End of the World and Other Conspiracies: Columnist Tackles Inconvenient Truths

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

PROMO NOTE FOR MY LATEST BOOK:

Science writer Nalaka Gunawardene’s latest Sinhala book, Wada Kaha Sudiye Sita Loka Winashaya Dakwa, will be released at the Colombo International Book Fair that starts on 14 September 2013.

A Ravaya Publication, the book is a collection of the author’s weekly column Sivu Mansala Kolu Getaya contributed to the Ravaya newspaper during 2012-13.

Through 54 columns, the book offers personalised insights and non-technical analysis related many current issues and topics in science, technology, sustainable development and information society in the Lankan context. It is written in an easy, conversational Sinhala style rich in metaphor and analogy.

In particular, this collection probes how and why Lankan society is increasingly prone to peddling conspiracy theories without critical examination or rational discussion. From astrological hype linked to end of the world in 2012 to claims of mass poisoning via agrochemicals, Nalaka seeks to separate facts from hype, conjecture and myth.

The book defies easy categorisation, as it covers topics as diverse as alternative histories, agrochemical misuse, disaster management, Internet censorship, Antarctic exploration, asteroid impacts, cricket history and road safety.

“I seem to have outgrown the neat label of science writer,” says Nalaka. “Indeed, the very title of my column suggests how I sit at the intersection (or confluence) of science, development, mass media and information society.  From that point, I explore tensions between modernity and tradition — and ask more questions than I can easily answer!”

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist, TV producer and development communicator.

He has twice won the Science Writer of the Year award (in English) from the Sri Lanka Association for the Advancement of Science (SLAAS). The University of Sri Jayawardenapura recently presented him a Vidyodaya Literary Award for the best newspaper column of 2012, for his first collection of Ravaya columns.

The 340-page book is priced at Rs. 550. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

Advertisements

සිවුමංසල කොලූගැටයා #67: විකල්ප ඉතිහාසය 2 – ජපන් ආක‍්‍රමණය සාර්ථක වූවා නම්…

In this week’s Ravaya column, published on 20 May 2012, I continue exploring alternative history scenarios for Sri Lanka, a quest started a couple of weeks ago.

I speculate WHAT IF there was a different outcome of the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon on 5 April 1942, exactly 119 days after the Pearl Harbour attack in Hawaii?

What if Ceylon fell to Japanese rule, just like Burma, Malaya and Singapore did? How might that have changed the course of World War Two, and the future of the then British colony of Ceylon?

“අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසට අත නොතබනු!”

විකල්ප ඉතිහාසයන් ගැන විද්‍යා ප‍්‍රබන්ධ කථා ස්වරූපයෙන් පරිකල්පනය කළ හැකිදැයි 2012 මැයි 6දා කොලමින් මා ඇසූ පැනයට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි. මා බලාපොරොත්තු වූ පරිදි ම ලංකාවේ ඉතිහාසය ශුද්ධ ලේඛනයක් සේ සළකන ඇතැම් දෙනා ඒ ගැන විවෘත මනසකින් විමසනවාට හෝ එය පාදක කර ගෙන නිර්මාණශීලිව කථා ගොතනවාට හෝ නොකැමති බව පෙනෙනවා. ඒ සමග ම එයට අනුබල දෙන ප‍්‍රතිචාර කිහිපයකුත්, “සිංහල පාඨකයන්ට ඕවා වැඩක් නැහැ” යන උදාසීන අවවාදයත් ලැබුණා.

ඉතිහාසය ගැන තනි විග‍්‍රහයකට මා එකග නොවන නිසාත්, ඉතිහාසගත පදනමක සිට පරිකල්පනය කිරිමේ නිර්මාණාත්මක නිදහස ගැන මා විශ්වාස කරන නිසාත් විකල්ප ඉතිහාස ගවේෂණයේ තව පියවරක් අද තබනවා.

මින් පෙර හැම කොලමකින් ම මා දැක් වූ අදහස් මෙන් ම මෙහි අන්තර්ගතය ද සංවාදයට විවෘතයි. එහෙත් ඉතිහාසයේ “උරුමක්කාරයන්” හැටියට පෙනී සිටින කිහිප දෙනෙකුගේ අධිපතිවාදය මා පිළි ගන්නේ නැහැ.

2012 අපේ‍්‍රල් 8දා මගේ කොලමේ තේමාව වූයේ 1942 අපේ‍්‍රල් මාසයේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ ජපන් ගුවන් ප‍්‍රහාරය හා එහිදී සිදු වූ සන්නිවේදන අවුලයි. වචන 1,300ක විග‍්‍රහය තුළ තනි වැකියක් ලෙස මා කියා තිබුණේ “යටත් විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පක්ෂ වීම” යන්නයි. මේ වචන 16 ගැන හිතමිතුරු පාඨක දෙපලක් මගේ බ්ලොග් අඩවිය හරහා දින ගණනක් වාද විවාද කළා. මෙබදු සංවාද ඇති වනවාට මා කැමතියි. http://tiny.cc/EastAt

ඒ ඔස්සේ තවත් කරුණු සෙවූ මට දැන ගන්නට ලැබුණේ එවකට මෙරට දක්ෂිනාංශිකයන් පවා ජපන් නියෝජිතයන් සමග ගනුදෙනු පවත්වා ඇති බව. 1978 විධායක ජනාධිපති වූ ජේ. ආර් ජයවර්ධන 1979දී ජපානයේ නිල සංචාරයක නිරත වෙමින් හෙළිදරව්වක් කළා. තෝකියෝවේ අධිරාජ මාලිගාවේ භෝජන සංග‍්‍රහයකදී ඔහු කීවේ 1940-42 වකවානුවේ මෙරට ජපන් පාලනයකට නතු වුව හොත් කළ හැකි දේ ගැන තමන් රහසිගතව ජපන් නියෝජිතයන් සමග සාකච්ඡ කළ බවයි. ජපන් පාලනයකින් පසු ලංකාවට නිදහස ලබා ගැනීමේ යම් ප‍්‍රතිඥාවක් තමන් ජපන් නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වූ බවත් ජේ. ආර්. කියා සිටියා!

මේ නිසා මෙරට වාමාංශික මෙන් ම දක්ෂිණාංශික ජන නායකයන් ද ජපන් ආක‍්‍රමණයක හැකියාව තක්සේරු කරමින් සිටි බව සිතා ගත හැකියි. මේවා ගැන විවෘතව කථා කිරීම කිසිවකුට අපහාස කිරිමක් හෝ යම් දේශපාලන සම්ප‍්‍රදායයකට නිගරු කිරීමක් හෝ නෙවෙයි. ඉතිහාසයේ අභියෝගවලට විවිධ පුද්ගලයන්, ජන සමාජ හා රටවල් මුහුණ දෙන එකිනෙකට වෙනස් ආකාරයන් ඔස්සේ ඔවුන්ගේ අනාගතය තීරණය වෙනවා.

අපේ‍්‍රල් 8දා මා විස්තර කල පරිදි ජපන් ආක‍්‍රමණය ගැන පැය 12ක පමණ අනතුරු ඇගවීමක් ලැබුණේ ඉන්දියානු සාගරයට ඉහළින් නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි කැනේඩියානු ගුවන් නැවියකුගෙන්. එය නොලැබී යාමෙන් හෝ ලැබීමෙන් පසුව වුවත් ආරක්ෂක සුදානමේ දුර්වලකමකින් හෝ 1942 අපේ‍්‍රල් ජපන් ආක‍්‍රමණය සාර්ථක වූවා යයි මොහොතකට සිතන්න. ඉන්දියානු සාගරයේ බල තුලනය ඉතා සියුම්ව පැවති ඒ අවස්ථාවේ ලංකා දුපත අල්ලා ගැනීමට හොඳ ඉඩක් ජපන් හමුදාවට තිබුණා.

සිංගප්පුරුව දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් හමුදා අතට පත් වුයේ 1942 පෙබරවාරි 15 වනදා. ඔවුන් එය සියොනන්තෝ ලෙස නැවත මේ නම් කර වසර තුනකට වැඩි කාලයක් දරදඩු පාලනයක් ගෙන ගියා. එම පාලනය බිඳ වැටුණේ 1945 අගෝස්තුවේ ජපානය යටත් වීමෙන් පසුවයි.

එවකට සිංගප්පුරුවේ රදවා තිබු මිත‍්‍ර පාක්ෂික හමුදා හා යුද්ධ අවිවලට වැඩි ප‍්‍රමාණයක් ලංකාවේ තිබු බව වාර්තාගතයි. ලංකාවේ සාගර බල පදනම යොදා ගනිමින් ජපන් හමුදා සමස්ත ඉන්දියානු සාගරය හා මැදපෙරදිගට බලය පතුරුවා හැර දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කරන්නට පවා හැකියාවක් තිබුණා.

එසේ වූවා නම් අපේ ඉතිහාසය කෙලෙස වෙනස් විය හැකිව තිබුණා ද? පෘතුග‍්‍රිසි, ලන්දේසි හා බි‍්‍රතාන්‍ය පාලකයන්ට අමතරව ජපන් ආඥාදායකත්වයකට ද නතු වීමෙන් පසු මෙරට සාමාන්‍ය ජනතාවගේ හා දේශපාලන නායකයන්ගේ ආකල්ප හා ක‍්‍රියාකලාපය කෙසේ වෙනස් වෙයි ද?

එසේ නම් මෙරට රඳවා සිටි සියළු මිත‍්‍ර පාෂික හමුදා නිලධාරින් හා හමුදා භටයන් ජපානයේ යුධ සිරකරුවන් බවට පත් වනවා. සිවිල් පරිපාලනයේ නිරතව සිටි සියළු දෙනා ජපන් හමුදා පාලනයකට නතු වනවා. මෑත ඉතිහාසයේ කිසි විටෙක පුර්ණ හමුදා පාලනයකට යටත් වී අත්දැකීම් නැති ලාංකිකයන්ට මෙහි ඵල විපාක එක්වර සිතා ගන්නටත් අමාරුයි.

මගේ බ්ලොග් අඩවියේ සංවාදයට පිවිසුණු එක් පාඨකයකු පෙන්වා දී ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ තමන් යටත් කර ගත් ආසියාතික රටවල සාමාන්‍ය ජනතාවට ජපන් හමුදා ඉතා කෲර ලෙස සළකා ඇති බවයි. බුරුමය, මලයාව, සිංගප්පුරුව වැනි රටවල් වසර කිහිපයක් නිර්දය ජපන් පාලනයකට නතු වී සිටියා.

එවකට ජපන් හමුදාවල තිබුණු එක ම ඉලක්කය හා අරමුණ වුයේ අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, සෝවියට් දේශය ප‍්‍රමුඛ වු මිත‍්‍ර පාක්ෂික රටවල් පරදවා ජර්මනිය හා ඉතාලියන් සමග ලෝකයේ ප‍්‍රබලතම රට බවට පත්විමයි. මේ සඳහා යන ගමනේදී ඕනෑ ම කැපවීමක් මෙන්ම විනාශකාරී ක‍්‍රියාවක් කිරිමට ඔවුන් නැඹුරුව සිටියා.

මා මෙසේ කියන්නේ ඉතා හොදින් තහවුරු වූ ඓතිහාසික වාර්තා අනුවයි. මෙහිදී අප සිහි තබා ගත යුත්තේ එසේ ආක‍්‍රමණකාරී වූයේ ස්වභාවයෙන් ම සියුම් හා සංවේදී ජපන් ජනයා නොව යුධ කාමයෙන් හා ජාතිකත්වයෙන් උමතු වී සිටි ජපන් හමුදා බවයි. මේ නිසා ලංකාව එදා ජපන් ආක‍්‍රමණයට නතු වූවා නම් අපේ රට කබලෙන් ලිපට වැටෙන්නට ඉඩ තිබුණා.

ජපන් සමාජය හා ජපන් රට ගැන මගේ ලොකු පැහැදීමක් තිබෙනවා. මට ජපන් මිතුරන් රැසක් සිටිනවා. වසර විස්සකට සිට මා අවස්ථා ගණනාවක් ජපානයේ සංචාරය කොටල ජපන් සරසවිවල දේශන පවත්වාල ජපන් චිත‍්‍රපට උළෙලවල ජුරි සභිකයකු ලෙස කටයුතු කොට තිබෙනවා. දෙවන ලෝක යුද්ධය හා එහිදී ජපන් හමුදා කළ හිරහැර ගැන අද දක්වා ජපන් ජාතිකයන් සමාව භජනය කරනවා. මේ නිසා අද අප දන්නා හිතමිතුරු ජපානය හා 1942 බලකාමී ජපන් හමුදා ක‍්‍රියා කලාපය පටලවා නොගත යුතුයි.

ශ‍්‍රි ලංකාවේ 1970 ගණන්වල සිට පදිංචිව මෙරට ඉතිහාසය ගැන ගවේෂණාත්මකව පොතපත ලියන බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් බොයිල් මගේ විමසීමට ප‍්‍රතිචාර දක්වමින් මෙසේ කීවා: “ජපනුන් ලංකාව අල්ලා ගත්තා නම් දහස් ගණනක් මිත‍්‍ර පාක්ෂික හමුදා ඔවුන්ගේ යුධ සිරකරුවන් බවට පත් වනවා. බි‍්‍රතාන්‍ය පාලකයන් සමග වෙළඳ, සිවිල් හෝ වෙනත් සබඳතා පවත්වා ගෙන ගිය ලාංකිකයන් දහස් ගණනක් ද ඔවුන්ගේ සැකයට හා හිරිහැරවලට ලක් වනවා. සිංගප්පුරුවේදී කළ විදියට රටවැසියන්ට හා යුද්ධ සිරකරුවන්ට දරුණු ලෙස සැලකීම සිදු වූවා නම් ජපන් පාලනයෙන් මෙරට මුදවා ගන්නට යටිබිම්ගත කැරැල්ලක් ඇරඹිය හැකිව තිබුණා ද? එබන්දකට නායකත්වයක් දිය හැකිව තිබුණේ කාට ද? වඩාත් රණකාමී හෝ සාමකාමී වාතාවරණයක් බිහි වී කවදා කුමන පදනමක් මත ලංකාවේ ස්වාධිනත්වය ලබා ගනීද? මේවා ගැන අපට කළ හැක්කේ පරිකල්පනය පමණයි.”

සිංගප්පුරුව ජපන් පාලනයට යටත් වීමේ 70 වන සංවත්සරය මේ වසරේ ඔවුන් සමරනවා. මේ අරභයා ලියැවුණු ලිපි හා නිෂ්පාදිත වාර්තා වැඩසටහන් දෙස බලන විට පෙනී යන්නේ ජපනුන් සිංගප්පුරුව අල්ලා ගත් සතියේ හා ඉනික්බිති සිදු වූ මිනිස් ඝාතන, බලහක්කාරකම් හා අසාධාරණ දේපල අත්පත්කර ගැනීම ගැන 70 වසරකට පසුවත් සිංගප්පුරු වැසියන් තුළ කම්පනයක් හා පිළිකුලක් පවතින බවයි. එහෙත් තම කුඩා දුපතට වඩා විශාල බල අරගලයකට හසු වී තමන්ගේ එදිනෙදා ජිවිතය හා ඉතිහාසගත ඉරණම වෙනස් වූ ආකාරය ගැන ඔවුන් උපේක්ෂා සහගතව ආවර්ජනය කරනවා.

මීට සියවස් පහකට පෙර පෘතුගීසි ආගමනයටත් කලින් අපේ දිවයින චීන බල පරාක‍්‍රමයට නතු වී නම් අපේ අද දවස කුමක් විය හැකි ද? මේ ගැන තවත් කොලමකින් විපරම් කරමු!

සිවුමංසල කොලූගැටයා #61: ශ්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන

This is the Sinhala text of my Ravaya Sunday column published in their issue for 8 April 2012. My theme this week is the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon that took place 70 years ago this week.

The 5 April 1942 attack on Colombo Harbour and the nearby Ratmalana Airport took place exactly 119 days after the Pearl Harbour attack in Hawaii.

Similar ground is covered in my English blogpost:
Battle of Ceylon: 70 years on, still waiting for its place in the movies…

Japanese Air Raids on Ceylon, April 1942 – Map by C E Warner

නිසි කලට අනතුරු ඇගවීමක් ලැබීම නිසා මහ ව්‍යසන වළක්වා ගත් අවස්ථා ඉතිහාසය පුරා අපට හමු වනවා. එහෙත් අනතුරු ඇගවිමක් ලැබුණාට පමණක් මදි. එය ලද විගස තීරණාත්මක ලෙසින් ක‍්‍රියාත්මක වීමත් අවශ්‍යයි.

එය එසේ නොවූ විට සිදු විය හැකි දේ ගැන බලවත් ම උදාහරණය අප දුටුවේ 2004 දෙසැම්බර් 26දා සුනාමිය ආ විටයි. විද්‍යාත්මකව ජාත්‍යන්තර මට්ටමින් ශ‍්‍රි ලංකාවට ලබා දුන් අනතුරු ඇගවීම ගැන මෙරට බලධාරින් කිසිදු පියවරක් නොගැනිම නිසා ලෙහෙසියෙන් බේරා ගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් පැය කිහිපයක් ඇතුළත විනාශ වුණා.

මේ විපත මට යළිත් සිහිපත් වූයේ මීට වසර 70කට පෙර ජපන් ගුවන් යානා ලංකාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරිම ගැන පොතක් කියවන විටයි. 1942 අපේ‍්‍රල් 5දා කොළඹ වරාය හා රත්මලාන ගුවන් තොටුපළටත්, අපේ‍්‍රල් 9 වනදා ත‍්‍රිකුණාමල වරාය හා නැගෙනහිර වෙරළාසන්නව නවතා තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලටත් ප‍්‍රහාර එල්ල වුණා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාස වාර්තාවල මේ ප‍්‍රහාරයන් හදුන්වන්නේ පාස්කු ඉරිදා ගුවන් ප‍්‍රහාරය (Easter Sunday Air Raid) හැටියටයි. තවත් සමහරුන් එය ලංකාව සඳහා කළ යුද්ධය (Battle of Ceylon) කියා හදුන් වනවා.

එකල රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස මෙරට සේවය කළ මයිකල් ටොම්ලින්සන් පසු කලෙක (1976) ලියූ The Most Dangerous Moment පොත, මේ සිදුවීම් මාලාව පිළිබඳව ඇති හොඳම ඓතිහාසික සටහනයි.

කොළඹ හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලට ජපන් ප‍්‍රහාර එල්ල වූයේ ඒ වන විට දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ තීරණාත්මක තැනක ශ‍්‍රි ලංකාව පිහිටීම නිසා. 1942 පෙබරවාරි වන විට ජපන් හමුදා අග්නිදිග ආසියාව යටත් කර ගත්තා. මලයාව, බුරුමය හා සිංගප්පුරුව ජපන් පාලනයට නතු වීමෙන් පසු දකුණු ආසියාව අල්ලා ගන්නට ඔවුන් උත්සුක වුණා. එහි මුල් පියවර වූයේ ලංකාව යටත් කොට එහි ජපන් යුද්ධ නෞකා, සබ්මැරින හා ගුවන් යානා නතර කිරිමයි. ඉන් පසු ඉන්දියාවටත්, ඉනික්බිති මැදපෙරදිග දක්වාත් බලය විහිදු වීමට ජපන් හමුදාවට සැළසුමක් තිබුණා.

දෙවන ලෝක යුද්ධයේ අතිශයින් බිහිසුණු වූත්, තීරණාත්මක වූත් සන්ධිස්ථානයක් ලෙසින් බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති වින්ස්ටන් චර්චිල් පසුව හදුන්වා දුන්නේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයයි. ඒ කාලය තුළ ලංකාවේ පාලනය බි‍්‍රතාන්‍ය ජාතිකයන් අතින් ගිලිහී ජපන් ජාතිකයන් අතට ගියා නම් දෙවන ලෝක යුද්ධයෙ ඉතිරි වසර තුන හමාර බෙහෙවින් වෙනස් විය හැකිව තිබුණා. (යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.)

ජපන් අරමුණු ගැන හොඳ ඉගියක් මිත‍්‍ර පාක්ෂික හමුදාවලට තිබුණත්, ඇත්තට ම ජපන් නාවික හා ගුවන් හමුදාවල හැකියාව ගැන විස්තරාත්මක අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. අද මෙන් පෘථිවි කක්ෂයේ සිට ලෝකයේ ඕනෑ ම තැනක සිදුවන දේ ගැන ඔත්තු බැලීමේ තාක්ෂණික හැකියාව නොතිබුණු ඒ යුගයේ, ප‍්‍රතිමල්ලව බල පරාක‍්‍රමය පිළිබඳව සෙවීමට මිනිස් ඔත්තුකරුවන් මත බොහෝ සේ යැපීමට සිදු වුණා. ඉන්දියානු සාගරය හරහා යුද්ධ නැව් සමුහයක් එවා ලංකාව ඇල්ලීමට තරම් ජපාන හමුදාවට හැකියාවක් ඇතැයි බොහෝ බි‍්‍රතාන්‍ය පරිපාලකයන් විශ්වාස කළේ නැහැ.

එහෙත් ජපන් ප‍්‍රහාරයකට මුහුණ දීමේ පෙර සුදානමක් 1942 මුල සිට ක‍්‍රියාත්මක වුණා. එහි පෙරමුණ ගත්තේ මිත‍්‍ර පාක්ෂික හමුදා සියල්ල සඳහා මෙරට ප‍්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස පත්ව ආ අද්මිරාල් ශ‍්‍රීමත් ජෙෆ්රි ලේටන් සහ සිවිල් ආරක්ෂක බලධාරියා ලෙස පත් කර සිටි ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලකයි. දිවයිනේ කිහිප තැනෙක ගුවන් තොටුපළ හෝ ගුවන් තීරු ඇති කිරීම, කොළඹ තුරග ධාවන පිටිය ගුවන් තීරුවක් බවට පත් කිරිම හා ඉන්දියානු සාගරය නිරික්සමින් ගුවන් සංචරණයේ යෙදීම (Aerial Patrols) මේ ආරක්ෂක පියවර කිහිපයක්.

කොග්ගල බොක්ක තාවකාලික ගුවන් කඳවුරක් බවට පත් කිරිමත් සමග දිය මත සිට පියාසර කිරිමේ හැකියාව ඇති කැටලයිනා (Catalina) ගුවන්යානා සමූහයක් එහි රඳවනු ලැබුවා. එක දිගට පැය 18-20ක් පමණ වේලාවක් ගුවන් ගතව සිටීමේ හැකියාව තිබූ “පියාඹන බෝට්ටු” හැටියට හැදින්වුණු කැටලයිනා ගුවන්යානා යොදා ගෙන ලංකාව අවට වර්ග කිලෝමීටර් සිය ගණනක සාගර පෙදෙසක් නිරික්සනු ලැබුවා.

Sq Ldr Leonard Birchall, ‘Saviour of Ceylon’ aboard his Catalina aircraft

1942 අපේ‍්‍රල් 4 වනදා දවස පුරා එසේ නිරික්සිමේ යෙදී සිටි කැටලයිනා යානයක් ආපසු කොග්ගලට එන්නට සුදානම් වන මොහොතේ එහි සිටි ජේ්‍යෂ්ඨතම නිලධාරියා වූ කැනේඩියානු ජාතික ලෙනාඞ් බර්චෝල් ක්ෂිතිජයේ අසාමාන්‍ය අදුරු තිත් කිහිපයක් දුටුවා. එය කුමක්දැයි සොයන්නට පියාසර කළ ඔවුන් දුටුවේ හීන්සීරුවේ ලංකාව වෙත ඇදෙමින් තිබූ ජපන් ගුවන්යානා ප‍්‍රවාහන නෞකා (aircraft carriers) හා තවත් යුද්ධ නැව් කිහිපයක්. මේ නෞකා ඒ වන විට සිටියේ ලංකා දුපතට සැතපුම් 400ක් (කිමි 640) දකුණින්, මාලදිවයින් අසල.

මේ බිහිසුණු ආරංචිය හැකි තාක් විස්තරාත්මකව කොළඹ මෙහෙයුම් මැදිරියට රේඩියෝ පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒ පණිවුඩය යවා විනාඩි කිහිපයක් ඇතුළත කැටලයිනා ගුවන් යානයට යුධ නැවෙන් අහසට නැගුණු සීරෝ (Zero) ප‍්‍රහාරක යානා වෙඩි තැබුවා. මුහුදට කඩා වැටුණ කැටලයිනා යානයේ සිටි බර්චෝල් ඇතුළු පස් දෙනකු ජපන් යුධ සිරකරුවන් බවට පත් වුණා.

කැටලයිනා ගුවන් හමුදා පිරිස ජිවිත පරදුවට තබමින් කොළඹට එවූ රේඩියෝ පණිවුඩයත් සමග ජපන් ප‍්‍රහාරයක් පසුදින උදේ නියත වශයෙන් එල්ල වන බවට පැය 12ක අනතුරු ඇගවීමක් කොළඹට ලැබුණා. එහෙත් ජපන් යුධ නැව් සමුහයට කුමන ප‍්‍රහාරක ගුවන්යානා ඇත් ද, ඒවායේ පියාසර කාලය හා යා හැකි උපරිම දුර ආදිය ගැන නිසි තොරතුරු නොදත් නිසා ඔවුන්ට හැකි වූයේ අනුමාන මත පදනම් වූ ආරක්ෂිත පියවර ගැනීමට පමණයි. දිවයින පුරා සියලූ හමුදා සීරුවෙන් තබන්නටත්, රැය පුරා අවධියෙන් සිටින්නටත් තීරණය වුණා.

එහෙත් මහජනයා කළබල වීම වළක්වනු පිණිස එළඹෙන ජපන් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නොකිරිමට රජය තීරණය කළා. මේ නිසා පසුදා හිරු උදාවත් සමග තවත් ඉරිදාවක සැහැල්ලූ ජන ජීවිතය ඇරඹුණා.

බලාපොරොත්තු වූ පරිදි හිමිදිරි පාන්දර ජපන් ප‍්‍රහාරයක් සිදු නොවූ විට මිත‍්‍ර පාක්ෂික හමුදාවල සුදානම මඳක් ලිහිල් වුණා. ඈත එන ගුවන් යානා පියවි ඇසට පෙනෙන්ට පෙර හදුනා ගත හැකි රේඩාර් තාක්ෂණය නිපද වූ අළුත නිසා මුළු ලංකාවට ම තිබුණේ ප‍්‍රාථමික මට්ටමේ රේඩාර් යන්ත‍්‍රයක්. එය රත්මලාන හමුදා ගුවන් තොටුපළේ සවිකර තිබුණා.

පෙරවරු 7.30 වන තුරුත් සතුරු යානාවල සේයාවක් හෝ නොදුටු බැවින් උදාසන ආහාරය ගන්නට රත්මලානේ හමුදා භටයන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබුවා. පෙරවරු 7.50ට ජපන් ගුවන්යානා සමූහයක් රත්මලාන අහසේ එක වර දිස් වුණා.

ගාල්ල අසලින් ලංකා ගුවන් කලාපයට පිවිස, කොළඹ බලා උතුරු දෙසට පියාසර කරන සියයකට වැඩි ජපන් යානා සමහය දකුණු හා බටහිර වෙරළබඩ බොහෝ දෙනා ඇසින් දුටුවා. එහෙත් දුරකථන පණිවුඩයක් හෝ වෙනත් දැනුම්දීමක් හෝ ආරක්ෂක මර්මස්ථානවලට ලැබුණේ නැහැ. මේ නිසා ජපන් ප‍්‍රහාරය එළඹෙන බව දැන දැනත් නිසි සුදානමින් නොසිටීමේ විපාක රත්මලානේදී අත් විදින්නට සිදු වුණා.

බි‍්‍රතාන්‍ය හරිකේන් ප‍්‍රහාරක යානා ගණනාවක් ධාවන පථය මතදී ම ජපන් ප‍්‍රහාර නිසා විනාශ වුණා. කඩිමුඩියේ ගුවන්ගත කළ ඉතිරි ප‍්‍රහාරක යානා මගින් ආක‍්‍රමණික ජපන් හමුදාවට ප‍්‍රතිරෝධයක් එල්ල කළත්, සටනේදී මවිතයෙන් ලබන වාසිය (surprise attack) බොහෝ දුරට ලැබුවේ ජපන් ගුවන් නැවියන්.

බර්චෝල් පැය 12කට පමණ පෙර ලබා දුන් අනතුරු ඇගවීමෙන් හරිහැටි වැඩක් නොගැනීම ගැන සමස්ත බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික සේනාපතිත්වය දැඩි කණස්සල්ලට පත් වූ බවත්, එය ගැන පසුව විභාග කළ සැටින් ටොම්ලින්සන් සිය පොතේ ලියා තිබෙනවා.

එහෙත් උපාය මාර්ගිකව කොළඹ වරායේ තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකා ගණනාවක් එයින් පිටතට යවා ඈත මුහුදේ විවිධ තැන්වල රඳවා තිබූ නිසා ජපන් ප‍්‍රහාරයෙන් ලද නාවිකමය හානිය සීමා වුණා. පැය බාගයකට අඩු කාලයක් පැවතුණු අපේ‍්‍රල් 5 ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු මිය ගොස් තවත් 77 දෙනෙකු තුවාල ලද බව වාර්තාගතයි. කොලොන්නාවේ තෙල් ටැංකිවලට ඉලක්ක කළ බෝම්බ අංගොඩ මානසික රෝහලට වැටීමෙන් එහි රෝගීන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා.

ප‍්‍රහාරයට පැමිණි ජපන් ගුවන් යානා 27ක් විනාශ කළ බවට මිත‍්‍ර පාක්ෂික හමුදා වාර්තා කළත්, ලක් පොළවට ඇද වැටුණේ එයින් තුනක් පමණක් බව ටොම්ලින්සන් කියනවා. ඒවා හොරණ, ගල්කිස්ස හා පිටකෝට්ටේ යන ප‍්‍රදේශවලට කඩා වැටුණා.

මිට අමතරව හානියට පත් මිත‍්‍ර පාක්ෂික ගුවන්යානා ද ඇතැම් ස්ථාවලට ඇද වැටුණා. ප‍්‍රතිප‍්‍රහාරයෙන් අබලන් වූ ඇතැම් ජපන් යානා සිය යුද්ධ නෞකාවලට ආපසු පියාසර කරද්දී මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ද ඔහු අනුමාන කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විස්තරාත්මක වාර්තා ගණනාවක් ප‍්‍රකාශයට පත් වී ඇතත් එදින සිදු වූ සන්නිවේදන හා සම්බන්ධිකරණ පසුබෑම් ගැන හොඳම මැදහත් විග‍්‍රහය හමු වන්නේ ටොම්ලින්සන්ගේ පොතෙහි බව මගේ අදහසයි.

මේ පසුබෑම් මැද වුවත් ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය මැඩ පවත්වන්නට මෙරට රඳවා සිටි, විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් මිත‍්‍ර පාක්ෂික හමුදා සමත් වුණා. ලංකාව රැක ගැනීමේ සටන්වලින් 1942 අපේ‍්‍රල් මාසය තුළ මිත‍්‍ර පාක්ෂික හමුදා නිලධාරින් හා භටයන් දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. ඒ අතර ලාංකික, බි‍්‍රතාන්‍ය, අයිරිෂ්, ඕලන්ද, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු හා ඉන්දියානු ජාතිකයන් ද සිටියා.

ලංකාවට අතිශයින් තීරණාත්මක රේඩියෝ පණිවුඩය එවූ ලෙනාඞ් බර්චොල් සහ ඔහුගේ ගුවන් සගයන් යුද්ධය හමාර වූ පසු ඉහළ සම්මාන ලැබ කැනේඩියානු ගුවන් කොමදෝරු තත්ත්වයට උසස් වුණා. “ලංකාව බේරාගත් වීරයා” (Saviour of Ceylon) ලෙස විරුදාවලි ලැබු ඔහු 1967දී කෙටි නිල සංචාරයකට මෙරටට පැමිණියෙ මහත් ගරු සැලකිලි මැදයි.

ඇමෙරිකාවේ හවායි දුපත්වල පර්ල් වරයාට එල්ල වූ ජපන් ප‍්‍රහාරය ගැන බොහෝ පොතපත ලියැ වී, වාර්තා හා වෘතාන්ත චිත‍්‍රපට නිපදවා තිබෙනවා. එම ප‍්‍රහාරයට මුල් වූ ජපන් හමුදා විසින් ම ඊට දින 119කට පසු සිදු කළ කොළඹ ප‍්‍රහාරය ගැන එතරම් ඓතිහාසික හෝ ප‍්‍රබන්ධමය අවධානයක් යොමු වී නැහැ. මේ සිදුවීම් මාලාව ත‍්‍රාසජනක හා සත්‍යමය ලෙසින් වෘතාන්ත චිත‍්‍රපටයකට පාදක කර ගත හොත් අගෙයි.

මයිකල් ටොම්ලින්සන් සිය ගවේෂණාත්මක ග‍්‍රන්ථය පිළිගන්වා ඇත්තේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයේ ලංකාව හා එය අවට සාගරය සම්බන්ධ හමුදා මෙහෙයුම්වලට සහභාගි වූ සියලූ දෙනාටයි. විශේෂයෙන් ම දිය-ගොඩ-අහසේ දිවි අහිමි වූ අයටයි. ඒ සටනේ එක් පාර්ශවයකට සක‍්‍රියව සම්බන්ධ වී සිටියත්, ඉතිහාසය වාර්තා කරන්නකු ලෙස ඔහු සිය ප‍්‍රතිමල්ලව ජපන් හමුදාවලටත් ප‍්‍රණාමය පුද කරනවා.

“අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් අතිශයින් කාර්යක්ෂම ලෙසින් හා රණකාමී අයුරින් අප හා සටන් වැදුණු ජපන් හමුදාවලට ද අපේ ගෞරවය හිමි විය යුතු” යැයි ඔහු කියනවා.

End note: While researching for my Sunday column, I stumbled upon two other interesting short video clips on this aspect of the Second World War. They are both computer-generated scenarios, but well made. Despite some minor historical inaccuracies, they illustrate the rich story-telling potential of this vignette of history, largely overlooked by mainstream movie makers.

Easter Sunday Raid: The Battle of Ceylon. Prelude

Battle Of Ceylon

More at: http://tiny.cc/BatCey

සිවුමංසල කොලූගැටයා #60: රටට රුපියල් බිලියනයක් ඉතිරි කළ හැකි පැය බාගය

This is the Sinhala text of my Sunday column in Ravaya newspaper, 1 April 2012.

Facing an electricity generation crisis, Sri Lanka has embarked on a countrywide energy conservation drive — urging everyone to switch off all non-essential lights, and reduce other forms of power consumption.

The island nation will also join Earth Hour on the evening of today, 31 March 2012. The Ministry of Power and Energy has also launched a campaign called ‘Save Today for Tomorrow’.

Beyond these important yet token gestures, are there smart options that can save significant quantities of electricity, 85% of which is now generated in Sri Lanka using imported, costly fossil fuels?

Yes, there is one: advance the clock by half an hour. Faced with power crises in the past, governments did this in the 1990s — and with tangible results. This is evidence based policy and action. But a vocal minority in Lanka resented this progressive move all along, and in April 2006, they successfully lobbied the (current) government to revert Sri Lanka’s standard time to GMT+5:30 from GMT+6 which had been used since 1996.

I wrote about Sri Lanka giving up on Daylight Saving time in April 2006 in this SciDev.Net opinion essay: Science loses in Sri Lanka’s debate on standard time. As I noted: “In doing so, the government completely ignored expert views of scientists and intellectuals. It listened instead to a vocal minority of nationalists, astrologers and Buddhist monks who had lobbied the newly elected president to ‘restore the clock to original Sri Lankan time’.”

Earth Hour 2012 on 31 March 2012

මිහිතලය සඳහා පැයක් (Earth Hour) යන තේමාවෙන් 2012 මාර්තු 31 වන සෙනසුරාදා ලෝක ව්‍යාප්ත පාරිසරික එකමුතුවීමක් සිදු වනවා. එය පුද්ගල මට්ටමින් ක‍්‍රියාත්මක වුවත් ශ‍්‍රි ලංකාව මෙවර නිල (රාජ්‍ය) මට්ටමින් ද එයට සම්බන්ධ වනවා. එහි මුඛ්‍ය අරමුණ එදින සවස 8.30 සිට 9.30 දක්වා පැයක කාලය තුළ අත්‍යවශ්‍ය නොවන විදුලි බුබුළු නිවා දමා හැකි තාක් විදුලිබලය ඉතිරි කිරිමයි.

මෙය සංකේතාත්මක පියවරක්. ඉතා විශාල සංඛ්‍යාවක් ස්වෙච්ඡවෙන් මේ උත්සාහයට දායක වුවත් තනි පැයක් ඇතුළත ඉතිරි කළ හැකි විදුලය ප‍්‍රමාණය සීමිතයි. එහෙත් ඒ හරහා අපට දිනපතා විදුලිය පිරිමැසිමට ඇති හැකියාව ගැන දැනුවත් විමක් සිදු වනවා. 2007 සිට සෑම වසරක ම මාර්තුවේ අවසන් සෙනසුරාදා සවස පවත්වන මේ මිහිතල පැයට ගිය වසරේ රටවල් 135ක බිලියන් 1.8ක් පමණ දෙනා හවුල් වුනා.

අළුත් ම විදුලිබල ජනන තොරතුරුවලට අනුව දැනට මෙරට විදුලිබල අවශ්‍යතාවයයෙන් 85%ක් ම ජනනය කරන්නේ තාප බලාගාරවලින්. එනම් පෙට්‍රෝලියම් හෝ ගල් අගුරු ඉන්ධන ලෙස ගනිමින්. අපේ රටේ හමු නොවන මේ ඉන්ධන පිටරටින් මිළට ගැනිමට අතිවිශාල වියදමක් දරනවා. මේ ඉන්ධන දහනයේදී නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් වායුව මිහිතලය උණුසුම් කිරිමට දායක වනවා.

විදුලිබල අමාත්‍යවරයා ජනමාධ්‍යවලට මෑතදි පවසා ඇති අන්දමට අපේ රටේ ජනනය කරන විදුලිබලයෙන් හතරෙන් පංගුවක් ම අකාර්යකෂම භාවිතය නිසා අපතේ යනවා. මෙරට සමස්ත ජාතික ආදායමින් 12%ක් විදුලිබල ජනනය සඳහා ගල් අගුරු හා ඛනිජතෙල් පිටරටින් ගෙවිමට වැය කරන්නට සිදුව ඇති මේ අවස්ථාවේ මේ නාස්තිය අතිමහත් බව ඔහු අවධාරණය කරනවා (ද සන්ඬේ ටයිම්ස්, 2012 මාර්තු 18).

බලශක්ති අමාත්‍යාංශය දියත් කර තිබෙන හෙට වෙනුවෙන් අද නම් වූ බලශක්ති සුරැකීමේ ජාතික සත්කාරයෙන් හැම දිනෙක ම සවස 6.30 හා 9.30 අතර විදුලි බුබුලක් නිවා දමා විදුලිය ඉතිරි කරන්න යයි අමාත්‍යාංශය අප සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට විදුලිබල පාරිභෝගිකයන් මිලියන 5න් මිලියන 4.6ක් ම ගෘහස්ත මට්ටමේ බවත්, සවස් කාලයේ වොට් 60ක විදුලි බුබුලක් පැය 3ක් නිවා තැබීම හරහා රටක් වශයෙන් සමස්තයක් ලෙස (cumulatively) සැළකිය යුතු විදුලිබල ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බවත් අමාත්‍යාංශය ගණන් බලා තිබෙනවා.

මිහිතලයේ පැය සංකේතාත්මක වශයෙනුත්, “හෙට වෙනුවෙන් අද” ප‍්‍රයත්නය ඊට වඩා ප‍්‍රායෝගික හා දිගුකාලීන ලෙසටත් විදුලිබල සංරක්ෂණයට කරන දායකත්වය ප‍්‍රශංසනීයයි.

එහෙත් විදුලිබල කප්පාදුවකින් තොරව දිගට ම සැපයුම ලබා දීමටත්, ඒ සඳහා යන අධික ජනන වියදම පිරිමසා ගැනීමටත් මීට අමතරව ගත හැකි තවත් වඩා සාර්ථක උපාය මාර්ගයක් (smart option) තිබේ ද?

මැදහත් විද්වතුන් වසර ගණනක සිට පෙන්වා දෙන එබදු උපාය මාර්ගයක් තිබෙනවා. එනම් අපේ රටේ සම්මත වේලාව ඔරලෝසුවේ පැය බාගයක් ඉදිරියට ගැනීමයි.

මෙයින් විදුලිබලය ඉතිරිකර ගැනිමේ හැකියාව තේරුම් ගන්නට නම් මුලින් ම අපේ විදුලිබල පරිභෝජනයේ දෛනික රටාව ගැන අවබෝධයක් ලද යුතුයි.

Sri Lanka Electricity Demand Load Curve

ශ‍්‍රී ලංකාවේ විදුලිබල පරිභෝජනය දවසේ පැය 24 පුරා එක ලෙස සිදු වන්නේ නැහැ. එහි වෙනස් වන දෛනික රටාවක් පැහැදිලිව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ සමස්ත විදුලබල පරිභෝජනය සැලකිය යුතු ලෙසින් ඉහළ යන (peak) කාල පරාසයන් දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න දළ වශයෙන් උදේ 5.30 සිට 6.30 දක්වා කාලයේ.

වැඩිපුර ම ආලෝකය සඳහා කැරෙන මේ විදුලි භාවිතය උදාසන හිරු එළිය වැටිම සමග අඩු වනවා. දවසේ ඊළග උච්චවීම ඇරඹෙන්නේ හිරු බැස යාමත් සමග දළ වශයෙන් සවස 6.30ට පමණ. විදුලි ආලෝකය මෙන් ම ටෙලිවිෂන් නැරඹිම සඳහාත් විදුලිය භාව්තා කෙරෙන මේ උච්චවීම, රාත‍්‍රි 10.30 පමණ දක්වා පවතිනවා. ගෘහස්ථ විදුලි පරිභෝජනය වැඩිපුර ම සිදුවන්නේ මේ පැය හතර ඇතුළතයි.

ශ‍්‍රි ලංකාවේ සම්මත වේලාව දැන් පවතින වේලාවට වඩා පැය බාගයක් (විනාඩි 30ක්) ඉදිරියට ගත හොත් විදුලිබල පරිභෝජනය අඩු කර ගත හැක්කේ කෙසේ ද? මේ ගැන දැනට රටේ සිටින ප‍්‍රවීණතම විදුලි ඉංජිනේරුවකු හා බලශක්ති සැලසුම්කරුවෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටියගෙන් මා විමසුවා. මේ ඔහු දුන් සරල විග‍්‍රහයයි.

සම්මත වේලාව ඉදිරියට ගැනිමෙන් විදුලිබල පරිභෝජනය අඩු කර ගැනිමට නම් සියළු දෛනික කාර්යයන් (පාසල් හා කාර්යාල අරඹන හා හමාර කරන වේලාවන් ආදිය) සිදු කරන වේලාවන්හි කිසිදු වෙනසක් නොකළ යුතුයි. එවා එසේ ම පවත්වා ගනිමින් සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත විට හිරු උදාව (ආසන්න වශයෙන්) පැය බාගයක් ප‍්‍රමාද වී සිදු වනවා. එවිට උදයේ අපට ටිකක් වැඩි කලූවර කාලයක් අත් විදින්නටත්, ඒ සඳහා යම් තරමකට අමතර විදුලි එළියක් යොදා ගන්නටත් සිදු වනවා.

එහෙත් අපේ සමස්ථ විදුලි පරිභෝජනයේ උච්චවීම උදයේ දී අඩුයි; සවසට වැඩියි. සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත් විට හිරු බැසීම ද පැය බාගයකින් ප‍්‍රමාද වී සිදුවනවා. එනම් අප වැඩ හමාර වී ගෙදර ආ පසු හිරු එළිය පවතින කාලය වැඩියි. එවිට අප විදුලි ආලෝක දල්වන්නේ වඩාත් ප‍්‍රමාද වී නිසා සවස් කාලයේ පරිභෝජන උච්චවීම තරමක් අඩු වනවා.

විදුලිබල ජනන සැළසුම්කරුවන් පරිගණක ආකෘති යොදා ගෙන සුක්‍ෂම ලෙස ගණන් බලා ඇති ආකාරයට සම්මත වෙලාව පැය බාගයක් ඉදිරියට ගෙන අන් සියලූ කටයුතු සුපුරුදු පරිදි කළහොත් සවස් කාලයේ ඉතිරි කර ගත හැකි විදුලිය ප‍්‍රමාණය උදේ කාලයේ අමතරව වැය වන විදුලිය මෙන් පස් (5) ගුණයක්. මෙය තනි ගෘහයකට මෙන් ම සමස්ත විදුලි ජනන පද්ධතියටත් වාසිදායක බව ආචාර්ය සියඹලාපිටිය පෙන්වා දෙනවා.

“විදුලි පරිභෝගිකයන් හැටියට විදුලි බිලේ යම් අඩුවක් ලද හැකියි. විදුලිය සපයන්නා හැටියට විදුලිබල මණ්ඩලයට තාප බලශක්ති ජනනයට වැය වන අතිමහත් වියදම යම් තරමකට අඩු කර ගත හැකියි. සමස්ත පද්ධතිය මත දිනපතා සන්ධ්‍යා කාලයට ඇති වන දැඩි ඉල්ලූම හා බැදුණු සම්පේ‍්‍රෂණ අපතේයාම් හා කාන්දුවීම් ද අඩු වන අතර (තාප බලාගාර ක‍්‍රියාකාරිත්වය තරමක් අඩු වන විට) එය පරිසරයට ද හිතකරයි,” ආචාර්ය සියඹලාපිටිය කියනවා.

ඔහු 2006දී අවසන් වරට ගණන් බැලූ අවස්ථාවේ සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනිම හරහා මෙරට විදුලිජනන පද්ධතියට ලබා ගත හැකි ඉතිරිය (අරපිරිමැස්ම) සමස්ත විදුලි ජනනයෙන් සියයට බාගයක් (0.5%) වුනා. දැනට (2012) විදුලිජනන සංඛ්‍යා ලේඛණ අනුව බලන විට මෙයින් වසරකට ගිගාවොට් පැය 60ක් ඉතිරි කර ගැනිමේ විභවය තිබෙනවා. පවතින විදුලි ජනන වියදම්වලට ආදේශ කළ විට මේ ඉතිරිය රුපියල් මිලියන 900ක් පමණ වනවා.

මෙසේ විදුලිය ඉතිරි කර ගැනිමේ විභවය හරිහැටි තේරුම් ගන්නට මෙරට විදුලි පරිභෝජනයේ දෛනික රටාව පෙන්වන මේ ප‍්‍රස්තාරය ඉතා වැදගත්. මේ පරිභෝජන රටාව වසරේ බොහෝ දිනවලට අදාළ වන අතර, ඉඳහිට එය වෙනස් වන්නේ උත්සව සමයට හා ශ‍්‍රී ලංකාව තරග කරන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි ටෙලිවිෂනයෙන් විකාශය කරන දිනවල පමණයි.

දැනට දිවයිනේ සම්මත වේලාව ලෝක සම්මත (ග‍්‍රිනිච්) වේලාවෙන් පැය පහ හමාරක් (5.30) ඉදිරියෙන් පවතිනවා. 1996 දැඩි විදුලිබල අර්බුදය මතු වූ අවස්ථාවේ එවක රජය සම්මත වේලාව පැයකින් ඉදිරියට ගත්තා (එනම් ගි‍්‍රනිච් වේලාව + 6.30). ඉන් මාස කිහිපයකට පසු එය යළිත් පැය බාගයක් පස්සට ගැනිමෙන් ග‍්‍රිනිච් වේලාවට පැය 6ක් ඉදිරියෙන් වසර ගණනක් පවත්වා ගෙන ගියා (1997-2006 කාලය).

එහෙත් දශක ගණනක් මෙරට පැවති, අපේ ඇත්තන් පුරුදු වී සිටි වේලාව නැවතත් ප‍්‍රතිස්ථානය කළ යුතු යයි ජ්‍යොතිෂවේදීන් ඇතුළු සුළුතරයක් දිගින් දිගට එල්ල කළ බලපෑම් හමුවේ, රජය 2006 අපේ‍්‍රල් මාසයේ මෙරට සම්මත වේලාව නැවතත් ග‍්‍රීනිච් +5.30 බවට වෙනස් කළා.

1996ට පෙර පැවතුණේ ද එකී සම්මත වේලාවයි. නමුත් මෙය ඓතිහාසිකව පැවත ආ සම්මතයක් නොවෙයි. මුළු ලෝකයේ ම අද භාවිත කරන සම්මත වේලාව පිළිබඳව එකගත්වයට එළඹුණේ 1884දී ලන්ඩනයේ පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනයකදීයි. ඊට පෙර ලෝකයේ විවිධ රටවල් තමන්ට රිසි හා ආවේනික පරිදි වේලාවන් පවත්වා ගෙන ගියා. එහෙත් රටවල් අතර වෙළදාම, සංචරනය හා සන්නිවේදනය වැඩි වන විට වේලාව පිළිබඳ ලෝක සම්මුතියක් අත්‍යවශ්‍ය වුණා.

විදුලිබලය අරපිරිමැස්ම සඳහා සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනීම මුල් වරට රජයට යෝජනා වූයේ 1983දී. එවකට සිටි ජනාධිපතිවරයා විද්වතුන්ගේ නිර්දේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් කැබිනට් එකගතාවක් නොවූ නිසා ක‍්‍රියාත්මක කළේ නැහැ.

විදුලිබලය අරපිරිමැස්ම හරහා විදේශ විනිමය ඉතිරි කර ගන්නා අතර ම කාබන් ඩයොක්සයිඞ් මුදා හැරිම අඩු කර ගන්නටත් අපේ විදුලිබල අමාත්‍යාංශය දක්වන උනන්දුව මීටත් වඩා තීව‍්‍ර කර ගන්නට සම්මත වේලාවේ වෙනස දායක වනු ඇති.

එළඹෙන ඉන්ධන අර්බුදය හමුවේ අපේ දිනචර්යාවේ සුළු වෙනසක් කිරිම මගින් රටේ මෙන් ම ගෙදර ආර්ථිකයටත් වාසියක් ඉතිරියක් ළගා කර ගන්නට ඔබ කැමති ද?

එබදු දුරදර්ශී පියවරක් හරහා වසරකට රුපියල් බිලියනයකට ආසන්න ගණනක් ඉතිරි කර ගැනීමට රජය යොමු වුව හොත්, ඒ ගැන ලක් ජනතාවගේ ප‍්‍රතිචාරය කෙබදු වේවි ද?

එහෙත් ජ්‍යෙතිෂවේදීන්ගේ ග‍්‍රහණයට හසු වූ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්, තාක්ෂණික වශයෙන් ප‍්‍රශස්ත වන මේ ඉදිරි පියවර තැබිමට එඩිතර වෙයි ද?

සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා – ඒකට අපි සැරසෙනවා!

In this week’s Sunday column, published in Ravaya newspaper of 18 March 2012, I take a critical look at the mounting hype and hysteria about the world ending in December 2012.

The Wikipedia describes the ‘2012 phenomenon’ as comprising a range of eschatological beliefs according to which cataclysmic or transformative events will occur on 21 December 2012. In reality, it’s a blockbuster Hollywood movie, rather than any ancient prophecy, that triggered this wave of public concern!

Much of this information was drawn from NASA’s webpage on the topic where reputed scientists answer questions that they are frequently asked regarding 2012.
See also my English blogpost on this, written on 5 Jan 2012.

2012දී ලෝක විනාශයක් සිදු වෙයි ද? එසේ වන බවට අතීත ශිෂ්ටාචාරයක් හෝ පිටසක්වල ජීවීන් හෝ කල් තබා අනතුරු අගවා ඇත් ද? එසේ නම් අපි පණ බේරා ගන්නේ කොහොමද?

මේ දිනවල නිතර කථා බහට තේමා වන ප‍්‍රශ්න අතර මේවා ද තිබෙනවා. ලෝකයේ ආර්ථික ප‍්‍රශ්නල පාරිසරික ප‍්‍රශ්නල යුද්ධ අරගල ආදිය මදිවාට ලෝක විනාශය ගැනත් අප බිය විය යුතු ද? මොකක්ද මෙහි සැබෑ කථාව?

ලෝකය විනාශ වීම අතීතයේ සිට මිනිසුන් තුළ තිබූ බියක්. ලෝකය හා විශ්වය ගැන විද්‍යාත්මක තොරතුරු දැන ගත් පසුවත් බොහෝදෙනා තුළ තවමත් යන්තමින් හෝ මෙබදු භීතියක් තිබෙනවා. විද්‍යාව හා තර්කානුකූල චින්තනය හෙළා දකින ඇතැම් දෙනාල ස්වයංමුලාවකට පත් වීමටත්, අන් අය බිය වැද්දීමටත් භාවිත කරන එක් සංකල්පයක් නම් යම් නිශ්චිත දිනෙක ලෝකය විනාශ වීමයි.

ලෝක විනාශය ගැන විග‍්‍රහයේදී භෞතික විද්‍යාවට අමතරව සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව ද යොදා ගත යුතු වන්නේ මේ නිසයි. මගෙන් මේ ගැන විමසන අයට මා කියන්නේ ලෝක විනාශ ව්‍යාපාරය (End of the World Industry) නම් අළුත් වෙළදාමක් බිහි වී ඇති නිසා එයට හසු නොවන ලෙසයි.

එහෙත් අසුබවාදී දෙය අදහන්නට අපේ ඇත්තන්ට ලොකු ඕනෑකමක් තිබෙනවා. ‘2012 ලෝක විනාශය’ ගැන විමසීම් රැසක් ලැබෙන්නට පටන් ගත් විට අමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු භාර නාසා ආයතනය ඒ ගැන විද්වත් තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් 2011 නොවැම්බරයේ ආරම්භ කළා. බලන්න: http://www.nasa.gov/topics/earth/features/2012.html

ඉංග‍්‍රීසි බසින් ඇති මේ වෙබ් පිටුවේ මුල් ම ප‍්‍රශ්නය හා උත්තරය මෙයයි.
ප‍්‍රශ්නය: 2012 දෙසැම්බරයේ ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා හා ඇතැම් වෙබ් අඩවි කියනවා. මෙහි ඇත්ත කුමක් ද?

උත්තරය: 2012 දී පෘථිවියට එසේ විපතක් හෝ අන්තරායක් ඇති වේ යයි කීමට පදනමක් නැහැ. වසර බිලියන් 4කට වැඩි කලක් තිස්සේ පැවත එන පෘථිවිය 2012 මහා තර්ජනයකට ලක් වන බවට ලොව කිසිදු විද්‍යාඥයකු ප‍්‍රකාශ කර නැහැ.

2012 ලෝක විනාශය ගැන ලෝක ව්‍යාප්ත විශ්වාසයේ අගමුල නාසා වෙබ් අඩවිය විග‍්‍රහ කරනවා. එය ඇරඹුණේ නිබිරු (Nibiru) නම් අයාලේ යන ග‍්‍රහලෝකය ගැන ප‍්‍රබන්ධයකින්. තාරකා විද්‍යාඥයන් නොදන්නා මේ අද්භූත ග‍්‍රහලෝකයල පෘථිවියේ ගැටෙනවා යයි මුලින් ‘අනාවැකි’ පළකර තිබුණේ 2003දි. එහෙත් එය සිදු නොවූ විට ලෝක විනාශ සංකල්පවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව ඒ දිනය 2012 දෙසැම්බරයට මාරු කළා!

මධ්‍යම ඇමෙරිකාවේ අද හොන්ඩුරාස්, ගුවාතමාලා, නිකරාගුවා සහ මෙක්සිකෝව නමින් හැදින්වෙන ප‍්‍රදේශවල සියවස් ගණනක් තිස්සේ පැවති මායානු ශිෂ්ටාචාරයත් මේ ලෝක විනාශ කතන්දරයට ඈදා ගෙන තිබෙනවා. මායාවරුන්ගේ ඓතිහාසික කැලැන්ඩරය අපේ සම්මත වර්ෂවලින් 5,125ක් දිගු බවත්, එය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 වනදා බවත් පෙන්වා දෙන උදවිය, එයින් සංකේතවත් කැරෙන්නේ මානව සංහතියෙ අවසානය බවත් කියනවා. මේ සඳහා ඔවුන්ට තර්කානුකූල සාක්‍ෂි නැතත්, අද්භූත හා විනාශකාරී තොරතුරුවලට ලොල් බවක් දක්වන ජනයා අතරේ ජනප‍්‍රිය වීමට හැකිව තිබෙනවා.

නාසා වෙබ් අඩවිය කියන්නේ යම් අවස්ථාවක නිබිරූ ප‍්‍රබන්ධය හා මායා කැලැන්ඩරයේ ප‍්‍රබන්ධය එකිනෙකට බද්ධ වී වඩාත් බිහිසුණු ලෝකවිනාශ ”අනාවැකියක්” බවට පත් වී ඇති බවයි.

පුරාණ මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වූවත්, අප දැන් භාවිත කරන වර්ෂ ක‍්‍රමයේ අළුත් වසරක් හැම ජනවාරි 1වනදා ම ඇරඹෙන අයුරින් ඔවුන්ගේ ද නව දිනවකවානු චක‍්‍රයක් ඇරඹිය හැකියි. කැලැන්ඩරයක් හමාර වූ පලියට ලෝකය හමාර නොවන බව නාසා අපට මතක් කර දෙනවා. ඒ අතර මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වීමට තවත් හාස්‍යජනක හේතූන් දක්‍ෂ කාටූන් ශිල්පීන් ද මතු කර තිබෙනවා!

Simple explanations are always the best – but not entertaining enough?

2012 දී ලොව විනාශ වන බවට කිසිදු සඳහනක් අතීත මායාවරුන්ගේ ලේඛනවල හෝ පුරාවස්තු නටඹුන්වලින් හමු වී නැති බව මායා ශිෂ්ටාචාරය ගැඹුරින් අධ්‍යයනය කළ මානව විද්‍යාඥයෝ හා පුරා විද්‍යාඥයෝ කියනවා.

‘ලෝක විනාශය’ නොයෙක් දෙනා තේරුම් ගන්නේ විවිධාකාරයෙන්ග සමහරුන් එය දකින්නේ අපේ ග‍්‍රහලෝකය ම පුපුරා කැබලි වී යන හැටියට. ඇතමුන් එය මිහිතලය මත ජීවය විනාශ වී ගොස් අජීවී ද්‍රව්‍ය පමණක් ඉතිරි වීමක් ලෙස සළකනවා. මේ දෙක අතර තවත් විවිධ විය හැකියාවන් පරිකල්පනය කළ හැකියි. එයින් ඇතැම් ඒවාට විද්‍යාත්මක පදනමක් ඇතත් විය හැකියාව අඩුයි.

උදාහරණයක් නම් ලෝක ව්‍යාප්ත න්‍යෂ්ටික යුද්ධයක්. මුළු මහත් ජීවීන් සියළු දෙනා මිහිපිටින් අතු ගා දමන්නට නම් ඉතා අධික විකිරණශීලිතාවයක් ග‍්‍රහලෝකය පුරා පැතිරිය යුතුයි. සීතල යුද්ධයේ ඇතැම් අවස්ථාවල එබදු තුන්වන ලෝක යුද්ධයක අභිමුඛයට ආවත් එබන්දක් සිදු වූයේ නැහැ.

2012 දී ග‍්‍රහලෝක එක ම හෝ ආසන්න හෝ රේඛාවක පිහිටීමෙන් පෘථිවියට අහිතකර බලැපෑම් ඇති විය හැකි ද? මේ පැනයටත් නාසා පිළිතුරු දෙනවා. එවැනි ග‍්‍රහ පිහිටීමක් 2012දී හෝ තවත් දශක ගණනාවකට සිදු නොවන බවත්, එබන්දක් සිදු වන විට පවා (ග‍්‍රහලෝක අතර ඇති අති විශාල දුර ප‍්‍රමාණ නිසා) කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

අපේ චක‍්‍රාවාටයේ (ගැලක්සියේ) තලයට සාපේක්‍ෂව පෘථිවියේ පිහිටීම ගැන විවිධ අද්භූත මත ප‍්‍රචලිත වී ඇතත් එබදු කිසිවක් අපේ ලෝකයට දැනෙන ආකාරයේ බලපෑමක් කළ නොහැකි යයි නාසා කියනවා.

අයාලේ යන ග‍්‍රහ කැබැල්ලක් හෝ උල්කාපාතයක් හෝ පෘථිවියේ ගැටීමෙන් මහ විනාශයක් සිදුවිය හැකි ද? මෙය විද්‍යාත්මක පදනමක් ඇති ප‍්‍රශ්නයක්. පෘථිවි ඉතිහාසය පුරා මෙබදු ගැටුම් විටින් විට සිදු වී ඇති බවට භූ විද්‍යාත්මක සාක්‍ෂි තිබෙනවා. එහෙත් මහා පරිමානයේ ගැටුම් ඉතා විරලයි. අවසන් වරට එබන්දක් සිදුව ඇත්තේ වසර මිලියන් 65කට පෙර. ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී යාමට තුඩු දුන් ඒ ගැටුමෙන් ද මිහිපිට ජීවය තුරන් වූයේ නැහැ.

පෘථිවිය ආසන්නයට එන හා ගැටීමේ ඉඩ ඇති සියළුම ග‍්‍රහවස්තු ගැන ලොව පුරා තාරකා විද්‍යාඥයෝ නිරතුරුව විමසිල්ලෙන් සිටින නිසා අද දවසේ එබදු අනතුරක් වසර ගණනකට පෙර දත හැකියි. එබන්දක් දැන ගත් විට එයට ගත හැකි ක‍්‍රියාමාර්ග තිබෙනවා. 2012දී එබදු ග‍්‍රහ ගැටුමක සේයාවක්වත් නැහැ. මේ සියළු තාරකා විද්‍යා තොරතුරු ඕනෑ ම කෙනකුට බලාගත හැකි පරිදි වෙබ් අඩවිගත කර තිබෙනවා. කුමන්ත‍්‍රණවාදී වෙබ් අඩවි වෙනුවට පිළිගත් විද්‍යාත්මක වෙබ් අඩවිවලින් තොරතුරු ලබා ගන්න.

