීමේ වත්මන් ‘උරුමක්කාරයා’ දැනට බලයේ සිටින රජයයි.

උදාහරණයකින් මෙය පෙන්වා දීමට හැකියි.

Daily Mirror (Sri Lanka), 15 Feb 2016

1998දී සම්මත කර ගන්නා ලද රෝම සම්මුතිය යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court, ICC) පිහිටුවනු ලැබුවේ 2002දී. නිශ්චිත මහා පරිමාණ අපරාධ වර්ග 3ක් ගැන ලෝක මට්ටමින් නඩු අසා චෝදනා සනාථ වූ විට දඬුවම් දීමට එයට බලතල තිබෙනවා.

මේ අපරාධ නම්, ජාති ඝාතනය (genocide), යුද්ධ අපරාධ (war crimes), හා මානව සංහතියට එරෙහි අපරාධ (crimes against humanity).

මෙකී අපරාධ පිළිබඳව යුක්තිය පසිඳලීමට ICC අධිකරණයට බලය ලැබෙන්නේ රෝම සම්මුතිය ප්‍රධාන කොටත්, ඊට අමතරව අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් නීති යටතේත්. https://www.icc-cpi.int/

විවිධ රටවලින් තෝරා ගත් විනිසුරුකරුවන් මඬුල්ලක් දීර්ඝ ලෙස නඩු විමසා වැරදිකරුවන් බවට පත්වන අයකුට දිය හැකි උපරිම දඬුවම වසර 30ක සිර දඬුවමක්. කලාතුරකින් අවස්ථාවක එය ජීවිතාන්තය දක්වා ලබා දිය හැකියි.

නෙදර්ලන්තයේ හේග් නුවර කේන්ද්‍ර කරගත් ICC අධිකරණයට දිය හැකි දඬුවම් අතර මරණීය දණ්ඩනය නැහැ. එය ශිෂ්ඨ සමාජවලට නොගැලපෙන දඬුවමක් බව ලෝක මතය නිසා. එනිසා හේග් නුවර විදුලි පුටුවක් තිබෙනවාය යන්න පට්ටපල් බොරුවක්.

රෝම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් කර නොමැති නිසා එහි බලපෑමක් මෙරටට එල්ල විය නොහැකි යයි අපේ දේශපාලකයෝ නිතර කියනවා. 2005-2009 සිවිල් යුද්ධයේ අවසාන අධියරේදී සිදු වූවා යැයි කියන බරපතළ මානව හිමිකම් කඩ කිරීම් ගැන විමර්ශනය කිරීම හා වගවීම දේශීය යාන්ත්‍රණයක් හරහා කරන බව ගිය රජය මෙන්ම මේ රජයත් කියනවා.

ඒ දේශපාලන තර්ක මදකට පසෙක තබමු. ICC නීති රාමුවේ කොහෙත්ම නැති මරණ දඬුවමක් දීමට යොදා ගත හැකි ‘විදුලි පුටුව’ ගැන විටින් විට කතා කරන්නේ ඇයි?

(මාධ්‍ය වාර්තා රැසකට අනුව) 2015-2018 වකවානුව තුළ වත්මන් ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාත් ප්‍රසිද්ධ කතාවලදී මෙරට කිසිදු හමුදා නිලධාරියකු හෝ දේශපාලකයකු ‘හේග් නුවර විදුලි පුටුවට යාමට ඉඩ තබන්නේ නැතැයි’ මහ ඉහළින් ප්‍රකාශ කොට තිබෙනවා.

අගමැතිවරයා නීතිඥයෙක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා ගැන ගැඹුරින් දත් අයෙක් නිසා ඔහු හේග් නුවර ‘විදුලි පුටුවක්’ ගැන කථා කළේ නොදැනුවත්ව යයි විශ්වාස කිරීමට අමාරුයි. ජනපතිවරයා නම් පරස්පර විරෝධී දේ නිතර කියනවා: ඔහුගේ විශ්වසනීයත්වය පලුදු වී හමාරයි.

2015 දෙසැම්බරයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවති ජාත්‍යන්තර මානව හිමිකම් නීති පිළිබඳ දෙදින වැඩමුළුවකදී එහි දේශකයකු ලෙස පැමිණි ආචාර්ය රාධිකා කුමාරස්වාමිගෙන්ද මා මේ ප්‍රශ්නය කෙලින්ම ඇසුවා.

‘මරණ දඬුවමක් හෝ විදුලි පුටුවක් ෂක‍ක‍ අධිකරණයේ නැහැ. ඉහළම දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමයි.” ඇය තහවුරු කළා.

ජාත්‍යන්තර නීති විශාරදයකු වන ආචාර්ය කුමාරස්වාමි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජේෂ්ඨතම ධූරයක් හෙබවූ ලාංකිකයෙක්.

මාධ්‍යකරණයේ හොඳ අත්දැකීම් ඇති පරිණත ලාංකික මාධ්‍යවේදීන්ද මේ විදුලි පුටුවේ ප්‍රලාපය යළි යළිත් වමාරනවා. ඔවුන් මේ දුස්තොරතුරු ප්‍රතිරාවය කරන්නේ නොදැනද?

සති අන්ත පුවත්පතක දක්ෂ තරුණ මාධ්‍යවේදියකු 2016දී ලියූ ලිපියක ද මේ බොරුව අන්තර්ගත වූ බව දැක මා එයට හේතු විමසුවා. එවිට ඔහු මට පෞද්ගලිකව කීවේ විදුලි පුටුවක් නැති බව සැබෑ වුවත් දැන් මෙරට ජනප්‍රිය මතය වී ඇත්තේ හේග් නුවර විදුලි පුටුව තිබෙනවා යන්න නිසා තමන් ද එයට අනුගත වූ බවයි.

දේශපාලන නායකයන් හා අත්දැකීම් බහුල මාධ්‍යවේදීන් මෙසේ (දැන දැනම?) මහජනයා රවටන විට ව්‍යාජ පුවත් ව්‍යාධියට කෙසේ පිළියම් සොයන්නද?

Lakbima, 14 Feb 2016

සිවුමංසල කොලු ගැටයා #372: ආරංචිද වැඩේ? ඕපාදූපවල පරිණාමීය වැදගත්කමක් තිබෙනවාලු!

Even though it is widely practised in most human societies, gossip is much maligned. At best it is seen as frivolous and a waste of time, and at worst, as malicious and anti-social.

But not all gossip is bad, and, a growing body of research shows that gossip can be useful in maintaining social norms and keeping people in line. In my latest Ravaya column (in Sinhala language, published on 22 July 2018), I look at the evolutionary, sociological and anthropological insights offered by gossip related research in recent years.

Exploring the Lankan gossip-sphere, I note how certain mainstream media companies have started explicitly gossip news websites that now attract large visitor numbers. To sustain this traffic, they publish increasingly sensational, click-bait kind of content. Such manufacturing and marketing of gossip, I argue, is an inevitable by-product of online freedom of expression.

Finally, I ask why Lankan mass communications researchers dismiss gossip with such contempt, and wonder what findings could be made about our collective psyche if only our researchers adopt a more open-minded approach to this topic…

Gossip has served an evolutionary purpose, and continues to be relevant for humans as social animals…

ගොසිප් නැතිනම් ඕපාදූප ගැන මෙරට විද්වත් සමාජයේ ඇත්තේ අවඥා සහගත ආකල්පයක්. කිසිදු වැදගත්කමක් නැති, හරසුන් හා කාලය කා දමන ක්‍රියාවක් ලෙස එය සැළකෙනවා.

ජන සන්නිවේදනය ගැඹුරින් අධ්‍යයනය කළ හා එම විෂය උගන්වන බොහෝ ගුරුවරුන්ද ගොසිප් හෙළා දකිනවා. මෑතදී මා සහභාගි වූ සාකච්ඡාවක ගොසිප් හඳුන්වා දෙනු ලැබුවේ ‘දුශ්ශීල’ ක්‍රියාවක් හැටියටයි.

අනුන්ගේ අඩුපාඩු හා දුක් කරදර ගැන ඔවුන් නැති තැන මහත් ඕනැකමින් කතා කිරීම මාද අනුමත කරන්නේ නැහැ. එහෙත් අප බොහෝ දෙනකු ගොසිප් ලෙස තේරුම් ගන්නා දෙයට වැඩි යමක් ඕපාදූප නම් සමාජ ප්‍රපංචයෙහි තිබෙනවා.

සමාජ මාධ්‍ය හා සෙසු ජනමාධ්‍ය සමහරක් හරහා ද ගොසිප් අධිවේගීව ගලා යන අද කාලේ එය ගෙඩි පිටින් හෙළා දකිනු වෙනුවට එහි ගතිසොබා අවබෝධ කර ගනිමු. මගේ ස්ථාවරය එයයිග

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාඥ හා පරිණාමීය මනෝ විද්‍යාඥ (anthropologist and evolutionary psychologist)  රොබින් ඩන්බාර් (Dr Robin Dunbar)” ගොසිප් පිළිබඳව කලෙක සිට පර්යේෂණ කරන්නෙක්. මෙම ක්ෂේත්‍රයේ ලොව පිළිගත් විද්වතෙක්.

ඔහු කියන්නේ මානව වර්ගයාගේ ආරම්භයේදී ගොසිප් ලෙස වර්ග කෙරුණේ සමීපතයන් සමග දොඩමලු වෙමින් හුවමාරු කරගන්නා තොරතුරු බවයි. ඇත්තටම භාෂා කතා කිරීම ඇරඹීමටත් පෙර පටන් අපේ වානර ආදිතමයෝ සිය වටපිටාව ආහාර ප්‍රභවයන්, අන්තරායන් ගැන ඉඟි බසින් තොරතුරු හුවමාරු කර ගත්තා.

රැලේ යම් සාමාජිකයන් විශ්වාස කළ හැකිද, ඔවුන් ආත්මාර්ථකාමීන් ද ආදී සමාජ තක්සේරුවක් ද ක්‍රමයෙන් හුවමාරු වීම ඇරඹුණා. ගොසිප්වල ප්‍රභවය මෙතැනයි.

මානවයන් පරිණාමය වූ අප්‍රිකානු සැවානා තණ බිම්වල පණ කෙන්ද රැක ගෙන, සමූහ ජීවිත ගෙවීමට මුල් යුගයේ ගොසිප් අත්‍යවශ්‍ය වූ බව ඩන්බාර්ගේ මතයයි.

කල්පිතයක් ලෙස ඩන්බාර් කියන්නේ මානව සමාජයන්හි භාෂා බිහි වීමට ගොසිප් කිරීමේ අවශ්‍යතාව ප්‍රබල උත්තේජකයක් වූ බවයි.

භාෂාවන් බිහි වී මානව සන්නිවේදනය වඩාත් දියුණු වූවාට පසුව ද සමාජ තොරතුරුවල අගය අඩු වූයේ නැහැ. කණ්ඩායම් ලෙස ජීවත් වන සමාජශීලී සත්ත්වයන් වන මානව අපට අපේ ප්‍රජාවේ සාමාජිකයන් ගැන බැලූ බැල්මට නෙපෙනෙන තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් ලෙස පරිණාමීයව හා ඓතිහාසිකව ගොසිප් හෙවත් ඕපාදූප තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කොට තිබෙනවා.

ආගිය තොරතුරු හා සාමිචී කතා කිරීම සමාජ සම්බන්ධතා ඇති කිරීමට මෙන්ම ඒවා කලක් තිස්සේ ප්‍රාණවත්ව පවත්වා ගැනීමට බොහෝ ඉවහල් වන බව ඔහුගේ මතයයි.

”මානව අප එකිනෙකා සමග කතාබහ කරන හැම විටම ප්‍රායෝගික නැතහොත් බුද්ධිමය වශයෙන් වැදගත් කාරණාවලට පමණක් එය සීමා කරන්නේ නැහැ. සැහැල්ලුවෙන්, දඟකාරකමින්, විනෝදකාමීව කතා කිරීම අප කාටත් අවශ්‍යයි. එහිදී ගොසිප් යම් ප්‍රමාණයක් හුවමාරු වීම පරිණාමීය ලෙස අප ලද උරුමයක්. මෙය වාචිකව හුවමාරු වනවාට අමතරව මේ වන විට සමාජ මාධ්‍යවල ලිඛිතව හෝ රූප හරහා ද සිදු වනවා” යයි ඩන්බාර් විග්‍රහ කරනවා.

දිගු කලක් තිස්සේ චිම්පන්සීන් හා වෙනත් වානර විශේෂවල හැසිරීම අධ්‍යයනය කර ඇති ආචාර්ය ඩන්බාර්, තම විද්වත් විග්‍රහයන් කැටි කරමින් 1996දී Grooming, Gossip and the Evolution of Language නමින් පොතක් පළ කළා.

ඔහු කියන්නේ ගොසිප්වලට අමතරව කතන්දර කීමද මානව ඉතිහාසයේ හා ප්‍රාග් ඉතිහාසයේ දිගටම අපේ වර්ගයාට ආවේණික ප්‍රබල පුරුද්දක් බවයි.

ගොසිප් සම්ප්‍රදායන් මෙන්ම කතාන්දර කීමේ පුරුද්දත් එකිනෙකට බෙහෙවින් වෙනස් වූත්, ස්වාධීනව බිහි වී විකාශනය වූත් මානව ශිෂ්ටාචාරයන් රැසක් හමු වනවා. ඩන්බාර් කියන්නේ මෙය අහම්බයක් නොව සංස්කෘතික පරිණාමයේ මූලික හා තවමත් වැදගත් අංගයක් බවයි.

”සමාජශීලී සත්ත්වයන් ලෙස මානවයන්ට තම තමන් සෙසු ප්‍රජාවට බද්ධ වන්නේ කෙසේද යන්නත්, තමන්ගේ සාපේක්ෂ තරාතිරම කුමක්ද යන්නත් නිරතුරු විමසීම හා දැන ගැනීම අවශ්‍ය වනවා. මෙය සවිඥානිකව කළත් නොකළත් ඕපාදූප හා වෙනත් සාමීචි කතාවල අතුරු ඵලයක් වන්නේ තමා අයත් වන ප්‍රජාවට සමානුපාතිකව තමන් සිටින ස්ථානය ගැන අවබෝධයක් පුද්ගලයාට ලබා දීමයි.”

ඩන්බාර්ගේ පර්යේෂණ සමාජ මාධ්‍යවලට අදාළ කරමින් විද්වත් විග්‍රහයන් කර ඇති ප්‍රකට සමාජ විද්‍යාඥවරියක් වන සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) කියන්නේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා ගැනීමට එහා යන පරිණාමීය මානව අවශ්‍යතාවක් ද ඉටු වන බවයි.

නාගරීකකරණය නිසා තව දුරටත් භෞතික වශයෙන් කඩපිල්වල, ළිඳ ළඟ හෝ වෙනත් පොදු තැන්වල එතරම් මුණ නොගැසෙන තම ප්‍රජාව සමග නිරතුරු සාමීචී හා ගොසිප් හුවමාරු කර ගන්නට සමාජ මාධ්‍ය විසින් විකල්ප අවකාශයක් බිහි කර තිබෙනවා. (සමාජ මාධ්‍ය හරහා ගලා යන සියල්ල ගොසිප් වේයැයි මෙයින් අදහස් වන්නේ නැහැ.)

පරිනාමීයව පමණක් නොව නූතන යුගයේ පවා ඕපාදූප හෙවත් ගොසිප් අප සිතනවාට වඩා වැදගත් සමාජ සන්නිවේදන මෙහෙවරක් ඉටු කරන බව පසුගිය දශක දෙකක පමණ කාලයේ කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

Left to Right – Dr Robin Dunbar, Dr Zeynep Tufekci, Dr Robb Willer

‘ගොසිප්වල සමාජ විද්‍යාත්මක වැදගත්කම’ නමින් තීරණාත්මක පර්යේෂණ ලිපියක් 2012දී විද්වත් සඟරාවක පළ වුණා. එය ලියා තිබුණේ ගොසිප් ගැන මැදහත්ව කලක් තිස්සේ අධ්‍යයනය කළ සමාජ විද්‍යාඥයන් පිරිසක් විසින්. ඔවුන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් හා කැලිෆෝනියා බර්ක්ලි සරසවිවලට සම්බන්ධයි.

‘ජනප්‍රිය මතය නම් සියලු ඕපාදූප සැම විටම අහිතකර බවයි. බොහෝ ඕපාදූපවල ඍණ ගතිගුණ තිබෙන බව ඇත්ත. එහෙත් තුලනාත්මකව මේ සංසිද්ධිය විමර්ශනය කළ අපට පෙනී ගියේ ඕපාදූපවල සමාජමය වැදගත්කමක් තිබෙන බවයි.’ සමාජ විද්‍යා මහාචාර්ය රොබ් විලර් (Dr Robb Willer)  ප්‍රකාශ කළා.

‘සමාජශීලී සත්ත්වයන් හැටියට මානව අප බොහෝ සමාජ සම්බන්ධතා පවත්වා ගන්නවා. එහිදී යමකු පිළිබඳ අප නොදන්නා හෝ නොදුටු පැතිකඩක් තිබිය හැකියි. පිටතට පෙනෙන චරිතගති හෝ චර්යාවලට එහා යන ගතිගුණ පැවතිය හැකියි. ඕපාදූප හරහා මෙවන් තොරතුරු හුවමාරු කැරෙනවා. ඒවා සමහර විට අතිශයොක්තියට ලක් විය හැකි බව ඇත්ත. එහෙත් අනතුරු ඇඟවීම් ද එතුළ ගැබ්ව තිබෙනවා.’

මහාචාර්ය විලර් සහ පර්යේෂක පිරිස සොයා ගත් තවත් මානයක් නම් තමා ගැන සමාජයේ කොයි අන්දමින් කතා බහ වෙයිද යන්න ගැන බොහෝ දෙනකු අවධානය යොමු කරන බවයි.

මොන ඕපාදූපයකට තමන් පාත්‍ර වේද යන්න අවිනිශ්චිත නිසා සමාජ ගනුදෙනුවලදී හැකි තාක් නීතිගරුකව, ආචාරශීලීව පෙනී සිටීමට පුද්ගලයන් තැත් කරනවා. එය ඕපාදූප වල සමාජියීය බලපෑමක් ලෙසයි ඔහු හඳුනා ගන්නේ.

තමන් වෙසෙන පටුමග හා අවට පොදු ප්‍රදේශය පිරිසිදු කිරීම හරහා මදුරුවන් බෝ වීම අවම කිරීමට තැත් කරන ප්‍රජාවක් ගැන මොහොතකට සිතන්න. නිවැසියන් සැවොම එවන් පොදු වැඩකට ඉත සිතින් ශ්‍රමය දානය කරන්නේ නැහැ. සමහරු හරිම ආත්මාර්ථකාමීයි. එහෙත් තවත් පිරිසත් නොකැමැත්තෙන් වුව පොදු වැඩට එක් වනවා. හේතුව අසල්වාසීන් තමන් ගැන කෙසේ කතා කරනු ඇති ද යන හේතුව නිසා.

මෙවන් අවස්ථාවල ඕපාදූපවල සමාජයීය හිතකර බලපෑම හොඳින්ම පෙනී යන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම නිරීක්ෂණ ඉහත කී අමෙරිකානූ පර්යේෂණයට පමණක් සීමා වන්නේ නැහැ. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ පර්යේෂකයන් ද ඕපාදූපවල සමාජමය බලපෑම් ගැන අත්හදා බැලීම් ගණනාවක් කළා. ඔවුන්ගේ නිගමනය වූයෙත් කුඩා කණ්ඩායම් හා සීමිත ප්‍රජාවන් තුළ පුද්ගල හැසිරීමට ඕපාදූප තීරණාත්මකව බලපාන බවයි.

සන්නිවේදන තාක්ෂණයන් වඩාත් පුළුල්ව පැතිරුණු වත්මන් සමාජයේ ගොසිප් ද මාධ්‍යකරණය වී තිබෙනවා. මෙය ද අලුත් ප්‍රවණතාවක් නොවෙයි.

නළු නිළියන් හා වෙනත් සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ගැන තහවුරු නොවූ තොරතුරු මාධ්‍ය හරහා සංසරණය වීම කලක සිට සිදු වන්නක්. සමහර කලාකරුවන් හා චිත්‍රපට/නාට්‍ය නිෂ්පාදකයන් මේ ජන උනන්දුව සූක්ෂම ලෙස තමන්ගේ නිර්මාණ ප්‍රවර්ධනයට ද යොදා ගන්නවා.

ඕපාදූප මාධ්‍යකරණය වීම එතරම් හිතකර දෙයක් නොවෙයි. අන්තර් පුද්ගල සාමීචි කතාබහේදී හා සමාජ මාධ්‍යවල තහවුරු නොකළ තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා ගලා යාම ප්‍රකාශන නිදහසේ කොටසක්.

එහෙත් ඊට වඩා වගකීම් සහගත, ප්‍රමිතිගත තොරතුරු බෙදා හැරීමක් අප ප්‍රධාන ධාරාවේ පත්තර, ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය වලින් අපේක්ෂා කරනවා.

එහෙත් අද සිදු වන්නේ කුමක්ද? බොහෝ මහා මාධ්‍ය චූල මාධ්‍ය මට්ටමට බැස ක්‍රියා කිරීමයි.

උදාහරණයක් ලෙස දේශපාලන ඕපාදූප අද අපේ මාධ්‍යවල ප්‍රධාන අංගයක් වෙලා. සතියේ දේශපාලන විග්‍රහයන් ලෙස සති අන්ත පුවත්පත්වල පළ වන බහුතරයක් අන්තර්ගතය අතන මෙතන කසු කුසු කතා මිසක දේශපාලන න්‍යාය මත පදනම් වූ විග්‍රහයන් නොවෙයි.

මා දන්නා තරමට නම් ‘පොලිටිකල් ගොසිප්’ ප්‍රධාන ධාරාවේ පත්‍රවල මේ ආකාරයේ මූලික අංගයක් කළේ ලසන්ත වික්‍රමතුංගගේ මාධ්‍යකරණයයි. ඔහු 1990 දශකය මුලදී පටන් ගත් සම්ප්‍රදාය පසුව සෙසු බොහෝ පුවත්පත් අනුකරණය කළා.

දේශපාලකයන්ගේ කෙරුවාව හා කයිවාරු ගැන මහජනයා දැන ගත්තාට වරදක් නැහැ. එහෙත් දේශපාලන විචාර ලෙස මාධ්‍ය සිය ග්‍රාහකයන්ට සපයන්නේ එවන් ඕපාදූප හා සරල සිල්ලර කතා පමණක් නම්, හරවත් දේශපාලන සංවාදයන්ට එයින් දායකත්වයක් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

ගොසිප්වලට ලොකු ඉල්ලුමක් තිබෙන බව නම් පැහැදිලියි. දැන් දැන් සමහර පත්තරවල ගොසිප් එළිපිටම පළ කරනවා. එසේම මෙරටින් වැඩිම පිරිසක් වෙබ්ගතව කියවන වෙබ් අඩවි අතර ඉහළින් සිටින්නේ තමන් විසින්ම ‘ගොසිප් අඩවි’ යැයි හඳුන්වා ගන්නා වෙබ් අඩවි කිහිපයක්.

මේ හැරුණු කොට පුවත් වෙබ් අඩවි සමහරක් ද ඕපාදූප මට්ටමේ දුස්තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා පුවත් සේ පළ කරනවා. මහා මාධ්‍ය කළමනාකරුවන් සමහරෙක් මේවායේ ජනප්‍රියත්වය දෙස බලා තමන්ගේ මාධ්‍යත් වඩාත් එවැනි ගොසිප් මට්ටමකට ගෙන යාමට තැත් කරනු පෙනෙනවා. මෙය කනගාටුදායක ප්‍රවණතාවක්.

[මෙහිදි යළිත් වරක් වැදගත් පැහැදිලි කිරීමක් කළ යුතුයි. තමන්ගේ වෙබ් අඩවි ලිපින හරහා පළ කැරෙන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි කිසිසේත්ම සමාජ මාධ්‍ය නොවෙයි. සමාජ මාධ්‍ය වේදිකා වන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමග මේවා පටලවා නොගත යුතුයි.]

ඉතින් ගොසිප් හොඳද – නරකද? මේ ගැන සුචරිතවාදී විග්‍රහයක් මා ලබා දෙන්නේ නැහැ. අද කතා කළ දේ මෙසේ සම්පිණ්ඩනය කළ හැකියි.

  • අප සමහරුන් කැමති වුවත්, නැතත් ගොසිප්/ඕපාදූප යනු ජන සමාජයේ කිඳා බැස ගත්, පරිණාමීයව උරුම වූ චර්යා රටාවක්.
  • අන්තර් පුද්ගල මට්ටමේදීත්, සමාජ මාධ්‍යවලදීත් ගොසිප් හුවමාරුව ප්‍රකාශන නිදහසේ කොටසක් මෙන්ම එහි මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වාසි තිබෙනවා.
  • මහා මාධ්‍යවල ගොසිප් නැඹුරුව නම් අහිතකරයි. ගොසිප් අන්තර්ගතය මහා මාධ්‍යවල කතුවරුන්ට අවශ්‍යම නම් එය පැහැදිලිව ගොසිප් ලෙස ලේබල් කොට ඉදිරිපත් කිරීම වඩා හොඳයි. ඒත් එසේ කිරීම හරහා මාධ්‍ය ගැන තිබෙන මහජන විශ්වාසය තවත් පලුදු වනවා.
  • අපේ රටේ සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් දේශීය ගොසිප් ප්‍රවණතා හා ගති සොබා විද්වත්ව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ජන සන්නිවේදන ඇදුරන් මෙය හෙළා දුටු පමණට ගොසිප්වල සුජාතභාවය අහෝසි වන්නේ නැහැ.

 

 

සිවුමංසල කොලු ගැටයා #371: සමූහ සම්මාදම් නවීකරණය හා විවිධාංගීකරණය ඕනෑ කර තිබේ!

‘Crowdfunding’ is the practice of funding a project or venture by raising small amounts of money from a large number of people. The idea has been around for a long time, in one way or another, but modern day crowdfunding using digital and web technologies has a history of just two decades. As the Internet use began to spread in the 1990s, some creative artistes soon realised the potential of appealing – and receiving – donations online.

The first dedicated web-based crowdfunding platform called ArtistShare in 2000. Since then, dozens of such platforms have emerged. These are being used to raise public support for many entrepreneurial ventures, artistic and creative projects, medical expenses, travel, or social enterprises.

In this week’s Ravaya column, published in the newspaper edition of 15 July 2018, I explore the potential for online #crowdfunding for charitable and artistic needs work in Sri Lanka. I also draw on Dr Tom Widger’s 2011-12 research on philanthropic trends in Sri Lanka to ask the question: how can we diversify local fund raising for good causes (besides large amounts of money already being donated to religious and humanitarian causes)?

Crowdfunding has been around for a long time. Technology can help reinvent the practice

පොදු වැඩකට නැතිනම් සාමයික/යහපත් කාරියකට මහජනයාගෙන් සම්මාදම් එකතු කිරීම කලක් තිස්සේ මෙරට සිදු වන්නක්.

එහෙත් බොහෝ විට මෙවැනි ‘ආධාර එකතු කිරීම්’ හරහා ඒකරාශී වන මුදල් කෙසේ වියදම් කරනවාද හා අවසාන ප්‍රතිඵලය කුමක්ද යන්න ගැන ප්‍රසිද්ධියේ වගවීමක් නැහැ.

ආගමික සිද්ධස්ථාන හා පුන්‍යායතනවලට මහජනයා ලබා දෙන මූල්‍යමය දායකත්වය ගැනත් වගකීම හා වගවීම මදි.

ශ්‍රී ලංකාවේ දානපති (philanthropic) ප්‍රවනතා ගැන මීට වසර කීපයකට පෙර අධ්‍යයනයක් කළ ආචාර්ය ටොම් විජර් (Dr Tom Widger) නම් බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥයා පෙන්වා දුන්නේ දානපති ක්‍රියා සඳහා (අපේ රටේ ආදායම් මට්ටම්වලට සාපේක්ෂව) නොමසුරුව ආධාර කිරීම සිදු වෙතත් එහි සීමා ගණනාවක් ද ඇති බවයි.

දානපති ක්‍රියා බහුතරයක් ආගමික පූජ්‍යස්ථානවලට හෝ තමන් උගත් පාසලට ඉලක්ක වන අතර, සංස්කෘතික හෝ පර්යේෂණාත්මක වැඩට ප්‍රමුඛත්වයක් නොලැබෙන බව ඔහු සොයා ගත්තා.

එසේම ආපදා සහනාධාර වැනි කෙටි කාලීන අවශ්‍යතා සඳහා ආධාර කිරීම මුල් තැනක් ගන්නා අතර සමාජීය වශයෙන් වැදගත් එහෙත් දිගු කාලීන විසඳුම්වලට රටේ දානපති ආධාර ලැබෙන්නේ ඉතා සීමිතව බවත් ඔහු සංඛ්‍යා ලේඛන සමග පෙන්වා දුන්නා.

මේ ප්‍රවනතා වෙනස් කොට වඩාත් පුළුල් වූත්, දිගු කාලීන වූත් අවශ්‍යතා වැඩි ප්‍රමාණයකට මහජන ආධාර ආකර්ශනය කර ගැනීමට කුමක් කළ හැකිද? මේ සඳහා නවීන සන්නිවේදන ක්‍රමයන් උපකාරී වන්නේ කෙසේද?

තාක්ෂණයත් සමග මෑත කාලයේ ලොව ජනප්‍රිය වූ සංකල්පයක් තිබෙනවා. සාපේක්ෂව කුඩා මුදල් ප්‍රමාණයක් බොහෝ දෙනකු විසින් එක් නිශ්චිත නිමිත්තකට පරිත්‍යාග කිරීම දැන් හඳුන්වන්නේ crowdfunding කියායි.

මෙයට නිල සිංහල යෙදුමක් තවම නැහැ. සමාජ මාධ්‍ය හරහා මා කළ විමසීම්වලදී යෝජනා කිහිපයක් ලැබුණා. ජන ආයෝජන, ප්‍රජා අයෝජන, සමූහ සම්මාදම් හා විවෘත සම්මාදම් ආදී වශයෙන්. මෙයින් මා වඩාත් කැමති සමූහ සම්මාදම් යෙදුමටයි. (මෙතනදි ආයෝජනයේ ප්‍රතිලාභ ලබන්නේ සමස්ත සමාජයම මිස ආධාර කරන්නා නොවෙයි.)

නූතන යුගයේ සමූහ සම්මාදම් සඳහා ස්මාර්ට්ෆෝන් ආකාරයේ ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් යොදා ගන්නවා.

මේ ආකාරයට සමූහ සම්මාදම් එකතු කිරීම ඇරඹුණේ 1990 දශකයේ වෙබ් භාවිතය කෙමෙන් ප්‍රචලිත වීමත් සමගයි.

වාර්තාගත මුල්ම සාර්ථක උත්සාහය සිදුව ඇත්තේ 1997දී. මැරිලියන් නම් බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායම ඇමරිකාවේ සංචාරය කරමින් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවශ්‍ය වූ ඩොලර් 60,000ක සමස්ත වියදම වෙබ්ගත ආධාර ඉල්ලීමක් හරහා සොයා ගත්තා.

එයින් පසු එම ක්‍රමවේදය වෙනත් කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරිකයන් ද ටිකෙන් ටික අනුගමනය කිරීම ඇරඹුණා. මේ සඳහාම වෙන් වූ මුල්ම වෙබ් වේදිකාව ArtistShare නමින් 2000දී විවෘත කෙරුණා.

ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ වෙබ් හරහා සමූහ සම්මාදම් එකතු කිරීමට වේදිකා රාශියක් බිහි වී ඇති අතර පොදු වැඩට මෙන්ම පෞද්ගලික හදිසි අවශ්‍යතා (උදා- වෛද්‍ය ප්‍රතිකාර වියදම්) සඳහා ද සමූහ සම්මාදම් එකතු කරනු ලබනවා.

මේ ඉල්ලීම් හැම එකක්ම සත්‍යවාදී ද යන්න තහවුරු කිරීම අපහසුයි. එහෙත් යම් තරමක විමර්ශනයක් කිරීමට වෙබ්ගත වේදිකා බහුතරයක් තැත් කරනවා.

ආධාර ඉල්ලීම හා එකතු කිරීම පමණක් නොකර තමන්ට උපකාර කරන සියලු දෙනා සමග සබඳතා පවත්වා ගනිමින් සමූහ සම්මාදමේ ප්‍රතිඵල කෙසේ වේදැයි වාර්තා කිරීමට සමහර සමූහ සම්මාදම් වෙබ් වේදිකාවල ඉඩ සළසා තිබෙනවා.

Kickstarter.com එවැනි ප්‍රකට ගෝලීය වේදිකාවක්. ඒ හරහා කලා කෘතියකට, නව නිපැයුමකට, සොබා ගවේෂණයකට හෝ විද්‍යාත්මක පර්යේෂණයකට වුව සමූහ සම්මාදම් ඉල්ලීමට හැකියි.

එසේ ඉල්ලීමක් පළ කරන විට තමන් අපේක්ෂා කරන මුළු මුදල හා එය එකතු වීමට අපේක්ෂා කරන කාල වකවානුව (මාස කීයක් ද යන්න) එහි සඳහන් කළ යුතුයි. ඩොලර් 5 සිට ඉහළ විවිධ අගයන්ගෙන් සම්මාදම් ලබා දිය හැකි වුවත් අපේක්ෂකයාට මුදල් ලැබෙන්නේ නියමිත කාලය තුළ ඉලක්කය සපුරා ගතහොත් පමණයි. නැත්නම් සියලු මුදල් නැවත දායකයන්ටම හරවා යවනවා.

ඉලක්ක සපුරා ගත්තොත් වේදිකා පරිපාලන වියදම් සඳහා සුළු ප්‍රතිශතයක් අය කර ගත් පසු ඉතිරි මුදල අපේක්ෂකයාට ලැබෙනවා.

Kickstarter.com ඇරඹු 2009 සිට 2017 අවසන් වන තෙක් ඩොලර් බිලියන් 3.18ක් විවිධාකාර ඉල්ලීම් දහස් ගණනක් වෙනුවෙන් සමූහ සම්මාදම් ලෙස එකතු කොට තිබෙනවා.

මේ කාලය තුළ සාර්ථකව නිම වූ ඉල්ලීම් ප්‍රතිශතය 36%යි. එනම් බහුතරයක් ඉල්ලීම් තම ඉලක්කය සපුරා නොගැනීම නිසා සතයක්වත් නොලැබී යනවා.

එහෙත් වෙනත් සමූහ සම්මාදම් වේදිකා වල මෙම කොන්දේසිය නැති නිසා එකතු වූ කුමන හෝ මුදල් ප්‍රමාණය අපේක්ෂකයාට ලැබෙනවා. මෙවන් ගෝලීය වේදිකා වලට පිවිසී ශ්‍රී ලංකාවේ නමින් සෙවිල්ලක් කළොත් සමහර ලාංකිකයන් ද මේ හරහා යම් නිමිති සඳහා සමූහ සම්මාදම් එකතු කොට ඇති බව පෙනී යනවා.

ශ්‍රී ලංකාව තුළ ද වෙබ්ගත සමූහ සම්මාදම් වේදිකා මතු වී තිබෙනවා. Help.lk එබන්දක්. එහෙත් බැලූ බැල්මට නම් මේවා එතරම් ජනප්‍රිය වී නැහැ.

විදේශ රටවල දානපතියන් හෝ විදේශ රාජ්‍යයන් වෙතින් මෙරට සුබසාධන හා පුණ්‍යමය අවශ්‍යතා සඳහා ලැබෙන ආධාර අඩු වෙමින් තිබෙනවා. මේ අඩුවට එක් ප්‍රතිචාරයක් නම් දේශීය දානපති ක්‍රියාකාරීත්වය වඩා විධිමත් කිරීමයි.

Give2Lanka logo

මේ අරමුණෙන් බිහි වූ ලාබ නොතකන ආයතනයක් Give2Lanka.org නම් වෙනවා. එහි ආරම්භක හා සභාපති වන දුලාන් ද සිල්වා පුණ්‍යායතන හා රාජ්‍ය නොවන ෙක්ෂත්‍රය සඳහා අරමුදල් ජනනය විවිධාංගීකරණයටත්, නවීකරණයටත් ක්‍රමවේද සොයන්නෙක්.

ඔහු කියන හැටියට මෙරට සමහර (සාපේක්ෂව) විශාල පුණ්‍යායතන තමන්ගේම වෙබ් අඩවිවල සුරක්ෂිතව ආධාර දිය හැකි බැංකු පහසුකම් (Payment Gateways) ලබා දී තිබෙනවා. එවිට ක්‍රෙඩිට් කාඩ් හරහා තමන් කැමති මුදලක් අදාළ ආයතනයට ලෙහෙසියෙන් පරිත්‍යාග කළ හැකියි.

”එහෙත් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන බොහෝ ලාංකිකයන් පවා වෙබ් හරහා එයින් ගනුදෙනු කිරීමට තවමත් මැලි වෙනවා. එබැවින් වෙබ්ගත ආධාර ඉල්ලීම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්” යයි දුලාන් ද සිල්වා කියනවා.

තමන්ගේම වෙබ් අඩවියට විද්‍යුත් වාණිජමය බැංකු පහසුකම් ලබා ගැනීම වියදම් සහගත වැඩක්. එසේ කළ නොහැකි කුඩා හා මධ්‍යම පරිමාණයේ සිවිල් සමාජ සංවිධානවලට මෙන්ම කලාකරුවන් හා නව නිපැයුම්කරුවන් වැනි පුද්ගලයන්ට විකල්ප දෙකක් තිබෙනවා.

එක්කෝ Give2Lanka.org වැනි දේශීය සමූහ සම්මාදම් වේදිකාවක තම ඉල්ලීම් ප්‍රකාශයට පත් කිරීමයි.

අනෙක් ක්‍රමය නම් ගෝලීය වේදිකාවක තම ඉල්ලීම පළ කිරීමයි. JustGiving.com වැනි වේදිකාවක මෙරට විවිධාකාර පොදු හා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රකාශිත ඉල්ලීම් ගණනාවක් හමු වනවා. (හැම එකක්ම සාර්ථක නැහැ.)

දුගී දරුවන්ට අධ්‍යාපනයට උදව් වීම, ආබාධිත අයට පිහිට වීම, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වැනි නිමිති රැසක් මෙවන් ලාංකික ඉල්ලීම් අතර තිබෙනවා. සමහර පර්යේෂකයන් හා සොබා ගවේෂකයන්ද තම වියදම් කොටසක් පතමින් වෙබ්ගත ඉල්ලීම් පළ කරනවා.

මා දන්නා තරමට මෙය තවමත් පුළුල්ව නියාමනයට ලක් වන ක්‍රමවේදයක් නොවෙයි. එහෙත් සමූහ සම්මාදම් ප්‍රචලිත වීම සමග දියුණු රටවල් ගණනාවක එයට අදාළ නීති හා නියාමන හඳුන්වා දී තිබෙනවා.

තමන්ට ලැබෙන හැම ආධාර ඉල්ලීමක්ම වෙබ්ගත සමූහ සම්මාදම් වේදිකා පළ කරන්නේ ද නැහැ. ඔවුන් යම් නිර්ණායක භාවිත කරනවා. සමහර වේදිකාවලට ප්‍රමුඛතා තිබෙනවා. Give2Lanka.org වේදිකාව ළමුන් සුබසාධනය, තරුණයන් සවිබල ගැන්වීම හා අධ්‍යාපන අවශ්‍යතා වලට කැප වී සිටිනවා.

”ශ්‍රී ලංකාවේ පුණ්‍යායතන හා සිවිල් සංවිධාන අධාර සෙවිමට ඩිජිටල් හා වෙබ් තාක්ෂණයන් තවමත් යොදා ගන්නේ බෙහෙවින් සීමිතවයි. එහි විභවය ගැන බොහෝ ආයතනවලට හරිහැටි අවබෝධයක් නැහැ” යයි දුලාන් කියනවා.

එහෙත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය මෙන්ම වෙබ් භාවිතයත් ඉහළ යන සමාජයක මේ සමූහ සම්මාදම් ක්‍රමවේදය ටිකෙන් ටික ස්ථාපිත වීමට ඉඩ කඩ තිබෙනවා. එයට නිසි ප්‍රවර්ධනය හා නවෝත්පාදනය අවශ්‍යයි. ආධාර දීම ලෙහෙසි වූ තරමට එසේ කිරීමට පෙළඹෙන ජන පිරිසද වැඩි වේවි.

L to R – Dr Tom Widger, Dulan de Silva, Asoka Handagama

මේ විභවය යම් තාක් දුරට උරගා බලන්න අපේ කලාකරුවන් හා නව නිපැයුම් කරුවන් යොමු වනු ඇතැයි මා සිතනවා. හැම නිර්මාණයකටම රාජ්‍ය අනුග්‍රහය හෝ ව්‍යාපාරික අනුග්‍රාහකත්වය ලැබෙන තුරු බලා නොසිට සමූහ සම්මාදම් කිරීමේ විකල්පයක් ද තිබෙන බව සිහිතබා ගැනීම වැදගත්.

මෙයට හොඳ පූර්වාදර්ශයන් ද මෑත ඉතිහාසයේ අපට සොයා ගත හැකියි. 1940 ගණන්වල මොරටුවෙන් මතුව ආ ඇල්බට් පෙරේරා නම් ගායනයට අති දක්ෂ තරුණයකු ඉන්දියාවේ භාත්ඛණ්ඩේ ආයතනයේ වැඩිදුර සංගීතය අධ්‍යයනයට යැවීමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා පත්‍රකලාවේදී ඩී බී ධනපාල තීරණය කළා.

එයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට ධනපාල සිය ලංකාදීප පුවත්පත හරහා සමූහ සම්මාදමක් දියත් කළා. එයට රට පුරා ජනයාගෙන් ලොකු හා කුඩා ආධාර රැසක් ලැබුණා. ඒවායේ උපකාරයෙන් 1954 සිට වසර කීපයක් ඉන්දියාවේ උගත් තරුණ ගායකයා යළි මෙරටට ආවේ පණ්ඩිත් අමරදේව ලෙසින්. තමන් උගත්තේ රටේ පොදු ජනයාගේ සම්මාදමින් බව අමරදේවයන් කිසිදා අමතක කළේ නෑ.

Crowdfunding helped educate W D Amaradeva in the 1950s

නූතන යුගයේ මෙබන්දක් කළ හැකිද?

දැනටමත් මෙය උත්සාහ කළ ප්‍රකට කලාකරුවකු නම් සිනමාවේදී අශෝක හඳගමයි. 2016 දී ප්‍රදර්ශනයට ආ ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටය නිර්මාණය කරමින් සිටින කාලයේ ඔහු සමූහ සම්මාදම් ඉල්ලීමක් පළ කළා. ඒ නිව්යෝක් නුවර කේන්ද්‍ර කර ගත් Crimso නම් වේදිකාව හරහායි. එය කලා, ව්‍යාපාරික මෙන්ම ප්‍රජා ඉල්ලීම්වලටත් විවෘතයි.

2014 මාස කිහිපයක් තිස්සේ විවෘතව තිබූ මේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ඩොලර් 6,000ක් පමණ එකතු වූ බව අසෝක කියනවා. එහෙත් චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන වියදම වූ ඩොලර් 120,000න් එම සම්මාදම පියවූයේ 5%ක් පමණයි. චිත්‍රපටයේ සංස්කරණ වියදම් සමහරක් ගෙවීමට තමා එය යොද ගත් බව අසෝක පැවසුවා.

සමූහ සම්මාදම් ක්‍රමය අත්හදා බැලන්නට සිතන සෙසු ලාංකිකයන්ටද  අසෝක හඳගමගේ උපදෙස මෙයයි. ” වෘතාන්ත චිත්‍රපටයක් නිපදවීම වැනි අවශ්‍යතාවක් සඳහා සමූහ සම්මාදම් ක්‍රමය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රයෝගිකව යොදා ගැනීම දුෂ්කරයි. නිෂ්පාදන වියදම සාපේක්ෂව අඩු වාර්තා චිත්‍රපටයකට සමහර විට මේ ක්‍රමයෙන් මුදල් සොයා ගත හැකි වේවි. ප්‍රජා මූලික කලා කටයුතු සඳහා නම් වෙබ්ගත සමූහ සම්මාදම් ඉල්ලූ විට සැළකිය යුතු ප්‍රතිචාරයක් ලැබීමට ඉඩ තිබෙනවා. එහෙත් ඒ සඳහාත් අදාළ වේදිකාවේ ඉල්ලීම පළ කළාට පසුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දිගටම ප්‍රසිද්ධිය ලබා දීම අවශ්‍ය වනවා. වේදිකාවක ඉල්ලීම පළ කිරීම යනු මුල් පියවර පමණයි.”

In 2014, noted Lankan filmmaker Asoka Handagama tried his hand in crowdfunding for a feature film – with limited success

මෙරට පදිංචි ජනගහනය මිලියන් 21ට අමතරව රැකියා සඳහා හෝ සදහටම හෝ විදෙස්ගත වූ ලාංකිකයන් ඇස්තමේන්තුගත මිලියන් 2ක් පමණ සිටිනවා. මේ අයගෙන් මෙරට පොදු අවශ්‍යතා, කලා නිර්මාණ, නව නිපැයුම් හෝ පුණ්‍යායතන සඳහා සමූහ සම්මාදම් ලබා ගත හැකිද? මෙයද අප විමසා බැලිය යුත්තක්.

විදෙස්ගත අපේ ශ්‍රමිකයන් නිතිපතා මෙරටට එවන විදේශ විනිමය අපේ ආර්ථීකයේ වැදැගත් හා තීරණාත්මක සාධකයක්. 2009දී ඩොලර් බිලියන් 3.33ක් වූ මේ ගලා ඒම 2017දී ඩොලර් බිලියන් 7.16ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකු ලේඛන පෙන්වා දෙනවා.

මේ මුදල් නිසාම යැපෙන පවුල් ලක්ෂ ගණනක් සිටිනවා. එසේම එම මුදල්වලින් කොටසක් ආගමික සිද්ධස්ථානවලට යොමු වනවා කියාත් අනුමාන කළ හැකියි.

එලොවට පමණක් නොව මෙලොවටත් සෙත් දෙන පොදු වැඩට දැනට වඩා දේශීය දානපති පරිත්‍යාග වැඩි කළහොත් විදෙස් ආධාර හා පරිත්‍යාග මත යැපීම අඩු කළ හැකියි.

සිවිල් සමාජයට, පුණ්‍යායතනවලට, කලාකරුවන්ට හා නව නිපැයුම්කරුවන්ට මීට වඩා දේශීය අනුග්‍රහය ලැබිය යුතුයි. තාක්ෂණය හරහාවත් අපට සමූහ සම්මාදම් ක්‍රමවේද මීට වඩා මුවහත් කර ගත හැකි නම්, දේශීය දානපති ක්‍රියාවලට එය රුකුලක් විය හැකියි.

සිවුමංසල කොලු ගැටයා #370: පුරෝගාමී කිමිදුම්කරු හා සාගර ජීව විද්‍යාඥයා රොඩ්නි ජොන්ක්ලස්

Pioneer Lankan Diver Rodney Jonklaas

Rodney Jonklaas (1925-1989) was a Lankan marine biologist, free diver, SCUBA diver, spearfisherman and underwater photographer. He was one of the pioneer divers in Ceylon, starting soon after the aqualung was invented in the 1940s. He was founder in 1946/7 of the “Reefcombers of Ceylon”, one of the world’s earliest diving clubs.

I have written about Rodney as my latest Ravaya newspaper column (published on 8 July 2018).

Rodney was one of two persons that author and diver Arthur C Clarke (1917-2008) met on his very first visit to Colombo when the latter’s ship SS Himalaya – taking him from London to Sydney, to explore the Great Barrier Reef – paused at Colombo Harbour for a few hours in December 1954. Rodney suggested that Clarke should come back to explore the Indian Ocean around Ceylon. Acting on this suggestion, Clarke returned in 1956 with fellow Englishman Mike Wilson to explore the island’s marine, cultural and natural heritage for several months. At the end of that expedition, both men decided to settle down in Ceylon. The rest is history.

Rodney was an integral part of the duo’s diving and undersea exploration activities which led, among other things, to their discovering a sunken ship off the southern coast of Sri Lanka full of Mughal silver coins, and making of Ceylon’s first colour movie (Ran Muthu Duwa, 1962) part of which was filmed underwater.

In the ensuing years, Rodney continued to work as a professional diver, taking on commercial assignments while also engaging in recreational diving and going in search of shipwrecks. I quote Rex I de Silva, a senior diver who was mentored by Rodney, who says Rodney was a keen marine conservationist and also a leading spearfisherman with several international records. Rex remembers Rodney as a Renaissance Man who was versatile and accomplished in a wide range of pursuits both on land and underwater.

I also draw on my interview with Rodney Jonklaas done in late 1984, when I met him in connection with a series of articles on humans and the ocean that I researched and wrote for the (now defunct) Kalpana Sinhala monthly magazine (February 1985 issue).

Rodney Jonklaas (1925-1989), photographed in 1984 for Kalpana magazine

පුරෝගාමී ලංකික කිමිදුම්කරු රොඩ්නි ජොන්ක්ලස් (1925 – 1989) ගැන මා මීට පෙර විටින් විට සඳහන් කොට තිබෙනවා. ඒ ආතර් සී. ක්ලාක් සමග එක්ව මෙරට අවට මුහුදේ කිමිදුම් හා ගවේෂණ කිරීම සම්බන්ධයෙන්.

බර්ගර් ජාතිකයකු වූ රොඩ්නි විචිත්‍ර වූත්, අසාමාන්‍ය වූත් චරිතයක්. ඔහුගේ පරම්පරාවේ මෙරට සිටි ප්‍රවීණතම සමුද්‍ර ජීව විද්‍යාඥයා (marine biologist) වූ ඔහු ජීවිතයෙන් වැඩි කලක් තිස්සේ මෙරට අවට මුහුදේත් ගංගා හා වැව්වලත් කිමිදීමේ නිරත වුණා.

1954 දෙසැම්බර් 12 වනදා ආතර් ක්ලාක් සහ තවත් මගීන් රැසක් රැගත් ‘හිමාලයා‘ නම් නෞකාව පැය කිහිපයකට කොළඹ වරායේ නතර කරණු ලැබුවා. එය එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාව බලා යන චාරිකාවක කෙටි විරාමයක්. එවකට ගුවන් ගමන් ප්‍රචලිතව තිබුණේ නැහැ.

ඒ කෙටි කාලය තුළ ගොඩබිමට පැමිණි ක්ලාක් මෙරට වාසය කරමින් සිටි මේජර් රෝලන්ඩ් රේවන්-හාට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා සහ රොඩ්නි ජොන්ක්ලස් මුණ ගැසුණා. මෙරට පිළිබඳව දැඩි කුතුහලයක් ඔහු ඇති කර ගත්තේ මේ දෙදෙනා සමග කථාබහ කිරීමෙන්.

එවකට තරුණ වියේ සිටි රොඩ්නි දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධිකාරී ලෙස රැකියාව කළත් ඔහු වඩාත් ප්‍රකටව සිටියේ දිවයිනේ දක්ෂතම කිමිදුම්කරුවා ලෙසයි.

ක්ලාක් ඔස්ට්‍රේලියාවට යමින් සිටියේ ලෝ ප්‍රකට මහා බාධක පරය (Great Barrier Reef) නම් ලොව විශාලතම කොරල්පර පද්ධතිය අවට කිමිදුම් ගවේෂණවලටයි. ප්‍රමාණයෙන් එතරම් සුවිසල් නොවූවත් විසිතුරු කොරල්පර රැසක් ශ්‍රී ලංකාවට සමීප මුහුදේ හමු වන බවත්, ඊට අමතරව මුහුදුබත් වූ නෞකා රැසක් ද තිබෙන බවත් රොඩ්නි ක්ලාක්ට කීවා.

‘මේ උතුරු ඉන්දියන් සාගරයේ කොරල්පර හා වෙනත් ස්ථාන බොහෝමයක් තවම කිසිදු කිමිදුම්කරුවකු නොගිය තැන්. ඊළඟට ඔබේ කිමිදුම් ගවේෂණ සඳහා ලංකාවට එන්න’ යයි රොඩ්නි ක්ලාක්ට යෝජනා කළා.

එම යෝජනාව පිළිගත් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් 1956දී මෙරට මාස කීපයක් ගවේෂණයට ආ සැටිත්, එය අවසානයේ දී මොවුන් දෙදෙනාම මෙරට පදිංචි වීමට තීරණය කළ සැටිත් ප්‍රකටයි.

L to R: Rodney Jonklaas, Mike Wilson & Arthur C Clarke, during their Ceylon expedition of 1956 [Photograph courtesy Arthur C Clarke Trust] More at http://arthurcclarke.org
1956-1970 පමණ වකවානුවේ ක්ලාක්ගේ මෙරට කිමිදුම් කටයුතු බොහොමයකට හවුල් වූ රොඩ්නි, මහා රාවනා කොටුව අසලින් මුහුදුබත් වූ නෞකාවකින් 1961 මාර්තුවේ රිදී කාසි සොයා ගැනීමටත්, 1962 රන්මුතු දූව චිත්‍රපටය නිපදවීමටත් ක්ලාක් හා විල්සන් සමග සමීපව ක්‍රියා කළා.

රොඩ්නි ජොන්ක්ලස් මා මුල් වරට හමු වූයේ 1984 අගදී. ‘කල්පනා’ සඟරාවට ‘සාගරය සහ මිනිසා’ නමින් කවරයේ කතාවක් ලිවීමට එහි කර්තෘ ගුණදාස ලියනගේ එවකට පාසල් සිසුන් වූ පාලිත ගුණවර්ධනට හා මට පවරා තිබුණා. එහි එක් ලිපියක් අප ලිව්වේ රොඩ්නි ගැනයි. ජාඇල පිහිටි ඔහුගේ නිවසේ අප වරුවක් ගත කළා.

රොඩ්නි ස්ට්‍රැටන් ලුඩොවිසි ජොන්ක්ලස් උපන්නේ 1925දී මහනුවර. ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනීම ලබන අතර මහනුවර උඩවත්ත කැලේ වැවක පිහිනන්නට උගත්තා. පසුව ඔහු ලේවැල්ලේදී මහවැලි ගෙඟ්ත්, නුවර වැවේත් පිහිනුවා.

ඒ අවධියේ නුවර වැවේ පිහිනීම තහනම් කර තිබුණා. මේ නිසා ඔරුවක් පැදගෙන නුවර වැව මැද්දට ගිය රොඩ්නි එය ඕනෑකමින් පෙරළා, ආපසු පීනාගෙන ගොඩට ආවාලු!

පිහිනීමෙන් පසු ඔහු යොමු වුණේ කිමිදීමට. ”මගේ මුල්ම කිමිදුම් අත්දැකීමත් හරියට සුරංගනා කතා වගේ…දවසක් මම නුවර වැව රවුම දිගේ ඇවිදගෙන යනකොට එක කාන්තාවක් වැව අද්දරට වෙලා බොහොම දුකෙන් කල්පනා කරමින් හිටියා. මොකද අහපුවම කිව්වේ ‘මගේ ඔරලෝසුව වැවට වැටුණා’ කියලයි. මම ඒ වෙලාවෙම වැවට පැනලා වැව පතුළට කිමිදීගෙන ගිහින් ඔරලෝසුව සෙව්වා. උඩට ආවේ ඇගේ ඔරලෝසුවත් සොයා ගෙනයි. මේ මුල්ම කිමිදුමට මට කිසිම බාහිර උපකරණයක් තිබුණේ නැහැ…”

එදා ඒ අහම්බෙන් සිදු කළ මුල්ම කිමිදුමෙන් පසු රොඩ්නි දිය යට ලෝකය කෙරෙහි නොබිඳුණු ආදරයකින් බැඳුණා.

”මම මුහුදේ පීනන්න ඉගෙන ගත්තේ 1940 ගණන්වල කොළඹ සරසවියට ඇතුල් වීමෙන් පස්සෙයි. මහනුවර ඉඳන් කොළඹ ආවාට පහුවදාම මම කොළඹ කින්රොස් පිහිනුම් සමාජයට බැඳුණා. ඒ කාලේ දැන් වගේ කිමිදුම් කට්ටල තිබුණේ නැහැ. ජෑම් ටින්වලට රබර් පටිවලින් වීදුරු හයි කරලා, තනිවම හදා ගත්ත කණ්ණාඩි දමා ගෙන මූද යටට පිහිනුවා. මොන දුෂ්කරතා තිබුණත් කිමිදුම්කරුවකු වීමේ අධිෂ්ඨානය අත හැරියේ නෑ!”

කොළඹ සරසවියේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භූගෝල විද්‍යාව හැදෑරු ඔහු ඉන් පිට වෙනවාත් සමගම දෙහිවල සත්වෝද්‍යානයට බැඳී, වසර 6ක් එහි සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළා. ඔහු එයින් ඉවත් වුණේ වැඩි නිදහසකින් යුක්තව කිමිදුම් කටයුතුවල යෙදෙන්නයි.

සම්පත් සීමිත ඒ කාලයේ රොඩ්නි මහත් උත්සාහයෙන් දිය යට හැම ශිල්ප ක්‍රමයක්ම උගත්තා. ”මයික් විල්සන් තමයි මට මුහුද යට ඡයාරූප ගැනීම හා චිත්‍රපට කැමරාකරණය ඉගැන්නුවේ” ඔහු සිහිපත් කළා.

Veteran spearfisherman Rodney Jonklaas in 1969 at Great Basses Reef. Photo by Rex Ian de Silva

විල්සන්, ක්ලාක්, ජොන්ක්ලස් ත්‍රිත්වය ලංකාවේ කිමිදුම් හා මුහුද යට ඡායාරූප ශිල්පයේ පුරෝගාමින්. අපේ සාගර යට විචිත්‍රත්වය අලලා නිපද වූ මුල්ම වාර්තා චිත්‍රපටය වූ Beneath the Seas of Ceylon (1958)  තැනුවේ මේ තිදෙනායි. කාලයාගේ ඇවෑමෙන් මෙහි එකදු පිටපතක්වත් ඉතිරි වී නැහැග

ලංකාවේ රූපගත කළ විදේශීය චිත්‍රපට ගණනාවකට තාක්ෂණික පැත්තෙන් සහය වූ රොඩ්නි 1962දී මෙරට නිෂ්පාදිත මුල්ම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ මුහුද යට දර්ශන රූපගත කළා.

”රන්මුතු දූව චිත්‍රපටයේ මම ගාමිණි ෆොන්සේකා එක්ක මුහුද යට සටන් කරනවා. ඊට පස්සේ සීතාදේවී හා වාලම්පූරිය චිත්‍රපටවලත් මුහුද යට දර්ශන රූපගත කළා. මේ හැරෙන්නට මම ඉන්දියාව, සිංගප්පූරුව, මාලදිවයින වැනි රටවල් ගණනාවක මුහුද යට ලෝකය ගැන මා සම්බන්ධ වූ වාර්තා චිත්‍රපටවලට ජාත්‍යන්තර ප්‍රසංසාව පවා හිමි වුණා.”

සත්තු වත්තෙන් ඉවත් වූ පසු මුතු බෙල්ලන් කැඩීමේ හා විසිතුරු මසුන් පිටරට යැවීමේ යෙදී සිටි රොඩ්නි කිසි විටෙකත් කිමිදීම අත් හැරියේ නැහැ.

මුහුද යට ලෝකය විසිතුරු මෙන්ම අන්තරාදායක ද බව ඔහු දැන සිටියා. ”මට අත්දැකීම් ගොඩක් තියනවා. එයින් වඩාත්ම රසවත් වෙන්නේ වඩාත්ම මරණයට කිට්ටු වුණු අවස්ථාවයි. වතාවක් මම ත්‍රිකුණාමලයේ කලපුවේ ගල්පර අසල කිමිදෙමින් ඉන්න කොට විශාල මෝරෙක් මාව හපා කන්න එළවාගෙන ආවා. මට මෝරත් එක්ක හරි හරියට පීනන්න පුළුවන් වුණේ නැහැ. ළඟ තිබුණු ගල් පරයකට මුවා වෙලා මම ඉනේ තිබුණ යකඩ කූරක් අතට ගත්තා. මෝරා හොඳටම ළං වුණාම ඒකෙන් ඌව තල්ලු කරලා දැම්මා. පුදුමයකට වගේ ඌ යන්න ගියා. මට තාමත් හිතෙන්නේ ඌ එදා මාව බොරුවට බය කළා කියලයි. ඕනෑ නම් මාව හපා කන්න ඌට ඉඩ තිබුණා….”

සාගරය ගැන ඔහුගේ සිතේ තිබුණේ බිය මුසු කනගාටුවක්. ජනගහනය වැඩි වීමත්, මිනිසාගේ අදූරදර්ශි ක්‍රියාත් නිසා සාගරය බෙහෙවින් දූෂණය වෙමින් ඇති බව ඔහු පෙන්වා දුන්නේ 1960 ගණන්වල පටන්මයි.

”යමක් කමක් කරන්නට පුළුවන් වූ දා ඉඳලා මිනිසා විසින් කළේ සාගරයෙන් හැකි තරම් පල නෙළා ගැනීම. අද වෙලා තියෙන්නේ අක්‍රමවත් ලෙස සාගර අස්වනු නෙළන්නට යාමෙන් ලොකු පිරිහීමක් ඇති වීමයි. මසුන් මරනවා කියන්නෙත් සාගර සම්පත් වැනසීමක්. ඒ කියන්නේ මාළු කන්න එපා කියන එක නොවෙයි. අපේ රටේ ධීවර කර්මාන්තය විශාල ජනතාවකගේ ජීවනෝපාය වී තිබෙනවා. මේ නිසා මෙය ක්‍රමවත්ව පාලනය කිරීම ලේසි නෑ. ටිකෙන් ටික වුණත් අපි මසුන් බෝ කිරීමේ පැත්තට හැරෙන්න ඕනෑ. ඒ වගේම ගැඹුරු මුහුදු ධීවර සම්පත් වඩා ප්‍රයෝජනයට ගත යුතුයි. අනෙත් අතට මාළු කියන්නේ එක් සමුද්‍ර සම්පතක් පමණයි. ඒ ගැන පමණක් සිතා කටයුතු කිරීම වැරදියි.”

අවුරුදු 35ක් තිස්සේ ලංකාව වටා ඇති සාගරයේ කිමිදීමේ යෙදී ඇති රොඩ්නි ජොන්ක්ලස් එම කාලය තුළ ඇති වී තිබෙන සාගර දූෂණය හොඳ හැටි දුටුවා.

”ලංකාව අවට මුහුදේ සිටින සතුන් හා ශාකවල පැවැත්මට තර්ජනයක් එල්ල කරන එක් සාධකයක් සාගර දූෂණය. අපි ඔක්කොම කැලිකසළ ගොඩ ගසන්න පුළුවන් අසීමිත ‘කුණු වළක්’ හැටියට සාගරය සලකන්නේ. අනෙක් අතට දූෂණය දැන් අභ්‍යන්තර (මිරිදිය) ජලාශවලටත් බලපානවා.”

”අද ලංකාවේ මුහුදුවල ඉන්න සමුද්‍ර ජීවීන් වඳ වී යන්නට පටන් අරන්. මුහුදු ඌරා (Dugong) වඳ වී යාමේ තර්ජනයට බෙහෙවින් ලක් වූ සතෙක්. ඩොල්පින්, කැස්බෑවන්, පොකිරිස්සන් වර්ග නීතියෙන් ආරක්ෂිත සතුන් වුවත් මසුන් මරන්නන්ගේ දැල්වලට හසු වෙනවා. බොහෝ විට මෙය ධීවරයන් වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. ක්‍රමවත්ව පාලනය කරන සමුද්‍ර අභයස්ථාන (Marine Sanctuaries) අවශ්‍ය මේ නිසයි. විනාශ වී ගෙන යන සමුද්‍ර ජීවී සම්පත් බේරා ගන්නට තවමත් ඉඩ තිබෙනවා.”

ඔහු මේ ටික කීවේ මීට 34 වසරකට පෙර. ඔහු මිය ගොස් දශක තුනක් ගෙවීමට ආසන්න මේ වන විට තත්ත්වය තවත් උග්‍ර වෙලා. දේශගුණ විපර්යාසත් දැන් සාගර පරිසරයට පීඩන වැඩි කරනවා.

Rex Ian de Silva, diver and naturalist who was mentored by Rodney Jonklaas [Photo by Nalaka Gunawardene]
දැනට මෙරට සිිටින ප්‍රවීණතම කිමිදුම්කරුවකු වන රෙක්ස් ඉයන් ද සිල්වා මෙරට කිමිදුම් ඉතිහාසය ලේඛනගත කරමින් සිටිනවා. ඔහු දිගු කලක් තිස්සේ රොඩ්නි සමීපව ඇසුරු කළ අයෙක්.

ඔහු රොඩ්නි සිහිපත් කරන්නේ බහුවිධ හැකියාවක් තිබූ, බොහෝ දේට දක්ෂ වූ අසාමාන්‍ය චරිතයක් ලෙසයි. ”මුහුදු ජීවීන් ගැන පුළුල් ප්‍රායෝගික දැනුමක් තිබූ ඔහු විසිතුරු මසුන් මෙන්ම විසිතුරු පැලෑටි ගැනත් බොහෝ සෙයින් අධ්‍යයනය කළා. ඉලක්කයට වෙඩි තබන්න, සංගීතයට, ලේඛන කලාවට මෙන්ම විනෝදකාමී ලෙස කතා කියන්නත් අති සමතෙක්.”

එසේ වුවද රොඩ්නිගේ චරිතයේ යම් පරස්පරයක් ද තිබූ බව රෙක්ස් කියනවා.

”එක් අතකින් රොඩ්නි නිර්ව්‍යාජ සංරක්ෂණවේදියෙක්. මෙරට මසුන් ඇල්ලීමට ඩයිනමයිට් භාවිතයට එරෙහිව ආතර් සී. ක්ලාක් සමග එක්ව ඔහු දිගටම උද්ඝෝෂණ කළා. එසේම කොරල් කඩා හුණුගල් ලෙස පිළිස්සීමට එරෙහිව මේ දෙදෙනා වසර ගණනක් ගෙන ගිය සංරක්ෂණ අරගලය අන්තිමේදී සාර්ථක වුණා. මන්නාරමේ බොක්කේ ඉතිරිව සිටින මුහුදු ඌරන් රැක ගන්නට රොඩ්නි හඬ නැගුවා.”

අනෙක් අතට රොඩ්නි කිමිදුම්කරුවකු ලෙස දිය යට හෙල්ලකින් ඇන මසුන් මැරීමේ සමතෙකු වූ බව රෙක්ස් සිහිපත් කරනවා. දැල් නොමැතිව, තනි තනිව මුහුද යට මසුන් ඇල්ලීමට ජාත්‍යන්තරව පනවා ඇති මාර්ගෝපදේශවලට අනුකූලව ඔහු මෙය කළ බවත්, ඉන්දියානු සාගර කලාපයේම කිමිදුම්කරුවන් අතර හොඳම ඉලක්කයක් තිබූ බවක් රෙක්ස් කියනවා.

වරක් යම් කිසිවකු රොඩ්නිගෙන් විමසා ඇත්තේ ”ඔබ සංරක්ෂණයට වැඩ කරන අතර මසුන් මරන්නේ ඇයි?” කියාය. රොඩ්නිගේ උත්තරය,”ඔබ මාළු කනවාද? මාළු ඔබට කෑමට නම් කවරකු හෝ මාළු ඇල්ලිය යුතුයි. මාළු අනුභව කරන කිසිවකුටත් මාළු ඇල්ලීම ගැන විවේචනය කළ නොහැකියි.”

රොඩ්නිට මාළු පිළිබඳව හොඳ ඇසක් හා තීක්ෂණ දැනුමක් තිබුණා. අපේ දූපත අවට මුහුදේ මත්ස්‍ය විශේෂ ගණනාවක් මුල් වරට හඳුනා ගත්තේ ඔහුයි. මුහුදු සර්පයන් ගැන ඔහු විශේෂ උනන්දුවක් දැක්වූවා. රෙක්ස් කියන හැටියට, ”අපේ මුහුදුවල සිටින මුහුදු සර්ප විශේෂ හැම එකක්ම විෂ සහිතයි. එහෙත් ආක්‍රමණශීලී නැහැ. මේ බව තේරුම් ගත් රොඩ්නි, අවදානමකින් තොරව ඔවුන්ට සමීප වෙමින් දිය යටදී ඔවුන් අධ්‍යයනය කළා.”

රොඩ්නි සිය දැනුම පොත් කිහිපයකට ගොනු කළත් ඔහුට තවත් බොහෝ දේ ලිවිය හැකිව තිබූ බව රෙක්ස්ගේ අදහසයි.

”රොඩ්නි කිමිදුම්කරුවකු ලෙස වාණිජමය වැඩත් කළා. මේ නිසා ශාස්ත්‍රීය හෝ විද්‍යා පොත පත ලියන්නට කාලය සීමිත බව ඔහු මට කීවා. 1980 ගණන්වල මෙරට මුහුදු මෝරුන් පිළිබඳ විස්තරාත්මක හා රූපමය පොතක් ලිවීම මා ආරම්භ කළ විට එයට බොහෝ සෙයින් උපකාර කර මා දිරි ගැන්වූවා” රෙක්ස් කියනවා.

රොඩ්නි මිරිදිය මසුන් ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් මිරිදිය මසුන් විශේෂ දෙකක් නම් කර තිබෙනවා.

රොඩ්නිගේ දහස් ගණනක් කිමිදුම් චාරිකා අතරින් රෙක්ස් වඩාත් සුවිශේෂී ලෙස සලකන්නේ 1942දී ජපන් ගුවන් හමුදා ප්‍රහාරයකට ලක්ව අපේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදුබත් වූ හර්මිස් නම් බ්‍රිතාන්‍ය යුද්ධ නැවේ පිහිටීම සොයා ගැනීමයි.

එම නැවේ කතාවත්, 1967දී රොඩ්නි ජොන්ක්ලස් මහත් උත්සාහයෙන් එය මුහුදු පත්ලේ සොයා ගැනීමත් වෙනම කිව යුතුයි.

See also previous columns:

සිවුමංසල කොලූගැටයා #194: මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව – Part 1

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

සිවුමංසල කොලු ගැටයා #369 – අත්ත බිඳෙයි පය බුරුලෙන්: සමාජ මාධ්‍ය නියාමනයේ යුරෝපීය අත්දැකීම්

Deutsche Welle Global Media Forum (GMF), in Bonn, Germany, 11 – 13 June 2018

Trends like ultra-nationalistic media, hate speech and fake news have all been around for decades — certainly well before the web emerged in the 1990s. What digital tools and the web have done is to ‘turbo-charge’ these trends.

This is the main thrust of this week’s Ravaya column, published on 1 July 2018, where I capture some discussions and debates at the 11th Deutsche Welle Global Media Forum (GMF), held in Bonn, Germany, from 11 to 13 June 2018.

I was among the 2,000+ media professionals and experts from over 100 countries who participated in the event. Across many plenaries and parallel sessions, we discussed a whole range of issues related to politics and human rights, media development and innovative journalism concepts.

On 13 June 2018, I moderated a session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” which was organised by the Institut für Auslandsbeziehungen (ifa) or Institute for Foreign Relations, a century old entity located in Bonn. Most of the column draws on my own panel’s explorations, about which I have already written in English here: DW Global Media Forum 2018: Moderating panel on ‘Digitalization and Polarization of the Media’

L to R – Nalaka Gunawardene (moderator), Christian Humborg, Jillian York, and Curd Knupfer. [Photo courtesy DW GMF 2018]
මා සාම්ප්‍රදායික පොතේ උගතකු නොවෙයි. එහෙත් උද්‍යොගිමත්ව දැනුම ගවේෂණයට හා විචාරශීලීව ඕනෑම මාතෘකාවක් විමර්ශනයට සමත් නිසාදෝ ලොව විවිධ රටවලින් වැඩමලු, සම්මන්ත්‍රණ ආදියේ කතා කිරීමට නිතර ආරාධනා ලබනවා.

2018 ජූනි 11-13 තෙදින තුළ ජර්මනියේ බොන් නුවර පැවති ගෝලීය මාධ්‍ය සමුළුවේ (Global Media Forum) එක් සැසි වාරයක් මෙහෙය වීමට මට ඇරයුම් ලැබුණා.

2007 සිට වාර්ෂිකව පවත්වන මේ සමුළුව සංවිධානය කරන්නේ ජර්මනියේ ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතනය වන ඩොයිෂවෙල  (Deutsche Welle) විසින්.

මෙවර සමුළුවට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් 2,000 ක් පමණ මාධ්‍යවේදීන්, මාධ්‍ය කළමනාකරුවන් හා මාධ්‍ය පර්යේෂකයන් සහභාගී වුණා. මහා මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය ඇති කරන බලපෑම් හා අභියෝග ගැන විවෘතව කතාබහ කිරීමට එය හොඳ වේදිකාවක් වූවා.

අපේ සමහරුන් පොදුවේ ‘බටහිර රටවල්’ යයි කීවාට සැබෑ ලෝකයේ එබඳු තනි ගොඩක් නැහැ. බටහිරට අයත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ බොහෝ කාරණාවලදී යුරෝපීය රටවල් එකඟ වන්නේ නැහැ.

එසේම යුරෝපා සංගමය ලෙස පොදු ආර්ථීක හවුලක් යුරෝපීය රටවල් 28ක් ඒකරාශී කළත් එම රටවල් අතරද සංස්කෘතික හා දේශපාලනික විවිධත්වය ඉහළයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මෙම විවිධත්වය නිිසා නොයෙක් බටහිර රාජ්‍යයන් මාධ්‍ය ප්‍රතිපත්ති ගැන දක්වන නිල ස්ථාවරයන් අතර වෙනස්කම් තිබෙනවා. බොන් නුවරදී දින තුනක් තිස්සේ අප මේ විවිධත්වය සවියක් කර ගනිමින් බොහෝ දේ සාකච්ඡා කළා.

ලෝකයේ රටවල් කෙමෙන් ඩිජිටල්කරණය වන විට ඒ හරහා උදා වන නව අවස්ථාවන් මෙන්ම අභියෝග ගැනත් සංවාද රැසක් පැවැත් වුණා.

Mariya Gabriel, EU Commissioner in charge of Digital Economy and Society

යුරෝපා හවුලේ ඩිජිටල් ආර්ථීකයන් හා සමාජයන් පිළිබඳ කොමසාරිස්වරි වන මරියා ගේබ්‍රියල් මේ ගැන ආරම්භක සැසියේ දී හොඳ විග්‍රහයක් කළා.

පොදුවේ වෙබ් අවකාශයත්, විශේෂයෙන් ඒ තුළ හමු වන සමාජ මාධ්‍යත් මානව සමාජයන් වඩාත් ප්‍රජාතන්ත්‍රීය කිරීමට හා සමාජ අසමානතා අඩු කිරීමට බෙහෙවින් දායක විය හැකි බව පිළි ගනිමින් ඇය කීවේ මෙයයි.

”එහෙත් අද ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා බහුතරයක් මේ යහපත් විභවය සාක්ෂාත් කර ගැනීමට දායක වනවා වෙනුවට දුස්තොරතුරු (disinformation) හා ව්‍යාජ පුවත් එසැනින් බෙදා හැරීමට යොදා ගැනෙනවා. මෙය සියලු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. සමහර සමාජ මාධ්‍ය වේදිකා මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කාරියම කරනවා. එනම් කාලීන තොරතුරු එක් රැස් කිරීම හා බෙදා හැරීම. එහෙත් ඔවුන් එසේ කරන විට සංස්කාරක වගකීමක් (editorial responsibility) නොගැනීම නිසා ව්‍යාකූලතා මතු වනවා.”

ඇගේ මූලික නිර්දේශයක් වූයේ සමාජ මාධ්‍ය වේදිකා නියාමනය නොව මාධ්‍ය බහුවිධත්වය (media pluralism) ප්‍රවර්ධනය කළ යුතු බවයි.

රටක මාධ්‍ය බහුවිධත්වය පවතී යයි පිළිගන්නේ මාධ්‍ය ආයතන හා ප්‍රකාශන/නාලිකා ගණන වැඩි වූ පමණට නොවේ.

Image courtesy UNESCO

තනි හිමිකරුවකුගේ හෝ ටික දෙනකුගේ හිමිකාරීත්වය වෙනුවට විසිර ගිය හිමිකාරිත්වයන් තිබීම, අධිපතිවාදී මතවාද පමණක් නොව පුළුල් හා විවිධාකාර මතවාදයන්ට මාධ්‍ය හරහා ඇති තරම් අවකාශ ලැබීම, හා සමාජයේ කොන්ව සිටින ජන කොටස්වලට ද සිය අදහස් ප්‍රකාශනයට මාධ්‍යවල ඇති තරම් ඉඩක් තිබීම වැනි සාධක ගණනාවක් තහවුරු වූ විට පමණක් මාධ්‍ය බහුවිධත්වය හට ගන්නවා. (මේ නිර්නායක අනුව බලන විට අපේ රටේ මාධ්‍ය රැසක් ඇතත් බහුවිධත්වය නම් නැහැ.)

ඩිජිටල් මාධ්‍ය බහුල වෙමින් පවතින අද කාලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කෙතරම්  බහුවිධත්වයක් පැවතීම තීරණාත්මකද? මේ ප්‍රශ්නයට පිළිතුරු සංවාද හරහා මතු වුණා.

මේ වන විට ලොව ජනගහනයෙන් අඩකටත් වඩා ඉන්ටර්නෙට් භාවිතා කළත්, පුවත් හා කාලීන තොරතුරු මූලාශ්‍රයන් ලෙස ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවල වැදගත්කම තවමත් පවතිනවා. (පුවත් හා සඟරා නම් කෙමෙන් කොන් වී යාම බොහෝ රටවල දැකිය හැකියි.)

මේ නිසා මාධ්‍ය බහුවිධත්වය තහවුරු කරන අතර මාධ්‍ය විචාරශීලීව පරිභෝජනය කිරීමට මාධ්‍ය සාක්ෂරතාවයත් (media literacy), ඩිජිටල් මාධ්‍ය නිසි ලෙස පරිහරණයට ඩිජිටල් සාක්ෂරතාවයත් (digital literacy) අත්‍යවශ්‍ය හැකියා බවට පත්ව තිබෙනවා.

ඩිජිටල් සාක්ෂරතාවය යනු හුදෙක් පරිගණක හා ස්මාර්ට් ෆෝන් වැනි ඩිජිටල් තාක්ෂණ මෙවලම් තනිවම භාවිතා කිරීමේ හැකියාව පමණක් නොව ඩිජිටල් අන්තර්ගතයන් විචාරශීලීව ග්‍රහණය කිරීමේ හැකියාව ද එහි වැදගත් අංගයක් බව සමුළුවේ යළි යළිත් අවධාරණය කෙරුණා.

මරියා ගේබ්‍රියල් මෑත කාලයේ යුරෝපයේ කළ සමීක්ෂණයක සොයා ගැනීම් උපුටා දක්වමින් කීවේ වයස 15-24 අතර යුරෝපීය ළමුන් හා තරුණයන් අතර ව්‍යාජ පුවතක් හා සැබෑ පුවතක් වෙන් කර තේරුම් ගැනීමේ හැකියාව තිබුණේ 40%කට බවයි.

එයින් පෙනෙන්නේ යම් පිරිස් විසින් දුස්තොරතුරු සමාජගත කර මැතිවරණ, ජනමත විචාරණ හා වෙනත් තීරණාත්මක සමාජයීය ක්‍රියාදාමයන් අවුල් කිරීමේ අවදානමක් පවතින බවයි.

මෙබැවින් මාධ්‍ය සාක්ෂරතාවය හා ඩිජිටල් සාක්ෂරතාවය වැඩි කළ යුත්තේ තනි පුද්ගලයන්ගේ කුසලතා වර්ධනයට පමණක් නොවෙයි. අසත්‍යන්, අර්ධ සත්‍යන්, හා කුමන්ත්‍රණවාදී තර්ක හරහා ප්‍රජාතාන්ත්‍රීය සමාජයන් නොමඟ යැවීමටත්, ඒ හරහා රාජ්‍යයන් අස්ථාවර කිරීමටත් එරෙහිව සමාජයේ ප්‍රතිශක්තිය ගොඩ නැංවීමටයි.

මා මෙහෙය වූ සැසි වාරයේ අප මෙම සමාජයීය අභියෝගය ගැන විද්වත් මෙන්ම ප්‍රායෝගික ලෙසත් සාකච්ඡා කළා.

මගේ සැසියේ කථීකයන් වූයේ ජර්මනියේ බර්ලින් නුවර ෆ්‍රී සරසවියේ දේශපාලන විද්‍යාඥ ආචාර්ය කුර්ඩ් නුප්ෆර් (Dr Curd Knupfer), ඇමරිකාවේ ඉලෙක්ට්‍රොනික් ෆ්‍රන්ටියර් පදනමේ භාෂාණ නිදහස පිළිබඳ අධ්‍යක්ෂිකා ජිලියන් යෝක් (Jillian York) සහ විකිමීඩියා ජර්මන් පදනමේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් හුම්බොග් (Christian Humborg) යන තිදෙනායි.

Nalaka Gunawardene moderating moderated session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” at DW Global Media Forum 2018 in Bonn, 13 June 2018

සැසිවාරය අරඹමින් මා මෙසේ ද කීවා:

”වෙබ්ගත අවකාශයන් හරහා වෛරී කථනය හා ව්‍යාජ පුවත් ගලා යාම ගැන අද ලොකු අවධානයක් යොමු වී තිබෙනවා. වර්ගවාදී හා වෙනත් අන්තවාදී පිරිස් සමාජ මාධ්‍ය වේදිකා හරහා ආන්තික සන්නිවේදනය කරමින් සිටිව බවත් අප දන්නවා. එහෙත් මේ ප්‍රවනතා එකක්වත් ඉන්ටර්නෙට් සමඟ මතු වූ ඒවා නොවෙයි. 1990 දශකයේ වෙබ් අවකාශය ප්‍රචලිත වීමට දශක ගණනාවකට පෙරත් අපේ සමාජයන් තුළ මේවා සියල්ලම පැවතියා. වෙබ් පැතිරීමත් සමග සිදුව ඇත්තේ මේ ආන්තික ප්‍රවාහයන්ට නව ගැම්මක් ලැබීමයි. එනිසා දැන් අප කළ යුතුව ඇත්තේ භෞතික ලෝකයේ වුවත්, සයිබර් අවකාශයේ වුවත්, වෛරී කථනය, ව්‍යාජ පුවත් හා ආන්තික සන්නිවේදනවලට එරෙහිව සීරුවෙන් හා බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමයි. එසේ කිරීමේදී අප සැවොම ඉහළ වටිනාකමක් දෙන භාෂණයේ නිදහස රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි. අප නොරිසි දේ කියන අයටත් භාෂණ නිදහස එක සේ හිමි බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.”

එසේම තව දුරටත් ‘නව මාධ්‍ය’ හා ‘සම්ප්‍රදායික මාධ්‍ය’ හෙවත් ‘ප්‍රධාන ධාරාවේ මාධ්‍ය’ කියා වර්ගීකරණය කිරීම ද එතරම් අදාල නැති බව මා පෙන්වා දුන්නා. සමහර සමාජවල (උදා: කොරියාව, සිංගප්පූරුව) ප්‍රධාන ධාරාව බවට ඩිජිටල් මාධ්‍ය දැනටමත් පත්ව තිබෙනවා. එසේම වසර 20කට වැඩි ඉතිහාසයක් ඇති ඩිජිටල් මාධ්‍ය තව දුරටත් එතරම් අලුත් හෝ ‘නව මාධ්‍ය’ වන්නේ ද නැහැ.

ඒ නිසා ලේබල්වලට වඩා වැදගත් සමස්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණයන්ම ජන සමාජ වලට කරන බලපෑම පොදුවේ අධ්‍යයනය කිරීමයි.

සමාජ මාධ්‍ය වේදිකා හරහා නොයෙක් පුද්ගලයන් පළකරන හෝ බෙදාගන්නා (ෂෙයාර් කරන) අන්තර්ගතයන් පිළිබඳ එකී වේදිකා හිමිකාර සමාගම් කෙතරම් වගකිව යුතුද?

2018 ජනවාරි 1 වැනිදා සිට ජර්මනියේ ක්‍රියාත්මක වන නව නීතියකට අනුව සමාජ මාධ්‍ය වේදිකාවක වෛරී ප්‍රකාශ යමකු සන්නිවේදනය කෙරුවොත් පැය 24ක් ඇතුළත එය ඉවත් කිරීමේ වගකීම් අදාළ වේදිකා පරිපාලකයන්ට භාර කැරෙනවා. එසේ නොකළොත් යූරෝ මිලියන් 50 (අමෙරිකානු ඩොලර් මිලියන් 62ක්) දක්වා දඩ නියම විය හැකියි.

සද්භාවයෙන් යුතුව හඳුන්වා දෙන ලද නව නීතියේ මාස කිහිපයක ක්‍රියාකාරීත්වය කෙසේදැයි මා විමසුවා. ජර්මන් කථීකයන් කීවේ වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා මහත් සේ වෙර දැරීම තුළ වෛරී නොවන එහෙත් අසම්මත, විසංවාදී හා ජනප්‍රිය නොවන විවිධ අදහස් දැක්වීම්ද යම් ප්‍රමාණයක් ඉවත් කොට ඇති බවයි.

දේශපාලන විවේචනයට නීතියෙන්ම තහවුරු කළ පූර්ණ නිදහස පවතින ජර්මනිය වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටකට මෙම නව නීතිය දරුණු වැඩි බවත්, එය සංශෝධනය කොට වඩාත් ලිහිල් කළ යුතු බවත් මෑතදී පත්වූ නව ජර්මන් රජය පිළිගෙන තිබෙනවා.

Image courtesy Human Rights Watch

නව නීතිය යටතේ අසාධාරණ හා සීමාව ඉක්මවා ගොස් ඉවත් කරනු ලැබූ වෙබ් අන්තර්ගතයන් අතර දේශපාලන හා සමාජයීය උපහාසය පළ කරන ප්‍රකාශනද තිබෙනවා. සමාජ ප්‍රශ්නයක් ගැන ජන අවධානය යොමු කිරීමට හාසකානුකරණය (parody) පළ කිරීම සමහර හාස්‍යජනක (satire) ප්‍රකාශනවල සිරිතයි.

එහෙත් නව නීතියේ රාමුව වුවමනාවටත් වඩා තදින් ක්‍රියාත්මක කළ ට්විටර් හා ෆේස්බුක් වැනි වේදිකාවල පරිපාලකයෝ මෙවන් හාස්‍යජනක හෝ උපහාසාත්මක අන්තර්ගතයද ජර්මනිය තුළ දිස්වීම වළක්වා තිබෙනවා.

උපහාසය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ වැදගත් අංගයක්. එයට වැට බඳින නීතියක් නැවත විමර්ශනය කළ යුතු බව ජර්මන් පර්යේෂකයන්ගේ මතයයි. (සමාජ මාධ්‍ය නියාමනය ගැන මෑත සතිවල කතා කළ ලක් රජයේ සමහර උපදේශකයෝ ජර්මන් නීතිය උදාහරණයක් ලෙස හුවා දැක්වූ බව අපට මතකයි.)

අපේ සංවාදයේ එකඟ වූ මූලධර්මයක් නම් සමාජ ව්‍යාධියකට කරන නියාමන ‘ප්‍රතිකාරය’ ව්‍යාධියට වඩා බරපතළ විපාක මතු කරන්නේ නම් එය නිසි ප්‍රතිකාරයක් නොවන බවයි.

සමුළුව පැවති තෙදින පුරා විවිධ කථීකයන් මතු කළ තවත් සංකල්පයක් වූයේ ඩිජිටල් හා වෙබ් මාධ්‍ය අතිවිශාල සංඛ්‍යාවක් බිහි වීම හරහා තොරතුරු ග්‍රාහකයන් එන්න එන්නම කුඩා කොටස්/කණ්ඩායම්වලට බෙදෙමින් සිටින බවයි.

රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සංඛ්‍යාව වැඩිවීම සමග දශක දෙක තුනකට පෙර පටන් ගත් මේ කඩ කඩ වීම (audience fragmentation)  වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම සමග බෙහෙවින් පුළුල්ව තිබෙනවා.

තමන් රිසි මති මතාන්තර පමණක් ඇසිය හැකි, දැකිය හැකි වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිටු වටා ජනයා සංකේන්ද්‍රණය වීම ‘filter bubbles‘ ලෙස හඳුන් වනවා. ඍජු පරිවර්තනයක් තවම නැතත්, තම තමන්ගේ මතවාදී බුබුලු තුළම කොටු වීම යැයි කිව හැකියි. මෙවන් ස්වයං සීමාවන්ට පත් වූ අයට විකල්ප තොරතුරු හෝ අදහස් ලැබෙන්නේ අඩුවෙන්.

පත්තර, ටෙලිවිෂන් බලන විට අප කැමති මෙන්ම උදාසීන/නොකැමති දේත් එහි හමු වනවා. ඒවාට අප අවධානය යොමු කළත් නැතත් ඒවා පවතින බව අප යන්තමින් හෝ දන්නවා. එහෙත් තමන්ගේ සියලු තොරතුරු හා විග්‍රහයන් වෙබ්/සමාජ මාධ්‍යවල තෝරා ගත් මූලාශ්‍ර හරහා ලබන විට මේ විසංවාද අපට හමු වන්නේ නැහැ.

එහෙත් අපේ සංවාදයට නව මානයක් එක් කරමින් මා කීවේ ඔය කියන තරම් ඒකාකාරී මූලාශ්‍රවලට කොටු වීමක් අපේ වැනි රටවල නම් එතරම් දක්නට නැති බවයි. විවිධාකාර මූලාශ්‍ර පරිශීලනය කොට යථාර්ථය පිළිබඳ සාපේක්ෂව වඩාත් නිවැරදි චිත්‍රයක් මනසේ ගොඩ නගා ගන්නට අප බොහෝ දෙනෙක් තැත් කරනවා.

Some of the participants at session on “Digitalization and polarization of the media” at DW Global Media Forum 2018

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉන්ටර්නෙට් පර්යේෂණායතනය (Oxford Internet Institute)  2018 මාර්තුවේ පළ කළ සමීක්ෂණයකින්ද මෙබන්දක් පෙන්නුම් කරනවා. වයස 18ට වැඩි, ඉන්ටර්නෙට් භාවිත කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් 2000ක සාම්පලයක් යොදා ඔවුන් කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ තනි හෝ පටු වෙබ් මූලාශ්‍රයන්ට කොටු වීමේ අවදානම තිබුණේ සාම්පලයෙන් 8%කට පමණක් බවයි.

එනම් 92%ක් දෙනා බහුවිධ මූලාශ්‍ර බලනවා. මතු වන තොරතුරු අනුව තමන්ගේ අදහස් වෙනස් කර ගැනීමට විවෘත මනසකින් සිටිනවා.

බොන් මාධ්‍ය සමුළුවේ අප එකඟ වූයේ ජනමාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණයන් සමාජයට, ආර්ථීකයට හා දේශපාලන ක්‍රියාදාමයන්ට කරන බලපෑම් ගැන  සමාජ විද්‍යානුකූලව, අපක්ෂපාත ලෙසින් දිගටම අධ්‍යයනය කළ යුතු බවයි. ආවේගයන්ට නොව සාක්ෂි හා විද්වත් විග්‍රහයන්ට මුල් තැන දෙමින් නව ප්‍රතිපත්ති, නීති හා නියාමන සීරුවෙන් සම්පාදනය කළයුතු බවයි.

අමෙරිකානු සමාගම්වලට අයත් ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි වේදිකා සිය ජන සමාජයන්හි මහත් සේ ප්‍රචලිත වී තිබීම ගැන සමහර යුරෝපීය ආණ්ඩුවල එතරම් කැමැත්තක් නැහැ. එහෙත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට හා මානව නිදහසට ගරු කරන රාජ්‍යයන් ලෙස ඔවුන් වෙබ් වාරණයට, අනවශ්‍ය ලෙස නියාමනයට විරුද්ධයි. ලිහිල් ලෙසින්, අවශ්‍ය අවම නියාමනය ලබා දීමේ ක්‍රමෝපායයන් (light-touch regulation strategies) ඔවුන් සොයනවා.

මේ සංවාද පිළිබඳව අවධියෙන් සිටීම හා යුරෝපීය රටවල අත්දැකීම් අපට නිසි ලෙස අදාළ කර ගැනීම වැදගත්. අපේ ආදර්ශයන් විය යුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රීය රටවල් මිස දැඩි මර්දනකාරී චීනය වැනි රටවල් නොවේ.

Speakers for the DW-GMF 2018 session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public”

සිවුමංසල කොලු ගැටයා #368: #FakeNews ව්‍යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද?

Fake News is not new. The phenomenon has been around, in one form or another, for decades! Many of us in the global South have grown up amidst intentionally fake news stories in our media, some of it coming from governments, no less.

Fake News is merely a symptom of a wider and deeper crisis.It is a crisis of public trust in journalism and media that has been building up over the years in many countries. Fake News fills a vacuum of credibility.

