සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!

I draw from the Global Status Report on Road Safety 2013, released by WHO in mid March 2013, for this week’s Ravaya column (in Sinhala). I discuss how the attitudes of Lankan road users — pedestrians, cyclists and motorists — contribute to road traffic accidents.

The challenge of reducing Sri Lanka’s alarmingly high rate of road accidents needs technocratic, sociological and attitudinal responses. This isn’t simply a law and order issue, or one that can be fixed by traffic engineering.

Cartoon by W R Wijesoma, first published on 14 February 1994
Cartoon by W R Wijesoma, first published on 14 February 1994

සංකීර්ණ වූ අද සමාජයේ ප්‍රශ්න ඕනෑවට වඩා සරල හා ලිහිල් විග්‍රහ කිරීම අවදානම් සහගතයි. දිගින් දිගට ම ඉහළ නගින මාර්ග අනතුරු ගැන ඇතැම් දෙනා කියන්නේ වාහන සංඛ්‍යාව සීමා කිරීමෙන්, රියදුරන්ට දැඩි දඬුවම් දීමෙන් හා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමෙන් එය පාලනය කර ගත හැකි බවයි.

මේ ක්‍රියාමාර්ග අවශ්‍ය වූවත් සෑහෙන්නේ නැහැ. මාර්ග අනතුරු සිදු වන්නේ හුදෙක් වාහන සංඛ්‍යාව වැඩිවීම නිසා ම නොවෙයි. අපට වඩා වාහන මෙන් ම ජන ඝනත්වය වැඩි රටවල් අනතුරු අවම කර ගෙන තිබෙනවා.

යල් පැනගිය රොමෑන්ටික් මතවාදවලට වඩා අද අවශ්‍ය වන්නේ පර්යේෂණාත්මක තොරතුරු හා විග්‍රහයන් මත පදනම් වී, ආවේගශීලී නොවී තුලනාත්මකව මේ බිහිසුණූ සමාජ ප්‍රශ්නය ක්‍රමානුකූලව විසදීමයි. අනතුරක් සිදු වූ තැන ලේ හා කදුඵ හරහා කරන මතුපිට වාර්තාකරණයෙන් ඔබ්බට සිතා බැලීමේ ලොකු වගකීමක් මාධ්‍යවලටත් තිබෙනවා.

මාර්ග අනතුරු හුදෙක් නීතිමය හා වෛද්‍යමය ප්‍රශ්නයකට වඩා මහා සංවර්ධන අභියෝගයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මෙන් ම ලෝක බැංකුවත් කියනවා. මාර්ග අනතුරුවලින් රටක දළ දේශීය නිෂ්පාදිතය සියයට 2ක් පමණ අපතේ යන බව ආර්ථීක විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

මාර්ග අනතුරු පිළිබඳ ලෝක තත්ත්ව වාර්තාවක් (Global Status Report on Road Safety 2013) දෙවන වරටත් WHO සම්පාදනය කොට තිබෙනවා. මේ එක්සත් ජාතීන්ගේ විශෙෂිත ආයතනයේ සාමාජික රටවල් 182ක් ලබාදුන් දේශීය දත්ත හා අධ්‍යයනයන් සම්පිණ්ඩනය කරමින් නිමැවුණූ සංසන්දනාත්මක වාර්තාවක්. 2010 අග දක්වා ලැබුණු දත්ත එයට ඇතුළත්. http://tiny.cc/RSR13

මේ වාර්තාවට අනුව ලොව පුරා මාර්ග අනතුරු නිසා වසරකට මිලියන් 1.24ක් (දොලොස් ලක්ෂ හතලිස් දහසක්) දෙනා එතැන ම හෝ අනතුරෙන් දින 30ක් ඇතුළත මිය යනවා. මෙහි සාමාන්‍ය අගය දිනකට 3,400ක්. ශී‍්‍ර ලංකාවේ දිනකට 6 – 7 දෙනකු මාර්ග අනතුරුවලින් මිය යාම ද මෙයට දායක වනවා.

මිය යන සංඛ්‍යාවට වඩා අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තාවකාලිකව හෝ සදහට ම හෝ ආබාධිත වනවා. මේ සංඛ්‍යාව ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගැනීම අපහසු නමුත් එය ලොව පුරා මිලියන් 20 – 50 අතර වෙතැයි අනුමාන කැරෙනවා. ඒ හරහා පවුල්වලට හා රටේ ආර්ථීකයට සිදුවන ඵලදායීතාවයේ පාඩුව අති මහත්.

මාර්ග අනතුරු යනු සංකීර්ණ සාධක රැසක් ඒකරාශි වීමේ ප්‍රතිඵලයක්. එයට වාහනවල තත්ත්වය, රියදුරන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය, මහාමාර්ගවල තත්ත්වය මෙන් ම පදිකයන්ගේ හැසිරීම ද දායක වනවා. අනතුරුවලදී බොහෝ විට පදිකයන් හා පාපැදිකරුවන් වැඩි හානියට පත් වූවත් ඔවුන් මුඟමනින් ම නිර්දෝෂී වන්නේ ද නැහැ.

Roadsafetyමාර්ග අනතුරුවලට බලපාන ප‍්‍රධාන හානිකර සාධක පහක් හදුනාගෙන තිබෙනවා. මෝටර් බයිසිකල් ධාවකයන් හා මගීන් හෙල්මට් නොපැළදීම, වාහන රියදුරන් හා මගීන් ආසන පටි නොපැළදීම, අධී වේගයෙන් ධාවනය, බීමත්කමින් ධාවනය හා කුඩා දරුවන් නිසි ලෙස වාහන තුළ ගෙන නොයාම මේ සාධකයි.

ගිය වසරේ ‘ඔබේ දරුවා අනතුරුවලින් රැක ගන්න’ නම් පොත ලියූ, අනතුරු වැළැක්වීම ගැන ජීවිත කාලය පුරා කැප වී වැඩ කරන විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර, මෙරට මාර්ග අනතුරු සංඛ්‍යා ලේඛන හා රෝහල් අත්දැකීම් දිගු කලක් අධ්‍යයනය කරනවා. ඔහු කියන්නේ බීමතින් රිය පැදවීම මාර්ග ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක් බව සැබෑ වුවත්, තවත් සාධක ගණනාවක් ද තිබෙන බවයි.

ඔහු කියන හැටියට, අධික ලෙස විඩාපත් වී රිය පැදවීම හා නිදිමත නිසා ද සැළකිය යුතු අනතුරු සංඛ්‍යාවක් සිදු වනවා. එහෙත් අනතුරක් සිදු වූ වහා කම්පනය නිසා නිදිමත පහ වී යන බැවින් එය තහවුරු කරන්නට අමාරුයි. (එසේ ම නිදිබර වූ බව පිළිගන්නවා වෙනුවට බොහෝ රියදුරන් කියන්නේ පාරට බල්ලකු හෝ පුසකු පැන්නා වැනි කථාවක්.)

හොඳ අවධියෙන් සිටින රියදුරන් අනතුරුදායක අවස්ථාවල අනිච්ජානුගව (involuntarily) ගන්නා ප‍්‍රතික‍්‍රියා නිසා මාර්ග අනතුරු වළක්වා ගන්නා නමුත් විඩාපත් හා නිදිමත ගතිය සහිත රියදුරන්ට එසේ කරන්නට බැරි බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

විඩාව හුදෙක් ශාරීරික පමණක් නොව මානසිකව ද තිබිය හැකියි (පැය ගණනක් මනස වෙහෙසා එක දිගට පොත්පත්වල හෝ පරිගණකයක වැඩ කළ අයට). ගෙවී ගිය පැය 24 තුළ පැය 5කට වඩා අඩු නින්දක් ලද විටකදී හා අලූයම 2 හා 5 අතර කාලයේ වාහන පැදවීමෙන් වැළකුණොත් අනතුරු 19% අඩු කර ගත හැකි බව නවසීලන්ත පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා.

දියුණු වන ලෝකයේ මාර්ග අනතුරු ප‍්‍රවණතා ගැන ලිපියක් මීට වසර කිහිපයකට පෙර බි‍්‍රතාන්‍යයේ New Scientist විද්‍යා සඟරාවේ පළ වුණා. එය අරඹා තිබුණේ ‘In many Third World countries, it is better to be late than never’ කියායි. එනම් බොහෝ දියුණුවන රටවල ගමනක් යන විට ප‍්‍රමාද වී හෝ ප‍්‍රවේශමින් යාම ඇඟට වඩා ගුණ බවයි.

ඇත්තටම නොනිසි හා අසීමිත කලබලයෙන් රිය පදවන්නෝ අන් අයට වඩා කාලය ඉතිරි කර ගන්නවා ද?

මා රිය පදවන්නේ සෙමින් හා පරීක්‍ෂාකාරීව. මෙය මගේ ඇතැම් මිතුරන්ගේ අවඥාවට හා සරදමට ලක්වනවා. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් පාරේ ගත කිරීමට සිදු වන බවට ඔවුන් අනතුරු අඟවනවා. මෙය අතිශයෝක්තියක් මිස ඇත්තක් නොවේ.

මෙය පර්යේෂණාත්මක මට්ටමින් සසදා ඇත්දැයි මා දන්නේ නැහැ. එක් පෞද්ගලික අත්දැකීමක් මට තිබෙනවා. කොළඹ සිට මහනුවරට ඇති කිමී 115 දුර යන්නට අවම වශයෙන් පැය තුනක් ගත වනවා. එය ජාත්‍යන්තර මට්ටමින් නම් මන්දගාමී වේගයක්.

මේ ගැන නිතර මැසිවිලි නඟන මගේ නොඉවසිලිමත් මිතුරකුත්, මාත් මීට කලකට පෙර එක ම මොහොතේ වාහන දෙකක මේ ගමනට පිටත් වුණා. අතරමඟ නොනවතා දිගට ම ගමන් කළා.

නලාව (හෝන් එක) නාද කරමින්, අන් අයට සාප කරමින්, වාහන ඉස්සර කරමින් අනෙකවිධ අවදානම් ගනිමින් මගේ මිතුරා රිය පදවන සැටි මා දන්නවා. මගේ සුපුරුදු වේගයෙන් මා මහනුවරට ළඟ වන විට ඔහු එහි ගොස් විනාඩි 10ක් පමණ ගත වෙලා. ඒ තත්පර 600ක වාසියට ඔහු කොතරම් අන්තරායකාරී වුවා ද?

‘ඔබේ රටේ රියදුරන් වාහන එලවන්නේ ඇක්සලරේටරයෙන් ද නැති නම් නලාවෙන්ද?’ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල මාත් සමඟ දින කිහිපයක් මෝටර් රථයකින් ගමන් කළ යුරෝපීය මිතුරෙක් විමතියෙන් මෙන් මගෙන් ඇසුවා. එයට හේතුව අපේ බොහෝ රියදුරන් නිතර නිතර නොඉවසිල්ලෙන් නලාව ගැසීමයි.

රතු එළියට නතර වූ වාහන පේලියක් තැඹිලි එළිය දිස්වත් ම අඩු තරමින් එක් රියදුරෙක්වක් නලාව ගසනවා. පදිකයන්ට පාර හරහා යන්නට අයිතිය ඇති කහ ඉරක් අබියස නතර කළත් පිටුපසින් සිටින සමහර රියදුරන්ට ඉවසිල්ලක් නැහැ. එපමණක් නොවෙයි, වාහන තදබදය ඉතා හොදින් පෙනෙන්නට තිබියදීත් – යන්නට කිසිදු ඉඩක් නැති විටදීත් – සමහරුන් ඔහේ නලාව ගසනවා!

ඇත්තට ම වාහනයකට නලාවක් සවිකර ඇත්තේ හදිසි අවස්ථාවක නාද කිරීමට පමණයි. විනයානුකූලව රථ පදවන ජපානය, සිංගප්පුරුව හා නවසීලන්තය වැනි රටක මහ මගෙහි නලා නාදය ඇසෙන්නේ ඉඳහිටයි. මෙය ඉතා කුඩා දර්ශකයක් වුවත් අපේ රියදුරන්ගේ ආකල්ප හා හැසිරීමේ තිබෙන අඩුපාඩු එයින් පෙන්නුම් කැරෙනවා.

Decade of Action for Road Safetyමා දන්නා ඉතා අපරීක්‍ෂාකාරී හා අන්තරාදායක රියදුරන් අතර පොතේ උගතුන් හා වෘත්තිකයන් ද සිටිනවා. ඔවුන් සමහරුන් දියුණු රටවල රිය පදවන විට මුඵමනින් නීතිගරුක හා ආචාරශීලි වන නමුත් සිය රටේදී ඒ සංයමය කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මේ ඇයි?

මේ සමහරුන් අපේ රටේදී ආසන පටි පැළඳගෙන රියපදවන්නට කැමති නැහැ. (එය ඇඟට අපහසුවක් යයි සළකන නිසා). තවත් සමහරුන් රිය පදවමින් ජංගම දුරකථනය භාවිත කරන්නේ රථ වාහන පොලීසිය සමඟ හැංගිමුත්තන් කෙළිමින්….

මෙහි ආන්තික උදාහරණයක් නම් වෛද්‍යවරියක් වන මගේ මිතුරියක් දෙහැවිරිදි සිය දරුවා ද රථයේ නංවා ගෙන නිතිපතා හා සිත් සේ ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය පැදවීමයි. Hands-free උපාංගයක් පවා ඇය යොදා ගන්නේ නැහැ. ඇමතුමක් අතරමඟ පොලිස් නිලධාරියකු දුටුවොත් ඇය මඳකට කථාව නතර කරනවා. පොලිස් ඇසට පෙනෙන මානය පසු වූ විට නැවත දුරකථනය අතට ගන්නවා. තමා කිසි දිනෙක නීතියට හසු වී නැති බව ඇය ආඩම්බරයෙන් කියනවා.

අපේ බොහෝ රියදුරන් මේ තරම් නොඉවසිලිමත් ඇයි? බස් රියදුරන් දෛනික ආදායම් ඉලක්කයක් හඹා යන බව අප දන්නවා. එක ම මාර්ගයේ ධාවනය වන බස් රථ තරගයට අධිවේගීව ගමන් කරමින් සියඵදෙනාට අන්තරාවක් ඇති කරන සැටි අප දකිනවා.

එහෙත් ඉවසීමක් නැතිව රිය පදවන්නේ ඔවුන් පමණක් නොවේ. තදබදය පවතින නාගරික මාර්ගවල ලොකු කුඩා වාහන පදවන බොහෝ දෙනකුට නොසන්සිදුණු ආසාවක් තිබෙනවා. අන් හැමදෙනා ම පසුකර තමන් පමණක් කෙසේ හෝ ඉදිරියට යන්න. එහිදී මාර්ග නීති කඩ කිරීම හා ආචාරශීලි නොවී දැඩි ආක‍්‍රමණශීලි ලෙස රිය පැදවීම නිතර සිදුවනවා.

මේ ගැන මෙනෙහි කරන හෝ පර්යේෂණ කරන අය කියන්නේ නිසි ලෙස රියදුරු පුහුණුව නොලැබීම, අධ්‍යාපනයේ දුර්වලකම් හා නීතිය කි‍්‍රයාත්මක වීමේ අඩුපාඩු මීට දායක වන බවයි. එහෙත් මේ සාධක ඉක්මවා යන ආකල්පමය, සමාජයීය හා මානසික හේතූන් ද තිබෙන බව පෙනෙනවා.

කලා ක්‍ෂෙත‍්‍රයෙන් වෙළඳපොල සාර්ථකත්වය ලැබු මගේ මිතුරෙක් රිය පදවන්නේ හැකි සෑම විට ම මහපාරේ රේස් දිවීමේ අරමුණින්. පාරේ කිසිවකුට තමා පසු කර යාමට ඉඩ නොදෙන බවත්, තමා රිය පදවන්නේ ‘පිරිමිකමට සරිලන ලෙසින්’ බවටත් ඔහු උදම් අනනවා. කලාකරුවකු ලෙස මානව හිතවාදය, අවිහිංසාව හා අනුකම්පාව ගැන පෙනී සිටින මේ දෙබිඞ්ඩා, මහ පාරේ රිය පදවන විට ඒ උතුම් ගුණාංග කිසිවක් ප‍්‍රගුණ කරන්නේ නැහැ!

හීනමානය හා වෙනත් පෞරුෂත්ව දුර්වලකම් ඇති අය අතට අධිබලැති වාහන ලැබුණු විට සිදු වන දෙය අප දිනපතා මහමඟ දකිනවා. මේ මානසික තත්ත්වයන්ට හුදෙක් අධ්‍යාපනයෙන් හෝ නිතී මගින් හෝ පමණක් පිළියම් කළ හැකි ද?

මාර්ග අනතුරු ගැන රාජ්‍ය හා ජන අවධානය වැඩි කරන්නට මාර්ග ආරක්ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකයක් (2011-2020) WHO ප‍්‍රමුඛ කරගත් එක්සත් ජාතීන් විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. Decade of Action for Road Safety, 2011-2020.

මාර්ග අනතුරු මුළුමනින් නැති කරන්නට අමාරුයි. එහෙත් නිසි සැළසුම්, විනය හා නීති හරහා එය අවම කර ගත හැකියි.

සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

One thought on “සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!”

  1. This is an eye-opener for me as well. I used to speed up my bike but after reading this, I thought of being more careful.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: