සිවුමංසල කොලූගැටයා #61: ශ්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන

This is the Sinhala text of my Ravaya Sunday column published in their issue for 8 April 2012. My theme this week is the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon that took place 70 years ago this week.

The 5 April 1942 attack on Colombo Harbour and the nearby Ratmalana Airport took place exactly 119 days after the Pearl Harbour attack in Hawaii.

Similar ground is covered in my English blogpost:
Battle of Ceylon: 70 years on, still waiting for its place in the movies…

Japanese Air Raids on Ceylon, April 1942 – Map by C E Warner

නිසි කලට අනතුරු ඇගවීමක් ලැබීම නිසා මහ ව්‍යසන වළක්වා ගත් අවස්ථා ඉතිහාසය පුරා අපට හමු වනවා. එහෙත් අනතුරු ඇගවිමක් ලැබුණාට පමණක් මදි. එය ලද විගස තීරණාත්මක ලෙසින් ක‍්‍රියාත්මක වීමත් අවශ්‍යයි.

එය එසේ නොවූ විට සිදු විය හැකි දේ ගැන බලවත් ම උදාහරණය අප දුටුවේ 2004 දෙසැම්බර් 26දා සුනාමිය ආ විටයි. විද්‍යාත්මකව ජාත්‍යන්තර මට්ටමින් ශ‍්‍රි ලංකාවට ලබා දුන් අනතුරු ඇගවීම ගැන මෙරට බලධාරින් කිසිදු පියවරක් නොගැනිම නිසා ලෙහෙසියෙන් බේරා ගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් පැය කිහිපයක් ඇතුළත විනාශ වුණා.

මේ විපත මට යළිත් සිහිපත් වූයේ මීට වසර 70කට පෙර ජපන් ගුවන් යානා ලංකාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරිම ගැන පොතක් කියවන විටයි. 1942 අපේ‍්‍රල් 5දා කොළඹ වරාය හා රත්මලාන ගුවන් තොටුපළටත්, අපේ‍්‍රල් 9 වනදා ත‍්‍රිකුණාමල වරාය හා නැගෙනහිර වෙරළාසන්නව නවතා තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලටත් ප‍්‍රහාර එල්ල වුණා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාස වාර්තාවල මේ ප‍්‍රහාරයන් හදුන්වන්නේ පාස්කු ඉරිදා ගුවන් ප‍්‍රහාරය (Easter Sunday Air Raid) හැටියටයි. තවත් සමහරුන් එය ලංකාව සඳහා කළ යුද්ධය (Battle of Ceylon) කියා හදුන් වනවා.

එකල රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස මෙරට සේවය කළ මයිකල් ටොම්ලින්සන් පසු කලෙක (1976) ලියූ The Most Dangerous Moment පොත, මේ සිදුවීම් මාලාව පිළිබඳව ඇති හොඳම ඓතිහාසික සටහනයි.

කොළඹ හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලට ජපන් ප‍්‍රහාර එල්ල වූයේ ඒ වන විට දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ තීරණාත්මක තැනක ශ‍්‍රි ලංකාව පිහිටීම නිසා. 1942 පෙබරවාරි වන විට ජපන් හමුදා අග්නිදිග ආසියාව යටත් කර ගත්තා. මලයාව, බුරුමය හා සිංගප්පුරුව ජපන් පාලනයට නතු වීමෙන් පසු දකුණු ආසියාව අල්ලා ගන්නට ඔවුන් උත්සුක වුණා. එහි මුල් පියවර වූයේ ලංකාව යටත් කොට එහි ජපන් යුද්ධ නෞකා, සබ්මැරින හා ගුවන් යානා නතර කිරිමයි. ඉන් පසු ඉන්දියාවටත්, ඉනික්බිති මැදපෙරදිග දක්වාත් බලය විහිදු වීමට ජපන් හමුදාවට සැළසුමක් තිබුණා.

දෙවන ලෝක යුද්ධයේ අතිශයින් බිහිසුණු වූත්, තීරණාත්මක වූත් සන්ධිස්ථානයක් ලෙසින් බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති වින්ස්ටන් චර්චිල් පසුව හදුන්වා දුන්නේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයයි. ඒ කාලය තුළ ලංකාවේ පාලනය බි‍්‍රතාන්‍ය ජාතිකයන් අතින් ගිලිහී ජපන් ජාතිකයන් අතට ගියා නම් දෙවන ලෝක යුද්ධයෙ ඉතිරි වසර තුන හමාර බෙහෙවින් වෙනස් විය හැකිව තිබුණා. (යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.)

ජපන් අරමුණු ගැන හොඳ ඉගියක් මිත‍්‍ර පාක්ෂික හමුදාවලට තිබුණත්, ඇත්තට ම ජපන් නාවික හා ගුවන් හමුදාවල හැකියාව ගැන විස්තරාත්මක අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. අද මෙන් පෘථිවි කක්ෂයේ සිට ලෝකයේ ඕනෑ ම තැනක සිදුවන දේ ගැන ඔත්තු බැලීමේ තාක්ෂණික හැකියාව නොතිබුණු ඒ යුගයේ, ප‍්‍රතිමල්ලව බල පරාක‍්‍රමය පිළිබඳව සෙවීමට මිනිස් ඔත්තුකරුවන් මත බොහෝ සේ යැපීමට සිදු වුණා. ඉන්දියානු සාගරය හරහා යුද්ධ නැව් සමුහයක් එවා ලංකාව ඇල්ලීමට තරම් ජපාන හමුදාවට හැකියාවක් ඇතැයි බොහෝ බි‍්‍රතාන්‍ය පරිපාලකයන් විශ්වාස කළේ නැහැ.

එහෙත් ජපන් ප‍්‍රහාරයකට මුහුණ දීමේ පෙර සුදානමක් 1942 මුල සිට ක‍්‍රියාත්මක වුණා. එහි පෙරමුණ ගත්තේ මිත‍්‍ර පාක්ෂික හමුදා සියල්ල සඳහා මෙරට ප‍්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස පත්ව ආ අද්මිරාල් ශ‍්‍රීමත් ජෙෆ්රි ලේටන් සහ සිවිල් ආරක්ෂක බලධාරියා ලෙස පත් කර සිටි ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලකයි. දිවයිනේ කිහිප තැනෙක ගුවන් තොටුපළ හෝ ගුවන් තීරු ඇති කිරීම, කොළඹ තුරග ධාවන පිටිය ගුවන් තීරුවක් බවට පත් කිරිම හා ඉන්දියානු සාගරය නිරික්සමින් ගුවන් සංචරණයේ යෙදීම (Aerial Patrols) මේ ආරක්ෂක පියවර කිහිපයක්.

කොග්ගල බොක්ක තාවකාලික ගුවන් කඳවුරක් බවට පත් කිරිමත් සමග දිය මත සිට පියාසර කිරිමේ හැකියාව ඇති කැටලයිනා (Catalina) ගුවන්යානා සමූහයක් එහි රඳවනු ලැබුවා. එක දිගට පැය 18-20ක් පමණ වේලාවක් ගුවන් ගතව සිටීමේ හැකියාව තිබූ “පියාඹන බෝට්ටු” හැටියට හැදින්වුණු කැටලයිනා ගුවන්යානා යොදා ගෙන ලංකාව අවට වර්ග කිලෝමීටර් සිය ගණනක සාගර පෙදෙසක් නිරික්සනු ලැබුවා.

Sq Ldr Leonard Birchall, ‘Saviour of Ceylon’ aboard his Catalina aircraft

1942 අපේ‍්‍රල් 4 වනදා දවස පුරා එසේ නිරික්සිමේ යෙදී සිටි කැටලයිනා යානයක් ආපසු කොග්ගලට එන්නට සුදානම් වන මොහොතේ එහි සිටි ජේ්‍යෂ්ඨතම නිලධාරියා වූ කැනේඩියානු ජාතික ලෙනාඞ් බර්චෝල් ක්ෂිතිජයේ අසාමාන්‍ය අදුරු තිත් කිහිපයක් දුටුවා. එය කුමක්දැයි සොයන්නට පියාසර කළ ඔවුන් දුටුවේ හීන්සීරුවේ ලංකාව වෙත ඇදෙමින් තිබූ ජපන් ගුවන්යානා ප‍්‍රවාහන නෞකා (aircraft carriers) හා තවත් යුද්ධ නැව් කිහිපයක්. මේ නෞකා ඒ වන විට සිටියේ ලංකා දුපතට සැතපුම් 400ක් (කිමි 640) දකුණින්, මාලදිවයින් අසල.

මේ බිහිසුණු ආරංචිය හැකි තාක් විස්තරාත්මකව කොළඹ මෙහෙයුම් මැදිරියට රේඩියෝ පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒ පණිවුඩය යවා විනාඩි කිහිපයක් ඇතුළත කැටලයිනා ගුවන් යානයට යුධ නැවෙන් අහසට නැගුණු සීරෝ (Zero) ප‍්‍රහාරක යානා වෙඩි තැබුවා. මුහුදට කඩා වැටුණ කැටලයිනා යානයේ සිටි බර්චෝල් ඇතුළු පස් දෙනකු ජපන් යුධ සිරකරුවන් බවට පත් වුණා.

කැටලයිනා ගුවන් හමුදා පිරිස ජිවිත පරදුවට තබමින් කොළඹට එවූ රේඩියෝ පණිවුඩයත් සමග ජපන් ප‍්‍රහාරයක් පසුදින උදේ නියත වශයෙන් එල්ල වන බවට පැය 12ක අනතුරු ඇගවීමක් කොළඹට ලැබුණා. එහෙත් ජපන් යුධ නැව් සමුහයට කුමන ප‍්‍රහාරක ගුවන්යානා ඇත් ද, ඒවායේ පියාසර කාලය හා යා හැකි උපරිම දුර ආදිය ගැන නිසි තොරතුරු නොදත් නිසා ඔවුන්ට හැකි වූයේ අනුමාන මත පදනම් වූ ආරක්ෂිත පියවර ගැනීමට පමණයි. දිවයින පුරා සියලූ හමුදා සීරුවෙන් තබන්නටත්, රැය පුරා අවධියෙන් සිටින්නටත් තීරණය වුණා.

එහෙත් මහජනයා කළබල වීම වළක්වනු පිණිස එළඹෙන ජපන් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නොකිරිමට රජය තීරණය කළා. මේ නිසා පසුදා හිරු උදාවත් සමග තවත් ඉරිදාවක සැහැල්ලූ ජන ජීවිතය ඇරඹුණා.

බලාපොරොත්තු වූ පරිදි හිමිදිරි පාන්දර ජපන් ප‍්‍රහාරයක් සිදු නොවූ විට මිත‍්‍ර පාක්ෂික හමුදාවල සුදානම මඳක් ලිහිල් වුණා. ඈත එන ගුවන් යානා පියවි ඇසට පෙනෙන්ට පෙර හදුනා ගත හැකි රේඩාර් තාක්ෂණය නිපද වූ අළුත නිසා මුළු ලංකාවට ම තිබුණේ ප‍්‍රාථමික මට්ටමේ රේඩාර් යන්ත‍්‍රයක්. එය රත්මලාන හමුදා ගුවන් තොටුපළේ සවිකර තිබුණා.

පෙරවරු 7.30 වන තුරුත් සතුරු යානාවල සේයාවක් හෝ නොදුටු බැවින් උදාසන ආහාරය ගන්නට රත්මලානේ හමුදා භටයන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබුවා. පෙරවරු 7.50ට ජපන් ගුවන්යානා සමූහයක් රත්මලාන අහසේ එක වර දිස් වුණා.

ගාල්ල අසලින් ලංකා ගුවන් කලාපයට පිවිස, කොළඹ බලා උතුරු දෙසට පියාසර කරන සියයකට වැඩි ජපන් යානා සමහය දකුණු හා බටහිර වෙරළබඩ බොහෝ දෙනා ඇසින් දුටුවා. එහෙත් දුරකථන පණිවුඩයක් හෝ වෙනත් දැනුම්දීමක් හෝ ආරක්ෂක මර්මස්ථානවලට ලැබුණේ නැහැ. මේ නිසා ජපන් ප‍්‍රහාරය එළඹෙන බව දැන දැනත් නිසි සුදානමින් නොසිටීමේ විපාක රත්මලානේදී අත් විදින්නට සිදු වුණා.

බි‍්‍රතාන්‍ය හරිකේන් ප‍්‍රහාරක යානා ගණනාවක් ධාවන පථය මතදී ම ජපන් ප‍්‍රහාර නිසා විනාශ වුණා. කඩිමුඩියේ ගුවන්ගත කළ ඉතිරි ප‍්‍රහාරක යානා මගින් ආක‍්‍රමණික ජපන් හමුදාවට ප‍්‍රතිරෝධයක් එල්ල කළත්, සටනේදී මවිතයෙන් ලබන වාසිය (surprise attack) බොහෝ දුරට ලැබුවේ ජපන් ගුවන් නැවියන්.

බර්චෝල් පැය 12කට පමණ පෙර ලබා දුන් අනතුරු ඇගවීමෙන් හරිහැටි වැඩක් නොගැනීම ගැන සමස්ත බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික සේනාපතිත්වය දැඩි කණස්සල්ලට පත් වූ බවත්, එය ගැන පසුව විභාග කළ සැටින් ටොම්ලින්සන් සිය පොතේ ලියා තිබෙනවා.

එහෙත් උපාය මාර්ගිකව කොළඹ වරායේ තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකා ගණනාවක් එයින් පිටතට යවා ඈත මුහුදේ විවිධ තැන්වල රඳවා තිබූ නිසා ජපන් ප‍්‍රහාරයෙන් ලද නාවිකමය හානිය සීමා වුණා. පැය බාගයකට අඩු කාලයක් පැවතුණු අපේ‍්‍රල් 5 ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු මිය ගොස් තවත් 77 දෙනෙකු තුවාල ලද බව වාර්තාගතයි. කොලොන්නාවේ තෙල් ටැංකිවලට ඉලක්ක කළ බෝම්බ අංගොඩ මානසික රෝහලට වැටීමෙන් එහි රෝගීන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා.

ප‍්‍රහාරයට පැමිණි ජපන් ගුවන් යානා 27ක් විනාශ කළ බවට මිත‍්‍ර පාක්ෂික හමුදා වාර්තා කළත්, ලක් පොළවට ඇද වැටුණේ එයින් තුනක් පමණක් බව ටොම්ලින්සන් කියනවා. ඒවා හොරණ, ගල්කිස්ස හා පිටකෝට්ටේ යන ප‍්‍රදේශවලට කඩා වැටුණා.

මිට අමතරව හානියට පත් මිත‍්‍ර පාක්ෂික ගුවන්යානා ද ඇතැම් ස්ථාවලට ඇද වැටුණා. ප‍්‍රතිප‍්‍රහාරයෙන් අබලන් වූ ඇතැම් ජපන් යානා සිය යුද්ධ නෞකාවලට ආපසු පියාසර කරද්දී මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ද ඔහු අනුමාන කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විස්තරාත්මක වාර්තා ගණනාවක් ප‍්‍රකාශයට පත් වී ඇතත් එදින සිදු වූ සන්නිවේදන හා සම්බන්ධිකරණ පසුබෑම් ගැන හොඳම මැදහත් විග‍්‍රහය හමු වන්නේ ටොම්ලින්සන්ගේ පොතෙහි බව මගේ අදහසයි.

මේ පසුබෑම් මැද වුවත් ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය මැඩ පවත්වන්නට මෙරට රඳවා සිටි, විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් මිත‍්‍ර පාක්ෂික හමුදා සමත් වුණා. ලංකාව රැක ගැනීමේ සටන්වලින් 1942 අපේ‍්‍රල් මාසය තුළ මිත‍්‍ර පාක්ෂික හමුදා නිලධාරින් හා භටයන් දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. ඒ අතර ලාංකික, බි‍්‍රතාන්‍ය, අයිරිෂ්, ඕලන්ද, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු හා ඉන්දියානු ජාතිකයන් ද සිටියා.

ලංකාවට අතිශයින් තීරණාත්මක රේඩියෝ පණිවුඩය එවූ ලෙනාඞ් බර්චොල් සහ ඔහුගේ ගුවන් සගයන් යුද්ධය හමාර වූ පසු ඉහළ සම්මාන ලැබ කැනේඩියානු ගුවන් කොමදෝරු තත්ත්වයට උසස් වුණා. “ලංකාව බේරාගත් වීරයා” (Saviour of Ceylon) ලෙස විරුදාවලි ලැබු ඔහු 1967දී කෙටි නිල සංචාරයකට මෙරටට පැමිණියෙ මහත් ගරු සැලකිලි මැදයි.

ඇමෙරිකාවේ හවායි දුපත්වල පර්ල් වරයාට එල්ල වූ ජපන් ප‍්‍රහාරය ගැන බොහෝ පොතපත ලියැ වී, වාර්තා හා වෘතාන්ත චිත‍්‍රපට නිපදවා තිබෙනවා. එම ප‍්‍රහාරයට මුල් වූ ජපන් හමුදා විසින් ම ඊට දින 119කට පසු සිදු කළ කොළඹ ප‍්‍රහාරය ගැන එතරම් ඓතිහාසික හෝ ප‍්‍රබන්ධමය අවධානයක් යොමු වී නැහැ. මේ සිදුවීම් මාලාව ත‍්‍රාසජනක හා සත්‍යමය ලෙසින් වෘතාන්ත චිත‍්‍රපටයකට පාදක කර ගත හොත් අගෙයි.

මයිකල් ටොම්ලින්සන් සිය ගවේෂණාත්මක ග‍්‍රන්ථය පිළිගන්වා ඇත්තේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයේ ලංකාව හා එය අවට සාගරය සම්බන්ධ හමුදා මෙහෙයුම්වලට සහභාගි වූ සියලූ දෙනාටයි. විශේෂයෙන් ම දිය-ගොඩ-අහසේ දිවි අහිමි වූ අයටයි. ඒ සටනේ එක් පාර්ශවයකට සක‍්‍රියව සම්බන්ධ වී සිටියත්, ඉතිහාසය වාර්තා කරන්නකු ලෙස ඔහු සිය ප‍්‍රතිමල්ලව ජපන් හමුදාවලටත් ප‍්‍රණාමය පුද කරනවා.

“අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් අතිශයින් කාර්යක්ෂම ලෙසින් හා රණකාමී අයුරින් අප හා සටන් වැදුණු ජපන් හමුදාවලට ද අපේ ගෞරවය හිමි විය යුතු” යැයි ඔහු කියනවා.

End note: While researching for my Sunday column, I stumbled upon two other interesting short video clips on this aspect of the Second World War. They are both computer-generated scenarios, but well made. Despite some minor historical inaccuracies, they illustrate the rich story-telling potential of this vignette of history, largely overlooked by mainstream movie makers.

Easter Sunday Raid: The Battle of Ceylon. Prelude

Battle Of Ceylon

More at: http://tiny.cc/BatCey