In my latest Ravaya column (in Sinhala), published on 24 June 2018, I revisit the topic of Fake News to discuss if and how legal regulation can help counter Fake News. I argue that any new laws should be introduced very carefully, so as not to allow governments to restrict freedom of expression. I look at the botched Indian attempt to penalise journalists over Fake News, and the new Anti-Fake News Law in Malaysia (April 2018) that has been widely criticised for overbroad definitions and regulatory overreach.

In the end, I conclude: even the best laws can be a partial solution to the Fake News crisis. A healthy dose of scepticism can filter out a good deal of disinformation surrounding us. We also have to build media literacy as a modern-day survival skill, and nurture independent fact checking services.

Can laws stop Fake News?

ව්‍යාජ පුවත් හෙවත් Fake News ගැන මීට පෙර දෙවතාවක් මා විග්‍රහ කළා.

2017 මැයි 14 වැනිදා ‘ව්‍යාජ පුවත් ප්‍රවාහයෙන් තොරතුරු සමාජය බේරා ගත හැකිද?’  යන මැයෙන්ද, 2017 ජූනි 18 වැනිදා ‘ව්‍යාජ පුවත්වලින් මතු වන සැබෑ අභියෝග’ මැයෙන් ද, එම තීරු ලිපි පළ වුණා.

ව්‍යාජ පුවත් සංකීර්ණ සංසිද්ධියක් බවත්, එම ලේබලය ප්‍රවේශමින් භාවිත කළ යුතු බවත් මා අවධාරණය කළා.

මා යොදා ගන්නා නිර්වචනය මෙයයි. යම් තොරතුරක් වැරදි බව දැන දැනම එය සැබෑ පුවතක් ලෙස වාර්තා කිරීම හෝ පතුරුවා හැරීම ව්‍යාජ පුවතක්.

අද යළිත් මේ මාතෘකාවට පිවිසෙන්නේ ව්‍යාජ පුවත් පිළිබඳ සමාජ සංවාද දිගටම සිදු වෙමින් තිබෙන නිසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ට හිතකර නොවන පුවත් හෝ විවේචනාත්මක මාධ්‍ය විග්‍රහයන් සියල්ල ගෙඩි පිටින් හෙළා දැකීමට Fake News යෙදුම අවමන් සහගතව නිතර යොදා ගන්නවා.

දැන් දැන් වෙනත් රටවල දේශපාලකයන්ටද මේ පුරුද්ද ව්‍යාප්ත වන හැඩයි. අපේ සමහර දේශපාලකයොත් තමන් නොරිසි වාර්තා හෝ විග්‍රහයන්ට මේ ලේබලය ඇලවීමට පටන් අරන්.

මෙයින් සිදු වන්නේ තත්ත්වය තවත් ව්‍යාකූල වීම පමණයි. ව්‍යාජ පුවත් යනු නොයෙක් අයට විවිධාකාරයේ විග්‍රහ කළ හැකි, නිශ්චිත නොවන යෙදුමක්. මේ නිසා එය භාවිත කිරීම ප්‍රවේශමින් කළ යුත්තක්.

ඉංග්‍රීසි බසෙහි ඊට වඩා නිශ්චිත වූ යෙදුම් දෙකක් තිබෙනවා. අර්ථය ආසන්න වශයෙන් සමාන යයි බැලූ බැල්මට පෙනුණත් ඒ දෙක විස්තර කරන්නේ ප්‍රපංචයන් දෙකක්.

වඩාත් භයානක හා හානිකර වන්නේ හිතාමතාම ගොතා, අතිශයෝක්ති කොට හෝ විකෘති කොට මුදා හරින තොරතුරුයි. මේවාට Disinformation කියනවා. මහජනයා වුවමනාවෙන්ම නොමග යැවීම හා රැවටීම මේවායේ අරමුණයි.

අපේ රටේ බොහෝ ආණ්ඩු, විපක්ෂ දේශපාලන පක්ෂ, යුද්ධ සමයේ හමුදාව, වෙළඳෙ ප්‍රචාරණ සමාගම් මෙන්ම සමහර සිවිල් සමාජ සංවිධානද හිතාමතා බොරු ප්‍රචාර කිරීම පිළිබඳව උදාහරණ එමට තිබෙනවා.

තමන් කුමන හෝ මූලාශ්‍රයකින් ඇසූ, දුටු හෝ කියැවූ වැරදි තොරතුරක්, එය වැරදි බව වටහා නොගෙන ප්‍රතිරාවය කිරීම හෙවත් බෙදා ගැනීමට කියන්නේ Misinformation කියායි. තහවුරු කිරීමකින් තොරව, හරිහැටි විමර්ශනය නොකර හා වගකීම් විරහිතව මෙසේ ප්‍රතිරාවය කරන අය එමට සිටිනවා.

Sri Lanka’s mainstream media have been peddling disinformation for decades. Readers have devised their own filters to discern fake from real, but it’s not always easy!

අපේ රටේ ජනමාධ්‍යවල මේ දෙආකාරයේම දුස්තොරතුරු නිතර හමු වනවා.

සමහරක් ව්‍යාජ පුවත් මාධ්‍ය කතුවරුන් හෝ මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින් ඕනෑකමින්ම නිර්මාණය කොට බෙදා හරිනු ලබනවා. මෙයට දේශපාලනික, ව්‍යාපාරික හෝ වර්ගවාදී හේතු මුල් විය හැකියි.

යම් චරිත, ආයතන හෝ සංකල්ප පුම්බන්නටත්, තවත් සමහර චරිත, ආයතන හෝ සංකල්ප පිළිබඳව මහජන අප්‍රසාදය ඇති කිරීමටත් මෙවන් ව්‍යාජ පුවත් මැවීම නිරතුරුව සිදු කැරෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණ බවට පත් වීම දශක ගණනාවක් තිස්සේ දිගටම සිදු වූවක් නිසා අද වන විට මාධ්‍ය ග්‍රාහකයෝ එය මාධ්‍ය අවභාවිතයක් ලෙස දකින්නෙත් නැති තරම්.

මෑත කාලයේ ආර්. ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ ජනපතිවරුන් යටතේ රාජ්‍ය මාධ්‍ය අපහරණය සීමාන්තික ලෙස සිදු වුණා.

උදාහරණ එමටයි. හොඳම උදාහරණ සඳහා 1991 සැප්තැම්බරයේ ප්‍රේමදාසට එරෙහිව දෝෂායෝභියෝගයක් මතුව ආ පසුවත්, 2014 නොවැම්බරයේ රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ පසුවත් ලේක්හවුස් දිනපතා හා සතිඅන්ත පත්තරවල මුල් පිටු හැකිනම් සොයා ගෙන කියවන්න.

එකී වකවානුවල ලේක්හවුස් පුවත්පත් මාධ්‍ය විසින් පුවත් ආවරණයේදී පවත්වා ගත යුතු තුලනය පමණක් නොව සියලුම ආචාරධර්මීය සීමාද ඉක්මවා ගිය සැටි අපට මතකයි.

ව්‍යාජ පුවත් මවන්නේ, සැබෑ සිදුවීම් වාර්තාකරණයේදී දැඩි ලෙස විකෘති කරන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොවෙයි. බොහෝ පෞද්ගලික පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනද එයම කරනවා.

හිතාමතා මවන ව්‍යාජ පුවත් හා පුවත් විකෘති කිරීම්වලට අමතරව නොසැලකිල්ල, නොදන්නාකම, අලසබව හා වෘත්තීයභාවය නොතැකීම නිසා අපේ මාධ්‍යවලට නිරායාසයෙන් පිවිසෙන වැරදි තොරතුරුද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා.

දේශපාලකයන්, සරසවි ඇදුරන්, වෘත්තිකයන් හා පූජකයන් වැනි නාමධාරී පුද්ගලයන් අතර සමහරුන් පොදු අවකාශයේ (ප්‍රසිද්ධ රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා ආදියේදී) කරන වැරදි සහගත ප්‍රකාශ එලෙසින්ම, විමර්ශනයකින් තොරව පළ කිරීම අපේ මාධ්‍යවල සුලබ වැරැද්දක්.

මෙයට එක් ප්‍රබල උදාහරණයක් 2017 මුලදී මතු වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 94 දෙනකු අඩු තරමින් අපොස සාමාන්‍ය පෙළවත් සමත් වී නැතැයි මාධ්‍ය රැසක් වාර්තා කළා. ඔවුන් සියල්ල මූලාශ්‍රය ලෙස උපුටා දැක්වූයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික සරසවි ඇදුරෙක්.

එකී මහාචාර්යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් වැඩි තතු නොවිමසා මාධ්‍ය වාර්තා කළා. මන්ත්‍රීවරුන් පිළිබඳ ජනප්‍රිය මහජන ආකල්පයකටද එය අනුගත වුණා.

මේ ගැන පසු විපරමක් කළේ ඉංග්‍රීසි සතිඅන්ත පුවත්පතක මාධ්‍යවේදිනියක් පමණයි. ඇය අදාළ මහාචාර්යවරයාට දුරකතනයෙන් කතා කොට මේ දත්තයට පදනම විමසුවා. එතැනදී ඔහු කියා ඇත්තේ එය තමා කළ තොරතුරු විමර්ශනයකින් හෙළි වූවක් නොව තමාද එය ටික කලකට පෙර මොකක්දෝ පුවත්පතක කිය වූවක් බවයි! අඩු තරමින් එම පුවත්පතේ නම පවා ඔහුට මතක නැතිලුෟ

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියා තිබුණේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු තමන් එක් රැස් නොකරන බවයි.

ඉන්ටර්නෙට් ගත වී සරල ගූගල් සෙවීමක් කළ විට පෙනී ගියේ 2014 සැප්තැම්බරයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා (2010-2015 පැවති) පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අදාළව පවසා තිබුණේ 94 දෙනකු සාමාන්‍ය පෙළ අසමත්ව සිටි බවයි.

එහෙත් 2015 අගෝස්තුවේ තේරී පත් වූ වත්මන් පාර්ලිමේන්තුවට එම සංඛ්‍යාවම ආදේශ කරන්නේ කෙලෙසද?

මහාචාර්යවරයා නොසැලකිලිමත්ව කළ ප්‍රකාශය මාධ්‍ය එලෙසින්ම වාර්තා කළා. එය පදනම් කරගෙන විග්‍රහයන් හා කතුවැකි පවා ලියූ සියලු මාධ්‍ය ව්‍යාජ පුවතක හවුල්කරුවන් බවට දැනුවත්ව හෝ නොදැනුවත්ව පත් වුණා.

මාධ්‍යවේදීන් සතු විය යුතු සංශ්‍යවාදීබව  (skepticism) මෙරට කෙතරම් දුර්ලභද යන්නත් මේ උදාහරණයෙන් හොඳාකාර පේනවා.

ව්‍යාජ පුවත් නොහොත් දුස්තොරතුරු බෙදා හැරීම කෙතරම් සංකීර්ණද යන්න මේ දක්වා කියැවූ ඔබට වැටහෙනවා ඇති. මේ නිසාම ව්‍යාජ පුවත් ඉලක්ක කර ගත් නව නීති හෝ නියාමන ක්‍රමවේද හඳුන්වාදීමද අතිශය දුෂ්කර කාරියක්.

ආසියානු රටවල් දෙකක මෑත මාසවල අත්දැකීම් සලකා බලමු.

2018 මාර්තු මාසයේ ඉන්දියාවේ ප්‍රවෘත්ති හා විද්‍යුත් මාධ්‍ය අමාත්‍යාංශය කීවේ ව්‍යාජ පුවත් බිහි කිරීම හා ඒවා බෙදා හැරීම කරන මාධ්‍යවේදීන්ට හා ඔවුන්ගේ මාධ්‍ය ආයතනවලට ‘විපාක විඳීමට සිදු වනු ඇති’ බවයි.

‘ව්‍යාජ පුවත්’ නිර්වචනය නොකර ඉන්දියානු රජය කීවේ එවන් දේ කරන මාධ්‍ය එරට පුවත්පත් මණ්ඩලයට හෝ විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට යොමු කැරෙනු ඇත කියායි. චෝදනා ඔප්පු වුවහොත් අදාළ මාධ්‍යවේදියාගේ මාධ්‍ය හැඳුනුම්පත (media accreditation) අහෝසි වනු ඇතැයි ප්‍රකාශ කෙරුණා. (මුල් වරදට මාස 6ක් දක්වා, දෙවැනි වරදට වසරක් දක්වා සහ තෙවරක් වරද ඔප්පු වුවහොත් සදාකාලිකව.)

India government’s plans to regulate against Fake News, proposed and hastily withdrawn in April 2018

මෙය නිවේදනය කළ වහාම එරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදී සංවිධාන ප්‍රබලව සිය විරෝධය පළ කළා. මෙය මාධ්‍ය හීලෑ කොට මර්දනය කිරීමට ගන්නා උත්සාහයක් බවත්, දැනටමත් සියලු මාධ්‍යවේදීන් නිවැරදිව හා සමබවර වාර්තාකරණයේ යෙදිය යුතු බව පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම අතර කියැවෙන නිසා අමතර කිසිදු නියාමනයක් අවශ්‍ය නැති බවත් ඔවුන් අවධාරණය කළා.

මේ විරෝධතා හමුවේ අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ යෝජනාව ඉක්මනින්ම ඉවත් කර ගත්තා. අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් තොරව, පවත්නා රාමුව යටතේ පුවත්පත් මණ්ඩලයට හා විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට ව්‍යාජ පුවත් ගැනද ප්‍රතිචාර දැක්විය හැකි යැයි ඔහු කියා සිටියා.

මැලේසියාවේ සිදු වූයේ මීට වෙනස් දෙයක්. 2018 අප්‍රේල් 2 වැනිදා එරට පාර්ලිමේන්තුව ව්‍යාජ පුවත් විරෝධී නව නීතියක් සම්මත කළා. ඕනැම මාධ්‍යයක් හරහා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම හෝ සංසරණය කිරීම පිළිබඳ චෝදනා ඔප්පු වන ඕනෑම අයකුට මැලේසියානු රිංගිට් 500,000ක් (අමෙරිකානු ඩොලර් 128,000 පමණ) දක්වා දඩයක් හෝ වසරක් දක්වා සිරදඬුවමක් හෝ මේ දෙකම නියම කළ හැකියි.

හිටපු අගමැති නජීබ් රසාක් මේ නීතිය ගෙන ආවේ මහ මැතිවරණයක් අබිමුඛව තිබියදී. එසේම ඔහුගේ රජය මහා පරිමාණ රාජ්‍ය මුදල් වංචා කිරීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී තිබෙන අතරදී.

Malaysian campaign against Fake News

ඉක්මනින් ක්‍රියාත්මක කළ නව නීතිය යටතේ මුලින්ම වරදකරු වූයේ එරට සිටි ඩෙන්මාක් ජාතිකයෙක්. 2018 අප්‍රේල් 30දා ඔහු වරදකරු ලෙස තීරණය වූයේ එරට පොලිසිය, අපරාධ සිදුවීමකදී ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වූවා යයි සමාජ මාධ්‍ය ජාලයක් වන යූටියුබ්හී වීඩියෝවක ප්‍රකාශ කිරීම නිසායි.

වරද පිළිගත් ඔහුට අමෙරිකානු ඩොලර් 2,550ක දඩයක් නියම වූ අතර එය ගෙවා ගත නොහැකි වූ නිසා මාසයක සිරදඬුවමක් නියම වුණා.

එවකට විපක්ෂයේ සිටි බොහෝ මැලේසියානු දේශපාලන නායකයෝ මෙම නව නීතිය දැඩි ලෙස විවේචනය කළා. අමෙරිකානු ඩොලර් බිලියන් 5ක් පමණ රාජ්‍ය මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීම පිළිබඳව ඍජුවම චෝදනා ලැබ සිටි අගමැතිවරයා ඒ ගැන පුවත් මර්දනයට මේ නීතිය යොදා ගනු ඇතැයි ඔවුන් බිය පහළ කළා.

නජිබ්ට එරෙහිව පෙළ ගැසුණු අසාමාන්‍ය විපක්ෂ සන්ධානයේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලක මහතීර් මොහමඩ් මැතිවරණ කැම්පේන් සමයේ කීවේ තමන් දිනූ විට මේ මර්දනකාරී නීතිය අහෝසි කරන බවයි.

2018 මැයි 9 වැනිදා පැවති මැලේසියානු මහ මැතිවරණයේදී වසර 61ක් එක දිගට බලයේ සිටි පාලක පක්ෂය පරාජය වුණා. ආසන 222න් 121ක් ලබා ගත් විපක්ෂ සන්ධානය බලයට පත්වූ අතර 92 හැවිරිදි මහතීර් නැවත වරක් එරට අගමැතිවරයා වී සිටිනවා.

වඩාත් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මත මැතිවරණය දිනූ නව රජයට එරට සිවිල් සමාජ සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අතර එක් ප්‍රබල ඉල්ලීමක් නම් ව්‍යාජ පුවත් විරෝධී නීතිය ඉවත් කිරීමයි. මැතිවරණයට පෙර දුන් පොරොන්දුව මහතීර් ඉටු කරයිද යන්න ඔවුන් මහත් ඕනෑකමින් බලා සිටිනවා.

මේ අතර පිලිපීනයේ හා සිංගප්පූරුවේ රජයන්ද ව්‍යාජ පුවත් නියාමනය සඳහා නව නීති යෝජනා කොට තිබෙනවා. සංකීර්ණ සංසිද්ධියකට මෙසේ නීතිමය විසඳුමක් පමණක් ලබා දීමට තැත් කිරීම ඒ රටවල සමාජ ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක්ව පවතිනවා.

අද විග්‍රහයේ අප වැඩිපුරම කතා කළේ ප්‍රධාන ධාරාවේ, ආයතනගත මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන දුස්තොරතුරු බෙදා හැරීම ගැනයි. ආසියාවේ බහුතරයක් රටවල තවමත් මහජනයාගෙන් බහුතරයක් සඳහා තොරතුරු මූලාශ්‍ර වන්නේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත්.

එහෙත් පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි මෙන්ම ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා හරහාද ව්‍යාජ පුවත් ගලා යනවා. එය පිළිගත යුතුයි.

අසම්පූර්ණ ලෙසින් වුවද මහා මාධ්‍යවල යම් මට්ටමක ප්‍රමිතිගත වීමක්, නියාමනවලට අනුගත වීමක් බොහෝ විට තිබෙනවා. (හැම මාධ්‍යයේම නොවේ.)

මහා මාධ්‍යවල ව්‍යාජ පුවත්පත්වලට ප්‍රතිචාර දැක්වීම ඉහත පෙන්වා දුන් පරිදි යම් තාක් දුෂ්කර වේද නව මාධ්‍යවල දුස්තොරතුරු ගලා යාමට ප්‍රතිචාර දැක්වීම එමෙන් කිහිප ගුණයක් වඩාත් දුෂ්කරයි.

එසේම මහා මාධ්‍යවලට ලිහිල් වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෙබ් අඩවි හා සමාජ මාධ්‍යවලට දැඩි නියාමන රාමුවක් හඳුන්වා දීම භාෂණ නිදහස පිළිබඳ මානව අයිතීන්ට එරෙහිව යාමක්.

ඕනෑම ප්‍රලාඵයක්, අපහාසයක් කිරීමට ඉඩ තිබිය යුතුය යන්න නොවෙයි එයින් අදහස් වන්නේ. එහෙත් සංකීර්ණ සමාජ සංසිද්ධීන්ට සරල පැලැස්තර විසඳුම් දීමට තැත් කළොත් සිදු වන්නේ ප්‍රශ්න තවත් උග්‍රවීම පමණයි.

ව්‍යාජ පුවත් හා දුස්තොරතුරු ජන සමාජයට, දේශපාලන ක්‍රියාදාමයන්ට හා ආර්ථීකයට කරන අහිතකර බලපෑම් කෙසේ සමනය කරගත හැකිද?

නීති හා නියාමනවලට අමතරව මෙයට යොදාගත හැකි ක්‍රමෝපායයන් මොනවාද?

නීති හා නියාමන ඕනෑම නම් මර්දනකාරි නොවන ලෙස සියුම්ව ඒවා කෙටුම්පත් කිරීමට අපට පූර්වාදර්ශ ගත හැක්කේ කුමන රටවලින්ද?

මේ ගැන ඉදිරි සතියක යළිත් කතා කරමු.

සිවුමංසල කොලු ගැටයා #363: සිනමාවෙන් ජීවන දර්ශනයක් සොයා ගිය ලෙස්ටර් ජේම්ස් පීරිස්

In my Ravaya column published in the printed edition of 6 May 2018, I look back at the long and illustrious career of Sri Lanka’s grand old man of the cinema, Lester James Peries (1919-2018) who died last week. As others assess his major contributions to the Sinhala cinema and in evolving an Asian cinema, I focus on his role as a public intellectual — one who wrote widely on matters of culture and society.

Lester James Peries quote

ලෙස්ටර් ජේම්ස් පීරිස් (1919-2018) සූරීන් රටත් ලෝකයත් හඳුනා ගත්තේ ආසියානු සිනමාවේ දැවැන්තයකු ලෙසයි. ඔහු ගැන කැරෙන ආවර්ජනා හා ප්‍රණාමයන් බොහෝමයක් හුවා දක්වන්නේත් එයයි.

එහි කිසිදු වරදක් නැතත්, ලෙස්ටර් සිනමාකරුවකු පමණක් නොවෙයි. පත්‍ර කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු ජීවිත කාලය පුරා ඔහුගේ මවු බස වූ ඉංග්‍රීසියෙන් ලේඛන කලාවේ යෙදුණා. ඔහුගේ සියුම් වූත් සංවේදී වූත් චින්තනය මේ ලේඛන තුළින් ද මැනවින් මතු වනවා.

ඉංග්‍රීසි බස ව්‍යක්ත ලෙසත්, හුරුබුහුටි ලෙසත් හැසිරවීමේ සමතකු වූ ඔහු පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු (public intellectual) ලෙසත් අප සිහිපත් කළ යුතු බව මා සිතනවා. අද තීරු ලිපිය වෙන් වන්නේ ලෙස්ටර්ගේ මේ භූමිකා මදක් විමසා බලන්නයි.

2005දී ආසියානු සිනමා කේන්ද්‍රය ප්‍රකාශයට පත් කළ ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් – දිවිගමන හා නිර්මාණ’ (Lester James Peries: Life and Works) නම් ඉංග්‍රීසි පොතෙහි ලෙස්ටර්ගේ ජීවිතයේ මේ පැතිකඩ ගැන බොහෝ තොරතුරු අඩංගුයි.

එය රචනා කළේ සිනමාවටත්, කලා ක්ෂේත්‍රයටත් සමීපව සිටි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනයි (1932 – 1998). එහෙත් අත්පිටපත පරිපූර්ණ කිරීමට පෙර ඔහු අකාලයේ මිය ගිය පසු එම කාරියට අත ගැසුවේ ඇෂ්ලි රත්නවිභූෂණ හා රොබට් කෲස් දෙදෙනායි.

Prof A J Gunawardana and Lester James Peries (from the cover of LJP: Life and Work)

මේ පොතට ලෙස්ටර් ගැන ශාස්ත්‍රීය ඇගැයීමක් ලියා තිබෙන්නේ සන්නිවේදන මහාචාර්ය විමල් දිසානායකයි. ලෙස්ටර් සිනමාවෙන් කළ හපන්කම් තක්සේරු කරන අතරම ඔහුගේ සමාජ විඥානය, සාංස්කෘතික චින්තනය හා පොදු අවකාශයේ දශක ගණනක් සැරිසැරූ බුද්ධිමතකු ලෙස කළ දායකත්වය ගැනත් එයින් විවරණය කැරෙනවා.

”පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු ලෙස ලෙස්ටර්, පුවත්පත් ලිපි, රේඩියෝ සාකච්ඡා හා සජීව මහජන සංවාද හරහා සිනමාව, කලාව හා සංස්කෘතික තේමා ගැන නිතර සිය අදහස් ප්‍රකාශක කළා. වාරණය කලාවට කරන අහිතකර බලපෑම්, සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව හා ළමා සිනමා ධාරාවක් බිහි කිරීමේ වැදගත්කම ආදී විවිධ මතෘකා ගැන විවෘතව පෙනී සිටියා” යයි මහාචාර්ය දිසානායක කියනවා.

තවත් තැනෙක මහාචාර්ය විමල් දිසානායක මෙසේ ලියා තිබෙනවා. ”සිනමාකරුවකු ලෙස සිය නිර්මාණ හරහා ලෙස්ටර් තත්කාලීන සමාජ ප්‍රශ්නවලට ඇති තරම් අවධානය යොමු නොකළා යයි සමහරුන් කියනවා. එහෙත් එය නිවැරැදි හෝ සාධාරණ නැහැ. සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ලෙස්ටර්ගේ මූලික තේමාව වී ඇත්තේ ලක් සමජයේ මධ්‍යම පාන්තිකයන්ගේ නැගීම හා පිරිහීම ගැනයි. මධ්‍යම පන්තියේ පවුල් ජීවිත අරගලයන්ට පසුබිම් වන සමාජ, ආර්ථීක හා මනෝ විද්‍යාත්මක පසුබිම ඔහු මැනවින් ග්‍රහනය කරනවා. ඒ හරහා රටේ සිදු වෙමින් පවතින සමාජයීය හා සාංස්කෘතික පරිනාමයන් ඔහු විචාරයට ලක් කරනවා. මෑත කාලීන සමාජයේ සෙමින් නමුත් සැබැවින්ම සිදු වන විපර්යාස ගැන ඔහුගේ සිනමා නිර්මාණවල යටි පෙලෙහි බොහෝ නිරීක්ෂණ තිබෙනවා.”

සිය චිත්‍රපටවල දේශපාලන හා සමාජ විචාරය සියුම්ව මතු කළ ලෙස්ටර්, පුවත්පත් ලිපි, විද්වත් සංවාද ආදියෙහි ඊට වඩා ඍජුව සමාජ ප්‍රශ්න විග්‍රහ කළා. එහිදීත් ඔහුගේ බස හැසිරවීම සරලයි. උපාහසය හා හාස්‍යය මුසු කළ ශෛලියක් ඔහුට තිබුණා.

උදාහරණයකට ඔහු වරක් කළ මේ ප්‍රකාශය සලකා බලන්න: ”1956දී රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කලින් සිංහල චිත්‍රපට 42ක් නිපදවා තිබූණා. එහෙත් ඒ එකක්වත් සැබැවින්ම සිංහල වූයේත් නැහැ. හරිහමන් චිත්‍රපට වූයේත් නැහැ. ඇත්තටම ‘සිංහල සිනමාව’ 1947දී ලැබුවේ වැරැදි ආරම්භයක් (false start).”

දකුණු ඉන්දියානු චිත්‍රපට ගෙඩි පිටින් අනුකරණය කරමින්, මුළුමනින්ම චිත්‍රාගාර තුළ රූපගත කොට නිර්මාණය කෙරුණු එම චිත්‍රපට ගැන කිව යුතු සියල්ල මේ කෙටි විග්‍රහයෙහි ගැබ් වී තිබෙනවා!

මෙරට ජාතික මට්ටමේ සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ගැන ලෙස්ටර් මුලින්ම කතා කළේ 1957දී. එය ඔහු ජීවිත කාලය  පුරා යළි යළිත් අවධාරණය කළත් තවමත් බිහි වී නැහැ. ලෙස්ටර්ට ප්‍රනාම පුද කරන සියලුම දේශපාලකයන් බලයේ සිටිද්දී ඒ පිළිබඳ සිය වගකීම් පැහැර හැරියා.

වාණිජ සිනමාව හා කලාත්මක සිනමාව යන ධාරා දෙකෙහි යම් සමබරතාවක් පවත්වා ගැනීමේ වැදගත්කමද ලෙස්ටර් නිතර මතු කළ අවශ්‍යතාවක්. වෙළඳෙපොළ ප්‍රවාහයන් වාණිජ සිනමාව නඩත්තු කළත් කලාත්මක සිනමාවට රාජ්‍ය හා දානපති අනුග්‍රහය ලැබිය යුතු බව ඔහු පෙන්වා දුන්නා.

1977දී පැවැති සම්මන්ත්‍රණයක කතා කරමින් ලෙස්ටර් කළ ප්‍රකාශයක් මහාචාර්ය විමල් දිසානායක උපුටා දක්වනවා: ”සිංහල සිනමාවට වසර 30ක් ගත වීත්, කලාත්මක සිනමා නිර්මාණ සඳහා කිසිදු දිරි ගැන්වීමක් ලැබී නැහැ. මේ තාක් දේශීය වූත් කලාත්මක වූත් සිනමා නිර්මාණ සිදු කර ඇත්තේ සිනමා මාධ්‍යයට මුළු හදවතින්ම කැප වූ හුදෙකලා සිනමාකරුවන් විසින් පමණයි. කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂනය කරන තරුණ සිනමාවේදීන් එසේ කරන්නේ අසීමිත බාධක හා අභියෝග රැසක් මැදයි. බොහෝ විට ඔවුන්ට ඉතිරි වන්නේ සිනමා විචාරකයන් ටික දෙනකුගේ ප්‍රශංසා පමණයි. ඉනික්බිති ඊළඟ නිර්මාණය කරන්නට වසර ගණනාවක් ගත වනවා. එකී කාලය තුළ ඔවුන් දිවි රැක ගන්නේ කෙසේද යන්න ගැන රාජ්‍යය හෝ සමාජය සොයා බලන්නේ නැහැ. අපේ යයි කිව හැකි සිනමා සම්ප්‍රදායක් පියවරෙන් පියවර හෝ බිහි වන්නේ මේ ධෛර්යවන්ත, හුදෙකලා සිනමාකරුවන් කිහිප දෙනා අතින්.”

ඇත්තටම මේ විසම යථාර්ථය සිනමා දැවැන්තයකු වූ ලෙස්ටර්ටත් බලපෑවා. 1957 – 2006 වකවානුවේ වසර 50ක කාලයක් තුළ ඔහු නිර්මාණය කළේ වෘතාන්ත චිත්‍රපට 20ක් පමණයි. එක් චිත්‍රපටයක් හමාර කර ඊළඟ නිර්මාණය සඳහා මුදල් සොයා ගන්නට වසර ගණන් බලා සිටීමට සිදු වුණා.

එහෙත් ඔහු ඒ ගැන රජයන්ට හෝ සමාජයට දොස් කියමින්, හූල්ලමින් කාලය ගත කළේ නෑ. අභියෝග හා අභිනන්දන දෙකම උපේක්ෂාවෙන් බාර ගත්තා.

2002දී ඉන්දියානු සිනමාකරු බික්රම් සිං (Bikram Singh) අධ්‍යක්ෂණය කළ ‘පීරිස්ගේ ලෝකය’ (The World of Peries) නම් වාර්තා චිත්‍රපටයේ අවසානයේ ලෙස්ටර් මෙසේ කියනවා:

”මා අඩ සියවසක් පමණ කාලයක් තිස්සේ චිත්‍රපට හැදුවා. එය හරියට දිගු කාලීන වන්දනා ගමනක් වගේ. නමුත් මා සළකන හැටියට මගේ ජීවිතය සාර්ථකයි. මගේ සහෝදර ජනයා මට මහත් ආදරයෙන් සලකනවා. මගේ චිත්‍රපට හරහා මා ඔවුන්ට (හරවත්) යමක් ලබාදී ඇතැයි මා සිතනවා.”

Lester James Peries quote

2000දී ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙලේදී කතා කරමින් ලෙස්ටර් සිය ක්ෂේත්‍රය විග්‍රහ කළේ මෙහෙමයි: ”සිනමාව කියන්නේ කලාවක්, කර්මාන්තයක් වගේම ව්‍යාපාරයක්. මේ සාධක තුන තුලනය කර ගැනීම කිසිදු රටක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. අපේ ලාංකික සිනමාවේ අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ද මේ තුලනය සොයා ගත නොහැකි වීමයි.

”එහෙත් මා තවමත් බලාපොරොත්තු අත්හැර නැහැ. මගේ මුළු ජීවිතයම කේන්ද්‍ර වූයේ සිනමාව වටායි. 1952දී මා බ්‍රිතාන්‍යයේ සිට යළිත් මවු රටට පැමිණ සිනමාකරුවකු නොවූවා නම්, මා සදාකාලිකව පිටුවහලකු (exile) වී සිටින්නට තිබුණා. මගේ අනන්‍යතාව මා සොයා ගත්තේ මෙරටට පැමිණ චිත්‍රපට නිර්මාණය කිරීමෙන්. මේ රටේ තිබෙන අපමණක් ප්‍රශ්න හා අභියෝග මැද වුණත් මගේ රටේම යළිත් උපදින්නට මා තවමත් කැමතියි. ශ්‍රී ලංකාව වැනි රටක් තවත් නැහැ.”

ලෙස්ටර් එහිදී සිහිපත් කළේ ඔහුගේ ජීවිතයේ මුල් අවදියයි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු වයස 20දී (1939) ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රයේ කර්තෘ මණ්ඩලයට බැඳුණා. එවකට එහි කතුවරයා වූයේ ප්‍රකට ඉන්දියානු පත්‍ර කලාවේදී ෆ්‍රෑන්ක් මොරායස්.

වසර කිහිපයක්ම ලෙස්ටර් ටයිම්ස් පත්‍රයට කලා ක්ෂේත්‍රයේ ලිපි සම්පාදනය කළා. මේ අතරවාරයේ ඔහු නාට්‍ය කණ්ඩායම්වලටදල රේඩියෝවටද සම්බන්ධ වුණා.

ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ අයිවන් පීරිස් (1921-1988) ලෙස්ටර්ගේ බාල සොහොයුරා. අයිවන් කලා ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩන් නුවරට ගියේ 1947දී. ඒ සමඟ ලෙස්ටර් ද එහි ගියා.

ලන්ඩන් නුවර ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ කාර්යාලයේ සේවය කරමින් බ්‍රිතාන්‍ය කලා ක්ෂේත්‍රය පිළිබඳ සතිපතා වාර්තා මෙරට පත්‍රයට ලියා එවූ ඔහු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූයේ එහිදීයි.

ලෙස්ටර් අධ්‍යක්ෂනය කළ කෙටි චිත්‍රපටයක් නරඹා පැහැදීමට පත්ව සිටි බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ රැල්ෆ් කීන් (1902-1963) පසුව ශ්‍රී ලංකාවේ රජයේ චිත්‍රපට අංශයට බැදුණා. ලෙස්ටර් යළිත් මවු රටට ගෙන්වා ගැනීමට මූලික වූයේ ඔහුයි.

Lester James Peries (1919-2018) as a young writer and filmmaker

1952-55 වකවනුවේ ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට මුල් වුණා. එහෙත් නිලධාරිවාදය සමග පොරබැදීමෙන් හෙම්බත් වූ ඔහු, ටයිටස් ද සිල්වා (පසුව ටයිටස් තොටවත්ත) සමග එයින් ඉවත් වුණා.

එයින් පසු ඔවුන් රේඛාව චිත්‍රපටය (1956) නිපදවීමට සම්බන්ධ වූ සැටිත් එයින් මෙරට දේශීය සිනමාව නව මඟකට යොමු වූ සැටිත් අප දන්නවා.

කියැවීමෙන්, සංචාරයෙන් හා සමාජ අත්දැකීමෙන් බහුශ්‍රැත වූවත්, ලෙස්ටර් උගතකු ලෙස කිසි විටෙක පෙනී සිටියේ නැහැ. 1985දී කොළඹ සරසවියෙනුත්, 2003දී පේරාදෙණිය සරසවියෙනුත් ඔහුට ගෞරව ආචාර්ය උපාධි පිරිනැමුණා.

ඔහුගේ සමීපතයන් ඔහු දැන සිටියේ හාස්‍යයට ලැදි, ඉතා විනීත ගතිපැවතුම් සහිත එහෙත් දඟකාර මනසක් තිබූ අයෙක් ලෙසයි.

2003 (එනම් වයස 84දී) ගෞරව උපාධිය පිළිගනිමින් පේරාදෙණිය සරසවි උපාධි ප්‍රධානෝත්සවය අමතා කළ කථාවේදී ඔහු මෙසේ ද කීවා: ”සිනමා කර්මාන්තයේ තාක්ෂණය කෙමෙන් ඉදිරියට යනවා. එහෙත් චිත්‍රපට නිර්මාණය යනු හුදෙක් යන්ත්‍ර හා උපාංග සමග කරන හරඹයක් නොවෙයි. කෙතරම් දියුණු උපකරණ හා පහසුකම් තිබුණත් නිර්මාණශීලීත්වය නැතිනම් හොඳ චිත්‍රපට හදන්න බැහැ. එසේම නිර්මාණශීලීත්වය පමණක් සෑහෙන්නේත් නැහැ. මනුෂ්‍යත්වයට ගරු කරන, කතාවේ චරිත පිළිබඳව සානුකම්පිත වන, තමන් පිළිබිඹු කරන සමාජය හා එහි ජනයා ගැන ආදරයක් තිබෙන ජීවන දර්ශනයක් ද හොඳ සිනමාකරුවකුට අවශ්‍යයි. මේ ගුණාංගවලින් තොරව කෙතරම් තාක්ෂණිකව ඉහළ චිත්‍රපට හැදුවත් ඒවායේ හිස් බවක්, විකෘතියක් හෝ ජීවිතයට එරෙහි වීමක් හමු වේවි.”

”වසර 53ක් චිත්‍රපට හැදුවාට පසු මා නොදන්නේ මොනවාදැයි දැන් මා දන්නවා. එහෙත් මා දන්නේ මොනවාද යන්න නම් තවමත් මට පැහැදිලි නැහැ!”

(ලෙස්ටර්ගේ උධෘත සියල්ල මවිසින් අනුවාදය කර මේ ලිපියේ භාවිත කොට තිබෙනවා.)

Lester James Peries quote

සිවුමංසල කොලු ගැටයා #335: කස්තුරිගේ චාරිකා (1933-2017)

W D K (Kasturiratne) Gunawardene as a young man (left) and at 80

In this unusual Ravaya column, published on 24 September 2017, I salute my father W D Kasturiratne Gunawardene who passed away on September 13 aged 84.

His was a very ordinary life, mostly dedicated to education. But it was punctuated at various points by key events of his country and people. Tracing his life thus offers us some glimpses of his nation’s turbulent times for the past few decades – of our collective hopes, mistakes, tragedies and resilience.

I write a more compact English essay along the same lines which is published here: Kasturi’s Progress: 1933 – 2017

මගේ පියා ඩබ්ලිව් ඩී කේ (කස්තුරිරත්න) ගුණවර්ධන 84 හැවිරිදිව පසුගිය සතියේ මිය ගියා. ඔහුගේ ඉල්ලීම පරිදි අවමගුල ඉක්මනින් හා චාම්ව පැවැත්වුණා.

වසර 25ක් පමණ ගුරුවරයකු ලෙස සේවය කළ පියා විශ්‍රාම ගිය පසු සක්‍රියව සමාජසේවා හා සාහිත්‍ය කටයුතුවල නියැලුණා.

ඔහුගේ ජීවිතය මා මෙනෙහි කරන්නේ පුළුල් කෝණයකින්. රටක හා ජාතියක ප්‍රගමනය එයට අයත් පුද්ගලයන්ගේ අත්දැකීම් හා මතකයන් බවට පත් වනවා. එනම් රටේ ඉතිහාසයේ සන්ධිස්ථාන පුද්ගල ඉතිහාසයන්ගෙන් ද පිළිබිඹු වනවා.

මගේ පියාගේ ජීවිතය මීට කදිම උදාහරණයක් ලෙස මා දකිනවා. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථනා, විභවයන්, අයාලේ යාම් හා ඛේදවාචකයන් පියාගේ ජීවිත කාලයේ විවිධ අවස්ථාවල සනිටුහන් වූවා.

1933දී ඔහු උපන්නේ එවකට කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් වූ ගනේමුල්ලේදී. දැන් එය ගම්පහ දිස්ත්‍රික්කයට අයිතියි. කොළඹ නගරයෙන් කිලෝමීටර් 20කට නොවැඩි දුරකින් පිහිටියත් ඔහුගේ ළමා කාලයේදී ඒ ප්‍රදේශය කුඹුරු ගොවිතැන් බහුල ග්‍රාමීය පරිසරයක්. විදුලිබලය පවා ලැබුණේ ඔහුගේ වයස 15දී පමණ.

මගේ පියාට මතක නොතිබුණත් 1933-35 මහා මැලේරියා වසංගතය පැතිර ගියේ ඔහු ළදරුවකුව සිටියදී. ඔහුටත් මැලේරියාවන වැළඳුණා. මැලේරියාවෙන් බොහෝ දෙනකු පීඩා විඳ මිය ගියේ එවකට මහජන සෞඛ්‍ය සේවාවන් හරිහැටි ස්ථාපිත වී නොතිබුණු නිසා. සමස්තයක් ලෙෂ ලක්ෂයක් පමණ දෙනා මැලේරියා වසංගතයේදී මිය ගියා.

විදුහල්පතිවරයකු වූ මගේ සීයා, ඒ කාලයට සාපේක්ෂව ඇති-හැකි අයෙක්. මාස 18ක් වූ තම දරුවාට මැලේරියා ප්‍රතිකාර සොයා සීයා මෝටර් රථයක් කුලියට ගෙන කොළඹට ආවා. කැලණි පාලම පසු කර ටික දුරක් යන විට බබාපුල්ලේ නම් වෛද්‍යවරයාගේ ඩිස්පැන්සරිය දැක ඔවුන් එහි ගියා.

වෛද්‍ය බබාපුල්ලේ වෙනුවෙන් නම් කළ වීදියක් කොටහේන ප්‍රදේශයේ අදත් තිබෙනවා. මේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර දින කීපයක් ගැනීමෙන් පසු ළදරු පියාගේ මැලේරියාව සුව වුණා. එහෙත් ගමෙන් පිටතට විත් එසේ ප්‍රතිකාර සොයා යාමේ හැකියාව නොතිබුණු මවුපියන්ගේ දරුවන් බොහෝ දෙනකු මැලේරියාවට බිලි වුණා.

2016 සැප්තැම්බරයේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහතික කරනු දැකීමට පියා ජීවත් වුණා. එදා මෙදා තුර මෙරට සෞඛ්‍ය සේවයේ දියුණුව, ඔහුගේ ජීවිත කාලයේ අප ලද සාමූහික ජයග්‍රහණයක්.

මැලේරියාවෙන් බේරුණු පියා, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙන්. ඉනික්බිති ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නට කොළඹ ආනන්ද විදුහලට ඇතුලු වුණා. ගමේදී සිංහලෙන් උගත් ඔහුට මුලදී මේ සංක්‍රාන්තිය ටිකක් දුෂ්කර වන්නට ඇති. එහෙත් ඔහු ඉක්මනින්ම ද්විභාෂා සමත්කම ලබා ගත්තා.

දෙවන ලෝක යුද්ධය (1939-1945) ගැන මතක සේයාවන් පියාට තිබුණා. යුද්ධය නිසා ලක් සමාජයේ හට ගත් කැළඹිලි මෙන්ම අගහිඟකම් ගැනද ඔහු පසුව ආවර්ජනය කළා. 1942 අප්‍රේල් මාසයේ ජපන් හමුදාව කොළඹට හා ත්‍රිකුණාමලයට බෝම්බ දමන විට පියාට වසර 9යි.

ඊළඟට ඔහුට හොඳටම මතකයේ සටහන් වූ සිදුවීම 1948 පෙබරවාරි 4 වනදා නිදහස ලැබීමයි. ගනේමුල්ලේ සිට මරදානට දුම්රියෙන් පැමිණීම එකල ඔහුගේ සිරිතයි. මරදාන දුම්රියපොළේ සිට ආනන්දයට තිබුණේ පයින් යන දුරක්.

නිදහස් දවසේත් දුම්රියෙන් කොළඹ ආ ඔහු, මරදානේ සිට ටොරින්ටන් චතුරස්‍රයට පයින් ඇවිද ගියා. එහි සිට බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට පාලනය ඩී. එස්. සේනානායක ප්‍රමුඛ රජයට භාර දීමේ උත්සවය නැරඹුවා. එවිට ඔහුගේ වයස 15යි.

ඊළඟ පාසල් දිනයේදී ඔහු නිදහසේ අරුත ගැන රචනාවක් ලියුවා. එය ස්වාධිපත්‍යය යටතේ රට දියුණු වනු දැකීමේ පරමාදර්ශී අරමුණු කැටි කර ගත් එකක්. එහෙත් ඒ අරමුණු සාක්ෂාත් කර නොගෙන දශක හතක් තිස්සේ අපේම නායකයන් රට අයාලේ ගෙන යනු බලා සිටීමට ඔහුට සිදු වුණා.

කලා විෂයයන්ගෙන් උසස් පෙළ සමත් වූ ඔහු පේරාදෙණිය සරසවියට ගියේ 1954දී. පේරාදෙණියේදී සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි දැවැන්තයන්ගෙන් උගත් මගේ පියා, සිංහල විශේෂ උපාධියක් ලබා ගත්තා.

ඔහුගේ සරසවි සමකාලීනයන් සමහරෙක් පසු කලෙක නාමධාරී වියතුන් හා කලාකරුවන් බවට පත් වුණා. ජේ බී දිසානායක හා සරත් අමුණුගම වැන්නවුන් ඒ අතර සිටියා.

මහාචාර්ය ආරිය රාජකරුණා
Prof Ariya Rajakaruna

වැඩිම කලක් සමීප මිතුදමක් පැවතියේ සිංහල මහාචාර්යවරයකු හා ගත් කතුවරයකු වූ ආරිය රාජකරුණා සමඟයි.

පේරාදෙණිය ගැන මිහිරි මතකයන් රැසක් පියාට තිබුණා. ප්‍රථම උපකුලපති ශ්‍රීමත් අයිවෝ ජෙනිංස් හා ප්‍රථම ලාංකික උපකුලපති වෛද්‍ය නිකලස් ආටිගල යන දෙදෙනාගේ එකිනෙකට වෙනස් පරිපාලන ශෛලීන් ඔහු සිහිපත් කළා. සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යය පුහුණු කළ හැටි හා 1956දී මුලින්ම වේදිකාගත කළ සැටි පියාට හොඳට මතක තිබුණා.

මේ සියල්ලට වඩා තීව්‍ර මතකය වූයේ දෙමළ උපාධි අපේක්ෂිකාවක් සමඟ පෙමින් බැඳීමයි. යාපනයේ ගුරු පවුලකට අයත් භවනි නම් එම තරුණිය, සිංහල බස එක් විෂයයක් ලෙස තෝරා ගෙන සිටියා. රටේ උතුර හා දකුණ අද මෙන් ධ්‍රැවිකරණය වී නොතිබි එකල මෙවන් සබඳතාවක් කිසිසේත් අභව්‍ය වූයේ නැහැ.

අහිංසක ලෙසින් ලියලා ගිය ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය, සරසවියෙන් නික්ම ගිය පසුත් පැවතුණා. එහෙත් 1958 හට ගත් ජාතිවාදී කෝලාහලවලින් දෙදෙනාම දැඩි කම්පනයට පත් වුණා. එවිට පියාගේ වයස 25යි.

රට යොමු වෙමින් තිබූ බිහිසුණු දිශාව ගැනත් එවන් පසුබිමක සිංහල-දෙමළ විවාහයකට මතු වන අභියෝග ගැනත් මෙනෙහි කළ තරුණ යුවල වෙන් වීමට තීරණය කළා. මේ අතීත කථාව මා දැන ගත්තේ ඔහුට වයස 80 වූ විටයි.

ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික තීරණය ගැන අපට වාද කළ හැකියි. එහෙත් එය ප්‍රශ්න කළ නොහැකි යයි මා සිතනවා. නිදහස් ලංකාවේ අනාගතය ගැනත්, තම තමන්ගේ පෞද්ගලික අනාගතය ගැනත් කස්තුරි හා භවනි වැනි දහස් ගණනක් තරුණ තරුණියන් දල්වා ගත් පැතුම් අන්තිමේදී දේශපාලන ජාතිවාදී මඩ වගුරේ ගිලී ගියා.

ගුරුවරයකු හැටියට දිගු කාලීන සේවය 1958දී ඔහු පටන් ගත්තේ කොළඹ මරදානේ සාන්ත ජෝසෆ් විදුහලෙන්. ප්‍රකට අධ්‍යාපනඥ පීටර් පිල්ලේ පියතුමා ඔහුගේ මුල්ම විදුහල්පතිවරයා වූවා.

පියා වැඩිම කාලයක් (වසර 15ක්) කොළඹ ආනන්ද විදුහලේ සිංහල සාහිත්‍ය ගුරුවරයා ලෙස සේවය කළා. ඉන් පසු ඇඹරළුව විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, පසුව කැළණිය ගුරුකුල විද්‍යාලයේත් වසර කිහිපය බැගින් ගත කළ ඔහු සේවය හමාර කළේ යළිත් ආනන්ද විදුහලේම ප්‍රධානාචාර්යවරයකු හැටියට.

සිසුන් දහස් ගණනකට ඔහු උගන්වා ඇති. උද්යෝගයෙන් එය කළත් ඒ ගැන වැඩිපුර කථා කළේ නැහැ. අහවලා මගේ ගෝලයෙක් කියා ලෙබල් ගැසුවේම නැති තරම්. විශිෂ්ට වෘත්තිකයන්, පරිපාලන නිලධාරීන්, දක්ෂ කලාකරුවන් හා හමුදාපතිවරුන් ඔවුන් අතර සිටින බව මා යන්තමින් හෝ දන්නේ වෙනත් මූලාශ්‍ර හරහායි.

1960 දශකයේ පියාගෙන් සිංහල උගත් සිසුන් සිය ගණනක් අතර පසු කලෙක නිර්මාණශීලී දක්ෂයන් වූ ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, ඒ. ඩී. රන්ජිත් කුමාර වැනි අය සිටි බව නම් මා දන්නවා.

ගීතනාත් කුඩලිගම සංස්කරණය කළ ‘සසර සැරි සරන තෙක්: ප්‍රේමකීර්ති නැවත කියවමු’ (2014) කෘතියට පියාගේ ආවර්ජනාද හසු කර ගෙන තිබෙනවා. ප්‍රේමකීර්ති ද අල්විස් පියාගේ 1966 පන්තියේ සිටි, පොතේ වැඩට උනන්දු නොවූ එහෙත් අතිශයින් නිර්මාණශීලී සිසුවෙක්. පන්ති වේලාවේ කවි ලියා හසු වී පියාගෙන් දඬුවම් පවා ලැබ තිබෙනවා.

1983 කළු ජූලිය සිදු වන විට පියාට වයස 50යි. ඡන්ද හිමි නාම ලේඛන වැනි නිල තොරතුරුවලින් සන්නද්ධව සංවිධානගත මැර පිරිස් රට පුරා දෙමළ සංහාරයක යෙදෙන විට, මුල දින තුනක කාලයේ එවකට පැවති රජය ඔහේ බලා ගෙන සිටීම ඔහුට අදහා ගත නොහැකි වුණා.

1983 කළු ජුලියටත් පෙර පටන් ඔහු ළඟ එන සිවිල් යුද්ධයේ පෙරනිමිති හඳුනා ගත්තා. 1981 මැයි 31 යාපනය පුස්තකාලයට ගිනි තැබූ පුවත අසා ඔහු කීවේ එය දෙමළ ජනයාගේ හදවතට ගිනි තැබුවාට සමාන බවයි. මහා විනාශයක් අත ළඟ බව තේරුනත් තනි පුරවැසියකු ලෙස කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.

සිංහල හා දෙමළ ජාතිකවාදය අන්ත ජාතිවාදයන්ට පරිණාමය වන විටත්, දෙපසේම සටකපට දේශපාලකයන් යුද්ධය හිඟන්නාගේ තුවාලයක් බවට පත් කර ගත් විටත් ඒ ගැන කිසිවක් කර ගත නොහැකිව ඔහු අසරණ වුණා.

යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් හා කළු ජූලියෙන් ඇවිල ගිය ජාතිවාදයේ ගිනිදැල්, ඊළඟ දශක තුනක පමණ කාලය තුළ සමස්ත ලක් සමාජයම දවනු ඔහු බලා සිටියා.

ආනන්දයේ උගත් සමහරුන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය හා ජාතිකවාදය එළිපිටම ප්‍රවර්ධනය කරනු දැක ඔහු විමතියටත්, කම්පාටත් පත් වුණා. එහෙත් ඔවුන් සමඟ වාද කිරීමට හෝ ඔවුන්ට එරෙහි වීමට ඔහු තැත් කළේ නැහැ.

මගේ පියා ස්වාභාවයෙන්ම අරගලවාදියෙක් නොවෙයි. ගෙදරදී දේශපාලනය කථා කළේ නැහැ. එහෙත් කලාතුරකින් ඔහු කියූ වැකියක් හෝ දෙකක් මට හොඳට මතක සිටියා.

1971 කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු ඊළඟ වසරේ වෙසක් දිනයට පොලිසිය භක්ති ගී කියනු දැක ඔහු කීවේ. ”පසුගිය මාස ගාණක් තිස්සේ මිනී මරපු පොලිසියට දැන් මොන වෙසක්ද?’ කියායි.

ගිනිගෙන දැල්වුණු හා තැන තැනින් පිපිරුණු ලක් සමාජයට පැන් පොදක් හෝ ලබා දෙන්නට ඔහු හැකි පමණින් නිහඬ ස්වේච්ඡා සේවයේ යෙදුණා. විශ්‍රාම යාමෙන් පසුව වසර ගණනාවක් ඔහු ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනයේ කිසිදු ගෙවීමකින් තොරව වැඩ කළා. මනෝ විද්‍යා උපදේශනය ගැන පුහුණුව ලද ඔහු සියදිවි නසා ගන්නට ආවේගයට පත් අයට ඕනෑම වෙලාවක ඇමතිය හැකි Hotline එක ඇතැම් දිනවල භාරව සිිටියා.

බෞද්ධයකු වූ පියා, බුදු දහමේ නාමයෙන් දෙමළ-මුස්ලිම්-කිතුනු සුළුතරයන් කොන් කිරීම හෝ හෙළා දැකීම කිසිසේත් අනුමත කළේ නැහැ. 2009දී සිවිල් යුද්ධය අවසන් වන විට පියාගේ වයස 76යි.

W D Kasturiratne Gunawardene, at age 80 [Photo by Dhara Gunawardene]
සාමය ඇති කිරීමට අති විශාල මිලක් ගෙවීමෙන් අනතුරුව හෝ ලක් සමාජයේ සංහිඳියාව ටිකෙන් ටික පැන නැගී එතැයි ඔහු අපේක්ෂා කළා. එහෙත් ඒ වෙනුවට සිංහල බෞද්ධ කඩතුරාවකට මුවා වී ඒකාධිපතිවාදී මර්දනය හා අසීමිත දූෂණය පැතිර යනු දැක මුළුමනින්ම ඉච්ඡාභංගත්වයට පත් වුණා.

ඔහු අවසන් වරට බලාපොරොත්තු දල්වා ගත්තේ 2015 ජනවාරි මැතිවරණයෙන් පසුවයි. එවිට ඔහුගේ වයස 82යි. ඔහු 1956 මහමැතිවරණයේ සිට සෑම ජාතික මැතිවරණයකදීම ඡන්දය පාවිච්චි කළත්, ඒ බොහෝ අවස්ථාවල වංචනික දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ඔහු රවටනු ලැබුවා. මෙය ඔහුගේ පෞද්ගලික අත්දැකීම ඉක්මවා ගිය පොදු අත්දැකීමක්.

යහපාලන ප්‍රතිඥා දී බලයට ආ ජාතික ආණ්ඩුවද නොබෝ කලකින්ම ජනතා අපේක්ෂා කඩ කරනු ඔහු දුටුවා. ඔහු දැන හැඳින සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වියොවින් පසුව යහපාලනය අයාලේ යාම නොවැළැක්විය හැකි යයි නිගමනය කළා.

ප්‍රතිසංස්කරණ හරහා නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට පොරොන්දු වී ඡන්ද දිනූ මෛත්‍රීපාල සිරිසේන පක්ෂයක් බදා ගෙන, දූෂිතයන් ළං කර ගෙන රටට බණ කියමින් කරන කෙරුවාව ගැන සුසුම් හෙළනු හැර අන් කිසිවක් කිරීමට ඡන්දදායක හා පුරවැසි කස්තුරිට හැකි වූයේ නැහැ.

පක්ෂ දේශපාලනයට කිසි දිනෙක ඇදී නොයන්නැයි ඔහු මට අවවාද කළා.

සර්වෝදය-දේශෝදය ග්‍රාම රාජ්‍ය චින්තනය හා වික්ටර් අයිවන් ප්‍රවර්ධනය කරන පුනරුදය ව්‍යාපාරය ගැන පියා ලොකු අවධානයක් යොමු කළා. මෙවන් විකල්ප මාර්ගයක් හරහාවත් අපේ රට වැටී සිටින අගාධයෙන් ගොඩ ගත හැකිද යන්න මෙනහි කළා. රාවය ආරම්භයේ සිටම පාඨකයකු වූ ඔහු, පුද්ගලයන් ඉක්මවා යන ක්‍රමීය වෙනසක අවශ්‍යතාව දැන සිටියා.

එහෙත් එවන් ක්‍රමීය වෙනසක් සඳහා කැප වීමෙන් වැඩ කිරීමට සූදානම් පුරවැසියන් ඇති තරම් මෙරට සිටීද? මැතිවරණවලදී ඡන්දය දීමෙන් ඔබ්බට යන සමාජයීය වගවීම (social accountability) තහවුරු කිරීමට තරම් පරිනත සමාජයක් අපට උරුමද?

1948දී නිදහස් ශ්‍රී ලංකාව ගැන පියා දල්වා ගත් සියලු අපේක්ෂා අභිලාශයන් සුන් වී ගොසින්. ඔහු මිය ගියේ සිය පරම්පරාවේ ඇත්තන් දැනුවත්ව හා නොදැනුවත්ව කළ දේශපාලන වැරදි ගැන පශ්චාත්තාපයෙන්. සමාව අයදිමින්.

දශක හතක වැරදි සමුදායෙන් පාඩම් උගනිමුද? නැතිනම් තවත් පරම්පරා කිහිපයක් අයාලේ ගොස් විනාශ වී යන තුරු මහාවංශය බදාගෙන, අතීත ශ්‍රී විභූතියක් ගැන උදම් අනමින් ඔහේ බලා සිටිමුද?

තීරණය ඔබේ සහ මගේ අතේ.

(සටහන: ගුරුවරුන්ට විකට නම් පටබැඳීම සිසුන්ගේ සිරිතක්. පියාට ඔහුගේ සිසුන් දී තිබූ එවන් නම් දෙකක් ගැන පසු කාලීනව මා දැන ගත්තා. ප්‍රේමකීර්තී පියාට දුන් නම තිසාහාමි‘. උස මහත දේහධාරී හා බෙල්ල දක්වා කොණ්ඩය වවා සිටි නිසා විය යුතුයි. අනෙක් විකට නම ගලිවර්. ඒ ප්‍රබන්ධ චරිතය තරම් සංචාරය නොකළත් පෙර අපර දෙදිගම සාහිත්‍ය උරුමයන් ඇසුරු කළ පියා මනසින් ලොව පුරා ගිය අයෙක්. ගලිවර්ගේ චාරිකා එදා බ්‍රිතාන්‍ය දේශපාලනය පිළිබිඹු කළා සේ කස්තුරිගේ ජීවන චාරිකාව පසුගිය දශක කිහිපයේ අපේ පොදු කථාවයි.)

Nalaka Gunawardene (left) and his father Kasturiratne Gunawardene on the latter’s 83rd birthday, on 5 February 2016

සිවුමංසල කොලුගැටයා #287: ශ්‍රී ලංකාවේ “විශාලතම සුලුතරය” වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිකයා

Dr Ajith C S Perera - a life long association with cricket Photo © Ajith Perera
Dr Ajith C S Perera – a life long association with cricket Photo © Ajith Perera

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 9 Oct 2016), I profile and salute Dr Ajith C S Perera, a leading champion for accessibility rights in Sri Lanka.

A chartered chemist by profession, a former senior manager in industry, a qualified training instructor, also a former test-match-panel cricket umpire, his life changed when an accident left him a paraplegic. Today he is a writer, speaker, author, a disability rights activist and accessibility adviser-accessor.

He is the founder and holds the honorary position of Chief Executive and Secretary-General of Idiriya, a registered, not-for-profit humanitarian service organisation in Sri Lanka. He has petitioned Supreme Court seeking and successfully obtaining rulings on mandatory accessibility provisions in all newly built public buildings. Sadly, however, many such premises blantatly ignore this ruling.

Wisden Cricket noted in a profile, “Society tends to have a myopic view when it comes to the disabled: people, by and large, sympathise when they ought to empathise. Perera, despite his years of experience, can’t even become a third umpire because stadiums in Sri Lanka are not fully wheelchair-accessible.”

I was a member of the jury that selected Ajith as an ‘Unsung Hero’ at the Derana Sri Lankan of the Year 2016 awards.

See also: The Sunday Times, 29 Nov 2015: Don’t DIS the ability of the largest minority, By Dr. Ajith C. S. Perera

Jurors Nalaka Gunawardene & Dian Gomez presenting Sri Lankan of the Year - Unsung Hero award to Dr Ajith C S Perera [Photo courtesy Derana Media]
Jurors Nalaka Gunawardene & Dian Gomez presenting Sri Lankan of the Year – Unsung Hero award to Dr Ajith C S Perera [Photo courtesy Pulse/Derana Media]
දෙරණ මාධ්‍ය ආයතනය සංවිධානය කළ විශිෂ්ඨතම ශ්‍රී ලාංකිකයන්ට (Sri Lankans of the Year 2016) ප්‍රණාම පුද කිරීමේ සත් කාර්යයට ස්වාධීන ජූරි සභාවේ සාමාජිකයකු ලෙස මා ද සම්බන්ධ වුණා.

2016 සැප්තැම්බර් 23 වනදා පැවැති සම්මාන උළෙලේ නිහඬව පොදු උන්නතියට ලොකු මෙහෙවරක් කරන දිරිය ලාංකිකයන් තිදෙනකුට (Unsung Heroes of the Year) අප විශිෂ්ඨ සම්මාන පිරිනැමුවා.

ඔවුන් නම් HIV ආසාදිතයන්ගේ අයිතීන් උදෙසා ක්‍රියා කරන ප්‍රින්සි මංගලිකා, ආබාධිත සැමගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ කරන ආචාර්ය අජිත්. සී. එස් පෙරේරා හා අසාමාන්‍ය ගණයේ ඉංග්‍රීසි ගුරුවර විල්බට් රණසිංහයි.

මේ අතරින් අජිත් පෙරේරාගේ සම්මානය සුවිශේෂී වූයේ ජූරි සභික ඩයන් ගෝමස් හා මා සභාවේ ඔහු සිටි තැනටම ගොස් එය පිරිනැමීම කළ නිසයි.

උත්සවය පැවැත් වූ තරු පහේ හිල්ටන් හෝටලයේ වේදිකාවට රෝද පුටුවක් රැගෙන යාමට පහසුකම් තිබුණේ නැහැ. වසර 20කට වැඩි කාලයක් අජිත් පෙනී සිටින මේ මූලික අයිතියක් පවා නිසි ලෙස සපුරා නොගත් තැනෙකදීම ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වය අගැයීමට සිදුවීම උත්ප්‍රාසය දනවන්නක්.

අජිත් ක්‍රිෂාන්ත ස්ටීවන් පෙරේරා (අජිත් සී. එස්. පෙරේරා) වෘත්තීකවේදියෙක්. වරලත් රසායන විද්‍යාඥයකු ලෙස මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දැරුවෙක්. එසේම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ වැදගත් භූමිකා රඟපා තිබෙනවා.

කොළඹ සරසවි ක්‍රිකට් පිලේත්, පළමුපෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිවලත් ක්‍රීඩා කළ ඔහු, සරසවි සිසුවකුව සිටියදීම 1975දී ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස ද සුදුසුකම් ලැබුවා. පසු කලෙක බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් විනිසුරුවරයක ලෙස සේවය කළ ඔහු 1992දී ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් විනිසුරු මඬුල්ලට ඇතුළත් කර ගනු ලැබුවා.

Christopher Martin-Jenkins (second from left), a BBC commentator and close friend of Perera, declared him a “Sri Lankan Don Bradman” for his contribution to cricket. © Ajith Perera
Christopher Martin-Jenkins (second from left), a BBC commentator and close friend of Perera, declared him a “Sri Lankan Don Bradman” for his contribution to cricket. © Ajith Perera

1992 අගදී මෙරට කළ නවසීලන්ත ක්‍රිකට් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරගයක් සඳහා විනිසුරුවරයකු ලෙස පෙනී සිටීමට ඔන්න මෙන්න කියා තිබියදී අජිත් අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට මුහුණ දුන්නා.

වැසි හා සුළං තිබූ දිනයෙක කොළඹ ප්‍රධාන මාර්ගයක ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය උඩට ගසක් කඩා වැටුණා. එයින් ඔහුගේ රියදුරා මිය ගිය අතර අජිත් තුවාල ලබා බේරුණත්, කොඳු නාරටියට හානි වී (paraplegic) දෙපාවාරුව ඔහුට අහිමි වුණා.

එතැන් පටන්  සචලතාව (mobility) සඳහා දිගටම රෝද පුටුවක් භාවිත කිරීමට සිදු වුණා. එහෙත් මෙය ඔහු අභියෝගයක් ලෙස භාර ගත්තා. සචලතා ආබාධිත බව (mobility impairment) සීමාවක් වන්නට නොදී ඔහු එම ආබාධිත බව සමඟ ජීවත් වන සියලු ලාංකිකයන්ගේ අයිතීන් උදෙසා පෙනී සිටින සමාජ ක්‍රියකාරිකයකු බවට පත් වුණා.

අජිත්ගේ අනතුර ගැන මාස කිහිපයක් කල් ගත වී දැන ගත් බ්‍රිතාන්‍යයේ රාජකීය රසායන විද්‍යා සංගමය ප්‍රතිකාර සඳහා එහි යාමට උපකාර කළා. දෙපා භාවිතය යළි ලද නොහැකි වුවත් ආබාධිත තත්ත්වය හමුවේ මානසික ශක්තිය වර්ධනය කරගන්නට ඔහුට එහිදී වෛද්‍ය උපදෙස් ලැබුණා.

විවිධාකාරයේ ආබාධ සහිත පුද්ගලයන් මෙරට ජනගහනයෙන් 15%ක් පමණ සිටිතැයි අනුමාන කළ හැකියි. රෝගීන්, ගර්භනී කාලයේ පසුවන කාන්තාවන් ආදී තාවකාලික සචලතා සීමාවන්ට මුහුණ දෙන අය ද එකතු කළ විට මෙය 20%ක් දක්වා ඉහළ යා හැකියි. මේ අනුව සංඛ්‍යාත්මකව බැලූ විට මෙරට සිටින විශාලතම සුලුතරය (largest minority) මේ පිරිසයි.

සචලතා ආබාධිතයන් කීදෙනකු මෙරට සිටීදැයි නිශ්චිතව කිව නොහැකියි. මන්ද තාවකාලික සචලතා ආබාධ සමඟ ජීවත්වන සංඛ්‍යාව නිරතුරුව වෙනස් වන නිසා.

මීට වසර කීපයකට පෙර මා ද එම තත්ත්වය තාවකාලිකව අත් වින්දා. දකුණු දණහිසේ ආබාධයක් නිසා සති ගණනක් තිස්සේ පඩි නැගීමට නොහැකිව, සැරයටියක් උදවුවෙන් ගමන් කිරීමට සිදු වුණා. ඒ කාලය තුළ විදේශගත වන විට ගුවන්තොටුපළ හරහා යාමට රෝද පුටු සේවා ඉල්ලා එයින් සහනයක් ලැබුවා.

මේ නිසා සචලතා ආබාධ සහිත මිනිසුන් හා ගැහැණුන් මුහුණ දෙන අභියෝග පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් යම් පමණකට මට ද තිබෙනවා. පොදු ගොඩනැගිලි තුළ පඩි දෙක තුනක් හෝ කීපයක් නැගීමට, බැසීමට අසීරු වීම, පොදු වැසිකිළි භාවිතයේ දී මතු වන අමතර අභියෝග ආදිය ගැන මා වඩාත් සංවේදී වූයේ එයින් පසුවයි.

උඩුමහලක පවත්වන රැකියා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට එනල සුදුසුකම් සියල්ල සපුරා සිටින එහෙත් පඩි නැඟීමට පමණක් නොහැකි කෙනකුගේ තත්ත්වය ගැන සිතන්න. ඉහළ මාලයක පිහිටි පන්ති කාමරයකට පඩි නැඟ යාමට නොහැකි පාසල් දරුවකු හෝ දැරියක අසරණ වන සැටි සිතන්න.

මේ අයට අවශ්‍ය පහසුකම් සැළසීම කරදරයක් ලෙස සළකන ආයතන ප්‍රධානීන් ගැන විටින් විට වාර්තා වනවා.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම හා ප්‍රවර්ධනය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ 1996 ඔක්තෝබරයේ. එනම් විසි වසරකට පෙර.  එම නීතියේ පැහැදිලිව කියන්නේ සහජයෙන් ඇති වූ හෝ පසු කලෙක හට ගත් හෝ ශාරීරීක මානසික හැකියාවන්ගේ යම් ඌනතාවක ප්‍රතිඵලයක් ලෙස තමා විසින් තමාගේ කටයුතු ඉටු කර ගැනීම යම් තරමකට සීමා වූ අය සඳහා නීතියේ රැකවරණය ලැබෙන බවයි.

countries-that-have-joined-the-un-convention-on-the-rights-of-persons-with-disability-as-at-may-2016

දේශීය නීතිවලට අමතරව ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ද 2016 පෙබරවාරියේ ශ්‍රී ලංකාව අපරානුමත කළා. මේ හරහාද ආබාධිත ජනයාගේ මානව අයිතීන් සුරැකීමට ලක් රජය බැඳී සිටිනවා.

”ආබාධිත වීම ගැන ලෝක අවබෝධය හා සංවේදීතාව මෑත කාලයේ බෙහෙවින් පුළුල් වී තිබෙනවා. එසේම තාවකාලික හෝ සදාකාලික ආබාධ සහිතව ජීවත් වන අයටල අන් සියලු දෙනාට හිමි සමාජ අවස්ථා ලැබීමට මූලික මානව අයිතියක් ඇති බව ශිෂ්ඨ ලෝකය පිළිගන්නවා” යයි අජිත් කියනවා.

විවිධාකාර ආබාධ අතර අජිත් විශේෂ අවධානය යොමු කරන්නේ ඇවිදීමට අපහසුකම් ඇති අය ගැනයි. ඔවුන් කිහිලිකරු හෝ රෝද පුටු ආධාරයෙන් ගමන් කරන අතර එසේ යාමට ඇති ඉඩකඩ බොහෝ ගොඩනැගිලිවල සළස්වා නැහැ. මෙය ලෙහෙසියෙන් කළ හැකි, අධික වියදමක් නොව සරල විසඳුමක් වුවත් පැරණි ගොඩනැගිලිමෙන්ම අලුතින් ඉදිවන ගොඩනැගිලි බොහොමයකද එය හරිහැටි සිදුවන්නේ නැහැ.

එහෙත් මෙය රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතනවල ක්‍රියාත්මක නොවන බවද අප දන්නවාග මහජනයාට යාමට සිදුවන බොහෝ කාර්යාල තවමත් සචලතා ආබාධිතයන්ට හිතකර නැහැ. පඩි නැඟීමට විකල්ප සලසා ඇති තැන්වලද විශේෂ පහසුකම් සහිත වැසිකිළි නැහැ.

සචලතා ආබාධ සහිත පුද්ගලයන්ට හිතකර වීම මේ වන විට සංචාරක කර්මාන්තයේද පිළි ගන්නා මූලධර්මයක්. එහෙත් අපේ අවන්හල්, හෝටල් හා වෙනත් සංචාරක පහසුකම් කෙතරම් මේ ගැන අවධානය යොමු කර ඇත්ද?

හැම ආයතන ප්‍රධානියකුම එක් දිනක්වත් රෝද පුටුවකින් සිය පරිශ්‍රය පුරා සැරිසැරීම කළොත් සචලතා ආබාධිතයන් දිනපතා මුහුණ දෙන දුෂ්කරතා හඳුනා ගත හැකි වේවි.

මේ අයිතීන් ප්‍රායෝගික මට්ටමින් සාක්ෂාත් කර ගන්නට අජිත් දිගටම ක්‍රියා කරනවා. සචලතා අයිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා මහජන අවධානය තීව්‍ර කිරීමටත්, ඒ පිළිබඳ තක්සේරු කිරීමටත් අජිත් මූලිකව ”ඉදිරිය” නම් ස්වේච්ඡා ආයතනයක් පිහිටුවා තිබෙනවා. ශිෂ්ඨ සමාජයක් ඉටු කළ යුතු වගකීම් ගැන එම සමාජයට යළි යළිත් සිහිපත් කිරීම මේ ආයතනයේ මූලික ක්‍රියාවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ අරභයා වැදගත් තීන්දු ලබා ගැනීමට අජිත් පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළා. මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා ලබා ගන්නා ලද තීන්දු 2009, 2011 සහ 2013දී ප්‍රකාශිතයි.

2009දී ඔහු ඉල්ලා සිටියේ මහජන අවශ්‍යතා සඳහා ඉදිකරන සියලු නව ගොඩනැගිලි දැනටමත් රටේ පවතින ආබාධිත අයිතීන් පිළිබඳ නීති හා රෙගුලාසීන්වලට අනුකූල විය යුතු බවයි. මෙයට වාණිජමය, ක්‍රීඩාමය, අධ්‍යාපනික, රාජ්‍ය පරිපාලනමය ආදී සියලු ගොඩනැගිලි අයත්. ශ්‍රේෂ්ඨාධිකරණය එය පිළිගත්තා.

The Sunday Times, 29 Nov 2015: Don’t DIS the ability of the largest minority, By Dr. Ajith C. S. Perera

1996 පනතේ හා එයට අදාළ රෙගුලාසිවලට අනුව මෙරට කිසිවකු ආබාධයක් නිසා කිසිදු අසාධරණයකට ලක් නොවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළා.

නව ගොඩනැගිලි සඳහා ආබාධිත-හිතකර වීම අනිවාර්ය කොට තිබෙනවා. ගොඩනැගිලි අධීක්ෂණය කොට අනුමැතිය දෙන රාජ්‍ය ආයතන මෙය තහවුරු කිරීමට වග බලා ගත යුතුයි.

”නීති තත්ත්වය මෙසේ වෙතත්, මේ පිරිසේ අයිතිවාසිකම් ගැන සමාජ සංවේදී බව තවමත් සීමිතයි. අපට අවශ්‍ය අනුකම්පාව නොවෙයි. සම අවස්ථා භූක්ති විඳීමට හැකි භෞතික, සමාජයීය හා පරිපාලනමය පරිසරයක් පමණයි” අජිත් කියනවා.

Wisden Cricket: Taking disability in the stride, the Perera way

මීට වසර 15කට පමණ පෙර මා මුල්වරට අජිත් හඳුනා ගත්තේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ මා සේවය කරන සමයේදී.

සචලතා සීමා අත් විඳින ආබාධිත අයගේ අයිතීන් ගැන ක්ලාක් පොදු අවකාශයේ ප්‍රබල හඬක් මතු කළා. ඔහුගේ ජීවිතයේ අවසාන දශකයක පමණ කාලයේ (1997 – 2008 වකවානුව) පශ්චාත් පෝලියෝ ආබාධය නිසා රෝද පුටුවකින් ගමන් බිමන් ගියා. මේ නිසාම මෙරට මහජනයා ගැවසෙන ස්ථානවල රෝද පුටු භාවිතයට ඇති  සීමිත පහසුකම් ගැන ඔහු අත්දැකීමෙන් දැන සිටියා.

Sir Arthur Clarke on dune roller at Hikkaduwa beach [Photo by Rohan de Silva]
Sir Arthur Clarke on his custom-made dune roller at Hikkaduwa beach, southern Sri Lanka, circa 2004 [Photo by Rohan de Silva]
බැංකු, තරු හෝටල්, කලාගාර, සිනමා හා නාට්‍ය ශාලා, සුපිරි වෙළඳ සංකීර්ණ ආදී බොහොමයක පඩි නොනැග, රෝද පුටුවක් ගෙන ගිය හැකි ramp තිබුණේ කලාතුරකින් බව ඔහු දුටුවා.

ගොඩනැගිලි තුළ රෝද පුටු යාමට අවශ්‍ය ඉඩ සළසා නැති ස්ථානවලට යෑම ක්ලාක් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා. ඔහු ප්‍රකට පුද්ගලයකු වූ නිසා මෙය ඇතැම් විට එබඳු ආයතන තාවකාලීක පහසුකම් ඉදි කිරීමට පවා පොළඹවනු ලැබුවා. රෝද පුටුවෙන් යාමට බැරි නම් කිසිදු උත්සවයකට තමා සහභාගි නොවන බවට ප්‍රතිපත්තියක් ක්ලාක් අනුගමනය කළා.

ඔහු වසර 22ක් කුලපතිවරයාව සිටි (1978-2000) මොරටුව සරසවියේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරණ සිසුන් අමතමින් ක්ලාක් වරෙක මෙසේ කීවා. ”දෙපයින් ඇවිද යාමේ හැකියාව තාවකාලිකව හෝ සදහටම හෝ අහිමි වූවන්ට ඵලදායක ලෙස සමාජයේ සක්‍රිය වීමට මූලික අයිතියක් තිබෙනවා. ඒ අයිතිය නොතකා, ඔවුන්ට පහසුකම් නොසළසා නව ගොඩනැගිලි ඉදි කිරීම දිගටම සිදු වනවා. අඩු තරමින් ඔබ වෘත්තිකයන් වූ විටදීවත් මේ ගැන සංවේදී වන්න. මෙහි අගය වටහා ගන්නට ඕනැම නම් එක් දිනක් මුළුමනින්ම රෝද පුටුවකින් එහෙ මෙහෙ යන්න තැත් කරන්න. ඔබ අවට නිර්මිත පරිසරය එයට කෙතරම් දුෂ්කරතා මතු කරයිද යන්න එවිට ඔබට හොඳහැටි වැටහේවි.”

වසර 30ක යුද්ධය, වැඩිවන මාර්ග අනතුරු, කෙමෙන් වියපත් වන ජනගහනය ආදී විවිධ හේතු නිසා අපේ සමාජයේ සැළකිය යුතු පිරිසකට තාවකාලිකව හෝ සදහට දෙපාවාරු අහිමි වී තිබෙනවා. මේ අයට නිසි පහසුකම් සැළසීම ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්ය කර තිබියදීත් රාජ්‍ය, පෞද්ගලික හා අධ්‍යාපන ක්ෂේත්‍රවල බොහෝ ආයතන තවමත් එය නොතකා හරින්නේ ඇයි?

ජාතියේ හෘද සාක්ෂියට මෙන්ම බුද්ධියට අමතන අජිත් සී. එස්. පෙරේරා දිගටම දිරිමත් කළ යුතු ජාතික සම්පතක්.

Dr Ajith C S Perera (left) with Nalaka Gunawardene at Sri Lankan of the Year awards ceremony, 23 Sep 2016
Dr Ajith C S Perera (left) with Nalaka Gunawardene at Sri Lankan of the Year awards ceremony, 23 Sep 2016

 

සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

What is the role of mass media in times of disaster? I have written on this for many years, and once edited a regional book on the subject (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007).

The question has come up again after Dr Ranga Kalansooriya, Director General of the Lankan government’s Department of Information, wanted the media to give preeminence to its watchdog function and pull back from supplying relief in the aftermath of disasters.

As Dr Rohan Samarajiva, who was present at the event, noted, “Some of his comments could even be interpreted as suggestive of a need to prohibit aid caravans being organized by the media. But I do not think this will happen. The risks of being seen as stifling the natural charitable urges of the people and delaying supplies to those who need help are too high…”

Ranga raised a valid concern. In the aftermath of recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All well and good – except that coverage for their own relief work often eclipsed the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin?

For simply raising this concern in public, some broadcast houses have started attacking Ranga personally. In my latest Ravaya column (in Sinhala, appearing in the print issue of 2 October 2016), I discuss the role and priorities of media at times of disaster. I also remind Sirasa TV (the most vocal critic of Ranga Kalansooriya) that ‘shooting the messenger’ carrying unpalatable truths is not in anybody’s interest.

Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind
Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය අද මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුම මෙන්ම අත්දැකීම් ද බහුල විද්වතෙක්.

කිසි දිනෙක නිවුස් රූම් එකක් දැකලාවත් නැති පොතේ ගුරුන් මාධ්‍ය විශේෂඥයන් යයි කියා ගන්නා රටක ප්‍රවෘත්ති කලාවේ සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගිකත්වය ද එක් තැන් කරන රංග වැනි අය දුර්ලභයි.

මෑතදී ආපදා කළමනාකරණ කේන‍ද්‍රය (DMC) සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවකදී රංග කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.(එම වැඩමුළුවට මටද ඇරැයුම් කර තිබුණත් ප්‍රතිපත්තිමය හේතුවක් මත මා එහි ගියේ නැහැ. ඒනිසා ඔහුගේ ප්‍රකාශය මා දැනගත්තේ මාධ්‍ය වාර්තාවලින් හා එතැන සිටි මහාචාර්ය රොහාන් සමරජීව හරහා.)

ආපදාවක් සිදු වූ විටෙක මාධ්‍යවල කාර්ය භාරය කුමක්දැයි සාකච්ඡා කරන විට රංග විවෘත අදහස් දැක්වීමක් කළා. ආපදාව පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු දැයි ඔහු ප්‍රශ්න කළා.

මෙයට පසුබිම වන්නේ මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් යොමු වීමයි.

රංග කළ ප්‍රකාශය සංවාදයකට නිමිත්තක් වී තිබෙනවා. මාධ්‍ය ප්‍රතිව්‍යුහකරණය ගැන අවධාන යොමු වී ඇති මේ කාලයේ මෙබඳු සංවාද අවශ්‍යයි.

Communicating Disasters - 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha
Communicating Disasters – 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha

ආපදා අරභයා මාධ්‍ය කාර්යභාරය කුමක්ද? මේ ගැන මා දේශීයව හා ජාත්‍යන්තරව වසර 20කට වඩා සංවාද කොට තිබෙනවා. 2004 සුනාමියෙන් මාස 18ක් ඉක්ම ගිය පසු මේ ගැන එක්සත් ජාතීන්ගේ ආසියානු කලාපීය සන්නිවේදක රැස්වීමක් මෙහෙවීමෙන් හා කලාපීය ග්‍රන්ථයක් (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007) සංස්කරණයෙන් ලත් අත්දැකීම් මා සතුයි.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය ගැන මීට පෙර අප කථා කොට තිබෙනවා.

ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීමයි. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇඟවීම්  ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කර ගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. කැමති මාධ්‍යවලට එයට නිදහස තිබිය යුතුයි. මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා මාධ්‍යයේ ප්‍රධාන සමාජ වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

උදාහරණයක් ගනිමු. 2016 මැයි මස මැදදී රෝනු සුළිසුළඟ (Cyclone Roanu) සමග පැමිණි මහ වැසි නිසා මහා කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ රැසක ජලගැලීම්, ගංවතුර හට ගත්තා. නායයාමට ඉඩ ඇති සමහර ප්‍රදේශවල බරපතළ නායයෑම් සිදු වුණා.

Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016
Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016

මේ ආපදා හමුවේ DMC දැක් වූ ප්‍රතිචාරය රජය තුළින්මත්, විපත පත් මහජනතාව අතරත් දැඩි විවේචනයට ලක් වුණා. නිසි සූදානමක් හා සම්බන්ධීකරණයක් නොතිබූ බව පැහැදිලියි.

ආපදා ප්‍රතිචාරයේ නිල වගකීම දරණ රාජ්‍ය තන්ත්‍රය දුර්මුඛව, අකර්මන්‍යව සිටින අතරේ ඒ හිදැස පිරවීමට ඉදිරිපත් වූයේ හමුදාව, ස්වේච්ඡා ආයතන මෙන්ම එවේලේ ස්වකැමැත්තෙන් (spontaneously) එක් වූ පුරවැසි කණ්ඩායම්.

විපතට පත් වූවන් බේරා ගන්නට, ආධාර බෙදන්නට හා වෙනත් සහනසේවා සපයන්නට මේ පිරිස් නොමසුරුව පෙරට ආවා. මේ අතර මාධ්‍ය ආයතන ගණනාවක් ද සිටියා.

පුළුල් පෙදෙසක් හරහා පැතිරී මහා පරිමානයක හානි සිදුව තිබුණා. DMC වඩාත් සූදානම්ව හා කාර්යක්ෂමව සිටියා යැයි මොහොතකට උපකල්පනය කළත් මෙම ආපදාවට සියලු ප්‍රතිචාර ලබා දෙන්නට එයට හැකි වන්නේ නැහැ.

ආපදා ප්‍රතිචාරය  හා කළමනාකරණය රාජ්‍ය ආයතනයක ඒකාධිකාරයක් නොවිය යුතුයි. රාජ්‍ය මැදිහත්වීම හා නිල තීරණ ගැනීම අත්‍යවශ්‍ය තැන්හිදී (උදා: අන්තරාදායක තැන්වලින් ජනයාට තාවකාලීකව ඉවත් වන්නට යයි කීම) ඔවුන් මුල් තැන ගන්නා අතර අන් අවස්ථාවල පහසුකම් සළසන්නා (Facilitator) වීමයි වැදගත්.

Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)
Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)

අකාර්යක්ෂම, අසංවේදී හා අධිනිලධාරීවාදී රාජ්‍ය ආපදා ප්‍රතිචාර හමුවේ විපතට පත් පුරවැසියන්ට පිහිට වීමට පෙරට ආ සියලු රාජ්‍ය නොවන පාර්ශවයන්ට අපේ ප්‍රණාමය හිමි වනවා. මේ අතර මාධ්‍ය ආයතනද සිටිනවා.

ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.

එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ  කලාතුරකින්. පුවත්පත් මෙය යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය නොතකා හරිනවා.

මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා කොතැනදැයි අප ප්‍රශ්න කළ යුතුයි.

එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍යල එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.

”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.

රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම යම් තරමකට පැහැර හැරීමක් යැයි තර්ක කළ හැකියි.

තවත් මානයක් මා මෙහිදී දකිනවා. මාධ්‍යවලට සමාජයක පෙර ගමන්කරුවා විය හැකියි. අහිතකර ප්‍රවණතා අන්ධානුකරණය කරනු වෙනුවට අභීතව සමාජය හරි මගට යොමු කළ හැකියි.

අපේ දේශපාලකයන් හැම පොදු කටයුත්තක්ම අතිශයෝක්තිමය සංදර්ශනාත්මක වැඩක් බවට පත් කර ගන්නවා. හැමදේම “අහවල්තුමාගේ උතුම් සංකල්පයක් මත, සිදු කරනවා”ලු…

මහජන මුදලින් පාරක්, පාලමක්, ගොඩනැගිල්ලක් තනන විට මුල්ගලේ සිට විවෘත කිරීම දක්වා තමන්ගේ නම් හා රූප යොදා ගනිමින් පාරම් බානවා. රාජපක්ෂ රෙජීමය මහජනතාවට තිත්ත වීමට එක් හේතුවක් වූයේත් මේ සංදර්ශනකාමයයි.

හොඳ වැඩක් කොට නිහඬව හා නිහතමානීව එහි ප්‍රතිඵල අත් විඳීමට හැකි සමාජයක් කරා යා හැකි නම් කෙතරම් අපූරුද? එහෙත් ආපදා වැනි කණගාටුදායක අවස්ථාවල පවා සමාජ සුබසාධනය වටා සංදර්ශනාත්මක පම්පෝරියක් ද මුදා හැරීම නිර්ලජ්ජිත දේශපාලකයන් කරනවා. එහෙත් මාධ්‍ය ආයතන එම රැල්ලටම හසු විය යුතුද?

මෙලොව හා එලොව හිත සුව පිණිස පුද්ගලිකව සමාජ සුබසාධනයේ නියැලෙන මාධ්‍යවේදීන් ද සිටිනවා. ගිය සතියේ මා සහභාගී වූ වැඩමුලුවකට ආ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ආඩම්බරයෙන් කීවේ තම ප්‍රදේශයේ නැති බැරි අයට තමා මේ දක්වා නිවාස 48ක් සාදා දී ඇති බවයි. මෙය යහපත් වැඩක් වුවත්, මාධ්‍යවේදියාගේ කාර්යභාරයට අයත් වේදැයි එහි සිටි අනෙක් මාධ්‍යවේදීන් වාදවිවාද කළා.

Sri Lanka's floods in Colombo suburbs, May 2016 - Photo by Uchinda Padmaperuma, from Facebook
Sri Lanka’s floods in Colombo suburbs, May 2016 – Photo by Uchinda Padmaperuma, from Facebook

මේ සියල්ල මෙසේ වෙනත්, සමාජ සුබසාධන කටයුතුවල යෙදීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය මා පිළිගන්නවා. අවශ්‍ය වන්නේ ප්‍රමුඛතා හා වගකීම් හරිහැටි තෝරා බේරා ගෙන කළමනාකරණය කිරීම පමණයි. එසේම එකතු කරන මහජන ආධාර සියල්ලට වග විය යුතුයි.

ඒ අතර කාලීනව හා සමාජයීයව වැදගත් ප්‍රශ්නයක් ඇසූ රංග කලන්සූරිය ඉලක්ක කර ගෙන පෞද්ගලිකව ඔහුට වාග් ප්‍රහාර එල්ල කිරීම නම් පිළිගත නොහැකියි. ඔහුගේ මතයට විකල්ප මත හූවා දැක්වීමෙන් නතර නොවී ඔහුගේ මානසික සෞඛ්‍යය පවා ප්‍රශ්න කරන තැනකට සිරස මාධ්‍ය ආයතනය යොමු වීම කණගාටුදායකයි.

සිරස පන්න පන්නා රංග කලන්සූරියට පහරදීම මා දකින්නේ තමන් අසන්නට නොකැමති විග්‍රහයක් ගෙනා අයකු ගැන කිපී, ඔහුට සියලු වැර දමා ප්‍රහාරයක් දියත් කිරීමක් ලෙසයි.

‘Don’t shoot the messenger’ හෙවත් අමිහිරි පුවතක් රැගෙන එන පණිවුඩකරුවාට වෙඩි නොතබන්න යයි ප්‍රකට ඉංග්‍රීසි කියමනක් තිබෙනවා.

2009 ජනවාරියේ පන්නිපිටියේ සිරස මැදිරි සංකීර්ණයට සංවිධානාත්මක මැර ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් ප්‍රසිද්ධ අවකාශයේ පෙනී සිටිමින් මා හුවා දැක්වූයේත් මෙයයි.

ගෙවී ගිය ගනඳුරු දශකයේ (2005-2014) අධිකතම ඝනාන්ධකාරය පැවති 2009 වසරේ එබඳු ප්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම පවා අවදානම් සහගත වූවා. එහෙත් ඒ අවදානම ගනිමින්, සිරසට එල්ල වූ ප්‍රහාරය සමස්ත මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරයක් බව 2009 ජනවාරි 7 වනදා මගේ බ්ලොග් එක හරහා කියා සිටියා.

7 January 2009: Attack on Sirasa TV: Who wants to create a headless Sri Lankan nation?

”දකුණු ආසියාව පුරා පැතිර යන ඉතා අහිතකර ප්‍රවණතාවක් නම් දිරවා ගන්නට නොහැකි පුවත් හා මතයන් ගෙන එන මාධ්‍යවලට පහර දී ඔවුන් නිහඬ කිරීමට තැත් කිරීමයි. ඒ හරහා සෙසු මාධ්‍යවලටද හීලෑවීමට බරපතළ අනතුරු ඇඟවීමක් කිරීමයි.”

මා ඉංග්‍රීසියෙන් පමණක් ලියු යුගයේ කළ එම ප්‍රකාශය පසුව ප්‍රකාශන නිදහස ගැන ක්‍රියාත්මක වන විදෙස් ආයතන පවා උපුටා දක්වා තිබුණා.

එදා සිරසට ප්‍රහාර එල්ල කළ විට කී වැකියම අද සිරස රංගට (වාග්) ප්‍රහාර දෙන විටත් කීමට මට සිදු වනවා. ඔබට දිරවා ගත නොහැකි යමක් රංග කීවා නම් එහි හරය මෙනෙහි කරන්න. එසේ නැතිව එය ප්‍රකාශ කළ පුද්ගලයා ඉලක්ක නොකරන්න.

පොදු අවකාශයේ අප කරන කියන සියල්ල සංවාදයට විවෘතයි. එහෙත් එම සංවාද සංයමයෙන්, තර්කානුකූලව හා බුද්ධිගෝචරව කිරීමේ වගකීම අප කාටත් තිබෙනවා.

Nalaka Gunawardene blog post condemning  military style attack on Sirasa TV complex in Jan 2009
Nalaka Gunawardene blog post condemning
military style attack on Sirasa TV complex in Jan 2009