“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

S M Banduseela is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. Beginning in 1970, when he translated into Sinhala language The Naked Ape by zoologist and ethologist Desmond Morris, Banduseela has introduced Sinhala readers to over two dozen world acclaimed titles.

He is best known as Arthur C Clarke’s Lankan translator. In the mid 1970s, he translated Clarke’s landmark 1962 volume Profiles of the Future, which was well received. Encouraged, Banduseela took to translating Clarke’s key science fiction novels beginning with 2001: A Space Odyssey. Over the years, he rendered into Sinhala all four Odyssey novels, as well as other works like The Fountains of Paradise, Rendezvous with Rama and The Hammer of God.

In this wide ranging interview, published in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013), I discuss with Banduseela various aspects of science fiction in the Lankan context: the niche readership for this literary genre; its enduring appeal among Sinhala readers; and prospects of original science fiction in Sinhala. He also recalls the challenges he faced translating Clarke’s technically complex and philosophically perceptive novels. I ask him why Sinhala readers have yet to discover the rich worlds of science fiction written in countries like Russia, Japan, China and India.

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!”

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

S M Banduseela, author
S M Banduseela, author

එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප‍්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප‍්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප‍්‍රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප‍්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ  Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.

මෙරට පරිගණක හා තොරතුරු තාක්‍ෂණය සිංහලෙන් ප‍්‍රචලිත කිරීමේ ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු වරක් පරිගණක වදන් සඳහා ඉංගී‍්‍රසි-සිංහල ශබ්දකොෂයක් සම්පාදනය කළා.

විද්‍යා සන්නිවේදනයේ සහ විද්‍යා ප‍්‍රබන්ධකරණයේ පැතිකඩ ගැන ඔහු විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමග කළ සංවාදයකි මේ:

ඔබ ඉංග්‍රිසි විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ කෘති සිංහලට පරිවර්තනය කිරීමට යොමු වූයේ ඇයි?

විද්‍යාව හැදෑරූ කෙනෙක් ලෙස  මා හැම විට ම විද්‍යාත්මක කරුණු හා විවිධ විද්‍යාත්මක මත වාද ගැන උනන්දු උනා. විද්‍යා ප්‍රබන්ධ කියවීමට  යොමු වූයේ  විද්‍යාවේ අනාගතය පිළිබඳ කිසියම් අදහසක් ඒවායින් ලබා ගත හැකි වූ නිසයි. විද්‍යා ප්‍රබන්ධ කියවීමෙන් මම ලැබූ ආස්වාදය  නිසා  ඒවා සිංහලට පරිවර්තනය කර ඉංග්‍රීසි නොදත් පාඨකයාටත් ඒවා හඳුන්වා දිය යුතු යයි හිතුවා.

සිංහල පාඨකයින් ඔබ වැඩිපුර හඳුනන්නේ ආතර් සී ක්ලාක්ගේ කෘති ගණනාවක පරිවර්තකයා ලෙසයි.  ක්ලාක් ඉංග්‍රිසි බස ව්‍යක්ත ලෙස හැසිර වූ ලේඛකයෙක්. ඔහුගේ කෙටිකථා හා නවකථා  සිංහලට පෙරළිමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

ඔව්. එතුමාගේ ඉංග්‍රිසි මෙන් ම  අනාගත විද්‍යාත්මක නිපයුම් පිළිබඳ අදහස් සිංහලට පරිවර්තනය කිරීම අභි යෝගයක් තමයි. ඒ නිසා ක්ලාක් මහතාගේ  ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයටම  සිංහලට ගෙන ඒමට මට  හැකි වූවා යයි මම හිතන්නේ නැහැ. නමුත් හැකි තාක් දුරට  එතුමාගේ අදහස් නිවැරදිව සිංහලෙන් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ වූයේ.

ක්ලාක්ගේ ප්‍රබන්ධ අතරින් ඔබ මුලින් ම පරිවර්තනය කළේ කුමන කෘතිය ? එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේ වී ?

2001 A Space Odyssey - Sinhala translation cover
2001: A Space Odyssey – Sinhala translation cover

ප්‍රබන්ධ අතරින් මම මුලින් ම පරිවර්තනය කළේ  විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන නමක් තබා ඇති කෘතියක් වන “2001: අභ්‍යවකාශ වීර වාරිකාව”යි. එයට ඉතා ම හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා  එම කථා මාලාවේ  අනිත් ප්‍රබන්ධත් (2010, 2061 හා 3001) පරිවර්තනය කළා.  මේ සියල්ල ම සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය උනා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා දුසිමක් පමණ ඔබ අතින් සිංහලට පෙරළී තිබෙනවා. පරිවර්තනය වැඩිපුර ම අභියෝගාත්මක වූ කෘතියක් තිබේද? ඒ කුමන හේතු නිසා ?

මා දැනට  පරිවර්තනය කර ඇති පොත් අතරින්  වඩාත් ම දුෂ්කර පරිවර්තනය වුයේ “Rendezvous with Rama” නම් ග්‍රන්ථයයි.  මම එය “රාමා හමුව” නමින්  පරිවර්තනය කළා. මෙම ප්‍රබන්ධය ලියා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පොළොවට එන  යානයක් වටායි. පරිවර්තනය දුෂ්කර වූයේ ක්ලාක් විස්තර කර ඇති එම යානයේ තාක්ෂණය අප නොදන්නා  ඉතා සංකීර්ණ අනාගත තාක්ෂණයක් වීමත් බාහිර බුද්ධියක් හමුවීමේ දාර්ශනික ගැටලු ආදියත් නිසයි.

ක්ලාක් සියුම් උපහාසයට මෙන්ම ඉංග්‍රීසි වචන සමග සෙල්ලම් කිරීමට (puns) සමතෙක්. පරිවර්තනයේදී ඔබ එබඳු තැන් සිංහලට නැගුවේ කෙලෙස ?

ඒක ඉතා ම දුෂ්කර කාර්යයක් උනා. සමහර තැන් වලදී නම්  ගැලපෙන වාක්ප්‍රයෝග යොදා ගන්නට හැකි වුනා.

ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ නවකථා මෙන් කෙටිකථා රැසක් ද ලියා තිබෙනවා. ඔබේ ප්‍රියතම  ක්ලාක් නවකථාව හා කෙටි කථාව කුමක් ? එයට හේතු දැක්විය හැකි ?

මා වැඩියෙන් ම කැමති ක්ලාක්ගේ නවකථාව  වන්නේ “Songs of Distant Earth” නම් විද්‍යා ප්‍රබන්ධයයි. මා එය “මිහිකතේ ගීතය” යන නමින්  පරිවර්තනය කළා.  ක්ලාක්ගේ බොහෝ  විද්‍යා ප්‍රබන්ධවල අපට හමු වන්නේ සුපිරි තාක්ෂණයක් හා  ඒවායේ ඇලී ගැලී ජිවත් වන හා ඒවා ගැන ම වාද විවාද කරන චරිතයි. නමුත් මේ කථාව එයට වඩා වෙනස් මෙන් ම වඩාත් හැඟීම් බර  කථාවක්.  මෙම කථාවට පදනම් වී ඇත්තේ පෘථිවි අභ්‍යවකාශගාමියෙක් හා ඔවුන් ගොඩබසින වෙනත් ග්‍රහලෝකයක රූමතියක් අතර ඇතිවන  ආදරයයි. මම හිතන්නේ ක්ලාක්ගේ  විද්‍යා ප්‍රබන්ධ අතර  මෙය සුවිශේෂයි.

එතුමා ලියා ඇති කෙටිකථා අතරින් මම වඩාත් ම කැමති “Into the Comet” නම් ප්‍රබන්ධයටයි. එය ලියා ඇත්තේ ධූමකේතුවක් පරීක්ෂා කිරීමට යන යානාවක පරිගණකය ක්‍රියා විරහිතවීම වටායි. පරිගණකය වෙනුවට ඇබකස සිය ගණනක් යොදා ගනිමින් ඔවුන් යානයේ ගමන් මග ගණනය කර ගන්නවා. එය  සියලු බාධක මැද මිනිස් හැකියාව ජය ගන්නා ආකාරය විදහා දක්වන කථාවක්.

S M Banduseela with Sir Arthur C Clarke
S M Banduseela with Sir Arthur C Clarke

ක්ලාක්ගේ ප්‍රබන්ධ ගැන සමහර විචාරකයන් කියන්නේ ඔහු චරිත ගොඩ නැංවීමේදී එතරම් උනන්දුවක් හෝ අවධානයක් දක්වා නැති බවයි. ඔබේ අදහස කුමක්ද ?

මෙය ක්ලාක්ගේ ප්‍රබන්ධ සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් නැගෙන චෝදනාවක්. මම දකින හැටියට නම් මෙයට හේතුව විද්‍යා ප්‍රබන්ධවල චරිතවල තැන ගන්නේ අදහස් හා සංකල්ප වීමයි.  විද්‍යා ප්‍රබන්ධවලදී අපට හමුවන්නේ සම්ප්‍රදායික චරිත නොවේ. උදාහරණයක් හැටියට  කථා නායකයා පරිගණකයක් වන ප්‍රබන්ධයක සම්ප්‍රදායික චරිත නිරූපණයක්  බලාපොරොත්තු විය හැකි ද?

ක්ලාක්ගේ ප්‍රබන්ධ හරහා  මානව සංහතියේ දිගු කාලීන පරිණාමය ගැන කුමන ඉඟි අපට ලද හැකි ?

ක්ලාක්ගේ සියලු ම පොත්වල මානවයාගේ අනාගතය ගැන ඇත්තේ සුබවාදී ආකල්පයක්. 2001 අභ්‍යවකාශ චාරිකාවේ මෙය ඉතා පැහැදිලිව දක්වා තියෙනවා. ලෙයින් මසින් සැදූණු මිනිස් සිරුරට වඩා ශක්තිමත් ලෝහ හා ප්ලාස්ටික්  යොදා ගැනීමේ සිට  විශ්වයේ රජවරුන් වීම දක්වා ක්ලාක් විස්තර කරන  මිනිස් අනාගතය ඉතා ම සුභවාදීයි. 3001 ග්‍රන්ථයේ විස්තර කරන ‘මොළ වැස්ම’ (braincap) වැනි උපකරණ තවම නිපදවා නැති නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් කෙළින් ම දැනුම ලබා ගැනීම තව දුරටත් ප්‍රබන්ධයක් නොවෙන බව දැන් පැහැදිලියි. ක්ලාක් ලියා ඇති ආකාරයට ක්‍රමයෙන් බුද්ධිමත් යන්ත්‍ර හා බද්ධ වීමෙන් උත්තර මිනිසෙක් (Post-Human) බිහිවෙන බවට දැන් සාක්ෂි තියෙනවා.

ක්ලාක් ජීවිත කාලය පුරා සිය ප්‍රබන්ධ හා විද්‍යා කෘතීන් හරහා  යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයන්හී රැඳි සිටියා. ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම එයින් එකක්. එය නිර්මාණවල මතු වුණේ කොහොම ?

ඔව්. එතුමා හැමවිට ම හිංසාව හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව  කථා කළා.  ඔහුගේ ප්‍රබන්ධවල  ප්‍රධාන චරිත බොහෝ විට ප්‍රචණ්ඩත්වය  හෙළා දැක්කා. මනුෂ්‍යයන්ට පමණක් නොව  සියලු ම සතුන් කෙරෙහිත් අප අවිහිංසාවාදී විය යුතු යයි එතුමා විශ්වාස කළා. මෙය ඉතා පැහැදිලිව ම දැකිය හැකි අවස්ථාවක් තමයි “Deep Range” නම් විද්‍යා ප්‍රබන්ධය. මෙයත් සිරිල් සී පෙරේරා මහතා “ගැඹුරු මුහුද” යන නමින් සිංහලට පරිවර්තනය කර තියෙනවා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කථා ගණනාවක් හැරුණු කොට ඔහුගේ ප්‍රකට විද්‍යා ග්‍රන්ථයක් වන  “Profiles of the Futureනම් කෘතිය ද ඔබ සිංහලට පරිවර්තනය කළා. එයට  පාඨක ප්‍රතිචාර කෙසේ වීද?

මම මුලින්ම පරිවර්තනය කළ ක්ලාක් මහතාගේ  කෘතිය එයයි.  ඇත්තෙන්ම මා එය පළ කලේ “අනාගතයේ පැතිකඩක්” හා “අනාගතයේ ආශ්චර්යයන්”  යනුවෙන් පොත් දෙකක් හැටියටයි.  අනාගත තාක්ෂණයේ විවිධ අංශ පිලිබඳ  අනාවැකි පළ කළ  මේ ග්‍රන්ථය  ඉතා ජනප්‍රිය උනා.  එහි මුද්‍රණ ගණනාවක් ම නිකුත් කිරීමට හැකි වුනා.

Profiles of the Future” පොතේ අන්තර්ගතය ගැන, එය පළවී අඩ සියවසකට පසු ඔබ සිතන්නේ කුමක්ද?

මීට අවුරුදු පනහකට පමණ පෙර අනාගත තාක්ෂණය ගැන ක්ලාක් ලියු  බොහෝ දේ අද සත්‍යයන්  බවට පත්වී තිබෙනවා. එසේ නැත්නම්  නුදුරු අනාගතයේ එසේ වන බවට සාක්ෂි තිබෙනවා. මේ ග්‍රන්ථයේ  එතුමා ප්‍රවාහන ක්‍රමවල වර්ධනය, ගුරුත්වය ජය ගැනීම, වේගයේ වැඩිවීම, ක්ෂණික ප්‍රවාහනය, අභ්‍යවකාශය ජය ගැනීම, කාලය ජය ගැනීම, අදෘශ්‍යමානවීම, සියල්ල නිවසේ ම නිපදවා ගැනීම, අසීමිත තොරතුරු ප්‍රවාහය,  මොළය ඉලෙක්ට්‍රොනික පද්ධති හා සම්බන්ධ කිරීම, ඉලෙක්ට්‍රොනික බුද්ධියේ වර්ධනය  ආදී විවිධ කරුණු ගැන සාකච්ඡා කරනවා පමණක් නොවෙයි, අනාවැකිත් පළ කර තියෙනවා.

මින් අවුරුදු පනහකට පෙර ලියන ලද මේ පොතේ සඳහන් වෙනවා තැනින් තැන ගෙන යා හැකි, පොළොව මතුපිට සිටින ඕනෑ ම කෙනෙකු සමග ක්ෂණයකින් සම්බන්ධ විය හැකි උපකරණයක් ගැන. මෙය අද කා අතත් ඇති ජංගම දුරකථනය නිවැරදිව පුරෝකථනය කිරීමක්. ඕනෑ ම දෙයක් නිපදවිය හැකි ප්‍රතිඋත්පාදකයක් (Replicator) ගැනත් මේ පොතේ අනාවැකියක් තියෙනවා. අද දියුණු වේගන යන  ත්‍රිමාන මුද්‍රණය (3D Printing) මෙයට සමාන උපකරණයක්.

The Fountains of Paradise  - Sinhala translation cover
The Fountains of Paradise – Sinhala translation cover

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ පොදුවේ සළකා බලන විට ශ්‍රී ලංකාවේ අඩ සියවසක් වාසය කිරීමේ බලපෑම ඔහුගේ නිර්මාණ හරහා විද්‍යමාන වන්නේ කෙසේද?

ඔහුගේ එක් කෘතියකට එනම් Fountains of Paradise නම් කෘතියට  පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. මම එය ‘පරාදිසයේ උල්පත්‘ යනුවෙන් පරිවර්තනය කළා. මෙහිදී එතුමා  සීගිරිය, ශ්‍රීපාදය  හා ලංකාවේ ඇති ජනප්‍රවාද ඉතා ම නවීන විද්‍යාත්මක සංකල්පයක් වන අභ්‍යවකාශ සෝපානය  සමග මුසු කර නිර්මාණය කර ඇති ප්‍රබන්ධය ඉතාම  සුවිශේෂි කථාවක්. එයට අමතරව අපේ සමාජයේ දක්නට ඇති අවිහිංසාව වැනි අදහස්  එතුමාගේ කෘතිවල ප්‍රබල ලෙස දක්නට ලැබෙනවා.

ක්ලාක් හැරුණු කොට ශ්‍රී ලංකාව පාදක කොට විද්‍යා ප්‍රබන්ධ ලියූ වෙනත් විදේශිය ලේඛකයන් සිටී ද?

මා දන්නා තරමින් නම් නැහැ.

විද්‍යා ප්‍රබන්ධ  යයි එවකට හඳුන්වනු නොලැබුව ද එම කථාවල මූලික ගුණාංග අඩංගු අපූරු කථාන්තර විවිධ සංස්කෘතීන්ගෙන් හමු වෙනවා.  මේ සඳහා පෙරදිග රටවල හා මෙරට උදාහරණ දැක්විය හැකි ?

ඔව්. රාමායණය හා මහාභාරතය වැනි කථාවල  (මිසයිල වැනි) විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ  දකින්නට ලැබෙනවා. අපේ උම්මග්ග ජාතකයේ  වුවත් යමක් එබු පමණින්  සියලු දොරවල් වැසී යන  උමං ගැන සඳහන් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ (science fiction) හා මායාරූපී කථා  (science fantasy) බොහෝ දෙනා පටලවා ගන්නවා. මේ දෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ?

විද්‍යා ප්‍රබන්ධ හා මායාරූපී කථා අතර ඇත්තේ ඉතා නොපැහැදිලි අනියත සීමාවක්. නමුත් මූලික වශයෙන් විද්‍යා ප්‍රබන්ධය යනු අප දන්නා කරුණු මත පදනම්ව අනාගතයේ සිදුවිය හැකි  සංසිද්ධියක් වටා ගෙතූ ප්‍රබන්ධයක්. මායාරූපි කථාවකට  එවැනි පදනමක් නැහැ.  නමුත් එක් යුගයකදී  මායාරූපී කථාවක් ලෙස  පෙනෙන දෙයක්  තවත් කාලයකදී විද්‍යා ප්‍රබන්ධයක් වීමටත් ඉඩ තියෙනවා.

උදාහරණයක් හැටියට  ආතර් ක්ලාක් විසින් ම වරක් පෙන්වා දී ඇති ආකාරයට  1938ට (පරමාණුක ශක්තිය සොයා ගැනීමට) පෙර  ලෝහ කැබලි දෙකක් එකිනෙක ගැටීමෙන්  යෝධ ශක්තියක් නිපදවිය හැකි යයි ලියා තිබුණේ නම් එය  මායාරූපී කථාවක්  වෙනවා.නමුත් දැන් පරමාණුක ශක්තිය එදිනෙදා කටයුතුවලට යොදා ගන්නා දෙයක්.

විද්‍යා ප්‍රබන්ධ හුදෙක් අනාගත කථාවලට පමණක් සීමා වන්නේ නැහැ.  එසේ නොවී අනිකුත් දිශාවලට විද්‍යා ප්‍රබන්ධ කලාව විහිද ගොස් ඇති සැටි කෙටියෙන් පහදා දිය හැකි ?

මුල් විද්‍යා ප්‍රබන්ධ වැඩි වශයෙන් ම  ලියවුණේ  අනාගතය හා අභ්‍යවකාශ ගමන්  වටායි.  නමුත් මෙම සාහිත්‍යාංගය ක්‍රමයෙන්  පරිණත වන විට  විද්‍යාවේ අනිකුත් අංශවලටත් එය විහිදි ගියා.  අද විකල්ප ඉතිහාසය, කාලතරණය, රොබෝවන්, සයිබෝර්ග්, යන්ත්‍ර බුද්ධිය, බලක්ෂේත්‍ර, සයිබර් අවකාශය, ජාන විද්‍යාව, උත්තර මානවයන් (Post-Humans) වැනි විද්‍යාවේ විවිධ අංශ වටා විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා.

නුදුරු අනාගතයේ බිහි විය හැකි සියල්ල යන්ත්‍රවලින් කෙරෙන සමාජයක මිනිසාගේ කාර්ය භාරය කුමක් ද? ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් කෙළින් ම මොළයට දැනුම ලබාගත හැකි වුවහොත් අධ්‍යාපන ක්‍රමවල අනාගතය කුමක් වේ ද? මිනිස් මොළ  එකිනෙකට සම්බන්ධ කළ හැකි වූ විට පුද්ගලික රහස්‍ය බවක් (privacy) පවත්වා ගත හැකි ද? කෘත්‍රිම ඉන්ද්‍රියන් භාවිතයට ගැනීමේ සාමාජීය බලපෑම් මොනවාද?  මොළයේ ඇති සියලු තොරතුරු පරිගණකයක් තුළට ගෙන ආ විට මිනිසාට සිදු වන්නේ කුමක්ද ? ආදී වශයෙන් වත්මන් තාක්ෂණික නිපයුම් නිසා  ඇති විය හැකි ප්‍රශ්න ගැන ප්‍රධාන සාහිත්‍ය ධාරාවේ නියුතු කිසිම ලේඛකයෙක් සාකච්ඡා කරන බවක් පෙනෙන්නේ නැහැ. මිනිස් වර්ගයාටත්, මිනිස් අනාගතයටත් ඉතා වැදගත් වන  මෙවැනි තේමාවන් ගැන ලියන්නේත් සාකච්ඡා කරන්නෙත් විද්‍යා ප්‍රබන්ධ රචකයන් පමණයි.

ක්ලාක් ඇතුළු ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ රචකයන් බොහෝ දෙනෙකු තම සාහිත්‍යාංගය දුටුවේ අනාගතවේදයක් හෝ අනාවැකි කීමක් ලෙස ? නැත්නම් වෙනත් විදියකට ?

මුල් විද්‍යා ප්‍රබන්ධ ලියැවුණේ අභ්‍යවකාශ යුගය ආරම්භ වීමට බොහෝ කලකට පෙරයි. ඒවා බොහෝ දුරට අභ්‍යවකාශ ගමන් පිළිබඳ ඒවා වූ නිසා  අනාගතය දැකීමක්  ලෙස සැලකිය හැකියි. නමුත් විද්‍යා ප්‍රබන්ධ එයට සීමා වූයේ නැහැ.  ඇත්ත වශයෙන්ම විද්‍යා ප්‍රබන්ධයේ කාර්ය භාරය වන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග අපට අනාගතයේ මුහුණ පෑමට සිදු වන සමාජීය, මානසික හා සදාචාරාත්මක ප්‍රශ්නවලට අප හුරු පුරුදු කිරීමයි.

විද්‍යා ප්‍රබන්ධකරුවන් අනාගතය ගැන අනාවැකි කියන්නන් නොව අයහපත් හෝ අහිතකර අනාගතයන් වළක්වා ගන්නට අනතුරු අඟවන්නන් යයි ලේඛක රේ බ්‍රැඩ්බරි (Ray Bradbury) වරක් කියා සිටියා. මේ ගැන ඔබේ අදහස?

එය සත්‍යයක්. විද්‍යා ප්‍රබන්ධ අනාගතය පිළිබඳ අනතුරු අඟවා ඒවා වළක්වා ගැනීමට  සහාය වනවා පමණක් නොව අනාගත  තාක්ෂණයට අප හුරුපුරුදු කරනවා. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ මගින් අපේ සමාජයට නව අදහස් හා ආකල්ප  හඳුන්වා දෙනවා.

විද්‍යා ප්‍රබන්ධවල සාහිත්‍යමය අගය ගැන එකඟත්වයක් නැහැ.  සමහරුන් එය සාහිත්‍යාංගයක් ලෙස පිළි ගන්නේත් නැහැ.  ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ කලාව – ලිවීම, පරිවර්තනය හා කියවීම – ගැන ඔබේ තක්සේරුව කුමක් ?

Songs of Distant Earth - Sinhala translation cover
Songs of Distant Earth – Sinhala translation cover

මම හිතන්නේ මෙය ක්‍රමයෙන් වෙනස්වී ගෙන යනවා. අඩු ම වශයෙන් බටහිර ලෝකයේ එය නූතන සාහිත්‍යාංගයක් ලෙස සැලකිල්ලට බඳුන් වෙනවා. බටහිර විශ්ව විද්‍යාල ගණනාවක දැන් විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ පාඨමාලා හැදෑරිය හැකිවීම එයට ලැබී ඇති තැන පිළිබඳ හොඳ දර්ශකයක්.

ශ්‍රී ලංකාවේ නම් තවම විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රය නම් එතරම් දියුණුවක් පෙන්වන්නේ නැහැ. ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ කෘති සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඉතා ම ස්වල්පයක් පමණයි. නමුත් අද සිංහලෙන් ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ අතරින්  සුළු ප්‍රමාණයක්වත් උසස් තත්වයක තිබීම නම් සතුටට කරුණක්.

මෙරට විද්‍යා ප්‍රබන්ධ රසිකයන්ට  තවමත් ක්ලාක්ගේ  කෘතීන් පරිවර්තනය වී ලැබී ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. මෙසේ  සීමා වීමට හේතුව වෙළඳ පොළ විභවයක් නැතිකම ?

නැහැ. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධවල සිංහල පරිවර්තනවලට සැලකිය යුතු වෙළඳපොළක් තියෙනවා. ප්‍රශ්නය වී ඇත්තේ  පරිවර්තකයන්ගේ හිඟයයි. සිංහල පාඨකයන් අතර මෙම සාහිත්‍යාංගය ජනප්‍රිය කිරීමට නම්  ලොව පුරා දක්නට ඇති විද්‍යා ප්‍රබන්ධයේ  නව ප්‍රවණතාවන්ට ඔවුන්  නිරාවරණය කළ යුතුයි. නිර්මාණශීලී හැකියාවන් ඇති තරුණ ලේඛකයන්ටත් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට එය විශාල පිටුවහලක්  වේවි.

ඉංග්‍රීසියෙන් පළ  වු බටහිර පන්නයේ විද්‍යා ප්‍රබන්ධ සීමිතව  සිංහල පාඨකයාට ලැබී ඇතත් ජපන්, රුසියානු, චීන හා ඉන්දියානු වැනි සම්ප්‍රදායන්ගේ විද්‍යා ප්‍රබන්ධ ගැන සුළු හෝ අවධානයක් නැති තරම්. මෙයට කුමක් කළ හැකි ?

අද ලෝකයේ විවිධ භාෂාවලින් විද්‍යා ප්‍රබන්ධ ලියවුනත් අපට සිංහලෙන්  කියවීමට ලැබී ඇත්තේ අතළොස්සක් වූ ඉංග්‍රීසි හා රුසියානු ප්‍රබන්ධ පමණයි. විවිධ රටවල ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ සිංහලට පරිවර්තනය කිරීම අත්‍යාවශ්‍ය කාර්යයක්. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පරිවර්තකයන්ගේ හිඟයයි.

අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ විවිධ භාෂාවලින්  දැන් විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා පමණක් නොවෙයි ඒවා ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කෙරෙනවා. අඩු ම වශයෙන් ඉන්දියානු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අපේ පාඨකයන්ට හඳුන්වාදීමට කටයුතු කිරීම ඉක්මන් අවධානය යොමු විය යුතු කරුණක්.

ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ලියන්නට කැමති නිර්මාණශීලි ලේඛකයන්ට ඔබේ උපදෙස් මොනවාද?

හැකි තරම් කියවන්න.  විද්‍යා ප්‍රබන්ධ පමණක් නොව නවීන විද්‍යාත්මක අදහස් හා සංකල්ප අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.  විද්‍යා ප්‍රබන්ධයේ පදනම වන්නේ  විද්‍යාව හා තාක්ෂණය නිසා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණයේදී ඉතා වැදගත් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ ලේබලය යටතේ මෙරට පුවත්පත් හා සඟරාවල පළවන බොහෝ ස්වතන්ත්‍ර ප්‍රබන්ධ ඇත්තට ම විද්‍යා විරෝධී ප්‍රබන්ධ (anti-science fiction) බවට මා තර්ක කරනවා. විද්‍යාවේ සෘණ පැත්ත හා අහිතකර විපාක ගැන පමණක් අතිශයෝක්තියෙන් හුවා දක්වන, ඉතා දියාරු කථා රසයෙන් යුත්  මේ කථා ගැන ඔබ සිතන්නේ කුමක් ?

ඒක ඇත්තක්. මෙයට හේතුව වී ඇත්තේ  විද්‍යාත්මක සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති වීමයි. විද්‍යා ප්‍රබන්ධ ලෙස අද පළවන සමහර කථා හුදු මනඃකල්පිතයන් පමණයි. නිර්මාණශීලි හැකියාවක් ඇති ඕනෑ ම කෙනෙකුට  සාමාන්‍ය නවකථාවක් හෝ කෙටි කථාවක් රචනා කළ හැකි නමුත්  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමට විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ දැනුමක් ද අවශ්‍ය වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වූ චිත්‍රකථා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලෝකයේ ඉතා ජනප්‍රියයි.  එබඳු උපසංස්කෘතියක් මෙරට බිහි කරන්නට කුමක් කළ හැකි ?

