සිවුමංසල කොලූගැටයා #186: පරපුරකට කියැවීම පුරුදු කළ ලේඛකයා – ඞීමන් ආනන්ද

This week in my Ravaya column (in Sinhala), I pay tribute to Lankan writer Deeman Ananda (1933-2007), who wrote over 1,000 books of crime fiction, detective fiction and other thrillers in Sinhala from 1960s well into the 1980s.

Deeman’s books provided light entertainment and were highly popular among a whole generation of young readers, many of who took to reading thanks to these books. Yet the Deeman was ridiculed and demonized by the literary mainstream while many parents, teachers and schools outright ‘banned’ these books. This, in turn, made them even more popular – kids who read these books secretively later ‘graduated’ on to other literary genres.

Besides writing 1,009 is in a quarter century, Deeman Ananda also wrote screenplay for four Sinhala movies, and scripted the second comic book in Sinhala, named Thisa, published in the mid 1960s. Despite all these contributions, he died under-rated and under-appreciated. Yet he remains a well-loved icon on Lankan popular culture – and I salute him as one who went upstream against cultural orthodoxy.

Three Deeman Ananda book covers - from over 1,000 crime thrillers he wrote in Sinhala
Three Deeman Ananda book covers – from over 1,000 crime thrillers he wrote in Sinhala

ඞීමන් ආනන්ද!

මේ නම අද කාලේ තරුණ පාඨකයන්ට එතරම් හුරු නැති වුවත් 1960, 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු අප බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ දිගට හරහට ප‍්‍රබන්ධ කථා ලියූ ලේඛකයකු හැටියට. එහෙත් ඔහු තරම් තහංචි, ගැරහුම් හා කොන් කිරීම්වලට ලක් වූ තවත් සිංහල ලේඛකයකු ද නැති තරම්.

එකල බොහෝ තරුණ තරුණියන් ඔහුගේ මාරක කථා හා ත‍්‍රාසජනක කථා කියවූයේ හීන්සීරුවේ නැත්නම් හොර රහසේ. කිසි විටෙක අසභ්‍ය නොවූවත් වැඩිහිටි සමාජය විසින් ගර්හිත කොට “තහනම්” කර තිබූ මේ පොත්වලින් අපට සරල වින්දනයක් ලැබුණා. මෙරට ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අගයක් ලෙස වසර 25ක් පමණ පැවතියේ ආනන්ද අතින් ලියැවුණු 1000ට අධික පොත් සංඛ්‍යාවක්. එහෙත් ඔහුගේ භූමිකාව තවමත් නිසි ඇගැයීමකට ලක් වී නැහැ.

Deeman Ananda (1933-2007). Most prolific writer of Sinhala fiction in Sri Lanka during 20th century
Deeman Ananda (1933-2007). Most prolific writer of Sinhala fiction in Sri Lanka during 20th century

බෝපෙ කනත්තගේ ඞීමන් ආනන්ද උපන්නේ 1933 මාර්තු 30 වනදා මාතර බණ්ඩාරවත්තේදී. වටගෙදර බෞද්ධ මිශ‍්‍ර පාසලෙන් හා ඉන් පසු කොළොන්නාවේ ආනන්ද විද්‍යාලයේ ඔහු ඉගෙනුම ලැබුවා. සිංහල, ඉංග‍්‍රීසි භාෂාවලට අමතරව ඔහු පසු කලෙක ස්වෝත්සාහයෙන් දෙමළ හා හින්දි භාෂා ද ප‍්‍රගුණ කළා.

කුඩා වියේ සිටම ලිවීමට මහත් ඕනෑකමක් දැක්වූ ඔහු සිංහල ජාතිය හා සිළුමිණ පුවත්පත්වලට ලිපි හා කවි රචනා කළා. පසුව රිදීතිරය නමින් සිනමා පුවත්පතකට සම්බන්ධ වී වැඩ කළා.

ඞීමන් ආනන්ද ගැන කරුණු සොයා යන විට මහත් උපකාර වූයේ කලක් ඔහු දැන සිටි මගේ ද ගුරුතුමකු වන විද්‍යා දේශක අසංග අබේසුන්දරයි (මානව විද්‍යා ප‍්‍රකාශනයේ කතුවරයා හා ප‍්‍රකාශකයා).

අබේසුන්දරයන් ඞීමන් ආනන්ද මුල් වරට හමු වූයේ 1978 වසරේ දිනෙකයි. කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ උපාධි අපේක්‍ෂකයකු ලෙස ඔහු එවකට මානව බිත්ති පුවත්පතට ලිපියක් ලියන්නට ආනන්ද සොයා ගෙන වැල්ලම්පිටියට ගියා. මේ තරුණයා සමග මහත් උද්‍යොගයෙන් කථා බස් කළ ආනන්ද, කල් පවතින මිතුදමක් ඇති කර ගත්තා.

අබේසුන්දර ලියූ ලිපියට ඔහු දුන් හෙඩිම වූයේ ‘මා අත වරද නැත’ යන්නයි. ලේඛන කලාවට පිවිසි මුල් කාලයේ මහත් වෙර දරා ඞීමන් ආනන්ද ‘අපරාධය හා දඬුවම’ කෘතිය සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. එහි පිටපත රැගෙන ප‍්‍රකාශකයන් ගණනාවක් ළඟට ගියත් නමක් නොතිබුණු මේ නවක ලේඛකයාගේ කෘතිය ඔවුන් භාර ගත්තේ නැහැ. මෙයින් කම්පාවට පත් ආනන්ද එම පිටපතට ගිනි තබා පුළුස්සා දැමුවා.

ඉච්ඡාභංගත්වයෙන් සිටින ඔහුට මරදානේ පංචිකාවත්ත පාරේ තිබූ ලිංගම් පොත්හල හිමි එම්. එස්. ලිංගම් මුදලාලි ඔවදනක් දුන්නා. ‘‘සිගරට්, සුරුට්ටු වගේ (ඉක්මනට) විකිණෙන පොත් ලියන්න!’’

සරල වින්දනය ලබා දෙන අඩු මිළැති පොත් ලිවීම ආනන්ද ඇරඹුවේ ඒ අනුවයි. සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක පරිවර්තනය පළ කරවා ගත නොහැකි වුවත් ඔහු ලියූ මාරක කථා පාඨකයන් හමුවට ගෙන යන්නට නම් ප‍්‍රකාශකයන් උද්‍යොගයෙන් ඉදිරිපත් වුණා.

ආනන්ද මුලින්ම ලියූ මාරක කථා පොත ‘ගංතෙර හොල්මන’. පාළු තැනෙක සිට නොකියවන්න යැයි පොතේ දෙවැනි පිටුවේ අවවාදයක් ද මුද්‍රණය කළා. පිටු 112ක මේ සරල නවකථාව ඉක්මනින් පාඨක ජනාදරයට ලක්වුණා.

1960 දශකයෙන් පටන් ගත් මේ ව්‍යායාමය 1970 දශකය පුරාත් 1980 දශකයේ කොටසක් දක්වාත් ඔහු කර ගෙන ගියා. මේ කාලය තුළ ඔහු පොත් දහසකට වඩා ලියා තිබෙනවා. මෙය මෙරට ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ වාර්තාවක්.

මුල් කාලයේ රුපියලට දෙකට පිටපතක් මිළ කෙරුණු මේ පොත්, පොත්හලවලට අමතරව පදික වේදිකාවේ හා පත්තර ලෑලිවල ද අලෙවි වුණා. කොළඹ ආනන්ද විද්‍යාලයේ පාසල් සිසුවකු ලෙස මරදාන දුම්රියපොළ අසලින් මේ පොත් මිළට ගන්නවා අබේසුන්දරට තවමත් මතකයි. වැඩ නිමා වී නිවෙස් බලා යන බොහෝ දෙනා ඒ දිනවල මේ පොත් මිලට ගෙන ගමනේදීම කියැවූ බව ඔහු කියනවා.

‘‘රේස් කොලේ කියමින් සිටි වැඩ කරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි!’’ ඞීමන් ආනන්ද 1978 සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා. ‘‘අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා.’’

ආනන්ද අනුකාරක කෘති නිර්මාණය කළ බව සැබෑවක්. ඔහු හොලිවුඞ් ත‍්‍රාසජනක චිත‍්‍රපටවල පිටපත් ආභාෂයෙන් දේශීය ඌරුවට මාරක කථා රචනා කළා. බොලිවුඞ් හින්දි චිත‍්‍රපට ඇසුරු කරගෙන පේ‍්‍රම කථා ගණනාවක් ද ලිව්වා. මීට අමතරව බටහිර රටවල ජනප‍්‍රිය සංස්කෘතියේ චරිත වූ ඩ‍්‍රැකියුලා ආදිය දේශීය පාඨකයන්ට හඳුන්වා දුන්නා.

එහෙත් ඔහුගේ කෘතීන් කිහිපයක් හැරෙන්නට අනෙක් බහුතරය පරිවර්තන නොවෙයි. දේශීය චාරිත‍්‍ර, ස්ථාන හා සිදුවීම් හමුවන ප‍්‍රතිනිර්මාණ ලෙස හැඳින්විය හැකියි.

ඔහු රාත‍්‍රීයේ ඉංග‍්‍රීසි චිත‍්‍රපට නරඹා පසු දින ඒ ආශ‍්‍රයෙන් නවකථා ලියූ බවට නැගුණු චෝදනා ඔහු ප‍්‍රතික්‍ෂෙප කළා. බටහිර චිත‍්‍රපට ඇසුරෙන් ලියැවුණු නවකථා තිබෙන බවත්, තමන් කථා සාරයන් සඳහා ගුරු කොට ගත්තේ ඒවා බවත් ඔහු කීවා.

Sergeant Weerakoon: Cover of Deeman Ananda detection novel in Sinhala
Sergeant Weerakoon: Cover of Deeman Ananda detection novel in Sinhala

ඔහු තමාටම ආවේණික චරිත නිර්මාණය කළා. ඔහුගේ රහස් පරික්‍ෂකයා වූයේ ඩිකී වීරකෝන්. ඔහුගේ රහස් ඔත්තු නියෝජිත ජේම්ස් බණ්ඩා බැලූ බැල්මට ජාත්‍යන්තරව ප‍්‍රකට ජේම්ස් බොන්ඞ්ට සමාන වූවත් බණ්ඩා බටහිර (විශේෂයෙන් CIA) සැළසුම්වලට එරෙහිව කි‍්‍රයා කරමින් දේශීයත්වය මතු කරන්නෙක්. වාමාංශික නැඹුරුවක් තිබූ ආනන්ද 1960 දශකයේ ජන මනසේ ප‍්‍රකටව තිබූ CIA කුමන්ත‍්‍රණ තම කථාවලට ඈඳා ගන්නට ඇතැයි අබේසුන්දරයන් කියනවා.

මීට අමතරව ආනන්ද අද්භූත කථා රැසක් ද රචනා කළා. හොල්මන්, අවතාර, භූතයන් වටා ගෙතුණු මේ කථාවලින් සරල වින්දනයක් හා ත‍්‍රාසයක් ලබා දුන්නා මිසක (අද කාලේ ඇතැම් ඉරිදා පුවත්පත් මෙන්) කිසි විටෙක මේ කිසිවක් සත්‍ය යයි ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හෝ ජනතාවට ඒත්තු ගැන්වීමට හෝ ඔහු තැත් කළේ නැහැ.

ත‍්‍රාසජනක කථා පුවත් සොයමින් කොළඹ නගරයේ සැරිසැරූ ඞීමන් ආනන්ද බටහිර හා හින්දි චිත‍්‍රපටවලට අමතරව අලූත්කඬේ උසාවියේ නඩු අසනු බලා සිටීමෙන් ද ප‍්‍රබෝධක ආවේගයන් ලද බව කියැවෙනවා. කොල්වින් ආර් ද සිල්වා, ජී.ජී. පොන්නම්බලම් වැනි දක්‍ෂ අපරාධ නීතීඥයන් සම්බන්ධිත නඩුවලට ඔහු විශේෂ අවධානය යොමු කළා.

රහස්පරීක්‍ෂක කථා සාහිත්‍යයක් සිංහලෙන් නොතිබි යුගයක ඒ අඩුව යම් තරමකට හෝ ආනන්ද අතින් පිරවුණා. රහස්පරීක්‍ෂක කථා විශ්ව සාහිත්‍යයේ ප‍්‍රබල සාහිත්‍යාංගයක්. ඉංගී‍්‍රසී, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා හින්දි වැනි භාෂාවල එහි හොඳ සම්ප‍්‍රදායන් තිබෙනවා. මෙරට මුල් යුගයේ ලේඛකයන් වූ පියදාස සිරිසේන හා ඩබ්ලියු. ඒ. සිල්වා වැනි අය ද රහස් පරීක්‍ෂක කථා රචනා කළා.

ඒ අයට සම කළ නොහැකි වුවත් ජනප‍්‍රිය සංස්කෘතියට මේ සංකල්ප රැගෙන ආ ලේඛකයා ආනන්දයි. රහස් පරීක්‍ෂක කථාවලින් ජනමනස දුෂණය කරන බවට සුචරිතවාදීන් දුන් විලාප කිසිවකින් ඔහු සැලූණේ නැහැ. නීති තර්ක, සියුම් ගවේෂණ හා තීක්‍ෂණ බුද්ධිය ආදිය මත පදනම් වූ මේ කථා නිසා පාඨක මනස පුළුල් වන බව ඔහු විශ්වාස කළා.

ආනන්දගේ සරල ත‍්‍රාසජනක නවකථා බොහොමයක එකම බටහිර ශෛලියේ චිත‍්‍රවලින් පිටකවර නිර්මාණය කර තිබුණා. ඒ සියල්ල ඇන්දේ ගම්පහ ‘අබේසිංහ’ නම් ශිල්පියායි. මේ සුසංයෝගය ද පොත්වල ජනප‍්‍රියත්වයට ද දායක වුණා.

ඞීමන් ආනන්ද ශෛලියට සමාන මගක ගිය සමකාලීන ලේඛකයන් කිහිප දෙනකු සිටි බවත් ඒ පොත්පත් කියවමින් හැදුණු අබේසුන්දරට මතකයි. මෙසේ රහස් පරික්‍ෂක හෝ මාරක කථා ලියූ අය අතර වැලිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, නාරාහේන්පිට චන්‍ද්‍රසේන, චන්‍ද්‍රසේන ද සිල්වා සහ නිමල් සේනානායක යන නම් ඔහු සිහිපත් කරනවා.

‘‘කෙලෙයිමගල් නම් මුද්‍රණාලය සත 75 පොත් ජනප‍්‍රිය කළා. ඉදිරිපස හා පිටුපස කවරවලට වෙනස් ඡුායාරූප යොදා කවර දෙකක් ලෙස සකසා ඔවුන් නිකුත් කළ කුඩා පොත් සාක්කුවේ දමා ගෙන යා හැකි ප‍්‍රමාණයට තිබුණා’’ යයි ඔහු කියනවා.

තමන් ‘මාරක කථා චක‍්‍රවර්ති’ ලෙස මාධ්‍ය මගින් හඳුන්වනවාට ඔහු එතරම් කැමති වී නැහැ. ‘‘ඔය නාමය මම සළකන්නේ සමච්චලයක් කියලා. ඒවා කලාකරුවෝ දෙකේ කොළයට දමන කථා’’ ඔහු වරක් සාකච්ඡුාවකදී පැවසුවා.

එසේම ප‍්‍රබුද්ධ යයි හඳුන්වා ගත් සාහිත්‍යකරුවන් හා විචාරකයක් එල්ල කළ, අපහාස හා කොන් කිරීම් ඔහු තැකුවේ නැහැ. තමා පොත් ලියුවේ විචාරකයන්ට නොව සාමාන්‍ය ජනතාවට බවත්, ජන හද ගැස්මට තමා බෙහෙවින් සමීප වී අහිංසක වින්දනයක් ලබා දුන් බවත්, ආනන්ද විශ්වාස කළා.

ඞීමන් ආනන්දගේ සහ එවැනි වෙනත් ලේඛකයන්ගේ පොත් ගැන දෙමවුපියන්, ගුරුවරුන් හා සම්භාව්‍ය යයි සැළකෙන සාහිත්‍යයට සම්බන්ධ උදවිය බැලූවේ අවඥාවෙන්. බොහෝ පාසල්වල මේ පොත් ගෙන ඒම තහනම් කොට තිබුණා. සිසු සිසුවියන් ඒවා කියවූයේ සඟවා ගෙනයි.

ආනන්දගේ පොත්වල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිතර හමු වූ බව ඇත්තයි. එහෙත් ලිංගික වශයෙන් අසභ්‍ය කිසිවක් එහි තිබුණේ නැහැ. බටහිර ත‍්‍රාසජනක චිත‍්‍රපට කථාවල තිබූ කථා සාරය අඩුවක් නැතිව ඔහු පොත්වලට හසු කර ගත්තා.

මේ ගැන අබේසුන්දරගේ විග‍්‍රහය: ‘‘ඞීමන් ආනන්දගේ සරල කෘතීන් තුළින් පොත් කියැවීම ඇරැඹූ අප බොහෝ දෙනා පසුකාලීනව වඩාත්ම ගැඹුරු හා සම්භාව්‍ය පොත් වෙතට යොමු වුණා. ආරම්භයක් ලෙස එය වැදගත්. එසේම රටේ පහළම ජන ස්ථාරයන් තමයි ඔහු ස්පර්ශ කළේ. අද යොවුන් සාහිත්‍යය යම් තාක් දුරට මේ හිදැස පිරැවූවත් ඞීමන් ආනන්ද කෙනකු නොසිටීම අඩුවක්.’’

කොළඹ සරසවියේ සිංහල මහාචාර්ය සරත් විජේසූරිය මට මතක් කළේ කලක් ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්ගේ ලේඛනවලට ද ‘ජනප‍්‍රිය’ චෝදනාව එල්ලවූ බවයි. පාඨක මනස ඇද බැඳ තබා ගන්නට කථා ලිවීමේ හපනකු වූ සිල්වාගේ කෙටිකථා හා නවකථා ද සමහර විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක් වුණා.

ප‍්‍රකාශක දයාවංශ ජයකොඩිගේ මහතකයේ හැටියට ඞීමන් ආනන්ද පොත් තහනම 1960 දශකයේ ඔහු උගත් කොළඹ ආනන්ද විදුහලේ තදින්ම ක‍්‍රියාත්මක වුණා. එකල එහි ගුරුවරයකු වූ මගේ පියා ද මේ පොත් සිසුන් ළඟ තිබී හසු වී ‘රාජසන්තක’ කළ බව ජයකොඩි කියනවා.

ආනන්ද බෝඩිමේ රස කථා’ නමින් මෑතදී දයාවංශ ජයකොඩි විසින් ප‍්‍රකාශිත ආවර්ජනා පොතෙහි එක් පරිච්ෙඡ්දයක 1960 දශකයේ ආනන්ද විදුහලේ නේවාසිකාගාර සිසුන් උපක‍්‍රමශීලීව ඞීමන් ආනන්ද පොත් කෙසේ කියැවූ සැට පොතේ කතුවරයා දෙව්සිරි පී. හේවාවිදාන විස්තර කරනවා.

‘‘කුඩා ළමුන්ගේ මනස විනාශ කරන ඞීමන් ආනන්දගේ මාරක කථා පොත් තහනම් කළ යුතු යයි හිටපු විදුහල්පති මෙත්තානන්ද මහතාගේ බෞද්ධ බලවේගය ආනන්ද ශාලාවේ පැවති රැස්වීමකදී යෝජනාවක් ද සම්මත කර ගත් පසු මාරක කථා පොත් අලෙවිය තවත් වැඩි විය.’’

Dickie Weerakoon: Another of Deeman Ananda's 1,000+ crime novels in Sinhala
Dickie Weerakoon: Another of Deeman Ananda’s 1,000+ crime novels in Sinhala

වරක් නේවාසිකගාර පාලකයන් සමග හැංගිමුත්තන් කරමින් කියැවූ පොත් එකතුවක් සමග හසු වූ සිසුවකු දඬුවම් ලැබූ සැටි කතුවරයා කියනවා. මේ සිද්ධියෙන් පසු එකී සිසුවා ඞීමන් ආනන්දට ලියුමක් ලියා කීවේ ‘මාරක කථා සාහිත්‍යය ආනන්ද බෝඩිමේ ප‍්‍රචලිත කිරීමට තමා දරනා වටිනා උත්සාහය බෝඩිමේ ගුරුවරුන් විසින් කඩාකප්පල් කළ බවයි’. පොත් නැතිව ළමුන් නොකා නොබී දුකෙන් සිටින බවත් ලියුමේ සඳහන් වුණා.

සතියකට පසු මෙකී සිසුවා නමට තැපෑලෙන් විශාල පාර්සලයක් ලැබුණා. ඞීමන් ආනන්ද තමන් එතෙක් ලියූ පොත් 150ක පිටපතක් බැගින් තෑගි කර එවා තිබුණා.

කෙසේ හෝ පාලකයන් මෙය දැන ගන්නට පෙර පාර්සලයේ අන්තර්ගතය සඟවා ‘යටිබිම්ගත පරිශීලනයට’ යොදා ගත් සැටි කතුවරයා කියනවා.

පොත් දහසකට වඩා ලියූව ද එයින් බොහෝමයක පිටපත් තමා ළඟවත් නොතිබූ බව ඞීමන් ආනන්ද අබේසුන්දරට කියා තිබෙනවා. ‘‘හිතමිතුරන් හා සෙසු පාඨකයන් මගෙන් ඉල්ලූ විට විවිධ අවස්ථාවල මා ඔවුන්ට මගේ කර්තෘ එකතුවෙන් පිටපත් දුන්නා. එයින් බොහෝ දෙනා ඒවා ආපසු ගෙන ආවේ නැහැ.’’

මේ පොත් පළ කළ මුද්‍රණාල ඒවායේ පිටපත් රාජ්‍ය ලේඛනාගාරයට හරි හැටි යැවීමක් ද සිදු කර නැහැ. 2004 සුනාමියේදී ඞීමන් ආනන්ද පොත් එකතු ගණනාවක් විනාශ වූ බව පාඨකයන් ඔහුට ලියා දන්වා තිබෙනවා. මේ නිසා ඞීමන් ආනන්දගේ සම්පූර්ණ පොත් එකතුවක් කොතැනක කා සතුව තිබේදැයි සොයා ගැනීම ප‍්‍රශ්නයක්.

මුල් යුගයේ සිනමා සඟරාවකට සම්බන්ධ වූ ඞීමන් ආනන්ද පසු කලෙක සිංහල සිනමා කර්මාන්තයට ද දායක වුණා. ඒ තිර රචකයෙක් හැටියට. ‘මේ දෑස කුමකටද?’, ‘යළි ඉපිදේ’, ‘සූරයා සූරයාමයි’ හා ‘දාමරිකයෝ’ යන චිත‍්‍රපට ඔහු අතින් රචනා වුණා.

ඞීමන් ආනන්ද චිත‍්‍රකථා ක්‍ෂෙත‍්‍රයටත් දායක වූ බව අප‍්‍රකට කරුණක්. මෙරට එළි දුටු මුල්ම චිත‍්‍රකථා පොත වූයේ සුසිල් පේ‍්‍රමරත්න නිර්මාණය කළ ‘රන් දුපත’යි. එයින් පසු දෙවැනි පොත වූයේ ‘තිසා’ නම් චිත‍්‍රකථාවයි. 1960 දශකයේ පළ වූ එහි කථාව ඞීමන් ආනන්දගේ. චිත‍්‍ර දයා කරුණාරත්නගේ. මෙයින් පිටපත් 55,000ක් ඉක්මවා අලෙවි වූ බව ආනන්ද කියා තිබෙනවා.

ඞීමන් ආනන්ද මාරක කථා කියැවීම හරහා සාහිත්‍ය ලෝකයට පිවිස, පසුව එහි ලොකු හපන්කම් කළ සිංහල භාෂා මහාචාර්යවරයකු මේ සතියේ මා සමග කීවේ මෙයයි. ‘බොහෝ රටවල ජනප‍්‍රිය හා සම්භාව්‍ය සාහිත්‍යය සමාන්තරව පවතිනවා. අපේ අවාසනාව නම් ජනප‍්‍රිය සාහිත්‍යයට මෙරට හිස ඔසවන්නට ඉඩක් නොදීම.’

‘තිසා’ චිත‍්‍රකථාව Thisa - second chitrakatha (comic) book published in Sri Lanka in the 1960s, with story by Deeman Ananda
‘තිසා’ චිත‍්‍රකථාව Thisa – second chitrakatha (comic) book published in Sri Lanka in the 1960s, with story by Deeman Ananda

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

6 thoughts on “සිවුමංසල කොලූගැටයා #186: පරපුරකට කියැවීම පුරුදු කළ ලේඛකයා – ඞීමන් ආනන්ද”

  1. මාත් පොත් දෙක තුනක් කියවා තියෙනවා.

    ඉන් එකක් ජේම්ස් බොන්ඩ් ප්‍රවර්ගයේ එකක්. ඔස්කා නම් චරිතයකුත් හිටියා. කොළඹ වතුර ටැංකියකට වස දමන ප්ලොට් එකක් තිබුණා. මා ඟෙය කියවූයේ හතේ පන්තියේ දී.

    1. “කොළඹ වතුර ටැංකියකට වස දමන ප්ලොට් එකක් තිබුණා” මේ කතා පොත තාමත් මගේ ළඟ තියෙනවා. ජේම්ස් බණ්ඩා සහ බ්‍රිගේඩියර් එම් තමයි මට මතක විදියට අනිත් චරිත

    1. මාතලන්ගෙ කතාවට එකඟයි. මමත් චිත්‍රකතා, ඩීමන්ගෙ පොත් වගේ ඒවගෙන් කියැවීමෙ රසය අන්දුඅනගත්තු කෙනෙක්. මගෙ යාලුවෙක් ඉන්නව ඒ ලෙවලුත් කරාට පස්සෙ සුජීවයගෙ පොත් වලින් කියවන්න පටන් ගත්තු. සුජීවගෙ පොත් වලින් කියවන්න අරගෙන ඉන් එහාට ගිය අය සුජීව ගැන මෙහෙම ලියයි. එතනම හිටි අය!!

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.