In this week’s Ravaya column (in Sinhala), I describe the Zero Rupee Note, an innovative effort developed by activists in India to fight systemic political corruption.
The notes, which have no monetary value but carry a moral power, are paid in protest by angry citizens to government servants who solicit bribes in return for services which are supposed to be free.
See also: Paying Zero for Public Services (on World Bank blog)

අයථා ලෙස ඉමහත් වත්කම් සම්භාරයක් රැස් කර ගැනීම පිළිබඳව චෝදනා සනාථ වී තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා වසර හතරක සිර දඬුවමක් ලැබුවා. කෝටි 100ක දඩයක් ද ගෙවීමට නියම වුණා.
මේ තීන්දුව ලැබුණේ වසර 18ක් තිස්සේ ඇදී ගිය දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. එහෙත් කල් ගත වී හෝ දුෂිත දේශපාලකයකු නීතියේ රැහැනට කොටු වීම ගැන ඉන්දියාව පුරාත් සෙසු දකුණු ආසියානු රටවලත් මහජන ප‍්‍රමෝදයක් මතු වුණා. අංග සම්පූර්ණ නොවුණත්, අඩු පාඩු ඇතත් ඉන්දියාවේ අධිකරණ ස්වාධීනත්වය පවතින බවට මේ නඩු තීන්දුව උදාහරණයක්.
දුෂණ චෝදනා එල්ල වී සාක්ෂි මතු වූ විට ප‍්‍රාන්ත හෝ මධ්‍යම රජයේ ඇමතිවරුන් ප‍්‍රශ්න කිරිමට ඉන්දීය අපරාධ විමර්ශකයන් පසුබට වන්නේ නැහැ. මහා පරිමාණයෙන් රාජ්‍ය දේපල වංචා කිරීමේ චෝදනා එක පිට එක ලැබූ කොංග‍්‍රස් ප‍්‍රමුඛ සන්ධාන රජය දශකයක පාලන කාලයකින් පසුව 2014 අපේ‍්‍රල් මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවා. එයට හේතු ගණනාවක් මුල් වුණත්, දුෂණය පිළිබඳ ඉන්දීය මහජන පිළිකුළ හා විරෝධය එම මැතිවරණයේදී ප‍්‍රබල සාධකයක් වූවා යැයි කිව හැකියි.
ගෙවී ගිය වසර තුන හතරක කාලය තුළ දේශපාලකයන් හා නිලධාරීන් දුෂණය, අල්ලස හා පොදු දේපල වංචනික ලෙස සතු කර ගැනීමට එරෙහිව ඉන්දියාවේ මධ්‍යම පාංතිකයන්ගෙන් ප‍්‍රබල විරෝධයක් මතුව ආවා.
දුෂණය එරට අළුත් සංසිද්ධියක් නොවෙයි. එහෙත් එය මහා පරිමාණයෙන් හා වඩාත් පුළුල්ව සිදු වීමට පටන් ගත්තේ 1991දී ආර්ථික ප‍්‍රතිපත්ති වඩාත් ලිහිල් කිරීමෙන් පසුව බව ඇතැම් ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. එසේම දුෂණයට එරෙහිව හඬක් නැගීමට හැකියාව හා ඉදිරිපත් වීම ඇති මධ්‍යම පංතියක් වඩාත් ප‍්‍රබලව මතුව ආයේත් මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසාම යැයි තර්ක කළ හැකියි. පෙර මෙන් පාලකයන්ගේ ඕනෑම අකටයුත්තක් ඔහේ විඳ දරා ගන්නට අද ඉන්දියානුවන් සූදානම් නැහැ.
2011දී අන්නා හසාරේ සමාජ ක‍්‍රියාකාරිකයා බිම් මට්ටමෙන් නායකත්වය දුන්නේ මේ දුෂණ විරෝධයටයි. සිවිල් සමාජ අරගලයන් හරහා දුෂණ විරෝධය දිගටම ක‍්‍රියාත්මක වනවා. එබඳු ව්‍යායාමයක් නම් රුපියල් බින්දුවේ නෝට්ටුවයි (Zero Rupee Note).
බින්දුවේ නෝට්ටුව හඳුන්වා දුන්නේ 2007දී දුෂණයට එරෙහි ජනතා සංවිධානයක් වන 5 වන කුළුණ (5th Pillar) විසින්. එහෙත් ඒ සංකල්පය 2001දී යෝජනා කළේ අමෙරිකාවේ මේරිලන්ඞ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ඉන්දියානු ජාතික සතින්දර් මොහාන් භගත්.
නිවාඩුවක් ගත කිරීමට මවු රටට ගිය විටෙක රජයේ ඕනෑම කාර්යාලයකින් ඕනෑම වැඩක් කර ගන්නට ලොකු කුඩා නිලධාරින්ට යම් අල්ලසක් දිය යුතු බව අත්දැකීමෙන් දැන ගත් ඔහු මෙබඳු අවස්ථාවල අසරණ වන මහජනයාට උදව්වට එන සරල අවියක් ලෙස බින්දුවේ නෝට්ටුව නිර්මාණය කළා.
Corruption in India: Wikipedia entry
මහජන මුදලින් නඩත්තු කරන රාජ්‍ය ආයතනවල මහජනයාගෙන් වැටුප් ලබන නිලධාරින් හා සෙසු රාජ්‍ය සේවකයන් අත යටින් යමක් ඉල්ලූ විට මුවින් නොබැන ඔවුන්ට දීමට මේ නෝට්ටුව යොදා ගන්නැයි දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයෝ එරට ජනතාවට කියනවා.
බින්දුවේ නෝට්ටුව ඉන්දියාවේ වත්මන් රුපියල් 50 නෝට්ටුවේ ඉදිරිපස පෙනුමට සමානයි. එහෙත් ප‍්‍රමාණයෙන් එය රුපියල් දහසේ නෝට්ටුවටත් වඩා ටිකක් විශාලයි.
ගාන්ධිතුමාගේ රූපයට සමීපව ලොකු අකුරෙන් මුද්‍රණය කර ඇත්තේ ‘හැම තරාතිරමකම දුෂණය පිටුදකින්න’ (ELIMINATE CORRUPTION AT ALL LEVELS) යන උද්‍යොග පාඨයයි.
එරට මහ බැංකුව මුදල් නෝට්ටුවල යොදන නිල ප‍්‍රකාශය වෙනුවට එතැන මේ වැකිය මුද්‍රණය කොට තිබෙනවා. I PROMISE TO NEITHER ACCEPT NOR GIVE BRIBE (අල්ලසක් ලැබීමට හෝ දීමට හෝ එරෙහිව මම ප‍්‍රතිඥා දෙමි).
නෝට්ටුවේ පිටත පැත්තේ එය නිකුත් කරන ආයතන සමග සන්නිවේදනය කළ හැකි තොරතුරුත්, තොරතුරු දැන ගැනීමේ මහජන අයිතිය තහවුරු කරන ඉන්දියානු නීතිය ගැන කෙටි සඳහනකුත් තිබෙනවා. එසේම ‘මෙය මුදල් නෝට්ටුවක් නොවේ’ යන්න පැහැදිලිව මුද්‍රණය කොට තිබෙනවා.
මේ නෝට්ටුවලට කිසිදු මූල්‍යමය අගයක් නැහැ. එය භාවිතා කිරිම හරියට පත‍්‍රිකාවක් හෝ තුණ්ඩුවක් හෝ භාවිතයට සමානයි. තනි තනිව අල්ලසට එරෙහි වනවාට අමතරව රාජ්‍ය ක්‍ෂෙත‍්‍රය වසා පිළිකාවක් ලෙස පැතිර ඇති දුෂණයට එරෙහිව ජනතාව පෙළ ගැසෙන බවට ද බින්දුවේ නෝට්ටු ප‍්‍රබල සංඥාවක්.
සාමාන්‍යයෙන් දුෂිත නිලධාරින් හා සුළු සේවකයන් අල්ලස් පැතිම හා ඉල්ලා බල කිරීම කරන්නේ මහජනතාවට එයට එරෙහි වීමට විකල්පයක් නැතැයි සිතමින්. එහෙත් ජනතාව බලාත්මක වී, සංවිධානය වී හඬක් නගන විට රාජ්‍ය සේවකයන් තිගැස්මකට පත් වී අල්ලස් පැතීම අඩු වන බව ඉන්දියානු ක‍්‍රියාකාරිකයෝ වසර කිහිපයක අත්දැකීම් අනුව පෙන්වා දෙනවා.
2007දී බෙදා හැරීම අරඹා 2014 අගෝස්තු වන විට මෙම බින්දුවේ නෝට්ටු මිලියන් 2.5ක් පමණ ඉන්දියානු භාෂා 22කින් නිකුත් කොට තිබෙනවා. එරට මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ නිල බලය ඇති මහ බැංකුව මෙයට විරෝධයක් දක්වා නැහැ.
බින්දුවේ නෝට්ටුවේ බලය ඇත්තේ එහි සංකේතාත්මක බවෙහියි. නිල කාරියක් ඉටු කර දීමට නොනිල ගෙවීම් පතන බොහෝ රාජ්‍ය සේවකයන් එය කරන්නේ වක‍්‍රාකාරයෙන් ඇඟවීම් හරහා බවත්, එබඳු අවස්ථාවක මේ මුදල් නෝට්ටුවක් හෝ දෙක තුනක් දීමෙන් මුවින් නොබැනම තම ප‍්‍රතිපත්තිමය ස්ථාවර ප‍්‍රකාශ කිරීමට මහජනයාට හැකි බවත් මෙහි ප‍්‍රවර්ධකයන් කියනවා.

පස්වන කුළුණේ ආරම්භක විජේ ආනන්ද් මෙය හඳුන්වන්නේ සහයෝගීතාව නොදීම සඳහා වන අවිහිංසාවාදී මෙවලමක් හැටියටයි. මේ නෝට්ටු සාර්ථක ලෙස යොදා ගෙන, අනවශ්‍ය ගැටුම් හෝ ප‍්‍රශ්නවලට නොගොස් හීන් සීරුවේ තමන්ගේ නිල අවශ්‍යතාවය ඉටු කර ගත් (එහෙත් අල්ලසක් නොගෙවූ) අවස්ථා දහස් ගණනක් ඉන්දියානු පුරවැසියන් වාර්තා කර තිබෙනවා.
“බොහෝ රාජ්‍ය සේවකයන් මේ නෝට්ටු දුටු වට චකිතයට පත් වනවා. වැඩි කථා බහක් නැතිව අපේ වැඬේ ඉටු කර දෙනවා. ඇත්තටම අපටත් ඕනෑ එපමණයි,” එක් ක‍්‍රියාකාරිකයෙක් තම අත්දැකීම විස්තර කළේ එලෙසයි.
අල්ලසක් ඉල්ලීම හා දීම ඉන්දියානු නීතියෙන් සපුරා තහනම්. එහෙත් එය බහුලව සිදු වනවා. 2005දී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නම් දුෂණ විරෝධී ආයතනය කළ සමීක්‍ෂණයක් හෙළි කළේ ඉන්දියානුවන්ගෙන් 62%ක් දෙනාට පගාවක් දීමට සිදුවීමේ සෘජු අත්දැකීම් තිබෙන බවයි. (එම සමීක්‍ෂණයට ඉන්දියානු ප‍්‍රාන්ත 20ක 14,405 දෙනකුගේ මත විමසනු ලැබුවා.)
The Zero Rupee Note: Vijay Anand at TEDxLeeds
මහා පරිමානයේ දුෂණ ඉහළ තලයේ සිදු වන අතර කුඩා පරිමානයේ දුෂණ ද අධික වී ඇති බවත්, සාමාන්‍ය ජනයා වඩාත් තලා පෙලන්නේ මේ සිල්ලර මට්ටමේ දුෂණ බවත් ඒ ගැන අධ්‍යයන කරන පර්යේෂකයෝ කියනවා.
ඉන්දියාවේ සමීක්‍ෂණවලදී වඩාත්ම දුෂිත යයි ජනයා කියා සිටින්නේ පොලිසිය, ඉඩම් පරිපාලකයන්, අධිකරණ තන්ත‍්‍රය, පලාත් පාලන ආයතන, විදුලිබල සැපයුම් තන්ත‍්‍රය හා රජයේ රෝහල් පද්ධතියයි. එසේම ප‍්‍රාථමික ශ්‍රේණිවලදී පාසල් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ද දුෂණ හා අල්ලස් ගැනීම ප‍්‍රචලිත බව 45%ක් දෙනා සමීක්‍ෂණයන්ට කියා තිබෙනවා.
පස්වන කුළුණ සංවිධානය ගණන් බලා ඇති අන්දමට ඉන්දියාවේ (මධ්‍යම හා ප‍්‍රාන්ත) රාජ්‍ය සතු දහස් ගණනක් ආයතනවලින් මහජන සේවා ලබා ගැනීමට ඉන්දියානු මහජනයා දෙන සුළු හා මධ්‍යම පරිමානයේ අල්ලස්වල වටිනාකම වසරකට ඩොලර් බිලියන් 5ක් පමණ වනවා.
”අල්ලස් පතන බොහෝ රාජ්‍ය සේවකයෝ එය හෙළිදරවු වනවාට බියයි. විනය පරික්‍ෂණවලට මුහුණ දී අපකීර්තියට පත් වන නිසා. එසේම වැඩක් කරවා ගන්නට රජයේ කාර්යාලයකට යන සාමාන්‍ය ජනයා ද නිලධාරින්ට බියයි. ඔවුන් සමග තර්ක කරන්නට යන්නේ ටික දෙනයි. මේ නිසා අවිහිංසාවාදී ලෙස දුෂණයට එරෙහි වීමට බින්දුවේ නෝට්ටුව හරහා ඉඩක් ලැබෙනවා’’ යයි එහි ප‍්‍රවර්ධකයෝ කියනවා.
මෙයට අමතරව බින්දුවේ නෝට්ටුවේ රූප විශාල පරිමානයේ බැනර් ලෙස පාසල් හා පොදු ස්ථානවල ප‍්‍රදර්ශනය කැරෙනවා. ”අල්ලස ශූන්‍ය කරමු. එයට මගේ සහයෝගය’ (“Zero corruption: I will neither receive nor give bribes”) යන ප‍්‍රකාශයට ලක්‍ෂ ගණනක් බාල මහලූ ඉන්දියානුවන් අත්සන් කොට තිබෙනවා. ලෙහෙසියට, පහසුවට පෝලිම් පනින්නට හෝ අයථා වැඩකට රාජ්‍ය සේවකයන්ට නොනිල ගෙවීම් නොකරන බවට පාසල් යන වියේ පටන් සිසුන්ට ප‍්‍රතිඥාවක් සකසා තිබෙනවා.
මේ වන විට මෙම සංකල්පය රටවල් ගණනාවක දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
2013 නොවැම්බ මාසයේ මැලේසියාවේ දුෂණ හා වංචා වලට එරෙහි රාජ්‍ය කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ද චෙන්නායි නුවරට ගොස් විජේ ආනන්ද් ඇතුළු පිරිස මුණ ගැසී උපදෙස් ලබා ගත්තා. රාජ්‍ය නොවන සංවිධානයක් (ඔව්, NGO එකක්!) වන පස්වන කුළුණෙන් හොඳ දෙයක් ගැන උගෙනීමට තරම් මැලේසියානු රාජ්‍ය නිලධාරීන් නිහතමානියි. මෙය නිල වශයෙන්ම එරට අරඹන්නට ඔවුන්ට ඕනෑකම තිබෙනවා.
ආර්ජෙන්ටිනාව, නේපාලය, මෙක්සිකෝව, බෙනින් යන රටවල් ද බින්දුවේ නෝට්ටුවේ වසර කිහිපයක අත්දැකීම් ගැන ඉන්දියානු ක‍්‍රියාකාරිකයන්ගෙන් තොරතුරු ලබා ගෙන තිබෙනවා. මේ අතර ලෝකයේ අල්ලස හා දුෂණය ප‍්‍රබලව හමුවන යේමනයේ මෙයට සමාන ව්‍යාපෘතියක් 2014දී ක‍්‍රියාත්මක වනවා. ඒ සඳහා එරට මුදල් නෝට්ටුව ආශ‍්‍රයෙන් නිර්මාණය කල ‘‘අවංක රියාල්’’ (Honest Riyals) දහස් ගණනක් දැනටමත් පාසැල් හා සරවිවල බෙදා හැර තිබෙනවා.
දැඩි බලහත්කාරකමින් හෝ ගිනි අවි පෙන්වා හෝ අල්ලස් ඉල්ලන රටවල ‘‘බින්දුවේ නෝටුව’’ වැනි අවිහිංසක විරෝධයක් සාර්ථක වන්නේ නැහැ. එහෙත් ජනමතය හා තමන්ගේ ප‍්‍රතිරූපය ගැන රාජ්‍ය නිළධරීන් හා සෙසු රාජ්‍ය සේවකයන් තරමක් හෝ තැකීමක් කරන ජන සමාජ වල නම් මෙය සාර්ථකව හා උපක‍්‍රමශීලිව යොදා ගත හැකයි.
පස්වන කුළුන ඇතුළු ඉන්දියානු ජන සංවිධාන මේ ක‍්‍රියාකාරකම්වල රාමුව ලෙස යොදා ගන්නේ 2005දී හඳුන්වා දුන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව පනතයි. මේ හරහා ඕනෑම මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත් පාලන ආයතනයක වියදම් හා වෙනත් තොරතුරු ඉල්ලා සිටීමට හා නියමිත දින ගණනක් තුළ ලැබීමට සෑම ඉන්දියානු පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. ඒ සඳහා පැහැදිලි ක‍්‍රමවේදයක් නීතියෙන් සකසා තිබෙනවා.
බින්දුවේ නෝට්ටුවක් අල්ලස් පතන රාජ්‍ය නිළධාරියෙකුට දීමෙන් සංකේතවත් වන්නේ අල්ලසට එරෙහි පුළුල් ජන ව්‍යාපාරයක තමන් ද කොටස් කරුවෙකු බවයි. තමා හමුවට එන බැලූ බැල්මට අසරණ යයි පෙනෙන තනි පුද්ගලයන්ගෙන් ගතමනාව ඉල්ලන බොහෝ නිලධාරීන් සාමූහික විරෝධයකට බයයි.
මෙබන්දක් ශ‍්‍රී ලංකාවේත් ක‍්‍රියාත්මක කළ හැකිද? එසේ වුව හොත් අපේ රාජ්‍ය සේවකයන්ගේ ප‍්‍රතිචාරය කෙබඳු වේද? තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කොට නැති, මහජනතාවගෙන් වැටුප් ලැබුවත් ජනතාවට වග වීමට කැප වී නැති අපේ රාජ්‍ය සේවය කෙසේ නම් අල්ලස හා දුෂණයේ ග‍්‍රහණයෙන් මුදවා ගත හැකිද? අපේ රාජ්‍ය නිලධාරීන් NGOවලට මෙතරම් ගරහන්නේ මෙබඳු ඉන්දියානු ආදර්ශ මෙහි පැතිරේ යයි බියෙන්වත්ද?
The Zero Rupee Note – A Short Film