සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

This week’s Ravaya column (in Sinhala) is about the rising exports of hazardous pesticides coming to the developing world from China.

Similar ground was covered in English in The Coming Pesticide Tsunami: Made in China?

Filipino rice farmer spraying pesticides
Filipino rice farmer spraying pesticides

1955දී තමන් නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය වසර දහයකට වැඩි කාලයක් ඝර්ම කලාපීය රටවල ගොවීන්ට ප‍්‍රවර්ධනය කිරීමෙන් පසු එය තමන් අතින් සිදුවු ‘ලොකු වරදක්’ යයි කීර්තිමත් ලාංකික ඉංජිනේරු රේ විජේවර්ධන ප‍්‍රසිද්ධියේ කියා සිටියා. හරිත විප්ලවය ආරම්භයේ පටන් එහි පෙරගමන්කරුවකු වූ ඔහු 1960 දශකය අවසන් වන විට එහි මූලික දැක්ම ප‍්‍රශ්න කළා.

ගොවිතැනේදී අධික ලෙස බාහිරින් ගෙනෙන පොහොර, කෘමිනාශක හා වල් නාශක ආදිය නිසා වගාබිමේ සමතුලිතතාව බිඳ වැටෙන බව ඔහු පසුව වටහා ගත්තා. කෙටි කාලීනව අධික අස්වනු ලැබිය හැකි වුවත් හරිත විප්ලව ක‍්‍රමවේදයන් නිසා වසර කිහිපයකින් වගාබිම් නිසරුවීම, පරිසර දුෂණය හා බරපතල සෞඛ්‍ය ගැටඵ මතු වන සැටි දැන් අප දන්නවා.

සියවස් ගණනාවක් තිස්සේ ආසියාව පුරා කුඹුරුවල ගොවීන් වී වගා කළේ කෘෂි රසායනවල පිහිටෙන් නොවෙයි. කුඹුරුවල ස්වාභාවික ව හමුවන කෘමීන්, මකුඵවන්, පක්ෂීන් හා වෙනත් සතුන් සමග පාරිසරික සමබරතාවක් පවත්වා ගන්නා සැටි ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා.

එහෙත් හරිත විප්ලවයේ රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වගාවට හානි කරන මෙන් ම වගාවට හිතකර සතුන් ද එක සේ විනාශ කළා. රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායන වතුරේ දිය වී ඇල දොල හා ගංගා හරහා සමස්ත පරිසරයට ම මිශ‍්‍ර වුණා. මේ විෂ රසායනික අපේ ආහාරවලට සෘජුව මෙන් ම වක‍්‍රවත් ඇතුඵ වුණා.

මෑත කාලයේ හරිත විප්ලවවාදියෝ සැළකිය යුතු සංඛ්‍යාවක් තමන්ගේ වැරදි පිළිගනිමින්, කල්ගත වී හෝ ඒවා නිවැරදි කරගන්නට තැත් කරනවා. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) කියන්නේ හරිත විප්ලවයේ විශාල කාර්යභාරයක් ඉටු කළ ලෝක ව්‍යාප්ත කෘෂි පර්යේෂණායතන ජාලයේ සාමාජිකයෙක්.

පසුගිය අඩ සියවස තුළ ආසියානු රටවල සහල් නිෂ්පාදනය වැඩි කිරීමට, සහලින් ආසියානු රටවල් ස්වයංපෝෂිත කිරීමට හා ආහාර හිගයන් වළක්වා ගන්නට විශාල පර්යේෂණාත්මක දායකත්වයක් IRRI ලබාදී තිබෙනවා. අධික ලෙස කෘෂි රසායන භාවිත කරමින් අධික අස්වනු හඹා යාම අහිතකර බව දැන් ඔවුන් පිළි ගන්නවා. මේ ගැන ප‍්‍රසිද්ධියේ කථා කරන ජ්‍යෙෂ්ඨ IRRI විද්‍යාඥයෙක් මෑතදී මට මුණ ගැසුණා.

Dr K L Heong of IRRI
Dr K L Heong of IRRI

ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක්. මැලේසියානු ජාතිකයකු වන ඔහු බි‍්‍රතාන්‍යයේ ඉම්ජීරියල් සරසවියෙන් ආචාර්ය උපාධියත්, ලන්ඩන් සරසවියෙන් DSc අධිඋපාධියත් ලැබූ, දශක ගණනක් පුරා ආසියාවේ වී වගාවේ කෘමීන් පිළිබඳ පර්යේෂණ කළ අයෙක්. සත්ත්ව විද්‍යාවට සීමා නොවී ගොවීන්ගේ ආකල්ප පිළිබඳ සමාජ විද්‍යාත්මක ගවේෂණ කරමින් කුඩා පරිමාණයේ වී ගොවීන්ට ඇති ප‍්‍රශ්න හා අවශ්‍යතා මැනවින් හදුනාගත් විද්වතෙක්.

ජෛව ලෝකයේ වැඩිපුර ම ජීවී විශේෂ හමු වන්නේ කෘමීන් වශයෙන්. ගම් නගර, වනාන්තර හා ගොවිබිම් යන සැම තැනෙක ම කෘමීන් සිටිනවා. මෙයින් බහුතරයක් කෘමීන් මිනිස් අපට හෝ බෝගවලට කිසිදු හානියක් කරන්නේ නැහැ. හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා වෙනත් කෘමීන්, මකුඵවන් හා අනෙකුත් ස්වාභාවික සතුරන් (විලෝපීයයන්) සිටිනවා.

මිනිසා යොදන කෘෂි රසායනික නිසා මේ සමතුලිතතාවය බිඳ වැවෙනවා. බොහෝ වගාබිම්වලට කෘමි නාශක අන්‍යවශ්‍ය පමණක් නොව ඒවායේ ප‍්‍රයෝජනයට වඩා හානිය වැඩි බව 1950 දශකයේ සිට ප‍්‍රබුද්ධ ජෛව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 1962දී අමෙරිකානු විද්‍යාඥ රේචල් කාසන් නිහඬ වසන්තය පොතෙන් දුන් මූලික පණිවුඩය වූයේත් එයයි (2013 ජනවරි 13 කොලම බලන්න).

ආචාර්ය හියොං කාසන්ගේ පණිවුඩය ප‍්‍රතිරාවය කරන වත්මන් පරපුරට අයත්. දියුණු රටවල කෘෂි රසායනික භාවිතය අඩු වන්නට පටන් ගෙන ඇතත් අපේ වැනි දියුණු වන රටවල ඒවා වැඩි වැඩියෙන් භාවිත වන බව ඔහු කියනවා.

කෘෂි රසායනික සුනාමියක් ළග එන බවත්, එහි බහුතර දායකත්වය ලැබෙන්නේ චීන සමාගම් වලින් බවත් ආචාර්ය හියොං අනතුරු අගවනවා. අපේ පරිසරවේදීන් මෙය නොදන්න හැඩයි.

කලක් තිස්සේ පාරිසරික හා සෞඛ්‍ය කි‍්‍රයාකරිකයන් චෝදනා කරන්නේ බටහිර රටවල භාවිතය තහනම් කළ අධික විෂ ඇති කෘෂිරසායනික, එම රටවල බහුජාතික සමාගම් විසින් දියුණුවන ලෝකයේ තවමත් අලෙවි කරන බවයි. මෙය ඓතිහාසිකව සත්‍ය වුවත් බටහිර රටවල පරිසරවේදීන්ගේ බලපෑම් නිසා එසේ කිරීමේ හැකියාව දැන් සීමා වී තිබෙනවා.

අද වන විට සංඛ්‍යා ලේඛන හරහා පැහැදිලි වන යථාර්ථය නම් අපේ රටවලට අධික විෂ සහිත කෘෂි රසායනික අලෙවි කරන්නේ ප‍්‍රධාන කොට ම චීන හා ඉන්දියානු සමාගම් විසින් බවයි.

”උතුරු – දකුණු විස රසායනික අලෙවිය(North-South dumping) ගැන අපි කලෙක සිට දැන සිටියා. එහෙත් දැන් වැඩිපුර සිදුවන්නේ දකුණු – දකුණු අලෙවියක් (South-South dumping). මේ ගැන අපේ රටවල කි‍්‍රයාකාරිකයන් එතරම් දැනුවත් වී නැහැ,” ආචාර්ය හියොං කියනවා.

skullපසුගිය දශකය තුළ ලෝකයේ විශාලතම කෘමිනාශක නිෂ්පාදකයා හා පිටරට යවන්නා බවට චීනය පත් වෙලා. චීනයේ රාජ්‍ය දත්ත පදනම් කොට ගෙන හියොං මෙය පෙන්වා දෙනවා.

”2000දී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් පමණ වූ චීනයේ කෘමිනාශක නිෂ්පාදනය 2009 වන විට ටොන් ලක්ෂ 20 ඉක්මවා ගියා. එහෙත් එරට තුළ කෘමිනාශක භාවිතය වැඩි වී ඇත්තේ ඉතා සුඵ වශයෙන්. ඒ කියන්නේ මේ අතිරික්කය ඔවුන් පිටරටවලට විකුණනවා.”

මේවා යන්නේ කොහේ ද?

දැඩි පාරිභෝගික හා සෞඛ්‍ය ආරක්‍ෂණ නීති නිසා දියුණු රටවලට යවන්නට බැහැ. එහෙත් එබදු නීති නොමැති හෝ නීති නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන හෝ ආසියානු හා අපි‍්‍රකානු රටවලට ඒවා අලෙවි කරන බව හියොං සාක්ෂි සහිතව පෙන්වා දෙනවා.

මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. සිය රට තුළ අධික විසැති රසායනික භාවිතය ටිකෙන් ටික සීමා කරන්නට 1983 සිට චීනය පියවර ගන්නවා. 2007දී ඕගැනෝ ෆොස්ෆරස් කාණ්ඩයේ කෘමිනාශක ගණනාවක දේශීය භාවිතය තහනම් කළා. එහෙත් මේ කර්මාන්තයේ නිරත චීන සමාගම් 2,000ක් පමණ තිබෙන අතර සිය රට භාවිතය තහනම් වූ කෘමිනාශක පවා තවදුරටත් නිපදවා පිටරට යැවීමට ඔවුන්ට අවකාශ තිබෙනවා.

කිසි රටක් විවෘත ලෝක වෙළඳපොලේ කුමක් අලෙවි කරනවා ද යන්න ගැන අපට සෘජුව බලපෑම් කළ නොහැකියි. එහෙත් අපේ රට තුළට ගෙන ඒමට ඉඩ දෙන්නේ මොනවා ද යන්න තීරණය, අධීක්‍ෂණය හා පාලනය කිරීමට අපට හැකි විය යුතුයි.

ජාතික මට්ටමේ කෘෂි වෙළඳ දත්ත එක්තැන් කරන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) සංඛ්‍යා ලේඛන වෙබ් අඩවියට අනුව 2010දී ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනා කෘමිනාශකවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 47 (රුපියල් බිලියන් 5.8 ක්). 2011දී ඒ අගය ඩොලර් 60.15 දක්වා ඉහළ ගියා (රුපියල් බිලියන් 7.5). මේ දෙවසරේ මෙරටට ගෙනා කෘමිනාශක පරිමාවන් එහි සඳහන් නැහැ. එහෙත් හුදෙක් මිළ වැඩි වීම නොව ගෙන ආ පරිමාව වැඩි වීමක් ද සිදුව ඇතැයි අපට අනුමාන කළ හැකියි. බිලියන් ගණන් ගෙවා මෙරටට මේ විෂ අධික ද්‍රව්‍ය ගෙන එන්නේ කොහි සිට ද? http://faostat.fao.org

චීන කෘමිනාශක සමාගම්වල දායකත්වය නිසා පරිමාවෙන් හා වටිනාකමින් වැඩි වන ලෝක කෘෂි රසායනික වෙළදාමෙන් බේරී සිටීමට අපේ රටවල අදාල නීති, රෙගුලාසි හා අධීක්‍ෂණය වහා ම සවිමත් කළ යුතු බවට හියොං අවධාරණය කරනවා. අපේ ආරක්‍ෂාව අප ම සළසා ගතයුතුයි.

”අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි,” හියොං කියනවා.

බොහෝ ගොවීන් තම වගා බිමේ කෘමි ප‍්‍රශ්න ගැන උපදෙස් පතා ගෙන යන්නේ තමන්ට ආසන්න ම කෘෂි රසායනික අලෙවි කරන්නා ළගට. එය ගමේ සිල්ලර කඩයක් විය හැකියි. මේ කුඩා කඩවල මුදලාලිලා තමන් ළග ඒ මොහොතේ තිබෙන හෝ තමන්ට වැඩි ම වෙළඳ වට්ටම ඇති රසායනිකය මුදලාලි ගොවියාට නිර්දේශ කරනවා. අවශ්‍ය මාත‍්‍රාවට වඩා ඉසීමෙන් ඉක්මන් හා හොඳ ප‍්‍රතිඵල ලැබේ යයි වැරදි පිළිගැනීමක් ද ගොවීන් අතර තිබෙනවා.

හියොං කියන්නේ අධික වස විස මෙසේ හිතුමතයට සිල්ලරට අලෙවි කිරීම සිදු වන තාක් කල් කෘෂි රසායනික අවභාවිතය පාලනය කළ නොහැකි බවයි. රටට ගෙන ඒමේදී කුමන කොන්දේසි මත එය කළත් ප‍්‍රායෝගික ව එය කි‍්‍රයාත්මක වන්නේ සිල්ලර වෙළෙන්දා හා ගොවියා අතර ගනුදෙනුවේදීයි.

බොහෝ රටවල කෘෂි රසායනික රටට ගෙන ඒම, බෙදා හැරීම හා අලෙවිය ගැන නීති හා රෙකුලාසි මාලාවක් තිබෙනවා. එහෙත් එය හරියට රජතුමාට හකුරු හැදුවා වගේ වැඩක්. ඉතා පිවිතුරු ලෙසින් හකුරු හදනවා යයි ප‍්‍රතිඥා දුන්නත් වැඬේට බැස්සාම එය කෙරුණේ වෙනස් විධියට. ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි!’ යන කියමන අප අතර තිබෙන්නේ මෙවැනි පරස්පරයන් විස්තර කරන්නටයි.

හැබැයි හකුරුවලට වඩා බෙහෙවින් විස සහිත කෘෂි රසායනික ගැන එබදු දෙබිඩි පිළිවෙතක් තව දුරටත් පවත්වා ගත නොහැකියි.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධ අලෙවිය උදාහරණයක් ලෙස ගනිමින් හියොං කියන්නේ වට්ටෝරු හරහා බෙහෙත් ගන්නට නම් ඒ සඳහා පුහුණුව හා අවසර ලැබූ ඖෂධවේදියකු සිටින ෆාමසියකට යා යුතු බවයි. සිල්ලර කඩවලට එබදු බෙහෙත් විකුණන්නට ඉඩක් නැහැ. ඖෂධවේදීන් සහතික කිරීම එම වෘත්තිකයන් හරහා ම සිදුවීම බොහෝ රටවල ක‍්‍රමවේදයයි. අවම වශයෙන් එබදු ස්වයං නියාමන ක‍්‍රමයකට වස විෂ විකිණීමත් ඉක්මනින් ම යොමු විය යුතු බව හියොං කියනවා.

”ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්” හියොං කියනවා.

රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය බොහෝ රටවල රාජ්‍ය කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ ප‍්‍රබල අංගයක්. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයත් එයයි. කෘෂි රසායනික රටට ගෙන්වීම ලියාපදිංචිය ලත් රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික සමාගම් විසින් ද කලක පටන් කරනු ලබන නීත්‍යානුකූල වෙළදාමක්. එහෙත් ඒවායේ සිල්ලර අලෙවිය නිසි ලෙස නියාමනය හා අධීක්‍ෂණය නොවන බවට වෛද්‍යවරුන් මෙන් ම පරිසර විද්‍යාඥයන් ද පෙන්වා දෙනවා.

මේ ගැන වඩා ප‍්‍රගතිශීලි ආසියානු රටවල් තිබේදැයි මා ඇසුවා. වියට්නාමය හා මැලේසියාව යම් තාක් දුරට කෘෂි රසායනික පාලනයට ප‍්‍රතිපත්තිමය පියවර ගෙන ඇතැයි ද මේ ගැන අත්දැකීම් කලාපීය වශයෙන් බෙදා ගැනීම ඉතා ප‍්‍රයෝජනවත් බව ද ඔහු කීවා. http://tiny.cc/Pestsu

Hazardous Pesticides freely used across Asia
Hazardous Pesticides freely used across Asia

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.