In this week’s Ravaya column (in Sinhala), I share my impressions and reflections of the city of Rio de Janeiro that just hosted the Rio+20 conference. But this piece is not about the event, but its venue — where the first world of affluence and third world of deprivation co-exist.
Similar impressions were shared in an English column last week: When Worlds Collide #21: Walking in Rio with Three Friendly Ghosts…
Statue of Christ te Redeemer looks down on Rio de Janeiro from Corcovado Mountain
තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UN Conference on Sustainable Development, Rio+20) බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත්වුණා.
රාජ්‍ය නිලධාරී, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, විද්වතුන් හා ජනමාධ්‍ය නියෝජිතයන් 50,000කට අධික සංඛ්‍යාවක් 2012 ජූනි මස මැදදී රියෝ නුවරට පැමිණියා.
එයින් බොහෝ දෙනකු රැස්වීම්, ප‍්‍රදර්ශන හා උද්ඝෝෂණ ආදිය පැවැත්වෙන තැන්වල කල් ගත කළ නිසා රියෝ නුවර දැක බලා ගන්නට කෙතරම් අවකාශ ලැබුණාදැයි කියන්නට අමාරුයි. රාජ්‍ය නායක සමුළුව ඇරඹුණු දිනයේ ඒ සියල්ල පසෙක තබා රියෝ නුවර එදිනෙදා ජීවිතය අත් විඳින්නට මා පැය කිහිපයක් වීදි සංචාරය කළා.
රියෝ ද ජනෙයිරෝ නුවර බ‍්‍රසීලයේ දෙවන විශාලතම නගරයයි. (පළමු තැනට එන්නේ සාවෝ පෝලෝ මහා නගරයයි.) වර්ග කීමී 1,260ක් විශාල රියෝ නගර සභා ප‍්‍රදේශයේ මිලියන 6ක් දෙනා වාසය කරනවා. එමෙන් තුන් ගුණයක් විශාල මහා රියෝ (Metro Rio) ප‍්‍රදේශයේ සිටින පදිංචිකරුවන් ගණන මිලියන් 12.5කට වැඩියි.
අත්ලාන්තික් සාගරය අබියස පිහිටි මේ මනරම් වෙරළබඩ නගරය, දකුණු අමෙරිකානු සාංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙසත්, සංචාරක ආකර්ශනයක් ලෙසත් ලෝක ප‍්‍රසිද්ධයි. වාර්ෂිකව පැවැත්වෙන, දින ගණනක් පුරා දිවෙන වීදි සැනකෙලිය (Rio Carnival) නිසාත්, අවට පිහිටි ගිරි ශිඛර හා කඳු මුදුන් නිසාත්, පියකරු වෙරළ තීරයන් නිසාත් මේ නගරය ගැන ලොව පුරා පවතින්නේ හිතකර ආකල්පයක්. දැඩි තරගකාරී පසුබිමක් තුළ 2016 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වරම දිනා සිටින්නේ ද රියෝ නුවරයි.
එහෙත් රියෝ හුදෙක් පියකරු දසුන් හා විනෝද කෙළිවලට සීමා වූවක් නොවෙයි. ඉසුරුබර බ‍්‍රසීල ජාතිකයන් හා දුගී දුප්පත් වැසියන් දෙපිරිසට ම නිවහනක් වන මේ නගරය ලෝකයේ විසමතා හා අසමානතා කැටි කරන කැඩපතක් වගෙයි.
සමස්තයක් ලෙස එනුවර යටිතල පහසුකම් හා පොදු ප‍්‍රවාහන සේවා යම් මට්ටමකට දියුණු වී ඇතත්, ඉසුරුබර රියෝ වැසියන් වෙසෙන ප‍්‍රදේශ හා දුප්පත් ජනයා වෙසෙන ප‍්‍රදේශ අතර ඇස් පනාපිට පෙනෙන වෙනස්කම් තිබෙනවා.
රියෝ වැසියන්ගෙන් සියයට 20ක් පමණ වෙසෙන්නේ ෆවෙලා (favela) නමින් හඳුන්වන අඩු ආදායම් නිවාස ගොනුවලයි. එබඳු ෆවෙලා දහසකට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ ජීවත්වන වැසියන්ගේ ආදායම, සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටම් මෙන් ම අනෙකුත් සමාජ-ආර්ථික සාධක වඩාත් පහළයි. දුගී බවින් මතුව එන වීදි ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ වැඩි වීම හා පොලීසියේ දුෂණ වංචා ආදී සමාජ විසමතා රැසක් එහි හමු වනවා.
City of God, 2002 2002දී නිෂ්පාදනය කළ ‘දෙවියන්ගේ නගරය’(City of God ) නම් බ‍්‍රසීල වෘතාන්ත චිත‍්‍රපටය හරහා මේ ෆවෙලා ජනපදවල එදිනෙදා ජීවිතය ගැන නෙතඟ බැල්මක් සෙසු ලෝකයට ලැබුණා. දරිද්‍රතාවයේ හා ප‍්‍රචණ්ඩත්වයේ ග‍්‍රහණයට හසු වූවත් ෆවෙලා යනු මිනිසත් බවේ කාන්තාර නොවෙයි. හිත හොඳ මිනිසුන් හා ගැහැනුන් එහි සිටිනවා. එනයින් බලන විට ෆවෙලාහි යථාර්ථය බොම්බාය, ජකර්තාව හා මැනිලා වැනි ආසියානු මහා නගරවල පැල්පත්වලට සමානයි. මෙබඳු සංකීර්ණ සමාජ සම්බන්ධතා කෙටි සංචාරයකින් තේරුම් ගැනීමත් අසීරුයි.
‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.
‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.
රියෝ නුවර අවිධිමත් ආර්ථිකය, වීදි හා පදික වෙළඳුන්, කැලි කසල ඉවත් කරන්නන් හා තවත් බොහෝ සේවා සපයන්නේ ෆවෙලා වාසීන් විසින්. ඉසුරුබර සුළුතරයක ඉහළ ජීවන තත්ත්‍වය පවත්වා ගන්නට මේ බහුතරයකගේ ක‍්‍රියාකාරිත්වය නැතිව ම බැහැ. සුවිශේෂත්වය නම් දුප්පත් – පොහොසත් දෙපිරිස රියෝ නගරය බෙදා ගෙන සමාන්තර ජීවිත ගත කිරීමයි. මෙබඳු සාපේක්‍ෂව සාමකාමී සහජීවනයක් ලෝකයේ හැම මහා නගරයක ම හමු වන්නේ නැහැ.
2002දී මිහිතල සමුළුව පැවැත් වූ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර තත්ත්‍වය මීට ඉඳුරා ම වෙනස්. 1994දී වර්ණභේදවාදී අමිහිරි අතීතයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ, නව ව්‍යවස්ථාවක් යටතේ දකුණු අප‍්‍රිකානු ජනයා දිවි ගෙවනවා. එහෙත් ඓතිහාසිකව මුල් බැස ගත් දැඩි ඇති නැති පරතරයක් එරට තිබෙනවා. දකුණු අප‍්‍රිකාවේ ඉසුරුබර සුළුතරය කල් ගෙවන්නේ මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදිය පිළිබඳ නිරන්තර බියෙන් හා සැකයෙන්.
ජොහැන්නස්බර්ග් හා කේප්ටවුන් නගර සමඟ සසඳන විට ඊට වැඩි සැහැල්ලූවකින් රියෝ නුවර දිවි ගෙවෙන බව පෙනෙනවා. මෙයට එක් හේතුවක් විය හැක්කේ දශකයකට වැඩි කලක් තිස්සේ මානුෂික මුහුණුවරක් ඇති ධනවාදී ආර්ථිකයක් ඇති කරන්නට එරට රජයන් ගන්නා උත්සාහයයි.
බ‍්‍රසීලය සොබා සම්පත් හා ජන සම්පත් අතින් පොහොසත්. අද ලෝකයේ මතුව එන ආර්ථක බලවතකු ලෙස සැළකෙන ප‍්‍රමුඛ පෙළේ රාජ්‍යයක්. භූමි ප‍්‍රමාණයෙන් මෙන් ම ජනගහනයෙන් ද බ‍්‍රසීලය ලෝකයේ පස් වන විශාලතම රටයි. එය ඉන්දියාව මෙන් තුන් ගුණයක් විශාලයි. ජනගහනය මිලියන් 192යි. එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 12,000යි. ඇති නැති පරතරය පැවතුණත් ගෙවී ගිය දශකය තුළ එරට දුගී ජනයාගේ ජීවන මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.
මිහිතලයේ ඉදිරි පැවැත්ම ගැන පුළුල්ව හා ගැඹුරින් විවාද කරන ජගත් සමුළුවක් සිය නගරයේ පැවැත් වෙන අතර, තමන්ගේ ජීවන අරගලයේ නිරත වන රියෝ වැසියන් ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අපේ පොදු අනාගතය (Our Common Future) බඳු උතුම් සංකල්ප ගැන සිතන්නට කලින් අද දවසේ දිවි ගැට ගසා ගන්නා අභියෝගයට බහුතරයක් රියෝ වාසීන් හා බ‍්‍රසීල ජාතිකයන් මුහුණ දෙනවා.
ලොව පුරා තිරසාර සංවර්ධනයට යොමු වන සමාජයන්ට ඇති පොදු අභියෝගය වන්නේත් එයයි. පැහැබර හෙට දවසක් ගැන සිතන්නට අවකාශයක් නැති අති විශාල ජනකායකට අද දවසේ මූලික ජීවන අවශ්‍යතා සපයා දෙන්නේ කෙසේ ද? එබඳු පසුබිමක් තුළ පරිසරය හා සොබා සම්පත් ප‍්‍රවේශමින් පරිහරණය කරන අතර ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ හැමට බෙදී යන ආකාරයේ ප‍්‍රතිපත්ති හා සැළසුම් සකස් කරන්නේ කෙසේ ද?
1992 ජූනි මාසයේදීත් රියෝ නුවර මිහිතල සමුළුවක් පැවැත්වුණා. තිරසාර සංවර්ධනයේ අභියෝග ගැන රාජ්‍ය නායකයන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් විවාද කරන අතර, මගේ ජ්‍යෙෂ්ඨ සහෘදයකු වූ බි‍්‍රතාන්‍ය පුවත්පත් කලාවේදී හා වාර්තා චිත‍්‍රපට නිෂ්පාදක රොබට් ලෑම්බ් (Robert Lamb) අසම්මත රටාවක වාර්තාකරණයකට මුල පිරුවා.
සමුළුව පැවැත් වූ කාලයට ආසන්නව උපත ලත් දරු දැරියන් 11 දෙනකුගේ ජීවිතය, ඔවුන්ගේ සමාජ හා ආර්ථික සාධක මගින් තීරණය කැරෙන්නේ කෙසේදැයි දිගු කාලීන විමර්ශනයක් ඔහු ඇරඹුවා. බ‍්‍රසීලය, චීනය, කෙන්යාව, පැපුවා නවගිනියාව, දකුණු අප‍්‍රිකාව (කළු සහ සුදු දරුවන් දෙදෙනෙක්), වෙනසුවෙලාව හා ඉන්දියාව යන දියුණු වන රටවලත්, අමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා නෝර්වේ යන දියුණු රටවලත් 1992 උපන් දරුවන්ගේ ප‍්‍රගමනය මේ යටතේ වසර දෙකෙන් දෙකට චිත‍්‍රපට ගත කරනු ලැබුවා.
රොබට් එයට දුන් කථාමාලා නාමය ‘Children of Rio’ හෙවත් ‘රියෝ පරම්රාවේ දරුවෝ’ යන්නයි. විසි වසරකට පෙර ලෝකයේ රටවල් සිය වැසියන්ට වඩාත් හොඳ අනාගතයක් බිහි කරන්නට දුන් ප‍්‍රතිඥාවන් කෙතරම් දුරට ක‍්‍රියාත්මක කොට හා සාර්ථක වී ඇත්දැයි ඉඟියක් මේ හරහා ලද හැකියි.
අද වන විට මේ දරුවන් වයස 20ට ආසන්නයි. මේ දශක දෙක තුළ ඔවුන් හා පවුල් අත්දුටු යථාර්ථය සංවේදී ලෙස හසු කර ගැනීම හරහා තිරසාර සංවර්ධනයේ සැබෑ තත්ත්‍වය පිළිබිඹු වන ලෝක ව්‍යාප්ත මාධ්‍ය අත්හදා බැලීමක් බවට මෙය පත්ව
තිබෙනවා.
VIDEO
රියෝ පරම්පරාවේ එක් දරුවකු රියෝ නුවර ම ෆවෙලා පවුලක උපන් රෝසාමරියා (Rosamaria) දැරියයි. ඇය කුඩා කල ඇගේ පියා ඔවුන් හැර දමා යන්නට ගියා. ඇය හදා වඩා ගත්තේ මව හා ඥාතීන් විසින්. රෝසාමරියා පාසල් ගියත් ඉගෙනීමට ඇල්මක් හෝ පසුබිමක් තිබුණේ නැහැ. විනය හේතුන් නිසා පාසලෙන් නෙරපනු ලබන ඇය නව යෞවන වියේ දරු දැරියන් සමග නිදැල්ලේ කල් ගෙවීම කෙළවර වන්නේ වයස 18දී ඇයත් මවක බවට පත් වීමෙන්.
මේ දරුවා හදා ගන්නට ඇයත් සහකරුවාත් දැඩි අරගලයක යෙදෙනවා. හරිහැටි අධ්‍යාපනයක් නැති නිසා ඇයට ආදායමක් ඉපැයීමට ඇති අවස්ථා සීමිතයි. අපරාධ හා විෂමාචාර මෙන් ම හොඳහිත හා ධෛර්යවන්තකම ද බහුල ෆවේලාවක සිට කවදා හෝ තමන් නොලද වරප‍්‍රසාද සිය බිළිඳු පුතුට ලබා දීමට රෝසාමරියා අධිෂ්ඨාන කර ගෙන සිටිනවා. http://tiny.cc/CORosa
ඇගේ කථාව අනුවේදනීය වනවා මෙන් ම රියෝ සමුළුවේ ගෝලීය අරමුණු අවසන් විනිශ්චයේදී සැබෑ ලෝකයේ ගැහැනුන්. මිනිසුන් හා දරුවන්ට අදාල වන සැටි ගැන ප‍්‍රබල විවරණයක් සපයනවා.
‘Children of Rio’ බඳු දිගු කාලීන මාධ්‍ය වාර්තාකරණයන් කිරීමට මාධ්‍ය සම්පත් හා කුසලතා පෙළගැස්මක් අවශ්‍යයි. දුවන ගමන් ප‍්‍රවෘත්ති වාර්තා කරන මාධ්‍යවේදීන්ට එබඳු විමර්ශනාත්මක හා සංවේදී වාර්තාකරණයකට අවකාශ නැහැ. එබඳු දිගු කාලීන ආයෝජනයක් කරන්නට බොහෝ මාධ්‍ය ආයතන කැමතිත් නැහැ.
1980 දශකයේ මුල මහවැලි ජනපදවල පදිංචි කෙරුණු පවුල් කිහිපයක ඉදිරි ගමන දශක දෙක තුනක් තිස්සේ රූපමය ආකාරයෙන් වාර්තා කළ හැකි වී නම් කෙතරම් අපූරු ද? යුද්ධයෙන් පසු අධිවේගී සංවර්ධනයකට යොමුව ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳව දිගු කාලීන මානුෂික වාර්තාකරණයකට දැන් වුවත් යොමු විය හැකි නම් ශීර්ෂ පාඨයන්, උද්‍යෝග පාඨයන් හා දේශපාලන සංකල්ප සියල්ලෙන් ඔබ්බට යන ගැඹුරු විග‍්‍රහයක් ලද හැකියි.
රියෝ පරම්පරාවේ කථාව දශක දෙකක් සම්පූර්ණ වන මොහොතේ එය බෙදා හදා ගන්නට මගේ ටෙලිවිෂන් ගුරුවරයා වූ රොබට් ලෑම්බ් අප අතර නැහැ . පිලිකාවකින් පරාජය වූ රොබට් මේ වසරේ පෙබරවාරියේ මිය යන විට වයස 59යි.
රියෝ පරම්පරාවේ කථාව ඔහුගේ අනුගාමිකයන් දිගට ම වාර්තා කරයි ද? තවත් වසර 10කින්, 20කින් මේ ජීවිතවල ඉදිරි කථාව කුමන අයුරකින් ලියැවේද? මේ අවිනිශ්චිත බවට මැදි වෙමින් මා රියෝ නුවරින් සමු ගෙන ආපසු පැමිණියා.