සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

“Of all the institutions arrayed with and against a President, none controls his fate more than television,” President Richard Nixon wrote in 1989, some 16 years after he resigned.

TV reporters, he said, in many ways “are political actors just like the President, mindful of their ratings, careful of preserving and building their power.” The media, he wrote, “have to be outfoxed, outflanked and outperformed.”

As Los Angeles Times noted shortly after Nixon’s 1994  death, his relationship with broadcast television was an especially chequered one. But then, many politicians around the world struggle on how get the best out of this pervasive yet demanding medium that can make or break a political career in our media saturated times.

In this week’s Ravaya column (in Sinhala language), I look at how Lankan politicians across the political spectrum have risen to this challenge. It’s a fair question to ask now that we’ve had broadcast TV for 35 years, and our first ‘Television Generation’ has grown up — and some of them are active in politics. I haven’t seen this aspect explored in academic writing, but hope my views inspire more detailed study of this fascinating topic…

Cartoons are by my one-time senior colleague W R Wijesoma.

Cartoon by W R Wijesoma, first published in The Island on 24 January 1989

Politicians playing havoc on TV: Cartoon by W R Wijesoma, first published in The Island on 24 January 1989

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට හෝ පළාත් පාලන ආයතනවලට තේරී පත්වීමේ ක‍්‍රියාදාමය අද අපේ රටේ මැතිවරණ පොරයක් බවට පත්ව තිබෙනවා.  එහිදී අපේක්‍ෂකයන් යම් ප‍්‍රතිඥා හා පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරිමත්, ඒවාගේ ගුණාගුණ විවාදයට ලක් කිරීමත් පුළුල්ව කැරෙනවා.

පත‍්‍රකලාවේදී මලල්ගොඩ බන්දුතිලක සූරීන් ලියූ ‘ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය’  ග‍්‍රන්ථයට අනුව මෙරට ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම ඇරඹුණේ 1911දී.  එහෙත් මුළු ලංකාවට ම ඡන්ද කොට්ඨාශ 4කින් පටන් ගත් මැතිවරණ ක‍්‍රමවේදය පුළුල් වූයේ 1931දී සර්වජන ඡන්දය ලැබීමෙන් පසුවයි. 1947 මහ මැතිවරණය තෙක් දේශපාලන පක්‍ෂ වශයෙන් තරග කිරීම වෙනුවට අපේක්‍ෂකයන් තමන්ගේ පසුබිම හා ජනප‍්‍රියත්වය මත ඡන්ද දිනා ගැනීම සිදු වූවා.

1947න් පසු දේශපාලන පක්‍ෂ වශයෙන් සංවිධානගත වී මැතිවරණ තරග කිරීම බහුලව කෙරුණත් ජනකාන්ත චරිත පෙරමුණට ගැනීම දශක ගණනක් තිස්සේ මෙරට මැතිවරණ ව්‍යාපාරවල පැවති ලක්‍ෂයක්.

20 වන සියවසේ මැතිවරණවලට සාපේක්‍ෂව වත්මන් මැතිවරණ ව්‍යාපාර ශෛලියෙන් හා ක‍්‍රමවේදයෙන් වෙනස් වන්නේ කෙසේ ද?  (අප කථා කරන්නේ දේශපාලන සංස්කෘතිය ගැන නොවෙයි.)

මැතිවරණ සඳහා නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් සූක්‍ෂම ලෙස යොදා ගැනීම වඩාත් ප‍්‍රබලව මතුව තිබෙනවා.  මෙරට වඩාත් සමාජගත වූ ජන මාධ්‍යය වන ටෙලිවිෂන්, මැතිවරණවලට හා දේශපාලන ප‍්‍රතිරූප ගොඩනැංවීමේදී කෙතරම් වැදගත් සාධකයක් ද? (නිල සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන පරිදි තව දුරටත් රේඩියෝව නාගරිකව හෝ ග‍්‍රාමීයව හෝ අංක එක තැනෙහි නැහැ!)

මේ ගැන මෙරට විද්වත් පර්යේෂණ කෙරී ඇත්දැයි මා විපරම් කළත් එබදු සොයා ගැනීම් ප‍්‍රකාශිතව නැහැ.  ටෙලිවිෂන් ආගමනයෙන් 35 වසරක් ගෙවී ඇති නිසා මේ පැතිකඩට මාධ්‍ය හා සමාජ විද්‍යා පර්යේෂකයන් අවධානය යොමු කළ යුතු යයි මා සිතනවා. එයට තුඩු දිය හැකි මූලික අදහස් දැක්වීමක් අද කරනවා.

ජාතික මට්ටමේ මැතිවරණවලට තරග කරන දේශපාලන පක්‍ෂවලටත්, ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ටත් රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් ගුවන් කාලය ලබා දීම කලෙක සිට ක‍්‍රියාත්මක වනවා.  එහෙත් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා රැසක් තිබෙන අද කාලේ වැඩිපුර ප‍්‍රතිරූප ගොඩනැංවෙන්නේ ටෙලිවිෂන් සංවාද හා ප‍්‍රවෘත්ති ආවරණය හරහායි.

හැම දේශපාලන පක්‍ෂයටම හා දේශපාලන චරිතයටම එක සේ පෞද්ගලික ටෙලිවිෂන් ආවරණය ලැබෙන්නේ නැහැ.  (එයට පසුබිම් වන විසමතා හා එහි දිගු කාලීන විපාක වෙනම විග‍්‍රහ කළ යුතුයි.)  එසේම කෙතරම් ගුවන් කාලයක් ලැබුණත් එයින් හරිහැටි ඵල නෙලා ගැනීමට කුසලතාවය නැති චරිත ද සිටිනවා.  මෙය අපට වඩා දිගු ටෙලිවිෂන් ඉතිහාසයක් ඇති ඇමරිකාව, යුරෝපය හා ජපානය වැනි සමාජයන්හි ද හමු වන විසමතාවයක්.

‘ටෙලිවිෂන් යුගයේ මුල්ම ජන නායකයා’ හැටියට පිළිගැනෙන ජෝන් එෆ්. කෙනෙඩි ගැන 2013 නොවැම්බර් 24 වනදා කොලමින් විග‍්‍රහ කළා. කෙනෙඩිගේ මාධ්‍ය ආදර්ශය එදා මෙදා තුර ලොව පුරා දේශපාලකයන් සමීපව අධ්‍යයනය කරනවා.  සහජ හැකියාව, වාග්චාතුර්යය, සුහද බව, හාස්‍යජනක බව හා අවශ්‍ය පමණට ගැඹුරුවීම වැනි ගුණාංග රැසක සියුම් සංකලනයක් කෙනෙඩිගේ සාර්ථකත්වයට හේතු වූවා.

John F Kennedy (left) and Ronand Reagan

John F Kennedy (left) and Ronand Reagan

පසු කලෙක මාධ්‍ය හරහා හෘදයාංගම ලෙස සිය ජනතාවට සමීප වීමට සමත් ලෝක නායකයන් අතර රොනල්ඞ් රේගන් හා නෙල්සන් මැන්ඩෙලා කැපී පෙනුණා.  වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දුන් හැටි 2013 ඔක් 20 වනදා කොලමින් අප කථා කළා.

දකුණු ආසියාවේ රාජීව් ගාන්ධි, බෙනාසීර් භූතෝ හා මොහමඞ් නෂීඞ් ටෙලිවිෂන් ජය ගත් නායකයන් බව මගේ තක්සේරුවයි.  රාජ්‍ය බලය හෝ ව්‍යාපාරික සහයෝගය හෝ හරහා වැඩි ගුවන් කාලයක් තමන්ට ලබා ගන්නවා වෙනුවට සූක්‍ෂමව හා නිර්මාණශීලිව ටෙලිවිෂන් මාධ්‍යය මෙහෙයවීමේ කලාව මේ නායකයන් දැන සිටියා.

(බෙනාසිර්ගේ ටෙලිවිෂන් ප‍්‍රධානියා හා නෂීඞ්ගේ මාධ්‍ය උපදේශකවරයා මුණ ගැසී මා කථාබහ කොට තිබෙනවා.  ඔවුන් දෙපල ම කීවේ කෙතරම් ධනයක් හා තාක්‍ෂණයක් තිබුණත් අවසන් විනිශ්චයේදී තම දේශපාලන නායකයන් ජනතාවට සමීප වූයේ ඒ සාධක නිසා නොව සහජ හැකියාව හා ආයාසයෙන් ප‍්‍රගුණ කර ගත් ටෙලිවිෂන් හරහා ජනතාව ඇමතීමේ හැකියාව නිසා බවයි.)

ටෙලිවිෂන් හරහා දේශපාලනය විද්‍යාවකට වඩා කලාවක්.  එය මුළුමනින් ශාස්ත‍්‍රාලීය පර්යේෂණ හරහා තේරුම් ගැනීම අපහසුයි. ‘ටෙලිවිෂන් අත් ගුණය’ කියා යමක් සමහර දේශපාලකයන්ට හා ජන නායකයන්ට තිබේ යයි මට සිතෙනවා. ඉංග‍්‍රීසි බසින් media savvy කියනවා (මාධ්‍ය භාවිතයේ බුහුටි බව).

ටෙලිවිෂන් හරහා ජනහද දිනන්නට රූපකාය හා වාග් චාතුර්යය පමණක් සෑහෙන්නේ නැහැ. Charisma යයි ඉංගී‍්‍රසියෙන් කියන සිත් ඇද ගන්නා ජනකාන්ත ගුණය ද තිබිය යුතුයි. එයටත් වඩා තීරණාත්මක වන්නේ නිර්ව්‍යාජ වූ මිත‍්‍රශීලී බවක් තිබීමයි. එය ආයාසයෙන් මතු කර ගන්නට අමාරුයි. සමහරුන්ට එය සොබාවයෙන් පිහිටනවා.

මහජන රැස්වීම් වේදිකාවල ජනයා අමතන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් ශෛලියක් ටෙලිවිෂන් මාධ්‍යයේදී යොදා ගත යුතුයි. ටෙලිවිෂන් කැමරාව කෙනකුගේ මුහුණේ සමීප දසුන් හසු කර ගන්නට සමත්. එහිදී ආවේගයන් ප‍්‍රබල ලෙස ඉස්මතු කැරෙනවා.

එසේ ම වේදිකාවල උද්වේගකර ලෙසින් කථා කළ හැකි වුවත් ටෙලිවිෂන් මාධ්‍යයේදී හැකි තාක් සිනහ බරිතව, සැහැල්ලූවෙන් හා හෘදයංගම ලෙසින් කථා කිරීම අවශ්‍යයි. මන්ද යත් පේ‍්‍රක්‍ෂකයන් සමූහ වශයෙන් නොව තනි තනිව විසිත්ත කාමරවල හෝ වෙනත් තැන්වල සිට එය නරඹන නිසා.

අපේ රටේත්, වෙනත් පෙර අපර දෙදිග බොහෝ රටවලත් ජන නායකයන්ට මේ දෙආකාරයේ කථා ශෛලිය පවත්වා ගැනීම අපහසුයි. අපේ තරුණ දේශපාලකයෝ පවා වේදිකා ඇමතුම් ශෛලිය ටෙලිවිෂන් මාධ්‍යයටත් යොදා ගන්නට තැත් කොට අසාර්ථක වනවා.

W R Wijesoma's cartoon in The Island - 18 March 1982

W R Wijesoma’s cartoon in The Island – 18 March 1982

මෙරට ටෙලිවිෂන් මාධ්‍යය ඇරැඹෙන විට රාජ්‍ය නායකයා වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන. මුල් ටෙලිවිෂන් දශකය පමණ ගෙවී ගියේ ඔහුගේ පාලන කාලයේ වුවත් ඔහු ටෙලිවිෂන් සමඟ එතරම් ගනුදෙනු කළේ නැහැ. ඉඳහිට ටෙලිවිෂන් සාකච්ඡාවක් කළ විට පවා සැහැල්ලූවෙන් නොසිටි බව මට මතකයි.

කොටින්ම කියතොත් ජේ. ආර්. ජනතාවට හෘදයාංගම ලෙස ඇමතීමේ හැකියාව තිබූ නායකයෙක් නොවෙයි. ඔහුගේ මුල් බස වූ ඉංග‍්‍රීසියෙන් පවා ඔහුට තිබුණේ ගාම්භීර හා ශාස්ත‍්‍රීය මට්ටමේ ශෛලියක්.

ඔහුගේ කැබිනට් ඇමතිවරුන් අතර විවිධාකාර දක්ෂයන් රැසක් සිටියත් ටෙලිවිෂන් මාධ්‍යයට මනා ලෙසින් අනුගත වූයේ (මාධ්‍ය භාර) රාජ්‍ය ඇමති හා කථානායක ආදී තනතුරු දැරූ ආනන්දතිස්ස ද අල්විස්. ඔහු ද්විභාෂා දක්ෂයෙක්. එමෙන්ම සැහැල්ලූවෙන්, විහිළුවෙන් හරබර දේ කීමේ හැකියාව ඔහුට තිබුණා.

Dr. Ananda Tissa De Alwis Stampශ‍්‍රී ලංකාවේ ටෙලිවිෂන් පරිණාමය විමසිලිමත්ව බලා සිටින මා මෙරට ටෙලිවිෂන් ජය ගත් මුල් ම දේශපාලකයා ලෙස සලකන්නේ ඔහුයි. ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන, සමීප හිතවතෙකු සමඟ පිළිසඳරේ යෙදෙන ආකාරයෙන් කථා කිරීමේ හැකියාව ඔහු ඉක්මනින් ප‍්‍රගුණ කළා. වේදිකා කථා කිරීමේ ශෛලියට වඩා මෙය ඉතා වෙනස් වන බව ඔහු හඳුනා ගත්තා.

ආනන්දතිස්ස ද අල්විස්ගේ ටෙලිවිෂන් හැකියාව උරගා බැලූණු එක් අවස්ථාවක් මට හොඳට මතකයි. 1983 ජූලි ඛේදවාචකයේ අවසන් අදියර එළඹෙද්දී රටේ ජනතාව සන්සුන් කිරීමට රජය වෙනුවෙන් රට ඇමතුවේ ඔහුයි. කොළඹට කිසිදු කොටි ප‍්‍රහාරයක් එල්ල නොවූ බවත්, එකම කොටියන් සිටියේ දෙහිවල සත්තු වත්තේ බවත් කියමින් එබඳු සංවේගදායක හා සංත‍්‍රාසමය මොහොතක පවා ටෙලිවිෂන් හරහා රට වැසියන් අස්වැසීමට ඔහු උත්සාහ ගත්තා.

මෙරටට ටෙලිවිෂන් හඳුන්වා දෙන අවධියේ මුල් තැන ගෙන කි‍්‍රයා කළ රාජ්‍ය නිලධාරියා වූ ආචාර්ය සරත් අමුණුගම පසු කලෙක සකි‍්‍රය දේශපාලනයට පිවිසුණා. ආනන්දතිස්ස ද අල්විස්ට පසු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් අතර ටෙලිවිෂන් හරහා හදවත් ඇමතීමේ හා ලයාන්විත තර්කනයේ කුසලතාව හොදින් ම ප‍්‍රගුණ කර ඇත්තේ ආචාර්ය අමුණුගමයි.

ඔහු කියන දෙයට අප එකඟ වුවත් නැතත් ඔහුගේ දේහ චලනය, මුහුණේ මදහාසය හා කටහඬ පාලනය තරුණ දේශපාලකයන් හා අනෙකුත් ජනමතයට බලපෑම් කිරීමට කැමති කොයි කවුරුත් සමීපව අධ්‍යයනය කිරීම වටිනවා.

ජනාධිපති පේ‍්‍රමදාස චතුර වේදිකා කථිකයෙකු වුවත් සිය කථා ශෛලිය ටෙලිවිෂන් අවශ්‍යතා සඳහා වෙනස් කර ගත්තේ නැහැ. නමුත් ටෙලිවිෂන් මාධ්‍යයේ බලය වටහා ගත් ඔහු හැම නාලිකාවක ම ප‍්‍රවෘත්ති ආවරණයේ අධි නියෝජනයක් නිල බලයෙන් ලබා ගත්තා. මෙය කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් වරක් සියුම් ලෙස උපහාසයට ලක් කළා.

Cartoon by W R Wijesoma, first published in The Island on 3 March 1993

Cartoon by W R Wijesoma, first published in The Island on 3 March 1993

දේශපාලන වේදිකා මෙන්ම විද්වත් සභාවලදීත් තැනේ හැටියට කථිකත්වය වෙනස් කිරීමේ හපනුන් වූ අනුර බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක වැනි අය ද ටෙලිවිෂන් මාධ්‍යයේ හෘදයාංගම ශෛලිය හරිහැටි හසු කර ගත්තේ නැහැ.

මෙය මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල අත්දුටු සත්‍යයක්. සජීව සභාවල චතුර හා උද්වේගකර කථිකයන්ට ටෙලිවිෂන් මැදිරියක අජීවී ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන එය හරහා රටක් පුරා විසිරී පේ‍්‍රක්‍ෂක පිරිසක් සාර්ථක ලෙස ඇමතීමේ සුවිශේෂි හැකියාව බොහෝ විට ලබා ගැනීම අපහසු වනවා.

දැනට සකි‍්‍රය දේශපාලනයේ සිටින අයගේ ටෙලිවිෂන් කථන හැකියාව වෙන් වෙන්ව ඇගැයීමට මා කැමති නැහැ. අපේ පළමුවන ටෙලිවිෂන් පරම්පරාවේ සාමාජිකයන් ගණනාවක් ද දේශපාලනයේ නියැලෙනවා. 1980 හා 1990 දශකවල ටෙලිවිෂන් සමග හැදුණු වැඩුණු පමණට ම මේ සැම අයකුම දක්‍ෂ ටෙලිවිෂන් සන්නිවේදකයන් වන්නේ නැහැ.

දේශපාලන සංවාදවලදි විනීතව, සිනහ බරිතව, උපහාසාත්මකව කථා කිරීමේ හැකියාව තියුණු කර ගත් තරුණ දේශපාලකයන් කිහිප දෙනකු සිටිනු පෙනෙනවා. එමෙන්ම වේදිකාවක හා ටෙලිවිෂනයේ වෙනස නොහඳුනන, ටෙලිවිෂන් හරහා අනවශ්‍ය ලෙසින් කෑ මොර දෙන තරුණ දේශපාලකයන් ද සිටිනවා.

21 වන සියවසේ ජන ජීවිතය වඩාත් විද්්‍යුත් හා වෙබ් මාධ්‍යවලට සමීප වෙද්දී සාම්ප‍්‍රදායික දේශපාලන රැස්වීම් හා වේදිකා කථාවල සාපේක්ෂ වැදගත්කම කෙමෙන් අඩු වී යනවා. එළැඹෙන වසර හා දශකවල දේශපාලනයේ වඩාත් තීරණාත්මක සාධකය වනු ඇත්තේ තම අදහස් හා ප‍්‍රතිපත්ති මාධ්‍ය හරහා වඩාත් විශ්වසනීය ලෙසත්, චිත්තාකර්ෂණීය ලෙසත් සන්නිවේදනයේ හැකියාවයි.

මෙය මුදල් වියදම් කිරීමෙන් පමණක් ලබා ගත හැක්කක් නොවෙයි. මහා ලොකුවට මාධ්‍ය හරහා තම ප‍්‍රචාරණය ගෙන ගිය සමහර ධනවත් දේශපාලකයෝ යළි යළිත් මෙරට ඡන්දදායකයන් විසින් ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා.

අනාගත දේශපාලනයට ගෙයින් ගෙට යාම හෝ පෝස්ටර්, බැනර්, කටවුට් ගැසීමට වඩා ටෙලිවිෂන් හා වෙබ් හරහා ජන හදට සමීප වීමේ හැකියාව  ඕනෑ වන බව නම් පැහැදිලියි.

Advertisements
Posted in Broadcasting, Campaigns, Cartoons, ICT, News, public interest, Ravaya Column, South Asia, Sri Lanka, Television, Video. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 2 Comments »

සිවුමංසල කොලූගැටයා #65: විකල්ප ඉතිහාසයන් සොයා යන ගමනක්…

Journalists are trained to ask six basic questions in pursuit of their stories. “What If?” is not among them – but is one of my personal favourites. I’ve been fascinated by might-have-beens all my life, at all levels: personal and collective.

In this week’s Sunday column (6 May 2012) in Ravaya newspaper (in Sinhala), I start exploring alternative history possibilities for Sri Lanka where very few creative writers have ventured into that realm. Is this because Lankan history is considered ‘sacrosanct’ by many?

I set off by challenging this widely held assumption, pointing out that history is but a set of chronicles written by the winners and the powerful, that is (or should be!) open to question, scrutiny and speculation. I plan to revisit this theme with specific alternative history scenarios for Sri Lanka in the coming weeks. Watch this space — and make your own suggestions!

What if Germany won World War 2 – and conquered not just Earth, but outer space?

ඉතිහාසය ප‍්‍රබන්ධයක් ද?

මේ සරල ප‍්‍රශ්නය බොහෝ වාද විවාද හා ආන්දෝලයන්ට තුඩු දෙන්නක්. තොරතුරු සමාජයේ ප‍්‍රගමනයත් සමග එදිනෙදා රටතොට සිදුවීම් විවිධාකාරයෙන් වාර්තා කරන මූලාශ‍්‍රයන් තිබෙනවා. ජනමාධ්‍ය ඒ අතර මුල් තැන ගන්නවා. එහෙත් සංවිධානාත්මක මුද්‍රිත මාධ්‍ය බිහි වී වසර 500කට වැඩි කලක් නැහැ. විද්‍යුත් මාධ්‍ය සියල්ල බිහි වූයේ 20 සියවසේදී.

වාර්තාකරණයට හසු නොවූ දිගු කලක් පුරා මිනිස් ශිෂ්ටාචාරයන් හා ජන සමාජයන් ඇති වී, පරිනාමය වී, ඇතැම් විට බිඳ වැටී ගොස් තිබෙනවා. ඒ  ගැන විස්තරාත්මකව හදාරන්නට පුරාවිද්‍යාත්මක සාක්ෂි හා ශාස්ත‍්‍රීය ලිපි ලේඛණ ආදී මුලාශ‍්‍රයන්ට යොමු විය යුතුයි. ඒ සියල්ල පරිශිලනය කිරිමෙන් පසුවත් “ඉතිහාසය” යනු අංග සම්පුර්ණ ලේඛනගත කිරිමක් නොව සිදුවීම් මාලාවක් ගැන එය වාර්තා කරන අයගේ විග‍්‍රහයක් ලෙස සැළකිය හැකියි.

එහෙත් වාර්තාකරණයේදී හෝ ශාස්ත‍්‍රීය විග‍්‍රහයන් කිරිමේදී හෝ බල පවත්වන සාක්ෂි මත පදනම් වීම, මැදහත් වීම ආදී ගුණාංග ප‍්‍රබන්ධ රචකයන්ට අදාල නැහැ. ඒ නිසා ඉතිහාසය පදනම් කර ගෙන විවිධාකාරයේ කල්පනා ලෝක මවන්නට නවකථා හා කෙටිකථා ලියන අයටත්, චිත‍්‍රපට නිපදවන්නන්ටත් පූර්ණ නිර්මාණාත්මක නිදහස තිබෙනවා.

විකල්ප ඉතිහාසයක් ගැන පරිකල්පනය කිරිම ලොව පුරා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයන් අතර ජනප‍්‍රිය තේමාවක්. ඉතිහාසයේ තීරණාත්මක මොහොතක අප දන්නා සිදුවීම වෙනස් ආකාරයකට සිදු වූවා නම් එතැන් සිට ජන සමාජයක, රටක හෝ මුළු ලෝකයේ ම කථාව දිග හැරෙන්නේ කෙසේ ද? විකල්ප ඉතිහාසය කථා (alternative history stories) කියන්නේ මේ ඔස්සේ යමින් ප‍්‍රබන්ධ කිරීමයි.

එහෙත් විකල්ප ඉතිහාසයන්  යනු අතීතයේ සැබෑ සිද්ධීන් විකෘති කිරීම හෝ තමන්ගේ මතවාදයට ගැලපෙන පරිදි ප‍්‍රතිනිර්මාණය කිරීම හෝ නොවෙයි. (එසේ කිරීම මේ දිනවල ඇතැම් රටවල මහත්  ඕනෑකමින් කෙරෙනවා. එයට කියන්නේ revisionist history හෙවත් ප‍්‍රතිශෝධිත ඉතිහාසය කියායි.)

මෙරට සිංහලෙන් ස්වතන්ත‍්‍ර විද්‍යා ප‍්‍රබන්ධ ලිවීම ගැන ගිය වසරේ කොලමකින් (2011 මාර්තු 20) මා විග‍්‍රහ කළා. සිංහල විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් තවමත් හරිහැටි ගවේෂණය කොට නැති බොහෝ සංකල්ප ඇති බව මා පෙන්වා දුන්නා. එයින් එකක් නම් විකල්ප ඉතිහාසයන් මැවීමයි.

ලොව විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ වඩාත් ජනප‍්‍රිය විකල්ප ඉතිහාස තේමාවක් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් මිත‍්‍ර පාක්‍ෂික හමුදා පරාජය වී හිට්ලර්ගේ ජර්මනිය පෙරටු කොට ගත් (ඉතාලිය හා ජපානය ද ඇතුළත් වූ) ප‍්‍රතිපක්‍ෂය ජය ගැනීමයි. මෙය විවිධාකාරයෙන් හසු කර ගත් ප‍්‍රබන්ධ ලියැවී තිබෙනවා. 2006දී රොබට් හැරිස් ලියූ Fatherland නවකථාවේ සිදුවීම් පෙළ දිග හැරෙන්නේ දිවි ඇති තෙක් නායකයා වන හිට්ලර්ගේ 75 වන උපන්දිනය වටායි. (අප අත්දුටු ඉතිහාසයේ නම් පරාජය අබිමුඛව හිට්ලර් සිය දිවි නසා ගත්තේ වයස 56දී.) ප‍්‍රමුඛ පෙළේ බි‍්‍රතාන්‍ය විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු වන ස්ටීවන් බැක්ස්ටර් ද ජර්මනිය දෙවන ලෝක යුද්ධය ජය ගැනීම ගැන ප‍්‍රබන්ධ ලියා තිබෙනවා.

අමෙරිකානු විද්‍යා ප‍්‍රබන්ධ ලේඛක කිම් ස්ටැන්ලි රොබින්සන්ගේ ‘The Years of Rice and Salt‘ නව කථාවේ පදනම මධ්‍ය කාලීන යුරෝපයේ ජනගහනයෙන් සියයට 99ක් ම මහමාරියෙන් මිය යාමයි. අප දන්නා ඉතිහාසයේ මහමාරිය යුරෝපයට  තර්ජනයක් එල්ල කළත් ඒ වසංගතය ජන සමාජයන් අතු ගා දැම්මේ නැහැ. එසේ වූවා නම් කාර්මික විප්ලවය බිහිවන්නේ බි‍්‍රතාන්‍යයෙන් නොව ඉන්දියාවෙන් බවත්, අමෙරිකා මහාද්වීපය සොයා ගෙන එහි ජනවාස ඇති කරන්නේ චීන ජාතිකයන් බවත් ඔහුගේ කථාවේ දිග හැරෙන විකල්ප ඉතිහාසයයි.

වසංගත රෝග, කෘමි උවදුරු හා ස්වාභාවික ව්‍යසන නිසා ගරා වැටුණු හෝ බිඳ වැටුණු මිනිස් ශිෂ්ඨාචාර ගණනාවක් ඉතිහාසයේ තිබෙනවා. අපේ දිවයිනේ වියලි කලාපයේ සහශ‍්‍රයකට වැඩි කලක් පැවති දියුණු ශිෂ්ඨාචාරය හා රාජධානි කෙමෙන් අතරමැදි කලාපයට හා තෙත් කලාපයට සංක‍්‍රමණය වීමට එක් හේතුවක් ලෙස පිළි ගැනෙන්නේ මැලේරියා උවදුරයි. මැලේරියාව ඇති කරන රුධිර පරපෝෂිතයා පැතිරෙන්නේ එක්තරා මදුරු විශේෂයක් හරහා බව සොයා ගත්තේ 1897දී. ඉන්දියාවේ කල්කටාවේ සිටි ඉංග‍්‍රීසි වෛද්‍යවරයකු වූ රොනල්ඞ් රොස් විසින්. එය එසේ නොවී මැලේරියා-මදුරු සම්බන්ධය සියවස් ගණනකට පෙර ලාංකිකයන් තේරුම් ගත්තා නම් අපේ ඉතිහාසය මීට වෙනස් විය හැකි ද? අද අපට කළ හැක්කේ එබදු දේ ගැන අනුමාන හා පරිකල්පනය කිරීම පමණයි.

ඉන්දියානු සාගරයේ වැදගත් සංධිස්ථානයක පිහිටි ලංකා දුපත ප‍්‍රාග් ඉතිහාසයේ මෙන්ම ලිඛිත ඉතිහාස කාලය පුරා ම විවිධාකාර බාහිර සම්බන්ධතා රාශියකට පාත‍්‍ර වී තිබෙනවා. මේවායින් සමහරක් අහිතකර බලපෑම් (උදා: යටත් විජිතවාදීන්). තවත් ඒවා හිතකර බලපෑම් (උදා: ඉන්දියාවෙන් බුදු දහම, ආයුර්වේදය, පාලි – සංස්කෘත හා කලා ආභාෂයන් ලැබීම).

විකල්ප ඉතිහාස සංකල්පයන් ලංකා ඉතිහාසයට අදාල කොට විද්‍යා ප‍්‍රබන්ධ ලියැ වී ඇත්දැයි මා විපරම් කළා. සොයා ගන්නට නැහැ. එයට හේතුවක් නම් අපේ ඉතිහාසය “ශුද්ධ ලියවිල්ලක්” මෙන් ලක් සමාජය සළකන බැවින් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට, පරිකල්පනය කිරීමට බොහෝ දෙනා පැකිලීමයි.

එහෙත් ඉතිහාසය යනු දේව භාෂිතයක් නොවෙයි. ලොව හැමදාමත්, හැම තැනෙකමත් ඉතිහාසය ලියා ඇත්තේ ජයග‍්‍රාහකයන්, ප‍්‍රබලයන් හා බලාධිකාරීන් විසින්. මේ නිසා ඉතිහාසය හැටියට අපට හුරු පුරුදු සංකල්ප බොහෝ දුරට පුරුෂාධිපත්‍යය හා බහුතර කොටස්වල නැඹුරුව පෙන්නුම් කරන ලියැවීම් මිස අපක්‍ෂපාතී ශාස්ත‍්‍රීය විමර්ශන නොවෙයි.

ඉතිහාසය ගැන කථා කිරිමේදී බොහෝ දෙනා ආවේගශීලි වන සැටිත් අපට දැකිය හැකියි. එයට හේතුව තමන්ගේ පෞද්ගලික හා සාමූහික අනන්‍යතාවය රාමු කර ගන්නට ඉතිහාසයේ ඇතැම් සිද්ධින් හෝ ප‍්‍රවාදයන් හෝ උපකාර කර ගැනීමයි. රාමුව යන්තමින්වත් ප‍්‍රශ්න කරනවාට ඔවුන් නොකැමති වන්නේ එයින් තමන් ගොඩ නගා මතවාද හා තර්කයන් බිඳ වැටේ යයි බියකින් විය යුතුයි.

ඉතිහාසය සැබෑ සිදුවීම් මෙන් ම අතිශයෝක්තීන්, ප‍්‍රලාප හා අතරමැදි කථාවලින් සංයුක්ත මිශ‍්‍රණයක්. එහි තනි කතුවරයකු නැහැ. එසේ ම තනි උරුමක්කාරයකුත් නැහැ. මේ නිසා ඉතිහාසය ප‍්‍රවේශමින් පරිහරණය කරනවා වෙනුවට එය වාද විවාද හා සියුම් ශාස්ත‍්‍රීය පරික්ෂාවන්ට ලක් කළ යුතුයි. එමෙන්ම ප‍්‍රබන්ධ නිර්මාණකරුවන්ට තමන් කැමති පරිදි ඉතිහාසයේ සැරිසරන්නට ඉඩ තිබිය යුතුයි.

අපේ රටේ ඈත හා මෑත ඉතිහාසය විකල්ප ඉතිහාසයයන් සඳහා විද්‍යා ප‍්‍රබන්ධ කෝණයෙන් බැලීම තුළින් ඉතිහාසය ගැන අපේ ආකල්ප වෙනස් කළ හැකි ද?

* 1959 සැප්තැම්බර් 25 වනදා අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට කුමන්ත‍්‍රණකාරී සාහසිකයා එල්ල කළ වෙඩි පහරවල් නොවැදුණා නම්?

* 1962 ජනවාරි 27 වනදා සිරිමාවෝ බණ්ඩාරනායක රජය පෙරළන්නට තැත් කළ හමුදා කුමන්ත‍්‍රණය සාර්ථක වූවා නම්?

* 1993 මැයි 1 වනදා මැයි දින පෙළපාලියට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාස නිරුපද්‍රිතව බේරුණා නම්?

Imaginary TIME Cover – What if JFK survived assassination attempt

මේ අයුරින් මෑත ඉතිහාසයේ තීරණාත්මක අවස්ථා ගැන අපට විවිධාකාරයෙන් පරිකල්පනය කළ හැකියි. (වෙනත් රටවලත් ඔවුන්ට අදාළ දෛවෝපගත සිදුවීම් ගැන මෙසේ ප‍්‍රබන්ධ කැරෙනවා: මහත්මා ගාන්ධි හෝ ජනාධිපති ජෝන් කෙනඩි ඝාතන උත්සාහයන් අසාර්ථක වූවා නම්?)

මා ඉතිහාසඥයකු නොවෙයි. මේ නිසා විකල්ප ඉතිහාස පරිකල්පනය තනිවම කරන්නේ නැතිව මා දන්නා හදුනන විද්වතුන් කිහිප දෙනකුට මෙරටට අදාලව තමන්ගේ ප‍්‍රියතම විකල්ප ඉතිහාසයන් යෝජනා කරන ලෙස මා ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් මතු වූ විකල්ප ඉතිහාස අදහස් අපට “නොගෙවුණු කාල” (might-have-beens) හැටියට සළකමින් ඉතිහාසගත සිහින දකින්නට යොදා ගත හැකියි.

ඉදිරි කොලම්වලින් මෙරට ඈත – මෑත ඉතිහාසයේ ප‍්‍රකට මෙන් ම අප‍්‍රකට තීරණාත්මක සිදුවීම් අරභයා විකල්ප ඉතිහාසයන් ගැන පරිකල්පනය කරන්නට මා අදහස් කරනවා. මෙයට පාඨක ඔබටත් දායක විය හැකියි. තනි වැකියකින් හෝ ජේදයකින් ඔබේ ප‍්‍රියතම විකල්ප ඉතිහාසය ලියා එවන්න. ravaya at nalaka.org