සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

In this week’s Ravaya column (in Sinhala), I look at a public health emergency in Sri Lanka: Chronic Kidney Disease of unknown etiology (abbreviated as CKDu).

CKDu was first reported in the early 1990s from a single Province in our heartland of farming, but it has now spread across approximately 17,000 sq km (a quarter of the island), which is home to around 2.5 million people. Several thousand have already died; the exact number is not clear. Over 15,000 people are kept alive with regular kidney dialysis.

Investigating causes of this ailment — still not pinned down to a particular cause or factor — has been contentious with scientists, nationalists and politicians trying to hijack the issue for their own agenda setting. Some journalists have added fuel to the fire with sensationalist reporting and fear-mongering. In this column, I ask everyone to focus on the prolonged suffering of those already affected and their families.

I covered similar ground in an English column two weeks ago:
When Worlds Collide #29: Science and Politics of Kidney Disease in Sri Lanka

වියලි කලාපයේ දශක දෙකක පමණ කාලයක් පුරා සෙමෙන් මතුව විත් දැන් මහා පරිමානයේ මානුෂික ඛේදවාචකයක් බවට පත්ව තිබෙන නිදන්ගත වකුගඩු රෝගය ගැන යළිත් අවධානය යොමු වී තිබෙනවා.

සාමාන්‍යයෙන් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩපණ කරන්නේ දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි ශාරීරික ආබාධයක්. එහෙත් මේ සාධක නැතිවත් වකුගඩු හරිහැටි ක‍්‍රියා නොකිරීම නිසා පීඩාවට පත් රෝගීන් ගැන 1990 දශකය මුල සිට වියලි කලාපයේ කෘෂිකාර්මික ප‍්‍රදේශවලින් වාර්තා වන්නට පටන් ගත්තා. මේ තත්ත්වය ලක් වූ බහුතරයක් වයස 30 හා 60 අතර වූ පිරිමින්. ඔවුන් බොහෝ දෙනා ගොවීන් හෝ ගොවිබිම් කම්කරුවන් හෝ ලෙස ජීවිකාව සළසා ගත් අයයි.

රජරට නිදන්ගත වකුගඩු රෝගය ලෙස බහුලව හැදින්වෙන මේ රෝගී තත්ත්වයට හරිහැටි හේතු කාරකයක් තවමත් පැහැදිලි ලෙස හඳුනාගෙන නැහැ. එ නිසා ම ඉංග‍්‍රීසියෙන් මෙයට දී ඇති නිල නාමය ‘නාඳුනන හේතුකාරක ඇති කරන වකුගඩු රෝගය’ Chronic Kidney Disease of unknown etiology හෙවත් CKDu. මේ වන විට මේ රෝගය නිසා සිය ගණනක් මිය ගොස් තිබෙනවා. සංඛ්‍යා ලේඛනවල පරස්පරතා නිසා හරියට ම මේ ගණන සොයා ගැනීම අපහසුයි.

දැනට මේ රෝගයත් සමග ජීවත්වන සංඛ්‍යාව අඩු තරමින් 15,000ක් පමණ වනවා. ඔවුන්ට තමන්ගේ සිරුරේ බහිශ‍්‍රාවීය ක‍්‍රියා හරිහැටි ස්වාභාවිකව සිදු නොවන නිසා රුධිර කාන්දු පෙරීම (Kidney Dialysis) දින හතරකට වරක් කළ යුතු වනවා. එක් වරකට මෙයට වැය වන වියදම රු. 12,000ක්. වසරක් පාසා මේ රෝගී තත්ත්වයට ගොදුරු වන සංඛ්‍යාව වැඩිවත් ම එ සඳහා රජයේ රෝහල් හරහා දරණ වියදම ද ඉහළ නගිමින් තිබෙනවා. (2005 සමස්ත වියදම රු. මිලියන් 350).

මේ රෝගය ගැන පර්යේෂණ කිරීම හා එයට හේතුකාරක මෙන් ම පිළියම් සොයා ගැනීම අද අපේ විද්‍යාඥයන් හමුවේ ඇති විශාල අභියෝගයක්.

මෙය විෂබීජයක් හෝ වාහකයකු හෝ හරහා පැතිරෙන බෝවන රෝගයක් නොවෙයි. එය ආරෙට එන පාරම්පරික රෝගයක් ද යන්නත් පැහැදිලි නැහැ. එ ගැන පර්යේෂණයක් පේරාදෙනිය සරසවියේ විද්‍යාඥ පිරිසක් කර ගෙන යනවා. රෝග කාරකය ලෙස වැඩිපුර සැක කැරෙන්නේ පාරිසරික සාධකයක්. එය කුමක් ද?

මිනිස් අප එක්වර පාරිසරික බලපෑම් රැසකට පාත‍්‍ර වනවා. අප කන, බොන දෑ හරහා මෙන් ම ආශ්වාස කරන වාතය හා ජීවත්වන ප‍්‍රදේශයේ භූ විද්‍යාත්මක ස්වරූපය පවා දිගු කාලීන වශයෙන් මිනිස් සිරුරට බලපෑම් එල්ල කළ හැකියි. මේ බහුවිධ බලපෑම් අතරින් එකක් වෙන්කර හඳුනා ගෙන එය මේ රෝග තත්ත්වයට සෘජු ලෙස ම හේතු කාරක වේ යයි තීරණය කිරීම ඉතා අසීරුයි.

විද්‍යාත්මක ක‍්‍රමයේදී කල්පිතයකින් ඇරඹී නිරීක්ෂණ හා අත්හදා බැලීම් හරහා යම් නිගමනවලට එළැඹෙන්නේ සීරුවෙන්. එබඳු නිගමන සෙසු විද්‍යාඥයන් හරහා ප‍්‍රශ්න කිරීමට හා අභියෝගයට ලක් විය හැකියි. වසර ගණනක් ගතවීත් වකුගඩු රෝගය ගැන තවමත් වාද විවාද හා තර්ක විතර්ක පවතින්නේ එ නිසයි. විද්‍යාවේ හැටි එහෙමයි.

වකුගඩු රෝගයට හේතු විය හැකි යයි අනුමාන කැරෙන සාධක ගණනාවක් ගැන පර්යේෂණ කෙරී ගෙන යනවා. කිසිදු අනුපිළිවෙලකට නොමැතිව මේවා සම්පිණ්ඩනය කළහොත්:
• භූගත ජලයේ දියවී ස්වාභාවිකව තිබෙන ෆ්ලෝරයිඞ් පානය කිරීම
• ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය ස්වාභාවිකව අධික භූගත ජලය, බාල වර්ගයේ ඇලූමීනියම් භාජනවල තැන්පත් කර පානය කිරීම
• කැල්සියම් බඳු ඛනිජ වර්ග සාපේක්ෂව වඩාත් ස්වාභාවිකව මුසුව ඇති කඨින ජලය (hard water) පානය කිරීම
• ජලාශවල හා වාරිමාර්ගවල ජලය එක් තැන්වන විට හට ගන්නා cyanobacteriaවලින් ශ‍්‍රාවය කැරෙන විෂ ද්‍රව්‍ය පානීය ජලය හරහා ශරීරගත වීම
• කැඞ්මියම් නම් රසායනික මූලද්‍රව්‍යය ආහාර හරහා ශරීරගත වීම
• පලිබෝධනාශක හා රසායනික පොහොරවල අනුමත මට්ටමට වැඩියෙන් ආසනික් මූලද්‍රව්‍යය අඩංගු වී, එය කඨින ජලය ඇති ප‍්‍රදේශවල ජලය හා මුසු වී ශරීරගත වීම.
• නිසි ප‍්‍රමිතීන්ගෙන් තොරව නිපදවන මත්පැන් අධික ලෙස පානය කිරීම
ඇතැම් ආයුර්වේද ඖෂධ වර්ග භාවිතය. විශේෂයෙන් සප්සඳ (Aristalochia indica) යොදා තනා ගන්නා බෙහෙත් ගැන පර්යේෂකයන් අවධානය යොමු කර තිබෙනවා.

මේ විය හැකියාවන් අතරින් මෑතදී වැඩිපුර මාධ්‍යවල කථාබහ කෙරුණේ කෘෂිරසායන හරහා පරිසරයට එකතු වන ආසනික් පිළිබඳවයි. මේ කල්පිතය මතු කළ විද්‍යාඥ පිරිසේ එක් අයෙක් තමන්ට එ ගැන මූලික ඉඟිය ලැබුණේ දේව බලපෑමක් හරහා යයි පැවසූ නිසා එය ආන්දෝලනයට තුඩු දුන්නා.

විද්‍යාඥයන්ට පෞද්ගලික ජීවිතයේ තමන් කැමති දේශපාලන හා සාමයික (ආගමික) ඇදහීමකට නිදහස තිබෙනවා. එහෙත් එබඳු ඇදහිල්ලක් විද්‍යාත්මක කරුණු ගවේෂණයේ ක‍්‍රමවේදයට ඇඳා ගැනීම විවාදාත්මකයි.

කෘෂි රසායන ද්‍රව්‍ය හරහා අපට වස විස කැවෙන පෙවෙන බව රහසක් නොවෙයි. එහෙත් නිදන්ගත වකුගඩු රෝගයට හරියට ම හේතු කාරකය ආසනික් ද? හේතුකාරක විය හැකි අනෙක් සාධක අභිබවා එය නිසැකව ම සනාථ කළ හැකි ද?

අපේ වෛද්‍ය පර්යේෂකයන්, භූ විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා අනෙකුත් පර්යේෂකයන් අතර එබඳු එකඟතාවයක් තවම මතුවී නැහැ.

තර්ක විතර්ක හරහා ඔප්පු කළ හැකි සහ නැවත නැවතත් සිදුකර පෙන්විය හැකි (replicable) සාක්ෂි මත පදනම් වූ නිගමනවලට එළැඹීම ලොව පුරා පිළිගත් විද්‍යා පර්යේෂණ ක‍්‍රමවේදයයි. ප‍්‍රාතිහාර්යයන් (miracles), ගුප්ත බලවේගයන් හා තර්කයෙන් බාහිර වූ පරම සත්‍යයන් විද්‍යාවේ නැහැ.

මිනිසුන් සිය ගණනකගේ ජීවිත බිලිගත්, තවත් විශාල සංඛ්‍යාවක් රෝගාතුර කළ ආබාධයක හේතු කාරක සොයා යද්දී ගුප්ත හෝ ශුද්ධ බලවේගවලට එ සත්‍ය ගවේෂණය භාර දෙන්නට නොහැකියි.

Cartoon by Sidney Harris

අනෙක් කාරණය නම් මිනිස් අපගේ මැදහත්වීමකින් තොරව ස්වාභාවිකවත් ඇතැම් වස විෂ වීම් හා ආපදා ඇති විය හැකියි. බංග්ලාදේශය හා ඉන්දියාවේ බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ ඇතැම් ප‍්‍රදේශවල භූගත ජලයේ අසාමාන්‍ය ලෙස ආසනික් ප‍්‍රමාණය වැඩිවීම එයට හොඳ උදාහරණයක්. අපේ සමහර පරිසරවේදීන් මිහිතල මෑණියෝ නැතිනම් මහී කාන්තාව කියමින් පෘථිවියට වන්දනාමාන කළාට සමහර වෙලාවට මේ ග‍්‍රහලෝකය නිර්දය ලෙස භූ රසායනික හා වෙනත් ස්වාභාවික සංසිද්ධීන් ඇති කරනවා. සක‍්‍රීය ග‍්‍රහලොවක ජීවත්වීමේ යථාර්ථය එයයි!

වකුගඩු රෝගය ගැන මෙතෙක් මා කියැවු හොඳම මැදහත් විග‍්‍රහය 2011 දෙසැම්බරයේ Ceylon Medical Journal විද්වත් සඟරාවේ පළ වුණා. එ. ආර්. වික‍්‍රමසිංහ, ආර්. ජේ. පීරිස්-ජෝන් හා කේ. පී. වනිගසුරිය නම් පර්යේෂකයන් තිදෙනා මේ රෝගය පිළිබඳව මේ දක්වා ඉදිරිපත් කොට ඇති විවිධ කල්පිත හා අනුමාන සඳහන් කරමින් අවධාරණය කළේ පර්යේෂණ තව දුරටත් කළ යුතු බවත්, එ්වායේ ප‍්‍රතිඵල සෙසු විද්‍යාඥයන්ගේ ඇගැයීමට ලක් කැරෙන (peer-reviewed) විද්වත් සඟරාවල පළවිය යුතු බවත්. නව දැනුම පිළි ගැනීමට ලක් වන්නේ නිසි ක‍්‍රමවේදයක් හරහා දැඩි සංයමයකින් යුතුව ජනනය කළ විටයි.

ඔවුන් තව දුරටත් කීවේ: ”නිදන්ගත වකුගඩු රෝගයට තුඩු දෙන සාධක එකකට වැඩි ගණනක් තිබිය හැකියි. මේ දක්වා ඉදිරිපත්ව ඇති හා පර්යේෂණ ප‍්‍රතිඵල අනුව එකදු කල්පිතයක් හෝ ඔප්පු වී නැහැ. මේ රෝගය අදාළ ප‍්‍රදේශවල ජනයාට මහත් බලපෑමක් ඇති කරන නිසාත්, රටේ සෞඛ්‍ය සේවාවට ලොකු වියදමක් නිසාත් මෙය හරියාකාර තේරුම් ගෙන නිසි ප‍්‍රතිචාර දැක්වීම ජාතික ප‍්‍රමුඛතාවක් වනවා.” http://tiny.cc/CKDuCMJ

වකුගඩු රෝගයේ සැබෑ තත්ත්වය හොඳාකාරව දන්නේ අදාළ ප‍්‍රදේශවල රෝහල් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවක පිරිසයි. හඳුනා නොගත් රෝගයක් වසරක් පාසා වැඩි වැඩියෙන් දෙනා රෝගාතුර කරන විට එය වටා විවිධ ආවේගයන් මතුවී එම ස්වභාවිකයි. භීතිය, ශෝකය, සැකය මෙන් ම ඉච්ඡුාභංගත්වය ද එ් අතර වනවා. වකුගඩු රෝගයට ලක් වුවන්ට බෙහෙත් හා රුධිර කාන්දු පෙරීම දෙන අතරේ එ් පවුල්වල අයට මානසික අස්වැසිල්ල ලබාදීම ද ඉතා වැදගත්.

මෙබඳු තත්ත්වයකට අපට ඇති ආසන්න ම අත්දැකීම නම් 2004 දෙසැම්බරයේ ආ සුනාමියයි. එහෙත් සුනාමිය මෙන් මතු පිටින් කිසිදු භෞතික හානියක් නොකොට, සෙමෙන් සෙමෙන් මිනිසුන්ට පමණක් වින කරන මේ රෝගය හරිහැටි ග‍්‍රහණය කර ගැනීමත් බොහෝ දෙනෙකුට අසීරුයි.

මාධ්‍යවේදීන්ටත් මේ අභියෝගය තිබෙනවා. බොහෝ මාධ්‍ය කඩිමුඩියේ කරන වාර්තාකරණයට (Breaking News) මේ රෝගය හසු කර ගැනීම අමාරුයි. එහි බහුවිධ පැතිකඩ තිබෙනවා. විශාල බිම් පෙදෙසක් පුරා පැතිර ගිය හා විවිධ මතිමතාන්තරවලට ලක් වූ වකුගඩු රෝගය ගැන යන්තමින් වාර්තා කළොත් මහජනයා අතර අනවශ්‍ය භීතියක් ඇති වීමේ අවදානම තිබෙනවා.

මෙබඳු ව්‍යසනයකදී මාධ්‍යවේදීන් කළ යුත්තේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ මත දරණ විද්‍යාඥයන් කොයි කාටත් එක සේ අදහස් ප‍්‍රකාශනයට ඉඩ ලබා දෙමින් මැදහත් වේදිකාවන් ලෙස කටයුතු කිරීමයි. එසේ නැතිව විද්‍යාඥයන් අතර අනවශ්‍ය ලෙස මත ගැටුම් බිහි කිරීමවත්, තමන් පෞද්ගලිකව වඩාත් දන්නා හඳුනන විද්වතුන්ගේ මතවාදයන්ට වැඩි ප‍්‍රමුඛතාවයක් දීමවත් නොවෙයි.

ප‍්‍රතිපත්ති තීරකයන් හා නිලධාරීන් බහුතරයක් තම තොරතුරු සඳහා මුලාශ‍්‍ර කර ගන්නේ විද්වත් සඟරා නොව ජනමාධ්‍ය වාර්තායි. මේ නිසා තොරතුරු නිවැරදිව දීමටත්, තමන් කරන විග‍්‍රහයන් වඩා තුලනාත්මකව හා වගකීමකින් කිරීමටත් මේ ප‍්‍රශ්නය වාර්තාකරන හැම මාධ්‍යවේදියකුට ම යුතුකමක් තිබෙනවා. උවමනා වන්නේ ආන්දෝලන ඇති කරමින් ඛේදවාචකය තවත් උග‍්‍ර කිරීම නෙවෙයි!

අපේ සමාජයේ ප‍්‍රශ්නයක් ප‍්‍රබලව පැන නැගෙන විට එයට වගකිව යුතු පුද්ගලයන් නැතිනම් ආයතන ගැන බොහෝ දෙනා සැලකිලිමත් වනවා. සංකීර්ණ වත්මන් සමාජයේ හැම සංසිද්ධිකයක ම “දුෂ්ටයකු” සොයා ගැනීම අපහසු වුවත්, ආසන්න වශයෙන් හෝ ෙදාස් පැවරයි හැකි කෙනෙකු සොයා යාම සම්ප‍්‍රදායක් වෙලා. පුද්ගලයකු සොයා ගන්නට බැරි විට “විදෙස් බලපෑම්”, CIA, “බහුජාතික සමාගම්”, “ඩයස්පෝරාව” හා “කඩාකප්පල්කාරී මාෆියාවන්” වැනි සාමුහික ලේබල් ඇලවීමේ රුචියක් සමහරුන්ට තිබෙනවා.

ප‍්‍රශ්නවල අක්මුල් සොයා තේරුම් ගැනීම එවා විසඳීමට උපකාර වන බව ඇත්තයි. එහෙත් ලොව හැම දෙයක් ම එ සරල ආකාරයට විග‍්‍රහ කළ නොහැකියි. සෘජුව හෝ වක‍්‍රව හෝ මිනිස් බලපෑමක් නැතිව සිදුවන ව්‍යසන ද තිබෙනවා. සුනාමිය හට ගත්තේ කාගේ වරදින් ද? භූමිකම්පාවලට ෙදාස් කිව හැක්කේ කාට ද? දුෂ්ටයා “මිහිතල මෑණියන්” විය හැකි ද?

නිදන්ගත වකුගඩු රෝගය අධ්‍යයනය කොට නිසි ප‍්‍රතිචාර දැක්වීමේදී අද හදිසි අවශ්‍යතාවය “දුෂ්ටයා” හෝ “දුෂ්ටයන්” හඳුනා ගැනීම නොව විපතට පත් ජනයාට උදවු උපකාර කිරීමයි. අනතුරේ සේයාවේ වෙසෙන මිලියන් 2.5ක් ජනයා එයට බිලි වීමෙන් වළක්වා ගැනීමයි.

මේ අවස්ථාවේ අපේ විද්‍යාඥයන් දැඩි සංයමයෙන් හා අධිෂ්ටානයෙන් යුතුව විසඳුම් සොයා යා යුතුයි. මෙය කුමන්ත‍්‍රණවාදී තර්කවලටල පදනම් විරහිත චෝදනාවලට හා පාඨකයන් බියපත් කරවන මාධ්‍ය වාර්තාවලට සුදුසු තැන හෝ කාලය හෝ නොවෙයි!

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: