සිවුමංසල කොලූගැටයා #65: විකල්ප ඉතිහාසයන් සොයා යන ගමනක්…

Journalists are trained to ask six basic questions in pursuit of their stories. “What If?” is not among them – but is one of my personal favourites. I’ve been fascinated by might-have-beens all my life, at all levels: personal and collective.

In this week’s Sunday column (6 May 2012) in Ravaya newspaper (in Sinhala), I start exploring alternative history possibilities for Sri Lanka where very few creative writers have ventured into that realm. Is this because Lankan history is considered ‘sacrosanct’ by many?

I set off by challenging this widely held assumption, pointing out that history is but a set of chronicles written by the winners and the powerful, that is (or should be!) open to question, scrutiny and speculation. I plan to revisit this theme with specific alternative history scenarios for Sri Lanka in the coming weeks. Watch this space — and make your own suggestions!

What if Germany won World War 2 – and conquered not just Earth, but outer space?

ඉතිහාසය ප‍්‍රබන්ධයක් ද?

මේ සරල ප‍්‍රශ්නය බොහෝ වාද විවාද හා ආන්දෝලයන්ට තුඩු දෙන්නක්. තොරතුරු සමාජයේ ප‍්‍රගමනයත් සමග එදිනෙදා රටතොට සිදුවීම් විවිධාකාරයෙන් වාර්තා කරන මූලාශ‍්‍රයන් තිබෙනවා. ජනමාධ්‍ය ඒ අතර මුල් තැන ගන්නවා. එහෙත් සංවිධානාත්මක මුද්‍රිත මාධ්‍ය බිහි වී වසර 500කට වැඩි කලක් නැහැ. විද්‍යුත් මාධ්‍ය සියල්ල බිහි වූයේ 20 සියවසේදී.

වාර්තාකරණයට හසු නොවූ දිගු කලක් පුරා මිනිස් ශිෂ්ටාචාරයන් හා ජන සමාජයන් ඇති වී, පරිනාමය වී, ඇතැම් විට බිඳ වැටී ගොස් තිබෙනවා. ඒ  ගැන විස්තරාත්මකව හදාරන්නට පුරාවිද්‍යාත්මක සාක්ෂි හා ශාස්ත‍්‍රීය ලිපි ලේඛණ ආදී මුලාශ‍්‍රයන්ට යොමු විය යුතුයි. ඒ සියල්ල පරිශිලනය කිරිමෙන් පසුවත් “ඉතිහාසය” යනු අංග සම්පුර්ණ ලේඛනගත කිරිමක් නොව සිදුවීම් මාලාවක් ගැන එය වාර්තා කරන අයගේ විග‍්‍රහයක් ලෙස සැළකිය හැකියි.

එහෙත් වාර්තාකරණයේදී හෝ ශාස්ත‍්‍රීය විග‍්‍රහයන් කිරිමේදී හෝ බල පවත්වන සාක්ෂි මත පදනම් වීම, මැදහත් වීම ආදී ගුණාංග ප‍්‍රබන්ධ රචකයන්ට අදාල නැහැ. ඒ නිසා ඉතිහාසය පදනම් කර ගෙන විවිධාකාරයේ කල්පනා ලෝක මවන්නට නවකථා හා කෙටිකථා ලියන අයටත්, චිත‍්‍රපට නිපදවන්නන්ටත් පූර්ණ නිර්මාණාත්මක නිදහස තිබෙනවා.

විකල්ප ඉතිහාසයක් ගැන පරිකල්පනය කිරිම ලොව පුරා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයන් අතර ජනප‍්‍රිය තේමාවක්. ඉතිහාසයේ තීරණාත්මක මොහොතක අප දන්නා සිදුවීම වෙනස් ආකාරයකට සිදු වූවා නම් එතැන් සිට ජන සමාජයක, රටක හෝ මුළු ලෝකයේ ම කථාව දිග හැරෙන්නේ කෙසේ ද? විකල්ප ඉතිහාසය කථා (alternative history stories) කියන්නේ මේ ඔස්සේ යමින් ප‍්‍රබන්ධ කිරීමයි.

එහෙත් විකල්ප ඉතිහාසයන්  යනු අතීතයේ සැබෑ සිද්ධීන් විකෘති කිරීම හෝ තමන්ගේ මතවාදයට ගැලපෙන පරිදි ප‍්‍රතිනිර්මාණය කිරීම හෝ නොවෙයි. (එසේ කිරීම මේ දිනවල ඇතැම් රටවල මහත්  ඕනෑකමින් කෙරෙනවා. එයට කියන්නේ revisionist history හෙවත් ප‍්‍රතිශෝධිත ඉතිහාසය කියායි.)

මෙරට සිංහලෙන් ස්වතන්ත‍්‍ර විද්‍යා ප‍්‍රබන්ධ ලිවීම ගැන ගිය වසරේ කොලමකින් (2011 මාර්තු 20) මා විග‍්‍රහ කළා. සිංහල විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් තවමත් හරිහැටි ගවේෂණය කොට නැති බොහෝ සංකල්ප ඇති බව මා පෙන්වා දුන්නා. එයින් එකක් නම් විකල්ප ඉතිහාසයන් මැවීමයි.

ලොව විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ වඩාත් ජනප‍්‍රිය විකල්ප ඉතිහාස තේමාවක් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් මිත‍්‍ර පාක්‍ෂික හමුදා පරාජය වී හිට්ලර්ගේ ජර්මනිය පෙරටු කොට ගත් (ඉතාලිය හා ජපානය ද ඇතුළත් වූ) ප‍්‍රතිපක්‍ෂය ජය ගැනීමයි. මෙය විවිධාකාරයෙන් හසු කර ගත් ප‍්‍රබන්ධ ලියැවී තිබෙනවා. 2006දී රොබට් හැරිස් ලියූ Fatherland නවකථාවේ සිදුවීම් පෙළ දිග හැරෙන්නේ දිවි ඇති තෙක් නායකයා වන හිට්ලර්ගේ 75 වන උපන්දිනය වටායි. (අප අත්දුටු ඉතිහාසයේ නම් පරාජය අබිමුඛව හිට්ලර් සිය දිවි නසා ගත්තේ වයස 56දී.) ප‍්‍රමුඛ පෙළේ බි‍්‍රතාන්‍ය විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු වන ස්ටීවන් බැක්ස්ටර් ද ජර්මනිය දෙවන ලෝක යුද්ධය ජය ගැනීම ගැන ප‍්‍රබන්ධ ලියා තිබෙනවා.

අමෙරිකානු විද්‍යා ප‍්‍රබන්ධ ලේඛක කිම් ස්ටැන්ලි රොබින්සන්ගේ ‘The Years of Rice and Salt‘ නව කථාවේ පදනම මධ්‍ය කාලීන යුරෝපයේ ජනගහනයෙන් සියයට 99ක් ම මහමාරියෙන් මිය යාමයි. අප දන්නා ඉතිහාසයේ මහමාරිය යුරෝපයට  තර්ජනයක් එල්ල කළත් ඒ වසංගතය ජන සමාජයන් අතු ගා දැම්මේ නැහැ. එසේ වූවා නම් කාර්මික විප්ලවය බිහිවන්නේ බි‍්‍රතාන්‍යයෙන් නොව ඉන්දියාවෙන් බවත්, අමෙරිකා මහාද්වීපය සොයා ගෙන එහි ජනවාස ඇති කරන්නේ චීන ජාතිකයන් බවත් ඔහුගේ කථාවේ දිග හැරෙන විකල්ප ඉතිහාසයයි.

වසංගත රෝග, කෘමි උවදුරු හා ස්වාභාවික ව්‍යසන නිසා ගරා වැටුණු හෝ බිඳ වැටුණු මිනිස් ශිෂ්ඨාචාර ගණනාවක් ඉතිහාසයේ තිබෙනවා. අපේ දිවයිනේ වියලි කලාපයේ සහශ‍්‍රයකට වැඩි කලක් පැවති දියුණු ශිෂ්ඨාචාරය හා රාජධානි කෙමෙන් අතරමැදි කලාපයට හා තෙත් කලාපයට සංක‍්‍රමණය වීමට එක් හේතුවක් ලෙස පිළි ගැනෙන්නේ මැලේරියා උවදුරයි. මැලේරියාව ඇති කරන රුධිර පරපෝෂිතයා පැතිරෙන්නේ එක්තරා මදුරු විශේෂයක් හරහා බව සොයා ගත්තේ 1897දී. ඉන්දියාවේ කල්කටාවේ සිටි ඉංග‍්‍රීසි වෛද්‍යවරයකු වූ රොනල්ඞ් රොස් විසින්. එය එසේ නොවී මැලේරියා-මදුරු සම්බන්ධය සියවස් ගණනකට පෙර ලාංකිකයන් තේරුම් ගත්තා නම් අපේ ඉතිහාසය මීට වෙනස් විය හැකි ද? අද අපට කළ හැක්කේ එබදු දේ ගැන අනුමාන හා පරිකල්පනය කිරීම පමණයි.

ඉන්දියානු සාගරයේ වැදගත් සංධිස්ථානයක පිහිටි ලංකා දුපත ප‍්‍රාග් ඉතිහාසයේ මෙන්ම ලිඛිත ඉතිහාස කාලය පුරා ම විවිධාකාර බාහිර සම්බන්ධතා රාශියකට පාත‍්‍ර වී තිබෙනවා. මේවායින් සමහරක් අහිතකර බලපෑම් (උදා: යටත් විජිතවාදීන්). තවත් ඒවා හිතකර බලපෑම් (උදා: ඉන්දියාවෙන් බුදු දහම, ආයුර්වේදය, පාලි – සංස්කෘත හා කලා ආභාෂයන් ලැබීම).

විකල්ප ඉතිහාස සංකල්පයන් ලංකා ඉතිහාසයට අදාල කොට විද්‍යා ප‍්‍රබන්ධ ලියැ වී ඇත්දැයි මා විපරම් කළා. සොයා ගන්නට නැහැ. එයට හේතුවක් නම් අපේ ඉතිහාසය “ශුද්ධ ලියවිල්ලක්” මෙන් ලක් සමාජය සළකන බැවින් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට, පරිකල්පනය කිරීමට බොහෝ දෙනා පැකිලීමයි.

එහෙත් ඉතිහාසය යනු දේව භාෂිතයක් නොවෙයි. ලොව හැමදාමත්, හැම තැනෙකමත් ඉතිහාසය ලියා ඇත්තේ ජයග‍්‍රාහකයන්, ප‍්‍රබලයන් හා බලාධිකාරීන් විසින්. මේ නිසා ඉතිහාසය හැටියට අපට හුරු පුරුදු සංකල්ප බොහෝ දුරට පුරුෂාධිපත්‍යය හා බහුතර කොටස්වල නැඹුරුව පෙන්නුම් කරන ලියැවීම් මිස අපක්‍ෂපාතී ශාස්ත‍්‍රීය විමර්ශන නොවෙයි.

ඉතිහාසය ගැන කථා කිරිමේදී බොහෝ දෙනා ආවේගශීලි වන සැටිත් අපට දැකිය හැකියි. එයට හේතුව තමන්ගේ පෞද්ගලික හා සාමූහික අනන්‍යතාවය රාමු කර ගන්නට ඉතිහාසයේ ඇතැම් සිද්ධින් හෝ ප‍්‍රවාදයන් හෝ උපකාර කර ගැනීමයි. රාමුව යන්තමින්වත් ප‍්‍රශ්න කරනවාට ඔවුන් නොකැමති වන්නේ එයින් තමන් ගොඩ නගා මතවාද හා තර්කයන් බිඳ වැටේ යයි බියකින් විය යුතුයි.

ඉතිහාසය සැබෑ සිදුවීම් මෙන් ම අතිශයෝක්තීන්, ප‍්‍රලාප හා අතරමැදි කථාවලින් සංයුක්ත මිශ‍්‍රණයක්. එහි තනි කතුවරයකු නැහැ. එසේ ම තනි උරුමක්කාරයකුත් නැහැ. මේ නිසා ඉතිහාසය ප‍්‍රවේශමින් පරිහරණය කරනවා වෙනුවට එය වාද විවාද හා සියුම් ශාස්ත‍්‍රීය පරික්ෂාවන්ට ලක් කළ යුතුයි. එමෙන්ම ප‍්‍රබන්ධ නිර්මාණකරුවන්ට තමන් කැමති පරිදි ඉතිහාසයේ සැරිසරන්නට ඉඩ තිබිය යුතුයි.

අපේ රටේ ඈත හා මෑත ඉතිහාසය විකල්ප ඉතිහාසයයන් සඳහා විද්‍යා ප‍්‍රබන්ධ කෝණයෙන් බැලීම තුළින් ඉතිහාසය ගැන අපේ ආකල්ප වෙනස් කළ හැකි ද?

* 1959 සැප්තැම්බර් 25 වනදා අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට කුමන්ත‍්‍රණකාරී සාහසිකයා එල්ල කළ වෙඩි පහරවල් නොවැදුණා නම්?

* 1962 ජනවාරි 27 වනදා සිරිමාවෝ බණ්ඩාරනායක රජය පෙරළන්නට තැත් කළ හමුදා කුමන්ත‍්‍රණය සාර්ථක වූවා නම්?

* 1993 මැයි 1 වනදා මැයි දින පෙළපාලියට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාස නිරුපද්‍රිතව බේරුණා නම්?

Imaginary TIME Cover – What if JFK survived assassination attempt

මේ අයුරින් මෑත ඉතිහාසයේ තීරණාත්මක අවස්ථා ගැන අපට විවිධාකාරයෙන් පරිකල්පනය කළ හැකියි. (වෙනත් රටවලත් ඔවුන්ට අදාළ දෛවෝපගත සිදුවීම් ගැන මෙසේ ප‍්‍රබන්ධ කැරෙනවා: මහත්මා ගාන්ධි හෝ ජනාධිපති ජෝන් කෙනඩි ඝාතන උත්සාහයන් අසාර්ථක වූවා නම්?)

මා ඉතිහාසඥයකු නොවෙයි. මේ නිසා විකල්ප ඉතිහාස පරිකල්පනය තනිවම කරන්නේ නැතිව මා දන්නා හදුනන විද්වතුන් කිහිප දෙනකුට මෙරටට අදාලව තමන්ගේ ප‍්‍රියතම විකල්ප ඉතිහාසයන් යෝජනා කරන ලෙස මා ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් මතු වූ විකල්ප ඉතිහාස අදහස් අපට “නොගෙවුණු කාල” (might-have-beens) හැටියට සළකමින් ඉතිහාසගත සිහින දකින්නට යොදා ගත හැකියි.

ඉදිරි කොලම්වලින් මෙරට ඈත – මෑත ඉතිහාසයේ ප‍්‍රකට මෙන් ම අප‍්‍රකට තීරණාත්මක සිදුවීම් අරභයා විකල්ප ඉතිහාසයන් ගැන පරිකල්පනය කරන්නට මා අදහස් කරනවා. මෙයට පාඨක ඔබටත් දායක විය හැකියි. තනි වැකියකින් හෝ ජේදයකින් ඔබේ ප‍්‍රියතම විකල්ප ඉතිහාසය ලියා එවන්න. ravaya at nalaka.org

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: