සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile
Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition
The Reefs of Taprobane, 2002 edition
ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara
Nishad Jayasundara
ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana
Ray Jayawardhana
උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010
Stanford University Fish Research group in Antarctica 2010

සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා

This is the Sinhala text of my latest Ravaya column, where this week I am paying tribute to Dr Osmund W Jayaratne (1924-2006), a remarkable physicist, science populariser and public intellectual whom I knew and worked with for many years.

Prof Osmund W Jayaratne - 1985 photo by Sunny Nawagattegama

කලින් කලට අපේ රට දැඩි නියගයන්ට මුහුණ දෙනවා. මීට දශක දෙකකට පමණ පෙර එබදු එක් අවස්ථාවක රටේ විධායක ජනාධිපතිවරයා තායිලන්තයෙන් විද්‍යාඥ පිරිසක් මෙරටට කැදවූවා කෘත්‍රිම වර්ෂාව ඇති කරන්නට. ඔවුන්ගේ උත්සාහය වූයේ ලංකාවේ මධ්‍යම කදුකරයේ ජලධාරක ප්‍රදේශවලට ඉහළින් ඇති වළාකුළුවලට ජලාකර්ශක රසායන ද්‍රව්‍ය (hygroscopic chemicals) ඉසීමෙන් වැසි ඇති කිරීමයි. මේ සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදා ගෙන සැළකිය යුතු වියදමක් දරනු ලැබුවත් එයින් කිසිදු අමතර වර්ෂාවක් ලැබුණේ නැහැ. නවීන විද්‍යාව සොබා දහමට මුක්කු ගසන්නට යාම ගැන රටේ ඇතැම් දෙනා තුළ හාස්‍යයක් නම් ඇති වුණා.

එයින් ටික දිනකට පසු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසි වාරයේ භෞතික විද්‍යා අංශයේ මුඛ්‍ය දේශනය පැවැත් වූයේ එවකට එම විෂය සම්බන්ධයෙන් මෙරට සිටි ප්‍රවීණතම විද්‍යාඥයායි. ‘කෘත්‍රිම වැසි ඇති කිරීම ඇත්තද බොරුද?’ (Rain-making: Fact or Fallacy?) යන තේමාවෙන් දේශනය කළ මේ විද්‍යාඥයා මැදහත්ව හා තර්කානුකූලව පෙන්වා දුන්නේ තායිලන්තයේ සිට පැමිණි පිරිස පිළි ගත් විද්‍යාත්මක පදනමකින් හෝ ක්‍රමවේදයකින් හෝ තොරව ලක් රජය හා අපේ රාජ්‍ය නායකයා නොමග යැවූ ආකාරයයි. ගෝනිවල පුරවා ගත් රසායන ද්‍රව්‍ය හෙලිකොප්ටර් මගින් වළාකුළුවලට ඉසිනු ලැබූවත් ඒවා කිසිදු කාලගුණ බලපෑමක් ඇති නොකර පොළවට පතිත වූ සැටිත්, අපේ රටට වර්ෂාව ලැඛෙන ස්වාභාවික ප්‍රවාහයන් ගැන හරිහැටි අවබෝධයකින් තොරව මේ ව්‍යාපෘතිය සැළසුම් කළ සැටිත් ඔහු පෙන්වා දුන්නා.

එවකට බලගතු ස්ථාවරයක සිටි ජනාධිපතිවරයා ඇතුළු රජය ‘හෑල්ලූ කිරීම’ ගැන ඇතැම් දේශපාලන ගැත්තන් ඔහුට චෝදනා කළත් එතෙක් මුනිවත රැකි අපේ අනෙක් විද්‍යාඥයෝ ඔහුගේ තර්කානුකූල කරුණු දැක්වීම ඉහළින් පිළි ගත්තා. මේ විද්‍යාඥයා මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න.

එදා මෙදා කාලය තුළ විවිධ සංවර්ධන හා ආපදා කළමනාකරණ ව්‍යාපෘති සඳහා විද්‍යාත්මක ක්‍රම හා තාක‍ෂණයන් යොදා ගන්නට හැම රජයක් ම විටින් විට පෙළඹෙනවා. ඒ සමහර අවස්ථාවල අවශ්‍ය විශේෂඥ දැනුම හා අත්දැකීම් ඇති දේශීය විද්වතුන් සිටියදී විවිධ හේතු නිසා විදේශීය විශේෂඥයන් පෙරටු කරගෙන ඒවා ක්‍රියාත්මක වෙනවා. තවත් විටෙක බලයේ සිටින රජයට සමීප වී එයින් ප්‍රතිලාභ ලබන අපේ ම සමහර විද්‍යාඥයන් වැරදි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගැන දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට හෝ එරෙහිව ප්‍රසිද්ධියේ තර්කයක්වත් මතු කරන්නේ නැහැ.

මහාචාර්ය ඔස්මන්ඩ් වික්‍රම ජයරත්න අප අතරින් වියෝ වී පස් වසරක් ගෙවී යන්නේ 2011 සැප්තැම්බර් මාසයට. මේ රසකාමී, ජනතාවාදී විද්‍යාඥයා පිළිබද මතකයන් රැසක් ඔහු ඇසුරු කළ අප බොහෝ දෙනකුගේ සිත්වල හොදින් සටහන් වී තිඛෙනවා.

ඔස්මන්ඩ් ජයරත්න වෘත්තියෙන් භෞතික විද්‍යාඥයෙක්. 1924 දී කොළඹ උපත ලැබූ ඔහු, රාජකීය විද්‍යාලයෙන් හා කොළඹ සරසවියෙන් ඉගෙනුම ලබා පසුව බ්‍රිතාන්‍යයේ ඉම්පිරීයල් සරසවියෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තා. ඔහුගේ පර්යේෂණ ෙක‍ෂත්‍රය වුණේ ඉහළ වායුගෝලයේ ජල වාෂ්ප ඝනීභවනය හා වර්ෂාපතන ක්‍රියාවලියයි.

එහෙත් බහුතරයක් ලාංකිකයන් ඔහු හදුනා ගත්තේ ඔහුගේ වඩාත් පුළුල් සමාජ මෙහෙවර හරහායි. ප්‍රතිපත්ති ගරුක වාමාංශික දේශපලනයේ නිරත වූ ඔහු ලංකා සමසමාජ පක‍ෂයේ සාමාජිකයකු ලෙස ජීවිත කාලයක් ක්‍රියා කළා. 1954-57 කාලයේ කොළඹ නගර සභාවේ සභිකයකු වුණා. 1972-74 වකවානුවේ ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ කොළඹ මණ්ඩපයේ අධිපති (අද කියන හැටියට උපකුලපති) ලෙස සේවය කළා. සිංහලෙන් භෞතික විද්‍යාව උගන්වන්නට කොළඹ හා පේරාදෙනිය සරසවි ඇදුරකු ලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන අතර ප්‍රසිද්ධ දේශන, විද්‍යා ගවේෂණ හා මාධ්‍ය හරහා විද්‍යාව ජනතාව අතරට ගෙන යන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා.

පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තමන්ගේ විශේෂඥ දැනුම පසුබිම් කරගෙන කාලීන මාතෘකා ගැන ප්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව නොබියව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක්. අති බහුතරයක් උගතුන් එක්කෝ නිහඩව පසෙකට වී බලා සිටිනවා. තවත් සමහරුන් පෞද්ගලිකව දැඩි විවේචන කළත් ප්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. ටික දෙනෙක් වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම හා උගත්කම ඉහළම ඉල්ලූමට අලෙවි කරනවා. එබදු උගතුන් බහුල අපේ සමාජයේ උඩුගංබලා පිහිනූ, කිසි දිනෙක ප්‍රතිපත්ති හෝ දැනුම පාවා නොදුන්, ප්‍රතිරූප තනා ගන්නට විකාර කථා නොකී සැබෑ විද්‍යාඥයකු ලෙස ඔස්මන්ඩ් ජයරත්නටයන්ට අප ප්‍රණාමය පුද කරනවා.

මුල් වරට මා ඔස්මන්ඩ් මුණ ගැසුණේ 1985 අගදී. එවකට මා තවමත් පාසල් සිසුවෙක්. වසර 76කට පසුව නැවත පායන හැලීගේ වල්ගාතරුව ගැන විස්තරාත්මක කවරයේ කථාවක් ලියන්නට ‘කල්පනා’ සගරාව සදහා තොරතුරු රැස් කරන කාලේ මා ඔහු හමුවන්නට ගියා. ඒ වන විට කොළඹ සරසවියේ භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඔහු මා ඉතා සුහදව පිළි ගෙන වල්ගාතරු ගැන තාරකා විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක පසුබිම මැනවින් පහදා දුන්නා. ඔහු වල්ගාතරු වෙනුවට භාවිතා කළ සිංහල වචනය වූයේ ‘ධූමකේතු’ යන්නයි.

සම්පූර්ණ ස්වාභාවික සංසිද්ධියක් වන මේ ආකාශ වස්තු රාත්‍රී අහසේ කලින් කලට දිස්වීම නිසා අපේ මහ පොළවේ කිසිදු බලපෑමක් ඇති නොවන බවත්, ඒ ගැන කිසිදු බියක් සැකක් ඇතිකර නොගත යුතු බවත් ඔහු පැහැදිලි කළා. “මේවා සම්පූර්ණයෙන් ම මිත්‍යා මත. මොනවා හරි පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා ගෙන, එහෙම නැතිනම් අහිංසක ජනතාව කලබල කරවන්න හිතාගෙන ඇතැම් උදවිය පතුරු වන කටකථා. ඇයි මතක නැද්ද 1955 සූර්යග්‍රහණය වෙලාවේ අපේ රටේ සිද්ධ වුණු වදකහ සුදිය?”

මේ ආකාරයට නොබියව, තර්කානුකූලව ඕනෑ ම දෙයක් විග්‍රහ කිරීමේ හැකියාව ඔස්මන්ඩ්ට තිබුණා. මේ නිසා තමයි ඔහු ජනප්‍රිය විද්‍යා දේශකයකු හා ගුරුවරයකු වූයේ. නවීන විද්‍යාව ඉක්මවා ගිය දාර්ශනික හා දේශපාලනමය දැක්මක් ඔහු සතු වුණා. ඔහුගේ දර්ශනය නිර්ආගමිකයි. ඔහුගේ දේශපාලනය සමාජවාදීයි. මේ නැඹුරුව සගවා ගන්නට ඔහු කිසි විටෙක උත්සාහ නොකළා වගේ ම තමන්ගේ මතවාදයන්ට වෙනස් මත දරන අය සමග ගැටුම් ඇති කර නොගෙන සුහදව හා සහයෝගයෙන් කටයුතු කිරීමේ මාහැගි චරිත ලක‍ෂණයත් ඔහුට තිබුණා.

මා දෙවැනි වරට ඔස්මන්ඩ් ජයරත්නයන් හමු වූයේ ලංකා තරුණ තාරකාවේදීන්ගේ සංගමය (Young Astronomers’ Association of Sri Lanka) හරහායි. 1985 දී ආධුනික තාරකා විද්‍යාවට ලැදි පාසල් හා සරසවි සිසු සිසුවියන් පිරිසක් එක් වී පිහිටුවා ගත් මේ සංගමයේ මාර්ගෝපදේශකයා වූයේ ඔස්මන්ඩ්. ඇතුල්කෝට්ටේ පැවති අපේ රැස්වීම්වලට ඔහු හැකි සෑම විටක ම සහභාගී වුණා. ඒ වන විට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ ඔහු තම කාලය, දැනුම මේ තරුණ පිරිස වෙනුවෙන් දායක කළේ තනිකර ම ස්වේච්ඡාවෙන්. තාරකා විද්‍යා දැනුම ගවේෂණය හා රාත්‍රී අහස නිරීක‍ෂණය කරන අවස්ථාවල ඔහු අප හා බද්ධ වූයේ සම වයසේ විනෝදකාමියකුගේ විලසින්. උගත්කමෙන් මතුවන උද්ධච්චකම හෝ බොරු මාන්නය හෝ ඔහුට තිබුණේ නැහැ.

සංගමයේ සභාපතිවරයා හැටියට 1986/87 කාලයේ මා මහජන රැස්වීම් කිහිපයක් සංවිධානය කළා. එයින් වඩාත් අවධානය ඇද ගත්තේ අභ්‍යවකාශ යුගයට තිස් වසරක් පිරීම සමරන්නට 1987 ඔක්තෝබරයේ කොළඹ පැවති උත්සවය හා ප්‍රදර්ශනයයි. එහි ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි ආචාර්ය ආතර් සී ක්ලාක් කළ කථාව, කිසිදු පිටපතක් හෝ පෙර සූදානමක් නැතිව ඔස්මන්ඩ් එවේලේ ම සිංහලට පරිවර්තනය කළා.

ඉංග්‍රීසි කථා කරන පසුබිමක හැදී වැඩී, මුළු අධ්‍යාපනය ම ඉංග්‍රීසියෙන් ලැබූ ඔස්මන්ඩ් සිංහල උගත්තේ වැඩිහිටියකු ලෙස සමාජවාදී දේශපාලනයට පිවිසියාට පසුවයි. ඒ පසුබිම් කථාව ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ ඔහු විස්තර කරනවා. එහෙත් ඔහුගේ සිංහල කථාවකට සවන් දුන්නා නම් ඒ බව අදහන්නත් අමාරු තරම්. බස හැසිරවීමට අමතරව පියකරු, සිනාමුසු ශරීර ශෛලියක් ඔහුට තිබුණා. ඔස්මන්ඩ් සභාවක් අමතා කථා කරනු මිනිසුන් බලා සිටියේ මහත් ආකර්ෂණයකට ලක් වූ පරිද්දෙන්. ප්‍රේක‍ෂක පිරිසකට මේ තරම් සමීප වන්නට ඔහුට හැකි වූයේ ආචාර්ය ලූඩොවයික් යටතේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ගණනාවක රගපෑමෙන් ලද ආභාෂය නිසා විය යුතුයි.

1987 දී මා වෘත්තිමය මට්ටමෙන් විද්‍යා ලේඛනයට හා පුවත්පත් කලාවට පිවිසි පසු ඔස්මන්ඩ් මගේ හො`ද පාඨකයකු හා තොරතුරු මූලාශ්‍රයක් බවට පත් වුණා. පත්තර හරහා ප්‍රතිරූප ගොඩ නංවා ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට තිබුණේ නැහැ. විද්‍යාත්මක චින්තනය, හේතුවාදී දර්ශනය හා උසස් අධ්‍යාපනය වැනි පුළුල් විෂය ෙක‍ෂත්‍රයන් සම්බන්ධයෙන් ඔහු මට ගුරුහරුකම් දුන්නේ පත්තරයේ නම හෝ පින්තූරය පළ ගන්නට නොවෙයි. The Island පත්‍රයේ විද්‍යා කතුවරයා ලෙස මා කටයුතු කළ වසර කිහිපය තුළ විටින් විට ඉතා හරවත් ලිපි ලියා දුන්නා.

1990 දී ටික කලකට මාත් ඔහුත් අසල්වාසීන් වුණා. රාජගිරියේ වැලිකඩවත්ත පාරේ කුලී ගෙයක මා පදිංචියට ගිය විට ඔහු වාසය කළේ මීටර් 25ක් තරම් නුදුරින්. මේ නිසා විද්‍යා, දේශපාලන හා මාධ්‍ය ලෝකය ගැන විටින් විට කථා බහ කරන්නට අවස්ථාව උදා වුණා. ඔහුගේ බිරිද ජොයිස් හා ඔහු හමුවන්නට සරසවි ඇදුරන් හා කලාකරුවන් නිතර පැමිණියා. රසවතකු වූ ඔස්මන්ඩ් ඇසුර නිසා මේ ඇතැම් දෙනා හදුනා ගැනීමේ අවස්ථාව මට ලැබුණා.

මේ වකවානුවේ ඔස්මන්ඩ්ගේ ජීවිත කථාව ලිපි පෙළක් සේ කොටස් වශයෙන් පළ කිරීමට ‘දිනපතා දිවයින’ පුවත්පත තීරණය කළා. 1940 ගණන්වලින් ඇරඹුණු ඔස්මන්ඩ්ගේ මහත්මා දේශපාලනය ගැන රසබර යටගියාව මේ හරහා හසු කර ගත්තා. එහෙත් වැඩිකල් යන්නට කලින් කිසිදු හේතුවක් නොදක්වා මේ ලිපි පෙළ නතර කරනු ලැබුවා. ඒ වෙනුවට ඒ දිනවල ජාත්‍යන්තර සම්මානයක් ලද ප්‍රවීන නිලි අනෝජා වීරසිංහගේ ජීවිත කථාව පළ කිරීම ඇරඹුවා. කිසිදා ප්‍රසිද්ධිය හඹා නොගිය තමන්ට දිවයිනෙන් සැළකූ ආකාරය ගැන සංවේදී ඔස්මන්ඩ් තුළ කම්පනයක් ඇති කළා. ‘අනෝජා තරම් මා රූප සොබාවෙන් පිරිපුන් නැති බව ඇත්තයි. ඒත් මගේ කථාව අද තරුණ තරුණියන්ට කියා ගන්නට තිබුණා නම් කොයි තරම් හොඳ ද?’ ඔහු ඒ ගැන මා සමග කීවේ එහෙමයි. (පසු කලෙක විදුසර පුවත්පත ඔහුගේ ජීවන කථාව පළ කළත් දිනපතා පුවත්පතක පුළුල් පාඨක පිරිසකට එය සම කළ හැකි වූවා යයි මා සිතන්නේ නැහැ.)

වැලිකඩවත්තේ නිවසින් හදිසියේ පදිංචිය මාරු කරන්නට ඔස්මන්ඩ්ට සිදු වුණේ පෞද්ගලික ජීවිතයේ ප්‍රබල සිදුවීමක් නිසායි. ඒ ගැන කියන්නට මගේ නිවසට ඔහු පැමිණි අවස්ථාව අපේ අවසාන හමු වීමයි. ඒ වන විටත් ඇසේ සුද ඉවත් කිරීමට කළ ශල්‍යකර්මයක් අනපේක‍ෂිත ලෙස වැරදී යාම නිසා ඔහුගේ ඇස් පෙනීම අඩාල වෙමින් තිබුණා. ඔහු සිය ජීවිතයේ අවසාන වසර කිහිපය ගත කළේ නෙත් අඳ වූවකු ලෙසින්. ඒ වකවානුවේ ඔහු මතකයෙන් කියා, ඔහුගේ බිරිද අත්පිටපත් කළ ජීවිත කථාවේ (Memoirs of Osmund Jayaratne, 2004) ඔහු කියන්නේ සිය නෙත් අඳ වීම ගැන අක‍ෂි වෛද්‍යවරුන්ට දොස් නොකියන බවයි.

ඔහු ඒ මතක පොත හමාර කරන්නේ ජීවිත කාලය පුරා ප්‍රවර්ධනය කළ සමාජවාදී ලෝකයක් 21 වන සියවසේදී ප්‍රමාද වී හෝ බිහි වනු ඇතැයි සුබදායක බලාපොරොත්තුවක් සම`ගයි. මුදල් වෙනුවට මිනිසුන්ගේ හොඳහිත එකතු කළ, නිහතමානීව හා චාම්ව ජීවත් වූ ඔස්මන්ඩ් ගැන දෙනගම සිරිවර්ධන ලියූ චරිතාපදානය ‘පොදුජනතාවගේ විද්‍යාඥයා’ යැයි නම් කිරීම ඉතා උචිතයි.