“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Lakbima Sinhala daily newspaper has just published my long interview with S M Banduseela who is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. He is best known as Arthur C Clarke’s Lankan translator.

Parts of this interview appeared earlier in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013):  “විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

Those segments are not repeated here. Lakbima has also carried my questions related to Clarke’s views on traditional knowledge, and on religion. Banduseela answers them in his capacity as a leading rationalist and free thinker in Sri Lanka.

Note: Sir Arthur Clarke (1917-2008) was a life-long non-believer: he was against all forms of organised religion (no exceptions!), and considered religions to be the worst form of ‘mind virus‘.

As he often said: “One of the great tragedies of mankind is that morality has been hijacked by religion. So now people assume that religion and morality have a necessary connection. But the basis of morality is really very simple and doesn’t require religion at all. It’s this: “Don’t do unto anybody else what you wouldn’t like to be done to you.” It seems to me that that’s all there is to it.”

See also: Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

The ascent or descent of Man?

The ascent or descent of Man? Cartoon courtesy Daily Mirror, Sri Lanka

මානව ප්‍රගමනය සඳහා විද්‍යාව හෝ පැරණි සම්ප්‍රදායික දැනුම (traditional knowledge) යන දෙකෙන් එකක් තෝරා ගත යුතු යයි සමහරුන් ලිහිල් තර්කයක් ඉදිරිපත් කරනවා. මෙය කොතරම් ප්‍රායෝගික ?

සම්ප්‍රදායික හා නූතන යනුවෙන් දැනුම් පද්ධති දෙකක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලෝකයේ ඇත්තේ මිනිස් වර්ගයා සොයා ගත් දැනුමයි. ඒ ඒ දැනුම්, අදහස් හා සංකල්ප බිහි  වූයේ  ඒ ඒ පරිසරවල තිබු  අවශ්‍යතාවන්ට අනුවයි. එක් යුගයකදී ප්‍රයෝජනවත් වූ දැනුම් සමුදායක් එම තත්වයන් වෙනස්වී මෙන් පසු  එතරම් වැදගත් නොවන්නට පුළුවනි. උදාහරණයකට ආගමික මතිමතාන්තර වගේ.

සමහර සමාජයන්හි දැනුම සොයා ගැනීම නිරතුරුවම සිදුවන අතර එම සමාජ ඒ නිසාම දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. සමහර සමාජ අලුත් දැනුම සොයා යෑමට උත්සාහ නොකර අතීතකාමයෙන් මුසපත් වී එක තැන ම පල් වෙනවා. දැනුම වේගයෙන් ඉදිරියට යනවා. තාක්ෂණයත් වේගයෙන් දියුණු වෙනවා. අප කළ යුත්තේ මෙම ප්‍රවාහයට එක් වීම මිස අපේ සම්ප්‍රදායික දැනුම සියල්ලට ම වඩා උසස් යයි කියමින් ගෝත්‍රිකයන් මෙන්  ජීවත් වීම නොවෙයි.

ආතර් සී ක්ලාක් ඉතා පැහැදිලිව ම සියලු ආයතනගත ආගම් හා සාමයික දර්ශනයන් ප්‍රතික්ෂේප කළා. දේවවාදයන් නුදුරු අනාගතයේත්, අදේවවාදී අන් සියලු ම ආගම් ඉන් පසුවත් අවභාවිතය නිසා තුරන්ව යන බවට ඔහු ලියා තිබෙනවා. හේතුවාදියෙකු ලෙස ඔබ මෙය විග්‍රහ කරන්නේ කෙසේ ?

ක්ලාක් විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව  නිවැරදිව දුටු කෙනෙක්. අනාගතයේ විද්‍යාව විසින් සියලුම ආගමික සංකල්ප බිඳ දමන බව දුටු නිසා ඔහු සියලුම ආගම් ප්‍රතික්ෂේප කළා. මිනිසාට  තමා හා තම පරිසරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ කාලයක බිහි වූ විවිධ සංකල්ප මෙන් ආගමත් එක් අවස්ථාවකදී මිනිස් සමාජයේ පැවැත්මට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. නමුත් අද එය සම්පූර්ණයෙන් ම මිනිස් සමාජයේ දියුණුවට තර්ජනයක් වී ඇති දෙයක්. ඒ නිසා මිනිසාගේ අනාගත පැවැත්ම ගැන සැලකිලිමත් වන සියලු දෙනාගේ වගකීම වන්නේ ආගමික මතවාද වලින් අන්ධ වී ඇති  සමාජය එයින් මුදවා ගැනීමයි. මේ නිසා අපි ක්ලාක්ගේ ස්ථාවරය ඉතා අගය කළ යුතුයි.