ඔව්. අපේ රටේ එවැනි ප්‍රවණතාවක් දක්නට ඇත්තේ ම නැති තරම්. සුළු උත්සාහයන්  ගෙන තිබුණත් ඒවා එතරම් සාර්ථක නිර්මාණයන් වූයේ  නැහැ. සමහරවිට මෙයට හේතුව එවැනි චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තාක්ෂණික ප්‍රයෝග ලබා ගැනීමේ  දුෂ්කරතාව වීමට පුළුවන්.

කෙසේ වෙතත් අනාගතය රැඳී ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය මතයි. අපේ නිර්මාණකරුවන් සුපුරුදු රාමුවෙන් පිටතට ඇවිත්  විද්‍යාව හා තාක්ෂණයේ  දියුණුව නිසා ඇති වන ප්‍රශ්න හා ගැටලු ගැන අවධානය යොමු කළ යුතුයි.

ඉන්දියාවේ සමහර මුල් පෙළේ විද්‍යාඥයෝ (උදා. තාරකා විද්‍යාඥ ජයන්ත් නාලිකාර්) විද්‍යා ප්‍රබන්ධ ලියනවා. ඔබ දන්නා තරමට  විද්‍යා ප්‍රබන්ධ අළුතෙන් ලිවීමේ නියැලි ලාංකික විද්‍යාඥයින් සිටිනවා ? ඔවුන් ඒ ගැන සිතිය යුතු ?

නැහැ. මා දන්නා තරමින් නම් ලංකාවේ විද්‍යාඥයින් කිසිවෙක් විද්‍යා ප්‍රබන්ධ ලියන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම මම හිතනවා විද්‍යාව ගැන හොඳ අවබෝධයක් ඇති අය වශයෙන් ඔවුන් ඒ ගැන සිත යොමු කළ යුතුයි.

ආතර් ක්ලාක් ගේ කියමනක් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. එය ඇත්තේ අනාගතයේ පැතිකඩක් නම් ග්‍රන්ථයේ. “දෙවෙනි පෙළේ විද්‍යාඥයින් විද්‍යා ප්‍රබන්ධ විහිළුවට ලක් කරන නමුත් පළමු පෙළේ විද්‍යාඥයින් එසේ කරනු මා කිසිදාක දැක නැතිවා පමණක් නොව  විද්‍යා ප්‍රබන්ධකරණයේ නියැලෙන  කීප දෙනෙක් ම මම දනිමි.”

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

How did Arthur C Clarke write acclaimed science fiction? Did he just dream up all his stories, or was there a meticulous research and development process? (The latter was closer to the truth.)

Having worked as his principal research assistant for 21 years (1987 – 2008), I’m often asked such questions. This has been explored in English by various writers, including Clarke biographer Neil McAleer (whose revised and expanded biography, Visionary, came out in 2012).

But there is limited awareness of the man and his creative accomplishments in Sri Lanka, his adopted home for over half a century. I wrote a book (in Sinhala) last year introducing Arthur C Clarke’s scientific ideas and visions for the future. This year, I have started chronicling how he wrote science fiction.

The first such article appeared in Sunday Lakbima, a popular Sinhala broadsheet newspaper, on 21 April 2013. Here is that text, which is not easy to locate online as they (and many other Lankan newspapers) use mini-blackholes to publish their web editions…

the-last-goodbye-from-colombo-photo-by-shahidul-alam.jpg
Photograph by Shahidul Alam, 2007

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

– නාලක ගුණවර්ධන

‘ආතර් සී. ක්ලාක් පොත් ලිව්වේ කොහොමද?’ ක්ලාක්ගේ සහායකයා ලෙස වසර 21ක් (1987-2008) මා කි‍්‍රයා කළ බව දන්නා අය විටින් විට මගෙන් විමසනවා.

ඔහුගේ නිර්මාණ ලෝකය පුරා ඉංගී‍්‍රසි පාඨකයන් තවමත් රස විදින නමුත් ඒවා බිහි වූ ආකාරය ගැන එතරම් තොරතුරු ප‍්‍රකට නැහැ.

ක්ලාක්ගේ ලේඛන කලාව විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඔහු නිර්මාණ සිදු කළ ආකාරය සමීපව කලක් තිස්සේ බලා සිටි මා එය දැක්කේ විසිත්ත පලසක් නිම කරන කලාළකරුවකු නැතිනම් වියන්නකු හැටියටයි.

පලසක්, ටැපැස්ටි‍්‍රයක් නැතහොත් ගෙත්තම් තිරයක් වියන්නට යොදා ගන්නේ බහුලව හමු වන අමුද්‍රව්‍යයි. ඒවා සුවිශේෂී හා විචිත‍්‍ර ලෙසින් ඒකරාශි කිරීම තනිකර ම වියන්නාගේ කුසලතාව මත ර`දා පවතිනවා. එදිනෙදා වහරේ ඇති වදන් යොදා ගෙන ලේඛන නිර්මාණ කිරීමත් එයට සමාන්තර කාරියක්.

විද්‍යාව, තාක්‍ෂණය, ඉතිහාසය, කලා ශිල්ප හා දේශපාලනය ගැන තොරතුරු පවා අඩු වැඩි පමණට ක්ලාක් තමන්ගේ විවිධ නිර්මාණවලට යොදා ගත්තා. ඔහු ගැන හරිහැටි නොදන්නා උදවිය ඔහු හුදෙක් අනාගතවේදී සාත්තරකරුවකු හැටියට දකිනවා. එහෙත් මානව පරිනාමය, ප‍්‍රචණ්ඩත්වය, අර්ථ ශාස්ත‍්‍ර හා දේශපාලන ක‍්‍රමවේද මෙන් ම නිරායුධකරණය, මානව නිර්ආගමීකරණය ආදී ගැඹුරු සංකල්ප ඔහුගේ ප‍්‍රබන්ධ තුළ සියුම් ලෙසින් තැනින් තැන මතු වනවා. හැම පරම්පරාවක් ම ක්ලාක්ගේ නිර්මාණ සමුදාය කියවා තම කාලයට අදාල කර ගත යුතු බව මගේ හැගීමයි.

ක්ලාක්, වෘත්තීය ලේඛකයකු හැටියට දැඩි සංයමයක් තිබූ, ඉතා මැනවින් සංවිධානගතව වැඩ කරන්නට කැමති කෙනෙක්. ඕනෑම කාරියක් පිළිවෙලට කිරීම හා හැම ලිපි ලේඛනයක් ම නිසි සේ ගබඩා කොට තැබීම ඔහුගේ සිරිත වුණා. මේ අනුව ජීවිතයේ අවසන් කාලය වන විට වසර 60ක් පමණ තිස්සේ ක‍්‍රමානුකූලව එකතු කළ අත් පිටපත්, ලියුම් හා වෙනත් වැදගත් ලිපි ලේඛන දහස් ගණනක් ලොකු කාමරයක් පිරවීමට තරම් තිබුණා.

දශක හයකට ටිකක් වැඩි ලේඛන ජීවිතය තුළ ඔහු තමාගේ ම පොත් 80ක් පමණ ද හවුලේ ලියූ තවත් පොත් 20ක් ද පළ කළ අතර ඔහු අතින් නිර්මාණය වූ කෙටි කථා, විද්‍යා ලිපි, ග‍්‍රන්ථ විචාර ආදිය දහසකට වැඩියි. මේ හැම එකක් ම මහත් ආයාසයෙන් හා සීරුවෙන් නිම කරන ලද ඒවායි. කිසිවක් දුවන ගමන් කලබලයට කිරීම ඔහු අපි‍්‍රය කළා.

ඔහුගේ සමකාලීනයකු හා මිතුරකු වූ අමෙරිකානු ලේඛක අයිසැක් ඇසිමෝෆ් ක්ලාක් මෙන් නොව අධි වේගයෙන් පොත් ලියූ කෙනෙක්. ගුණාත්මක බවෙහි අඩුවක් නොකර විශාල විෂය පරාසයකට අයත් පොත් 500කට වැඩි ගණනක් ඇසිමෝෆ් ලියුවා. ඇසිමෝෆ් මෙසේ කරන්නේ කෙසේ ද යන්න ගැන ක්ලාක් මවිත වුණා. ‘මගේ මිත‍්‍රයා දෑතින් මෙන් ම දෙපයින් ද ටයිප් කිරීමේ අසාමාන්‍ය හැකියාව ප‍්‍රගුණ කර තිබෙනවා විය යුතුයි’ වරක් ක්ලාක් විහිඵ කළා.

මෙයින් අදහස් කැරෙන්නේ ක්ලාක් ඉතා සෙමින් ලියූ ලේඛකයකු කියා නොවෙයි. කෙටි විද්වත් ලිපි ලිවීමට ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ (Time, Newsweek, New York Times වැනි) මාධ්‍යවලින් ලැබෙන හදිසි ඉල්ලීම්වලට ඔහු ඉක්මනින් ප‍්‍රතිචාර දැක් වූවා. අඵත් විද්‍යාත්මක සොයා ගැනීම් හා ජාත්‍යන්තර තාක්‍ෂණ සිදුවීම් ගැන කිසි සූදානමකින් තොරව වූවත් හරබර මත පළ කිරීමේ හැකියාව ඔහුට තිබුණා.

නමුත් පොතක් ලිවීම ඔහු සැමවිට ම සැළකුවේ භාරදුර වගකීමක් ලෙසයි. ඒ අතුරින් ද විද්‍යා ප‍්‍රබන්ධ නවකථා ලිවීම කල් යල් බලා, බොහෝ සේ තොරතුරු ගවේෂණය කොට ඉනික්බිති කළ දෙයක්. ක්ලාක් ලියූ හැම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොතක් පිටුපස ම එය නිර්මාණය කරන්නට ගත් විශාල ප‍්‍රයන්තයක් තිබුණා.

ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ (රජයට අයත් ක්ලාක් මධ්‍යස්ථානය නොවේ!) මා සේවය කිරීම ඇරඹූවේ 1987 පෙබරවාරියේ. 1987-2008 වකවානුවේ ඔහු ලියූ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හයටත්, විද්‍යා හා තාක්‍ෂණ විචාරශීලී පොත් කිහිපයකටත් අවශ්‍ය තොරතුරු ගවේෂණය, නිරවද්‍යතාව තහවුරු කිරීම, ලොව පුරා පැතිර සිටින විද්වතුන්ගෙන් මත විමසීම හා අත්පිටපත් සෝදිසි කිරීම ආදී වගකීම් ගණනාවක් මට පැවරුණා.

මේ නිසා විසිවන සියවසේ ප‍්‍රධානතම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු අඵත් නිර්මාණයක් කරන ආකාරය ගැන සමීපව නිරීක්‍ෂණ කරන්නටත්, ඒ නිර්මාණ ප‍්‍රවාහයට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනයටත් මට අවස්ථාව ලැබුණා. මෙය අසාමාන්‍ය ගණයේ ආධුනිකත්වයක් ලෙස සැළකිය හැකියි.

ප‍්‍රබන්ධකරණය යනු මනස් ලෝක මැවීමක්. හැම ප‍්‍රබන්ධ ලේඛකයා ම තමන්ගේ වචන හරඹයෙන් පරිකල්පනාත්මක චරිත, සිදුවීම් හා දේශයන් බිහි කරනවා. විද්‍යා ප‍්‍රබන්ධවලටත් එය පොදුයි. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ විද්‍යාවේ මූලධර්මවලට අනුකූල වූත්, සැබෑ ලෝකයේ සිදු විය හැකි වූත් කථාන්තරයි. ඔහු විද්‍යාත්මක ෆැන්ටසි (මායාරූපී කථා) ලිව්වේ නැහැ.

වතාවක් ඔහු විද්‍යා ප‍්‍රබන්ධ (science fiction) හා විද්‍යා ෆැන්ටසි (science fantasy) දෙක නිර්වචනය කළා. විද්‍යා ප‍්‍රබන්ධ යනු සැබෑ ලෝකයේ සිදු විය හැකි, එහෙත් සිදු නොවනවා නම් වඩාත් හොඳ වර්ගයේ කථායි. (මේ නිසා විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් සමාජයට අනතුරු අඟවන්නන් ලෙසත් ඔහු සැළකුවා.) විද්‍යා ෆැන්ටසි නම් සිදු වනවාට අප බොහෝ කැමති වූවත් ඇත්තට ම සිදු වන්නට බැරි අභව්‍ය ගණයේ කථායි. මේ දෙක අතර සීමාව එතරම් දැඩි නොවන බවත් ක්ලාක් පිළි ගත්තා.

ක්ලාක් ප‍්‍රබන්ධකරණයේ නියැලෙන විට දැඩි සමාධියකට පත් වනවා. ඔහු දිනකට පැය ගණනක් තමන් ම කථාව ටයිප් කරනවා. මුල් යුගයේ ටයිප්රයිටර් (යතුරුලියන) ද 1980 පටන් පුද්ගල පරිගණක ද එයට යොදා ගත්තා. ඔහු ටයිප් කිරීම නතර කළේ වයස 85 ද ඉක්මවා ගතින් දුබල වීමෙන් පසුවයි. එතැන් සිට අන්තිම වසර පහ ඔහු ටේප් එකකට කථාව පටි ගත කර, කාර්ය මණ්ඩලය වූ අප හරහා ටයිප් කරවා ගත්තා.

ඉංග‍්‍රීසි භාෂාව ඉතා ව්‍යක්ත, මටසිලූටු හා සුහද ලෙසින් ලිවීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඔහුගේ බස සරලයි. වාක්‍ය කෙටියි. බරපතල වචන වෙනුවට එදිනෙදා වහරේ වචන, උපමා හා රූපක යොදා ගන්නවා. ඔහුට ආවේණික හාස්‍ය රසයක් හා දඟකාර ගතියක් ඔහුගේ කථාවල නිතර හමු වනවා. සමාජයේ ප‍්‍රභූන්ට, අන්තවාදීන්ට, උඩගු අයට මෙන් ම බක පණ්ඩිතයන්ට ද හීන්සීරුවේ ‘ටිකිරි ටොකු’ දීමේ සිරිතක් ඔහුට තිබුණා. මේ වචන හරඹ (puns) එලෙසින් වෙනත් බසකට පෙරැලීම ඉතා අමාරු කාරියක්.

ක්ලාක් ප‍්‍රබන්ධයක් හා වෙනත් ඕනෑ ම ලේඛනයක් කෙටුම්පත් වාර ගණනාවක් ගත වනතුරු සංශෝධනය කරනවා. තමා ලියන හැම වැකියක් ම නැවත නැවතත් සමාලෝචනය කොට වඩාත් දියුණු කරන්නට ක්ලාක් වෙර දරනවා.

ඔහු නිතර කීවේ මුල් කෙටුම්පතක් හමාර කොට පසෙක තබා ටික දිනක් වෙන දෙයක් කළ යුතු බවයි. එවිට අප නොදැනුවත්ව ම වාගේ අපේ යටි මොළයේ මේ සංකල්ප තව දුරටත් වැඩ කරන බවත්, නැවත කෙටුම්පත දෙස බලන විට පෙර නොදුටු දියුණු කිරීම් ගණනාවක් පෙනෙන බවත් ඔහු අත්දැකීමෙන් විශ්වාස කළා.

ක්ලාක් අඵත් ප‍්‍රබන්ධ නවකථාවක් ලියන්නට අරඹන්නේ මුඵ කථාවේ සැකිල්ලක් නැතහොත් ප‍්‍රධාන සිදුවීම් වැලක් නිසි පිළිවෙලට සකසා ගැනීමෙන්. එය සාමාන්‍යයෙන් පිටු 10-12ක් පමණ වනවා. ප‍්‍රධාන චරිතවල නම් හා ගති සොබා ද එහි සඳහන් කරනවා. කථාවේ සංත‍්‍රාසමය, සංවේගදායක අවස්ථා හා වෙනත් උච්චස්ථානයන් ද ඔහු සනිටුහන් කරනවා.

සමහර වෙලාවට මෙසේ ගලපා ගත් සැකිල්ල ඔහු මුලින් කෙටි කථාවක් ලෙස රචනා කරනවා. කෙටිකථාවක් ලිවීම නවකථාවක් ලිවීමට වඩා අභියෝගාත්මක නිර්මාණකරණයක් බව ඔහු විශ්වාස කළා. මේ සාහිත්‍යාංග දෙක එකිනෙකට ආවේණික වූ ලක්‍ෂණ සහිතයි. සමහර විට මුලින් කෙටිකථාවක් ලෙස ලෝකයට මුදා හැරිය නිර්මාණ කලකට පසුව ඔහු නවකථා ලෙස ප‍්‍රතිරචනා කළා.

එක් උදාහරණයක් මට හොඳ ට මතකයි. 1992 මැයි මාසයේ ටයිම් සඟරාවේ කතුවරුන් ක්ලාක්ට ඇරැයුමක් කළේ ඉදිරි සහශ‍්‍රකයේ පෘථිවියේ ජන ජීවිතයට අදාළ වන ආකාරයේ ප‍්‍රබන්ධයක් වචන 4,000කින් ලියන ලෙසට.

කාලීන පුවත් වාර්තාකරණයට හා විග‍්‍රහයට කැප වූ ටයිම් සඟරාව වසර 2000න් එහා ලෝකය ගැන විශේෂ කලාපයක් සැළසුම් කළා. අනාගත ලෝකය ගැන විවිධ කෝණවලින් විග‍්‍රහ කරන අතර ලොව මහා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකුගේ පරිකල්පනය ද එයට එකතු කිරීමට ඔවුන්ට ඕනෑ වුණා.

ඒ අභියෝගය භාර ගත් ක්ලාක්, 22වන සියවසේ අපේ ලෝකයේ ගැටීමට ඇදී එන ග‍්‍රහකයක් තේමා කර ගත් The Hammer of God නම් කෙටිකථාවක් රචනා කළා. එහි වචනාර්ථය දෙවියන්ගේ මිටි පහර යන්නයි. අයාලේ යන ග‍්‍රහ කැබලි පෘථිවියට ඇති කරන අවදානම ගැන මීට පෙර 1973දී ප‍්‍රකාශිත Rendezvous with Rama (රාමා හමුව) නවකථාවේ ද ඔහු ප‍්‍රබලව පෙන්වා දී තිබුණා. එම කථාවේ යෝජිත පරිදි අහස මුරකිරීමක් (SpaceGuard) 1990 වන විට අමෙරිකාවේ නාසා ආයතනය අරඹා තිබුණා.

කථාව ලියන්නට විද්‍යාත්මක පසුබිම සොයා තාරකා විද්‍යාඥයන් හා අභ්‍යවකාශ විද්‍යාඥයන් ගණනාවක් සමඟ ක්ලාක් ලිපි හුවමාරු කළා. (ඊමේල් නොතිබූ ඒ කාලයේ සන්නිවේදන සිදු වුණේ ෆැක්ස් හෝ ගුවන් තැපැල් හෝ මගින්.) මීට අමතරව කොළඹ ප‍්‍රධාන පුස්තකාලවල මා යම් තොරතුරු ගවේෂණය කිරීම ද කළා.

1992 ඔක්තෝබරයේ ‘Beyond the Year 2000’ නම් තේමාවෙන් නිකුත් වූ ටයිම් විශේෂ කලාපයේ මේ කථාව පළ වුණා. 1923දී ඇරැඹි ටයිම් සඟරාවේ ඉතිහාසයේ ඔවුන් දැනුවත් ව ප‍්‍රබන්ධයක් පළ කරන දෙවැනි අවස්ථාව මෙය බව කතුවරුන් කියා සිටියා. (1969දී රුසියානු ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින්ගේ කථාවක් පළ කර තිබුණා.)

ටයිම් සඟරාවේ කෙටිකථාවට හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණු නිසා එය නවකථාවක් ලෙස විස්තාරණය කරන්නට ක්ලාක් තීරණය කළා. ඒ වන විට අදාල තොරතුරු සියල්ල රැස් කර තිබූ නිසා වැඩිපුර සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.

‘ඒ වන විට මා බාර ගත් තවත් ලේඛන වැඩ හා ටෙලිවිෂන් නිෂ්පාදන කිහිපයක් තිබුණා. එහෙත් මේ නවකථාව මගේ ඔඵවේ වැඩ කරන්නට පටන් ගත්තා. ඒ නිසා එය ලියන්නට මා කාලය සොයා ගත්තා’ යයි ක්ලාක් පසුව ආවර්ජනය කළා.

1993 මුල් කාර්තුව වන විට සමස්ත නවකථාව ලියා අවසන් කළා. එය වචන 60,000ක් පමණ වුණා. ඔහුගේ බි‍්‍රතාන්‍ය හා අමෙරිකානු ප‍්‍රකාශකයන් ඉතා කැමැත්තෙන් එය භාර ගෙන ඒ වසර හමාර වන්නට පෙර ප‍්‍රකාශයට පත් කළා.

එහෙත් වෙනත් අවස්ථාවල ක්ලාක් කථාවක සැකිල්ල හෝ කෙටිකථාවක් ලියා වසර ගණනාවකට පසුව එය නවකථාවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළා. උදාහරණයක් නම් 1950 ගණන්වල ඔහු ලියු The Songs of Distant Earth (මිහිකතගේ ගීත) නම් කෙටිකථාවයි. කි‍්‍රව 3800 ගණන්වල දිග හැරෙන මේ කථාව, අපේ සූර්යයා පුපුරා ගොස් (නෝවාවක් බවට පත් වී) පෘථිවිය ඇතුඵ ග‍්‍රහලෝක විනාශ වී ගිය විට මිනිස් පිරිසක් පණ බේරා ගෙන ඈත විශ්වයට පළා යන සැටි ගැනයි.

1960දී ඔහුගේ කෙටිකථා සංග‍්‍රහයක මේ කථාව ද ඇතුළත් කර තිබුණා. 1980 දශකය මැද දී එය සම්පූර්ණ නවකථාවක් ලෙස ඔහු විස්තාරණය කළා. මුල් කථාව රචනා කළ යුගයේ නොදැන සිටි විද්‍යාත්මක තොරතුරු ද අඩංගු කොට ලියූ මේ නවකථාව 1986දී ඒ නමින් ම පළ කරනු ලැබුවා. තමන්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා විසි ගණනක් අතරින් පි‍්‍රයතම නවකථාව මෙය බව ක්ලාක් පසුව කියා සිටියා.

ලේඛන කලාව කියන්නේ හුදකලාව කළ යුතු, දැඩි ලෙස අවධානය අවශ්‍ය කාරියක් වූවත් ක්ලාක් සමාජශීලී වීම ලේඛකයකුට වැදගත් අවශ්‍යතාවක් ලෙස සැළකුවා. ඔහු නිතිපතා අමුත්තන් හමු වී කථා කළා. ඉඳහිට විද්වත් සභා හා සම්භාෂණවලට ද ගියා. මේ අන්තර්කි‍්‍රයා හරහා නිර්මාණකරණයට නොයෙක් අමුද්‍රව්‍ය මෙන් ම උත්පේ‍්‍රරණය ද ඇතැම් විට ලබා ගත්තා. මේ සියල්ල සඳහා මැනවින් කාලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි.

ක්ලාක් යමක් ලියන විට තොරතුරක් විමසන්නට ඕනෑ වුණොත් තාවකාලකව එතැන xx හෝ TK (To Come යන්නේ විකෘතියක්) යොදනවා. ඊළඟට එය කුමක් දැයි මේසය මත ඇති කුඩා කඩදාසි කොළවල ලියනවා. හැම දිනෙක ම පාහේ උදේ මා ඔහු මුණ ගැසෙන විට එබදු කොළ කෑලි කිහිපයක් මට දී ඒවා සොයා යන මෙන් කියනවා. ඉන්ටර්නෙට් සෙවුම් යන්ත‍්‍ර හරහා අද මෙබදු ගවේෂණ වඩා පහසු නමුත් 1995 මෙරටට ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ සඳහා පුස්තකාල හෝ විද්වතුන් හෝ වෙත යොමු වන්නට සිදු වුණා.

දකුණු අපි‍්‍රකාවේ වාර්ෂික දියමන්ති නිෂ්පාදනය කොපමණ ද? රූබික් ඝනකය (Rubik’s Cube) හැදු පුද්ගලයා ඉන් පසු මොකද කළේ?? ටයිටැනික් නැව ගිලූණූ මොහොතේ පණ බේරා ගත් අය අතරින් කී දෙනෙක් තවමත් ජීවත් වනවා ද? ලෝකයේ වැඩි ම ඩයිනසෝර් ෆොසිල හමු වන ප‍්‍රදේශ මොනවා ද? මේ කුඩා කොළ කෑලි හරහා මා හඹා ගිය ප‍්‍රශ්න කිහිපයක්. ක්ලාක් සමඟ දැනුම ගවේෂණයේ යෙදීම දිනපතා අඵත් දේ උගෙනීමක්. ඉතා දක්‍ෂ ගුරුවරයකු හා සන්නිවේදකයකු සමඟ වැඩ කිරීමක්.

ක්ලාක් උදේ 6ට අවධි වී, රාතී‍්‍ර 10 වන විට නින්දට ගියා. පසු කලෙක නම් දිවා කාලයේත් පැයක් දෙකක් නිදා ගත්තා. ඔහු බොහෝ විට දවල් කාලයේ ලියූ අතර රාතී‍්‍ර ලිවීමක් කළේ නැහැ. ක්ලාක්ගේ දින චරියාවේදී පැය 8-10ක් පමණ වෙන් වූණේ එක් තැන්ව සිට ලිවීමට හා කියවීමටයි.

හොඳට ලියන්නට නම් බොහෝ සේ කියවිය යුතුයි. තරුණ කාලේ තමා දිනකට එක් පොතක් බැගින් කියැවූ බව ඔහු කීවා. තමාගේ ම පොත්ගුලේ පොත්වල විවිධාකාර සටහන් පැන්සලෙන් ලියා තිබුණා. මසුරන් වැකි, ඉංගී‍්‍රසි කාව්‍ය ඛණ්ඩ හා වෙනත් වැදගත් උධෘතයන් ගැන වයස්ගත වීත් ඔහුට ඉතා හොඳ මතකයක් තිබුණා. සහායකයන් හැටියට අප කළේ ඒවා මුද්‍රිත (හෝ පසු කලෙක විද්යුත්) මුලාශ‍්‍ර හරහා නිවැරදි යයි තහවුරු කර ගැනීමයි. එතරම් නිවැරදි හා විශිෂ්ඨ මතකයක් අවසානය දක්වාම පැවතීම විශ්මයජනකයි.

ලියන හැම විට මේසය මත කිරි තේ කෝප්ප්යක් තිබෙනවා. එය ටිකෙන් ටික තොල ගෑම සිරිතයි. දවසකට තේ කෝප්ප 6 – 8ක් පමණ ඕනෑ වුණා. ‘මා ශී‍්‍ර ලංකා තේ, විද්‍යා ප‍්‍රබන්ධවලට හරවන යන්ත‍්‍රයක්’ යයි ඇතැම් විටෙක ඔහු විහිඵවෙන් කියා සිටියා!

ලෝකයේ සාර්ථක ලේඛකයන් බොහෝ දෙනකුට පාඨක ලියුම් නිතිපතා ලැබෙතත්, පිළිතුරු දීම කරන්නේ ඉතා ටික දෙනයි. කෙතරම් කාර්යබහුල වුවත් ලොව පුරා පාඨකයන් එවන ලියුම් කියවීමටත්, බොහොමයකට කෙටියෙන් හෝ පිළිතුරු දීමත් ක්ලාක් ජීවිත කාලය පුරා ඕනෑකමින් කළ දෙයක්. ඇතැම් විට පාඨකයන් එවන විද්වත් ප‍්‍රතිචාර හා විචාර ඉදිරි නිර්මාණවලදී (අනුදැනුම ඇතිව) යොදා ගත්තා.

තාත්ත්වික විද්‍යා ප‍්‍රබන්ධ ලිවීමේදී පර්යේෂණ හා නව අදහස් පළ කළ බොහෝ දෙනකුගේ ආභාෂය ලද බව ක්ලාක් නොමසුරුව කියා සිටියා. ඔහු ලියු බොහෝ ප‍්‍රබන්ධ නවකථාවල අග පිටු ගණනක් වෙන් කළේ මූලාශ‍්‍ර හා ස්තූතිය සඳහායි.

ක්ලාක්ගේ ටයිටැනික් නවකථාව ලියූ සැටිත්, (1992), අවසාන නව කථාව ලිවීමේ ප‍්‍රයත්නය (2003-2008) ගැනත් වෙන ම කථා කරමු.

How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene - Sunday Lakbima 21 April 2013
How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene – Sunday Lakbima 21 April 2013