In this week’s Ravaya column, in Sinhala, I further explore the origins and evolution of Sri Lanka Eye Donation movement, with emphasis on its founder and leader for 40 years, Dr Hudson Silva (1929-1999).
I have covered the same grounds in English at: When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

අක්ෂිදාන ව්‍යාපාරයේ නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන ගිය සතියේ කොලමට හොඳ ප‍්‍රතිචාර රැසක් ලැබුණා. ලෝකයට අපේ හොඳ නම ප‍්‍රවර්ධනය කරන මේ ජනතා ව්‍යාපාරය ගැන විස්තර කළත් එහි ආරම්භකයාගේ ජීවන තොරතුරු ඇති තරම් කථා නොකළ බව සමහර පාඨකයන්ගේ මතය වුණා. ප‍්‍රශංසා, ගැරහුම් හා බාධක මැද වෛද්‍ය හඞ්සන් මේ දිගු ගමන ගිය සැටි තව ටිකක් විපරම් කිරීම වටිනවා.
වෛද්‍ය හඞ්සන් සිල්වා නූතන ලෝකයේ මානුෂික අවශ්‍යතාවයකට සමාජයීය නව්‍යකරණයක් හරහා විසඳුමක් ලබා දුන්නා. එතැනින් නොනැවතී ජීවිත කාලය පුරා එය ප‍්‍රවර්ධනය කළා. රැක බලා ගත්තා. ආයතනයක් ඉතිරි කර ගියා.
අපේ සාරධර්ම හා නූතනත්වය මනා සේ සංයෝජනය කළ අක්‍ෂිදානය ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාවේ හොඳ නමට කර ඇති මෙහෙවර තානාපති නිලධාරින් සිය ගණනකටවත් කළ හැකි වික‍්‍රමයක් නොවෙයි.
ප‍්‍රැන්සිස්කු හෙට්ටිගේ ජෙරල්ඞ් හඞ්සන් සිල්වා උපන්නේ 1929 දෙසැම්බර් 18 වනදා මොරටුවේ ඉඳිබැද්දේ. ඔහු මුලින්ම පාසල් ගියේ මොරටුවේ ධර්මරතන විද්‍යාලයට. ඉනික්බිතිව කොළඹ නාලන්දා විද්‍යාලයටත්, එතැනින් ආනන්ද විද්‍යාලයටත් යොමු වුණා.
කුඩා වියේ පටන් ඔහු ඉගැනුමටත්, බාහිර ක‍්‍රියාවලටත් දක්‍ෂයෙක්. පන්තියේ පළමුවැනියා වන අතරම බාලදක්‍ෂ වැඩ, විවාද හා කථික තරඟ ගායනා හා කවි ලිවීම ආදියටත් හවුල් වුණා. ලංකා ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා මණ්ඩපයට සහභාගී වෙමින් දස්කම් පෑවා.
මේ කලා නැඹුරුව නිසා 1948දී මුල් වරට කලා විෂයන්ගෙන් ජ්‍යෙෂ්ඨය (එවකට HSC) පෙනී සිට සරසවි වරම් ලැබුවත් ඉන් පසු විද්‍යා විෂයයන්ට යොමු වුණා. ජීව විද්‍යාවෙන් ජ්‍යෙෂ්ඨය සමත්ව ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිසියේ 1951දී.
වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසත් ඔහු පොතේ ඇලී ගැලී සිටියේ නැහැ. සමකාලීනයන් ඔහුව සිහිපත් කරන්නේ බොහෝ කි‍්‍රයාශීලි හා සමාජශීලි චරිතයක් හැටියට. සරසවි ඉගෙනුම කරන අතරේ ලඝුලේඛනය, ටයිප් කිරීම ආදී ශිල්ප ද ඕනෑකමින් ප‍්‍රගුණ කළා.
වරක් ඔහු අක්‍ෂි රෝග ගැන මහාචාර්යවරයෙකුගේ දේශනයකට සවන් දුන්නා. සමහරක් දෘශ්‍යාබාධ (සියල්ලම නොවේ) සුවපත් කිරීමට ඇසේ ස්වච්ඡ මණ්ඩලය හෙවත් කුණිතය බද්ධ කිරීමෙන් හැකි බවත්, එහෙත් කුණිතයන් ඇති තරම් සොයා ගත නොහැකි නිසා සැත්කම් කළ නොහැකිව කල් දමන බවත් ඔහු දැන ගත්තා.
දේශනයෙන් කම්පනයට පත් හඞ්සන් එදා ගෙදර ගොස් මව සමග මේ ගැන කථා කළා. තමා මිය ගිය පසු තම ඇස්වලින් තව අයෙකුට පෙනීම දිය හැකි බව කීවා. එවිට මව කීවේ ‘‘පුතා, ඔබට කලින් මා මිය යා හැකියි. මගේ ඇස් දෙකෙන් දන්දීම අරඹන්න’’ කියායි.
අක්‍ෂි සැත්කම්, කුණිත බද්ධය ආදිය ගැන බොහෝ දෙනා දැන සිටියේ නැහැ. මේ ගැන කරුණු ගවේෂණය කළ හඞ්සන්, එය පුවත්පත් ලිපියකට ගොනු කළා. 1958 ජනවාරි 19 වනදා ලංකාදීපයේ ‘‘මළ නෙතට පණ’’ නමින් පළ වූයෙ එයයි.
8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකිද?

අක්‍ෂිදාන ව්‍යාපාරය මෙරට ස්ථාපිත වූයේ විවිධ බාධක හා හිරිහැර මැද. මේ සංකල්පය ප‍්‍රායෝගික නොවන මනෝ විකාරයක් යැයි සමහර ජේ්‍යෂ්ඨ වෛද්‍යවරුන් මුල් යුගයේ ප‍්‍රසිද්ධියේ කියා සිටියා. අක්‍ෂිදාන කටයුතු හරහා ඔහුට සමාජ පිළිගැනීමක් ගොඩ නැගෙනු දුටු සමහර ජ්‍යෙෂ්ඨයන්ට ඉරිසියාවක් පහළ වන්නට ඇති.
උද්‍යොගිමත් තරුණ වෛද්‍යවරයකු ලෙස හඞ්සන් සිල්වා සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ අක‍්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතා පෙන්වා දීම ගැන නිලධාරින් නොසතුටු වූවා.
ප‍්‍රතිඵලය වූයේ දිගින් දිගටම පරිපාලනමය වශයෙන් ඔහුට හිරිහැර කිරීමයි. තමන්ගේ රාජකාරිය කිසි විටෙක අතපසු නොකොට, පෞද්ගලික වියදමින් අක්‍ෂිදාන වැඩ කළත් ඔහුගේ වැරදිම සෙවූ නිලධාරින් සිටියා.
ඔහුව තැනින් තැනට මාරු කරනු ලැබුවා. මේ ස්ථානමාරු නිහඬව බාර ගත් වෛද්‍ය හඞ්සන් වරෙක කීවේ ‘‘මේ ලංකාවේ කියන ඕනෑම තැනකට යන්නම්. නමුත් මට නිදහසේ රාජකාරිය හා අක්‍ෂිදාන කටයුතු කරන්න ඉඩ දෙන්න!’’
ඇස් ගලවා ගැනීමෙන් පසු අක්‍ෂි කුහරවලට පුළුන් පුරවා කිසිදු වෙනසක් නොපෙනන අයුරින් මෘත ශරීරය සැකසීම සම්ප‍්‍රදායයි. එහෙත් අක්‍ෂිදානය කළ අයගේ සිරුරු එම්බාම් කළ නොහැකි යයි සමහර මල්ශාලා හිමියන් වරක් බොරු තර්කයක් මතු කළා. එයින් නොසැලූණු වෛද්‍ය හඞ්සන් කීවේ එසේ නම් අක්‍ෂිදාන සංගමය හරහා නොමිළයේ එම්බාම් කිරීමේ සේවයක් ද අරඹන බවයි. නොමග යවනු ලැබ සිටි මල්ශාලා හිමියන්ගේ විරෝධය එතැනින්ම නතර වුණා!
1965දී වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට යාමට ඔහුට ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබුණා. විදේශකයන් තරගකාරීව කළ මේ තේරීම අපේ සෞඛ්‍ය බලධාරින් පිළිගන්නට මැලි වූ නිසා අවසන් තීරණය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක දක්වා ගියා. එයට ඇගේ අනුමැතිය ලැබුණා. මේ අනුව විදේශගත වූ වෛද්‍ය හඞ්සන් අක්‍ෂි සැත්කම් හා අක්‍ෂි වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය ගැන නව දැනුම හා නව ප‍්‍රබෝධයක් ලබා ගෙන යළිත් සිය රට ආවා.
එහෙත් සෞඛ්‍ය බලධාරින්ගේ කෙනෙහිලිකම් නතර වූයේ නැහැ. දන් දෙන අක්‍ෂි කුණිත රජයේ රෝහල්වලට ලබා දුන් පසු හරිහැටි පරිහරණය නොකිරීම නිසා අපතේ යන බව තහවුරු කර ගත් වෛද්‍ය හඞ්සන්, ඒ ගැන ප‍්‍රසිද්ධියේ කථා කළා.
මේ ගැන කුපිත වූ සෞඛ්‍ය ලොක්කෝ ඔහුගේ වැඩ තහනම් කළා. අන්තිමේදී 1967දී අනිවාර්ය විශ‍්‍රාම ගන්වනු ලැබුවා. රජයේ සෞඛ්‍ය සේවයේ කිසි දිනෙක තමන්ට මහජන අභිවෘද්ධියට වැඩ කරන්නට නොලැබෙන බව තේරුම් ගත් ඔහු, පූර්ණ කාලීනව අක්‍ෂිදාන වැඩට යොමු වුණා.

1965දී අක්‍ෂිදාන සංගමය රජය පිළිගත් පුණ්‍යායතනයක් වූ පසු ටිකෙන් ටික දෙස් විදෙස් දානපති ආධාර ලැබෙන්නට පටන් ගත්තා. එහෙත් මුල් වසර 20ක් පමණ අක්‍ෂිදාන කටයුතු කරගෙන ගියේ ඉතා සීමිත පහසුකම් මැද, ස්වේච්ඡා සේවක ආධාරයෙන්. හඞ්සන් සිල්වාගේ වෝඞ් පෙදෙසේ කුඩා නිවස අක්‍ෂිදාන කාර්යාලය ලෙස දිගු කලක් පැවතුණා.
මේ සඳහා සියළු සහයෝගය ලබා දෙමින් අක්‍ෂිදානයට මාතාවක් වූයේ ඔහුගේ බිරිඳ අයිරාංගනී සිල්වා මහත්මියයි. 1961දී ඔවුන් විවාහ වන අවස්ථාවේදීම අක්‍ෂිදානයට පූර්ණ සහයෝගය දෙන බවට ඈ පොරොන්දු වී සිටියා. ඇය ජීවිත කාලයම කැප කළේ මේ සඳහායි. වෛද්‍ය හඞ්සන්ගේ වියෝවින් පසු වසර කිහිපයක් ඇය අක්‍ෂිදාන සභාපති තනතුර හෙබවූවා.
වෛද්‍ය හඞ්සන් සිල්වාගේ ජිවිතයේ අවසාන දශකයේ ඔහු හඳුනාගෙන විටින් විට ඔහුගේ වැඩ කටයුතු ගැන මාධ්‍ය හරහා වාර්තා කරන්නට මට අවස්ථාව ලැබුණා. එවකට ලෝකයේ ප‍්‍රමුඛතම මාධ්‍යවලින් ආවරණය ලබා තිබුනත් ඔහුගේ කිසිදු උඩගුකමක්, පුහු මාන්නයක් තිබුණේ නැහැ.
පුවත්පත් සමග ඔහු ජිවිත කාලය පුරා සමීප සබඳතා පැවැත්වූවා. ලංකාදීපයේ මුල් ලිපිය පළ නොවූවා නම් අක්‍ෂිදානයක් බිහි නොවන බව ඔහු දැන සිටියා. මාධ්‍ය ආයතන සමග සුහදව ගනුදෙනු කළ ඔහු ඕනෑම වෙලාවක මාධ්‍යවේදී ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානමින් සිටින බව මා අත්දැකීමෙන් දන්නවා.
ඉඳහිට මාධ්‍ය හරහා අභූත චෝදනා හා මඩ පාරවල් එල්ල වූ විට ද ඔහු සැලූණේ නැහැ. මාධ්‍ය සමග ගැටුම් ඇති කර ගත්තේ නැහැ. නිහඬව තමන්ගේ වැඩ කරගෙන ගියා.
එහෙත් එසේ කරන්නට බැරි වූ නරක කාලයක් 1990-92දී උදා වුණා. ජනාධිපති පේ‍්‍රමදාස ඔහුට නොරිස්සූ ජන සංවිධානයක් මට්ටු කරන්න රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශන කොමිසමක් පත් කළා. එහෙත් කොමිසමේ සාමාජිකයකු වූ වෛද්‍ය මහාචාර්යවරියක් ඒ අවස්ථාව යොදා ගත්තේ අක්‍ෂිදාන සංගමයටත්, එහි නිර්මාතෘවරයාටත් හිරිහැර කරන්නයි.
මෙය වෘත්තීමය ඉරිසියාවෙන් මතු වූ කි‍්‍රයාවක් බව පෙනුනත් සියඵ තොරතුරු හා ගිණුම් නොවලහා ඉදිරිපත් කිරීමට අක්‍ෂිදානය ඉදිරිපත් වුණා. චෝදනා කිසිවක් ඔප්පු නොවූවත් සභා සැසිවාරවලදී එල්ල කළ මඩ ප‍්‍රහාර මාධ්‍ය හරහා රටටම වාර්තා වුණා.
ජනාධිපති විජේතුංග ගත් මුල්ම නිල පියවරක් වූයේ NGO කොමිසම නතර කිරීමයි. එහෙත් ඒ වන විට දෑවුරුද්දකට වැඩි කාලයක් අක්‍ෂිදානය තමන්ගේ නිර්දෝශීභාවය තහවුරු කිරීමට වැය කර තිබුණා.
‘‘NGO කොමිසම පටන් ගත්තේ මට පහර ගසන්න. එහෙත් අහිංසකයා හඞ්සන් එයින් බැට කෑවා. කොමිසමේ නීතිඥයන් මේ ලෝක පූජිත ලාංකිකයාට ඒ දිනවල සැළකුවේ ඉතා පහත් විදියට’’ යයි ඒ අමිහිරි යුගය සිහිපත් කරමින් සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න ගිය වසරේ මා සමග ටෙලිවිෂන් සාකච්ඡාවකදී පැවසුවා.

වෛද්‍ය හඞ්සන් හා ආරියරත්න මිතුදම බොහෝ කල් පැවති සමීප සබඳතාවක්. සර්වෝදය හා අක්‍ෂිදානය ඇරඹුණේ එකම වසරේ (1958) මේ ව්‍යාපාර දෙකම බිම් මට්ටමින් ස්වේච්ඡාව්‍යාපාර ලෙස ටිකෙන් ටික ලක් සමාජයේ ස්ථාපිත වුණා. මේ නායකයන් දෙපලට ලෝකයෙන් ප‍්‍රශංසා හා සම්මාන ලැබෙද්දී මෙරටින් බොහෝ විට ලැබුණේ බාධක, ගැරහිලි හා කොන් කිරීම්. එහෙත් එයින් අධෛර්්‍යය නොවී ඉදිරියට යාමේ අධිෂ්ඨාන ශක්තිය ඔවුන් සතු වුණා.
1970 දශකය මුලදී මෙරට සෞඛ්‍ය නිලධාරින් අක්‍ෂිදාන සංගමයට කළ බාධා නිසා කළකිරුණු වෛද්‍ය හඞ්සන් පිලිපීනයේ ඇස් බැංකුවක් බිහි කිරීමට කලක් විදේශගත වන්නට තීරණය කළා. එරට සංචාරයකට ගිය ආචාර්ය ආරියරත්නට මෙය ආරංචි වුණා. ‘‘හඞ්සන් ලංකාවට අවශ්‍යම පුද්ගලයෙක්’’ යයි කියමින් ඔහු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට මතු වී ඇති ප‍්‍රශ්න ගැන කියා සිටියා. මැතිනිය මැදිහත් වී නිලධාරි ප‍්‍රශ්න සමනය කළ නිසා වෛද්‍ය හඞ්සන් විදේශගත වීමේ අදහස අත් හැරියා.
වෛද්‍ය හඞ්සන් ඉතා කාර්යශූර හා ‘වැඩ කිරීමට ලොකු උණක්’ තිබූ කෙනෙක්. දොස්තර මහත්තයා හෝ ආයතන ප‍්‍රධානියා කියා පංගු බේරුවක් ඔහුට තිබුණේ නැහැ. ටයිප් කරන්නට, ඡායාරූප ගන්නට, වාහන එලවන්නට මෙන් ම බොහෝ උපකරණ අඵත්වැඩියාවටත් ඔහු සමතෙක්. ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන්ගේ පටන් මෙරට ඉතා අසරණ පුද්ගලයා දක්වා කොයි කවුරුත් සමග තරාතිරම් නොබලා අධිෂ්ඨාන පූර්වකව වැඩ කළ අයෙක්.
එසේම ඔහු සන්නිවේදනයේ අගය දැන එය මනා ලෙස යොදා ගත්තා. ඕනෑම මරණ ගෙදරක, උත්සව සභාවක හෝ විද්්‍යුත් මාධ්‍යයක අක්‍ෂි සෞඛ්‍යය හා අක්‍ෂිදානය ගැන රසවත් හා හරවත් ලෙසින් කථා කිරීමට කිසිදු සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.
අක්‍ෂිදානයේ නිර්මාතෘවරයා ලෙස වෛද්‍ය හඞ්සන්ට රටවල් රැසකින් ගෞරව, ත්‍යාග හා පිළිගැනීම් ලැබුණා. ජෝර්දානය, තායිලන්තය හා ඉන්දියාවෙන් විදේශිකයන්ට පිරිනැමෙන ඉහළම සම්මානයත්, 1981දී ලෝකයේ විශිෂ්ටයන්ට පිදෙන ඩැග් හැමර්ෂල්ඞ් ත්‍යාගයත් ලැබූ ඔහුට උපන් රටින් උපහාර ලැබුණේ කල් ගත වීයි. 1987දී ජනාධිපති ජයවර්ධන දේශබන්දු සම්මානය පිරිනැමුවා.
ලෝ ප‍්‍රකට රීඩර්ස් ඩයිජෙස්ට් (Reader’s Digest) සඟරාව කිහිප වතාවක් අක්‍ෂිදානය ගැන ප‍්‍රශංසාත්මකව ලිවීම හරහා ශී‍්‍ර ලංකාවට මිළ කළ නොහැකි තරම් වටිනා ලෝක ප‍්‍රචාරයක් ලැබුණා. 1994 ඔක්තෝබරයේ මේ සඟරාව, වෛද්‍ය හඞ්සන් ‘අපේ කාලයේ වීරයෙක්’ (Hero for Today)යයි නම් කළා.
අක්‍ෂිදාන ව්‍යාපාරය ගැන දැඩි පැහැදීමෙන් එයට අනුග‍්‍රහය දැක්වූ අය අතර ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් ද සිටියා. ඔහු එය දුටුවේ නවීන තාක්‍ෂණය මානූෂිය අවශ්‍යතාවයක් සඳහා සංවිධානාත්මක ලෙස යොදා ගන්නාට කළ ප‍්‍රශංසනීය ව්‍යාපාරයක් ලෙසයි. අක්‍ෂිදාන සංගමයට ඉඳහිට නිහඬව මූල්‍ය ආධාර කරන අතර ඔහු මේ සද් කාර්යය ගැන විදෙස් රටවලදී උද්‍යෝගයෙන් කථා කළා.
ඊට අමතරව 1990දී ක්ලාක් ලියූ Ghost from the Grand Banks නම් ප‍්‍රබන්ධ නවකථාවේ එක් තැනක වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන කෙටි සඳහනක් හමු වනවා. මිනිසුන් දහස් ගණනකගේ දන් දුන් ඇස් සිය දෑතින්ම ගලවා ගත් මේ වෛද්‍යවරයා මිය ගිය තම මවගේ දෑස් උකහා ගන්නට තරම් චිත්ත සමාධියකින් යුතු වූ බව එහි කියැවෙනවා.
මා එය දකින්නේ පෙරහැරක් ගියා වගේ. (නිලධාරිවාදය නොතකා) සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොකු පොඩි සැවොම, විවිධ ආගම්වල පූජක පක්‍ෂය, සියළු දේශපාලන පක්‍ෂ නායකයන්, නොයෙක් ස්වේච්ඡා ආයතන (සිංහ සමාජ, සර්වෝදය, රොටරි ආදි), හමුදා නිලධාරින්, ගම් හා නගරවල බාල – මහලූ ගැහැණු – පිරිමි හැම දෙනා මේ පෙරහැරට සම්බන්ධ වූවා. ප‍්‍රධාන සංවිධායකයා වුණත් වෛද්‍ය හඞ්සන් පෙරහැරේ නිලමේට ඇන්දේ නැහැ. බොහෝ විට ඔහු සිටියේ පසුබිමින්.
රටට හා ලෝකයට වැඩක් කරන, පොදු උන්නතියට කැප වූ විද්වතුන්ට අපේ සමාජය හා නිලධාරි තන්ත‍්‍රය සළකන ආකාරය මේ චරිතයෙන් මනාව පිළිබිඹු වනවා. ඉරිසියාවෙන් හා කුහක බවින් ඉතිරෙන අපේ සමාජයේ හොඳ වැඩක් කරන්නට යන ඕනෑම කෙනකු මේ අභ්‍යන්තර ප‍්‍රතිරෝධය ජය ගත යුතු වනවා.
Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):
මේ උදාර මනුෂ්‍යයා ගැන තැබූ සටහන වෙනුවෙන් ඔබට නමස්කර කරන්නෙමි. මිනිසුන්ට තම වර්ගයාගේ යහපත වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට ද හැකියාව ඇති බව ලොවට පෙන්වාදුන් මිනිසකු ගැන තැබූ සටහන වෙනුවෙන් ඔබට ස්තිතුයි
ඔබට ස්තූතියි. මම මෙතුමා ගැන දැන ගත්තේ අද.