සිවුමංසල කොලූගැටයා #61: ශ්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන

This is the Sinhala text of my Ravaya Sunday column published in their issue for 8 April 2012. My theme this week is the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon that took place 70 years ago this week.

The 5 April 1942 attack on Colombo Harbour and the nearby Ratmalana Airport took place exactly 119 days after the Pearl Harbour attack in Hawaii.

Similar ground is covered in my English blogpost:
Battle of Ceylon: 70 years on, still waiting for its place in the movies…

Japanese Air Raids on Ceylon, April 1942 – Map by C E Warner

නිසි කලට අනතුරු ඇගවීමක් ලැබීම නිසා මහ ව්‍යසන වළක්වා ගත් අවස්ථා ඉතිහාසය පුරා අපට හමු වනවා. එහෙත් අනතුරු ඇගවිමක් ලැබුණාට පමණක් මදි. එය ලද විගස තීරණාත්මක ලෙසින් ක‍්‍රියාත්මක වීමත් අවශ්‍යයි.

එය එසේ නොවූ විට සිදු විය හැකි දේ ගැන බලවත් ම උදාහරණය අප දුටුවේ 2004 දෙසැම්බර් 26දා සුනාමිය ආ විටයි. විද්‍යාත්මකව ජාත්‍යන්තර මට්ටමින් ශ‍්‍රි ලංකාවට ලබා දුන් අනතුරු ඇගවීම ගැන මෙරට බලධාරින් කිසිදු පියවරක් නොගැනිම නිසා ලෙහෙසියෙන් බේරා ගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් පැය කිහිපයක් ඇතුළත විනාශ වුණා.

මේ විපත මට යළිත් සිහිපත් වූයේ මීට වසර 70කට පෙර ජපන් ගුවන් යානා ලංකාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරිම ගැන පොතක් කියවන විටයි. 1942 අපේ‍්‍රල් 5දා කොළඹ වරාය හා රත්මලාන ගුවන් තොටුපළටත්, අපේ‍්‍රල් 9 වනදා ත‍්‍රිකුණාමල වරාය හා නැගෙනහිර වෙරළාසන්නව නවතා තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලටත් ප‍්‍රහාර එල්ල වුණා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාස වාර්තාවල මේ ප‍්‍රහාරයන් හදුන්වන්නේ පාස්කු ඉරිදා ගුවන් ප‍්‍රහාරය (Easter Sunday Air Raid) හැටියටයි. තවත් සමහරුන් එය ලංකාව සඳහා කළ යුද්ධය (Battle of Ceylon) කියා හදුන් වනවා.

එකල රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස මෙරට සේවය කළ මයිකල් ටොම්ලින්සන් පසු කලෙක (1976) ලියූ The Most Dangerous Moment පොත, මේ සිදුවීම් මාලාව පිළිබඳව ඇති හොඳම ඓතිහාසික සටහනයි.

කොළඹ හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලට ජපන් ප‍්‍රහාර එල්ල වූයේ ඒ වන විට දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ තීරණාත්මක තැනක ශ‍්‍රි ලංකාව පිහිටීම නිසා. 1942 පෙබරවාරි වන විට ජපන් හමුදා අග්නිදිග ආසියාව යටත් කර ගත්තා. මලයාව, බුරුමය හා සිංගප්පුරුව ජපන් පාලනයට නතු වීමෙන් පසු දකුණු ආසියාව අල්ලා ගන්නට ඔවුන් උත්සුක වුණා. එහි මුල් පියවර වූයේ ලංකාව යටත් කොට එහි ජපන් යුද්ධ නෞකා, සබ්මැරින හා ගුවන් යානා නතර කිරිමයි. ඉන් පසු ඉන්දියාවටත්, ඉනික්බිති මැදපෙරදිග දක්වාත් බලය විහිදු වීමට ජපන් හමුදාවට සැළසුමක් තිබුණා.

දෙවන ලෝක යුද්ධයේ අතිශයින් බිහිසුණු වූත්, තීරණාත්මක වූත් සන්ධිස්ථානයක් ලෙසින් බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති වින්ස්ටන් චර්චිල් පසුව හදුන්වා දුන්නේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයයි. ඒ කාලය තුළ ලංකාවේ පාලනය බි‍්‍රතාන්‍ය ජාතිකයන් අතින් ගිලිහී ජපන් ජාතිකයන් අතට ගියා නම් දෙවන ලෝක යුද්ධයෙ ඉතිරි වසර තුන හමාර බෙහෙවින් වෙනස් විය හැකිව තිබුණා. (යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.)

ජපන් අරමුණු ගැන හොඳ ඉගියක් මිත‍්‍ර පාක්ෂික හමුදාවලට තිබුණත්, ඇත්තට ම ජපන් නාවික හා ගුවන් හමුදාවල හැකියාව ගැන විස්තරාත්මක අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. අද මෙන් පෘථිවි කක්ෂයේ සිට ලෝකයේ ඕනෑ ම තැනක සිදුවන දේ ගැන ඔත්තු බැලීමේ තාක්ෂණික හැකියාව නොතිබුණු ඒ යුගයේ, ප‍්‍රතිමල්ලව බල පරාක‍්‍රමය පිළිබඳව සෙවීමට මිනිස් ඔත්තුකරුවන් මත බොහෝ සේ යැපීමට සිදු වුණා. ඉන්දියානු සාගරය හරහා යුද්ධ නැව් සමුහයක් එවා ලංකාව ඇල්ලීමට තරම් ජපාන හමුදාවට හැකියාවක් ඇතැයි බොහෝ බි‍්‍රතාන්‍ය පරිපාලකයන් විශ්වාස කළේ නැහැ.

එහෙත් ජපන් ප‍්‍රහාරයකට මුහුණ දීමේ පෙර සුදානමක් 1942 මුල සිට ක‍්‍රියාත්මක වුණා. එහි පෙරමුණ ගත්තේ මිත‍්‍ර පාක්ෂික හමුදා සියල්ල සඳහා මෙරට ප‍්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස පත්ව ආ අද්මිරාල් ශ‍්‍රීමත් ජෙෆ්රි ලේටන් සහ සිවිල් ආරක්ෂක බලධාරියා ලෙස පත් කර සිටි ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලකයි. දිවයිනේ කිහිප තැනෙක ගුවන් තොටුපළ හෝ ගුවන් තීරු ඇති කිරීම, කොළඹ තුරග ධාවන පිටිය ගුවන් තීරුවක් බවට පත් කිරිම හා ඉන්දියානු සාගරය නිරික්සමින් ගුවන් සංචරණයේ යෙදීම (Aerial Patrols) මේ ආරක්ෂක පියවර කිහිපයක්.

කොග්ගල බොක්ක තාවකාලික ගුවන් කඳවුරක් බවට පත් කිරිමත් සමග දිය මත සිට පියාසර කිරිමේ හැකියාව ඇති කැටලයිනා (Catalina) ගුවන්යානා සමූහයක් එහි රඳවනු ලැබුවා. එක දිගට පැය 18-20ක් පමණ වේලාවක් ගුවන් ගතව සිටීමේ හැකියාව තිබූ “පියාඹන බෝට්ටු” හැටියට හැදින්වුණු කැටලයිනා ගුවන්යානා යොදා ගෙන ලංකාව අවට වර්ග කිලෝමීටර් සිය ගණනක සාගර පෙදෙසක් නිරික්සනු ලැබුවා.

Sq Ldr Leonard Birchall, ‘Saviour of Ceylon’ aboard his Catalina aircraft

1942 අපේ‍්‍රල් 4 වනදා දවස පුරා එසේ නිරික්සිමේ යෙදී සිටි කැටලයිනා යානයක් ආපසු කොග්ගලට එන්නට සුදානම් වන මොහොතේ එහි සිටි ජේ්‍යෂ්ඨතම නිලධාරියා වූ කැනේඩියානු ජාතික ලෙනාඞ් බර්චෝල් ක්ෂිතිජයේ අසාමාන්‍ය අදුරු තිත් කිහිපයක් දුටුවා. එය කුමක්දැයි සොයන්නට පියාසර කළ ඔවුන් දුටුවේ හීන්සීරුවේ ලංකාව වෙත ඇදෙමින් තිබූ ජපන් ගුවන්යානා ප‍්‍රවාහන නෞකා (aircraft carriers) හා තවත් යුද්ධ නැව් කිහිපයක්. මේ නෞකා ඒ වන විට සිටියේ ලංකා දුපතට සැතපුම් 400ක් (කිමි 640) දකුණින්, මාලදිවයින් අසල.

