සිවුමංසල කොලු ගැටයා #370: පුරෝගාමී කිමිදුම්කරු හා සාගර ජීව විද්‍යාඥයා රොඩ්නි ජොන්ක්ලස්

Pioneer Lankan Diver Rodney Jonklaas

Rodney Jonklaas (1925-1989) was a Lankan marine biologist, free diver, SCUBA diver, spearfisherman and underwater photographer. He was one of the pioneer divers in Ceylon, starting soon after the aqualung was invented in the 1940s. He was founder in 1946/7 of the “Reefcombers of Ceylon”, one of the world’s earliest diving clubs.

I have written about Rodney as my latest Ravaya newspaper column (published on 8 July 2018).

Rodney was one of two persons that author and diver Arthur C Clarke (1917-2008) met on his very first visit to Colombo when the latter’s ship SS Himalaya – taking him from London to Sydney, to explore the Great Barrier Reef – paused at Colombo Harbour for a few hours in December 1954. Rodney suggested that Clarke should come back to explore the Indian Ocean around Ceylon. Acting on this suggestion, Clarke returned in 1956 with fellow Englishman Mike Wilson to explore the island’s marine, cultural and natural heritage for several months. At the end of that expedition, both men decided to settle down in Ceylon. The rest is history.

Rodney was an integral part of the duo’s diving and undersea exploration activities which led, among other things, to their discovering a sunken ship off the southern coast of Sri Lanka full of Mughal silver coins, and making of Ceylon’s first colour movie (Ran Muthu Duwa, 1962) part of which was filmed underwater.

In the ensuing years, Rodney continued to work as a professional diver, taking on commercial assignments while also engaging in recreational diving and going in search of shipwrecks. I quote Rex I de Silva, a senior diver who was mentored by Rodney, who says Rodney was a keen marine conservationist and also a leading spearfisherman with several international records. Rex remembers Rodney as a Renaissance Man who was versatile and accomplished in a wide range of pursuits both on land and underwater.

I also draw on my interview with Rodney Jonklaas done in late 1984, when I met him in connection with a series of articles on humans and the ocean that I researched and wrote for the (now defunct) Kalpana Sinhala monthly magazine (February 1985 issue).

Rodney Jonklaas (1925-1989), photographed in 1984 for Kalpana magazine

පුරෝගාමී ලංකික කිමිදුම්කරු රොඩ්නි ජොන්ක්ලස් (1925 – 1989) ගැන මා මීට පෙර විටින් විට සඳහන් කොට තිබෙනවා. ඒ ආතර් සී. ක්ලාක් සමග එක්ව මෙරට අවට මුහුදේ කිමිදුම් හා ගවේෂණ කිරීම සම්බන්ධයෙන්.

බර්ගර් ජාතිකයකු වූ රොඩ්නි විචිත්‍ර වූත්, අසාමාන්‍ය වූත් චරිතයක්. ඔහුගේ පරම්පරාවේ මෙරට සිටි ප්‍රවීණතම සමුද්‍ර ජීව විද්‍යාඥයා (marine biologist) වූ ඔහු ජීවිතයෙන් වැඩි කලක් තිස්සේ මෙරට අවට මුහුදේත් ගංගා හා වැව්වලත් කිමිදීමේ නිරත වුණා.

1954 දෙසැම්බර් 12 වනදා ආතර් ක්ලාක් සහ තවත් මගීන් රැසක් රැගත් ‘හිමාලයා‘ නම් නෞකාව පැය කිහිපයකට කොළඹ වරායේ නතර කරණු ලැබුවා. එය එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාව බලා යන චාරිකාවක කෙටි විරාමයක්. එවකට ගුවන් ගමන් ප්‍රචලිතව තිබුණේ නැහැ.

ඒ කෙටි කාලය තුළ ගොඩබිමට පැමිණි ක්ලාක් මෙරට වාසය කරමින් සිටි මේජර් රෝලන්ඩ් රේවන්-හාට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා සහ රොඩ්නි ජොන්ක්ලස් මුණ ගැසුණා. මෙරට පිළිබඳව දැඩි කුතුහලයක් ඔහු ඇති කර ගත්තේ මේ දෙදෙනා සමග කථාබහ කිරීමෙන්.

එවකට තරුණ වියේ සිටි රොඩ්නි දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධිකාරී ලෙස රැකියාව කළත් ඔහු වඩාත් ප්‍රකටව සිටියේ දිවයිනේ දක්ෂතම කිමිදුම්කරුවා ලෙසයි.

ක්ලාක් ඔස්ට්‍රේලියාවට යමින් සිටියේ ලෝ ප්‍රකට මහා බාධක පරය (Great Barrier Reef) නම් ලොව විශාලතම කොරල්පර පද්ධතිය අවට කිමිදුම් ගවේෂණවලටයි. ප්‍රමාණයෙන් එතරම් සුවිසල් නොවූවත් විසිතුරු කොරල්පර රැසක් ශ්‍රී ලංකාවට සමීප මුහුදේ හමු වන බවත්, ඊට අමතරව මුහුදුබත් වූ නෞකා රැසක් ද තිබෙන බවත් රොඩ්නි ක්ලාක්ට කීවා.

‘මේ උතුරු ඉන්දියන් සාගරයේ කොරල්පර හා වෙනත් ස්ථාන බොහෝමයක් තවම කිසිදු කිමිදුම්කරුවකු නොගිය තැන්. ඊළඟට ඔබේ කිමිදුම් ගවේෂණ සඳහා ලංකාවට එන්න’ යයි රොඩ්නි ක්ලාක්ට යෝජනා කළා.

එම යෝජනාව පිළිගත් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් 1956දී මෙරට මාස කීපයක් ගවේෂණයට ආ සැටිත්, එය අවසානයේ දී මොවුන් දෙදෙනාම මෙරට පදිංචි වීමට තීරණය කළ සැටිත් ප්‍රකටයි.

L to R: Rodney Jonklaas, Mike Wilson & Arthur C Clarke, during their Ceylon expedition of 1956 [Photograph courtesy Arthur C Clarke Trust] More at http://arthurcclarke.org
1956-1970 පමණ වකවානුවේ ක්ලාක්ගේ මෙරට කිමිදුම් කටයුතු බොහොමයකට හවුල් වූ රොඩ්නි, මහා රාවනා කොටුව අසලින් මුහුදුබත් වූ නෞකාවකින් 1961 මාර්තුවේ රිදී කාසි සොයා ගැනීමටත්, 1962 රන්මුතු දූව චිත්‍රපටය නිපදවීමටත් ක්ලාක් හා විල්සන් සමග සමීපව ක්‍රියා කළා.

රොඩ්නි ජොන්ක්ලස් මා මුල් වරට හමු වූයේ 1984 අගදී. ‘කල්පනා’ සඟරාවට ‘සාගරය සහ මිනිසා’ නමින් කවරයේ කතාවක් ලිවීමට එහි කර්තෘ ගුණදාස ලියනගේ එවකට පාසල් සිසුන් වූ පාලිත ගුණවර්ධනට හා මට පවරා තිබුණා. එහි එක් ලිපියක් අප ලිව්වේ රොඩ්නි ගැනයි. ජාඇල පිහිටි ඔහුගේ නිවසේ අප වරුවක් ගත කළා.

රොඩ්නි ස්ට්‍රැටන් ලුඩොවිසි ජොන්ක්ලස් උපන්නේ 1925දී මහනුවර. ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනීම ලබන අතර මහනුවර උඩවත්ත කැලේ වැවක පිහිනන්නට උගත්තා. පසුව ඔහු ලේවැල්ලේදී මහවැලි ගෙඟ්ත්, නුවර වැවේත් පිහිනුවා.

ඒ අවධියේ නුවර වැවේ පිහිනීම තහනම් කර තිබුණා. මේ නිසා ඔරුවක් පැදගෙන නුවර වැව මැද්දට ගිය රොඩ්නි එය ඕනෑකමින් පෙරළා, ආපසු පීනාගෙන ගොඩට ආවාලු!

පිහිනීමෙන් පසු ඔහු යොමු වුණේ කිමිදීමට. ”මගේ මුල්ම කිමිදුම් අත්දැකීමත් හරියට සුරංගනා කතා වගේ…දවසක් මම නුවර වැව රවුම දිගේ ඇවිදගෙන යනකොට එක කාන්තාවක් වැව අද්දරට වෙලා බොහොම දුකෙන් කල්පනා කරමින් හිටියා. මොකද අහපුවම කිව්වේ ‘මගේ ඔරලෝසුව වැවට වැටුණා’ කියලයි. මම ඒ වෙලාවෙම වැවට පැනලා වැව පතුළට කිමිදීගෙන ගිහින් ඔරලෝසුව සෙව්වා. උඩට ආවේ ඇගේ ඔරලෝසුවත් සොයා ගෙනයි. මේ මුල්ම කිමිදුමට මට කිසිම බාහිර උපකරණයක් තිබුණේ නැහැ…”

එදා ඒ අහම්බෙන් සිදු කළ මුල්ම කිමිදුමෙන් පසු රොඩ්නි දිය යට ලෝකය කෙරෙහි නොබිඳුණු ආදරයකින් බැඳුණා.

”මම මුහුදේ පීනන්න ඉගෙන ගත්තේ 1940 ගණන්වල කොළඹ සරසවියට ඇතුල් වීමෙන් පස්සෙයි. මහනුවර ඉඳන් කොළඹ ආවාට පහුවදාම මම කොළඹ කින්රොස් පිහිනුම් සමාජයට බැඳුණා. ඒ කාලේ දැන් වගේ කිමිදුම් කට්ටල තිබුණේ නැහැ. ජෑම් ටින්වලට රබර් පටිවලින් වීදුරු හයි කරලා, තනිවම හදා ගත්ත කණ්ණාඩි දමා ගෙන මූද යටට පිහිනුවා. මොන දුෂ්කරතා තිබුණත් කිමිදුම්කරුවකු වීමේ අධිෂ්ඨානය අත හැරියේ නෑ!”

කොළඹ සරසවියේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භූගෝල විද්‍යාව හැදෑරු ඔහු ඉන් පිට වෙනවාත් සමගම දෙහිවල සත්වෝද්‍යානයට බැඳී, වසර 6ක් එහි සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළා. ඔහු එයින් ඉවත් වුණේ වැඩි නිදහසකින් යුක්තව කිමිදුම් කටයුතුවල යෙදෙන්නයි.

සම්පත් සීමිත ඒ කාලයේ රොඩ්නි මහත් උත්සාහයෙන් දිය යට හැම ශිල්ප ක්‍රමයක්ම උගත්තා. ”මයික් විල්සන් තමයි මට මුහුද යට ඡයාරූප ගැනීම හා චිත්‍රපට කැමරාකරණය ඉගැන්නුවේ” ඔහු සිහිපත් කළා.

Veteran spearfisherman Rodney Jonklaas in 1969 at Great Basses Reef. Photo by Rex Ian de Silva

විල්සන්, ක්ලාක්, ජොන්ක්ලස් ත්‍රිත්වය ලංකාවේ කිමිදුම් හා මුහුද යට ඡායාරූප ශිල්පයේ පුරෝගාමින්. අපේ සාගර යට විචිත්‍රත්වය අලලා නිපද වූ මුල්ම වාර්තා චිත්‍රපටය වූ Beneath the Seas of Ceylon (1958)  තැනුවේ මේ තිදෙනායි. කාලයාගේ ඇවෑමෙන් මෙහි එකදු පිටපතක්වත් ඉතිරි වී නැහැග

ලංකාවේ රූපගත කළ විදේශීය චිත්‍රපට ගණනාවකට තාක්ෂණික පැත්තෙන් සහය වූ රොඩ්නි 1962දී මෙරට නිෂ්පාදිත මුල්ම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ මුහුද යට දර්ශන රූපගත කළා.

”රන්මුතු දූව චිත්‍රපටයේ මම ගාමිණි ෆොන්සේකා එක්ක මුහුද යට සටන් කරනවා. ඊට පස්සේ සීතාදේවී හා වාලම්පූරිය චිත්‍රපටවලත් මුහුද යට දර්ශන රූපගත කළා. මේ හැරෙන්නට මම ඉන්දියාව, සිංගප්පූරුව, මාලදිවයින වැනි රටවල් ගණනාවක මුහුද යට ලෝකය ගැන මා සම්බන්ධ වූ වාර්තා චිත්‍රපටවලට ජාත්‍යන්තර ප්‍රසංසාව පවා හිමි වුණා.”

සත්තු වත්තෙන් ඉවත් වූ පසු මුතු බෙල්ලන් කැඩීමේ හා විසිතුරු මසුන් පිටරට යැවීමේ යෙදී සිටි රොඩ්නි කිසි විටෙකත් කිමිදීම අත් හැරියේ නැහැ.

මුහුද යට ලෝකය විසිතුරු මෙන්ම අන්තරාදායක ද බව ඔහු දැන සිටියා. ”මට අත්දැකීම් ගොඩක් තියනවා. එයින් වඩාත්ම රසවත් වෙන්නේ වඩාත්ම මරණයට කිට්ටු වුණු අවස්ථාවයි. වතාවක් මම ත්‍රිකුණාමලයේ කලපුවේ ගල්පර අසල කිමිදෙමින් ඉන්න කොට විශාල මෝරෙක් මාව හපා කන්න එළවාගෙන ආවා. මට මෝරත් එක්ක හරි හරියට පීනන්න පුළුවන් වුණේ නැහැ. ළඟ තිබුණු ගල් පරයකට මුවා වෙලා මම ඉනේ තිබුණ යකඩ කූරක් අතට ගත්තා. මෝරා හොඳටම ළං වුණාම ඒකෙන් ඌව තල්ලු කරලා දැම්මා. පුදුමයකට වගේ ඌ යන්න ගියා. මට තාමත් හිතෙන්නේ ඌ එදා මාව බොරුවට බය කළා කියලයි. ඕනෑ නම් මාව හපා කන්න ඌට ඉඩ තිබුණා….”

සාගරය ගැන ඔහුගේ සිතේ තිබුණේ බිය මුසු කනගාටුවක්. ජනගහනය වැඩි වීමත්, මිනිසාගේ අදූරදර්ශි ක්‍රියාත් නිසා සාගරය බෙහෙවින් දූෂණය වෙමින් ඇති බව ඔහු පෙන්වා දුන්නේ 1960 ගණන්වල පටන්මයි.

”යමක් කමක් කරන්නට පුළුවන් වූ දා ඉඳලා මිනිසා විසින් කළේ සාගරයෙන් හැකි තරම් පල නෙළා ගැනීම. අද වෙලා තියෙන්නේ අක්‍රමවත් ලෙස සාගර අස්වනු නෙළන්නට යාමෙන් ලොකු පිරිහීමක් ඇති වීමයි. මසුන් මරනවා කියන්නෙත් සාගර සම්පත් වැනසීමක්. ඒ කියන්නේ මාළු කන්න එපා කියන එක නොවෙයි. අපේ රටේ ධීවර කර්මාන්තය විශාල ජනතාවකගේ ජීවනෝපාය වී තිබෙනවා. මේ නිසා මෙය ක්‍රමවත්ව පාලනය කිරීම ලේසි නෑ. ටිකෙන් ටික වුණත් අපි මසුන් බෝ කිරීමේ පැත්තට හැරෙන්න ඕනෑ. ඒ වගේම ගැඹුරු මුහුදු ධීවර සම්පත් වඩා ප්‍රයෝජනයට ගත යුතුයි. අනෙත් අතට මාළු කියන්නේ එක් සමුද්‍ර සම්පතක් පමණයි. ඒ ගැන පමණක් සිතා කටයුතු කිරීම වැරදියි.”

අවුරුදු 35ක් තිස්සේ ලංකාව වටා ඇති සාගරයේ කිමිදීමේ යෙදී ඇති රොඩ්නි ජොන්ක්ලස් එම කාලය තුළ ඇති වී තිබෙන සාගර දූෂණය හොඳ හැටි දුටුවා.

”ලංකාව අවට මුහුදේ සිටින සතුන් හා ශාකවල පැවැත්මට තර්ජනයක් එල්ල කරන එක් සාධකයක් සාගර දූෂණය. අපි ඔක්කොම කැලිකසළ ගොඩ ගසන්න පුළුවන් අසීමිත ‘කුණු වළක්’ හැටියට සාගරය සලකන්නේ. අනෙක් අතට දූෂණය දැන් අභ්‍යන්තර (මිරිදිය) ජලාශවලටත් බලපානවා.”

”අද ලංකාවේ මුහුදුවල ඉන්න සමුද්‍ර ජීවීන් වඳ වී යන්නට පටන් අරන්. මුහුදු ඌරා (Dugong) වඳ වී යාමේ තර්ජනයට බෙහෙවින් ලක් වූ සතෙක්. ඩොල්පින්, කැස්බෑවන්, පොකිරිස්සන් වර්ග නීතියෙන් ආරක්ෂිත සතුන් වුවත් මසුන් මරන්නන්ගේ දැල්වලට හසු වෙනවා. බොහෝ විට මෙය ධීවරයන් වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. ක්‍රමවත්ව පාලනය කරන සමුද්‍ර අභයස්ථාන (Marine Sanctuaries) අවශ්‍ය මේ නිසයි. විනාශ වී ගෙන යන සමුද්‍ර ජීවී සම්පත් බේරා ගන්නට තවමත් ඉඩ තිබෙනවා.”

ඔහු මේ ටික කීවේ මීට 34 වසරකට පෙර. ඔහු මිය ගොස් දශක තුනක් ගෙවීමට ආසන්න මේ වන විට තත්ත්වය තවත් උග්‍ර වෙලා. දේශගුණ විපර්යාසත් දැන් සාගර පරිසරයට පීඩන වැඩි කරනවා.

Rex Ian de Silva, diver and naturalist who was mentored by Rodney Jonklaas [Photo by Nalaka Gunawardene]
දැනට මෙරට සිිටින ප්‍රවීණතම කිමිදුම්කරුවකු වන රෙක්ස් ඉයන් ද සිල්වා මෙරට කිමිදුම් ඉතිහාසය ලේඛනගත කරමින් සිටිනවා. ඔහු දිගු කලක් තිස්සේ රොඩ්නි සමීපව ඇසුරු කළ අයෙක්.

ඔහු රොඩ්නි සිහිපත් කරන්නේ බහුවිධ හැකියාවක් තිබූ, බොහෝ දේට දක්ෂ වූ අසාමාන්‍ය චරිතයක් ලෙසයි. ”මුහුදු ජීවීන් ගැන පුළුල් ප්‍රායෝගික දැනුමක් තිබූ ඔහු විසිතුරු මසුන් මෙන්ම විසිතුරු පැලෑටි ගැනත් බොහෝ සෙයින් අධ්‍යයනය කළා. ඉලක්කයට වෙඩි තබන්න, සංගීතයට, ලේඛන කලාවට මෙන්ම විනෝදකාමී ලෙස කතා කියන්නත් අති සමතෙක්.”

එසේ වුවද රොඩ්නිගේ චරිතයේ යම් පරස්පරයක් ද තිබූ බව රෙක්ස් කියනවා.

”එක් අතකින් රොඩ්නි නිර්ව්‍යාජ සංරක්ෂණවේදියෙක්. මෙරට මසුන් ඇල්ලීමට ඩයිනමයිට් භාවිතයට එරෙහිව ආතර් සී. ක්ලාක් සමග එක්ව ඔහු දිගටම උද්ඝෝෂණ කළා. එසේම කොරල් කඩා හුණුගල් ලෙස පිළිස්සීමට එරෙහිව මේ දෙදෙනා වසර ගණනක් ගෙන ගිය සංරක්ෂණ අරගලය අන්තිමේදී සාර්ථක වුණා. මන්නාරමේ බොක්කේ ඉතිරිව සිටින මුහුදු ඌරන් රැක ගන්නට රොඩ්නි හඬ නැගුවා.”

අනෙක් අතට රොඩ්නි කිමිදුම්කරුවකු ලෙස දිය යට හෙල්ලකින් ඇන මසුන් මැරීමේ සමතෙකු වූ බව රෙක්ස් සිහිපත් කරනවා. දැල් නොමැතිව, තනි තනිව මුහුද යට මසුන් ඇල්ලීමට ජාත්‍යන්තරව පනවා ඇති මාර්ගෝපදේශවලට අනුකූලව ඔහු මෙය කළ බවත්, ඉන්දියානු සාගර කලාපයේම කිමිදුම්කරුවන් අතර හොඳම ඉලක්කයක් තිබූ බවක් රෙක්ස් කියනවා.

වරක් යම් කිසිවකු රොඩ්නිගෙන් විමසා ඇත්තේ ”ඔබ සංරක්ෂණයට වැඩ කරන අතර මසුන් මරන්නේ ඇයි?” කියාය. රොඩ්නිගේ උත්තරය,”ඔබ මාළු කනවාද? මාළු ඔබට කෑමට නම් කවරකු හෝ මාළු ඇල්ලිය යුතුයි. මාළු අනුභව කරන කිසිවකුටත් මාළු ඇල්ලීම ගැන විවේචනය කළ නොහැකියි.”

රොඩ්නිට මාළු පිළිබඳව හොඳ ඇසක් හා තීක්ෂණ දැනුමක් තිබුණා. අපේ දූපත අවට මුහුදේ මත්ස්‍ය විශේෂ ගණනාවක් මුල් වරට හඳුනා ගත්තේ ඔහුයි. මුහුදු සර්පයන් ගැන ඔහු විශේෂ උනන්දුවක් දැක්වූවා. රෙක්ස් කියන හැටියට, ”අපේ මුහුදුවල සිටින මුහුදු සර්ප විශේෂ හැම එකක්ම විෂ සහිතයි. එහෙත් ආක්‍රමණශීලී නැහැ. මේ බව තේරුම් ගත් රොඩ්නි, අවදානමකින් තොරව ඔවුන්ට සමීප වෙමින් දිය යටදී ඔවුන් අධ්‍යයනය කළා.”

රොඩ්නි සිය දැනුම පොත් කිහිපයකට ගොනු කළත් ඔහුට තවත් බොහෝ දේ ලිවිය හැකිව තිබූ බව රෙක්ස්ගේ අදහසයි.

”රොඩ්නි කිමිදුම්කරුවකු ලෙස වාණිජමය වැඩත් කළා. මේ නිසා ශාස්ත්‍රීය හෝ විද්‍යා පොත පත ලියන්නට කාලය සීමිත බව ඔහු මට කීවා. 1980 ගණන්වල මෙරට මුහුදු මෝරුන් පිළිබඳ විස්තරාත්මක හා රූපමය පොතක් ලිවීම මා ආරම්භ කළ විට එයට බොහෝ සෙයින් උපකාර කර මා දිරි ගැන්වූවා” රෙක්ස් කියනවා.

රොඩ්නි මිරිදිය මසුන් ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් මිරිදිය මසුන් විශේෂ දෙකක් නම් කර තිබෙනවා.

රොඩ්නිගේ දහස් ගණනක් කිමිදුම් චාරිකා අතරින් රෙක්ස් වඩාත් සුවිශේෂී ලෙස සලකන්නේ 1942දී ජපන් ගුවන් හමුදා ප්‍රහාරයකට ලක්ව අපේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදුබත් වූ හර්මිස් නම් බ්‍රිතාන්‍ය යුද්ධ නැවේ පිහිටීම සොයා ගැනීමයි.

එම නැවේ කතාවත්, 1967දී රොඩ්නි ජොන්ක්ලස් මහත් උත්සාහයෙන් එය මුහුදු පත්ලේ සොයා ගැනීමත් වෙනම කිව යුතුයි.

See also previous columns:

සිවුමංසල කොලූගැටයා #194: මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව – Part 1

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

Imagine and Innovate to celebrate Sir Arthur C Clarke!

When Steven Spielberg (left) and Harrison Ford (middle) visited Arthur C Clarke in Colombo during filming of Indiana Jones and the Temple of Doom in Sri Lanka, 1983 - Photo owned by Arthur Clarke Estate
When Steven Spielberg (left) and Harrison Ford (middle) visited Arthur C Clarke in Colombo during filming of Indiana Jones and the Temple of Doom in Sri Lanka, 1983 – Photo owned by Arthur Clarke Estate

19 March 2015 marks seven years since Sir Arthur C Clarke passed away.

In the weeks and months following Sir Arthur’s death, many asked me what kind of monument was being planned in his memory. As far as the Arthur C Clarke Estate is concerned, there is none –- and that seems to surprise many.

Yet it was fully consistent with the man of ideas, imagination and dreams that Sir Arthur Clarke was. Monuments of brick and mortar — or even of steel and silicon — seem superfluous for a writer who stretched the minds of millions. Commemorative lectures or volumes cannot begin to capture the spirit and energy of the visionary who left behind a rich collection of books, papers and ideas.

Photo courtesy ORBIT '15 event organisers
Photo courtesy ORBIT ’15 event organisers

Imagine and innovate to honour Sir Arthur C Clarke! That was the theme of a tribute I wrote on the first death anniversary.

Speaking at ORBIT’15 astronomy event last week in Colombo, organised by the Astronomy & Space Science Association of D S Senanayake College, Colombo, I reiterated this point. Here are the most relevant slides from my talk:

From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene
From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene
From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene
From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene

 

Full PowerPoint:

 

 

 

 

 

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

In this week’s Ravaya column (in Sinhala), published on 30 November 2014, I continue the story of a group of divers accidentally discovering a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, along with collaborators Arthur C Clarke, Rodney Jonklaas and Hector Ekanayake.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

Treasure of the Great Reef, by Arthur C Clarke, 1964
Treasure of the Great Reef, by Arthur C Clarke, 1964

ශ‍්‍රී ලංකා දුපතට ගිණිකොන දෙසින් කිලෝමීටර් 10 ක් පමණ ඔබ්බෙන් පිහිටි මහා රාවණා කොටුව නම් ගල්පරය අවට මුහුදුබත් වී බිඳී ගිය නැවක් 1961 මාර්තුවේදී සොයා ගත් කථාවේ මුල් කොටස අප 2014 නොවැම්බර් 16 වනදා ඉදිරිපත් කළා.

මෙරට පුරෝගාමී කිමිදුම් හා සාගර ගවේෂකයන් අතර වූ රොඞ්නි ජොන්ක්ලස්, හෙක්ටර් ඒකනායක, මයික් විල්සන් හා ආතර් සී ක්ලාක් සම්බන්ධ වූ මේ ගවේෂණය මෙරට මුහුදු පුරාවිද්‍යාවේ ද ආරම්භයයි. අද එහි ඉතිරි කොටස.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි රිදී කාසි දහස් ගණණක් හමු වුණා. මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් විල්සන්, ක්ලාක් හා කිමිදුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

මුහුදුබත් වූ නැවක් කාලයාගේ ඇවෑමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වනවා. කඩදාසි, රෙදි හා ලෝහවලින් තැනූ දේ දිරාපත්ව යනවා. මේ නිසා එබන්දක නිශ්චිත අනන්‍යතාවය නිර්ණය කිරීම අසීරු කාරියක්. කාසි සමීපව නිරික්සීමේදී පෙනී ගියේ ඒවා එකම අච්චුවේ බවයි. හැම එකකම සළකුණු හතරක් තිබුණා.

පසුව හඳුනාගනු ලැබුවේ ඒවා අරාබි ඉලක්කම් වලින් 1113 සංකේතවත් කරන බවයි. මේ කාසි නිපද වූ වර්ෂයද? අරාබි කැලැන්ඩරයේ වසර ගණන් කිරීම ඇරඹෙන්නේ ක‍්‍රි. ව. 622න්. එසේම අරාබි වර්ෂ හා සම්මත වර්ෂ අතර යම් වෙනසක් ද තිබෙනවා. මේ සියළු සාධක සැළකිල්ලට ගෙන ගණන් බැලූ විට 1113 යනු සම්මත (කි‍්‍රස්තු) වර්ෂ 1702 බව පෙනී ගියා.

Aurangzeb seated on the Peacock Throne
Aurangzeb seated on the Peacock Throne

කාසි ඉතිහාසඥයන් කීවේ මෙබඳු කාසි තැනීම කෙරුණේ 1658-1707 වකවානුවේ ඉන්දියාවේ සුරත් නගරයේදී බවයි. ඒ භාරතයේ වැඩි ප‍්‍රදේශයක පාලකයා වූ ඔරංසෙබ් (Aurangzeb) නම් මෝගල් අධිරාජයාගේ කාලයේ.

ඔරංසෙබ් අධිරාජයා වසර 49ක් සිහසුනේ සිටියා. ඔහු මෝගල් රාජ වංශිකයන් අතර නමක් ගත් අවසාන අධිරාජයායි. ඔහුගේ පියා ෂා ජහාන් ඉතිහාසගත වූයේ අඩු වයසින් මියය ගිය මුම්ටාස් මහාල් දේවිය වෙනුවෙන් ටාජ් මහලය ඉදිකිරීම නිසායි. මුම්ටාස් මහාල් ඔරංසෙබ්ගේ මවයි.

දැඩි ඉස්ලාමීය පාලනයක් සමස්ත භාරත ජනයා මත බලෙන් පැටවූ ඔරංසෙබ්ගේ මරණයෙන් පසු ජන විරෝධයන් මතු වී මෝගල් අධිරාජ්‍යය ඉක්මනින් බිඳ වැටුණා. කුඩා ප‍්‍රාන්ත රාජ්‍ය ලෙස බෙදී ඇණ කොටා ගත් භාරතය ආක‍්‍රමණය කොට අන්තිමේදී යටත් කර ගැනීමට බටහිර ජාතීන්ට වඩාත් පහසු වුණා.

ඔරංසෙබ්ගේ පාලන කාලයේ නැගෙනහිර ඉන්දීය සමාගම යටතේ බි‍්‍රතාන්‍ය වෙළඳුන් ඉන්දියාවේ ගනුදෙනු කරමින් සිටියා. භාරතය හා යුරෝපීය රාජ්‍ය අතර ජාත්‍යන්තර වෙළඳාම කලෙක සිට කෙරුණු අතර ඒ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යයට ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතිකයෝ තරග කරමින් සිටියා.

1702 වන විට ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කළේ ලන්දේසින්. ඔවුන්ට සම්බන්ධ වූ ඕලන්ද ඉන්දියා සමාගමක් ද තිබුණා. ඉන්දියාව හා ලංකාව අතර මේ කාලය වන විට නාවුක සබඳතා පැවතියේ ලන්දේසින් හරහායි.

මහා රාවණා කොරල්පරයේ මුහුදුබත් වූ නැව, ලංකාවට ආ ගිය නැවක් ද? නැතහොත් දුපත වටා යාත‍්‍රා කරමින් ඉන්දියාවේ සිට පැමිණි හෝ නික්ම ගිය නැවක්ද? මේ ප‍්‍රශ්නය අපේ සාගර ගවේෂකයෝ මතු කළා.

තමන් මුහුදුපත්ලෙන් සොයා ගත් වස්තුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන අතර රටේ නීතියට අනුකූල වන්නට ද ඔවුන් වග බලා ගත්තා. ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට කාසි හා අන් වස්තූන් පෙන්වූ විට ඔහු කීවේ මේවා මුහුදෙන් රට තුළට ගෙන ඒම හරහා කිසිදු නීතියක් හෝ රෙකුලාසියක් කඩ වී නැති බවයි.

Dr Charles E Godakumbura
Dr Charles E Godakumbura

ඊලඟට ක්ලාක් හා මිතුරෝ එවකට සිටි පුරාවිද්‍යා කොමාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරට සියළු දේ ඉදිරිපත් කළා. මේවා සොයා ගත් මුහුදුපත්ලේ ප‍්‍රදේශය තව දුරටත් ගවේෂණයට අවශ්‍ය අවසරය කොමාරිස්වරයා ඔවුන්ට ලිඛිත බලපත‍්‍රයක් ලෙස ලබා දුන්නා. ‘‘හැම දෙයක්ම පොතේ හැටියට කිරීමටත්, බලධාරින් දැනුවත් කර තිබීමටත් අපට අවශ්‍ය වුණා’’ යයි ක්ලාක් තම පොත්වල පැහැදිලිව ලියා තිබෙනවා.

වඩාත් සංවිධානාත්මක කිමිදුම් ගවේෂණයකට මහා රාවණා කොරල්පරයට ආපසු යන්නට මේ මිතුරු පිරිසට තමන්ගේම බෝට්ටුවක ඕනෑකම තදින් දැනුණා. (මේ දක්වා ඔවුන් කළේ කුලියට ගත් කුඩා බෝට්ටුවක හෝ ප‍්‍රදීපාගාරයක බෝට්ටුවේ ගමන් කිරීමයි.) ඒ සඳහා ගැලපෙන බෝට්ටුවකට අඩු තරමින් අමෙරිකානු ඩොලර් දස දහසක් (10,000)වත් අවශ්‍ය වුණා. මේ මුදල හම්බකර ගැනීමේ අරමුණින් සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීමට මයිකල් විල්සන් යෝජනා කළා.

දිය යට දර්ශන රැගත් මුල්ම ලාංකික වෘතාන්ත චිත‍්‍රපටය වූත්, වර්ණයෙන් මුළුමනින්ම තැනුනු පළමුවන සිංහල චිත‍්‍රපටය වූත් ‘‘රන්මුතුදුව’’ චිත‍්‍රපටය 1961-62 වකවානුවේ නිපදවනු ලැබුවේ ඒ අනුවයි. එහි කථා රචකයා, කැමරාකරුවා හා අධ්‍යක්‍ෂවරයා වූයේ මයික් විල්සන්. එයට වැය වූ වියදමෙන් කොටසක් දුන්නේ ක්ලාක්.

1962 අගෝස්තුවේ මුල් වරට මහජන ප‍්‍රදර්ශනය ඇරඹුණු රන්මුතුදුව බෙහෙවින් ජනප‍්‍රිය වුණා. එහි ආදායම් වාර්තාව වසර ගණනාවක් යන තුරු කිසිදු චිත‍්‍රපටයක් මගින් සම කෙරුණේ නැහැ. මේ ආයෝජනයෙන් ලැබුණු ලාබය නිසා තමන්ට ඕනෑ වූ බෝට්ටුව මිලට ගන්නත්, 1963දී මහා රාවණා කොරල්පරයට ආපසු යන්නත් මිතුරන්ට හැකි වුණා.

Peter Throckmorton
Peter Throckmorton

මෙවර ගවේෂණයට ඔවුන් හා එකතු වූයේ මුහුදුබත් වූ නෞකා ගවේෂණයේ විශේෂඥයකු වූ පීටර් ත්‍රොක්මෝට්න් (Peter Throckmorton, 1928-1990) තුර්කි වෙරළේ ගෙලිඩොන්යා ස්ථානයට ඔබ්බෙන් වසර 3,200කට පෙර මුහුදුබත් වූ ඉපැරණී නෞකාවක් ගවේෂණය කිරීම නිසා ඔහු ලෝක ප‍්‍රකටව සිටියා.

ඔහු විශේෂඥ මග පෙන්වීම යටතේ මෙවර මුහුදුබත් වූ නැවේ ඉතිරිව තිබූ ලී කොටස්වලින් සාම්පල් ද තවත් නටඹුන් ද ප‍්‍රවේශමින් එකතු කරනු ලැබුවා. කොරල් බැඳීම නිසා කුට්ටි බවට පත්ව තිබූ තවත් රිදී කාසි රැසක් ද හමු වුණා.

සියවස් ගණනක් මුහුද යට තිබී යළිත් මතු පිටට ගෙනෙන ලෝහමය, ලී හා වෙනත් ද්‍රව්‍ය නිසි ලෙස වහා සංරක්‍ෂණය කළ යුතුයි. නැතිනම් වාතයට නිරාවරණය වීම නිසා ඒවා ඉක්මනින් ඛාදනය වී විනාශ වනවා. මේ නිසි පියවර ගැනීමට ත්‍රොක්මෝට්න් සමත් වුණා.

Dr P E P Deraniyagala
Dr P E P Deraniyagala

එසේම සොයා ගත් සියළු වස්තුන් විස්තරාත්මකව ලයිස්තුගත කිරීම හා ඡායාරූපගත කිරීමත්, පසුව සමස්ත ගවේෂණය ගැන ශාස්ත‍්‍රීය මට්ටමේ වාර්තාවක් ලිවීමත් ත්‍රොක්මෝට්න්ගේ මූලිකත්වයෙන් සිදු වුණා.

ත්‍රොක්මෝට්න් ලංකාවෙන් පිටත්ව යන්නට පෙර කිමිදුම් කණ්ඩායම තම සොයා ගැනීම් සමග ජාතික කෞතුකාගාරයේ එවකට අධ්‍යක්‍ෂ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල හා පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මුණ ගැසී වාචික වාර්තාවක් ද ඉදිරිපත් කළා.

‘‘අපේ අපේක්‍ෂාව මේ සොයා ගත් සමුද්‍ර පුරාවස්තු යම් දිනෙක කොළඹ කෞතුකාගාරයේ සදාකාලික ප‍්‍රදර්ශනයට තබනු ඇත කියායි. මුළු ඉන්දියානු සාගරයේම සොයා ගත් මුල්ම නිධාන නෞකාව ලෙස මෙය සුවිශේෂී තැනක් ගන්නවා’’ යයි ක්ලාක් සිය 1964 පොතේ ලියා තැබුවා.

1963 රන්මුතු බෝට්ටුවේ නැගී මහා රාවණා කොරල්පරය අවට මුහුද ගවේෂණය කළ පසු මේ පුරෝගාමී කිමිදුම්කරුවන් කණ්ඩායමක් ලෙස නැවත එහි ගියේ නැහැ. මේ ගවේෂණයේ විස්තර රැගත් ක්ලාක්ගේ The Treasure of the Great Reef නම් වූ පොත 1964දී මුල්වරටත් (වැඩි ඡායාරූප සමග) 1974දී දෙවන වරටත් ඉංග‍්‍රීසියෙන් පළ වුණා.

මහා රාවණා කොරල්පරයේ මුහුදු බත් වූ නැව හමුවන අන්දම ගැන පීටර් ත්‍රොක්මෝටන් විසින් අඳින ලද සිතියම් ද එහි තිබෙනවා. මේ ඉඟි ඔස්සේ පසු කළෙක එහි කිමිදීමේ ගිය දෙස් විදෙස් කිමිදුම්කරුවෝ හැකි අන්දමින් රිදී කාසි හා වෙනත් නැවේ තිබූ කුඩා භාණ්ඩ සොයා ගොඩබිමට ගෙන ආවා.

එසේ හමු වූ සමහර රිදී කාසි තවමත් පැරණි කාසි එකතු කරන අය අතර හුවමාරු වනවා. ශ‍්‍රී ලංකා පැරණි කාසි සංගමයේ සභාපති ආචාර්ය කාවන් රත්නතුංග ද විවෘත වෙළඳපොලෙන් මෙබඳු කාසි කිහිපයක් මිලට ගෙන තිබෙනවා. කාසි ගැන ඡායාරූප හා විස්තර ඔහුගේ වෙබ් අඩවියේ බලා ගත හැකියි. http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

සුරත් නගරයේ තැනූ රිදී කාසි ගැන ඉන්දියානු වාර්තා අධ්‍යයනයෙන් කාවන් කියන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැවේ ගෙන ගිය කාසි 1702 මැයි මාසයේ පමණ තනන්නට ඇති බවයි. එසේ නම් ඒවා තනා සති කිහිපයක් තුළ යම් තැනකට යැවීමට නැව් ගත කරන්නට ඇති. නැව අනතුරට පත්ව ගිලූණේ 1702 වසරේම මැද හෝ අග යයි කාවන් අනුමාන කරනවා.

ශ‍්‍රී ලංකාවේ මුහුදු පුරා විද්‍යා ගවේෂණ ඇරැඹෙන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැව ක්ලාක්, විල්සන් ඇතුළු කිමිදුම්කරුවන් සොයා ගැනීම සමගයි. මෙය තනිකරම පෞද්ගලික මට්ටමේ උත්සාහයක් වුවත් විශේෂඥ පීටර් ත්‍රොක්මෝටන් සම්බන්ධ කර ගැනීම හරහා ශාස්ත‍්‍රීය මට්ටමෙන් අදාල ස්ථානය සිතියම්ගත කිරීම හා ලේඛණගත කිරීම සිදු වුණා. මේ පුරෝගාමී මෙහෙවර මෙරට මුහුදු පුරා විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ දැන් නියැලී සිටින පර්යේෂකයන් සිහිපත් කරනවා. අදාල රාජ්‍ය ආයතනවල නිල වෙබ් අඩවිවල ද සඳහන් කැරෙනවා.

බිඳුණු නැව සොයා ගෙන අඩ සියවසකට පසුවත් එහි අනන්‍යතාවය තවමත් හෙළිදරව් වී නැහැ. ඉන්දියානු සාගරයේ එම වකවානුවේ සැළකිය යුතු තරමින් නැව් ගමනාගමනයක් පැවතුණා. එසේම ශ‍්‍රී ලංකා දුපත වටා අනතුරට පත්ව මුහුදුබත් වූ නැව් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම එකක්ම මුහුදුපත්ලේ තිබෙන තැන සොයාගෙන ඒවායේ ඉතිහාසය තහවුරු කර ගෙන ද නැහැ. තවමත් දශක දෙක තුනකට නොවැඩි වූ ඉතිහාසයක් ඇති අපේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලට අනාවරණය කර ගන්නට බොහෝ දේ තිබෙනවා.

මේ මුහුදුබත්වූ නැව සොයා ගත්තේ තනිකරම මයික්ගේ තීක්‍ෂණ ඇස නිසා බව ක්ලාක් කියනවා. ‘‘දිය යට පෙනුම කොහොමටත් සීමිතයි. දිලිසෙන යමක් නෙත ගැටුණු මයික්ගේ කුතුහලය ඇවිස්සුණා. එය නොගැඹුරු මුහුදු පත්ලේ කුඩා කාලතුවක්කුවක් බව දුටු විට එතැන නැවක් ගිලී ඇති බව ඔහු සැනෙකින් වටහා ගත්තා. වැලි හා කොරල් වලින් වැසුණු ගොඩැලි කිහිපයක් පමණක් තිබූ මෙබඳු තැනක් කිමිදුම්කරුවන්ගෙන් සියයට 99ක අවධානයට ලක් වන්නේ නැහැ.’’

Coins from the Great Basses shipwreck
Coins from the Great Basses shipwreck

සමස්ත අත්දැකීම පසු කලෙක ආවර්ජනය කරමින් ක්ලාක් මෙසේ ලියුවා. ‘‘මුහුදේ කිමිදෙන බොහෝ දෙනකුට මුහුදුබත් වූ නැවක් හමුවේය යන පැතුම තිබෙනවා. ඉඳහිට කිමිදුම්කරුවකුට මෙතෙක් සොයා නොගත් එබඳු බිඳුණු නැවක් හමු වුවත් එබන්දක රන් රිදී කාසි තිබෙන්නේ කලාතුරකින්. මෙබඳු දුර්ලභ අත්දැකීමක් අපට අහම්බෙන් ලැබුණා.’’

මේ බිඳුණු නැවෙන් ගොඩගත් එක් රීදී කාසි ගොනුවක් මෙරට බලධාරින්ගෙ අනුදැනුම හා අවසරය ඇතිව 1960 ගණන්වලදී ක්ලාක් විසින් අමෙරිකානු ස්මිත්සෝනියන් කෞතුකාගරයට පරිත්‍යාග කරනු ලැබුවා. එය කලක් එහි මහජන ප‍්‍රදර්ශනයට තැබුණු අතර දැන් සුරක්‍ෂිතව ගබඩා කර තිබෙනවා. පර්යේෂකයන්ට නිරික්සිය හැකි පරිදි.

මේ කාසි තොගය යළි මෙරට ගෙන ආ යුතු යැයි ඇතැම් දෙනා කියතත් කාවන් රත්නතුංග අවධාරණය කරන්නේ ස්මිත්සෝනියන් වැනි ආරක්‍ෂිත තැනකම එය දිගටම තිබීම වඩාත් උචිත බවයි. (කෞතුකගාරවල දැනට තියෙන අපේ වටිනා කෞතුක වස්තු පවා රැක ගන්නට බැරි පසුබිමක් තුළ මෙය සාධාරණ තර්කයක්.)

ගවේෂණයට හවුල් වූ කිමිදුම්කරුවන්ගෙන් අද (2014 නොවැම්බර්) වන විට ජීවත්ව සිටින්නේ හෙක්ටර් ඒකනායක පමණයි. රොඞ්නි ජොන්ක්ලාස් 1989දීත්, මයික් විල්සන් 1996දීත්, ආතර් සී. ක්ලාක් 2008දීත් මිය ගියා. ඔවුන් එක් අයකුටවත් බිඳුනු නැවේ අනන්‍යතාවය දැන ගන්නට ලැබුණේ නැහැ.

1960 දශකයට වඩා මේ වන විට මුහුදු පුරාවස්තු ගැන අවබෝධයක් හා ඇගයීමක් මෙරට ඇති වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ගොඩබිම ගවේෂණයට පමණක් සීමාවී තිබූ අපේ පුරාවිද්‍යා පර්යේෂණ 1980 දශකයේ පටන් මුහුදු පුරාවිද්‍යාත්මක අධ්‍යයනට හා සංර්ක්‍ෂණයට ද යොමුවී තිබෙනවා. මෙය සිදු වූ හැටි වෙනම කථා කළ යුතුයි.

See also:

Ceylon and the Underwater Archaeologist. By Arthur C. Clarke May 1964 University of Pennsylvania Museum.

The Maritime Archaeology Unit (MAU), Central Cultural Fund, Sri Lanka

Sri Lanka Coastguard: What is Maritime Archaeology?

Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.
Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.

සිවුමංසල කොලූගැටයා #194: මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව – Part 1

In this week’s Ravaya column (in Sinhala), published on 16 November 2014, I recount how a group of divers accidentally discovered a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, who had settled down in Ceylon in 1956 at the same time as his collaborator Arthur C Clarke.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

L to R - Arthur C Clarke, Mike Wilson
L to R – Arthur C Clarke, Mike Wilson

වසර 52ක් තිස්සේ (1956 – 2008) ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි, මෙරටට මහත් සේ ඇලූම් කළ ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන දේශාටන පොත් කිහිපයක් රචනා කළා. මේ පොත්වල අන්තර්ගතය වූයේ දුපත් තුළත්, එය අවට මුහුදේත් ක්ලාක් හා ඔහුගේ මිතුරන් කළ ගවේෂණ ගැන අත්දැකීම් හා ඡුායාරූපයි. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවකු වූ ක්ලාක් ලියූ මේ පොත් ගැන මෙරට ඉංග‍්‍රීසි පාඨකයන් පවා එතරම් දැනුවත් නැහැ. මෑතක් වන තුරු මේ පොත් සිංහලට පෙරළී තිබුණේ ද නැහැ.

කල් ගත වී හෝ මේ හිදැස පුරවන්නට මනෝ ප‍්‍රනාන්දු ලේඛකයා ඉදිරිපත් වී සිටිනවා. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන ලියූ මුල් ම චාරිකා ග‍්‍රන්ථය වූ The Reefs of Taprobane (1957) ඔහු 2011දී ‘ලක්දිව සාගර පත්ල’ නමින් පරිවර්තනය කළා. එයට ලැබුණු පාඨක ප‍්‍රතිචාර යහපත් වූ බැවින් 1964දී ක්ලාක් ලියූ The Treasure of the Great Reef නම් වූ පොත ‘‘මහා ගල්වැටි පරයේ මුහුදුබත් නිධානය’’ නමින් දැන් ඔහු සිංහලට පෙරළා තිබෙනවා. මේ දෙකම සූරිය ප‍්‍රකාශනයි.

බි‍්‍රතාන්‍ය ජාතික ආතර් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් යන දෙදෙනාම 1956දී මාස කිහිහිපයක් මෙරට අවට මුහුද ගවේෂණය කරන්නට පැමිණ පසුව මෙහි පදිංචි වූවා. ඔවුන්ගේ මුල් ම ලාංකික මිතුරන් වූයේත් කිමිදීමට හා මුහුදට ඇලූම් කළ කිහිප දෙනෙක්. ඒ අය අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලස් හා බොක්සිං ක‍්‍රීඩක හෙක්ටර් ඒකනායක මුල් තැන ගත්තා.

මයිකල් විල්සන් කිමිදීමට, දිය යට ඡායාරූප ගැනීමට හා දිය යට චිත‍්‍රපට රූපගත කිරීමට හැකියාව තිබූ බෙහෙවින් නිර්මාණශීලී කෙනෙක්. ඇත්තට ම ක්ලාක්ට කිමිදීමේ වටිනාකම පෙන්වා දී එයට යොමු කළේත් මයික්. මේ දෙදෙනා ලංකාවට එන්නට කලින් ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ (Great Barrier Reef) මාස කිහිපයක් කිමිදෙමින් ගවේෂණය කර තිබුණා.

ලංකාව අවට මුහුදු බොහොමයක් 1950 දශකය මැද වන විටත් කිසිවකු ගවේෂණය කර තිබුණේ නැහැ. දිය යට කිමිදීමේ තාක්‍ෂණය (aqua-lung) නිපදවනු ලැබුවේ 1946දී බැවින් එය බොහෝ පිහිනුම් දක්‍ෂයන්ට පවා තවමත් අළුත් හා ආගන්තුක වුණා. ඒ දක්වා දිය යට විනාඩි කිහිපයකට වඩා හුස්ම අල්ලාගෙන ගත කළ නොහැකි වූ බැවින් දිය යට ගවේෂණය කර තිබුණේ ඉතා සීමිතව වෙරළාසන්න නොගැඹුරු මුහුදුවල පමණයි. (මන්නාරමේ සාම්ප‍්‍රදායික මුතු කිමිදෙන්නෝ කළේ හුස්ම අල්ලා ගෙන දිය යට යාමයි.)

ලංකා මුහුදු වෙරළෙන් ඔබ්බෙහි විවිධ තැන්වල මේ මිතුරන් කිමිදුනත් ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළ දෙතැනක් තිබුණා. එකක් ත‍්‍රිකූණාමලය කලපුව. දෙවැන්න දකුණු දිග වෙරළේ කිරින්දෙන් කිලෝමීටර් 10ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) නම් මුහුදු ගල් පර්වතය හා එයට ආසන්න කොරල් (හිරිගල්) පරයයි.

කිමිදුම්කරුවන් කොරල්පර ගවේෂණයට කැමතියි. නොගැඹුරු මුහුදේ වැඩෙන කොරල්පර අතර විචිත‍්‍ර මසුන් හා වෙනත් සමුද්‍ර ජීවීන් රැසක් හමු වනවා. ජෛව විවිධත්වයෙන් ඉහළ නිසා කොරල්පර මහ මුහුදේ වර්ෂා වනාන්තර ලෙස ද හඳුන් වනවා.

Great Basses and Litle Basses Map - courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com
Great Basses and Little Basses Map – courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com

ක්ලාක් සහ මිතුරන් මුල් වරට මහා රාවණා කොටුව අවට කොරල්පරයට ගියේ 1958දී. මහා රාවණා කොටුවේත්, එයට කි.මි කිහිපයක් නැගෙනහිරින් පිහිටි කුඩා රාවණා කොටුවේත් (Little Basses Reef) බි‍්‍රතාන්‍ය පාලන කාලයේ ගොඩනැංවූ ප‍්‍රදීපාගාර දෙකක් තිබෙනවා. මේ අසලින් දිවෙන ප‍්‍රධාන නැව් මාර්ගයක් තිබෙන නිසාත්, ගල් පර්වත සහිත මේ මුහුදු තීරයේ ඉතිහාසය මුළුල්ලේ නැව් මුහුදුබත් වී ඇති නිසාත් මේ ප‍්‍රදීපාගාර නැව් ගමනාගමනයට තීරණාත්මක මෙහෙවරක් ඉටු කරනවා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1867දී බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ සැළසුම් කර කළුගලින් කොටස් වශයෙන් තනනු ලැබුවා. ඉනික්බිති මේ කොටස් නැව් මගින් කිමී දහස් ගණනක් දුර ගෙවා ගෙන ආවා. මේ ගමනේදී හානි වූයේ කොටස් දහස් ගණනක් අතරින් එකම එකක් පමණයි.

ගාල්ලට නැවෙන් ගෙනා ප‍්‍රදීපාගාර කොටස් කුඩා බෝට්ටු මගින් ගෙන ගොස් මහා රාවණා කොටුවේ අටවනු ලැබුවා. ප‍්‍රදීපාර ආලෝකය සැළසුම් කළේ එම සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම බි‍්‍රතාන්‍ය විද්‍යාඥයකු වූ මයිකල් ෆැරඬේ විසින්. විදුලිබලය පිළිබඳ ඔහු කළ සොයා ගැනීම් මානව ශිෂ්ටාචාරය වෙනස් කළා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1873 මාර්තු 10 වනදා විවෘත කළා. එදා පටන් දිගටම සේවයේ නියුතු මෙය ලෝකයේ ප‍්‍රකට (වඩාත්) ප‍්‍ර‍්‍රදීපාගාර අතරින් එකක්.

මේ ප‍්‍රදීපාගාරයට හා අසල ඇති කොරළ් පරයට ලඟා විය හැක්කේ වසරේ සීමිත සති කිහිපයක් තුළ පමණයි. නිරිතදිග මෝසම් සුළං හා ඊසාන දිග මෝසම් සුළං යන දෙකෙහිම බලපෑමට හසු වන මේ ස්ථානයට වසරේ වැඩි දින ගණනක් සැඩ සුළං හා රළු මුහුද නිසා ගමන් කිරීම අන්තරාදායකයි. දිය යට කිමිදීමට හැක්කේ මාර්තු – අපේ‍්‍රල් මාසවල පමණයි.

Lighthouses of Sri Lanka celebrated on postage stamps
Lighthouses of Sri Lanka celebrated on postage stamps

ලංකා ගොඩබිමෙන් දුරස්තව ඉන්දියානු සාගරයෙන් වට වී ඇති මහා රාවණා (සහ කුඩා රාවණා) ප‍්‍රදීපාගාර සේවකයන් හුදකලා වූ ලෙස කල් ගත කරනවා. ඔවුන්ට අවශ්‍ය දේ රැගත් බෝට්ටුවක් විටින් විට එහි ළඟා වනවා. ක්ලාක් සහ මිතුරන් ද මුලින් එහි ගියේ මේ ප‍්‍රදීපාගාර බෝට්ටුවේ, ඔවුන්ගේ අනුදැනුම හා හොඳහිත ඇතිවයි. ඉඳහිට හෝ යමකු එහි පැමිණීම ප‍්‍රදීපාගාර කාර්යමණ්ඩලයේ කාන්සිය තරමක් අඩු කරන්නට ඇති.

මහා රාවණා ප‍්‍රදීපාගාරය තම තාවකාලික නවාතැන කර ගෙන අවට කොරල්පරයේ හා මුහුදේ කිමිදුණු ක්ලාක් හා මිතුරෝ දිය යට විසිතුරු ඡායාරූප ගත කළා. මින් පෙර කිසිවකු දැක නොතිබූ තරම් මනරම් කොරල් පරයත් එහි විවිධාකාර ලොකු කුඩා ජීවීනුත් ඔවුන් මවිතයට පත් කළා.

ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරය මීට වඩා බෙහෙවින් විශාල බව ඇත්තයි. ඒත් එනිසාම එහි විසිතුරු විහිද පැතිර තිබෙනවා. එහෙත් මහා රාවණා පරයේ සමීප මුහුදු පතුලක බොහෝ දේ හමු වන බව ක්ලාක් ලියා තැබුවා.

ඔවුන්ගේ 1958-59 ගවේෂණය පදනම් කරගෙන Indian Ocean Adventure (ඉන්දියානු සාගර වික‍්‍රමය) නම් ඡායාරූප රැසක් සහිත පොතක් ක්ලාක් -විල්සන් දෙදෙනා 1961දී පළ කළා.

කිසිදා මිනිසුන් දැක නොසිටි ඒ ප‍්‍රදේශයේ මසුන් කිමිදුම්කරුවන්ට බිය නොවී කුතුහලයෙන් විමසිලිමත් වූ සැටිත්, සමහර මසුන් තමන් සමග මිතුරු වූ සැටිත් ක්ලාක් විස්තර කරනවා. ලක්දිව දකුණු මුහුදේ තමන්ට හමු වූ මෝරුන් පවා ආක‍්‍රමණශීලි නොවී දුරක සිට තමන් ගැන බලා සිටි බවත් ඔහු කියනවා. (මීට වසර 55කට පෙර තිබූ තත්ත්වය අද වන විට බෙහෙවින් වෙනස් වී ඇති බව වඩා මෑතදී ඒ ප‍්‍රදේශවල කිමිදුණු අය වාර්තා කරනවා.)

1958-59 මහා රාවණා කොරල් පරයේත්, වෙනත් ස්ථානවලත් මුහුද යට රූපගත කළ දර්ශන සංකලනය කොට 1958දී මයික් විල්සන් වාර්තා චිත‍්‍රපටයක් නිපදවූවා. Beneath the Seas of Ceylon (ලක් මුහුද යට) නම් වූ එය විනාඩි 25ක ධාවන කාලයකින් යුක්තයි.

මිලිමීටර් 16 චිත‍්‍රපටයක් වූ එහි කැමරාකරණය, පිටපත හා අධ්‍යක්‍ෂණය මයික් විල්සන්ගෙයි. ලංකා තේ ප‍්‍රචාරක මණ්ඩලයේ අනුග‍්‍රහය ලද මේ චිත‍්‍රපටය වසර ගණනාවක් පුරා මෙරට සංචාරක ප‍්‍රවර්ධනයන් සඳහා යොදා ගනු ලැබුවා. අද මෙහි පිටපතක් කොතැනක ඉතිරිවී ඇත්දැයි මා දන්නේ නැහැ. එය නරඹා ඇති චිත‍්‍රපට ඉතිහාසඥ (මයික් විල්සන්ගේ මිතුරකු වූ) රිචඞ් බොයිල් කියන්නේ මෙය ශ‍්‍රී ලංකාවේ නිපදවන ලද මුල්ම දිය යට සිනමා නිර්මාණය බවයි.

මේ චිත‍්‍රපටයට ලැබුණු හොඳ ප‍්‍රතිචාරවලින් උද්දාමයට පත් මයික් විල්සන් තව දුරටත් චිත‍්‍රපට කැමරාකරණයට හා අධ්‍යක්‍ෂණයට යොමු වුණා. ඔහුගේ මුල්ම වෘතාන්ත චිත‍්‍රපටය චිත‍්‍රපටය වූයේ රන්මුතුදුව. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන්මුතුදුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා. (මයික්ගෙන් ලංකා සිනමාවට ලැබුණු දායකත්වය හරිහැටි ඇගයීමට ලක්ව නැති බව මගේ අදහසයි. ඔහු 1958 තැනූ පුරෝගාමී දිය යට වාර්තා චිත‍්‍රපටය ගැන පවා දන්නේ ලාංකිකයන් ටික දෙනයි.)

1961 මාර්තුවේ මයික් නැවතත් මහා රාවණා කොරල්පරයට ගියා. මෙවර රොඞ්නි ජෝන්ක්ලාස් මාලදිවයිනේ කිමිදෙමින් සිටි අතර ක්ලාක් ලේඛන කටයුතුවල නියැලෙමින් කොළඹ නතර වුණා. එනිසා මයික් සමග ගියේ බොබී ක‍්‍රීගල් (14) හා මාක් ස්මිත් (13) නම් වූ පිරිමි ළමුන් දෙදෙනෙක්. ඔවුන් මෙරට අනුයුක්තව සිටි අමෙරිකානු තානාපති කාර්යාල සේවකයන්ගේ දරුවන්.

මයික්ගේ සැලසුම වූයේ පිහිනීමේ හා කිමිදීමේ දක්‍ෂ වූ මේ දරුවන් ‘‘චරිත’’ ලෙස යොදාගෙන මහාරාවණා කොරල්පරයේ තවත් චිත‍්‍රපටයක් රූපගත කිරීමයි. මේ සඳහා අවශ්‍ය කිමිදුම් හා කැමරා ආම්පන්න තොගයක් ඔවුන් ගෙන ගියා.

1961 මාර්තු 12-21 දිනවල ඔවුන් ප‍්‍රදිපාගාරයේ රැඳී සිටිමින් අවට නොගැඹුරු මුහුදේ කිමිදෙමින් ගවේෂණය හා රූපගත කිරීම් කළා. මාර්තු 22 වනදා මුහුද නිසල වුවත් යම් හේතුවකින් දිය යට මඩ සහිත වී පැහැදිලි නැතිව ගියා. මේ නිසා කැමරා ආම්පන්න නැතිව ඔවුන් තිදෙනා කිමිදුම් කට්ටල පමණක් හැඳගෙන කොරල්පරයේ කිමිදෙන්නට ගියා.

නොගැඹුරු මුහුදු පත්ලෙහි දිලිසෙන යමක් අහම්බෙන් මයික්ගේ නෙත ගැටුණේ එවිටයි. එය කුමක්දැයි සෝදිසි කළ විට එය පිත්තල සිලින්ඩරයක් බව පෙනී ගියා. නාවුකයකු හැටියට කටයුතු කර තිබූ, නාවුක ඉතිහාසය දත් මයික් එක්වරම දැන ගත්තා එය පැරණි කාලතුවක්කුවක් බව.

එහි අරුත නම් මේ අවට මුහුදුබත් වූ පැරණි නැවක් තිබිය හැකි බවත් මයික් සැනෙකින් වටහා ගත්තා. කාලතුවක්කුව අඩි දෙකහමාරක් පමණ දිගයි. තනි කෙනකුට ඔසවන්නට බැරි තරම් බරයි.

ක්ලාක් පසුව ලියා ඇති පරිදි ‘‘මුහුදුබත් වූ පැරණි නැව් වල ලීවලින් තැනූ බඳ වසර ගණනකට පසු දිරාපත්ව හඳුනා ගත නොහැකි වනවා. බොහෝ විට නැවක් ගිලූණු බව මුහුදු පත්ලේ සොයා ගත හැක්කේ ලෝහමය දෑ නැතහොත් වීදුරු බෝතල් ආදිය නිසායි. මෙතැනදී නොගැඹුරු මුහුදේ දියවැල් හා රළ කැළඹීම් නිසා කාලතුවක්කු වැලි සමග නිරතුරු ගැටෙමින් දිලිසෙමින් තිබුණා. කිමිදුම්කරුවන්ගේ ඇසට මුලින්ම හසු වූයේ මේ දීප්තියයි.’’

ඉනික්බිති එළැඹුණු දින දෙක තුන තිස්සේ මයික් හා මිතුරෝ ඒ අවට මුහුදුපත්ල සමීපව ගවේෂණය කළා. ගිලූණු නැවක සුන්බුන් ඔවුන් සොයා ගත්තා. ඒ අතර රිදී කාසි තොගයක් ද තිබුණා.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි එකම ආකාරයේ රිදී කාසි දහස් ගණණක් හමු වුණා. සමහරක් තනි තනිව තිබූ අතර අනෙක්වා කොරල් බැඳීමෙන් එක ගොඩට එක්වි තිබුණා. එවිට බැලූ බැල්මට පෙනුනේ ගල් කැබලි වගෙයි. කිහිප වතාවක් කිමිදෙමින්, වෙහෙස වී වැඩ කරමින් කිලෝග‍්‍රෑම් 50ක් පමණ බරැති රිදී කාසිත්, කාලතුවක්කු දෙකකුත්, තඹවලින් තැනූ පොලූ හා වෙනත් කුඩා නාවුක ද්‍රව්‍ය කිහිපයකුත් ඔවුන් සොයා ගත්තා.

ඔවුන් ප‍්‍රවේශමින් මේ තොගය කොළඹට ගෙන ආවා. ක්ලාක් හා රොඞ්නි එය දුටුවේ කොළඹදීයි.

මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එය කොතරම් පැරණිද? මුහුදුබත් නොවුවා නම් එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් මයික් විල්සන්, ආතර් ක්ලාක් හා ඔවුන්ගේ කිමිඳුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

ඉතිරි කොටස:

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

Arthur C Clarke diving off the seas of Ceylon, 1950s - Image courtesy Arthur C Clarke Trust in Sri Lanka
Arthur C Clarke diving off the seas of Ceylon, 1950s – Image courtesy Arthur C Clarke Trust in Sri Lanka

 

Amazing Science in Colombo: Long Shadow of Pulp Science Fiction

Amazing Science

AMAZING SCIENCE comes to Colombo, Sri Lanka, on 4 July 2014 as part of the French Spring Festival organised by Alliance Française de Kotte in COLOMBO and its partners.

Here’s the day’s program, to be held at Sri Lanka Foundation Institute, Independence Avenue, Colombo. I’ll be speaking on “Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination” at 11 AM, and repeating it again at 1 PM.

Amazing Science in Colombo - Programme for 4 July 2014
Amazing Science in Colombo – Programme for 4 July 2014

Amazing Science is a travelling exhibit put together by French scientific institutes inspired by American ‘pulp’ science fiction magazines during the first half of the 20th century.

As the creators say, it “takes you on an exploratory journey into uncharted territory, on the frontiers of pulp culture, science fiction and scientific research”.

The exhibition revives the old “pulp” look through a blend of scientific research, creative writing and popular culture. From the infinitely small to the infinitely large, the most advanced areas of science are now the realm of unexpected encounters with the real and the imaginary worlds. Each of the exhibition panels features scientific visuals based on a specific research area.

spring2014-7-1038x576

Here’s the Abstract of our own talk:

Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination

by Nalaka Gunawardene, science writer
and S M Banduseela, science fiction translator

‘Pulp magazines’ is a generic term for inexpensive magazines published in the United States from 1896 to the 1950s. They provided popular entertainment, especially before broadcast television became well established, and carried illustrated short stories and serialized stories in categories like adventure, travel, detective and science fiction.

This illustrated presentation will look at the role pulp magazines played in promoting science fiction writing and reading as part of 20th century popular culture. Many who later became mainstream writers, such as Robert A Heinlein, Arthur C Clarke, Isaac Asimov and Ray Bradbury first established themselves by writing to such publications.

In this talk, we look at how pulp science fiction inspired scientific discovery and innovation in areas as diverse as space exploration, computer science, robotics, evolution and materials science.

Amazing Science in Colombo - 4 July 2014
Amazing Science in Colombo – 4 July 2014

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

S M Banduseela is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. Beginning in 1970, when he translated into Sinhala language The Naked Ape by zoologist and ethologist Desmond Morris, Banduseela has introduced Sinhala readers to over two dozen world acclaimed titles.

He is best known as Arthur C Clarke’s Lankan translator. In the mid 1970s, he translated Clarke’s landmark 1962 volume Profiles of the Future, which was well received. Encouraged, Banduseela took to translating Clarke’s key science fiction novels beginning with 2001: A Space Odyssey. Over the years, he rendered into Sinhala all four Odyssey novels, as well as other works like The Fountains of Paradise, Rendezvous with Rama and The Hammer of God.

In this wide ranging interview, published in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013), I discuss with Banduseela various aspects of science fiction in the Lankan context: the niche readership for this literary genre; its enduring appeal among Sinhala readers; and prospects of original science fiction in Sinhala. He also recalls the challenges he faced translating Clarke’s technically complex and philosophically perceptive novels. I ask him why Sinhala readers have yet to discover the rich worlds of science fiction written in countries like Russia, Japan, China and India.

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!”

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

S M Banduseela, author
S M Banduseela, author

එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප‍්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප‍්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප‍්‍රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප‍්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ  Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.

මෙරට පරිගණක හා තොරතුරු තාක්‍ෂණය සිංහලෙන් ප‍්‍රචලිත කිරීමේ ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු වරක් පරිගණක වදන් සඳහා ඉංගී‍්‍රසි-සිංහල ශබ්දකොෂයක් සම්පාදනය කළා.

විද්‍යා සන්නිවේදනයේ සහ විද්‍යා ප‍්‍රබන්ධකරණයේ පැතිකඩ ගැන ඔහු විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමග කළ සංවාදයකි මේ:

ඔබ ඉංග්‍රිසි විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ කෘති සිංහලට පරිවර්තනය කිරීමට යොමු වූයේ ඇයි?

විද්‍යාව හැදෑරූ කෙනෙක් ලෙස  මා හැම විට ම විද්‍යාත්මක කරුණු හා විවිධ විද්‍යාත්මක මත වාද ගැන උනන්දු උනා. විද්‍යා ප්‍රබන්ධ කියවීමට  යොමු වූයේ  විද්‍යාවේ අනාගතය පිළිබඳ කිසියම් අදහසක් ඒවායින් ලබා ගත හැකි වූ නිසයි. විද්‍යා ප්‍රබන්ධ කියවීමෙන් මම ලැබූ ආස්වාදය  නිසා  ඒවා සිංහලට පරිවර්තනය කර ඉංග්‍රීසි නොදත් පාඨකයාටත් ඒවා හඳුන්වා දිය යුතු යයි හිතුවා.

සිංහල පාඨකයින් ඔබ වැඩිපුර හඳුනන්නේ ආතර් සී ක්ලාක්ගේ කෘති ගණනාවක පරිවර්තකයා ලෙසයි.  ක්ලාක් ඉංග්‍රිසි බස ව්‍යක්ත ලෙස හැසිර වූ ලේඛකයෙක්. ඔහුගේ කෙටිකථා හා නවකථා  සිංහලට පෙරළිමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

ඔව්. එතුමාගේ ඉංග්‍රිසි මෙන් ම  අනාගත විද්‍යාත්මක නිපයුම් පිළිබඳ අදහස් සිංහලට පරිවර්තනය කිරීම අභි යෝගයක් තමයි. ඒ නිසා ක්ලාක් මහතාගේ  ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයටම  සිංහලට ගෙන ඒමට මට  හැකි වූවා යයි මම හිතන්නේ නැහැ. නමුත් හැකි තාක් දුරට  එතුමාගේ අදහස් නිවැරදිව සිංහලෙන් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ වූයේ.

ක්ලාක්ගේ ප්‍රබන්ධ අතරින් ඔබ මුලින් ම පරිවර්තනය කළේ කුමන කෘතිය ? එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේ වී ?

2001 A Space Odyssey - Sinhala translation cover
2001: A Space Odyssey – Sinhala translation cover

ප්‍රබන්ධ අතරින් මම මුලින් ම පරිවර්තනය කළේ  විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන නමක් තබා ඇති කෘතියක් වන “2001: අභ්‍යවකාශ වීර වාරිකාව”යි. එයට ඉතා ම හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා  එම කථා මාලාවේ  අනිත් ප්‍රබන්ධත් (2010, 2061 හා 3001) පරිවර්තනය කළා.  මේ සියල්ල ම සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය උනා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා දුසිමක් පමණ ඔබ අතින් සිංහලට පෙරළී තිබෙනවා. පරිවර්තනය වැඩිපුර ම අභියෝගාත්මක වූ කෘතියක් තිබේද? ඒ කුමන හේතු නිසා ?

මා දැනට  පරිවර්තනය කර ඇති පොත් අතරින්  වඩාත් ම දුෂ්කර පරිවර්තනය වුයේ “Rendezvous with Rama” නම් ග්‍රන්ථයයි.  මම එය “රාමා හමුව” නමින්  පරිවර්තනය කළා. මෙම ප්‍රබන්ධය ලියා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පොළොවට එන  යානයක් වටායි. පරිවර්තනය දුෂ්කර වූයේ ක්ලාක් විස්තර කර ඇති එම යානයේ තාක්ෂණය අප නොදන්නා  ඉතා සංකීර්ණ අනාගත තාක්ෂණයක් වීමත් බාහිර බුද්ධියක් හමුවීමේ දාර්ශනික ගැටලු ආදියත් නිසයි.

ක්ලාක් සියුම් උපහාසයට මෙන්ම ඉංග්‍රීසි වචන සමග සෙල්ලම් කිරීමට (puns) සමතෙක්. පරිවර්තනයේදී ඔබ එබඳු තැන් සිංහලට නැගුවේ කෙලෙස ?

ඒක ඉතා ම දුෂ්කර කාර්යයක් උනා. සමහර තැන් වලදී නම්  ගැලපෙන වාක්ප්‍රයෝග යොදා ගන්නට හැකි වුනා.

ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ නවකථා මෙන් කෙටිකථා රැසක් ද ලියා තිබෙනවා. ඔබේ ප්‍රියතම  ක්ලාක් නවකථාව හා කෙටි කථාව කුමක් ? එයට හේතු දැක්විය හැකි ?

මා වැඩියෙන් ම කැමති ක්ලාක්ගේ නවකථාව  වන්නේ “Songs of Distant Earth” නම් විද්‍යා ප්‍රබන්ධයයි. මා එය “මිහිකතේ ගීතය” යන නමින්  පරිවර්තනය කළා.  ක්ලාක්ගේ බොහෝ  විද්‍යා ප්‍රබන්ධවල අපට හමු වන්නේ සුපිරි තාක්ෂණයක් හා  ඒවායේ ඇලී ගැලී ජිවත් වන හා ඒවා ගැන ම වාද විවාද කරන චරිතයි. නමුත් මේ කථාව එයට වඩා වෙනස් මෙන් ම වඩාත් හැඟීම් බර  කථාවක්.  මෙම කථාවට පදනම් වී ඇත්තේ පෘථිවි අභ්‍යවකාශගාමියෙක් හා ඔවුන් ගොඩබසින වෙනත් ග්‍රහලෝකයක රූමතියක් අතර ඇතිවන  ආදරයයි. මම හිතන්නේ ක්ලාක්ගේ  විද්‍යා ප්‍රබන්ධ අතර  මෙය සුවිශේෂයි.

එතුමා ලියා ඇති කෙටිකථා අතරින් මම වඩාත් ම කැමති “Into the Comet” නම් ප්‍රබන්ධයටයි. එය ලියා ඇත්තේ ධූමකේතුවක් පරීක්ෂා කිරීමට යන යානාවක පරිගණකය ක්‍රියා විරහිතවීම වටායි. පරිගණකය වෙනුවට ඇබකස සිය ගණනක් යොදා ගනිමින් ඔවුන් යානයේ ගමන් මග ගණනය කර ගන්නවා. එය  සියලු බාධක මැද මිනිස් හැකියාව ජය ගන්නා ආකාරය විදහා දක්වන කථාවක්.

S M Banduseela with Sir Arthur C Clarke
S M Banduseela with Sir Arthur C Clarke

ක්ලාක්ගේ ප්‍රබන්ධ ගැන සමහර විචාරකයන් කියන්නේ ඔහු චරිත ගොඩ නැංවීමේදී එතරම් උනන්දුවක් හෝ අවධානයක් දක්වා නැති බවයි. ඔබේ අදහස කුමක්ද ?

මෙය ක්ලාක්ගේ ප්‍රබන්ධ සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් නැගෙන චෝදනාවක්. මම දකින හැටියට නම් මෙයට හේතුව විද්‍යා ප්‍රබන්ධවල චරිතවල තැන ගන්නේ අදහස් හා සංකල්ප වීමයි.  විද්‍යා ප්‍රබන්ධවලදී අපට හමුවන්නේ සම්ප්‍රදායික චරිත නොවේ. උදාහරණයක් හැටියට  කථා නායකයා පරිගණකයක් වන ප්‍රබන්ධයක සම්ප්‍රදායික චරිත නිරූපණයක්  බලාපොරොත්තු විය හැකි ද?

ක්ලාක්ගේ ප්‍රබන්ධ හරහා  මානව සංහතියේ දිගු කාලීන පරිණාමය ගැන කුමන ඉඟි අපට ලද හැකි ?

ක්ලාක්ගේ සියලු ම පොත්වල මානවයාගේ අනාගතය ගැන ඇත්තේ සුබවාදී ආකල්පයක්. 2001 අභ්‍යවකාශ චාරිකාවේ මෙය ඉතා පැහැදිලිව දක්වා තියෙනවා. ලෙයින් මසින් සැදූණු මිනිස් සිරුරට වඩා ශක්තිමත් ලෝහ හා ප්ලාස්ටික්  යොදා ගැනීමේ සිට  විශ්වයේ රජවරුන් වීම දක්වා ක්ලාක් විස්තර කරන  මිනිස් අනාගතය ඉතා ම සුභවාදීයි. 3001 ග්‍රන්ථයේ විස්තර කරන ‘මොළ වැස්ම’ (braincap) වැනි උපකරණ තවම නිපදවා නැති නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් කෙළින් ම දැනුම ලබා ගැනීම තව දුරටත් ප්‍රබන්ධයක් නොවෙන බව දැන් පැහැදිලියි. ක්ලාක් ලියා ඇති ආකාරයට ක්‍රමයෙන් බුද්ධිමත් යන්ත්‍ර හා බද්ධ වීමෙන් උත්තර මිනිසෙක් (Post-Human) බිහිවෙන බවට දැන් සාක්ෂි තියෙනවා.

ක්ලාක් ජීවිත කාලය පුරා සිය ප්‍රබන්ධ හා විද්‍යා කෘතීන් හරහා  යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයන්හී රැඳි සිටියා. ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම එයින් එකක්. එය නිර්මාණවල මතු වුණේ කොහොම ?

ඔව්. එතුමා හැමවිට ම හිංසාව හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව  කථා කළා.  ඔහුගේ ප්‍රබන්ධවල  ප්‍රධාන චරිත බොහෝ විට ප්‍රචණ්ඩත්වය  හෙළා දැක්කා. මනුෂ්‍යයන්ට පමණක් නොව  සියලු ම සතුන් කෙරෙහිත් අප අවිහිංසාවාදී විය යුතු යයි එතුමා විශ්වාස කළා. මෙය ඉතා පැහැදිලිව ම දැකිය හැකි අවස්ථාවක් තමයි “Deep Range” නම් විද්‍යා ප්‍රබන්ධය. මෙයත් සිරිල් සී පෙරේරා මහතා “ගැඹුරු මුහුද” යන නමින් සිංහලට පරිවර්තනය කර තියෙනවා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කථා ගණනාවක් හැරුණු කොට ඔහුගේ ප්‍රකට විද්‍යා ග්‍රන්ථයක් වන  “Profiles of the Futureනම් කෘතිය ද ඔබ සිංහලට පරිවර්තනය කළා. එයට  පාඨක ප්‍රතිචාර කෙසේ වීද?

මම මුලින්ම පරිවර්තනය කළ ක්ලාක් මහතාගේ  කෘතිය එයයි.  ඇත්තෙන්ම මා එය පළ කලේ “අනාගතයේ පැතිකඩක්” හා “අනාගතයේ ආශ්චර්යයන්”  යනුවෙන් පොත් දෙකක් හැටියටයි.  අනාගත තාක්ෂණයේ විවිධ අංශ පිලිබඳ  අනාවැකි පළ කළ  මේ ග්‍රන්ථය  ඉතා ජනප්‍රිය උනා.  එහි මුද්‍රණ ගණනාවක් ම නිකුත් කිරීමට හැකි වුනා.

Profiles of the Future” පොතේ අන්තර්ගතය ගැන, එය පළවී අඩ සියවසකට පසු ඔබ සිතන්නේ කුමක්ද?

මීට අවුරුදු පනහකට පමණ පෙර අනාගත තාක්ෂණය ගැන ක්ලාක් ලියු  බොහෝ දේ අද සත්‍යයන්  බවට පත්වී තිබෙනවා. එසේ නැත්නම්  නුදුරු අනාගතයේ එසේ වන බවට සාක්ෂි තිබෙනවා. මේ ග්‍රන්ථයේ  එතුමා ප්‍රවාහන ක්‍රමවල වර්ධනය, ගුරුත්වය ජය ගැනීම, වේගයේ වැඩිවීම, ක්ෂණික ප්‍රවාහනය, අභ්‍යවකාශය ජය ගැනීම, කාලය ජය ගැනීම, අදෘශ්‍යමානවීම, සියල්ල නිවසේ ම නිපදවා ගැනීම, අසීමිත තොරතුරු ප්‍රවාහය,  මොළය ඉලෙක්ට්‍රොනික පද්ධති හා සම්බන්ධ කිරීම, ඉලෙක්ට්‍රොනික බුද්ධියේ වර්ධනය  ආදී විවිධ කරුණු ගැන සාකච්ඡා කරනවා පමණක් නොවෙයි, අනාවැකිත් පළ කර තියෙනවා.

මින් අවුරුදු පනහකට පෙර ලියන ලද මේ පොතේ සඳහන් වෙනවා තැනින් තැන ගෙන යා හැකි, පොළොව මතුපිට සිටින ඕනෑ ම කෙනෙකු සමග ක්ෂණයකින් සම්බන්ධ විය හැකි උපකරණයක් ගැන. මෙය අද කා අතත් ඇති ජංගම දුරකථනය නිවැරදිව පුරෝකථනය කිරීමක්. ඕනෑ ම දෙයක් නිපදවිය හැකි ප්‍රතිඋත්පාදකයක් (Replicator) ගැනත් මේ පොතේ අනාවැකියක් තියෙනවා. අද දියුණු වේගන යන  ත්‍රිමාන මුද්‍රණය (3D Printing) මෙයට සමාන උපකරණයක්.

The Fountains of Paradise  - Sinhala translation cover
The Fountains of Paradise – Sinhala translation cover

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ පොදුවේ සළකා බලන විට ශ්‍රී ලංකාවේ අඩ සියවසක් වාසය කිරීමේ බලපෑම ඔහුගේ නිර්මාණ හරහා විද්‍යමාන වන්නේ කෙසේද?

ඔහුගේ එක් කෘතියකට එනම් Fountains of Paradise නම් කෘතියට  පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. මම එය ‘පරාදිසයේ උල්පත්‘ යනුවෙන් පරිවර්තනය කළා. මෙහිදී එතුමා  සීගිරිය, ශ්‍රීපාදය  හා ලංකාවේ ඇති ජනප්‍රවාද ඉතා ම නවීන විද්‍යාත්මක සංකල්පයක් වන අභ්‍යවකාශ සෝපානය  සමග මුසු කර නිර්මාණය කර ඇති ප්‍රබන්ධය ඉතාම  සුවිශේෂි කථාවක්. එයට අමතරව අපේ සමාජයේ දක්නට ඇති අවිහිංසාව වැනි අදහස්  එතුමාගේ කෘතිවල ප්‍රබල ලෙස දක්නට ලැබෙනවා.

ක්ලාක් හැරුණු කොට ශ්‍රී ලංකාව පාදක කොට විද්‍යා ප්‍රබන්ධ ලියූ වෙනත් විදේශිය ලේඛකයන් සිටී ද?

මා දන්නා තරමින් නම් නැහැ.

විද්‍යා ප්‍රබන්ධ  යයි එවකට හඳුන්වනු නොලැබුව ද එම කථාවල මූලික ගුණාංග අඩංගු අපූරු කථාන්තර විවිධ සංස්කෘතීන්ගෙන් හමු වෙනවා.  මේ සඳහා පෙරදිග රටවල හා මෙරට උදාහරණ දැක්විය හැකි ?

ඔව්. රාමායණය හා මහාභාරතය වැනි කථාවල  (මිසයිල වැනි) විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ  දකින්නට ලැබෙනවා. අපේ උම්මග්ග ජාතකයේ  වුවත් යමක් එබු පමණින්  සියලු දොරවල් වැසී යන  උමං ගැන සඳහන් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ (science fiction) හා මායාරූපී කථා  (science fantasy) බොහෝ දෙනා පටලවා ගන්නවා. මේ දෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ?

විද්‍යා ප්‍රබන්ධ හා මායාරූපී කථා අතර ඇත්තේ ඉතා නොපැහැදිලි අනියත සීමාවක්. නමුත් මූලික වශයෙන් විද්‍යා ප්‍රබන්ධය යනු අප දන්නා කරුණු මත පදනම්ව අනාගතයේ සිදුවිය හැකි  සංසිද්ධියක් වටා ගෙතූ ප්‍රබන්ධයක්. මායාරූපි කථාවකට  එවැනි පදනමක් නැහැ.  නමුත් එක් යුගයකදී  මායාරූපී කථාවක් ලෙස  පෙනෙන දෙයක්  තවත් කාලයකදී විද්‍යා ප්‍රබන්ධයක් වීමටත් ඉඩ තියෙනවා.

උදාහරණයක් හැටියට  ආතර් ක්ලාක් විසින් ම වරක් පෙන්වා දී ඇති ආකාරයට  1938ට (පරමාණුක ශක්තිය සොයා ගැනීමට) පෙර  ලෝහ කැබලි දෙකක් එකිනෙක ගැටීමෙන්  යෝධ ශක්තියක් නිපදවිය හැකි යයි ලියා තිබුණේ නම් එය  මායාරූපී කථාවක්  වෙනවා.නමුත් දැන් පරමාණුක ශක්තිය එදිනෙදා කටයුතුවලට යොදා ගන්නා දෙයක්.

විද්‍යා ප්‍රබන්ධ හුදෙක් අනාගත කථාවලට පමණක් සීමා වන්නේ නැහැ.  එසේ නොවී අනිකුත් දිශාවලට විද්‍යා ප්‍රබන්ධ කලාව විහිද ගොස් ඇති සැටි කෙටියෙන් පහදා දිය හැකි ?

මුල් විද්‍යා ප්‍රබන්ධ වැඩි වශයෙන් ම  ලියවුණේ  අනාගතය හා අභ්‍යවකාශ ගමන්  වටායි.  නමුත් මෙම සාහිත්‍යාංගය ක්‍රමයෙන්  පරිණත වන විට  විද්‍යාවේ අනිකුත් අංශවලටත් එය විහිදි ගියා.  අද විකල්ප ඉතිහාසය, කාලතරණය, රොබෝවන්, සයිබෝර්ග්, යන්ත්‍ර බුද්ධිය, බලක්ෂේත්‍ර, සයිබර් අවකාශය, ජාන විද්‍යාව, උත්තර මානවයන් (Post-Humans) වැනි විද්‍යාවේ විවිධ අංශ වටා විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා.

නුදුරු අනාගතයේ බිහි විය හැකි සියල්ල යන්ත්‍රවලින් කෙරෙන සමාජයක මිනිසාගේ කාර්ය භාරය කුමක් ද? ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් කෙළින් ම මොළයට දැනුම ලබාගත හැකි වුවහොත් අධ්‍යාපන ක්‍රමවල අනාගතය කුමක් වේ ද? මිනිස් මොළ  එකිනෙකට සම්බන්ධ කළ හැකි වූ විට පුද්ගලික රහස්‍ය බවක් (privacy) පවත්වා ගත හැකි ද? කෘත්‍රිම ඉන්ද්‍රියන් භාවිතයට ගැනීමේ සාමාජීය බලපෑම් මොනවාද?  මොළයේ ඇති සියලු තොරතුරු පරිගණකයක් තුළට ගෙන ආ විට මිනිසාට සිදු වන්නේ කුමක්ද ? ආදී වශයෙන් වත්මන් තාක්ෂණික නිපයුම් නිසා  ඇති විය හැකි ප්‍රශ්න ගැන ප්‍රධාන සාහිත්‍ය ධාරාවේ නියුතු කිසිම ලේඛකයෙක් සාකච්ඡා කරන බවක් පෙනෙන්නේ නැහැ. මිනිස් වර්ගයාටත්, මිනිස් අනාගතයටත් ඉතා වැදගත් වන  මෙවැනි තේමාවන් ගැන ලියන්නේත් සාකච්ඡා කරන්නෙත් විද්‍යා ප්‍රබන්ධ රචකයන් පමණයි.

ක්ලාක් ඇතුළු ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ රචකයන් බොහෝ දෙනෙකු තම සාහිත්‍යාංගය දුටුවේ අනාගතවේදයක් හෝ අනාවැකි කීමක් ලෙස ? නැත්නම් වෙනත් විදියකට ?

මුල් විද්‍යා ප්‍රබන්ධ ලියැවුණේ අභ්‍යවකාශ යුගය ආරම්භ වීමට බොහෝ කලකට පෙරයි. ඒවා බොහෝ දුරට අභ්‍යවකාශ ගමන් පිළිබඳ ඒවා වූ නිසා  අනාගතය දැකීමක්  ලෙස සැලකිය හැකියි. නමුත් විද්‍යා ප්‍රබන්ධ එයට සීමා වූයේ නැහැ.  ඇත්ත වශයෙන්ම විද්‍යා ප්‍රබන්ධයේ කාර්ය භාරය වන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග අපට අනාගතයේ මුහුණ පෑමට සිදු වන සමාජීය, මානසික හා සදාචාරාත්මක ප්‍රශ්නවලට අප හුරු පුරුදු කිරීමයි.

විද්‍යා ප්‍රබන්ධකරුවන් අනාගතය ගැන අනාවැකි කියන්නන් නොව අයහපත් හෝ අහිතකර අනාගතයන් වළක්වා ගන්නට අනතුරු අඟවන්නන් යයි ලේඛක රේ බ්‍රැඩ්බරි (Ray Bradbury) වරක් කියා සිටියා. මේ ගැන ඔබේ අදහස?

එය සත්‍යයක්. විද්‍යා ප්‍රබන්ධ අනාගතය පිළිබඳ අනතුරු අඟවා ඒවා වළක්වා ගැනීමට  සහාය වනවා පමණක් නොව අනාගත  තාක්ෂණයට අප හුරුපුරුදු කරනවා. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ මගින් අපේ සමාජයට නව අදහස් හා ආකල්ප  හඳුන්වා දෙනවා.

විද්‍යා ප්‍රබන්ධවල සාහිත්‍යමය අගය ගැන එකඟත්වයක් නැහැ.  සමහරුන් එය සාහිත්‍යාංගයක් ලෙස පිළි ගන්නේත් නැහැ.  ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ කලාව – ලිවීම, පරිවර්තනය හා කියවීම – ගැන ඔබේ තක්සේරුව කුමක් ?

Songs of Distant Earth - Sinhala translation cover
Songs of Distant Earth – Sinhala translation cover

මම හිතන්නේ මෙය ක්‍රමයෙන් වෙනස්වී ගෙන යනවා. අඩු ම වශයෙන් බටහිර ලෝකයේ එය නූතන සාහිත්‍යාංගයක් ලෙස සැලකිල්ලට බඳුන් වෙනවා. බටහිර විශ්ව විද්‍යාල ගණනාවක දැන් විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ පාඨමාලා හැදෑරිය හැකිවීම එයට ලැබී ඇති තැන පිළිබඳ හොඳ දර්ශකයක්.

ශ්‍රී ලංකාවේ නම් තවම විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රය නම් එතරම් දියුණුවක් පෙන්වන්නේ නැහැ. ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ කෘති සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඉතා ම ස්වල්පයක් පමණයි. නමුත් අද සිංහලෙන් ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ අතරින්  සුළු ප්‍රමාණයක්වත් උසස් තත්වයක තිබීම නම් සතුටට කරුණක්.

මෙරට විද්‍යා ප්‍රබන්ධ රසිකයන්ට  තවමත් ක්ලාක්ගේ  කෘතීන් පරිවර්තනය වී ලැබී ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. මෙසේ  සීමා වීමට හේතුව වෙළඳ පොළ විභවයක් නැතිකම ?

නැහැ. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධවල සිංහල පරිවර්තනවලට සැලකිය යුතු වෙළඳපොළක් තියෙනවා. ප්‍රශ්නය වී ඇත්තේ  පරිවර්තකයන්ගේ හිඟයයි. සිංහල පාඨකයන් අතර මෙම සාහිත්‍යාංගය ජනප්‍රිය කිරීමට නම්  ලොව පුරා දක්නට ඇති විද්‍යා ප්‍රබන්ධයේ  නව ප්‍රවණතාවන්ට ඔවුන්  නිරාවරණය කළ යුතුයි. නිර්මාණශීලී හැකියාවන් ඇති තරුණ ලේඛකයන්ටත් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට එය විශාල පිටුවහලක්  වේවි.

ඉංග්‍රීසියෙන් පළ  වු බටහිර පන්නයේ විද්‍යා ප්‍රබන්ධ සීමිතව  සිංහල පාඨකයාට ලැබී ඇතත් ජපන්, රුසියානු, චීන හා ඉන්දියානු වැනි සම්ප්‍රදායන්ගේ විද්‍යා ප්‍රබන්ධ ගැන සුළු හෝ අවධානයක් නැති තරම්. මෙයට කුමක් කළ හැකි ?

අද ලෝකයේ විවිධ භාෂාවලින් විද්‍යා ප්‍රබන්ධ ලියවුනත් අපට සිංහලෙන්  කියවීමට ලැබී ඇත්තේ අතළොස්සක් වූ ඉංග්‍රීසි හා රුසියානු ප්‍රබන්ධ පමණයි. විවිධ රටවල ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ සිංහලට පරිවර්තනය කිරීම අත්‍යාවශ්‍ය කාර්යයක්. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පරිවර්තකයන්ගේ හිඟයයි.

අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ විවිධ භාෂාවලින්  දැන් විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා පමණක් නොවෙයි ඒවා ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කෙරෙනවා. අඩු ම වශයෙන් ඉන්දියානු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අපේ පාඨකයන්ට හඳුන්වාදීමට කටයුතු කිරීම ඉක්මන් අවධානය යොමු විය යුතු කරුණක්.

ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ලියන්නට කැමති නිර්මාණශීලි ලේඛකයන්ට ඔබේ උපදෙස් මොනවාද?

හැකි තරම් කියවන්න.  විද්‍යා ප්‍රබන්ධ පමණක් නොව නවීන විද්‍යාත්මක අදහස් හා සංකල්ප අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.  විද්‍යා ප්‍රබන්ධයේ පදනම වන්නේ  විද්‍යාව හා තාක්ෂණය නිසා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණයේදී ඉතා වැදගත් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ ලේබලය යටතේ මෙරට පුවත්පත් හා සඟරාවල පළවන බොහෝ ස්වතන්ත්‍ර ප්‍රබන්ධ ඇත්තට ම විද්‍යා විරෝධී ප්‍රබන්ධ (anti-science fiction) බවට මා තර්ක කරනවා. විද්‍යාවේ සෘණ පැත්ත හා අහිතකර විපාක ගැන පමණක් අතිශයෝක්තියෙන් හුවා දක්වන, ඉතා දියාරු කථා රසයෙන් යුත්  මේ කථා ගැන ඔබ සිතන්නේ කුමක් ?

ඒක ඇත්තක්. මෙයට හේතුව වී ඇත්තේ  විද්‍යාත්මක සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති වීමයි. විද්‍යා ප්‍රබන්ධ ලෙස අද පළවන සමහර කථා හුදු මනඃකල්පිතයන් පමණයි. නිර්මාණශීලි හැකියාවක් ඇති ඕනෑ ම කෙනෙකුට  සාමාන්‍ය නවකථාවක් හෝ කෙටි කථාවක් රචනා කළ හැකි නමුත්  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමට විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ දැනුමක් ද අවශ්‍ය වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වූ චිත්‍රකථා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලෝකයේ ඉතා ජනප්‍රියයි.  එබඳු උපසංස්කෘතියක් මෙරට බිහි කරන්නට කුමක් කළ හැකි ?

ඔව්. අපේ රටේ එවැනි ප්‍රවණතාවක් දක්නට ඇත්තේ ම නැති තරම්. සුළු උත්සාහයන්  ගෙන තිබුණත් ඒවා එතරම් සාර්ථක නිර්මාණයන් වූයේ  නැහැ. සමහරවිට මෙයට හේතුව එවැනි චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තාක්ෂණික ප්‍රයෝග ලබා ගැනීමේ  දුෂ්කරතාව වීමට පුළුවන්.

කෙසේ වෙතත් අනාගතය රැඳී ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය මතයි. අපේ නිර්මාණකරුවන් සුපුරුදු රාමුවෙන් පිටතට ඇවිත්  විද්‍යාව හා තාක්ෂණයේ  දියුණුව නිසා ඇති වන ප්‍රශ්න හා ගැටලු ගැන අවධානය යොමු කළ යුතුයි.

ඉන්දියාවේ සමහර මුල් පෙළේ විද්‍යාඥයෝ (උදා. තාරකා විද්‍යාඥ ජයන්ත් නාලිකාර්) විද්‍යා ප්‍රබන්ධ ලියනවා. ඔබ දන්නා තරමට  විද්‍යා ප්‍රබන්ධ අළුතෙන් ලිවීමේ නියැලි ලාංකික විද්‍යාඥයින් සිටිනවා ? ඔවුන් ඒ ගැන සිතිය යුතු ?

නැහැ. මා දන්නා තරමින් නම් ලංකාවේ විද්‍යාඥයින් කිසිවෙක් විද්‍යා ප්‍රබන්ධ ලියන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම මම හිතනවා විද්‍යාව ගැන හොඳ අවබෝධයක් ඇති අය වශයෙන් ඔවුන් ඒ ගැන සිත යොමු කළ යුතුයි.

ආතර් ක්ලාක් ගේ කියමනක් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. එය ඇත්තේ අනාගතයේ පැතිකඩක් නම් ග්‍රන්ථයේ. “දෙවෙනි පෙළේ විද්‍යාඥයින් විද්‍යා ප්‍රබන්ධ විහිළුවට ලක් කරන නමුත් පළමු පෙළේ විද්‍යාඥයින් එසේ කරනු මා කිසිදාක දැක නැතිවා පමණක් නොව  විද්‍යා ප්‍රබන්ධකරණයේ නියැලෙන  කීප දෙනෙක් ම මම දනිමි.”

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

In my Ravaya column (in Sinhala) for 26 August 2012, I’ve written about the making of Ran Muthu Duwa, the first colour Sinhala feature film made in Sri Lanka, was released 50 years ago in August 1962.

Ran Muthu Duwa was a trail-blazer in the Lankan cinema industry in many respects. It not only introduced colour to our movies, but also showed for the first time the underwater wonders of the seas around the island.

I covered similar ground in my English column on 12 Aug 2012: From Great Basses Reef to ‘Ran Muthu Duwa’ – Story of Ceylon’s First Colour Movie

The Serendib Trio in later years – L to R: Shesha Palihakkara, Arthur C Clarke, Mike Wilson

මුළුමනින් ම වර්ණයෙන් නිෂ්පාදිත මුල් ම සිංහල චිත‍්‍රපටය වු “රන් මුතු දුව” මුල් වරට තිරගත වීම ඇරුඹී අඩ සියවසක් පිරෙන්නේ මේ මාසයේ. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන් මුතු දුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා.

රන් මුතු දුව සිනමා තාක්‍ෂණ ශිල්පීන් හා නළු නිලියන් රැුසක් එක් තැන් කළ, එ වන තුරු පැවති ශෛලියට වඩා වෙනස් වූ ආරක චිත‍්‍රපටයක්. එය කලාත්මකව මාහැගි නිර්මාණයක් නොවුවත් සංත‍්‍රාසය හා වින්දනය නොඅඩුව ලබා දුන් නිසා බෙහෙවින් ජනප‍්‍රිය වුණා. වාණිජ මට්ටමින් අති සාර්ථක වූ රන් මුතු දුව ලැබු ආදායම් වාර්තාව 1979 දක්වා නොබිඳී පැවතුණු බවයි මෙරට චිත‍්‍රපට ඉතිහාසඥයන් සඳහන් කරන්නේ.

රන් මුතු දුව සිනමා සමාගමක් හෝ චිත‍්‍රාගාරයක් මුල් වී තැනු චිත‍්‍රපටයක් නොවෙයි. එයට මුල් වූයේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්. එහි කථාව, තිර රචනය, කැමරාකරණය හා අධ්‍යක්‍ෂණය කලේ මයික් විල්සන්. ඔහු ලේඛනයට, ජායාරූප කලාවට, සිනමාවට මෙන් ම කිමිදීමටත් හපන්කම් දැක් වූ අයෙක්. එය නිෂ්පාදනයට අවශ්‍ය මුදල්වලින් වැඩි කොටසක් යෙදවූයේ විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු ලෙස එ් වන විටත් ලොව පුරා නමක් දිනා ගෙන සිටි ආතර් සී. ක්ලාක්.

මේ දෙදෙනා 1950 දශකය මැදදී ලංකාවට පැමිණ, මේ දුපත අවට මුහුදේ කිමිදීමේ ලැදියාව නිසා මෙරට පදිංචිවීමට තීරණය කර තිබුණා. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවන් අතර සිටි ඔවුන් කිමිදීමේ පුහුණුව ලැබු ලාංකිකකයන් කිහිප දෙනෙකු ද සමඟ දකුණුදිග හා නැගෙනහිර වෙරළෙන් ඔබ්බෙහි පිහිටි බොහෝ ස්ථාන ගවේෂණය කරමින් සිටියා. මේ අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලාස් (Rodney Jonklaas) හා බොක්සිං ශූර හෙක්ටර් එකනායක ද සිටියා.

1956දී දිවයිනේ වෙරළාසන්න ස්ථාන රැසක කිමිදෙමින් ගවේෂණය කළ ඔවුන්ගේ අත්දැකීම් එක් රැුස් කර ක්ලාක් රචිත The Reefs of Taprobane ^1957& චාරිකා සටහන, ඔහු ශ‍්‍රී ලංකාව ගැන ලියු මුල් ම පොතයි.

1961 මාර්තු මස මැදදී දකුණු වෙරළේ යාලට කිමී 13ක් මුහුද දෙසින් පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) හා කුඩා රාවණා කොටුව (Little Basses Reef) නම් වන ප‍්‍රදීපාගාර අසල මුහුදේ කිමිදෙමින් සිටි මේ පිරිසට මුහුදුබත් වු නැවක සුන්බුන් හමු වුණා. මේ නැවේ තිබී 1703 වසරේ ඉන්දියාවේ මෝගල් අධිරාජයකු නිෂ්පාදිත රිදී කාසි තොගයක් ඔවුන් සොයා ගත්තා.

සාගරයේ කිමිදෙමින් ගවේෂණය කරන බොහෝ දෙනාට ජිවිත කාලයකට වරක් හෝ මෙබඳු සොයා ගැනීමක් අහම්බෙන්වත් හමු වන්නේ නැහැ. මේ අසාමාන්‍ය සොයා ගැනීම තව දුරටත් ගවේෂණය කරන්නට තමන්ගේ ම බෝට්ටුව්ක් මිළට ගැනීමේ උවමනාව අපේ කිමිදුම්කරුවන්ට මතු වුණා. එ් දිනවල අමෙරිකානු ඩොලර් 10,000ක් පමණ එයට අවශ්‍ය වුණා. චිත‍්‍රපටයක් තනා එයින් ලැබෙන ආදායමින් බෝට්ටුව මිළට ගැනීමට ඔවුන් තීරණය කළා.

එ වන මයික් විල්සන් විට මෙරට දිය යට රූපගත කළ මුල් ම වාර්තා චිත‍්‍රපටය වූ Beneath the Seas of Ceylon (විනාඩි 25, 1958) නිපදවා යම් පිළි ගැනීමක් ලබා තිබුණා. එහෙත් වෘතාන්ත චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කොට අත්දැකීම් තිබුණේ නැහැ.

ගිලූණු නැවක නිධානයක් සොයා යන, දිය යට ජවනිකා රැගත් කථාවක් චිත‍්‍රපට කිරීමේ දැඩි ආශාවෙන් හා අධිෂ්ඨානයෙන් සිටි මයික් විල්සන්, එයට ආතර් ක්ලාක් ද කැමති කරවා ගත්තා. නළු නිලියන් යොදා ගනිමින් කථාන්තරයක් පැය දෙකහමාරක් පුරා කියැවෙන වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව ක්ලාක් පෙන්වා දුන්නා. එහෙත් තම සගයාගේ උද්‍යොගය නිසා එයට යම් මුදලක් වැය කරන්නට ඔහු එකඟ වුණා. ඉතිරි මුදල මයික් සොයා ගත්තේ මෙරට ප‍්‍රමුඛ පෙලේ චිත‍්‍රපට සමාගමකින්.

මෙය චිත‍්‍රපටය සඳහා නිෂ්පාදකයා ලෙස ශේෂා පලිහක්කාර සම්බන්ධ වුණා. වෘත්තියෙන් නැටුම් කලාවේ නියැලි සිටි ශේෂා, 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් තැනු “රේඛාව” චිත‍්‍රපටියේ බොරුකකුල්කාරයාගේ චරිතයත්, තවත් චිත‍්‍රපට චරිතත් රඟපා නමක් දිනා ගෙන සිටියා.

ක්ලාක්, විල්සන් හා පලිහක්කාර ත‍්‍රිත්වය එක්ව පිහිටුවා ගත් සෙරන්ඩිබ් ප‍්‍රඩක්ෂන්ස් Serendib Productions නම් සමාගම නිපද වූ ප‍්‍රථම චිත‍්‍රපටය රන් මුතු දුවයි.

රන් මුතු දුවේ නළු නිලි පිරිසට එවකට සිටි ප‍්‍රමුඛ පෙළේ මෙන්ම නැග එන තරු ද සම්බන්ධ කර ගනු ලැබුවා. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, ජිවරානි කුරුකුලසුරිය, ඔස්ටින් අබේසේකර, තිලකසිරි ප‍්‍රනාන්දු, ෂේන් ගුණරත්න හා වින්සන්ට් වාස් ඔවුන් අතර වුණා.

ගාමිණි ෆොන්සේකා කථාවේ වීරයා වන විට ඔහුට එරෙහි වන දුෂ්ඨයාගේ චරිතයට වෘත්තීය නළුවකු නොවු කිමිදුම්කරු හෙක්ටර් එකනායක යොදා ගන්නට මයික් තීරණය කළා. ගාමිණි ෆොන්සේකාට කඩිමුඞ්යේ කිමිදුම් ශිල්පය ඉගැන්විම ද හෙක්ටර්ට භාර වුණා.

රන් මුතු දුව චිත‍්‍රපටයේ බොහෝ ජවනිකා රූපගත කරනු ලැබුවේ ති‍්‍රකුණාමලයේ. දිය යට දර්ශන හා සටන් මිලිමීටර් 16 සේයා පටවල රූපගත කොට පසුව මිමී35ට විශාල කරනු ලැබුවා. චිත‍්‍රපටයේ සංස්කරණ හා නිම කිරීමේ කටයුතු ලන්ඩනයේ ටෙක්නිලකර් රසායනාගාරයේ සිදු කළා. කිමිදෙමින් සිනමා රූපගත කිරීම් එතරම් ප‍්‍රචලිත නොවු එකල, මයික්ගේ දිය යට කැමරා කෝණ හා අධ්‍යක්‍ෂණය ගැන බි‍්‍රතාන්‍ය සිනමා ශිල්පීන් පවා මවිත වූ බව වාර්තාගතයි.

මයික්ට සිංහල බස එතරම් හුරු නොවු නිසා සහාය අධ්‍යක්‍ෂණයෙන් හා සිංහල දෙබස් රචනයෙන් දායක වුයේ සිනමා ශිල්පී තිස්ස ලියනසුරියයි. රන් මුතු දුව සංස්කරණය කළේ ටයිටස් තොටවත්ත සිංහල සිනමාවේ මුල අඩ සියවසේ බිහි වූ තාක්‍ෂණික හා නිර්මාණශීලී වශයෙන් ඉතා ම කෘතහස්ත සංස්කාරකවරයා හැටියට පිළිගැනෙනවා. ඔහු එ වන විට රේඛාව (1956), සන්දේශය (1960) හා දස්කොන් (1962) වෘතාතන්ත චිත‍්‍රපට සංස්කරණය කොට සිටියා.

රන් මුතු දුව සංස්කරණයට ටයිටස් බි‍්‍රතාන්‍යයේ ටෙක්නිකලර් රසායනාගාරයේ වර්ණ චිත‍්‍රපට පිළිබඳ පුහුණුවක් ලැබු බවත්, වර්ණ තුලනය හා ශබ්ද පරිපාලනය වැනි තාක්‍ෂණික අංශ ගැන මනා අවධානයකින් ටයිටස් මේ චිත‍්‍රපටය නිම කළ බත් නුවන් නයනජිත් කුමාර ලියු තොටවත්ත චරිතාපදනායේ කියැවෙනවා. දුර්වල කථාවක් වුවත් දක්‍ෂ සංස්කරණය හරහා විනෝදාස්වාදය ගෙන දෙන චිත‍්‍රපටයක් බවට පත් කරන්න ටයිටස්ට තිබු හැකියාව ශේෂා පලිහක්කාර එහි පසසා තිබෙනවා.

රන් මුතු දුවේ සංගීත අධ්‍යක්‍ෂණය කළේ විශාරද ඩබ්ලිව්. ඞී. අමරදේව. එය ඔහු චිත‍්‍රපටයකට එබඳු දායකත්වයක් සැපයු මුල් වතාවයි. ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියු ගීත තුනක් චිත‍්‍රපටයේ ඇතුළත් වුණා. නාරද දිසාසේකර හා නන්දා මාලීනි ගැයු ”ගලන ගඟකි ජිවිතේ” ගීතයට 1964 පැවති ප‍්‍රථම සරසවිය චිත‍්‍රපට උළෙලේ 1962 හොඳම චිත‍්‍රපට ගීතයට පිරිනැමෙන සම්මානය හිමි වුණා.

මේ කලා හා තාක්‍ෂණික සුසංයෝග දෙස හැරී බලන චිත‍්‍රපට ඉතිහාසඥ රිචඞ් බොයිල් කියන්නේ දක්‍ෂයන් රැසක් එක් තැන් කර ගෙන අළුත් විදියේ වැඩ කරන්නට මයික් විල්සන්ට හොඳ හැකියාවක් තිබ බවයි. ”ඔහු සමඟ එකට වැඩ කළ පිරිසේ බොහෝ දෙනෙකු පසුව සිංහල සිනමාවේ ලොකු හපන්කම් කළා. මයික් නිර්මාණය කළ චිත‍්‍රපටවලට වඩා එ් දායකත්වය වටිනවා” බොයිල් කියනවා.

1962 අගොස්තු මුල් වරට මහජන ප‍්‍රදශනය ඇරඹුණු රන් මුතු දුව, ඇතැම් සිනමාහල්වල දින 100 ඉක්මවා ප‍්‍රදර්ශනය වුණා. ඉන්ක්බිති මේ චිත‍්‍රපටය තවත් කිහිප වතාවක් ඉදිරි දශක දෙක තුන තුළ ප‍්‍රදර්ශනයට ආවා. එහෙත් අඩ සියවස සපිරෙන මේ මොහොතේ මේ පළමු සිංහල වර්ණ චිත‍්‍රපටයේ එක් පිටපතක් හෝ ශ‍්‍රී ලංකාවේ ඉතිරි වී නැහැ. චිත‍්‍රපට සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ බොහෝ පැරණි චිත‍්‍රපටවල ඉරණම එයයි.

රන් මුතු දුව හදන්නට අත්වැල් බැඳගත් සෙරන්ඩිබ් තුන්කට්ටුව යළිත් චිත‍්‍රපටයක් සඳහා එ්කරාශි වුයේ නැහැ. සෙරන්ඩිබ් සමාගම තවත් චිත‍්‍රපට දෙකක් නිපද වුවත් එයට මුල් වුයේ මයික් හා ශේෂා දෙපළ පමණයි.

1964-68 කාලය පුරා ලෝකයේ සම්භාව්‍ය චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ ස්ටැන්ලි කුබ්රික් සමඟ එක්ව 2001: A Space Odyssey නම් අමුතු මාදිලියේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය හැදීමට ආතර් ක්ලාක් යොමු වුණා. එය වෙනම ස්මරණය කළ යුතු නිර්මාණ ක‍්‍රියාදාමයක්.

1970 දශකයේ සියළු ලෞකික සම්පත් හා දු දරුවන් හැර දමා හින්දු පූජකයකු බවට පත් වූ මයික් විල්සන්, සිය ජිවිතයේ අවසන් දශක දෙක ගත කළේ ස්වාමි සිවකල්කි නමින්.

චිත‍්‍රපට ලෝකයෙන් වෙනත් ව්‍යාපාරවලට හා කලා කටයුතුවලට ඇදී ගිය ශේෂා පලිහක්කාර 2000 දශකයේ නැවත වරක් චිත‍්‍රපටයකට සම්බන්ධ වුණා. එහෙත් පෙර කළ වික‍්‍රමයන් කරන්නට අවකාශයක් තිබුණේ නැහැ. මයික් 1995දීත්, ක්ලාක් 2008දීත්, ශේෂා 2009දීත් මිය ගියා.

1990 දශකය අගදී රන් මුතු දුවේ පිටපතක් ලොව කොතැනක හෝ ඉතිරිව ඇත්දැයි ක්ලාක් සිය ජාත්‍යන්තර සබඳතා හරහා විපරම් කළා. ටෙක්නිකලර් හා Rank සමාගම් ඔස්සේ ලද ආරංචිය වුයේ ඉතාලියේ එක් සංරක්‍ෂණාගාරයක එබන්දක් ඇති බවයි. එයින් එක් ප‍්‍රදර්ශන පිටපතක් පිට කරන්නට ඔවුන් බි‍්‍රතාන්‍ය පවුම් 18,000ක් (අද රු 3,748,000) ඉල්ලා සිටියා.

චිත‍්‍රපටය අළුත් ලාංකික පරම්පරාවකට පෙන්වන්නට ක්ලාක්ට හා ශේෂාට ලොකු ඕනෑකමක් තිබුණා. එහෙත් මෙරට කිසිදු ප‍්‍රදර්ශන මණ්ඩලයකින් හෝ චිත‍්‍රපට සංස්ථාවෙන් හෝ එයට නිසි උනන්දුවක් ප‍්‍රකාශ නොවු නිසා එතරම් මුදලක් වැය කොට රන් මුතු දුව යළි ලංකා දුපතට ගෙන එමේ අවදානම ඔවුන් ගත්තේ නැහැ.

රන්මුතු දුවේ හරිහමන් DVD පිටපතක්වත් අද සොයා ගන්නට නැහැ. දැනට සංසරණයේ ඇත්තේ මීට කලකට පෙර එය රූපවාහිනී නාලිකාවේ පෙන්වූ විටෙක එයින් පටිගත කර ගත් දුර්වල පිටපත්. YouTube හරහා වෙබ් මාධ්‍යයට එක් කර ඇත්තේත් මෙබඳු පිටපත්. 1960 දශකයටත් පෙර තැනු වෙනත් චිත‍්‍රපට ඩිජිටල් ක‍්‍රම හරහා යළි උපදින (Digital Remastering) මේ කාලයේ රන් මුතු දුවේ පලූදු නොවූ ෘඪෘ පිටපතක්වත් නොතිබීම කණගාටුදායකයි.

සිංහල සිනමාවේ මුල් යුගයේ දකුණු ඉන්දියානු ආභාෂය හා දමිල අධ්‍යක්‍ෂවරුන් හා නිෂ්පාදකයන්ගෙන් ලැබුණු දායකත්වය ගැන අධ්‍යයන කෙරී තිබෙනවා. මෙරට වාර්තා චිත‍්‍රපට කලාවේ මුල් යුගයේ බි‍්‍රතාන්‍යය හා ඉතාලි ජාතික සිනමා ශිල්පීන් රජයේ චිත‍්‍රපට එකකය (GFU) හරහාත් සම්බන්ධ වුණා.

එහෙත් මෙරට සිංහල වෘතාන්ත චිත‍්‍රපට කලාවේ හා කර්මාන්තයේ මයික් විල්සන්ගේ භූමිකාව තවමත් අගැයීමකට ලක් වී නැති බව මගේ වැටහීමයි. මේ අසාමාන්‍ය හා විචිත‍්‍ර චරිතය ගැන කවදා හෝ ලේඛනගත විය යුතුයි.

විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ ආතර් සී. ක්ලාක්ගේ මෙහෙවර ගැන අඩු වැඩි පමණින් දන්නා බොහෝ දෙනා පවා ඔහු කිමිදුම්කරුවකු හා සිංහල චිත‍්‍රපට ආයෝජකයකු ලෙස ලබා දුන් දායකත්වය ගැන දන්නේ ඉතා අඩුවෙන්.

සිවුමංසල කොලූගැටයා #77: විශ්ව ගම්මානය එක්තැන් කරන ඔලිම්පික් ටෙලිවිෂන්

This is the (Sinhala) text of my Sunday column in Ravaya newspaper on 5 August 2012. This week, I trace the moving images coverage of the Olympics, from the early days of cinema to the modern instantaneous live coverage that makes the whole world watch the Games as they unfold.

I covered similar ground in my English column on 29 July 2012: When Worlds Collide #26: Olympics on TV – How the World is One! (But no, I don’t translate – even my own writing.)

2012 ලන්ඩන් ඔලින්පික් උළෙල, 116 වසරක නූතන ඔලිම්පික් ඉතිහාසයේ මාධ්‍ය මගින් වැඩියෙන් ම ආවරණය කැරෙන හා වඩාත් ම ඩිජිටල් ඔලිම්පික් උළෙල බවට පත්ව තිබෙනවා.

ලන්ඩන් ඔලිම්පික් සංවිධායකයන් වෙතින් නිල මාධ්‍ය ආවරණ පහසුකම (media accreditation) ඉල්ලූම් කළ ලෝක ව්‍යාප්ත මාධ්‍යවේදී සංඛ්‍යාව 22,000 ඉක්මවා ගොස් තිබෙනවා. එතරම් සංඛ්‍යාවක් නිල නොවන අයුරින් ද විවිධාකාර ඩිජිටල් මාධ්‍ය හරහා තමන් රිසි තරග ඉසව් හා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගැන වාර්තාකරණයක යෙදෙනු ඇතැයි සංවිධායකයන් අනුමාන කරනවා.

ලන්ඩන් නුවර මෙවර පැවැත් වෙන්නේ ඔලිම්පික් තරඟ මාලාවේ 30 වැන්නයි. 1896දී ග‍්‍රීසියේ ඇතන්ස් නුවර මුල් ම නූතන ඔලිම්පික් උළෙල පවත්වන විට තිබුණේ මුද්‍රිත හා ඡායාරූප මාධ්‍යයන් පමණයි. එහෙත් එතැන් පටන් කෙටි කලක් ඇතුළත සිනමාව (1900), රේඩියෝ මාධ්‍යය (1910) හා ටෙලිවිෂනය (1927) බිහි වී කෙමෙන් ප‍්‍රචලිත වූවා. අළුතෙන් බිහි වූ හැම මාධ්‍යයක් ම ටික කලෙකින් ඔලිම්පික් ආවරණයට යොදා ගනු ලැබූ පරිදි ඉන්ටර්නෙට් හා ජංගම දුරකථන ද අද එම මාධ්‍ය මිශ‍්‍රණයට එක් ව තිබෙනවා.

ඔලිම්පික් තරගාවලි හැකි තාක් සජීව, විස්තරාත්මක හා විචිත‍්‍ර ලෙසින් ලොව පුරා සැමට වාර්තා කිරීමේ අභියෝගය එදා මෙන් ම අදත් පවතිනවා. එයට යොදා ගන්නා මෙවලම් හා තාක්ෂණයන් වෙනස් වූවත් එහි මුඛ්‍ය අරමුණ නම් මුළු ලොවට පොදු මහා ක‍්‍රීඩා උත්සවය කොයි කාගේත් ග‍්‍රහණයට හසු කර දීමයි.

ඔලිම්පික් තරග ඉසව් මෙන්ම ආරම්භක හා අවසන් කිරීමේ සංදර්ශනාත්මක උත්සවයන් සජීව ලෙසින් ටෙලිවිෂන් මාධ්‍යයෙන් විකාශය කිරීම ලොව බොහෝ ටෙලිවිෂන් ආයතනවල අවශ්‍යතාවයයි.

ඔලිම්පික් ව්‍යාපාරයේ පාලක මණ්ඩලය ලෙස ක‍්‍රියාකරන, ආණ්ඩුවලින් පරිබාහිර සංවිධානය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවයි (International Olympic Committee, IOC). එය ජාතික ඔලිම්පික් කමිටුවල නියෝජනය ලබන ලෝක මට්ටමේ සම්මේලනයක්. එහි සාමාජිකත්වය දරණ ජාතික ඔලිම්පික් කමිටු 205ක් තිබෙනවා. (ආණ්ඩුවලට පමණක් සාමාජිකත්වය හිමි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193යි.)

සමස්ත ඔලිම්පික් ව්‍යාපාරය එහි ආරම්භක උතුම් අරමුණු හා සාරධර්මවලට අනුකූල වන පරිදි පවත්වා ගෙන යන ෂධක්‍ සංවිධානය, ඔලිම්පික් තරගාවලි ටෙලිවිෂන් හරහා ආවරණය කිරීමත් නියාමනය කරනවා. ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ හැකි තාක් ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයන්ට ඔලිම්පික් විකාශ නැරඹීමට අවස්ථාව උදාකර දීමයි. මේ නිසා නිදහසේ ගුවනට සංඥා විසුරුවා හරින, ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි (free-to-air, terrestrial) ආකාරයේ ටෙලිවිෂන් නාලිකාවලට ඔලිම්පික් විකාශ වරම දීමට ෂධක්‍ කැමතියි. එමෙන් ම රටක හැකි තාක් ජන සංඛ්‍යාවට නැරඹිය හැකි පරිදි ඇතැම් විට නාලිකා කිහිපයකට එම විකාශ වරම ලබා දෙනවා.

මේ සාරධර්මය උරගා බැලෙන සිදුවීමක් මෙරට සිදු වුණා. ලන්ඩන් ඔලිම්පික් මෙරට විකාශය කිරීමේ වරම ආසියා පැසිෆික් විද්යුත් මාධ්‍ය සංගමය (ABU) හරහා නිල වශයෙන් මෙරට රූපවාහිනී සංස්ථාවට මෙන් ම සිරස/ඵඔඪ මාධ්‍ය ජාලයට ද ලැබී තිබුණා. එහෙත් ශ‍්‍රී ලංකාවේ ඔලිම්පික් විකාශ වරම තනිකර ම තමන්ට ලැබිය යුතු බව කියමින් රූපවාහිනී සංස්ථාව අධිකරණයට ගියා. කොළඹ වාණිජ මහාධිකරණය වෙතින් තහනම් නියෝගයක් ද ලබා ගත්තා.

එයට එරෙහිව අභියාචනා කරමින් සිරස/MTV මාධ්‍ය ජාලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ප‍්‍රබල තර්කයක් වූයේ මෙවර ලන්ඩන් ඔලිම්පික් තරග ඉසව් විශාල සංඛ්‍යාවක් එක්වර පැවැත්වෙන බවත්, දින 16ක් පුරා පැය 3,000කට වැඩි ටෙලිවිෂන් වාර්තාකරණයක් සජීව ලෙසින් සිදු වන බවත්. මෙය කිසිදු තනි නාලිකාවකට විකාශය කිරීමට නොහැකි තරම් විශාල ගුවන් කාලයක් නිසා එක ම රටක බහු විධ නාලිකාවලට ඔලිම්පික් විකාශයන් කිරීමට ඉඩ ලැබීම ඔස්සේ පේ‍්‍රක්ෂකයන්ට වැඩි පරාසයක ඔලිම්පික් තරග ඉසව් බලන්නට ඉඩ ලැබෙන බව ද ඔවුන් පෙන්වා දුන්නා.

ඔලිම්පික් තරගාවලි රූපගත කිරීම ඇරඹුණේ 1908 දී ලන්ඩන් උළෙලින්. එවකට නිහඬව පැවති සිනමාවේ සීමිත තාක්ෂණික පහසුකම් යොදා ගෙන එහි උත්සව හා තරග ඉසවූ චිත‍්‍රපට ගත කළා.

මුල පටන් ම සිනමාකරුවන් අවධානය යොමු කළේ හුදෙක් ඔලිම්පික් උළෙලේ උත්සව අසිරිය, තරග ජයග‍්‍රහණය හා පදක්කම් බෙදා දීම ගැන පමණක් නොවෙයි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මානුෂික හැඟීම්, තරඟකාරීත්වය ඔස්සේ මතු ව එන දේශානුරාගය හා ධීරභාවය (human spirit) හා පරාජිතයන්ගේ හැඟීම් ආදිය ගැනත් සමීප දසුන් හරහා හසු කර ගන්නට ඔවුන් උත්සාහ කළා.

මේ සඳහා සැබෑ ලෝකයේ, තිර නාටක නැතිව දිග ශැරෙන සංත‍්‍රාසමය හා හැඟීම් බරිත අවස්ථා රැුසක් හැම ඔලිම්පික් උළෙලක ම තිබෙනවා. සංවේදී ඡුායාරූප හා චිත‍්‍රපටකරුවන්ට මානුෂික කතාන්දර ආකරයක් ලෙස ඔලිම්පික් තරගාවලී දැකිය හැකියි. අද දවසේ රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන් ගණයට වැටෙන සිදුවීම් එවායේ එමට තිබෙනවා.

London 2012 Opening Ceremony: Tinsel Town goes to Olympia

1908න් පසුව පැවැත් වූ සියළු ඔලිම්පික් තරගාවලි චිත‍්‍රපට කැමරා හෝ ටෙලිවිෂන් කැමරා හෝ මගින් රූපගත කරනු ලැබුවා. තරගාවලියේ උච්ච අවස්ථා කැටි කොට ගත් වාර්තා චිත‍්‍රපටයක් නිපදවීමේ සම්ප‍්‍රදාය ඇරඹුණේ 1924 පැරිසියේ පැවති ඔලිම්පික් උළෙලත් සමගයි. 1920 දශකයේ නිපදවනු ලැබූ ටෙලිවිෂන් තාක්ෂණය යොදා ගෙන 1930 මැද වන විට රූප විකාශය කිරීම ඇරඹුණු විට ඔලිම්පික් වාර්තාකරණයට ඉක්මනින් එය සම්බන්ධ වුණා.

ඔලිම්පික් තරගාවලියක් එය පැවැත්වෙන ක‍්‍රීඩාංගනයකින් බාහිර තැනෙක සිට එවේලේ ම නැරඹීමේ (සජීව) හැකියාව මුල් වරට ලැබුණේ 1936දී ජර්මනිය බර්ලින්හි පැවැත්වූ උළෙලේදී. බර්ලින් හා පොස්ඩාම් දෙනුවර එ සඳහා විශේෂයෙන් සැකසූ මහජන පේ‍්‍රක්ෂකාගාරවල සිට ඔලිම්පික් ඉසවු නැරඹීමේ සීමිත පහසුකම ජර්මන් තාක්ෂණවේදීන් ලබා දුන්නා.

එහෙත් බර්ලින් ඔලිම්පික් උළෙල ගැන වඩාත්ම වැදගත් හා කල් පවත්නා චලන චිත‍්‍ර මතකය නම් ජර්මන් සිනමාවේදිනී ලෙනි රයිෆෙන්ස්ටාල් (Leni Riefestahl) අධ්‍යක්ෂණය කළ Olympia නම් වූ නිල වාර්තා චිත‍්‍රපටයයි.

ඇය හිට්ලර්ගේ නාසිවාදයේ ප‍්‍රචාරණ කටයුතුවලට පක්ෂග‍්‍රාහී ව කටයුතු කළා යයි චෝදනාවක් හා ආන්දෝලනයක් ඇතත්, ඇගේ සිනමාවේ නිර්මාණශීලී බව හා නව්‍යකරණය ගැන විවාදයක් නැහැ. අද ක‍්‍රීඩා තරග ඉසව් රූපගත කොට සංස්කරණය කිරීමේදී යොදා ගන්නා බොහෝ ශිල්ප ක‍්‍රමවල පෙරගමන්කරුවා ඇයයි. මන්ද චලනය (slow-motion), අසාමාන්‍ය රූ රාමු සඳහා කැමරාකරුවන් තරග ධාවන පථ තුළට කිඳා බැස්වීම, පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර සඳහා කැමරාවක් නරඹන්නන් අතරට ඇවිද ගෙන යාම, ජල ක‍්‍රීඩාවලදී පිහිනුම් තටාකයට ඉහළින්, බිම් මට්ටමින් මෙන්ම දිය යටින් ද රූපගත කිරීම් ආදිය හරහා ඔලිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගති සොබා, ආවේග හා ප‍්‍රතිචාර ඔවුන්ටත් නොදැනීම පාහේ හසුකර ගෙන හෘදයාංගම කථාන්තර බවට එක් තැන් කිරීමේ රූප කථා සම්ප‍්‍රදායට ඇගෙන් ලැබුණ ආභාෂය ඉමහත්.

දෙවන ලෝක යුද්ධය නිසා වසර 12ක විරාමයකින් පසු ඔලිම්පික් තරගාවලියක් යළිත් 1948දී ලන්ඩන් නුවර පැවැති අවස්ථාවේ ලන්ඩනයේ සිට සැතපුම් 50ක අරයක දුරින් පිහිටි නිවාසවලට ලක්ෂ 5ක් ජනයාට නිවසේ සිට තරග නැරඹීමට හැකි මට්ටමට ටෙලිවිෂන් තාක්ෂණය දියුණු වී තිබුණා.

එහෙත් රටකින් රටකට ටෙලිවිෂන් සංඥා එසැනින් යැවීමේ හැකියාව පැවතුණේ නැහැ. 1952 හෙල්සින්කි ඔලිම්පික් ටෙලිවිෂන් හරහා විකාශය නොවූ අතර 1956 මෙල්බර්න් ඔලිම්පික් විකාශය ඔස්ටේ‍්‍රලියාවට පමණක් සීමා වුණා. එම තරගාවලියේ සංවිධායකයන් ටෙලිවිෂන් වාර්තාකරණයට අවශ්‍ය තාක්ෂණය සම්පාදනය කර තිබුණත් වෙනත් රටවලින් ආ ටෙලිවිෂන් ආයතන එ සඳහා සංවිධායකයන් ඉල්ලා සිටි සුළු ගාස්තුව ගෙවීම ප‍්‍රතික්ෂේප කළා. ඔලිම්පික් වැනි මහජන ක‍්‍රීඩා උත්සවයක් රූපගත කිරීමට මුදල් ගෙවිය යුතු නැතැයි ඔවුන් තර්ක කළා.

එහෙත් මේ තර්කය වෙනස් කොට මුල්වරට ඔලිම්පික් තරගාවලියක් ආවරණය සඳහා ටෙලිවිෂන් ආයතන ගාස්තුවක් ගෙවූයේ 1960 රෝමයේ පැවති උළෙල සඳහායි. සමස්ත ගාස්තුව එවකට ඇමෙරිකන් ඩොලර් මිලියන් 1.2 යි. අද ඩොලර් බිලියන ගණනින් අලෙවි වන ටෙලිවිෂන් විකාශ වරම් ගාස්තු සමග සසඳන විට මෙය සුළු මුදලක්.

ලෝකයට ම එකවර ඔලිම්පික් උළෙලක් සජීව ලෙසින් ටෙලිවිෂන් හරහා දැක බලා ගැනීමේ හැකියාව ලැබුණේ 1964 තෝකියෝ තරගාවලියේ සිටයි. 1945දී බි‍්‍රතාන්‍ය විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මුල්වරට යෝජනා කළ පණිවුඩ චන්ද්‍රිකා සංකල්පය, අමෙරිකානු සමාගම් විසින් සැබෑවක් බවට පත් කළේ 1960 දශකය මුලදී. මුල්ම පණිවුඩ චන්ද්‍රිකාවක් වූ සින්කොම් 3 (Syncom 3) යොදා ගෙන තෝකියෝවේ ඔලිම්පික් දර්ශන යුරෝපයට හා අමෙරිකාවට සජීව ලෙසින් විකාශය කරනු ලැබුවා.

1964න් පසු අඩ සියවසකට ආසන්න කාලයක් තුළ පවත්වන 12 වන ඔලිම්පික් තරගාවලිය මේ දිනවල අප ටෙලිවිෂන් හරහා නරඹනවා. මේ හැම උළෙලක් ම සජීව ලෙසින් ලොව පුරා විකාශය කෙරුණු අතර ශ‍්‍රී ලංකාවේ මුල්වරට එය සිදුවූයේ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලත් සමගයි.

වේලා කලාපයන් (time zones) අනුව අපේ දිවා කාලයේ හෝ රාත‍්‍රී කාලයේ සිදු වන ඔලිම්පික් ඉසව් එසැනින් නැරඹිම හරහා අප ලෝක ව්‍යාප්ත තොරතුරු සමාජයේ කොටස්කරුවන් මෙන් ම මාෂල් මැක්ලූහන් හා ආතර් සී. ක්ලාක් වැනි සන්නිවේදන විශාරදයන් කල් තබා දුටු විශ්ව ගම්මානයේ පදිංචිකරුවන් ද වනවා.

මෙය හැම කෙනකු ම එක සේ ආවඩන සංසිද්ධියක් ද නොවෙයි. ටෙලිවිෂන් විකාශ වරම් හරහා ලැබෙන අති විශාල මුදල් ප‍්‍රමාණයත්, නිල අනුග‍්‍රාහක වරම ලබන සමාගම් එ සඳහා ගෙවන ගාස්තුවක් නිසා ඔලිම්පික් ව්‍යාපාරය වාණිජකරණය වී ඇතැයි සමහරුන් චෝදනා කරනවා.

අන් හැම දෙයක්ම මිළ මුදලට විකිණෙන වත්මන් පාරිභෝගික සමාජයේ ඔලිම්පික් පමණක් ස්වේච්ඡාවෙන්, නොමිලේ හෝ ලාබෙට කිරීමේ ප‍්‍රායෝගික හැකියාවක් නැති බව අප පිළිගත යුතුයි. එමෙන්ම මේ වන විට ඔලිම්පික් තරගාවලි පත්ව තිබෙන දැවැන්ත පරිමානයට අනුව සුවිසල් ආයෝජන නොමැතිව උළෙලක් පැවැත්වීම සිතන්නටවත් බැරි දෙයක්. (ලන්ඩන් උළෙලට රටවල් 205කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10,500 ක් පමණ ක‍්‍රීඩා 26ක ඉසව් 300කට වැඩි ගණනක තරක කරනවා.)

ඔලිම්පික් තරග ඉසව් එසැනින් ලෝකයේ ඕනෑ ම තැනෙක සිට ග‍්‍රහණය කිරීමේ හැකියාව අද වන විට ටෙලිවිෂන් මාධ්‍යයට අමතරව ඉන්ටර්නෙට් සබඳතා ඇති පරිගණක මෙන්ම ජංගම දුරකථන හරහා ද ලැබෙනවා.

මේ ප‍්‍රවණාතාව වඩාත් ප‍්‍රබල වන විට ටෙලිවිෂන් ඔලිම්පික් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවේදැයි සැකයක් තිබෙනවා. IOC මෙන් ම ඔලිම්පික් සංවිධානය කිරීමේ වරම ලබා ගන්නා සත්කාරක නගර ද සිය වියදමින් විශාල කොටසක් පියවා ගන්නේ ටෙලිවිෂන් විකාශ අයිතිය අලෙවියෙන්. එසේ ලබා ගන්නා විකාශ අතරතුර වෙළඳ දැන්වීම් පෙන්වීම හරහා ටෙලිවිෂන් ආයතන ආදායම් උපයා ගැනීම වෙළඳපොල ආකෘතියයි.

වෙළඳ දැන්වීම් රහිත වෙබ් මාධ්‍ය හරහා (උදා: YouTube) ඔලිම්පික් සජීව ලෙසින් නරඹන්නට හැකි නම් පේ‍්‍රක්ෂකයන් සමහරෙක් සජීව ටෙලිවිෂන් වෙතින් ඉවත් වෙයිද? 2008 බේජිං ඔලිම්පික් උළෙල නැරඹූ ලෝක ව්‍යාප්ත සමස්ත ටෙලිවිෂන් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව බිලියන් 4.3ක් (කෝටි 430) වුණා. මෙවර ලන්ඩන් පේ‍්‍රක්ෂක සංඛ්‍යාව එය අභිබවා යයි ද? නැතිනම් එයට අඩු වෙයි ද?

මේ ප‍්‍රශ්ණවලට පිළිතුරු ළඟදී ම දැනගත හැකියි. එහෙත් වෙබ් මාධ්‍ය ප‍්‍රගමනය හමුවේ සාම්ප‍්‍රදායික ටෙලිවිෂන් මාධ්‍යවලට මෙන් ම ඔලිම්පික් සංවිධායකයන්ට ද අළුත් විදියට සිතන්නට අභියෝග මතු වී තිබෙනවා.

The Last Filming? Mystery of Missing Science Writer and Cameraman finally solved…

Date: 21 July 2011

Location: Garden of Leslie’s House, Barnes Place, Colombo 7, Sri Lanka — where Sir Arthur C Clarke lived for 35 years until his death in March 2008

My colleague Janaka Sri Jayalath had taken this photo more than a year ago while we were filming an interview. But I’ve only just taken a closer look, and realised just what he’d captured…:)

 

The Last Filming – Preoccupied with their work, neither man had any idea what fate was about to befall them…

Caption says it all. Thanks, Gary Larson, for inspiration…

සිවුමංසල කොලූගැටයා #45: තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය

As I have often said on this blog, Television used to be the favourite whipping boy of those who love to criticise communication technologies and consumer gadgets — until the Internet and mobile phones came along.

When it finally arrived in Asia in 1991, direct TV broadcasting by satellite scared the daylights out of many Asian governments and self-appointed guardians of culture and public morals. How can the unexposed (i.e. ‘unspoilt’) hundreds of millions of Asians cope with massive volumes of information and entertainment beaming down from the skies, they asked. Their real concern was the loss of control over what the public watched, which governments and ruling elites had tightly controlled for decades since radio and TV emerged as mass media.

So, for much of that decade, we witnessed howls of protests from them — but their worst fears never materialised. Satellite TV found its niche alongside terrestrial transmissions, and Asian broadcasters soon mastered the medium. Today, global broadcasters like CNN, BBC and Al Jazeera compete with hundreds of Asian satellite TV channels and the audiences have a far greater choice.

As I wrote in September 2008: “In 1990, most Asian viewers had access to an average of 2.4 TV channels, all of them state owned. This has changed dramatically — first with the advent of satellite television over Asia in 1991, and then through the gradual (albeit partial) broadcast liberalisation during the 1990s. Asian audiences, at last freed from the unimaginative, propaganda-laden state channels, exercised their new-found choice and quickly migrated to privately owned, commercially operated channels.”

Sir Arthur Clarke was the man who triggered this satellite communication revolution. In 1945, while still in his late 20s, he was the first to propose the concept of using a network of satellites in the geo-synchronous orbit for television and telecommunications. His vision became a reality in the mid 1960s, and within a generation, humankind has come to rely critically on the network of comsats placed, in what is now called the Clarke Orbit, some 22,300 miles above the earth.

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS) and days before his 86th birthday, I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of information societies. It was published in One World South Asia on 5 December 2003.

For my Ravaya column this week (18 Dec 2011), I have adapted parts of that interview into Sinhala, making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet. It’s also a nice way to mark his 94th birth anniversary this week.

Sir Arthur C Clarke: Opened up the heavens as part of information superhighway...

අතට හසු නොවන, මනසට අළුත් හා නුහුරු ඉන්ටර්නෙට් ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. 2011 නොවැම්බර් 20දා මා කීවේ වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමග බවයි.

ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ අයුරින් ම බය හා සැක ඇති කළ මාධ්‍ය ප්‍රවණතාවක් වූයේ කෘත්‍රිම චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශයන් විසුරුවා හැරීමයි. (direct broadcasting by satellite)’ ආසියා කලාපයේ මෙය ඇරඹුණේ 1991දී. AsiaSat චන්ද්‍රිකාව BBC, CNN හා STAR TV නාලිකාවල උඩුගුවනින් එන ටෙලිවිෂන් සංඥා, අඩු වියදමකින් තනා ගන්නා දීසි ආකාරයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි වුණා.

රාජ්‍ය දේශ සීමා ගැන තැකීමක් නොකර නිදහසේ පාවී එන මේ විකාශ ගැන එවකට ආසියානු රජයන් සලිත වූ සැටි මට මතකයි. වර්තමානයේ ඉන්ටර්නෙට් මාධ්‍යයට එරෙහිව නගන චෝදනාවලට සමාන චෝදනා ගොන්නක් 1990 දශකය පුරා අපේ පණ්ඩිතයෝ චන්ද්‍රිකා හරහා එන ටෙලිවිෂන් විකාශයන්ටත් එල්ල කළා. එය ආසියානු රටවල දේශපාලන ස්ථාවරත්වයට, සංස්කෘතීන්ට හා ජන සමාජයන්ට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි යයි ඇතැම් උගතුන් හා ‘සංස්කෘතික බහිරවයන්’ අනතුරු ඇගවීම් ද කළා.

එහෙත් එබන්දක් සිදු වූයේ නැහැ! නොබෝ කලකින් ආසියානු නාලිකා තම ප්‍රේක්ෂකයන්ට වඩාත් අදාල හා ප්‍රයෝජනවත් වැඩසටහන් විකාශය කරන්නටත් ඒ චන්ද්‍රිකා තාක‍ෂණය ම යොදාගත්තා. මේ වන විට ලෝක ටෙලිවිෂන් නාලිකා, ආසියානු නාලිකා හා දේශීය නාලිකා තුන ම අපේ ටෙලිවිෂන් යන්ත්‍ර හරහා බලා ගත හැකියි.

හාස්‍යජනක කරුණක් නම් මේ දැඩි විවේචනවල යෙදෙන ඇතැම් දෙනා එකී මාධ්‍ය දැක හෝ භාවිතා කර නැති අය වීමයි! එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් මත පදනම් වී කරන මේ විවේචන පිළි ගන්නා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ද සිටීම තමා අපේ ඛේදවාචකය. විෂය දත්තවුන් නිහඩව සිටින මේ දූපතේ, කුමන්ත්‍රණවාදීන් හැම දෙයක් ම නොපිටට හරවා ගන්නවා. (විකිලීක්ස් හා විකිපීඩියා දෙක පටලවා ගැනීම පිළිබද මගේ විග්‍රහය බලන්න: 2011 ජූලි 10)

වඩාත් ප්‍රබලව මතුව එන තොරතුරු තාක‍ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. එයට මුල් වුයේ යුනෙස්කෝ සංවිධානය, ලෝක විදුලි සංදේශ සංගමය (ITU) හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යන ආයතන ත්‍රිත්වයයි. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා.

මගේ ඉලක්කය වූයේ තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වු ක්ලාක් එවකට දැකිය හැකි වු අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ඒ තීරණාත්මක මොහොතේ ලෝකය සමග ඛෙදා ගැනීමයි. ක්ලාක්ගේ 94 වන ජන්ම සංවත්සරය (2011 දෙසැම්බර් 16) සැමරෙන මේ සතියේ ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා.

එදා චන්ද්‍රිකා ටෙලිවිෂන් ගැන ක්ලාක් කී බොහෝ දේ අද ඉන්ටර්නෙට් සඳහා ද වලංගූයි. නමුත් එක් ප්‍රබල වෙනසක් නම් චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශ කිරීමට තාක්ෂණය හා වත්කම තිබුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සමාගම්වලට පමණක් වුවත් ඉන්ටර්නෙට් හරහා ලොවට සන්නිවේදනය කිරීමේ හැකියාව ලොකු පොඩි කාටත් එක සේ උදා වී තිබීමයි. දැවැන්ත මාධ්‍ය සමාගම් අතළොස්සක් නීතිමය හා නීතියට පරිබාහිර උපක්‍රමවලින් හැසිරවීමේ අත්දැකීම් ඇති ලෝකයේ ආණ්ඩුවලට, කුඩා පරිමාණයේ පුරවැසි මාධ්‍යවේදීන් සිය දහස් ගණනක් සමග කුමන ආකාරයෙන් ගනුදෙනු කළ හැකි ද යන්න විශාල අභියෝගයක් වී තිඛෙනවා. ක්ලාක් අප අතර නැතත්, වසර අටකට පෙර ඔහු පළ කළ අදහස් අදටත් අදාලයි.

නාලක: චන්ද්‍රිකා ටෙලිවිෂන් නාලිකා ඔස්සේ එන වැඩසටහන්වල අන්තර්ගතය ගැන කිසිදු රජයකට පාලනයක් නැහැ. රටක පවතින මාධ්‍ය නීති රීති හෝ සාරධර්ම ඒ අයුරින් ම පිළිපැදිය යුතු යැයි චන්ද්‍රිකා ටෙලිවිෂන්වලට බලපෑම් කරන්නටත් බැහැ. මේ පසුබිම තුළ මෙම මාධ්‍යය වඩාත් තදින් හැසිරවිය යුතු යැයි ඔබ සිතනවාද?

ක්ලාක්: පෘථීවියට ඉහළ කක‍ෂගතව තිඛෙන පණිවුඩ චන්ද්‍රිකාවලින් එන ටෙලිවිෂන් විකාශයන් පාලනය කිරීමට හෝ තහනම් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවකට හැකි වේ යැයි මා සිතන්නේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍යයක් තහනම් කිරීම, නීති විරෝධී කිරීම හෝ වාරණය කිරීම ප්‍රගතශීලි පියවරක් ලෙස මා පිළිගන්නේත් නැහැ. අපි මේ තත්ත්වය පුළුල් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කළ යුතුයි. මෙබඳු ප්‍රශ්න ගැන කථාබහ කරන අප බොහෝ දෙනකුට තොරතුරු හා විනෝදාස්වාදය ලබා ගත හැකි මාර්ග ගණනාවක් තිඛෙනවා. බොහෝ විට අප සිටින්නේ තොරතුරු අධිපෝෂණය නැතහොත් තොරතුරු දූෂණය (information pollution) නමැති තත්ත්වයේයි. මේ නිසා එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයල එනම් තොරතුරු සාගතය (information starvation) ගැන අපට හරි වැටහීමක් නැහැ.

මට සිතෙන්නේ චන්ද්‍රිකා ටෙලිවිෂන් වැඩසටහන්වලින් ජන ජීවිතයට, සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි සිදුවේ යැයි කෑ මොර ගසන උදවිය තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබීම නිසා බක පණ්ඩිතයන් වී සිටින අය බවයි. සමාජයේ බහුතරයකගේ සිතුම් පැතුම් හෝ රුචි අරුචිකම් හෝ ගැන මේ ‘කල්චරල් අප්පුලාට’ හැඟීමක් හෝ තැකීමක් නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් ටික දෙනෙකුගේ අභිමතය හා අභිරුචිය මත සියලූ දෙනාගේ කියැවීමේ පුරුදු හෝ ටෙලිවිෂන් නැරඹීමේ රටා සකස් විය යුතුයි කියායි. බටහිර සභ්‍යත්වයට හෝ ජාත්‍යන්තර ප්‍රවාහයන්ට අනාවරණය නොවු ගැමි ජනයා සදහට ම එම තත්ත්වයේ තබා ගත යුතු බවත්, චන්ද්‍රිකා ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් බඳු මාධ්‍ය මඟින් මේ ජනයාගේ මනස දූෂණය වන බවත් මෙකී පණ්ඩිතයෝ කියනවා. එසේ කියමින් ඔවුන් තමන්ගේ පවුල්වල පාවිච්චියට මේ හැම නවීන තාක‍ෂණයක් ම යොදා ගන්නවා. (මෙය හරියට රටේ බහුතරයකට ස්වභාෂාවලින් වැඩ කරන්නට යැයි කියමින් ටික දෙනෙකු ඉංගිරිසිය දිගට ම භාවිත කිරීම වැනි ක්‍රියාවක්!) මෙබඳු ආත්මාර්ථකාමී, වංක විද්වතුන්ගෙන් රටට හා සමාජයට වන යහපතට වඩා හානිය වැඩියි.

චන්ද්‍රිකා ඔස්සේ එන ටෙලිවිෂන් විකාශයන් මෙන් ම පොළව මත පිහිටි සම්ප්‍රේෂණාගාරවලින් ඛෙදා හැරෙන (terrestrial) ටෙලිවිෂන් විකාශයන් ඔස්සේත් හොඳ-නරක දෙයාකාරයේ ම වැඩසටහන් අපට හමු වෙනවා. අප කළ යුතුව ඇත්තේ ක්‍රමානුකූලව ප්‍රේක‍ෂකයන් වඩාත් දැනුවත් හා නැණවත් පිරිසක් බවට පත් කිරීමෙන් මේ ගුණාගුණ තෝරා බේරා ගන්නට හැකි පිරිසක් බවට ඔවුන් පත් කිරීමයි. දිගු කලක් තිස්සේ ටෙලිවිෂන් මාධ්‍යය හා සම්බන්ධව ක්‍රියා කිරීමෙන් පසුව මා තීරණය කර ඇත්තේ මෙයයි: ගුණාත්මක බවින් අඩු ටෙලිවිෂන් වැඩසටහන් පවා, කිසියම් වටිනාකමකින් යුක්තයි. (Even bad TV is better than no TV!). අප කළ යුත්තේ ටෙලිවිෂන් යන්ත්‍ර නිවා දැමීම හෝ විකාශ තහනම් කිරීම හෝ නොවේ. ගුණාත්මක පැත්ත වර්ධනය කර ගන්නට වෙර දැරීමයි.

ස්වාධීනව පාලනය කැරෙන, ස්වාධීනව අදහස් දක්වන මාධ්‍ය ආයතන – විශේෂයෙන් ටෙලිවිෂන් ආයතන – කෙරෙහි බොහෝ ආණ්ඩු දක්වන්නේ අයහපත් ආකල්පයක් නේද?

එයට හේතුව නිදහසේ තොරතුරු හා අදහස් ගලා යාම හරහා සිවිල් සමාජය ශක්තිමත් වන නිසායි. එවිට ඒකාධිපති පාලකයන්ට හා ආණ්ඩුවලට එය තර්ජනයක් වෙනවා. පසුගිය දශක දෙක පමණ කාලය තුළ තමයි චන්ද්‍රිකා ඔස්සේ විකාශය වන ටෙලිවිෂන් සේවාවන් ප්‍රචලිත වී ඇත්තේ. ඊට පෙර සියලූ ටෙලිවිෂන් විකාශයන් මහ පොළොව මත පිහිටි සම්ප්‍රේෂණයන් හරහායි සිදු කෙරුණේ. ඒ යුගයේ මෙම මාධ්‍යය මීට වඩා පාලනය කිරීමට ආණ්ඩුවලට හැකි වුණා. කොටින් ම කිවහොත් මේ මාධ්‍යයට බිය වූ ඇතැම් පාලකයෝ තමන්ගේ රටවල ජාතික ටෙලිවිෂන් සේවාවන් ඇරඹීම වසර ගණන් ප්‍රමාද කළා.

Arthur C Clare (extreme right) with Indian ISRO engineers who installed satellite antenna at his Colombo home, in 1975
හොඳම උදාහරණය ලැඛෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. 1960 දශකය වන විට ලෝකයේ ඉසුරුබර රාජ්‍යයන් අතුරෙන් ටෙලිවිෂන් සේවාවක් අරඹා නොතිබූ එක ම රට වූයේ දකුණු අපිකාවයි. එවකට එහි පැවති සුදු පාලකයන්ගේ රජයේ සන්නිවේදන අමාත්‍යවරයා එරට ටෙලිවිෂන් සේවාවක් ඇරඹීමට කිසිසේත් එකග වූයේ නැහැ. ‘ටෙලිවිෂන් තමයි අප්‍රිකාවේ සුදු මිනිසාගේ පාලනය හමාර කරන්නේ’ යයි ඔහු කළ ප්‍රකාශයෙහි ලොකු අරුතක් ගැබ් වී තිබුණා. ^‘Television will mean the end of the white man in Africa.’)

ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ විට ඔහු කී දේ හරියට ම හරි! පසු කලෙක වර්ණභේදවාදයට විරුද්ධව ගෙන ගිය අරගලයට ටෙලිවිෂන් මාධ්‍යයේ බලපෑම හා දායකත්වය ලැබුණා. කඩුවට වඩා පෑන බලවත් බව අප අසා තිඛෙනවා. ඔය දෙකට ම වඩා ටෙලිවිෂන් කැමරාව බලවත්. මේ නිසා ලෝකයේ හැම ආකාරයේ ආණ්ඩුවක්ම – ප්‍රජාතාන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා – මේ මාධ්‍යය හසුරුවන්නට අඩු වැඩි පමණින් උත්සාහ කිරීම පුදුමයක් නොවෙයි.

මාධ්‍ය හා පුවත් වාරණය (media censorship) ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මාධ්‍ය වාරණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ ගැන සරලව හා පොදුවේ අදහස් දැක්වීමට අපහසුයි. මාධ්‍ය වාරණයට මා එක`ග නැති වුවත්, ඇතැම් අවස්ථාවල යම් යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ටික කලකට මාධ්‍ය වාරණය කිරීමට අවශ්‍ය වන බව මා පිළිගන්නවා. බහුතරයකගේ යහපත සදහා. ඒ වාගේ ම කාගේත් යහපත උදෙසා මාධ්‍යවලින් පිටු දැකිය යුතු හා තුරන් කළ යුතු අංග ද තිඛෙනවා. උදාහරණ නම් ලිංගික වශයෙන් විකෘති අදහස් ඉදිරිපත් කරන රූප හා තොරතුරු, සහ ජාති-ආගම් භේද අවුස්සමින් ප්‍රචන්ඩත්වයට දායක විය හැකි ආකාරයේ ලියකියවිලි.

නමුත් යම්කිසි තොරතුරක්, විග්‍රහයක් හෝ අදහසක් සමාජයට හිතකර ද නැත් ද යන්න නිර්ණය කිරීම ලෙහෙසි නැහැ. එය විවිධ පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් විනිශ්චය කළ හැකියි නේද?

ඇත්තෙන්ම ඔව්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදහත්, අපක‍ෂපාතී පුද්ගලයන් පවා බොහෝ විට එකග වන්නේ නැහැ. මහජනයාට ඉදිරිපත් කළ යුත්තේ කුමක් ද? වසන් කළ යුත්තේ කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ඉතා අසීරුයි. එහෙත් රජයන් හා පාලකයන්ගේ පැත්තෙන් බැලු විට මෙන්න මෙසේ කිව හැකියි. දූෂණ, අක්‍රමිකතා, වංචා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් ආදිය පිළිබද මාධ්‍ය මගින් කැරෙන අනාවරණයන් පාලකයන් බොහෝ විට බලවත් අපහසුතාවයට පත් කරන බව ඇත්ත. එහෙත් එය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් හා වැදගත් වන්නට ද පුළුවන්.

තමන්ගේ රටේ සැබැවින් ම සිදු වන්නේ කුමක්දැයි හරිහැටි දැන ගන්නට නිසි අවකාශ තිබුණා නම් බොහෝ පාලකයන්ට තමන්ගේ බලය – ඇතැම්විට ජීවිතය පවා – මීට වැඩි කාලයක් රැක ගන්නට තිබුණා යයි අපට කිව හැකියි. ඕනෑ ම පාලකයකු වටා ඒකරාශී වන වන්දිභට්ටයන් පිරිස ඉදිරිපත් කරන පක‍ෂග්‍රාහී විග්‍රහයට වඩා ඔබ්බට ගොස් තොරතුරු දැනගැනීමේ උපක්‍රමයක් හැම පාලකයකුට ම අවශ්‍යයි. මේ නිසා තමයි එක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු වරක් කියා සිටියේ නිදහස් මාධ්‍ය පාලකයන්ට මහත් හිසරදයක් විය හැකි වූවත්, බොහෝ විට ඔවුන්ගේ හිස රැක ගන්නත් ඒ නිදහස් මාධ්‍ය ම දායක වන බව.

මෙය ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණය පැත්තෙන් බැලු විට මුද්‍රිත මාධ්‍යයටත් වඩා ප්‍රබල සත්‍යයක්. විශේෂයෙන්ම චන‍ද්‍රිකා සන්නිවේදන තාක‍ෂණය නිසා අද ටෙලිවිෂන් ඔස්සේ ප්‍රවෘත්ති විකාශය කිරීම බොහෝ විට සජීවී ලෙසින් සිදු කැරෙනවා. මේ නිසා අළුතෙන් යමක් සිදුවන විට ඒ මොහොතේම ලොව හැමතැනටම එය දැක බලාගත හැකියි. මෙය කිරීමේදී ඉමහත් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමට ටෙලිවිෂන් ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවෙනවා.

සන්නිවේදනයේ මීළඟ වසර 50 ගැන නෙතඟ බැල්මක් හෙළිය හැකි ද?

පුළුල්ව කිව හොත්, සන්නිවේදනයේ අපට රිසි ඕනෑ ම දෙයක් කළ හැකි තත්ත්වයට අද අප පත්ව සිටිනවා. මේ ඉදිරි ගමන සීමා කරන්නේ තාක්ෂණික හෝ ඉංජිනේරුමය හෝ සාධක නොවේ. එය සිදු වන්නේ නීතිමය, මූල්‍යමය හා දේශපාලනික සාධක මගින්. මෙකී සාධකල තාක්ෂණයේ ප්‍රගමනය තරම් වේගවත්ව හා කාලානුරූපව හැඩ ගැසී නැහැ.

මාධ්‍ය මත බල පෑ රාජ්‍යමය හා අනෙකුත් සීමාකාරී සාධක එකින් එක බිද වැටෙන විට මාධ්‍යවල බලය හා මාධ්‍ය අනිසි ලෙස පරිහරණය කිරීමේ ඉඩකඩ ද ඒ හා සමානුපාතිකව වැඩි විය හැකි බව අප සිහි තබා ගත යුතුයි. ජන සමාජයට හා රටට අහිතකර ප්‍රවාහයන් නූතන සන්නිවේදන මාධ්‍යයන් හරහා ඒමට එරෙහිව ගත හැකි හොද ම ආරක‍ෂක විධි විධානය ලෙස මා දකින්නේ අධ්‍යාපනයයි. මේ රටේ ප්‍රධානතම ප්‍රමුඛතාවයක් විය යුත්තේ ඉදිරි සියවසට ගැලපෙන හා විශ්ව ගම්මානයේ අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයේ ජනතාවක් බිහි කරන අධ්‍යාපන රටාවක් ගොඩ නැගීමයි.