සිවුමංසල කොලූගැටයා #184: වන්දනාවෙන් තොරව වන්දනා ශිවා කියවමු!

Indian social and environmental activist Dr Vandana Shiva visited Sri Lanka in June 2014, and delivered a well attended public lecture in Colombo. She also joined the launch of a Sinhala translation of her book ‘Stolen Harvest’, written in 2000.

The translator, Sydney Marcus Dias, sent me a copy recently and I have quoted from it in my latest Ravaya column (in Sinhala) appearing in issue dated 7 Sep 2014.

In this, I urge Lankan agro and green activists to engage in a critical reading of Vandana Shiva and not to blindly hero worship her. There is undoubtedly a crisis in modernized methods of farming that rely on high external inputs (agro-chemicals) promoted for half a century under the Green Revolution. Despite evidence for its economic and ecological unsustainability, however, these remain the basis of state agricultural policies in Sri Lanka.

Why? It is a national level failure of vision and policy making. True, local and global agro companies exploit this weakness, but they are operating within what is legal. This is opportunistic of them, for sure, but I don’t agree with Sydney Marcus Dias or any other activists that there is a huge international conspiracy to destabilize Lankan agriculture and destroy it along with the livelihoods of millions of small scale farmers.

We don’t need global conspirators when our own myopic politicians, misguided by officials and experts, are doing a good job of it on their own!

‘Stolen Harvest’ in English and Soragath Aswenna in Sinhala are both worth a read – and can form the basis of discussion. They are NOT the last word on any of the issues discussed, but certainly good opening thoughts to debate further.

NOTE: By sad coincidence, Sarath Fernando, highly respected Lankan farmer activist and founder of the Movement for National Land and Agricultural Reform (MONLAR), died the same weekend this column appeared in print. In June, Vandana Shiva made an affectionate reference to him as ‘my very dear friend Sarath Fernando’.

 

Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014
Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014

ආචාර්ය වන්දනා ශිවා ඉන්දියාවේ සිටින ලෝක ප‍්‍රකට පාරිසරික හා සමාජ ක‍්‍රියාකාරිනියක්. විශේෂයෙන් ගොවිතැන හා ජෛව සම්පත් රැක ගැනීම ගැන දේශීය දැක්මක් හරහා දියුණු වන රටවල අයිතීන් සඳහා ප‍්‍රබල හඬක් මතුකරන විද්වතෙක්.

නිලධාරින් හා ව්‍යාපාරික පිරිස් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉන්දියාවේ ගොවිතැන් මධ්‍යගත කරනු හා වාණිජකරණය කරනු දැක එයින් කැළඹී ඒ ගැන සමාජ ව්‍යාපාරයක් ගොඩනැගූ චරිතයක්.

1952දී උපන් ඇය පන්ජාබ් සරසවියෙන් භෞතික විද්‍යා උපාධිය ලබා පශ්චාත් උපාධි අධ්‍යාපනයට කැනඩාවට ගියා. ක්වන්ටම්වාදය පිළිබඳව ඇගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ කැනඩාවේ බටහිර ඔන්ටාරියෝ සරසවියෙන්. මෙනයින් බැලූ විට ඇය වෘත්තීය වශයෙන් විද්‍යාඥයකු ලෙස පුහුණුව ලැබූ කෙනෙක්. ඉන්දියාවට ආපසු පැමිණ එරට විද්වත් ආයතනවල කලක් පර්යේෂණ කළා.

1987දී විද්‍යාව, තාක්‍ෂණය හා පරිසරය පිළිබඳ පර්යේෂණ පදනම නම් ආයතනයක් ඇරැඹූ ඇය 1991දී එරට දේශීය බීජ හා ජාන සම්පත් සුරැකීමට නව්ධාන්‍ය (Navdanya, www.navdanya.org) නම් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටවූවා.

නව්ධාන්‍ය සංවිධානය මගින් එරට ජන වී ප‍්‍රභේද 2,000කට අධික සංඛ්‍යාවක් වඳ වී යාමට නොදී රැක ගෙන තිබෙනවා. ඉන්දීය ගොවීන් 70,000කට අධික සංඛ්‍යාවක් එහි සාමාජිකයෝ. (‘ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ ’ මැයෙන් වූ 2014 ජනවාරි 19 කොලම ද බලන්න.)

Stolen Harvest by Vandana Shiva
Stolen Harvest by Vandana Shiva

ශිවා කියන්නේ ‘‘බීජ යනු ආහාරදාමයේ මුල් පුරුකයි. බීජ අද තත්ත්වයට පත් වූයේ සියවස් ගණනක් පුරා ගොවීන් සොබාවිකව ඒවා දෙමුහුම් කරමින් වගා කිරීම නිසයි. බීජවල ඓතිහාසික හා සදාචාරාත්මක භාරකරුවන් වූයේ ගොවි ප‍්‍රජාවයි. ඔවුන් බීජවලින් වෙන් කැරෙන ඕනෑම පිළිවෙතක් හෝ ක‍්‍රියාමාර්ගයක් ගොවි විරෝධීයි. දේශීය බීජ ප‍්‍රභේද සුරකින්නට, හුවමාරු කර ගන්නට, අලෙවි කරන්නට, තව වැඩි දියුණු කරන්නට ගොවීන්ට පරම අයිතියක් තිබෙනවා. ඒ අයිතිය පාවා දීමට හෝ කප්පාදු කිරීමට ඉඩ නොදිය යුතුයි!’’

දේශීය හා බිම් මට්ටමෙන් වැඩ කරන අතරේ ජාත්‍යන්තර තලයේ ද දියුණු වන රටවල අයිතීන් හා ප‍්‍රමුඛතා ගැන ඇය හඬක් නගිනවා. පසුගිය ජුනි මාසයේ ඇය ශ‍්‍රී ලංකාවට ද පැමිණියා. ඇගේ ප‍්‍රකට ඉංග‍්‍රීසි කෘතියක් වන Stolen Harvest (2000) ‘සොරාගත් අස්වැන්න’ නමින් සිඞ්නි මාකස් ඩයස් විසින් සිංහලට පෙරළා තිබෙනවා.

‘සොරාගත් අස්වැන්න’ කෘතියේ මූලික තර්කය නම් වාණිජකරණයට ලක් වූ නවීන ගොවිතැන සොබාදහමින් හා දුප්පතුන්ගෙන් ආහාර සොරා ගන්නා බවයි. සමාජ සාධාරණත්වය හා පාරිසරික තිරසාරත්වය ස්ථාපිත කරන්නට නම් ආහාර ප‍්‍රජාතන්ත‍්‍රවාදය (Food democracy) අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දෙනවා.

ශිවා මේ පොත ඉංග‍්‍රීසියෙන් ලියුවේ 2000දී. මේ දක්වා ඇය ලියා ඇති පොත් 20න් එකක්. පසේ සරුබව සහතික කිරීමත්, බීජ රැක ගැනීමත් හරහා සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම මගින් ආහාර බෝග වැවීම ඇය කැමති පිළිවෙතයි. ගොවි බිමට බැහැරින් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායන යෙදීම හරහා පරිසරයත්, සෞඛ්‍යයත්, ගොවි අර්ථිකයත් යන තුනම විකෘති වන බව ඇය තේරුම් ගත්තේ දශක ගණනාවකට පෙරයි.

දියුණු වන රටවල ආණ්ඩු හරිත විප්ලවයේ ප‍්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යන්නේ ඔවුන්ට දියුණු රටවලින්, ජාත්‍යන්තර ආධාර ආයතනවලින් හා ගෝලීයකරණය වූ කෘෂි සමාගම්වලින් කැරෙන බලපෑම් නිසා යයි ඇය කියනවා. ඒ නිසා රටේ ප‍්‍රතිපත්ති නිවැරදි කර ගන්නට සංවාද හා අරගල කරන අතර ගෝලීය ප‍්‍රවණතාවන්ට ද සංවිධානාත්මකව ප‍්‍රතිරෝධය දැක්විය යුතු යැයි ඇය විශ්වාස කරනවා. ගෝලීයකරණයට ඇය විරුද්ධ එය ටික දෙනෙකුට පමණක් වාසි ගෙන දෙන ක‍්‍රියාදාමයක් නිසයි.

වන්දනා ශිවාට චිත්තාකර්ශනීය පෞරුෂයක් හා සිත් ගන්නා සුලූ කථා විලාසයක් තිබෙනවා. ඇය තර්ක හා සාධක සහිත චෝදනා මතු කරන්නේ ගැඹුරු එහෙත් ප‍්‍රසන්න අයුරින්. නිතර ඇගේ මුවෙහි සිනහවක් තිබෙනවා. ප‍්‍රතිමල්ලවයන්ට වාග් ප‍්‍රහාර එල්ල කරන්නේ ද්වේෂයෙන් නොව සාධාරණ කෝපයකින් හෝ සාවඥව හෝ බව පෙනෙනවා. ජාත්‍යන්තර තලයේ විවාදවලට වඩාත් ගැලපෙන ශෛලිය මෙයයි. ඇය කියන දෙයට කිසිසේත් එකඟ නොවන අය පවා ඇයට සවන් දෙන්නේ එනිසායි.

ලොව පුරා සමාජ සාධාරණයට අරගල කරන ක‍්‍රියාකාරිකයෝ ශිවාගේ හිතමිතුරෝ. ශ‍්‍රී ලංකාවේද ඇගේ සහෘදයන් සිටිනවා. ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) ආරම්භක සරත් ප‍්‍රනාන්දු එයින් එක් අයෙක්. ඇය කොළඹ ජූනි මස කළ දේශනයේදී ඔහු ගැන මහත් ලෙන්ගතුව කථා කළා.

Stolen Harvest - Sinhala translation by Sydney Marcus Dias
Stolen Harvest – Sinhala translation by Sydney Marcus Dias

සොරාගත් අස්වැන්න පරිවර්තක සිඞ්නි මාකස් ප‍්‍රනාන්දු ඇගේ තවත් අනුගාමිකයෙක්. ගුරු වෘත්තියේ නියැලෙන අතරම ලේඛන කලාවේත්, සමාජ ව්‍යාපාරවලත් නිරත වන ඔහු පරිසර සංරක්‍ෂණය, කාබනික ගොවිතැන හා අන්තර්-ආගමික/වාර්ගික සහෝදරත්වය ප‍්‍රවර්ධනය කිරීමට දශක ගණනක සිට වෙහෙස වන්නෙක්.

පොතේ අගට තමන්ගේ ම පරිච්ෙඡ්දයක් එක් කරමින් ශ‍්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය යළි කියැවීමට ඔහු තැත් කරනවා. එහිදී ඔහු උදාහරණයට ගන්නේ කලක් ඉගැන්වීමේ යෙදුණු ආනමඩුව ප‍්‍රදේශයයි. පුත්තලම දිස්ත‍්‍රික්කයේ වියලි කලාපීය මේ ප‍්‍රදේශයට ඔහු මුලින් යන විට එහි හේන් ගොවිතැන ඉතා සශ‍්‍රීකව තිබූ සැටිත්, දශක තුනක් තුළ ඒ තත්ත්වය මුලූමනින් වෙනස් වී ඇති සැටිත් ඔහු විස්තර කරනවා.

ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ සාම්ප‍්‍රදායික යැපුම් මට්ටමේ මිශ‍්‍ර හේන් වගාව වෙනුවට හරිත විප්ලවය විසින් දිරි ගන්වන ලද ඒකීය වගා ක‍්‍රමය ඔස්සේ ගොවිතැන් හේන් තුළ කව්පි, මුං, බඩ ඉරිඟු වැනි බෝග පමණක් වගා කිරිමට යොමු වීමයි.

Sydney Marcus Dias
Sydney Marcus Dias

‘‘මුල් යුගයේදී අක්කරයකට බුසල් 30-35 පමණ අස්වැන්නක් ලබා දුන් ඒ බෝග පසුව බුසල් 10-12කට අඩු වී මේ වන විට ඒ වගාවන් නැත්තටම නැති වී තිබේ. එකම භූමිය නැවත නැවත වල්නාශක හා කෘමිනාශක යොදමින් වගා කිරීම නිසා මේ වන විට එම ප‍්‍රදේශයේ හේන් වගාකළ බිම් නිසරු කෙනතු බවට පත් වී තිබේ. මෙම තත්ත්වය සමස්ත සමාජ ආර්ථික ජීවිතයම වෙනසකට ලක් කර ඇති ආකාරය ද විමසිල්ලට ලක් කළ යුතු වේ’’ යයි ඔහු කියනවා.

ග‍්‍රාමීය ගොවිතැන කඩා වැටීම නිසා එයින් ජීවිකාව සපයා ගත් බොහෝ දෙනා අතරමංව ඉච්ඡාභංගත්වයට පත් වෙලා. පිරිමින්ගෙන් බහුතරයක් මේ නිසා මත්පැනට ලොල් වී සිටින බවත්, රජයේ ඉල්ලූම්පත‍්‍ර පුරවන විට රැකියාව ‘ගොවිතැන’ ක’ව ද තව දුරටත් ගොවිකමේ නියැලෙන්නේ නැති බවත් ඩයස් කියනවා. මත්පැන් ප‍්‍රචලිත වීමත් සමග ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය හා අසාර්ථක පවුල් පරිසරයන් ද වැඩි වී තිබෙනවා.

මේ විසමතා හමුවේ පවුල් බර දැරීමට කාන්තාවන් එක්කෝ මැදපෙරදිග – නැත්නම් ඇගලූම් කම්හල්වලට රැකියා සොයා යනවා. මවුවරුන් විදේශගත වූ පවුල්වල දරුවන් බලා කියා ගන්නට කිසිවකු නැති වීමෙන් බරපතල ප‍්‍රශ්න මතු වනවා. රටේ සංවර්ධනයට යයි කියමින් රජය ගන්නා මහා පරිමානයේ විදෙස් ණය වාරික හා පොලිය ගෙවන්නේ මේ ගැමි කතුන් උපයා මෙරටට එවන විදේශ විනිමයෙන්.

‘‘මේ වන විට මේ ප‍්‍රදේශවල වෘත්තීය මට්ටමෙන් ගොවිතැනේ යෙදෙන තරුණයකු සොයා ගැනීම ඉතා දුර්ලභය. ගොවිතැනේ නියැලෙනු දැකිය හැක්කේ ප‍්‍රධාන ජලාශ යටතේ ඉතා සුළු පිරිසකි. එයින් ද බහුතරයක් රජයේ හෝ වෙනත් වෘත්තීන්හි යෙදෙන පිරිසක් අර්ධ කාලීනවය. මේ අය කුඹුරට බහින්නේ තෙල්ටැංකි පිටේ බැඳ ගෙනය’’ ඔහු කියනවා.

මහා පරිමාන සංවර්ධන යෝජනා ක‍්‍රමවලින් ජනතාවට ඉතිරි වී ඇත්තේ දරිද්‍රතාව, විරැකියාව හා සාගින්දර පමණක් බවත්, ගමේ ආර්ථිකය මේ වන විට පවත්වා ගෙන යන්නේ විදේශ රැකියා කරන මවුවරුන්, වෙළඳ කලාපවල රැකියාවන්හි යෙදන තරුණියන් සහ තවමත් හමුදා සේවයේ රැඳී සිටින තරුණයන්ගෙන් බව ඔහු පෙන්වා දෙනවා. ප‍්‍රදේශයේ සාර්ථකම ව්‍යාපාර ලෙස ඉතිරිව තිබෙන්නේ කෘෂි රසායන වෙළඳාම, මැදපෙරදිග රැකියා ඒජන්සි, කොමියුනිකේෂන් හා සෞඛ්‍ය/රසායනාගාර සේවා ආදිය පමණයි.

ඩයස්ගේ නිර්දේශයට මාත් එකඟයි. ‘‘රටේ ග‍්‍රාමීය ආර්ථිකය යළි ගොඩනැගීමට නම් වහා සළු ගොවීන්ගේ කාර්ය සඵලමත් කළ යුතුය. ඒ සඳහා අසාර කනතු බවට පත් වූ ගොවිබිම්වල පස යළි සුවපත් කළ යුතුය…ඒ සඳහා දැවැන්ත ආකල්පමය වෙනස්කම් සහ භෞතික වෙනස්කම් රැසක් කළ යුතුය.’’

මේ දැක්ම ආචාර්ය රේ විජේවර්ධනයන්ගේ චින්තනයටත් සමගාමීයි. (ගිය වසරේ කොලම් තුනක් හරහා මා ඉදිරිපත් කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාව බලන්න.) එහෙත් අපට සිදු වී ඇති සමස්ත කෘෂි වින්නැහියට තනිකරම බහුජාතික කෘෂි සමාගම්වලට පමණක් දොස් තැබීම නම් පිළිගත නොහැකියි.

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

25 August 2013: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

29 Sep 2013: සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

විජේවර්ධනයන් පෙන්වා දුන් පරිදි වැරදි කෘෂි ප‍්‍රතිපත්තිවලට හෙතුව මංමුලා වූ අපේම පොතේ උගතුන්. බටහිර රටවල සමශීතෝෂ්ණ දේශගුණයට සරිලන ගොවිතැන් ක‍්‍රම උසස් අධ්‍යාපනයට හදාරන ඔවුන්, ඝර්ම කලාපීය අපේ රටට සරිලන පරිදි ඒවා සකස් කර නොගැනීම අපේ විනාශයට මුල් වූ බව ඔහු විග‍්‍රහ කළා. අන්තිමේදී දේශපාලකයන් නොමග යවා ඇත්තේ ද මේ උගතුන් විසින්.

බහුජාතික සමාගම් දියුණුවන රටවල ආර්ථික හා සංවර්ධන ක‍්‍රියාදාමයට ඇඟිලි ගසන බව සැබෑවක්. මෙය 1960, 1970 දශකවල සිට පැන නැගී ආ ප‍්‍රවණතාවක්. මුල් යුගයේ පාරිසරික හා කෘෂි ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට සහේතුකව ලක් වූයේ මේ සමාගම්.

එහෙත් තව දුරටත් බහුජාතික සමාගම් හුදෙක් බටහිර රටවල හිමිකාරිත්වයට නතු නැහැ. අද ඉන්දියානු, මැලේසියානු, සිංගප්පූරු, චීන හා කොරියානු බහුජාතික සමාගම් ද තිබෙනවා. ලොව පුරා රටවල ගනුදෙනු කරන ඔවුන් සමහරකගේ ක‍්‍රියාකලාපය මීට වඩා අපේ විමර්ශනයට ලක් විය යුතුයි.

එසේම හරිහැටි දේශීය ප‍්‍රතිපත්ති හා පරිපාලනය පවත්නා රටවල නම් බාහිරින් එන ආධාර ආයතන හෝ විදෙස් සමාගම්වලට කළ හැකි බලපෑම සීමිතයි. ‘ළඟ එන කෘෂි රසායන සුනාමිය’ මැයෙන් කොලමක් ලියමින් 2013 මාර්තුවේ මා පෙන්වා දුන්නේ කුමන්ත‍්‍රණවාදී තර්ක හා චෝදනා කරමින් සිටිනවාට වඩා අපේ ප‍්‍රතිපත්ති, නීති, රෙකුලාසි හා නියාමන තන්ත‍්‍රය විධිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

17 March 2013: සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

වන්දනා ශිවා ජනතාවාදී විද්‍යාඥවරියක්. එහෙත් ඇය කියන හැම දෙයක්ම අප වන්දනාමාන කළ යුතු නැහැ. ඇය එබන්දක් බලාපොරොත්තු වන්නේ ද නැහැ. ඇය මතු කරන අතිශයින් වැදගත් කරුණු හා තර්ක විචාරශිලීව වැඩිදුර විවාදයට ලක් කිරිම අවශ්‍යයි. සිඞ්නි මාකස් ඩයස්ගේ පරිවර්තනය හරහා මේ සංවාදය මතු කර ගත හැකියි.

අවසාන විනිශ්චයේදී අප පත්ව සිටින ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් එයට තුඩු දුන් දෙස් විදෙස් සාධක නිරවුල්ව හඳුනාගත යුතුයි. දුෂ්ටයන් හා බිල්ලන් සොයමින් මුළු කාලයම වැය නොකර අපේ විද්වතුන්, නිලධාරින් හා ගොවීන් ද මේ අර්බුදයට අඩු වැඩි පමණන් දායක වී ඇති බව අප පිළිගත යුතුයි.

සුළු ගොවියා අපේ විශේෂ අවධානයට ලක් විය යුතු වුවත් ඔවුන් රොමැන්තික් ලෙස පුදසුනක තබා වන්දනාමාන කිරීම අවශ්‍ය නැහැ. රටේ නීතිරීති හා මානව ධර්මතා ගොවීන්ටත් එක සේ අදාලයි. ජනතාවට දැන දැනම වස විස කවන අපේ සමහර සුළු ගොවීන් ගැන මා සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා.

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

අද අපට අවශ්‍ය විවෘත හා ආවේගශීලී නොවූ සංවාදයක්. එහිදී ගොවීන්, කෘෂි පර්යේෂකයන්, ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, කෘෂි සමාගම් හා රාජ්‍ය ආයතන සියල්ලට හඬක් තිබිය යුතුයි.

එබඳු සංවාදයක් සිදු කළ හැකි හා කාටත් පිළිගත හැකි අපක්‍ෂපාත වේදිකාවක් ලෙස මාධ්‍යවලට ක‍්‍රියා කළ හැකි ද?

Vandana Shiva  speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil - Photo by Alexandro Auler/LatinContent/Getty Images)
Vandana Shiva speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil – Photo by Alexandro Auler/LatinContent/Getty Images)

* * * * *

“සොරාගත් අස්වැන්න“ වැඩි විසතර සඳහා විමසන්න:

තෝතැන්න පබ්ලිෂින් හවුස්, උස්වැව පාර, ආණමඩුව.
දු.ක. – 0322263446 / 0773054058
thothanna@yahoo.com

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය,
අංක 83/12, පෙරේරා මාවත, කොටුවේගොඩ, රාජගිරිය.

සිවුමංසල කොලූගැටයා #158: දේශීය බීජ හා ගොවි උරුමය රැක ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I summarise concerns about the draft new Seed Act of Sri Lanka proposed by the government’s Department of Agriculture. Many farmer groups and environmental activists have serious misgivings about proposals to centralise all seed sharing and trading in the head of the Department of Agriculture. Activists see this seriously undermining those using and protecting traditional varieties of seed and engaged in organic farming.

An English summary of these concerns is found here: New Internationalist, 28 January 2014: Sri Lankan farmers resist new seed law

Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 - Image courtesy http://lankapura.com
Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 – Image courtesy http://lankapura.com

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජිත නව බීජ පනතේ කෙටුම්පත මේ වන විට ගොවි සංවිධාන හා හරිතවේදීන් අතර විවාදාත්මක වී තිබෙනවා.  නව පනතෙන් සුළු ගොවියාගේ පාරම්පරික බීජ අයිතිය සීමා වන්නට හෝ නැති වන්නට හෝ ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ගොවිතැන් ගැන විචාරශීලිව බලා සිටින මා මේ උද්ඝෝෂණය ගැන අවධානය යොමු කළා. ක‍්‍රියාකාරිකයන් ගණනාවකට සවන් දුන්නා.  අද ගොනු කරන්නේ එසේ රැස් කර ගත් කරුණු හා අදහස්වලින් කොටසක්.

දැනට ක‍්‍රියාත්මක වන්නේ 2003 අංක 22 දරණ බීජ පනතයි. යෝජිත නව පනතෙන් පවතින පනතේ බලතල අභිබවා යමින් බීජ පිළිබඳ ඒකාධිකාරයක් කෘෂි නිලධාරින්ට හා බීජ බෙදා හරින සමාගම්වලට ලබා දෙනු ඇතැයි එයට එරෙහි ගොවි සංවිධාන කියනවා.

නව පනත් කෙටුම්පතේ එය හඳුන්වා දෙන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව රැකීමට හා නියාමනයටත්, දේශීය බීජ කර්මාන්තයේ සංවර්ධනයට හා ජාන සම්පත් සුරැකීමටත් අරමුණු කැරෙන බවයි. සියළු වැවිලි බෝග, අපනයන බෝග, ඖෂධ පැළෑටි, සත්ව ආහාර වර්ග ආදිය මේ පනතින් ආවරණය වනවා.

ගොවි සංවිධාන කැළඹී ඇත්තේ යෝජිත බීජ පනතින් රටේ සියළු බීජ  හා අනෙක් රෝපණ ද්‍රව්‍ය පිළිබඳ මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  පත් කිරීමේ යෝජනාවයි.  ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිපදවීම, ළඟ තබා ගැනීම, බෙදා හැරීම,  හුවමාරු කිරීම හා විකිණීම තහනම් වීමට යෝජිතයි.

එසේම පනතතේ විධි විධාන කඩ කරන අය පරීක්‍ෂා කිරීම, ප‍්‍රවාහනය සෝදිසි කිරීම, හා වැරදිකරුවන් වන අයට දඩ නියම කිරිමට හෝ මාස 6කට සිරගත කිරීමට අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට ලැබීමට යෝජිත බලය, පොලිස් බලතල පවා ඉක්මවා  යාමක් බව ගොවි සංවිධාන කියනවා.

මේ කෙටුම්පත ගැන විස්තරාත්මක විවේචනයක් කරන බුද්ධි ජයසූරිය තර්ක කරන්නේ වානිජකරණය වූ කෘෂිකර්මාන්තයක චින්තන රාමුව තුළ පිහිටා මෙය සකස් කර ඇති බවයි. එහි කිසිදු තැනෙක ‘ගොවියා’ යන වචනය නොයොදා ඒ වෙනුවට ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන්’ යන තාක්‍ෂණික යෙදුම පමණක් භාවිත කිරීම ගැන ඔහු විමතිය පළකරනවා.

ගොවිතැනින් ජීවිකාව සලසා ගන්නා කුඩා පරිමාන ගොවීන් අති බහුතරයක් සිටින මෙරට, මේ නව පනත හරහා  කෘෂි සමාගම් හා කෘෂි  වෙළඳපොලකට යොමු වීම පැහැදිලි බවත්, එය සුළු ගොවීන්ට අසාධාරණ බවත් ඔහුගේ මතයයි.

‘‘තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රමයකට කැරෙන ගොවිතැන් ප‍්‍රවර්ධනය ගැන අපේ කෘෂි නිලධාරින් මේ දක්වා සැබෑ උනන්දුවක් දක්වා නැහැ.  මේ නිසා ඔවුන් ගැන කිසි විශ්වාසයක් තබන්නේ කොහොමද?’’ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයෙ (MONLAR)  සරත් ප‍්‍රනාන්දු අසනවා.

‘‘ගොවි රජා යයි මහ ඉහළින් වර්ණනා කරන අපේ ගොවියාට කොන්දේසි, තහංචි හා දණ්ඩන රැසක් පනවා ඔහු බියපත් කිරීමේ උත්සාහයක් මෙහි තිබෙනවා.  මෙය ගොවීන්ට පමණක් නොවෙයි පාරිභෝගිකයන්ට ද අහිතකර පනතක් බව අපේ විග‍්‍රහයයි,’’ ප‍්‍රනාන්දු කියනවා.

Sarath Fernando - Photo by Aditya Batra, Down to Earth Magazine
Sarath Fernando – Photo by Aditya Batra, Down to Earth Magazine

බීජ රැක ගෙන ඉතිරිකර ගැනීම, හුවමාරු කර ගැනීම, විකිණිම, අභිජනනය හා දියුණු කිරීම ගොවියාගේ මූලික අයිතිවාසිකමක් බවත්, එය නිලධාරින්ට පාවා දිය නොහැකි බවත් බීජ අයිතීන් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

ඔවුන් කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ විවිධ කෘෂිකාර්මික බෝගවලට අදාල බීජ වර්ග 3,000කට වැඩි සංඛ්‍යාවක් ලක් ගොවීන් විසින් පාරම්පරිකව වගා කරමින්, රැක ගනිමින් හා හුවමාරු කර ගනිමින් ඇති බවයි.

බීජ අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාමන්කඩවල ශ‍්‍රී පියරතන හිමියන් කියන්නේ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් දෙමුහුන් බීජ වර්ග මෙන් නොව සාම්ප‍්‍රදායික බීජ වැවීමට අධික ලෙස  රසායනික පොහොර හෝ කෘමිනාශක අනවශ්‍ය බවයි.

“කෘෂි රසායනික  අධික ලෙස  භාවිතය නිසා බෝ නොවන නිදන්ගත රෝග හට ගන්නා බව අපේ විශ්වාසයයි.  වකුගඩු රෝගය පමණක් නොවෙයි, පිළිකා රෝග රාශියක් ද ඇති වනවා. මේ දැඩි අවදානම දැන දැනත් අපේ ගොවීන් බොහෝ දෙනකු තවමත් කෘෂි රසායනිකවල ඇලී ගැලී සිටිනවා.  එය එක් හේතුවක් නම් වැවීමේ (තාවකාලික) පහසුව.  තව හේතුවක් නම් කෘෂි රසායනිකවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලැබෙන රාජ්‍ය ප‍්‍රවර්ධනය.  මේ කෘෂි රසායනික නැතිව වගා කිරීමේ අවස්ථාව අපේ ගොවීන්ට ලබා දෙන්න යයි අපි රජයෙන් ඉල්ලා සිටියත් තවම ප‍්‍රතිචාරයක් නැහැ,” එහිමියන් කියනවා.

අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ අධික කෘෂි රසායනික භාවිතය ගොවීන්ට නිර්දේශ කරමින් සිටින අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොබාවික ක‍්‍රම මගින් ගොවිතැන් කිරීම හා දේශීය බීජ ගැන එතරම් උනන්දු වන ආයතනයක් නොවෙයි.  (හරිත විප්ලවය ගැන කෙතරම් විවේචන කළත් එය තවමත් ලක් රජයේ නිල ප‍්‍රතිපත්තියයි! එය ක‍්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන රාජකාරියයි!)

මේ වැඩියෙන් යොදා වැඩි අස්වනු නෙළා ගැනීමේ (high external input agriculture) සම්ප‍්‍රදායට විකල්පයක් ලෙස ජෛවීය පොහොර හා සොබාවික පලිබෝධනාශක යොදා ගෙන වගා කිරීමේ කාබනික ගොවිතැනක් (organic farming) ද සුළු පරිමානයෙන් මෙරට තිබෙනවා.  2014 ජනවාරි 26දා කොලමින් අප එය විග‍්‍රහ කළා.

කාබනික ගොවිතැන් කරන ගොවීන් බොහෝ කොට භාවිත කරන්නේ පාරම්පරිකව ලැබී ඇති දේශීය බීජයි.  නිල තන්ත‍්‍රයෙන් අනුග‍්‍රහයක් නැතිව වුවත් තම තමන් අතර හොඳ දේශීය බීජ හුවමාරු කර ගැනීමක් මේ දක්වා ගොවීන් කර ගෙන ආවා.

රාජ්‍ය නොවන  සංවිධාන (NGO)වලට දොස් කීම පුළුල්ව කැරෙන අද කාලයේ මතක් කිරීම වටින්නේ අයාලේ ගිය රාජ්‍ය කෘෂි ආයතන අවිචාරශීලීව අඩසියවසක් තිස්සේ හරිත විප්ලවයට ආවඩන අතරේ දේශීය බීජ හා කාබනික/සොබාවික ගොවිතැන මෙපමණටවත් රැකී ඇත්තේ  NGO කැපවීම නිසා බවයි.

2003 (පවතින) පනතින් ගොවියකු තමා වැවූ බීජ තොගයක්, තමාගේ බිමෙහිදී වෙනත් අයකුට දීම හෝ විකිණීම හෝ නියාමනය කැරුණේ නැහැ.  සුළු පරිමානයෙන් එකිනෙකා අතර බීජ හුවමාරු කර ගැනීම ගොවින් බොහෝ කලක සිට කරනවා.

යෝජිත පනතේ 18 වන වගන්තියට අනුව දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් සුරැකීම, ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය  හුවමාරු කර ගැනීම, බෙදා හැරීම හෝ ලබා දීම දෙපාර්තමේන්තු බලධරයාගේ අවසරයකින් තොරව නොකළ යුතු වනවා.  ගොවි හා පාරිසරික ක‍්‍රියාකාරිකයන් කියන්නේ බීජ පිළිබඳව සාම්ප‍්‍රදායිකව ගොවීන්ට තිබූ අයිතිවාසිකම මෙයින් අහෝසි වන බවයි.

නව පනත යටතේ තාක්‍ෂණ හා උපදේශක කමිටුවක් පිහිටුවීමට යෝජිතයි.  2003 පනතේ එබඳු කමිටුවකට ගොවි ජනතාව නියෝජනය කරන දෙදෙනෙකුට අවසර තිබුණත්, නව පනතේ එය දක්වා ඇත්තේ ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පිිළිබඳ විද්‍යාත්මක ශික්‍ෂණයක් සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු’ පත් කළ හැකි බවයි.  මෙහි යටි අරමුණ විය හැක්කේ ගොවි නියෝජනය නැති කොට පොතේ උගතුන්ට පමණක් කමිටුව සීමා කිරීම ද?  පනතේ විවේචකයන් මේ බිය පළ කරනවා.

MONLAR ආයතනයේ සරත් ප‍්‍රනාන්දු කියන්නේ මෙරට ගොවිතැනේ රාජ්‍ය නියාමනයට ඉඳුරා ම ලක්විය යුතු පැතිකඩ ද තිබෙන බවයි.  “මහා පරිමාණ රසායනික පොහොර හා වල් නාශක, පලිබෝධනාශක භාවිතය හරහා අපේ ආහාරවලට උග‍්‍ර වස විස එකතු කිරීමත්, එබඳු කෘෂි රසායනික නොමැතිව වගා කරන්නට බැරි  නවීන දෙමුහුම්  බීජ ප‍්‍රභේද  ප‍්‍රවර්ධනය කිරීමත් අනිවාර්යයෙන් මීට වඩා දැඩි පාලනයකට පත් කිරීම අවශ්‍යයි.”

‘‘රටේ නීති රීති තද කළ යුතතේ මේ දෙආකාරයේ කි‍්‍රයාවල යෙදෙන අයටයි.  එසේ නැතිව සුළු ගොවියාට නොවෙයි!’’ ඔහු අවධාරණය කරනවා.

අපේ සමහර ගොවීන් ද වැරදි කරන බව ප‍්‍රනාන්දු පිළිගන්නවා. “පරිසරය වනසන, ආහාර විස කරන ක‍්‍රියා ගොවීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනවා.  එබඳු අකටයුතුකම් පාලනය කරන්නට අවශ්‍ය නීති රජය ගෙනෙනවා නම් අප එයට එක හෙළාම කැමතියි!”

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

යෝජිත පනත් කෙටුම්පත මෙරට ක‍්‍රියාකාරිකයන් විසින් බීජ රැක ගැනීමේ ඉන්දියානු ජනතා ව්‍යාපාරයේ බල කණුවක් වන ආචාර්ය වන්දනා ශිවාට (Dr Vandana Shiva) යොමු කරනු ලැබුවා.  එය අධ්‍යයනය කළ ඇය ද පවසන්නේ ඇතැම් වගන්ති හා යෝජිත විධිවිධාන සුළු ගොවීන්ගේ පාරම්පරික බීජ අයිතීන්ට පහරක් බවයි.

ඇය කියන්නේ කුඩා පරිමාණයෙන් දේශීය වී ප‍්‍රභේද හා අනෙකුත් දේශීය බෝග වගාවේ නිරත ගොවීන් මේ නව පනතේ රාමුවෙන් නිදහස් කළ යුතු බවයි.

19 January 2014:  සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

යෝජිත බීජ පනත මහජන අදහස් දැක්වීම සඳහා 2013 අග සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙනවා.  එය හොඳ පියවරක්.  එහෙත් එපමණක් සෑහෙන්නේ නැහැ.  යෝජිත විධි විධාන අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ජනතාවට තේරෙන ලිහිල් බසින් පැහැදිළි කළ යුතුයි.

පනත් කෙටුම්පත් කරන්නේ ගරු ගාම්භීර හා දරදඬු නීතිමය බසින්.  එයින් ඔබ්බට ගොස් තම අරමුණු ප‍්‍රශස්ත ලෙස  සන්නිවේදනය කිරීමේ අභියෝගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබෙනවා. එසේ කරන විට ගොවි හා සෙසු ජන සංවිධානවල විරෝධතා සාවධානව සැළකිල්ලට ගෙන සංවාදයකට එළැඹීමත්  වැදගත්.  පරිනත සමාජයන්හි නව නීති හා රෙගුලාසි සම්මත කර ගන්නේ එබඳු පුළුල් සංවාදවලින් පසුව පමණයි.

මෙහිදී ආවේගශීලි නොවී ඉලක්කගතව මත දැක්වීමේ වගකීම ගොවි, හරිත හා අනෙක් ජන සංවිධානවලට හා ස්වාධීන විද්වතුන්ට තිබෙනවා.

Sri Lanka traditional rice - image from Wikipedia
Sri Lanka traditional rice – image from Wikipedia

බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රැස්වීමකට මෑතදී නිරික්‍ෂකයකු ලෙස මා  සහභාගී වූවා.  එසේම ඔවුන් නව බීජ පනතට එරෙහිව ලියූ  පත‍්‍රිකා හා ඇතැම් පුවත්පත් ලිපි ද කියැවුවා.

මේ ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු සැකයක් නැහැ.  එහෙත් ඔවුන්ගේ ක‍්‍රමවේදය ගැන මට ප‍්‍රශ්න තිබෙනවා.  සංකීර්ණ අද සමාජයේ ප‍්‍රශ්න සරලව විග‍්‍රහ කළ නොහැකියි. මාතෘකාවට අදාලව, කෙටියෙන් හා තර්කානුකූලව කරුණු ගොනු කිරීමට අපේ බොහෝ ක‍්‍රියාකාරිකයන් අසමත්.

මහා කුමන්ත‍්‍රණ, පාවාදීම් හා ද්‍රෝහිකම් ගැන ආවේගශීලි මතවාදයන් සමග මුසු වීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක හා විද්‍යාත්මක තර්කවල සැර බාල වීමේ අවදානම තිබෙනවා.

මිටියක්  පමණක් අත තිබෙන තැනැත්තාට හැම ප‍්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇණයක් හැටියට යයි කියමනක් තිබෙනවා.  හීන්සීරුවේ හා උපක‍්‍රමශීලීව උද්ඝෝෂණ කිරීමේ හා මහජන මත ගොඩනැගීමේ සියුම් කලාව අපේ හරිතවේදීන් හා ගොවි සංවිධාන ප‍්‍රගුණ කළ යුතුයි. ඉන්දියාවේ බීජ උරුමය රැක ගන්නට ගොවි සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ගෙන යන උද්ඝෝෂණවලින් අපේ ඇත්තන්ට ආදර්ශ ගත හැකියි.

මෙහිදී ප‍්‍රතිපත්තිගරුක වීම පමණක් මදි.  ගාන්ධිතුමා හා නෙල්සන් මැන්ඩෙලා වැනි පරමාදර්ශී චරිතවලින් පවා ලැබෙන ආදර්ශය නම් ආවේගයට වඩා සන්සුන් තර්කයට හා විනීත සංවාදයට බොහෝ දේ කළ හැකි බවයි.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

සිවුමංසල කොලූගැටයා #155: මොකක්ද මේ කලබලේ?

In this week’s Ravaya column (in Sinhala), I continue my exploration of the global Slow Movement, which started with Slow Food in Italy in 1986, originally as a defiance of fastfood. It has since inspired other pursuits of doing things more reflectively and deliberately slowly – such as Slow Cities, Slow Reading, Slow Travel and Slow Art.

I explored similar grounds in English in a July 2013 column: Stuck in Fast Forward? Slow Down!

slow-down

ක්ෂනික ආහාර (fastfood)වෙනුවට ලැසි ආහාර (slowfood)ගැන මා ලියූ කොලමට විවිධ ප‍්‍රතිචාර ලැබුණා. එබඳු ප‍්‍රපංචයක් කෙතරම් මෙරටට අදාල ද කියා විමසූ පාඨකයන් මෙන් ම විදේශීය (සංකර)සංකල්ප බලෙන් අපේ ජන සමාජයට කාවද්දන්නට තැත් කරනවා යයි චෝදනා කළ අය ද සිටියා.

මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ජාලය සංකේතවත් කරන ක්ෂනික ආහාරවලට ප‍්‍රතිරෝධයක් ලෙස ලැසි ආහාර 1986දී ඉතාලියෙන් මතුව ආවත් එය ලිහිල් මට්ටමේ ඇමරිකානු විරෝධයක්වත් නූතනත්වයට එරෙහි වීමක්වත් නොවන බව අප පැහැදිලි කළා.

ක්ෂනික ආහාර සෞඛ්‍යයට අහිතකර විපාක ගෙන දෙන බව කලක සිට ප‍්‍රකට කරුණක්. එහෙත් එම වෛද්‍ය විද්‍යාත්මක යථාර්ථයට සීමා නොවී ක්ෂනික ආහාර නියෝජනය කරන (එහෙත් එයට සීමා නොවූ) අධිවේගී ජීවන රටාව වඩා පුළුල්ව විවේචනයට හසු කරන්නට ගත් උත්සහයක් ලෙස සෙමින් කෑම හෙවත් ලැසි ආහාර ව්‍යාපාරය මා දකිනවා.

slow-food-32.3

අනෙක් වැදගත් කරුණ නම් ආහාර පරිභෝජනයෙන් ඇරඹුණත් මේ වන විට සෙමින් සංකල්පය වෙනත් බොහෝ එදිනෙදා කි‍්‍රයා දක්වා ව්‍යාප්ත වී ඇති බවයි. සෙමින් පොත් කියවීම (slow reading), සෙමින් දේශ සංචාරය (slow travel), සෙමින් මාධ්‍ය පරිශීලනය (slow media), සෙමින් කලා කෘති රස විදීම (slow art)ආදී තවත් විවිධ දිශාවලට ලැසි ව්‍යාපාරය විකාශනය වී තිබෙනවා.

මේ සියල්ල දැඩි සංවිධාන ව්‍යුහයකින් තොරව, කි‍්‍රයාකාරීකයන්ගේ උද්යෝගය හා කැපවීම හරහා මතුව ආ ප‍්‍රවණතායි. මෙබඳු ජනතා ව්‍යාපාරවලට රාජ්‍ය තාන්ති‍්‍රක සාධක අදාල නැහැ. ලැසි ආහාර සෙමින් කෑමේ ඉලක්කය තම තමන්ගේ දේශීය හා ආවේණික ආහාර පානත් ඒ වටා බැඳුණු උපසංස්කෘතියත් නැවත සිහිපත් කර දීමක්.

එය අධිවේගී නවීන ජීවන රටාවට විකල්පයක්. මහා දේශපාලන අරගලයක් මතු පිටින් නොපෙනුණත් ගෝලීයකරණයට හා පාරිභෝගික සමාජයේ ආතතියට සියුම් ප‍්‍රතිචාර දැක්වීමක් ඒ තුළ තිබෙනවා.

Slow යන්නට මන්දගාමී වැනි යෙදුමක් මා භාවිත කරන්නේ නැහැ. හේතුව සෙමින් යම් දේ කිරීම කිසිසේත් අලසවීමක් නැතහොත් අකාර්යක්‍ෂම වීමක් නොවන නිසයි.

සෙමින් සෙමින් යමක් කිරීමට අප සවිඥානිකව (ඕනෑකමින්)තීරණය කළ යුතුයි. බොහෝ විට එය පුද්ගල මට්ටමේ තීරණයක්. කාර්යබහුල කෙනෙකුට හෝ පූර්ණ කාලීන ශිෂ්‍යයන්ට මෙය ප‍්‍රායෝගික නොවන්නට පුළුවනි. සමාජ ප‍්‍රවණතා තම යථාර්ථයට අදාල කර ගන්නට කෙනකුට අවකාශය තිබෙනවා.

සෙමින් ව්‍යාපාරය (www.slowmovement.com)බොහෝ කොට ම පුද්ගලික මට්ටමේ තේරීම් හා රුච්කත්වය මත පදනම් වුවත් සමහර අනුසංකල්ප දැන් වඩාත් පුළුල්ව ප‍්‍රජා හා රාජ්‍ය පරිපාලන මට්ටමට ද බලපා තිබෙනවා.

GK cmyk snailහොම උදාහරණය නම් 1999දී ඉතාලියෙන් ම මතු වූ ලැසි නගර (Slow Cities)  සංකල්පයයි. එහිදී කුඩා නගර තමන්ගේ පොදු අවකාශයන් හා නාගරික භූමිය වඩාත් ජන හිතකාමී විදියට සකස් කර ගන්නවා. සමහර වීදිවල කිසිදු වාහනයක් ධාවනයට ඉඩ නොදී පදිකයන්ට හා බයිසිකල්කරුවන්ට පමණක් වෙන් කරනවා. රථවාහන තදබදය, ජනාකීර්ණත්වය, වාත දුෂණය හා නාගරික කලබලය සමනය කොට ´kElñka uසෙමින් දිග හැරෙන එදිනෙදා ජීවන රටාවකට අවශ්‍ය යටිතලපහසුකම් ඔවුන් සකස් කර ගන්නවා.

ලැසි නගර සාක්ෂාත් කර ගන්නට නගර පරිපාලකයන් හා එහි වැසියන් ගත යුතු නිශ්චිත පියවර 50ක් හඳුනා ගෙන තිබෙනවා. නාගරික ප‍්‍රවාහනය, නිවාස කලාපකරණය, නාගරික පරිසරය රැක ගැනීම, සාංස්කෘතික විවිධත්වයට මුල් තැන දීම හා ශරීර සුවතාවයට හිතකර පියවර ආදිය ඒ අතර වනවා. වාහනවලට වඩා බයිසිකල් පදින්නන් හා පදිකයන්ට මුල් තැන ලැබෙන ආකාරයේ වීදි සැළසුම් ඒ අතර වැදගත්.

පුනර්ජනනීය (සුනිත්‍ය)බලශක්ති ප‍්‍රභවයන් මනාව දියුණු කොට ගෙන, පරිසර දුෂණය අවම කර ගනිමින්, වඩාත් තිරසාර සංවර්ධනයකට යොමු වීම මේ ලැසි නගරවල වැදගත් ඉලක්කයක්.

ලැසි නගර ව්‍යාපාරයේ සාමාජිකත්වය ලද හැක්කේ මෙකී ගුණාංග 50සපුරා ගත්, ජනගහනය 50,000ට අඩු නගරවලට පමණයි. 2013 වන විට නගර 168ක් ලැසි නගර ව්‍යාපාරයේ සාමාජිකයන්ව සිටියා.

එයින් බහුතරයක් ඇත්තේ යුරෝපයේයි. එහෙත් ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ජපානය, දකුණු කොරියාව, අමෙරිකාව යන රටවලටත් එය පැතිර ගොස් තිබෙනවා. චීනයේත් මෑතදී එක් කුඩා නගරයක් මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා.

අධිවේගී කලබලකාරිත්වයට වඩා ජීවන තත්ත්‍වය අගය කරන නගරාධිපතිවරුන් හා නගර වැසියන් මේ ව්‍යාපාරයට බැදීමට පෙරුම් පුරනවා. ලැසි නගර භෞතික ශරීර සුවතාවයට මෙන්ම මානසික සුවයටත් වැඩදායකයි.

Don\’t run races with me…

සෙමින් පොත් කියැවීමේ ප‍්‍රවණතාවයක් ද ලොව මතු වෙමින් තිබෙනවා. බොහෝ රටවල ගතානුගතික අධ්‍යාපන ක‍්‍රම හරහා දරුවන් හුරු කරන්නේ හැකි තරම් පොතපත ඉක්මනින් කියවා ග‍්‍රහණය කර ගන්නයි. එහිදී ප‍්‍රමාණාත්මකව මිස ගුණාත්මකව කියැවීම අගය කරන්නේ නැහැ. වැඩිහිටියන් වූ විටත් අවිවේකී බව නිසා බොහෝ දෙනා උඩින් පල්ලෙන් පොත් කියවන්නට පෙළඹනවා.

පුවත්පත් හා සරා අධිවේගීව කියැවීම පුළුල් සිරිතක්. එහෙත් නවකථාවක්, කෙටිකතා සංග‍්‍රහයක් හෝ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයක් එක හුස්මටකියවනවාට වඩා ටිකෙන් ටික ග‍්‍රහණය කිරීමට අප සමහරුන් කැමතියි. මා පොත් කියවන්නේ මේ විදියටයි. අවශ්‍ය විටෙක හදිසියේ තොරතුරු සමුදායක් උකහා ගැනීමේ හැකියාව ඇතත් මා  ඕනෑකමින් සමහර පොත් දින, සති හෝ මාස ගණනක් පුරා කඩින් කඩ කියවනවා.

මගේ සමහර කලබලකාරී මිතුරන් මෙය දකින්නේ මන්දමානසික කි‍්‍රයාවක් හැටියට. එත් කමක් නැහැ! කියැවීම යනු හුදෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක ප‍්‍රකාශිත කරුණු හා අදහස් ග‍්‍රහණය කිරීම පමණක් නොවෙයි. හො ලේඛකයන් පාඨකයන්ගේ මනස කිති කවන, පරිකල්පනය දියුණු කරන හා සිතන්නට පොළඹ වන නිර්මාණ කරනවා.

මා ජීවිත කාලය තුළ පොත් කොපමණ සංඛ්‍යාවක් කියවා ඇත්දැයි ඉහිට කෙනකු අසනවා. මා එය ගණන් තබා ගන්නේ නැහැ. කියවන හැම පොතක් ම එක සේ අප මනස කුල්මත් කරන්නේ ද නැහැ. පොත් කියවන එක මැණික් ගරනවා වගේ වැඩක්. බොරලූ හා තිරුවානා ගල් රැසක් අතර වටිනා මැණික් ද හමු වනවා. කලබලකාරයන්ට එබඳු මැණිකක් අතට ම පත් වුණත් එහි අගය වැටහෙන්නේ නැහැ!

අද දැනුම් සාගරයත් සමග ගනුදෙනු කරන්නට මෙසේ ලැසි කියැවීම ප‍්‍රමාණවත් ද? ශිෂ්‍යයන්ට හා වෘත්තිකයන්ට අවශ්‍ය දැනුම් ගවේෂණයට වේගයක් තිබිය යුතුයි. එහෙත් ආත්ම වින්දනයට කරන ගවේෂණවල වේගය අප තනිව තීරණය කළ යුතුයි.

Carl Honore
Carl Honore

ලොව වටා සෙමින් ව්‍යාපාර ගැන පොතක් ලියු කාල් හොනොරේ Carl Honoré නම් කැනේඩියානු පත‍්‍ර කලාවේදියා කියන්නේ ‘‘අධිවේගී හැම දෙයක් ම දියුණුයි හා වඩා හොයි යන නූතන අදහස පිළි නොගන්නා පිරිසක් ලොව සිටිනවා. ඔවුන් නූතනත්වය පිටු දකින හෝ ප‍්‍රාග්-නූතන පුරාණත්වයට නැවත යා යුතුයි කියන ගතානුගතිකයන් නොවෙයි. ඔවුන් හදන්නේ නූතනත්වය තමන්ට රිසි හා පහසු වේගයකට තම ජීවිතවලට අදාල කර ගන්නයි.’’

ඔහු මේ ප‍්‍රවණතාව දකින්නේ අධිවේගී ජීවිතවලට පොඩි බ්‍රේක් පාරක් හැටියටයි. 2004දී ඔහු ලියු සෙමින් ගියොත් හොයි(In Praise of Slow)පොත අතිශයින් ජනපි‍්‍රය වී තිබෙනවා. හැම දෙයක් ම හැකි තාක් හො, පිළිවෙල කරන්නට තැත් කරමු. යම් කිසි සන්සුන් හා තැන්පත් බවක් ජීවිතයට එක් කර ගනිමුඔහුගේ පොතේ මූලික පණිවුඩයයි.

හොනරේ කියන්නේ නූතන සමාජය පෙර පරම්පරාවලට වඩා භෞතික සම්පත්වලින් පොහොසත් වුවත් කාලය අතින් වඩාත් දුප්පත් වී ඇති බවයි (time poverty).

අඩුවෙන් නිදා ගනිමින්, අවදියෙන් සිටින පැය ගණන පුරා හැකි තරම් වැඩ ප‍්‍රමාණයක් කරන්නට වලිකන බොහෝ දෙනාට සැබෑ මානසික විවේකය අමතකව ගොසින්. ‘‘විනාඩි හා පැය ගණන ගණන් කිරීමට වඩා හැම මොහොතක් ම වි ගැනීම වැදගත්. ලැසි ව්‍යාපාරය කලබලකාරී හා නොසන්සුන් ලෝකයට මතක් කර දෙන්නේ මේ සනාතනික පණිවුඩයයි!‘‘

මෙය කිරීමේ අවකාශය ඇත්තේ අතමිට සරු අයට පමණක් ද? බොහෝ නව ප‍්‍රවණතා මතුව එන්නේ මධ්‍යම පාංතිකන්ගෙන් බව සැබෑවක්.  ඕනෑකමින් ජිවන රටාව සෙමින් හා සැහැල්ලූවෙන් ගත කිරීමේ තීරණය විශ‍්‍රාමිකයන්ට සීමා වූවක් ද නොවෙයි. අද තරුණ වියේ හා මැදි වියේ පසුවන ඇතැම් අය ද තමන්ට හැකි අවස්ථාවල අඩු වේගයකට පත් වන්නට උත්සාහ කරනවා.

Canada-coverයෝගී ව්‍යායාම්, නිර්ආගමික භාවනා ක‍්‍රම හා වෙනත් පෙරදිග ක‍්‍රමවේදයන් කලබලකාරී ලෝකයට මේ සහා අත්වැලක් සපයනවා. මේ සහා නාගරිකයන් දුර ගෙවා ගම්බද ප‍්‍රදේශවලට යා යුතු නැහැ. ජනාකීර්ණ නගරවල වූව ද අවම ප‍්‍රමාණයක් විවෘත හරිත ප‍්‍රදේශ (වෙරළ තීරු, පිට්ටනි, උද්‍යාන හා ඇවිදීමට ප‍්‍රදේශ)පවත්වා ගැනීමේ වැදගත්කම දස නගර සැලැසුම් ශීල්පීන් පිළි ගෙන තිබෙනවා.

මේ අතර කවදත් ගුණාත්මක අඵත් දේ අත්හදා බලන්නට රිසි කැනේඩියානු ජාතිකයෝ ලැසි බව සහා ලෝක දිනයක් ද  (International Day of Slowness) තෝරා ගෙන තිබෙනවා. වසරේ ජූනි 21දා. උත්තර අර්ධගෝලයේ ගිම්හාන සෘතුව නිල වශයෙන් ඇරඹෙන්නේ එදිනටයි.

ලැසි සංකල්පය රටක හෝ සමාජයක ඵලදායීතාවට කෙසේ බලපායි ද? වැඩ කරන පැය ගණනට වඩා එකී කාලය තුළ කොපමණ  ඕනෑකමකින් හා කාර්යක්‍ෂමව වැඩ කරනවා ද යන්නයි වැදගත්. හොනරේ කියන්නේ ස්කැන්ඩිනේවියානු රටවල වැඩ කරන නිල පැය ගණන සාපේක්‍ෂව අඩු වුවත් ජනයා එයින් වඩාත් තෘප්තිමත් වීම හරහා ඵලදායීතාව වැඩි වී ඒ රටවල ආර්ථිකයන් සවිමත් මට්ටමක පවත්වා ගන්නා බවයි.

අවධි වූ සිහියෙන් යුතුව කලබල නැතිව හැම දෙයක් ම කිරීමේ කලාව පෙරදිග අපට අළුත් දෙයක් නොවෙයි. ජපන්, චීන හා භාරත සම්ප‍්‍රදායන්ගේ සෙමින් හා අවධියෙන් හැම දෙයක් ම කිරීමේ ගුණය ඉස්මතු කරනවා. දැන්  ඕනෑ වී ඇත්තේ එම උරුමයේ මැකී ගිය මුල් යළි පාදා ගැනීම පමණයි!

සිවුමංසල කොලූගැටයා #154: ‘ක්ෂනික කෑමට’ ප‍්‍රතිරෝධයක් ලෙස මතු වූ ‘ලැසි ආහාර’

In this week’s Ravaya column (in Sinhala), I discuss the merits of Slow Food, a concept that originated from Italy in 1986 in defiance of fastfood — but has since grown into a worldwide social movement that critiques industrialised food production and consumption. It has also inspired other pursuits of doing things more reflectively and deliberately slowly – such as Slow Cities, Slow Reading, Slow Travel and Slow Art.

I explored similar grounds in English in a July 2013 column: Stuck in Fast Forward? Slow Down!

slowfood-logo2

‘සුද්දෝ නම් හැම වේලට ම මැක්ඩොනල්ඞ්ස් හා KFC කනවා ඇති නේද?’

අපේ රටට පසුගිය දශකය පමණ කාලය තුළ හදුන්වා දී ඇති හා මහත් සේ ප‍්‍රවර්ධනය කැරෙන ක්ෂනික ආහාර (fastfood) ගැන කුතුහලයක් ඇති තරුණයෙක් මෑතදී මගෙන් එසේ විමසුවා.

මගේ උත්තරය: ‘ඇත්තට ම බොහෝ බටහිර රටවල හැම්බර්ගර් වැනි කෑමවලට එතරම් පිළිගැනීමක් නැහැ.’

බටහිර රටවල් මෙන් ම සුද්දන් ලෙස ද තනි කාණ්ඩයක් නැහැ. අතිශයින් විවිධාකාර සමුහයක් අප එසේ එක් ගොඩකට ගොනු කළත් සමහර දියුණු රටවල ඔවුන්ට ආවේණික ප්‍රෞඩ ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා ජන සංස්කෘතීන් තිබෙනවා. ප‍්‍රංශය, ඉතාලිය හා ජපානය මීට හොඳ උදාහරණයි.

ලෙහිසියට වාසියට සරල සිල්ලර මට්ටමින් අලෙවි කැරෙන ක්ෂනික ආහාර හා ඒවා වටා ගොනු වූ අධිවේගකාරී ජීවන රටාවට එරෙහිව දියුණු රටවලින් ම විකල්ප මතු වී තිබෙනවා. ලැසි ආහාර සම්ප‍්‍රදාය (Slow Food Movement) එයට හොඳ උදාහරණයක්.

1986 වසරේ ඇමරිකානු මැක්ඩොනල්ඞ්ස් සමාගම හැම්බර්ගර් අලෙවි කරන තවත් අවන්හලක් ඉතාලියේ රෝම අගනුවර ඓතිහාසික ස්ථානයක් වන ස්පාඤ්ඤ පියගැටපෙළ (Spanish Steps) අසල පිහිටුවන්නට සැලසුම් කළා. ඒ වන විටත් ඉතාලිය පුරා තැනින් තැන මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ගණනාවක් තිබුණා. එහෙත් මෙතරම් සංස්කෘතික වශයෙන් වැදගත් තැනෙකත් මේ ක්ෂනික කෑම විකුණන්නට තැත් කිරීම ගැන සමහර ජාතිමාමක ඉතාලි ජාතිකයන්ට සියුම් කෝපයක් මතු වුණා.

ඉතාලියට ආවේණික වූ ප‍්‍රබල හා විචිත‍්‍ර ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා බැදුණු ජන සංස්කෘතියක් තිබෙනවා. ඉතාලි සූපවේදයට සුවිශේෂ වූ ඉක්මනින් සාදා අනුභවයට ගත හැකි ක්ෂනික කෑම තිබෙනවා. පීට්සා (Pizza) හා පාස්ටා (pasta) පදනම් කර ගත් මේ ආහාර හදා ගන්නා සැටි ඉතාලියේ ගැහැණු, පිරිමි හා ළමුන් බහුතරයක් කුඩා කල සිට ම දන්නවා. අසල්වැසි ප‍්‍රංශයේ මෙන් සංකීර්ණ සූප සම්ප‍්‍රදායකට වඩා ජනතාවාදී සූප උරුමයක් ඉතාලියේ ඇති බව මේ දෙරටේ ම දශක දෙකක සිට සංචාරය කරන මට අත්දැකීමෙන් කිව හැකියි.

නමුත් මේ සූප උරුමය ඇමරිකානු වාණීජකරණයෙන් තර්ජනයට ලක්වන බව දුටු කාලෝ පෙටී‍්‍රනි (Carlo Petrini) නම් ඉතාලි ජාතික පත‍්‍රකලාවේදියා ඒ ගැන යමක් කළ යුතු යැයි තීරණය කළා. (ඉතිහාසය සැම විට ම වෙනස් වන්නේ අතෘප්තිමත් වූ මිනිසුන් හා ගැහැණුන් එයට ප‍්‍රතිචාර දක්වන විටයි.)

Slow Food founder Carlo Petrini
Slow Food founder Carlo Petrini

ඉතාලි ජාතිකයන්ගේ ආවේණික කෑම බීම හා ඒ වටා බැදුණු සමාජශීලි සම්ප‍්‍රදායන් අගය කරමින් ඒවා රැක ගන්නට සෙමින් කෑමේ හෙවත් ලැසි ආහාර නම් ජනතා ව්‍යාපාරයක්  පෙටී‍්‍රනි ආරම්භ කළා.

ඉතාලියේ දේශීය ආහාර අනන්‍යතාවය වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නට පෙර කාලෝ පෙටී‍්‍රනි එරට ගම් නගර සංචාරය කරමින් කුඩා අවන්හල් හා ප‍්‍රජා මට්ටමේ ආහාර නිෂ්පාදකයන් ගැන එරට පුවත්පත් වලට ලියු කෙනෙක්. පීට්සා, පාස්ටා, චීස් හා වයින්වලට සමීපව බැදුණු ඉතාලියානු සූප උරුමය ගැන ඔහුට හොඳ ප‍්‍රායෝගික දැනුමක් තිබුණා.

ඉතාලි ජාතිකයෝ බොහෝ දෙනකු පවුල හා හිත මිතුරන් බෙහෙවින් අගය කරන අය. ඔවුන් තනිව ආහාර ගන්නවාට වඩා දෙතුන් දෙනෙකුවත් එකට එකතු වී සතුටු සාමිචියෙන් නිවී සැනසිල්ලේ කෑම වේලක් ගන්නට ආසයි. එයට පැයක් හෝ දෙකක් ගත කරන්නට ඔවුන් සුදානම්.

Italian food - Photo courtesy globerove.com
Italian food – Photo courtesy globerove.com

මේ සංස්කෘතික නැඹුරුව පණ ගන්වමින් පෙටී‍්‍රනි කළේ  ඕනෑකමින් ඉතා සෙමින් ආහාර ගන්නා කණ්ඩායම් ද එයට අනුබල දෙන අවන්හල් ද පිහිටුවා ගැනීමයි. තනිකර ස්වේච්ඡා ජනතා ව්‍යාපාරයක් ලෙස ඇරඹුණු  ‘ලැසි ආහාර’ ටික කලකින් අතිශය ජනපි‍්‍රය වූවා.

ලැසි ආහාර ව්‍යාපාරය හුදෙක් කෑම වේලකට බොහෝ කල් ගත කරන සාමීචියක් පමණක් නොවෙයි. තිරසාර නොවූ, යාන්ති‍්‍රක හා වාණීජකරණය වූ ආහාර නිෂ්පාදන හා බෙදා හැරීමේ ක‍්‍රම සියල්ලට මතවාදීව එරෙහි වීමක්. එසේ ම සුළු පරිමාන ගොවීන් හා කුඩා කඩපිල් හා පොල සමග සහයෝගීතාව දැක්වීමක්.

ඉතාලි විරෝධය හමුවේ මැක්ඩොනල්ඞ්ස් සමාගම ඓතිහාසික රෝම ස්ථානවල හැම්බර්ගර් විකිණීමේ සැලසුම් අත් හැරියා. එහෙත් ඒ ජයග‍්‍රහණයෙන් උද්දාම වී නතර නොවු ලැසි ආහාර කි‍්‍රයාකාරිකයෝ එය වඩාත් පුළුල් හා ගැඹුරු මට්ටමකට ගෙන ගියා.

1989 නොවැම්බරයේ මුල් වතාවට මේ සංකල්පයට ලැදි කි‍්‍රයාකාරිකයන් රැසක් ප‍්‍රංශයේ පැරිසියේදී මුණ ගැසී සමුළුවක් පැවැත් වූවා. මේ වන විට ඉතාලි උද්ඝෝෂණයේ යශෝ රාවය යුරෝපය පුරා පැතිර ගොස් තිබුණා. පෙට්‍රිනීගේ මූලිකත්වයෙන් හා ෆොල්කෝ පෝටිනාරි (Folco Portinari) නම් ඉතාලි කවියෙකුගේ ද උදවුවෙන් ඔවුන් ලැසි ආහාර ප‍්‍රඥප්තිය (Slow Food Manifesto) නම් ලියවිල්ලක් පැරිසියේදී කෙටුම්පත් කළා.

එහි මුලික ප‍්‍රවේශය: ‘‘කාර්මිකරණය හා යාන්තී‍්‍රකරණය අපට ප‍්‍රයෝජනවත් වුවත් 20 වන සියවසේදී එදිනෙදා ජීවිතය අධිවේගීකරණයට හා අධියාන්තී‍්‍රකරණයට අප ඉඩ දී තිබෙනවා. ඉවක් බවක් නැතිව හැම කාරිය ම මහා වේගයෙන් කරන්නට වත්මන් සමාජය තැත් කරනවා. මේ අධිවේගය අපේ ජන ජීවිතය, මානසික සුවය හා පෞද්ගලිකත්වයට තර්ජනයක්. ලෞකික සම්පතක් වන ආහාර භුක්ති විදීම නිවි සැනසිල්ලේ කිරීමට ඓතිහාසිකව මිනිසුන්ට තිබු අවකාශය නැවත පාදා ගැනීම අපේ අරමුණයි.’’

slow-food-cover1යුරෝපය පුරා විසිරී පවතින අප‍්‍රකට සූප ශාස්ත‍්‍රයන්, ආහාර වට්ටෝරු, සූප නවෝතපාදන, නව ආරයේ අවන්හල් ආදිය ගැන තොරතුරු රැස් කර බෙදා හදා ගැනීමට ලැසි ආහාර ජනතා ව්‍යාපාරය උත්සුක වුණා. අද මෙන් ඉන්ටර්නෙට් පුළුල් නොවු එකල එය පොත්, සඟරා, පති‍්‍රකා හා වෙනත් මාධ්‍ය හරහා කරනු ලැබුවා.

ලැසි ආහාර සංකල්පය යුරෝපයේ ඉක්මනින් පැතිර ගියේ වීදි ආහාර හා විවේකී ලෙසින් ආහාර ගැනීම හරහා සල්ලාපයේ යෙදීම ඔවුන්ගේ ජන ජීවිතයේ සමීප අංගයක් නිසා. එය යුරෝපයේ දුගී හා පොහොසත් කාටත් පොදු සම්ප‍්‍රදායක්. ඉන් පසු මේ සංකල්පය යුරෝපයෙන් ඔබ්බට ද විහිදී ගියා. http://www.slowfood.com

අද වන විට ආසියාවේ, අපි‍්‍රකාවේ මෙන් ම අමෙරිකාවේ ද මේ සංකල්පය ප‍්‍රවර්ධනය කරන ස්වේච්ඡ කණ්ඩායම් රැසක් බිහි ව තිබෙනවා. ලොව රටවල් 50ක සාමාජිකයන් ලක්‍ෂකය ට වඩා සිටිනවා. ලැසි ආහාර ව්‍යාපාරයේ ලෝක ව්‍යාප්ත සංකේතය ගොළුබෙල්ලායි.

හරිත විප්ලවයේ ධාන්‍ය වර්ග වෙනුවට සාම්ප‍්‍රදායික ධාන්‍ය ප‍්‍රභේද වචන සුළු ගොවීන් දිරිමත් කිරීම හා ජාලකරණය කිරීම ද ඔවුන් සිදු කරනවා. ලැසි ආහාර ව්‍යාපාර, කාබනිකව ආහාර වැවීමේ (organic farming) ව්‍යාපාරයට සමාන්තරයි. මේ දෙපිරිස අතර සහයෝගයක් හා මිතුදමක් ගොඩනැගී තිබෙනවා.

ආහාර වැවීම, ආහාර බෙදා හැරීම, අලෙවිය හා කෑම පිසීම යනු එක ම ප‍්‍රවාහයක පියවර හැටියටයි මේ පිරිස දකින්නේ. ආර්ථික විද්‍යාඥයන් හෝ සමාජ විද්‍යාඥයන් මෙන් මේ කි‍්‍රයාදාමය වෙන් කොට විග‍්‍රහ කරන්නේ නැහැ.

Image from www.wikihow,com
Image from http://www.wikihow,com

‘‘පරිසරවේදීන් හා අප අතර ලොකු ම වෙනස නම් අප ආහාර වැවීම, පිළියෙල කිරීම හා පරිභෝජනය ඉතා  ඕනෑකමින් පී‍්‍රතිදායක ලෙස කිරිමයි. මේ දිව පිනවීම නරක දෙයක් හෝ ප‍්‍රභූ ගතිගුණයක් නොවෙයි. පමණ දැන කරන තාක් කල් පසිඳුරන් පිනවීම මානව පැවැත්මේ වැදගත් අංගයක්. මෙයට දුගී හා ධනවත් කියා භේදයක් නැහැ.’’ පෙටී‍්‍රනි කියනවා.

ලැසි ආහාර කෑමේ විසිතුරු බව මා මුලින් අත් වින්දේ 2003දී ඉතාලියේ ටස්කනි නිම්නයේ රැපලානෝ ටර්මේ (Rapolano Terme) නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ. නූතන පහසුකම් හා ජන සංස්කෘතික උරුමය ගැටෙන්නට ඉඩ නොදී මනාව තුලනය කර ගත් ප්‍රෞඪ ඉතාලි ප‍්‍රජාවක් තමන්ගේ ආහාර පාන ජාත්‍යන්තර අමුත්තන් සමග ඉතා සුහදව හා නිර්ව්‍යාජව බෙදා ගත් හැටි ගැන මිහිරි මතකයන් තිබෙනවා.

මෙය ඇමරිකානු විරෝධයක් ද? මා කලක සිට හඳුනන ඉතාලි මිතුරෙකුගෙන් විමසුවා.

ඔහු කියන්නේ මෙය එක් රටකට හෝ ජාතියකට එරෙහි වීමක් නොවෙයි. පාරිභෝගික සමාජය තුළ තමන් රිසි ආකාරයේ ආහාරපාන තමන් ලැදි ශෛලියකින් භුක්ති විදින්නට හැම කෙනෙකුට ම ඇති අයිතිය තහවුරු කර ගැනීමක් පමණයි.

1996 සිට දෙවසරකට වරක් ඉතාලියේ ටොරීනෝ නගරයේ ලැසි ආහාර උත්සවයක් පවත්වනවා (Salone del Gusto). ලොව දසතින් සූපවේදීන්, අවන්හල් හිමියන්, මාධ්‍යවේදීන් හා ආහාරලෝලීන් සිය වියදමින් එහි එනවා. මහා පරිමාණයේ ආහාර සමාගම් නොව පවුල් හිමිකමින් කරන කුඩා පරිමාණ සමාගම් එහි එන්නේ නව දැනුම, අදහස් හා අත්දැකීම් බෙදා ගන්නට.

‘‘සූපවේදය කියන්නේ කලාවක් මෙන් ම විද්‍යාවක් ද වන කාරියක්. එය කෝකියා හෝ අරක්කැමියා මට්ටමෙන් ඔබ්බට යන ජන සංස්කෘතියේ අංගයක්. ගෙදර ගෘහණිය ආහාර පිසුවත්, අවන්හලක නැත්නම් හෝටලයක ආහාර පිසුවත් ඒ හැම දෙනා ම කරන්නේ සියවස් ගණනක උරුමයක් පවත්වා ගෙන යාමයි. අපේ පෞරාණික සිද්ධස්ථාන, මාලිගා හා නටබුන් වගේ මේ සජීව ජන සංස්කෘතියත් වටිනවා. එය රැකෙන්නේ අගය කිරීමෙන් හා ප‍්‍රගුණ කිරීමෙන් පමණයි’’ පෙටී‍්‍රනි කියනවා.

ලැසි ආහාර ව්‍යාපාරය මෑතදී ශී‍්‍ර ලංකාවටත් පැමිණ තිබෙනවා. කුඩා පරිමාණයේ ගොවීන් හා දේශීය ආහාර වට්ටෝරු පෙරමුණට ගනිමින් අපේ කලබලකාරී හා විකාරරූපී ආහාර නිෂ්පාදන හා පරිභෝජන රටාවලට විකල්පයක් මතු කර ගැනීම මේ සඳහා යොමුව සිටින අයගේ අරමුණයි. සූපවේදී දුමින්ද අබේසිරිවර්ධන 2013දී මේ සඳහා එකමුතු (Convivium) සංවිධානය කළා.

Chef Duminda at Salone del Gusto in Torino, 2012: Photo courtesy: http://www.chefduminda.lk
Chef Duminda at Salone del Gusto in Torino, 2012: Photo courtesy: http://www.chefduminda.lk

මේ අතර දේශීය සහල් ප‍්‍රභේද (ජන වී වර්ග) වගා කිරීම හරහා රැක ගැනීමේ නිරතව සිටින පරිසරවේදී තිලක් කාරියවසම් ඒ සම්බන්ධ ජෛව විද්‍යාත්මක හා සංස්කෘතික උරුමය සෙමින් කෑම ව්‍යාපාරය හරහා ලෝකයත් සමග බෙදා ගන්නට උත්සහ කරනවා.

2012දී මුල් වතාවට ටොරීනෝ නුවර ලෝක ලැසි ආහාර උත්සවයේ ලාංකික නියෝජනයක් ද තිබුණා. එයට මුල් වූයේ මෙරට සූප උරුමයේ අක්මුල් සොයා යන්නට උත්සහ කරන සූපවේදීන් පිරිසක්. මෙරට ආහාර පිසීමේදී යොදා ගන්නා දේශීය සහල් වර්ග 8ක්, කුළුබඩු විශේෂ 21ක් හා වෙනත් ධාන්‍ය වර්ග 9ක් ඔවුන් විසින් හුවා දක්වනු ලැබුවා.

එයට අමතරව මෙරට විවිධාකාර ආහාර හා ඖෂධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා මී පැණි සැකසුම් තුනක් ද ප‍්‍රදර්ශනය කෙරුණා. වැදි ජනතාවගේ ආවේණික ක‍්‍රමයකට සකස් කර ගත් මී පැණි ද ඒ අතර වුවා.

සුළු ගොවීන්, සූපවේදීන්, කුඩා ව්‍යාපාරිකයන් හා පරිසරවේදීන් හරහා මුළුමනින් නිල නොවන මට්ටමින් මේ ව්‍යාපාරය මෙරට මතුව ඒම හොඳ ප‍්‍රවණතාවක්. හැම දෙයක් ම මහා පරිමාණයෙන් හා අධිවේගීව කරන්නට රාජ්‍ය ආයතන හා ලොකු ව්‍යාපාරිකයන් කැස කවන මේ යුගයේ ලැසි ආහාර සංකල්පය සෙමින් සෙමින් හෝ වත්මන් ලක් සමාජයේ ඇගැයීමට ලක් වනු ඇති.

(ස්තූතිය: එස්. එම්. බන්දුසීල හා තිලක් කාරියවසම්)

Image courtesy - www.slowfood.com
Image courtesy – http://www.slowfood.com

සිවුමංසල කොලූගැටයා #153 කාබනික ගොවිතැන: උද්‍යොග පාඨවලින් ඔබ්බට?

Go organic! That call is heard increasingly in Sri Lanka, which has been late to get on this bandwagon. Much of the island nation’s organically produced fruit, spices and vegetables was exported to high-paying overseas markets until recently. But concerned with health effects of agrochemical residues in the good, more Lankans are now looking for organic products.

Is this an upper middle class fad, or can organic food become the mainstream? What about the significant price difference? What assurance of quality and where are the certification schemes?

In my latest Ravaya column (in Sinhala), I survey the small but rapidly growing organic produce market in Sri Lanka, and raise some questions that need regulatory and consumer attention.

Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla - image courtesy Good Market Facebook page
Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla – image courtesy Good Market Facebook page

කෘත‍්‍රිම (රසායනික) පොහොර හෝ කෘමිනාශක, වල්නාශක වැනි කෘෂි රසායනික හෝ යොදා නොගෙන සොබාවික ක‍්‍රමයට බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මෙය අළුත් ක‍්‍රමයක් නොවෙයි. වසර දහස් ගණනක් පුරා පෙර අපර දෙදිග ම භාවිතා වූ අත්දුටු ක‍්‍රමයක්. මෑත දශකයන්ගේ කෘෂි රසායනික භාවිතයට ඇබ්බැහි වීම නිසා අපෙන් ඈත් වූ කාබනික ගොවිතැනේ අගය දැන් යළිත් වැටහී තිබෙනවා.

ගිය වසර අගදී කොළඹ සම්බෝධි විහාර භූමියේ සෙත්සුව මැදුර නම් වූ කාබනික ආහාර අලෙවි සැලක් ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවා. එය සම්බෝධි විහාරයේ හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA) සාමුහික ප‍්‍රයත්නයක්. මාධ්‍ය වාර්තාවලට අනුව ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ සද්කාරියට දායක වීම පිණිස රසායනික පොහොර භාවිතයෙන් වැළකී ආහාර බෝග වවන ලෙසයි.

වස විසෙන් තොර ආහාර වැවීම හා පරිභෝජනය ගැන රටේ ඉහළ ම මට්ටමින් අවධානය යොමු වීම හොඳ ප‍්‍රවණතාවක්. එහෙත් රටේ නායකයා යහපත් දෙයක් කරන්නට යැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීම පමණක් සෑහෙන්නේ නැහැ.

අපේ ගොවිතැන මෙතරම් විස භාවිතයට යොමු වුණේ අඩ සියවසකට වැඩි කලක් අපේ ම රජයන් පවත්වා ගෙන යන කෘෂි ප‍්‍රතිපත්ති නිසායි. ඒ නිසා ගොවීන්ගේ හෘද සාක්ෂියට හා බුද්ධියට ආයාචනා කරන අතර මේ ජාතික ප‍්‍රශ්නයට තුඩු දුන් සාධක හඳුනා ගෙන රාජ්‍ය මට්ටමින් හා සමාජයීය මට්ටමින් ප‍්‍රතිකර්ම යෙදීම ද අත්‍යවශ්‍යයි.

(මා මීට පෙර ද මේ කොලමින් කියා ඇති පරිදි) කෘෂි රසායනිකවලට ඇබ්බැහිවීම හරියට මත්ද්‍රව්‍යවලට පුද්ගලයකු ඇබ්බැහි වූවා වැනියි. කලකට පසු එය නැතිව ම බැරි වනවා. එයින් අත්මිදීමට අවංක උත්සාහයක් හෝ  ඕනෑකමක් නැති වෙනවා. රටක් හැටියට අපට සිදුව ඇත්තේ එයයි.

කලක් තිස්සේ පැවතුණු දැඩි ඇබ්බැහිකමකින් මිදීමට පුද්ගලයකුට මෙන් ම ප‍්‍රජාවකටත් ලොකු ආයාසයක් හා තල්ලූවක් අවශ්‍යයි. දුම්කොළවලට ඇබ්බැහි වූවන් බොහෝ දෙනකු එහි මාරාන්තික විපාක දැන දැනත් එය නතර නොකරන්නේ දැන් අතහැරිය නොහැකි තරම් එහි එල්බ ගෙන සිටින නිසයි.  ඕනෑ ම ඇබ්බැහිකමක් දුරලන්නට ආයාචනාවලට සමාන්තරව ප‍්‍රතිපත්තිමය, නියාමක හා වෙළඳපොල මට්ටමේ පියවර ද අවශ්‍යයි.

අපේ රටේ කාබනිකව වවන ලද එලවළු හා පලතුරු මෑතක් වනතුරු වැඩිපුර ම පිටරට යවනු ලැබුවා. එහෙත් කෘෂි රසායනික අධිභාවිතයේ හා අනිසි භාවිතයේ බරපතල සෞඛ්‍ය විපාක හඳුනා ගැනීම සමග කාබනික ආහාර බෝග සඳහා දේශීය වෙළඳපොල ඉල්ලූම ද මතු වෙමින් තිබෙනවා.

මෙය හුදෙක් මධ්‍යම පාංතික විලාසිතාවක් ද? නැතහොත් වස විසෙන් තොර ආහාරපාන මිලියන් 20කට වැඩි සියළු ලක්වැසියන්ට ලබා දෙන්නට හැකි ද? වෙළඳපොල ආර්ථිකය තුළ මේ සඳහා රජයකට කෙතරම් බලපෑම් කළ හැකි ද?

The Good Market (Sri Lanka) Logo
The Good Market (Sri Lanka) Logo

පාර්ලිමේන්තු සංකීර්ණයට යන මාර්ගයේ බත්තරමුල්ලේ පිහිටි දියත උයන නම් පොදු ස්ථානයේ බ‍්‍රහස්පතින්දාට නූතන පන්නයේ පොලක් පැවැත් වෙනවා. Good Market නම් වූ එතැන අලෙවි කැරෙන්නේ සුළු පරිමාන ආහාරපාන හා වෙනත් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍යයි. බොහෝ ඒවා ගෘහස්ථව නිපදවා තිබෙනවා. කෘෂි රසායනික නොයොදා ගෙවතුවල වැවූ එලවළු හා පළතුරු ඒ අතර විශේෂයි.

බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා 2013 නොවැම්බර් මෙරටට ආ වෙලේ මේ Good Marketහි කාබනික ආහාර වවන්නෝ ඔහුට විශේෂ අලෙවියක් කළා. ඔහු තමන්ගේ ආහාරපාන ගැනත් පරිසරය ගැනත් ඉතා සැලකිලිමත් වන කෙනෙක්. ලොව කොතැන ගියත් කෑමට ගන්නේ කාබනිකව වැවූ එළවලූ, පළතුරු හා ධාන්‍යන්, සොබාවික ලෙස සත්ත්ව පාලනය කොට ලබා ගත් මස් වර්ගත් පමණයි.

තමන්ගේ අරක්කැමියා හා කාර්ය මණ්ඩලය සමග සංචාරය කරන චාල්ස් කුමරුට මේ අන්දමට කෑමබීම සම්පාදනය කර ගැනීම ප‍්‍රශ්නයක් නොවෙයි. එහෙත් ඔහුගේ රටේත්, අපේ රටේත් සාමාන්‍ය ජනයාට එය තවමත් ලොකු අභියෝගයක්.

Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka - Nov 2013 in Colombo
Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka – Nov 2013 in Colombo – Photo courtesy Good Market Facebook page

එයට හේතුව කාබනිකව වවන ආහාරවල මිල අනෙකුත් ආහාරවලට වඩා අවම වශයෙන් සියයට 30 – 40ක් වැඩි වීමයි. ඉහළ මධ්‍යම පාංතිකයින් ටික දෙනෙකුට මේ මිල ප‍්‍රශ්නයක් නොවුවත් අන් අයට ඒ අමතර වියදම නිතිපතා දරා ගැනීමට අමාරුයි. කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි.

මේ මූලික වෙළඳපොල යථාර්ථය නොදැන හෝ නොදැක අප සැම කාබනික ආහාර පමණක් පරිභෝජනය කළ යුතු යැයි අපේ සමහර පරිසරවේදීන් කියන්නේ මේ පොළවේ පය ගසා ගෙන ද? නැතිනම් වෙනත් හරිත ලෝකයක කොටු වෙලා ද?

ඕනෑ ම සමාජයීය ප‍්‍රශ්නයකට නිර්දේශ කරන විසඳුම් ප‍්‍රායෝගික විය යුතුයි. ‘පාන් නැති නම් කේක් කාපල්ලා’ ආකාරයේ නිර්දේශ යථාර්ථවාදී නොවනවා සේ ම අසංවේදියි.

තවත් සමහර පරිසරවේදීන් කියන්නේ වහා ක‍්‍රියාත්මක වන පරිදි කෘෂිරසායන මෙරටට ගෙන්වීම හා භාවිතය තහනම් කළ යුතු බවයි. එවිට වෙනත් විකල්ප නැති නිසා සියළු ගොවිතැන් කාබනිකව කැරෙනු ඇතැයි ඔවුන් සිතනවා.

සමාජ ප‍්‍රශ්න විසඳීමට සීමා, තහංචි හා දණ්ඩන යෙදීම කලක සිට අපේ රටේ ජනප‍්‍රිය පුරුද්දක්. තහනම් කිරීම හරහා ප‍්‍රශ්න සැබෑවට විසඳෙනවා වෙනුවට ඒ වටා නීත්‍යනුකූල නොවූ වෙළඳාමක් සිදු වීම ඇරඹෙනවා. කළුකඩ සම්ප‍්‍රදාය කියන්නේ එයටයි.

නූතන ජන සමාජයන්ගේ මිනිසුන් කන බොන සැටි රාජ්‍යයට පාලනය කරන්නට නොහැකියි. වෙළඳපොලේ ආහාර හිඟයක් පවතින කාලවලට පමණක් යම් සලාක ක‍්‍රම අනුගමනය කළ හැකියි. (බිඳ වැටුණු සෝවියට් දේශයේත්, වෙළඳපොල ක‍්‍රමයට විවෘත වන්නට පෙර මහජන චීනයේත් සාමාන්‍ය ජනයා එදිනෙදා මිලට ගන්න ආහාරපාන මොනවාද හා කොපමණක් ද යන්න නිලධාරි තන්ත‍්‍රයක් දැඩි සේ පාලනය කළා. අද ඒ රටවලත් එබන්දක් කැරෙන්නේ නැහැ.)

රාජ්‍යයට කළ හැක්කේ සමබර ආහාරවේලක හා නිසි පෝෂණයේ වැදගත්කම ගැන ජන සමාජය දැනුවත් කරන අතර දිගුකාලීනව සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කිරීමට හැකි යැයි මනාව තහවුරු වූ ආහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ලබා දීමයි.

එහෙත් එය සෞඛ්‍ය විද්‍යාත්මක පදනමකට එහා ගියොත් ප‍්‍රශ්නයක් වනවා. නිර්මාංශ ආහාරයේ වැදගත්කම පිළිගෙන එය සියයට සියයක් හෝ යම් තරමක් ප‍්‍රගුණ කරන අය අප අතර සිටිනවා. එසේ ම මස්මාළු කෑමට කැමති අය ද සිටිනවා. මේ දෙපිරිසට ම තමන් රිසි සේ ආහාර සම්පාදනයට ශිෂ්ට සමාජයක ඉඩ තිබිය යුතුයි. යමක් තහනම් කිරීම හෝ බලෙන් ජනතාව මත පැටවීම වැඩවසම් සමාජ ලක්ෂණයක් මිස නූතන යුගයට ගැලපෙන සිරිතක් නොවෙයි.

සෙත්සුව මැදුරට සමාන්තරව healthysrilanka.lk නමින් අළුත් වෙබ් අඩවියක් ද අරඹා තිබෙනවා. කාබනික ආහාර පමණක් නොව ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් සියළු ආහාරපාන මිලට ගැනීම හා සම්පාදනය ගැන ප‍්‍රායෝගික උපදෙස් එහි තිබෙනවා. දැනට ඉංග‍්‍රීසියෙන් පමණක් අන්තර්ගතය ඇති එහි සිංහල හා දෙමළ බසින් ද සන්නිවේදන සිදු වනු ඇතැයි අප පතනවා.

රටක් කාබනික ආහාරවලට වඩාත් නැඹුරු වන විට ඒ වටා වෙළඳපොල විභවයක් ගොඩ නැෙඟනවා. එවිට එයට අදාල ප‍්‍රමිතීන් හා සහතික කිරීම් ක‍්‍රමවේදයන් (certification schemes) බිහි විය යුතුයි. හේතුව එළවලූවක් හෝ පළතුරක් බැලූ බැල්මට කාබනික යැයි පාරිභෝගිකයකුට කිව නොහැකි වීමයි. යම් අමතර මිලක් ද ගෙවා සෞඛ්‍ය සම්පන්න අරමුණින් කාබනික ආහාරයක් (ධාන්‍ය, එලවළු, පලතුරු, කිරි) මිලට ගෙන පරිභෝජනය කරන විට එහි බොරුවක් හෝ වංචාවක් නැතැයි සහතික විය යුතුයි.

කාබනික ආහාර ඇත්තට ම එසේ වවන ලද බවට සහතික කරන ක‍්‍රමවේදයන් යුරෝපා රටවල හා ජපානයේ හමු වනවා. ඒ රටවලට කාබනික ආහාර යවන අපේ රටේ ගොවීන් ද එම ප‍්‍රමිතිවලට අනිවාර්යයෙන් අනුකූල වනවා.

එබඳු ප‍්‍රමිතීන් හා සහතික වීමේ ක‍්‍රම (standards and certification) දේශීය වෙළඳපොලට ද අවශ්‍යයි.

කාබනිකව වගා කර ගත් ආහාර ලොව බොහෝ රටවල මිලෙන් තරමක් හෝ සැලකිය යුතු වශයෙන් වැඩි බව සත්‍යයක්. එහෙත් අපේ රටේ මේ වෙළඳපොල විසමතා වඩාත් තීව‍්‍ර වන්නේ කෘෂි රසායනිකවලට ලැබෙන සහනාධාර නිසයි. මහජන මුදල්වලින් මහා පරිමාණ පොහොර සහනාධාරය පවතින තුරු මෙරට කාබනික ගොවිතැනට හරිහැටි ස්ථාපිත වන්නට ඉඩක් නැති බව සුළුතරයක් වන කාබනික ගොවීන් දන්නවා. අප එය විස්තරාත්මකව මේ කොලමින් පෙන්වා දී තිබෙනවා.

K M Wijepala exhibits his organic fertiliser suited for any  crop  - Photo by Janaka Sri Jayalath
K M Wijepala exhibits his organic fertiliser suited for any crop – Photo by Janaka Sri Jayalath

නව නිපැයුම් පිළිබඳ මා රූපවාහිනි නාලිකාවේ 2012 ඉදිරිපත් කළ “මාලිමා” වැඩසටහනට වරක් පැමිනි කේ. එම්. විජේපාල මහත්තයා නුවරඑළියේ ඔහුගේ සමාගම හරහා මුළුමනින් ජෛවීය ද්‍රව්‍ය යොදා තනන කාබනික පොහොර, වල්නාශක, කෘමිනාශක හා අනෙකුත් කෘෂි රසායන අලෙවි කරනවා. එ් සියල්ල ඔහු කලක් තිස්සේ අත්හදා බලා සොයා ගත් වට්ටෝරුවලට අනුව නිෂ්පාදිතයි.

ගොඩ හා මඩ  ඕනෑම බෝගයකට යෙදිය හැකි GOLF (Gold Organic Lanka Fertilizer) නම් කාබනික පොහොරක් ඔහු නිපදවා තිබෙනවා. ශාක වර්ධනයට අවශ්‍ය සියළු මුලද්‍රව්‍ය අඩංගු මේ පොහොර තනා ගන්නා සැටි මාලිමා තුළින් ඔහු පෙන්වා දුන්නා. එයට අමුද්‍රවය ලෙස ගන්නේ එළඟිතෙල්, මීපැණි, මෝරතෙල් ගුලි, කොහොඹ තෙල්, තල්/පොල්/කිතුල් පැණි හා බියර් ආදී ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ. මේවා ජලයේ මුසු කිරීමේ නිසි අනුපාතයන් දැක්වෙන වට්ටෝරුවට ලාංකික ජේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙනවා. http://tiny.cc/Malima10

මේ පොහොර යෙදීමෙන් රසායනික පොහොරවලට සමාන හෝ වැඩි අස්වනු ලබා ගත හැකි බව තේ පර්යේෂණායතනය (TRI), කාර්මික පර්යේෂණායතනය (ITI) හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වාධිනව තහවුරු කර තිබෙනවා.

මේ කාබනික පොහොර ගෙදරදී ම තනා ගැනීමට අනුපාත හා පියවර කියා දෙන උපදෙස් පත‍්‍රිකාවක් මෙරට ගොවීන්ට නොමිළයේ ලබා දෙන්නට විජේපාල මහත්තයා ඉදිරිපත්ව සිටිනවා. (එ් සඳහා ලිපිනය ලියු, මුද්දර ගැසු කවරයක් යවන්න: විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය).

රසායනික පොහෙර වෙළඳාමේ නියුතු බහුජාතික හා දේශීය සමාගම් සමඟ තරඟකාරීව අලෙවිකරණයට ඔහු ලැහැස්තියි. ඔහු කියන හැටියට මේ ජෛවීය පොහොර ප‍්‍රචලිත කරන්නට තිබෙන ලොකු ම බාධකය රසායනික පොහොරවලට ලැබෙන රාජ්‍ය සහනාධාරයයි.

Malima: Episode 10 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

පොහොර සහනාධාරය යටතේ 90%ක් සහන මිලට රසායනික පොහොර ලැබීමට දිගු කලක් තිස්සේ හුරු වූ ගොවීන් දැන් එය අයිතිවාසිකමක් ලෙස සලකනවා. වස විස ගොවිතැනට වැට බැඳීමට අවංක උවමනාවක් ඇත්නම් මහා පරිමානයේ පොහොර සහනාධාරයට එළිපිට ම එරෙහි වන්න.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

 

සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).

He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.

For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture

Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com

ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.

වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට ද පත් වුණා.

අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ ම රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.

සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර ප‍්‍රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන්‍ය ගණයේ ඉන්දියානු කෘෂි විද්‍යාඥයෙක් මට ළඟදී හමු වුණා.

ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප‍්‍රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ද ඔහු යටතේ පාලනය වනවා.

සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් ම කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) ද වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි ද ඒ සඳහා එහි ප‍්‍රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව ක‍්‍රියා කළ යුතු යැයි ද ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන ප‍්‍රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී ප‍්‍රභේද  (folk rice varities) යනුවෙන්.

හරිත විප්ලවය හරහා දෙමුහුන් වී ප‍්‍රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී ප‍්‍රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු ප‍්‍රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ්‍ය කෘෂි ප‍්‍රතිපත්තිය යටතේ දෙමුහුන් වී ප‍්‍රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා ම ප‍්‍රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී ප‍්‍රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී ප‍්‍රභේද 250ක් පමණයි.

කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම ක‍්‍රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග ප‍්‍රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ්‍ය මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග ප‍්‍රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.

මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග ප‍්‍රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක ම හා හැම බෝගයකට ම කළ හැක්කක් නොවෙයි. එසේ ම බීජවල ජෛවී බව කෘත‍්‍රිම පරිසරයක දිගට ම පවත්වා ගැනීම ද අභියෝගයක්.

ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී ප‍්‍රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්‍යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene

ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ම ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා ප‍්‍රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික ක‍්‍රම පමණක් යොදා ගනිමින් ජන වී ප‍්‍රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා ක‍්‍රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්‍යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස ම එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.

බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්‍රයේ (www.vrihi.org) ජන වී ප‍්‍රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී ප‍්‍රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.

‘‘ජන වී ප‍්‍රභේද නූතන අවශ්‍යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී ප‍්‍රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ම ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.

ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී ප‍්‍රභේද වැඩිපුර සහල් ප‍්‍රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු ප‍්‍රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්‍යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි.

සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල ප‍්‍රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ ප‍්‍රයත්නය හරහා මේ වන විට ජන වී ප‍්‍රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.

බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී ප‍්‍රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි ද එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ද ඔහු කියනවා.

‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’

ඉන්දියාවේ ප‍්‍රගතිශීලි ගොවීන් මෙන් ම සංවේදී විද්‍යාඥයන් ද ජන වී ප‍්‍රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්‍යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.

දැන් අප‍්‍රකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී ප‍්‍රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී ප‍්‍රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී ප‍්‍රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය ද විනාශ වන්නේ නැහැ.

එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී ප‍්‍රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී ප‍්‍රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.

Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013

‘‘ජන වී ප‍්‍රභේදවල විවිධත්වයේ හා විචිත‍්‍රත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්‍යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපේ ලොකු ම අරමුණයි,’’ ඔහු කියනවා.

‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී ප‍්‍රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්ප‍්‍රදායික වී වලින් වෙන් කොට නවීන වී ප‍්‍රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී ප‍්‍රභේද ඉක්මවා යන්නට අපේ විද්‍යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.

සමහර ජන වී ප‍්‍රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී ප‍්‍රභේදය. එහි තන්තු (fibre) ප‍්‍රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට ප‍්‍රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.

මේ අතර දෙමුහුන් වී ප‍්‍රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.

දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල වගා කිරීමට ද නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී ප‍්‍රභේද තිබෙනවා.

දෙමුහුන් වී ප‍්‍රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල ප‍්‍රමාණයක් අවශ්‍යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්‍යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.

සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ්‍ය ආයතන හෝ විද්‍යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට ම මැදිහත් වීමේ වත්මන් රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේ ගොවීන්ට සාම්ප‍්‍රදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.

ජීව විද්‍යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ම ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි ප‍්‍රභේද වැඩි සංඛ්‍යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල ප‍්‍රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් ප‍්‍රභේද (crop wild relatives) ද ක්ෂීන වී ගොසින්.

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා ප‍්‍රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් ප‍්‍රකට ක‍්‍රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන්‍ය (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.

වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට ම කඩාකප්පල්කරුවෙක්!’’

ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ ම කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්‍යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග ද විනාශ වනවා.’’

Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Dr Gamani Corea (1925 – 2013), Lankan economist, diplomat, international civil servant and public intellectual.

For an English version, see: When Worlds Collide #91: Gamani Corea – Champion of the Global South

Dr Gamani Corea - photo courtesy The Hindu
Dr Gamani Corea – photo courtesy The Hindu

අදීනව හා අභිතව, එහෙත් සියුම් හා උපක‍්‍රමශීලී ලෙසින් දේශීයත්වය හා අපේ අනන්‍යතාවය බාහිර ලෝකයට ප‍්‍රක්‍ෂෙපනය කරමින් සංකීර්ණ නූතන සමාජයේ තානාපති හා විදේශ සබඳතා පවත්වා ගැනීම ලොකු අභියෝගයක්.

ප‍්‍රතිපත්ති ගරුක හා ස්වාධීන විදේශ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා 1960-1970 දශකවලදී ශී‍්‍ර ලංකාවට ලෝකයේ බොහෝ රටවල ගෞරවාදරය හිමි වුණා. මෙරටින් බිහි වූ විද්වතුන් හා තානාපතිවරුන් අන්තර් රාජ්‍ය සංවිධානවල ඉහළ තනතුරු හොබවමින් උපන් රටට කීර්තියක් මෙන් ම දියුණු වන ලෝකයට ම මඟ පෙන්වීමක් ද ලබා දුන්නා. මේ අය අතර දැවැන්තයකු වූයේ මෑතදී මිය ගිය ආචාර්ය ගාමිනී කොරෙයා (1925-2013) යි.

කොරෙයාගේ අභාවයත් සමඟ ලෝකයේ නන් දෙසින් නිකුත් කෙරුණු ශෝක පණිවුඩ හා ගුණ සමරු දෙස බලන විට ඔහු කෙතරම් කීර්ති නාමයක් දිනා සිටියා ද යන්න පැහැදිලි වනවා.

මෙරට ඉසුරුබර ප‍්‍රභූ පවුලක ඉපිද, ලංකා විශ්ව විද්‍යාලයේත්, ඉනික්බිති ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් යන බි‍්‍රතාන්‍ය සරසවි දෙකෙහිත් උසස් අධ්‍යාපනය ලැබූ කොරෙයා, 1952-1973 වකවානුවේ ලක් රජයේ විවිධ ඉහළ තනතුරු හෙබ වූවා. ආර්ථික විශේෂඥයකු ලෙස අඵතින් නිදහස ලැබූ ලංකාවේ ජාතික සැළසුම් හා මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට මූලික වූ ඔහු, පැවති හැම රජයක් යටතේ ම වෘත්තීය ගෞරවය රැක ගනිමින් සේවය කළා.

මෙරට නිල් – කොළ – රතු හැම දේශපාලන පක්‍ෂයක ම හොඳහිත හා ගෞරවය ලැබ සිටි ඔහු, දෙවරක් මෙරට මුදල් ඇමති ධූරය ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා. (1965 ඩඞ්ලි සේනානායක රජයේ හා 1988 ජයවර්ධන රජයේ අවසාන වසරේ.)

ජාතික සැළසුම් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ, හා සැළසුම් හා ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වැනි තීරණාත්මක තනතුරු දැරීමෙන් පසුවයි ඔහු 1970 දශකයේ ජාත්‍යන්තර තලයට ප‍්‍රවේශ වූයේ. ඒ වන විට ඔහු ලක් රජය නියෝජනය කරමින් විවිධ එක්සත් ජාතීන්ගේ සම්මේලනවලට සහභාගි වී අත්දැකීම් රැසක් හිමි කර ගෙන සිටියා.

කොරෙයා යුරෝපීය රටවල් ගණනාවකට අනුයුක්ත කළ ලංකා තානාපති හැටියට 1973දී පත් කරනු ලැබුවත් එහි කටයුතු කළෙ මාස කිහිපයයි. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD, http://www.unctad.org) නම් අන්තර්-රාජ්‍ය සංවිධානයේ මහ ලේකම් තනතුරට ඔහු තෝරා පත් කර ගනු ලැබුවා. එය එජා සංවිධාන ජාලයේ ඉහළ තනතුරක්. (පසු කලෙක ජයන්ත ධනපාල උප මහලේකම් තනතුරකට පත් වන තුරු එජා සංවිධානයේ ඉහළට ම ගිය ලාංකිකයා වූයේ ගාමිනී කොරෙයායි.)

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)
Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

1964දී ඇරැඹුණු UNCTAD සංවිධානය ජාත්‍යන්තර වෙළදාම, ආයෝජනය හා සංවර්ධනය ගැන ප‍්‍රතිපත්ති නිර්දේශ කරන, මේ ක්‍ෂෙත‍්‍ර අරභයා දියුණු හා දියුණු වන රටවල් අතර යම් තුලනයක් පවත්වා ගන්නට අරමුණු කළ ආයතනයක්. විශේෂයෙන් 1970 – 80 දශක දෙකේදී නව ලෝක ආර්ථික රටාවක් බිහි කිරීමේ උතුරු – දකුණ සංවාදවලදී UNCTAD තීරණාත්මක බුද්ධිමය හා තානාපති මෙහෙරවක් ඉටු කළා. එම මෙහෙවරේ නායකත්වය දැරූවේ 1974-1984 කාලය තුළ (එක පිට එක) ධුර කාල හතරක් එහි මහලේකම් තනතුර දැරූ කොරෙයායි.

ඉසුරුබර රටවල් සමඟ ගැටුම් ඇති කර නොගෙන, සාධාරණත්වය හා සමානාත්මතාවය සඳහා ආචාරධර්මීය කතිකාවතක් දිගට ම පවත්වා ගන්නට ඔහු සමත් වුණා. දියුණු රටවල් (ගෝලීය උතුර) හා දියුණු වන රටවල් (ගෝලීය දකුණ) අතර මේ දිගුකාලීන සංවාදය, සංවේදීතාවන් හා තුලනයන් රැසක් පවත්වා ගත යුතු ඉතා අසීරු කාරියක්.

ධනවත් රටවල මුදල් බලයට හා ප‍්‍රබල තානාපති බලපෑම්වලට නතු නොවී, එමෙන්ම සමහර රැඩිකල්වාදී දකුණේ රටවල ආක‍්‍රමණකාරී හා කලබල ප‍්‍රවේශයන්ට ද ඉඩ නොදී කාගේත් හොඳහිත රැක ගනිමින් වැඩ කිරීමට කොරෙයා අතිශයින් දක්‍ෂයකු වූ බව ඔහුගේ සමකාලීනයන් සිහිපත් කරනවා.

ඔහුට සමාන්තරව ජිනීවා නුවර ගෝලීය සංවාදවලට එකතු වූ තවත් ආර්ථික විශෙෂඥයෙක් නම් වත්මන් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං. මේ දෙදෙනා අතර දශක ගණනක සමීප මිතු දමක් පැවතුණා.

කොරෙයා ගැන අනුස්මරණ නිවේදනයකින් වත්මන් UNCTAD කාර්යාලය කියා සිටියේ ‘‘ලෝකයේ දුගී රටවලට වඩාත් සාධාරණ, දිගු කාලීන සංවර්ධනයකට පිවිසීමට උපකාර වන විදියේ ගෝලීය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහාත්, ජාතීන් අතර වෙළදාමේදී එම රටවලට වඩාත් වාසි සහගත වන පරිසරයක් බිහි කරන්නටත් ඔහු ඉමහත් බුද්ධිමය දායකත්වයක් ලබා දුන්නා’’ කියායි.

ඔහුගේ ජිනීවා සගයකු වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය පුවත්පත් කලාවේදී චක‍්‍රවර්ති රාඝවන් මෙසේ ආවර්ජනය කළා: ‘‘තුන්වන ලෝකයේ රටවලට ලෝක ආර්ථික ක‍්‍රමය තුළින් වඩාත් හිතකර තත්ත්වයන් උදා කිරීමට කුමක් කළ යුතු ද යන්න ගැන කොරෙයාට තියුණු හා දිගු කාලීන දැක්මක් තිබුණා. එය ආර්ථික විද්‍යා න්‍යායවලට සීමා නොවී, ප‍්‍රායෝගික හා උපායමාර්ගික මට්ටමට විහිදුණා. ඔහු ඇරැඹූ යම් කි‍්‍රයාදාමයන් ඵල දරන්නට වසර හෝ දශක ගණනක් ගත වුණා.’’

මෙබඳු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය විප්ලවයකට හොඳ උදාහරණයක් නම් අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ක‍්‍රමවේදයක් බිහි කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කි‍්‍රයා කරමින්, බහුජාතික ඖෂධ සමාගම්වලට නතු නොවී එම ප‍්‍රතිපත්ති සැකසීමට ලාංකික ඖෂධවේදී මහාචාර්ය සේනක බිබිලේට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ගාමිනී කොරෙයා සහ UNCTAD සංවිධානයයි. පසුව ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් බිබිලේ නැවතු තැනින් ඒ ගමන ඉදිරියට ගෙන ගියේ ද UNCTAD හරහායි.

රාඝවන් සිහිපත් කරන හැටියට කොරෙයා කිසි විටෙක තදබල හෝ සැරපරුෂ ලෙස කථා කළේ නැහැ. අතිශයින් ආචාරශීලී හා සුහද ලෙස එහෙත් බුද්ධිමය ස්ථාවරයන්ගෙන් නොසැළී ඔහු ආන්දෝලනාත්මක සමුඵ සැසිවාරයන් හැසිර වූ බවත්, අමෙරිකාව හා යුරෝපීය ප‍්‍රජාව තුළින් මතුව ආ උද්දච්චකම ඔහු හීන්සීරුවේ නිශේධනය කළ බවත් රාඝවන් කියනවා.

මේ නිසා ධනවත් රටවලට කොරෙයා රිස්සුවේ  නැතත්, ඔවුන් පවා ඔහුගේ අවංක බව හා බුද්ධි මහිමය අගය කළා.

පසු කලෙක ලංකා තානාපති සේවයට ආලෝකයක් ගෙන දුන් විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මෙන් ම ගාමිනී කොරෙයාත් ඉංගී‍්‍රසි බස ව්‍යක්තව හා සියුම්ව හැසිරවීමට ගජ හපනෙක්. ඔහු කී සමහර වදන් කලක් ගත වීත් ලෝක ආර්ථික හා දේශපාලන තලයන්හි තවමත් ප‍්‍රතිරාවය වනවා.

මා ඇසූ එක් කොරෙයා කියමනක්: ‘‘තුන්වන ලෝකයේ බොහෝ රටවලට සැබැවින් සිටින්නේ එක ම එක මුදල් ඇමතිවරයෙක්. ඒ තමයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල!’’ (මේ ආයතන ද්විත්වය UNCTAD ප‍්‍රතිසංස්කරණවලට කැමති නොවී දිගින් දිගට ම කොරෙයා සමඟ වාදවලට පැටඵණා.)

පූර්ණකාලීන එජා සංවිධාන සේවයෙන් ඉවත් වූ පසුවත් ඔහු විවිධ රජයන්, ලෝක ආයතන හා සිවිල් සංවිධානවල ගරු තනතුරු හා උපදේශක තනතුරු රැසක් දරමින් තවත් කලක් ජිනීවා නුවර රැදී සිටියා. වයස 75 පමණ වනතුරු ඔහු සකි‍්‍රය වෘත්තීය දිවි පෙවෙතක් ගත කළා.

තිරසාර සංවර්ධනය ගැන ගෝලීය චින්තනයක් ගොඩ නැංවීමට 1970 හා 1980 දශකවල මුල් සංවාද රැසකට ද ඔහු සහභාගී වූවා. එබඳු සංවාදවලදී අන්ත හරිතවාදය මෙන් ම අන්ත ධනවාදයටත් එකඟ නොවී යම් සමබර ප‍්‍රවේශයන් වෙත ලෝකයේ ආණ්ඩු යොමු කළා. මේ මෙහෙවර නිසා 1992 බ‍්‍රසීලයේ රියෝ නුවර පැවති මිහිතල සමුඵවට ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය දුත පිරිසේ විශෙෂ උපදේශකයකු ලෙස ඔහු පත් කරනු ලැබුවා.

ලෝක සංවිධානවල තනතුරුවලට පත් වන බොහෝ ලාංකිකයන් උඩගු හා උද්දච්ච බවින් පිරී යනවා. එහෙත් කොරෙයා හැමදාමත් ඉතා නිහතමානී, මිත‍්‍රශීලී චරිතයක් වුණා. මෙය මා අත්දුටුවේ වයස 24ක තරුණ මාධ්‍යවේදියකු ලෙස එවකට 65 හැවිරිදි ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නට ගිය විටදීයි. ඒ 1990 අග භාගයේදී.

හොංකොං නුවරින් පළ කෙරුණු Asia Technology කලාපීය විද්‍යා සඟරාවේ නියෝජිතයකු ලෙස මා ඔහු මුණ ගැසුණේ ආසියාවේ දියුණු වන රටවල ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය කෙසේ යොදා ගත හැකි ද යන්න ගැන ඔහුගේ අදහස් විමසීමටයි. ඉන් පෙර කිසිදු හැඳුනුම්කමක් නොතිබුණත් මා සාදරයෙන් පිළිගත් ඔහු මහත් උද්‍යොගයෙන් හා සුහද ලෙසින් මා සමඟ කථා කළා. 1950දී ඇරැඹි කොළඹ ක‍්‍රමය (Colombo Plan) නම් කලාපීය සහයෝගිතා සංවිධානයට විද්‍යා හා තාක්‍ෂණය පිළිබඳ නව අරමුණක් ආරෝපනය කළ යුතු යයි ඔහු යෝජනා කළා.

විද්‍යාව හා තාක්‍ෂණය හරිහැටි ජාතික සංවර්ධනයට යොදා ගන්නා රටවල් අන් රටවල් අභිබවා ඉදිරියට යන බවත්, එමගින් සිය ජනයාගේ ජීවන මට්ටම් දියුණු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. අද මෙය ප‍්‍රකට කරුණක් වුවත් මීට දශක දෙක හමාරකට පෙර මෙබඳු දැක්මක් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට තිබුණේ නැහැ.

එසේ ම මතුව එන දැනුම් සමාජය ගැන ඔහු අනාගතවේදීව කථා කළා. ඒ වන විට ඉන්ටර්නෙට් හා පරිගණක තිබුණේ මූලික හා සීමිත අවධියකයි. එහෙත් එහි විප්ලවකාරී විභවය හා වැදගත්කම ඔහු කල් තබා දුටුවා.

අපේ සංවාදය පැයක් පමණ පැවතුණා. එය අවසානයේ ඔහුගේ ඡුායාරූපයක් ගන්නට මට  ඕනෑ වුණා. එයට ඔහු එකඟ වූයේ තරමක දෙගිඩියාවකින්. ‘මගේ නාසය හුඟක් විශාලයි. හැම ඡායාරූපයක ම වැඩිපුර පෙනෙන්නේ එයයි!’ ඔහු සිනාසෙමින් කීවා. ‘එහෙත් ඔබේ ලොකු නාසය ජේ. ආර්. ගේ තරම් ප‍්‍රකට නැහැ නේද?’ මාත් සැහැල්ලූවෙන් උත්තර දුන්නා.

ගාමිණී කොරෙයා සමඟ මා කළ සාකච්ඡාවේ කොටස් 1990 නොවැම්බර් Asia Technology කලාපයේ පළවුණා. මා වැනි ලාබාලයකුට ගරුසරු ඇතිව සැළකූ මේ ජ්‍යෙෂ්ඨයා ඉන් පසුවත් දෙතුන් විටක් මට විවිධ සභාවලදී මුණ ගැසුණා. ඒ හැම විටක ම සුහදව සුවදුක් විමසන්නට තරම් ඔහු කාරුණික වුණා.

කථාවට වැටුණාම ඇත්තට ම ඔහු කුඩා දරුවකු මෙන් නිර්ව්‍යාජයි. ආඩම්බරයක් ඇත්තේ ම නැහැ. මේ ගතිගුණය ඔහු ඇසුරු කළ සැවොම සනාථ කරනවා. අඩුවෙන් පිරුණු කළගෙඩි මහත් ඝෝෂා නඟන අපේ සමාජයේ පිරුණු කළයක් වූ ගාමිනී කොරෙයා හැමදාමත් සැහැල්ලූවෙන් හා සිනාවෙන් කල් ගත කළා.

එහෙත් මා ඔහු හමු වූ අවසන් දිනයේ නම් ඔහු සිටියේ වික්ෂිප්තව හා ශෝකබරිතවයි. ටික කලකට මා ජිනීවා නුවරට අනුයුක්ත කොට සිටියා. මගේ ප‍්‍රධානියා වීටස් ප‍්‍රනාන්දු එනුවර ලාංකිකයන්ගේ අවුරුදු සාදයකට මා කැඳවා ගෙන ගියා. ඒ 1993 අපේ‍්‍රල් 23 වනදා. ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය පිළිබඳ ප‍්‍රවෘත්තිය අපට ලැබුණේත් එදා සවසයි.

ජිනීවාහි වසන ජ්‍යෙෂ්ඨතම ලාංකිකයකු ලෙස ටික වේලාවකට කොරෙයා එම සාදයට පැමිණියත්, ඔහු බෙහෙවින් සලිත වී සිටිනු මා දුටුවා. එතරම් කථාබහ කළේත් නැහැ. ජිනීවා සාදයේ සමහරුන් නටන ගයන අතරේ අප ටික දෙනකු සමඟ කොරෙයා නිසොල්මනේ බලා සිටියා.

නිදහසෙන් පසු ලංකාවේ ගමන්මග තීරණය කරන්නට සමීපව දායක වූ ඔහු මොකද්ද මේ අපේ රටට වෙන්නේ යන ප‍්‍රශ්නය මෙනෙහි කරන්නට ඇති. ඒ අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කොළඹදී මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිත වී තිබුණා.

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene - Asia Technology, Nov 1990
Dr Gamani Corea interviewed by Nalaka Gunawardene – Asia Technology, Nov 1990

සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

How can we protect ourselves from slow poisoning by agrochemical residues in our food? In this week’s Ravaya column, I discuss two options for Sri Lanka: organic farming, and the in-situ testing of farm produce for residues (after determining maximum residue levels).

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Pesticides on a Plate
Image courtesy Pesticide Action Network

‘ජාතියට වස කවන්නෝ කවරහුද’ මැයෙන් ගිය සතියේ මා ලියූ කොලම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා.

උඩරට අර්තාපල් හා එළවඵ වවන ගොවීන්ගේ පලිබෝධ නාශක භාවිතය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් කළ සමීක්‍ෂණයක් මත පදනම් වී මා හෙළි කළේ අපේ සමහර ගොවීන් දැන දැන ම විස රසායන යෙදු ආහාර වෙළඳපොළට එවන සැටියි.

තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන්ට සපයන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

සමහර පාඨකයන් මේ සෘජු ප‍්‍රශ්න කිරීමට කැමති වූයේ නැහැ. සති කිහිපයකට පෙර හේන් ගොවීන් ගැන සානුකම්පිතව කථා කළ මේ කොලමින් ම දැන් ඔවුන් හෙළා දකින්නේ ඇයිදැයි කිහිප දෙනකු මගෙන් විමසුවා.

දැඩි සේ එල්බගත් කිසිදු මතවාදයක් නැති නිසා මට සාක්ෂි හා තර්ක පදනම් කර ගෙන එසේ කළ හැකියි. ගොවීන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළත් ඔවුන් ද රටේ නීතියට හා සමාජ සම්මතයට අනුකූලයි. එයට පිටුපාන විට සහේතුකව ඔවුන් විවේචනය කළ යුතුයි.

ගොවියා හා ගොවිතැන මැදහත්ව විග‍්‍රහ නොකර හැගීම් බරිතව ප‍්‍රතිපත්ති සම්පාදනයේ බරපතල අහිතකර විපාක අප සැවොම අත් වි`දිනවා. ගොවීන්ට ගරුසරු ඇතිව සැළකිය යුතු බව ඇත්තයි. එහෙත් ඒ ගෞරවය ඔවුන්ට හිමි වන්නේ පාරිභෝගික අපට වින නොකරන තාක් කල් පමණයි.

Pest and farmer cartoon

රසායනික පොහොර හෝ අධික විෂ සහිත පලිබෝධ නාශක නොයොදා, ස්වාභාවික පොහොර හා පලිබෝධ පාලන ක‍්‍රම මගින් බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මුඵ රට ම එක්වරම මෙබඳු කාබනික ගොවිතැනකට යොමු විය හැකි නේදැයි එක් පාඨකයෙක් යෝජනා කළා. තර්කයක් හැටියට එය ඉතා හොඳයි. එහෙත් ප‍්‍රායෝගිකව එය කිරීමට දිගු කලක් ගත වනවා. දැඩි නීතිරීති හා දණ්ඩන හරහා මෙබන්දක් කඩිනම් කළ නොහැකියි.

ඇත්තට ම කාබනික ගොවිතැන ශී‍්‍ර ලංකාවේ කලෙක සිට කරනු ලබනවා. එයට කැප වූ ගොවි සමිති හා සංවිධාන ද තිබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදිතයන් දේශීය වෙළඳපොළට යම් තරමක් මුදා හැරිය ද බහුතරයක් පිටරට යවනවා.

අපේ රටේ නිපදවෙන හොඳම තේ කොළ පිටරට යැවෙන්නා සේ ම බොහෝ කාබනික ආහාර ද විදෙස් වෙළඳපලවලට යන්නේ ඒවාට ඉහළ මිළක් ගෙවන්නට යුරෝපය, අමෙරිකාව, ජපානය වැනි රටවල නැඹුරුවක් ඇති නිසායි. මෙරට වෙළඳපොලේ ද කාබනිකව වැවූ සහල්, පළතුරු හා එළවඵ අනෙක් (රසායනික යොදා වැවූ) ආහාරවලට වඩා මිළෙන් ඉහළයි.

සෞඛ්‍යාරක්‍ෂාව සඳහා වුවත් වැඩි මිළක් ගෙවා කාබනිකව වැවූ ආහාර නිතිපතා මිළට ගත හැක්කේ අප කීයෙන් කී දෙනාට ද? කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි. එසේ නොවන තාක් කල් එය ඉහළ මධ්‍යම පාංතික සුඵතරයකගේ හා පරිසරවේදීන්ගේ වරප‍්‍රසාදයක්ව පවතිනවා.

අපේ කලාපයේ ජනගහනයෙන් දෙවැනි කුඩා ම රට වන භූතානය වසර 2020 වන විට සිය ගොවිතැන මුඵමනින් ම කාබනිකව කිරීමට ඉලක්ක කරනවා.

2013 පෙබරවාරියේ නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර තිරසාර සංවර්ධන සමුඵවකදී භූතාන් කෘෂිකර්ම ඇමති පේමා ග්‍යම්ෂෝ (Pema Gyamtsho) මෙය ප‍්‍රකාශයට පත් කළා. සොබාදහම සමග සහජීවනයෙන් විසීම මූලික කර ගත් බෞද්ධ දර්ශනයට අනුව යමින් ද සිය ජනයාගේ සෞඛ්‍යය සැළකිල්ලට ගනිමින් ද මේ තීරණයට එළඹුණු බව ඔහු කියා සිටියා.

මුඵ රටේ ජනගහනය ලක්ෂ 7ක් සිටින භූතානය වැනි කුඩා රටකට මෙබඳු වෙනසක් කිරීම ලෙහෙසියි. දැනටත් කෘෂිරසායනික භාවිතා කරන්නේ එරට ගොවීන්ගෙන් සුඵ ප‍්‍රතිශතයක් පමණයි.

‘‘කාබනික ගොවිතැනෙන් පමණක් අපේ සියඵ ආහාර බෝග නිපදවා ගැනීමට යොමු වීමට අපට වසර කිහිපයක් අවශ්‍යයි.’’ භූතාන අමාත්‍යවරයා කියනවා.

භූතානයේ කාබනිකව වවන රතු සහල්, ඇපල් හා හතු ආදිය දැනටමත් ඉහළ මිළකට දියුණු රටවලට විකුණනවා. මුඵ රට ම කාබනික ගොවිතැන පමණක් කරන විට ඔවුන්ට ලෝක වෙළඳපොළේ තම නිෂ්පාදිත සඳහා වඩාත් හොඳ ඉල්ලූමක් මතු වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි.

භූතානය පිවිසි මාර්ගයට රටක් ලෙස අපටත් කෙදිනක හෝ යොමු වීමට හැකි නම් ඉතා  අගෙයි. එහෙත් භූතානයේ මෙන් තිස් ගුණයක පමණ ජනකායක් සිටින අපේ රටේ ආහාර අවශ්‍යතා සහ වෙළඳපොළ සංකීර්ණත්වය ඊට වඩා ඉහළයි. ඒ නිසා කුඩා රටවල් මෙන් ඉක්මන් ප‍්‍රතිපත්ති වෙනසකට යොමුවීම අපහසුයි.

සමස්ත ගොවිතැන කාබනික කිරීම දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් අපට ඉක්මනින් ගත හැකි යම් කි‍්‍රයාමාර්ග ද තිබෙනවා.

ආහාරපානවල පැවතිය හැකි උපරිම පලිබෝධ නාශක ශෙෂයන් (Maximum Residue Levels) නිර්ණය කොට නීතිගත කළ යුතුයි. එම සීමාවන් නීතිගත නොකර තිබෙන තුරු වෙළඳපොලේ විකිණෙන ධාන්‍ය, එළවඵ හා පළතුරුවල වසවිස ඇති බවට තහවුරු කළත් නීතියෙන් දඩුවම් කිරීම අපහසු වනවා.

මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය, පාරිභෝගික හා කෘෂිකර්ම අමාත්‍යාංශ මනා සේ සම්බන්ධීකරණය වීම ඉතා වැදගත්. එසේ ම පලාත් පාලන ආයතනවලට ද පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට ද මීට වඩා සකී‍්‍රයව මැදිහත් වියහැකියි.

Dr. Bhichit Rattakul
Dr. Bhichit Rattakul

මෙහිදී මට සිහිපත් වන්නේ 1990 දශකය අගදී තායිලන්තයේ බැංකොක් නගර ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා (Governor of Bangkok) ලෙස ඡන්දයෙන් පත්වූ ආචාර්ය භිචිත් රතකුල් (Dr Bhichit Rattakul) ගත් නිර්භීත කි‍්‍රයාදාමයයි.

කෘෂිරසායන අනිසි භාවිතය තායි ගොවීන් අතර ද බහුල නරක පුරුද්දක්. මධ්‍යම රජයෙන් මෙයට පිළියම් සොයන තුරු බලා නොසිට අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල වාසීන්ට වඩාත් සුරක්‍ෂිත ආහාර ලබාදීමට ආචාර්ය රතකුල් වැඩපිළිවෙලක් යෙදුවා. ඔහු වෘත්තියෙන් විද්‍යාඥයකු වීමත් මෙයට උදව් වන්නට ඇති.

බැංකොක් හා අවට වෙසෙන මිලියන් 10කට වැඩි ජනකායකට අවශ්‍ය එළවඵ හා පළතුරු සැපයෙන්නේ සයි මූම් වොං (Si Moom Wong) නම් තොග වෙළඳපොළ හරහා. එරට පුරා වවන බෝග නිෂ්පාදිත දිනපතා මෙහි ගෙන එනවා. දිනකට ලොරි 2,000ක් පමණ බැගින්.

මේ තොග වෙළඳපොලේදී නිෂ්පාදිත සාම්පල් ලබාගෙන එහිදී ම ඉක්මනින් පලිබෝධ නාශක ශේෂයන් සඳහා ඒවා පරීක්‍ෂා කිරීමට ජංගම රසායනගාරයක් පිහිටුවනු ලැබුවා.  ඕනෑ ම ගොවියකුගෙන්, අතරමැදි තොග වෙළෙන්දකුගෙන් හෝ වෙනත් අලෙවිකරුවකුගෙන් සාම්පල් ලබා ගෙන පිරික්සීමේ නිල බලය ලත් රසායන විද්‍යා තාක්‍ෂණවේදීන් පිරිසක් ඔහු එයට අනුයුක්ත කළා.

නීතිගත උපරිම පලිබෝධනාශක ශෙෂයන් ඉක්මවා ගිය සියඵ ම එළවඵ හා පළතුරු තොග පිටින් අලෙවියට ඉඩ නොදී ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. මුලදී මේ දැඩි පියවරෙන් සැලූණු ගොවීන් හා වෙළඳුන් උද්ඝෝෂණ කළා.

ඕනෑ ම රටක ගොවීන්ට ලොකු ජනමතයක් හා මාධ්‍ය අනුකම්පාවක් මතු කළ හැකියි. එහෙත් අපක්‍ෂපාතී, නිර්භය හා පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් හරහා ආචාර්ය රතකුල් ඇතුඵ කාර්ය මණ්ඩලය මේ බලපෑම්වලට කිසි විටෙක හිස නැමුවේ නැහැ. මධ්‍යම රජයේ දේශපාලන බලපෑම්වලට ද නතු නොවී නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පෞරුෂය හා කැපවීම මේ නගරාණ්ඩුකාරයාට තිබුණා.

මේ නීතිගරුක පුද්ගලයා සමග සෙල්ලම් කරන්නට බැරි බව ටික දිනකින් ම තායි ගොවීන් තේරුම් ගත්තා. මහන්සියෙන් වවා ගත් ඵලදාව විකුණා ගන්නට  ඕනෑ නම් පලිබෝධ නාශක අධික ලෙස භාවිතය නොකළයුතු බව ඔවුන්ට වැටහුනා. සති කිහිපයක් ඇතුළත තොග වෙළඳපොලේ ප‍්‍රතික්‍ෂෙප වන තොග ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් පහත වැටුණා. ඒ කියන්නේ පාරිභෝගිකයාට වඩාත් හිතකර ඵලදාවක් ලද හැකි වූ බවයි.

පලිබෝධ නාශක ශෙෂයන්ගේ උපරිමය ගැසට් කිරීමෙන් පසුව අපේ රටෙත් මෙබන්දක් කළ හැකි නම් කෙතරම් අගෙයි ද?

පිටකොටුවේ හෝ දඹුල්ලේ තොග වෙළඳ සංකීර්ණයන්ගේ ඉක්මන් පරීක්‍ෂාවන් හරහා ප‍්‍රතිඵල කාටත් පෙනෙන ලෙස ප‍්‍රකාශයට පත් කරමින්, සීමාව ඉක්ම වූ තොග සහමුලින් ම ප‍්‍රතික්‍ෂෙප කරන්නට හැකි වේ ද? එයට අපේ ගොවීන් හා වෙළඳුන් කෙසේ ප‍්‍රතිචාර දක්වයි ද?

අපක්‍ෂපාතී හා නිර්භය ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. මහජන සම්බන්ධතා, මාධ්‍ය ආවරණය හා පාරිභෝගිකයන්ගේ සහයෝගය දිනා ගැනීම ද අවශ්‍යයි. බැංකොක් නගරාණ්ඩුකාරවරයා උපක‍්‍රමශීලිව ඒ සියඵ සාධක පෙළ ගස්වා ගත්තා.

එසේ නැතිව නීතියේ බලයෙන් පමණක් වෙනසක් ඇති කිරීමට උත්සාහ කිරීම නොසෑහෙන බව මෑත කාලයේ අපේ පාරිභෝගික ඇමතිවරයා ලත් අත්දැකීම්වලින් පෙනී යනවා.

2002දී මා හඳුනන බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක් බැංකොක් අත්දැකීම ද පාදක කර ගෙන BBC නාලිකාවට වාර්තා චිත‍්‍රපටයක් (Toxic Trail) නිපද වුවා. එහි එක් තැනෙක ආචාර්ය රතකුල් මෙහෙම කියනවා.

‘‘අධික ලෙස රසායන යෙදු ආහාර වෙළඳපොලට එනවා ද යන්න ගැන රජය මෙන් ම පාරිභෝගිකයන් ද නිතිපතා විමසිලිමත් වියයුතුයි. අපේ බොහෝ පාරිභෝගිකයෝ ඉතා හොඳ පෙනුම ඇති, කිසිදු පලූද්දක් නැති එළවඵ හා පළතුරු සොයනවා. එබඳු ඵලදාව  ඕනෑවට වඩා රසායනික යොදා ඇත්දැයි සැක සහිතයි. යම් තරමකට හිල් සැදුණු, කෘමීන් විදි බවට ලකුණු ඇති එළවඵ හා පළතුරු එතරම් දැඩි ලෙස රසායනික යෙදීමකට ලක්ව නැතැයි සිතිය හැකියි.’’

අපේ පරිසරවේදීන් සහමුලින් කාබනික ගොවිතැන ගැන දිගුකාලීන සිහින දකින අතර බැංකොක් අත්දැකීම මෙරට කි‍්‍රයාත්මක කරන්නට එඩිතර දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ සමග සහයෝගයෙන් වැඩ කළොත් කෙතරම් අපූරුද?

හැමදාමත් කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් සිටිනවා වෙනුවට ජනසමාජයට ප‍්‍රයෝගිකව හොඳ දෙයක් කරන්නට පරිසරවේදීන්ට මෙය අගනා අවස්ථාවක්.

සිංහලයට හඩ කැවූ BBC වාර්තා චිත‍්‍රපටය විස වගාවට වැට බඳිමු නරඹන්න:

සිවුමංසල කොලූගැටයා #133: සේනක බිබිලේ ගිය මගෙහි ඉදිරියට යන්නේ කෙසේ ද?

In early August, Sri Lanka stopped the import of milk from New Zealand after discovering trace amounts of dicyanamide (DCD) a fertilizer additive, in four batches of milk sold by several firms. Concerns were also expressed on the presence of whey protein, a natural byproduct in cheese production.

After nearly a month of confusion and panic, the government now says it “probably overreacted” in its response to stories of contamination in milk powder imported from New Zealand.

Ensuring food safety is vital, and constant vigilance is needed – both on imported as well as locally produced food and beverages.  What is the role of medical doctors and other scientifically trained professionals in such vital debates on public health and safety? How best can they conduct themselves in contentious policy issues with broad implications?

I discuss this in my latest Ravaya column (in Sinhala). Similar ground was covered in my English column (but this is NOT a translation): 1 Sep 2013: When Worlds Collide #81: Who Added Conspiracy to Our Milk?

Cow jumped over the moon
කිරිපිටි ප‍්‍රශ්නයේදී රජයේ ප‍්‍රතිචාරය ‘අවශ්‍ය පමණට වඩා වැඩි වූ බව’ (probably over-reacted) යයි මාධ්‍ය ඇමතිවරයා 2013 අගෝස්තු 30 වනදා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසුවා.

විශෙෂයෙන් ම තාක්‍ෂණික කරුණු ගැන රජය උමනාවට වඩා කලබල වූ බව ඔහුගේ මතය වුණා. එහෙත් පාරිභෝගිකයන් රැක ගැනීම සඳහා වඩාත් ප‍්‍රවේශම්කාරී වීම රජයක වගකීමක් බවත් ඔහු කියා තිබුණා.

කිරිපිටි ප‍්‍රශ්නය සංකේතවත් කළෙ එන්න එන්න ම තාක්‍ෂණික පදනමක් මත ප‍්‍රතිපත්තිමය තීරණ ගන්නට හා නියාමනය කිරීම් කරන්නට දේශපාලකයන්ටත්, රාජ්‍ය පරිපාලන නිලධාරීන්ටත් සිදු වීමේ නූතන යථාර්ථයයි.

මෙබඳු අවස්ථාවල විශෙෂඥ දැනුම ඇති විද්වතුන්ගේ උපදෙස් හා මග පෙන්වීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍යයි. එය ගවේෂණාත්මකව, සත්‍යවාදීව හා අපක්‍ෂපාතිව ලබාදීම විද්වතුන්ගේ වගකීමයි. එහෙත් එසේ කිරීමේදී තමන්ගේ මතවාදයන් ප‍්‍රබල ලෙස එයට එකතු කිරීමෙන් සමහර විද්වතුන් ප‍්‍රශ්න ව්‍යාකූල කිරීමටත්, ජනමතය අවුල් කොට සමාජය කලබල කරන්නටත් (panic) දායක වූ බව අපට පෙනී ගියා.

කැමති  ඕනෑ ම දේශපාලන, සාමයික හා අනෙකුත් විශ්වාසයක් හෝ ස්ථාවරයක් ගැනීමේ පුද්ගල නිදහස ඇති සමාජයක් තුළ උගතුන් හා බුද්ධිමතුන් පොදු උන්නතිය සඳහා කෙසේ කි‍්‍රයාකාරි විය යුතු ද? විද්‍යාවේ නාමයෙන් විග‍්‍රහයන් කරන විට හා විද්වත් මට්ටමේ බලපෑම් කරන විට තමන්ගේ මතවාදයන් හා වඩාත් සමාජයට හිතකර තේරීම් අතර තුලනයක් පවත්වා ගන්නේ කෙලෙස ද?

පලිබෝධ නාශක, රසායනික පොහොර මෙන් ම පිටරටින් ගෙනා කිරිපිටි ගැනත් මහජන සෞඛ්‍යය සම්බන්ධ ප‍්‍රශ්න මතු වූ විට විද්වතුන් එයට මැදිහත්වීම අගය කළ යුත්තක්. නිලධාරීන්ගේ උදාසීනත්වය, අකාර්යක්‍ෂම බව හා ඇතැම් විට ව්‍යාපාරික බලපෑම්වලට නතුවීම ආදී සාධක නිසා නිසි නියාමනය හා ප‍්‍රතිපත්ති සම්පාදනය සිදු නොවන විට පොදු උනන්තියට කැප වූ බුද්ධිමතුන්ගේ බලපෑම් තීරණාත්මක වනවා.

එහෙත් එය සාක්‍ෂි මත පදනම් වී, ආවේගශීලි  නොවී, ප‍්‍රායෝගික හා තුලනාත්මක වීම අවශ්‍යයි. නැත්නම් සිදු වන්නේ ජන සමාජය අයථා ලෙස කලබල වීමත්, ප‍්‍රතිපත්ති කි‍්‍රයාදාමය එක තැන හිරවීමත් (policy paralysis).

වීරයන් හා දුෂ්ටයන් හැටියට හැම නූතන ප‍්‍රශ්නයක ම කොටස්කරුවන් පැහැදිලි ලෙස බෙදා වෙන් කිරීම අපහසුයි. අසාධාරණ ලාබ තකා වංචනික ලෙස පාරිභෝගිකයන් රැවටීමට තැත් කරන විදේශීය සමාගම් මෙන් ම සියයට සියයක් දේශීය සමාගම් ද සිටිනවා.

හැම කිරි කෝප්පයක ම කිඹුලන් සොයනවාට වඩා ඔබ්බට යන හරවත් වූ ද, වගකීම් සහගත වූ ද කි‍්‍රයාකලාපයක් අප විද්වතුන්ගෙන් අපේක්‍ෂා කරනවා.

Dr Seneka Bibile
Dr Seneka Bibile

මහජන සෞඛ්‍යය ගැන සංවේදී හා සකි‍්‍රය වන වෛද්‍යවරුන් බොහෝ දෙනකුගේ පරමාදර්ශී වීර චරිතය වන්නේ මහාචාර්ය සේනක බිබිලේ (1920-1977). 1958දී මෙරට ඖෂධවේදය පිළිබඳ ප‍්‍රථම මහාචාර්ය තනතුරට පත් මේ ජනතාවාදී වෛද්‍යවරයා 1971දී රාජ්‍ය ඖෂධ සංස්ථාව පිහිට වූ විට එහි ප‍්‍රථම සභාපතිවරයා වුණා. ඔහුගේ විශිෂ්ඨ බුද්ධිමය දායකත්වය වූයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ තර්කාන්විත ක‍්‍රමවේදයක් යෝජනා කිරීමයි (rational pharmaceutical drugs use).

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ රෝගීන්ට දෙන බෙහෙත්වලින් අඩකටත් වඩා රෝගාබාධ සමනය කිරීමට අත්‍යවශ්‍ය හෝ ඉලක්කගත හෝ නොවන බව දැන් පිළි ගැනෙනවා. එහෙත් බොහෝ වෛද්‍යවරුන් බෙහෙත් නියම කරන විටත්, රෝගීන් බෙහෙත් ගන්නා විටත් ඒ ගැන නැවත සිතා බැලීමක් කරන්නේ නැහැ. එසේ හැකි තාක් ඖෂධ නියම කිරීමට වෛද්‍යවරුන්ට නිෂ්පාදන සමාගම් බලපෑම් කරන බවත්, ඒ සඳහා නොයෙක් දිරිගැන්විම් හා පරිත්‍යාග කෙරෙන බවත් කලක සිට ප‍්‍රකටයි.

මහජන මුදලින් පවත්වා ගෙන යන රාජ්‍ය සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඖෂධ භාවිතය වඩාත් තර්කනුකූල විධිමත් කිරිමට 1970 දශකයේ බිබිලේ ඇතුළු විද්වතුන් කිහිප දෙනෙක් උත්සහ කළා. මේ සඳහා වෛද්‍ය වෘත්තිය, සෞඛ්‍ය පරිපාලනය, සෙසු විද්‍යාඥයන් අතර මෙන් ම ජන සමාජ මට්ටමින් ද විද්වත් කතිකාවක් ඔවුන් ඇරඹුවා.

සරසවි වෙද ඇදුරකු ලෙසත් පර්යේෂකයෙකු ලෙසත් ක‍්‍රියා කරන අතර මේ ප‍්‍රතිපත්ති මට්ටමේ වෙනස ඇති කිරිමට මහාචාර්ය බිබිලේ ගත් උත්සාහය ගැන ඔහුගේ ජීවන චරිත කතාවෙත්, වෙනත් ප‍්‍රකාශනවලත් ලේඛන ගතව තිබෙනවා. එහිදී ඔහු මහත් පරිශ‍්‍රමයෙන් තොරතුරු හා සාක්ෂි රැස් කොට, විශ්ලේෂණය කොට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය විලාසය ගැන ඔහුගේ සිසුවකු වූ විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වෛද්‍ය තිස්ස විතාරණ සිහිපත් කරනවා.

සේනක බිබිලේ වයස 57දී හදිසියේ මිය යාම සැක කටයුතු බවත්, ඇතැම් විට කුමන්ත‍්‍රණයක් විය හැකි බවත් සමහරුන් විශ්වාස කරනවා.

ඔහු ගැන කථා කරන බොහෝ දෙනා හා බිබිලේ චරිතය පරමාදර්ශයට ගන්නා නූතන වෛද්‍යවරුන් ඔහුගේ අකල් මරණය ගැන දැඩි අවධානය යොමු කරන අතර, ඔහු ජීවත්ව සිටියදී කි‍්‍රයා කළ විලාසය ගැන සමීපව අධ්‍යයනය කරන්නට නොවෙහෙසීම කණගාටුදායකයි.

මහාචාර්ය බිබිලේට සමාජවාදී දේශපාලන නැඹුරුවක් තිබුණා. ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. ඔහුගේ චින්තනය එයින් පොෂණය වූ බව පැහැදිලියි. එහෙත් ඖෂධවේදය පිළිබඳ විද්වත් වාදවිවාදවලදී ඔහු විද්‍යාව හා දේශපාලනය අනවශ්‍ය ලෙස මිශ‍්‍ර කර ගත්තේ හෝ පටලවා ගත්තේ නැහැ.

ජාත්‍යන්තර තලයේ දක්‍ෂ ප‍්‍රතිමල්ලවයත් සමග සංයමයෙන් හා ඉතා සංවිධනාත්මකව වාද විවාද කළ සැටිත්, ලෝකයේ ආණ්ඩු සාමාජිකත්වය දරණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප‍්‍රබල බුද්ධිමය වෙනසක් කළ සැටිත් වෛද්‍ය විතාරණ, වෛද්‍ය කොල්වින් ගුණරත්න ඇතුඵ බිබිලේ සහෘදයන් වාර්තා කොට තිබෙනවා. මෙන්න පරමාදර්ශය!

බිබිලේ අකාලයේ මිය ගියත් ඔහු ඇරැඹූ චින්තන විප්ලවයට දිගට ම ලාංකික බුද්ධිමය දායකත්වය හා නායකත්වය ලැබුණා.

Dr Kumariah Balasubramaniam
Dr Kumariah Balasubramaniam

බිබිලේ යටතේ සරසවි ඇදුරකුව සිටි ඖෂධවේදී ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් (1926-2011) ඉන් පසු එම බුද්ධිමය අරගලය තවත් වසර 30කට වැඩි කලක් පෙරට ගෙන ගියා. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (UNCTAD ආයතනයේ) විශෙෂඥයකු ලෙස කි‍්‍රයා කරමින් ඔහු නේපාලය, කියුබාව, පිලිපීනය, ඉතියෝපියාව හා ටැන්සේනියාව වැනි රටවල අත්‍යවශ්‍ය ඖෂධ ප‍්‍රතිපත්ති සම්පාදනය කළා.

1981දී Health Action International (HAI) නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් බිහි කිරීමට හවුල් වූ වෛද්‍ය බාලසුබ‍්‍රමනියම්, ප‍්‍රගතිශීලී වෛද්‍යවරුන්, ඖෂධවේදීන් හා වෙනත් සමාජ කි‍්‍රයාකාරිකයන් රැසක් හවුල් කර ගෙන නැණවත් ඖෂධවේදයක් සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයක් පවත්වා ගෙන ගියා. කලක් ඔහු මැලේසියාවේ පිනෑංග්හි පිහිටි HAI ආසියා පැසිෆික් කාර්යාලයේ  උපදේශක ලෙස ද ක‍්‍රියා කළා.

අන්තර් රාජ්‍ය මට්ටමේ WHO සංවිධානයට උදාසීන වන්නට හෝ අකාර්යක්‍ෂම වන්නට හෝ නොදී සිවිල් හා විද්වත් බලපෑම් දිගට ම පවත්වා ගන්නේ HAI වැනි රාජ්‍ය නොවන සංවිධානයි.

බංග්ලාදේශයේ ඖෂධ ප‍්‍රතිපත්තිය ජනතාවාදී කිරීමේ මුල් තැන ගත් වෛද්‍ය සෆ්රුල්ලා චෞද්‍රි (Dr Zafrullah Chowdhury) ආචාර්ය බාලසුබ‍්‍රමනියම් ගැන ඉතා ගෞරවයෙන් කථා කළා. ‘‘ඩොක්ට බාලා මහජන සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොව පුරා පැතිර සිටින දහස් ගණනක් දෙනා බලාත්මක කළා. මෙය දිගුකාලීන අරගලයක් බවත්, තාවකාලික ජයග‍්‍රහණවලට වඩා ප‍්‍රතිපත්තිමය මට්ටමේ හා චින්තන වෙනසකට කි‍්‍රයා කළ යුතු බවත් ඔහු අපට නිතර සිහිපත් කළා.’’

මහාචාර්ය බිබිලේ මා කිසි දිනෙක මුණ නොගැසුණත් ආචාර්ය බාලසුබ‍්‍රමනියම්ට කොළඹ විද්වත් තලයන්හිදී මා සවන් දී තිබෙනවා. ඔහු බහුශ‍්‍රැත වූත්, මිත‍්‍රශීලී වූත්, නිහතමානී චරිතයක් බව මට මතකයි.

තමන්ගේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කරගන්නට රාජ්‍ය නිලධාරීන්, ඖෂධ සමාගම්වල නියෝජිතයන් ඇතුඵ අදාල හැම කෙනකු සමග ම ඔහු සන්සුන්ව සාකච්ඡා කළා. ආවේගශීලී වූයේ නැහැ. මෙබඳු අරගලයන්හි මුඛ්‍ය අවශ්‍යතාවයක් වන්නේත් එයයි.

2007දී Ceylon Medical Journal වෛද්‍ය සඟරාවෙහි ලිපියක් ලියමින් වෛද්‍ය මහාචාර්ය කොල්වින් ගුණරත්න කීවේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වී ලෝක ව්‍යාප්ත මට්ටමේ ලොකු ම බලපෑම කළ වෛද්‍යවරයා කේ. බාලසුබ‍්‍රමනියම් බවයි. (අකල් මරණය නිසා බිබිලේ ගමන කෙටි වූ බැවින්.)

2011දී බාලසුබ‍්‍රමනියම් මිය ගිය පසු ලෝකයේ ඉහළ ම පෙළේ වෛද්‍ය පර්යේෂණ සඟරාවක් වන The Lancet ඔහු හැදින්වූයේ ‘ලොව සිටි ඉතා ම දැනුවත් හා අධිෂ්ඨානශීලී සෞඛ්‍ය කි‍්‍රයාකාරියකු’ ලෙසටයි. http://tiny.cc/LancetKB

මේ තරම් ලෝක කීර්තියට පාත‍්‍ර වූ මේ ලංකා පුත‍්‍රයා ගැන දන්නේ වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් පිටත කී දෙනාද? තරුණ වෛද්‍යවරුන් පවා කී දෙනෙක් මේ චරිතය ගැන අසා දැනුවත් ද? බිබිලේටත් වඩා සාර්ථක වූ මේ විද්වතා ගැන සිංහල මාධ්‍යවල කථා නොකරන්නේ ඇයි?

මාධ්‍ය ප‍්‍රසිද්ධිය නොපතා, නිහඩව අඩසියවසක් ප‍්‍රතිපත්ති හා බුද්ධිමය මට්ටමේ මාහැගි මෙහෙවරක් කළ බාලසුබ‍්‍රමනියම්, අද කාලේ ක්‍ෂණික සේනක බිබිලේලා වන්නට තැත් කරන අයට හොඳ ආදර්ශයක්!

බිබිලේ මගෙහි යන තවත් විද්වතුන් සිටිනවා. කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය ඉගැන් වූ වෛද්‍ය කි‍්‍රශාන්ත වීරසූරිය එක් උදාහරණයක්. දැන් ඔහු ජිනීවා නුවර WHO මූලස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ජාත්‍යන්තර විද්වත් කමිටුවේ ලේකම්වරයා.

මහාචාර්ය බිබිලේ හා ආචාර්ය බාලසුබ‍්‍රමනියම් වැනි විද්වතුන් ක‍්‍රමීය මට්ටමෙන් ප‍්‍රශ්න විග‍්‍රහ කොට, සංකීර්ණ සමාජයේ වෙනස්කම් කිරීමේදී මතු වන අභියෝග මනා ලෙස හඳුනා ගෙන සිටියා. උපක‍්‍රමශීලීව, සියුම් ලෙස තමන්ගේ කරුණු හා තර්ක ගොනු කරමින්, විවිධ ක්‍ෂෙත‍්‍රවල හා රටවල මිතුදම් වර්ධනය කරමින්, බුද්ධිමය සංධාන ගොඩ නැගුවා.

මෙබඳු ප‍්‍රතිසංස්කරණවලට නොවරදවා ම විරුද්ධ වන බව දන්නා (ඖෂධ සමාගම් වැනි) පාර්ශ්වයන් ද සංවාදවලට සහභාගී කර ගත්තා. ඔවුන්ට ප‍්‍රසිද්ධියේ පහරදීමට ගියේ නැහැ. ඒ වෙනුවට මහජන අභිවෘද්ධියට නිසැකව දායක වන ප‍්‍රගතිශීලී පියවරවලට ප‍්‍රසිද්ධියේ ඔවුන්ගේ කැමැත්ත ද ලබා ගැනීමට උත්සුක වුණා.

මේවා කඩාකප්පල් කිරීමට අල්ලස්, තර්ජන, ආදිය මතුවිය  හැකි බව දැන සිටියා. තමන්ගේ අවංක බව හා පාරදෘශ්‍ය කි‍්‍රයා කලාපය හරහා ආදර්ශමත් වුණා. තමන් අතින් වැරදි සිදු වූ විට වහා නිවැරදි කර ගත්තා.

මාධ්‍යවලින් සංතෘප්ත වී ඇති අද කාලේ මාධ්‍ය හරහා ද මෙබඳු අරගලයන් කළ යුතු බව ඇත්තයි. එහෙත් ප‍්‍රශ්නයේ ප‍්‍රතිපක්‍ෂයට නිග‍්‍රහ කරමින්, බරපතල චෝදනා නගමින් ආවේගශීලී වනවා වෙනුවට සමාජයට තොරතුරු සන්නිවේදනය කළ හැකි වෙනත් ශෛලීන් තිබෙනවා.

‘රටට වස කැවීමේ ජාත්‍යන්තර ක‍්‍රමන්ත‍්‍රණ’ ගැන කථා කිරීම හරහා අහිංසක ජනයා බියපත් කොට ව්‍යාකූල කරනවාට වැඩි විද්වත් බවක් අප වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වනවා.

බිබිලේ ගිය මගෙහි අයාලේ ගියාට පමණක් මදි. බිබිලේ බහුවිධ දුෂ්කරතා මැද උපක‍්‍රමශීලීව ප‍්‍රතිපත්ති හා චින්තන මට්ටමේ වෙනසක් කළෙ කෙසේ ද යන්නත් ඔහුගේ අනුගාමිකයන් වූ බාලසුබ‍්‍රමනියම් හා වීරසූරිය වැනි අය ඉන් ඔබ්බට බුද්ධිමය අරගලය ගෙන ගියේ කෙසේ ද යන්නත් සමීපව විමසා බැලීම ඉතා වැදගත්.

සිවුමංසල කොලූගැටයා #132: මේ බිල්ලෝ කවුද? එන්නේ කොහි සිටද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the recent controversy surrounding food safety of imported milk powder, and how certain medical doctors and scientists conducted themselves.

I wrote on the same topic last week in my English column (but this is NOT a translation):  When Worlds Collide #80: When politicians turn to science for evidence…

Conspiracy theories!හරිහැටි හඳුනා නොගත්, විමර්ශනයට ලක් නොවූ, එහෙත් බියකරු යැයි බහුලව පිළිගැනෙන බිල්ලන් ගැන කථා කියා කුඩා දරුවන් මෙල්ල කිරීම සමහර වැඩිහිටියන්ගේ සිරිතක්. (එසේ නොකරන මෙන් ළමා මනෝවෛද්‍යවරුන් අවවාද කරනවා.)

පොදුවේ ජන සමාජයට අදාල හා වැදගත් කරුණු සම්බන්ධයෙන් ද දැන් වඩ වඩාත් බිල්ලන් දැකීම හා බිල්ලන් ගැන කථා කිරීමෙන් ස්වයං බියට පත් වීම සිදු වනවා. මේ ‘බිල්ලා’ නිශ්චිතව විග‍්‍රහ කැරෙන්නේ නැහැ. ජන සමාජයට නිතර මතුකර දක්වන බිල්ලා තනි පුද්ගලයකුට වඩා ප‍්‍රපංචයක්. නැතිනම් ප‍්‍රවාහයක්. එය නියෝජනය කරන්නේ අප නොදන්නා, අපට නුහුරු, නුපුරුදු, පිටස්තර සියල්ලයි.

‘බිල්ලා’ යයි කෑ මොර ගසන අය තමන්ගේ පෞද්ගලික මතවාදයට අනුව හා එදිරිවාදිකම්වලට ගැලපෙන පරිදි බිල්ලා නිර්වචනය කරනවා. එය බහුජාතික සමාගම්, බටහිර රටවල්, විදෙස් රහස් ඔත්තු සේවා, කොටි සංවිධානයේ අවශෙෂයන් ආදියෙන් පටන් ගෙන පිටසක්වල ජීවීන් තරම් අභව්‍ය අන්තයකට විහිදිය හැකියි!

ඕනෑ ම සමාජයක ප‍්‍රශ්න හා ගැටඵ තිබෙනවා. සමහරක් සොබාවිකව මහපොළවෙන්, දේශගුණයෙන් මතුව එනවා. තවත් ඒවා තාක්‍ෂණයන් භාවිතය නිසා හෝ මානව ඇදහිලි හා විශ්වාස නිසා හෝ හට ගන්නවා. ගැටඵ හා අර්බුද නැති මානව සමාජයක් ලොව කිසි තැනෙක නැහැ. බියවීමට ලැදි නම් එයට හේතු කර ගත හැකි බොහෝ දේ අප අවට තිබෙනවා.

අතීතයේ ජන සංඛ්‍යාව හා සමාජ සංකීර්ණත්වය අඩු යුගවල පවා වෙනස් ආකාරවල අර්බුදයන්ට හැම ශිෂ්ටාචාරයක් ම මුහුණ දුන්නා. තමන්ට මතු වන හැම ගැටඵවකදී හා අභියෝගයකදී ම ගවේෂණාත්මකව කරුණු විමසා බලා, තුලනාත්මකව නිගමනවලට එළඹීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. එය පෙරදිග දර්ශනයන් (කාලාම සූත‍්‍රය) මෙන් ම නූතන විද්‍යාවෙහිත් මූලික සම්ප‍්‍රදායක්.

එසේ නොකර, සිහිවිකල් වූවන් ලෙසින් මොර ගාමින් එහෙ මෙහෙ දිවීම පරිනත පුද්ගලයන්ගේ චර්යාවක් නොවෙයි. කැලේ නිදා සිටි හාවා තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණු විගස බියපත් වී, කලබල වී අහස කඩා වැටෙනවා කියූ කථාව අප දන්නවා. අද සමහර ප‍්‍රශ්න හමුවේ අපේ ඇතැම් උගතුන්, කලාකරුවන් හා ජනමතයට බලපෑම් කරන තවත් උදවිය හැසිරෙන්නේත් හරියට ඒ බොළඳ හාවා වගෙයි!

ප‍්‍රකෘති ඇසට නොපෙනෙන, අපේ අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන් එක්වර ග‍්‍රහණය කොට තේරුම් ගත නොහැකි සිදුවීම් විග‍්‍රහ කරන්නට අදාල ක්‍ෂෙත‍්‍රවල විශෙෂඥයන්ගේ පිහිට හා උපදෙස් පැතීමට සිදු වනවා. මීට සියවස් ගණනකට පෙර නම් එවකට තිබූ දැනුම් ක්‍ෂෙත‍්‍ර ගණනාවක් ප‍්‍රගුණ කළ ප‍්‍රාඥයෝ සිටියා. එහෙත් දැනුම බොහෝ පුඵල් වී ඇති අද කාලයේ විශෙෂඥ බව වඩ වඩාත් නිශ්චිත වී තිබෙනවා.

වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය උදාහරණයකට ගත හොත් විශෙෂඥ ක්‍ෂෙත‍්‍ර රාශියක් ඒ තුළ හමු වනවා. වසර ගණනක් ශාස්ත‍්‍ර උගෙන, අත්දැකීම් හා පළපුරුද්ද ලැබූ විශෙෂඥයන් තමයි කාලීන ගැටඵ විසඳන්නට කැඳවනු ලබන්නේ. ඔවුන් කරුණු විමසා, තුලනාත්මකව හා මැදහත්ව විග‍්‍රහයක් දෙනු ඇතැයි සමාජය අපේක්‍ෂා කරනවා.

විශෙෂඥ දැනුම ඇති විද්වතුන් රටේ තීරණාත්මක සංවාදවලදී කෙසේ තම විද්වත් මතය දැක්විය යුතු ද? එබඳු අවස්ථාවල මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කැරෙන, ඇතැම් බලපෑම් කරන කණ්ඩායම් විසින් ප‍්‍රබල ලෙස ප‍්‍රවර්ධනය කැරෙන ‘ජනපි‍්‍රය’ මතවාදවලට ම සහාය පළ කළ යුතු ද? නැතිනම් තම විශෙෂඥ දැනුමෙන් හා අත්දැකීමෙන් පසක් කරගත් දේ නොබියව හා නොපැකිළි ප‍්‍රකාශ කළ යුතු ද?

එසේ කරන විග‍්‍රහය සමහර විට ජනපි‍්‍රය රැල්ලේ විශ්වාස හෝ කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් සනාථ නොකර ඒවාට එරෙහිව ද යා හැකියි. මෙයට උදාහරණයක් ලෙස මා දකින්නේ ජනපි‍්‍රය බෞද්ධ භික්‍ෂුවක් වූ ගංගොඩවිල සෝම හිමියන් 2003 දෙසැම්බර් 12 වනදා රුසියාවේදී අපවත්වීමට පසු මෙරට මතුව ආ ජන කම්පනය හා විවිධ තර්ක විතර්කයි.

එහිමියන්ගේ මරණය ස්වාභාවික හේතු නිසා වූවක් නොව කුමන්ත‍්‍රණයක කොටසක් බව සමහරුන්ගේ මතය වුණා. දේහය මෙරටට ගෙන ආ පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය කළේ රුහුණ සරසවියේ අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්ය හා එම ක්‍ෂෙත‍්‍රයේ මෙරට සිටි ප‍්‍රවීණතම විශෙෂඥයා වූ වෛද්‍ය චන්ද්‍රසිරි නිරිඇල්ලයි.

Professor Chandrasiri Niriella
Professor Chandrasiri Niriella

අධික දියවැඩියාවෙන් පෙඵණු සෝම හිමියන්ගේ හෘදයේ රුධිර නාලයක ලේ කැටියක් සිරවීමෙන් මරණය සිදුවූ බවත්, එය ගැන කිසිදු දෙගිඩියාවක් නැති බවත් රට ම පිළිගත් මේ විද්වතා තීරණය කළා.

මේ විද්වත් නිගමනය ප‍්‍රකාශයට පත් වූ විට එය ආන්දෝලනයට තුඩු දුන්නේ එය කුමන්ත‍්‍රණවාදී තර්කයන්ට අනුගත නොවූ නිසයි. මේ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා දැඩි බලපෑම්වලට ලක් වූ බව ඔහුගේ සමීපතයන් හරහා මා අසා තිබෙනවා. දහස් ගණනක් වෛද්‍යවරුන් මෙරටට බිහි කළ කීර්තිමත් මහාචාර්යවරයාගේ අවංක බව, තාක්‍ෂණික හැකියාව ආදියත් සමහරුන් ප‍්‍රශ්න කළා. එහෙත් ඔහු 2007 මිය යන තුරු කිසි ලෙසකින්වත් එම නිගමනය වෙනස් කළේ නැහැ.

මෑතදී කිරිපිටි සිදුවීමේදී සමහර වෛද්‍යවරුන් හා වෙනත් විද්‍යාඥයන් කි‍්‍රයා කළ ආකාරය ගැන බලා සිටින අපට ප‍්‍රශ්න මතු වනවා. ඔවුන් ටෙලිවිෂන් හරහා ආවේගශීලීව කථා කළේ රටක් ජාතියක් බේරා ගැනීමට කරන මහා සටනක හවුල්කරුවන් විලසින්. එසේ පෞද්ගලික මත දැරීමට ඔවුන්ට පූර්ණ නිදහසක් ඇතත් විද්වත් ස්ථාවරයක් ද එයට ආරෝපණය කිරීම විවාදාත්මකයි.

විද්‍යාව හා තාක්‍ෂණය මහජන සුබසිද්ධියට හරිහැටි යොදා ගත හැකි වන්නේ ප‍්‍රතිපත්ති සම්පාදක දේශපාලකයන් විද්‍යාත්මක තොරතුරු හා විග‍්‍රහයන් භාවිත කරන සැටි ඉතා සුපරීක්‍ෂාකාරීව බලා සිට එහි විසමතා, පරස්පරයන් හා සැක කටයුතු තැන් පෙන්වා දීමෙන් පමණයි. විද්‍යාවේ නාමයෙන් පෞද්ගලික මතවාදයන් ප‍්‍රවර්ධනයට ඉඩ නොදිය යුතුයි.

2013 ජුලි 31 වනදා හෘදයාබාධයකින් හදිසියේ (ස්වාභාවිකව) මියගිය මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන් මේ ගැන දිගු කලක් තිස්සේ අවධානය යොමු කළා. විද්‍යා ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් ඇති ‘Nature’ හා ‘Science’ නම් විද්වත් පර්යේෂණ සඟරා දෙකෙහි ම සේවය කළ ඬේවිඞ්, ලෝකයේ සිටි ප‍්‍රවීණතම විද්‍යා මාධ්‍යවේදියෙක්.

ඔහු දිගටම තර්ක කළේ විද්‍යාවේ නාමයෙන් විවිධ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග හඳුන්වා දෙන විට ඒ ගැන විද්‍යාඥයන් ඉතා සුපරීක්‍ෂාකාරී විය යුතු බවයි.

ඬේවිඞ් කියා සිටියේ ආචාර්ය උපාධියක් හෝ මහාචාර්ය තනතුරක් හෝ යම් විද්‍යාඥයකුට තිබූ පමණට ඔහු හෝ ඇය හැම විද්‍යාත්මක ක්‍ෂෙත‍්‍රයක් ගැන ම විද්වත් විග‍්‍රහයන් පළ කිරීමේ විසල් හැකියාව ඇත්තකු නොවන බවයි.

ඬේවිඞ් කී හැටියට ‘‘ලබා ගත හැකි හොඳම විද්‍යාත්මක සාක්‍ෂි හා විග‍්‍රහයන් ප‍්‍රතිපත්ති සම්පාදනයට යොමු කිරීමේ වෘත්තීය වගකිමක් විද්‍යාඥයන්ට තිබෙනවා. ජාතික විද්‍යා ඇකඩමිවල එක් වගකීමක් වන්නේ විද්‍යාත්මක සාක්‍ෂි හා උපදෙස් මත පදනම් වී රජයන් ගන්නා ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග සමීපව අධ්‍යයනය කිරීමයි. විද්‍යාවේ නාමයෙන් වැරදි දේ කරන විට ඒ ගැන ප‍්‍රසිද්ධියේ පෙන්වාදීමයි.’’

SciDev.Net 13 Aug 2009: The curse of policy-based evidence by David Dickson

බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුව මේ ගැන පාර්ලිමේන්තු කොමිටියක් හරහා 2006දී විමර්ශනය කළා. එහි අවසන් වාර්තාවේ අවධාරණය කළේ ‘‘කල් තබා ගන්නා ලද ප‍්‍රතිපත්තිමය තීරණ සනාථ කරනු පිණිස විද්‍යාත්මක සාක්‍ෂි හෝ උපදෙස් අදාල කර ගැනීම ඇමතිවරුන් විසින් නොකළ යුතු’’ බවයි.

අද දවසේ ආර්ථිකය හා ජනජීවිතය සම්බන්ධ බොහෝ කරුණු අරභයා විද්‍යාව හෝ තාක්‍ෂණය සම්බන්ධ වන බවත්, එහිදී වඩාත් ම ප‍්‍රශස්ත හා දුරදර්ශී ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලයේ සිටින දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට විශෙෂඥයන්ගේ විද්වත් මග පෙන්වීම හා උපදෙස් උදක් ම  ඕනෑ වන බවත් එම වාර්තාව පෙන්වා දුන්නා. එසේ උපදෙස් ගැනීම හා ඒවා ප‍්‍රතිපත්ති සම්පාදනයට අදාල කර ගැනීම පාරදෘශ්‍ය, සංවාදශීලී හා වගකීම් සහගත පදනමක් මත සිදු කළ යුතු බවත් එය අවධාරණය කළා.

Scientific Advice, Risk and Evidence Based Policy Making, 2006

David Dickson
David Dickson

ඬේවිඞ් ඩික්සන් කීවේ: ‘‘තමන්ගේ විශෙෂඥ ක්‍ෂෙත‍්‍රය නොවන වෙනත් විද්‍යාත්මක ගැටඵවක් ගැන ‘විද්වත්’ මත දක්වන්නට ඉදිරිපත් වෙමින් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින විද්‍යාඥයන් ගැන විශෙෂ අවධානයක් යොමු කළ යුතුයි. එබඳු විද්වතුන් හා දේශපාලකයන් අතර කලක සිට පැවතෙන මිත‍්‍රත්වයක් තිබේ ද? විද්වතාට මෙසේ මත පළ කිරීමෙන් වාසි සැළසේ ද? මේවා සොයා බැලිය යුතුයි.’’

ඬේවිඞ්ගේ විග‍්‍රහයට අනුව මේ වගකීමෙන් කොටසක් මාධ්‍යවලටත් පැවරෙනවා. නමුත් විද්‍යාවේ නිසි භාවිතයන් හා නොතිසි භාවිතයන් වෙන්කර හඳුනාගැනීම බොහෝවිට අසීරු කාරියක් බවත්, ඒ සඳහා විචාරශීලී මාධ්‍යවේදීන්ට මැදහත්, අපක්‍ෂපාත හා පොදු උන්නතියට කැපවූ විද්‍යාඥයන්ගේ සහාය අවශ්‍ය බවත් ඔහු කියා සිටියා.

ඕනෑ ම නාමධාරී විද්වතකු කියන දේ තර්කානුකූල ද එයට පදනම් වන සාක්‍ෂි මොනවාදැයි ඇසීමේ වරම මාධ්‍යවේදීන්ට තිබෙනවා. මාධ්‍යවේදීන් යනු කියවන විට ලිවීම (dictation) ලබා ගන්නා ලඝුලේඛකයන් නොවෙයි.

මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන සැමට අවශ්‍ය වැදගත් කුසලතාවයක් වන්නේ සංශයවාදී වීමයි (sceptical). එනම් කියන්නා කෙසේ කීවත්  ඕනෑ ම දෙයක් විචාරශීලීව ග‍්‍රහණය කිරීමයි. කියන්නාගේ තරාතිරම කුමක් වුව ද එසේ කිවූ පලියට බාර නොගත යුතුයි.

වෙළඳ සමාගම් විසින් ගාස්තු ගෙවා පර්යේෂණායතන හරහා කරවා ගන්නා පරීක්‍ෂණ හා විමර්ශන ප‍්‍රතිඵල ගැන සංශයවාදීව සිතීමට මාධ්‍යවේදීන් පුහුණුව ලබා සිටිනවා. ඒ හා සමානව වූ සංශවාදී බවකින් ඔවුන් දේශපාලකයන් විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රතිඵල ගැන කථා කරන විටද එයට ප‍්‍රතිචාර දැක්විය යුතුයි.

රජයක යම් ප‍්‍රතිපත්තියක් හෝ කි‍්‍රයාවක් සාධාරණීකරණය කිරීමට බලයේ සිටින දේශපාලකයකු විද්‍යාත්මක සාක්‍ෂි ගෙන හැර දක්වන විට මාධ්‍යවේදීන් ඇසිය යුතු ම වන ප‍්‍රශ්න තිබෙනවා. මේ පර්යේෂණවලට ගෙවීමක් කළේ රජය විසින් ද? නැතහොත් එකී පර්යේෂණ කළෙ රජය විසින් පවත්වාගෙන යන පර්යේෂණායතනයක් මගින් ද? එහිදී ලබාදෙන ප‍්‍රතිඵල කෙතරම් අපක්‍ෂපාතී විය හැකි ද?

නූතන විද්‍යාව යනු ආගම් මෙන් අන්ධ භක්තිය මත පදනම් වූවක් නොවෙයි. විද්‍යාවේ පරම සත්‍යයන් නැහැ. හැම නිගමනයක් ම සංවාදයට විවෘතයි. කෙතරම් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වුවත් තමන් නිගමනයකට එළඹීමේ පදනම පහදා දීමට බැදී සිටිනවා. එය එසේ ඉල්ලා සිටිමට ජන සමාජයට හා ජන මාධ්‍යවලට අයිතියක් ද තිබෙනවා.

කිරි කළයකට ගොම ටිකක් වැටුණා වගේ යයි ප‍්‍රකට කියමනක් තිබෙනවා. ඉතා පිවිතුරු දෙයකට අපවිත‍්‍ර සුඵ යමක් මුසු වුවත් එනිසා එය අපතේ යා හැකියි. මහජන විශ්වසනීයත්වය (public credibility) යන්නත් එබඳු සංසිද්ධියක්. එය වෙර වෑයමින් ගොඩ නගා ගත යුතු, එහෙත් ලෙහෙසියෙන් අපවිත‍්‍ර වී කෙලෙසී යා හැකි දෙයක්.