මහජනයා බිය කර භාණ්ඩ හා සේවාවන් විකුණන අයට නම් මේ වසර හොඳ අවස්ථාවක්. 2012 ලෝක විනාශය පිළිබඳ මිථ්‍යාවලට බෙහෙවින් දායක වූයේ ද මීට තෙවසරකට පෙර හොලිවුඞ් නිපද වූ චිත‍්‍රපටයක් ‘2012’ නම් වූ එය ඉතා ත‍්‍රාසජනක ලෙසින් ඉදිරිපත් කළේ මේ වසරේදී භූමිකම්පා, ගිනිකදු විදාරණය ඇතුළු භූවිද්‍යාත්මක ව්‍යසනයන් රැසක් සිදු වී මිහිපිට බොහෝ ජනාවාස විනාශ වී යන සැටියි.

තනිකර ම ප‍්‍රබන්ධයක් වන මේ චිත‍්‍රපටයේ අලෙවිකරණ උපක‍්‍රමයක් ලෙස ලෝක විනාශය ගැන ‘විද්‍යාත්මක’ ගවේෂණ කරන වෙබ් අඩවියක හැඩ රුව රැගත් බොරු වෙබ් අඩවියක් මුදා හරිනු ලැබුවා. Institute for Human Continuity නම් කල්පිත ආයතනයක නමින් පවත්වාගෙන ගිය මේ වෙබ් අඩවියල නිර්මාණශීලී උත්සාහයක් වූවත් එය සැබෑවක් ලෙස වරදවා වටහා ගත් බොහෝ දෙනා බියපත් වී සිටිනවා.

සැබෑ විද්‍යාඥයන් හා අධ්‍යාපනවේදීන් මේ ප‍්‍රචාරණ ක‍්‍රමය දැඩි සේ විවේචනය කළත් අන්තිමේදී 2012 චිත‍්‍රපටය ඩොලර් මිලියන් 770ක ආදායමක් ලබා ගත්තා. මේ දෙස බලා සිටි ටෙලිවිෂන් ආයතන, පොත් ප‍්‍රකාශකයෝ හා වෙනත් ව්‍යාපාරිකයෝ ද මේ 2012 භීතියෙන් ආදායම් උපදවා ගැනීමේ උපක‍්‍රම දියත් කළා.

අද බොහෝ දෙනකු මංමුලා වී සිටින්නේ සැබෑව හා මිථ්‍යාව තෝරාගත නොහැකිවයි. නිල මූලාශ‍්‍රයන් හා විද්වත් ආයතන කියන දේට වඩා කුමන්ත‍්‍රණවාදීන් කියන දේ අදහන්නට කවදත් කැමති පිරිසකුත් හැම සමාජයක ම සිටිනවා. කණගාටුව නම් පුරාණ මායාවරුන් ද මේ නූතන භීතිකා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමයි.

එමෙන්ම 2012 ලෝක විනාශයක් ගැන කථා කිරීමෙන් අද ලොව හමුවේ තිබෙන සැබෑ අභියෝගවලට ලැබිය යුතු අවධානය අඩුවන බවත් මැදහත් විද්‍යාඥයන්ගේ මතයයි. ගෝලීය දේශගුණ විපර්යාස,ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනය හා ආහාර-ජලය-බලශක්ති පිළිබඳ හිගයන් අද අපට මුහුණ දීමට ඇති මහා ප‍්‍රශ්න අතර තිබෙනවා. 2012 දෙසැම්බරයේ අප සියළු දෙනා විනාශ වනවා නම් මේ ප‍්‍රශ්න විසදීමට උත්සාහ කිරීමේ තේරුමක් ඇත් ද? මේ අයුරින් බලන විට සංත‍්‍රාසය ඇති කිරීමට සමහරුන් ගෙන යන ලෝක විනාශ සංකල්පවාදය මුළුමනින් විචාර බුද්ධියට හා තර්කානුකූල චර්යාවන්ට එරෙහි බව පැහැදිලියි.

2012 දෙසැම්බර් 21දා ‘ලෝක විනාශය’ ගැන කෙළවරක් නැති ප‍්‍රලාඵයන්ගෙන් විඩාවට පත් තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ඒ ගැන තර්ක කරන අයට විවෘත අභියෝගයක් කරනවා. 2011 නොවැම්බර් 15දා රූපවාහිනියේ ‘බටහිර අහස’ සජීව වැඩසටහන ඔස්සේ ඔහු කීවේ මෙයයි: “ලෝක විනාශයක් ගැන ඔය තරමට දැඩි සේ අදහනවා නම් 2012 දෙසැම්බර් 22 වනදා සිට බල පවත්වන පරිදි ඔබ සතු දේපළ මට උරුම වන්නට නීත්‍යානුකූලව පවරන්න. එසේ කරන කෙනකුට ඒ දේපොල වටිනාකමින් සියයට 10ක් දැන් ගෙවීමට මා සූදානම්!”

2012 මාර්තු 15දා වන තුරුත් කාවන්ගේ අභියෝගය කිසිවකු භාර ගෙන තිබුණේ නැහැ. එහෙත් 2012 ලෝක විනාශ ප‍්‍රබන්ධය රස කරමින් පතුරුවන අයගේ අඩුවක් ද නැහැ. ඉදිරි මාස කිහිපයේ මේ ප‍්‍රබන්ධය හරහා ස්වයංමුලාවට පත් වන අය මෙන් ම එයින් අවස්ථාවාදී ලෙස බඩ වඩා ගන්නා අය ගණනත් ඉහළ යනු ඇති. මුළු මහත් ලොව ම වැනසෙන විට ආනුභාව සම්පන්න ලංකා දිවයින පමණක් කෙසේ හෝ නොනැසී පවතිනු ඇතැයි අපේ ජ්‍යොතිෂකාරයකු කියන්නටත් ඉඩ තිබෙනවා!

2012 දෙසැම්බර් 22දාට පසු යළිත් මේ ගැන කථා කරමු.

සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?

This is the Sinhala text of my Ravaya newspaper column published on 4 March 2012. Today, I talk about the gold-plated disk containing sounds and images of our Earth that was sent to the universe with Voyager 1 and 2 spacecraft launched by NASA in mid 1977.

In particular, I look at how a Sinhala language greeting was included on it, and thank Cornell University and project leader astronomer Carl Sagan for keeping it entirely a scholarly effort with nothing official about it. Thank you, Carl, for keeping the babus out of humanity’s ‘message in a bottle’ sent adrift to the depths of space.

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

සිංහල භාෂාව මවුබස ලෙස කථා කරන සමස්ත ජන සංඛ්‍යාව මිලියන් 16ක් පමණ වන අතර තවත් මිලියන් 2ක් ජනයා එය ප‍්‍රායෝගිකව භාවිත කරන බව විකිපීඩියාව කියනවා. භාෂා නිතිපතා පරිනාමය වෙනවා. කිසිදු භාෂාවක් සදා කල් පවතින්නේ නැහැ. සංස්කෘතිය යනු කෞතුකාගාරයක හෝ සංරක්‍ෂණාගාරයක දමා දැඩි ආරක්‍ෂාව යටතේ ප‍්‍රවේශම් කළ හැකි දෙයක් නෙවෙයි. එය සජීව හා ගතික සංසිද්ධියක්.

නූතන සිංහලය ක‍්‍රි.ව. 12 වන සියවසෙන් පමණ පසු භාවිතයේ පවතින නමුත් ගෙවී ගිය සියවස් කිහිපය පුරා විවිධ භාෂාවලින් එය පෝෂණය වී තිබෙනවා. යටත්විජිත බලපෑම්, වෙළඳ සබඳතා, ගෝලීයකරණය හා තාක්‍ෂණය සිංහල භාෂාවට බලපා ඇති සාධක අතර වනවා.

සිංහල භාෂාවේ ආරම්භය හරියට ම කවදා කෙලෙස සිදු වී දැයි කිව නොහැකිවාක් මෙන් ම සිංහලයේ අනාගතය කෙසේ පරිනාමය වේ දැයි කියන්නටත් බැහැ. නමුත් එක් තොරතුරක් මා දන්නවා. දුර අනාගතයේදී විශ්වයේ ඉතිරිවන අවසාන සිංහල වචනය ‘ආයුබෝවන්’. එය දැනටමත් කථා කර හමාරයි!

මා එසේ කියන්නේ ඇයි? මේ පිටුපස රසවත් කථාවක් තිබෙනවා.

මීට 35 වසරකට පෙර 1977දී අමෙරිකානු අභ්‍යවකාශ අධිකාරිය වන නාසා (NASA) ආයතනය ග‍්‍රහලෝක ගවේෂණය සඳහා වොයෙජර් 1 හා වොයෙජර් 2 නම් ස්වයංක‍්‍රීය අභ්‍යවකාශ යානා දෙකක් උඩුගුවන් ගත කළා. බ‍්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග‍්‍රහලෝක හතරට සමීප වෙමින් 1979-89 කාලය තුළ මේ යානා දෙක අති විශාල තොරතුරු හා ඡයාරූප සමුදායක් රේඩියෝ සංඥා මගින් පෘථිවියට සම්පේ‍්‍රෂණය කළා.

කිසිදු ග‍්‍රහලෝකයකට ගොඩ නොබැස, සමීපවීම් හරහා පමණක් මේ ගවේෂණයන් කළ වොයෙජර් යානා දෙක ඉනික්බිති අපේ ග‍්‍රහමණ්ඩලයෙන් පිටත ඈත අභ්‍යවකාශයට ගමන් කිරීමට සළස්වා තිබෙනවා. මේ වන විට මිනිස් සංහතිය උඩුගුවන් ගත කළ යානාවලින් පෘථිවියෙන් වැඩි ම දුරකට ගොස් ඇත්තේ මේ යානා දෙකයි. අභ්‍යවකාශයේ වේගය බාල වීමක් නැති නිසා (යම් අනතුරක් නොවුණොත්) මේ යානා දෙක දිගින් දිගට ම සියවස් හා සහශ‍්‍ර ගණනක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කරනු ඇති. යානා දෙක කිසිදු නිශ්චිත ඉලක්කයක් කරා ගමන් නොකළත්, වෙනත් තරුවකට ළගා වන්නට තව වසර 40,000ක් වත් ගත වනවා.

මිනිස් සංහතියේ යාන්ත‍්‍රික නියෝජිතයා ලෙස විශ්වයට යන මේ දුතයන් දෙදෙනා තුළ තැන්පත් කර තිබෙන විශ්ව පණිවුඩයක් තිබෙනවා. එය රත්රන් ආලේපිත තඹ තැටියක් (phonographic record). පෘථිවි ග‍්‍රහලෝකය හා මානව වර්ගයා නියෝජනය කැරෙන විවිධ ශබ්ද හා රූප රැසක් එහි තැටිගත කොට තිබෙනවා. වසර දහස් ගණනක ගමනකින් පසුව යම් දිනෙක බුද්ධිමත් ජීවීන්ට මේ යානා මුණ ගැසුණොත් ඔවුන්ට වොයෙජර් යානා නිපද වූ හා අභ්‍යවකාශයට යැවූ මානව වර්ගයා පිළිබඳ ඉගියක් ලබා දීම එහි අරමුණයි.

මෙබදු සංක්‍ෂිප්ත සන්නිවේදයක් හරහා විස්තරාත්මක තොරතුරු දිය නොහැකි වූවත් එය සම කළ හැකි වන්නේ මුහුදේ පාළු දුපතක අතරමං වූවකු බෝතලයක් තුළ පණිවුඩයක් ලියා සාගර රැුලි අතර එය පාකොට යැවීමටයි. වොයෙජර් යානාවල තැන්පත් කළ ශබ්ද හා රූප තැටිල අපෙන් විශ්ව සාගරයට යැවෙන බෝතල් පණිවුඩයකට සමාන බව එම අදහසේ මූලිකයා වූ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා කෝනෙල් සරසවියෙ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996) කියා තිබෙනවා.

මිනිස් හඩට අමතරව සොබා දහමේ ශබ්ද (අකුණු, ගිගිරුම, මුහුදේ රළ බිෙඳන සැටි, සැඩ සුළග ආදිය) සහ විවිධ සතුන්ගේ ශබ්ද (කුරුළු නාද, තල්මසුන්ගේ සංගීතමය හඩ) එම තැටියට ඇතුළත් වුණා. එමෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කැරෙන පරිදි සංගීත ඛණ්ඩයන් ගණනාවක් ද තෝරා ගනු ලැබුවා.
පෘථිවියේ ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය ඡයාරූප ගොන්නකුත් එහි අඩංගුයි.

මේ තැටියේ අන්තර්ගතය තීරණය කිරීමේ භාරදුර වගකීම නාසා ආයතනය කෝනෙල් සරසවියෙ විද්‍යාඥ පිරිසකට පැවරුවා. කෝනෙල් සරසවිය විද්‍යා – කලා ක්‍ෂෙත‍්‍ර දෙකෙහි ම පෙරමුණ ගත් අමෙරිකානු සරසවියක් නිසා මෙබදු ඓතිහාසික තේරීම් ක‍්‍රියාවලියකදී තිබිය යුතු බහුවිධ ක්‍ෂෙත‍්‍ර නියෝජනය හරිහැටි සිදු වුණා. එසේ නොවන්නට එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ සංකීර්ණ ක‍්‍රියාවලියක් වන්නට ඉඩ තිබුණා!

ලෝකයේ කථා කැරෙන භාෂා 55කින් භාෂිත ඉතා කෙටි සුභාශිංසන පණිවුඩ මේ තැටියේ ශබ්ද අතර තිබෙනවා. කවදත් තම ජාතිකත්වයට වඩා දුර දැක්මකින් ක‍්‍රියා කළ කාල් සේගාන්ට ඕනෑ වුණේ හැකි තාක් මානව සංහතිය නියෝජනය කරන ආකාරයේ රූප-ශබ්ද එකතුවක් හදන්නටයි. එහෙත් ඒ සඳහා ඔහු ඇතුළු කෝනෙල් සරසවියේ පිරිසට තිබුණේ මාස කිහිපයක කාලයක් හා සීමිත මුදල් ප‍්‍රතිපාදනයක් පමණයි.

ඔවුන්ට උදක් ම ඕනෑ වුණේ ලෝකයේ වැඩිපුර ජන සංඛ්‍යාවක් කථා කරන භාෂා 25කින් මේ තැටියට සුභාශිංසන ලබා ගන්නටයි. ඒ ඉලක්කය ළගා වූ පසු තවත් භාෂා 30කට එය පුළුල් කරනු ලැබුවා. සිංහල භාෂාව එයට එක් වූයේ එලෙසයි.

“මේ තේරීම අප කළේ පිටසක්වල බුද්ධිමත් ජීවීන් සඳහා වූවත් මේ හරහා අපේ ලෝකයේ දැනට ජීවත්ව සිටින මානවයන්ටත් ප‍්‍රබල සංකේතාත්මක පණිවුඩයක් ලැබෙන බව අප හො`දාකාරව දැන සිටියා,” ආචාර්ය සේගාන් ලියා තැබුවා.

එහෙත් භාෂා 55ක සම්මාදම කෙටි කලක් තුළ ලබා ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වුණා. කෝනෙල් සරසවියේ එවකට (1976-77 වකවානුවේ) සිටි ශිෂ්‍යයන්, ඇදුරන් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන් අතරින් ලෝකයේ භාෂා රැසක් කථා කරන පුද්ගලයන් සොයා ගන්නට හැකි වුණා.

‘පිටසක්වලට ඔබේ භාෂාවෙන් ඉතා කෙටි පණිවුඩයක් දෙන්න’ යන පොදු ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස නොයෙක් දෙනා විවිධාකාරයේ අදහස් ගැබ් වූ කෙටි වාක්‍ය තැටිගත කළා. කිසිදු රජයක, තානාපති කාර්යාලයක හෝ නිල ආයතනයක මැදිහත්වීමක් තිබුණේ නැහැ. අන්තිමේදී විශ්වයට ගිය මානව පණිවුඩ තැටිය නිල නොවන, ශාස්ත‍්‍රීය තේරීමක් වීම ගැන මා ඉතා සතුටු වනවා!

සිංහලෙන් මේ සුභාශිංසනය විශ්වයට යැවීමේ දුර්ලභ අවස්ථාව ලැබුණේ ආචාර්ය කමල් ඩි ආබෲ (Dr Kamal De Abrew) නම් ලාංකිකයාටයි. මෙය සිදු වී ඇත්තේ අහම්බෙන්. මීට වසර කිහිපයකට පෙර ටෙලිවිෂන් වැඩසටහනකට සූදානම් වෙද්දී මෙහි පසුබිම් කථාව මා අසා දැන ගත්තා.

ඒ කාලයේ ඔහු සිය ආචාර්ය උපාධියට කෝනෙල් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙක්. සේගාන්ගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටියා සිංහලෙන් පණිවුඩයක් දෙන ලෙස. ඒ අනුව ඉතා කෙටි එහෙත් අපේ සංස්කෘතිය හරවත් ලෙස නියෝජනය කැරෙන ‘ආයුබෝවන්’ යන වචනය ඔහුගේ හඩින් මේ තැටියට ලබා දුන්නා. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු හැටියට විවිධ සරසවිවල සේවය කර ඇති ආචාර්ය ඩි ආබෲ තවමත් සක‍්‍රීය සරසවි ඇදුරෙක්.

කමල් ඩි ආබෲ එසේ 1977 වසරේ දිනෙක කෝනෙල් සරසවියේදී පැවසූ ‘ආයුබෝවන්’ වචනය අන් සියළු සිංහල වචනවලට වඩා වැඩි කලක් පැවතීමේ ඉඩක් පවතිනවා. මිහිතලය මත කාලගුණ, දේශගුණ, සොබාවික විපත් හා වෙනත් අනපේක්‍ෂිත සිදුවීම් නිසා සහස‍්‍ර ගණනක් යම් දෙයක හෝ යම් භාෂාවක පැවැත්ම ගැන සහතික වන්නට බැහැ. එහෙත් හිස් අභ්‍යවකාශය හරහා අපෙන් ඔබ්බට ඇදී යන (එකිනෙකට වෙනස් දිශාවලට යොමු වී ඇති) වොයෙජර් 1 හා 2 යානාවල ඇති විශ්වයට යැවෙන පණිවුඩයල අපේ වර්ගයාට වැඩි කාලයක් පවතිනු ඇති. විශ්වයේ කිසිවක් සාදාතනික නොවූවත්, සාපේක්‍ෂව තව වසර 40,000ක් හෝ ලක්‍ෂයක් වූවද එය නිරුපද්‍රිතව තිබීමේ සම්භාවිතාව ඉහළයි. ආයුබෝවන් වචනයේ අරුතින් ම ඒ අන්තිම සිංහල වචනය වැඩි ම කලක් රැදී පවතිනු ඇති.

ලෝක නායකයන් අතරින් මේ තැටියේ ලිඛිත පණිවුඩ යවා ඇත්තේ එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩයිම් පමණයි. මෙය දේශපාලකයන් දුරස්ත කරමින්, විද්වතුන්, කලාකරුවන් හා සාමාන්‍ය මිනිසුන්ගේ සාමුහික ප‍්‍රයත්නයක් කළ කාල් සේගාන්ට අපේ ප‍්‍රණාමය!

“අපට ලෙහෙසියෙන් සිතා ගත නොහැකි තරම් ඉදිරි අනාගතයේ දී, එනම් අදින් වසර මිලියන් ගණනක් ගෙවී ගිය පසු අපේ පෘථිවියේ මහාද්වීප වෙනස් වී, ජීවීන් මුළුමනින් පරිනාමය වී හෝ වඳ වී හෝ තිබිය හැකියි. අපේ විවිධ ශිෂ්ඨාචාරයන් ඉදි කළ සියල්ල කාලයාගේ ඇවෑමෙන් දුවිලි බවට පත්වනු ඇති. එහෙත් මේ සියල්ලෙන් දුරස්තව විශ්වයේ යම් තැනෙක 1977දී අප උඩුගුවන් ගත කොට යැවූ වොයෙජර් යානා දෙක අපේ රූප හා හඩ පමණක් නොවෙයි, අපේ සිහින හා පැතුම් ද රැගෙන ගමනේ යෙදෙනු ඇති. යම් දිනෙක මුළු මිහිතලය වෙනුවෙන් විශ්වයේ ඉතිරි වන්නේ එය පමණක් ද විය හැකියි.” ඉතා දාර්ශනික ලෙසින් ආචාර්ය කාල් සේගාන් එසේ කියනවා.

ඇත්තට ම මෙබදු තැටියක් වාදනය කොට අපේ රූප හා ශබ්ද ග‍්‍රහණය කිරීමෙන් අපේ ලෝකය හා එහි විවිධ සභ්‍යත්වයන් ගැන දළ හැගීමක් හෝ ලබන්නට පිටසක්වල ජීවීන්ට හැකි වේද? මෙයට හරි පිළිතුරක් දෙන්න අමාරුයි. පියාඹන පීරිසි ගැන විවිධ ප‍්‍රබන්ධ කථා කෙතරම් ප‍්‍රචලිත වුණත් බුද්ධිමත් පිටසක්වල ජීවයක් ඇති බවට පැහැදිලි සාක්‍ෂි තවමත් අපට ලැබී නැහැ.

විශ්වයේ අප වැනි හෝ අපටත් වඩා දියුණු ජීවීන් වාසය කරන බව අද බහුතරයක් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. නමුත් විශ්වයේ ලෝක අතර ඇති ඉමහත් දුර ප‍්‍රමාණ නිසා ඔවුන් හා අප අතර සන්නිවේදනය දුෂ්කර කාරියක්.

යම් දිනෙක අපට බෙහෙවින් වෙනස් පිටසක්වල ජීවීන් මේ තැටියට සවන් දුන්නොත් ඔවුන් අපේ ලෝකය හා අපේ වර්ගයා ගැන කුමක් සිතයි ද?

වොයෙජර් තැටියේ අන්තර්ගතය සඳහා බලන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/goldenrec.html

විශ්වයේ අන්තිම සිංහල වචනයට සවන් දෙන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/greetings.html

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

සිවුමංසල කොලූගැටයා #55: මෙන්න අපේ ගෙදර හැටි!

This is my weekly Sinhala language column published in Ravaya Sunday newspaper dated 26 Feb 2012. In this, I explore some of the many fascinating insights into how Lankans live and work, as revealed by the Household Income and Expenditure Survey 2009/10 conducted by the Department of Census and Statistics, Sri Lanka. It was based on a large, countrywide sample of 22,500 households and conducted over a 12-month period in 2009-2010.

I am grateful to economist friend Dr Rohan Samarajiva, who first drew my attention to this treasure trove of public data. He has written media articles and blogposts about some findings, including in his Choices column in LBO (see 11 Oct 2011: Poverty: Where should Sri Lanka focus resources? and 17 Oct 2011: Resurgence of Sri Lanka’s North Central Province) and on LIRNEasia blog.

සංඛ්‍යාලේඛන ගැන අපේ ඇතැම් දෙනාගේ ඇත්තේ සැකයක්. විශේෂයෙන් ම නිල සංඛ්‍යාලේඛන නිවැරදි ද නැද්ද යන්න ගැන විටින් විට මෙරට විද්වත් සභාවලත්, මාධ්‍ය හරහාත් විවාද මතු වනවා.

සංඛ්‍යා ලේඛන අංග සම්පූර්ණ නොවූවත් යම් පදනමක් මත පිහිටා කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට හොඳ රාමුවක් එමගින් ලැබෙනවා. මෙහිදී සිහි තබා ගත යුතු වැදගත් ම කරුණ නම් විශාල නියැදියක් (සාම්පලයක්) හරහා එකතු කරන දත්ත විශ්ලේශණය කළ විට ලැබෙන සාමාන්‍යයන් (average) හා මධ්‍යන්‍යයන් (medians) අප පෞද්ගලිකව අත්දකින යථාර්ථයට තරමක් වෙනස් විය හැකි බවයි.

එහෙත් අනුමානයන් හෝ ආවේගයන් හෝ යොදාගෙන තර්ක කරනවාට වඩා (අසම්පූර්ණ වූවත්) සංඛ්‍යාලේඛන පදනම් කර ගැනීම වඩාත් පරිපූර්ණ වාදවිවාද හා විග‍්‍රහයන්ට හේතු වන බව කිව යුතුයි. අවාසනාවකට අපේ බොහෝ මාධ්‍යවල හා විද්වත් සභාවලත් මෙය ඇති තරම් සිදු වන්නේ නැහැ.

එමෙන්ම පැරණි වූ තොරතුරු මත පදනම් වී කැරෙන වාද දකින්නට ලැබෙනවා. මෙයට හොඳ උදාහරණයක් නම් මෙරට දුරකථන භාවිතය ගැන අපේ සමහරුන් කියන කථායි. එනම් දුරකථන නාගරික, පොහොසත් අයට සීමා වූ පහසුකමක් බවයි. මෙබදු පිළුණු වූ පදනම් මත තර්ක කරන අයගේ දැනුම එක තැන පල්වන බව හොඳට පෙනෙනවා!

සංඛ්‍යාලේඛනයක නිරවද්‍යතාවය හා විශ්වාසනීයත්වය රදා පවතින්නේ එහි ක‍්‍රමවේදය මතයි. මෙරට වෙනත් ආයතන කෙසේ වෙතත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නම් තවමත් වෘත්තීය විශ්වාසනීයත්වය රැක ගෙන ක‍්‍රියා කරන බව මැදහත් විචාරකයන් හා පර්යේෂකයන්ගේ මතයයි.

2011-12 ජන සංගණනය නිසා අවධානයට ලක්ව තිබෙන මේ දෙපාර්තමේන්තුව, එම ප‍්‍රධාන සංගණනයට අමතරව තවත් සමීක්‍ෂණ රැසක් කරනවා. එයින් එකක් නම් ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. (Household Income and Expenditure Survey). එක්සත් ජාතීන්ගේ සංඛ්‍යලේඛන කාර්යාලයේ උපදෙස් මත 1970 දශකයේ මෙරටට හදුන්වා දෙන ලද මේ සමීක්‍ෂණ මාලාව, සාමාන්‍යයෙන් වසර 5කට වරක් පවත්වනවා. ලැබෙන දත්තවල කාලීන විචලනය (seasonal variations) අවම කර ගන්නට මාස 12ක් පුරා කරනවා.

වඩා ම මෑතදී නිකුත් කළ වාර්තාව 2009-2010 වසරවලට අදාලව සිදු කළ ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. මෙය 2009 ජුලි සිට 2010 ජුනි දක්වා කාලයේ (මන්නාරම, කිලිනොච්චි හා මුලතිවු දිස්ත‍්‍රික්ක තුන හැර) රට පුරා නිවෙස් 22,581ක් සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණා.

21වන සියවසේ දෙවැනි දශකයට පිවිස සිටින ලක් සමාජය ගෘහස්ත මට්ටමින් දිවි ගැට ගසා ගන්නේ කෙසේ ද? මෙයට තොරතූරු රැසක් මේ සමීක්‍ෂණයෙන් ලැබෙනවා. එය මේ දක්වා නිකුත් වී ඇත්තේ ඉංග‍්‍රීසියෙන් පමණක් වූවත් ඉදිරියේදී සිංහලෙන් හා දෙමළෙන් ද නිකුත් වනු ඇති.

මේ සමීක්‍ෂණයේ සියළු ප‍්‍රතිඵල හසුකර ගන්නට නම් කොලම් ගණනාවක් ලිවිය යුතුයි. අද මා උත්සාහ කරන්නේ එයින් මතු කර දෙන අපේ වත්මන් පාරිභෝගික සමාජයේ පැතිකඩ කිහිපයක් ගැන කෙටියෙන් කථා කරන්නයි. මෙහි ඇතැම් සොයා ගැනීම් අප ඉගියෙන් දැන සිටි දෑ තහවුරු කරන අතර තවත් සොයා ගැනීම් අපේ බහුතරයක් දෙනා සැබෑ යයි සිතා සිටින තත්ත්ව හා ප‍්‍රවණාතවලට එරෙහිව යනවා.

මේ සමීක්‍ෂණයට පසුබිම් වන ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සමාජ ආර්ථික දත්ත ගැන මෙනෙහි කිරීම ප‍්‍රයෝජනවත්. 2009-2010 වන විට මෙරට සමස්ත ජනගහනය මිලියන් 20.3ක් බව ඇස්තමේන්තු කරනු ලැබුවා. පිරිමි මිලියන් 9.7ක් හා ගැහැණු මිලියන් 10.7ක් සිටිනවා. මේ ජනගහනය වාසය කරන නිවෙස් සංඛ්‍යාව මිලියන් 5.1ක්. මෙරට එක් නිවෙසක පදිංචිකරුවන්ගේ සාමාන්‍යය 4ක්. කාන්තාවන් ගෘහමූලිකයා වන නිවෙස් ගණන මෑතදී ඉහළ ගොස් ඇති අතර එය මුළු සංඛ්‍යාවෙන් 23% ක්.

මෙරට නිවෙසක සාමාන්‍ය මාසික ආදායම රු. 36,451 බවත්, එහි සැළකිය යුතු නාගරික, ග‍්‍රාමීය හා වතුකරයේ වෙනස්කම් තිබෙන බවත් සමීක්‍ෂණ ප‍්‍රතිඵලවලින් පෙනෙනවා. එයටත් වඩා ප‍්‍රබලව මතු වන්නේ ඇති නැති පරතරයයි. මෙරට වඩා පොහොසත් නිවාස 20% සමස්ත ආදායමින් සියයට 54.1% ලබන විට දිළිදු ම නිවැසියන් 20% ලබන්නේ සමස්ත ආදායමින් 4.5% පමණයි.

දුප්පත්කම හෙවත් දිළිදුබව ආර්ථික විද්‍යාඥයන් නිර්වචනය කරන ආකාරය ගැන මතභේද තිබෙනවා. ඒවාට විසදුම් සොයනවා වෙනුවට මේ සමීක්‍ෂණයෙන් අප කන බොන සැටි ගැන හෙළිදරවු වන තොරතුරු බලමු.

මෙරට එක් නිවෙසක මාසික වියදමේ සාමාන්‍ය අගය රු. 31,331ක් වූ බව 2009/10 තොරතුරුවලට අනුව මේ සමීක්‍ෂණය ගණනය කර තිබෙනවා. (එයින් පසු ඇති වූ වියදම් මෙයට එක් වී නැහැ.) නිවැසියන් තම එදිනෙදා අවශ්‍යතා සඳහා කරන වියදම් පිළිබඳ තොරතුරු විස්තරාත්මකව මේ සමීක්‍ෂණය අධ්‍යයනය කළා.

ගෙදරක වියදමෙන් ආහාරපාන සඳහා කරන වියදම ප‍්‍රතිශතයක් ලෙස බැලූ විට ඒ ගෙදර ආර්ථික තත්ත්වය ගැන දළ වැටහීමක් ලද හැකියි. උපයන මුදලින් වැඩි ප‍්‍රමාණයක් කෑම බීමට වැය කිරීමට සිදුවීම අද බොහෝ දෙනා මුහුණ දී තිබෙන යථාර්ථයයි. මීට පෙර 2006දී මේ සමීක්‍ෂණය කළ විට මෙරට නිවෙසක් ආහාරපාන සඳහා කළ සාමාන්‍ය වියදම ගෙදර මුළු වියදමින් 37.6%ක් වූ අතර මෙවර එම අගය 42.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. (සමස්ත ආහාරපාන වියදමෙන් 17.3%ක් වැය වන්නේ සහල් මිළට ගැනීමටයි.)

ආහාරපාන නොවන වියදම් සමස්තය 100ක් නම් එයින් 19.1ක් නිවාස (ගෙවල්කුලී හෝ නඩත්තුව) සඳහාත්, 17.0ක් ප‍්‍රවාහන හා සන්නිවේදන සඳහාත් වැය කරනවා. ඉතිරි වියදම් කාණ්ඩ අතර විදුලිය හා ඉන්දන (7.1), අධ්‍යාපනය (5.6), ඇදුම් පැළදුම් (5) බෙහෙත් හා සෞඛ්‍යය (7.9) ප‍්‍රධානයි. සංස්කෘතික අවශ්‍යතා හා විනෝදාස්වාදයට වැය කරන්නේ 2.2% පමණයි. එයට වැඩි ප‍්‍රතිශතයක් 3.7%) දුම්වැටි හා මත්පැන් සඳහා වැය කරනවා!

අධ්‍යාපන වියදම්වලින් වැඩිපුර කොටසක් වෙන් කෙරෙන්නේ ළමයින්ගේ ටියුෂන් ගාස්තු ගෙවීමටයි. ඉන් පසු අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය ගැනීමටයි. මෙරට නිවෙසක් මාසයකට තැපැල් වියදම් ලෙස සාමාන්‍යයෙන් රු. 4.41ක් වැය කරද්දී (ජංගම හා රැහැන් සහිත) දුරකථන සේවා සඳහා රු. 345.36ක් වැය කරනවා.

ඒ අතර නිවෙසක පොත් සගරා හා පුවත්පත් මිළදී ගන්නට මාසයකට සාමාන්‍යයෙන් රු. 42.63ක් වැය කරන අපේ ඇත්තෝ ලොතරැයි හා ඔට්ටු ඇල්ලීම් සඳහා නම් රු. 50.05ක් වියදම් කරනවා. සිනමා, නාට්‍ය හා වීඩියෝ නැරඹීමට නිවෙසක මාසික වියදම රු. 7.37ක් පමණයි.

මේ සැබෑ අගයන්ගේ වෙනස්කම් වී ඇතත් අනුපාතයන් හැටියට අපේ සමාජයේ වියදම් රටාවන් ගැන හැගීමක් ලබාගන්නට මේ සමීක්‍ෂණයෙන් හැකියාව ලැබෙනවා.

2012 වසර අවසන් වන විට මෙරට හැම නිවසකට ම විදුලිය සැපයීමේ ඉලක්කයක් ප‍්‍රකාශ වී ඇතත්, දැනට (2010) විදුලිය ඇත්තේ නිවාස වලින් 85.3%කට පමණයි. ඉතිරි නිවාස බහුතරයක් (12.8%) භුමිතෙල් කුප්පි ලාම්පුවලින් රාත‍්‍රී එළිය ලබා ගන්නා අතර සූර්ය බලයෙන් එලිය වන නිවෙස් 1.8% ද තිබෙනවා.

ගෙදර ඇති ප‍්‍රධාන බඩු බාහිරාදිය ගැනත් සමීක්‍ෂණය විපරම් කළා. අපේ රටේ නිවාසවල ඇති විදුලි හා විද්යුත් භාණ්ඩ අතරින් ඉතා වැඩි නිවෙස් ගණනක හමුවන භාණ්ඩය නම් ටෙලිවිෂන් යන්ත‍්‍රයයි (80%). රේඩියෝ හෝ කැසට් සහිත රේඩියෝ නිවෙස් 75.4%ක තිබෙන අතර මේ විද්යුත් මාධ්‍ය උපකරණ හිමිකාරත්වයේ නාගරික-ග‍්‍රාමීය වශයෙන් ලොකු වෙනසක් නැහැ. ටෙලිවිෂන් නගර හා ගම් හැම තැනකම ඉතාම පුළුල් ලෙස මෙරට ප‍්‍රචලිත මාධ්‍යය බව නැවත වරක් තහවුරු වනවා.

පොදුවේ ගත් විට මෙරට නිවාස වලින් 70%කම මේ වන විට ටෙලිවිෂනයක්, දුරකථනයක් හා රේඩියෝවක් තිබෙනවා. මේ සන්නිවේදන උපකරණ අනෙක් සියළු උපකරණවලට වඩා වැඩියෙන් ප‍්‍රචලිතවීමෙන් පෙනෙන්නේ තොරතුරු ලැබීමට හා සන්නිවේදනයට ලක් සමාජයේ ඇති නැඹුරුවයි.

සමීක්‍ෂණයට පාත‍්‍ර වූ නිවෙස්වලින් 35.9%ක VCD/DVD යන්ත‍්‍ර තිබූ අතර පරිගණක තිබෙන නිවෙස් ගණන 12.5%ක්. අනෙකුත් විදුලි භාණ්ඩ අතරින් වැඩිපුර ම නිවෙස්වල ඇත්තේ විදුලි පංකා (50.8%) යි. මහන මැෂින් නිවාස 42.7%කත්, ශීතකරණ නිවාසවලින් 39.6%කත් හමු වනවා.

කිසිදු වාහනයක් නැති නිවාස 41.8%ක් තිබෙන මේ රටේ, වැඩිපුර ම ගෙදර හමුවන වාහනය බයිසිකලයයි. එය 39.8%ක් නිවෙස්වල තිබෙනවා. මෝටර් වාහන අතරින් වඩාත් ම ප‍්‍රචලිත මෝටර් බයිසිකල් හා ස්කූටර් (නිවාසවලින් 25.8%ක්) හා ඊළගට ත‍්‍රීරෝද රථ (6.5%ක්) හා කාර් හෝ වෑන් රථ (5.6%ක්) වනවා. බයිසිකල් හා මෝටර් සයිකල් හිමිකාරත්වය ගම්බද වඩාත් පුළුල් වන විට ත‍්‍රීරෝද රථ හිමිකාරිත්වයේ එබදු ගම්-නගර වෙනසක් නැහැ.

බොහෝ භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී දීපව්‍යාප්ත සාමාන්‍ය අගයන්ට වඩා ඉහළින් බස්නාහිර පළාත පවතින බව නැවත වරක් මේ සමීක්‍ෂණයෙන් ද තහවුරු වනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් දිවයිනේ අන් සියළු පළාත්වලට වඩා පිටුපසින් සිටින බව ද පෙනී යනවා. එහෙත් උතුරු මැද පළාත නිර්නායක ගණනාවකින් ම මෑතදී පෙරට පැමිණ තිබෙනවා.