මේ බිහිසුණු ආරංචිය හැකි තාක් විස්තරාත්මකව කොළඹ මෙහෙයුම් මැදිරියට රේඩියෝ පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒ පණිවුඩය යවා විනාඩි කිහිපයක් ඇතුළත කැටලයිනා ගුවන් යානයට යුධ නැවෙන් අහසට නැගුණු සීරෝ (Zero) ප‍්‍රහාරක යානා වෙඩි තැබුවා. මුහුදට කඩා වැටුණ කැටලයිනා යානයේ සිටි බර්චෝල් ඇතුළු පස් දෙනකු ජපන් යුධ සිරකරුවන් බවට පත් වුණා.

කැටලයිනා ගුවන් හමුදා පිරිස ජිවිත පරදුවට තබමින් කොළඹට එවූ රේඩියෝ පණිවුඩයත් සමග ජපන් ප‍්‍රහාරයක් පසුදින උදේ නියත වශයෙන් එල්ල වන බවට පැය 12ක අනතුරු ඇගවීමක් කොළඹට ලැබුණා. එහෙත් ජපන් යුධ නැව් සමුහයට කුමන ප‍්‍රහාරක ගුවන්යානා ඇත් ද, ඒවායේ පියාසර කාලය හා යා හැකි උපරිම දුර ආදිය ගැන නිසි තොරතුරු නොදත් නිසා ඔවුන්ට හැකි වූයේ අනුමාන මත පදනම් වූ ආරක්ෂිත පියවර ගැනීමට පමණයි. දිවයින පුරා සියලූ හමුදා සීරුවෙන් තබන්නටත්, රැය පුරා අවධියෙන් සිටින්නටත් තීරණය වුණා.

එහෙත් මහජනයා කළබල වීම වළක්වනු පිණිස එළඹෙන ජපන් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නොකිරිමට රජය තීරණය කළා. මේ නිසා පසුදා හිරු උදාවත් සමග තවත් ඉරිදාවක සැහැල්ලූ ජන ජීවිතය ඇරඹුණා.

බලාපොරොත්තු වූ පරිදි හිමිදිරි පාන්දර ජපන් ප‍්‍රහාරයක් සිදු නොවූ විට මිත‍්‍ර පාක්ෂික හමුදාවල සුදානම මඳක් ලිහිල් වුණා. ඈත එන ගුවන් යානා පියවි ඇසට පෙනෙන්ට පෙර හදුනා ගත හැකි රේඩාර් තාක්ෂණය නිපද වූ අළුත නිසා මුළු ලංකාවට ම තිබුණේ ප‍්‍රාථමික මට්ටමේ රේඩාර් යන්ත‍්‍රයක්. එය රත්මලාන හමුදා ගුවන් තොටුපළේ සවිකර තිබුණා.

පෙරවරු 7.30 වන තුරුත් සතුරු යානාවල සේයාවක් හෝ නොදුටු බැවින් උදාසන ආහාරය ගන්නට රත්මලානේ හමුදා භටයන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබුවා. පෙරවරු 7.50ට ජපන් ගුවන්යානා සමූහයක් රත්මලාන අහසේ එක වර දිස් වුණා.

ගාල්ල අසලින් ලංකා ගුවන් කලාපයට පිවිස, කොළඹ බලා උතුරු දෙසට පියාසර කරන සියයකට වැඩි ජපන් යානා සමහය දකුණු හා බටහිර වෙරළබඩ බොහෝ දෙනා ඇසින් දුටුවා. එහෙත් දුරකථන පණිවුඩයක් හෝ වෙනත් දැනුම්දීමක් හෝ ආරක්ෂක මර්මස්ථානවලට ලැබුණේ නැහැ. මේ නිසා ජපන් ප‍්‍රහාරය එළඹෙන බව දැන දැනත් නිසි සුදානමින් නොසිටීමේ විපාක රත්මලානේදී අත් විදින්නට සිදු වුණා.

බි‍්‍රතාන්‍ය හරිකේන් ප‍්‍රහාරක යානා ගණනාවක් ධාවන පථය මතදී ම ජපන් ප‍්‍රහාර නිසා විනාශ වුණා. කඩිමුඩියේ ගුවන්ගත කළ ඉතිරි ප‍්‍රහාරක යානා මගින් ආක‍්‍රමණික ජපන් හමුදාවට ප‍්‍රතිරෝධයක් එල්ල කළත්, සටනේදී මවිතයෙන් ලබන වාසිය (surprise attack) බොහෝ දුරට ලැබුවේ ජපන් ගුවන් නැවියන්.

බර්චෝල් පැය 12කට පමණ පෙර ලබා දුන් අනතුරු ඇගවීමෙන් හරිහැටි වැඩක් නොගැනීම ගැන සමස්ත බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික සේනාපතිත්වය දැඩි කණස්සල්ලට පත් වූ බවත්, එය ගැන පසුව විභාග කළ සැටින් ටොම්ලින්සන් සිය පොතේ ලියා තිබෙනවා.

එහෙත් උපාය මාර්ගිකව කොළඹ වරායේ තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකා ගණනාවක් එයින් පිටතට යවා ඈත මුහුදේ විවිධ තැන්වල රඳවා තිබූ නිසා ජපන් ප‍්‍රහාරයෙන් ලද නාවිකමය හානිය සීමා වුණා. පැය බාගයකට අඩු කාලයක් පැවතුණු අපේ‍්‍රල් 5 ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු මිය ගොස් තවත් 77 දෙනෙකු තුවාල ලද බව වාර්තාගතයි. කොලොන්නාවේ තෙල් ටැංකිවලට ඉලක්ක කළ බෝම්බ අංගොඩ මානසික රෝහලට වැටීමෙන් එහි රෝගීන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා.

ප‍්‍රහාරයට පැමිණි ජපන් ගුවන් යානා 27ක් විනාශ කළ බවට මිත‍්‍ර පාක්ෂික හමුදා වාර්තා කළත්, ලක් පොළවට ඇද වැටුණේ එයින් තුනක් පමණක් බව ටොම්ලින්සන් කියනවා. ඒවා හොරණ, ගල්කිස්ස හා පිටකෝට්ටේ යන ප‍්‍රදේශවලට කඩා වැටුණා.

මිට අමතරව හානියට පත් මිත‍්‍ර පාක්ෂික ගුවන්යානා ද ඇතැම් ස්ථාවලට ඇද වැටුණා. ප‍්‍රතිප‍්‍රහාරයෙන් අබලන් වූ ඇතැම් ජපන් යානා සිය යුද්ධ නෞකාවලට ආපසු පියාසර කරද්දී මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ද ඔහු අනුමාන කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විස්තරාත්මක වාර්තා ගණනාවක් ප‍්‍රකාශයට පත් වී ඇතත් එදින සිදු වූ සන්නිවේදන හා සම්බන්ධිකරණ පසුබෑම් ගැන හොඳම මැදහත් විග‍්‍රහය හමු වන්නේ ටොම්ලින්සන්ගේ පොතෙහි බව මගේ අදහසයි.

මේ පසුබෑම් මැද වුවත් ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය මැඩ පවත්වන්නට මෙරට රඳවා සිටි, විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් මිත‍්‍ර පාක්ෂික හමුදා සමත් වුණා. ලංකාව රැක ගැනීමේ සටන්වලින් 1942 අපේ‍්‍රල් මාසය තුළ මිත‍්‍ර පාක්ෂික හමුදා නිලධාරින් හා භටයන් දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. ඒ අතර ලාංකික, බි‍්‍රතාන්‍ය, අයිරිෂ්, ඕලන්ද, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු හා ඉන්දියානු ජාතිකයන් ද සිටියා.

ලංකාවට අතිශයින් තීරණාත්මක රේඩියෝ පණිවුඩය එවූ ලෙනාඞ් බර්චොල් සහ ඔහුගේ ගුවන් සගයන් යුද්ධය හමාර වූ පසු ඉහළ සම්මාන ලැබ කැනේඩියානු ගුවන් කොමදෝරු තත්ත්වයට උසස් වුණා. “ලංකාව බේරාගත් වීරයා” (Saviour of Ceylon) ලෙස විරුදාවලි ලැබු ඔහු 1967දී කෙටි නිල සංචාරයකට මෙරටට පැමිණියෙ මහත් ගරු සැලකිලි මැදයි.

ඇමෙරිකාවේ හවායි දුපත්වල පර්ල් වරයාට එල්ල වූ ජපන් ප‍්‍රහාරය ගැන බොහෝ පොතපත ලියැ වී, වාර්තා හා වෘතාන්ත චිත‍්‍රපට නිපදවා තිබෙනවා. එම ප‍්‍රහාරයට මුල් වූ ජපන් හමුදා විසින් ම ඊට දින 119කට පසු සිදු කළ කොළඹ ප‍්‍රහාරය ගැන එතරම් ඓතිහාසික හෝ ප‍්‍රබන්ධමය අවධානයක් යොමු වී නැහැ. මේ සිදුවීම් මාලාව ත‍්‍රාසජනක හා සත්‍යමය ලෙසින් වෘතාන්ත චිත‍්‍රපටයකට පාදක කර ගත හොත් අගෙයි.

මයිකල් ටොම්ලින්සන් සිය ගවේෂණාත්මක ග‍්‍රන්ථය පිළිගන්වා ඇත්තේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයේ ලංකාව හා එය අවට සාගරය සම්බන්ධ හමුදා මෙහෙයුම්වලට සහභාගි වූ සියලූ දෙනාටයි. විශේෂයෙන් ම දිය-ගොඩ-අහසේ දිවි අහිමි වූ අයටයි. ඒ සටනේ එක් පාර්ශවයකට සක‍්‍රියව සම්බන්ධ වී සිටියත්, ඉතිහාසය වාර්තා කරන්නකු ලෙස ඔහු සිය ප‍්‍රතිමල්ලව ජපන් හමුදාවලටත් ප‍්‍රණාමය පුද කරනවා.

“අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් අතිශයින් කාර්යක්ෂම ලෙසින් හා රණකාමී අයුරින් අප හා සටන් වැදුණු ජපන් හමුදාවලට ද අපේ ගෞරවය හිමි විය යුතු” යැයි ඔහු කියනවා.

End note: While researching for my Sunday column, I stumbled upon two other interesting short video clips on this aspect of the Second World War. They are both computer-generated scenarios, but well made. Despite some minor historical inaccuracies, they illustrate the rich story-telling potential of this vignette of history, largely overlooked by mainstream movie makers.

Easter Sunday Raid: The Battle of Ceylon. Prelude

Battle Of Ceylon

More at: http://tiny.cc/BatCey

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

12 thoughts on “සිවුමංසල කොලූගැටයා #61: ශ්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන”

  1. ජපන් ආක්‍රමනය (ජපන්නු කොලඹ වරායට බෝම්බ දැමීම ) ගැන අසා තිබුනත් මෙතරම් විස්තරාතමකව ඒ ගැන දැන සිටියේ නැහැ. ඒ ගැන ස්තුතියි.

    //යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.//

    මෙය එකල සිටි ප්‍රාදේශීය වාමංශිකයන්ගේ ජනප්‍රිය අදහසක්ද නැතහොත් ඉහල වාමාංශික නායකයන් පවා දැරූ යම්කිසි ආකාරයක නිල මතයක්ද? ඒ සඳහා මූලාශ්‍ර තිබේද?

  2. Lots of online refs, but mostly in English.

    Marxists.org says:
    The two Samasamajista members of the State Council served for four years until their removal in mid-1940 for their opposition to World War II. They were both among the most active and vocal members of the Island’s parliament, although their techniques were somewhat different. Philip Gunawardena tended to be the more explosive or even demagogic of the two, with N. M. Perera being “a more skillful dialectician.”
    Source: http://www.marxists.org/history/etol/writers/alex/works/in_trot/cey1_1.htm

    Wikipedia says:
    Most LSSP leaders were arrested during World War II for their opposition to what they considered to be an “imperialist war.” However, they managed to escape and the LSSP’s underground work continued throughout the war. The party’s propaganda was a vital element in the mutiny of the Ceylon Garrison Artillery on the Cocos Islands in 1942.
    http://en.wikipedia.org/wiki/Sri_Lanka_leftist_parties

    See also: http://en.wikipedia.org/wiki/Cocos_Islands_Mutiny

  3. Thanks. But all these sources do not say anything about SL leftists’ support on Japanese. Its not a secret that the SL leftists opposed the imperialist World War II. But were they supportive for Japanese?

    I know the phrase I highlighted (SL leftists support on the Japanese front) is a minor matter in your article. But it still has a great importance as it seems a(nother!) fundamental mistake made by the early leftists if they did so. I just wanted to know whether its an established fact or not. Thanks again…

    1. ලංකා සමසමාජ පක්ශය එවක දැරුවේ අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ විය යුතු ය යන ආස්ථානය මිස ජපානයට පක්ශපාත විය යුතු ය යන ආස්ථානය නෙමෙයි. එය වී. අයි. ලෙනින් විසින් පලමු ලෝක යුද සමයේ වර්ධනය කරනු ලැබූ විප්ලවීය පරාජකවාදය යන ක්‍රියාමාර්ගය පාදක කරගෙන ඉදිරිපත් කරනු ලැබූ ඉදිරිදර්ශනයක්. රටක ධනපති පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධයකට අවතීර්න වන අවස්ථාවක එම රටවල කම්කරු පන්තිය කුමක් කල යුතු ද යන පැනයට ලෙනින් දුන් පිලිතුර වුනේ එම යුද්ධයට එරෙහි ව තම රටේ ධනපති පන්තියේ පරාජය වෙනුවෙන් වැඩ කල යුතු බව. සමසමාජවාදීන් (ලෙනින් සේ ම) දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් දුන් පිලිතුර වුනේ එම යුද්ධයට එරෙහි විය යුතු බව යි. තම රටේ පාලක පන්තියට යුද්ධය සඳහා සහාය පුද නොකල යුතු බව යි. එම ආස්ථානය ජපානයේ යුද ප්‍රවිශ්ටයට මෙන් ම බ්‍රිතාන්‍යය ප්‍රමුඛ “මිත්‍ර” පාර්ශ්වයේ යුද පිලිවෙතට ද එරෙහි ව පිහිටා සිටි එකක්.

      යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට සහාය නොදීම යන්නෙන් ඔවුන් අදහස් කලේ එය යි. ඔවුන් ජපානයට සහාය දීම ද ප්‍රතික්ශේප කලා. ඒ වෙනුවට ඔවුන් කැඳවුම් කලේ අධිරාජ්‍යවාදයට එරෙහි ව ඉන්දු උපමහාද්වීපික සමාජවාදී සමූහාන්ඩු සංගමයක් හැටියට අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමේ අරගලය යි. එම සංකීර්න ඓතිහාසික අවස්ථාවේ තිබුනෙ පාර්ශ්ව දෙකක් හා මත දෙකක් විතරක් නෙමෙයි (“මිත්‍ර පාර්ශ්වය”ට එරෙහි ව ජපානය වැනි දෙකක් නෙමෙයි) සමසමාජ පක්ශය තෙවැනි විකල්ප මතයක් ඉදිරිපත් කර සිටියා. ඒක හුදෙක් ලංකාව බේරාගැනීම පිලිබඳ කාරනයක් වුනෙත් නෑ. ඔවුන්ගේ උත්සුකය වුනේ කලාපීය වශයෙන් විමුක්තිය/නිදහස සාක්ශාත් කරගන්නේ කොහොමද කියන එක යි. මේ පිලිබඳ තොරතුරු ඒ අවධියේ පල වුනු “සමසමාජය” පුවත්පත මෙන් ම වෙනත් පුවත්පත්වල පල වූ වාර්තාවලිනුත් හොයාගන්න පුලුවන්.

      1. ස්තුතියි ආනන්ද.. යුද්ධයට විරුද්ධ වුනු හැමෝම කොටි හිතවාදීන් නෙමෙයිනෙ. නාලක මේ ලිපියේ ලියා තිබෙන අන්දමට හැඟෙන්නෙ එය වාමාංශිකයන්ගේ පොදු මතය වුනු ලෙසයි. //යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.// මම හිතන්නෙ එය නිවැරදි විය යුතුයි අඩු වශයෙන් “ඇතැම් වාමාංශිකයන්” ලෙස. මොකද පැරැන්නන්ට අනුව ප්‍රාදේශීය වාමාංශිකයො ඉඳල තියෙනවා ජපනුන්ට පක්ශ වුනු. මගේ නිරීක්ශනය වූයේත් එය එම පක්ශ වල පොදු මතයක් නොවූ බවයි.

  4. @Anandawardhana and Buddhika,

    Thanks for your comments. But really it was just one sentence of a dozen words in an article that had 1,300. Besides, columns are meant to express informed opinion, and there is analysis in books published by the Social Scientists’ Association that supports my original point. But being neither historian nor socialist, I shall not get into a debate here.

    Maybe you are right, or maybe we are both right. After 70 years, who is left to dispute with first hand knowledge?

    1. //යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.//

      මේක informed comment එකක් කියල මට පිලිගන්න අමාරුයි. මොකද සමසමාජ පක්ශය කියන්නෙත් එවක ක්‍රියාත්මක වුනු “වාමාංශික” පක්ශයක් නේ. එම පක්ශය එවක යුධ විරෝධී අරගලය ගෙනියන්න පාවිච්චි කල ‘සමසමාජය’ පුවත්පත ඇතුලු විවිධ ප්‍රසිද්ධ ප්‍රකාශන අදත් කියවන්න පරීක්ශා කර බලන්න පුලුවන් ජාතික ලේඛනාගාරයේ දී. ඔබ නම සඳහන් නොකරන පොතක් පෙන්නමින් කියන කතාවෙන් ජනනය වෙන්නෙ ව්‍යාකූලත්වයක්. කරුනාකර අපට පෙන්වන්න පුලුවන් ද ඔබේ මූලාශ්‍රය? සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ කවර ප්‍රකාශනයේ කවර තැනක ද මෙවැනි නිගමනයක් ගන්න තුඩු දෙන විශ්ලේශනයක් හෝ කරුනු දැක්වීමක් තියෙන්නෙ? : //යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.//

      බුද්ධික කියන කතාව නොපැහැදිලි එකක්. “පැරැන්නන්ට අනුව” කියන කතාව පාදක කරගෙන අපට සාමාන්‍යකරනයක් කරන්න අමාරු යි. නමුත් අපට පැහැදිලි නිගමනයක් කරන්න පුලුවන් සමසමාජ ව්‍යාපාරය යුද්ධය සම්බන්ධයෙන් ගත්තෙ එවැනි ආස්ථානයක් නො වන වග. ඒක අවුරුදු හැත්තෑවකට පස්සෙ first hand knowledge නැති නිසා කතා කරන්න බැරි කාරනයක් නෙමෙයි. එහෙම නම් මේ මුලු ලිපිය ම ගැනත් අපට එහෙම කියන්න පුලුවන් නේද? ඒ විදිහට සාකච්ඡා කරන විශය සීමා කරන්න යෝජනා කිරීම නම් බුද්ධි විරෝධී අදහසක්. එහෙම වුනොත් ඉතිහාසය පිලිබඳ සාකච්ඡා මොන ස්වරූපයක් ගනීවි ද?

      තව එකක්. මේ වාමාංශික කතාව සාමාන්‍යකරනයක් නේ? සාමාන්‍යකරනයන් බොහොම නොමග යවන සුලු වෙන්න පුලුවන්. හරියට මේ දැන් ටිකකට කලින් නාලක ගුනවර්ධන මහත්මයා twitter එක මත පල කරපු දේ වගේ. ( https://twitter.com/#!/nalakag/status/189635691716681729 ) My casual remark on Ceylon’s socialists opposing Allied Forces in #WW2 awakens sleepy #lka leftists!

      මේ ලිපියේ තියෙන කරුනක් (ඓතිහාසික සිද්ධියක් සම්බන්ධ කරුනක්) ගැන සාකච්ඡා කරන්න ඉදිරිපත් වුන අයට අලවලා තියෙන සාමාන්‍යීකෘත ලේබලය බලන්න! ඇත්ත, ඔබ බොහොම සැහැල්ලුවට කියපු කතාවක් ඒක, හරියට මුල් ලිපියෙ වාමාංශිකයින් සාමාන්‍යකරනය කලා වගේ මයි. ඒත් මේකත් ටිකක් විතර වැරදියි. මොකද යුද්ධය සම්බන්ධයෙන් සහ ජපානයට පක්ශපාත වීම සම්බන්ධයෙන් ලංකාවෙ “වාමාංශිකයින්” ඔය තරම් සරල එක තනි අදහසක් දැරුවෙ නෑ. ඒ වගේ ම අද මෙවැනි කරුනක් නිවැරදි කරන්න ඉදිරිපත් වෙන උදවියත් “වාමාංශිකයින්” වෙන්න ම ඕනද?

    2. මට අතපසු වුනු නිරීක්ශනයක්. ඔබ දැන් පොඩි “නිවැරදි කිරීමක්” කරගෙන තියෙන බවක් පේනවා ට්විටරය මත. “My casual remark on Ceylon’s socialists opposing Allied Forces” ආදී වසයෙන්. නමුත් ඔබ සිංහලෙන් ලියල තියෙන්නෙ එහෙම දෙයක් ම නෙමෙයි නේද? මේක My casual remark on Ceylon socialists supporting Japan කිව්ව නං ඔබේ සිංහල ලිපියෙ තියෙන කරුනට සමාන යි. මෙච්චර දුරදිග යාවි කියල කරපු සඳහනක් නෙමේ මගේ මුල් ප්‍රතිචාරය. ඒක බුද්ධික ලියපු අදහසට දක්වපු ප්‍රතිචාරයක්. කරුනක් හැටියට සොයා දැනගත හැකි දෙයක් නේ මේක.

      1. ආනන්දවර්ධන, මා කලේ සාමන්‍යකරනයක් නොවෙයි. “පැරැන්නන් ” ලෙස දැක්වූවේ මවිසින් විමසූ, එකල මතකයන් තිබුනු කීප දෙනෙකු ගැනයි. ලිඛිත නොවූවත් first hand knowledge… ඔවුන්ගේ මතකය වූයේත් එකල සමසමාජය ඇතුලු පොදුවේ වාමාංශිකයින් යුධ විරෝධීන් වූ නමුත් ජපානයට පක්ශපාත නොවූ බවයි. ජපානයට පක්ශපාතී වුනු වාමාංශික අදහස් දැරූ අයද කලාතුරකින් සිටි බවත් ඔවුන්ට මතකයි. ඒත් ප්‍රාදේශීය වශයෙන්, අප්‍රකටවයි. ඔබ සමග එකඟයි. ඒ මත ඒ ගැන පොදු නිගමනයකට එන්න බැහැ තමයි.

        නාලක, A casual tweet followed by a casual remark! :) උදාහරනයක් විදියට, හැට හැත්තෑව දශක වල හේතුවාදීන් සම්බන්ධව අද කෙරෙන casual remark එකක් නිවැරදි කරන්න ඉදිරිපත් වන කෙනෙක් අද අර්ථයෙන් හේතුවාදියෙක් (ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සාමාජිකයෙක්) වෙන්නම අවශ්‍යද?!?

        කරුනුමය අතින් ඉතා නිවැරදි සහ පරීක්ශාකාරීද වන තීරු ලිපි රචකයෙක් ලෙස ඔබ ගැන මා තුල වූ ගෞරවය සහිතවයි, මා මූලාශ්‍ර ගැන විමසූයේ.

  5. According to what I have read in Lee Kwan Yew’s “The Singapore Story”, the Japanese soldiers had been very mean to the Singaporeans in Japanese occupied Singapore. There is no reason why they could be nicer for Sri Lankans. If the Marxists supported Japan, it would have been a grave mistake.

  6. It’s not just certain left-leaning leaders in Ceylon who toyed with the idea of engaging the Japanese. According to this article that appeared in the trusted Himal Southasian magazine (Sep 2010), some very right-leaning politicians did so too:
    “In a startling disclosure, former Sri Lankan President J R Jayewardene revealed at an imperial banquet held in his honour in Tokyo in 1979 that he had held secret discussions with the Japanese consul during the 1940s to discuss how to be of help should the Japanese invade Ceylon, providing they helped the island attain independence.”
    http://www.himalmag.com/component/content/article/289-a-daring-revolt.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: