සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

Who were the earliest citizen journalists in Sri Lanka? In this week’s Ravaya column (in Sinhala), I argue that ordinary people expressing themselves in a public space without gatekeepers — which fits the basic definition of citizen journalism — can be traced back to at least 6th century AD. That’s the earliest date for a visitor graffiti on the famous ‘mirror wall’ in Sigiriya, Sri Lanka’s “rock fortress in the sky” built by a maverick 5th century King Kasyapa (reign: 477 – 495 AD).

I covered part of this ground in an English column on 9 June 2013: When Worlds Collide #70: Sailing the Stormy Seas of Social Media

Sigiriya photo from Wikimedia Commons

Sigiriya photo from Wikimedia Commons

‘‘කාගෙන්වත් අවසරයක්, අනුමැතියක් නැතිව බ්ලොග් ලියලා අපට වෙබ් එකේ පළ කරන්න පුඵවන් ද?’’

අහිංසක ලෙසින් මේ ප‍්‍රශ්නය මගෙන් විමසුවේ මෑතදී මා ඇමතූ නව මාධ්‍ය පිළිබඳ වැඩමුඵවකට සහභාගී වූ තරුණියක්. සමාජ විද්‍යා ක්‍ෂෙත‍්‍රයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක්  ලැබූ ඇය දැන් බිම් මට්ටමේ සංවර්ධන කි‍්‍රයාකාරිනියක්.

බ්ලොග් ලියන්නට, ට්විටර් හරහා කෙටියෙන් අදහස් ප‍්‍රකාශ කරන්නට, YouTube හරහා වීඩියෝ ලෝකය සමග බෙදා ගන්නට කිසිවකුගේ කිසිදු අවසරයක්, අනුමැතියක්  ඕනෑ නැති බව මා අවධාරණයෙන් කියා සිටියා.

ඉන්ටර්නෙට් සබඳතාවක් සහිත පරිගණකයක් හෝ ඉහළ මට්ටමේ ජංගම දුරකථනයක් (Smartphone) ඇත්නම් නොමිළයේ මේ සේවා ලබා දෙන වෙබ් අඩවිවලට පිවිසිය හැකි බවත් මා ඇයට පහදා දුන්නා.

එබන්දක් නීති විරෝධි විය හැකි ද? මේ ඇගේ ඊළඟ ප‍්‍රශ්නය. පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ නින්දා අපහාස නොකර, රටේ පොදු නීති රාමුව තුළ අදහස් ප‍්‍රකාශ කරනවා නම් එයින් ප‍්‍රශ්නයක් මතු නොවන බව මා කියා දුන්නා.

මේ උගත් හා උද්‍යොගිමත් තරුණියගේ ප‍්‍රශ්නයට පසුබිම මා වටහා ගත්තා. කුඩා කල පටන් ම යමක් කියන්නට හෝ ලියන්නට හෝ පෙර දෙමවුපිය, ගුරුවර අවසරය පැතීම අපේ සමාජයේ බහුල සිරිතක්. සරසවියේ හා කාර්යාලවල පවා මේ ධූරානුක‍්‍රම (hierarchy) මත පදනම් වූ පිළිවෙත් හමු වනවා. වයසින් හා තනතුරින් අඩු අය සැම විට ම ජ්‍යෙෂ්ඨයන්ගේ අවසරයෙන් පමණක් මත දැක්විය යුතුය යන්න අපේ සමාජයේ කිදා බැස ගත් වැඩවසම් ආකල්පයක්.

අපේ ඉතිහාසයේ බොහෝ කලක් තිස්සේ ලිඛිතව අදහස් පළ කිරීමේ අවකාශය රජවරුන්ට, ප‍්‍රභූවරුන්ට හා යතිවරුන්ට සීමා වූ වරප‍්‍රසාදයක් වුණා. නිර්නාමික ශිල්පීන් සෙල් ලිපි නෙළන්නට යොදා ගත් නමුත් ඔවුන්ගේ නම් හෝ අදහස් හෝ ඒවායේ ඇතුළත් වූයේ නැහැ. පුස්කොළ පොත් ඇතුඵ වෙනත් ලිඛිත සම්ප‍්‍රදායන්ටත් ආවේණික දැනුම් සන්නිවේදන අධිපතිවාදයක් තිබුණා. (මෙය දිගු ඉතිහාසයක් ඇති වෙනත් ශිෂ්ටාචාරවල ද තිබූ ලක්ෂණයක්.)

පුරවැසි මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් වන්නේ කිසිදු අවසරයක්, පාලනයක් නැතිව කෙලින් ම අදහස් දැක්වීම. අප අද කාලේ එය ඉන්ටර්නෙට් හරහා කරන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත්ත ද එයට සංකල්පමය වශයෙන් ඊට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී/ලිපි ලිව්වේ අවසර ලබා ගෙන නොවෙයි. සීගිරි බිතු සිතුවම්වල සිටින අප්සරාවන් ගැන සියවස් ගණනක් පුරා එහි ගිය ඇතැම් දෙනා තමන්ගේ අදහස් හා හැගීම් එහි ලියා තිබෙනවා.

මා තර්ක කරන්නේ සීගිරි කුරුටු ගී/ලිපි ලියූ හැම අයකු ම මීට සියවස් ගණනකට පෙර මෙරට විසූ පුරවැසි මාධ්‍යවේදීන් බවයි!

Sigiriya Graffiti image courtesy - SIGIRIYA: Kassapa's Homage to Beauty by Siri Gunasinghe

Sigiriya Graffiti image courtesy – SIGIRIYA: Kassapa’s Homage to Beauty by Siri Gunasinghe

කාශ්‍යප රජු විසින් සීගිරිය රාජධානිය කර ගනු ලැබුවේ 5 වන සියවසේදී. දැනට දන්නා පැරණි ම සීගිරි කුරුටු ගී කි‍්‍ර.ව. 6 හා 7 වන සියවස්වලට අයත්. බහුතරයක් කුරුටු ගී කි‍්‍ර.ව. 8, 9 හා 10 වන සියවස්වල ලියා ඇතැයි ද සංඛ්‍යාත්මක සුඵ සංඛ්‍යාවක් 11 සිට 13 වන සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි ද සීගිරි පුරා විද්‍යා ගවේෂණවලට කලක් තිස්සේ නායකත්වය දෙන මහාචාර්ය සේනක බණ්ඩාරනායක සූරීන් කියනවා.

Prof Senarat Paranavithana

Prof Senarat Paranavithana

එයින් 685ක අරුත් විග‍්‍රහ කොට කාණ්ඩ දෙකකින් යුත් ඉංගී‍්‍රසි ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයක් 1956දී මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සංස්කරණය කොට පළ කළා. ඉන් පසු සීගිරිය ලෝක උරුමය පුරා විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ තවත් කුරුටු ගී 800ක් පමණ විග‍්‍රහ කරනු ලැබුවේ කලක් කැළණිය සරසවියට අනුයුක්තව සිටි පුරා විද්‍යාඥ ආචාර්ය බෙනිල් පි‍්‍රයංක විසින්. (මෙය ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස 2010දී ඉංගී‍්‍රසියෙන් ප‍්‍රකාශයට පත් වුණා.)

සීගිරි කුරුටු ගී අසාමාන්‍යයි. කිසිවකුගේ අවසරයක්, අධීක්‍ෂණයක් හෝ අනුදැනුමක් නැතිව නිදහසේ අදහස් පළකොට තිබෙනවා. ඒ සඳහා ලියූ අයගේ තරාතිරම, උගත්කම බලපා නැහැ. (අකුරු ලිවීමේ/කෙටීමේ හැකියාව සීමාකාරී සාධකය වූ බව සැබෑවක්.)

සීගිරි කුරුටු ගී/ලිපි ලියූ අපේ ආදිතමයෝ පුරෝගාමී පුරවැසි මාධ්‍යවේදීන් ලෙස සැළකිය හැකිදැයි සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීවගෙන් මා විමසුවා. ඔහු එයට එකඟ වුණා. හේතුව ඔවුන්ට ඉහළින් තීරණ ගන්නා කිසිදු කතුවරයකු හෝ අවසර දෙන්නකු නොසිටි නිසා.

අතීතයේ වෙනත් රටවල ගල්ගුහාවල සිතුවම් ඇඳ තැබූ,  අප නමින් නොහඳුනන මිනිසුන් හා ගැහැණුන් ද ඒ ගණයට ම අයිතියි. උදාහාරණයකට නිරිතදිග ප‍්‍රංශයේ ලැස්කෝ (Lascaux) ප‍්‍රදේශයේ ගල් ලෙන් තුළින් 1940දී අහම්බෙන් සොයා ගත් ආදි මානවයන්ගේ ලෙන් සිතුවම් දක්වන්නට පුඵවනි.

Prof Senake Bandaranayake

Prof Senake Bandaranayake

සතුන්, මිනිසුන් හා භාවාත්මක (abstract) සංකේත අඩංගු රූප 2,000ක් පමණ ඇති මේ ලෙන් සිතුවම් වසර 17,300ක් පමණ පැරණි යයි ගණන් බලා තිබෙනවා. එනම් පේලියෝලිතික යුගයට අයත්. එපමණ කලකට ඉහත දී එම සිත්තරුන් තනි තනිව කි‍්‍රයා කළා ද නැතිනම් සාමූහික ප‍්‍රයන්තයක යෙදී යමකුගේ අධීක්‍ෂණ යටතේ වැඩ කළා ද යන්න සොයා ගත නොහැකියි.

ශිෂ්ටාචාරයේ ප‍්‍රගමනයන් සමග දැනුම ගවේෂණය හා අදහස් සන්නිවේදනය වඩාත් ක‍්‍රමවත් වුණා. භාෂා, කලා ශිල්ප හා විද්‍යාවන් දියුණුව ආවා. ඒ සමග ම ධූරානුක‍්‍රම ද වඩාත් ප‍්‍රබල වුණා. උපතින් වරප‍්‍රසාදලත් පවුලකට හෝ පෙළපතකට අයත් නොවුණා නම් තම නමින් නිදහසේ අදහස් පළ කරන්නට නිර්මාණශීලී මිනිසකුට හා ගැහැණියකට තිබූ ඉඩකඩ එන්න එන්න ම ඇසිරී ගියා.

යළිත් මේ නිදහස මතුව ආයේ කි‍්‍ර.ව. 1450දී ජර්මනියේ යොහාන් ගුටන්බර්ග් විසින් අකුරු අමුණා මුද්‍රණය කිරීමේ තාක්‍ෂණය බිහි කිරීමෙන් පසුවයි.

මුද්‍රණ ශිල්පයේ සංකල්පය සොයා ගත්තේ කි‍්‍ර.ව. 7 වන සියවසේදී පමණ පුරාණ චීනයේ. ඔවුන් කළේ ආයාසයෙන් කපා ගන්නා ලී අච්චුවකට තීන්ත තවරා එය කඩදාසි මත තබා තද කිරීම හරහා පිටපත් ගණනාවක් බිහි කිරීමයි. ගුටන්බර්ග්ට පෙර කොරියානුවන් අකුරු ඇමිණීමේ සංකල්පය දැන සිටියා යයි යම් සාක්‍ෂි තිබෙනවා.

අකුරු ඇමිණීමේ (movable type) වාසිය නම් භාෂාවක හෝඩියේ අකුරු කට්ටලයක් හදා ගත් විට එය විවිධාකාරයට සංයෝජනය කරමින් නැවත නැවතත් භාවිත කළ හැකි වීමයි. සෙල්ලිපි, කුරුටු ගී හෝ පුස්කොළ පොත් ලියූ අයට එක විට එක් පිටපතක් නිම කළ හැකි වූවත් අකුරු සංයෝජනය හරහා මුද්‍රිත ප‍්‍රකාශන පිටපත් රැසක් ඉක්මනින් හා ලාබදායක ලෙස නිෂ්පාදනය කළ හැකි වුණා.

මෙය අද දවසේ අපට ඉතා හුරු පුරුදු එදිනෙදා සංකල්පයක් වුවත් මීට වසර 600කට පමණ පෙර බටහිර යුරෝපයේ එය ටිකෙන් ටික ප‍්‍රචලිත වන්නට ගත් විට වරප‍්‍රසාද ලත් පාලක, යතිවර හා ප‍්‍රභූ පන්තිය කැළඹුණා.

