There are at least three post-1977 introductions that have transformed our society across all social and economic levels. They are: trishaws or three wheelers (came in 1978); broadcast television (started small in 1979 and went nationwide in 1982) and mobile telephony (1989).
According to government statistics, a total of 929,495 trishaws (officially called ‘motor tricycles’) were registered in Sri Lanka by end 2014. That makes it the second most common type of motorized transport (there were 2,988,612 motor cycles by end 2014). In comparison, there were 97,279 buses and 566,874 motor cars.
With 2015 additions to this fleet, we can say that one million trishaws are running on our roads. They have become the leading provider of informal public transport (IPT) services, carrying passengers as well as goods (sometimes well in excess of intended capacity).
An entirely a market driven phenomenon without any state subsidies, they are the lifeline of income to a very large number of families in Sri Lanka.
In in this week’s Ravaya column (appearing in issue of 6 Dec 2015), I look at the social, economic and cultural impacts of this vehicle in the Lankan context.
I ask: Can better regulation streamline the industry and improve the drivers’ social status?

1977දී ඇරැඹුණු ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ මෙරටට පැමිණ සමාජ, ආර්ථික හා සංස්කෘතික හැම අතින්ම ලක් සමාජයට ප‍්‍රබල බලපෑමක් කළ සාධක තුනක් මා දකිනවා. එනම් ත‍්‍රිරෝද රථය (1978), ටෙලිවිෂනය (1979) හා ජංගම දුරකථනය (1989)යි. මේ පෙරළිකාර ත‍්‍රිත්වයම සමාජයේ ගතානුගතික පිරිස් වෙතින් දොස් අසන, හෙළා දැකීමට ලක් වන සැටිත් අප දන්නවා.
වසර 25කට පසුවත් ජංගම දුරකථනයට ඔරවන හනමිටිකාරයන් ගැන මීට පෙර කොලමකින් මා කතා කළා.
30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ
අද තේමාව එලෙසින්ම අවඥාවට ලක් වන, එහෙත් අප බොහෝ දෙනෙකුට නැතිවම බැරි ත‍්‍රිරෝද රථයයි.
ත‍්‍රිරෝද රථය ආසියාවේ හා අප‍්‍රිකාවේ රටවල් ගණනාවක බහුලව දැකිය හැකි ප‍්‍රවාහන සේවයක්. රෝද තුනක් සහිත විවිධ මෝටර් රථ සැලසුම් ගණනාවක් 20 වන සියවසේ වෙළඳපොළට ආවත්, අප දන්නා ආකාරයේ ත‍්‍රිරෝද රථය සැලසුම් කළ බවට පිළිගැනෙන්නේ ඉතාලියේ පියාජියෝ සමාගමේ (Piaggio company) සේවය කළ කොරඞීසෝ ඩි අස්චානියෝ (Corradino D’Ascanio) නම් නව නිපැයුම්කරුවා. ලෝ ප‍්‍රකට වෙස්පා (Vespa) ස්කූටරය නිර්මාණය කළෙත් ඔහුයි.
පියාජියෝ සමාගමේ සැලසුම් ලොව විවිධ රටවල ප‍්‍රතිනිර්මාණය කරනු ලැබුවා. ජපානයේ ඩයට්සු සමාගම තැනූ මිජට් (Diahatsu Midget) නම් ත‍්‍රිරෝද රථය අග්නිදි ආසියාවට ඔවුන් හඳුන්වා දුන්නේ 1960 දශකයේ.
දකුණු ආසියාවේ ත‍්‍රිරෝද නිපදවීම අතින් මුල් තැන ගන්නේ ඉන්දියාවේ බජාජ් ඔටෝ සමාගමයි. ලෝකයේ විශාලතම ත‍්‍රිරෝද නිෂ්පාදකයා වන ඔවුන් වසරකට ත‍්‍රිරෝද රථ ලක්ෂ පහක් පමණ නිම කරනවා. එයින් අඩකටත් වඩා පිටරට යවනවා. පෙට‍්‍රල්, ඞීසල් හා ස්වභාවික වායුව (Compressed Natural Gas, CNG) ඉන්දන මගින් ධාවනය වන ත‍්‍රිරෝද සැලසුම් කිහිපයක් මේ අතර තිබෙනවා.
ත‍්‍රිරෝද රථ මෙරටට ගෙන්වීම ඇරැඹුණේ 1978දී. ආර්ථිකය විවෘත වීමත් සමග රිචඞ් පීරිස් සමාගමේ අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවන ලද ඬේවිඞ් පීරිස් සමාගම ඉන්දියාවේ බජාජ් මෝටර් සමාගමේ මෙරට නියෝජිතයා ලෙස පත් වුණා.
ඉන්දියාවෙන් ගෙනා මුල්ම ත‍්‍රිරෝද රථ පැදවීමේ හැකියාව තිබූ කිසිවකුත් මෙරට සිටියේ නැහැ. එය උත්සාහ කළ බොහෝ දෙනා මෝටර් බයිසිකලයක් මෙන් සමබර කරන්නට තැත් කළ බවත්, අන්තිමේදී ත‍්‍රිරෝද පදවන සැටි තම හයිඞ් පාක් කාර්යාල අංගනයේදී දිනකට පැය ගණනක් බැගින් සිය ගණනක් දෙනා තමා පුහුණු කළ බවත් සමාගමේ අධිපති ඬේවිඞ් පීරිස් කියනවා.
එසේම මුළුමනින් සාදා නිම කර මෙරටට එවනු ලැබු මුල්ම ත‍්‍රිරෝද තොගය කොළඹ වරායේ සිට ඬේවිඞ් පීරිස් කාර්යාලයට පදවන්නට ඔහුගේ සේවකයන්ට ආත්ම විශ්වාසයක් නොතිබූ නිසා දුසිම් ගණනක් රථ එකින් එක තමාම පදවාගෙන ගිය බවත්, මීට වසර කිහිපයකට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පීරිස් සඳහන් කළා.
බොහෝ ලාංකිකයන් අලූත් දෙයකට පිවිසෙන්නට මුලදී බියක් සැකක් දක්වනවා. එහෙත් එය කර පෙන් වූ පසු ඉක්මනින් එයට අනුගත වීමටත් ඔවුන් පෙළඹෙනවා. ති‍්‍රරෝද රථය ටික කලකින් මෙරට ප‍්‍රචලිත හා ජනප‍්‍රිය වුණා.
ත‍්‍රිරෝද රථ ආර්ථිකය ගැන පර්යේෂණ කොට ඇති මොරටුව සරසවියේ අමල් කුමාරගේ, මහින්ද බණ්ඩාර හා දර්ශිනී මුණසිංහ යන විද්වතුන් මේ අවිධිමත් ප‍්‍රවාහන ක‍්‍රමය ජනප‍්‍රිය වීමට හේතු හඳුනාගෙන තිබෙනවා.
- බස් හා දුම්රිය ප‍්‍රවාහන සේවා සඳහා පවතින අධික ඉල්ලූමට සරිලන ධාරිතාවක් නොතිබීම.
- බස්/දුම්රිය මාර්ගවලින් දුරස්ථව පිහිටි ප‍්‍රදේශවල වෙනස් ප‍්‍රවාහන විකල්ප හිඟ වීම.
- නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලත් ඉක්මනින් හා සාපේක්ෂව දරා ගත හැකි වියදමකින් ගමන් යාමට ත‍්‍රිරෝද සේවා උපකාරී වීම.
- බස් හා දුම්රිය සේවා රටේ වෙනස් වන ජන ජීවන හා ආර්ථික රටාවලට ප‍්‍රතිචාර නොදක්වන පසුබිම තුළ ත‍්‍රිරෝද රථ වඩාත් නම්‍යශීලී සේවා සැපයීම.
මගී ප‍්‍රවාහනයට මෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනයට ද ත‍්‍රිරෝද රථ අපේ රටේ දැන් බහුලව යොදා ගැනෙනවා. ගාස්තු අය කර මගීන් ප‍්‍රවාහනයට සමාන්තරව තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් යාමට ත‍්‍රිරෝද රථ යොදා ගන්නා පවුල් හා කාර්යාල සංඛ්‍යාව ද ඉහළ යමින් තිබෙනවා.

ප‍්‍රවාහන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ප‍්‍රකාශිත සංඛ්‍යාලේඛනවලට අනුව 2014 අවසන් වනවිට මෙරට ත‍්‍රිරෝද රථ ලියාපදිංචි වූ සංඛ්‍යාව 929,495යි. සංඛ්‍යාත්මකව මෙරට වැඩියෙන්ම හමු වන මෝටර් බලයෙන් දිවෙන වාහනය මෝටර් බයිසිකලයයි. (2014 වනවිට 2,988,612ක් ලියාපදිංචිව තිබුණා.) ඊළඟට වැඩිපුරම රටේ ඇත්තේ ත‍්‍රිරෝද රථයි. (සංසන්දනය සඳහා සමස්ත කාර් රථ සංඛ්‍යාව 566,874යි. බස් සංඛ්‍යාව 97,279යි.)
ත‍්‍රිරෝද රථ බහුලවීම හරහා ඒවාටම ආවේනික උප සංස්කෘතියක් බිහිව ඇතැයි මොරටුව සරසවි පර්යේෂකයෝ කියනවා. එහි ලක්ෂණ අතර ඔවුන් භාවිත කරන බස් වහරක්, ප‍්‍රිය කරන සංගීතයක් හා ත‍්‍රිරෝද රියදුරන්ට ඉලක්ක කරන රේඩියෝ වැඩසටහන් පවා තිබෙනවා. එසේම ඔවුන් තම රථ අලංකරණය කිරීමේ විචිත‍්‍රත්වයක් ද පවතිනවා.
මෙයින් ඔබ්බට විහිදෙන සමාජ-ආර්ථික විප්ලවයක් ද ත‍්‍රිරෝද රථ හරහා ගෙවී ගිය දශක තුන හතර තුළ මෙරට සිදුවී තිබෙනවා. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා සොයා යනවා වෙනුවට ස්වයං රැකියාවක් ලෙස ත‍්‍රිරෝද රථ ධාවනයට ලක්ෂ ගණනින් ලාංකිකයන් යොමුව සිටිනවා.
ඔවුන් මුහුණ දෙන ප‍්‍රශ්න හා අභියෝග රැසක් ඇතත් පොදුවේ ආදායම් මට්ටම් තරමක් හෝ ඉහළ දැමීමට මෙයින් ලැබී ඇති දායකත්වය ඉමහත්.
මේ පැතිකඩ විග‍්‍රහ කළ පර්යේෂණ පත‍්‍රිකාවක් ගිය සතියේ කොළඹ පැවති දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (Centre for Poverty Analysis, CEPA) වාර්ෂික පර්යේෂණ සමුළුවේදී ඉදිරිපත් කෙරුණා.
බස්නාහිර පළාතේ තෝරා ගත් නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල (නුගේගොඩ, මොරටුව, මීගමුව, ජාඇල, නිට්ටඹුව, අවිස්සාවේල්ල, හොරණ, මතුගම හා වේයන්ගොඩ) ත‍්‍රිරෝද රථ රියදුරන් 342ක් අහඹු ලෙස තෝරා ගෙන කළ සමීක්ෂණයක් මත පදනම් වූ මේ පර්යේෂණයට මුල් වුණේ මොරටුව සරසවියේ කථිකාචාර්ය යාපා මහින්ද බණ්ඩාරයි.
මේ රියදුරන්ගෙන් 67%ක් තමන්ගේම හිමිකාරිත්වය ඇති රථයක් ධාවනය කළ අතර, ඉතිරි 33% වෙන අයෙකුට හිමි රථයක් දවස් කුලියට භාවිත කළා.
සමස්ථ නියැදියේ රියදුරන්ගෙන් තුනෙන් දෙකක් (65%) පමණ වසර පහකට වඩා මේ කාරියේ නිරත වන බව හෙළි වුණා. සියයයට 25%ක් වසර දහයකටත් වඩා මේ රැකියාව කරනවා.
නියැදියේ රියදුරන්ගෙන් 95%ක් පූර්ණ කාලීනව මෙය කරන අතර, 55%ක් මීට පෙර වෙනත් රැකියාවක් කොට පසුව මෙයට පිවිස තිබෙනවා. දිගටම මේ රැකියාවේ නිරත වන්නේ ඇයි දැයි විමසූ විට බහුතරයක් (41%) කීවේ තමන්ගේම ස්වයං රැකියාවකට ඇති කැමැත්තයි. රස්සාව ලෙහෙසියි (23%), වෙනත් රැකියාවක් සොයා ගැනීමට අසීරුයි (22%) හා ආදායම හොඳයි (14%) යන පිළිතුරු ද ලැබුණා.

මෙයින් පෙනෙන්නේ ති‍්‍රරෝද රථ පැදවීම තව දුරටත් තාවකාලික රැකියාවක් නොවන බව බණ්ඩාර කියනවා.
රියදුරන් උපයන ආදායම සාධක ගණනාවක් මත වෙනස් වනවා. මේ නිසා දෛනික සාමාන්‍ය ආදායමක් ගණනය කිරීම අපහසුයි. එය දිනකට රු. 400 හා රු. 3,000 අතර පරාසයේ ඇති බවත්, සාමාන්‍ය අගය දිනකට රු. 1,500ක් පමණ බවත් මේ සමීක්ෂණය හෙළි කරනවා. එහෙත් වාහනය තමන්ගේ නොවේ නම් හිමිකරුට දිනකට රු. 200 – 500 අතර ගණනක් දිය යුතුයි. වාහනයට ඉන්ධන හා නඩත්තු වියදම් ද රියදුරන් දැරිය යුතුයි.
ඉන්දන හැරුණු කොට වෙනත් නඩත්තු වියදම් (සර්විස් කිරීම, ආදායම් බලපත‍්‍රය, රක්ෂණ වාරික, කල් බදු ගෙවීම, රථගාල් කිරීමේ ගාස්තු ආදිය) සඳහා වසරකට දළ වශයෙන් රු. 60,000ක් පමණ වැය වනවා.
මේ නිසා බහුතරයක් ත‍්‍රිරෝද රියදුරන් ලොකු ලාභයක් නොලබතත් එදා වේල හම්බ කර ගැනීමට හැකියාව ලබා තිබෙනවා. තමන්ගේම ත‍්‍රිරෝද රථයක් කුලියට දුවන රියදුරකුට මසකට සාමාන්‍යයෙන් රු. 45,000ක් පමණ ඉපයීමට හැකි බවත්, නිල දරිද්‍රතා සීමාවට (official poverty line) ඉහළින් සිටීමට ඔවුන්ට මේ අනුව හැකි වන බවත් පර්යේෂකයා කියනවා.
‘ත‍්‍රිරෝද රථ සඳහා කිසිදු ඍජු රාජ්‍ය සහනාධාරයක් ලැබෙන්නේ නැහැ. එය තනිකරම වෙළඳපොළ සංසිද්ධියක්. එය හරහා ලක්ෂ ගණනක සමාජ ආර්ථික තත්ත්වය ඉහළ යාම වැදගත් ප්‍රවණතාවක්.’ පර්යේෂක බණ්ඩාර කියා සිටියා.
ත‍්‍රිරෝද රථ සඳහා රියදුරු බලපත‍්‍රය හා ආදායම් බලපත‍්‍රය හැරුණු කොට දීප ව්‍යාප්තව වෙනත් නියාමනයක් බල පවතින්නේ නැහැ. සමහර පොලිස් බල ප‍්‍රදේශවල ත‍්‍රිරෝද රථ සඳහා නිශ්චිත අංකයක් ලබා දී තිබෙනවා.
බණ්ඩාරගේ පර්යේෂණ පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසු සිදු වූ සංවාදයේදී මතු වූයේ ත‍්‍රිරෝද රථ හිමියන් හා රියදුරන් අතර යම් තරමක ස්වයං නියාමනයක් පවතින බවයි. මෑතදී හඳුන්වා දුන් මීටර් තවමත් හැම රථයකම සවි කර නැතත් ඒ හරහා ධාවන ගාස්තු යම් සීමාවක් තුළට පැමිණ තිබෙනවා.

මේ අතර තවත් සිදුවීමක් ඔක්තෝබර් මාසයේ වාර්තා වුණා. සමස්ත ලංකා ත‍්‍රිරෝද රියදුරන්ගේ සංගමය හා එහි සභාපති ලලිත් ධර්මසේකර විතානගේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ ති‍්‍රරෝද ධාවනය ආවරණය කරන නව නීති හා රෙගුලාසි සම්පාදනය කරන ලෙසයි. මෙය මහජනතාවටත්, රියදුරන්ටත් දෙපිරිසටම වැදගත් බවත්් මේ පෙත්සම අවධාරණය කළා.
මෙහි වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර තිබුණේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, ප‍්‍රවාහන අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා, මුදල් අමාත්‍යවරයා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා, එම අමාත්‍යංශවල ලේකම්වරුන්, ජාතික ප‍්‍රවාහන කොමිසමේ සභාපතිවරයා හා නීතිපතිවරයායි.
මාර්ග ආරක්ෂාව, පාරිභෝගික ආරක්ෂාව, මාර්ග නීති හා විනය රැකීම, ති‍්‍රරෝද මගීන්ගේ ආරක්ෂාව, ත‍්‍රිරෝද රියදුරන්ගේ අයිතිවාසිකම් හා යුතුකම්/වගකීම් ගැන පුළුල්ව සැලකිල්ලට ගන්නා නව දැක්මක් මේ නීතිරීති සම්පාදනයට පාදක විය යුතු යයි පෙත්සම කියා සිටියා.
මෙයින් පෙනෙන්නේ දශක තුන හමාරක් අවිධිමත් ප‍්‍රවාහන ක‍්‍රමයක් ලෙස වර්ධනය වූ ත‍්‍රිරෝද රථ ධාවනය යම් තරමක නියාමනයක් හා විධිමත් බවක් වෙත යොමු කිරීමට එහි නිරත වූවන්ට ද වුවමනාවක් ඇති බවයි.
එහෙත් රාජ්‍ය නියාමනය කළ යුත්තේ අවශ්‍ය අවම මටට්මට පමණයි. ගිය සතියේ කොළඹ සමුළුවට සහභාගි වූ ඉන්දියානු තාක්ෂණ සරසවියේ (IIT Delhi) ප‍්‍රවාහන මහාචාර්ය ගීතම් තිවාරි කීවේ සමහර ඉන්දියානු නගර හා ප‍්‍රාන්තවල ත‍්‍රිරෝද ක්ෂේත‍්‍රයේ නියාමනය දරදඬු වැඩි බවයි. උදාහරණයක් ලෙස දිල්ලි නාගරික ප‍්‍රදේශය එහි ධාවනය කළ හැකි ත‍්‍රිරෝද රථ සංඛ්‍යාව 90,000ක උපරිමයකට යටත් කොට තිබෙනවා.
‘නියාමනයන් වැඩිවන විට මගීන්ට එම සේවය භාවිත කිරීමට ගෙවිය යුතු ගාස්තුව ද ටිකෙන් ටික ඉහළ යනවා. මේ නිසා නිසි තුලනයක් පවත්වා ගැනීම අවශ්‍යයි,’ ඇය අවධාරණය කළා.
මීට වසර කිහිපයකට පෙර මා විධායක නිෂ්පාදනය කළ 2048දී ශ‍්‍රී ලංකාව ටෙලිවිෂන් විවාදයකට සහභාගි වෙමින් ලලිත් ධර්මසේකර කළ ප‍්‍රකාශයක් මට තවමත් හොඳින් මතකයි. ‘රෝදයක් අඩු වුණාට අපේ මොළේ අඩුවක් නැහැ! සමාජයේ යහපත සඳහා නීති ගරුකව හොඳ සේවයක් සපයන්න අප කැප වී සිටිනවා. එහෙත් මිටි තැනින් වතුර බසින්නාක් මෙන් බොහෝ ප‍්‍රශ්නවල දොස් ත‍්‍රිරෝද රථවලටම පවරන්න එපා!’
ප‍්‍රවාහන සේවයක් ඉක්මවා යන සමාජයීය ප‍්‍රපංචයක් ලෙස ත‍්‍රිරෝද රථය මීට වඩා ගවේෂණයට හා විවාදයට ලක් විය යුතුයි.