සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

This is the Sinhala text of my Ravaya newspaper column published on 11 March 2012. Today I write about How Sri Lanka Missed the Moon. I wrote an English article in July 2009 covering the same ground, but this is NOT a translation. I don’t do translations.

‘විශ්වයේ අන්තිම සිංහල වචනය’ මැයෙන් මා පසුගිය සතියේ ලියූ කොලමට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා. අමෙරිකානු වොයෙජර් අභ්‍යවකාශ යානා ලෝකයේ භාෂා 55කින් විශ්වයට යැවෙන කෙටි පණිවුඩ ඇතුළත් රන් ආලේපිත තඹ තැටියක් රැගෙන උඩුගුවන්ගත කොට වසර 35ක් ගත වී තිබෙනවා. පිටසක්වල ජීවීන්ට යොමු කෙරුණු ඒ සන්නිවේදනයේ සිංහලෙන් ‘ආයුබෝවන්’ කීමට අහම්බෙන් තෝරා ගත් ලාංකිකයා ගැන ඇතැම් අයට ප‍්‍රශ්න මතු වී තිබෙනවා.

සිංහල කථා කරන සැම වෙනුවෙන් විශ්වය ඇමතීමේ වරප‍්‍රසාදය ලැබුණේ කාටද – ඒ තීරණය නිල නොවන මට්ටමින් අමෙරිකානු සරසවියක් ගත්තේ කෙලෙසද – එය අමෙරිකානු අධිපතිවාදයේ ම තවත් උදාහරණයක් ද – ආදී වශයෙන් ඇතැම් පාඨකයන් මා සමග තර්ක කළා.

නාසා (NASA) මූලාශ‍්‍රවලින් තොරතුරු උකහාගෙන වාර්තා කිරීම හැරෙන්නට ඒ ගැන විනිශ්චයක් දීමට මා උත්සාහ කළේ නැහැ. නමුත් එයට අට වසරකට පෙර සඳ තරණය සම්බන්ධයෙන් නිල වශයෙන් ම ලංකා නියෝජනයක් ලබා ගන්නට අමෙරිකානු රජය ගත් උත්සාහයක් ගැන තවත් කථාවක් අද මගේ තේමාවයි.

අවධාරණය කළ යුතු එක් කරුණක් නම් නාසා යනු ලෝක අභ්‍යවකාශ එජන්සියක් නොව අමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ අධිකාරිය බවයි. අමෙරිකානු ජනයාගේ බදු මුදලින් පවත්වා ගෙන යන ඒ රාජ්‍ය ආයතනය වග කියන්නේ එරට රජයට හා ජනතාවටයි. හැකි අවස්ථාවල මානව වර්ගයා ම උදෙසා අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල යෙදීමට උත්සාහ කළත් එසේ කිරීමට නාසා ආයතනයට නීතිමය බැදීමක් නැහැ. නමුත් අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙන අනෙකුත් රටවල් (රුසියාව, ජපානය, යුරෝපා රටවල්, ඉන්දියාව හා චීනය) සමග නාසා සහයෝගයෙන් ක‍්‍රියා කරනවා.

1969 ජුලි 20 වනදා ඇපලෝ 11 යානයෙන් ගිය අමෙරිකානු අජටාකාශගාමීන් (නීල් ආම්ස්ට්‍රෝං සහ එඞ්වින් ඔල්ඞ්රින්) මුල් වරට සද මතු පිට පා තැබූ ඓතිහාසික අවස්ථාවේ එය අමෙරිකාවේ පමණක් නොව මුළු මානව වර්ගයාගේ ම ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීමට නාසා ආයතනය කටයුතු කළා. ඒ දෙදෙනා සඳ මතුපිට තැන්පත් කළ ඵලකයේ (ඉංග‍්‍රීසියෙන්) මෙසේ සඳහන් වුණා. “1969 ජුලි මාසයේ පෘථිවියේ සිට පැමිණි මානවයෝ මුල් වරට සඳට පා තැබුවෝය. මුළු මිනිස් සංහතියට සාමය පතා ගෙන මෙහි ආවෙමු.” එහි අත්සන් හතරක් තිබුණා: ඇපලෝ 11 අජටාකාශගාමීන් තිදෙනා සහ එවකට අමෙරිකානු ජනාධිපති රිචඞ් නික්සන්ගේ.

මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලද මේ ඵලකයට අමතරව ඇපලෝ 11 ගොඩ බැසි හඳ නිසල මුහුදේ තැන්පත් කළ තවත් සිහිවටනයක් තිබුණා. එය අමෙරිකානු සත 50ක කාසියක් (අපේ සත 50 ට සමාන) තරම් වූ සිලිකන් තැටියක්. එහි ඉතා කුඩා ප‍්‍රමාණයට (miniaturized) සටහන් කර තිබුණේ මේ මුල් ම සඳ ගමනට ලෝකයේ එවකට සිටි නායකයන් 73 දෙනකුගෙන් ලද සුභාශිංසන පණිවුඩයි.

මිනිසුන් සඳ ට යවා නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීමේ දැවැන්ත ඇපලෝ වැඩපිළිවෙල 1961 සිට ක‍්‍රියාත්මක වූවා. රුසියාව (එවකට සෝවියට් දේශය) සමග මහා අභ්‍යවකාශ තරගයක නියැලී සිටි අමෙරිකාව ඒ සඳහා ඉතිහාසයේ විශාලතම තාක්‍ෂණික ප‍්‍රයත්නය හා මුදල් ආයෝජනය කළා. එහි මල්ඵල ගැන්වෙන 1969 ජුලි මාසයට සති කිහිපයකට පෙර එවකට නාසා අධිපති වූ තොමස් පෙන්ට ලෝක නායකයන්ගේ පණිවුඩ ලබා ගැනීමේ අදහසක් ආවා.

එරට විදේශ අමාත්‍යාංශය වන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය එයට ලැබුණේ 1969 ජුනි මුලදී. ඇපලෝ 11 උඩුගුවන්ගත වීම නියමිතව තිබුණේ ජුලි 16දා. මේ නිසා සති කිහිපයක් තුළ හැකි තාක් රටවලින් පණිවුඩ ලබා ගන්නට නාසා ආයතනයත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවත් උත්සුක වුණා.

එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලද රටවල් 127ක් තිබුණා (දැන් 193යි). ඒ අතරින් වොෂිංටන් නුවර තානාපති කාර්යාල තිබූ රටවල් 116කට මේ ආරාධනය යොමු වුණා. අද මෙන් ෆැක්ස්, ඊමේල් හෝ වෙනත් දියුණු සන්නිවේදන ක‍්‍රම නොතිබූ ඒ කාලයේ ටෙලෙක්ස් හා ටෙලිෆෝන් මගින් සිදු කළ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට යම් කාලයක් ගත වුණා. අන්තිමේදී රටවල් 72ක නායකයන්ගෙන් සුභ පැතුම් ලැබී ඒවා ඇපලෝ 11 සිලිකන් තැටියේ අන්තර්ගත කළා. අමෙරිකානු ජනාධිපතිගේ පණිවුඩයත් සමග මුළු සංඛ්‍යාව 73ක් වුණා.

තාක්‍ෂණය අද තරම් දියුණු නොවූ 1960 දශකයේ මෙබදු තැටියක් නිර්මාණය කිරීම ද අභියෝගයක් වුණා. ඒ සඳහා නාසා ආයතනයේ ඇනවුම පරිදි නව තාක්‍ෂණ ක‍්‍රමයක් අමෙරිකාවේ ස්ප‍්‍රාග් ඉලෙක්ටි‍්‍රක් සමාගම (Sprague Electric Company) නිපද වූවා. මෙයට සිලිකන් තෝරා ගත්තේ හඳ මතු පිට අධික උණුසුමට ඔරොත්තු දීම පිණිසයි. හැම රාජ්‍ය නායක ලිපියක් ම 200 වාරයක් කුඩා කොට ඒ තැටියට සුරක්‍ෂිතව ආලේප කළා. පරිගණකවල භාවිතා වන ක්ෂුද්‍ර පරිපථ (integrated circuits) මුද්‍රණය කිරීමේදී මේ තාක්‍ෂණය තවමත් යොදා ගන්නවා.