‘‘මේ තරම් පොත් කන්දරාවක් බිහි වුණා ම දැනුම හා උගත්කම හෑල්ලූ වෙනවා. හැම කොල්ලටයි බල්ලටයි ම පුඵවන් ද පොත් ලියන්න? මේක හරි විගඩමක්නේ!’’ මේ ආකාරයේ තර්ක  ඕනෑ තරම් එකල දැනුම් ඒකාධිකාරියෝ මතු කරන්නට ඇති.

එම අධිපතිවාදයට එරෙහිව විකල්ප දැනුම හා මත ජනනයේ යෙදීමට එඩිතර කමක්, ආර්ථික සවියක් ලැබුණේ එකල යුරෝපයේ මතුව ආ මධ්‍යම පාංතිකයන්ගෙන්. මේ අය සමහරෙක් හුදු ව්‍යාපාරික වාසි තකා රාජ පාක්‍ෂික හා දේව පාක්‍ෂික වූවත්, අනෙක් අය නොබියව ලිබරල් මානසික්තවයෙන් කි‍්‍රයා කළා. ධනවාදයේ උල්පත් හරහා ලිබරල් චින්තනය පෝෂණය වූයේ එලෙසයි.

පුරවැසියන් මුද්‍රණ යන්ත‍්‍ර ලබාගෙන, ලිබරල් මැද පාංතික ධන ආයෝජනයන් කොට පත්තර හා සඟරා පළ කිරීම 1500 ගණන්වලදී යුරෝපයේ ඇරැඹුණා. ලෝක පත්තර සඟරා ඉතිහාසයේ මුල් සියවස තුළ තනි පුද්ගලයෙක් හෝ මිතුරන් දෙතුන් දෙනෙක් තමන් ම ලියා, අකුරු අමුණා, මුද්‍රණය කොට කඩපිල් ගානේ ගොස් විකුණු ආකාරයේ වාරික ප‍්‍රකාශන තිබුණා. බලාගෙන ගියාම මේවාත් පුරවැසි මාධ්‍ය තමයි.

එහෙත් මුද්‍රිත මාධ්‍ය පරිනාමය වෙද්දී ආයතනගත, වඩාත් ව්‍යාපාරික ස්වරූපයේ පත්තර සමාගම් බිහිවුණා. ප‍්‍රකාශකයා, කතුවරයා හා වැටුප් ලබන මාධ්‍යවේදීන් හැටියට ධූරානුක‍්‍රම සංවිධානය වුණා. තොරතුරු දොරටුපාලකයන් මතුව ආවා.

අද වෙබ් හා ඩිජිටල් තාක්‍ෂණයන් හරහා එම පහසුකම් හැසිරවීමේ හැකියාව ඇති  ඕනෑ ම කෙනෙකුට තමන්ගේ අදහස්, මතවාදයන් ඉක්මනින් ලෝකයට ම බෙදිය හැකියි. මේ නූතන පුරවැසි මාධ්‍යකරණයේ ආගමනය සිදු වුයේ 1990 දශකය අග භාගයේ පටන්. (පුරවැසි මාධ්‍යවේදයේ පැහැදිලි නිර්වචනය නම් වැටුප් නොලබා, දොරටු පාලකයන් නැතිව අදහස් ප‍්‍රකාශනයයි. එසේ නොවන පුවත් වෙබ් අඩවි හා විවිධ දේශපාලන වෙඞ් අඩවි මේ ගණයට වැටෙන්නේ නැහැ.)

මේ සංසිද්ධිය මුලදී අධිපති මාධ්‍ය ආයතන හා වැටුප් ලබන මාධ්‍යවේදීන් එය විහිඵවට හා ගර්හාවට ලක් කළා. ‘මේ කිරි කජු කොල්ලන්ට කෙල්ලන්ට පුඵවන් ද අපේ වගේ දැවැන්ත කර්මාන්තයක් එක්ක තරග කරන්න?’ යයි වහසි බස් දෙඩුවා.

වසර කිහිපයක ඇවෑමෙන් පුරවැසි මාධ්‍යවේදීන් වඩාත් ස්ථාපිත වූ විට හා ඔවුන්ට සමාජ අවධානය හා පිළිගැනීම වැඩි වූ විට අධිපති මාධ්‍ය විවිධ චෝදනා හා අවලාද නගන්නට පටන් ගත්තා.

‘‘මේ අයට ප‍්‍රමිතියක් හෝ සාරධර්ම නැහැ. මේ අය වග කියන්නේ කාට ද? මේ පිරිස නියාමනය කළ යුතුයි.’ යයි කෑ ගසන්නට පටන් ගත්තා. බලපෑමක් හා පිළිගැනීමක් නැතැයි කලක් කොන් කරනු ලැබූ පුරවැසි මාධ්‍යවේදීන්ගේ ශිල්ප ක‍්‍රම දැන් අධිපති මාධ්‍ය විසින් ද යොදා ගන්නවා. කන්නට හිතුනා ම කබරගොයාත් තලගොයා වන්නා සේ.

අධිපති හා පුරවැසි මාධ්‍යකරුවන් සැම පොදු අවකාශයේ සන්නිවේදන කරන තාක් කල් ඔවුන්ට සාරධර්ම හා ප‍්‍රමිතීන් අවශ්‍යයි. (Facebook එක ඇතුළේ රිංගා ගෙන කරන පෞද්ගලික කථාබහට එය අදාල වන්නේ නැහැ. මේ සංවාදයේදී පොදු හා පෞද්ගලික අවකාශයන් දෙකේ වෙනස පැහැදිලිව වටහා ගැනීම ඉතා වැදගත්.)

මගේ මතය නම් පුරවැසි මාධ්‍යවේදීන්ට ප‍්‍රමිති හෝ සාරධර්ම හදන්නට නැතහොත් ඔවුන් නියාමනය කරන්නට අධිපති මාධ්‍යවේදීන්ට ඉඩ නොදිය යුතු බවයි. මේ දෙපිරිස ම කි‍්‍රයා කරන්නේ පොදු අවකාශයේ, පොදු උන්නතිය සඳහා වූවත් ඔවුන්ගේ ක‍්‍රමෝපායයන් වෙනස්. නූතන තොරතුරු සමාජයේ ඔවුන් තරගරුවන් වනවා.

ශී‍්‍ර ලංකාවේ දේශීය බ්ලොග්කරුවන්ගේ සංසද තිබෙනවා. ඔවුන් ටිකෙන් ටික දැන් තමන්ගෙ ම අනන්‍යතාවයක් බිහි කර ගනිමින් සිටිනවා. ප‍්‍රමිති, සාරධර්ම හා අනෙකුත් වගකීම් ඔවුන් හරහා ම මතු වනු ඇති.

See also: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

Advertisements

2 Responses to “සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය”

  1. Nandasiri Wanninayaka Says:

    අනර්ඝ ලියැවිල්ලක්. මේවනතුරුත් සීගිරිය කැටපත් පවුර ගැන ඔබේ කෝණයෙන් බැලුවේ නැහැ. නියාමනයකුත් නැතිව, කැටපත් පවුර අශෝභන කරන්නෙත් නැතුව ලිවීම ගැන එදා පුරවැසියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. බ්ලොග් අවකාශයේ වුණත් අසීමිත නිදහස තිබුණත් බොහෝ දෙනෙක් සංවරශීලීව හැසිරෙනවා. නාහෙට අහන්නැති කීපදෙනෙක් ඔනැම ක්ෂේත්‍රයක ඉන්නවනේ.

  2. naleendilruksha Says:

    මේ අගනා ලිපියට බොහොම ස්තුතියි. මමද අධිපති මාධ්‍යායතනයක වැටුප් ලබන්නෙක් මි. එයින් යම් තරමකට හෝ මිදී නිදහසේ අදහස් කියන්න මට ද හොඳම තැන වුණේ බ්ලොග් අවකාශයයි. බ්ලොග් අවකාශයේද සැරිසරන්නට ද මහගු පණිවුඩයක් දෙන මේ ලිපිය හරිම අගෙයි. මේ ලිංකු ඔස්සේද තවත් බොහෝ දේ හෑදැරීමට හැකි වුණා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: