Drafting a New Constitution for Sri Lanka: “ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයි” | නාලක ගුණවර්ධන

Sri Lanka’s new government has committed to drafting a new Constitution to replace the current one adopted in 1978.

According to the Cabinet spokesperson, “for the first time [in Sri Lanka], a Constitution is going to be framed with the consultation of people.” Though the country has adopted Constitutions twice after independence — in 1972 and 1978 — public participation was negligible on both occasions.

Nalaka Gunawardene in a serious pose
Nalaka Gunawardene in a serious pose

This is well and good, but it is still not clear what consultation mechanisms would be used, and how genuinely consultative the process is going to be. Our politicians and officials lack imagination and courage to try out new methods of public participation in governance. For example, they barely use the potential of new information and communications technologies (ICTs).

In an interview with Prasad Nirosha Bandara of Ravaya independent broadsheet newspaper, published on 20 December 2015, I make an earnest case for the new Constitution drafting process to be more open, more participatory and more consultative by using all available methods – tried and tested old-fashioned ones, as well as new potential opened up by the spread of the web, mobile phones and social media.

As an example, I cited the experience of Iceland using social media to crowdsource ideas for its new Constitution drafted in 2011-12. Admittedly it was easier for a population of 320,000 people but some generic lessons could be learnt.

I also draw attention to a historically important memorandum was sent by the Ceylon Rationalist Association on 25 September 1970 to Dr Colvin R De Silva, then Minister of Constitutional Affairs, who was heading the group tasked with drafting what eventually became the country’s first Republican Constitution of 1972. Written by the Association’s Founder President Dr Abraham Thomas Kovoor, it captured the broad, idealistic vision that members of that voluntary group of free thinkers had advocated since its inception in 1960. Among other principles, it advocated – in point 6 – that “the best protection for freedom of conscience is a Secular State”.

I located the memo two years ago and published it online on Groundviews.org so that it becomes widely available. In this interview, I urge the new Constitution drafters of 2016 not to make the same mistakes that Colvin R de Silva did in 1972 by ignoring these ideas of public intellectuals.

ආණ්ඩුකරම ව්යවස්ථා සම්පාදනයක මූලික ස්වරූපය මොකද්ද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය දිහා ඓතිහාසිකව බලද්දි පේන්න තියෙන දෙය තමයි ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථා සංශෝධන වෙන්නේ සීමිත විද්වතුන් හා ප‍්‍රභූන් පිරිසක් මගින් වීම. ඇමරිකානු ව්‍යවස්ථාව කියන්නේ ලෝකේ තියෙන ඉතා හොද දාර්ශනික සහ ප‍්‍රබල නීතිමය ලියවිල්ලක්නේ. නමුත් ඒක කළේත් ජනරජයේ සමාරම්භකයන් විදිහට හැඅදින්වූ දේශපාලන නායකයන් හා ප‍්‍රභූන් පිරිසක්. ඒ පිරිස අතර ඉතාම දුරදක්නා නුවණ සහිත හරබරව හිතපු අය හිටියා. ඒත් ඒක පුළුල් සහභාගිත්ව ක‍්‍රියාදාමයක් වුණේ නෑ.

ඊට වඩා මෑතකාලීන උදාහරණයක් වන ඉන්දියානු ව්‍යවස්ථාව වුණත් ගොඩනගන්නේ ආචාර්ය අම්බෙඞ්කාර්ගේ නායකත් වයෙන් යුතු කණ්ඩායමක්. අම්බෙඞ්කාර් කියන්නේ ව්‍යවස්ථා විශේෂඥයෙක් වගේම මහා බුද්ධිමතෙක්.

ලංකාවේ ජනරජ ව්‍යවස්ථා දෙක ම හදන්නේත් මොළකාරයන් තමයි. හැත්තෑදෙකේ ව්‍යවස්ථා සම්පාදනයට නායකත්වය දුන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා. ඔහුගේ දැනුම හා දේශපාලන දැක්ම ගැන කිසි විවාදයක් නෑ. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේත් ඒ වාගේම උගතුන් පිරිසක් අතින්. නමුත් ඔවුන් අතින් නිර්මාණය වුණ ව්‍යවස්ථා දෙකට ම කාලයාගේ අභියෝගයට මුහුණ දෙන්න බැරිවුණා. ඒවායේ තිබුණ දුර්වල තැන් කාලයාගේ ඇවෑමෙන් ඉරි තලන්න ගත්තා. විවිධාකාර පැලැස්තර සංශෝධනවලින් වහගන්න හැදුවේ ඒ ඉරිතැලීම් තමයි.

ව්යවස්ථා සම්පාදනය මහජන සහභාගිත්වයෙන් තොරව හොර පාරෙන් කිරීම නෙවෙයිද ඒවා ඉක්මනින් එපාවීමට හේතුව?

Dr Abraham T Kovoor
Dr Abraham T Kovoor

ඒකෙ කිසියම් ඇත්තක් තියෙනවා තමයි. නමුත් හැත්තෑ දෙකේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදද්දි වුණත් සමහර වෙලාවට ජනමතයන් භාවිත කරනු ලැබුවා. ඒ සංදේශ ආකාරයට. උදාහරණයක් විදියට, ඒ ව්‍යවස්ථාව පිළිබද හේතුවාදීන් ලියූ ඒ විදියේ සංදේශයක් හේතුවාදීන්ගේ අමතක වුණ ප‍්‍රකාශයක තිබිලා මට හම්බ වුණා. පස්සෙ මං ඒක කෙටි හැදින්වීමකුත් එක්ක ග‍්‍රවුන්ඞ් වීව්ස් වෙබ් අඩවියේ පළ කළා. හේතුවාදී සංගමයේ නායකයා වුණ ආචාර්ය ඒබ‍්‍රහම් ටී කොවුර් විසින් ඒ සංදේශය කොල්වින්ට යවලා තියෙන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ සැප්තැම්බර් විසිපහ.

ව්‍යවස්ථා සම්පාදනයකදී ජන මතය භාවිත කරන්න පුළුවන් ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මගින් මහජන අදහස් විමසන එක. තමන් මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළහොත් අහවල් අහවල් ව්‍යවස්ථා සංශෝධන කරන බව ජනතාවට කල් තියා හෙළි කරමින් ඒ සදහා ඔවුන්ගේ වරම ගන්න පුළුවන්.

නමුත් ඒ මගින් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද ව්‍යවස්ථාවක අඩංගු කරන හැම සියුම් කාරණාවක්ම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අඩංගු කරන්න බෑ. ඒ නිසා හොදම දේ ව්‍යවස්ථා සංශෝධනයේදී මහජන අදහස් විමසන එක.

මේ වන විට සිදු කරමින් පවතින ව්‍යවස්ථා කෙටුම්පත්කරණයට අදහස් ලබා දෙන ලෙස මාධ්‍ය මගින් දන්වලා තියෙනවා මම දැක්කා. ඒත් ඒ ක‍්‍රමවේදය හරියට පැහැදිලි නෑ. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ අයත් මේ විදිහට සාක්කි ඉල්ලූවානේ. ඒත් එතැනදී ඔවුන් කොමසාරිස්වරුන් පත් කරලා තිබුණා. යමෙක් ලිඛිතව සාක්කි දෙනවා නම් ඒවා ලබාදිය හැකි කාර්යාලයක් තිබුණා. වාචිකව සාක්කි දෙන්න පුළුවන් දවස් කල් තබා දැන්නුවා. ඒත් මේ සිදුකරන සංශෝධන ක‍්‍රමවේදයේ මහජන සහාභාගිත්වයට ලබාදෙන ඉඩ පැහැදිලි නෑ. ඒ නිසා මේක මීට වඩා විනිවිද දකින මට්ටමකට ගේන්න ඕනෑ. ඒ සදහා රටේ ජනතාව හා සිවිල් සංවිධාන වහාම මැදිහත් වෙන්න ඕනෑ. ඒ වාගේ කරුණු විමසීමක් විවෘත වුණාම ඒකට සහභාගි වෙන්න මිනිස්සු සූදානම් වෙන්නත් අවශ්‍යයි.

මේ වාගේ අදහස් විමසීමකදී තොරතුරු තාක්ෂණය නිර්මාණශීලීව යොදාගන්න බැරිද?

දැන් ලෝකයේ ගොඩක් රටවල සිද්ධවෙන්නේ ඒ දේ තමයි. හොදම උදාහරණය විදියට අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ ගන්න පුළුවන්. අයිස්ලන්තය කියන්නේ සාපේක්ෂව කුඩා ජනගහනයක් ඉන්න උතුරු යුරෝපීය රාජ්‍යයක්. ඒ රටේ ජනගහනය ලක්ෂ තුනහමාරක් විතර. මේ අය දෙදහස් දහයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එහිදී පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ බේදයකින් තොරව තීරණය කළා ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ මහජනයා එක්කම සිදු කළ යුතුයි කියලා.

එතැනදී ඔවුන් ඉස්සෙල්ලාම කළේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අමතරව රටේ සෑම ප‍්‍රදේශයක්ම හා ජන කොටසක්ම නියෝජනය කරන ආකාරයේ නියෝජිතයන් නවසිය පනහක් තෝරාගන්නා එක. ඒ ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ගැටලූ සහ ආශාවන් නියෝජනය කරන මහජන මණ්ඩලය විදියට කටයුතු කළේ ඒ පිරිස. එහෙම නැත්තම්, ව්‍යවස්ථා සම්පාදක කමිටුව හා රටේ සමස්ත ජනයා අතර අතරමැදියන් විදියට කටයුතු කළේ ඒ අය.

ඊළගට ඔවුන් තම ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් නිල ෆේස්බුක් පිටුවක් පටන්ගත්තා. ඒ අනුව ඒ රටේ හැම පුරවැසියෙකුට වගේම පිටරට ජීවත්වන අයිස්ලන්ත ජාතිකයන්ට තම ව්‍යවස්ථාව පිළිබද අදහස් දක්වන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අයිස්ලන්ත ව්‍යවස්ථාව ගැන උනන්දු විදේශිකයකුට පවා අවශ්‍ය නම් අදහස් දක්වන්න පුළුවන් වුණා ඒ ෆේස්බුක් පිටුව තුළ.

Facebook was used as part of a public consultation strategy to draft Iceland's new Constitution in 2011-13
Facebook was used as part of a public consultation strategy to draft Iceland’s new Constitution in 2011-13

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හැම කොටසක් ම කෙටුම්පත් වූ විගස ඒ පිටුව මගින් ප‍්‍රචාරය කළා. ඒ හැම පරිච්ෙඡ්දයක් ම නරඹමින් අදහස් දක්වන්න, තර්ක විතර්ක කරන්න හැමෝටම අවකාශය හිමිවුණා. ඒ අනුව ලැබෙන අදහස් දැක්වීම් මත කෙටුම්පත යළි යළි සංශෝධනය කෙරුණා. අයිස්ලන්ත ව්‍යවස්ථාව කෙටුම්පත් කළ කාලය අවුරුදු දෙකක්. ඒ කාලය තුළ මේ අදහස් දැක්වීම් මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැවත නැවත දොළොස් වතාවක් කෙටුම්පත් කෙරුණා.

ඒ විතරක් නෙමෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුව රැස්වෙන හැම වාරයක්ම සජීවීව රූපගත කරලා ප‍්‍රචාරය කෙරුණා. කොහොමින් කොහොම හරි දෙදහස් දොළහේදී ව්‍යවස්ථාව අනුමත වෙද්දී ඒක බහුතර ජනතාවගේ දායකත්වය මත කෙරුණ හා රටේ බහුතරයකගේ පිළිගැනීමට ලක්වුණ එකක් වුණා.

ඇත්තටම අයිස්ලන්ත ව්‍යවස්ථාව තමයි මං දන්න තරමින් වැඩිපුරම ජන සහභාගිත්වයෙන් සිදුවුණ ව්‍යවස්ථාව. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී අපිටත් මේ දේවල් කරන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ.

ඒ විතරක් නෙමෙයි අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට තෝරාගත්තේ රටේ දක්ෂ නීතිඥයන්, වෛද්‍යවරු, පූජකයන්, ගොවි නියෝ ජිතයන්, පාරිභොගිකයන් නියෝජනය කරන්නන්, ශිෂ්‍ය නියෝජිතයන්, වෙළද නියෝජිතයන්, කලාකරුවන් වගේ පුළුල් ක්ෂේත‍්‍රවල අය. ඒ වගේ ම එතැනදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම යොදාගන්න ඔවුන් වගබලාගත්තා.

ලංකාවේ සමාජ් මාධ් භාවිත කරන ආකාරයත් එක්ක ගොඩ නැගුණු සුවිශේෂී ගැටලූ මේ වාගේ කටයුත්තකදී හරස් වෙන එකක් නැද්ද?

සමාජ මාධ්‍ය කියන්නේ කොහොමත් නොයෙක් ගාලගෝට්ටිවලින් පිරුණු සතිපොළක් වගේ තැනක් තමයි. මේ වාගේ පියවරකට යද්දී අපිටත් යම් යම් ගැටලූ මතුවෙන්න පුළුවන්. සමාජ්‍ය මාධ්‍යවල හරවත් දේ වාගේම හරසුන් දේ කියන කරන අයත් ඉන්නවා. ඒ වාගේම තේරුමක් නැතිව ගැටුම් ඇතිකරගන්න අයත් ඉන්නවා. ඒක තමයි සමාජ මාධ්‍යයේ ස්වභාවය.

සමහර විට ෆේස්බුක් තුළ ඉලක්කයක් නිවැරදිව තියා ගන්න සංවාද දිගට ගෙනි යන්න අමාරු වෙයි. නමුත් ඒක තමයි අභියෝගය. ඒක අයිස්ලන්තය වගේ රටවල් කළා නම් අපිට බැරි වෙන එකක් නෑ. අනික ජනසම්මත ආණ්ඩුවක් හැටියට ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ ඒ වාගේ වඩා ගාලගෝට්ටියක් තියෙන තැනක ඉදන් ම තමයි.

හේතුවාදීන් කොල්වින්ට ලියූ ඔබ දැක්වූ සංදේශයේ මේ ව්යවස්ථාවට වැදගත්වන සංකල්පත් ඇති?

ඒවායින් ගොඩක් දේවල් අදටත් වැදගත් තමයි. එදා කොවුර් ඇතුළු පිරිස කොල්වින්ලාගෙන් ඒ ඉල්ලීම් කළත් බොහෝවිට ව්‍යවස්ථා සම්පාදනයේදී කළේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේවල්. හැත්තෑ අටේ ව්‍යවස්ථාවේදී වුණත් ඒ දේවල් හරියට වුණේ නෑ.

ඒ සංදේශයේදී හේතුවාදීන් මුලින් ම පෙන්නා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කියන කරුණ. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය එකිනෙකට වෙන්ව පැවතීම හා සංවරණය හා තුලනය වීම ගැන එතැනදී කතා කරලා තියෙනවා. ඒ වාගේම නීතියේ ස්වාධිපත්‍යය කියන සංකල්පය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාව විසින්ම තහවුරු කළ යුතු බව කියන කොවුර් ඒ සංදේශය අවසන් කරන්නේ නීතියේ ස්වාධිපත්‍යය සහ ස්වභාව යුක්තියේ මූලධර්මය කියන එක සෑදීමට නියමිත ව්‍යවස්ථාවේ මුදුන්මල්කඩ කරගත යුතු බවත් කියමින්.

ඒ සංදේශයේදී කොවුර් දෙවැනියට කියන්නේ මූලික අයිතිවාසිකම් ගැන. එතැනදී ඔහු එක්දහස් නවසිය හතළිස් අටේ සම්මත කළ මානව හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය උපුටා දක්වනවා. නව ව්‍යවස්ථාව සියලූම පුරවැසියන්ගේ අයිති වාසිකම් සුරැුකීමට සමත් විය යුතු බවත් ජාතිය, කුලය, ආගම, ලිංගිකත්වය උපන් ස්ථානය හෝ වෙනස් සාධකයක් නිසා කිසිම අයෙකුට අඩුවෙන් සැලකිය නොහැකි බවත් එතැනදී කියනවා.

නිලධාරීවාදය නිසා බැට කන දුක් විදින සාමාන්‍ය ජනතාවගේ දුක්ගැනවිලි කියන්න ඔම්බුඞ්ස්මන්වරයෙක් පත් කළ යුතු බවත් ඒ යෝජනා අතර තියෙනවා. නමුත් ඒ එකක්වත් හැත්තෑ දෙකේදි සිද්ධ වුණේ නෑ. ඒ වාගේම රාජ්‍ය සේවා කොමිසම හරහා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කර ගත යුතුයි කියලා හැත්තෑ ගණන්වලදී පවා එදා කොවුර් කියලා තියෙනවා.

මේ සංදේශයේ තියෙන ඉතාමත් වැදගත් යෝජනාවක් තමයි ලංකාවේ ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂාවන පරිදි ආගමයි රාජ්‍යයයි දෙක වෙන් කළ යුතුයි කියන එක. ඕනෑම ආගමක් හා ඕනෑම චින්තනයක් ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂා කිරීමයි එතැනදී බලපෑවේ. ඕනෑම කෙනෙක් ඕනෑම ආගමක් ඇදහුවත් රාජ්‍යයට ආගමක් තිබිය යුතු නෑ කියලා කොවුර් ඍජුව කියනවා. එදා කොවුර්ලා මේ විදියට ඉල්ලීම් කළත් කොල්වින්ලා බෞද්ධාගමට සුවිශේෂී සැලකිල්ලක් දුන්නේත් මේ ව්‍යවස්ථාවේදීමයි. ඒ වෙලාවේ කොවුර්ගේ මේ තාර්කික අනතුරු හැගවීම කොල්වින් තැකුවා නම් ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය විතරක් නෙමෙයි වාර්ගික හා ආගමික වශයෙන් රට අර්බුදයට ගිය තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.

දැන් කියූ බෞද්ධාගමික රමුඛත්වය සමාජයේ මුල් ඇදලානේ. වාගේ තත්ත්වයක් තුළ ඒක වෙනස් කරන එක පහසු වෙයිද?

හැත්තෑ දෙකේ ඇතිකළ මේ තත්ත්වයට තවමත් අවුරුදු පණහක්වත් නෑ. ඒ කියන්නේ හරියට බැලූවොත් අපේ පරම්පරා දෙකක්වත් ඔය බන්ධනයට යටත් වෙලා නෑ. රටක ප‍්‍රගමනයට ජනප‍්‍රිය නොවන තීන්දු ගන්න පාලකයන්ට සිද්ධ වෙනවා. ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයිනේ. ඉතින් මේ අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඒ සදහා විශාල කැපකිරීමක් කරන්න ඕනෑ.

ඒ විතරක් නෙමෙයි, ලෝකයේ තියෙන සංකීර්ණත්වය ළමයින්ට බාලවියේදී තේරුම්ගන්න බැරි නිසා පාසලේදී ආගම් ඉගැන්විය යුතු නැති බව පවා අර සංදේශයේදී කොවුර් කිව්වා. ආගම කියන එක තමන්ට තේරෙන වයසේදී තමන් විසින් ම තෝරාගන්න සිසුන්ට ඉඩ දෙන්න අවශ්‍ය බවයි එතැනදී හේතුවාදීන් අදහස් කළේ. ඒ වාගේ ම රජයේ සේවයක් ලබාගැනීමට රෝහලකට හරි වෙනත් කාර්යාලයකට හරි ගියාම මහජනයාගෙන් ආගම සහ ජාතිය විමසීම නැවැත්වීමට ව්‍යවස්ථාව තුළින් ම ප‍්‍රතිපාදන සැකසිය යුතු බවත් ඔහු ඒ සංදේශයෙන් කියනවා. මොකද ඒ වාගේ කාර්යයක් කරගන්න යද්දී රජය සහ පුරවැසියා අතර ගනුදෙනුවට ඒ වගේ පසුබිම් අදාළ නෑ.

කොයි දේ වුණත් අද යුගයටත් වඩා සමාජය පරිණාමය වෙලා තියෙනවා. මේත් එක්ක මතු වෙන සුවිශේෂී ව්යවස්ථාමය අවශ්යතාවන් නැද්ද?

ඇත්ත. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලූවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ වාගේම ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ් අභියෝගත් අද මතුවෙලා තියෙනවා. මානව හිමිකම් පිළිබද දැනුම හා අවබෝධය ගත්තත් ඒ වාගේ. අද මානව හිමිකම් විශාල වශයෙන් පුළුල් වෙලායි තියෙන්නේ. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් වුණත් අද නොතකා හරින්න බෑ. මොකද අද ඒවාට ලෝක සමාජයේ විශාල පිළිගැනීමක් තියෙනවා. ඒ අයගේ අයිතිවාසිකම් රැකගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. ඒවා ඊනියා සදාචාරවාදීන්ගේ බලපෑම් මත අමතක කරන්න බෑ.

කථනයේ හා භාෂණයේ නිදහස අද වනවිටත් හැම දෙනාටම තියෙනවානේ. ඒ වගේම දහනව වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතියත් තහවුරු වෙලා ඉස්සරහට ගියා. ඒ නිසා අලූත් ව්‍යවස්ථාව තුළ ඒවා මේ තියෙන මට්ටමින් ම පවත්වාගන්න ඕනෑ. ඒ වාගේම සයිබර් අවකාශයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රකාශන නිදහසත් මේ ව්‍යවස්ථාව තුළ වෙනම සටහන් විය යුතුයි. අද මේ වාගේ කරුණක් සම්බන්ධයෙන් නීතිමය ගැටලූවක් ඇති වුණොත් ගොඩක් වෙලාවට අධිකරණය කරන්නේ ඒවාත් අදහස් ප‍්‍රකාශනයට අදාළය කියලා අරන් තීන්දු දෙන එක. නමුත් මේ වෙනුවෙන් සෙසු අදහස් ප‍්‍රකාශනයන්ට තියෙන තරමටම ස්වාධීන ප‍්‍රතිපාදන සැකසීම ඉතාම වැදගත්. එදා ප‍්‍රකාශන නිදහස කියලා හැදින්වුණේ යමක් ලිවීමේ හා යමක් ප‍්‍රකාශ කිරීමේ අයිතිය. නමුත් අද වනවිට ඉන්ටෙර්නෙට් හරහා එය තවත් මානයකට ගිහින් තියෙනවා. සයිබර් අවකාශයේ ප‍්‍රකාශන අයිතිය තහවුරු කරගන්නේ කොහොමද, ඒවාට තියෙන සාධාරණ සීමා මොනවාද වගේ දේවල් අද වෙන විට අවධානයට ලක්වෙනවා.

බුරුමයේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සදහා විද්වත් දායකත්වය දක්වන්න කියලා මට ආරාධනා ලැබුණ නිසා පහුගිය කාලයේ මං දෙවතාවක් බුරුමයට ගිය නිසා මට ඒ රටේ අත්දැකීම් ටිකකුත් ලැබුණා. අපි දන්නවානේ බුරුමය කියන්නේ අවුරුදු පණහක් විතර දැඩි කුරිරු හමුදා පාලනයක ඉදලා දැන් දැන් නිදහස් වෙන රටක්. පහුගිය මාසයේ පැවති ඡන්දයෙන් අවුන් සාන් සු චීගේ පක්ෂයට සියයට හැත්තෑවක ජනවරමක් ලැබුණා. ඒ අනුව ලබන මාර්තු මාසේ ඒ අය රජයක් පිහිටුවන්නයි හදන්නේ. ඇත්තටම බුරුමය මේ වෙලාවේ තියෙන්නේ ඉතාමත් තීරණාත්මක මොහොතක. මීට කලිනුත් ඡන්දයකින් සුකී මේ විදිහට ම ජයග‍්‍රහණය කළාම ඒ ප‍්‍රතිඵල අහෝසි කළ ඉතිහාසයක් බුරුමේ තියෙන්නේ.

කොහොම වුණත් දැන් බුරුමයේ ඉක්මනින් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සිදුවෙමින් තියෙනවා. ඒ වාගේම මේ වෙලාවේ මාධ්‍ය සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් සිදුකරගෙන යනවා මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීමෙන්ම. බුරුමය කියන්නේ පහුගිය කාලයේ කිසිම නියාමනයක් නැති මාධ්‍ය සංස්කෘතියක් තිබුණ රටක්. ඒත් පහුගිය කාලයේ ඒ අය ගෙනගිය වැඩපිළිවෙළ තුළින් අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා.

සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

In this week’s Ravaya column (in Sinhala), I introduce a recent anthology of rationalist essays compiled and edited by leading Sinhala language writer Ajith Thilakasena. I was asked to talk about the book at a recent meeting of the Sri Lanka Rationalists’ Association. Since I too have contributed a chapter, I cannot review the book; this is merely an exploration of the book’s provocative contents.

I have covered similar ground in an English op-ed in January 2012:
Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

 

අජිත් තිලකසේන සූරීන් මෙරට සිටින ප‍්‍රතිභාපූර්ණ නිර්මාණශීලී ලේඛකයෙක්. දක්‍ෂ ප‍්‍රබන්ධ රචකයකු, කවියකු වනවාට අමතරව ඔහු වඩාත් සරල ලෙසින් සිංහල බස ලිවීමට පිලි සහ හල් කිරීම් සමරූපීකරණය කිරීමේ සම්ප‍්‍රදායක් යෝජනා කොට එය ප‍්‍රගුණ කරන්නෙක්.

මෙයට සමාන්තරව තිලකසේන සූරීන් අදීන හා අතිශයින් විචාරශීලී චින්තනයක් ඇති හේතුවාදියකු ද වනවා. ඔහු සංස්කරණය කළ ‘‘හේතුවාදී ලිපි’’ නම් කෘතිය එළි දැක්වීමේ රැස්වීමක් මාර්තු මස අගදී හේතුවාදී සංගමයේ අනුග‍්‍රහයෙන් කොළඹදී පවත්වනු ලැබුවා. එහිදී මේ අළුත් පොත ගැනත්, පොදුවේ මෙරට හේතුවාදී සාහිත්‍යය ගැනත් කථා කිරීමට එස්. එම්. බන්දුසීල සූරීන්ට හා මට ඇරැයුම් කොට තිබුණා.

අප දෙදෙනාගේ ම ලිපි ‘‘හේතුවාදී ලිපි’’ සංග‍්‍රහයේ තිබෙනවා. මේ නිසා පොත පිළිබඳව විචාරයක් අපට කළ නොහැකි වුවත් සරසවි ප‍්‍රකාශනයක් වන මෙය හඳුන්වාදීම හා එහි කාලීන වැදගත්කම පෙන්වාදීම අපේ කථාවල මූලික හරය වූවා.

පසුගිය දශක කිහිපයක් තුළ මෙරට පුවත්පත් හා සඟරාවල පළ වූ හේතුවාදී හා විචාරශීලි ලිපි රැසක් ද මේ පොතේ එකතු කොට තිබෙනවා. මුල් අවස්ථාවේ එම ලිපි කියවීමට නොලැබුණු පාඨකයන්ටත්, ඒවා යළි කියවනු රිසි අයටත් මේ පොත මාහැඟි සංග‍්‍රහයක්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා. එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පොතේ පරිච්ෙඡ්ද 27 සමන්විත වන්නේ ලිපි 20කින් සහ දේශන හා සම්මුඛ සාකච්ඡාසටහන් 7කින්. එයට අමතරව ලේඛනගත විය යුතු කෙටි සටහන් 31ක් ද හේතුවාදී චින්තනයට අදාල සරල ඉංග‍්‍රීසි – සිංහල ශබ්දමාලාවක් ද පොතේ තිබෙනවා.

Ajith Thilakasena
Ajith Thilakasena

සංස්කාරක අජිත් තිලකසේන හේතුවාදී හා විචාරශීලී චින්තනයක් අපට අවශ්‍ය ඇයි ද යන්න පූර්විකාවේ මැනවින් පහදා දෙනවා.

‘‘ජ්‍යෙතිර් ඇඳුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටුකර ගන්න විවිධ දේවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු කියනවා.

පූර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘60දශකය ආරම්භ වෙනවාත් එක්කම ඒබ‍්‍රහම් ටී. කොවූර් දැඩි ආගමික හික්මීම්වලටත්, මිථ්‍යා විශ්වාසවලටත් ගැලී සිටි ලක් වැසි ජනතාවගේ චින්තන ලෝකය ආක‍්‍රමණය කළා. ඔවුන්ගේ පිළිගැනීම් දැඩි ප‍්‍රශ්න කිරීම් මාලාවකට ලක් කළා. මෝහාන්ධකාරයේ ගැලී සිටි ජනතාවගේ ගැටලූවලට බුද්ධියෙන් හා විද්‍යාවෙන් පිළිතුරු සොයා තම නිගමන පොදු මහජනතාවට තේරෙන බසින් සහ නිරවුල් සුගම ශෛලියකින් ඉදිරිපත් කරන්නට හැකි වීම කොවුර් සතු වූ විශිෂ්ට ගුණාංගයක්.’’

1964දී කොවූර් මුල් වරට ප‍්‍රසිද්ධ කළ 23 ආකාරයේ අභියෝග පත‍්‍රය මේ පොතේ නැවත පළ කොට තිබෙනවා. අනාවැකි කීමේ හැකියාව, දේව බල හෝ වෙනත් අද්භූත බල හෝ ප‍්‍රාතිහාර්යජනන ශක්ති ඇතැයි කියා ගන්නා ඕනෑම කෙනෙකුට ‘‘හැකි නම් කර පෙන්වන්න’’ යය මේ අභියෝග ඉදිරිපත් කළේ රුපියල් දස ලක්‍ෂයක් ද ත්‍යාගයක් ලෙස පිරිනමමින්. එහෙත් එදා මෙදා තුර එතෙර මෙතෙර කිසිවකුත් මේ අභියෝග භාර ගෙන නැහැ.

Dr Abraham T Kovoorකොවූර්ගේ තවත් වැදගත් ලිපියක් මේ පොතේ අඩංගුයි. 1960ගණන්වල මහාචාර්ය කේ. එන්. ජයතිලක නූතන තාරකා විද්‍යාව හා බෞද්ධ ඉගැන්වීම් සසඳමින් මේ දෙකෙහි සමාන්තර බවක් පෙන්වා දීමට උත්සාහ කළා. Buddhist Cosmologyහෙවත් බෞද්ධ විශ්වවේදය නමින් හුවා දක්වන්නට තැත් කළ එය, සැබෑ නොවන බව බෞද්ධ ධර්ම ග‍්‍රන්ථ අධ්‍යයනයෙන් පසු කොවූර් සාවධානව හා ආචාරශීලීව පෙන්වා දුන්නා.

එසේ කරමින් කොවූර් කීවේ මෙයයි:‘‘අභාවයට ගිය හෝ තවමත් පවත්නා ආගම් අතුරෙන් අනාත්ම ධර්මයන්, නිර්මානී දෙවියකු නොසිටීමත්, අනගි සදාචාර ශික්‍ෂාත් නිසා බෞද්ධ දර්ශනය වඩාත් හේතුවාදීයි. එහෙත් බුද්ධිමය වංචා මාර්ගයෙන් සත්‍ය කරුණු විකෘති කොට බුද්ධාගමට බලකණු සපයන්න යාමෙන් එයට යහපතට වඩා සිද්ධ වන්නේ අයහපතක්.’’

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

බොරු ඇදහිලි ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1968වසරේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා කළ දේශනයක සටහන් ද මෙහි වැදගත් පරිච්ෙඡ්දයක්. සාහිත්‍ය විචාරයට පමණක් නොව තියුණු ලෙස සමාජ විචාරයටත් ඔහු යොමු වූ සැටි මෙයින් මනාව පෙනෙනවා.

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ. මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී. එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිථ්‍යාවක් බවට පත් වී තිබේ.’’

‘‘සත්‍යය, මුසාව, රැවටීම, අවංකකම – මෙවැනි යහගුණ හා නුගුණ අවශ්‍ය වන්නේ පරලොව උදෙසා ද එසේ නැත්නම් තමා ජීවත්වන සමාජයේ ඔවුනොවුන් අතර පැවතිය යුතු සම්බන්ධය උදෙසා ද? මානව භක්තිය ඇති කෙනකුට තවත් කෙනකු බොරුවෙන් රැවටීමට හෝ ඔහුගේ ජීවිතය විනාශ කර දැමීමට හෝ ශක්තියක් නැත…. පරලොව උදෙසා අවශ්‍ය බව කියන පින් පව් මෙලොව සමාජ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ චර්යාධර්ම වශයෙන් පෙන්වා දිය හැකිය.’’

මෙතැනදී සරච්චන්ද්‍රයන් මතු කරන්නේ ප‍්‍රායෝගික වූත්, නිර්ආගමික වූත් දර්ශනයක්. හේතුවාදීන්ගේ චින්තනයේ හරයත් මෙයයි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යයි සරල ලෙස ලඝු කිරීම යම් තරමකට සම කළ හැකි වන්නේ මාක්ස්වාදීන් යනු රාජ්‍ය විරෝධීන් යයි කලකට පෙර ඇතැම් දෙනා තුළ තිබූ දුර්මතයටයි. මේ දෙක ම වැරදියි.

හේතුවාදයේ මූලික ප‍්‍රවේශය නම් කියන්නා කෙසේ කීවත් අසන්නා සංශයවාදීව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමයි. එහිදී ආගම්, සාමයික දර්ශන, දේශපාලන මතවාද, විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළු අන් හැම දෙයක්මත් ප‍්‍රශ්න කිරීමට පාත‍්‍ර වනවා.

දේශපාලන මතවාද හා ආර්ථික ක‍්‍රමවේද සියුම්ව විවේචනය කිරීමට සමත් අපේ බොහෝ උගතුන් පවා ආගම් අරභයා එවන් විචාරශීලි බවක් පෙන්වන්නේ නැහැ. සාමයික හා ආගමික ඉගැන්වීම් යයි පූජකයන් විග‍්‍රහ කරන හැම දෙයක්ම දොහොත් මුදුනින් පිළි ගැනීම බොහෝ විට කරනවා. බුදු දහමේ නම් මෙසේ නොකරන මෙන් තරයේ අවවාද කොට තිබෙනවා (කාලාම සූත‍්‍රය).

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka
Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka

හේතුවාදීන් කරන්නේ දේශපාලනික, ආර්ථික හා වෙනත් ක්‍ෂෙත‍්‍රයන් මෙන්ම සියළු ආගමික හා සාමයික ඉගැන්වීම් හා විග‍්‍රහයන් ද විචාරශීලීව හා තර්කානුකූලව විමර්ශනය කිරීමයි (එනම් කාලාම සූත‍්‍රය හරිහැටි පිළිපැදීමයි!).

මෑතදී මිය ගිය ප‍්‍රකට ඉන්දියානු ලේඛක කුෂ්වාන්ත් සිං (1915-2014) වරක් දලයි ලාමාතුමා සමග කළ සංවාදයක් සිංහලට පෙරළා මේ පොතෙහි ඇතුළත් කොට තිබෙනවා. පාප්තුමා හැරුණු කොට රාජ්‍ය නායක මට්ටමේ සිටින ලොව එකම සාමයික නායකයා වූත්, ලොව ඉතාම ප‍්‍රකට බෞද්ධ නායකයා වූත්, නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමාතුමා බුදුදහම හා නූතනත්වය තුලනය කරන්නට මහත් සේ වෙර දරන කෙනෙක්.

එම තනතුරට පත් 14වැනියා වන ඔහු ඊට පෙර සිටි දලයි ලාමාතුමාගේ නැවත ඉපදීමක් සේ නිර්ණය කරනු ලැබ දලයි ලාමා ලෙස පත් කර ගනු ලැබුවේ 1950දී. 1959දී චීනය විසින් ටිබෙටය ආක‍්‍රමණය කොට අල්ලා ගත් පසු ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා හා අනුගාමිකයන්ට එදා පටන් ඉන්දීය රජයේ විශේෂ රැකවරණය ලැබෙනවා.

ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියකු ලෙස දලයි ලාමාතුමා සමග සාකච්ඡා කරන කුෂ්වාන්ත් සිං, පුනරුත්පත්තිය ගැන තමා කිසිසේත් විශ්වාස නොකරන බව කියනවා. මේ ගැන කලබල හෝ කෝප නොවී ඉතා සන්සුන් ලෙසින් දලයි ලාමා සිං සමග සංවාද කරනවා. ජීවිතයේ දුක සැප, මරණය ආදිය ගැන දෙදෙනාගේ අදහස් හොඳට ම වෙනස්. නිර්ආගමික වූ සිං, ලෞකික දර්ශනයකින් ලෝකය විග‍්‍රහ කරනවා. එකිනෙකාට ගරු කරමින් එහෙත් එකඟ නොවෙමින් මේ කරන කථා බහ කියැවීම ම මනසට ප‍්‍රබෝධයක්.

වෙනත් බොහෝ ආගමික හා සාමයික නායකයන්ට වඩා පුළුල් වූ මනසක් හා හාස්‍යලොලී පෞරුෂයක් දලයිලාමාට ඇති බව පෙනී යනවා. කථාව අවසානයේ පුනරුත්පත්තිය කිව හැකි (එනම් පසුගිය ආත්ම මතකයට නගා ගත හැකි)එකදු මුස්ලිම් දරුවකු ගැන දන්නවාදැයි සිං අසනවා. (ඉස්ලාම් ධර්මයේ නැවත ඉපදීමක් කියැවෙන්නේ නැහැ.)

එතැනදී දලයි ලාමා මහ හයියෙන් සිනාසෙමින් මෙසේ පිළිතුරු දෙනවා. ‘‘එතන ඇත්තක් තියෙනවා තමා. ඒ උනත් මම පුනරුත්පත්තිය විශ්වාස කළේ නැත්නම් මට වැඩ නැතුව යනවා!!’’

මේ තරම් නිර්ව්‍යාජ හා විවෘත ලෙස තම ධර්මය ගැන කථා කළ හැකි ආගමික නායකයන් ඉන්නේ කී දෙනා ද?

‘‘හේතුවාදී ලිපි’’ පොතෙහි ඇත්තේ ආගම් ගැන විචාරශීලීව විමසීම පමණක් නොවෙයි. සමහර ලේඛකයෝ ඇදහිලි හා ජන විශ්වාස (නාඩි වාක්‍ය, පිරිත් නූල්, අංජනම් එළි, අල්ලේ රේඛා මගින් සාස්තර කීම, කේන්දර බැලීම ආදිය)ගැන ප‍්‍රශ්න කරනවා – විවෘතව මත දක්වනවා. තවත් ලිපිවලින් අද්භූත හෝ පාරභෞතික යයි සැළකෙන (භූතයෝ, යකුන්, අවතාර, ආවේශවීම)ආදී සංසිද්ධීන් විග‍්‍රහ කැරෙනවා.

‘‘දේශීය දැනුම’’ හා ‘‘සාම්ප‍්‍රදායික ඥානය’’ වැනි කඩතුරාවලට මුවා වෙමින් කිසිදු තාර්කික ප‍්‍රශ්න කිරීමකින් හෝ නීතිමය නියාමනයකින් තොරව ලක් සමාජයේ කැරෙන ගුප්ත ව්‍යාපාරයන්ගේ පදනම සමහර ලිපි මගින් සියුම් ලෙස විමර්ශනය කරනවා.

පොතට ලිපි සපයා ඇති වෛද්‍යවරුන් තමන්ගේ ක්‍ෂෙත‍්‍රයට අදාල කාලීන මාතෘකා ගැන නිවහල් මත දක්වනවා. විශ්ව ශක්තියෙන් හෝ යාඥා බලයෙන් බරපතල (පිළිකා ඇතුළු) නිදන්ගත රෝග සුව කළ හැකි ද? කැඩුම් බිඳුම් ප‍්‍රකෘති තත්ත්වයට පත් කළ හැකි ද?

යන්නන් වාලේ අන් අය පසුපස යාම නිසා බුද්ධියෙන් මෙතරම් දියුණු යුගයක පවා ප‍්‍රාථමික සිතුම් පැතුම්වලට ඇබ්බැහිව එල්බෙමින් සිටින අති විශාල පිරිසක් ලොව සිටින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය ලිපියේ කියනවා.

ඔහු එය අවසන් කරන්නේ මෙසේයි. ‘‘මගේ පෞද්ගලික අදහස්වල හැටියට මගේ කිසිදු වැඩක් නැකතට කරලා නැහැ. පොරොන්දම් බලලා නැහැ. ජ්‍යෙතිෂය පසුපස හති දම දමා දුවලා නැහැ. මම මෙතෙක් කටයුතු කරලා තියෙන්නේ ඕවා සියල්ල මිථ්‍යා කාරණා හැටියට සළකලායි.’’

පූර්විකාවේදී අජිත් තිලකසේනයන් තව වැදගත් කරුණක් මතු කරනවා. මෙරට ඉතිහාසයේ වාර්තාගත ලොකුම ව්‍යසනය වූ 2004 දෙසැම්බර් 26 වනදා සුනාමිය පුරෝකථනය කරන්නට කිසිදු ජ්‍යොතිර් ඇදුරකුටවත් හැකි වූයේ නැහැ.

ඔහු කියන හැටියට ‘‘ජ්‍යොතීර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියන දේවල් බොරු වූ අවස්ථා දැක දැකත් ඒ පසුපස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ.’’

පුර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘බෞද්ධ සංස්කෘතිය ශ‍්‍රී ලංකා සමාජය තුළ හිමි කර ගෙන ඇති තැන ප‍්‍රශ්න කළ යුතු නෑ. එහෙත් ආගම (ඇදහිල්ල) ඇතුළත් විය යුත්තේ කෙනකුගේ පුද්ගලික පරිමණ්ඩලයට. ආගමක් ඇදහීම හෝ නොඇදහීම ඔහුගේ/ඇයගේ කැමැත්ත පරිදි විය යුතුයි….’’

රාජ්‍යය නිර්ආගමික වීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා. ‘‘ආණ්ඩුවට ආගමක් නැහැ’’ යන්න ප‍්‍රථම අගමැති ඞී. එස්. සේනානායක කී බව මතක් කරමින් ඔහු කියන්නේ, ‘‘එක් ආගමකට ප‍්‍රමුඛස්ථානය දෙන වගන්තියක් 1972ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඛේදයක්. එයට මුල් වූයේ මාක්ස්වාදී නායකයෙක් වීම උත්ප‍්‍රාසය දනවන්නක්. එයින් පස්සේ හැම ආණ්ඩුවක්ම ක‍්‍රියාවෙන් ‘සර්ව ආගමික’ වුණා.’’

Ceylon Rationalist Association: 1970 Memorandum on a New Constitution for Sri Lanka (letter from Dr Abraham T Kovoor to Dr. Colvin R. De Silva, Minister of Constitutional Affairs)

පූර්ණ ආගමික වූ මහත්මා ගාන්ධි පවා කටයුතු කළේ ඉන්දියාව ඓහික (secular) රාජ්‍යයක් කරනු සඳහායි. ඇදහිල්ල පුද්ගලික දෙයක් කොට ඔහු සැළකුවා. ආගමික ආයතනය නඩත්තුවට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම ගාන්ධි අනුමත කළේ නැති බවත් තිලකසේනයන් සිිහිපත් කරනවා.

මේ අයුරින් පුළුල් මහජන සංවාදයට ලක් විය යුතු තේමා රැසක් මේ පිටු 166ක කුඩා පොතේ අඩංගුයි. නමින් ‘‘හේතුවාදී ලිපි’’ වුවත් හේතුවාදී තලයෙන් ඔබ්බට මේ විචාරශීලී දැක්ම ගෙන යාම හදිසි කාලීන අවශ්‍යතාවයක් බව නම් පැහැදිලියි.

පොත රැගෙන කියවා බලන්න!

See also:

25 Sep 2011: සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 March 2012: සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා –  ඒකට අපි සැරසෙනවා!

25 March 2012: සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

18 Dec 2013: “ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

6 April 2014: සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

අජිත් තිලකසේන සංස්කරණය කළ ‘හේතුවාදී ලිපි’ පොත නිකුත් වෙයි

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ.  මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී.  එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිත්‍යාවක් බවට පත්වී තිබේ.’’

මේ වටිනා ප‍්‍රකාශය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1968දී.  පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා ‘20 වන සියවසේ බුද්ධිමතාගේ ඇදහීම කුමක් විය යුතුද?’ යන මැයෙන් දේශනයකදී.

ඒ දේශනයේ උධෘත කිහිපයක් අජිත් තිලකසේන ලේඛකයා විසින් සංස්කරණය කරන ලද ‘හේතුවාදී ලිපි’ නම් අළුත් පොතේ අඩංගුයි.  එය සරසවි ප‍්‍රකාශනයක් ලෙස 2014 ජනවාරියේ නිකුත් වුණා.

ලෝකයේ ප‍්‍රකට හා සම්භාවනීය නිදහස් මතධාරින් ගණනාවකගේ සහ මෙරට අදීන චින්තකයන් කිහිප දෙනෙකුගේ විවෘත මත දැක්වීම් පෙළ ගස්වා ඇති මේ පොතේ පිටු 166යි.  ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අනුදැනුම ද ඇතිව මේ පොත සකස් කොට තිබෙනවා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට අමතරව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා.

එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පුනරුත්පත්තිය ගැන දලයි ලාමා තුමාගේ අදහස්, ඇදහිලි ගැන මහත්මා ගාන්ධිතුමාගේ විග‍්‍රහයක් මෙන්ම අද්භූත හා ප‍්‍රාතිහාර්ය ලෙස සැළකෙන දේ අරඹයා 1962දී ආචාර්ය කොවූර් නිකුත් කළ ප‍්‍රසිද්ධ අභියෝගය ද සරල හා ලිහිල් සිංහලෙන් මේ පොතෙන් කියවිය හැකියි.

අජිත් තිලකසේනයන්ගේ ඇරයුමෙන් මේ පොතට එක් ලිපියක් මා රචනා කළා. එහි මාතෘකාව ‘මිනිසුන් උමතු කරන මනෝ වයිරසය’. ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් සියළු සංවිධානගත ආගම් ගැන ජීවිත කාලය පුරා කියු හා ලියු අදහස්වල සම්පිණ්ඩනයක් මේ ලිපියේ මා ගොනු කළා.

ක්ලාක්ගේ ජිවිතයේ අවසන් වසර 21 (1987-2008) කාලයේ පර්යේෂණ සහායක ලෙස සමීපව වැඩ කිරීමෙන් මා ලද වටිනා දායාදයක් නම් ආගම් දර්ශන ඇතුළු වෙනත් බොහෝ විෂයයන් හා තේමාවන් ගැන ඔහුගේ නිවහල් අදහස් උකහා ගත හැකි වීමයි.

මේ ලිපිය මා ලිව්වේ ඉංගී‍්‍රසියෙන් ඇති ඔහුගේ ප‍්‍රකාශිත පොත්පත්, මාධ්‍ය සාකච්ඡා හා අප‍්‍රකාශිත දේශන පිටපත් වැනි මූලාශ‍්‍ර රැසක් සීරුවෙන් පරිශීලනය කිරීමෙන් පසුවයි.

ආගම් ගැන විවෘත මත දැක්වීමකදී බොහෝ දැන උගත් අය පවා අනවශ්‍ය තරම් ආවේගශීලි වන නිසා සාවධානව මේ ගැන  ක්ලාක්ගේ අදහස් කැටි කිරීමට මා උත්සාහ කළා.  මගේ පෞද්ගලික අදහස් මෙහි නැහැ.  මා හුදෙක් ඔහුගේ අදහස් සිංහලෙන් බෙදා ගන්නා සන්නිවේදකයා පමණයි.

මගේ ලිපියට අමතරව ක්ලාක්ගේ තවත් බුද්ධිමය දායකත්වයක් මේ පොතේ තිබෙනවා එනම් ‘රාජ්‍ය පාලනය හා ආගම’ ගැන ඔහුගේ අදහස්වල සිංහල අනුවාදයක්. 2007 දෙසැම්බරයේ ඔහුට වයස 90 පිරුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයේ FOCUS විද්‍යා සඟරාව සමග කළ මාධ්‍ය සාකච්ඡාවක උධෘතයක්.  එය ඔහු කළ අවසන් සාකච්ඡාවලින් එකක්.

See also:

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

The ascent or descent of Man?
The ascent or descent of Man?

සිවුමංසල කොලූගැටයා #137: නව සියවසට නවීකරණය වූ ‘භූතයෝ’

In this week’s Ravaya column (in Sinhala), I explore the nexus between public perceptions and public health – a topic I discussed in a recent talk to the College of Community Physicians Sri Lanka held in Colombo on 23 – 24 September 2013.

See also: Taming 21st Century Demons for Universal Health Access in Sri Lanka

Dosthara Wisthara, A Doctor's Memories, by Dr Ariyasena U Gamage
Dosthara Wisthara, A Doctor’s Memories, by Dr Ariyasena U Gamage

විශෙෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ 2002දී ලියා පළ කළ ‘දොස්තර විස්තර’ නම් පොත මා ළඟදී කියෙව්වා. ඒ වන විට විසි පස් වසරක් පමණ වූ වෛද්‍ය ජීවිතය තුළ ඔහු ලැබූ අත්දැකීම් කතන්දර හැටියට රසබරව ලියා තිබෙනවා.

වෙදකමට වගේ ම ලියන්නටත් හපන් වෛද්‍ය ගමගේ, ලෙඩ රෝග ගැන විතරක් නොවෙයි අපේ සමාජයේ බහුලව හමුවන ඇදහිලි, විශ්වාස හා මිථ්‍යාවන් ගැනත් විවෘත මනසකින් යුක්තව කථා කරනවා.

වෛද්‍යවරුන් හැටියට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ශාරීරික සාධක මෙන් ම මානසික සාධක ගැනත් සංවේදී වීම වැදගත් බව ඔහු අවධාරණය කරනවා. 1970 දශකය අගදී රජයේ රෝහල්වලට ආ සහ වාට්ටුවලට ඇතුඵ කරනු ලැබූ රෝගීන්ගෙන් සියයට හැට හැත්තෑවකගේ ම අතේ හෝ බෙල්ලේ හෝ ඇප නූල් ගැට ගසා තිබු සැටි ඔහු සිහිපත් කරනවා. ඒවා රෝගියා රෝහලට ගෙන එන්න පෙර කට්ටඩියකු විසින් ගැට ගැසූ පාර-වෛද්‍ය ප‍්‍රතිකර්මයි.

එවකට ගාලූ මහ රෝහලේ සර්වාංග රෝග විශෙෂඥ වෛද්‍යවරයාට මේ ඇප නූල් රුස්සන්නේ නැතිලූ. ඔහු කියා ඇත්තේ ‘ලෙඩ සුව වෙන්නේ අපි දෙන බෙහෙත් ප‍්‍රතිකාර නිසා. ඒත් ඒකෙ ගෞරවය යන්නේ නූල් බැඳපු කට්ටඩියට!’

එක් දිනක් මේ විශෙෂඥ වෛද්‍යවරයා කතුරක් ගෙන ඔහුගේ වාට්ටුවේ සිටි සියලූ රෝගීන්ගේ බැඳ තිබූ නූල් කපා දැමූ සැටි වෛද්‍ය ගමගේ විස්තර කරනවා. නමුත් ටික කලකට පසුව මේවායේ මනෝවිද්‍යාත්මක වැදගත්කම ගැන ඔහු අවබෝධ කර ගත් සැටි ද කියනවා.

වෛද්‍ය ගමගේ ඒ ලිපිය අවසන් කරන්නේ මෙහෙමයි. ‘‘ගාලූ රෝහලට රෝගීන් මාරු කර එවන්නේ උඩුගම, ඇල්පිටිය, බද්දේගම, ආරච්චිකන්ද වැනි ග‍්‍රාමීය රෝහල්වලිනි. මෙසේ මාරු කර එවන රෝගීන් බොහොමයකගේ ඇගහි ඇප නූල් ගැට ගසා තිබුණි. ඒවා නිකම් ම නිකම් නූල් කැබලි නොව ඒවා තුළ මිනිසාගේ සිතුම් පැතුම් සහ විශ්වාස රාශියක් කැටි කොට සඟවා ඇති බව තේරුම් ගැනීමට (විශෙෂඥ වෛද්‍යවරයාට) ගත වූයේ සුඵ කාලයකි.’’

සැප්තැම්බර් අග කොළඹදී පැවැති ශී‍්‍ර ලංකා ප‍්‍රජා වෛද්‍ය විශෙෂඥයන්ගේ සංගමයේ (College of Community Physicians Sri Lanka) වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ කෙටි දේශනයක් කරමින් මා මේ සානුකම්පිත වෛද්‍යවරයාගේ අත්දැකීම කෙටියෙන් උපුටා දැක්වූවා.

Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo - Photo by Janaka Sri Jayalath
Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo – Photo by Janaka Sri Jayalath

මගේ කථාවේ හරය වූයේ යහපත් සෞඛ්‍ය ළගා කර ගැනීම හා පවත්වා ගැනීම තනිකර වෛද්‍ය හා පොෂණ ව්‍යයාමයක් පමණක් නොව ඊට වඩා පුඵල් වූත්, ගැඹූරු වූත් කටයුත්තක් බවයි. මේ නිසා මහජන සෞඛ්‍යය (public health) මනා අයුරින් පවත්වා ගන්නට වෛද්‍ය හා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවලට අමතරව සමාජ විද්‍යා, මානව විද්‍යා වැනි වෙනත් ක්‍ෂෙත‍්‍රවල විශෙෂඥ දැනුම හා දායකත්වය ද අවශ්‍ය වනවා. එහෙත් නිල සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය තුළ මෙබඳු පුඵල් ප‍්‍රවේශයකට ඉඩක් නැහැ. (මානසික සෞඛ්‍යය ගැන පවා අවධානය යොමු කිරීම සිදු කැරෙන්නේ මෑත කාලයේ පටන්.)

මා කීවේ අද ලක් සමාජය පුරා බෙහෙවින් ප‍්‍රචලිත වී ඇති ඇදහිලි, විශ්වාස හා මිථ්‍යාවන් සමහරක් කෙළින් ම හෝ වක‍්‍රාකාරව හෝ මිනිසුන්ගේ සෞඛ්‍යයට ද බලපාන නිසා මේවා ගැන ඔවුන්ගේ පර්යේෂණාත්මක අවධානය යොමු විය යුතු බවයි.

එහිදී සෞඛ්‍යයට අදාල මිථ්‍යාවන් හා විශ්වාස මූලික කාණ්ඩ තුනකට වර්ග කළ හැකි යයි මා යෝජනා කළා.

පළමු කාණ්ඩය: එය විශ්වාස කිරීම නිසා පුද්ගලයාට හෝ සමාජයට හානියක් සිදු නොවන අහිංසක ආකාරයේ විශ්වාසයන්. වෛද්‍ය ගමගේ ලියා ඇති පරිදි හිතේ සැනසීම ලබා දෙන යම් සරල ශාන්ති කර්ම ආදියේ වරදක් නැහැ. (වෛද්‍ය ප‍්‍රතිකාරවලට නිසි කලට යොමු වීම එමගින් වළක්වන්නේ හෝ ප‍්‍රමාද කරන්නේ නැති නම්.)

දෙවැනි කාණ්ඩය: අදහන්නාට යම් ආර්ථික හෝ වෙනත් අලාබයක් හෝ හානියක් සිදු කළ හැකි වූවත් සෙසු සමාජයට හා රටට අහිතකර බලපෑමක් නොකරන ආකාරයේ විශ්වාස.

තුන්වැනි කාණ්ඩය: අවිචාරශීලීව විශ්වාස කිරීම හරහා පුද්ගලයාට, පවුලට, සමාජයට මෙන් ම පොදුවේ රටටත් අහිතකර ලෙස බලපෑ හැකි ආකාරයේ බරපතල මිථ්‍යාවන්. ප‍්‍රතිශක්තිකරණ එන්නත් ගැන සමහර රටවල උගත් නූගත් දෙපිරිස ම දරණ අස්ථාන භීතිය මෙයට හොඳ උදාහරණයක්.  (බලන සැමත කුමන්ත‍්‍රණ පිරි දේශයක් නමින් 2013 පෙබරවාරි 10දා කොලමින් පාකිස්ථානය ගැන මා කළ විග‍්‍රහය ද බලන්න.)

අද කාලේ මේ තුන්වන කාණ්ඩයේ මිථ්‍යාවන්ට පාදක වන්නේ මීට කලකට පෙර ලක් සමාජය බියපත් කළ සාම්ප‍්‍රදායික භූතයන්, අවතාරයන් හා වෙනත් භීතිකාවන් නොවෙයි.

මහසෝනා, රීරියකා, මෝහිනී ආදී සංකල්ප ගැන තවමත් අපේ සමහරුන් තුළ විශ්වාසයක් ඇතත් දැන් නූතන ජන සමාජයට සරිලන පරිද්දෙන් භීතිකා ප‍්‍රභවයන් ද නවීකරණය වී ඇති බවට මා තර්ක කළා. මා එය ඉංගී‍්‍රසියෙන් කීවේ ’21st Century Demons’ නැතහොත් විසි එක් වන සියවසේ නවීන භූතයෝ හැටියටයි.

විශෙෂයෙන් තාක්‍ෂණයන් ගැන සමාජයේ පවතින සැකයන්, අවිනිශ්චිතභාවයන් ආදිය පදනම් කර ගෙන නූතන මිථ්‍යාවන් නිරතුරුව බිහි වී සංසරණය වනවා. සොයා බලා ගෙන ගියාම මේ සමහරකට කිසිදු සාක්‍ෂියක් නැහැ. තවත් ඒවා යම් කරුණු අතිශයෝක්තියට ලක් කිරීමෙන් විකෘත කරනු ලැබූ අවස්ථායි.

සෞඛ්‍යයට යමක් සම්බන්ධ වූ හැටියේ බොහෝ දෙනා කලබල වනවා. අනතුරු, ආබාධ හා උපද්‍රවවලින් බේරී සිටින්නට අප කවුරුත් කැමතියි. එහෙත්  ඕනෑවට වඩා විය හැකි සැම ආපදාවක් ගැනම දිගටම සිතන්නට ගියොත් එයම මානසික රෝග බවට වර්ධනය විය හැකියි.

ප‍්‍රතිශක්තිකරණ එන්නත්, බලශක්තිය, ආහාරපාන හා බෙහෙත් ආදී ජීවිතයේ හැම අවශ්‍යතාවක් සම්පාදනය කර ගැනීමේදී නූතන සමාජයේ කවුරුත් අවදානම ගැන තක්සේරුවක් කරනවා. මුඵමනින් ආරක්‍ෂිත වීමට නම් විෂබීජහරණය කළ සුවිශෙෂී ඇඳුම් කට්ටලයක් හැඳ ගෙන, අධී ආරක්‍ෂිත කාමරයක දිවා ජීවත් වන්නට සිදුවෙයි. එසේ කළත් ආහාරපාන හරහා නොයෙක් බලපෑම් ඇති විය හැකියි. අප කරන්නේ යම් නූතන පහසුකමක් වෙනුවෙන් ගත හැකි සාධාරණ අවදානම කුමක් දැයි නිර්ණය කොට එයට යොමු වීමයි. ගින්දර භාවිතය ඇරැඹූ දා පටන් මානව වර්ගයා මේ කිරා මැන බැලීම කර තිබෙනවා.

මෑත කාලයේ මෙරට සෞඛ්‍ය භීතිකා ගණනාවක් පැන නැගී මාධ්‍ය හරහා ඉක්මනින් පැතිර ගියා. ඒ කිහිපයක් ජංගම දුරකථනවලට සම්බන්ධයි. ජංගම දුරකථන සම්බන්ධතා ලබා දෙන මයික්‍රෝවේව් ක්ෂූද්‍ර තරංග මිනිස් සිරුරට අහිතකර විය හැකි ද යන්න ගැන තවමත් ලොව පුරා පර්යේෂණ කරමින් තිබෙනවා.

එයින් නිශ්චිතවම මොළයට හෝ වෙනත් අවයවයකට හෝ හානියක් වේ යයි සොයා ගෙන නැහැ. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා තවමත් විවෘත මනසකින්, විමසිලිමත්ව සිටිනවා. http://www.who.int/features/qa/30/en/

එහෙත් සමහර සංත‍්‍රාසජනක වෙබ් අඩවි මේ වන විටත් ජංගම දුරකථන හා ඒවායේ සම්පේ‍්‍රෂණයට යොදා ගන්නා කුඵණු ගැන සමාජ භීතියක් පතුරුවා තිබෙනවා. වෙබ් අඩවි අතර විශ්වාසනීය මූලාශ‍්‍ර තෝරා ගන්නට නොදත් සමහරුන් මෙයින් කලබල වනවා.

නොයෙක් ආහාරපානවලට වසවිස එකතු වීම ගැන විටින් විට පැතිර යන භීතිකා ද බොහෝ විට පදනමකින් තොරයි. එහෙත් විද්‍යාත්මක මුහුණුවක් සහිතව සමහර අන්තවාදී පාරිසරික හෝ සෞඛ්‍ය කි‍්‍රයාකාරිකයන් කරන පක්‍ෂග‍්‍රාහී විවේචනවලට අහිංසක ජනයා රැවටෙනවා.

පරිසරවේදීන් බොහෝ දෙනෙකුට ‘දුෂ්ටයන්’ගේ දිග ලැයිස්තුවක් තිබෙනවා. එයින් සමහරක් (උදා: ඇස්බැස්ටෝස්, අධික විෂැති යම් පළිබෝධක නාශක වර්ග) සෞඛ්‍යයට සැබැවින් ම හානිකර බව සනාථ වී ඇතත් ඔවුන් දොස් කියන සමහර සංසිද්ධීන් හා නිපැයුම්වල හිතකර – අහිතකර බව ගැන තවමත් විද්‍යාඥයන් පර්යේෂණ කරමින් සිටිනවා.

එබන්දකට උදාහරණයක් නම් ජාන වෙනස් කිරීම හරහා යම් වැඩිදියුණූ කිරීමට පත්වූ ආහාර බෝග විශෙෂයන්. Genetically modified organisms (GMO)  නමින් හඳුන්වන මෙබඳු ආහාර නිශ්චිතව සෞඛයයට අහිතකර යයි විද්‍යාඥයන් අතර ඒකමතික පිළිගැනීමක් නැහැ. එයට එරෙහි වූවන් එය මහා භයානක දෙයක් බව කීවත් වසර හෝ දශක ගණනක් දැනුවත්ව හා කැමැත්තෙන් ඨඵධ සෝයා බෝංචි, තක්කාලි හා වෙනත් බෝග ආහාරයට ගත් ජනයාට අසාමාන්‍ය රෝගාබාධ වැළදී නැහැ.

විකිරණශීලී, GMO, කෘෂිරසායනික ආදී නූතන විද්‍යාත්මක සංකල්ප හා තාක්‍ෂණයන් ප‍්‍රවේශමින් පරිහරණය කිරීම හරහා මිනිස් ජීවන තත්ත්වය දියුණු කිරීමට යොදා ගත හැකියි. එහෙත් අන්තවාදී පරිසරවේදීන් මේවා ගෙඩි පිටින් ප‍්‍රතික්ෂෙප කොට ඒවාට එරෙහිව අතිශයෝක්ති හා ප‍්‍රලාප සමාජයේ පතුරුවා හරිනවා.

තවත් සමහර අන්තවාදීන් ප‍්‍රතිශක්තිකරණ එන්නත්වලට හා ක්ෂූද්‍ර පෝෂක (යකඩ, අයඞීන්, විටමින් B) ආහාරවලට මුසු කිරීමට විරුද්ධයි. ඒ විරෝධය සාක්‍ෂි මත පදනම් වූවක් නොව බටහිර විරෝධය, ධනවාදී ක‍්‍රමයට විරෝධය හා සියඵ නූතනත්වය සැක කිරීම ආදී මතවාදී (ideological) හේතු නිසා හට ගත්තක්.

මේවා නව සියවසේ නව භීතිකා ගොන්නට අයත්. පරණ භූතයන් වෙනුවට අපේ බොහෝ දෙනා දැන් අදහන්නට පටන් ගෙන ඇත්තේ මෙබඳු නවීන භූත කථායි.

මා නිතර කියන පරිදි කැමති ප‍්‍රලාපයන් ඇදහීමට පෞද්ගලික නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි අන් අයට පතුරුවමින් රාජ්‍ය සෞඛ්‍ය ප‍්‍රතිපත්තිවලට එරෙහි වන ආකාරයේ භීතිකා ඇති කිරීමට අසීමිත නිදහසක් ශිෂ්ට සමාජයක තිබිය නොහැකියි.

සරල උදාහරණයක් මට සිහි වනවා. AIDS කාරක HIV වයිරසය පැතිරීමේ එක් ක‍්‍රමයක් නම් බෙහෙත් හෝ එන්නත් විදීමට යොදා ගන්නා ඉදිකටු හරහායි. මෙය තේරුම් ගත් විගස (1980 දශකය මැද වනවිට) වරක් පමණක් භාවිත කොට ඉවත දමන ඉදිකටු (disposable needles & syringes) යොදා ගැනීම ඇරඹුණා.

බොහෝ දේ ගැන අන්ත අසුබවාදී විග‍්‍රහයන් කරන, දේශීය උරුමය හා පාරම්පරික දැනුම ගැන පෙනී සිටින මෙරට එක් ජන සංවිධානයක් 1990 දශකය අගදී සිය නිල ප‍්‍රකාශනයක තර්ක කළේ මෙසේ ඉදිකටු වරක් භාවිතා කොට ඉවත දැමීම බටහිර ඖෂධ සමාගම් තර කරන තවත් එක් උප්පරවැට්ටියක් බවයි! ඔවුන් යෝජනා කළේ මෙබඳු මූලික මට්ටමේ ප‍්‍රවේශම්කාරී පියවරක් ශී‍්‍ර ලංකාව වැනි දුප්පත් රටකට දරා ගත නොහැකි බවයි

ජන මතය ව්‍යාකූල කරමින්, යහපත් සෞඛ්‍ය සේවා ප‍්‍රතිපත්ති අයථා ලෙස විවේචනය කරමින් කුමන්ත‍්‍රණවාදී කථා පැතිරවීම දැන් පෙරටත් වඩා ප‍්‍රබලව කැරෙන බව පෙනෙනවා. මේ නිසා අපේ සෞඛ්‍ය සේවා පරිපාලකයන්ට, වෛද්‍ය, හෙද හා අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ සැමට විෂබීජ හා රෝගාබාධ සමග පොර බදනවාට අමතරව නවීන මිථ්‍යාවන් හා භීතිකාවන්වලින් ලක් සමාජය ගලවා ගන්නට ද සිදුව තිබෙනවා.

සාම්ප‍්‍රදායිකව ලක් සමාජය බියපත් කළ භූතයන් හා වෙනත් පාරම්පරික භීතිකා ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර් ප‍්‍රමුඛ හේතුවාදීන් විසින් තර්කානුකූල ගවේෂණ හා සාවධාන පහදා දීම හරහා බොහෝ කොට දුරු කරනු ලැබුවා.

එහෙත් ව්‍යාජ විද්‍යාත්මක (pseudo-science) ඇඳුම් ඇඟලා ගෙන අප අතරට එන විසි එක් වන සියවසේ නවීන භූතයෝ (භීතිකා) ඊට වඩා බෙහෙවින් භයානකයි. හානි කරයි.

ඔවුන් පළවා හරින්නට කොවූර්ලා කී දෙනෙකු  ඕනෑ වේවි ද?

සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

A message from your friendly producers…?

Please turn off your brain cells!

Is this the message that should be displayed at the entrance of some media and public institutions in Sri Lanka? In this latest Sunday column, appearing in Ravaya newspaper of 29 January 2012, I make a tongue-in-cheek suggestion for doing so. This is entirely justified given how much of superstition, half-baked stories and mind-rotting nonsense that a gullible public seems to lap up with little critical examination.

This week I continue what I started last week discussing challenges faced by rationalists in today’s Sri Lanka, a land under siege by dogma, charlatans and religious fanatics all of who operate with impunity, claiming ‘sacred cow’ status under various labels of religion, indigenous knowledge or national heritage.

Once again I pay tribute to the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. Kovoor’s successors today have more communications tools and platforms than ever before, but find that charlatans have mastered many of them for hoodwinking the public…

Media publishers and broadcasters turn a blind eye to such practices as these represent a steady income source. I touched on this aspect in a blog post in Nov 2008: Meet the new Pied Pipers of our Global Village: the Media!

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

“ඔබේ ජංගම දුරකථන අක‍්‍රීය/නිහඩ කරන්න!”

මෙය චිත‍්‍රපට හා රංග ශාලා හැම තැනක ම කැරෙන සාධාරණ ඉල්ලීමක්. අපේ රටේ තවත් සමහර තැන්වලට ඇතුළු වන දොරටුවේ මෙබදු අවවාදයක් ප‍්‍රදර්ශනය කළ යුතු යයි මා සිතනවා: “ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!”

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සූරීන් (1944 – 2011) මෑතදී වියෝවන තුරු නිතර මතු කළ ප‍්‍රශ්නයක් වූයේත් එයයි. මේ තේමාවට අප යළි පිවිසෙන්නේ එය ලක් සමාජයේ බහුලව දැකිය හැකි, එහෙත් විවෘතව සාකච්ඡ නොකැරෙන පැතිකඩක් නිසායි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යැයි හැඟීමක් ඇතැම් දෙනා තුළ තිබෙනවා. ඇත්තට ම හේතුවාදීන් කරන්නේ ආගමික දේශනා හා ඇදහීම්වලට ද හේතුවාදී ක‍්‍ර‍්‍රමවේදය යොදා ගනිමින් ඒවා විචාරශීලි ලෙස සාකච්ඡුා කිරීමයි. එබඳු අවස්ථාවල ආධානග‍්‍රාහය (dogma) මත එල්බ ගෙන, අන්ධ භක්තියෙන් ආගම්වල ඉගැන්වීම් අදහන අය අභියෝගයට ලක් වනවා. නමුත් අන් හැම ශාස්ත‍්‍රයක් මෙන් ම ආගම් ද විචාරශීලි සාකච්ඡවට විවෘත විය යුතු බව හේතුවාදීන්ගේ තර්කයයි.

හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් නිතර උපුටා දැක් වූ උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

සරල උදාහරණයක් ගනිමු. ආවේශ වූ කනප්පු මඟින් හොරු ඇල්ලීම තවමත් විටින් විට අපේ රටේ වාර්තා වනවා. 2010දී ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති හරහා ධර්මපාල සේනාරත්න මේ වැඬේ මුළුමනින් ම ප‍්‍රතික්‍ෂෙප කළා. අප‍්‍රාණික ලී බඩුවකට විඥානයක් හෝ තනිව චලනය වීමේ කිසිදු හැකියාවක් හෝ නැති බවත්, මෙබඳු අවස්ථාවල එය චලනය වන දිශාව, වේගය ආදී සියල්ල තීරණය කරන්නේ කනප්පුවට අත තබා ගෙන සිටින අය බවත් කියා සිටි ඔහු කියා සිටියා.

‘කනප්පුවකට හොරු අල්ලන්න හෝ තනියම චලනය වන්නට බැහැ. මේ කථාව ඇත්ත නම් අපේ රටේ පොලිස් අපරාධ පරීක්‍ෂණවලට කනප්පු යොදා ගන්න පුළුවන්නේ’ ඔහු තර්ක කළා. ‘එහෙම කනප්පුවක් තනිව ම ගමන් කරලා පෙන්නුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා!’ ඔහු ප‍්‍රසිද්ධ අභියෝගයක් ද කළා.

මෙය අපට සිහිපත් කළේ 1960 දශකයේ කොවූර් නිකුත් කළ අභියෝගයයි. ප‍්‍රයෝගවලින් තොරව (fraud-proof), විවෘත ස්ථානයක දී මහජනයා ඉදිරියේ විශ්වාස කටයුතු (foolproof) විධියට ඕනෑ ම අද්භුත සංසිද්ධියක් සිදු කළ හැකි නම් (සහ එය ගවේෂණයට ඉඩ දෙන්නේ නම් එවකට මුදලින් රුපියල් ලක්ෂයක් දෙන බවට ඔහු 1963දී නිකුත් කළ අභියෝගය, 1978 ඔහු මිය යන තුරු ම කිසිවකු භාර ගත්තේ නැහැ!

කොවූර් හා කාලෝ ෆොන්සේකා වැනි පුරෝගාමී හේතුවාදීන්ගේ විද්‍යාත්මක පදනමට ධර්මපාල නීතිමය විග‍්‍රහයක් ද එකතු කළා. “ඕනෑ ම කෙනෙකුට තනිව ඕනෑ ම විශ්වාසයක එල්බ ගෙන සිටීමේ නිදහස තිබෙනවා. එහෙත් බොරු පොරොන්දු හා මුලා කිරීම් පදනම් කර ගෙන අනෙක් අය රවටා මුදල් අය කිරීමට ඉඩක් නැහැ. එය නීති විරෝධීයි. එය ප්‍රෝඩාව නැතහොත් වංචාව හැටියට සළකා සිවිල් හා අපරාධ නීති යටතේ ක‍්‍රියා කළ හැකියි!”

එහෙත් විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක‍්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප‍්‍රසිද්ධියේ පළ කරනවා. ඊටත් එහා යන ප‍්‍රබල ගුරුකම්, අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

මහජන උන්නතිය සඳහා කැප වීමේ සදාචාරාත්මක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්, පරිපාලකයින් හා කතුවරුන් ද තමන්ට විශාල වශයෙන් දැන්වීම් ආදායම් උපදවා දෙන මේ පොරොන්දු හා මවා පෑම් ගැන ප‍්‍රශ්න කිරීමෙන් වළකිනවා. ඉඳහිට විචාරශීලි මාධ්‍යවේදියෙකු නැතහොත් බුද්ධිමතකු මේ ඇදහිලි හා විශ්වාස ගැන ගවේෂණාත්මකව යමක් ලිව්වොත්, එය පළ කරවා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙනවා.

“හේතුවාදී විමර්ශන” නමැති කාලීන සංවාද රැගත් ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් මීට දෙවසරකට පෙර ඇරඹුණත් එය මාස කිහිපයක් තුළ නතර වුණා. එබන්දක් කර ගෙන යාමේදි මතු වන ප‍්‍රතිරෝධයට අමතරව අද සමාජයේ මෙබඳු මාතෘකා ගැන මැදහත්ව හා විචාරශීලිව කථා කරන්නට නිර්භය බුද්ධිමතුන් සොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා.

පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තම විශේෂඥ දැනුම පසුබිම් කර ගෙන කාලීන මාතෘකා ගැන ප‍්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. බහුතරයක් උගතුන් නිහඩව පසෙකට වී බලා සිටිනවා. ටික දෙනෙක් පෞද්ගලිකව විවේචන කළත් ප‍්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. සමහරු වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම ඉහළ ම ඉල්ලූමට අලෙවි කරනවා.

ධර්මපාලගේ වඩාත් නිර්දය විවේචනය එල්ල වූයේ ජන සමාජයේ අන්ධ විශ්වාස හා ඇදහිලි තවත් තීව‍්‍ර කරමින් ඒවායෙන් බඩ වඩා ගන්නා විද්වතුන් වෙතටයි. විද්‍යා විෂය ක්‍ෂෙත‍්‍රයන්හි ඉහළට උගෙන, නිසි මාර්ගයේ ගොස් ආචාර්ය උපාධි ලබා ගත් (සම්මාන උපාධි නොවේ!) සමහර විද්‍යාඥයන්, පසු කලෙක තම උගත්කමට අදාළ නොවු අද්භුත ක්‍ෂෙත‍්‍රවල නියැලෙන සැටි අප දන්නවා.

වායුගෝලීය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, තාරකා විද්‍යාව හෝ භූ විද්‍යාව ප‍්‍රගුණ කළ විද්‍යාඥයෝ තම ක්‍ෂෙත‍්‍රයට අමතරව මෝහනය, පුනර්භවය, ජ්‍යෙතිෂය ගැන විශේෂඥයන් ලෙස ප‍්‍රතිරූප තනා ගන්නවා. (ඔවුන් එම ක්‍ෂෙත‍්‍ර විචාරශීලිව ගවේෂණය කරනවා වෙනුවට ඒවායේ පවතින අධිපතිවාදයෙන් ප‍්‍රයෝජන ලබනවා.) අධිපතිවාදයට හා අන්ධ විශ්වාසවලට ඉඩක් නොමැති විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ එක් පයක් තබා ගෙන, අද්භුතවාද පෙරටු කර ගත් ඇදහිලිවල අනෙක් පය තබා ගෙන දෙබිඩි චරිත නිරූපණය කරන මේ “බුද්ධිමතුන්” ගැන ධර්මපාල කථා කළේ කලකිරීමෙන්.

“මේ වැනි විද්‍යා උගතුන් අන්ධ භක්තිය හා අවිචාරශීලි ඇදහිලිවලට ප‍්‍රසිද්ධියේ ආවඩන විට සාමාන්‍ය මහජනයා නොමඟ යනවා. විද්‍යාත්මක චින්තනය වඩාත් අවශ්‍ය අද වැනි කාලයක, කියන ඕනෑ දෙයක් ගෙඩි පිටින් පිළිගෙන ඇදහීමේ භයානක පුරුද්දට ජන සමාජය යොමු වනවා!” ඔහු අනතුරු ඇඟවුවා.

ශ්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරය හා එහි නොනිමි සමාජ වගකීම් සමුදාය ගැන මා 2012 ජනවාරි 13 වනදා groundviews.org මාධ්‍ය වෙඞ් අඩවියට ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියුවා. දින කිහිපයක් ඇතුළත එයට පාඨක ප‍්‍රතිචාර 70කට වඩා ලැබුණත් ඒවාගෙන් බහුතරයක් සනාථ කරන්නේත් එම ලිපියෙන් හා මෙම කොලමින් මා මතු කරන තර්කයයි. එනම් විචාරශීලී ලෙස යමක් විග‍්‍රහ කිරීමට හා බුද්ධිගෝචරව සිතා බැලීමට හැකියාව ඇති පිරිස අපේ සමාජයේ සීමිත බවයි.

මගේ ලිපියට ලැබී ඇති එක් පාඨක ප‍්‍රතිචාරයක් ලියන විද්‍යාඥ ආචාර්ය යූ. පෙතියාගොඩ කියන්නේ ඉරිදාට පළ වන සිංහල පුවත්පත් බහුතරයක් පාඨක බුද්ධියට නිගා කරන, හරසුන් අන්තර්ගතයන් කැටි කර ගත් කඩදාසි ගොනු බවට පත්ව ඇති බවයි. “ජ්‍යෙතිෂවේදීන්, වාජීකරණ හා ගබ්සා කිරීමේ සේවාවන් ආදිය ස`දහා වන අනේකවිධ දැන්වීම්, සම්බාහන සේවා ගැන කෙලවරක් නැතිව ලියන විශේෂාංග හා කලාව ගැන මෙලෝ හසරක් නොදත්තවුන් ලියන කලා විචාර ආදිය පසෙකට දැමූ විට කියවන්නට ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් පමණයි,” යයි ඔහු කියනවා.

ආචාර්ය පෙතියාගොඩගේ තක්සේරුව සමග මා එකග වන නමුත් ඉරිදා පත්තර මේ තත්ත්වයට පත්වීමට දායක වූ සමාජයීය සාධක ඇති බව ද පිළිගත යුතුයි. විවෘත ආර්ථික ක‍්‍රමයක් තුළ නීති විරෝධී නොවන භාණ්ඩ හා සේවා ප‍්‍රචාරණය කිරීමට මුදල් ගෙවා මාධ්‍ය දැන්වීම් පළ කිරීමට නිදහස තිබෙනවා.

පැහැබර හෙට දවසක් උදා කර දෙන බවට ශාන්ති කර්ම, පුද පූජා සේවා සපයන ජ්‍යෙතිෂවේදීන් හා එබදු ම පින්බර අනාගතයක් ගැන පොරොන්දු දෙන දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. එහෙත් දේශපාලකයන්ගේ මැතිවරණ පොරොන්දු දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන අපේ බොහෝ දෙනා, ජ්‍යෙතිෂ හා දෛවඥ සේවාවන් ගැන විචාරශීලීව විමසන්නේ නැහැ. මේ ඇයි?

මාධ්‍ය ඔස්සේ අපට ලැබෙන තොරතුරු හා මතවාදයන් තෝරා බේරා ගැනීමේ හැකියාවට මාධ්‍ය සාක්‍ෂරතාවය කියනවා (Media Literacy). අද අකුරු සාක්‍ෂරතාවයටත් වඩා වැදගත් වන්නේ මේ හැකියාවයි. එය නිසි පමණට නොතිබීම නිසා මාධ්‍ය හරහා දැවැන්ත ප‍්‍රතිරූප තනා ගැනීමට දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙන් ම වංචනිකයන්ට ද හැකි වී තිබෙනවා. අදහාගත නොහැකි තරම් ඉහළ පොලී අනුපාතයන් දෙන බවට පොරොන්දු වෙමින් ජනයාගෙන් කෝටි ගණන් මුදල් තැන්පතු ලබා ගත් සක්විති වැනි චරිත පුවත්පත් හා ටෙලිවිෂන් මාධ්‍ය සූක්‍ෂම ලෙස යොදා ගත්තා.

මෙබදු සමාජයක විචාරශීලීව කොයි දේ ගැනත් සිතීමට අනුබල දීම හා ප‍්‍රශ්න කිරීමේ හැකියාව වැඩි කිරීම පොදු උන්නතිය අගයන සැවො ම කළ යුතු දෙයක්.

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

Assorted charlatans and religious zealots across the island of Sri Lanka must have heaved a collective sigh of relief when they heard that Dharmapala Senaratne was no more. He had made it his business to make life difficult for those preying on the gullible public. Dharmapala was President of the Sri Lanka Rationalist Association (SLRA), a small group of earnestly sceptical enquirers who won’t take anyone’s word about anything. They want to investigate and debate.

The voluntary group was originally set up in 1960 by the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. He found adequate physical or psychological explanations for almost all of them. In that process, he exposed many so-called ‘god men’ and black magicians who thrive on people’s misery and superstitions.

My column (in Sinhala) for Ravaya newspaper on 22 Jan 2012 is an exploration of the many challenges that rationalists and free thinkers face in today’s Sri Lanka. It’s also a critique of our mainstream media, where space/time for open discussion and debate today is LESS than what it was a generation ago — despite the channel explosion and proliferation of print publications.

I have covered the same ground in an English op ed essay published on Groundviews on 13 Jan 2012, titled Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

අපේ සමාජයේ කී දෙනෙකු මේ වටිනා උපදේශය අනුගමනය කරනවා ද? කටකථා හා ප‍්‍රලාපවලට රැවටෙන, අන්ධ විශ්වාසවල එල්බ ගෙන සිටින හා ප‍්‍රතිරූප වන්දනාවේ යෙදෙන අය බහුල වත්මන් ලක් සමාජයේ, විවෘත මනසකින් යුතුව විචාරශීලිව කටයුතු කිරීම අසීරු කාරියක්. නිදහස් මතධාරියා සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හංවඩු ගැසීමේ අවදානමක් ද තිබෙනවා.

මේ අභියෝග මැද්දෙන් නොසැලී, නොබියව අඩ සියවසකට වැඩි කාලයක් කටයුතු කර ඇති ප‍්‍රතිපත්තිගරුක කණ්ඩායමක් නම් ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයයි. 2005 සිට එහි සභාපති ලෙස කටයුතු කළ නීතිඥ ධර්මපාල සේනාරත්න 2011 දෙසැම්බර් අගදී මිය ගියා. ඔහුගේ වියෝව නිමිත කර ගෙන හේතුවාදීන්ගේ වත්මන් භූමිකාව හා දායකත්වය ගැන අද ටිකක් කථා කරමු.

නිර්දේශපාලනීය, නිර්ආගමික හා වෙනත් කිසිදු ලේබලයකින් තොර වූ හේතුවාදී සංගමය (Sri Lanka Rationalists Association) ආරම්භ කළේ ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) විසින්. හේතුවාදීන් අද දක්වා පවත්වා ගෙන එන්නේ අඩ සියවසකට පෙර කොවූර් දැල් වූ විචාරශීලි ගවේෂණයේ පහන් සිළුවයි. එහෙත් අද පවතින අන්ධකාරයට හා සැඩ සුළංවලට එරෙහිව මේ පහන් සිළුව ප‍්‍රමාණවත් ද?

හේතුවාදීන් යනු ඉන්ද්‍රීය ගෝචර ප‍්‍රත්‍යක්‍ෂයන් (facts) හා නිරීක්‍ෂණ (observations) සැලකිල්ලට ගනිමින්, මේ සාධක තර්කානුකූලව ගොනු කරන පිරිසක්. ඔවුන් ඇදහිලි හා විශ්වාස මත එල්බ ගන්නේ නැහැ. හැම දෙයක් ම ප‍්‍රශ්න කරනවා. මේ විචාරශීලි බව වත්මන් සංකීර්ණ සමාජයේ යහතින් ජීවත්වීමට අත්‍යවශ්‍ය කුසලතාවක් (survival skill).

ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ උපත ලබා, කල්කටාවෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු කොවූර් 1950 දශකයේ ශ‍්‍රී ලංකාවට ආවේ විද්‍යා ගුරුවරයෙකු ලෙස. තර්ස්ටන් විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා ලෙස 1959දී විශ‍්‍රාම ලැබූ ඔහු, ස්ථිර පදිංචියට ශ‍්‍රී ලංකාව තෝරා ගත්තා. ඔහු ප‍්‍රකට වූයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු වඩාත් සක‍්‍රිය ලෙස නියැළුණු හේතුවාදී විමර්ශන කටයුතු නිසායි. භූතයන්, හොල්මන්, ආවේශ වීම් ඇතුළු අද්භුත හෝ අසාමාන්‍ය යැයි පිළිගැනෙන සිදුවීම් හා සම්ප‍්‍රදායන් රාශියක් ඔහුගේ විමර්ශනයට ලක් වුණා. තර්කානුකූලව, ගවේෂණාත්මකව විග‍්‍රහ කරන විට මේවා සියල්ල ම පාහේ භෞතික ලෝකයේ විද්‍යාත්මක සංකල්පවලින් හෝ මනෝවිද්‍යාත්මක හේතු මගින් හෝ පහදා දීමට ඔහු සමත් වුණා.

‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්’’ යැයි කොවූර් එදා කී දේ අදටත් හරියට ම ගැලපෙනවා.

කොවූර්ගේ හපන්කම් ගැන අපේ පාඨකයන් බොහෝ දෙනෙකු අසා, කියවා තිබෙනවා. ඒ නිසා එය පුන පුනා කීමට අවශ්‍ය නැහැ. කොවූර් 1978දී මිය යන විට මගේ වයස අවුරුදු 12යි. ඒ නිසා කොවූර් ජීවමානව දැක අසා ගන්නට හෝ මුණගැසෙන්නට හෝ මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙත් ඔහුගේ සමකාලීනයන්ට අනුව කොවූර් කිසි දෙයකින් නොසැළුණු, දැඩි අධිෂ්ඨානයක් හා තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක්. උපන් රටින් තවත් රටකට සංක‍්‍රමණය වී, අළුත් රටේ ජන සමාජයට බද්ධ වී එහි ජන විඥානයට ධනාත්මකව දායකවීම පහසු කාරියක් නොවෙයි.

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සඳහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970 දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ දෙවැනි ගණයේ චරිත අතර පසු කලෙක ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත් තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ මේ 1960-1970 යුගයේයි.

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50 කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා. කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි.

කොවුර්ගේ අභාවයෙන් පසු හේතුවාදී සංගමයට තවත් වසර කිහිපයක් නායකත්වය දුන්නේ නීතිඥයකු හා ඉංග‍්‍රීසි කවියකු ලෙස ප‍්‍රකටව සිටි මර්වින් කාසි චෙට්ටියි. එහෙත් කොවුර්ගේ යුගයේ තිබූ ක‍්‍රියාකාරීත්වය දිගට ම පවත්වා ගැනීම අභියෝගයක් වුණා. වසර ගණනාවක් අකර්මණ්‍යව තිබූ හේතුවාදී සංගමය නැවත ප‍්‍රාණවත් කරනු ලැබුවේ 2005දී. එයට හවුල් වූ ධර්මපාල සේනාරත්න එහි සභාපති හැටියට පත් වී, මිය යන තුරු ම නායකත්වය ලබා දුන්නා.

2005දී හේතුවාදී සංගමය යළි පණ ගන්වන විට ලක් සමාජය ප‍්‍රබල ලෙස වෙනස් වී තිබුණා. සංවෘත ව තිබූ ආර්ථිකය 1977දී විවෘත කිරීමෙන් හා 1979දී ටෙලිවිෂන් හදුන්වා දීමෙන් පසු බිහි වූ පළමුවන පරම්පරාව සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල බලපෑම් කිරීම ඇරැඹි තිබුණා. එමෙන් ම දකුණේ තරුණ අරගල දෙකක් ප‍්‍රචණ්ඩ හිංසනයෙන් හමාර වී, උතුරේ සන්නද්ධ යුද්ධයක් දිගින් දිගට ම දැල්වෙමින් පැවතුණා. ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙකකට බෙදා දශක ගණනක් ගෙන ගිය සීතල යුද්ධය හමාර වුණු ලෝකයක බටහිර සභ්‍යත්වය හා ඉස්ලාම් මූලධර්මවාදය අතර නොනිමෙන ගැටුමක් ඒ වෙනුවට ඉස්මතුව ඇවිත්.

මේ නිසා කොවුර් හා පිරිස 1960-1970 යුගයේ අත් විදි ශ්‍රී ලංකාවට හා ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වූ යථාර්ථයකට ධර්මපාල සේනාරත්නගේ නායකත්වයෙන් යුතු හේතුවාදී සංගමය මුහුණ දුන්නා.

හේතුවාදීන්ගේ සමාජ මෙහෙවර හා නොනිමි අභියෝග ගැන තව බොහෝ දේ කථා කළ හැකියි. මා කොවූර් ඇතුළු පුරෝගාමී හේතුවාදීන් පිරිස දකින්නේ තම කාල වකවානුවේ පැවති සමාජ තත්‍වය හොඳින් ග‍්‍රහණය කර ගෙන තීරණාත්මක සමාජ දායකත්වයක් ලබා දුන් පිරිසක් හැටියටයි. ඔවුන්ගේ මූලධර්ම තවදුරටත් වලංගු නමුත් අද වඩාත් සංකීර්ණ වූත් ඇතැම් සාධකවලින් 1960ට වඩා පසුගාමී වූත් ලක් සමාජයට බලපෑම් කරන්නට නම් හේතුවාදීන් සිය උපක‍්‍රම වෙනස් කළ යුතුයි.

අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවි ද?

ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන අවධානය යොමු වෙයි. ”රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට” චෝදනා එල්ල විය හැකියි. නැතහොත් පුවත්පත් සාකච්ඡවල දී ඔහුට ’ජාතිද්‍රෝහ’, රාජ්‍ය විරෝධි’ ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!

කොවූර් නිතර උපුටා දැක් වූ ප‍්‍රියතම උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

කොවූර් සහ ඔහුගේ හේතුවාදී සහෘදයන්ගේ ක‍්‍රමවේදයත් එයයි.
බහුතර බෞද්ධයන් සිටින මේ රටේ අති බහුතරයක් දෙනා නොකරන්නේත් එයමයි!