සිවුමංසල කොලු ගැටයා #369 – අත්ත බිඳෙයි පය බුරුලෙන්: සමාජ මාධ්‍ය නියාමනයේ යුරෝපීය අත්දැකීම්

Deutsche Welle Global Media Forum (GMF), in Bonn, Germany, 11 – 13 June 2018

Trends like ultra-nationalistic media, hate speech and fake news have all been around for decades — certainly well before the web emerged in the 1990s. What digital tools and the web have done is to ‘turbo-charge’ these trends.

This is the main thrust of this week’s Ravaya column, published on 1 July 2018, where I capture some discussions and debates at the 11th Deutsche Welle Global Media Forum (GMF), held in Bonn, Germany, from 11 to 13 June 2018.

I was among the 2,000+ media professionals and experts from over 100 countries who participated in the event. Across many plenaries and parallel sessions, we discussed a whole range of issues related to politics and human rights, media development and innovative journalism concepts.

On 13 June 2018, I moderated a session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” which was organised by the Institut für Auslandsbeziehungen (ifa) or Institute for Foreign Relations, a century old entity located in Bonn. Most of the column draws on my own panel’s explorations, about which I have already written in English here: DW Global Media Forum 2018: Moderating panel on ‘Digitalization and Polarization of the Media’

L to R – Nalaka Gunawardene (moderator), Christian Humborg, Jillian York, and Curd Knupfer. [Photo courtesy DW GMF 2018]
මා සාම්ප්‍රදායික පොතේ උගතකු නොවෙයි. එහෙත් උද්‍යොගිමත්ව දැනුම ගවේෂණයට හා විචාරශීලීව ඕනෑම මාතෘකාවක් විමර්ශනයට සමත් නිසාදෝ ලොව විවිධ රටවලින් වැඩමලු, සම්මන්ත්‍රණ ආදියේ කතා කිරීමට නිතර ආරාධනා ලබනවා.

2018 ජූනි 11-13 තෙදින තුළ ජර්මනියේ බොන් නුවර පැවති ගෝලීය මාධ්‍ය සමුළුවේ (Global Media Forum) එක් සැසි වාරයක් මෙහෙය වීමට මට ඇරයුම් ලැබුණා.

2007 සිට වාර්ෂිකව පවත්වන මේ සමුළුව සංවිධානය කරන්නේ ජර්මනියේ ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතනය වන ඩොයිෂවෙල  (Deutsche Welle) විසින්.

මෙවර සමුළුවට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් 2,000 ක් පමණ මාධ්‍යවේදීන්, මාධ්‍ය කළමනාකරුවන් හා මාධ්‍ය පර්යේෂකයන් සහභාගී වුණා. මහා මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය ඇති කරන බලපෑම් හා අභියෝග ගැන විවෘතව කතාබහ කිරීමට එය හොඳ වේදිකාවක් වූවා.

අපේ සමහරුන් පොදුවේ ‘බටහිර රටවල්’ යයි කීවාට සැබෑ ලෝකයේ එබඳු තනි ගොඩක් නැහැ. බටහිරට අයත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ බොහෝ කාරණාවලදී යුරෝපීය රටවල් එකඟ වන්නේ නැහැ.

එසේම යුරෝපා සංගමය ලෙස පොදු ආර්ථීක හවුලක් යුරෝපීය රටවල් 28ක් ඒකරාශී කළත් එම රටවල් අතරද සංස්කෘතික හා දේශපාලනික විවිධත්වය ඉහළයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මෙම විවිධත්වය නිිසා නොයෙක් බටහිර රාජ්‍යයන් මාධ්‍ය ප්‍රතිපත්ති ගැන දක්වන නිල ස්ථාවරයන් අතර වෙනස්කම් තිබෙනවා. බොන් නුවරදී දින තුනක් තිස්සේ අප මේ විවිධත්වය සවියක් කර ගනිමින් බොහෝ දේ සාකච්ඡා කළා.

ලෝකයේ රටවල් කෙමෙන් ඩිජිටල්කරණය වන විට ඒ හරහා උදා වන නව අවස්ථාවන් මෙන්ම අභියෝග ගැනත් සංවාද රැසක් පැවැත් වුණා.

Mariya Gabriel, EU Commissioner in charge of Digital Economy and Society

යුරෝපා හවුලේ ඩිජිටල් ආර්ථීකයන් හා සමාජයන් පිළිබඳ කොමසාරිස්වරි වන මරියා ගේබ්‍රියල් මේ ගැන ආරම්භක සැසියේ දී හොඳ විග්‍රහයක් කළා.

පොදුවේ වෙබ් අවකාශයත්, විශේෂයෙන් ඒ තුළ හමු වන සමාජ මාධ්‍යත් මානව සමාජයන් වඩාත් ප්‍රජාතන්ත්‍රීය කිරීමට හා සමාජ අසමානතා අඩු කිරීමට බෙහෙවින් දායක විය හැකි බව පිළි ගනිමින් ඇය කීවේ මෙයයි.

”එහෙත් අද ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා බහුතරයක් මේ යහපත් විභවය සාක්ෂාත් කර ගැනීමට දායක වනවා වෙනුවට දුස්තොරතුරු (disinformation) හා ව්‍යාජ පුවත් එසැනින් බෙදා හැරීමට යොදා ගැනෙනවා. මෙය සියලු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. සමහර සමාජ මාධ්‍ය වේදිකා මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කාරියම කරනවා. එනම් කාලීන තොරතුරු එක් රැස් කිරීම හා බෙදා හැරීම. එහෙත් ඔවුන් එසේ කරන විට සංස්කාරක වගකීමක් (editorial responsibility) නොගැනීම නිසා ව්‍යාකූලතා මතු වනවා.”

ඇගේ මූලික නිර්දේශයක් වූයේ සමාජ මාධ්‍ය වේදිකා නියාමනය නොව මාධ්‍ය බහුවිධත්වය (media pluralism) ප්‍රවර්ධනය කළ යුතු බවයි.

රටක මාධ්‍ය බහුවිධත්වය පවතී යයි පිළිගන්නේ මාධ්‍ය ආයතන හා ප්‍රකාශන/නාලිකා ගණන වැඩි වූ පමණට නොවේ.

Image courtesy UNESCO

තනි හිමිකරුවකුගේ හෝ ටික දෙනකුගේ හිමිකාරීත්වය වෙනුවට විසිර ගිය හිමිකාරිත්වයන් තිබීම, අධිපතිවාදී මතවාද පමණක් නොව පුළුල් හා විවිධාකාර මතවාදයන්ට මාධ්‍ය හරහා ඇති තරම් අවකාශ ලැබීම, හා සමාජයේ කොන්ව සිටින ජන කොටස්වලට ද සිය අදහස් ප්‍රකාශනයට මාධ්‍යවල ඇති තරම් ඉඩක් තිබීම වැනි සාධක ගණනාවක් තහවුරු වූ විට පමණක් මාධ්‍ය බහුවිධත්වය හට ගන්නවා. (මේ නිර්නායක අනුව බලන විට අපේ රටේ මාධ්‍ය රැසක් ඇතත් බහුවිධත්වය නම් නැහැ.)

ඩිජිටල් මාධ්‍ය බහුල වෙමින් පවතින අද කාලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කෙතරම්  බහුවිධත්වයක් පැවතීම තීරණාත්මකද? මේ ප්‍රශ්නයට පිළිතුරු සංවාද හරහා මතු වුණා.

මේ වන විට ලොව ජනගහනයෙන් අඩකටත් වඩා ඉන්ටර්නෙට් භාවිතා කළත්, පුවත් හා කාලීන තොරතුරු මූලාශ්‍රයන් ලෙස ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවල වැදගත්කම තවමත් පවතිනවා. (පුවත් හා සඟරා නම් කෙමෙන් කොන් වී යාම බොහෝ රටවල දැකිය හැකියි.)

මේ නිසා මාධ්‍ය බහුවිධත්වය තහවුරු කරන අතර මාධ්‍ය විචාරශීලීව පරිභෝජනය කිරීමට මාධ්‍ය සාක්ෂරතාවයත් (media literacy), ඩිජිටල් මාධ්‍ය නිසි ලෙස පරිහරණයට ඩිජිටල් සාක්ෂරතාවයත් (digital literacy) අත්‍යවශ්‍ය හැකියා බවට පත්ව තිබෙනවා.

ඩිජිටල් සාක්ෂරතාවය යනු හුදෙක් පරිගණක හා ස්මාර්ට් ෆෝන් වැනි ඩිජිටල් තාක්ෂණ මෙවලම් තනිවම භාවිතා කිරීමේ හැකියාව පමණක් නොව ඩිජිටල් අන්තර්ගතයන් විචාරශීලීව ග්‍රහණය කිරීමේ හැකියාව ද එහි වැදගත් අංගයක් බව සමුළුවේ යළි යළිත් අවධාරණය කෙරුණා.

මරියා ගේබ්‍රියල් මෑත කාලයේ යුරෝපයේ කළ සමීක්ෂණයක සොයා ගැනීම් උපුටා දක්වමින් කීවේ වයස 15-24 අතර යුරෝපීය ළමුන් හා තරුණයන් අතර ව්‍යාජ පුවතක් හා සැබෑ පුවතක් වෙන් කර තේරුම් ගැනීමේ හැකියාව තිබුණේ 40%කට බවයි.

එයින් පෙනෙන්නේ යම් පිරිස් විසින් දුස්තොරතුරු සමාජගත කර මැතිවරණ, ජනමත විචාරණ හා වෙනත් තීරණාත්මක සමාජයීය ක්‍රියාදාමයන් අවුල් කිරීමේ අවදානමක් පවතින බවයි.

මෙබැවින් මාධ්‍ය සාක්ෂරතාවය හා ඩිජිටල් සාක්ෂරතාවය වැඩි කළ යුත්තේ තනි පුද්ගලයන්ගේ කුසලතා වර්ධනයට පමණක් නොවෙයි. අසත්‍යන්, අර්ධ සත්‍යන්, හා කුමන්ත්‍රණවාදී තර්ක හරහා ප්‍රජාතාන්ත්‍රීය සමාජයන් නොමඟ යැවීමටත්, ඒ හරහා රාජ්‍යයන් අස්ථාවර කිරීමටත් එරෙහිව සමාජයේ ප්‍රතිශක්තිය ගොඩ නැංවීමටයි.

මා මෙහෙය වූ සැසි වාරයේ අප මෙම සමාජයීය අභියෝගය ගැන විද්වත් මෙන්ම ප්‍රායෝගික ලෙසත් සාකච්ඡා කළා.

මගේ සැසියේ කථීකයන් වූයේ ජර්මනියේ බර්ලින් නුවර ෆ්‍රී සරසවියේ දේශපාලන විද්‍යාඥ ආචාර්ය කුර්ඩ් නුප්ෆර් (Dr Curd Knupfer), ඇමරිකාවේ ඉලෙක්ට්‍රොනික් ෆ්‍රන්ටියර් පදනමේ භාෂාණ නිදහස පිළිබඳ අධ්‍යක්ෂිකා ජිලියන් යෝක් (Jillian York) සහ විකිමීඩියා ජර්මන් පදනමේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් හුම්බොග් (Christian Humborg) යන තිදෙනායි.

Nalaka Gunawardene moderating moderated session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” at DW Global Media Forum 2018 in Bonn, 13 June 2018

සැසිවාරය අරඹමින් මා මෙසේ ද කීවා:

”වෙබ්ගත අවකාශයන් හරහා වෛරී කථනය හා ව්‍යාජ පුවත් ගලා යාම ගැන අද ලොකු අවධානයක් යොමු වී තිබෙනවා. වර්ගවාදී හා වෙනත් අන්තවාදී පිරිස් සමාජ මාධ්‍ය වේදිකා හරහා ආන්තික සන්නිවේදනය කරමින් සිටිව බවත් අප දන්නවා. එහෙත් මේ ප්‍රවනතා එකක්වත් ඉන්ටර්නෙට් සමඟ මතු වූ ඒවා නොවෙයි. 1990 දශකයේ වෙබ් අවකාශය ප්‍රචලිත වීමට දශක ගණනාවකට පෙරත් අපේ සමාජයන් තුළ මේවා සියල්ලම පැවතියා. වෙබ් පැතිරීමත් සමග සිදුව ඇත්තේ මේ ආන්තික ප්‍රවාහයන්ට නව ගැම්මක් ලැබීමයි. එනිසා දැන් අප කළ යුතුව ඇත්තේ භෞතික ලෝකයේ වුවත්, සයිබර් අවකාශයේ වුවත්, වෛරී කථනය, ව්‍යාජ පුවත් හා ආන්තික සන්නිවේදනවලට එරෙහිව සීරුවෙන් හා බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමයි. එසේ කිරීමේදී අප සැවොම ඉහළ වටිනාකමක් දෙන භාෂණයේ නිදහස රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි. අප නොරිසි දේ කියන අයටත් භාෂණ නිදහස එක සේ හිමි බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.”

එසේම තව දුරටත් ‘නව මාධ්‍ය’ හා ‘සම්ප්‍රදායික මාධ්‍ය’ හෙවත් ‘ප්‍රධාන ධාරාවේ මාධ්‍ය’ කියා වර්ගීකරණය කිරීම ද එතරම් අදාල නැති බව මා පෙන්වා දුන්නා. සමහර සමාජවල (උදා: කොරියාව, සිංගප්පූරුව) ප්‍රධාන ධාරාව බවට ඩිජිටල් මාධ්‍ය දැනටමත් පත්ව තිබෙනවා. එසේම වසර 20කට වැඩි ඉතිහාසයක් ඇති ඩිජිටල් මාධ්‍ය තව දුරටත් එතරම් අලුත් හෝ ‘නව මාධ්‍ය’ වන්නේ ද නැහැ.

ඒ නිසා ලේබල්වලට වඩා වැදගත් සමස්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණයන්ම ජන සමාජ වලට කරන බලපෑම පොදුවේ අධ්‍යයනය කිරීමයි.

සමාජ මාධ්‍ය වේදිකා හරහා නොයෙක් පුද්ගලයන් පළකරන හෝ බෙදාගන්නා (ෂෙයාර් කරන) අන්තර්ගතයන් පිළිබඳ එකී වේදිකා හිමිකාර සමාගම් කෙතරම් වගකිව යුතුද?

2018 ජනවාරි 1 වැනිදා සිට ජර්මනියේ ක්‍රියාත්මක වන නව නීතියකට අනුව සමාජ මාධ්‍ය වේදිකාවක වෛරී ප්‍රකාශ යමකු සන්නිවේදනය කෙරුවොත් පැය 24ක් ඇතුළත එය ඉවත් කිරීමේ වගකීම් අදාළ වේදිකා පරිපාලකයන්ට භාර කැරෙනවා. එසේ නොකළොත් යූරෝ මිලියන් 50 (අමෙරිකානු ඩොලර් මිලියන් 62ක්) දක්වා දඩ නියම විය හැකියි.

සද්භාවයෙන් යුතුව හඳුන්වා දෙන ලද නව නීතියේ මාස කිහිපයක ක්‍රියාකාරීත්වය කෙසේදැයි මා විමසුවා. ජර්මන් කථීකයන් කීවේ වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා මහත් සේ වෙර දැරීම තුළ වෛරී නොවන එහෙත් අසම්මත, විසංවාදී හා ජනප්‍රිය නොවන විවිධ අදහස් දැක්වීම්ද යම් ප්‍රමාණයක් ඉවත් කොට ඇති බවයි.

දේශපාලන විවේචනයට නීතියෙන්ම තහවුරු කළ පූර්ණ නිදහස පවතින ජර්මනිය වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටකට මෙම නව නීතිය දරුණු වැඩි බවත්, එය සංශෝධනය කොට වඩාත් ලිහිල් කළ යුතු බවත් මෑතදී පත්වූ නව ජර්මන් රජය පිළිගෙන තිබෙනවා.

Image courtesy Human Rights Watch

නව නීතිය යටතේ අසාධාරණ හා සීමාව ඉක්මවා ගොස් ඉවත් කරනු ලැබූ වෙබ් අන්තර්ගතයන් අතර දේශපාලන හා සමාජයීය උපහාසය පළ කරන ප්‍රකාශනද තිබෙනවා. සමාජ ප්‍රශ්නයක් ගැන ජන අවධානය යොමු කිරීමට හාසකානුකරණය (parody) පළ කිරීම සමහර හාස්‍යජනක (satire) ප්‍රකාශනවල සිරිතයි.

එහෙත් නව නීතියේ රාමුව වුවමනාවටත් වඩා තදින් ක්‍රියාත්මක කළ ට්විටර් හා ෆේස්බුක් වැනි වේදිකාවල පරිපාලකයෝ මෙවන් හාස්‍යජනක හෝ උපහාසාත්මක අන්තර්ගතයද ජර්මනිය තුළ දිස්වීම වළක්වා තිබෙනවා.

උපහාසය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ වැදගත් අංගයක්. එයට වැට බඳින නීතියක් නැවත විමර්ශනය කළ යුතු බව ජර්මන් පර්යේෂකයන්ගේ මතයයි. (සමාජ මාධ්‍ය නියාමනය ගැන මෑත සතිවල කතා කළ ලක් රජයේ සමහර උපදේශකයෝ ජර්මන් නීතිය උදාහරණයක් ලෙස හුවා දැක්වූ බව අපට මතකයි.)

අපේ සංවාදයේ එකඟ වූ මූලධර්මයක් නම් සමාජ ව්‍යාධියකට කරන නියාමන ‘ප්‍රතිකාරය’ ව්‍යාධියට වඩා බරපතළ විපාක මතු කරන්නේ නම් එය නිසි ප්‍රතිකාරයක් නොවන බවයි.

සමුළුව පැවති තෙදින පුරා විවිධ කථීකයන් මතු කළ තවත් සංකල්පයක් වූයේ ඩිජිටල් හා වෙබ් මාධ්‍ය අතිවිශාල සංඛ්‍යාවක් බිහි වීම හරහා තොරතුරු ග්‍රාහකයන් එන්න එන්නම කුඩා කොටස්/කණ්ඩායම්වලට බෙදෙමින් සිටින බවයි.

රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සංඛ්‍යාව වැඩිවීම සමග දශක දෙක තුනකට පෙර පටන් ගත් මේ කඩ කඩ වීම (audience fragmentation)  වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම සමග බෙහෙවින් පුළුල්ව තිබෙනවා.

තමන් රිසි මති මතාන්තර පමණක් ඇසිය හැකි, දැකිය හැකි වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිටු වටා ජනයා සංකේන්ද්‍රණය වීම ‘filter bubbles‘ ලෙස හඳුන් වනවා. ඍජු පරිවර්තනයක් තවම නැතත්, තම තමන්ගේ මතවාදී බුබුලු තුළම කොටු වීම යැයි කිව හැකියි. මෙවන් ස්වයං සීමාවන්ට පත් වූ අයට විකල්ප තොරතුරු හෝ අදහස් ලැබෙන්නේ අඩුවෙන්.

පත්තර, ටෙලිවිෂන් බලන විට අප කැමති මෙන්ම උදාසීන/නොකැමති දේත් එහි හමු වනවා. ඒවාට අප අවධානය යොමු කළත් නැතත් ඒවා පවතින බව අප යන්තමින් හෝ දන්නවා. එහෙත් තමන්ගේ සියලු තොරතුරු හා විග්‍රහයන් වෙබ්/සමාජ මාධ්‍යවල තෝරා ගත් මූලාශ්‍ර හරහා ලබන විට මේ විසංවාද අපට හමු වන්නේ නැහැ.

එහෙත් අපේ සංවාදයට නව මානයක් එක් කරමින් මා කීවේ ඔය කියන තරම් ඒකාකාරී මූලාශ්‍රවලට කොටු වීමක් අපේ වැනි රටවල නම් එතරම් දක්නට නැති බවයි. විවිධාකාර මූලාශ්‍ර පරිශීලනය කොට යථාර්ථය පිළිබඳ සාපේක්ෂව වඩාත් නිවැරදි චිත්‍රයක් මනසේ ගොඩ නගා ගන්නට අප බොහෝ දෙනෙක් තැත් කරනවා.

Some of the participants at session on “Digitalization and polarization of the media” at DW Global Media Forum 2018

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉන්ටර්නෙට් පර්යේෂණායතනය (Oxford Internet Institute)  2018 මාර්තුවේ පළ කළ සමීක්ෂණයකින්ද මෙබන්දක් පෙන්නුම් කරනවා. වයස 18ට වැඩි, ඉන්ටර්නෙට් භාවිත කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් 2000ක සාම්පලයක් යොදා ඔවුන් කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ තනි හෝ පටු වෙබ් මූලාශ්‍රයන්ට කොටු වීමේ අවදානම තිබුණේ සාම්පලයෙන් 8%කට පමණක් බවයි.

එනම් 92%ක් දෙනා බහුවිධ මූලාශ්‍ර බලනවා. මතු වන තොරතුරු අනුව තමන්ගේ අදහස් වෙනස් කර ගැනීමට විවෘත මනසකින් සිටිනවා.

බොන් මාධ්‍ය සමුළුවේ අප එකඟ වූයේ ජනමාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණයන් සමාජයට, ආර්ථීකයට හා දේශපාලන ක්‍රියාදාමයන්ට කරන බලපෑම් ගැන  සමාජ විද්‍යානුකූලව, අපක්ෂපාත ලෙසින් දිගටම අධ්‍යයනය කළ යුතු බවයි. ආවේගයන්ට නොව සාක්ෂි හා විද්වත් විග්‍රහයන්ට මුල් තැන දෙමින් නව ප්‍රතිපත්ති, නීති හා නියාමන සීරුවෙන් සම්පාදනය කළයුතු බවයි.

අමෙරිකානු සමාගම්වලට අයත් ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි වේදිකා සිය ජන සමාජයන්හි මහත් සේ ප්‍රචලිත වී තිබීම ගැන සමහර යුරෝපීය ආණ්ඩුවල එතරම් කැමැත්තක් නැහැ. එහෙත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට හා මානව නිදහසට ගරු කරන රාජ්‍යයන් ලෙස ඔවුන් වෙබ් වාරණයට, අනවශ්‍ය ලෙස නියාමනයට විරුද්ධයි. ලිහිල් ලෙසින්, අවශ්‍ය අවම නියාමනය ලබා දීමේ ක්‍රමෝපායයන් (light-touch regulation strategies) ඔවුන් සොයනවා.

මේ සංවාද පිළිබඳව අවධියෙන් සිටීම හා යුරෝපීය රටවල අත්දැකීම් අපට නිසි ලෙස අදාළ කර ගැනීම වැදගත්. අපේ ආදර්ශයන් විය යුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රීය රටවල් මිස දැඩි මර්දනකාරී චීනය වැනි රටවල් නොවේ.

Speakers for the DW-GMF 2018 session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public”

Disasters & media response: මාධ්‍ය මූලික වගකීම් අතපසු කොට ආධාර එකතු කිරීම වැරදියි!

My comments (in Sinhala) on mass media’s role in disaster response, published by Ravaya broadsheet newspaper on 4 June 2017.

Summary: In the aftermath of all recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All that is well and good – except that news coverage for their own relief work often eclipses the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin? I argue that media houses must be free to embark on relief efforts, but ideally they should do so having fulfilled their primary responsibility of reporting on and critiquing the post-disaster realities. Sri Lanka’s media reporting of disasters is often superficial, simplistic and incident-driven, which needs to improve to become more investigative, reflective and sustained beyond the immediate news cycle of a disaster. Without fixing these deficiencies, media houses getting into aid collection and donation is a sign of wrong priorities.

මාධ්‍ය මූලික වගකීම් අතපසු කොට ආධාර එකතු කිරීම වැරදියි!

නාලක ගුණවර්ධන, විද්‍යා ලේඛක හා මාධ්‍ය පර්යේෂක

Cartoon by Namal Amarasinghe, Daily Mirror, 31 May 2017

සොබාවික උවදුරු මානව සමාජයන්ට හානි කරන විට එයට ආපදා යයි කියනවා. ආපදාවකට පෙර, ආපදාව දිග හැරෙන විට ආ ඉන් පසුව ටික කලක් යන තුරු ප්‍රශස්ත සන්නිවේදනවලට මාහැඟි මෙහෙවරක් ඉටු කළ හැකියි. ජන මාධ්‍යවලට මේ සඳහා ලොකු විභවයක් මෙන්ම වගකීමක් ද තිබෙනවා.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන සුනාමි වැනි ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය වැදගත්. ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට තීරණාත්මක කාර්ය භාරයක් හිමි වනවා.

ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි. මේවායේ නිල තොරතුරු හා විග්‍රහයන් තිබෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරන කේන්ද්‍රය වැනි ආයතනවලට වඩා කඩිනමින් හා කාර්යක්ෂමව තොරතුරු ජනගත කරන්න මාධ්‍ය (හා සමාජමාධ්‍ය) වලට ධාරිතාව තිබෙනවා.

ගංවතුර හා නායයාම් වැනි ආපදා දිග හැරෙන විට දෙස් විදෙස් මූලාශ්‍රවලින් අලුත්ම තොරතුරු ලබා ගෙන, ඒවා සරලව හා නිරවුල්ව මාධ්‍ය ග්‍රාහකයන්ට ලබා දීම හරහා බොරු භීතිකා අවම කර ගන්නා අතර ජීවිත බේරන්න පවා මාධ්‍යවලට හැකියි.

ඉන් පසු මාධ්‍යවල වැදගත්ම කාරිය නම් ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම මාධ්‍ය ආවරණය සැපයීමයි. විපතට පත් වූවන් බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිර යාම ගැන අනතුරු ඇඟවීම්  ආදි බොහෝ තොරතුරු මාධ්‍යවලට බෙදා හැරිය හැකියි. මේවා පොදු උන්නතියට සෘජුවම අදාලයි.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම්, තහවුරු කර ගත් සාක්ෂි මත ඒවා වාර්තා කිරීමයි.

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa, May 2016

ආපදා පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු ද? මෙය බෙහෙවින් විවාදාත්මක කරුණක්. මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රවේශ වනු අප දුටුවා. මෙවරද ඔවුන් එය පටන් අරන්.

මෙසේ කරන්නට මාධ්‍ය සමාගම්වලට නිදහසක් තිබෙනවා. එය පැවතිය යුතුයි. මගේ මතය නම් තම මූලික වගකීම් සියල්ල ඉටු කළ පසු, ඉඩක් හා කාලයක් ඉතිරිව තිබේ නම් තමන් ද ආධාර එකතු කොට බෙදීමට මාධ්‍ය යොමු වුණාට කමක් නැතැයි කියායි.

මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා, එකී මාධ්‍ය ආයතනයේ ප්‍රධාන වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ ලොකු අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් තනි ආපදා සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.

එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ  කලාතුරකින්. පුවත්පත් යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය මෙය බොහෝ දුරට නොතකා හරිනවා.

මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා ඇත්තේ වැරදි තැනකයි.

ජනතාවගේ ලේ, කඳුලු හා අකල් මරණවලින්ම නඩත්තු වන ටෙලිවිෂන් නාලිකා දෙක තුනක් මෙරට තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ත්‍රාසජනක හා සන්වේගදායක පුවත් පමණයි. නාලිකා අතර බිහිසුනු රේටින් (ජනප්‍රියතාව ශ්‍රේණිගත කිරීමේ) බලු පොරය මෙයට ප්‍රධාන හේතුවක්. සියලු ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශයන් රේටින්වලින් නිදහස් කළ යුතු යයි මා විශ්වාස කරනවා.

එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍ය, එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.

”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.

රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම පැහැර හැරීමක්.

See also, 3 Oct 2016: සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?

BBC Sinhala interview after US Presidential Election 2016: සමීක්ෂණ හා සෑබෑ ජනමතය අතර ගැටුමක්

Within hours of the US Presidential Election’s results becoming known on 9 November 2016, I gave a telephone interview to BBC Sinhala service. They asked me how almost all the opinion polls did not see Donald Trump winning the election, even though many polls said it was going to be a close contest.

http://www.bbc.com/sinhala/sri-lanka-37930295
http://www.bbc.com/sinhala/sri-lanka-37930295

සමීක්ෂණ හා සෑබෑ ජනමතය අතර ගැටුමක්

නොනවතින තොරතුරු ප්‍රවාහයක පිහිනීමට බටහිර රටවල් ඇතුළු ලොව බොහෝ රටවල ජනතාවට අවස්ථාව ලැබී තිබුණ ද, ඒ බොහෝ තොරතුරු ‘දූෂිත’ හෝ ‘විකෘති කරන ලද’ තොරතුරු වීම වර්තමාන සමාජය මුහුණදෙන අභියෝගයක් බව සමාජ මාධ්‍ය ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.

දැනට වොෂින්ටනයේ සංචාරයක නිරතව සිටින නාලක ගුණවර්ධන ඒ අදහස් පළ කළේ අඟහරුවාදා (නොවැ. 08) පැවති ජනපතිවරණයේදී බොහෝ ජනමත සමීක්ෂණවල අනාවැකි බැහැර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය ලැබීම පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි.

වෙනත් ආයතනවල ජනමත සමීක්ෂණ ඇසුරින් බීබීසී සකස් කළ ජනමත සමීක්ෂණය අනුව ද අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය වනවිටත් හිලරි ක්ලින්ටන් ඒකක හතරකින් ඉදිරියෙන් සිටියාය.

“ඇත්තටම මේක අද ඇමෙරිකාව පුරා මාධ්‍ය ආයතන සහ ජනමත සමීක්ෂණ ආයතනවල ප්‍රධානම ප්‍රශ්නය බවට පත්වෙලා තියනවා,” නාලක ගුණවර්ධන පැවසීය.

“අදහගන්න බැහැ සියලුම ජනමත සමීක්ෂණ සැබෑ ජනමතයෙන් මෙතරම් දුරස් වුනේ කොහොමද කියල.” යැයි පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ කළ හැක්කේ අනුමාන පළකිරීම පමණක් බව කීය.

‘ජනමත සමීක්ෂණ සැබෑ ජනමතයෙන් මෙතරම් දුරස් වුනේ කොහොමද?’

ජනමත සමීක්ෂණ පිළිබඳව ඇමෙරිකානු ජනතාව කිසියම් කලකිරීමක් දැක්වීම හේතුවෙන් ඔවුන් සිය අවංක මතය හෙළි නොකළේය යන්න එවැනි එක් අනුමානයක් බව ද ඔහු සඳහන් කළේය.

පසුගියදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ ‘Brexit’ ජනමත විචාරණයේදීත් මේ හා සමානම තත්වයක් මතුවීම ජනමත විචාරණ ක්‍රමවේදයේ වරදක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ ක්‍රමවේදයේත් අසම්පූර්ණතා පවතින බව කලක් මුලුල්ලේම දැනසිටි බවය.

එමෙන්ම ජනතාව තවදුරටත් සිය අවංක මතය පළකිරීමට උනන්දුවක් නැති නම් සමස්ත ජනමත විචාරණ කර්මාන්තයම කඩාවැටීමේ අනතුරක් පවතින බව ද නාලක ගුණවර්ධන සඳහන් කළේය.

ඒ සියල්ලටම වඩා ඇමෙරිකානු මැතිවරණයෙන් මතු වූ බරපතලම අභියෝගය වූයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගලා ගිය තොරතුරු අතුරින් ‘සැබෑව සහ මිත්‍යාව වෙන් කරගැනීම’ බව ඔහු පෙන්වා දුණි.

එක් අතෙකින් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ජනතාවට තොරතුරු ලබාගැනීමේ අවකාශයක් මතු වී තිබෙන අතරම ඒ තොරතුරු අතරින් සත්‍යය සහ සම්පූර්ණ තොරතුරු සොයා ගැනීම අභියෝගයක් මෙන්ම ඉතා පරස්පර සංසිද්ධියක් බව ද නාලක ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

What is the role of mass media in times of disaster? I have written on this for many years, and once edited a regional book on the subject (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007).

The question has come up again after Dr Ranga Kalansooriya, Director General of the Lankan government’s Department of Information, wanted the media to give preeminence to its watchdog function and pull back from supplying relief in the aftermath of disasters.

As Dr Rohan Samarajiva, who was present at the event, noted, “Some of his comments could even be interpreted as suggestive of a need to prohibit aid caravans being organized by the media. But I do not think this will happen. The risks of being seen as stifling the natural charitable urges of the people and delaying supplies to those who need help are too high…”

Ranga raised a valid concern. In the aftermath of recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All well and good – except that coverage for their own relief work often eclipsed the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin?

For simply raising this concern in public, some broadcast houses have started attacking Ranga personally. In my latest Ravaya column (in Sinhala, appearing in the print issue of 2 October 2016), I discuss the role and priorities of media at times of disaster. I also remind Sirasa TV (the most vocal critic of Ranga Kalansooriya) that ‘shooting the messenger’ carrying unpalatable truths is not in anybody’s interest.

Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind
Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය අද මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුම මෙන්ම අත්දැකීම් ද බහුල විද්වතෙක්.

කිසි දිනෙක නිවුස් රූම් එකක් දැකලාවත් නැති පොතේ ගුරුන් මාධ්‍ය විශේෂඥයන් යයි කියා ගන්නා රටක ප්‍රවෘත්ති කලාවේ සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගිකත්වය ද එක් තැන් කරන රංග වැනි අය දුර්ලභයි.

මෑතදී ආපදා කළමනාකරණ කේන‍ද්‍රය (DMC) සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවකදී රංග කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.(එම වැඩමුළුවට මටද ඇරැයුම් කර තිබුණත් ප්‍රතිපත්තිමය හේතුවක් මත මා එහි ගියේ නැහැ. ඒනිසා ඔහුගේ ප්‍රකාශය මා දැනගත්තේ මාධ්‍ය වාර්තාවලින් හා එතැන සිටි මහාචාර්ය රොහාන් සමරජීව හරහා.)

ආපදාවක් සිදු වූ විටෙක මාධ්‍යවල කාර්ය භාරය කුමක්දැයි සාකච්ඡා කරන විට රංග විවෘත අදහස් දැක්වීමක් කළා. ආපදාව පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු දැයි ඔහු ප්‍රශ්න කළා.

මෙයට පසුබිම වන්නේ මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් යොමු වීමයි.

රංග කළ ප්‍රකාශය සංවාදයකට නිමිත්තක් වී තිබෙනවා. මාධ්‍ය ප්‍රතිව්‍යුහකරණය ගැන අවධාන යොමු වී ඇති මේ කාලයේ මෙබඳු සංවාද අවශ්‍යයි.

Communicating Disasters - 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha
Communicating Disasters – 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha

ආපදා අරභයා මාධ්‍ය කාර්යභාරය කුමක්ද? මේ ගැන මා දේශීයව හා ජාත්‍යන්තරව වසර 20කට වඩා සංවාද කොට තිබෙනවා. 2004 සුනාමියෙන් මාස 18ක් ඉක්ම ගිය පසු මේ ගැන එක්සත් ජාතීන්ගේ ආසියානු කලාපීය සන්නිවේදක රැස්වීමක් මෙහෙවීමෙන් හා කලාපීය ග්‍රන්ථයක් (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007) සංස්කරණයෙන් ලත් අත්දැකීම් මා සතුයි.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය ගැන මීට පෙර අප කථා කොට තිබෙනවා.

ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීමයි. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇඟවීම්  ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කර ගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. කැමති මාධ්‍යවලට එයට නිදහස තිබිය යුතුයි. මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා මාධ්‍යයේ ප්‍රධාන සමාජ වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

උදාහරණයක් ගනිමු. 2016 මැයි මස මැදදී රෝනු සුළිසුළඟ (Cyclone Roanu) සමග පැමිණි මහ වැසි නිසා මහා කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ රැසක ජලගැලීම්, ගංවතුර හට ගත්තා. නායයාමට ඉඩ ඇති සමහර ප්‍රදේශවල බරපතළ නායයෑම් සිදු වුණා.

Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016
Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016

මේ ආපදා හමුවේ DMC දැක් වූ ප්‍රතිචාරය රජය තුළින්මත්, විපත පත් මහජනතාව අතරත් දැඩි විවේචනයට ලක් වුණා. නිසි සූදානමක් හා සම්බන්ධීකරණයක් නොතිබූ බව පැහැදිලියි.

ආපදා ප්‍රතිචාරයේ නිල වගකීම දරණ රාජ්‍ය තන්ත්‍රය දුර්මුඛව, අකර්මන්‍යව සිටින අතරේ ඒ හිදැස පිරවීමට ඉදිරිපත් වූයේ හමුදාව, ස්වේච්ඡා ආයතන මෙන්ම එවේලේ ස්වකැමැත්තෙන් (spontaneously) එක් වූ පුරවැසි කණ්ඩායම්.

විපතට පත් වූවන් බේරා ගන්නට, ආධාර බෙදන්නට හා වෙනත් සහනසේවා සපයන්නට මේ පිරිස් නොමසුරුව පෙරට ආවා. මේ අතර මාධ්‍ය ආයතන ගණනාවක් ද සිටියා.

පුළුල් පෙදෙසක් හරහා පැතිරී මහා පරිමානයක හානි සිදුව තිබුණා. DMC වඩාත් සූදානම්ව හා කාර්යක්ෂමව සිටියා යැයි මොහොතකට උපකල්පනය කළත් මෙම ආපදාවට සියලු ප්‍රතිචාර ලබා දෙන්නට එයට හැකි වන්නේ නැහැ.

ආපදා ප්‍රතිචාරය  හා කළමනාකරණය රාජ්‍ය ආයතනයක ඒකාධිකාරයක් නොවිය යුතුයි. රාජ්‍ය මැදිහත්වීම හා නිල තීරණ ගැනීම අත්‍යවශ්‍ය තැන්හිදී (උදා: අන්තරාදායක තැන්වලින් ජනයාට තාවකාලීකව ඉවත් වන්නට යයි කීම) ඔවුන් මුල් තැන ගන්නා අතර අන් අවස්ථාවල පහසුකම් සළසන්නා (Facilitator) වීමයි වැදගත්.

Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)
Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)

අකාර්යක්ෂම, අසංවේදී හා අධිනිලධාරීවාදී රාජ්‍ය ආපදා ප්‍රතිචාර හමුවේ විපතට පත් පුරවැසියන්ට පිහිට වීමට පෙරට ආ සියලු රාජ්‍ය නොවන පාර්ශවයන්ට අපේ ප්‍රණාමය හිමි වනවා. මේ අතර මාධ්‍ය ආයතනද සිටිනවා.

ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.

එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ  කලාතුරකින්. පුවත්පත් මෙය යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය නොතකා හරිනවා.

මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා කොතැනදැයි අප ප්‍රශ්න කළ යුතුයි.

එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍යල එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.

”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.

රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම යම් තරමකට පැහැර හැරීමක් යැයි තර්ක කළ හැකියි.

තවත් මානයක් මා මෙහිදී දකිනවා. මාධ්‍යවලට සමාජයක පෙර ගමන්කරුවා විය හැකියි. අහිතකර ප්‍රවණතා අන්ධානුකරණය කරනු වෙනුවට අභීතව සමාජය හරි මගට යොමු කළ හැකියි.

අපේ දේශපාලකයන් හැම පොදු කටයුත්තක්ම අතිශයෝක්තිමය සංදර්ශනාත්මක වැඩක් බවට පත් කර ගන්නවා. හැමදේම “අහවල්තුමාගේ උතුම් සංකල්පයක් මත, සිදු කරනවා”ලු…

මහජන මුදලින් පාරක්, පාලමක්, ගොඩනැගිල්ලක් තනන විට මුල්ගලේ සිට විවෘත කිරීම දක්වා තමන්ගේ නම් හා රූප යොදා ගනිමින් පාරම් බානවා. රාජපක්ෂ රෙජීමය මහජනතාවට තිත්ත වීමට එක් හේතුවක් වූයේත් මේ සංදර්ශනකාමයයි.

හොඳ වැඩක් කොට නිහඬව හා නිහතමානීව එහි ප්‍රතිඵල අත් විඳීමට හැකි සමාජයක් කරා යා හැකි නම් කෙතරම් අපූරුද? එහෙත් ආපදා වැනි කණගාටුදායක අවස්ථාවල පවා සමාජ සුබසාධනය වටා සංදර්ශනාත්මක පම්පෝරියක් ද මුදා හැරීම නිර්ලජ්ජිත දේශපාලකයන් කරනවා. එහෙත් මාධ්‍ය ආයතන එම රැල්ලටම හසු විය යුතුද?

මෙලොව හා එලොව හිත සුව පිණිස පුද්ගලිකව සමාජ සුබසාධනයේ නියැලෙන මාධ්‍යවේදීන් ද සිටිනවා. ගිය සතියේ මා සහභාගී වූ වැඩමුලුවකට ආ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ආඩම්බරයෙන් කීවේ තම ප්‍රදේශයේ නැති බැරි අයට තමා මේ දක්වා නිවාස 48ක් සාදා දී ඇති බවයි. මෙය යහපත් වැඩක් වුවත්, මාධ්‍යවේදියාගේ කාර්යභාරයට අයත් වේදැයි එහි සිටි අනෙක් මාධ්‍යවේදීන් වාදවිවාද කළා.

Sri Lanka's floods in Colombo suburbs, May 2016 - Photo by Uchinda Padmaperuma, from Facebook
Sri Lanka’s floods in Colombo suburbs, May 2016 – Photo by Uchinda Padmaperuma, from Facebook

මේ සියල්ල මෙසේ වෙනත්, සමාජ සුබසාධන කටයුතුවල යෙදීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය මා පිළිගන්නවා. අවශ්‍ය වන්නේ ප්‍රමුඛතා හා වගකීම් හරිහැටි තෝරා බේරා ගෙන කළමනාකරණය කිරීම පමණයි. එසේම එකතු කරන මහජන ආධාර සියල්ලට වග විය යුතුයි.

ඒ අතර කාලීනව හා සමාජයීයව වැදගත් ප්‍රශ්නයක් ඇසූ රංග කලන්සූරිය ඉලක්ක කර ගෙන පෞද්ගලිකව ඔහුට වාග් ප්‍රහාර එල්ල කිරීම නම් පිළිගත නොහැකියි. ඔහුගේ මතයට විකල්ප මත හූවා දැක්වීමෙන් නතර නොවී ඔහුගේ මානසික සෞඛ්‍යය පවා ප්‍රශ්න කරන තැනකට සිරස මාධ්‍ය ආයතනය යොමු වීම කණගාටුදායකයි.

සිරස පන්න පන්නා රංග කලන්සූරියට පහරදීම මා දකින්නේ තමන් අසන්නට නොකැමති විග්‍රහයක් ගෙනා අයකු ගැන කිපී, ඔහුට සියලු වැර දමා ප්‍රහාරයක් දියත් කිරීමක් ලෙසයි.

‘Don’t shoot the messenger’ හෙවත් අමිහිරි පුවතක් රැගෙන එන පණිවුඩකරුවාට වෙඩි නොතබන්න යයි ප්‍රකට ඉංග්‍රීසි කියමනක් තිබෙනවා.

2009 ජනවාරියේ පන්නිපිටියේ සිරස මැදිරි සංකීර්ණයට සංවිධානාත්මක මැර ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් ප්‍රසිද්ධ අවකාශයේ පෙනී සිටිමින් මා හුවා දැක්වූයේත් මෙයයි.

ගෙවී ගිය ගනඳුරු දශකයේ (2005-2014) අධිකතම ඝනාන්ධකාරය පැවති 2009 වසරේ එබඳු ප්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම පවා අවදානම් සහගත වූවා. එහෙත් ඒ අවදානම ගනිමින්, සිරසට එල්ල වූ ප්‍රහාරය සමස්ත මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරයක් බව 2009 ජනවාරි 7 වනදා මගේ බ්ලොග් එක හරහා කියා සිටියා.

7 January 2009: Attack on Sirasa TV: Who wants to create a headless Sri Lankan nation?

”දකුණු ආසියාව පුරා පැතිර යන ඉතා අහිතකර ප්‍රවණතාවක් නම් දිරවා ගන්නට නොහැකි පුවත් හා මතයන් ගෙන එන මාධ්‍යවලට පහර දී ඔවුන් නිහඬ කිරීමට තැත් කිරීමයි. ඒ හරහා සෙසු මාධ්‍යවලටද හීලෑවීමට බරපතළ අනතුරු ඇඟවීමක් කිරීමයි.”

මා ඉංග්‍රීසියෙන් පමණක් ලියු යුගයේ කළ එම ප්‍රකාශය පසුව ප්‍රකාශන නිදහස ගැන ක්‍රියාත්මක වන විදෙස් ආයතන පවා උපුටා දක්වා තිබුණා.

එදා සිරසට ප්‍රහාර එල්ල කළ විට කී වැකියම අද සිරස රංගට (වාග්) ප්‍රහාර දෙන විටත් කීමට මට සිදු වනවා. ඔබට දිරවා ගත නොහැකි යමක් රංග කීවා නම් එහි හරය මෙනෙහි කරන්න. එසේ නැතිව එය ප්‍රකාශ කළ පුද්ගලයා ඉලක්ක නොකරන්න.

පොදු අවකාශයේ අප කරන කියන සියල්ල සංවාදයට විවෘතයි. එහෙත් එම සංවාද සංයමයෙන්, තර්කානුකූලව හා බුද්ධිගෝචරව කිරීමේ වගකීම අප කාටත් තිබෙනවා.

Nalaka Gunawardene blog post condemning  military style attack on Sirasa TV complex in Jan 2009
Nalaka Gunawardene blog post condemning
military style attack on Sirasa TV complex in Jan 2009

 

ආපදා අවස්ථාවල මානුෂික ආධාර එකතු කිරීම හා බෙදීම මාධ්‍යවලට සුදුසුද? එසේ කළත් ඒ ගැන පම්පෝරි ගැසීම හරිද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

ආපදා අවස්ථාවල මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතාම වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීම. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇගවීම් ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත් කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කරගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. එතැනදීත් තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට නොකළ යුතුයි.

මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි. රාජ්‍ය මාධ්‍ය කළත්, පුද්ගලික මාධ්‍ය කළත් වැඩේ වැරදියි.

Social Media in Sri Lanka: Do Science and Reason Stand a Chance?

Nalaka Gunawardene speaks on "Using Social Media for Discussing Science" at the Science, Technology & Society Forum in Colombo, Sri Lanka, 9 Sep 2016. Photo by Smriti Daniel
Nalaka Gunawardene speaks on “Using Social Media for Discussing Science” at the Science, Technology & Society Forum in Colombo, Sri Lanka, 9 Sep 2016. Photo by Smriti Daniel

Sri Lanka’s first Science and Technology for Society (STS) Forum took place from 7 to 10 September in Colombo. Organized by the Prime Minister’s Office and the Ministry of Science, Technology and Research, it was one of the largest gatherings of its kind to be hosted by Sri Lanka.

Modelled on Japan’s well known annual STS forums, the event was attended by over 750 participants coming from 24 countries – among them local and foreign scientists, inventors, science managers, science communicators and students.

I was keynote speaker during the session on ‘Using Social Media for Discussing Science Topics’. I used it to highlight how social media have become both a boon and bane for scientific information and thinking in Sri Lanka. This is due to peddlers of pseudo-science, anti-science and superstition being faster and better to adopt social media platforms than actual scientists, science educators and science communicators.

Social Media in #LKA:Do Science & Reason stand a chance? Asks Nalaka Gunawardene
Social Media in #LKA:Do Science & Reason stand a chance? Asks Nalaka Gunawardene

Sri Lanka takes justified pride in its high literacy levels and equally high coverage of vaccination against infectious diseases. But we cannot claim to have a high level of scientific literacy. If we did, it would not be so easy for far-fetched conspiracy theories to spread rapidly even among educated persons. Social media tools have ‘turbo-charged’ the spread of associated myths, superstitions and conspiracy theories!

I cautioned: “Unless we make scientific literacy an integral part of everyone’s lives, ambitious state policies and programmes to modernize the nation could well be jeopardized. Progress can be undermined — or even reversed — by extremist forces of tribalism, feudalism and ultra-nationalism that thrive in a society that lacks the ability to think critically.”

It is not a case of all doom and gloom. I cited examples of private individuals creatively using social media to bust myths and critique all ‘sacred cows’ in Lankan society – including religions and military. These voluntary efforts contrast with much of the mainstream media cynically making money from substantial advertising from black magic industries that hoodwink and swindle the public.

My PowerPoint presentation:

 

Video recording of our full session:

 

The scoping note I wrote for our session:

Sri Lanka STS Forum panel on Using Social Media for Discussing Science Topics. 9 Sep 2016. L to R - Asanga Abeygunasekera, Nalaka Gunawardene, Dr Piyal Ariyananda, Dr Ananda Galappatti & Smriti Daniel
Sri Lanka STS Forum panel on Using Social Media for Discussing Science Topics. 9 Sep 2016.
L to R – Asanga Abeygunasekera, Nalaka Gunawardene, Dr Piyal Ariyananda, Dr Ananda Galappatti &
Smriti Daniel

Session: Using Social Media for Discussing Science Topics

With 30 per cent of Sri Lanka’s 21 million people regularly using the Internet, web-based social media platforms have become an important part of the public sphere where myriad conversations are unfolding on all sorts of topics and issues. Facebook is the most popular social media outlet in Sri Lanka, with 3.5 million users, but other niche platforms like Twitter, YouTube and Instagram are also gaining ground. Meanwhile, the Sinhala and Tamil blogospheres continue to provide space for discussions ranging from prosaic to profound. Marketers, political parties and activist groups have discovered that being active in social media is to their advantage.

Some science and technology related topics also get discussed in this cacophony, but given the scattered nature of conversations, it is impossible to grasp the full, bigger picture. For example, some individuals or entities involved in water management, climate advocacy, mental health support groups and data-driven development (SDG framework) are active in Sri Lanka’s social media platforms. But who is listening, and what influence – if any – are these often fleeting conservations having on individual lifestyles or public policies?

Is there a danger that self-selecting thematic groups using social media are creating for themselves ‘echo chambers’ – a metaphorical description of a situation in which information, ideas, or beliefs are amplified or reinforced by transmission and repetition inside an “enclosed” system, where different or competing views are dismissed, disallowed, or under-represented?

Even if this is sometimes the case, can scientists and science communicators afford to ignore social media altogether? For now, it appears that pseudo-science and anti-science sentiments – some of it rooted in ultra-nationalism or conspiracy theories — dominate many Lankan social media exchanges. The keynote speaker once described this as Lankan society permanently suspending disbelief. How and where can the counter-narratives be promoted on behalf of evidenced based, rational discussions? Is this a hopeless task in the face of irrationality engulfing wider Lankan society? Or can progressive and creative use of social media help turn the tide in favour of reason?

This panel would explore these questions with local examples drawn from various fields of science and skeptical enquiry.

 

 

සිවුමංසල කොලූගැටයා #276: අසාර්ථක වූ තුර්කි කුමන්ත්‍රණයෙන් මතු වන නවීන සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (appearing in the print issue of 24 July 2016), I discuss the role of new communications technologies and social media during the coup d’état that was attempted in Turkey against the government on the night of on 15 July 2016.

The attempt was carried out by a faction within the Turkish Armed Forces that organized themselves under a council called the Peace at Home Council. Reasons for its failure have been widely discussed.

Citizen resistance to Turkey coup on 16 July 2016 - wire service photos
Citizen resistance to Turkey coup on 16 July 2016 – wire service photos

As Zeynep Tufekci, an assistant professor at the University of North Carolina School of Information and Library Science, described in a New York Times op-ed on 20 July 2016: “In the confusing hours after the coup attempt began, the country had heard from President Recep Tayyip Erdogan — and even learned that he was alive — when he called a television station via FaceTime, an easy-to-use video chat app. As the camera focused on the iPhone in the anchor’s hand, the president called on the people of Turkey to take to the streets and guard the airports. But this couldn’t happen by itself. People would need WhatsApp, Twitter and other tools on their phones to mobilize. The president also tweeted out the call to his more than eight million followers to resist the coup.”

She added: “The journalist Erhan Celik later tweeted that the public’s response had deterred potential coup supporters, especially within the military, from taking a side…Meanwhile, the immediacy of the president’s on-air appeal via FaceTime was an impetus for people to take to the streets. The video link protected the government from charges that it was using fraud or doctoring — both common in the Turkish news media — to assure the public that the president was safe. A phone call would not have worked the same way.”

I discuss the irony of a leader like Erdogan, who has been cracking down on independent media practitioners and social media users, had to rely on these very outlets in his crucial hour of need.

I echo the views of Zeynep Tufekci for not just Turkey but other countries where autocratic rulers are trying to censor the web and control the media: “The role of internet and press freedoms in defeating the coup presents a significant opportunity. Rather than further polarization and painting of all dissent as illegitimate, the government should embrace real reforms and reverse its censorship policies.”

See also: How the Internet Saved Turkey’s Internet-Hating President

Photo from The Daily Beast
Photo from The Daily Beast

කුමන හෝ හේතුවක් නිසා රටක දේශපාලන බලය බලහත්කාරයෙන් අත්කර ගැනීමට එරට හමුදාවට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

එහෙත් විටින් විට ලෝකයේ විවිධ රටවල හමුදා කුමන්ත්‍රණ සිදුවනවා. දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය හා පාකිස්ථානය මේ අමිහිරි අත්දැකීම් රැසක් ලබා තිබෙනවා.

යුරෝපය හා ආසියාව හමු වන තැන පිහිටි තුර්කියේ මීට දින කීපයකට පෙර අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණයට මා අවධානය යොමු කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් එහි වැදගත් භූමිකාවක් ඉටු කළ නිසායි.

නව මාධ්‍යයන් හරහා කුමන්ත්‍රණයට එරෙහිව මහජනයා පෙළ ගැස්වීමට එරට නායකයා සමත් වුණා. විශාල අවි හා සෙබල බල පරාක්‍රමයක් සතු හමුදාවක් ජන බලය හා සන්නිවේදන හැකියාව හරහා ආපසු බැරැක්කවලට යැවීමට හැකි වීම විමසා බැලිය යුතු සංසිද්ධියක්.

කුමන්ත්‍රණය මාස ගණනක් සිට සූක්ෂ්ම ලෙසින් සැලසුම් කරන ලද බව හෙළි වී තිබෙනවා. රටට සාමය සඳහා සභාව (Peace at Home Council) ලෙසින් සංවිධානය වූ තුර්කි හමුදාවේ කොටසක් තමයි මේ උත්සාහයේ යෙදුණේ.

එහි අක්මුල් තවමත් හරිහැටි පැහැදිලි නැහැ. එහෙත් 2016 ජූලි 15-16 දෙදින තුළ ඔවුන් රටේ බලය අල්ලා ගන්නට ප්‍රචණ්ඩව තැත් කළා.

තුර්කි ජනාධිපති රෙචෙප් ටයිප් අර්ඩොගන් (Recep Tayyip Erdoğan) කෙටි නිවාඩුවකට අගනුවරින් බැහැරව, මර්මාරිස් නම් පිටිසර නිවාඩු නිකේතනයේ සිිටියා. ජූලි 15-16 මධ්‍යම රාත්‍රියට ආසන්නව යුද්ධ ටැංකි එරට අගනුවර අන්කාරා, විශාලතම නගරය වන ඉස්තාන්බුල් හා තවත් ප්‍රධාන නගරවලට ඇතුළු වුණා. ප්‍රහාරක ගුවන් යානා පහළින් පියාසර කළා.

තම බලය පෙන්වීමට හමුදා කුමන්ත්‍රණකරුවෝ කිහිප පොළක ප්‍රහාර දියත් කළා. රටේ පාර්ලිමේන්තු මන්දිරයට හා ජනාධිපති මැදුරට හානි සිදු කෙරුණා.

කුමන්ත්‍රණකරුවන්ගේ එක් ඉලක්කයක් වූයේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීමයි. එහෙත් කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ඔහුගේ ආරක්ෂක පිරිස ඔහු නැවතී සිටි නිවාඩු නිකේතනයෙන් රහසිගත තැනකට ගෙන ගියා.

මැදියම් රැය පසු වූ විගස රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් (TRT) ආයතනයට ඇතුලු වූ හමුදා පිරිසක්, එහි සිටි නිවේදකයන්ට ප්‍රකාශයක් කියවන මෙන් බලකර සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය හා නිර්ආගමික පාලනය රටේ යළි ස්ථාපිත කිරීමට හමුදාව බලය පවරා ගන්නා බව එහි සඳහන් වුණා. තාවකාලිකව මාෂල් නීතිය ක්‍රියාත්මක කරන බවත්, නව ව්‍යවස්ථාවක් ළඟදීම හඳුන්වා දෙන බවත් හමුදා කුමන්ත්‍රණකරුවෝ රටට ප්‍රකාශ කළා.

The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe
The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe

පාන්දර 3.10 වනවිට තමන් රටේ සමස්ත පාලන බලය සියතට ගෙන ඇති බව කුමන්ත්‍රණකරුවන් ලොවට කීවත් එය එසේ වූයේ නැහැ. ජනාධිපති අර්ඩොගන් හා අගමැති බිනාලි යිල්දිරිම් (Binali Yıldırım) ඒ තීරණාත්මක අලුයම පැය කිහිපයේ තීක්ෂණ ලෙසින් සිය ප්‍රතිරෝධය දියත් කළා.

හමුදා කුමන්ත්‍රණකරුවන් දේශපාලනික හා සම්ප්‍රදායික රාජ්‍ය මාධ්‍ය මර්මස්ථාන මුලින් ඉලක්ක කළ නමුත් නව සන්නිවේදන තාක්ෂණයන් හා නව මාධ්‍ය ගැන අවධානයක් යොමු කළේ නැහැ. පළපුරුදු හා සටකපට දේශපාලකයකු වන තුර්කි ජනාධිපතිවරයා මේ දුර්වලතාව සැනෙකින් වටහා ගත්තා.

තුර්කිය විශාල රටක්. ලෝක බැංකු දත්තවලට අනුව එරට මිලියන 80කට ආසන්න ජනගහනයෙන් බාගයකට වඩා (58%) ඉන්ටනෙට් භාවිත කරනවා. මෙයින් බහුතරයක් ස්මාට්ෆෝන් හිමිකරුවන්. 2015 අග වනවිට එරට ජංගම දුරකථන සක්‍රීය ගිණුම් මිලියන 73ක් තිබුණා.

හමුදා කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ජනාධිපතිවරයා තමාට හිතවත් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන තක්සේරු කරන අතරම සන්නිවේදන ජාල හරහා තුර්කි ජනයා වෙත ආයාචනා කිරීමට තීරණය කළා. මේ සඳහා අවශ්‍ය වූ ව්‍යාපාරික සබඳතා හා තාක්ෂණික දැනුම ඔහුගේ කාර්ය මණ්ඩලය සතුව තිබුණා.

සියල්ල පාන්දර යාමයේ සිදු වුණත් ඉක්මනින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ජනාධිපතිගේ හිතවත් පිරිස දැන සිටියා.

කුමන්ත්‍රණකරුවන් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා, ටෙලිකොම් සමාගම් හෝ සමාජ මාධ්‍ය ජාල සියතට ගැනීමට මුල් වටයේ කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. මහජන ඡන්දයෙන් පත්වූ තම රජය රැක ගන්නට වීදි බසින්න යැයි ජනාධිපතිවරයා මේ මාධ්‍ය හරහා යළි යළිත් ඉල්ලා සිටියා.

මුලින්ම රටේ සියලුම ජංගම දුරකථන ග්‍රාහකයන් වෙත කෙටි පණ්වුඩයක් යවමින් ජනපති අර්ඩොගන් කීවේ හැකි සෑම අයුරකින්ම කුමන්ත්‍රණයට විරෝධය දක්වන්න කියායි.

NINTCHDBPICT000252431176

ඒ අනුව ඉස්ලාම් බහුතර (96.5%) එරටෙහි ආගමික ස්ථාන ලවුඩ්ස්පීකර් හරහා විශේෂ යාඥා විසුරු වන්නට පටන් ගත්තා. අවේලාව නොබලා බොහෝ ජනයා වීදි බැස්සා.

ප්‍රධාන නගරවල වීදිවලට පිරුණු ජනයා බහුතරයක් පාලක පක්ෂයේ අනුගාමිකයන් වුවද සියලු දෙනා එසේ වූයේ නැහැ. කොතරම් අඩුපාඩු හා අත්තනෝමතික හැසිරීම් තිබුණද බහුතර ඡන්දයකින් පත් වූ රජයක් පෙරළීමට හමුදාවට කිසිදු වරමක් හෝ අවසරයක් නැතැයි විශ්වාස කළ අයද එහි සිටියා.

තුර්කියේ හමුදාව යනු බලගතු ආයතනයක්ග එම හමුදාව රාජ්‍ය පාලනයට මැදිහත් වීමේ කූප්‍රකට ඉතිහාසයක් තිබෙනවා. 1960 මැයි මාසයේ, 1971 මාර්තුවේ හා 1980 සැප්තැම්බරයේ හමුදා කුමන්ත්‍රණ සාර්ථක වී මිලිටරි පාලන බිහි වුණා. 1995දී ඡන්දයෙන් පත් වූ හවුල් රජයට 1977දී හමුදාව ‘නිර්දේශ’ ගණනක් ඉදිරිපත් කොට ඒවා පිළි ගන්නට බලපෑම් කළා. මේ මෑත ඉතිහාසය ජනතාවට මතකයිග

තුර්කි රාජ්‍යය නිර්ආගමිකයි (secular state). එහෙත් මෑත කාලයේ ඉස්ලාමීය දේශපාලන පක්ෂ වඩාත් ජනප්‍රිය වීම හරහා රාජ්‍ය පාලනයේ ඉස්ලාමීය නැඹුරුවක් හට ගෙන තිබෙනවා.

හමුදාව මෙයට කැමති නැහැ. ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශිත පරිදි රාජ්‍යය තව දුරටත්  නිර්ආගමික විය යුතු බවත්, ඉස්ලාම්වාදීන් බලගතු වීම සීමා කළ යුතු බවත් හමුදාවේ මතයයි. මෙය මතවාදී අරගලයකට සීමා නොවී දේශපාලන බල අරගලයකට තුඩු දී තිබෙනවා. 2016 කුමන්ත්‍රණයේ පසුබිම සංකීර්ණ වුවද ආගමික-නිර්ආගමික ගැටුමද එහි එක් වැදගත් සාධකයක්.

කුමන්ත්‍රණකරුවන් නිවාඩු නිකේතනයට පහර දීමට කලින් එතැනින් පලා ගිය ජනාධිපති අර්ඩොගන්, සැඟවී නොසිට  හිරු උදා වන විට එරට විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ඉස්තාන්බූල් ගුවන් තොටුපළට සිය නිල ගුවන් යානයෙන් පැමිණියා. මැදියම් රැයේ ටික වේලාවකට කුමන්ත්‍රණකාරීන් අත්පත් කර ගත් ගුවන් තොටුපළ ඒ වන විට යළිත් හිතවත් හමුදා අතට පත්ව තිබුණා.

ගුවන් තොටුපළේ සිට මාධ්‍යවේදියකුගේ ස්මාට්ෆෝන් එකක් හරහා ජනාධිපතිවරයා එරට පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක් වූ CNN Turkට සජීව ලෙසින් සම්බන්ධ වුණා.

‘ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න නගරවල වීදි හා චතුරස්‍රවලට එක් රොක් වන්න. මේ කුමන්ත්‍රණකරුවන් අපට ඉක්මනින් ඉවත් කළ හැකි වේවි. ඔවුන්ට නිසි පිළිතුර දෙන්න ඕනෑ අපේ මහජනතාවයි’ ඔහු ආයාචනා කළා.

කුමන්ත්‍රණකරුවන් නොසිතූ විලසින් මේ පණිවුඩ ඉතා ඉක්මනින් එරට ජනයා අතර පැතිර ගියා. ෆේස්බුක්, ට්විටර් හා අනෙක් සමාජ මාධ්‍ය ජාල මෙයට මහත් සේ දායක වුණා.

මේ අතර ජනපති කාර්ය මණ්ඩලය සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනපතිවරයා ආරක්ෂිත බවත්, ඔහු කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව කරන අරගලයට ඍජුව නායකත්වය දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍යවලට හා විදෙස් රටවලට දැනුම් දුන්නා.

හමුදාව බලය ඇල්ලීමට තැත් කිරීම කෙතරම් තුර්කි වැසියන් කුපිත කළාද කිවහොත් සමහර ස්ථානවල යටත් වූ කුමන්ත්‍රණකාමී හමුදා සෙබලුන් හා නිලධාරීන්ට සාමාන්‍ය ජනයා වට කර ගෙන පහර දෙනු ලැබුවා. ඔවුන් ප්‍රසිද්ධ නිග්‍රහවලට ලක් වුණා.

CncnmhQXEAApKN0

යම් අවස්ථාවක කුමන්ත්‍රණකරුවන් CNN Turk පෞද්ගලික නාලිකාව නිහඬ කිරීමට ද තැත් කළා. ඇමරිකානු CNN මාධ්‍ය ජාලය හා තුර්කි සමාගමක් හවුලේ කරන මේ නාලිකාව හමුදා බලපෑම් ප්‍රතික්ෂේප කළා. දිගටම සිය සජීව විකාශයන් කර ගෙන ගියා.

කුමන්ත්‍රණය දියත් කොට පැය 24ක් ගතවීමට පෙර රටේ පාලන බලය යළිත් ඡන්දයෙන් පත් වූ රජය යටතට මුළුමනින්ම ගැනීමට ජනපති-අගමැති දෙපළ සමත් වුණා.

ඉන් පසුව කුමන්ත්‍රණයට සම්බන්ධ දහස් ගණනක් හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අය අධිකරණ ක්‍රියාදාමයකට ලක්වනු ඇති. මේ බොහෝ දෙනකු නොමඟ ගිය හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ හිතවත් පරිපාලන නිලධාරීන් බව පසුව හඳුනාගනු ලැබුවා.

කුමන්ත්‍රණය අසාර්ථක වීමට හේතු දේශපාලන විචාරකයෝ තවමත් සමීපව අධ්‍යයනය කරනවා. ඔවුන් පිළිගන්නා එක් දෙයක් තිබෙනවා. 20 වන සියවසේ බොහෝ අවස්ථාවල විවිධ රටවල සාර්ථක වූ බලය ඇල්ලීමේ ආකෘතියක් මෙවර තුර්කියේදී ව්‍යර්ථ වූයේ 21 වන සියවසේ සන්නිවේදන තාක්ෂණයන් නිසා බවයි.

‘කුමන්ත්‍රණකරුවන් පොතේ හැටියට සියල්ල සැලසුම් කොට ක්‍රියාත්මක වුණා. රාජ්‍ය නායකයා අගනුවරින් බැහැරව සිටි, සිකුරාදා රැයකයි ඔවුන් බලය අල්ලන්න තැත් කළේ. ඒත් ඔවුන්ගේ අවාසියට ඔවුන් භාවිත කළ වට්ටටෝරුව යල් පැන ගිහින්.’ යයි ඉස්තාන්බුල් නුවර පර්යේෂකයකු වන ගැරත් ජෙන්කින්ස් කියනවා.

මේ සමස්ත සිදුවීම් දාමයේ ඉතාම උත්ප්‍රාසජනක පැතිකඩ මෙයයි. සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි කියමින් ඒවා හෙළි දැකීමට හා විටින් විට ඒවා බ්ලොක් කිරීමට පුරුදුව සිටි අර්ඩොගන් ජනපතිවරයාට තීරණාත්මක මොහොතේ ඒවා ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වීමයි.

මේක ඇත්තටම කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වීමේ කතාවක්.

A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency
A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency

2003-2014 කාලයේ තුර්කි අගමැතිව සිටි අර්ඩොගන් 2014දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ප්‍රකාශිත ඡන්දවලින් 51.79%ක් ලබමින් ජය ගත්තා. ඔහු තමා වටා විධායක බලය කේන්ද්‍ර කර ගනිමින්, විපක්ෂවලට හිරිහැර කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා නැගෙනවා. මාධ්‍ය නිදහසට හා පුරවැසියන්ට ප්‍රකාශන නිදහසටත් ඔහුගේ රජයෙන් නිතර බාධා පැමිණෙනවා.

නිල මාධ්‍ය වාරණයක් හා නොනිල මාධ්‍ය මර්දනයක් පවත්වා ගෙන යාම නිසා තුර්කිය ජාත්‍යන්තර ප්‍රජාවේ හා මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටින රටක්.

තමන්ගේ අධිපතිවාදය ප්‍රශ්න කරන, විකල්ප මතවලට ඉඩ දෙන දෙස් විදෙස් මාධ්‍ය අර්ඩොගන් සලකන්නේ සතුරන් ලෙසයි. එහෙත් රාජ්‍ය මාධ්‍ය පැය කිහිපයකට ඔහුගේ පාලනයෙන් ගිලිහී ගිය විට ඔහුගේ උදව්වට ආවේ ඔහු නිතර දෙස් තබන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය හා විදෙස් මාධ්‍යයි.

2014දී ඔහු නව නීතියක් හඳුන්වා දුන්නේ ඕනෑම මොහොතක වෙබ් අඩවි බ්ලොක් කිරීමේ බලය රජයට පවරා ගනිමින්.

එසේම අර්ඩොගන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නෙක්. සමාජ මාධ්‍යවලට නිතර දෙවේලේ බැණ වදින ඔහු තමාගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් පවත්වා ගෙන යනවා. ට්විටර් නිල ගිණුමට මේ වන විට මිලියන 8කට වඩා අනුගාමිකයන් සිටිනවා. කුමන්ත්‍රණය දිග හැරෙන අතර සිය ජනයාට හා ලෝකයට කතා කරන්නට ඔහු ට්විටර් ගිණුමද යොදා ගත්තා.

මේ දෙබිඩි හැසිරීම අපේත් එක්තරා හිටපු පාලකයෙක් සිිහිපත් කරනවා!

කුමන්ත්‍රණයට එරෙහිව අර්ඩොගන් රජයට උපකාර වූ තවත් සාධකයක් පසුව හෙළි වුණා. කුමන්ත්‍රණය ඇරඹී ටික වේලාවකින් එරට ප්‍රධානම ජංගම දුරකථන ජාලය සියලුම ග්‍රාහකයන්ට නොමිලයේ දත්ත සම්ප්‍රේෂණ පහසුකම් ලබා දුන්නා. නූතන දේශපාලන ක්‍රියාකාරකම්වලදී ටෙලිවිෂන් හා රේඩියෝවලට වඩා ටෙලිකොම් සේවාවන් වැදගත් වන බව මේ හරහා අපට පෙනී යනවා.

කුමන්ත්‍රණයේ සන්නිවේදන සාධකය විග්‍රහ කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයට ජූලි 20 වනදා ලිපියක් ලියූ තුර්කි සම්භවය සහිත ඇමරිකානු සරසවි ඇදුරු සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) මෙසේ කියනවා.

‘කුමන්ත්‍රණය පරදවන්න ස්වාධීන මාධ්‍ය හා වෙබ්ගත නව මාධ්‍ය ලබා දුන් දායකත්වය ජනපති අර්ඩොගන් අගය කළ යුතුයි. දැන්වත් මාධ්‍ය වාරණය, මර්දනය හා නවමාධ්‍ය හෙළා දැකීම නතර කොට ප්‍රකාශන නිදහසට ගරු කරන දේශපාලන ප්‍රතිසංස්කරණවලට යොමු විය යුතුයි… ස්වාධීන මාධ්‍යයන් හා විවෘත ඉන්ටර්නෙට් සංස්කෘතියක් පැවතීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට මහත් සවියක් බව මේ අත්දැකීමෙන් අපට හොඳටම පෙනී යනවා.’

How the Internet Saved Turkey’s Internet-Hating President

People stand on a Turkish army tank in Ankara on July 16 - Reuters
People stand on a Turkish army tank in Ankara on July 16 – Reuters

සිවුමංසල කොලූගැටයා #265: 21 සියවසට තවමත් නොපිවිසි අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

A popular TV programme genre in Sri Lanka that is being mass produced on the cheap is tele-dramas or television serials. Therein lies a problem: the local tele-drama industry is trapped in a vicious circle of low budgets and low production values. An estimated 5,000 to 6,000 Lankans who earn their living from this industry – as actors, script writers, directors and technical crew – are desperately searching for ways to break free.

So far, many have opted for the protectionist path. The Tele Makers Guild (TeleMG, http://telenisasl.org), an industry alliance, has been lobbying for the taxing of imported tele-dramas. They claim these are flooding the local market and undercutting their business.

In this week’s Ravaya column (appearing in the print issue of 24 April 2016), I discuss problems and challenges facing the tele-drama production industry of Sri Lanka.

As a viewer, I am opposed to cultural protectionism because it reduces my choice. So when TeleMG invited me as keynote speaker at their annual meeting held in early April, I urged them pursue the path of professionalism instead. Their big challenge, I said, is to make better shows with the existing budgets. That requires lots of creativity and resourcefulness.

I have written on this topic in English here:

Protectionism or professionalism: Choice for teledrama industry

(Echelon magazine, May 2016 issue)

See also related columns:

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

 13 Feb 2012: සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

 5 October 2014: සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

ටෙලිවිෂන් මාධ්‍යයට ලැදි මා ටෙලිවිෂන් නරඹන්නේ (අනුපිළිවෙළින්) සරල රසවින්දනයට හා කාලීන තොරතුරු දැන ගැනීමට. මේ අවශ්‍යතා සපුරාලන  ඕනෑම දෙස් විදෙස් නාලිකාවක් මා නරඹනවා. විදෙස් ගත වන විට නොතේරෙන භාෂාවලින් පවා සිත් ගන්නා සුලූ ටෙලිවිෂන් වැඩසටහන් බලනවා.

Tele Makers Guild of Sri Lanka - logo
Tele Makers Guild of Sri Lanka – logo

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) සිය 22 වන සංවත්සර සභාවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට අපේ‍්‍රල් මස මුලදී මට ඇරයුම් කළා.

ඇරයුම් කළ පිරිසගේ තාවකාලික ප‍්‍රමෝදයට හේතු වන උද්්‍යාගපාඨ හෝ සටන් පාඨ කියා ඔවුන් අබියස වීරයකු වීම මගේ සිරිත නොවෙයි. ඒ නිසා මේ කර්මාන්තය ගැන කෙටියෙන් මුත් අවංක විග‍්‍රහයක් කිරීමට මා තැත් කළා. එදා කී දේ හා කියන්නට වේලාව මදි වූ දේ අද ලිපියෙන් මා බෙදා ගන්නට කැමතියි.

ශ‍්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය සමස්තයක් ලෙස විචාරයක් කිරීමට තරම් පර්යේෂණාත්මක දැනුමක් මට නැහැ. එහෙත් දේශීයව නිර්මාණය වන ටෙලිවිෂන් අන්තර්ගතය රස විඳීමට කැමති, බොහෝ විට එම අපේක්ෂා ඉටු නොවීමේ අත්දැකීම සතු ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයකු ලෙසයි මා අදහස් දැක්වූයේ.

ටෙලිඩ‍්‍රාමා හා ටෙලිප්ලේ යන ඉංග‍්‍රීසි යෙදුම් ද සැලකිල්ලට ගෙන ‘ටෙලිනාට්‍ය’ වචනය බිහි කළේ එම ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු වූ ධම්ම ජාගොඩයි. 1980 හා 1990 දශකවලදී ටෙලිනාට්‍ය මෙරට වඩාත්ම ජනප‍්‍රිය වැඩසටහන් ගණය බවට පත්වූවා. එයට දායක වුණේ කතා රසයෙන්, රංගනයෙන් හා නිෂ්පාදන ගුණාංගවලින් උසස් වූ ප‍්‍රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය ගණනාවක්.

ශීඝරයෙන් වෙනස් වන ජන සමාජයක ආකල්ප හා රසඥතාව විවිධාකාරයි. මීට පරම්පරාවකට පෙර මෙන් එකම අච්චුවේ නිර්මාණ  ඕනෑ එකක් බාර ගන්නට අද පේරක්ෂකයන් සූදානම් නැහැ.

එසේම වාණිජකරණය ද අත්මිදිය නොහැකි ලෙස ටෙලිවිෂන් කර්මාන්තය පුරා විහිද පවතිනවා. පේ‍්‍රක්ෂකයන්ට නොමිලයේ බලන්නට විකාශ කරන නාලිකා සිය වියදම සම්පාදනය කරගන්නේ දැන්වීම් හා අනුග‍්‍රාහකයන් හරහා.

ඇන්ටෙනාවකින් හසු කරගත හැකි ජාතික මට්ටමේ (දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට පෙනෙන) ටෙලිවිෂන් නාලිකා දුසිමකට වඩා (භාෂා 3න්ම) මෙරට තිබෙනවා. මේ අතරින් සිංහලෙන් නිෂ්පාදිත හෝ සිංහලට හඬ කැවූ හෝ ටෙලිනාට්‍ය පෙන්වන නාලිකා 9ක් පමණ වනවා.

මේ සියල්ලම හසු කර ගත්තද තමන්ට රසවිඳීමට හැකි තරමේ ටෙලිනාට්‍ය තව දුරටත් බිහි වන්නේ නැතැයි මැසිවිල්ලක් සංවේදී පේ‍්‍රක්ෂකයන් අතරින් මතු වනවා. නාලිකා ගණන වැඩි වූවත්, ටෙලිනාට්‍ය පෙන්වන ගුවන් කාලය ඉහළ ගියත් පේ‍්‍රක්ෂකයන්ට ලැබෙන විවිධත්වය හා ගුණාත්මකබව දියුණු වී නැත්තේ ඇයි?

Image from www.freepress.net

දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයට වින කරන සාධක මොනවාද? ටෙලිනිස සභාපති අනුර මාධව ජයසේකර ප‍්‍රධාන සාධක තුනක් සඳහන් කරනවා.

  1. කේබල් ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් ^YouTube& හරහා විකල්ප රසාස්වාදන අවස්ථා පේ‍්‍රක්ෂකයන්ට මතුව ඒම.
  1. සිංහලෙන් හඬ කැවූ විදෙස් ටෙලිනාට්‍ය බොහෝ නාලිකාවල විකාශය වීම හා පේ‍්‍රක්ෂකයන් ඒවාට ආකර්ෂණය වීම.
  1. දේශීයව නිපදවන ටෙලිනාට්‍යවලට අසාධාරණ අඩු මිලක් ගෙවීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ටෙලිවිෂන් නාලිකා ගෙන යන ප‍්‍රතිපත්තිය.

තාක්ෂණයේ ප‍්‍රගමනය හා ගෝලීයකරණයට එරෙහිව කළ හැකි කිසිවක් නැහැ. විශේෂයෙන් තරුණ පරපුර නව සන්නිවේදන තාක්ෂණයට ලැදියි. ඔවුන් ඒ හරහා විදෙස් සිනමා හා ටෙලි නිර්මාණ නරඹනවා. ඒවායේ ආභාසයද ලබනවා. එසේම ටිකෙන් ටික තමන්ගේම නිර්මාණද වෙබ්ගත කරනවා.

මේ ප‍්‍රවණතාව තවමත් මුල් අදියරේ පැවතියත් ටෙලිවිෂන් නාලිකා මුළුමනින්ම නොතකා කෙළින්ම YouTube වෙත තම නිර්මාණ මුදාහරින ලාංකිකයන් සිටිනවා.

ඒ අතර ගප්පියා (www.youtube.com/user/gappiya) yd JehanR (www.youtube.com/user/jehanr) වැනි අය මේ වන විට පේ‍්‍රක්ෂක ජනාදරය දිනා ගෙන සිටිනවා.

විදෙස් නාට්‍ය මෙහි පැමිණීම හා හඬ කවා විකාශය වීම ගැන පේ‍්‍රක්ෂකයකු ලෙස මා සතුටුයි. මෙය අද ඊයේ නොව 1980 ගණන්වල ටයිටස් තොටවත්තයන් ඇරඹූ සම්ප‍්‍රදායක්.

විශ්ව සාහිත්‍ය කෘතීන් පරිවර්තන හරහා හෝ හඳුනා ගැනීම හොඳ නම් විදෙස් ටෙලිනාට්‍ය හඬ කවා මෙරට පෙන්වීමේ වරදක් ඇත්ද? මෙය තර්ක කළ හැකි කරුණක්. නමුත් චාරයක්, සීමාවක් නැතිව හඬ කැවීම් කිරීම දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයටත්, පේ‍්‍රක්ෂකයාටත් අහිතකරයි.

ටෙලිවිෂන් නාලිකා කියන්නේ හඬ කැවූ විදෙස් නාට්‍ය වඩාත් ජනප‍්‍රිය බවයි. මෙය මැනීමට භාවිත කරන ටෙලිවිෂන් තක්සේරු ක‍්‍රම (TV Ratings) දෙකක් මෙරට තිබෙනවා. ඒ දෙකෙහිම පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් නැහැ.

විදෙස් නාට්‍යවලට පේ‍්‍රක්ෂකයන් ලැදිවීම තේරුම් ගත හැකියි. ඉන්දියාව හා කොරියාව වැනි රටවල වැඩි වියදමක් දරා වඩා ඉහළ නිෂ්පාදන මට්ටමකින් නිම කරන ටෙලිනාට්‍ය සමග ඍජුව තරග කරන්නට දේශීය ටෙලිනාට්‍යවලට බැහැ.

දේශීය ටෙලිනාට්‍ය එක් අංගයකට (විනාඩි 20-22) නාලිකා විසින් ගෙවන ගණන රු. 90,000 සිට 200,000ක් පමණ වනවා. බහුතරයක් නාට්‍යවලට ගෙවන්නේ පරාසයේ අඩුම ගණනයි. නාලිකා කළමනාකරුවන් කියන්නේ ටෙලිනාට්‍ය බොහොමයක් තත්ත්වයෙන් බාල නිසා මීට වඩා ගෙවිය නොහැකි බවයි.

මෙකී නොකී සාධක රැසක් නිසා ටෙලිනාට්‍ය කර්මාන්තය එක තැන පල් වෙමින් තිබෙනවා. කර්මාන්තයේ පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව නිරත වන 5,000ක් පමණ දෙනාගේ ජීවිකාවට මේ සංකීර්ණ ප‍්‍රශ්න ඍජුවම බලපානවා.

පේ‍්‍රක්ෂකයන් ලෙස අප මේ ගැන සානුකම්පිත විය යුතුයි. එසේ වුවද ප‍්‍රශ්නයට විසඳුම් යථාර්ථවාදී හා ප‍්‍රායෝගික වීම වැදගත්.

ටෙලිනිස ඉල්ලීම මත විදෙස් චිත‍්‍රපට ටෙලිනාට්‍ය හා ටෙලි දැන්වීම් සඳහා ආනයන බද්දක් 2006දී පසුගිය රජය හඳුන්වා දුන්නා. වැඩිම බදු පැනවුණේ ඉන්දියාවෙන් එන නිර්මාණවලටයි. පසුව (දෙමළ ජාතික මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම නිසා) ආනයනිත දෙමළ වැඩසටහන්වල බද්ද ඉවත් කරනු ලැබුවා.

මෙය ආරක්ෂණවාදී (Protectionist) බද්දක්. ලක් රජයද අත්සන් කර තිබෙන ලෝක වෙළඳ සම්මුතීන්ට පටහැනි පියවරක්. එසේම :2015දී මේ බද්ද අහෝසි කරන තුරු) මේ බදු හරහා 2006-2014 කාලය තුළ ටෙලිවිෂන් නාලිකාවලින් රුපියල් බිලියනයකට වඩා රජය එකතු කළ බවට අනුමාන කැරෙනවා.

මේ මුදල් දේශීය සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තවලට යොමු කිරීමේ අරමුණක් තිබුණා. එහෙත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රන්මිණිතැන්න නම් ටෙලි සිනමා ගම්මානයක් ඉදි කිරීම හැරුණු විට මේ මුදල් කෙසේ වැය කළාදැයි පැහැදිලි වගවීමක් නැහැ.

බදු පනවා තරගකාරීත්වය යම් තරමකට හෝ අවහිර කළද දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිෂ්පාදනවල සැලකිය යුතු ගුණාත්මක දියුණුවක් දක්නට නැහැ.

Somaweera Senanayake
Somaweera Senanayake

ටෙලිනාට්‍ය කර්මාන්තය බරපතළ සෝදාපාළුවකට ලක්ව ඇති බව ක්ෂේත‍්‍රයේම ප‍්‍රවීණයන් පිළි ගන්නවා. සම්මානලාභී නවකතාකරු හා ටෙලිනාට්‍ය තිර රචක සෝමවීර සේනානායක ටෙලිනිස පුවත් සඟරාවේ කියන පරිදි ”ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණශීලී ගුණයෙන්ද දේශීයත්වයෙන්ද ජනප‍්‍රියත්වයෙන්ද ඉහළ තලයකට පැමිණි සිංහල ටෙලිනාට්‍ය කලාව නිකම්ම නිකම් ටෙලි බවට පත් වූයේ කෙසේද? එකල අප සාකච්ඡා කළේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීම ගැනය. අද සමහරුන් සාකච්ඡා කරනුයේ ටෙලියක් ගහන ආකාරය ගැනය. මෙම ටෙලි ගැහිල්ලත්, කඩය ඉදිරිපිට කුණු කාණුව අසල කොත්තු රොටි ගැහිල්ලත් අතර වෙනසක් නැත.”

ඔහු මෙයට එක් ප‍්‍රධාන හේතුවක් ලෙස දකින්නේ කලාවක් නොව කර්මාන්තයක් බවට පත්වීමයි. එහෙත් වෙනත් රටවල සිනමා හා ටෙලි කලාවන් කර්මාන්ත ලෙස ද තුලනයක් සහිතව පවතිනවා.

වාණිජ්‍යත්වය පැවතියද බටහිර රටවල් අප රටේ තරම් ඔවුන්ගේ ටෙලිනාට්‍ය කලාව විනාශ කොට නැති බව සේනානායකයන්ද පිළිගන්නවා. එයට හේතුව? එම රටවල පේ‍්‍රක්ෂක සංවිධාන හා පාරිභෝගික සංවිධාන බලවත් නිසා. ඔහේ  ඕනෑ දෙයක් හදලා පෙන්වන්න බැහැ! මහජන මතය ප්‍රබලව මතු වනවාග

සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට‍්‍රම් නිහාල් 2003දී දිනමිණ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කීවා. ”වර්තමානයේ කලාවක් විදිහට නම් ටෙලිනාට්‍ය ප‍්‍රචලිත වෙලා නැහැ. මාධ්‍ය භාවිතයේ අසංතුලනය හා අනුචිතභාවය නිසා ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක නියෝජනය ක‍්‍රමයෙන් ඈත් වන බවක් නම් පෙනෙනවා. අපට පූර්ණ කලා නිර්මාණයක් කරන්න බැරි වුවත් රූපවාහිනි මාධ්‍යයේ තිබෙන සීමාවලින් උපරිම ප‍්‍රයෝජන ගත හැකියි.”

Bertram Nihal asks: where is professionalism in Sri Lanka's teledrama industry?
Bertram Nihal asks: where is professionalism in Sri Lanka’s teledrama industry?

ටෙලිනිස උදක්ම ඉල්ලා සිටින්නේ රාජ්‍ය මැදිහත් වීමක්. රාජ්‍ය පාලනය යටතේ පවතින රූපවාහිනී හා ෂඔභ නාලිකා ප‍්‍රමිතියක් සහිත ටෙලිනාට්‍ය බිහි කිරීමට උදවු උපකාර කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

එහෙත් දිගු කලක් තිස්සේ අනවශ්‍ය ලෙස දේශපාලන පත්වීම් ලබා දුන් අයගෙන් කාර්ය මණ්ඩල අතිරික්තයක් ඇති වී තිබෙන මේ ආයතන දෙකෙහි මාස්පතා පඩි ගෙවා ගැනීමේ දැවැන්ත අභියෝගයක් තිබෙනවා. ඒ නිසා හොඳ දේ ප‍්‍රවර්ධනය කරනු වෙනුවට ජනප‍්‍රිය වැඩසටහන්ම පෙන්වා දැන්වීම් ආදායම උපරිම කරගන්නට මේ ආයතන ද්විත්වයට සිදුව තිබෙනවා. මෙය ලෙහෙසියෙන් ලෙහාගත හැකි ගැටයක් නොවෙයි.

රාජ්‍ය-කේන්ද්‍රීය මානසිකත්වයට නතු වී සිටිනු වෙනුවට තම ක්ෂේත‍්‍රයේ වෘත්තීයභාවය වැඩි කිරීමට ටෙලිනිස ඇතුළු ටෙලි කර්මාන්තයේ සියලූදෙනා දැනට වඩා ඇප කැපවිය යුතුයි. මේ ගැන එම ක්ෂේත‍්‍රයේ මීට වඩා සංවාද හා පෙළගැසීම් අවශ්‍යයි.

ටෙලිනාට්‍ය මෙන්ම සමස්ත ටෙලිවිෂන් කර්මාන්තයේම වෘත්තීයභාවය අඩුවීමට හේතු ගණනාවක් තිබෙනවා. පුහුණු ශ‍්‍රමයේ හිඟයක් හා හරිහැටි පුහුණුව ලබා ගැනීමේ දුෂ්කරතා රැසක් පවතිනවා. නොයෙක් පාඨමාලා ඇතත් ප‍්‍රමිතියක් නැහැ. එකිනෙකා පරයා අඩු මුදලට වැඩ කිරීමට යාම (under-cutting) නිසා කර්මාන්තයේම වෘත්තීය ප‍්‍රමිතීන් හෑල්ලූ වෙලා.

අද මේ ක්ෂේත්‍රයේ ඉන්නා බහුතරයක් ටෙලිනිර්මාණකරුවෝද නැතිනම් ටෙලි කම්කරුවෝද යන ප‍්‍රශ්නය නොකැමැත්තෙන් වුවද මතු කළ යුතුයි. (මේ වචනය මහාචාර්ය තිස්ස කාරියවසම් මුලින්ම යොදා ගත් බව මගේ වැටහීමයි.)

බර්ට‍්‍රම් නිහාල් කියන්නේ ටෙලි කර්මාන්තයේ වෘත්තීයභාවය ඉහළ දැමීමට සාමූහික හා දිගු කාලීන ප්රයත්නයක් නොගෙන අන් කුමක් කළත් එතරම් රතිඵල නොලැබෙනු ඇති බවයි.

මගේ මතය ක්ෂේතරය තුළ පවතින විසමතා හා අඩුපාඩු හදා නොගෙන තරගකාරී විදෙස් නිර්මාණවලට ආරක්ෂණවාදී බදු ඉල්ලා සිටීම හෝ මෙගා නාට්යවලට සීමා පැනවීම තාවකාලික, පැලැස්තර රතිකර්ම පමණක් බවයි.

ටෙලිනාට්‍ය යනු හුදෙක් නළු නිළියන් හා අධ්‍යක්ෂවරුන් පමණක් නොවෙයි. ප‍්‍රශස්ත නිර්මාණයකට දායක වන ශිල්පීන් වර්ග රාශියක් සිටිනවා. කර්මාන්තයක් ලෙස දියුණු වීමට නම් කතා පිටපත් රචකයන්, කැමරා ශිල්පීන්, හඬ ශිල්පීන්, වීඩියෝ සංස්කාරකයන්, වේශ නිරූපණ ශිල්පීන්, සංගීත ශිල්පීන්, කලා අධ්‍යක්ෂවරුන් වැනි බොහෝ මට්ටම්වල කුසලතා වර්ධනය විය යුතුයි.

කතා රචකයන් උදාහරණයකට ගනිමු. ටෙලිනාට්‍ය නිෂ්පාදනය දියුණු ජපානය, කොරියාව, දකුණු අප‍්‍රිකාව වැනි රටවල එහි විශේෂඥභාවය බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා.

යම් කතාවක සැකිල්ල හා වස්තුව (story plot) නිර්මාණය කරන්නා බොහෝ විට දෙබස් ලියන්නේ නැහැ. දෙබස් රචනයටම සමත් ශිල්පීන් සමග සාමූහිකව පිටපත ලියනවා.

අපේ ටෙලිනාට්‍යවල කතා රචනය බොහෝ විට පටු සමාජ දැක්මකට කොටු වෙලා. 1970 හා 1980 සමාජ යථාර්ථයන්ගෙන් ඔබ්බට යා නොහැකිව එක තැන පල් වනවා. ඔවුන්ට අනුව ගම සදාකාලිකවම සුන්දරයි. නගරය දරුණුයි. විවෘත ආර්ථිකය බිහිසුණුයි. ධනවතුන් සියල්ලෝම පාපතරයෝ. මේවැනි සරල ලඝු කිරීම් අපේ ටෙලිනාට්‍යවල බහුලයි.

ටෙලිනාට්‍ය රචකයන් අතර කාන්තාවන් කීදෙනකු සිටිනවාද? තිරයේ පෙනෙන නාමාවලිවලට අනුව නම් ඉතා සුළු පිරිසක්. මේ පසුබිම තුළ කාන්තා ප‍්‍රශ්න අපේක්ෂා හා සිතුම් පැතුම් ටෙලිනාට්‍යවල මතු වන්නේ පුරුෂ දෘෂ්ටි කෝණයක් හරහායි. මෙයද ටෙලිනාට්‍යවල වෘත්තීය බව සීමා කරනවා.

අපේ උපහාසාත්මක ටෙලිනාට්‍ය පවතින්නේද පහත් මට්ටමක. පේ‍්‍රක්ෂකයා හිනස්සන්න, කිති කවන්න හැකි සියුම් ක‍්‍රම  ඕනෑ තරම් තිබෙනවා. එහෙත් අප බොහෝ විට දකින්නේ ගොරහැඬි, ග‍්‍රාම්‍ය මට්ටමේ හාස්‍යය මිස සංවේදී හා තියුණු උපහාසය නොවෙයි. ව්‍යාංගාර්ථ, අපහාසයන් හා කුණු රසය නම් එමට තිබෙනවා.

ටෙලිනාට් කර්මාන්තයට මේ සිදු වෙමින් පවතින්නේ චිත්රකතාවලට අත් වූ ඉරණමට සමාන හිරු බැස යාමක්ද?

චිත‍්‍රකතා මාධ්‍යය දේශීයකරණය වී පාඨකයන්ගේ සිත්වල දිගු කල් රැුඳුණු කතා රැසක් 1960 දශකයේ බිහි වූවා මෙන්ම මුල් වටයේ නැවුම් හා නිර්මානශීලී ටෙලිනාට්‍ය රැල්ලත් අප කුල්මත් කළා. එහෙත් අධික වාණිජකරණය නිසා චිත‍්‍රකතා කර්මාන්තය ඇද වැටුණු පරිදිම ටෙලිවිෂන් නාලිකා හසුරුවන්නන්ගේ හා ඇතැම් නිෂ්පාදකයන්ගේ ගිජුබව නිසා ටෙලිනාට්‍ය කර්මාන්තයද අර්බුදයකට ලක්ව තිබෙනවා.

16 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

ටෙලිනාට්‍ය කර්මාන්තය ප‍්‍රමාද වී හෝ 21 සියවසට පිවිසීම වැදගත්. අතීතකාමය හා අතීත උන්මාදය හරහා නව්‍යකරණය කරන්න නොහැකියි. එසේ නොකරන තාක් කල් පේ‍්‍රක්ෂක අපට සිදු වන්නේ දුරස්ථ පාලකයෙන් අපේ අමනාපය පළ කිරීම පමණයි!

සිවුමංසල කොලූගැටයා #264: පිටසක්වල ජීවීන්ගේ උදව්වෙන් රාවණා යළි අවදි වෙයිද?

In this week’s Ravaya column (appearing in the print issue of 10 April 2016), I return to the topic of pseudoscience — a claim, belief, or practice presented as scientific, but which does not adhere to the scientific method.

Pseudoscience is often characterized by contradictory, exaggerated or unprovable claims; over-reliance on confirmation rather than rigorous attempts at refutation; lack of openness to evaluation by other experts in the field; and absence of systematic practices when rationally developing theories.

American astronomer Carl Sagan (1934 – 1996) was at the forefront in promoting science for its sense of wonder and also for countering pseudoscience. As he used to say, “Our species needs, and deserves, a citizenry with minds wide awake and a basic understanding of how the world works.”

Sri Lanka has its share of pseudoscience, sometimes dressed up in politically correct ‘clothes’ of indigenous knowledge. Even many educated persons uncritically believe in pseudoscientific claims and practices.

As an example, I cite a currently fashionable pursuit of the Sinhalese community: going in search of archaeological ‘evidence’ for a mythical king of Lanka named Ravana (who is only a character in the Indian epic, Ramayana – but some people take it literally).

I argue that believing in Ravana after reading Ramayana is akin to believing in alien abductions and other modern mysteries after watching X-Files TV series.

Beware of pseudoscience in Sri Lanka, says Nalaka Gunawardene
Beware of pseudoscience in Sri Lanka, says Nalaka Gunawardene

ඕනෑකමින්ම මෙවැනි මාතෘකාවක් මා යොදා ගත්තේ මේ දිනවල අපේ සමාජය කිති කවන, මුලා කරන මිථ්‍යා විශ්වාසයක් හෑල්ලූ කිරීමට.

රාවණා යයි රජකු ප‍්‍රාග්ඓතිහාසිකව මෙරට සිටියායැ’යි තහවුරු කිරීමට සාහිත්‍යයෙන්, ශිලා ලිපිවලින් හෝ පුරා විද්‍යාත්මකව කිසිදු සාක්ෂියක් නැහැ. භාරතීය ප‍්‍රබන්ධයක් තම මූලාශ‍්‍රය කර ගෙන, එයත් විකෘති කොට දේශීයත්වයක් ආරෝපණය කර තනා ගත් ජනප‍්‍රිය විශ්වාසයක් පමණයි රාවණා කියන්නේ.

‘සංස්කෘතික රාජ්‍ය අමාත්‍යාංශය රාවණා රජුගේ වතගොත සොයයි’ මැයෙන් 2015 ජූලි මස පළ වූ පුවතකට ප‍්‍රතිචාර දැක්වූ හෑගොඩ විපස්සී හිමි කීවේ ‘මෙය ථෙරවාද බුදුදහම විනාශ කිරීමට අටවන ලද පඹගාලක්’ බවයි. දැන් එම පඹගාලේ ඇමතිවරුන් පවා පැටලී ඇතැ’යි එහිමියන් අදාළ රාජ්‍ය ඇමතිට ලියූ ලිපියක කියා සිටියා.

රාවණාගෙන් පියවරක් ආපස්සට ගනිමු. මෙවැනි ජනප‍්‍රිය විශ්වාසයන්ට ශාස්ත‍්‍රීය පදනමක් හා විද්‍යාත්මක මුහුණුවරක් දීම දැන් විලාසිතාවක් බවට පත්වෙලා. එයට ව්‍යාජ විද්‍යායැ’යි කියනවා (pseudoscience)

ව්‍යාජ විද්‍යාව යනු බැලූ බැල්මට විද්‍යාත්මක යයි මතුපිට පෙනීමක් දෙන්නට තැත් කරන, එහෙත් (විද්‍යාවේ සැබෑ මූලික පදනම වන) තර්කානුකූල හා විචාරශීලී පදනමක් කිසිසේත්ම නැති මුලා කිරීමක්.

‘යථාර්ථය සමග සසඳන විට අපේ වත්මන් විද්‍යාත්මක දැනුම ප‍්‍රාථමිකයි හා සීමිතයි. එහෙත් එය අප ශිෂ්ටාචාරය සතු මාහැඟිම සම්පතයි.’ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරක් එසේ කීවා. අසම්පූර්ණ වූ දැනුමක් සහිත විද්‍යාව ටිකෙන් ටික භෞතික ලෝකය ගැන මානවයන් සතු අවබෝධය පුළුල් කරනවා. එහෙත් එයට හැම දෙයක්ම පහදාදීමේ හැකියාවක් (මේ දක්වා) නැහැ.

එය ටිකෙන් ටික මග සොයා යා යුතු චින්තන චාරිකාවක්. අයාලේ නොගොස් හරි මගෙහි කෙමෙන් ඉදිරියට යන්නට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්නේ විද්‍යාත්මක ක‍්‍රමය මගින්. එහි මූලික හරය නම්  ඕනෑම සිදුවීමක් හෝ ප‍්‍රපංචයක් නිරීක්ෂණ හා කල්පිත හරහා ගවේෂණාත්මකව විමසා බලා පමණක් නිගමනවලට එළැඹෙන්න යන්නයි. (මෙයට සමාන්තර චින්තනයක් සමහර සාමයික ඉගැන්වීම්වල ද හමු වනවා.)

මේ ක‍්‍රමයෙන් පියවරෙන් පියවර ඉදිරියට යනවා වෙනුවට ඉක්මනින්, කෙටි මාර්ග හෙවත් ෂෝට්කට්වලින් අප ගෙන යෑමට හා සියලූ පිළිතුරු ඉක්මනින් ලබා දෙන්නට ඇතැමුන් පෙරට එනවා. සමහරවිට විද්‍යාත්මක පෙනුමක් ද සහිතව මතු වන මේවා ව්‍යාජ විද්‍යාවන් බව අපි සිහි තබා ගත යුතුයි.

ව්‍යාජ විද්‍යාවන්ගේ පැතිරීම හා ඒවායින් ජන සමාජයට කරන දිගුකාලීන හානිය ගැන දැඩි අවධානයක් යොමු කළ අයකු නම් අමෙරිකානු තාරකා විද්‍යාඥ හා විද්‍යා සන්නිවේදක ආචාර්ය කාල් සේගන් (Carl Sagan, 1934-1996).

Carl Sagan: A voice of reason in our times
Carl Sagan: A voice of reason in our times

ඔහුගේ ජීවිතයේ අවසාන දශකයක පමණ කාලයක් වැඩිපුරම කැප කළේ විද්‍යාවේ නාමයෙන් පෙනී සිටිමින් අහිංසක ජනයා (සමහරවිට රජයන් පවා) මුලා කරමින් බඩ වඩා ගත් ව්‍යාජ විද්‍යා වංචනිකයන් හෙළිදරව් කිරීමටයි. මේ ගැන හොඳ සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක විග‍්‍රහයක් ඔහු ලියූ අවසන් පොත වූ ‘භූතයන් පිරුණු ලෝකය’ (The Demon Haunted World, 1996) තුළ හමු වනවා.

එහි ප‍්‍රවේශයේදී ඔහු මෙසේ කියනවා: ‘සැබෑ විද්‍යාව පදනම් වී ඇත්තේ සැම දෙයක්ම ප‍්‍රශ්න කිරීම හා තහවුරු කිරීමකින් තොරව කිසිවක් පිළි නොගැනීම මතයි. මේ සංශයවාදී බව (scepticism) සමාජයේ බොහෝ දෙනකුට දිරවා ගන්නට අමාරුයි. ඔවුන්ට  ඕනෑ වී ඇත්තේ සියලූ තතු පහදා දෙන, අවිනිශ්චිත බවින් තොර හා සිතේ කුකුස එසැනින් සංසිඳුවන ආකාරයේ ක‍්‍රමවේදයක්. ව්‍යාජ විද්‍යාකරුවන් අමතන්නේ මේ මානසිකත්වයටයි.’

මිථ්‍යා විශ්වාස සහ ව්‍යාජ විද්‍යාව අතර ඥාති සබඳතාවක් ඇති බවත්, එසේ වුවත් මිථ්‍යාවලට වඩා ‘සම්භාව්‍ය’ හා ගරු ගාම්භීර පෙනුමක් ඇතිව සමාජගතවීමට ව්‍යාජ විද්‍යා සමත් බවත් සේගන් පෙන්වා දුන්නා.

‘ඇත්තටම කෙතරම් අපූරුද පිටසක්වල ජීවීන් සොයමින් අප මෙතරම් වෙහෙස වනවා වෙනුවට ඔවුන්ට බුරුතු පිටින් අපේ ලෝකයට ඇවිත් හැංගිමුත්තන් කරනවා නම්? නොඑසේ නම් සිහින හරහා අපේ අනාගතය ගැන අනාවැකි කියනවා නම්? පාරඓන්ද්‍රීය චිත්ත බලවේග හරහා අපේ එදිනෙදා වැඩ කරගත හැකි නම්? ඒත් මේ සියල්ල විද්‍යාවේ සළුපිලි කිහිපයක් දවටා ගත් ව්‍යාජ විද්‍යාවන්ට උදාහරණයි. ඒවායේ තිබෙන සංත‍්‍රාසමය ආකර්ෂණය නිසා බොහෝ දෙනා එයට ඇදී යනවා.’ සේගන් පැවසුවා.

මෙකී නොකී සංසිද්ධීන් ගැන බොහෝ කලෙක සිට මානව සමාජයේ කුතුහලයක් පවතිනවා. සැබෑ විද්‍යාව මේවා ගැන පර්යේෂණ කරන්නේ සූක්ෂ්ම ලෙස සාක්ෂි සොයා යෑමෙන්. එය කල් ගත වන, වෙහෙසකර ව්‍යායාමයක්.

මේ අතර ඉක්මන් හා ලාබදායක ත‍්‍රිල් සොයන්නෝ ව්‍යාජ විද්‍යාවන්ට හසු වනවා. ව්‍යාජ විද්‍යා දැඩි ලෙස සාක්ෂි හා තර්කානුකූල වීම ඉල්ලා සිටින්නේ නැහැ. ව්‍යාජ විද්‍යා පතුරවන්නෝ ඇදහිලි හෝ අනුමාන මත ඒවා පිළිගන්නට යැ’යි දක්ෂ ලෙස ඇවිලිටි කරනවා.

ව්‍යාජ විද්‍යා දශක ගණනාවක් තිස්සේ ලොව පැවතියත් මෑත කාලයේ ඒවා මහත් සේ ප‍්‍රචලිත වූයේ ජනමාධ්‍ය නිසා බව සේගන් පෙන්වා දෙනවා.

‘පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන්වලට බොහෝ විට  ඕනෑ තාවකාලික ප‍්‍රමෝදයක් ලබා දිය හැකි සැහැල්ලූ තොරතුරුයි. ව්‍යාජ විද්‍යාවන්ගේ සරල විග‍්‍රහයන් හා කුමන්ත‍්‍රණවාදී කතා මාධ්‍යවලට යසට ගැළපෙනවා. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ව්‍යාජ විද්‍යා ව්‍යාප්තියේ ලොකුම හවුල්කරුවන් බවට මාධ්‍ය පත්ව සිටිනවායැ’යි සේගන් පහදා දෙනවා.

ව්‍යාජ විද්‍යාවන්ගේ ව්‍යාප්තියට ජනප‍්‍රිය සංස්කෘතිය ද බොහෝ සේ දායක වී තිබෙනවා. හොලිවුඞ්, බොලිවුඞ් හා වෙනත් සම්ප‍්‍රදායන්ගේ වෘතාන්ත චිත‍්‍රපටත්, විවිධ රටවල නිපදවන නාට්‍යමය ටෙලිවිෂන් වැඩසටහනුත් ව්‍යාජ විද්‍යා සංකල්ප හරහා ඩොලර් කෝටි ගණන් ආදායම් උපදවාගෙන තිබෙනවා.

අප මේ කතා කරන්නේ සම්භාව්‍ය ගණයේ විද්‍යා ප‍්‍රබන්ධ කතා හා චිත‍්‍රපට ගැන නොව අභව්‍ය ගණයේ, ෆැන්ටසි ආකාරයේ නිර්මාණ ගැනයි. ලොව පුරා ජනප‍්‍රිය වූ X-Files වැඩසටහන්මාලා මේ දෙවැනි ගණයට වැටෙනවා.

1993-2002 වකවානුවේ මේ වැඩසටහන් 202ක් නිපදවන ලද අතර වසර 13ක නිහැඬියාවකින් පසු 2016 ජනවාරියේ නැවතත් අලූතින් නිපදවීම අරඹා තිබෙනවා.

X Files: For True Believers only?

X-Files ආරම්භ වූ කාලයේ ඒ ගැන සේගන් කළ තක්සේරුව මෙයයි. ‘සංශයවාදී හා විචාරශීලී ලෙසින් අද්භූත හා අසාමාන සිදුවීම් විමර්ශනය කරනවායැ’යි පෙන්වූවත් ඇත්තටම X-Files කතා මාලාව කරන්නේ එයට ප‍්‍රතිවිරුද්ධ දෙයක්. එනම් අභව්‍ය සිදුවීම් හා පිටසක්වල ජීවී සබඳතා ගැන අමෙරිකානු සමාජයේ ප‍්‍රචලිත ජනප‍්‍රිය විශ්වාස තවත් තහවුරු කිරීම හා මේවා වසන් කිරීමට රාජ්‍ය මට්ටමේ කුමන්ත‍්‍රණයක් ඇති බව පේ‍්‍රක්ෂකයන්ට ඒත්තු ගැන්වීමයි. මෙය කිසිසේත් විද්‍යාත්මකව යමක් ගවේෂණය කිරීම නොවෙයි.’

X-Files කතා සඳහා කැමැත්තක් අපේ පේ‍්‍රක්ෂකයන් අතර ද තිබෙනවා. ඒවායේ කතා රසය ඉහළයි. ප‍්‍රබන්ධ හැටියට විනෝදය ලබාදීමේ විභවය ඉමහත්. ඒවා නරඹන්නට මාත් කැමතියි. මේවා හුදෙක් ප‍්‍රබන්ධ මිස සත්‍ය ගවේෂණයක් නොවන බව සිහිතබා ගන්නවා නම් එහි වරදක් නැහැ.

එහෙත් X-Filesවලින් දුටු දේ තම ‘සාක්ෂි’ ලෙස ගනිමින් අභව්‍ය සිදුවීම් ගැන දිගින් දිගට තර්ක කරන සමහරුන් මා දැක තිබෙනවා.

රාවණා ප‍්‍රවාදයන් ගැන කීමට ඇත්තේද එයයි. භාරතීය මහා කාව්‍යයක් වන රාමායණය කතාවක් ලෙස රස විඳීම හා එය දේශීය ලෙස හැඩගසා ගැනීම වරදක් නොවෙයි. (රාමායණය මුල් කෘතියේ දුෂ්ටයකු ලෙස නිරූපණය කැරෙන රාවණා රජු, ලාංකික සමහරුන්ට වීරයෙක්.)

එහෙත් රබන්ධයක එන චරිතයක් සැබෑ කොට ගනිමින් එය සනාථ කිරීමටපුරාවිද්යා සාක්ෂි සොයා යෑම හා අවිචාරශීලී ලෙස තර්ක කිරීම එක්තරා ආකාරයක ව්යාජ විද්යාවක් හා ස්වයංමුලාවක් පමණයි. X-Files විශ්වාස කරන අය හා රාවණා අදහන්නන් අතර වෙනසක් නැහැ!

Image by Sajeewa Wijeweera
Image by Sajeewa Wijeweera

ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන සජීව විජේවීර මෑතදී මේ ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙසේ ලියා තැබුවා.

“රාවණ යනු අමු මිත්‍යාවකි.  රාවණට ඇතැයි කියන ඔළු ගෙඩි ගානට අං තට්ටු මේ මෝඩයන්ගේ හිස මත සවිකළ යුතුය. රාවණ කතා පුවත හා සම්බන්ධ නම් ගම් ඇතැයි කියන සෑම තැනකටම ගියෙමි. මග හැරුනා නම් ඒ එකක් දෙකක් වැනි සුලු සංඛ්‍යාවක් පමණක් විය යුතුය. වසර 14ක ගවේෂණයන්ගේ ප්‍රතිඵලය වූයේ රාවණ කතාව මිත්‍යාවක් බව දැන ගැනීමයි.”

“රාවණ සිටියායැයි කියන යුගයේ අපේ මුතුන් මිත්තෝ ජීවත් වූයේ ගල් යුගයේය. මේ ඇත්ත තේරුම් ගනිමු. එය තේරුම් නොගත්ත ද කමක් නැත. මානසික රෝගී කාන්තාවන් සමග ගොස් ජනතාව ගොනාට අන්දවා මිත්‍යාව වපුරුවමින් ප්‍රසිද්ධය සොයා යන්න එපා යැයි වගකීමෙන් මාධ්‍ය මෙහෙය වනවා යැයි කියන ආයතන වලින් අපි ඉල්ලා සිටිමු.”

ඔහුගේ විග්‍රහය මා ඉත සිතින් පිළි ගන්නවා.

රාවණා, පිටසක්වල ජීවීන්, භූත ආත්මයන් හෝ වෙන ඕනැම දෙයක් ගැන තනි තනිව විශ්වාස කිරීමේ පුද්ගල නිදහස සමාජයේ තිබෙනවා. එහෙත් මේවා ගැන ‘විද්‍යාත්මක’ මුහුණුවරකින් කතා කරමින් ජන සමාජය නොමග යැවීම දක්වා එම නිදහස පැතිරෙන්නේ නැහැ. ව්‍යාජ විද්‍යාවන් තලූ මරමින් සමාජගත කරන ජනමාධ්‍ය කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම ඉක්මවා යාමක්.

මේ ප්රබන්ධ නැති වුණාට අසිරිමත් ලෙස විග්රහ කළ හැකි පැරණි උරුමයන් ඕනැ තරම් මෙරට තිබෙනවාග ඉතා හොඳින් පුරාවිද්යාත්මකව තහවුරු වූ වාස්තු විද්යාත්මක, ලෝහ විද්යාත්මක හා වාරිකර්මාන්ත හපන්කම් තිබෙනවාමේවා පෙන්නුම් කරන්නේ අපේ පැරැන්නන් සතු වූ තාක්ෂනික හැකියාවන්.

එතකොට පිටසක්වල ජීවීන් මෙහි එන්නෙත් නැද්ද?

පිටසක්වල ජීවය පැවතිය හැකි බවත්, හිතකර පරිසරයක් හා පරිනාමීය සාධක ඇති ඇතැම් ග‍්‍රහලෝකවල බුද්ධිමත් ජීවින් බිහිව සිටිය හැකි යයි අද බහුතරයක් විද්‍යාඥයෝ පිළි ගන්නවා. එහෙත් තවමත් මේ පිළිබඳ තිරසාර සාක්‍ෂියක් නැහැ.

මේ ගවේෂණ හා ඒවායේ බුද්ධිමය පදනම හරවත් හා රසවත්. එහෙත් ඒවා ඉදිරිපත් කරද්දී ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබන්ධ වන X-Files වැනි ප‍්‍රභවයන්ගේ හමු වන මතවාදයන්ද එකතු කළොත් මුලූ සන්නිවේදනයම ව්‍යාජ විද්‍යාත්මක වනවා.

ඉතින් අභව්‍ය හා පරිකල්පනීය දේවල් ටිකක් මාධ්‍ය සන්නිවේදනවලට එකතු කිරීම ඔය කියන තරම් වරදක්ද?

පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හෝ ඉන්ටර්නෙට් හරහා (නාට්‍යමය නොවන) සන්නිවේදන කරන විට ව්‍යාජ විද්‍යා සංකල්ප එකතු කිරීම හරියට ආහාර පිසින විට කෘත‍්‍රිම රසකාරක යොදන්නා වගේ. අජිනොමොටෝ ඇතුළු රසකාරක අපේ රටේ හෝටල් හා අවන්හල්වල ප‍්‍රමිතියකින් තොරව බහුලව යොදනවා. ඒ වෙලාවට කෑම රසය තීව‍්‍ර කළත් මේ රසකාරක දිගු කාලීනව අපේ ශරීරයට අහිතකරයි.

ව්යාජ විද්යා එකතු කිරීම් මෙයට සමානයි. තාවකාලික සන්තරාසයක්, රමෝදයක් හෝ කුතුහලය ඇවිස්සීමක් කළත් දිගු කාලීනව මේවා අපේ තර්කන ශක්තිය හා විචාර බුද්ධිය මොට කරනවාඑබන්දක් සිදු වන බව බොහෝ දෙනාට දැනෙන්නේ නැහැ

රාවණා හා X-Filesවලින් ඇරැඹුණු මානසික හානිය කල් ගත වූ විට නතර වන්නේ දේශපාලනික අවස්ථාවාදීන් කියන  ඕනෑම ප‍්‍රබන්ධයක්, ප‍්‍රලාපයක් ද ගෙඩිපිටින් පිළි ගන්නා ජන සමාජයක් බිහි වීමෙන්.

ඔලමොට්ටල සමාජයක් හා ඡන්දදායක පිරිසක් මෙරට බිහි වනු දැකීමට කැමති කවුද?

Science is more than a body of knowledge...
Science is more than a body of knowledge…

සිවුමංසල කොලූගැටයා #260: විද්‍යුත් මාධ්‍ය නියාමනය යනු වාරණය නොවේ!

Sri Lanka’s broadcast sector, which was a state monopoly for decades, was finally opened up for private sector participation in 1992. However, it has been an ad hoc process ever since – with no clear rules nor any independent enforcement or regulatory mechanism. The broadcast licensing process remains undefined, opaque and discretionary on the part of politicians and officials in charge of media.

This has led to a squandering of the electromagnetic spectrum, a public property: private sector participation in broadcasting has been open only to business confidantes of various ruling parties that have been in office since 1990.

In this Ravaya column (appearing in issue of 6 March 2016), I further discuss the highly problematic broadcast ‘liberalisation’ in Sri Lanka and the resulting complications. I quote from an expert analysis titled Political economy of the electronic media in Sri Lanka by Tilak Jayaratne and Sarath Kellapotha (2012). I also discuss potential ways of resolving the current chaos by regularizing the broadcast licensing process, setting up an independent broadcast regulator, and belatedly bringing transparency and accountability to the sector.

Finally, I clarify that media regulation is not the control of media content or messages, but merely creating a level playing field for all participant companies including the state broadcasters in ways that would best serve the interest of audiences who are the public.

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

වසර 25ක කාලයක් තිස්සේ, විද්‍යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) ක්ෂේත‍්‍රයට පෞද්ගලික සමාගම්වලට පිවිසීමට ඉඩ දීම හරහා පොදු සම්පතක් වන විද්‍යුත් සංඛ්‍යාත අපහරණය වී ඇති සැටි අප ගිය සතියේ කතා කළා.

මගේ විග‍්‍රහයේ අරමුණ වූයේ රජයේ විද්‍යුත් මාධ්‍ය භාවිතය හා (පෙර පැවති) ඒකාධිකාරය සාධාරණීකරණය කිරීම නොවෙයි. රටට තනි රේඩියෝ ආයතනයක් හා ටෙලිවිෂන් ආයතන දෙකක් තිබූ, ඒ සියල්ලම රජයේ හොරණෑ වූ 1992ට පෙර යුගයට ආපසු යන්නට මා නම් කැමති නැහැ.

එහෙත් පොදු දේපළක් වන සංඛ්යාත පාරදෘශ් රමවේදයක් හරහා රාජ්, පෞද්ගලික හා රජා මාධ් අතර බෙදා නොදීමේ විපාකයි අප දැන් අත් විඳින්නේ. රමාද වී හෝ විද්යුත් මාධ් ක්ෂේතරයේ බලපත් ලබා දීම, සංඛ්යාත බෙදා දීම හා ඒවා ලබන්නන්ගේ සමාජයීය වගකීම් සහතික කිරීම සඳහා නිසි නියාමනයක් අත්යවශ්යයි.

වඩාත් පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා ආණ්ඩුකරණයක් ඇති රටවල විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය නිසියාකාරව නියාමනයට ලක් වනවා. නියාමනය (media regulation) යනු කිසිසේත් මාධ්‍ය අන්තර්ගතය පාලනය කිරීම (content control) හෝ වාරණය කිරීම (censorship) නොවෙයි.

පොදු දේපළක් භාවිත කරමින් විකාශයන් කරන ආයතන නිසි නීතිමය හා ආචාරධර්ම රාමුවකට නතු කිරීම හා ඒ හරහා පොදු උන්නතියට මුල් තැන දීම පමණයි.

විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ මෙය සිදු කෙරුණේ 1990 දශකයේදී. ඓතිහාසිකව ටෙලිකොම් ඒකාධිකාරය හිමිව තිබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් හා එයට පරිබාහිරව ටෙලිකොම් නියාමන කොමිසමක් (TRCSL) බිහි කිරීමෙන්. ඒ හරහා තරගකාරීත්වයට ඉඩ දී පාරිභෝගිකයාට වාසි වැඩි කළා.

අපේ ටෙලිකොම් නියාමන කොමිසම රජයේ ආයතනයක් නිසා එය ස්වාධීන නැහැ. එහෙත් ටෙලිකොම් ක්ෂේත‍්‍රය විධිමත් කිරීමට සැලකිය යුතු මෙහෙවරක් කරනවා. මේ හා සමාන ආයතනයක් රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවල තවමත් නැහැ.

එයට රාමුව සපයන නීතියක් ද නැති පසුබිම තුළ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට ඇත්තේ 1966 ගුවන් විදුලි සංස්ථා පනත හා 1982 රූපවාහිනී සංස්ථා පනත පමණයි. මේ දෙකම යල්පැන ගිය, නූතන අභියෝගවලට මුහුණ දීමට නොහැකි නීති දෙකක්. මෙනයින් විද්‍යුත් මාධ්‍ය නියාමනයට අප තවම ප‍්‍රවේශ වී හෝ නැහැ. කළ යුතු බොහෝ දේ තිබෙනවා.

1925 සිට 1992 දක්වා වසර 67ක් මුළුමනින්ම ලක් රජයේ ඒකාධිකාරයක් ලෙස පැවති විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට 1992 සිට පෞද්ගලික අංශයේ ඇතැම් සමාගම්වලට පිවිසීමට ඉඩ ලැබුණා. මුලින් රේඩියෝ නාලිකා ඇරැඹීමටත්, පසුව ටෙලිවිෂන් නාලිකා පවත්වා ගෙන යාමටත් ඉඩ දීම විද්‍යුත් මාධ්‍ය විවෘත කිරීම (Broadcast liberalisation) ලෙස හඳුන්වනු ලැබුවත් එය විවෘත, ක‍්‍රමවත් හා අපක්ෂපාත ලෙස සිදු වූයේ නැහැ.

මුල පටන් අද දක්වාම සිදු වෙමින් ඇත්තේ බලයේ සිටින පක්ෂවලට සමීප හා හිතවත් ව්යාපාරිකයන්ට විද්යුත් මාධ් ඇරැඹීමේ බලපත් (ලයිසන්) ලබා දී සඳහා සංඛ්යාත අනුයුක්ත කිරීමයි. 1992 සිට පැවති සියලූම රජයන් සිය ගජමිතුරු ව්යාපාරිකයන් හා හිතවතුන් අතර මේ වරපරසාදය බෙදා දී තිබෙනවා.

1994 අගෝස්තු 15 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත් වුණා. ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මාධ්‍ය ගැන කරුණු කිහිපයක් සඳහන් වූවා. ජනමාධ්‍ය රජයේ හා දේශපාලකයන්ගේ පාලනයෙන් නිදහස් කිරීම, මාධ්‍ය නිදහස සහතික කිරීම, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකේම ගුණාත්මක අගය දියුණු කිරීම මෙන්ම නව භාවිතයන් තුළින් අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම ඒ අතර තිබුණා.

මේ ප‍්‍රතිඥා රාජ්‍ය මාධ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස 1994 ඔක්තෝබරයේ කැබිනට් මණ්ඩලය විසින් පිළිගනු ලැබුවා. මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය සඳහා විද්වත් කමිටු තුනක් පත් කළා. ඒවා පුළුල් සංවාදයන්ගෙන් පසු හරබර නිර්දේශ රැසක් යෝජනා කළත් අවාසනාවකට චන්ද්‍රිකා රජය ඒවා ක‍්‍රියාත්මක කළේ නැහැ.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දශක ගණනක අත්දැකීම් තිබූ නැසී ගිය තිලක් ජයරත්න සූරීන් හා කෘතහස්ත රේඩියෝ මාධ්‍යවේදී සරත් කැල්ලපත දෙපළ මෙරට විද්‍යුත් මාධ්‍යයේ පරිණාමය හා වත්මන් අභියෝග ගැන විචාරශීලී නිබන්ධයක් 2012දී රචනා කළා. [Political Economy of the Electronic Media in Sri Lanka. http://goo.gl/H8UYeq]

Tilak Jayaratne
Tilak Jayaratne

ඔවුන් 1990 දශකයේ මුල් භාගය ගැන මෙසේ කියනවා. ‘(තෝරා ගත්) පෞද්ගලික සමාගම්  හරහා රේඩියෝ සේවාවන් කිහිපයකුත් ටෙලිවිෂන් සේවාවන් දෙක තුනකුත් ඇරඹුනේ මේ කාලයෙයි. එහෙත් දේශීය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම ඔවුනට තහනම් වුණා. විදෙස් ප‍්‍රවෘත්ති සේවා මෙරට ප‍්‍රතිරාවය කරන විටදී පවා ශ‍්‍රී ලංකාව ගැන කිසිදු සඳහනක් වූවොත් එය අවහිර කළ යුතු වුණා. මේ සාපේක්ෂ විවිධත්වය හරහා සැබැවින්ම මාධ්‍ය බහුවිධත්වයක් හෝ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රජාතන්ත‍්‍රීකරණයක් හෝ බිහි වූයේ නැහැ. එසේම මුල් වසර කිහිපයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය සතුව තිබූ ඒකාධිකාරයට ප‍්‍රබල අභියෝගයක් එල්ල වූයේද නැහැ.’

විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණයේ දේශපාලන සීමාවන් මනාව පෙනී ගිය අවස්ථාවක් ලෙස රජයේ ගුවන් විදුලි සංස්ථාවේ නව අධ්‍යාපන සේවය ඔවුන් ගෙන හැර දක්වනවා. විජේතුංග ජනාධිපතිවරයා යටතේ 1994 ජුනි මාසයේ අරඹන ලද මේ සේවය වඩාත් විවෘත, සංවාදශීලී ආකෘතියක් හඳුන්වා දුන්නත් එය ටික කලකට පමණක් සීමා වූ සැටි ඔවුන් විස්තර කරනවා.

මාධ්‍ය නිදහස ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥා දෙමින් බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ වුවත් පවතින රජයේ දේශපාලන දැක්මට වෙනස් වූ අදහස් සාකච්ඡා කිරීමට මේ සේවය තුළද ඉඩක් ලැබුණේ නැහැ.

1997 මාර්තුවේ චන්ද්‍රිකා රජය ශ‍්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් (Sri Lanka Broadcasting Authority Bill) ගැසට් කළා. මෙය අභියෝගයට ලක් කරමින් පුරවැසියන් 15 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා.

රාජ්‍ය මාධ්‍යවලට එක් අන්දමකටත්, පෞද්ගලික මාධ්‍යවලට තවත් අන්දමකටත් නියාමනය කිරීමට යෝජිතව තිබීම වෙනස්කමක් හා අසාධාරණයක් යැයි ඔවුන් තර්ක කළා. මේ ඇතුලූ තවත් තර්ක සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බව තීරණය කළා.

එම වැදගත් නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වුණා. ‘විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර ලබා දෙන ආයතනය රජයෙන් ස්වාධීන විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ඇති සියලූම විද්‍යුත් මාධ්‍ය එක් නියාමන අධිකාරියක් යටතේ තිබීම වඩාත් යෝග්‍යයි. එවිට එම ක්ෂේත‍්‍රයට අදාළ ප‍්‍රතිපත්ති  නිසි ලෙස සාදාගෙන ක‍්‍රියාත්මක කළ හැකි වනවා. මේ ස්වාධීන නියාමන අධිකාරියට විද්‍යුත් සංඛ්‍යාත බෙදාදීම ඇතුළු සියලූ තාක්ෂණික සාධක ගැන වගකිව යුතුයි.’

TV-Tower-Spectrum

එම පනත් කෙටුම්පත සංශෝධිතව යළි ඉදිරිපත් කෙරුණේ නැහැ. මේ නිසා අද දක්වාත් මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය අවිධිමත්, නිසි නියාමන රාමුවකින් තොරව ක‍්‍රියාත්මක වනවා. නිලධාරීන්ගේ හා අමාත්‍යවරුන්ගේ හිතුමතයට තීරණ ගැනීම දිගටම සිදු වනවා.

1992-2012 දශක දෙකක කාලය තුළ විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර රැසක්ම නිකුක් කළත්, අපේක්ෂිත පරිදි සැබෑ මාධ්‍ය බහුවිධත්වයක් (media pluralism) මෙරට බිහි වී නැහැ.

බහුවිධත්වය සඳහා නාලිකා/සේවා ගණන වැඩි වීම පමණක් සෑහෙන්නේ නැහැ. සමාජයක සියලූ ජන කොටස් හා මතවාදයන් නිසි ලෙස නියෝජනය කරන, ඉඩ සලසන මාධ්‍ය පාරිසරික පද්ධතියක් බිහිවීම අවශ්‍යයි. අගනුවර කේන්ද්‍රීය, රාජ්‍ය මූලික හා වෙළඳපොළ ප‍්‍රාග්ධනයට නතු මාධ්‍යවලින් පමණක් මෙය සපුරා ගන්නට බැහැ.

ජයරත්න හා කැල්ලපත මෙරට විද්‍යුත් මාධ්‍ය ඉතිහාසය මෙසේ කැටි කරනවා. “යුරෝපයේ රේඩියෝ පටන් ගත් කාලයේම වගේ මෙරටටත් එම මාධ්‍යය හඳුන්වා දෙනු ලැබුව ද, එයට ආවේණික වූ බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායන් මෙහි ආයේ නැහැ. අපට ආවේණික විද්‍යුත් මාධ්‍ය සම්ප‍්‍රදායක් අප බිහි කර ගත්තේ ද නැහැ. දශක ගණනක් තනිකරම රජයේ ප‍්‍රචාරක මාධ්‍යය වූ රේඩියෝ (පසු කාලීනව ටෙලිවිෂන්) ඉනික්බිති පෞද්ගලික සමාගම්වලට ලාභ උපදවන ව්‍යාපාර වූවා. ඉඳහිට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවල ගතිගුණ දක්නට ලැබුණත් බොහෝ කොටම අපට ඇත්තේ අධිපතිවාදී, ප‍්‍රචාරාත්මක මාධ්‍ය කලාවක්.

“එසේම මෙරට ප‍්‍රජා ගුවන්විදුලි සේවා ඇතැයිද කීම ද මුලාවක්. මන්ද මෙරට ඇත්තේ රජයේ ගුවන් විදුලියේ ග‍්‍රාමීය විකාශයන් මිස සැබැවින්ම ප‍්‍රජාව පාලනය කරන රේඩියෝ නොවේ. වාණිජකරණය හමුවේ තොරතුරු හා මහජන අධ්‍යාපනයට වඩා විනෝදාස්වාදයට මුල් තැන දීම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිපත්තියයි.”

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

රාජ්‍ය-පෞද්ගලික දෙඅංශයම පොදු දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත යොදා ගෙන රේඩියෝ-ටෙලිවිෂන් විකාශය කළත්, අන්තිමේදී මේ දෙපිරිසම පොදු උන්නතියට කැප වන්නේ සීමිත අන්දමින් පමණයි. 1990 සිට විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර ලැබූවන් අතර වත්මන් අග‍්‍රාමාත්‍යවරයාගේ සහෝදරයන් දෙදෙනෙකුද සිටිනවා. (ශාන් වික‍්‍රමසිංහ හා නිරාජ් වික‍්‍රමසිංහ).

ගජමිතුරන්ට හිතුමතයට විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර හා සංඛ්‍යාත ලබා දීමේදී ඔවුන් නිසි නියාමනයකට යටත් කොට නැහැ. එසේම හේතු නොදක්වා බලපත්  ඕනෑම විටෙක ආපසු ගත හැකි වීම හරහා මාධ්‍ය අන්තර්ගතයට අනිසි බලපෑම් කිරීමටද දේශපාලකයන්ට හා නිලධාරීන්ට අවකාශය ලැබෙනවා.

1992 සිට 2012 දක්වා විවිධ රජයන් යටතේ නිකුත් කළ විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍රධාරීන්ගේ ලැයිස්තුවක් මාධ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබෙනවා. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය හැරුණු කොට පෞද්ගලික සමාගම් 38කට බලපත‍්‍ර දී තිබෙනවා. සමහරුන්ට රේඩියෝ පමණයි. තවත් අයට රේඩියෝ ටෙලිවිෂන් දෙකම. සමහරුන්ට භෞමික සංඥා බෙදාහැරීමටත්, තවත් සමාගම්වලට චන්ද්‍රිකා හරහා බෙදා හැරීමටත් අවසර දී තිබෙනවා. http://www.media.gov.lk/images/pdf_word/licensed-institutions-tv-radio.pdf

මේ බලපත් 38න් 25ක්ම නිකුත් කොට ඇත්තේ 2006-2011 වකවානුවේ. එනම් රාජපක්ෂ පාලන සමයේදී. බලපත් ලද සැවොම විකාශ අරඹා නැහැ.

හරි පාරේ ගොස් තරගකාරීව, විවෘතව ඉල්ලා සිට විද්‍යුත් මාධ්‍ය බලපත් ලද නොහැකි පසුබිම තුළ හොර පාරෙන් ලබා ගත් බලපත්වලට ලොකු ඉල්ලූමක් බිහිව තිබෙනවා. සමහර බලපත‍්‍ර කිහිප විටක් අතින් අත ගොස් ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරුවටයි.

ඇත්තටම විද්යුත් සංඛ්යාත කළු කඩයක් බිහිවීම (black market in broadcast licences) ගැන 1990 සිට බලයේ සිටි සියලූම රජයන් වගකිව යුතුයි.

මේ ගැන මෑතදී විග්‍රහයක් කළ දේශපාලන විචාරක හා බ්ලොග් ලේඛක අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියනවා:

Ajith Perakum Jayasinghe
Ajith Perakum Jayasinghe

“ලංකාවේ විකාශන තරංග පරාසය බෙදා දෙන ආකාරය නීත්‍යානුකූල නැත. එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික මූලධර්මවලට ද පටහැණිය. පාසලක කැන්ටිමක් බදු දෙන විටත් ටෙන්ඩර් කැඳවාල ඕනෑම කෙනෙකුට විවෘතව මිළ ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී සුදුස්සා තෝරා ගනු ලැබේ.

“පොදු දේපලවල භාරකරු වන රජය ඒවා සම්බන්ධයෙන් පාරදෘෂ්‍ය අන්දමින් කටයුතු කළ යුතු බව ඉතා පැහැදිලිය. රජය පොදු දේපලවල හිමිකරු නොව ඒවායේ භාරකරු පමණක් බව එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මහමාන්කඩවල පියරතන හිමියන් විසින් පවරන ලද නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ.

“එසේ නම්, මහජනතාවට අයිති පොදු දේපලක් වන ගුවන් විදුලි විකාශ පරාසය පමණක් යාලු මිත්‍ර‍කමටල පගාවට හිතවතුන්ට බෙදා දුන්නේ කෙසේද? මහජනතාවගේ ගුවන් විදුලි පරාසයෙන් සංඛ්‍යාත සොරකම් කළ සොරුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ද සිටින නිසා ඔවුන් දැන්වත් මේ ගැන කතා කළ යුතුය.

“මහජනතාවගේ සංඛ්‍යාත සොරකම් කරගත් අයට ජන මනස විකෘති කරන. ජාතිවාදී, ආගම්වාදී, ස්ත්‍රී විරෝධී වැඩසටහන් විකාශය කිරීමට ඉඩ දීමට ආණ්ඩුවට අයිතියක් නැත. එහෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම මාධ්‍ය නිදහස වන්නේ ද නැත.”  http://www.w3lanka.com/2016/02/blog-post_15.html

විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සමහර පරාසයන්වල තව දුරටත් දීමට සංඛ්‍යාත ඉතිරිව නැහැ. FM පරාසය දැනටමත් තදබදයට ලක් වෙලා. මෙයට හේතුව රටේ නීතියක් නැති වුවත් භෞතික විද්‍යාවේ නීති කවදත් කොතැනත් එක ලෙස ක‍්‍රියාත්මක වීමයි.

හිටපු ටෙලිකොම් නියාමක හා සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ හොඳම ක‍්‍රමවේදය නම් සංඛ්‍යාත සඳහා වෙන්දේසියක් පවත්වා ඉහළම ඉල්ලූම්කරුවන්ට ඒවා ප්‍රසිද්ධියේ බදු දීම බවයි.

ජයරත්න හා කැල්ලපත ලියූ නිබන්ධය සිංහලෙන්:

http://mediareformlanka.com/files/Media_Book_Sinhala.pdf