සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the role of mainstream and social media in the immediate aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town in Sri Lanka on 15 June 2014.

For over 48 hours, there was little coverage of the incidents in newspapers, or on radio and TV. This gap was partly filled by social media and international media reports – but only to the extent they have outreach in the island. Those who rely on local newspapers, radio and TV had to settle for ‘radio silence’ while media gatekeepers hesitated and held back.

I covered the same ground in my English column last week:
When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Only candid voices in Sri Lanka's mainstream media these days come from political cartoonists!
Only candid voices in Sri Lanka’s mainstream media these days come from political cartoonists!

‘‘කොහොමද වැඬේ? අන්න ඔහේලා ආවඩපු සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!’’

අළුත්ගම හා බේරුවල ප‍්‍රචණ්ඩත්වය ඇති වී පැය 48ක් ඉක්ම යන්නට කලින් මා අමතා මෙසේ කීවේ සරසවියක ඇදුරුකමක් දරන උගතෙක්.

ඔහුගේ ‘‘චෝදනාව’’ වූයේ අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ට්විටර් (Twitter) හා ෆේස්බුක් (Facebook) වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා අධිවේගීව සංසරණය වන බවත්, ඒ හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යා හැකි බවත්. අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ ප‍්‍රකාශ තවත් බොහෝ දෙනකු මෑත දිනවල කරනු මා ඇසුවා.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සිදු වූ ජුනි 15 ඉරිදා සිට පැය 24 – 48ක් ගත වන තුරු ප‍්‍රධාන ප‍්‍රවාහයේ බොහෝ මාධ්‍ය එය වාර්තා කළේ ඉතා අඩුවෙන් හා සුපරීක්‍ෂාවෙන්. එයට හේතුව විය හැක්කේ එම පුවත සැලවීමෙන් වෙනත් ප‍්‍රදේශවල ද කලහකාරි ක‍්‍රියා ඇති වේය යන සැකයයි.

මීට අමතරව රජයෙන් නිල වශයෙන් හෝ නිල නොවන මට්ටමින් මාධ්‍යවලට බලපෑම් එල්ල වූවා ද යන්න දන්නේ අදාල මාධ්‍ය කතුවරුන් හා හිමිකරුවන් පමණයි. එබන්දක් වූවා යයි කිසිවකුත් ප‍්‍රසිද්ධියේ කියා නැති නිසා ඒ ගැන අනුමාන කිරීමේ තේරුමක් නැහැ.

පුවත් පැතිර යා හැකි මාර්ග ගණනාවක් අද මෙරට තිබෙනවා. ජංගම දුරකථන ව්‍යාප්තිය නිසා බහුතරයක් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව ලබා තිබෙනවා. මිලියන් 20.5ක් වන ලාංකික ජනගහනයට ජංගම දුරකථන ගිනුම් මිලියන 20ක් පමණ හා ස්ථාවර දුරකථන මිලියන් 2.7ක් පමණ තිබෙනවා.

මෑත වසරවල ඇමතුම් ගාස්තු පහළ වැටීම නිසාත්, SMS ඊටත් වඩා අඩු වියදම් සහිත වීම නිසාත් අද පෙරට වඩා දුරකථන හරහා ලාංකිකයන් සන්නිවේදනය කරනවා. රටේ එක් තැනෙක ප‍්‍රබල සිදුවීමක් ඇති වූ විට මාධ්‍ය එය වාර්තා කළත්, නැතත් දුරකථන හරහා පෞද්ගලික මට්ටමින් පැතිර යාමේ ඉඩ පෙර කවරදාකටත් වඩා අද ඉහළයි.

එබඳු පෞද්ගලික තොරතුරු හුවමාරුවේදී අතිශයෝක්ති, විකෘති වීම් හා ප‍්‍රබන්ධකරණය ද එයට එක් වීමේ ඉඩ තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නිසි වේලාවට රටට ම තොරතුරු බෙදා දුන්නා නම් දුරකථන හා නව මාධ්‍ය හරහා යම් සන්නිවේදන සිදු වීමෙන් ඇතිවන සමාජ හානිය සමනය කර ගත හැකිව තිබුණා.

Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka
Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka

සමාජ මාධ්‍ය තවමත් අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා.

එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පමණක් ගිනුම් හිමියන් මිලියන් එක හමාරකට වඩා මෙරට සිටිනවා. එහෙත් එහි බොහොමයක් සාමීචි සංවෘතව සිදු වන නිසා මිතුරු ඇරැයුම් ලත් අයට පමණක් ඒවා ග‍්‍රහණය වනවා.

නමුත් ට්විටර් වේදිකාව කාටත් විවෘතයි. මෙරට ට්විටර් භාවිත කරන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ නැහැ. 2013 මැදදී එක් ඇස්තමේන්තුවක් වූයේ 14,000ක් පමණ බවයි. මේ වන විට එය විසි දහසකට වැඩි විය හැකියි. එක ට්විටර් පණිවුඩයක් (ට්වීට් එකක්) අකුරු හෝ වෙනත් සංකේත 140කට සීමා වනවා. එබඳු සීමාවක් තුළ වුව ද සූක්‍ෂම හා ව්‍යක්ත ලෙස පණිවුඩ දිය හැකියි.

ට්විටර් මාධ්‍යයේ ගිනුමක් විවෘත කළ විට තමන් කැමති අන් ට්විටර් භාවිත කරන්නන් කියන කරන දේ ස්වයංකී‍්‍රයව නිරික්සිය හැකියි (follow). ක‍්‍රීඩා, චිත‍්‍රපට හෝ වෙනත් ක්‍ෂෙත‍්‍රවල නමක් දිනා ගත් ප‍්‍රකට පුද්ගලයන් හා දේශපාලන නායකයන්ගේ ට්විටර් අනුගාමික සංඛ්‍යාව වැඩියි.

උදා: 2014 ජුනි 22දා වන විට මහේල ජයවර්ධනට අනුගාමිකයන් 110,000ක්, කුමාර් සංගක්කාරට ලක්‍සයක් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුමට අනුගාමිකයන් 38,000ක් පමණ සිටියා. අනුගාමිකයන් වැඩි දෙනකු සිටින අයකු කියන දේ වඩා ඉක්මනින් ප‍්‍රතිරාවය වී පැතිරෙන්නට ඉඩකඩ වැඩියි.

සමාජ මාධ්‍යවලට ආවේණික වූ විශ්වාසය තක්සේරු වීමේ ක‍්‍රමවේද තිබෙනවා. ඒ අනුව අනුගාමික සංඛ්‍යාව පමණක් නොව ට්වීට් පණිවුඩ ප‍්‍රතිරාවය කැරෙන වාර ගණන හා ආකර්ෂණය වන පාඨක අවධානය ආදී සාධක සැළකිල්ලට ගෙන කෙනකුගේ ට්විටර් බලපෑම (influence) ස්වයංකී‍්‍රයව ගණන් බැලෙනවා. මහජන විශ්වාසය (trust) යන්න හැමට ම දිනා ගත හැකි ගුණයක් නොවෙයි.

අළුත්ගම සිදුවීම්වලට රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ එවකට බොලීවියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් නිකුත් කළ කෙටි පණිවුඩ කිහිපයක්. ජනාධිපතිවරයා (හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය) ජුනි 15 වනදා ඉංග‍්‍රීසියෙන් ට්විට් පණිවුඩ 2ක් ද, ජුනි 16 වනදා සිංහලෙන් ට්වීට් 2ක් හා දෙමළෙන් ට්වීට් 3ක් ද නිකුත් කළා.

සිංහල ට්වීට් පණිවුඩ වූයේ ‘‘නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවකුට ඉඩ නොතබන අතර, මා සියළු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි’’. දෙවැනි පණිවුඩය ‘‘අලූත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරික්‍ෂණයක් පවත්වනු ලැබේ’’

මෙරට ජන ගහනයෙන් ඉන්ටර්නෙට් භාවිත කරන 20-25%ක ප‍්‍රමාණයට පමණක් ග‍්‍රහණය වන මේ පණිවුඩ එබඳු අවස්ථාවක රජයේ නිල ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. රටේ 75-85% ගෘහස්ථයන්ගේ හමුවන ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය හරහා ද කෙටියෙන් වුවත් සන්සුන්ව සිටීමේ ආයාචනයක් කළ හැකිව තිබුණා. මෙබඳු අවස්ථාවල ඉහළ මට්ටමේ, වගකිවයුතු කෙනකුගේ කට හඬින්ම පණිවුඩයක් ඇසීමට අද සමාජය පුරුදු වී සිටිනවා (ආපදාවක් වූ විට විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන්නා සේ).

සමාජ මාධ්‍ය හරහා ජුනි 16-17 දිනවල තොරතුරු හා ඡායාරූප ගලා ගියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ඒ ගැන මුනිවත රකිමින් සිටි පසුබිම තුළයි. මීට පරම්පරාවකට හෝ දෙකකට පෙර නම් ඕනෑකමින් පුවත් අන්ධකාරයක් (media blackout) ටික දිනකට හෝ පවත්වා ගැනීමට හැකි වුණා. මන්ද තැපෑල හැරුණ විට පෞද්ගලික මට්ටමින් තොරතුරු හුවමාරුවට අවශ්‍ය තරම් දුරකථන හා වෙනත් මාධ්‍ය නොතිබීම නිසා.

එහෙත් 21 වන සියවසේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් වෙතින් එවන් පුවත් අන්ධකාරයක් මතු වූ විට ජනතාව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් වෙත යොමු වනවා.

Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror
Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror

First Post (India): 17 June 2014: Social media breaks Sri Lankan media’s shameful silence

ප‍්‍රමිතියක් සහිතව සමබරව පුවත් සන්නිවේදනයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිටියත් මේ විකල්ප සන්නිවේදනයට යොමු වන බොහෝ දෙනකුට එබන්දක් නැහැ. එනිසා තොරතුරු විකෘති වීමට ඉඩ වැඩියි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අත්‍යවශ්‍යම වූ මොහොතක නිහඬවීමේ අවදානම මෙයයි.

අලූත්ගම සිදුවීම් ගැන වෙබ් අඩවි, ෆේස්බුක් හා ට්විටර් හරහා කම්පාවට පත් රටවැසියන් අදහස් දැක්වූවා. මෙය ඔවුන් අදහස් ප‍්‍රකාශනයට තමන්ට ඇති පුරවැසි අයිතිය යොදා ගැනීමක්.

අජිත් පැරකුම් ජයසිංහ හා මාතලන් වැනි ප‍්‍රමුඛ පෙළේ සිංහල බ්ලොග් රචකයන් හරවත් ලෙස මේ සිදුවීම් විග‍්‍රහ කළා. සුචරිතවාදී නොවී, අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔවුන් කථා කළා.

ට්විටර් යොදා ගනුනේ Breaking News මට්ටමේ අළුත් තත්ත්ව වාර්තා බෙදා ගන්නයි. ප‍්‍රචණ්ඩත්වයට ලක් වූ ප‍්‍රදේශ හා අවට සිටත්, වෙනත් තැන්වල සිටත් නොයෙක් දෙනා තොරතුරු ට්වීට් කළා.

මේ අතර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ගණනාවක් ද සිටියා. සමහරුන් මෙරට සිට ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අයයි. සිද්ධියක සැබෑ තොරතුරු තහවුරු කර ගෙන පමණක් වාර්තා කිරීම ඔවුන්ගේ මූලික විනය හා ආචාර ධර්මවල කොටසක්. මා නම් ට්විටර් හරහා ප‍්‍රතිරාවය කළේ මෙබඳු විශ්වාස කටයුතු මූලාශ‍්‍රවලින් ආ පුවත් පමණයි. මෙරට සිටින විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සිය ෆේස්බුක් පිටු හරහා අලූත්ගම සිදුවීම්වලට අදාල ක්‍ෂෙත‍්‍ර ඡායාරූප රැසක් මුදා හැරියා.

සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව මේ ගැන කීවේ ‘‘ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය කුමන හෝ හේතුවක් නිසා අලූත්ගම ගැන නිහඬව සිටියා. ඒවායේ සේවය කරන සමහර මාධ්‍යවේදීන් සිදුවීම වූ ප‍්‍රදේශයට ගොස් තොරතුරු රැස් කළත් ඒවා ප‍්‍රකාශ කිරීමට මුල් දෙදින තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ තොරතුරු සමහරක් සමාජ මාධ්‍ය දිගේ ගලා ගියත් බහුතරයක් අපේ ජනතාව සිදුවීම් ගැන දැන ගත්තේ කල් ගත වීයි.’’

ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අමන්ත පෙරේරා කීවේ තොරතුරු දැන ගන්නට තිබූ ප‍්‍රධානතම මූලාශ‍්‍රය බවට සමාජ මාධ්‍ය පත්වූයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය මුළුගැන්වුණු නිසා බවයි.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර බෙදීම බොඳ වී ගොස් බිඳ වැටුණු බව මගේ වැටහීමයි. එය හොඳ ප‍්‍රවණතාවක්. අපේ ජන සමාජයට අවශ්‍ය කඩිනමින් නිවැරදි හා සමබර තොරතුරු දැන ගැනීමටයි. එය කුමන හෝ මාධ්‍යයක් හරහා ලැබේ නම් එයට ඉක්මනින් මහජන පිළිගැනීමක් ගොඩ නැගෙනවා. තොරතුරු අන්ධකාරයක් පවත්වා ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහය කර ගත්තේ තමන්ටම හානියක්.

Stand Up Against Racismප‍්‍රචණ්ඩත්වය, ජාතිවාදය හා ආගම්වාදයට එරෙහිව ජනමතය ප‍්‍රකාශ කරන හා සාමකාමී ජනයා එක්සත් කරන තැනක් බවට ද සයිබර් අවකාශය පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය රට ගිනි තබනවා යයි චෝදනා කරන්නෝ නොදකින අනෙක් පැත්ත මෙයයි.

තව දුරටත් ප‍්‍රභූන්ට හා ඉසුරුබර උදවියට පමණක් සීමා නොවූ ඉන්ටර්නෙට් භාවිතය වඩාත් සමාජගත වෙත්ම ජාතීන් අතර සහජීවනය, සමාජ සාධාරණය හා යහපාලනය වැනි සාරධර්ම සඳහා පොදු ජනතාව දැනුවත් කරන්නට හා පෙළ ගස්වන්නට සමාජ මාධ්‍ය යොදා ගත හැකියි. මෙය අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය වැනි රටවල දැනටමත් සිදු වන්නක්.

අවසාන විනිශ්චයේදී සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් යනු සන්නිවේදනයට ඉඩ සලසන වේදිකා පමණයි. වේදිකාවට පිවිසෙන අය වියරුවෙන් හා අසංවරව මොර දෙන අවස්ථා තිබෙනවා. එහෙත් වාචාලයන්ට දේශපාලන වේදිකා උරුම කොට දී සංවේදී හා සංවර වූවන් බැස ගියා සේ සයිබර් අවකාශය ද අන්තවාදී ටික දෙනකුට ඉතිරි කොට සෙසු අප ඉක්ම නොයා යුතුයි. මේ සයිබර් වේදිකා හුදී ජන යහපතට හා යහ පාලනයට හැකි තාක් යොදා ගත යුතුයි.

සිහි තබා ගත යුතු අනෙක් කරුණ නම් විවෘතව අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ගලා යාමට බාධක රැසක් පවතින අප සමාජයේ සාපේක්‍ෂව අළුතින් මතුව ආ ඉන්ටර්නෙට් වැනි මාධ්‍යයක් අනවශ්‍ය රාජ්‍ය නියාමනයට හෝ වාරණයට නතු වීම වළක්වා ගත යුතු බවයි.

අසභ්‍ය හා අපහාසාත්මක දේ සමාජගත වීම වැළැක්වීමට යයි කියමින් ඇතැම් ඉන්ටර්නෙට් වෙබ් අඩවිවලට පිවිසිම අවහිර කිරීම (website blocking) ඇරඹුණේ 2007දී. එහෙත් මේ වන විට ස්වාධීන දේශපාලන විග‍්‍රහයන් හා මතවාද රැගත් වෙබ් අඩවි ගණනාවක් ද අවහිර කරනවා. අධිකරණ අධීක්‍ෂණයකින් තොරව, හරිහැටි නීතිමය රාමුවක් නොමැතිව කරන මෙය සයිබර් වාරණයක්.

සමාජ මාධ්‍ය සංවරව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නැති වූ විට අපේ පොදු යහපතට යයි කියමින් ඕනෑවට වඩා නියාමනයක් හා වාරණයක් කරන්නට රාජ්‍ය තන්ත‍්‍රය ඉදිරිපත් වීමේ අවදානමක් ඇති නිසයි.

See also: 30 Years Ago: How ICTs Are Changing Sri Lanka

BqQN4IxCIAEKHnW.jpg large

 

 

සිවුමංසල කොලූගැටයා #45: තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය

As I have often said on this blog, Television used to be the favourite whipping boy of those who love to criticise communication technologies and consumer gadgets — until the Internet and mobile phones came along.

When it finally arrived in Asia in 1991, direct TV broadcasting by satellite scared the daylights out of many Asian governments and self-appointed guardians of culture and public morals. How can the unexposed (i.e. ‘unspoilt’) hundreds of millions of Asians cope with massive volumes of information and entertainment beaming down from the skies, they asked. Their real concern was the loss of control over what the public watched, which governments and ruling elites had tightly controlled for decades since radio and TV emerged as mass media.

So, for much of that decade, we witnessed howls of protests from them — but their worst fears never materialised. Satellite TV found its niche alongside terrestrial transmissions, and Asian broadcasters soon mastered the medium. Today, global broadcasters like CNN, BBC and Al Jazeera compete with hundreds of Asian satellite TV channels and the audiences have a far greater choice.

As I wrote in September 2008: “In 1990, most Asian viewers had access to an average of 2.4 TV channels, all of them state owned. This has changed dramatically — first with the advent of satellite television over Asia in 1991, and then through the gradual (albeit partial) broadcast liberalisation during the 1990s. Asian audiences, at last freed from the unimaginative, propaganda-laden state channels, exercised their new-found choice and quickly migrated to privately owned, commercially operated channels.”

Sir Arthur Clarke was the man who triggered this satellite communication revolution. In 1945, while still in his late 20s, he was the first to propose the concept of using a network of satellites in the geo-synchronous orbit for television and telecommunications. His vision became a reality in the mid 1960s, and within a generation, humankind has come to rely critically on the network of comsats placed, in what is now called the Clarke Orbit, some 22,300 miles above the earth.

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS) and days before his 86th birthday, I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of information societies. It was published in One World South Asia on 5 December 2003.

For my Ravaya column this week (18 Dec 2011), I have adapted parts of that interview into Sinhala, making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet. It’s also a nice way to mark his 94th birth anniversary this week.

Sir Arthur C Clarke: Opened up the heavens as part of information superhighway...

අතට හසු නොවන, මනසට අළුත් හා නුහුරු ඉන්ටර්නෙට් ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. 2011 නොවැම්බර් 20දා මා කීවේ වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමග බවයි.

ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ අයුරින් ම බය හා සැක ඇති කළ මාධ්‍ය ප්‍රවණතාවක් වූයේ කෘත්‍රිම චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශයන් විසුරුවා හැරීමයි. (direct broadcasting by satellite)’ ආසියා කලාපයේ මෙය ඇරඹුණේ 1991දී. AsiaSat චන්ද්‍රිකාව BBC, CNN හා STAR TV නාලිකාවල උඩුගුවනින් එන ටෙලිවිෂන් සංඥා, අඩු වියදමකින් තනා ගන්නා දීසි ආකාරයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි වුණා.

රාජ්‍ය දේශ සීමා ගැන තැකීමක් නොකර නිදහසේ පාවී එන මේ විකාශ ගැන එවකට ආසියානු රජයන් සලිත වූ සැටි මට මතකයි. වර්තමානයේ ඉන්ටර්නෙට් මාධ්‍යයට එරෙහිව නගන චෝදනාවලට සමාන චෝදනා ගොන්නක් 1990 දශකය පුරා අපේ පණ්ඩිතයෝ චන්ද්‍රිකා හරහා එන ටෙලිවිෂන් විකාශයන්ටත් එල්ල කළා. එය ආසියානු රටවල දේශපාලන ස්ථාවරත්වයට, සංස්කෘතීන්ට හා ජන සමාජයන්ට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි යයි ඇතැම් උගතුන් හා ‘සංස්කෘතික බහිරවයන්’ අනතුරු ඇගවීම් ද කළා.

එහෙත් එබන්දක් සිදු වූයේ නැහැ! නොබෝ කලකින් ආසියානු නාලිකා තම ප්‍රේක්ෂකයන්ට වඩාත් අදාල හා ප්‍රයෝජනවත් වැඩසටහන් විකාශය කරන්නටත් ඒ චන්ද්‍රිකා තාක‍ෂණය ම යොදාගත්තා. මේ වන විට ලෝක ටෙලිවිෂන් නාලිකා, ආසියානු නාලිකා හා දේශීය නාලිකා තුන ම අපේ ටෙලිවිෂන් යන්ත්‍ර හරහා බලා ගත හැකියි.

හාස්‍යජනක කරුණක් නම් මේ දැඩි විවේචනවල යෙදෙන ඇතැම් දෙනා එකී මාධ්‍ය දැක හෝ භාවිතා කර නැති අය වීමයි! එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් මත පදනම් වී කරන මේ විවේචන පිළි ගන්නා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ද සිටීම තමා අපේ ඛේදවාචකය. විෂය දත්තවුන් නිහඩව සිටින මේ දූපතේ, කුමන්ත්‍රණවාදීන් හැම දෙයක් ම නොපිටට හරවා ගන්නවා. (විකිලීක්ස් හා විකිපීඩියා දෙක පටලවා ගැනීම පිළිබද මගේ විග්‍රහය බලන්න: 2011 ජූලි 10)

වඩාත් ප්‍රබලව මතුව එන තොරතුරු තාක‍ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. එයට මුල් වුයේ යුනෙස්කෝ සංවිධානය, ලෝක විදුලි සංදේශ සංගමය (ITU) හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යන ආයතන ත්‍රිත්වයයි. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා.

මගේ ඉලක්කය වූයේ තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වු ක්ලාක් එවකට දැකිය හැකි වු අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ඒ තීරණාත්මක මොහොතේ ලෝකය සමග ඛෙදා ගැනීමයි. ක්ලාක්ගේ 94 වන ජන්ම සංවත්සරය (2011 දෙසැම්බර් 16) සැමරෙන මේ සතියේ ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා.

එදා චන්ද්‍රිකා ටෙලිවිෂන් ගැන ක්ලාක් කී බොහෝ දේ අද ඉන්ටර්නෙට් සඳහා ද වලංගූයි. නමුත් එක් ප්‍රබල වෙනසක් නම් චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශ කිරීමට තාක්ෂණය හා වත්කම තිබුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සමාගම්වලට පමණක් වුවත් ඉන්ටර්නෙට් හරහා ලොවට සන්නිවේදනය කිරීමේ හැකියාව ලොකු පොඩි කාටත් එක සේ උදා වී තිබීමයි. දැවැන්ත මාධ්‍ය සමාගම් අතළොස්සක් නීතිමය හා නීතියට පරිබාහිර උපක්‍රමවලින් හැසිරවීමේ අත්දැකීම් ඇති ලෝකයේ ආණ්ඩුවලට, කුඩා පරිමාණයේ පුරවැසි මාධ්‍යවේදීන් සිය දහස් ගණනක් සමග කුමන ආකාරයෙන් ගනුදෙනු කළ හැකි ද යන්න විශාල අභියෝගයක් වී තිඛෙනවා. ක්ලාක් අප අතර නැතත්, වසර අටකට පෙර ඔහු පළ කළ අදහස් අදටත් අදාලයි.

නාලක: චන්ද්‍රිකා ටෙලිවිෂන් නාලිකා ඔස්සේ එන වැඩසටහන්වල අන්තර්ගතය ගැන කිසිදු රජයකට පාලනයක් නැහැ. රටක පවතින මාධ්‍ය නීති රීති හෝ සාරධර්ම ඒ අයුරින් ම පිළිපැදිය යුතු යැයි චන්ද්‍රිකා ටෙලිවිෂන්වලට බලපෑම් කරන්නටත් බැහැ. මේ පසුබිම තුළ මෙම මාධ්‍යය වඩාත් තදින් හැසිරවිය යුතු යැයි ඔබ සිතනවාද?

ක්ලාක්: පෘථීවියට ඉහළ කක‍ෂගතව තිඛෙන පණිවුඩ චන්ද්‍රිකාවලින් එන ටෙලිවිෂන් විකාශයන් පාලනය කිරීමට හෝ තහනම් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවකට හැකි වේ යැයි මා සිතන්නේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍යයක් තහනම් කිරීම, නීති විරෝධී කිරීම හෝ වාරණය කිරීම ප්‍රගතශීලි පියවරක් ලෙස මා පිළිගන්නේත් නැහැ. අපි මේ තත්ත්වය පුළුල් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කළ යුතුයි. මෙබඳු ප්‍රශ්න ගැන කථාබහ කරන අප බොහෝ දෙනකුට තොරතුරු හා විනෝදාස්වාදය ලබා ගත හැකි මාර්ග ගණනාවක් තිඛෙනවා. බොහෝ විට අප සිටින්නේ තොරතුරු අධිපෝෂණය නැතහොත් තොරතුරු දූෂණය (information pollution) නමැති තත්ත්වයේයි. මේ නිසා එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයල එනම් තොරතුරු සාගතය (information starvation) ගැන අපට හරි වැටහීමක් නැහැ.

මට සිතෙන්නේ චන්ද්‍රිකා ටෙලිවිෂන් වැඩසටහන්වලින් ජන ජීවිතයට, සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි සිදුවේ යැයි කෑ මොර ගසන උදවිය තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබීම නිසා බක පණ්ඩිතයන් වී සිටින අය බවයි. සමාජයේ බහුතරයකගේ සිතුම් පැතුම් හෝ රුචි අරුචිකම් හෝ ගැන මේ ‘කල්චරල් අප්පුලාට’ හැඟීමක් හෝ තැකීමක් නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් ටික දෙනෙකුගේ අභිමතය හා අභිරුචිය මත සියලූ දෙනාගේ කියැවීමේ පුරුදු හෝ ටෙලිවිෂන් නැරඹීමේ රටා සකස් විය යුතුයි කියායි. බටහිර සභ්‍යත්වයට හෝ ජාත්‍යන්තර ප්‍රවාහයන්ට අනාවරණය නොවු ගැමි ජනයා සදහට ම එම තත්ත්වයේ තබා ගත යුතු බවත්, චන්ද්‍රිකා ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් බඳු මාධ්‍ය මඟින් මේ ජනයාගේ මනස දූෂණය වන බවත් මෙකී පණ්ඩිතයෝ කියනවා. එසේ කියමින් ඔවුන් තමන්ගේ පවුල්වල පාවිච්චියට මේ හැම නවීන තාක‍ෂණයක් ම යොදා ගන්නවා. (මෙය හරියට රටේ බහුතරයකට ස්වභාෂාවලින් වැඩ කරන්නට යැයි කියමින් ටික දෙනෙකු ඉංගිරිසිය දිගට ම භාවිත කිරීම වැනි ක්‍රියාවක්!) මෙබඳු ආත්මාර්ථකාමී, වංක විද්වතුන්ගෙන් රටට හා සමාජයට වන යහපතට වඩා හානිය වැඩියි.

චන්ද්‍රිකා ඔස්සේ එන ටෙලිවිෂන් විකාශයන් මෙන් ම පොළව මත පිහිටි සම්ප්‍රේෂණාගාරවලින් ඛෙදා හැරෙන (terrestrial) ටෙලිවිෂන් විකාශයන් ඔස්සේත් හොඳ-නරක දෙයාකාරයේ ම වැඩසටහන් අපට හමු වෙනවා. අප කළ යුතුව ඇත්තේ ක්‍රමානුකූලව ප්‍රේක‍ෂකයන් වඩාත් දැනුවත් හා නැණවත් පිරිසක් බවට පත් කිරීමෙන් මේ ගුණාගුණ තෝරා බේරා ගන්නට හැකි පිරිසක් බවට ඔවුන් පත් කිරීමයි. දිගු කලක් තිස්සේ ටෙලිවිෂන් මාධ්‍යය හා සම්බන්ධව ක්‍රියා කිරීමෙන් පසුව මා තීරණය කර ඇත්තේ මෙයයි: ගුණාත්මක බවින් අඩු ටෙලිවිෂන් වැඩසටහන් පවා, කිසියම් වටිනාකමකින් යුක්තයි. (Even bad TV is better than no TV!). අප කළ යුත්තේ ටෙලිවිෂන් යන්ත්‍ර නිවා දැමීම හෝ විකාශ තහනම් කිරීම හෝ නොවේ. ගුණාත්මක පැත්ත වර්ධනය කර ගන්නට වෙර දැරීමයි.

ස්වාධීනව පාලනය කැරෙන, ස්වාධීනව අදහස් දක්වන මාධ්‍ය ආයතන – විශේෂයෙන් ටෙලිවිෂන් ආයතන – කෙරෙහි බොහෝ ආණ්ඩු දක්වන්නේ අයහපත් ආකල්පයක් නේද?

එයට හේතුව නිදහසේ තොරතුරු හා අදහස් ගලා යාම හරහා සිවිල් සමාජය ශක්තිමත් වන නිසායි. එවිට ඒකාධිපති පාලකයන්ට හා ආණ්ඩුවලට එය තර්ජනයක් වෙනවා. පසුගිය දශක දෙක පමණ කාලය තුළ තමයි චන්ද්‍රිකා ඔස්සේ විකාශය වන ටෙලිවිෂන් සේවාවන් ප්‍රචලිත වී ඇත්තේ. ඊට පෙර සියලූ ටෙලිවිෂන් විකාශයන් මහ පොළොව මත පිහිටි සම්ප්‍රේෂණයන් හරහායි සිදු කෙරුණේ. ඒ යුගයේ මෙම මාධ්‍යය මීට වඩා පාලනය කිරීමට ආණ්ඩුවලට හැකි වුණා. කොටින් ම කිවහොත් මේ මාධ්‍යයට බිය වූ ඇතැම් පාලකයෝ තමන්ගේ රටවල ජාතික ටෙලිවිෂන් සේවාවන් ඇරඹීම වසර ගණන් ප්‍රමාද කළා.

Arthur C Clare (extreme right) with Indian ISRO engineers who installed satellite antenna at his Colombo home, in 1975
හොඳම උදාහරණය ලැඛෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. 1960 දශකය වන විට ලෝකයේ ඉසුරුබර රාජ්‍යයන් අතුරෙන් ටෙලිවිෂන් සේවාවක් අරඹා නොතිබූ එක ම රට වූයේ දකුණු අපිකාවයි. එවකට එහි පැවති සුදු පාලකයන්ගේ රජයේ සන්නිවේදන අමාත්‍යවරයා එරට ටෙලිවිෂන් සේවාවක් ඇරඹීමට කිසිසේත් එකග වූයේ නැහැ. ‘ටෙලිවිෂන් තමයි අප්‍රිකාවේ සුදු මිනිසාගේ පාලනය හමාර කරන්නේ’ යයි ඔහු කළ ප්‍රකාශයෙහි ලොකු අරුතක් ගැබ් වී තිබුණා. ^‘Television will mean the end of the white man in Africa.’)

ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ විට ඔහු කී දේ හරියට ම හරි! පසු කලෙක වර්ණභේදවාදයට විරුද්ධව ගෙන ගිය අරගලයට ටෙලිවිෂන් මාධ්‍යයේ බලපෑම හා දායකත්වය ලැබුණා. කඩුවට වඩා පෑන බලවත් බව අප අසා තිඛෙනවා. ඔය දෙකට ම වඩා ටෙලිවිෂන් කැමරාව බලවත්. මේ නිසා ලෝකයේ හැම ආකාරයේ ආණ්ඩුවක්ම – ප්‍රජාතාන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා – මේ මාධ්‍යය හසුරුවන්නට අඩු වැඩි පමණින් උත්සාහ කිරීම පුදුමයක් නොවෙයි.

මාධ්‍ය හා පුවත් වාරණය (media censorship) ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මාධ්‍ය වාරණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ ගැන සරලව හා පොදුවේ අදහස් දැක්වීමට අපහසුයි. මාධ්‍ය වාරණයට මා එක`ග නැති වුවත්, ඇතැම් අවස්ථාවල යම් යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ටික කලකට මාධ්‍ය වාරණය කිරීමට අවශ්‍ය වන බව මා පිළිගන්නවා. බහුතරයකගේ යහපත සදහා. ඒ වාගේ ම කාගේත් යහපත උදෙසා මාධ්‍යවලින් පිටු දැකිය යුතු හා තුරන් කළ යුතු අංග ද තිඛෙනවා. උදාහරණ නම් ලිංගික වශයෙන් විකෘති අදහස් ඉදිරිපත් කරන රූප හා තොරතුරු, සහ ජාති-ආගම් භේද අවුස්සමින් ප්‍රචන්ඩත්වයට දායක විය හැකි ආකාරයේ ලියකියවිලි.

නමුත් යම්කිසි තොරතුරක්, විග්‍රහයක් හෝ අදහසක් සමාජයට හිතකර ද නැත් ද යන්න නිර්ණය කිරීම ලෙහෙසි නැහැ. එය විවිධ පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් විනිශ්චය කළ හැකියි නේද?

ඇත්තෙන්ම ඔව්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදහත්, අපක‍ෂපාතී පුද්ගලයන් පවා බොහෝ විට එකග වන්නේ නැහැ. මහජනයාට ඉදිරිපත් කළ යුත්තේ කුමක් ද? වසන් කළ යුත්තේ කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ඉතා අසීරුයි. එහෙත් රජයන් හා පාලකයන්ගේ පැත්තෙන් බැලු විට මෙන්න මෙසේ කිව හැකියි. දූෂණ, අක්‍රමිකතා, වංචා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් ආදිය පිළිබද මාධ්‍ය මගින් කැරෙන අනාවරණයන් පාලකයන් බොහෝ විට බලවත් අපහසුතාවයට පත් කරන බව ඇත්ත. එහෙත් එය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් හා වැදගත් වන්නට ද පුළුවන්.

තමන්ගේ රටේ සැබැවින් ම සිදු වන්නේ කුමක්දැයි හරිහැටි දැන ගන්නට නිසි අවකාශ තිබුණා නම් බොහෝ පාලකයන්ට තමන්ගේ බලය – ඇතැම්විට ජීවිතය පවා – මීට වැඩි කාලයක් රැක ගන්නට තිබුණා යයි අපට කිව හැකියි. ඕනෑ ම පාලකයකු වටා ඒකරාශී වන වන්දිභට්ටයන් පිරිස ඉදිරිපත් කරන පක‍ෂග්‍රාහී විග්‍රහයට වඩා ඔබ්බට ගොස් තොරතුරු දැනගැනීමේ උපක්‍රමයක් හැම පාලකයකුට ම අවශ්‍යයි. මේ නිසා තමයි එක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු වරක් කියා සිටියේ නිදහස් මාධ්‍ය පාලකයන්ට මහත් හිසරදයක් විය හැකි වූවත්, බොහෝ විට ඔවුන්ගේ හිස රැක ගන්නත් ඒ නිදහස් මාධ්‍ය ම දායක වන බව.

මෙය ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණය පැත්තෙන් බැලු විට මුද්‍රිත මාධ්‍යයටත් වඩා ප්‍රබල සත්‍යයක්. විශේෂයෙන්ම චන‍ද්‍රිකා සන්නිවේදන තාක‍ෂණය නිසා අද ටෙලිවිෂන් ඔස්සේ ප්‍රවෘත්ති විකාශය කිරීම බොහෝ විට සජීවී ලෙසින් සිදු කැරෙනවා. මේ නිසා අළුතෙන් යමක් සිදුවන විට ඒ මොහොතේම ලොව හැමතැනටම එය දැක බලාගත හැකියි. මෙය කිරීමේදී ඉමහත් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමට ටෙලිවිෂන් ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවෙනවා.

සන්නිවේදනයේ මීළඟ වසර 50 ගැන නෙතඟ බැල්මක් හෙළිය හැකි ද?

පුළුල්ව කිව හොත්, සන්නිවේදනයේ අපට රිසි ඕනෑ ම දෙයක් කළ හැකි තත්ත්වයට අද අප පත්ව සිටිනවා. මේ ඉදිරි ගමන සීමා කරන්නේ තාක්ෂණික හෝ ඉංජිනේරුමය හෝ සාධක නොවේ. එය සිදු වන්නේ නීතිමය, මූල්‍යමය හා දේශපාලනික සාධක මගින්. මෙකී සාධකල තාක්ෂණයේ ප්‍රගමනය තරම් වේගවත්ව හා කාලානුරූපව හැඩ ගැසී නැහැ.

මාධ්‍ය මත බල පෑ රාජ්‍යමය හා අනෙකුත් සීමාකාරී සාධක එකින් එක බිද වැටෙන විට මාධ්‍යවල බලය හා මාධ්‍ය අනිසි ලෙස පරිහරණය කිරීමේ ඉඩකඩ ද ඒ හා සමානුපාතිකව වැඩි විය හැකි බව අප සිහි තබා ගත යුතුයි. ජන සමාජයට හා රටට අහිතකර ප්‍රවාහයන් නූතන සන්නිවේදන මාධ්‍යයන් හරහා ඒමට එරෙහිව ගත හැකි හොද ම ආරක‍ෂක විධි විධානය ලෙස මා දකින්නේ අධ්‍යාපනයයි. මේ රටේ ප්‍රධානතම ප්‍රමුඛතාවයක් විය යුත්තේ ඉදිරි සියවසට ගැලපෙන හා විශ්ව ගම්මානයේ අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයේ ජනතාවක් බිහි කරන අධ්‍යාපන රටාවක් ගොඩ නැගීමයි.

සිවුමංසල කොලූගැටයා #42: සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර…

Who’s Afraid of Online Journalists? This was the provocative title of my presentation to a national media conference on media self-regulation in Colombo in September 2011, organised by Sri Lanka Press Institute. Speaking in the session devoted to online media, I argued that SLPI was ill-equipped to tackle online news content when it lacked even full representation of the mainstream print media in Sri Lanka, and had no representation whatsoever from the radio and TV broadcasters whose outreach far outstrips that of print.

My PowerPoint presentation to SLPI Conference is here

I return to the topic of whether or how web news coverage in Sri Lanka might be self-regulated in my weekly Ravaya column published on 27 Nov 2011.

නෙත් අද වූ පස් දෙනකු ජීවිතයේ මුල් වතාවට සද්දන්ත ඇතකු මුණගැසීමේ කථාව අප අසා තිඛෙනවා. ඇතාගේ ස්වරූපය නෙතින් නොදැක, ඇසෙන හ`ඩින් හා ස්පර්ශයෙන් පමණක් මේ සත්ත‍වයා ගැන මනෝ චිත්‍රයක් මවා ගන්නට ඔවුන් තැත් කරනවා. එහෙත් තමන්ට ශෝචර වූ නිරීක‍ෂණ මත පමණක් පදනම් වී මේ පස් දෙනා එළැඹෙන නිගමන එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.

ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන අපේ ඇතැම් දෙනා දක්වන අදහස් දෙස බලන විට මට මේ කථාව සිහි වනවා. ඉන්ටර්නෙට් ලෙහෙසියෙන් ග්‍රහණය කර ගත හැකි, අවබෝධ කර ගත හැකි සංසිද්ධියක් නොවෙයි. එය භෞතික ලෝකයේ නොව පරිගණක හා සන්නිවේදන ජාල තුළ පමණක් පවතින, තනිකර ම විද්යුත් මාධ්‍යයක් නිසා අපේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ ද සීමිත ලෙසින්. ඉන්ටර්නෙට් ගැන අප එකිනෙකා ඇති කර ගන්නා මනෝ චිත්‍ර වෙනස්. එයට හේතුව එහි විශාලත්වය හා විවිධත්වයයි. මුළු ඉන්ටර්නෙට් මාධ්‍ය පුරා සැරිසරන්නට කිසිවකුට බැහැ. එසේ කිරීමේ තේරුමක් ද නැහැ. අපට අවශ්‍ය තොරතුරු සොයා ගන්නට හා සන්නිවේදනයන්ගේ යෙදෙන්නට උවමනා පරිද්දෙන් අප එහි පැතිකඩ කිහිපයකට පමණක් බද්ධ වනවා.

මුද්‍රිත මාධ්‍ය ෙක‍ෂත්‍රයේ බොහෝ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙන්ම එම ෙක‍ෂත්‍රය ගැන කලක් තිස්සේ පර්යේෂණ කරන විද්වතුන්ද නොදැනුවත්වම කරන වරදක් තිඛෙනවා. එනම් ඉන්ටර්නෙට් යනු තවත් එක් මාධ්‍ය අංගයක් ලෙස සැළකීමයි. මීට පෙර (2011 නොවැ 6) මා එය සම කළේ මුද්‍රණ ශිල්පය සමග මිස රේඩියෝ, ටෙලිවිෂන් හෝ සිනමාව සමග නොවේ.

මුද්‍රණයේ සංකල්පය ක්‍රි ව 220දී පුරාණ චීනයේත්, ක්‍රි.ව. හතරවන සියවසේදී පුරාණ ඊජිප්තුවේත් දැන සිටියත් එය මහා පිම්මක් පැන්නේ 15 වන සියවසේදී ජර්මනියේ යොහාන් ගුටන්බර්ග් අකුරු ඇමිනීමේ සංකල්පය සොයා ගැනීමත් සමගයි. ගුටන්බර්ග්ට පෙරත් පැපිරස් තීරු, පුස්කොළ හා වෙනත් මාධ්‍යයන්ගේ ලියා සන්නිවේදනය කිරීම පැවතුනා. ඒ කිසිවක් මුද්‍රිත පොතපතට සම කළ නොහැකි වූවාක් මෙන් පවතින අනෙකුත් ජනමාධ්‍ය ඉන්ටර්නෙට් සමග ඍජුව සැස`දීමට ද නොහැකියි.

කලක් භාවිත වූ හා බොහෝ දෙනකු හුරුපුරුදු වූ ක්‍රමයකින් අළුත් ක්‍රමයකට පිවිසීමේ දී හුදෙක් තාක‍ෂණය අතින් පමණක් නොවෙයි මානසිකවත් හැඩ ගැසීමට සිදු වනවා. ඉන්ටර්නෙට් හරහා පැමිණි නව අවස්ථා හා අභියෝගයන්ට මුහුණ දීමට රාජ්‍යයන්, මාධ්‍යවේදීන් ඇතුළු ජන සමාජය තවමත් උත්සාහ කරනවා.

පත්තර හා සගරා පමණක් පැවති ලෝකයට 19 වන සියවසේදී ඡායාරූප ශිල්පය හා සිනමාවත්, 20 වන සියවසේදී රේඩියෝව, ටෙලිවිෂන් හා වීඩියෝ බ`දු මාධ්‍යත් එකතු වුණා. එසේ අළුතෙන් ආ හැම මාධ්‍යයකට ම ආවේණික ලක‍ෂණ තිබුණත් ඒවා පවතින ප්‍රධාන ප්‍රවාහයේ මූලික නීතිරීති හා සම්ප්‍රදායන්ට කෙටි කලෙකින් නතු වුණා. මේ ඓතිහාසික ප්‍රවණතා දෙස බලා ඉන්ටර්නෙට් මාධ්‍යකරණයටත් සීමා පැන විය යුතු යයි ඔවුන් තර්ක කරනවා.

තර්කයක් හැටියට මා ඔවුන් සමග එකගයි. තොරතුරු, විශේෂයෙන් ප්‍රවෘත්ති එකතු කිරීමේ හා ඛෙදා හැරීමේදී මූලික සාදාචාරමය රාමුවක් තුළ එය කිරීම අවශ්‍යයි. එහෙත් මගේ එකගතාවය නතර වන්නේ පුවත් විග්‍රහයන් හා මත දැක්වීම ගැන කථා කරන විටයි.

The web was supposed to set us free, but has it?

තමන්ට අහිතකර වූ හෝ විරුද්ධ වූ හෝ මත දැක්වීම වාරණය කිරීමට විවිධාකාර බලපෑම් ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයන්ට එල්ල කිරීමට රජයන්, ලොකු සමාගම් හා වෙනත් බලාධිකාරයන් ක්‍රියා කිරීම බොහෝ රටවල දැකිය හැකියි. මේ යථාර්ථය හමුවේ ර්‍ඇග බේරා ගෙන” වැඩ කිරීමේ ස්වයං-වාරණ පුවත්පත් කලාවක් (self-censored journalism) බිහිව තිඛෙනවා. එබදු වාතාවරණයක නිදහසේ මත දැක්වීමට ඉඩ ඇති තැනක් ලෙස තවම ඉතිරිව ඇත්තේ ඉන්ටර්නෙට් මාධ්‍යයයි.

එමෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල දැඩි සේ බල පවත්වන අධිපතිවාදයක් තිඛෙනවා. මාධ්‍ය හිමිකරුවා හා ආයතන ප්‍රධානියා නොකැමති කිසිදු තොරතුරක් හෝ මතවාදයක් හෝ පළ කිරීමේ නිදහස සීමා කැරෙනවා. මෙය දොරටුපාල සංකල්පයයි (media gate-keeping). මේ අධිපතිවාදීකම අපේ රටේ සිංහල මාධ්‍යවල ඉතා ප්‍රබලව තිඛෙනවා. (මීට විසි වසරකට පෙර සිංහල පුවත්පත් ලෝකයේ මා ක්‍රියාත්මක වූ අවධියේ මා ද එයින් පීඩා විද තිඛෙනවා!)

ඉන්ටර්නෙට් මාධ්‍යයේ දොරටුපාලයන් නැහැ. ඉන්ටර්නෙට් සබදතාවයක් හා සාක‍ෂරතාවය තිඛෙන ඕනෑ ම කෙනකුට තම තොරතුරු, අදහස් හා මතවාදයන් ප්‍රකාශයට පත් කිරීමේ අවකාශය තිඛෙනවා. මෙය බ්ලොග් අඩවියකින්, නැතිනම් Twitter වැනි වෙබ් මාධ්‍ය (social media) හරහා කළ හැකියි. එය වචනවලට සීමා වන්නේ ද නැහැ. ඡායාරූප, හඩ, වීඩියෝ ආදී ඕනෑ ම ක්‍රමයකින් ලොවට ම සන්නිවේදනය කිරීමේ හැකියාව තිඛෙනවා.

මේ හැකියාව ඉන්ටර්නෙට් පරිශීලනය කරන බොහෝ දෙනකු භාවිත කරන්නේ නැහැ. බහුතරයකගේ භාවිතය විද්යුත් තැපෑල, තොරතුරු කියැවීම හා Facebook වැනි සංවෘත පද්ධතිවල ටික දෙනකු සමග පෞද්ගලික කථාබහ (chat) කිරීමට සීමා වනවා. එයින් ඔබ්බට යන ඉන්ටර්නෙට් භාවිතාකරුවන් පුරවැසි මාධ්‍යවේදීන් (citizen journalists) බවට පත්ව සිටිනවා. මේ ගැන වෙන ම කථා බහ කළ යුතුයි.

ඉන්ටර්නෙට් මාධ්‍යය සෙසු සියළු මාධ්‍යයන්ගෙන් වෙනස් බවට උපමිතියක් (analog) ගැන මා කල්පනා කළා. සරලව කිවහොත් මුද්‍රිත මාධ්‍ය ගොඩබිමටත්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය සාගරයටත් සම කළ හැකියි. ගොඩබිම කළ හැකි හැම දෙයක් ම සාගරය මතු පිට හෝ පතුලේ කළ නොහැකි වූවත් ඒ හැම තැනට ම ගුරුත්වය බල පානවා. මේ උපමිතිය තුළ ඉන්ටර්නෙට් සම වන්නේ අභ්‍යවකාශයටයි.

1961 දී මිනිසකු මුල්වරට අභ්‍යවකාශයට ගිය දා පටන් අද වනතුරු අභ්‍යවකාශයට යාමේ අත්දැකීම ලබා ඇත්තේ 600කට අඩු සංඛ්‍යාවක්. ගුරුත්වය අඩු හෝ නැති, වායුගෝලයකින් තොර අභ්‍යවකාශයේ හැසිරීමට හා ජීවත්වීමට විශේෂිත පුහුණුවක් අවශ්‍ය වනවා. උපන්දා සිට ගුරුත්වය සහිත මහපොළව මත විසීමෙන් ලද සහජ බුද්ධිය මදෙකට පසෙක ලා, වෙනස් විධියට සිතීමට සිදුවනවා. සයිබර් අවකාශයට පිවිසි අප සැමටත් මෙසේ අපට සහජයෙන් හෝ වෘත්තියෙන් ලද තත්ත්වාරෝපණය (conditioning) වෙනුවට අළුත් පරිසරයක නව යථාර්ථයකට හැඩ ගැසීමට සිදු වනවා.

අජටාකාශගාමීන් දිගු කාලීන පුහුණුවක් ලබනවා. එහෙත් පැය දෙක තුනකවත් පුහුණුවකින් තොරව සයිබර් අවකාශයට පිවිසිය හැකියි. එසේ පිවිසෙන අපේ ඇතැම් දෙනා භෞතික ලෝකයේ පුරුදු එතැනටත් ආරෝපණය කරන විට යම් නොගැලපීම් ඇති වනවා.

මේ පරස්පරයන් හා අභියෝග මැද්දෙන් ප්‍රශස්ත ඉන්ටර්නෙට් සාක‍ෂරතාවයක් කාටත් ලබා දීම තොරතුරු සමාජයක අප කාගේත් ඉලක්කය විය යුතුයි. මෙය පරිගණකවේදීන්ට හා ඉංජිනේරුවන්ට පමණක් පැවරිය හැකි වගකීමක් නොවෙයි. මනා ඉන්ටර්නෙට් සංස්කෘතියක් බිහි කිරීමට තාක‍ෂණවේදයෙන් ඔබ්බට යන බහුවිධ සහභාගිත්වයක් උවමනායි.

ඉන්ටර්නෙට් හරහා පමණක් පුවත් ආවරණයේ හා විග්‍රහයේ යෙදෙන වෙබ් අඩවිවලට ස්වයං නියාමනයක් (self-regulation) කළ හැකිද? 2011 සැප්තැම්බරයේ ලංකා පුවත්පත් ආයතනය (SLPI) සංවිධානය කළ තෙදින සම්මන්ත්‍රණයක එක් සැසිවාරයක් මේ තේමාවට වෙන් කළා. එයට දුරකථනයෙන් සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියකු කීවේ බ්‍රිතාන්‍යයේ එබදු උත්සාහයක් කි්‍රයාත්මක වන බවයි. එහෙත් එය එරට සාම්ප්‍රදායික පුවත්පත් පැමිණිලි කොමිසම (PCC-UK) හරහා නොව වෙබ් මාධ්‍යවේදීන් විසින් ම පිහිටුවා ගත් එකමුතුවක් හරහායි. වෙබ් අඩවියක් හරහා පළ කැරෙන වාර්තාවකින් යම් පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ අපහාසයක් වේ නම් ඒ ගැන ප්‍රතිචාර දැක්වීමේ හා පැමිණිලි කිරීමේ අවස්ථාව ඒ හරහා සැළසෙනවා.

SLPI තර්කය නම් සියලූ මාධ්‍ය තමන්ගේ හැසිරීම සදාචාරමය රාමුවක් තුළ ස්වයං නියාමනය නොකළහොත් එය රජය හෝ අධිකරණය හෝ මැදිහත්වීමෙන් සිදු වනු ඇති බවයි. එය පිළි ගත හැකි තර්කයක්. නමුත් මාධ්‍ය නියාමනය (media regulation) හා මාධ්‍ය පාලනය (media control) යනු පැහැදිලිව එකිනෙකින් වෙනස් සංකල්ප දෙකක්. නියාමනය අවශ්‍ය බව කවුරුත් පිළිගන්නවා. එහෙත් මාධ්‍ය පාලනය හා එහි උච්ච අවස්ථාව වන මාධ්‍ය වාරණය (censorship) ගැන එබදු එකගතාවක් නැහැ. බලයේ සිටින විට මාධ්‍ය පාලනය කළ යුතු යයි කියන අය ම ප්‍රතිපක‍ෂයේ සිටින විට එයට එරෙහි වනවා.

එදා සමුළුවේදී මා කියා සිටියේ මෙරට ජන සමාජයට දැනටමත් සමීප වී ඇති රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යවල සදාචාරාත්මක ස්වයං නියාමනයකට මුල් වටයේ යොමු වන ලෙසයි. ජනගහනයෙන් සියයට 10-15ක් බද්ධ වන ඉන්ටර්නෙට් මාධ්‍යයට වඩා විශාල ග්‍රාහක පිරිසක් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවලට සිටිනවා. නමුත් එකී නාලිකාවකින් අපහාසයට හෝ අගතියට හෝ පත් කිසිවකුට පිළිතුරුදීමේ අයිතිය සහතික කෙරී නැහැ. රටේ නීතිය හරහා අපහාස නඩුවක් ගොනු කිරීම හැරුණු කොට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කොට යම් සමතයක් (mediation) කළ හැකි විද්යුත් මාධය එකමුතුවක් ද මෙරට නැහැ. එපමණක් තබා මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා නියාමනයට රාජ්‍යයෙන් පවා පැහැදිලි රාමුවක් නැහැ. මේ මහා හිදැස් පුරවා නොගෙන එක්වර ම වෙබ් ප්‍රවෘත්ති නියාමනයට යොමුවීමට SLPI ආයතනයට හෝ මෙරට ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතනවලට හැකියාවක්, පළපුරුද්දක් හෝ ශිල්ප ඥානයක් නැති බව පිළි ගත යුතුයි.

ලංකාවේ සියළුම මුද්‍රිත මාධ්‍යවල පවා පූර්ණ නියෝජනයක් නැති SLPI ආයතනයට, විද්යුත් මාධ්‍ය ගැන නිසි අවබෝධයක් නැහැ. සමස්ත මාධ්‍ය වෙනුවෙන් කථා කිරීමේ වරමක් ද නැහැ. බ්‍රිතාන්‍යයේ පවා සෙසු මාධ්‍යවලට වෙනස් සංවිධාන ව්‍යුහයක් හරහා වෙබ් ප්‍රවෘත්ති ස්වයං නියාමනය කැරෙද්දී ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසම මෙරට එයට අත තැබීමට කල් වැඩි බව මා සමුළුවේදී කියා සිටියා.

ලංකාවේ සැබෑ තත්ත්වය දත් අපට, පොදු උන්නතිය සදහා වෙබ් ප්‍රවෘත්ති ද නියාමනය කළ යුතු යයි මතු කරන තර්කය ගෙඩි පිටින් පිළි ගත නොහැකියි. “ලබ්බට තැබූ අතමයි පුහුලටත් තබන්නේ” යන කියමන සිහිපත් කරමින් කිව යුත්තේ පොදු උන්නතිය ඉක්මවා යන බොහෝ දේත් ඒ සමග ම නියාමනයට හා පාලනයට උත්සාහ කැරෙන බවයි. එයට මෑත ඉතිහාසයේ සාක‍ෂි හා අත්දැකීම් බහුලයි.

ඉන්ටර්නෙට් ප්‍රවෘත්ති නියාමනය ගැන නිරවුල් හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. ගොඩබිම සිට පිහිනීම ගැන හා කිමිදීම ගැන කථා කිරීම ප්‍රායෝගික නොවන්නා සේ ම මිහිමත සිටගෙන අභ්‍යවකාශයේ හැසිරීම නියාමනය කරන්නට තැත් කිරීමත් සීරුවෙන් කළ යුත්තක්!

සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

This is the Sinhala text of my weekly column in Ravaya newspaper of 20 Nov 2011. This week, I continue our discussion on Internet freedom: what can – and must – be regulated online, and how regulation is fundamentally different from control and censorship. I insist that conceptual clarity is as important as technical understanding of how the Internet works.

Similar grounds was covered in two blog posts:
April 2007: Press Freedom in the Digital Age – Seeing beyond our noses and tummies
May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

The web is (largely) free for now...but for how long? Assorted babus are out to cage it!

දස වසරක් කියන්නේ මානව ඉතිහාසයට කෙටි කාල පරාසයක්. එහෙත් මානවයකුගේ ජීවිතයේ සැළකිය යුතු කාල වකවානුවක්. නව සන්නිවේදන තාක‍ෂණයන් පැත්තෙන් බැලූවොත් දිගු කාලයක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ එක් වසරක් තුළ සාමාන්‍ය ලෝකයේ වසර ගණනාවක තරම් පරිනාමයක් සිදු වනවා. මේ පරිනාමීය සීඝ්‍රතාව හා එයින් මාධ්‍ය ලෝකයට හා සමස්ත ජන සමාජයට ඇති වන බලපෑම් ගැන අවධියෙන් සිටීම වැදගත්.

දස වසකට පෙරල 2001 ලෝක මාධ්‍ය නිදහස් සමරු දිනය (මැයි 3) සමරන්නට කර්තෘ මණ්ඩල සංසදය හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ගණනාවක් එක්ව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ රැස්වීමේ කථීකයකු ලෙස මටත් ඇරැයුම් කළා. සංවිධායකයන් මගෙන් ඉල්ලා සිටියේ නව සන්නිවේදන තාක‍ෂණයන් මාධ්‍ය නිදහසට දායක වන සැටි ගැන කථා කරන්නයි.

එවකට ජංගම දුරකථන භාවිතය ඇරඹී වසර 12ක් හා වාණිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් ලංකාවට හදුන්වා දී වසර 6ක් ගත වී තිබුණා. නමුත් ජංගම දුරකථනවල වටිනාකම හදුනා ගත්ත ද මාධ්‍ය ආයතන ඉන්ටර්නෙට් ගැන හරිහැටි අවබෝධයක් ලබා තිබුණේ නැහැ. ගෝලීය ප්‍රවණතා හා ආසියා කලාපීය අත්දැකීම් හුවා දක්වමින් මා තර්ක කළේ එළඹෙන වසරවල මාධ්‍ය නිදහසට හා තොරතුරු ගලනයට විප්ලවීය දායකත්වයක් ඉන්ටර්නෙට් හරහා ලැඛෙන බවයි. ඉන්ටර්නෙට් ප්‍රගමනය මාධ්‍යවේදීන්ට ප්‍රයෝජනවත් වන අතර එයින් නව අභියෝග ද මතු කරන සැටි මා පෙන්වා දුන්නා.

මගේ කරුණු දැක්වීම මෙරට මාධ්‍යවේදීන්ට අදාල නොවන ‘බටහිර’ සංකල්පයක් බවට ප්‍රබල තර්කයක් සභාවෙන් මතුව ආවා. මාධ්‍යවේදීන් හා කතුවරුන් බහුතරයක් නිහඩව සිටිද්දී සුළුතරයක් පුන පුනා කියා සිටියේ රජය හා මාධ්‍ය හිමිකරුවන්ගෙන් විවිධාකාර හිරිහැර විදින අපේ මාධ්‍යවේදීන්ට ‘ඔය ඉන්ටර්නෙට් විලාසිතාවලට කාලයක් නැති’ බවයි. එක් පසෙකින් මරණීය තර්ජනවලට මුහුණ දෙමින්, තවත් පසෙකින් අඩු වැටුප් හා අවම පහසුකම් යටතේ වැඩ කරමින් සිටින බහුතරයක් මාධ්‍යවේදීන්ට ඉන්ටර්නෙට් ගැන කථා කිරීම ම ඔවුන්ට අවමන් කිරීමක් බවට එක් තරුණ මාධ්‍ය සගයෙක් කියා සිටියා!

ඔවුන්ගේ සංදේහවාදය (scepticism) අගය කරමින් මා ඉල්ලා සිටියේ මාධ්‍ය නිදහස සදහා අරගල කරද්දී අද ගැන පමණක් නොව හෙට ගැන ද අවධානය යොමු කරන ලෙසයි. ඉන්ටර්නෙට් පෙරටු කරගත් නව සන්නිවේදන තාක‍ෂණයන්ගේ සිඝ්‍ර ව්‍යාප්තිය සමග සාම්ප්‍රදායිකව තොරතුරු ගලනය පාලනය කරන්නට රාජ්‍යයන්, සමාගම් හා වෙනත් බලාධිකාරයන් යොදා ගත් උපක්‍රම තව දුරටත් සාර්ථක නොවනු ඇතැයි මා අනාවැකි පළ කළා. එහෙත් ඒ තොරතුරු ප්‍රවාහය උත්සන්න වීමත් සමග තොරතුරු ජනනය හා ගලනය කරවන මාධ්‍යවේදීන් හා අනෙකුත් විද්වතුන්ට අළුත් වගකීම් සමුදායක් බිහි වන බවත්, තොරතුරු ප්‍රවාහයට වේලි බැදීමේ නව උපක්‍රම බලාධිකාරීන් සොයා ගනු ඇති බවත් මා තව දුරටත් කියා සිටියා.

එදා ආවේගශීලීව මා සමග තර්ක කළ තරුණ මාධ්‍යවේදීන් වසර පහක් යන්නට පෙර තමන්ගේ ම ප්‍රවෘත්ති හෝ මතවාදී වෙබ් අඩවි ඇරඹීම දෙස මා බලා සිටියේ උපේක‍ෂා සහගතවයි. එමෙන් ම දස වසක ඇවෑමෙන් ඉන්ටර්නෙට්, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය ගැන මා එදා කී ලෙසින් ම සංවාදයක් ඇති වී තිඛෙන ආකාරය මා දකින්නේ ද මහත් ඕනෑකමින්.

සරසවි ඇදුරන්ට සීමා වූ ඉන්ටර්නෙට් භාවිතයක් 1990 සිට මෙරට ක්‍රියාත්මක වූවත් වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා ඇරඹුණේ 1995 අප්‍රේල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වුණා.

මේ වන විට මෙරට ජනගහනයෙන් අඩු තරමින් සියයට 10ක් (ලක‍ෂ 20 ක් දෙනා) නිතිපතා ඉන්ටර්නෙට් පරිශීලනය කරනවා. (ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මීට අඩුයි. ඇතැම් දෙනා හවුලේ භාවිත කරන ගිණුම් රැසක් තිඛෙනවා.) සෘජුව භාවිත කරන ජන සංඛ්‍යාවට අමතරව එම මාධ්‍යයේ බලපෑම වක්‍රව ලබන තවත් ජන පිරිසක් ද සිටිනවා.

අද වන විට ඉතා විශාල තොරතුරු සමුදායක් නිතිපතා ඉන්ටර්නෙට් හරහා හුවමාරු වනවා. එය විවිධ මට්ටම්වල සිදු වනවා. පුද්ගලයන් හෝ ආයතන අතර පෞද්ගලිකව සිදුවන හුවමාරු තිඛෙනවා. (email, Skype, Facebook කථා බහ ආදිය). මේවා සෙසු අයට විවෘත නැහැ. ඇතැම් වෙබ් අඩවි ද මුරපදයක් (password) යොදා අවසර ගෙන ඇතුල් විය යුතු ආකාරයේ ඒවායි. සමහර මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි මේ ගණයට අයිතියි.

එසේ නොමැතිව ඕනෑ ම කෙනෙකුට නොමිළයේ පිවිසීමට හැකි වෙබ් අඩවි අති විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. ඒවා තුළ ප්‍රවෘත්ති, මතවාද, ඡායාරූප, කාටුන් රේඩියෝ හා ටෙලිවිෂන් වැඩසටහන් මෙන්ම අධ්‍යාපනික හා වෙනත් විශේෂිත අන්තර්ගතයන් තිඛෙනවා. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන වෙබ් අඩවි, මිනිසුන් මුලා කරමින් මුදල් වංචා කරන්නට තැත් කරන වෙබ් අඩවි මෙන්ම අසභ්‍ය පින්තූර හා විඩියෝ ඇතුළත් අඩවි ද තිඛෙනවා.

බලා ගෙන ගියා ම මුද්‍රිත මාධ්‍යයේත් අඩු වැඩි පමණට මේ විවිධත්වය හමු වනවා. එහෙත් එක් ප්‍රධාන වෙනසක් වන්නේ මුද්‍රිත මාධ්‍ය සංසරණයට තැපෑල හෝ පත්තර ලෑලි හෝ පොත් සාප්පු හෝ අවශ්‍ය වූවත් ඉන්ටර්නෙට් හරහා මේ අන්තර්ගතයන් පරිශීලනයට අවශ්‍ය වන්නේ පරිගණකයක් හෝ ඉහළ මට්ටමේ ජංගම දුරකථනයක් හා ඉන්ටර්නෙට් පහසුකම පමණයි. එ නිසා නිවසේ, කාර්යාලයේ මෙන් ම මහමගදී වූවත් එයට බද්ධ විය හැකියි.

අතට හසු නොවන, මනසට පවා නුහුරු මේ අළුත් ‘සෙල්ලම’ ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමගයි. අළුත් දෙයකට හුරු වන්නට කල් ගත වීම ස්වාභාවික වූවත්, දිගින් දිගට ම නව මාධ්‍යයක් දෙස වපර ඇසින් බැලීම හොද ද?

වත්මන් ආන්දෝලනයට හේතු වී ඇත්තේ සුළුතරයක් වෙබ් අඩවි විසින් ප්‍රවෘත්ති වාර්තාකරණයට හා කාලීන සිදුවීම් විග්‍රහයන්ට යොමු වීමයි. මේ ප්‍රවණතාව රජයට පමණක් නොව සාම්ප්‍රදායික ජන මාධ්‍යවලටත් ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙනවා.

ලොව පුරා ම ඉන්ටර්නෙට් හරහා පමණක් ප්‍රවෘත්ති ඛෙදා හරින හා අදහස් ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවි ගණන වැඩි වෙමින් තිඛෙනවා. මේවා ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත්වල වෙබ් අඩවිවලට වඩා ආකෘතියෙන් හා ස්වභාවයෙන් වෙනස්. යම් තරමකට මේවා සම කළ හැක්කේ පැය 24 පුරා ම පුවත් ආවරණයේ යෙදෙන, චන්ද්‍රිකා හරහා විකාශය කැරෙන ටෙලිවිෂන් නාලිකාවලටයි (උදා. CNN). දේශ සීමා හා රාජ්‍ය නීතිරීතිවලට නතු නොවී වාර්තාකරණයේ යෙදීමේ හැකියාව මේ දෙවර්ගයට ම තිඛෙනවා. අසාධාරණ මාධ්‍ය මර්දනය හෝ නිල පුවත් පාලනයක් හෝ පවතින රටවල (උදා. බුරුමය) සැබෑ තොරතුරු එරට වැසියන් දැන ගන්නෙත්, පිටස්තර ලෝකයට යන්නේත් මෙබදු සේවා හරහායි.

ඉන්ටර්නෙට් යනු මුළුමනින් පාලනය (control) කළ හැකි මාධ්‍යයක් නොවේ. අපේ රට තුළ වෙබ් අඩවි තහනම් කිරීම ගැන විටින් විට සංවාදයන් මතු වනවා. වෙබ් අඩවියක් තහනම් කිරීම යනුවෙන් මෙරට අදහස් වන්නේ රට තුළ ඉන්ටර්නෙට් සබදතා හරහා යම් වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම (blocking) පමණයි. ඒ වෙබ් අඩවි සෙසු ලෝකයට ම බලා ගත හැකියි. එසේම චරදංහ නම් වට රවුම් තාක‍ෂණික ක්‍රමයක් හරහා අවහිර කළ වෙබ් අඩවි මෙරට සිට බලා ගන්නටත් හැකියි. මෙරට හිතුමතයට, හිතෙන වෙලාවට වෙබ් අඩවි අවහිර කරන්නට බලධාරීන් කි්‍රයා කළත් පරිනත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල එසේ කළ හැක්කේ අධිකරණ නියෝග මත පමණයි. එහිදී නිශ්චිත අපහාසයක් හෝ අගතියක් හෝ සිදු වන බවට අධිකරණයට ඒත්තු ගිය යුතුයි.

පුවත් වාර්තාකරණයේ යෙදෙන ඉන්ටර්නෙට් වෙබ් අඩවිවල හිමිකරුවන් හා සංස්කාරකයන් සොයා ගත නොහැකි යයි කීම මුළුමනින් ම සත්‍ය නැහැ. ඉන්ටර්නෙට් අක්මුල් ආපසු සොයා ගෙන යා හැකි තාක‍ෂණයක්. අවශ්‍ය තාක‍ෂණික දැනුම, ශිල්ප ඥානය හා අධිකරණ නියෝගයක් තිබේ නම් අනන්‍යතාවය හෙළි නොකර ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවියක පසුබිම අනාවරණය කර ගත හැකියි. එහෙත් එය ලෙහෙසි නැහැ. එමෙන් ම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. බොහෝ වෙබ් අඩවි යොදා ගන්නා වෙබ් ඉඩකඩ (servers) ඇත්තේ බටහිර රටවල හෝ සිංගප්පූරුව වැනි ස්ථානවලයි. (මෙයට වෙළදපොල හේතු තිඛෙනවා)

ලංකාවේ ඉන්ටර්නෙට් ආගමනය වූ දා පටන් ඒ ගැන අධ්‍යයනය කරන මා මිත්‍ර චානුක වත්තේගම කියන්නේ රුසියාව වැනි රටවල් එබදු සහයෝගය නොදෙන නිසා එබදු රටක වෙබ් අඩවියක් මුල්ගත (host) කළොත් එහි හිමිකරුවන් හදුනාගැනීම දුෂ්කර වන බවයි.

චානුක අවධාරණය කරන පරිදි, මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්, සගරා) හා විද්යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) සම්බන්ධයෙන් අදාල භෞතික තත්ත්වයන් හා නියාමන/පාලන හැකියාවන් ඉන්ටර්නෙට් මාධ්‍යයට ඍජුව අදාල නොවන බව තේරුම් ගැනීම ඉතා වැදගත්. එය මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මෙන් භෞතික ලෝකයේ සංසරනය වන මාධ්‍යයක් නොවෙයිග පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් මානසිකත්වයේ හැදී වැඩුණු අප බොහෝ දෙනකුට ඉන්ටර්නෙට් සංකල්පමය අභියෝගයක් එල්ල කරනවා.

ඉන්ටර්නෙට් මුල පටන් ම සැළසුම් කොට නිර්මාණය කර ඇත්තේ කිසිදු තනි බලාධිකාරියකට (රාජ්‍ය, හමුදා හෝ සමාගම්) නතු කර ගෙන පාලනය කළ නොහැකි ලෙසටයි. ඉන්ටර්නෙට් බිහි කිරීමට තාක‍ෂණික දැනුම හා මූල්‍යමය සම්පත් ලබා දුන් අමෙරිකානු රජයට වුවත් ඉන්ටර්නෙට් හසුරුවන්නට බැහැ. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා අමෙරිකානු රාජ්‍ය තාන්ති්‍රක රහස් හෙළදරවු වීම නතර කරන්නට ඔවුන්ට මහත් ඕනෑකමක් තිබුණත් එයට තාක‍ෂණික හැකියාවක් තිබුණේ නැහැ. තනි රජයකට නොව ලෝකයේ රාජ්‍යන්ගේ සාමුහිකය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ඉන්ටර්නෙට් පාලනය පිළිබද අවසන් බලතල නැහැ.

නමුත් මෙයින් අදහස් කරන්නේ ඉන්ටර්නෙට් ඇති සයිබර් අවකාශය අරාජික, අනාරක‍ෂිත හා අන්තරාදායක පරිසරයක් යන්න නොවෙයි. ඉන්ටර්නෙට් හරහා ඩිජිටල් (අංකිත) ස්වරූපයෙන් තොරතුරු ගලා යාමට ලොව පුරා ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාත්මක ප්‍රමිතීන් හා එකගතාවයන් තිඛෙනවා. ඒවා ස්වයං නියාමනය කැරෙන ක්‍රමවේදයන් ද පසුගිය වසර 25 තුළ බිහි වී තිඛෙනවා.

සරල උදාහරණයකට රාවය වෙබ් අඩවියේ www.ravaya.lk ලිපිනය බලන්න. මේ ලිපිනය (URL) රාවය වෙඩ් අඩවියට සුවිශේෂීයි. එය ලබාගෙන ඇත්තේ .lk මගින් අවසන් වන සියළු වෙබ් ලිපිනයන් අනුමත කිරීමේ බලය ලත් LK Domain Name Registry (www.nic.lk) නම් ආයතනයෙන්. එය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වෙතත් එහි බල මූලය වන්නේ ICANN (www.icann.org) නමැති ලෝකයේ ම වෙබ් නාමකරණය නියාමනය කරන සංවිධානයයි. ඔබ .lk නොකැමති නම් .com හා .org වැනි ලිපිනයන් භාවිත කළ හැකියි. ඒවා නිකුත් කිරීමේ වරම ඇති සමාගම් විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. එහෙත් ඒ සියල්ල අන්තිමේදී සම්බන්ධ වන පොදු ICANN ප්‍රමිති හා රීති මාලාවක් තිඛෙනවා. මේ රාමුවට පිටින් යන හිතුවක්කාර කිසිවකුට ඉන්ටර්නෙට් හරහා තොරතුරු දෙන්න හෝ ලබන්න හෝ නොහැකියි. නමුත් මේ නියාමනය සිදු වන්නේ ඉන්ටර්නෙට් යටිතල පහසුකම්වලට (internet infrastructure) අදාල ව මිස ඒ හරහා ගලා යන තොරතුරු සම්බන්ධයෙන් නොවෙයි.

අප කැමති වූවත් නැතත් නව සන්නිවේදන තාක‍ෂණයන් හා මාධ්‍යයන් ලෝකයේ පරිනාමය වනවා. ඒවා අභිමුඛව අපට තෝරා ගත හැකි ප්‍රතිචාර දෙකක් තිඛෙනවා. එකක් නම් ‘ඕවා අපට එපා’ කියමින් අපේ රටට එම තාක‍ෂණය/මාධ්‍යය පිවිසීම නතර කිරීමයි. (1968දී ජර්මනියෙන් ත්‍යාග කරන්නට ගිය ටෙලිවිෂන් විකාශ පහසුකම් එවකට පැවති රජය ප්‍රතික්ශෙප කළේ ඇතැම් පණ්ඩිතයන්ගේ අවවාද නිසයි.) දෙවැනි විකල්පය නම් අවධි වූ සිහියෙන් යුතුවල නිසි නියාමනයක් (regulation) සහිතව නව සන්නිවේදන තාක‍ෂණයන් මෙරට ස්ථාපිත වන්නට ඉඩ දීමයි.

ළිං මැඩියන් බදු ජාතියක් බිහි නොකර, ලෝකයත් සමග ගනුදෙනු කරන තත්ත්වයකට යන්නට නම් දෙවැනි විකල්පය තෝරා ගත යුතුයි. එහිදී ප්‍රශස්ත ප්‍රතිපත්ති රාමුවක් හා නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය වනවා. එය හරි හැටි තෝරා බේරා නොගැනීම නිසයි අද දක්වා ම ඉන්ටර්නෙට් ගැන මේ තරම් බයක් සැකක් පවතින්නේ.