මේ ප‍්‍රයත්නයට අදාල සියළු ලිපි ගනුදෙනු හා ලියවිලි වොෂිංටනයේ කොංග‍්‍රස් පුස්තකාලයේ ලේඛනාගාරගතව තිබෙනවා. ඒවා පරිශීලනය කිරීමෙන් මේ සිලිකන් තැටියේ කථාව ගැන වෛද්‍ය ටහීර් රහ්මන් (Dr Tahir Rahman) නම් අභ්‍යවකාශ ඉතිහාසවේදියා 2007දී පොතක් ලියා පළ කළා.

1969 ජුනි-ජුලි කාලයේ ලෝක නායකයන් 73 දෙනකු කඩිමුඩියේ ලියූ පණිවුඩ හරහා ඒ වකවානුවේ පැවති චකිතයන් හා බලාපොරොත්තු ගැන දළ හැගීමක් ලැබෙන බව වෛද්‍ය රහ්මාන් කියනවා. මේ ගැන නාසා ආයතනයේ නිල ප‍්‍රවෘත්ති නිවේදනය බලන්න (සියළු රාජ්‍ය නායක පණිවුඩවල ඉංග‍්‍රීසි පරිවර්තන මෙහි තිබෙනවා) http://tiny.cc/MoonPR

සමහර නායකයන් ටයිප් කරන ලද ලියුම් එවන විට ඇතැම් දෙනකු තම අත්අකුරින් ම ලියා එව්වේ මේ ඓතිහාසික අවස්ථාවේ වැදගත්කම හොඳ හැටි තේරුම් ගත් නිසායි. (තවමත් සිහසුන දරණ) තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදෙජ් රජතුමා මේ ප‍්‍රයත්නය ගැන මුලින් වැඩි විස්තර ඉල්ලා සිටියා. එය ලැබුණු පසු අන්තිම මොහොතේ ඔහු පණිවුඩයක් දුන්නා. එදා පණිවුඩ දායක කළ රාජ්‍ය නායකයන් 73 දෙනාගෙන් තවමත් තනතුරේ සිටින්නේ තායිලන්තයේ රජතුමාත්, එංගලන්තයේ දෙවන එලිසබෙත් රැුජිනත් පමණයි.

එවකට ලෝකයේ පැවති සීතල යුද්ධයේදී සෝවියට් පිලේ සිටි රටවල් (ඇරැයුම් ලැබුණත්) මේ තැටියට පණිවුඩ දීමෙන් වැළකුණා. (රුමේනියාවේ නායක නිකලායි චෞචෙස්කු පමණක් තනි වැකියක පණිවුඩයක් එවා තිබුණා.) ආසියාවේ රටවල් රැසක් උද්‍යොගිමත් පණිවුඩ ලබා දුන්නා. ඒ අතර ජපානය, කොරියාව, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා මාලදිවයින ද වූවා.

නමුත් මේ ඓතිහාසික අවස්ථාවේ නිල වශයෙන් එයට සහභාගි වීමට ලැබුණු ආරාධනය ශ්‍රී ලංකාව පිළිගත්තේ නැහැ! එවකට බලයේ සිටි ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ රජය කාරුණිකව මේ ඇරයුම ප‍්‍රතික්ෂේප කළා!

ඇපලෝ 11 උඩුගුවන්ගත කිරීමට පෙර දිනයේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නාසා ප‍්‍රධානියාට ලියූ ලිපියේ හරය මෙයයි: පෙන් මහත්මයාණෙනි, (1969) ජුනි 23 දා ඔබ එවූ ලිපිය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයක් ද සඳ මතු පිට තැන්පත් කිරීම සඳහා නාසා ආයතනයෙන් ඉල්ලා සිටීම ගැන ස්තුතිවන්ත වන අතර, මේ අවස්ථාවේ එබදු පණිවුඩයක් නිකුත් නොකිරීමට ලක් රජය තීරණය කර ඇති බව දැනුම් දෙමු.”

එයට අත්සන් කර ඇත්තේ එවකට වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ ඒ. ටී. ජයකොඩි නම් විදේශ සේවා නිලධාරියායි. ඔහු එසේ ලියුවේ කොළඹින් ලද උපදෙස් මත බව පැහැදිලියි. එහෙත් මේ ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්දැයි කීම අපහසුයි.

දශක හතරකට පසු අපට කළ හැක්කේ ඒ ගැන අනුමාන කිරීම පමණයි. 2009 දී මේ ගැන ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියන විට සිලිකන් තැටියේ කථාව ගවේෂණය කළ වෛද්‍ය රහ්මාන් සමග මා ඊමේල් සන්නිවේදනය කළා. ඔහු කීවේ අදාල සියළු ලිපි ගනුදෙනු පිරික්සීමෙන් පසුව වූවත් ලංකාව මේ අවස්ථාව මග හැරියේ ඇයිද යන්නට කිසිදු ඉගියක් ඔහුට සොයා ගත නොහැකි බවයි.

ඇපලෝ සඳ ගමන් ගැන අමෙරිකානු ටෙලිවිෂන් සජීව විකාශයන්ට කථනයෙන් සහභාගී වූ ආතර් සී ක්ලාක්ට වෛද්‍ය රහ්මාන් සිය පොතේ පිටපතක් එවා තිබුණා. ක්ලාක් මිය යන්නට වසරකට පමණ පෙර මා ඔහුගෙන් ද මේ ගැන විමසුවා. තමන් ඩඩලි සේනානායක අගමැතිවරයා හා ඔහුගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දැන හදුනාගෙන සිටියත් මේ තීරණය ගැන කිසිවක් නොදත් බව ඔහු කීවා. ”සමහර වෙලාවට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් රටවල් ක‍්‍රියාකරන ආකාරය තර්කානුකූල නැහැ.” ඔහු ප‍්‍රකාශ කළා.

ඇපලෝ 11 සඳ ගමනට වසර 40 ක් පිරුණු 2009 ජුලි මාසයේ Groundviews.org වෙබ් අඩවියේ මේ ගැන මා ලියූ ලිපිය පළ වුණේ ”ලංකාවට හඳ අහිමි වූ සැටි” නම් හෙඩිම සමගයි. එයට පාඨක ප‍්‍රතිචාර රැසක් ලැබුණත් එකී තීරණයට පසුබිම් වූ හේතු සාධක මොනවාදැයි හෙළිදරව් වූයේ නැහැ. ඒ වෙනුවට මාතෘකාවට ඍජුව අදාල නොවන කාරණා ඇතැම් පාඨකයන් මතු කර තිබුණේ අපේ ඇත්තන්ගේ පටු මානසිකත්වය ලොවට ම පෙන්වා දෙමින්.

දිවයිනේ දැවෙන ප‍්‍රශ්න රැුසක් විසදීමේ අභියෝගයට මුහුණ දී සිටි ඩඞ්ලි රජයට හඳ මතුපිට තැන්පත් කැරෙන සිලිකන් තැටියක් ගැන සිතීමට ඉස්පාසුවක් නොතිබුණා විය හැකි යයි ඇතැම් පාඨකයෝ අනුමාන කළා. සෙනසුරාදා-ඉරිදා සති අන්තය වෙනුවට පෝය හා පෙරපෝය සති අන්තය බවට පත් කළ ඩඞ්ලි රජය, එවකට බෞද්ධ බලපෑම්වලට බොහෝ සේ නතුව සිටි නිසාත් සඳ ශුද්ධ වස්තුවක් ලෙස සළකා සඳ ගමන් ගැන විමතියෙන් හෝ සැකයෙන් හෝ පසු වන්නට ඇතිදැයි තවත් අය විමසුවා.

සඳ ගමන එවකට පැවති සීතල යුද්ධයේ එක් පෙරමුණක් වූ නිසා නොබැදි පිළිවෙතට අනුව යමින් අමෙරිකානු පිළට පක්‍ෂග‍්‍රාහී වීම නොමනා යයි එවකට විදේශ කටයුතු උපදේශකයන් සිතන්නට ඇත් ද? මේ තවත් තර්කයක්. (එහෙත් නොබැදි ජාතීන්ගේ පුරෝගාමියෙකු වූ යුගොස්ලාවියාවේ ජෝසිප් බ්‍රෝස් ටිටෝ ජනාධිපතිවරයාත් මේ තැටියට පණිවුඩයක් ලබා දුන්නා.)

අමෙරිකානුවන් සඳ තරණය කොට එය තවත් අමෙරිකානු ජනපදයක් කිරීමේ උත්සාහයක යෙදී සිටි නිසා ලක් රජය එයට සහභාගි නොවූවා යයි කියන උදවිය නොදන්නා සත්‍යයක් තිබෙනවා. තනි රටක් පෘථිවියෙන් බැහැර කිසිදු අභ්‍යවකාශ වස්තුවක් අයිති කර ගැනීම වළක්වන පිටසක්වල ගිවිසුම (Outer space Treaty) 1967 දී ජාත්‍යන්තර නීතියක් ලෙස ලෝකය පිළි ගත්තා. අද වන විට අභ්‍යවකාශ තරණයේ නියැලෙන සියළු රටවල් එයට බැදී සිටිනවා.

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ උගත්, බටහිර ලිබරල් ආකල්ප දැරූ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා අමෙරිකානු විරෝධියකු වූවා යයි සිතීම අපහසුයි. ඔහුගෙ රජය දේශපාලන වශයෙන් දක්‍ෂිනාංශික යැයි අපට සැළකිය හැකියි. සඳ තැටියට එක් නොවීමට ඊට වඩා තර්කානුකූල හේතුවක් ඔහුගේ රජයට තිබෙන්නට ඇති. එය කුමක් ද? මෙය කියවන පාඨකයකුවත් එයට ඉගියක් ලබා දෙයි ද?

මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකුට අවමන් කරනවා යයි මගේ ඉංග‍්‍රීසි ලිපියට ප‍්‍රතිචාර දැක් වූ එක් (නිර්නාමික) පාඨකයෙක් මගේ බ්ලොග් අඩවිය හරහා මට චෝදනා කළා. හඳට පණිවුඩ නොයැවුවාට ඩඞ්ලිගේ දේශපාලන ප‍්‍රතිරූපයේ අඩුවක් සිදු වී නැහැ. එහෙත් නිල වශයෙන් අභ්‍යවකාශ කටයුත්තකදී ලක් රජය සම්බන්ධ කර ගන්නට 1969දී ගත් උත්සාහය ව්‍යර්ථ වූ නිසා 1977දී වොයෙජර් යානාවල තැන්පත් කැරුණු හඩ තැටියට නිල නොවන මට්ටමින් විද්වත් දායකත්වයක් ලබා ගැනීම ගැන නාසා ආයතනයට දොස් තැබිය හැකි ද?

Advertisements

4 Responses to “සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි”

  1. ishara453 Says:

    ම්…………………………මේකට ඉතින් මොකද කියන්නෙ. ලිපියෙන් නොදන්න දේ දැන ගත්තා. ඒත් අර තීරණය ගැන නම් හරි පුදුමයි. දැන් ගන්න සමහර තීරණත් එක්ක එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ. හැමදාම ඔහොමයි.

  2. chathuranga perera Says:

    Good Post… keep it up !!!

  3. buddhiprasadh Says:

    මෙතෙන්ට ගැලපෙයිද මන්දා? පසුගිය දා නැගුණු තර්ක දෙස බලද්දි මට නම් හිතෙන්නෙ ඩඩ්ලි මහත්තයගෙ නෙමේ කාගෙවත් අත්සන් හඳට ගිහිල්ලා නෑහැයි කියලා.

  4. hasithag Says:

    වටිනා කියන කරුණු කීපයක් මේ ලිපියෙනුත් දැනගත්තා. ස්තුතියි ඔබට


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: