සිවුමංසල කොලූගැටයා #55: මෙන්න අපේ ගෙදර හැටි!

This is my weekly Sinhala language column published in Ravaya Sunday newspaper dated 26 Feb 2012. In this, I explore some of the many fascinating insights into how Lankans live and work, as revealed by the Household Income and Expenditure Survey 2009/10 conducted by the Department of Census and Statistics, Sri Lanka. It was based on a large, countrywide sample of 22,500 households and conducted over a 12-month period in 2009-2010.

I am grateful to economist friend Dr Rohan Samarajiva, who first drew my attention to this treasure trove of public data. He has written media articles and blogposts about some findings, including in his Choices column in LBO (see 11 Oct 2011: Poverty: Where should Sri Lanka focus resources? and 17 Oct 2011: Resurgence of Sri Lanka’s North Central Province) and on LIRNEasia blog.

සංඛ්‍යාලේඛන ගැන අපේ ඇතැම් දෙනාගේ ඇත්තේ සැකයක්. විශේෂයෙන් ම නිල සංඛ්‍යාලේඛන නිවැරදි ද නැද්ද යන්න ගැන විටින් විට මෙරට විද්වත් සභාවලත්, මාධ්‍ය හරහාත් විවාද මතු වනවා.

සංඛ්‍යා ලේඛන අංග සම්පූර්ණ නොවූවත් යම් පදනමක් මත පිහිටා කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට හොඳ රාමුවක් එමගින් ලැබෙනවා. මෙහිදී සිහි තබා ගත යුතු වැදගත් ම කරුණ නම් විශාල නියැදියක් (සාම්පලයක්) හරහා එකතු කරන දත්ත විශ්ලේශණය කළ විට ලැබෙන සාමාන්‍යයන් (average) හා මධ්‍යන්‍යයන් (medians) අප පෞද්ගලිකව අත්දකින යථාර්ථයට තරමක් වෙනස් විය හැකි බවයි.

එහෙත් අනුමානයන් හෝ ආවේගයන් හෝ යොදාගෙන තර්ක කරනවාට වඩා (අසම්පූර්ණ වූවත්) සංඛ්‍යාලේඛන පදනම් කර ගැනීම වඩාත් පරිපූර්ණ වාදවිවාද හා විග‍්‍රහයන්ට හේතු වන බව කිව යුතුයි. අවාසනාවකට අපේ බොහෝ මාධ්‍යවල හා විද්වත් සභාවලත් මෙය ඇති තරම් සිදු වන්නේ නැහැ.

එමෙන්ම පැරණි වූ තොරතුරු මත පදනම් වී කැරෙන වාද දකින්නට ලැබෙනවා. මෙයට හොඳ උදාහරණයක් නම් මෙරට දුරකථන භාවිතය ගැන අපේ සමහරුන් කියන කථායි. එනම් දුරකථන නාගරික, පොහොසත් අයට සීමා වූ පහසුකමක් බවයි. මෙබදු පිළුණු වූ පදනම් මත තර්ක කරන අයගේ දැනුම එක තැන පල්වන බව හොඳට පෙනෙනවා!

සංඛ්‍යාලේඛනයක නිරවද්‍යතාවය හා විශ්වාසනීයත්වය රදා පවතින්නේ එහි ක‍්‍රමවේදය මතයි. මෙරට වෙනත් ආයතන කෙසේ වෙතත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නම් තවමත් වෘත්තීය විශ්වාසනීයත්වය රැක ගෙන ක‍්‍රියා කරන බව මැදහත් විචාරකයන් හා පර්යේෂකයන්ගේ මතයයි.

2011-12 ජන සංගණනය නිසා අවධානයට ලක්ව තිබෙන මේ දෙපාර්තමේන්තුව, එම ප‍්‍රධාන සංගණනයට අමතරව තවත් සමීක්‍ෂණ රැසක් කරනවා. එයින් එකක් නම් ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. (Household Income and Expenditure Survey). එක්සත් ජාතීන්ගේ සංඛ්‍යලේඛන කාර්යාලයේ උපදෙස් මත 1970 දශකයේ මෙරටට හදුන්වා දෙන ලද මේ සමීක්‍ෂණ මාලාව, සාමාන්‍යයෙන් වසර 5කට වරක් පවත්වනවා. ලැබෙන දත්තවල කාලීන විචලනය (seasonal variations) අවම කර ගන්නට මාස 12ක් පුරා කරනවා.

වඩා ම මෑතදී නිකුත් කළ වාර්තාව 2009-2010 වසරවලට අදාලව සිදු කළ ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. මෙය 2009 ජුලි සිට 2010 ජුනි දක්වා කාලයේ (මන්නාරම, කිලිනොච්චි හා මුලතිවු දිස්ත‍්‍රික්ක තුන හැර) රට පුරා නිවෙස් 22,581ක් සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණා.

21වන සියවසේ දෙවැනි දශකයට පිවිස සිටින ලක් සමාජය ගෘහස්ත මට්ටමින් දිවි ගැට ගසා ගන්නේ කෙසේ ද? මෙයට තොරතූරු රැසක් මේ සමීක්‍ෂණයෙන් ලැබෙනවා. එය මේ දක්වා නිකුත් වී ඇත්තේ ඉංග‍්‍රීසියෙන් පමණක් වූවත් ඉදිරියේදී සිංහලෙන් හා දෙමළෙන් ද නිකුත් වනු ඇති.

මේ සමීක්‍ෂණයේ සියළු ප‍්‍රතිඵල හසුකර ගන්නට නම් කොලම් ගණනාවක් ලිවිය යුතුයි. අද මා උත්සාහ කරන්නේ එයින් මතු කර දෙන අපේ වත්මන් පාරිභෝගික සමාජයේ පැතිකඩ කිහිපයක් ගැන කෙටියෙන් කථා කරන්නයි. මෙහි ඇතැම් සොයා ගැනීම් අප ඉගියෙන් දැන සිටි දෑ තහවුරු කරන අතර තවත් සොයා ගැනීම් අපේ බහුතරයක් දෙනා සැබෑ යයි සිතා සිටින තත්ත්ව හා ප‍්‍රවණාතවලට එරෙහිව යනවා.

මේ සමීක්‍ෂණයට පසුබිම් වන ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සමාජ ආර්ථික දත්ත ගැන මෙනෙහි කිරීම ප‍්‍රයෝජනවත්. 2009-2010 වන විට මෙරට සමස්ත ජනගහනය මිලියන් 20.3ක් බව ඇස්තමේන්තු කරනු ලැබුවා. පිරිමි මිලියන් 9.7ක් හා ගැහැණු මිලියන් 10.7ක් සිටිනවා. මේ ජනගහනය වාසය කරන නිවෙස් සංඛ්‍යාව මිලියන් 5.1ක්. මෙරට එක් නිවෙසක පදිංචිකරුවන්ගේ සාමාන්‍යය 4ක්. කාන්තාවන් ගෘහමූලිකයා වන නිවෙස් ගණන මෑතදී ඉහළ ගොස් ඇති අතර එය මුළු සංඛ්‍යාවෙන් 23% ක්.

මෙරට නිවෙසක සාමාන්‍ය මාසික ආදායම රු. 36,451 බවත්, එහි සැළකිය යුතු නාගරික, ග‍්‍රාමීය හා වතුකරයේ වෙනස්කම් තිබෙන බවත් සමීක්‍ෂණ ප‍්‍රතිඵලවලින් පෙනෙනවා. එයටත් වඩා ප‍්‍රබලව මතු වන්නේ ඇති නැති පරතරයයි. මෙරට වඩා පොහොසත් නිවාස 20% සමස්ත ආදායමින් සියයට 54.1% ලබන විට දිළිදු ම නිවැසියන් 20% ලබන්නේ සමස්ත ආදායමින් 4.5% පමණයි.

දුප්පත්කම හෙවත් දිළිදුබව ආර්ථික විද්‍යාඥයන් නිර්වචනය කරන ආකාරය ගැන මතභේද තිබෙනවා. ඒවාට විසදුම් සොයනවා වෙනුවට මේ සමීක්‍ෂණයෙන් අප කන බොන සැටි ගැන හෙළිදරවු වන තොරතුරු බලමු.

මෙරට එක් නිවෙසක මාසික වියදමේ සාමාන්‍ය අගය රු. 31,331ක් වූ බව 2009/10 තොරතුරුවලට අනුව මේ සමීක්‍ෂණය ගණනය කර තිබෙනවා. (එයින් පසු ඇති වූ වියදම් මෙයට එක් වී නැහැ.) නිවැසියන් තම එදිනෙදා අවශ්‍යතා සඳහා කරන වියදම් පිළිබඳ තොරතුරු විස්තරාත්මකව මේ සමීක්‍ෂණය අධ්‍යයනය කළා.

ගෙදරක වියදමෙන් ආහාරපාන සඳහා කරන වියදම ප‍්‍රතිශතයක් ලෙස බැලූ විට ඒ ගෙදර ආර්ථික තත්ත්වය ගැන දළ වැටහීමක් ලද හැකියි. උපයන මුදලින් වැඩි ප‍්‍රමාණයක් කෑම බීමට වැය කිරීමට සිදුවීම අද බොහෝ දෙනා මුහුණ දී තිබෙන යථාර්ථයයි. මීට පෙර 2006දී මේ සමීක්‍ෂණය කළ විට මෙරට නිවෙසක් ආහාරපාන සඳහා කළ සාමාන්‍ය වියදම ගෙදර මුළු වියදමින් 37.6%ක් වූ අතර මෙවර එම අගය 42.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. (සමස්ත ආහාරපාන වියදමෙන් 17.3%ක් වැය වන්නේ සහල් මිළට ගැනීමටයි.)

ආහාරපාන නොවන වියදම් සමස්තය 100ක් නම් එයින් 19.1ක් නිවාස (ගෙවල්කුලී හෝ නඩත්තුව) සඳහාත්, 17.0ක් ප‍්‍රවාහන හා සන්නිවේදන සඳහාත් වැය කරනවා. ඉතිරි වියදම් කාණ්ඩ අතර විදුලිය හා ඉන්දන (7.1), අධ්‍යාපනය (5.6), ඇදුම් පැළදුම් (5) බෙහෙත් හා සෞඛ්‍යය (7.9) ප‍්‍රධානයි. සංස්කෘතික අවශ්‍යතා හා විනෝදාස්වාදයට වැය කරන්නේ 2.2% පමණයි. එයට වැඩි ප‍්‍රතිශතයක් 3.7%) දුම්වැටි හා මත්පැන් සඳහා වැය කරනවා!

අධ්‍යාපන වියදම්වලින් වැඩිපුර කොටසක් වෙන් කෙරෙන්නේ ළමයින්ගේ ටියුෂන් ගාස්තු ගෙවීමටයි. ඉන් පසු අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය ගැනීමටයි. මෙරට නිවෙසක් මාසයකට තැපැල් වියදම් ලෙස සාමාන්‍යයෙන් රු. 4.41ක් වැය කරද්දී (ජංගම හා රැහැන් සහිත) දුරකථන සේවා සඳහා රු. 345.36ක් වැය කරනවා.

ඒ අතර නිවෙසක පොත් සගරා හා පුවත්පත් මිළදී ගන්නට මාසයකට සාමාන්‍යයෙන් රු. 42.63ක් වැය කරන අපේ ඇත්තෝ ලොතරැයි හා ඔට්ටු ඇල්ලීම් සඳහා නම් රු. 50.05ක් වියදම් කරනවා. සිනමා, නාට්‍ය හා වීඩියෝ නැරඹීමට නිවෙසක මාසික වියදම රු. 7.37ක් පමණයි.

මේ සැබෑ අගයන්ගේ වෙනස්කම් වී ඇතත් අනුපාතයන් හැටියට අපේ සමාජයේ වියදම් රටාවන් ගැන හැගීමක් ලබාගන්නට මේ සමීක්‍ෂණයෙන් හැකියාව ලැබෙනවා.

2012 වසර අවසන් වන විට මෙරට හැම නිවසකට ම විදුලිය සැපයීමේ ඉලක්කයක් ප‍්‍රකාශ වී ඇතත්, දැනට (2010) විදුලිය ඇත්තේ නිවාස වලින් 85.3%කට පමණයි. ඉතිරි නිවාස බහුතරයක් (12.8%) භුමිතෙල් කුප්පි ලාම්පුවලින් රාත‍්‍රී එළිය ලබා ගන්නා අතර සූර්ය බලයෙන් එලිය වන නිවෙස් 1.8% ද තිබෙනවා.

ගෙදර ඇති ප‍්‍රධාන බඩු බාහිරාදිය ගැනත් සමීක්‍ෂණය විපරම් කළා. අපේ රටේ නිවාසවල ඇති විදුලි හා විද්යුත් භාණ්ඩ අතරින් ඉතා වැඩි නිවෙස් ගණනක හමුවන භාණ්ඩය නම් ටෙලිවිෂන් යන්ත‍්‍රයයි (80%). රේඩියෝ හෝ කැසට් සහිත රේඩියෝ නිවෙස් 75.4%ක තිබෙන අතර මේ විද්යුත් මාධ්‍ය උපකරණ හිමිකාරත්වයේ නාගරික-ග‍්‍රාමීය වශයෙන් ලොකු වෙනසක් නැහැ. ටෙලිවිෂන් නගර හා ගම් හැම තැනකම ඉතාම පුළුල් ලෙස මෙරට ප‍්‍රචලිත මාධ්‍යය බව නැවත වරක් තහවුරු වනවා.

පොදුවේ ගත් විට මෙරට නිවාස වලින් 70%කම මේ වන විට ටෙලිවිෂනයක්, දුරකථනයක් හා රේඩියෝවක් තිබෙනවා. මේ සන්නිවේදන උපකරණ අනෙක් සියළු උපකරණවලට වඩා වැඩියෙන් ප‍්‍රචලිතවීමෙන් පෙනෙන්නේ තොරතුරු ලැබීමට හා සන්නිවේදනයට ලක් සමාජයේ ඇති නැඹුරුවයි.

සමීක්‍ෂණයට පාත‍්‍ර වූ නිවෙස්වලින් 35.9%ක VCD/DVD යන්ත‍්‍ර තිබූ අතර පරිගණක තිබෙන නිවෙස් ගණන 12.5%ක්. අනෙකුත් විදුලි භාණ්ඩ අතරින් වැඩිපුර ම නිවෙස්වල ඇත්තේ විදුලි පංකා (50.8%) යි. මහන මැෂින් නිවාස 42.7%කත්, ශීතකරණ නිවාසවලින් 39.6%කත් හමු වනවා.

කිසිදු වාහනයක් නැති නිවාස 41.8%ක් තිබෙන මේ රටේ, වැඩිපුර ම ගෙදර හමුවන වාහනය බයිසිකලයයි. එය 39.8%ක් නිවෙස්වල තිබෙනවා. මෝටර් වාහන අතරින් වඩාත් ම ප‍්‍රචලිත මෝටර් බයිසිකල් හා ස්කූටර් (නිවාසවලින් 25.8%ක්) හා ඊළගට ත‍්‍රීරෝද රථ (6.5%ක්) හා කාර් හෝ වෑන් රථ (5.6%ක්) වනවා. බයිසිකල් හා මෝටර් සයිකල් හිමිකාරත්වය ගම්බද වඩාත් පුළුල් වන විට ත‍්‍රීරෝද රථ හිමිකාරිත්වයේ එබදු ගම්-නගර වෙනසක් නැහැ.

බොහෝ භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී දීපව්‍යාප්ත සාමාන්‍ය අගයන්ට වඩා ඉහළින් බස්නාහිර පළාත පවතින බව නැවත වරක් මේ සමීක්‍ෂණයෙන් ද තහවුරු වනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් දිවයිනේ අන් සියළු පළාත්වලට වඩා පිටුපසින් සිටින බව ද පෙනී යනවා. එහෙත් උතුරු මැද පළාත නිර්නායක ගණනාවකින් ම මෑතදී පෙරට පැමිණ තිබෙනවා.

Advertisements