සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?

This is the Sinhala text of my Ravaya newspaper column published on 4 March 2012. Today, I talk about the gold-plated disk containing sounds and images of our Earth that was sent to the universe with Voyager 1 and 2 spacecraft launched by NASA in mid 1977.

In particular, I look at how a Sinhala language greeting was included on it, and thank Cornell University and project leader astronomer Carl Sagan for keeping it entirely a scholarly effort with nothing official about it. Thank you, Carl, for keeping the babus out of humanity’s ‘message in a bottle’ sent adrift to the depths of space.

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

සිංහල භාෂාව මවුබස ලෙස කථා කරන සමස්ත ජන සංඛ්‍යාව මිලියන් 16ක් පමණ වන අතර තවත් මිලියන් 2ක් ජනයා එය ප‍්‍රායෝගිකව භාවිත කරන බව විකිපීඩියාව කියනවා. භාෂා නිතිපතා පරිනාමය වෙනවා. කිසිදු භාෂාවක් සදා කල් පවතින්නේ නැහැ. සංස්කෘතිය යනු කෞතුකාගාරයක හෝ සංරක්‍ෂණාගාරයක දමා දැඩි ආරක්‍ෂාව යටතේ ප‍්‍රවේශම් කළ හැකි දෙයක් නෙවෙයි. එය සජීව හා ගතික සංසිද්ධියක්.

නූතන සිංහලය ක‍්‍රි.ව. 12 වන සියවසෙන් පමණ පසු භාවිතයේ පවතින නමුත් ගෙවී ගිය සියවස් කිහිපය පුරා විවිධ භාෂාවලින් එය පෝෂණය වී තිබෙනවා. යටත්විජිත බලපෑම්, වෙළඳ සබඳතා, ගෝලීයකරණය හා තාක්‍ෂණය සිංහල භාෂාවට බලපා ඇති සාධක අතර වනවා.

සිංහල භාෂාවේ ආරම්භය හරියට ම කවදා කෙලෙස සිදු වී දැයි කිව නොහැකිවාක් මෙන් ම සිංහලයේ අනාගතය කෙසේ පරිනාමය වේ දැයි කියන්නටත් බැහැ. නමුත් එක් තොරතුරක් මා දන්නවා. දුර අනාගතයේදී විශ්වයේ ඉතිරිවන අවසාන සිංහල වචනය ‘ආයුබෝවන්’. එය දැනටමත් කථා කර හමාරයි!

මා එසේ කියන්නේ ඇයි? මේ පිටුපස රසවත් කථාවක් තිබෙනවා.

මීට 35 වසරකට පෙර 1977දී අමෙරිකානු අභ්‍යවකාශ අධිකාරිය වන නාසා (NASA) ආයතනය ග‍්‍රහලෝක ගවේෂණය සඳහා වොයෙජර් 1 හා වොයෙජර් 2 නම් ස්වයංක‍්‍රීය අභ්‍යවකාශ යානා දෙකක් උඩුගුවන් ගත කළා. බ‍්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග‍්‍රහලෝක හතරට සමීප වෙමින් 1979-89 කාලය තුළ මේ යානා දෙක අති විශාල තොරතුරු හා ඡයාරූප සමුදායක් රේඩියෝ සංඥා මගින් පෘථිවියට සම්පේ‍්‍රෂණය කළා.

කිසිදු ග‍්‍රහලෝකයකට ගොඩ නොබැස, සමීපවීම් හරහා පමණක් මේ ගවේෂණයන් කළ වොයෙජර් යානා දෙක ඉනික්බිති අපේ ග‍්‍රහමණ්ඩලයෙන් පිටත ඈත අභ්‍යවකාශයට ගමන් කිරීමට සළස්වා තිබෙනවා. මේ වන විට මිනිස් සංහතිය උඩුගුවන් ගත කළ යානාවලින් පෘථිවියෙන් වැඩි ම දුරකට ගොස් ඇත්තේ මේ යානා දෙකයි. අභ්‍යවකාශයේ වේගය බාල වීමක් නැති නිසා (යම් අනතුරක් නොවුණොත්) මේ යානා දෙක දිගින් දිගට ම සියවස් හා සහශ‍්‍ර ගණනක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කරනු ඇති. යානා දෙක කිසිදු නිශ්චිත ඉලක්කයක් කරා ගමන් නොකළත්, වෙනත් තරුවකට ළගා වන්නට තව වසර 40,000ක් වත් ගත වනවා.

මිනිස් සංහතියේ යාන්ත‍්‍රික නියෝජිතයා ලෙස විශ්වයට යන මේ දුතයන් දෙදෙනා තුළ තැන්පත් කර තිබෙන විශ්ව පණිවුඩයක් තිබෙනවා. එය රත්රන් ආලේපිත තඹ තැටියක් (phonographic record). පෘථිවි ග‍්‍රහලෝකය හා මානව වර්ගයා නියෝජනය කැරෙන විවිධ ශබ්ද හා රූප රැසක් එහි තැටිගත කොට තිබෙනවා. වසර දහස් ගණනක ගමනකින් පසුව යම් දිනෙක බුද්ධිමත් ජීවීන්ට මේ යානා මුණ ගැසුණොත් ඔවුන්ට වොයෙජර් යානා නිපද වූ හා අභ්‍යවකාශයට යැවූ මානව වර්ගයා පිළිබඳ ඉගියක් ලබා දීම එහි අරමුණයි.

මෙබදු සංක්‍ෂිප්ත සන්නිවේදයක් හරහා විස්තරාත්මක තොරතුරු දිය නොහැකි වූවත් එය සම කළ හැකි වන්නේ මුහුදේ පාළු දුපතක අතරමං වූවකු බෝතලයක් තුළ පණිවුඩයක් ලියා සාගර රැුලි අතර එය පාකොට යැවීමටයි. වොයෙජර් යානාවල තැන්පත් කළ ශබ්ද හා රූප තැටිල අපෙන් විශ්ව සාගරයට යැවෙන බෝතල් පණිවුඩයකට සමාන බව එම අදහසේ මූලිකයා වූ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා කෝනෙල් සරසවියෙ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996) කියා තිබෙනවා.

මිනිස් හඩට අමතරව සොබා දහමේ ශබ්ද (අකුණු, ගිගිරුම, මුහුදේ රළ බිෙඳන සැටි, සැඩ සුළග ආදිය) සහ විවිධ සතුන්ගේ ශබ්ද (කුරුළු නාද, තල්මසුන්ගේ සංගීතමය හඩ) එම තැටියට ඇතුළත් වුණා. එමෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කැරෙන පරිදි සංගීත ඛණ්ඩයන් ගණනාවක් ද තෝරා ගනු ලැබුවා.
පෘථිවියේ ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය ඡයාරූප ගොන්නකුත් එහි අඩංගුයි.

මේ තැටියේ අන්තර්ගතය තීරණය කිරීමේ භාරදුර වගකීම නාසා ආයතනය කෝනෙල් සරසවියෙ විද්‍යාඥ පිරිසකට පැවරුවා. කෝනෙල් සරසවිය විද්‍යා – කලා ක්‍ෂෙත‍්‍ර දෙකෙහි ම පෙරමුණ ගත් අමෙරිකානු සරසවියක් නිසා මෙබදු ඓතිහාසික තේරීම් ක‍්‍රියාවලියකදී තිබිය යුතු බහුවිධ ක්‍ෂෙත‍්‍ර නියෝජනය හරිහැටි සිදු වුණා. එසේ නොවන්නට එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ සංකීර්ණ ක‍්‍රියාවලියක් වන්නට ඉඩ තිබුණා!

ලෝකයේ කථා කැරෙන භාෂා 55කින් භාෂිත ඉතා කෙටි සුභාශිංසන පණිවුඩ මේ තැටියේ ශබ්ද අතර තිබෙනවා. කවදත් තම ජාතිකත්වයට වඩා දුර දැක්මකින් ක‍්‍රියා කළ කාල් සේගාන්ට ඕනෑ වුණේ හැකි තාක් මානව සංහතිය නියෝජනය කරන ආකාරයේ රූප-ශබ්ද එකතුවක් හදන්නටයි. එහෙත් ඒ සඳහා ඔහු ඇතුළු කෝනෙල් සරසවියේ පිරිසට තිබුණේ මාස කිහිපයක කාලයක් හා සීමිත මුදල් ප‍්‍රතිපාදනයක් පමණයි.

ඔවුන්ට උදක් ම ඕනෑ වුණේ ලෝකයේ වැඩිපුර ජන සංඛ්‍යාවක් කථා කරන භාෂා 25කින් මේ තැටියට සුභාශිංසන ලබා ගන්නටයි. ඒ ඉලක්කය ළගා වූ පසු තවත් භාෂා 30කට එය පුළුල් කරනු ලැබුවා. සිංහල භාෂාව එයට එක් වූයේ එලෙසයි.

“මේ තේරීම අප කළේ පිටසක්වල බුද්ධිමත් ජීවීන් සඳහා වූවත් මේ හරහා අපේ ලෝකයේ දැනට ජීවත්ව සිටින මානවයන්ටත් ප‍්‍රබල සංකේතාත්මක පණිවුඩයක් ලැබෙන බව අප හො`දාකාරව දැන සිටියා,” ආචාර්ය සේගාන් ලියා තැබුවා.

එහෙත් භාෂා 55ක සම්මාදම කෙටි කලක් තුළ ලබා ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වුණා. කෝනෙල් සරසවියේ එවකට (1976-77 වකවානුවේ) සිටි ශිෂ්‍යයන්, ඇදුරන් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන් අතරින් ලෝකයේ භාෂා රැසක් කථා කරන පුද්ගලයන් සොයා ගන්නට හැකි වුණා.

‘පිටසක්වලට ඔබේ භාෂාවෙන් ඉතා කෙටි පණිවුඩයක් දෙන්න’ යන පොදු ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස නොයෙක් දෙනා විවිධාකාරයේ අදහස් ගැබ් වූ කෙටි වාක්‍ය තැටිගත කළා. කිසිදු රජයක, තානාපති කාර්යාලයක හෝ නිල ආයතනයක මැදිහත්වීමක් තිබුණේ නැහැ. අන්තිමේදී විශ්වයට ගිය මානව පණිවුඩ තැටිය නිල නොවන, ශාස්ත‍්‍රීය තේරීමක් වීම ගැන මා ඉතා සතුටු වනවා!

සිංහලෙන් මේ සුභාශිංසනය විශ්වයට යැවීමේ දුර්ලභ අවස්ථාව ලැබුණේ ආචාර්ය කමල් ඩි ආබෲ (Dr Kamal De Abrew) නම් ලාංකිකයාටයි. මෙය සිදු වී ඇත්තේ අහම්බෙන්. මීට වසර කිහිපයකට පෙර ටෙලිවිෂන් වැඩසටහනකට සූදානම් වෙද්දී මෙහි පසුබිම් කථාව මා අසා දැන ගත්තා.

ඒ කාලයේ ඔහු සිය ආචාර්ය උපාධියට කෝනෙල් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙක්. සේගාන්ගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටියා සිංහලෙන් පණිවුඩයක් දෙන ලෙස. ඒ අනුව ඉතා කෙටි එහෙත් අපේ සංස්කෘතිය හරවත් ලෙස නියෝජනය කැරෙන ‘ආයුබෝවන්’ යන වචනය ඔහුගේ හඩින් මේ තැටියට ලබා දුන්නා. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු හැටියට විවිධ සරසවිවල සේවය කර ඇති ආචාර්ය ඩි ආබෲ තවමත් සක‍්‍රීය සරසවි ඇදුරෙක්.

කමල් ඩි ආබෲ එසේ 1977 වසරේ දිනෙක කෝනෙල් සරසවියේදී පැවසූ ‘ආයුබෝවන්’ වචනය අන් සියළු සිංහල වචනවලට වඩා වැඩි කලක් පැවතීමේ ඉඩක් පවතිනවා. මිහිතලය මත කාලගුණ, දේශගුණ, සොබාවික විපත් හා වෙනත් අනපේක්‍ෂිත සිදුවීම් නිසා සහස‍්‍ර ගණනක් යම් දෙයක හෝ යම් භාෂාවක පැවැත්ම ගැන සහතික වන්නට බැහැ. එහෙත් හිස් අභ්‍යවකාශය හරහා අපෙන් ඔබ්බට ඇදී යන (එකිනෙකට වෙනස් දිශාවලට යොමු වී ඇති) වොයෙජර් 1 හා 2 යානාවල ඇති විශ්වයට යැවෙන පණිවුඩයල අපේ වර්ගයාට වැඩි කාලයක් පවතිනු ඇති. විශ්වයේ කිසිවක් සාදාතනික නොවූවත්, සාපේක්‍ෂව තව වසර 40,000ක් හෝ ලක්‍ෂයක් වූවද එය නිරුපද්‍රිතව තිබීමේ සම්භාවිතාව ඉහළයි. ආයුබෝවන් වචනයේ අරුතින් ම ඒ අන්තිම සිංහල වචනය වැඩි ම කලක් රැදී පවතිනු ඇති.

ලෝක නායකයන් අතරින් මේ තැටියේ ලිඛිත පණිවුඩ යවා ඇත්තේ එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩයිම් පමණයි. මෙය දේශපාලකයන් දුරස්ත කරමින්, විද්වතුන්, කලාකරුවන් හා සාමාන්‍ය මිනිසුන්ගේ සාමුහික ප‍්‍රයත්නයක් කළ කාල් සේගාන්ට අපේ ප‍්‍රණාමය!

“අපට ලෙහෙසියෙන් සිතා ගත නොහැකි තරම් ඉදිරි අනාගතයේ දී, එනම් අදින් වසර මිලියන් ගණනක් ගෙවී ගිය පසු අපේ පෘථිවියේ මහාද්වීප වෙනස් වී, ජීවීන් මුළුමනින් පරිනාමය වී හෝ වඳ වී හෝ තිබිය හැකියි. අපේ විවිධ ශිෂ්ඨාචාරයන් ඉදි කළ සියල්ල කාලයාගේ ඇවෑමෙන් දුවිලි බවට පත්වනු ඇති. එහෙත් මේ සියල්ලෙන් දුරස්තව විශ්වයේ යම් තැනෙක 1977දී අප උඩුගුවන් ගත කොට යැවූ වොයෙජර් යානා දෙක අපේ රූප හා හඩ පමණක් නොවෙයි, අපේ සිහින හා පැතුම් ද රැගෙන ගමනේ යෙදෙනු ඇති. යම් දිනෙක මුළු මිහිතලය වෙනුවෙන් විශ්වයේ ඉතිරි වන්නේ එය පමණක් ද විය හැකියි.” ඉතා දාර්ශනික ලෙසින් ආචාර්ය කාල් සේගාන් එසේ කියනවා.

ඇත්තට ම මෙබදු තැටියක් වාදනය කොට අපේ රූප හා ශබ්ද ග‍්‍රහණය කිරීමෙන් අපේ ලෝකය හා එහි විවිධ සභ්‍යත්වයන් ගැන දළ හැගීමක් හෝ ලබන්නට පිටසක්වල ජීවීන්ට හැකි වේද? මෙයට හරි පිළිතුරක් දෙන්න අමාරුයි. පියාඹන පීරිසි ගැන විවිධ ප‍්‍රබන්ධ කථා කෙතරම් ප‍්‍රචලිත වුණත් බුද්ධිමත් පිටසක්වල ජීවයක් ඇති බවට පැහැදිලි සාක්‍ෂි තවමත් අපට ලැබී නැහැ.

විශ්වයේ අප වැනි හෝ අපටත් වඩා දියුණු ජීවීන් වාසය කරන බව අද බහුතරයක් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. නමුත් විශ්වයේ ලෝක අතර ඇති ඉමහත් දුර ප‍්‍රමාණ නිසා ඔවුන් හා අප අතර සන්නිවේදනය දුෂ්කර කාරියක්.

යම් දිනෙක අපට බෙහෙවින් වෙනස් පිටසක්වල ජීවීන් මේ තැටියට සවන් දුන්නොත් ඔවුන් අපේ ලෝකය හා අපේ වර්ගයා ගැන කුමක් සිතයි ද?

වොයෙජර් තැටියේ අන්තර්ගතය සඳහා බලන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/goldenrec.html

විශ්වයේ අන්තිම සිංහල වචනයට සවන් දෙන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/greetings.html

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

3 thoughts on “සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?”

  1. ආයුබෝවන් हमारे Guys நன்றாக (google translator එකෙන් පරිවර්තනය) වගේ මික්ස් ෆුට් භාෂාවක් තිබුනොත් ? එහෙම එකක් යවල නැත්ද? (දන්නැති නිසා ඇහුවෙ)

  2. මේ සම්බන්ධවම නොවුනත් සිංහල බස ගැන කියවුනු නිසා පහත ලින්ක් එකත් වෙලාවක් තිබුනොත් බලන්න. සිංහල වලට ඉදිරියේදි මොනවා වෙයිද කියල තමයි මේ ලිපියෙ කතා කරලා තියෙන්නේ
    http://trueorcrazy.blogspot.com/2010/06/blog-post_10.html

  3. වටිනා කියන කරුණු කීපයක් දැනගත්තා. ස්තුතියි

    ආයුබෝවන් !!!

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.