සිවුමංසල කොලු ගැටයා #372: ආරංචිද වැඩේ? ඕපාදූපවල පරිණාමීය වැදගත්කමක් තිබෙනවාලු!

Even though it is widely practised in most human societies, gossip is much maligned. At best it is seen as frivolous and a waste of time, and at worst, as malicious and anti-social.

But not all gossip is bad, and, a growing body of research shows that gossip can be useful in maintaining social norms and keeping people in line. In my latest Ravaya column (in Sinhala language, published on 22 July 2018), I look at the evolutionary, sociological and anthropological insights offered by gossip related research in recent years.

Exploring the Lankan gossip-sphere, I note how certain mainstream media companies have started explicitly gossip news websites that now attract large visitor numbers. To sustain this traffic, they publish increasingly sensational, click-bait kind of content. Such manufacturing and marketing of gossip, I argue, is an inevitable by-product of online freedom of expression.

Finally, I ask why Lankan mass communications researchers dismiss gossip with such contempt, and wonder what findings could be made about our collective psyche if only our researchers adopt a more open-minded approach to this topic…

Gossip has served an evolutionary purpose, and continues to be relevant for humans as social animals…

ගොසිප් නැතිනම් ඕපාදූප ගැන මෙරට විද්වත් සමාජයේ ඇත්තේ අවඥා සහගත ආකල්පයක්. කිසිදු වැදගත්කමක් නැති, හරසුන් හා කාලය කා දමන ක්‍රියාවක් ලෙස එය සැළකෙනවා.

ජන සන්නිවේදනය ගැඹුරින් අධ්‍යයනය කළ හා එම විෂය උගන්වන බොහෝ ගුරුවරුන්ද ගොසිප් හෙළා දකිනවා. මෑතදී මා සහභාගි වූ සාකච්ඡාවක ගොසිප් හඳුන්වා දෙනු ලැබුවේ ‘දුශ්ශීල’ ක්‍රියාවක් හැටියටයි.

අනුන්ගේ අඩුපාඩු හා දුක් කරදර ගැන ඔවුන් නැති තැන මහත් ඕනැකමින් කතා කිරීම මාද අනුමත කරන්නේ නැහැ. එහෙත් අප බොහෝ දෙනකු ගොසිප් ලෙස තේරුම් ගන්නා දෙයට වැඩි යමක් ඕපාදූප නම් සමාජ ප්‍රපංචයෙහි තිබෙනවා.

සමාජ මාධ්‍ය හා සෙසු ජනමාධ්‍ය සමහරක් හරහා ද ගොසිප් අධිවේගීව ගලා යන අද කාලේ එය ගෙඩි පිටින් හෙළා දකිනු වෙනුවට එහි ගතිසොබා අවබෝධ කර ගනිමු. මගේ ස්ථාවරය එයයිග

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාඥ හා පරිණාමීය මනෝ විද්‍යාඥ (anthropologist and evolutionary psychologist)  රොබින් ඩන්බාර් (Dr Robin Dunbar)” ගොසිප් පිළිබඳව කලෙක සිට පර්යේෂණ කරන්නෙක්. මෙම ක්ෂේත්‍රයේ ලොව පිළිගත් විද්වතෙක්.

ඔහු කියන්නේ මානව වර්ගයාගේ ආරම්භයේදී ගොසිප් ලෙස වර්ග කෙරුණේ සමීපතයන් සමග දොඩමලු වෙමින් හුවමාරු කරගන්නා තොරතුරු බවයි. ඇත්තටම භාෂා කතා කිරීම ඇරඹීමටත් පෙර පටන් අපේ වානර ආදිතමයෝ සිය වටපිටාව ආහාර ප්‍රභවයන්, අන්තරායන් ගැන ඉඟි බසින් තොරතුරු හුවමාරු කර ගත්තා.

රැලේ යම් සාමාජිකයන් විශ්වාස කළ හැකිද, ඔවුන් ආත්මාර්ථකාමීන් ද ආදී සමාජ තක්සේරුවක් ද ක්‍රමයෙන් හුවමාරු වීම ඇරඹුණා. ගොසිප්වල ප්‍රභවය මෙතැනයි.

මානවයන් පරිණාමය වූ අප්‍රිකානු සැවානා තණ බිම්වල පණ කෙන්ද රැක ගෙන, සමූහ ජීවිත ගෙවීමට මුල් යුගයේ ගොසිප් අත්‍යවශ්‍ය වූ බව ඩන්බාර්ගේ මතයයි.

කල්පිතයක් ලෙස ඩන්බාර් කියන්නේ මානව සමාජයන්හි භාෂා බිහි වීමට ගොසිප් කිරීමේ අවශ්‍යතාව ප්‍රබල උත්තේජකයක් වූ බවයි.

භාෂාවන් බිහි වී මානව සන්නිවේදනය වඩාත් දියුණු වූවාට පසුව ද සමාජ තොරතුරුවල අගය අඩු වූයේ නැහැ. කණ්ඩායම් ලෙස ජීවත් වන සමාජශීලී සත්ත්වයන් වන මානව අපට අපේ ප්‍රජාවේ සාමාජිකයන් ගැන බැලූ බැල්මට නෙපෙනෙන තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් ලෙස පරිණාමීයව හා ඓතිහාසිකව ගොසිප් හෙවත් ඕපාදූප තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කොට තිබෙනවා.

ආගිය තොරතුරු හා සාමිචී කතා කිරීම සමාජ සම්බන්ධතා ඇති කිරීමට මෙන්ම ඒවා කලක් තිස්සේ ප්‍රාණවත්ව පවත්වා ගැනීමට බොහෝ ඉවහල් වන බව ඔහුගේ මතයයි.

”මානව අප එකිනෙකා සමග කතාබහ කරන හැම විටම ප්‍රායෝගික නැතහොත් බුද්ධිමය වශයෙන් වැදගත් කාරණාවලට පමණක් එය සීමා කරන්නේ නැහැ. සැහැල්ලුවෙන්, දඟකාරකමින්, විනෝදකාමීව කතා කිරීම අප කාටත් අවශ්‍යයි. එහිදී ගොසිප් යම් ප්‍රමාණයක් හුවමාරු වීම පරිණාමීය ලෙස අප ලද උරුමයක්. මෙය වාචිකව හුවමාරු වනවාට අමතරව මේ වන විට සමාජ මාධ්‍යවල ලිඛිතව හෝ රූප හරහා ද සිදු වනවා” යයි ඩන්බාර් විග්‍රහ කරනවා.

දිගු කලක් තිස්සේ චිම්පන්සීන් හා වෙනත් වානර විශේෂවල හැසිරීම අධ්‍යයනය කර ඇති ආචාර්ය ඩන්බාර්, තම විද්වත් විග්‍රහයන් කැටි කරමින් 1996දී Grooming, Gossip and the Evolution of Language නමින් පොතක් පළ කළා.

ඔහු කියන්නේ ගොසිප්වලට අමතරව කතන්දර කීමද මානව ඉතිහාසයේ හා ප්‍රාග් ඉතිහාසයේ දිගටම අපේ වර්ගයාට ආවේණික ප්‍රබල පුරුද්දක් බවයි.

ගොසිප් සම්ප්‍රදායන් මෙන්ම කතාන්දර කීමේ පුරුද්දත් එකිනෙකට බෙහෙවින් වෙනස් වූත්, ස්වාධීනව බිහි වී විකාශනය වූත් මානව ශිෂ්ටාචාරයන් රැසක් හමු වනවා. ඩන්බාර් කියන්නේ මෙය අහම්බයක් නොව සංස්කෘතික පරිණාමයේ මූලික හා තවමත් වැදගත් අංගයක් බවයි.

”සමාජශීලී සත්ත්වයන් ලෙස මානවයන්ට තම තමන් සෙසු ප්‍රජාවට බද්ධ වන්නේ කෙසේද යන්නත්, තමන්ගේ සාපේක්ෂ තරාතිරම කුමක්ද යන්නත් නිරතුරු විමසීම හා දැන ගැනීම අවශ්‍ය වනවා. මෙය සවිඥානිකව කළත් නොකළත් ඕපාදූප හා වෙනත් සාමීචි කතාවල අතුරු ඵලයක් වන්නේ තමා අයත් වන ප්‍රජාවට සමානුපාතිකව තමන් සිටින ස්ථානය ගැන අවබෝධයක් පුද්ගලයාට ලබා දීමයි.”

ඩන්බාර්ගේ පර්යේෂණ සමාජ මාධ්‍යවලට අදාළ කරමින් විද්වත් විග්‍රහයන් කර ඇති ප්‍රකට සමාජ විද්‍යාඥවරියක් වන සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) කියන්නේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා ගැනීමට එහා යන පරිණාමීය මානව අවශ්‍යතාවක් ද ඉටු වන බවයි.

නාගරීකකරණය නිසා තව දුරටත් භෞතික වශයෙන් කඩපිල්වල, ළිඳ ළඟ හෝ වෙනත් පොදු තැන්වල එතරම් මුණ නොගැසෙන තම ප්‍රජාව සමග නිරතුරු සාමීචී හා ගොසිප් හුවමාරු කර ගන්නට සමාජ මාධ්‍ය විසින් විකල්ප අවකාශයක් බිහි කර තිබෙනවා. (සමාජ මාධ්‍ය හරහා ගලා යන සියල්ල ගොසිප් වේයැයි මෙයින් අදහස් වන්නේ නැහැ.)

පරිනාමීයව පමණක් නොව නූතන යුගයේ පවා ඕපාදූප හෙවත් ගොසිප් අප සිතනවාට වඩා වැදගත් සමාජ සන්නිවේදන මෙහෙවරක් ඉටු කරන බව පසුගිය දශක දෙකක පමණ කාලයේ කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

Left to Right – Dr Robin Dunbar, Dr Zeynep Tufekci, Dr Robb Willer

‘ගොසිප්වල සමාජ විද්‍යාත්මක වැදගත්කම’ නමින් තීරණාත්මක පර්යේෂණ ලිපියක් 2012දී විද්වත් සඟරාවක පළ වුණා. එය ලියා තිබුණේ ගොසිප් ගැන මැදහත්ව කලක් තිස්සේ අධ්‍යයනය කළ සමාජ විද්‍යාඥයන් පිරිසක් විසින්. ඔවුන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් හා කැලිෆෝනියා බර්ක්ලි සරසවිවලට සම්බන්ධයි.

‘ජනප්‍රිය මතය නම් සියලු ඕපාදූප සැම විටම අහිතකර බවයි. බොහෝ ඕපාදූපවල ඍණ ගතිගුණ තිබෙන බව ඇත්ත. එහෙත් තුලනාත්මකව මේ සංසිද්ධිය විමර්ශනය කළ අපට පෙනී ගියේ ඕපාදූපවල සමාජමය වැදගත්කමක් තිබෙන බවයි.’ සමාජ විද්‍යා මහාචාර්ය රොබ් විලර් (Dr Robb Willer)  ප්‍රකාශ කළා.

‘සමාජශීලී සත්ත්වයන් හැටියට මානව අප බොහෝ සමාජ සම්බන්ධතා පවත්වා ගන්නවා. එහිදී යමකු පිළිබඳ අප නොදන්නා හෝ නොදුටු පැතිකඩක් තිබිය හැකියි. පිටතට පෙනෙන චරිතගති හෝ චර්යාවලට එහා යන ගතිගුණ පැවතිය හැකියි. ඕපාදූප හරහා මෙවන් තොරතුරු හුවමාරු කැරෙනවා. ඒවා සමහර විට අතිශයොක්තියට ලක් විය හැකි බව ඇත්ත. එහෙත් අනතුරු ඇඟවීම් ද එතුළ ගැබ්ව තිබෙනවා.’

මහාචාර්ය විලර් සහ පර්යේෂක පිරිස සොයා ගත් තවත් මානයක් නම් තමා ගැන සමාජයේ කොයි අන්දමින් කතා බහ වෙයිද යන්න ගැන බොහෝ දෙනකු අවධානය යොමු කරන බවයි.

මොන ඕපාදූපයකට තමන් පාත්‍ර වේද යන්න අවිනිශ්චිත නිසා සමාජ ගනුදෙනුවලදී හැකි තාක් නීතිගරුකව, ආචාරශීලීව පෙනී සිටීමට පුද්ගලයන් තැත් කරනවා. එය ඕපාදූප වල සමාජියීය බලපෑමක් ලෙසයි ඔහු හඳුනා ගන්නේ.

තමන් වෙසෙන පටුමග හා අවට පොදු ප්‍රදේශය පිරිසිදු කිරීම හරහා මදුරුවන් බෝ වීම අවම කිරීමට තැත් කරන ප්‍රජාවක් ගැන මොහොතකට සිතන්න. නිවැසියන් සැවොම එවන් පොදු වැඩකට ඉත සිතින් ශ්‍රමය දානය කරන්නේ නැහැ. සමහරු හරිම ආත්මාර්ථකාමීයි. එහෙත් තවත් පිරිසත් නොකැමැත්තෙන් වුව පොදු වැඩට එක් වනවා. හේතුව අසල්වාසීන් තමන් ගැන කෙසේ කතා කරනු ඇති ද යන හේතුව නිසා.

මෙවන් අවස්ථාවල ඕපාදූපවල සමාජයීය හිතකර බලපෑම හොඳින්ම පෙනී යන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම නිරීක්ෂණ ඉහත කී අමෙරිකානූ පර්යේෂණයට පමණක් සීමා වන්නේ නැහැ. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ පර්යේෂකයන් ද ඕපාදූපවල සමාජමය බලපෑම් ගැන අත්හදා බැලීම් ගණනාවක් කළා. ඔවුන්ගේ නිගමනය වූයෙත් කුඩා කණ්ඩායම් හා සීමිත ප්‍රජාවන් තුළ පුද්ගල හැසිරීමට ඕපාදූප තීරණාත්මකව බලපාන බවයි.

සන්නිවේදන තාක්ෂණයන් වඩාත් පුළුල්ව පැතිරුණු වත්මන් සමාජයේ ගොසිප් ද මාධ්‍යකරණය වී තිබෙනවා. මෙය ද අලුත් ප්‍රවණතාවක් නොවෙයි.

නළු නිළියන් හා වෙනත් සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ගැන තහවුරු නොවූ තොරතුරු මාධ්‍ය හරහා සංසරණය වීම කලක සිට සිදු වන්නක්. සමහර කලාකරුවන් හා චිත්‍රපට/නාට්‍ය නිෂ්පාදකයන් මේ ජන උනන්දුව සූක්ෂම ලෙස තමන්ගේ නිර්මාණ ප්‍රවර්ධනයට ද යොදා ගන්නවා.

ඕපාදූප මාධ්‍යකරණය වීම එතරම් හිතකර දෙයක් නොවෙයි. අන්තර් පුද්ගල සාමීචි කතාබහේදී හා සමාජ මාධ්‍යවල තහවුරු නොකළ තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා ගලා යාම ප්‍රකාශන නිදහසේ කොටසක්.

එහෙත් ඊට වඩා වගකීම් සහගත, ප්‍රමිතිගත තොරතුරු බෙදා හැරීමක් අප ප්‍රධාන ධාරාවේ පත්තර, ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය වලින් අපේක්ෂා කරනවා.

එහෙත් අද සිදු වන්නේ කුමක්ද? බොහෝ මහා මාධ්‍ය චූල මාධ්‍ය මට්ටමට බැස ක්‍රියා කිරීමයි.

උදාහරණයක් ලෙස දේශපාලන ඕපාදූප අද අපේ මාධ්‍යවල ප්‍රධාන අංගයක් වෙලා. සතියේ දේශපාලන විග්‍රහයන් ලෙස සති අන්ත පුවත්පත්වල පළ වන බහුතරයක් අන්තර්ගතය අතන මෙතන කසු කුසු කතා මිසක දේශපාලන න්‍යාය මත පදනම් වූ විග්‍රහයන් නොවෙයි.

මා දන්නා තරමට නම් ‘පොලිටිකල් ගොසිප්’ ප්‍රධාන ධාරාවේ පත්‍රවල මේ ආකාරයේ මූලික අංගයක් කළේ ලසන්ත වික්‍රමතුංගගේ මාධ්‍යකරණයයි. ඔහු 1990 දශකය මුලදී පටන් ගත් සම්ප්‍රදාය පසුව සෙසු බොහෝ පුවත්පත් අනුකරණය කළා.

දේශපාලකයන්ගේ කෙරුවාව හා කයිවාරු ගැන මහජනයා දැන ගත්තාට වරදක් නැහැ. එහෙත් දේශපාලන විචාර ලෙස මාධ්‍ය සිය ග්‍රාහකයන්ට සපයන්නේ එවන් ඕපාදූප හා සරල සිල්ලර කතා පමණක් නම්, හරවත් දේශපාලන සංවාදයන්ට එයින් දායකත්වයක් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

ගොසිප්වලට ලොකු ඉල්ලුමක් තිබෙන බව නම් පැහැදිලියි. දැන් දැන් සමහර පත්තරවල ගොසිප් එළිපිටම පළ කරනවා. එසේම මෙරටින් වැඩිම පිරිසක් වෙබ්ගතව කියවන වෙබ් අඩවි අතර ඉහළින් සිටින්නේ තමන් විසින්ම ‘ගොසිප් අඩවි’ යැයි හඳුන්වා ගන්නා වෙබ් අඩවි කිහිපයක්.

මේ හැරුණු කොට පුවත් වෙබ් අඩවි සමහරක් ද ඕපාදූප මට්ටමේ දුස්තොරතුරු හෝ මුළුමනින්ම ප්‍රබන්ධ කතා පුවත් සේ පළ කරනවා. මහා මාධ්‍ය කළමනාකරුවන් සමහරෙක් මේවායේ ජනප්‍රියත්වය දෙස බලා තමන්ගේ මාධ්‍යත් වඩාත් එවැනි ගොසිප් මට්ටමකට ගෙන යාමට තැත් කරනු පෙනෙනවා. මෙය කනගාටුදායක ප්‍රවණතාවක්.

[මෙහිදි යළිත් වරක් වැදගත් පැහැදිලි කිරීමක් කළ යුතුයි. තමන්ගේ වෙබ් අඩවි ලිපින හරහා පළ කැරෙන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි කිසිසේත්ම සමාජ මාධ්‍ය නොවෙයි. සමාජ මාධ්‍ය වේදිකා වන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමග මේවා පටලවා නොගත යුතුයි.]

ඉතින් ගොසිප් හොඳද – නරකද? මේ ගැන සුචරිතවාදී විග්‍රහයක් මා ලබා දෙන්නේ නැහැ. අද කතා කළ දේ මෙසේ සම්පිණ්ඩනය කළ හැකියි.

  • අප සමහරුන් කැමති වුවත්, නැතත් ගොසිප්/ඕපාදූප යනු ජන සමාජයේ කිඳා බැස ගත්, පරිණාමීයව උරුම වූ චර්යා රටාවක්.
  • අන්තර් පුද්ගල මට්ටමේදීත්, සමාජ මාධ්‍යවලදීත් ගොසිප් හුවමාරුව ප්‍රකාශන නිදහසේ කොටසක් මෙන්ම එහි මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වාසි තිබෙනවා.
  • මහා මාධ්‍යවල ගොසිප් නැඹුරුව නම් අහිතකරයි. ගොසිප් අන්තර්ගතය මහා මාධ්‍යවල කතුවරුන්ට අවශ්‍යම නම් එය පැහැදිලිව ගොසිප් ලෙස ලේබල් කොට ඉදිරිපත් කිරීම වඩා හොඳයි. ඒත් එසේ කිරීම හරහා මාධ්‍ය ගැන තිබෙන මහජන විශ්වාසය තවත් පලුදු වනවා.
  • අපේ රටේ සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් දේශීය ගොසිප් ප්‍රවණතා හා ගති සොබා විද්වත්ව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ජන සන්නිවේදන ඇදුරන් මෙය හෙළා දුටු පමණට ගොසිප්වල සුජාතභාවය අහෝසි වන්නේ නැහැ.

 

 

Advertisements

සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

Who is a citizen journalist? Does everyone who blogs and tweets automatically become one? If not, who qualifies? Who judges this on what criteria? And what niche in media and public sphere do citizen journalists fill when compared with salaried journalists working for more institutionalised or mainstream media?

These have been debated for years, and there is no global consensus. They are belatedly being asked and discussed in Sri Lanka, and form the basis of my latest Ravaya column (in Sinhala).

My views were summed up sometime ago in this comment I left on a blog: “Just as journalism is too important to be left solely to full-time, salaried journalists, citizen journalism is too important to be left simply to irresponsible individuals with internet access who may have opinions (and spare time) without the substance or clarity to make those opinions count.”

See also my English language posts on this topic in the past:
7 Aug 2009: Can Citizen Kane and Citizen Journalist join hands in the public interest?

10 June 2008: Who’s Afraid of Citizen Journalists 2: Reflections from Asia Media Summit 2008

3 May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

Lots of chat

‘තමුසෙ කවුද?’

අපේ රටේ පොදු අවකාශයේ, පොදු උන්නතිය උදෙසා පෙරට එන ටික දෙනාට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන පොදු ප‍්‍රශ්නයක්.

තවමත් වැඩවසම් හා අධිපතිවාදී මානසිකත්වයන් කරපින්නා ගත් අපේ සමාජයේ සැබෑ ගති සොබා මැනවින් විදහා පාන්නක් මේ ප‍්‍රශ්නය. එයින් අදහස් කැරෙන්නේ යමකුගේ පැටිකිරිය, සමාජයීය හා අධ්‍යාපනික පසුබිම වඩා වැදගත් බවත්, කැපවීම, උද්‍යොගය හා බැවහර ඥානය එතරම් වැදගත් නැති බවත්.

පුරවැසි මාධ්‍යවේදයේ (Citizen Journalism) නිරත වන ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නයට නිතර මුහුණ දෙනවා. නවීන සන්නිවේදන තාක්‍ෂණයන් හරහා සමාජයේ පොදු ප‍්‍රශ්න ගැන වාර්තාකරණයට, විග‍්‍රහයට හා සන්නිවේදනයට මේ අයට ඇති අයිතිය හා සුදුසුකම් මොනවාදැයි වැඩිපුර ම අසන්නේ මාධ්‍ය ආයතනවල වැටුපට රැකියාව කරන, වෘත්තීය මාධ්‍යවේදීන්. මේ වෘත්තිකයන්, ස්වේච්ඡුාවෙන් කි‍්‍රයා කරන පුරවැසි මාධ්‍යවේදීන් ලෙස බොහෝ විට බලන්නේ අවඥාවෙන්, සැකයෙන් නැතිනම් විමතියෙන්.

පුරවැසි මාධ්‍යකරණය ගැන විවිධ අර්ථ දැක්වීම් හා විග‍්‍රහයන් තිබෙනවා. සරලතම විදියට කිවහොත් මාධ්‍ය ආයතනගතව, වැටුප් ලබමින් මාධ්‍යකරණයේ නියැලෙනවා වෙනුවට එම කාරිය ම නොමිලයේ, උද්යෝගයෙන් කරන අය පුරවැසි මාධ්‍යවේදීන්. පොදු අවකාශයේ තොරතුරු, රූප, හඬ, වීඩියෝ හා මේවායේ සංකලයන් ඔවුන්ට නිර්මාණය කළ හැකියි.

නව සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් ප‍්‍රචලිත හා ලාබදායක වීම නිසා රටේ හා ලෝකයේ තමන් අවට සිදු වන දේ ලිඛිතව හා රූප හරහා හසු කර ගනිමින් ‘සාක්‍ෂි දැරීමේ’ (bearing witness) හැකියාව අද බොහෝ දෙනකුට ලැබී තිබෙනවා. කැමරාවක් සහිත ජංගම දුරකථනයක් වුවත් මෙයට සෑහෙනවා.

මේ හැකියාව ලැබී තවමත් දශක දෙකක්වත් ගත වී නැහැ. ඓතිහාසිකව මෙසේ සාක්‍ෂි දැරීමේ හා වාර්තා කිරීමේ හැකියාව තිබුණේ ආයතනගත මාධ්‍යවේදීන්ට පමණයි. ඒ සීමිත බලය හරහා ඔවුන්ට යම් ප‍්‍රතාපවත් බවක් හා අධිපති බවක් ද ආරෝපණය වූවා. පුරවැසි මාධ්‍යකරුවන්ගේ ආගමනය හරහා ඒ යථාර්ථය උඩුකුරු වනවා. අධිපති මාධ්‍යවේදයේ සමහරුන් තමන්ගේ සමාජ තත්ත්වය දියාරු වීම හා නැතිවීම ගැන කැමැති නැහැ.

පුරවැසි මාධ්‍යවේදීන් ආධුනිකයන් ද? සමහර ආයතනගත මාධ්‍යවේදීන් තමන් වෘත්තිකයන් බවත්, එතැනට පැමිණීමට පුහුණුවක් හා අභ්‍යාසයක් කලක් ප‍්‍රගුණ කළ බවත් කියමින් පුරවැසි මාධ්‍යවේදීන් හෑල්ලූ කරන්නට තැත් කරනවා. එහෙත් අද වනවිට මේ ආධුනික/වෘත්තික බෙදුම බොඳ වී ගිහින්.

වැටුපට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් වෘත්තීමය වන අතර එසේ නොකරන්නවුන් ආධුනික යයි සැළකෙනවා. ඔලිම්පික් තරග මුඵමනින් වෙන් වන්නේ ආධුනික කී‍්‍රඩකයන්ටයි. එයින් ඔවුන්ගේ කුසලතාවය හා කැපවීම අවතක්සේරු වන්නේ නැහැ.

මෙනයින් බලන කල පුරවැසි මාධ්‍යවේදීන් මාධ්‍ය කලාවේ ඔලිම්පික් පරමාදර්ශයන් මූර්තිමත් කරනවා යයි කිව හැකියි. වැදගත් වන්නේ ඔවුන් නිරවද්‍යාතවය, සමබරතාවය හා සදාචාරාත්මක රාමුවක් මත කි‍්‍රයා කරනවා ද යන්නයි.

වෙබ්ගත සමාජ මාධ්‍ය (Social Media) භාවිත කරන හැම අයකු ම පුරවැසි මාධ්‍යකරුවකු වන්නේ ද නැහැ. බහුතරයක් දෙනා ගැවසෙන Facebook ජාලය බොහෝ කොට සංවෘත කලාපයක්. එහි විවෘත පිටු යම් තරමක් තිබුණත්, අති විශාල පරාසයකට පිවිසීමට තමන්ගේ ගිණුමක් හා අන් අයගේ අනුමැතිය (friend වීම) අවශ්‍යයි.

සමස්ත වෙබ් අවකාශය සැබෑ ලෝකයේ ඝෝෂාකාරී, ඕනෑ ම කෙනකුට විවෘත පොළකට සම කළහොත්, Facebook එක සාමාජිකයන්ට පමණක් විවෘත, අවසරයෙන් පමණක් පිවිසිය හැකි සමාජශාලා (clubs) වගෙයි.

ක්ලබ් ඇතුළේ සිට රටේ ලෝකයේ ප‍්‍රශ්න ගැන මහ ලොකුවට කථා කරන බොහෝ උදවිය විවෘතව පොදු අවකාශයේ එම අදහස් පවසන්නට පැකිළෙනවා. මෙබඳු ප‍්‍රවණතාවක් Facebook තුළත් තිබෙනවා.

තියුණු සමාජ දේශපාලන දැක්මක් තිබෙන හා මැනවින් අදහස් පැවසීමේ කුසලතාව ඇති මගේ මිතුරෙක් දිනපතා ම පාහේ සිය Facebook කණ්ඩායම තුළ රටේ ප‍්‍රශ්න ගැන ඉතා වැදගත් අදහස් දැක්වීමක් කරනවා. එහෙත් එය ග‍්‍රහණය වන්නේ ඔහුගේ කණ්ඩායමට පිවිසීමේ වරම ලද තුන් හාර සිය දෙනෙකුට පමණයි. (එසේ ස්වයං සීමිතව අදහස් පැවසීමට ඔහුට ඇති අයිතිය මා පිළිගන්නවා.)

පුරවැසි මාධ්‍යකරණයට නම් කොයි කාටත් පෙනෙන මානයේ, විවෘතව සිට තොරතුරු, අදහස් හා රූප බෙදාහදා ගත යුතුයි. විවෘත වෙබ් ‘පොලේ’ ගාල ගෝට්ටිය වැඩි වුවත් පුරවැසි මාධ්‍යවේදීන් එබඳු පොදු අවකාශයේ ම සැරිසරිය යුතුයි. සංවෘත ක්ලබ් ඇතුළේ පඩි කථා හෝ චණ්ඩි කථා කීම සෑහෙන්නේ නැහැ!

Groundviews.org වෙබ් අඩවිය ගැන මා ගිය සතියේ කළ විග‍්‍රහය නොපිළිගත් පාඨකයන් ද සිටිනවා. Groundviews මුඵමනින් ම වෙබ් හරහා ප‍්‍රකාශිත වූවත්, එහි බරපැන උසුලන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් (විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය) වීම සමහරුන්ට ප‍්‍රශ්නයක්.

මා ගරු කරන මගේ විද්වත් මිතුරකු වන සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ Groundviews පුරවැසි මාධ්‍යයක් නොවන බවයි. 2012දී රාවයේ 25වන සංවත්සරය වෙනුවෙන් පළ කෙරුණු ‘ජනමාධ්‍ය සංස්කෘතිය: විවේචනාත්මක ඇගැයීමක්’ ග‍්‍රන්ථයට ලිපියක් ලියමින් ඔහු මෙසේ කියනවා:

“ග්‍රවුන්ඩ්වීව්ස් තමන් හඳුන්වාගන්නේ පුරවැසි මාධ්‍ය කලාවෙන් යුත් වෙබ් අඩවියක් ලෙසිනි. මේ හඳුන්වා ගැනීම තුලින් මූලාශ්‍ර එකකට වැඩි ගණනක් යොදා ගැනීම සහ කරුණුවල සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කිරීම වැනි සාමාන්‍ය මාධ්‍ය කලාවේ වගකීම් ඉටු කිරීමෙන් ඔවුන් තමන් නිදහස් කර ගෙන තිබේ. කෙසේ වුවත්, එය කතුවරුන්ට ගෙවන වැටුප් සහ සැලසුම සහ බෙදා හැරීම සඳහා කර ඇති ආයෝජන වැනි සියළු ම ආකාරවලින් සාමාන්‍ය මාධ්‍යයකි. සැම මාධ්‍යයක මෙන් පල කරන කරුණු සහ මතවාදයන් අනුමත කරන්නේ කර්තෘ කෙනෙක්ය. වෙනස ව්‍යාජ ලෙස පුරවැසි පුවත්පත් කලාවේදී නම ආරූඪ කර ගෙන සම්මාන ලබා ගැනීම ය. මේ පුවත්පතේ එන කරුණු සහ මතවාද බොහෝ විට සපයනු ලබන්නේ සාම්ප්‍රදායික පුවත්පත්වලට නිතර ලිපි සපයන ලේඛක මහත් මහත්මීන්ම ය. පුරවැසි පුවත්පතේ නැත්තේ පුරවැසියන්ය.”

විකල්ප මතවාද හා සංවාද සඳහා ඇති තරම් අවකාශ ලැබේ නම් ධනපති, අධිපති හෝ NGO අනුග‍්‍රහය යටතේ පවත්වා ගෙන යාම එතරම් ලොකු සීමාකාරී සාධකයක් යයි මා නම් සිතන්නේ නැහැ.

වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික හා පොදු සංවාද සුවහසක් දිවා රැයේ සිදුවීම හරහා නූතන තොරතුරු සමාජය අඵත් ආකාරයේ ගෝලීය පරිසරයක් බිහි කරනවා. නිතිපතා වෙබ් භාවිතයේ නියැලෙන බිලියන් 2.7ක් ජනයා ලොව පුරා මේ නව ප‍්‍රපංචයට දායක වනවා. ඉන්ටර්නෙට් හා බද්ධ වන මිලියන් 3ක් පමණ වන ලාංකිකයන් ද මේ ප‍්‍රවාහයේ කොටසක්.

Chat Republic by Angelo Fernando

Chat Republic by Angelo Fernando

මේ නව තොරතුරු සමාජය බෙහෙවින් ශාස්තී‍්‍රය මට්ටමින් මෙන් ම ලිහිල් හා සරල වෙනත් මානයන්ගෙන් ද විග‍්‍රහ කළ හැකියි. අලෙවිකරණය හා සමාජ ජාලකරණය (Marketing and Social Networking) කෝණයෙන් මෙය විග‍්‍රහ කැරෙන අඵත් පොතක් ලාංකික සන්නිවේදන හා අලෙවිකරණවේදියකු වන (අමෙරිකාවේ කලෙක සිට වාසය කරන) ඇන්ජලෝ ප‍්‍රනාන්දු මෑතදී ලියා තිබෙනවා.

ඔහු පොත නම් කොට ඇත්තේ Chat Republic යනුවෙන්. තොර තෝංචියක් නැතිව අසීමිත දේ ගැන ලිහිල්ව හෝ ගැඹුරින් හෝ ‘චැට්’ කරන නූතන තොරතුරු සමාජය, ඉතිහාසයේ නොතිබූ ආකාරයේ, දේශසීමා ඉක්මවා යන අඵත් ගෝලීය සබැදියාවක් බිහි කරමින් සිටින බව ඔහුගේ අදහසයි.

ආණ්ඩු හා වෙනත් බලාධිකාරයන් කැමති වුණත් නැතත් මෙය සිදු වනවා. (ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් කලෙකට ඉහත මෙය නුවණැසින් දැක අවවාද කළේ ප‍්‍රතිරෝධය දක්වනු වෙනුවට සුක්‍ෂම ලෙස මේ නව ලොවට අනුගත වන ලෙසයි: “Exploit the inevitable!”)

ඇන්ජලෝගේ පොතේ යම් කොටසක් වෙන් කොට ඇත්තේ පුරවැසි මාධ්‍යවේදයේ පැතිකඩ කිහිපයක් විස්තර කරන්නයි. ඔහු ලෝක මට්ටමෙන් විවිධ රටවල අත්දැකීම් විස්තර කරන අතර ශී‍්‍ර ලංකාවෙන් ද උදාහරණ ගන්නවා. නම් වශයෙන් හඳුන්වා දී අදහස් උපුටා දක්වා තිබෙන්නේ සංජන හත්තොටුව හා ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව යන තරුණ සයිබර් කි‍්‍රයාකාරිකයන් දෙදෙනායි.

මෙයට අමතරව සර්වෝදය සංවිධානයේ නව මාධ්‍ය භාවිතය ගම් මට්ටමෙන් ලාංකික සුඵ ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළ විවෘත කරන සැටිත් එහි වාර්තාගතයි. http://chatrepublic.wordpress.com

2013 ජූනි 12දා Chat Republic එළි දැක්වීමට කොළඹ පැවති සංවාදයකට මාත් සහභාගී වුණා. ඇන්ජලෝ එහිදී කීවේ ඕපාදුප (gossip) යනු මානව සමාජයේ පැරණි ම සන්නිවේදන ක‍්‍රමයක් බවයි. අද වෙබ් මාධ්‍ය හරහා එයට නව පණක් හා වේගයක් ලැබී තිබෙනවා.