“Of all the institutions arrayed with and against a President, none controls his fate more than television,” President Richard Nixon wrote in 1989, some 16 years after he resigned.
TV reporters, he said, in many ways “are political actors just like the President, mindful of their ratings, careful of preserving and building their power.” The media, he wrote, “have to be outfoxed, outflanked and outperformed.”
As Los Angeles Times noted shortly after Nixon’s 1994 death, his relationship with broadcast television was an especially chequered one. But then, many politicians around the world struggle on how get the best out of this pervasive yet demanding medium that can make or break a political career in our media saturated times.
In this week’s Ravaya column (in Sinhala language), I look at how Lankan politicians across the political spectrum have risen to this challenge. It’s a fair question to ask now that we’ve had broadcast TV for 35 years, and our first ‘Television Generation’ has grown up — and some of them are active in politics. I haven’t seen this aspect explored in academic writing, but hope my views inspire more detailed study of this fascinating topic…
Cartoons are by my one-time senior colleague W R Wijesoma.

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට හෝ පළාත් පාලන ආයතනවලට තේරී පත්වීමේ ක‍්‍රියාදාමය අද අපේ රටේ මැතිවරණ පොරයක් බවට පත්ව තිබෙනවා. එහිදී අපේක්‍ෂකයන් යම් ප‍්‍රතිඥා හා පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරිමත්, ඒවාගේ ගුණාගුණ විවාදයට ලක් කිරීමත් පුළුල්ව කැරෙනවා.
පත‍්‍රකලාවේදී මලල්ගොඩ බන්දුතිලක සූරීන් ලියූ ‘ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය’ ග‍්‍රන්ථයට අනුව මෙරට ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම ඇරඹුණේ 1911දී. එහෙත් මුළු ලංකාවට ම ඡන්ද කොට්ඨාශ 4කින් පටන් ගත් මැතිවරණ ක‍්‍රමවේදය පුළුල් වූයේ 1931දී සර්වජන ඡන්දය ලැබීමෙන් පසුවයි. 1947 මහ මැතිවරණය තෙක් දේශපාලන පක්‍ෂ වශයෙන් තරග කිරීම වෙනුවට අපේක්‍ෂකයන් තමන්ගේ පසුබිම හා ජනප‍්‍රියත්වය මත ඡන්ද දිනා ගැනීම සිදු වූවා.
1947න් පසු දේශපාලන පක්‍ෂ වශයෙන් සංවිධානගත වී මැතිවරණ තරග කිරීම බහුලව කෙරුණත් ජනකාන්ත චරිත පෙරමුණට ගැනීම දශක ගණනක් තිස්සේ මෙරට මැතිවරණ ව්‍යාපාරවල පැවති ලක්‍ෂයක්.
20 වන සියවසේ මැතිවරණවලට සාපේක්‍ෂව වත්මන් මැතිවරණ ව්‍යාපාර ශෛලියෙන් හා ක‍්‍රමවේදයෙන් වෙනස් වන්නේ කෙසේ ද? (අප කථා කරන්නේ දේශපාලන සංස්කෘතිය ගැන නොවෙයි.)
මැතිවරණ සඳහා නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් සූක්‍ෂම ලෙස යොදා ගැනීම වඩාත් ප‍්‍රබලව මතුව තිබෙනවා. මෙරට වඩාත් සමාජගත වූ ජන මාධ්‍යය වන ටෙලිවිෂන්, මැතිවරණවලට හා දේශපාලන ප‍්‍රතිරූප ගොඩනැංවීමේදී කෙතරම් වැදගත් සාධකයක් ද? (නිල සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන පරිදි තව දුරටත් රේඩියෝව නාගරිකව හෝ ග‍්‍රාමීයව හෝ අංක එක තැනෙහි නැහැ!)
මේ ගැන මෙරට විද්වත් පර්යේෂණ කෙරී ඇත්දැයි මා විපරම් කළත් එබදු සොයා ගැනීම් ප‍්‍රකාශිතව නැහැ. ටෙලිවිෂන් ආගමනයෙන් 35 වසරක් ගෙවී ඇති නිසා මේ පැතිකඩට මාධ්‍ය හා සමාජ විද්‍යා පර්යේෂකයන් අවධානය යොමු කළ යුතු යයි මා සිතනවා. එයට තුඩු දිය හැකි මූලික අදහස් දැක්වීමක් අද කරනවා.
ජාතික මට්ටමේ මැතිවරණවලට තරග කරන දේශපාලන පක්‍ෂවලටත්, ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ටත් රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් ගුවන් කාලය ලබා දීම කලෙක සිට ක‍්‍රියාත්මක වනවා. එහෙත් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා රැසක් තිබෙන අද කාලේ වැඩිපුර ප‍්‍රතිරූප ගොඩනැංවෙන්නේ ටෙලිවිෂන් සංවාද හා ප‍්‍රවෘත්ති ආවරණය හරහායි.
හැම දේශපාලන පක්‍ෂයටම හා දේශපාලන චරිතයටම එක සේ පෞද්ගලික ටෙලිවිෂන් ආවරණය ලැබෙන්නේ නැහැ. (එයට පසුබිම් වන විසමතා හා එහි දිගු කාලීන විපාක වෙනම විග‍්‍රහ කළ යුතුයි.) එසේම කෙතරම් ගුවන් කාලයක් ලැබුණත් එයින් හරිහැටි ඵල නෙලා ගැනීමට කුසලතාවය නැති චරිත ද සිටිනවා. මෙය අපට වඩා දිගු ටෙලිවිෂන් ඉතිහාසයක් ඇති ඇමරිකාව, යුරෝපය හා ජපානය වැනි සමාජයන්හි ද හමු වන විසමතාවයක්.
‘ටෙලිවිෂන් යුගයේ මුල්ම ජන නායකයා’ හැටියට පිළිගැනෙන ජෝන් එෆ්. කෙනෙඩි ගැන 2013 නොවැම්බර් 24 වනදා කොලමින් විග‍්‍රහ කළා. කෙනෙඩිගේ මාධ්‍ය ආදර්ශය එදා මෙදා තුර ලොව පුරා දේශපාලකයන් සමීපව අධ්‍යයනය කරනවා. සහජ හැකියාව, වාග්චාතුර්යය, සුහද බව, හාස්‍යජනක බව හා අවශ්‍ය පමණට ගැඹුරුවීම වැනි ගුණාංග රැසක සියුම් සංකලනයක් කෙනෙඩිගේ සාර්ථකත්වයට හේතු වූවා.

පසු කලෙක මාධ්‍ය හරහා හෘදයාංගම ලෙස සිය ජනතාවට සමීප වීමට සමත් ලෝක නායකයන් අතර රොනල්ඞ් රේගන් හා නෙල්සන් මැන්ඩෙලා කැපී පෙනුණා. වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දුන් හැටි 2013 ඔක් 20 වනදා කොලමින් අප කථා කළා.
දකුණු ආසියාවේ රාජීව් ගාන්ධි, බෙනාසීර් භූතෝ හා මොහමඞ් නෂීඞ් ටෙලිවිෂන් ජය ගත් නායකයන් බව මගේ තක්සේරුවයි. රාජ්‍ය බලය හෝ ව්‍යාපාරික සහයෝගය හෝ හරහා වැඩි ගුවන් කාලයක් තමන්ට ලබා ගන්නවා වෙනුවට සූක්‍ෂමව හා නිර්මාණශීලිව ටෙලිවිෂන් මාධ්‍යය මෙහෙයවීමේ කලාව මේ නායකයන් දැන සිටියා.
