
Two teenaged girls being knocked down and killed by a moving train in Dehiwala on 25 April 2016 shocked the whole of Sri Lanka. This tragic accident could have been avoided if only there was greater safety consciousness in the two girls – and those accompanying them.
The latest tragedy highlights a deeper problem: our glaring lack of safety consciousness as a nation. Everyday, we take too many chances with our lives and limbs.
Many individuals and institutions don’t take simple precautions that can avert accidents and human tragedies. For example, how often do we see a helmet-wearing father riding a motorbike carrying his children without helmets? Or mothers walking their children on the road — with kids going on the side of vehicle movement?
Most of the time, we get away with careless reckless behaviour without repercussions. But sooner or later, luck runs out and tragedy befalls.
In post-war Sri Lanka, traumatic injuries are still the leading cause of public hospital admissions – and not just from road traffic accidents (whose numbers keep rising) or attempted suicides (whose numbers have come down).
In this week’s Ravaya column (appearing in the print issue of 8 May 2016), I call for greater safety consciousness at home, in schools, on the roads and everywhere else.
See also my English op-ed in Sunday Observer, 1 May 2016: Needed, Safety Consciousness!

අපරීක්ෂාකාරීව රේල්පාර හරහා ගිය පාසල් සිසුවියන් දෙදෙනකු දෙහිවලදී දුම්රියේ ගැටී මිය යාමේ පුවත පසුගියදා මුළු රටම කම්පාවට පත් කළා.
මේ පුවත අපේ බොහෝ මාධ්‍ය වාර්තා කළ විකාරරූපී ආකාරය සංවේදී මාධ්‍ය ග්‍රාහකයන් තුළ නැවත වරක් මාධ්‍ය ගැන කලකිරීමක් ඇති කළා.
විපතට පත් 19 වියැති සිසුවියන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු, ජීවන රටාව, ඔවුන් සමාජ මාධ්‍යවල මිතුරන් අතර බෙදා ගත් රූප හා ප්‍රකාශයන් හාරා අවුස්සමින් ආවේගශීලී එහෙත් හරසුන් වාර්තාකරණයක් විශේෂයෙන් ටෙලිවිෂන් පුවත් හරහාත්, සමහර පුවත් වෙබ් අඩවි හරහාත් අප දුටුවා. සිසුවියන්ගේ පවුල්වලට හා හිතමිතුරන්ට මේ හදිසි විපත දරා ගන්නට ඉඩ නොතබා මාධ්‍ය කණ්ඩායම් හිතුමතයට මරණ ගෙවල්වලට කඩා වැදුණා.
සිසුවියන් දෙදෙනාගේ අවධානය නිසි ලෙස නොපැවතියේ ඔවුන් ජංගම දුරකතන සම්බන්ධිත හෙඩ්ෆෝන් පැළඳ සිටි නිසා යයි බොහෝ මාධ්‍ය විසින් මුලසිටම වාර්තා කරනු ලැබුවා. අනුමානයක් මත පදනම් වූ මෙය, සමහර සිංහල පත්තරකාරයන් යොදා ගත්තේ මේ ඛේදවාචකයට මුල තාක්ෂණය යැයි තර්ක කිරීමට.
දින කිහිපයකයට පසුව පැවැත් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂි දුන් දුම්රිය රියදුරා එය එසේ නොවූ බව කියා සිටියත්, අනතුරේ වරද සිසුවියන්ගේ කෙළිලොල් ජීවන රටාවට මුළුමනින්ම පැවරීමට තවමත් ගතානුගතිකයන් තැත් කරනවා. සිංහල පත්තර බොහොමයක් කාලීන සිදුවීමක් නිමිත්ත කර ගන්නේ ජන සමාජයට අදාල හා ප්‍රයෝජනවත් විග්‍රහයක් කරන්න නොව තම කුහක පටු මානසිකත්වය ප්‍රවර්ධනය කරන්න. මෙහෙමත් අවස්ථාවදී රොත්තක්!
නිමේෂයකින් සිදුවූ මේ අනතුරට ඇත්තටම දායක වූයේ අනවධානයද වෙනත් සාධකද යන්න අපට හරියටම කිව නොහැකියි. එහෙත් මගතොට ගමන් කරද්දී වඩාත් ප්‍රවේශම්කාරීව සිටීමේ වැදගත්කම හා ජාතියක් ලෙස ජීවිත ආරක්ෂාව ගැන මීට වඩා උනන්දුවීම මේ සිදුවීමෙන් අපට ලද හැකි ලොකුම පාඩමයි.
30 March 2013: සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!
13 Feb 2013: සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා
අනතුරුවලින් මුළුමනින් වැළකී ජීවත් වන්නට බැහැ. මෙතරම් මානවයන් සංඛ්‍යාවක් නොසිටි, තාක්ෂණය දියුණු නොවූ අතීතයේත් විවිධාකාරයේ ආපදා, අනතුරු සිදු වූවා. සමාජයක් ලෙස අපට ඇති අභියෝගය නම් දැනුවත්කම, ප්‍රවේශම්කාරී බව හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා අනතුරු වීමේ හැකියාව අවම කර ගැනීමයි. එසේම අනතුරු සිදු වූ විට නිස ප්‍රතිචාර දක්වා ජීවිත බේරා ගැනීමට සූදානමක් පවත්වා ගැනීමයි.
පුද්ගලයන් හා සමාජයක් ලෙස අපේ ජීවිතාරක්ෂාව ගැන අප කෙතරම් සැලකිලිමත්ද?
මේ උදාහරණ සලකා බලන්න.
- නීතියෙන් අනිවාර්ය කොට ඇති හෙල්මට් පැළඳ ගත් වැඩිහිටියන්, හෙල්මට් කිසිවක් නැති ළමයින් නංවාගෙන මෝටර් සයිකල්වල ගමන් කරනු නිතර දැකිය හැකියි.
- කුඩා දරුවන් සමග මහපාරේ ගමන් කරන සමහර අම්මලා ඒ දරුවන් රැගෙන යන්නේ පාරේ වාහන ගමන් කරන පැත්තෙන්. එයින් මතු වන අමතර අවදානම ගැන මේ අයට තැකීමක් නැතුවා වගෙයි.
- නිවස තුළ හා ගෙවත්තේ සිදුවිය හැකි අනතුරුවලින් තමන් හා ළමයින් ආරක්ෂා වීමට සරල ප්‍රවේශම්කාරී පියවර ගත හැකියි. එහෙත් එය නොතකන වැඩිහිටියන් අපට නිතර හමු වනවා. ගින්නෙන්, විදුලියෙන්, වතුරෙන් හෝ රසායනික ශරීර ගතවීමෙන් ඇති වන බොහෝ විපත් සිදු වන්නේ නිවසේදී.
- ආරක්ෂිත බව තහවුරු වී යැයි අපේක්ෂාව මත අපේ දරුවන් යවන පාසල් සමහරක්ද එතරම් ආරක්ෂිත නැහැ. ලෙහෙසියෙන් වළක්වා ගත හැකි අනතුරුවලින් සමහර දරුවන් පාසලේදීම තුවාල ලබන්නේ, මියයන්නේ මේ හේතුවෙන්. නිසි ප්‍රථමාධාර සූදානම හා කායික පරීක්ෂාවෙන් තොරව ක්‍රීඩා පුහුණුවීම් කිරීමේදී අනතුරට පත් වන පාසල් සිසු සිසුවියන් සංඛ්‍යාව ඉහළයමින් තිබෙනවා.
සිවිල් යුද්ධය අවසන් වී හත් වසරක් ගෙවෙන්නේ මේ මාසයට. සාමය නිල වශයෙන් ස්ථාපිත මේ රටේ මෑත වසර ගණනාවකම රජයේ රෝහල්වල රෝහල්ගත වීම්වලට ප්‍රධානතම හේතු සාධකය වන්නේ තුවාල ලැබීම් (traumatic injuries).
මේ තුවාල ලබන්නේ හුදෙක් අපට නිතර පෙනෙන මාර්ග අනතුරුවලින් පමණක් නොවෙයි. ගෙදර දොරේ, කාර්යාල හා කම්හල්වල සිදු වන අනතුරුද මීට දායක වනවා. එයට අමතරව (සංඛ්‍යාත්මකව යම් පහළ බැසීමක් සිදුව තිබෙන) සියදිවි නසා ගැනීමට තැත් කිරීම්, කලහයන් හා පොලිස් පහරදීම් ආදිය නිසාත් තුවාල ලබන්නෝ රෝහල්ගත වනවා.
වුවමනාවෙන් ඇති කරන ගැටුම් හා පහරදීම්වලට වඩා සං්‍යාත්මකව අති බහුතරයක් අවස්ථාවල අපේ රටේ මරණ සිදුවන්නේ හා තුවාල ලබන්නේ අනපේක්ෂිතව සිදු වන අනතුරුවලින්.
මෙයට හොඳ උදාහරණයක් නම් දියේ ගිලීමෙන් සිදු වන ජීවිත හානි (හා පණ බේරා ගත්ත ද සිදු වන කෙටිකාලීන හා දිගු කාලීන ශරීර හානි.) දූපත්වාසීන් වුවද අපේ බොහෝ දෙනාට පිහිනීමට බැහැ. වැව්, ගංගා හෝ මුහුදේ ස්නානයට ගොස් දියේ ගිලී මිය යන සංඛ්‍යාව වසරකට 900-1000ත් අතර වනවා. අනාරක්ෂිත ළින්වල වැටී තවත් ගණනක් මිය යනවා.
මෙයින් සමහරුන් මිය යන්නේ පිහිනීමට නොදැන ගිලෙන අයකු බේරා ගන්නට වැඩිදුර නොසිතා මැදිහත් වීම හරහායි. ටික වේලාවක් ගිලී සිට බේරා ගත් අයකුට එසැණින් දිය යුතු තීරණාත්මක ප්‍රථමාධාර ගැන පුළුල් ජන අවබෝධයක්ද නැහැ.
3 August 2014: සිවුමංසල කොලූගැටයා #179: දියේ ගිලෙන ජීවිත බේරා ගන්නේ කෙසේද?
එසේම මාර්ග අනතුරකදී හෝ නිවසේ/වැඩපොළේ අනතුරකදී තුවාල ලබන්නන් එසවිය යුතු හා රෝහල් වෙත රැගෙන යා යුතු නිසි ආරක්ෂිත ආකාරයන් ගැන දැනුමද සීමිතයි. බේරා ගත හැකි සමහර ජීවිත නැති වන්නේ හෝ තුවාලකරුවන් සදාකාලිකව ආබාධිත වන්නේ මේ නොදැනුවත්කම නිසායි.
මේ සියල්ලෙන් පෙනී යන්නේ සුපරීක්ෂාකාරී ලෙසත්, ප්‍රවේශම් සහගත ලෙසත් එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාම අප බොහෝ දෙනකු සහජයෙන් හෝ නිරායාසයෙන් නොකරන බවයි.
සැබෑ හෝ සිතින් මවා ගත් අවදානම්වලින් ජාතික ආරක්ෂාවට කැරෙන තර්ජන ගැන නිතර දෙවේලේ කතා කරන අපේ මාධ්‍ය, අප සමාජයක් ලෙස පවත්වා ගත යුතු එදිනෙදා ආරක්ෂාව ගැන ඇති තරම් අවධානය යොමු කරන්නේ නැහැ. අනතුරක් සිදුවූ පසු එහි ලේ කඳුළු හැකිතාක් මාධ්‍ය වාර්තාකරණයට යොදා ගන්නවා පමණයි!

මහජනයා නිතර ගැවසෙන ස්ථානවල තිබිය යුතු අවම ආරක්ෂාව ගැනවත් අදාළ පොදු හෝ පෞද්ගලික ආයතන පරිපාලකයන් ඇති තරම් සිතන්නේ නැහැ.
2015 වසර මුලදී පුවත් මැවීමට සමත් වූ අධිකරණ තීන්දුවක් වූයේ වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් මිලියන් 180ක වන්දියක් ගෙවීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිපාලකයන්ට නියෝග කරනු ලැබීමයි. 2008 පෙබරවාරියේ එම පරිශ්‍රයේ පැවති මහජන ප්‍රදර්ශනයකදී තාවකාලික ඇටවුමක් හදිසියේ කඩා වැටීම නිසා කොඳු නාරටියට ලත් තුවාල මගින් ඇය සදාකාලිකව රෝද පුටුවකට සීමා කර තිබෙනවා. එහිදී මහජන සුරක්ෂිත බව ගැන ඇති තරම් සැලකිලිමත් නොවීම වන්දිය ප්‍රදානයට හේතුවයි.
මේ තීරණයෙන් පසුව හෝ එවන් ස්ථාන වඩාත් සුරක්ෂිත කිරීමට උත්සාහයන් ගැනේද? මට නම් එබන්දක් තවමත් පෙනෙන්නේ නැහැ.
විශාල වියදමක් දරා ඉදි කැරෙන නවීන සිනමාශාලා හා සාප්පු සංකීර්ණවලත්, තට්ටු නිවාසවලත් (condominium) අනතුරු වළක්වා ගැනීමට අවධානය මදි. හදිසි ගින්නකදී කඩිමුඩියේ ජනයා පිට වීමට පහසුකම් ගැන බොහෝ ගොඩනැගිලිවල නිසි සූදානමක් නැහැ.
තවත් සමහර ගොඩනැගිලිවල ආපදා අවස්ථාවල පිටවීමට තනා තිබෙන හදිසි දොරවල් (Emergency Exits) සිකියුරිටි ගාඩ්ලා ඉබි යතුරු දමා වසා තිබෙනවා. අනවසරයෙන් කිසිවකු ඇතුළු වීම වළක්වන්නටලු!
ළමයින්ට සිදුවන ලිංගික අපචාර හා අපරාධ ගැන අතිශයින් සංවේදී වන හා කම්පා වන අපේ සමාජය, එම ළමුන්ටම වින කළ හැකි — ඇතැම් විට මරණය පවා ගෙන දිය හැකි — වෙනත් උවදුරු ගැන සැලකිල්ල බොහොම මදි.

ආරක්ෂිත කුප්පි ලාම්පුව නිපදවා ප්‍රවර්ධනය කිරීම හරහා ලාංකික ජීවිත සිය ගණනක් බේරා ගත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර මේ ගැන අප දැනුවත් කිරීමට 2012දී පොතක් ද ලියා තිබෙනවා. “අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න” නම් වූ එහි (සරසවි ප්‍රකාශනයක්) පිළිස්සීම්, වැටීම්, සත්ත් සපා කෑම්, දියේ ගිලීම්, වසවිස කැවීම් මෙන්ම මාර්ග අනතුරු ගැනත් පරිච්ඡේද තිබෙනවා.
22 Sep 2012: සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්
වෛද්‍ය ගොඩකුඹුර අනතුරු නිවාරණය තුන් ආකාරයකට වර්ග කරනවා: අනතුරක් මුළුමනින්ම වළක්වා ගැනීම ප‍්‍රාථමික ක‍්‍රියා මාර්ගයයි. යම් හෙයකින් අනතුරක් වූ විට ශාරිරික අනතුරු අවම කිරීම ද්විතීය ක‍්‍රියා මාර්ගයයි (උදා: ආසන පටි හා හෙල්මට් භාවිතය). අනතුරකින් ශාරිරික හානි වූ විට ඵල විපාක අවම කිරීම තෘතීය ක‍්‍රීයා මාර්ගයයි (උදා: ප‍්‍රථමාධාර නොපමාව ප‍්‍රතිකාර දීම, නිසි පුනරුත්ථාපනය).

බෝවන රෝග වළක්වා ගන්නට රජය හා සමාජය දක්වන උනන්දුව අනතුරු වැළැක්වීමට ලැබී නැති බවත්, අනතුරුවලින් ආරක්ෂිත සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සියළු තොරතුරු දැනටමත් සෞඛ්‍ය හා අනෙකුත් අදාල බලධාරීන් සතුව ඇති බවත් වෛද්‍ය ගොඩකුඹුර පෙන්වා දෙනවා.
එදිනෙදා ආරක්ෂාව ගැන සියලු වගකීම රජයට පවරන්නට බැහැ. ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි මට්ටමින් රාජ්‍යතන්ත්‍රයට කළ හැකි දේ තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂාව ගැන ජාතික කවුන්සිලයක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තුවාල වළක්වා ගැනීමට ජාතික කමිටුවක්ද ක්‍රියාත්මක වනවා.
එහෙත් අවසාන විනිශ්චයේදී අපේ එදිනෙදා සුරක්ෂිත බව ගැන අපට ද විශාල වගකීමක් පැවරෙනවා. දැනුවත්ව සිටීම, අවට පරිසරය ගැන නිසි අවධානය පවත්වා ගැනීම හා අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන අවබෝධයක් තිබීම ඉතා වැදගත්.
යුද්ධයක් නැතත් ජාතික ආරක්ෂාවට තවමත් අතිවිශාල මහජන මුදලක් වැය කරන අපේ රටේ, මහජනයාගේ එදිනෙදා ආරක්ෂාවටත් මීට වැඩි ප්රමුඛතාවක් ඕනෑ!