‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ පොතට එස්. එම්. බන්දුසීල ලියූ පෙරවදන

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ ‘සිවුමංසල  කොලූ ගැටයා’ දෙවැනි පොත ‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නමින් මේ සතියේ එළි දකියි. 2012-13 වකවානුවෙහි රාවය පුවත්පතට ඔහු ලියූ තීරු ලිපි අතරින් තෝරා ගත් 54ක් මේ පොතෙහි ඇතුළත් ය. මේ පොතට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ විද්‍යා පරිවර්තක හා හේතුවාදි කි‍්‍රයාකාරික එස්. එම්. බන්දුසීල මහතා ය.

පෙර වදන

තොරතුරු යුගය ලෙස හඳුන්වනු ලබන වර්තමානයේ  අප මුහුණදී ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ මේ දැවැන්ත තොරතුරු ප්‍රවාහය තුළ මිථ්‍යාව හා  මනඃකල්පිතයන්  අතරින් සත්‍යය  තෝරා බේරා ගැනීමයි. මිනිස් ඉතිහාසයේ  කිසිදාක දකින්නට නොතිබූ  විරූ ලෙස  අද දැනුම හා තොරතුරු  ජනනය වන නමුත්  ඒවායේ විවිධ සැඟවුණු අභිමතාර්ථයන්  ඇත්තාක් මෙන්ම  සමහර දැනුම් හා තොරතුරු  යටපත් කිරීමේ ප්‍රවණතාවක්ද ඇති බව අපි දනිමු. මෙහි ප්‍රතිඵලය වී  ඇත්තේ  පොදු ජනතාවට ලැබෙන්නේ  විවිධ මාධ්‍යයන්ට  අවශ්‍ය ආකාරයට හා විවිධ දෘෂ්ටි කෝණවලට ගැලපෙන ආකාරයට   විකෘති කරන ලද තොරතුරු වීමයි.

Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013දැනුම පදනම් වූ සමාජයක වැදගත්ම භාණ්ඩය වන්නේ තොරතුරු නමුත් ඒවා පක්ෂග්‍රාහි  හා  සාවද්‍ය වුවහොත් එය  මුලු මහත්  දැනුම් සමාජයේම පැවැත්මට තර්ජනයක් වනු නොඅනුමානයි. මේනිසා මාධ්‍ය හා මාධ්‍යවේදීන්ගේ  කාර්යභාරය වන්නේ  හැකි තරම් නිරවද්‍ය තොරතුරු  ජනතාවට  ලබා දීම වුවත්  අවාසනාවකට මෙන් අද බොහෝ දුරට සිදු නොවන්නේත්  එයයි.

මෙවැනි වාතාවරණයක් තුළ සංවේදනීය සිරස්තල වලින් ඔබ්බට යන  තොරතුරු අපට ලබාගත හැකි වන්නේ  විචාරශීලි හා විවේචනාත්මක ආකල්පයකින්  ඒවා විග්‍රහ කිරීමෙන් පමණි.  අද අප හමුවේ ඇති මේ අසීමිත තොරතුරු  ප්‍රවාහය  මැද  මාධ්‍යකරුවාගේ වගකීම වන්නේ බුද්ධිමය හා විශ්ලේෂණාත්මක ආකල්පයකින්  තොරතුරු  දෙස බැලීමට පාඨකයා හුරුපුරුදු කිරීමයි.

දැන් කලක සිට රාවය පුවත්පතේ පළවන  නාලක ගුණවර්ධනගේ   ‘සිවුමංසල  කොලූ ගැටයා’   නම් තීරු ලිපිය, විවිධ  විෂයයන් හා  මතවාද  පිළිබඳ  බුද්ධිමත් හා විශ්ලේෂණාත්මක  ගවේෂණයක් ලෙස හැඳින්විය හැකිය.  අලුත් ආකාරයකට  මෙන්ම විවේචනාත්මකව  කරුණු හැදෑරීමට  පාඨකයා  යොමු කරන මෙම ලිපි පෙළ පොතක් වශයෙන් එළි දැක්වීම ඉතා අගය  කළ යුතු කර්තව්‍යයකි.

නාලක මෙම තීරු ලිපි තුළින්  විද්‍යාව, පරිසරය, බල ශක්තිය,  සන්නිවේදනය, ඉතිහාසය මෙන්ම විවිධ සමාජීය ගැටලු ආදිය විමර්ශනයට ලක් කරමින්  ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල  අවධානයට යොමු නොවූ  අංශ දෙසට  පාඨකයා  ගෙන යයි. ඒ තුළින් පාඨකයා  විචාරශීලී ලෙස දැනුවත් වනවා පමණක්  නව මානයකින්  සිතීමටද පොළඹවයි. ඒ අනුව බලනවිට  මෙම ලිපි පෙළ, වත්මන් අවිචාරමත්  යුගයේ  සමාජයේ දැනුවත්බව වැඩි කිරීමෙහි  ලා  විශාල සේවයක්  ඉටු කරන බව නිසැකවම කිව හැකිය.

උදාහරණයක් වශයෙන් මෙහි ඇතුළත් කර ඇති  විකල්ප ඉතිහාස ලිපි ලෝකයේ අතීතය හා අනාගතය පිළිබඳව නවතම දෘෂ්ටි කෝණයකින් බැලීමට  අප පොළඹවයි.  ඩීසල් දුමාරයේ සිට  රසායනික පොහොර උගුල  දක්වා වූ විවිධ පරිසර ගැටලු පිළිබඳ ලිපි  පරිසරය ගැන උද්වේගකර ලෙස නොව මැදහත්ව සළකා බැලීමට අප යොමු කරවයි.  විද්‍යා සන්නිවේදනයේ සිට  ලෝක විනාශ මිථ්‍යාව දක්වා වු ලිපි ගණනාවක්  විද්‍යා සන්නිවේදනයේ අභියෝග පිළිබඳව අප දැනුවත් කරයි. කුමන විෂයයක් ගැන වුවත් මෙහි අඩංගු සෑම ලිපියක්ම  නව ආකල්පීය ප්‍රවේශයකින්ඉදිරිපත් කර තිබීම ගැන කතුවරයාට ප්‍රශංසා කළ යුතුය.

‘සිවුමංසල  කොලූ ගැටයා’  තීරු ලිපි පෙළ සඳහා  නාලක  යොදා ගන්නා  සරල  සුගම භාෂා ශෛලිය  ගැනද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඉතා ගැඹුරු විද්‍යාත්මක සංකල්ප පවා  කාටත් තේරුම් ගත හැකි සරල බසකින් ඉදිරිපත් කිරීමට කතුවරයා සතු සුවිශේෂී හැකියාව සන්නිවේදන කාර්යයන්හි නියැළෙන සියලු දෙනාටම ආදර්ශයක් විය යුතුය.

සිංහල පාඨකයාට නව බුද්ධිමය ප්‍රවාහයන් හඳුන්වාදෙමින්  නව ආරකට සිතීමට  මග පෙන්වන  මෙන්ම  සෑම ක්ෂේත්‍රයක් පුරා පැතිරී ඇති මිථ්‍යාවේ හා මුලාවේ තිමිර පටලයෙන්  අපේ සමාජය මුදවා ගැනීමට ඉවහල් වන මෙවැනි කෘතීන්  තව තවත් බිහි කිරීමට  නාලකට ධෛර්ය හා ශක්තිය  ලැබේවායි  මම ප්‍රාර්ථනා කරමි.

– එස්. එම්. බන්දුසීල

20.07.2013

Unknown's avatar

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

One thought on “‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ පොතට එස්. එම්. බන්දුසීල ලියූ පෙරවදන”

  1. ලඟ එන පොත් ප්‍රදර්ශණයේදි මෙය ලබා ගත හැකි වෙතැයි බලාපොරොත්තු වෙමි

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.