(බෙනාසිර්ගේ ටෙලිවිෂන් ප‍්‍රධානියා හා නෂීඞ්ගේ මාධ්‍ය උපදේශකවරයා මුණ ගැසී මා කථාබහ කොට තිබෙනවා. ඔවුන් දෙපල ම කීවේ කෙතරම් ධනයක් හා තාක්‍ෂණයක් තිබුණත් අවසන් විනිශ්චයේදී තම දේශපාලන නායකයන් ජනතාවට සමීප වූයේ ඒ සාධක නිසා නොව සහජ හැකියාව හා ආයාසයෙන් ප‍්‍රගුණ කර ගත් ටෙලිවිෂන් හරහා ජනතාව ඇමතීමේ හැකියාව නිසා බවයි.)
ටෙලිවිෂන් හරහා දේශපාලනය විද්‍යාවකට වඩා කලාවක්. එය මුළුමනින් ශාස්ත‍්‍රාලීය පර්යේෂණ හරහා තේරුම් ගැනීම අපහසුයි. ‘ටෙලිවිෂන් අත් ගුණය’ කියා යමක් සමහර දේශපාලකයන්ට හා ජන නායකයන්ට තිබේ යයි මට සිතෙනවා. ඉංග‍්‍රීසි බසින් media savvy කියනවා (මාධ්‍ය භාවිතයේ බුහුටි බව).
ටෙලිවිෂන් හරහා ජනහද දිනන්නට රූපකාය හා වාග් චාතුර්යය පමණක් සෑහෙන්නේ නැහැ. Charisma යයි ඉංගී‍්‍රසියෙන් කියන සිත් ඇද ගන්නා ජනකාන්ත ගුණය ද තිබිය යුතුයි. එයටත් වඩා තීරණාත්මක වන්නේ නිර්ව්‍යාජ වූ මිත‍්‍රශීලී බවක් තිබීමයි. එය ආයාසයෙන් මතු කර ගන්නට අමාරුයි. සමහරුන්ට එය සොබාවයෙන් පිහිටනවා.
මහජන රැස්වීම් වේදිකාවල ජනයා අමතන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් ශෛලියක් ටෙලිවිෂන් මාධ්‍යයේදී යොදා ගත යුතුයි. ටෙලිවිෂන් කැමරාව කෙනකුගේ මුහුණේ සමීප දසුන් හසු කර ගන්නට සමත්. එහිදී ආවේගයන් ප‍්‍රබල ලෙස ඉස්මතු කැරෙනවා.
එසේ ම වේදිකාවල උද්වේගකර ලෙසින් කථා කළ හැකි වුවත් ටෙලිවිෂන් මාධ්‍යයේදී හැකි තාක් සිනහ බරිතව, සැහැල්ලූවෙන් හා හෘදයංගම ලෙසින් කථා කිරීම අවශ්‍යයි. මන්ද යත් පේ‍්‍රක්‍ෂකයන් සමූහ වශයෙන් නොව තනි තනිව විසිත්ත කාමරවල හෝ වෙනත් තැන්වල සිට එය නරඹන නිසා.
අපේ රටේත්, වෙනත් පෙර අපර දෙදිග බොහෝ රටවලත් ජන නායකයන්ට මේ දෙආකාරයේ කථා ශෛලිය පවත්වා ගැනීම අපහසුයි. අපේ තරුණ දේශපාලකයෝ පවා වේදිකා ඇමතුම් ශෛලිය ටෙලිවිෂන් මාධ්‍යයටත් යොදා ගන්නට තැත් කොට අසාර්ථක වනවා.

මෙරට ටෙලිවිෂන් මාධ්‍යය ඇරැඹෙන විට රාජ්‍ය නායකයා වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන. මුල් ටෙලිවිෂන් දශකය පමණ ගෙවී ගියේ ඔහුගේ පාලන කාලයේ වුවත් ඔහු ටෙලිවිෂන් සමඟ එතරම් ගනුදෙනු කළේ නැහැ. ඉඳහිට ටෙලිවිෂන් සාකච්ඡාවක් කළ විට පවා සැහැල්ලූවෙන් නොසිටි බව මට මතකයි.
කොටින්ම කියතොත් ජේ. ආර්. ජනතාවට හෘදයාංගම ලෙස ඇමතීමේ හැකියාව තිබූ නායකයෙක් නොවෙයි. ඔහුගේ මුල් බස වූ ඉංග‍්‍රීසියෙන් පවා ඔහුට තිබුණේ ගාම්භීර හා ශාස්ත‍්‍රීය මට්ටමේ ශෛලියක්.
ඔහුගේ කැබිනට් ඇමතිවරුන් අතර විවිධාකාර දක්ෂයන් රැසක් සිටියත් ටෙලිවිෂන් මාධ්‍යයට මනා ලෙසින් අනුගත වූයේ (මාධ්‍ය භාර) රාජ්‍ය ඇමති හා කථානායක ආදී තනතුරු දැරූ ආනන්දතිස්ස ද අල්විස්. ඔහු ද්විභාෂා දක්ෂයෙක්. එමෙන්ම සැහැල්ලූවෙන්, විහිළුවෙන් හරබර දේ කීමේ හැකියාව ඔහුට තිබුණා.
ශ‍්‍රී ලංකාවේ ටෙලිවිෂන් පරිණාමය විමසිලිමත්ව බලා සිටින මා මෙරට ටෙලිවිෂන් ජය ගත් මුල් ම දේශපාලකයා ලෙස සලකන්නේ ඔහුයි. ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන, සමීප හිතවතෙකු සමඟ පිළිසඳරේ යෙදෙන ආකාරයෙන් කථා කිරීමේ හැකියාව ඔහු ඉක්මනින් ප‍්‍රගුණ කළා. වේදිකා කථා කිරීමේ ශෛලියට වඩා මෙය ඉතා වෙනස් වන බව ඔහු හඳුනා ගත්තා.
ආනන්දතිස්ස ද අල්විස්ගේ ටෙලිවිෂන් හැකියාව උරගා බැලූණු එක් අවස්ථාවක් මට හොඳට මතකයි. 1983 ජූලි ඛේදවාචකයේ අවසන් අදියර එළඹෙද්දී රටේ ජනතාව සන්සුන් කිරීමට රජය වෙනුවෙන් රට ඇමතුවේ ඔහුයි. කොළඹට කිසිදු කොටි ප‍්‍රහාරයක් එල්ල නොවූ බවත්, එකම කොටියන් සිටියේ දෙහිවල සත්තු වත්තේ බවත් කියමින් එබඳු සංවේගදායක හා සංත‍්‍රාසමය මොහොතක පවා ටෙලිවිෂන් හරහා රට වැසියන් අස්වැසීමට ඔහු උත්සාහ ගත්තා.
මෙරටට ටෙලිවිෂන් හඳුන්වා දෙන අවධියේ මුල් තැන ගෙන කි‍්‍රයා කළ රාජ්‍ය නිලධාරියා වූ ආචාර්ය සරත් අමුණුගම පසු කලෙක සකි‍්‍රය දේශපාලනයට පිවිසුණා. ආනන්දතිස්ස ද අල්විස්ට පසු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් අතර ටෙලිවිෂන් හරහා හදවත් ඇමතීමේ හා ලයාන්විත තර්කනයේ කුසලතාව හොදින් ම ප‍්‍රගුණ කර ඇත්තේ ආචාර්ය අමුණුගමයි.
ඔහු කියන දෙයට අප එකඟ වුවත් නැතත් ඔහුගේ දේහ චලනය, මුහුණේ මදහාසය හා කටහඬ පාලනය තරුණ දේශපාලකයන් හා අනෙකුත් ජනමතයට බලපෑම් කිරීමට කැමති කොයි කවුරුත් සමීපව අධ්‍යයනය කිරීම වටිනවා.
ජනාධිපති පේ‍්‍රමදාස චතුර වේදිකා කථිකයෙකු වුවත් සිය කථා ශෛලිය ටෙලිවිෂන් අවශ්‍යතා සඳහා වෙනස් කර ගත්තේ නැහැ. නමුත් ටෙලිවිෂන් මාධ්‍යයේ බලය වටහා ගත් ඔහු හැම නාලිකාවක ම ප‍්‍රවෘත්ති ආවරණයේ අධි නියෝජනයක් නිල බලයෙන් ලබා ගත්තා. මෙය කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් වරක් සියුම් ලෙස උපහාසයට ලක් කළා.

දේශපාලන වේදිකා මෙන්ම විද්වත් සභාවලදීත් තැනේ හැටියට කථිකත්වය වෙනස් කිරීමේ හපනුන් වූ අනුර බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක වැනි අය ද ටෙලිවිෂන් මාධ්‍යයේ හෘදයාංගම ශෛලිය හරිහැටි හසු කර ගත්තේ නැහැ.
මෙය මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල අත්දුටු සත්‍යයක්. සජීව සභාවල චතුර හා උද්වේගකර කථිකයන්ට ටෙලිවිෂන් මැදිරියක අජීවී ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන එය හරහා රටක් පුරා විසිරී පේ‍්‍රක්‍ෂක පිරිසක් සාර්ථක ලෙස ඇමතීමේ සුවිශේෂි හැකියාව බොහෝ විට ලබා ගැනීම අපහසු වනවා.
දැනට සකි‍්‍රය දේශපාලනයේ සිටින අයගේ ටෙලිවිෂන් කථන හැකියාව වෙන් වෙන්ව ඇගැයීමට මා කැමති නැහැ. අපේ පළමුවන ටෙලිවිෂන් පරම්පරාවේ සාමාජිකයන් ගණනාවක් ද දේශපාලනයේ නියැලෙනවා. 1980 හා 1990 දශකවල ටෙලිවිෂන් සමග හැදුණු වැඩුණු පමණට ම මේ සැම අයකුම දක්‍ෂ ටෙලිවිෂන් සන්නිවේදකයන් වන්නේ නැහැ.
දේශපාලන සංවාදවලදි විනීතව, සිනහ බරිතව, උපහාසාත්මකව කථා කිරීමේ හැකියාව තියුණු කර ගත් තරුණ දේශපාලකයන් කිහිප දෙනකු සිටිනු පෙනෙනවා. එමෙන්ම වේදිකාවක හා ටෙලිවිෂනයේ වෙනස නොහඳුනන, ටෙලිවිෂන් හරහා අනවශ්‍ය ලෙසින් කෑ මොර දෙන තරුණ දේශපාලකයන් ද සිටිනවා.
21 වන සියවසේ ජන ජීවිතය වඩාත් විද්්‍යුත් හා වෙබ් මාධ්‍යවලට සමීප වෙද්දී සාම්ප‍්‍රදායික දේශපාලන රැස්වීම් හා වේදිකා කථාවල සාපේක්ෂ වැදගත්කම කෙමෙන් අඩු වී යනවා. එළැඹෙන වසර හා දශකවල දේශපාලනයේ වඩාත් තීරණාත්මක සාධකය වනු ඇත්තේ තම අදහස් හා ප‍්‍රතිපත්ති මාධ්‍ය හරහා වඩාත් විශ්වසනීය ලෙසත්, චිත්තාකර්ෂණීය ලෙසත් සන්නිවේදනයේ හැකියාවයි.
මෙය මුදල් වියදම් කිරීමෙන් පමණක් ලබා ගත හැක්කක් නොවෙයි. මහා ලොකුවට මාධ්‍ය හරහා තම ප‍්‍රචාරණය ගෙන ගිය සමහර ධනවත් දේශපාලකයෝ යළි යළිත් මෙරට ඡන්දදායකයන් විසින් ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා.
අනාගත දේශපාලනයට ගෙයින් ගෙට යාම හෝ පෝස්ටර්, බැනර්, කටවුට් ගැසීමට වඩා ටෙලිවිෂන් හා වෙබ් හරහා ජන හදට සමීප වීමේ හැකියාව ඕනෑ වන බව නම් පැහැදිලියි.