This is the Sinhala text of my latest Ravaya column, where this week I am paying tribute to Dr Osmund W Jayaratne (1924-2006), a remarkable physicist, science populariser and public intellectual whom I knew and worked with for many years.

කලින් කලට අපේ රට දැඩි නියගයන්ට මුහුණ දෙනවා. මීට දශක දෙකකට පමණ පෙර එබදු එක් අවස්ථාවක රටේ විධායක ජනාධිපතිවරයා තායිලන්තයෙන් විද්‍යාඥ පිරිසක් මෙරටට කැදවූවා කෘත්‍රිම වර්ෂාව ඇති කරන්නට. ඔවුන්ගේ උත්සාහය වූයේ ලංකාවේ මධ්‍යම කදුකරයේ ජලධාරක ප්‍රදේශවලට ඉහළින් ඇති වළාකුළුවලට ජලාකර්ශක රසායන ද්‍රව්‍ය (hygroscopic chemicals) ඉසීමෙන් වැසි ඇති කිරීමයි. මේ සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදා ගෙන සැළකිය යුතු වියදමක් දරනු ලැබුවත් එයින් කිසිදු අමතර වර්ෂාවක් ලැබුණේ නැහැ. නවීන විද්‍යාව සොබා දහමට මුක්කු ගසන්නට යාම ගැන රටේ ඇතැම් දෙනා තුළ හාස්‍යයක් නම් ඇති වුණා.
එයින් ටික දිනකට පසු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසි වාරයේ භෞතික විද්‍යා අංශයේ මුඛ්‍ය දේශනය පැවැත් වූයේ එවකට එම විෂය සම්බන්ධයෙන් මෙරට සිටි ප්‍රවීණතම විද්‍යාඥයායි. ‘කෘත්‍රිම වැසි ඇති කිරීම ඇත්තද බොරුද?’ (Rain-making: Fact or Fallacy?) යන තේමාවෙන් දේශනය කළ මේ විද්‍යාඥයා මැදහත්ව හා තර්කානුකූලව පෙන්වා දුන්නේ තායිලන්තයේ සිට පැමිණි පිරිස පිළි ගත් විද්‍යාත්මක පදනමකින් හෝ ක්‍රමවේදයකින් හෝ තොරව ලක් රජය හා අපේ රාජ්‍ය නායකයා නොමග යැවූ ආකාරයයි. ගෝනිවල පුරවා ගත් රසායන ද්‍රව්‍ය හෙලිකොප්ටර් මගින් වළාකුළුවලට ඉසිනු ලැබූවත් ඒවා කිසිදු කාලගුණ බලපෑමක් ඇති නොකර පොළවට පතිත වූ සැටිත්, අපේ රටට වර්ෂාව ලැඛෙන ස්වාභාවික ප්‍රවාහයන් ගැන හරිහැටි අවබෝධයකින් තොරව මේ ව්‍යාපෘතිය සැළසුම් කළ සැටිත් ඔහු පෙන්වා දුන්නා.
එවකට බලගතු ස්ථාවරයක සිටි ජනාධිපතිවරයා ඇතුළු රජය ‘හෑල්ලූ කිරීම’ ගැන ඇතැම් දේශපාලන ගැත්තන් ඔහුට චෝදනා කළත් එතෙක් මුනිවත රැකි අපේ අනෙක් විද්‍යාඥයෝ ඔහුගේ තර්කානුකූල කරුණු දැක්වීම ඉහළින් පිළි ගත්තා. මේ විද්‍යාඥයා මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න.
එදා මෙදා කාලය තුළ විවිධ සංවර්ධන හා ආපදා කළමනාකරණ ව්‍යාපෘති සඳහා විද්‍යාත්මක ක්‍රම හා තාකෂණයන් යොදා ගන්නට හැම රජයක් ම විටින් විට පෙළඹෙනවා. ඒ සමහර අවස්ථාවල අවශ්‍ය විශේෂඥ දැනුම හා අත්දැකීම් ඇති දේශීය විද්වතුන් සිටියදී විවිධ හේතු නිසා විදේශීය විශේෂඥයන් පෙරටු කරගෙන ඒවා ක්‍රියාත්මක වෙනවා. තවත් විටෙක බලයේ සිටින රජයට සමීප වී එයින් ප්‍රතිලාභ ලබන අපේ ම සමහර විද්‍යාඥයන් වැරදි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගැන දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට හෝ එරෙහිව ප්‍රසිද්ධියේ තර්කයක්වත් මතු කරන්නේ නැහැ.
මහාචාර්ය ඔස්මන්ඩ් වික්‍රම ජයරත්න අප අතරින් වියෝ වී පස් වසරක් ගෙවී යන්නේ 2011 සැප්තැම්බර් මාසයට. මේ රසකාමී, ජනතාවාදී විද්‍යාඥයා පිළිබද මතකයන් රැසක් ඔහු ඇසුරු කළ අප බොහෝ දෙනකුගේ සිත්වල හොදින් සටහන් වී තිඛෙනවා.
ඔස්මන්ඩ් ජයරත්න වෘත්තියෙන් භෞතික විද්‍යාඥයෙක්. 1924 දී කොළඹ උපත ලැබූ ඔහු, රාජකීය විද්‍යාලයෙන් හා කොළඹ සරසවියෙන් ඉගෙනුම ලබා පසුව බ්‍රිතාන්‍යයේ ඉම්පිරීයල් සරසවියෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තා. ඔහුගේ පර්යේෂණ ෙකෂත්‍රය වුණේ ඉහළ වායුගෝලයේ ජල වාෂ්ප ඝනීභවනය හා වර්ෂාපතන ක්‍රියාවලියයි.
එහෙත් බහුතරයක් ලාංකිකයන් ඔහු හදුනා ගත්තේ ඔහුගේ වඩාත් පුළුල් සමාජ මෙහෙවර හරහායි. ප්‍රතිපත්ති ගරුක වාමාංශික දේශපලනයේ නිරත වූ ඔහු ලංකා සමසමාජ පකෂයේ සාමාජිකයකු ලෙස ජීවිත කාලයක් ක්‍රියා කළා. 1954-57 කාලයේ කොළඹ නගර සභාවේ සභිකයකු වුණා. 1972-74 වකවානුවේ ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ කොළඹ මණ්ඩපයේ අධිපති (අද කියන හැටියට උපකුලපති) ලෙස සේවය කළා. සිංහලෙන් භෞතික විද්‍යාව උගන්වන්නට කොළඹ හා පේරාදෙනිය සරසවි ඇදුරකු ලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන අතර ප්‍රසිද්ධ දේශන, විද්‍යා ගවේෂණ හා මාධ්‍ය හරහා විද්‍යාව ජනතාව අතරට ගෙන යන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා.
පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තමන්ගේ විශේෂඥ දැනුම පසුබිම් කරගෙන කාලීන මාතෘකා ගැන ප්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව නොබියව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක්. අති බහුතරයක් උගතුන් එක්කෝ නිහඩව පසෙකට වී බලා සිටිනවා. තවත් සමහරුන් පෞද්ගලිකව දැඩි විවේචන කළත් ප්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. ටික දෙනෙක් වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම හා උගත්කම ඉහළම ඉල්ලූමට අලෙවි කරනවා. එබදු උගතුන් බහුල අපේ සමාජයේ උඩුගංබලා පිහිනූ, කිසි දිනෙක ප්‍රතිපත්ති හෝ දැනුම පාවා නොදුන්, ප්‍රතිරූප තනා ගන්නට විකාර කථා නොකී සැබෑ විද්‍යාඥයකු ලෙස ඔස්මන්ඩ් ජයරත්නටයන්ට අප ප්‍රණාමය පුද කරනවා.
මුල් වරට මා ඔස්මන්ඩ් මුණ ගැසුණේ 1985 අගදී. එවකට මා තවමත් පාසල් සිසුවෙක්. වසර 76කට පසුව නැවත පායන හැලීගේ වල්ගාතරුව ගැන විස්තරාත්මක කවරයේ කථාවක් ලියන්නට ‘කල්පනා’ සගරාව සදහා තොරතුරු රැස් කරන කාලේ මා ඔහු හමුවන්නට ගියා. ඒ වන විට කොළඹ සරසවියේ භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඔහු මා ඉතා සුහදව පිළි ගෙන වල්ගාතරු ගැන තාරකා විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක පසුබිම මැනවින් පහදා දුන්නා. ඔහු වල්ගාතරු වෙනුවට භාවිතා කළ සිංහල වචනය වූයේ ‘ධූමකේතු’ යන්නයි.
සම්පූර්ණ ස්වාභාවික සංසිද්ධියක් වන මේ ආකාශ වස්තු රාත්‍රී අහසේ කලින් කලට දිස්වීම නිසා අපේ මහ පොළවේ කිසිදු බලපෑමක් ඇති නොවන බවත්, ඒ ගැන කිසිදු බියක් සැකක් ඇතිකර නොගත යුතු බවත් ඔහු පැහැදිලි කළා. “මේවා සම්පූර්ණයෙන් ම මිත්‍යා මත. මොනවා හරි පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා ගෙන, එහෙම නැතිනම් අහිංසක ජනතාව කලබල කරවන්න හිතාගෙන ඇතැම් උදවිය පතුරු වන කටකථා. ඇයි මතක නැද්ද 1955 සූර්යග්‍රහණය වෙලාවේ අපේ රටේ සිද්ධ වුණු වදකහ සුදිය?”
මේ ආකාරයට නොබියව, තර්කානුකූලව ඕනෑ ම දෙයක් විග්‍රහ කිරීමේ හැකියාව ඔස්මන්ඩ්ට තිබුණා. මේ නිසා තමයි ඔහු ජනප්‍රිය විද්‍යා දේශකයකු හා ගුරුවරයකු වූයේ. නවීන විද්‍යාව ඉක්මවා ගිය දාර්ශනික හා දේශපාලනමය දැක්මක් ඔහු සතු වුණා. ඔහුගේ දර්ශනය නිර්ආගමිකයි. ඔහුගේ දේශපාලනය සමාජවාදීයි. මේ නැඹුරුව සගවා ගන්නට ඔහු කිසි විටෙක උත්සාහ නොකළා වගේ ම තමන්ගේ මතවාදයන්ට වෙනස් මත දරන අය සමග ගැටුම් ඇති කර නොගෙන සුහදව හා සහයෝගයෙන් කටයුතු කිරීමේ මාහැගි චරිත ලකෂණයත් ඔහුට තිබුණා.
මා දෙවැනි වරට ඔස්මන්ඩ් ජයරත්නයන් හමු වූයේ ලංකා තරුණ තාරකාවේදීන්ගේ සංගමය (Young Astronomers’ Association of Sri Lanka) හරහායි. 1985 දී ආධුනික තාරකා විද්‍යාවට ලැදි පාසල් හා සරසවි සිසු සිසුවියන් පිරිසක් එක් වී පිහිටුවා ගත් මේ සංගමයේ මාර්ගෝපදේශකයා වූයේ ඔස්මන්ඩ්. ඇතුල්කෝට්ටේ පැවති අපේ රැස්වීම්වලට ඔහු හැකි සෑම විටක ම සහභාගී වුණා. ඒ වන විට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ ඔහු තම කාලය, දැනුම මේ තරුණ පිරිස වෙනුවෙන් දායක කළේ තනිකර ම ස්වේච්ඡාවෙන්. තාරකා විද්‍යා දැනුම ගවේෂණය හා රාත්‍රී අහස නිරීකෂණය කරන අවස්ථාවල ඔහු අප හා බද්ධ වූයේ සම වයසේ විනෝදකාමියකුගේ විලසින්. උගත්කමෙන් මතුවන උද්ධච්චකම හෝ බොරු මාන්නය හෝ ඔහුට තිබුණේ නැහැ.
සංගමයේ සභාපතිවරයා හැටියට 1986/87 කාලයේ මා මහජන රැස්වීම් කිහිපයක් සංවිධානය කළා. එයින් වඩාත් අවධානය ඇද ගත්තේ අභ්‍යවකාශ යුගයට තිස් වසරක් පිරීම සමරන්නට 1987 ඔක්තෝබරයේ කොළඹ පැවති උත්සවය හා ප්‍රදර්ශනයයි. එහි ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි ආචාර්ය ආතර් සී ක්ලාක් කළ කථාව, කිසිදු පිටපතක් හෝ පෙර සූදානමක් නැතිව ඔස්මන්ඩ් එවේලේ ම සිංහලට පරිවර්තනය කළා.
ඉංග්‍රීසි කථා කරන පසුබිමක හැදී වැඩී, මුළු අධ්‍යාපනය ම ඉංග්‍රීසියෙන් ලැබූ ඔස්මන්ඩ් සිංහල උගත්තේ වැඩිහිටියකු ලෙස සමාජවාදී දේශපාලනයට පිවිසියාට පසුවයි. ඒ පසුබිම් කථාව ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ ඔහු විස්තර කරනවා. එහෙත් ඔහුගේ සිංහල කථාවකට සවන් දුන්නා නම් ඒ බව අදහන්නත් අමාරු තරම්. බස හැසිරවීමට අමතරව පියකරු, සිනාමුසු ශරීර ශෛලියක් ඔහුට තිබුණා. ඔස්මන්ඩ් සභාවක් අමතා කථා කරනු මිනිසුන් බලා සිටියේ මහත් ආකර්ෂණයකට ලක් වූ පරිද්දෙන්. ප්‍රේකෂක පිරිසකට මේ තරම් සමීප වන්නට ඔහුට හැකි වූයේ ආචාර්ය ලූඩොවයික් යටතේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ගණනාවක රගපෑමෙන් ලද ආභාෂය නිසා විය යුතුයි.
1987 දී මා වෘත්තිමය මට්ටමෙන් විද්‍යා ලේඛනයට හා පුවත්පත් කලාවට පිවිසි පසු ඔස්මන්ඩ් මගේ හො`ද පාඨකයකු හා තොරතුරු මූලාශ්‍රයක් බවට පත් වුණා. පත්තර හරහා ප්‍රතිරූප ගොඩ නංවා ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට තිබුණේ නැහැ. විද්‍යාත්මක චින්තනය, හේතුවාදී දර්ශනය හා උසස් අධ්‍යාපනය වැනි පුළුල් විෂය ෙකෂත්‍රයන් සම්බන්ධයෙන් ඔහු මට ගුරුහරුකම් දුන්නේ පත්තරයේ නම හෝ පින්තූරය පළ ගන්නට නොවෙයි. The Island පත්‍රයේ විද්‍යා කතුවරයා ලෙස මා කටයුතු කළ වසර කිහිපය තුළ විටින් විට ඉතා හරවත් ලිපි ලියා දුන්නා.
1990 දී ටික කලකට මාත් ඔහුත් අසල්වාසීන් වුණා. රාජගිරියේ වැලිකඩවත්ත පාරේ කුලී ගෙයක මා පදිංචියට ගිය විට ඔහු වාසය කළේ මීටර් 25ක් තරම් නුදුරින්. මේ නිසා විද්‍යා, දේශපාලන හා මාධ්‍ය ලෝකය ගැන විටින් විට කථා බහ කරන්නට අවස්ථාව උදා වුණා. ඔහුගේ බිරිද ජොයිස් හා ඔහු හමුවන්නට සරසවි ඇදුරන් හා කලාකරුවන් නිතර පැමිණියා. රසවතකු වූ ඔස්මන්ඩ් ඇසුර නිසා මේ ඇතැම් දෙනා හදුනා ගැනීමේ අවස්ථාව මට ලැබුණා.
මේ වකවානුවේ ඔස්මන්ඩ්ගේ ජීවිත කථාව ලිපි පෙළක් සේ කොටස් වශයෙන් පළ කිරීමට ‘දිනපතා දිවයින’ පුවත්පත තීරණය කළා. 1940 ගණන්වලින් ඇරඹුණු ඔස්මන්ඩ්ගේ මහත්මා දේශපාලනය ගැන රසබර යටගියාව මේ හරහා හසු කර ගත්තා. එහෙත් වැඩිකල් යන්නට කලින් කිසිදු හේතුවක් නොදක්වා මේ ලිපි පෙළ නතර කරනු ලැබුවා. ඒ වෙනුවට ඒ දිනවල ජාත්‍යන්තර සම්මානයක් ලද ප්‍රවීන නිලි අනෝජා වීරසිංහගේ ජීවිත කථාව පළ කිරීම ඇරඹුවා. කිසිදා ප්‍රසිද්ධිය හඹා නොගිය තමන්ට දිවයිනෙන් සැළකූ ආකාරය ගැන සංවේදී ඔස්මන්ඩ් තුළ කම්පනයක් ඇති කළා. ‘අනෝජා තරම් මා රූප සොබාවෙන් පිරිපුන් නැති බව ඇත්තයි. ඒත් මගේ කථාව අද තරුණ තරුණියන්ට කියා ගන්නට තිබුණා නම් කොයි තරම් හොඳ ද?’ ඔහු ඒ ගැන මා සමග කීවේ එහෙමයි. (පසු කලෙක විදුසර පුවත්පත ඔහුගේ ජීවන කථාව පළ කළත් දිනපතා පුවත්පතක පුළුල් පාඨක පිරිසකට එය සම කළ හැකි වූවා යයි මා සිතන්නේ නැහැ.)
වැලිකඩවත්තේ නිවසින් හදිසියේ පදිංචිය මාරු කරන්නට ඔස්මන්ඩ්ට සිදු වුණේ පෞද්ගලික ජීවිතයේ ප්‍රබල සිදුවීමක් නිසායි. ඒ ගැන කියන්නට මගේ නිවසට ඔහු පැමිණි අවස්ථාව අපේ අවසාන හමු වීමයි. ඒ වන විටත් ඇසේ සුද ඉවත් කිරීමට කළ ශල්‍යකර්මයක් අනපේකෂිත ලෙස වැරදී යාම නිසා ඔහුගේ ඇස් පෙනීම අඩාල වෙමින් තිබුණා. ඔහු සිය ජීවිතයේ අවසාන වසර කිහිපය ගත කළේ නෙත් අඳ වූවකු ලෙසින්. ඒ වකවානුවේ ඔහු මතකයෙන් කියා, ඔහුගේ බිරිද අත්පිටපත් කළ ජීවිත කථාවේ (Memoirs of Osmund Jayaratne, 2004) ඔහු කියන්නේ සිය නෙත් අඳ වීම ගැන අකෂි වෛද්‍යවරුන්ට දොස් නොකියන බවයි.
ඔහු ඒ මතක පොත හමාර කරන්නේ ජීවිත කාලය පුරා ප්‍රවර්ධනය කළ සමාජවාදී ලෝකයක් 21 වන සියවසේදී ප්‍රමාද වී හෝ බිහි වනු ඇතැයි සුබදායක බලාපොරොත්තුවක් සම`ගයි. මුදල් වෙනුවට මිනිසුන්ගේ හොඳහිත එකතු කළ, නිහතමානීව හා චාම්ව ජීවත් වූ ඔස්මන්ඩ් ගැන දෙනගම සිරිවර්ධන ලියූ චරිතාපදානය ‘පොදුජනතාවගේ විද්‍යාඥයා’ යැයි නම් කිරීම ඉතා උචිතයි.