සිවුමංසල කොලූගැටයා #151: පිටසක්වලයාගේ අකරතැබ්බය: සත්‍යජිත් රේ නොහැදු චිත‍්‍රපටයේ කථාව – 2

Indian filmmaker Satyajit Ray (1921-1992) was keen to make India’s first science fiction movie, and in 1967 wrote a script for a film to be called The Alien, based on his own short story “Bankubabur Bandhu” (“Banku Babu’s Friend”). The story was about an alien spaceship that landed in rural Bengal, carrying a highly intelligent and friendly alien being with magical powers.

Ray’s friend Arthur C Clarke recommended and introduced him to Hollywood, but the film never reached production. In this week’s Ravaya column (in Sinhala), I continue the story of what happened to The Alien.

Thanks to writer and film historian Richard Boyle for sharing excerpts from his as-yet unpublished manuscript on this topic, which is one of the greatest might-have-beens in the history of the cinema.

See Part 1: සිවුමංසල කොලූගැටයා #150: සත්‍යජිත් රේගේ එළි නොදුටු සිනමා සිහිනය – පිටසක්වලයා

L to R - Satyajit Ray, Arthur C Clarke, Mike Wilson
L to R – Satyajit Ray, Arthur C Clarke, Mike Wilson

ලෝක පූජිත ඉන්දියානු සිනමාකරු සත්‍යජිත් රේ (1921 – 1992) දශක ගණනක් සිහින මැවුවත් හදන්නට බැරි වූ පිටසක්වලයා (The Alien) චිත‍්‍රපටය ගැන අප ගිය සතියේ කථා කළා. (1979දී රිඞ්ලි ස්කොට් නම් බි‍්‍රතාන්‍ය සිනමාකරුවා තැනූ Alien චිත‍්‍රපටය හා එහි අනුගාමී කෘතීන් අපේ කථාවට කිසිසේත් සම්බන්ධයක් නැහැ.)

1961දී ළමා සඟරාවකට ප‍්‍රබන්ධ කථාවක් ලියමින් පිටසක්වලින් පිටිසර බෙංගාලි ගමකට පැමිණෙන අහිංසක හා මිත‍්‍රශීලී ජීවියකු ගැන සත්‍යජිත් රේ පරිකල්පනය කළා. සම්භාවනීය විද්‍යා ප‍්‍රබන්ධ රචක ආතර් සී. ක්ලාක්ගේ යෝජනාවකට අනුව 1967දී ඔහු එය චිත‍්‍රපට තිර රචනයක් ලෙස කෙටුම්පත් කළා. එය ජාත්‍යන්තර නිෂ්පාදනයක් ලෙස කිරීමට හොලිවුඞ් චිත‍්‍රාගාර ආයෝජක මට්ටමින් සම්බන්ධ කරන්නට ක්ලාක්ගේ නිර්දේශය මත මැදිහත් වූයේ ඔහුගේ මිතුරා මයික් විල්සන් (1934-1995).

එහෙත් රේ හා විල්සන් සහයෝගිතාව සාර්ථක නොවූ සැටිත්, පිටසක්වලයා චිත‍්‍රපටය කිසි දිනෙක බිහි නොවූ වගත් අප විස්තර කළා.

1967දී තිර රචනය කළ The Alien කථාව, 1982දී ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ E.T. the Extra-Terrestrial චිත‍්‍රපටයේ කථාවට බොහෝ සෙයින් සමාන වීම අහම්බයක් ද?

ප‍්‍රබන්ධ සාහිත්‍යයේ මෙන් ම චිත‍්‍රපට ඉතිහාසයේත් එක සමාන කථා වස්තූන් රැගත් නිර්මාණ එකිනෙකා නොහඳුනන නිර්මාණකරුවන් විසින් ස්වාධීනව බිහි කළ තවත් අවස්ථා හා උදාහරණ තිබෙනවා. එහිදී සැබැවින් ම අදහස් කාන්දුවීමක් සිදු වූවා යයි තහවුරු කිරීම ඉතා අසීරුයි.
‘නිර්මාණ කොල්ලය’ බඳු චෝදනාත්මක යෙදුමක් මෙබඳු සිද්ධීන්ට යොදා ගන්නට තරම් ප‍්‍රබල සාක්‍ෂි නැහැ. සත්‍යජිත් රේ පවා කිසි විටෙක ස්පිල්බර්ග්ට සෘජුව අභියෝග කළේ නැහැ. එහෙත් එබන්දක් සිදු වුණා දෝ කියන සැකය 1992දී මිය යන තුරු ම රේ ගේ සිතේ තිබූ බව ඔහුගේ සමීපතයෝ වාර්තා කරනවා.

බොහෝ චිත‍්‍රපටවල වීරයකු හා දුෂ්ටයකු හමුවනවා. එහෙත් සැබෑ ජීවිතයේ සිද්ධීන් ඊට වඩා සංකීර්ණයි. මේ සිදුවීම් මාලාවේ ‘දුෂ්ටයා’ මයික් විල්සන් ද?

Satyajit Ray's drawing of the friendly Alien, sketched for 1967 draft screenplay & ET in 1982
Satyajit Ray’s drawing of the friendly Alien, sketched for 1967 draft screenplay & ET in 1982

මේ ප‍්‍රශ්නය මා බි‍්‍රතාන්‍ය ජාතික ලේඛක රිචඞ් බොයිල්ට යොමු කළා. 1974 සිට මෙරට පදිංචිව සිටින රිචඞ් කලක් (බි‍්‍රතාන්‍ය) චිත‍්‍රපට කර්මාන්තයේ නියැලී සිට දැන් පර්යේෂණාත්මක ලේඛකයකු ලෙස කි‍්‍රයා කරනවා. සිනමා ඉතිහාසය ගැන විශෙෂ උනන්දුවක් දක්වන ඔහු මයික් විල්සන් සමීපව ඇසුරු කළා පමණක් නොව මයික්ගේ පෞද්ගලික ලිපි ලේඛන සියල්ලේ වත්මන් භාරකරු ද වනවා.

රේ – ක්ලාක් – විල්සන් ති‍්‍රත්වය අතර හුවමාරු වූ ලියුම් හා වෙනත් මූලාශ‍්‍ර රැසක් මත පදනම් වී The Alien චිත‍්‍රපටය බිහි නොවීමේ පසුබිම් කථාව ඔහු කෙටුම්පත් කර තිබෙනවා. තවමත් ප‍්‍රකාශිත නොවූ ඒ පොතේ උධෘතයන් ගණනාවක් රිචඞ් මට කියැවීමට ලබා දුන්නා. සිද්ධිදාමය ගැන මැදහත්ව විමර්ශනය කරන්නට ඔහු වෙර දරා ඇති බව පෙනෙනවා.

රේ මුලින් සැළසුම් කර තිබුණේ පිටසක්වලයා චිත‍්‍රපටය ඉන්දියානු පේ‍්‍රක්‍ෂකයන්ට පමණක් ඉලක්ක කොට බෙංගාලි බසින් නිර්මාණය කරන්න. ඔහු එකල ඉතා සීමිත මුදල් ආයෝජනයකින් කලාත්මක සිනමා නිර්මාණ කිරීම ප‍්‍රගුණ කොට සිටියා. විද්‍යා ප‍්‍රබන්ධ කියැවීමට හා ලිවීමට ලැදි ඔහුට ඉන්දියාවේ මුල් ම විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය බිහි කිරීමේ අරමුණ ද තිබුණා.

ආතර් සී. ක්ලාක් ගැන රේට ඉමහත් ගෞරවයක් හා ලැදියාවක් තිබුණා. ක්ලාක්ගේ යෝජනාව පිළි ගනිමින් මෙය ජාත්‍යන්තර චිත‍්‍රපට නිෂ්පාදනයක් බවට පත් කිරීමට රේ ඉතසිතින් කැමති වූයේ එනිසායි. එසේ ම අමුතු චරිතගති තිබුණත් මයික් විල්සන් සමඟ දෙතුන් වසරක් රේ ගනුදෙනු කළේ ද මයික්ව හඳුන්වා දුන්නේ ක්ලාක් නිසායි.

‘මයික් විල්සන්ට චිත්තාකර්ෂණීය පෞරුෂයක් තිබුණා. ඔහු නිර්මාණශීලීයි. කාර්යශූරයි. එහෙත් ඔහුට ම ආවේණික කි‍්‍රයා කලාපයක් තිබුණා. සමහර වෙලාවට සුහදව දැඩි බලපෑම් කරන්නට ඔහු සමතෙක්’’ යයි රේ ලියා තිබෙනවා.

තම චිත‍්‍රපටයට අවශ්‍ය හොලිවුඞ් සම්බන්ධීකරණයත්, නම දිනූ අමෙරිකානු හා බි‍්‍රතාන්‍ය නඵවන් සොයා යාමේ කාර්යයන් කළෙ මයික් බව රේ නොවලහා කියනවා. එහෙත් අද මෙන් ඊමේල් හා ක්ෂණික සන්නිවේදන නොතිබූ ඒ යුගයේ ටෙලෙක්ස් කේබල් හා ගුවන් තැපැල් මගින් රටවල් අතර සහයෝගිතා ව්‍යාපෘති කරද්දී වැරදි වැටහීම් හා මතගැටුම් ඇති වීම පුදුමයක් නොවෙයි.

1967 සති කිහිපයක් පුරා රේ විසින් රචිත පිටසක්වලයා දළ තිර රචනය රැගෙන මයික් හොලිවුඞ්පුරයට ගියා. ඔවුන් දෙදෙනා ම වෙනුවෙන් ව්‍යාපාරික මට්ටමින් ආයෝජනයන් ගැන සාකච්ඡා කරන්නට රේ තමාට නීතිමය බලය පැවරූ බව මයික් කීව ද පසු කලෙක රේ එය සනාථ කළේ නැහැ.

රිචඞ් බොයිල් කියන හැටියට The Alien තිරරචනය ඉන්දියාවේ දී බුද්ධිමය අයිතිය ලියාපදිංචි කිරීම රේට අතපසු වී තිබෙනවා. එය හොලිවුඞ් ගෙන ගිය මයික්, තමන් දෙදෙනාගේ ම නමින් එහි බුද්ධිමය අයිතිය අමෙරිකාවේ ලියාපදිංචි කළා. එසේ කළේ වැඩි හොඳට බවත්, වෙනත් කිසිවකු ඒ අදහස් යොදා චිත‍්‍රපටයක් හැදීම වැළැක්වීමට බවත් මයික් කියා සිටියා. එහෙත් තිර රචනයේ 90%ක් තමාගේ දායකත්වය තිබූ නිසා මේ හවුල් අයිතිය අසාධාරණ හා වැරදි බව රේ ගේ මතය වූවා. දෙදෙනා අතර විරසකයට මූලික සාධකයක් වූයේ මෙයයි.

ස්ටැන්ලි කුබ්රික් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ නීතිඥයා වූ ලූයී බ්ලාවු (Louis Blau) හරහා ඉන්දුස් චිත‍්‍රපට (Indus Productions) නම් නව සමාගමක් ඇරැඹූ මයික්, කොලම්බියා සමාගම සමග සියඵ ගනුදෙනු එම සමාගම හරහා කිරීමට උපදෙස් දුන්නා. මේ විධිවිධානය ද රේ ගේ නොසතුටට හේතු වූ බව පෙනෙනවා.

රේ ඊට පෙර හොලිවුඞ් සමග එතරම් ගනුදෙනු කර තිබුණේ නැහැ. 1958දී පාතර් පංචාලි අමෙරිකාවේ පෙන්වන විට කෙටි සංචාරයකට හොලිවුඞ් ගියත් එහි සටකපටකම් හා අන්තරායන් ගැන ඔහුට අත්දැකීම් තිබුණේ ද නැහැ. රිචඞ් බොයිල් කියන්නේ හොලිවුඞ් අරභයා සත්‍යජිත් රේ අහිංසකයකු වූ බවයි.

පිටසක්වලයා ගැන සැළසුම් කරද්දී කොලම්බියා සමාගමේ වියදමෙන් හොලිවුඞ්, නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර සංචාරය කරන්නත්, ඉහළම පෙළේ හෝටල්වල නවාතැන් ගන්නත් රේ හා මයික්ට හැකි වුණා. රේ මේ අමුතු ලෝකය දෙස බැලූවේ උපේක්‍ෂා සහගතවයි.

1967 ජූනි 12දා හොලිවූඞ් පුවත් සඟරාව වන Vanity Fair මහ ඉහළින් වාර්තා කළේ සම්මානනීය ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රේ හා නිෂ්පාදක මයිකල් විල්සන් පිටසක්වල ජීවියකු ගැන ජාත්‍යන්තර චිත‍්‍රපට නිෂ්පාදනයක් අරඹන බවයි. පීටර් සෙලර්ස් ප‍්‍රධාන චරිතය රඟන එහි රූ ගත කිරීම් බහුතරයක් බෙංගලායේ සිදුවනූ ඇති බවත්, ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන් 1.3ක් බවත් එහි කියැවුණා. මෙය ඒ දක්වා රේට තිබුණු චිත‍්‍රපට අරමුදල්වලට වඩා බෙහෙවින් වැඩි මුදලක්.

එහෙත් රේ හා මයික් නොපෑහීම නිසා චිත‍්‍රපටය කිසි දිනෙක රූ ගත කිරීම් අදිරයට ළගා වුණේ නැහැ. මේ අවාසනාවන්ත තත්වය ගැන ඇසූ ආතර් සී. ක්ලාක්, රේ හා මයික් අතර සංහිදියාවක් ඇති කරන්නට බොහෝ උත්සාහ කළත් එය අසාර්ථක වුණා.

‘මයික් හා මා එකට වැඩ කරද්දී ඔහුගේ ශෛලිය මට ඇල්ලූවේ නැහැ. ලන්ඩනයේ අප සිටි එක් අවස්ථාවක චිත‍්‍රපට සමාගම සමඟ අප කරන සියඵ කථාබහ හීන්සීරුවේ පටිගත කරන්නට මයික් කි‍්‍රයා කළා. මේ කර්මාන්තයේ කිසිවකු කට වචනයට විශ්වාස කළ නොහැකි යයි මයික් තර්ක කළා’’ රේ ආවර්ජනය කොට තිබෙනවා.

රේ ඉතා ඉවසිලිමත් වූ චරිතයක්. ලෙහෙසියෙන් කලබල නොවන හා තරහා නොයන කෙනෙක්. එහෙත් මයික් සමග වැඩ කරන්නට අමාරු වූ විට ටිකෙන් ටික ඔහු දුරස්ථ වුණා. මේ කාලයේ රේ තව දුරටත් තමාගේ බෙංගාලි චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කිරීම නතර කළෙ නැහැ. 1967දී චිරියාකානා Chiriyakhana චිත‍්‍රපටය නිකුත් වූ අතර ඊළඟ බෙංගාලි චිත‍්‍රපයට මුදල් සෙවීමට ද ඔහු වෙහෙසෙමින් සිටියා.

1968 අගෝස්තු 15දා රේ ක්ලාක්ට ලියුමක් ලියමින් The Alien ව්‍යාපෘතිය ඉදිරියට යන්නට නම් මයික් එයින් ගෞරවනීය ලෙස ඉවත් විය යුතු යයි කාරුණික ඉල්ලීමක් කළා. ‘‘මයික් දක්‍ෂයෙක්. එමෙන්ම උද්‍යොගශීලීයි. එහෙත් අප දෙදෙනා බෙහෙවින් වෙනස් චරිත. ඔහු නිෂ්පාදකයා ලෙස තබා ගෙන මේ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නට මට බැහැ. මා චිත‍්‍රපටය තැනූ පසු මයික්ට විධායක නිෂ්පාදක ලෙස නාමාවලියේ පිළිගැනීමක් දීමට මා සූදානම්. එහෙත් මගේ පාඩුවේ මේ චිත‍්‍රපටය හදන්නට නම් මයික් නැතිව වැඬේ පටන්ගත යුතුයි.’’

දෙපාර්ශවය එකඟ කර ගෙන ව්‍යාපෘතිය ද බේරා ගන්නට ක්ලාක්ටත් නොහැකි වුණා. 1968 අගෝස්තු 28දා ක්ලාක් රේට ලියුමක් ලියමින් කීවේ: ‘කවුද හරි කවුද වැරදි කියා වාද කරමින් නොසිට මේ අසිරිමත් කථාව චිත‍්‍රපටයකට නැංවිය හැකි නම් කෙතරම් අපූරු ද? එයට සුදුසු පසුබිමක් ඇති කරන්නට මා තවමත් උත්සාහ කරනවා. එහෙත් මට කළ හැකි දේ සීමිතයි.’

සත්‍යජිත් රේ චරිතාපදානයක් ලියූ බි‍්‍රතාන්‍ය ලේඛක ඇන්ඩෘ රොබින්සන් කියන්නේ පිටසක්වලයා කථාව චිත‍්‍රපටයකට නැගීමේ අදහස 1970 දශකය පුරා ම පාහේ රේගේ හිතේ තිබුණු බවයි. ඒ ගැන විටින් විට ඔහු කොලම්බියා චිත‍්‍රපට සමාගම සමග කථා කළත් අදහස යළි පණ ගැන්වීමට නොහැකි වුවා. ඔහු එය අත්හැර දැම්මේ Close Encounters of the Third Kind (1977) හා ET (1982) නම් ස්ටීවන් ස්පිල්බර්ග් චිත‍්‍රපට දෙක ලෝකය කුල්මත් කළ පසුවයි.

සත්‍යජිත් රේ මෙන් ම ස්ටීවන් ස්පිල්බර්ග් ද ඇසුරු කළ ක්ලාක්, මේ දෙදෙනා අතර නිර්මාණ කොල්ලයක් වී යයි පිළි ගත්තේ නැහැ. පිටසක්වල ජීවීන් මොලොව ඒම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ප‍්‍රබල තේමාවක් බැවින් මෙබඳු අවිහිංසක පිටසක්වලයකු ගැන කථාවක් ස්වාධීනව මේ නිර්මාණකරුවන් දෙදෙනාට පරිකල්පනය වීම පුදුමයක් නොවේ යයි ක්ලාක් ලියා තිබෙනවා.

ක්ලාක් හා රේ මිතුදම දිගට ම පැවතුණා. The Alien ගැන ශෝකබරිතව ආවර්ජනා ලියන විට පවා රේ කිසි විටෙක ක්ලාක්ට දොශාරෝපණයක් කළේ නැහැ.

කල්කතාවෙන් පළ කැරෙන The Statesman පත‍්‍රයේ 1980 ඔක්තෝබර් 5 වනදා ‘පිටසක්වලයාගේ අකරතැබ්බය’ (Ordeals of the Alien) නමින් ලිපියක් ලියූ රේ තමාගේ අමිහිරි අත්දැකීම ලේඛනගත කළා. ඒ වන විට ස්වාමි සිවකල්කි නමින් හින්දු පූජකයකු බවට පත්ව සිටි මයික් විල්සන් එය කියවා කර්තෘට ලියුමක් ලියමින් තමාගේ පැත්ත විස්තර කළා.

එම ලියුම හරහා මයික් කීවේ තමා නිර්මාණ හොරකු නොවූ බවත්, චිත‍්‍රපටය නිපදවීමේ නොතින් ආසාව හා උද්‍යොගය මත කටයුතු කළ බවත්. එසේ ම මහා සිනමාකරුවාව හොලිවුඞ් කපටියන්ගෙන් බේරා ගන්නට තමා යම් ආරක්‍ෂණ පියවර ගත් බවට මයික් තර්ක කළා.

මයික් සිය ලියුම අවසන් කළේ මෙසේයි: ‘රේ හා මා අතර මතභේද තිබූ බව සැබෑ නමුත් ඔහු ලෝකයේ ශෙෂ්ඨතම සිනමාකරුවෙක්. මා ඉන්දියාවට උදක් ම කියන්නේ ඔහුට රිසි පරිදි චිත‍්‍රපට නිර්මාණය කරන්නට දේශීය මට්ටමින් සියඵ සම්පත් හා පහසුකම් ලබා දෙන්න කියායි.’

රේගේ සිනමා විශිෂ්ඨත්වය ලොවට පෙන්නුම් කරන්නට හොලිවුඞ් සමාගමක පිහිට අවශ්‍ය වූයේ නැහැ. බටහිර චිත‍්‍රපට නිෂ්පාදනයට වෙන් කැරෙන මුදල් හා තාක්‍ෂණ පහසුකම් නැතිවත් සදාදරණීය සිනමා කෘති රැසක් (වෘතාන්ත චිත‍්‍රපට 29ක්, වාර්තා චිත‍්‍රපට 5ක් හා කෙටි චිත‍්‍රපට 2ක්) ඔහු අධ්‍යක්‍ෂණය කළා.

(විශෙෂ ස්තූතිය: රිචඞ් බොයිල්)

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.