RTI Sri Lanka: රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?

Op-ed published in Vikalpa.org citizen journalism website on 18 February 2017.

BBC Sinhala 17 Feb 2017 - President Sirisena criticises 'certain NGOs' making info requests under Sri Lanka's new Right to Information (RTI) Law
BBC Sinhala 17 Feb 2017 – President Sirisena criticises ‘certain NGOs’ making info requests under Sri Lanka’s new Right to Information (RTI) Law

පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින්විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා කියනවා. හරියට own-goal වගේ.

තමන්ගේ හොඳ මැතිවරණ පොරොන්දුවක් වන තොරතුරු නීතිය, මැතිවරණයෙන් දෙවසරක් ගත වී අන්තිමේදී ක්‍රියාත්මක වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එයට ආඩපාලි කියා එහි අගය හෑල්ලු කරන්නේ ඇයි?

2017 පෙබරවාරි 17 අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ නිල උත්සවයේදී කථාවක් කරමින් ජනපතිවරයා තොරතුරු නීතිය යටතේ මුල්ම තොරතුරු ඉල්ලීමක් කළ පුරවැසි සංවිධානවලට දොස් කියා තිබෙනවා (මාධ්‍ය වාර්තාවලට අනුව).

තොරතුරු නීතිය ක්‍රියාත්මක වීම ඇරඹුනු 2017 පෙබරවාරි 3 වනදාම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශ හෙළිකරන ලෙස එම නීතිය යටතේ අදාල කාර්යාල දෙකට ඉල්ලීම් යොමු කළා. නීතියට අනුව එයට දින 14ක් තුළ ප්‍රතිචාර දැක්විය යුතුයි. දින 14 නිමා වන පෙබරවාරි 17 වනදා තමයි ජනපතිවරයා මෙසේ ප්‍රකාශයක් කරන්නේ.

BBC සිංහල වාර්තාවට අනුව ජනපති මෙසේ කියා තිබෙනවා: “ගැසට් එක පලකළ පෙබරවාරි 2 දිනය දාලම මටයි අගමැතිතුමාටයි, රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලනව වත්කම් ඉල්ලලා. මම හරි සතුටු වෙනවා ඒ ගැන. හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.” http://www.bbc.com/sinhala/sport-39005712

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනැම පුරවැසියකුට හෝ සංවිධානයකට ජනපති, අගමැති වත්කම් ප්‍රකාශ ඉල්ලිය හැකියි. තමන් එය ඉල්ලා සිටින්නේ ඇයිද යන්න හෝ එසේ ලබා ගන්නා තොරතුරු තම විෂය පථයට අයත්ද ආදී කිසිවක් දැක්විය යුතු නෑ.

මේ නිසා තමන්ම පොරොන්දු වී ලබා දුන් යහපාලන ප්‍රතිඥාවක් ක්‍රියාත්මක වන විට ජනපතිවරයා මෙවන් ප්‍රකාශයක් කිරීම ඉතා කණගාටුදායකයි. එයින් වක්‍රාකරව සිවිල් සමාජය දිගටම තොරතුරු ඉල්ලීම් කිරීම දුර්මුඛ කළ හැකියි.

දේශපාලකයන්ගේ වත්කම් බැරකම් තොරතුරු හෝ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රතික්ෂේප කළ හැකි යයි කියා ඇති සීමිත පරාසය හැර අන් ඕනෑම තොරතුරක් හෝ ඉල්ලා සිටීමට මෙරට පුරවැසියන්ට මූලික අයිතියක් ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙනවා. එය දේශපාලන නායකයන්ගේ ආඩපාලිවලින් අඩපණ වීමට ඉඩ නොදෙමු!

මේ රජය තොරතුරු අයිතිය නීතියෙන්ම ලබා දීම අප අගය කරනවා. එහෙත් එය නිසියාකාරව ක්‍රියාත්මක වීමට අවශ්‍ය වාතාවරණය බිහි කිරීමේ වගකීමද රජයේ දේශපාලන නායකයන්ගේ වගකීමක්.

 

Unknown's avatar

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.