සියලු ආගම් කාරුණිකව ප්‍රතික්ෂේප කරන අතර ක්ලාක් අධ්‍යාත්මික බව (spirituality) අගය කළා. අධ්‍යාත්මික බව හා ආගම් යන දෙක වත්මන් සමාජයේ සමහරුන් පටලවා ගෙන තිබෙනවා නේද?

secularඔව්. අධ්‍යාත්මිකබව මිනිස් සන්තානයේ ගැඹුරෙන් ම ඇති දෙයක්. එයට අයත් වන්නේ ආදරය කරුණාව වැනි මුලික හැඟීම්. ආගම් විසින් කර ඇත්තේ මිනිසා සතුව තිබූ අධ්‍යාත්මික හා සදාචාරාත්මක හැඟීම් පැහැරගෙන එය ඔවුන්ගේ නිපයුමක් ලෙස ඉදිරිපත් කිරීමයි.  වත්මන් සමාජයේ  මතයක් තියෙනවා  ආගමක් අදහන්නේ නැති කෙනෙකුගේ  අධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නැතැයි කියා. ඇත්තෙන් ම ආගම් විශ්වාස නොකරන අය අතර ඉතා අධ්‍යාත්මික හා සදාචාරත්මක පුද්ගලයන් සිටිනවා. ඔවුන් එසේ වී ඇත්තේ දෙවි කෙනෙකුට හෝ කර්මය වැනි දේකට  බියෙන් නොව මිනිස්කමට උචිත එක ම චර්යා රටාව  එය බව පිළිගන්නා නිසයි.

මට මෙහිදී මතක් වෙනවා ආතර් සී ක්ලාක් ඔහු ලියූ The Fountains of Paradise නම් පොතේ උපුටා දක්වා ඇති ජවහර්ලාල් නේරුගේ කියමනක්. එය නම් 1962 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අමතමින්  අගමැති නේරු කළ ප්‍රකාශයයි. එතුමා කියා සිටියේ “දේශපාලනය හා ආගම යල්පැන ගිය අදහස් බවත් දැන් කාලය පැමිණ ඇත්තේ විද්‍යාව හා අධ්‍යාත්මික ගුණ ධර්ම සඳහා බවත්”. (“Politics and religion are obsolete; the time has come for science and spirituality.”)

ඇත්තෙන් ම ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එක ම මග වන්නේ සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොවුන හොත් ආගමික ගැටුම්වලින් මිනිස් වර්ගයා ම විනාශ වී යෑමට ඉඩ තියෙනවා.

විද්‍යාව හා ආගම් අතර අතාත්වික ආකාරයේ මතුපිට සංසන්දනයක් කරන්නට සමහරුන් තැත් කරනවා. ඇතැම් ආගම් අදහන අයට දැඩි ලෙස උවමනා වී ඇත්තේ නූතන විද්‍යාව මගින්  තමන්ගේ ආගම තහවුරු වෙනවා යයි කියන්නට. මේ ගැන ඔබේ මතය?

මෙය මා දකින්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුව  ඉදිරියේ තව දුරටත් පවත්වා ගත නොහැකි තමන්ගේ ආදිකාල්පික මත තහවුරු කිරීමට ගන්නා දුර්වල ප්‍රයත්නයක් හැටියටයි. සෑම ආගමක් ම මිනිසා විශේෂ නිර්මාණයක් ලෙස සැලකුවත්  සත්‍යය නම් මිනිසා යනු සත්ව පරිණාමයේ එක් අවස්ථාවක් පමණක් වීමයි. පරිණාමීය ක්‍රියාවලියේ එක් සතෙකුට පමණක් අදාල වන ‘සත්‍යයන්‘ තියෙන්නට බැහැ. උදාහරණයක් හැටියට මිනිසාට වඩා බුද්ධිමත්  යන්ත්‍රයකට මේ ආගම් අදාල වේ ද? එසේත් නැත්නම් ආගම් වලංගු වන්නේ කාබන්වලින් සැදුණු ජීවින්ට පමණක් ද?

ක්ලාක් මහතා  කියා තියෙනවා ආගම නියෝජනය කරන්නේ මිනිසාගේ නොමේරූ අවස්ථාවක්ය කියා. එතුමාගේ සමහර කෘතිවල මිනිස් වර්ගයා මෙම ළදරු ප්‍රවණතාවන්ගෙන් මිදෙන බවට ඉඟි කර තිබෙනවා. අද දක්නට ලැබෙන ආගමික උන්මාදය දෙස බලන විට පෘථිවියේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ සියලු ආගම් ඉවත දැමීමේන් බව ඉතා පැහැදිලියි. එසේ නැත්නම් තමන් අදහන දෙය පමණක් සත්‍යයයි විශ්වාස කරන විවිධ කොටස් එකිනෙකා විනාශ කර දමන බවට කිසිම සැකයක් නැහැ.

See also: God, Science, and Delusion: A Chat With Arthur C. Clarke
by Matt Cherry in Free Inquiry magazine, Volume 19, Number 2 (1999)

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

S M Banduseela interview with Nalaka Gunawardene - Daily Lakbima - 17 Dec 2013

S M Banduseela interview with Nalaka Gunawardene – Daily Lakbima – 17 Dec 2013

Advertisements

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

S M Banduseela is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. Beginning in 1970, when he translated into Sinhala language The Naked Ape by zoologist and ethologist Desmond Morris, Banduseela has introduced Sinhala readers to over two dozen world acclaimed titles.

He is best known as Arthur C Clarke’s Lankan translator. In the mid 1970s, he translated Clarke’s landmark 1962 volume Profiles of the Future, which was well received. Encouraged, Banduseela took to translating Clarke’s key science fiction novels beginning with 2001: A Space Odyssey. Over the years, he rendered into Sinhala all four Odyssey novels, as well as other works like The Fountains of Paradise, Rendezvous with Rama and The Hammer of God.

In this wide ranging interview, published in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013), I discuss with Banduseela various aspects of science fiction in the Lankan context: the niche readership for this literary genre; its enduring appeal among Sinhala readers; and prospects of original science fiction in Sinhala. He also recalls the challenges he faced translating Clarke’s technically complex and philosophically perceptive novels. I ask him why Sinhala readers have yet to discover the rich worlds of science fiction written in countries like Russia, Japan, China and India.

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!”

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

S M Banduseela, author

S M Banduseela, author

එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප‍්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප‍්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප‍්‍රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප‍්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ  Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.

මෙරට පරිගණක හා තොරතුරු තාක්‍ෂණය සිංහලෙන් ප‍්‍රචලිත කිරීමේ ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු වරක් පරිගණක වදන් සඳහා ඉංගී‍්‍රසි-සිංහල ශබ්දකොෂයක් සම්පාදනය කළා.

විද්‍යා සන්නිවේදනයේ සහ විද්‍යා ප‍්‍රබන්ධකරණයේ පැතිකඩ ගැන ඔහු විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමග කළ සංවාදයකි මේ:

ඔබ ඉංග්‍රිසි විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ කෘති සිංහලට පරිවර්තනය කිරීමට යොමු වූයේ ඇයි?

විද්‍යාව හැදෑරූ කෙනෙක් ලෙස  මා හැම විට ම විද්‍යාත්මක කරුණු හා විවිධ විද්‍යාත්මක මත වාද ගැන උනන්දු උනා. විද්‍යා ප්‍රබන්ධ කියවීමට  යොමු වූයේ  විද්‍යාවේ අනාගතය පිළිබඳ කිසියම් අදහසක් ඒවායින් ලබා ගත හැකි වූ නිසයි. විද්‍යා ප්‍රබන්ධ කියවීමෙන් මම ලැබූ ආස්වාදය  නිසා  ඒවා සිංහලට පරිවර්තනය කර ඉංග්‍රීසි නොදත් පාඨකයාටත් ඒවා හඳුන්වා දිය යුතු යයි හිතුවා.

සිංහල පාඨකයින් ඔබ වැඩිපුර හඳුනන්නේ ආතර් සී ක්ලාක්ගේ කෘති ගණනාවක පරිවර්තකයා ලෙසයි.  ක්ලාක් ඉංග්‍රිසි බස ව්‍යක්ත ලෙස හැසිර වූ ලේඛකයෙක්. ඔහුගේ කෙටිකථා හා නවකථා  සිංහලට පෙරළිමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

ඔව්. එතුමාගේ ඉංග්‍රිසි මෙන් ම  අනාගත විද්‍යාත්මක නිපයුම් පිළිබඳ අදහස් සිංහලට පරිවර්තනය කිරීම අභි යෝගයක් තමයි. ඒ නිසා ක්ලාක් මහතාගේ  ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයටම  සිංහලට ගෙන ඒමට මට  හැකි වූවා යයි මම හිතන්නේ නැහැ. නමුත් හැකි තාක් දුරට  එතුමාගේ අදහස් නිවැරදිව සිංහලෙන් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ වූයේ.

ක්ලාක්ගේ ප්‍රබන්ධ අතරින් ඔබ මුලින් ම පරිවර්තනය කළේ කුමන කෘතිය ? එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේ වී ?

2001 A Space Odyssey - Sinhala translation cover

2001: A Space Odyssey – Sinhala translation cover

ප්‍රබන්ධ අතරින් මම මුලින් ම පරිවර්තනය කළේ  විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන නමක් තබා ඇති කෘතියක් වන “2001: අභ්‍යවකාශ වීර වාරිකාව”යි. එයට ඉතා ම හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා  එම කථා මාලාවේ  අනිත් ප්‍රබන්ධත් (2010, 2061 හා 3001) පරිවර්තනය කළා.  මේ සියල්ල ම සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය උනා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා දුසිමක් පමණ ඔබ අතින් සිංහලට පෙරළී තිබෙනවා. පරිවර්තනය වැඩිපුර ම අභියෝගාත්මක වූ කෘතියක් තිබේද? ඒ කුමන හේතු නිසා ?

මා දැනට  පරිවර්තනය කර ඇති පොත් අතරින්  වඩාත් ම දුෂ්කර පරිවර්තනය වුයේ “Rendezvous with Rama” නම් ග්‍රන්ථයයි.  මම එය “රාමා හමුව” නමින්  පරිවර්තනය කළා. මෙම ප්‍රබන්ධය ලියා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පොළොවට එන  යානයක් වටායි. පරිවර්තනය දුෂ්කර වූයේ ක්ලාක් විස්තර කර ඇති එම යානයේ තාක්ෂණය අප නොදන්නා  ඉතා සංකීර්ණ අනාගත තාක්ෂණයක් වීමත් බාහිර බුද්ධියක් හමුවීමේ දාර්ශනික ගැටලු ආදියත් නිසයි.

ක්ලාක් සියුම් උපහාසයට මෙන්ම ඉංග්‍රීසි වචන සමග සෙල්ලම් කිරීමට (puns) සමතෙක්. පරිවර්තනයේදී ඔබ එබඳු තැන් සිංහලට නැගුවේ කෙලෙස ?

ඒක ඉතා ම දුෂ්කර කාර්යයක් උනා. සමහර තැන් වලදී නම්  ගැලපෙන වාක්ප්‍රයෝග යොදා ගන්නට හැකි වුනා.

ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ නවකථා මෙන් කෙටිකථා රැසක් ද ලියා තිබෙනවා. ඔබේ ප්‍රියතම  ක්ලාක් නවකථාව හා කෙටි කථාව කුමක් ? එයට හේතු දැක්විය හැකි ?

මා වැඩියෙන් ම කැමති ක්ලාක්ගේ නවකථාව  වන්නේ “Songs of Distant Earth” නම් විද්‍යා ප්‍රබන්ධයයි. මා එය “මිහිකතේ ගීතය” යන නමින්  පරිවර්තනය කළා.  ක්ලාක්ගේ බොහෝ  විද්‍යා ප්‍රබන්ධවල අපට හමු වන්නේ සුපිරි තාක්ෂණයක් හා  ඒවායේ ඇලී ගැලී ජිවත් වන හා ඒවා ගැන ම වාද විවාද කරන චරිතයි. නමුත් මේ කථාව එයට වඩා වෙනස් මෙන් ම වඩාත් හැඟීම් බර  කථාවක්.  මෙම කථාවට පදනම් වී ඇත්තේ පෘථිවි අභ්‍යවකාශගාමියෙක් හා ඔවුන් ගොඩබසින වෙනත් ග්‍රහලෝකයක රූමතියක් අතර ඇතිවන  ආදරයයි. මම හිතන්නේ ක්ලාක්ගේ  විද්‍යා ප්‍රබන්ධ අතර  මෙය සුවිශේෂයි.

එතුමා ලියා ඇති කෙටිකථා අතරින් මම වඩාත් ම කැමති “Into the Comet” නම් ප්‍රබන්ධයටයි. එය ලියා ඇත්තේ ධූමකේතුවක් පරීක්ෂා කිරීමට යන යානාවක පරිගණකය ක්‍රියා විරහිතවීම වටායි. පරිගණකය වෙනුවට ඇබකස සිය ගණනක් යොදා ගනිමින් ඔවුන් යානයේ ගමන් මග ගණනය කර ගන්නවා. එය  සියලු බාධක මැද මිනිස් හැකියාව ජය ගන්නා ආකාරය විදහා දක්වන කථාවක්.

S M Banduseela with Sir Arthur C Clarke

S M Banduseela with Sir Arthur C Clarke

ක්ලාක්ගේ ප්‍රබන්ධ ගැන සමහර විචාරකයන් කියන්නේ ඔහු චරිත ගොඩ නැංවීමේදී එතරම් උනන්දුවක් හෝ අවධානයක් දක්වා නැති බවයි. ඔබේ අදහස කුමක්ද ?

මෙය ක්ලාක්ගේ ප්‍රබන්ධ සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් නැගෙන චෝදනාවක්. මම දකින හැටියට නම් මෙයට හේතුව විද්‍යා ප්‍රබන්ධවල චරිතවල තැන ගන්නේ අදහස් හා සංකල්ප වීමයි.  විද්‍යා ප්‍රබන්ධවලදී අපට හමුවන්නේ සම්ප්‍රදායික චරිත නොවේ. උදාහරණයක් හැටියට  කථා නායකයා පරිගණකයක් වන ප්‍රබන්ධයක සම්ප්‍රදායික චරිත නිරූපණයක්  බලාපොරොත්තු විය හැකි ද?

ක්ලාක්ගේ ප්‍රබන්ධ හරහා  මානව සංහතියේ දිගු කාලීන පරිණාමය ගැන කුමන ඉඟි අපට ලද හැකි ?

ක්ලාක්ගේ සියලු ම පොත්වල මානවයාගේ අනාගතය ගැන ඇත්තේ සුබවාදී ආකල්පයක්. 2001 අභ්‍යවකාශ චාරිකාවේ මෙය ඉතා පැහැදිලිව දක්වා තියෙනවා. ලෙයින් මසින් සැදූණු මිනිස් සිරුරට වඩා ශක්තිමත් ලෝහ හා ප්ලාස්ටික්  යොදා ගැනීමේ සිට  විශ්වයේ රජවරුන් වීම දක්වා ක්ලාක් විස්තර කරන  මිනිස් අනාගතය ඉතා ම සුභවාදීයි. 3001 ග්‍රන්ථයේ විස්තර කරන ‘මොළ වැස්ම’ (braincap) වැනි උපකරණ තවම නිපදවා නැති නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් කෙළින් ම දැනුම ලබා ගැනීම තව දුරටත් ප්‍රබන්ධයක් නොවෙන බව දැන් පැහැදිලියි. ක්ලාක් ලියා ඇති ආකාරයට ක්‍රමයෙන් බුද්ධිමත් යන්ත්‍ර හා බද්ධ වීමෙන් උත්තර මිනිසෙක් (Post-Human) බිහිවෙන බවට දැන් සාක්ෂි තියෙනවා.

ක්ලාක් ජීවිත කාලය පුරා සිය ප්‍රබන්ධ හා විද්‍යා කෘතීන් හරහා  යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයන්හී රැඳි සිටියා. ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම එයින් එකක්. එය නිර්මාණවල මතු වුණේ කොහොම ?

ඔව්. එතුමා හැමවිට ම හිංසාව හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව  කථා කළා.  ඔහුගේ ප්‍රබන්ධවල  ප්‍රධාන චරිත බොහෝ විට ප්‍රචණ්ඩත්වය  හෙළා දැක්කා. මනුෂ්‍යයන්ට පමණක් නොව  සියලු ම සතුන් කෙරෙහිත් අප අවිහිංසාවාදී විය යුතු යයි එතුමා විශ්වාස කළා. මෙය ඉතා පැහැදිලිව ම දැකිය හැකි අවස්ථාවක් තමයි “Deep Range” නම් විද්‍යා ප්‍රබන්ධය. මෙයත් සිරිල් සී පෙරේරා මහතා “ගැඹුරු මුහුද” යන නමින් සිංහලට පරිවර්තනය කර තියෙනවා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කථා ගණනාවක් හැරුණු කොට ඔහුගේ ප්‍රකට විද්‍යා ග්‍රන්ථයක් වන  “Profiles of the Futureනම් කෘතිය ද ඔබ සිංහලට පරිවර්තනය කළා. එයට  පාඨක ප්‍රතිචාර කෙසේ වීද?

මම මුලින්ම පරිවර්තනය කළ ක්ලාක් මහතාගේ  කෘතිය එයයි.  ඇත්තෙන්ම මා එය පළ කලේ “අනාගතයේ පැතිකඩක්” හා “අනාගතයේ ආශ්චර්යයන්”  යනුවෙන් පොත් දෙකක් හැටියටයි.  අනාගත තාක්ෂණයේ විවිධ අංශ පිලිබඳ  අනාවැකි පළ කළ  මේ ග්‍රන්ථය  ඉතා ජනප්‍රිය උනා.  එහි මුද්‍රණ ගණනාවක් ම නිකුත් කිරීමට හැකි වුනා.

Profiles of the Future” පොතේ අන්තර්ගතය ගැන, එය පළවී අඩ සියවසකට පසු ඔබ සිතන්නේ කුමක්ද?

මීට අවුරුදු පනහකට පමණ පෙර අනාගත තාක්ෂණය ගැන ක්ලාක් ලියු  බොහෝ දේ අද සත්‍යයන්  බවට පත්වී තිබෙනවා. එසේ නැත්නම්  නුදුරු අනාගතයේ එසේ වන බවට සාක්ෂි තිබෙනවා. මේ ග්‍රන්ථයේ  එතුමා ප්‍රවාහන ක්‍රමවල වර්ධනය, ගුරුත්වය ජය ගැනීම, වේගයේ වැඩිවීම, ක්ෂණික ප්‍රවාහනය, අභ්‍යවකාශය ජය ගැනීම, කාලය ජය ගැනීම, අදෘශ්‍යමානවීම, සියල්ල නිවසේ ම නිපදවා ගැනීම, අසීමිත තොරතුරු ප්‍රවාහය,  මොළය ඉලෙක්ට්‍රොනික පද්ධති හා සම්බන්ධ කිරීම, ඉලෙක්ට්‍රොනික බුද්ධියේ වර්ධනය  ආදී විවිධ කරුණු ගැන සාකච්ඡා කරනවා පමණක් නොවෙයි, අනාවැකිත් පළ කර තියෙනවා.

මින් අවුරුදු පනහකට පෙර ලියන ලද මේ පොතේ සඳහන් වෙනවා තැනින් තැන ගෙන යා හැකි, පොළොව මතුපිට සිටින ඕනෑ ම කෙනෙකු සමග ක්ෂණයකින් සම්බන්ධ විය හැකි උපකරණයක් ගැන. මෙය අද කා අතත් ඇති ජංගම දුරකථනය නිවැරදිව පුරෝකථනය කිරීමක්. ඕනෑ ම දෙයක් නිපදවිය හැකි ප්‍රතිඋත්පාදකයක් (Replicator) ගැනත් මේ පොතේ අනාවැකියක් තියෙනවා. අද දියුණු වේගන යන  ත්‍රිමාන මුද්‍රණය (3D Printing) මෙයට සමාන උපකරණයක්.

The Fountains of Paradise  - Sinhala translation cover

The Fountains of Paradise – Sinhala translation cover

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ පොදුවේ සළකා බලන විට ශ්‍රී ලංකාවේ අඩ සියවසක් වාසය කිරීමේ බලපෑම ඔහුගේ නිර්මාණ හරහා විද්‍යමාන වන්නේ කෙසේද?

ඔහුගේ එක් කෘතියකට එනම් Fountains of Paradise නම් කෘතියට  පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. මම එය ‘පරාදිසයේ උල්පත්‘ යනුවෙන් පරිවර්තනය කළා. මෙහිදී එතුමා  සීගිරිය, ශ්‍රීපාදය  හා ලංකාවේ ඇති ජනප්‍රවාද ඉතා ම නවීන විද්‍යාත්මක සංකල්පයක් වන අභ්‍යවකාශ සෝපානය  සමග මුසු කර නිර්මාණය කර ඇති ප්‍රබන්ධය ඉතාම  සුවිශේෂි කථාවක්. එයට අමතරව අපේ සමාජයේ දක්නට ඇති අවිහිංසාව වැනි අදහස්  එතුමාගේ කෘතිවල ප්‍රබල ලෙස දක්නට ලැබෙනවා.

ක්ලාක් හැරුණු කොට ශ්‍රී ලංකාව පාදක කොට විද්‍යා ප්‍රබන්ධ ලියූ වෙනත් විදේශිය ලේඛකයන් සිටී ද?

මා දන්නා තරමින් නම් නැහැ.

විද්‍යා ප්‍රබන්ධ  යයි එවකට හඳුන්වනු නොලැබුව ද එම කථාවල මූලික ගුණාංග අඩංගු අපූරු කථාන්තර විවිධ සංස්කෘතීන්ගෙන් හමු වෙනවා.  මේ සඳහා පෙරදිග රටවල හා මෙරට උදාහරණ දැක්විය හැකි ?

ඔව්. රාමායණය හා මහාභාරතය වැනි කථාවල  (මිසයිල වැනි) විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ  දකින්නට ලැබෙනවා. අපේ උම්මග්ග ජාතකයේ  වුවත් යමක් එබු පමණින්  සියලු දොරවල් වැසී යන  උමං ගැන සඳහන් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ (science fiction) හා මායාරූපී කථා  (science fantasy) බොහෝ දෙනා පටලවා ගන්නවා. මේ දෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ?

විද්‍යා ප්‍රබන්ධ හා මායාරූපී කථා අතර ඇත්තේ ඉතා නොපැහැදිලි අනියත සීමාවක්. නමුත් මූලික වශයෙන් විද්‍යා ප්‍රබන්ධය යනු අප දන්නා කරුණු මත පදනම්ව අනාගතයේ සිදුවිය හැකි  සංසිද්ධියක් වටා ගෙතූ ප්‍රබන්ධයක්. මායාරූපි කථාවකට  එවැනි පදනමක් නැහැ.  නමුත් එක් යුගයකදී  මායාරූපී කථාවක් ලෙස  පෙනෙන දෙයක්  තවත් කාලයකදී විද්‍යා ප්‍රබන්ධයක් වීමටත් ඉඩ තියෙනවා.

උදාහරණයක් හැටියට  ආතර් ක්ලාක් විසින් ම වරක් පෙන්වා දී ඇති ආකාරයට  1938ට (පරමාණුක ශක්තිය සොයා ගැනීමට) පෙර  ලෝහ කැබලි දෙකක් එකිනෙක ගැටීමෙන්  යෝධ ශක්තියක් නිපදවිය හැකි යයි ලියා තිබුණේ නම් එය  මායාරූපී කථාවක්  වෙනවා.නමුත් දැන් පරමාණුක ශක්තිය එදිනෙදා කටයුතුවලට යොදා ගන්නා දෙයක්.

විද්‍යා ප්‍රබන්ධ හුදෙක් අනාගත කථාවලට පමණක් සීමා වන්නේ නැහැ.  එසේ නොවී අනිකුත් දිශාවලට විද්‍යා ප්‍රබන්ධ කලාව විහිද ගොස් ඇති සැටි කෙටියෙන් පහදා දිය හැකි ?

මුල් විද්‍යා ප්‍රබන්ධ වැඩි වශයෙන් ම  ලියවුණේ  අනාගතය හා අභ්‍යවකාශ ගමන්  වටායි.  නමුත් මෙම සාහිත්‍යාංගය ක්‍රමයෙන්  පරිණත වන විට  විද්‍යාවේ අනිකුත් අංශවලටත් එය විහිදි ගියා.  අද විකල්ප ඉතිහාසය, කාලතරණය, රොබෝවන්, සයිබෝර්ග්, යන්ත්‍ර බුද්ධිය, බලක්ෂේත්‍ර, සයිබර් අවකාශය, ජාන විද්‍යාව, උත්තර මානවයන් (Post-Humans) වැනි විද්‍යාවේ විවිධ අංශ වටා විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා.

නුදුරු අනාගතයේ බිහි විය හැකි සියල්ල යන්ත්‍රවලින් කෙරෙන සමාජයක මිනිසාගේ කාර්ය භාරය කුමක් ද? ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් කෙළින් ම මොළයට දැනුම ලබාගත හැකි වුවහොත් අධ්‍යාපන ක්‍රමවල අනාගතය කුමක් වේ ද? මිනිස් මොළ  එකිනෙකට සම්බන්ධ කළ හැකි වූ විට පුද්ගලික රහස්‍ය බවක් (privacy) පවත්වා ගත හැකි ද? කෘත්‍රිම ඉන්ද්‍රියන් භාවිතයට ගැනීමේ සාමාජීය බලපෑම් මොනවාද?  මොළයේ ඇති සියලු තොරතුරු පරිගණකයක් තුළට ගෙන ආ විට මිනිසාට සිදු වන්නේ කුමක්ද ? ආදී වශයෙන් වත්මන් තාක්ෂණික නිපයුම් නිසා  ඇති විය හැකි ප්‍රශ්න ගැන ප්‍රධාන සාහිත්‍ය ධාරාවේ නියුතු කිසිම ලේඛකයෙක් සාකච්ඡා කරන බවක් පෙනෙන්නේ නැහැ. මිනිස් වර්ගයාටත්, මිනිස් අනාගතයටත් ඉතා වැදගත් වන  මෙවැනි තේමාවන් ගැන ලියන්නේත් සාකච්ඡා කරන්නෙත් විද්‍යා ප්‍රබන්ධ රචකයන් පමණයි.

ක්ලාක් ඇතුළු ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ රචකයන් බොහෝ දෙනෙකු තම සාහිත්‍යාංගය දුටුවේ අනාගතවේදයක් හෝ අනාවැකි කීමක් ලෙස ? නැත්නම් වෙනත් විදියකට ?

මුල් විද්‍යා ප්‍රබන්ධ ලියැවුණේ අභ්‍යවකාශ යුගය ආරම්භ වීමට බොහෝ කලකට පෙරයි. ඒවා බොහෝ දුරට අභ්‍යවකාශ ගමන් පිළිබඳ ඒවා වූ නිසා  අනාගතය දැකීමක්  ලෙස සැලකිය හැකියි. නමුත් විද්‍යා ප්‍රබන්ධ එයට සීමා වූයේ නැහැ.  ඇත්ත වශයෙන්ම විද්‍යා ප්‍රබන්ධයේ කාර්ය භාරය වන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග අපට අනාගතයේ මුහුණ පෑමට සිදු වන සමාජීය, මානසික හා සදාචාරාත්මක ප්‍රශ්නවලට අප හුරු පුරුදු කිරීමයි.

විද්‍යා ප්‍රබන්ධකරුවන් අනාගතය ගැන අනාවැකි කියන්නන් නොව අයහපත් හෝ අහිතකර අනාගතයන් වළක්වා ගන්නට අනතුරු අඟවන්නන් යයි ලේඛක රේ බ්‍රැඩ්බරි (Ray Bradbury) වරක් කියා සිටියා. මේ ගැන ඔබේ අදහස?

එය සත්‍යයක්. විද්‍යා ප්‍රබන්ධ අනාගතය පිළිබඳ අනතුරු අඟවා ඒවා වළක්වා ගැනීමට  සහාය වනවා පමණක් නොව අනාගත  තාක්ෂණයට අප හුරුපුරුදු කරනවා. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ මගින් අපේ සමාජයට නව අදහස් හා ආකල්ප  හඳුන්වා දෙනවා.

විද්‍යා ප්‍රබන්ධවල සාහිත්‍යමය අගය ගැන එකඟත්වයක් නැහැ.  සමහරුන් එය සාහිත්‍යාංගයක් ලෙස පිළි ගන්නේත් නැහැ.  ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ කලාව – ලිවීම, පරිවර්තනය හා කියවීම – ගැන ඔබේ තක්සේරුව කුමක් ?

Songs of Distant Earth - Sinhala translation cover

Songs of Distant Earth – Sinhala translation cover

මම හිතන්නේ මෙය ක්‍රමයෙන් වෙනස්වී ගෙන යනවා. අඩු ම වශයෙන් බටහිර ලෝකයේ එය නූතන සාහිත්‍යාංගයක් ලෙස සැලකිල්ලට බඳුන් වෙනවා. බටහිර විශ්ව විද්‍යාල ගණනාවක දැන් විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ පාඨමාලා හැදෑරිය හැකිවීම එයට ලැබී ඇති තැන පිළිබඳ හොඳ දර්ශකයක්.

ශ්‍රී ලංකාවේ නම් තවම විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රය නම් එතරම් දියුණුවක් පෙන්වන්නේ නැහැ. ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ කෘති සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඉතා ම ස්වල්පයක් පමණයි. නමුත් අද සිංහලෙන් ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ අතරින්  සුළු ප්‍රමාණයක්වත් උසස් තත්වයක තිබීම නම් සතුටට කරුණක්.

මෙරට විද්‍යා ප්‍රබන්ධ රසිකයන්ට  තවමත් ක්ලාක්ගේ  කෘතීන් පරිවර්තනය වී ලැබී ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. මෙසේ  සීමා වීමට හේතුව වෙළඳ පොළ විභවයක් නැතිකම ?

නැහැ. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධවල සිංහල පරිවර්තනවලට සැලකිය යුතු වෙළඳපොළක් තියෙනවා. ප්‍රශ්නය වී ඇත්තේ  පරිවර්තකයන්ගේ හිඟයයි. සිංහල පාඨකයන් අතර මෙම සාහිත්‍යාංගය ජනප්‍රිය කිරීමට නම්  ලොව පුරා දක්නට ඇති විද්‍යා ප්‍රබන්ධයේ  නව ප්‍රවණතාවන්ට ඔවුන්  නිරාවරණය කළ යුතුයි. නිර්මාණශීලී හැකියාවන් ඇති තරුණ ලේඛකයන්ටත් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට එය විශාල පිටුවහලක්  වේවි.

ඉංග්‍රීසියෙන් පළ  වු බටහිර පන්නයේ විද්‍යා ප්‍රබන්ධ සීමිතව  සිංහල පාඨකයාට ලැබී ඇතත් ජපන්, රුසියානු, චීන හා ඉන්දියානු වැනි සම්ප්‍රදායන්ගේ විද්‍යා ප්‍රබන්ධ ගැන සුළු හෝ අවධානයක් නැති තරම්. මෙයට කුමක් කළ හැකි ?

අද ලෝකයේ විවිධ භාෂාවලින් විද්‍යා ප්‍රබන්ධ ලියවුනත් අපට සිංහලෙන්  කියවීමට ලැබී ඇත්තේ අතළොස්සක් වූ ඉංග්‍රීසි හා රුසියානු ප්‍රබන්ධ පමණයි. විවිධ රටවල ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ සිංහලට පරිවර්තනය කිරීම අත්‍යාවශ්‍ය කාර්යයක්. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පරිවර්තකයන්ගේ හිඟයයි.

අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ විවිධ භාෂාවලින්  දැන් විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා පමණක් නොවෙයි ඒවා ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කෙරෙනවා. අඩු ම වශයෙන් ඉන්දියානු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අපේ පාඨකයන්ට හඳුන්වාදීමට කටයුතු කිරීම ඉක්මන් අවධානය යොමු විය යුතු කරුණක්.

ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ලියන්නට කැමති නිර්මාණශීලි ලේඛකයන්ට ඔබේ උපදෙස් මොනවාද?

හැකි තරම් කියවන්න.  විද්‍යා ප්‍රබන්ධ පමණක් නොව නවීන විද්‍යාත්මක අදහස් හා සංකල්ප අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.  විද්‍යා ප්‍රබන්ධයේ පදනම වන්නේ  විද්‍යාව හා තාක්ෂණය නිසා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණයේදී ඉතා වැදගත් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ ලේබලය යටතේ මෙරට පුවත්පත් හා සඟරාවල පළවන බොහෝ ස්වතන්ත්‍ර ප්‍රබන්ධ ඇත්තට ම විද්‍යා විරෝධී ප්‍රබන්ධ (anti-science fiction) බවට මා තර්ක කරනවා. විද්‍යාවේ සෘණ පැත්ත හා අහිතකර විපාක ගැන පමණක් අතිශයෝක්තියෙන් හුවා දක්වන, ඉතා දියාරු කථා රසයෙන් යුත්  මේ කථා ගැන ඔබ සිතන්නේ කුමක් ?

ඒක ඇත්තක්. මෙයට හේතුව වී ඇත්තේ  විද්‍යාත්මක සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති වීමයි. විද්‍යා ප්‍රබන්ධ ලෙස අද පළවන සමහර කථා හුදු මනඃකල්පිතයන් පමණයි. නිර්මාණශීලි හැකියාවක් ඇති ඕනෑ ම කෙනෙකුට  සාමාන්‍ය නවකථාවක් හෝ කෙටි කථාවක් රචනා කළ හැකි නමුත්  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමට විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ දැනුමක් ද අවශ්‍ය වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වූ චිත්‍රකථා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලෝකයේ ඉතා ජනප්‍රියයි.  එබඳු උපසංස්කෘතියක් මෙරට බිහි කරන්නට කුමක් කළ හැකි ?

ඔව්. අපේ රටේ එවැනි ප්‍රවණතාවක් දක්නට ඇත්තේ ම නැති තරම්. සුළු උත්සාහයන්  ගෙන තිබුණත් ඒවා එතරම් සාර්ථක නිර්මාණයන් වූයේ  නැහැ. සමහරවිට මෙයට හේතුව එවැනි චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තාක්ෂණික ප්‍රයෝග ලබා ගැනීමේ  දුෂ්කරතාව වීමට පුළුවන්.

කෙසේ වෙතත් අනාගතය රැඳී ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය මතයි. අපේ නිර්මාණකරුවන් සුපුරුදු රාමුවෙන් පිටතට ඇවිත්  විද්‍යාව හා තාක්ෂණයේ  දියුණුව නිසා ඇති වන ප්‍රශ්න හා ගැටලු ගැන අවධානය යොමු කළ යුතුයි.

ඉන්දියාවේ සමහර මුල් පෙළේ විද්‍යාඥයෝ (උදා. තාරකා විද්‍යාඥ ජයන්ත් නාලිකාර්) විද්‍යා ප්‍රබන්ධ ලියනවා. ඔබ දන්නා තරමට  විද්‍යා ප්‍රබන්ධ අළුතෙන් ලිවීමේ නියැලි ලාංකික විද්‍යාඥයින් සිටිනවා ? ඔවුන් ඒ ගැන සිතිය යුතු ?

නැහැ. මා දන්නා තරමින් නම් ලංකාවේ විද්‍යාඥයින් කිසිවෙක් විද්‍යා ප්‍රබන්ධ ලියන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම මම හිතනවා විද්‍යාව ගැන හොඳ අවබෝධයක් ඇති අය වශයෙන් ඔවුන් ඒ ගැන සිත යොමු කළ යුතුයි.

ආතර් ක්ලාක් ගේ කියමනක් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. එය ඇත්තේ අනාගතයේ පැතිකඩක් නම් ග්‍රන්ථයේ. “දෙවෙනි පෙළේ විද්‍යාඥයින් විද්‍යා ප්‍රබන්ධ විහිළුවට ලක් කරන නමුත් පළමු පෙළේ විද්‍යාඥයින් එසේ කරනු මා කිසිදාක දැක නැතිවා පමණක් නොව  විද්‍යා ප්‍රබන්ධකරණයේ නියැලෙන  කීප දෙනෙක් ම මම දනිමි.”

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

Posted in Arthur C Clarke, Future, ICT, New media, Science fiction, Sri Lanka, Story telling, Writing. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »