සිවුමංසල කොලූගැටයා #52: කොලූගැටයා දෙවැනි වසරට පිවිසෙයි!

Nalaka G at a giant digital clock in Tokyo: Wandering everywhere with a sense of wonder...

This is the Sinhala text of my weekly column published in Ravaya newspaper for 5 February 2012. Here, I look back at one year of weekly columns and reflect on some reader feedback and their participation in my efforts to make sense of the world in turmoil that is all around me. I say ‘Thank You’ to the few writer friends and public intellectuals who have advised and guided me. I reaffirm my commitment to keep asking questions, connecting dots and following my own simple language style with none of the intellectual pretensions common in Sinhala newspaper writing.

‘සිවු මංසල කොලූ ගැටයා’කොලම ඇරඹුණේ 2011 පෙබරවාරි මුලදී. දෙවැනි වසරට පිවිසෙන මේ මොහොතේ මඳකට ආපසු හැරී බලන්නට කල්පනා කළා.

අවුරුද්දක් යනු මහ කාලයක් නොවෙයි. ඉන්දියාවේ කුෂ්වාන්ත් සිං වැනි ප‍්‍රවීණ ලේඛකයෝ දශක ගණනාවක් නොකඩවා සතිපතා කොලම් ලියමින් සිටිනවා. පුවත්පතක වෙනත් විශේෂාංගවලට වඩා කොලමක් (හෙවත් තීරු ලිපියක්) වෙනස් වන්නේ එම ලේඛකයාගේ දැක්ම හා පෞරුෂත්වය මතු කිරීමට අවකාශ ඇති නිසායි.

කොලමක් ලිවීමේ ආශාව කලක් තිස්සේ මගේ සිතේ තිබුණත් එයට අවස්ථාව ලැබුණේ රාවයෙන් ලැබුණු ඇරැයුමත් සමගයි. 1990 ගණන්වල ජපන් පාරිසරික සගරාවකට මා දෙවසරක් තිස්සේ මාසික කොලමක් ලිව්වා. එහෙත් ඉංග‍්‍රීසියෙන් මා ලියූ කොලම් ඔවුන් ජපන් බසින් පළ කළ නිසා පාඨකයන් සමග ඍජු සබඳතාවක් ගොඩ නගා ගත නොහැකි වුණා.

කොලමකට ලැබිය හැකි හොඳම දිරිගැන්වීම නම් එය නිතිපතා කියවන හා විටින් විට ප‍්‍රතිචාර දක්වන ලෙන්ගතු පාඨක පිරිසක් සිටීමයි. මගේ කොලම කියවන පාඨකයන්ගෙන් ඇතැම් දෙනෙක් මට ඊමේල් මගින් ප‍්‍රතිචාර දක්වනවා. තවත් සමහරුන් විවිධ විද්වත් සභාවල හා සමාජශීලී අවස්ථාවල මුණ ගැසී කථා කරනවා. මේ ප‍්‍රතිචාර මට ඉතා ප‍්‍රයෝජනවත්. එයින් සමහරක් මගේ කොලම් සඳහා නිමිති බවට ද පත් වුණා. එමෙන් ම මා නොදැන සිටි හා නොදුටු පැතිකඩ වෙතට මා යොමු කළා. මේ සියල්ලන්ට ම බොහොම ස්තුතියි!

පොදු උන්නතියට කැප වුණු විද්වතුන් හිඟ වූ අපේ රටේ සිටින එබඳු කිහිප දෙනෙකු මට තොරතුරු, උපදෙස් හා දිරි ගැන්වීම් ලබා දෙනවා. මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය ජානක රත්නසිරි, ආචාර්ය තිලක් සියඹලාපිටිය, වෛද්‍ය වින්යා ආරියරත්න, ආචාර්ය කාවන් රත්නතුංග හා මහාචාර්ය කපිල දහනායක ඔවුන් අතර සිටිනවා. නිල තනතුරු දරණ නිසා නමින් උපුටා දැක්විය නොහැකි එහෙත් තොරතුරු ලබා දීමෙන් උපකාර වූ විද්වතුන් ටික දෙනෙකු ද මේ වසර පුරා අනුග‍්‍රහය දැක් වූවා. මෙකී නොකී හැම දෙනාටමත් බොහොම ස්තුතියි.

මගේ භාෂා ශෛලියට ආභාෂය ලැබුවේ මුල් යුගයේ මට මහත් සේ අතහිත දුන් ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී හා ගත්කතුවර ගුණදාස ලියනගේ සූරීන්ගෙන්ග ඔහු අනුව යමින් මා උත්සාහ කරන්නේ හැකි තාක් සරලවල නිරවුල්ව හා ඍජුව ලියන්නයිග මගේ බස් වහරේ ව්‍යංගාර්ථ නැහැග ද්විත්ව ඍණ භාවිතයන් (‘නොකියා බැරි’ ආදී) හෝ සංකීර්ණ වචන හරඹයන් හෝ කරන්නට මා දන්නේ නැහැ.

මගේ ප‍්‍රවේශය උද්‍යොගශීලීයිග කුතුහලය මුල් කර ගෙන මා සොයා ගන්නා දේ මා විවෘතව ලියනවා. එහිදී මට හමු වුණු අය, මා අත් විදි දේ මෙන් ම මට කියවන්නට හෝ දකින්නට ලැබුණු රසවත් හා හරබර කරුණු එයට පාදක කර ගන්නවා.

උත්තම පුරුෂ ඒක වචනයෙන් ලියන්නට මා එදත් අදත් කැමතියි. අද නව මාධ්‍ය භාවිතයේ වඩාත් මතු ව එන්නේත් එසේ තමන් කේන්‍ද්‍ර කර ගත් හෘදයංගම සන්නිවේදනයයි. මට හිතෙන දේ හා මා කළ කී දේ ගැන ලියන විට කොහේවත් සිටින ‘ලියුම්කරුවකු’ පිටුපස සැගවීමට ඕනෑ නැහැ.

දශක දෙකකට වැඩි කාලයක් විද්‍යා ලේඛනයේ ආධුනිකත්වයක් මා ගත කළේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ සෙවනේයිග ඔහු නිතර ප‍්‍රගුණ කළ උපදෙසක් වූයේ ‘We write to express, not to impress’ යන්නයි. ඒ කියන්නෙ අප ලිවිය යුත්තේ අදහස් පළ කිරීමට මිස අපේ පණ්ඩිතකම පෙන්වීමට නොවෙයි. රටට පෙන්වීමට කිසිදු පණ්ඩිතකමක් හෝ පුම්බන්නට ප‍්‍රතිරූපයක් හෝ මට නැහැ. ඒ නිසා සැහැල්ලූවෙන්, උද්‍යොගයෙන් කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නටත්, නිරවුල් හා නිවැරදි තොරතුරු සොයා යන්නටත් මට ඉඩ තිබෙනවා.

පොතෙන් උගත් මගේ ඇතැම් මිතුරන්ගේ එක් ප‍්‍රතිචාරයක් වන්නේ මා ලියන දේ සරල වැඩි බවයි. හැමට තේරෙන මිත‍්‍රශීලී බසකින් ලිවීමෙන් මගේ ‘තත්ත්වය හෑල්ලූ විය හැකි’ බවත්, ඉඳහිට හෝ පණ්ඩිත වචන හා බරපතල සංකල්ප යොදා ගැනීම නුවණට හුරු බවත් එක් අයකු මට අවංකව ම අවවාද කළා.

අපොයි දෙයියනේ!

‘කොලූ ගැටයා’ හරහා මා නිතිපතා සිංහල ලේඛනයට ආපසු ආවේ විසි වසරක ස්වයං පිටුවහල්වීමකින් (self-exile) පසුවයි. ඒ කාලය පුරා මා විද්‍යා සන්නිවේදනයේ යෙදුණේ ඉංග‍්‍රීසි බසින්. අවභාවිතය නිසා මලකඩ බැදුණු මගේ සිංහලය නැවත පණ ගන්වන්නට සමකාලීන හා ජ්‍යෙෂ්ඨ විද්‍යා ලේඛක මිතුරන් කිහිප දෙනකු මහත් සේ උදවු කළා. එස් එම් බන්දුසීලල අසෝක ඩයස් හා චානුක වත්තේගම එදත් අදත් මගේ සුහද විචාරකයෝ. ඔවුන්ගෙන් උපදෙස් ගන්නා අතර මට ආවේණික බස හැසිරවීමක් මා කරනවා.

එහි ඇතැම් තැන් විවාදාත්මකයි. උදාහරණ හැටියට මා සිංහලෙන් යොදන්නේ රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන ඉංග‍්‍රීසි වචනමයි. ඉන්ටර්නෙට් ගැන මෙලෝ හසරක් නොදත් සිංහල පණ්ඩිතයකු අතින් නිම වුණු ‘අන්තර්ජාලය’ වැරදි යෙදුමක්. ඉන්ටර්නෙට් යනු ජාල රැසකින් සමන්විත සුපිරි ජාලයක් මිස ජාල අතර (අන්තර්) අවකාශයක් නොවෙයි!

රේඩියෝ හා ටෙලිවිෂන් වචන මා යොදන්නේ පොදුවේ එකී විද්යුත් මාධ්‍යයන් ගැන කථා කරන විට කිසිදු එක් මාධ්‍ය ආයතනයකට හෝ නාලිකාවකට පක්‍ෂග‍්‍රාහී නොවීමටයි. ‘ගුවන් විදුලිය’ හා ‘රූපවාහිනිය’ යන වචන ටොරින්ටනයේ ලැගුම් ගත් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකට අදාල වෙළඳනාම (brands) බවට පත් වී තිබෙන බව බොහෝ පාඨකයන්ගේ අවබෝධයයි. ඒ නිසා තව දුරටත් ඒවා එකී විද්යුත් මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර හැදින්වීමට යොදා ගැනීම නොමග යන සුළුයි.

මගේ ඇතැම් කොලම් හරහා යම් පුද්ගලයන්, ආයතන හෝ සංකල්ප හුවා දක්වන බවත්, ඒවා ගැන මා මහත් පැහැදීමෙන් කථා කරන බවත් ඇත්තයි. පිදිය යුත්තාට පිදීමේ වරදක් නැහැ. එහෙත් කිසිවක් හෝ කිසිවකු හෝ ගැන අන්ධ භක්තියක් ද මා තුළ නැහැ. ඇතැම් විටක හාස්‍යය හා උපහාසය කැටි කළත් කිසි විටෙක පුද්ගලයන්ට හෝ ආයතනවලට හෝ අපහාස කරන්නට මට ඕනකමක් නැහැ.

එහෙත් මා විටින් විට සියුම්ව එල්ල කරන ටිකිරි ටොකු පාරවල් ඇතැම් අධිපතිවාදීන්ට හා වැඩවසම්වාදී උගතුන්ට රිදවන බව සමහර ප‍්‍රතිචාරවලින් පෙනෙනවාග එවැනි අවස්ථාවල කියන්නට ඇත්තේ: තොප්පිය හරි යනවා නම් ඉතින් දා ගන්න!

‘කොලූ ගැටයා’ අවිහිංසක හා නිර්ව්‍යාජ ලෙස ප‍්‍රශ්න මතු කරන්නට කවදත් කැමතියි. එසේ අසන්නේ ගාම්භීර හෝ සංකීර්ණ බුද්ධිමය සංවාද නොතේරෙන නිසයි. 1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකයන්හි හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට තිබෙන අත්දැකීම්, රුචි අරුචිකම් මගේ මාතෘකාවලට හේතු පාදක වනවා. නව යොවුන් වියේ ටෙලිවිෂන් මුල්වරට දුටු අප, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වල ලංකාගමනය සිදු වන විට වයස විසි ගණන්වලට පිවිස සිටියා.

මේ නිසා අද පවතින තොරතුරු සමාජයට අප සංක‍්‍රමණිකයෝ. ඉංග‍්‍රීසියෙන් Digital Immigrants යැයි කියනවා. ඩිජිටල් අරුතින් ‘රට ගිය ඇත්තන්’ වන මා වැනි අයට ඇත්තේ දෙමුහුන් දැක්මක්. එහෙත් අපේ දරුවන්ට මේවා උපන්දා සිට ම හුරු පුරුදුයි. ඒ නිසා ඔවුන්ට Digital Natives යැයි කිව හැකියි. ඩිජිටල් ආගමනයට පෙර හා පසු ලක් සමාජය පිළිබඳව සංසන්දනාත්මකව දකින අතර, යටගිය දවස ගැන අධිතක්සේරුවක එල්බ නොසිටීමට මා උත්සාහ කරනවා.

ඉඳහිට මට ලැබෙන ප‍්‍රශ්නයක් වන්නේ මගේ මූලික මතවාද රාමුව කුමක්ද යන්නයි. එය මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ජාතිකවාදය, හේතුවාදය හෝ වෙනත් වාදයක් ද? ඇත්තට ම මට ප‍්‍රවර්ධනය කරන්නට මතවාදයක් නැහැ.

මට තනිව පිළිතුරු සොයා ගත නොහැකි තරමේ ප‍්‍රශ්න කන්දරාවක් ඇසීම කවදත් මගේ සිරිතයි. ඒවාට පිළිතුරු සොයා මා පර්යේෂකයන්, වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන්, කලාකරුවන් හා අන් අය සමග බොහෝ සේ කථාබහ කරනවා. ඔවුන්ගේ වියත් සභා සහ සමාජ අරගල අවස්ථාවන්ට නිරීක්‍ෂකයකු ලෙස සහභාගි වනවා. කිසිදු සමිතියක, සමාගමක, විද්වත් සමූහයක මා නිල සාමාජිකයකු නොවෙයි. ඔවුන් තර්කානුකූලව පොදු උන්නතියට දායක වන විට මා ඔවුන් සමගයි. එහෙත් ඔවුන් සංඛ්‍යා ලේඛන හා විද්‍යාත්මක විශ්ලේෂණ පසෙක තබා ආවේගශීලී වන විට මා අවස්ථානුරූපී ලෙස ඔවුන් විවේචනය කරනවා.

විද්‍යාව, තාක්‍ෂණය හා පරිසර සංරක්‍ෂණ ක්‍ෂෙත‍්‍රවල මගේ සහෘදයන්ට ඇතැම් විට දිරවා ගන්නට බැරි වන්නේත් මේ විචාරශීලී ගුණයයි. ඉංග‍්‍රීසියෙන් මා හදුන්වා ගන්නේ critical cheerleader කියායි. එය ‘විචාරශීලීව දිරි ගන්වන්නකු’ ලෙස සිංහලට පෙරැළිය හැකියි.

මාධ්‍ය හරහා අද අවශ්‍ය තරම් සිදු නොවන්නනේත් මේ ටිකයි. තමන්ගේ ගුරුවරුන්, ජ්‍යෙෂ්ඨයන්, වෘත්තීය දැවැන්තයන් නැතහොත් වෙනත් සමාජ නාමධාරීන් පදනම් සහිතව විවේචනය කළ නොහැකි ඇයි? එසේ නොකරන මාධ්‍ය කලාවක හා වෙළඳ ප‍්‍රචාරණයක ඇති වෙනස කුමක් ද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: