සිවුමංසල කොලූගැටයා #226: ඉක්මන් ආහාරයේ දිගුකාලීන විපාක රැසක්

Instant noodles on sale in India

Instant noodles on sale in India

The recent controversy involving Maggi noodles in India is an eye opener for the entire region. The popular instant food, which has been sold for over three decades, was banned in early June by India’s food safety regulator after tests found excessive levels of lead.

Some samples also found Monosodium Glutamate (MSG), a flavor enhancer.

This episode brings into focus the need for tighter food safety regulations, as well as more responsible conduct by companies – both multinational and national – that produce and promote food products.

Eating is a personal and cultural activity where experts and regulators can go only so far. However, governments and corporations can do more to enable informed choices – by ensuring consumers have sufficient information through food labelling and are educated about health implications of diet.

To deal with growing concerns about processed food, South Asia needs greater consumer awareness, better regulation and product innovation.

Without this combination, the health of 1.5 billion people could be compromised by bad dietary habits.

This is the essence (no pun intended!) of my latest Ravaya column (in Sinhala, published on 5 July 2015). I covered similar ground in English in this essay:

SciDev.Net 30 June 2015: Processed food under scanner in South Asia

Indian public protests against Maggi noodles, found to have higher than safe levels  of lead and MSG

Indian public protests against Maggi noodles, found to have higher than safe levels of lead and MSG

කඩිමුඩියේ පිළියෙල කර ගත හැකි ආහාරයක් ලෙස ප‍්‍රකට මැගී නුඞ්ල්ස් මෑත සති කිහිපයේ ඉන්දියාවේ හා වෙනත් ආසියානු රටවල මහත් ආන්දෝලනයට ලක් වුණා. මේ වන විට ඉන්දියාව පුරා එය තහනම් කොට තිබෙනවා.

මොකක්ද මෙහි පසුබිම් කතාව? එක් ආහාර වෙළඳ නාමයකට හෝ වර්ගයකට හෝ සීමා නොවී මේ සිදුවීම් මාලාවෙන් ගත හැකි පොදු පාඩම් තිබේද? ඇත්තටම අප කන බොන බොහෝ ආහාර අපට දිගු කාලීනව කරන බලපෑම් ගැන අප ඇති තරම් දැනුවත් හා සංවේදී ද?

මැගී නූඞ්ල්ස් ඉන්දියාවේ අලෙවිය ඇරැඹුණේ 1983දී. සිනමා තරු යොදා ගත් දැවැන්ත අලෙවිකරණයක් හරහා එය ප‍්‍රවර්ධනය කෙරුණා. කෙටි කලෙකින් එය එරට සමාජ තරාතිරම් හැම එකකම භාවිත වන ඉක්මන් ආහාරයක් (convenience food) බවට පත් වුණා.

තවත් ක්ෂණික නූඞ්ල්ස් වර්ග කිහිපයක්ම තිබුණත් ඉන්දියාවේ වෙළඳපොළෙන් 80%කට වඩා හිමි කර ගෙන සිටියේ නෙස්ලේ නම් ජාත්‍යන්තර සමාගම නිපදවන මැගී නූඞ්ල්ස් වර්ගයි. මැගී ප‍්‍රභේද 9ක් එරට අලෙවි කෙරුණා.

මැගී නූඞ්ල්ස් තුළ ශරීරයට අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි රසායනාගාර පරීක්ෂණ ඇරඹුණේ මීට වසර එකහමාරකට පමණ පෙර. ක‍්‍රමානුකූලව කරන ලද මේ පරීක්ෂණවලින් තහවුරු වූයේ අනුමත උපරිම මට්ටම් බෙහෙවින් ඉක්මවා ගිය අන්දමේ ඊයම් ප‍්‍රමාණයක් එහි තිබෙන බවයි.

එසේම තම නිෂ්පාදනයේ මොනොසෝඩියම් ග්ලූටමේට් (MSG හෙවත් අජිනොමොටෝ) නම් රසකාරකය නැතැයි නිෂ්පාදක සමගම කීවත් සමහර සාම්පල්වල එය ද තිබූ බව සොයා ගැනුණා.

මේ අනුව පාරිභෝගික ආරක්ෂාව සඳහා මැගී නූඞ්ල්ස් අලෙවිය තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර ආරක්ෂාව හා ප‍්‍රමිතීන් පිළිබඳ අධිකාරිය (FSSAI) ජුනි මස මුලදී තීරණය කළා.

Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015

Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015

නෙස්ලේ සමාගම මේ තීරණයට එකඟ වූයේ නැහැ. ඉන්දියානු ආහාර ආරක්ෂණ නීතිරීති හා ප‍්‍රමිතීන් සියල්ලට තම සමාගම අනුකූල වී ඇති බවත්, එහෙත් නියාමන අධිකාරියේ තීරණයට අනුව මැගී නූඞ්ල්ස් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නා බවත් ඔවුන් ප‍්‍රකාශ කළා. ඒ අතර එම නියාමන තීරණය අධිකරණ මට්ටමින් ඔවුන් අභියෝග කොට තිබෙනවා.

ඉන්දියාවේ මේ සිදුවීම් ආසියාවේ අනෙකුත් රටවලටත් බලපෑමක් කළා. මාලදිවයින හා නේපාලය ඉක්මනින්ම මැගී නූඞ්ල්ස් රටට ගෙන ඒම හා රට තුළ අලෙවිය තාවකාලිකව තහනම් කළා. සිංගප්පූරුව ද ප‍්‍රවේශම්කාරී ප‍්‍රතිපත්තියක් අනුව අලෙවිය නැවත දැනුම් දෙනතුරු නතර කළා. මේ අතර බංගලාදේශය හා ශ‍්‍රී ලංකාව සිය රට තුළ අලෙවි කැරෙන මැගී නූඞ්ල්ස් සාම්පල් රසායනාගාර පරීකෂණවලට ලක් කළා.

ශ‍්‍රී ලංකා කාර්මික පර්යේෂණ ආයතනය (ITI), පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙරට වෙළඳපොළේ අලෙවි කැරෙන ක්ෂණික නූඞ්ල්ස් වර්ගවල ඊයම් මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බවයි. එනිසා එය භාවිතයෙන් අහිතකර සෞඛ්‍ය බලපෑමක් සිදු වීමට ඉඩක් නැතත්, මෙරට අලෙවි වන ආහාරපානවල තිබිය හැකි උපරිම ඊයම් (ක්ෂුද්‍ර) මට්ටම ගැන කිසිදු ප‍්‍රමිතියක් නීතිගත කර නැහැ.

මේ නිසා ITI පරීක්ෂණ ප‍්‍රතිඵල සංසන්දනය කර ඇත්තේ මැලේසියාව, සිංගප්පූරු හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල අදාළ ප‍්‍රමිතීන් සමගයි. ඒ අනුව ඊයම් ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් දශම තුනක් නොඉක්මවිය යුතුයි (0.3mg/kg).

මෑතදී සෞඛ්‍ය හා පාරිභෝගික ආරක්ෂණ බලධාරීන් තීරණය කර ඇත්තේ මෙරටට පිටරටින් ගෙන එන සියලූ ක්ෂණික නූඞ්ල්ස් අලෙවියට පෙර ඊයම්, කැඞ්මියම්, රසදිය හා අනෙකුත් බැර ලෝහ මට්ටම් සඳහා නීතිගත පරීක්ෂාවට ලක්විය යුතු බවයි. එසේම රජය විසින් සියළු ක්ෂණික නූඞ්ල්ස් වෙළද දැන්වීම් තාවකාලිකව නතර කොට තිබෙනවා.

මේ පරීක්ෂාවන්ට අමතරව MSG මෙරට අධික ලෙස භාවිත වීම ද නියාමන අධීක්ෂණයන්ට ලක් විය යුතුයි. MSG ආහාර රසකාරකයක් ලෙස බොහෝ අවන්හල්වල හා ආහාර විකුණන වෙළඳසැල්වල යොදා ගන්නවා. පාරිභෝගික ආරක්ෂාව ගැන දැඩි සැළකිල්ලක් දක්වන යුරෝපා රටවල් MSG භාවිතයට ඉඩදී ඇතත් එය නිරතුරු නිරීක්ෂණයට හා යම් ප‍්‍රමිතීන්ට යටත් වෙනවා. අපේ රටේ මෙතෙක් එවැනි සීමා නැහැ.

එසේම ක්ෂණික නූඞ්ල්ස්වලින් ඔබ්බට ගොස් නූතන ආහාරපාන රටාවන් දිගු කාලීනව සිදු කරන අහිතකර සෞඛ්‍ය බලපෑම් ගැන පුළුල් සමාජ සංවාදයක් කළ යුතුයි. මෙය එක් බහුජාතික සමාගමක ආහාර වර්ගයක් හෙළා දැකීමේ උද්ඝෝෂණයකට පමණක් සීමා නොවිය යුතුයි.

Fastfood offers a fast track to ill health!

Fastfood offers a fast track to ill health!

ආහාර ගැනීම පෞද්ගලික වූත්, සංස්කෘතික වූත් කාරියක්. තමන් කන බොන හැටි තම රුචි අරුචිකම් අනුව හා ආර්ථික මට්ටමට සරිලන පරිදි තීරණය කිරීමට පුද්ගල නිදහස තිබෙනවා.

එහෙත් ආහාර ගැනීමේ රටා නිසා කල්ගත වීමේදි දියවැඩියාව, හෘද රෝග හා ආඝාතය (stroke) වැනි රෝග බහුල වන විට ඒවාට ප‍්‍රතිකාර කිරීමේ බරෙන් වැඩි කොටසක් පැටවෙන්නේ මහජන මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවාවටයි. මේ නිසා හැකි තාක් ජනතාව දැනුවත් කොට, හිතකර ආහාර රටාවලට යොමු කිරීමේ ලොකු සමාජයීය අවශ්‍යතාවක් තිබෙනවා.

පෙර කිසිදා නොකළ තරමට දකුණු ආසියාතික ජනයා දැන් මේදය, සීනි, ලූණු, රසකාරක (flavour enhancers) හා ආහාර කල් තබා ගැනීමට යොදන විවිධ රසායන ද්‍රව්‍ය (preservatives) අඩංගු වූ කල් තබා පිළියෙල කරන ලද ආහාර (processed food) කෑමට ගන්නවා. මේ ආහාර රටාවල විපාක දැනටමත් පෙනෙනවා. ස්ථුලභාවය හා දියවැඩියාව තරුණ වියේ මෙන්ම ළමා වියේ සිටින අය අතර ද හමු වනවා.

මේ ප‍්‍රවණතාවලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ආවේගශීලීව නූතන ආහාර රටා හෙළා දැකීමෙන් නොව විද්‍යාත්මක කරුණු එක් රැස් කොට, විශ්ලේෂණය හරහා ප‍්‍රතිවිපාක සමාජයට පෙන්වා දීමෙන්.

ඉන්දියාවේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල ජනප‍්‍රිය වී ඇති කඩිනම් ආහාර (fastfood) වර්ග ගණනාවක් 2012දී විද්‍යාව හා පරිසරය පිළිබඳ කේන්ද්‍රය නම් ස්වාධීන පර්යේෂණායතනය (Centre for Science and Environment, CSE) විසින් සිය රසායනාගාරයේ පරීක්ෂාවට ලක් කැරුණා. ෆ්‍රෙන්ට් ෆ‍්‍රයිස් හා පොටැටෝ චිප්ස් නම් අර්තාපල් පදනම් කර ගත් ආහාරත්, හැම්බර්ගර් හා පීට්සා විශේෂත්, ක්ෂණික නූඞ්ල්ස් වර්ගත් ඔවුන් විමර්ශනය කළා.

ඔවුන් සාක්ෂි සහිතව සොයා ගත්තේ ඒ සියල්ලේම ට‍්‍රාන්ස් ෆැට්ස් (trans fats, or trans-unsaturated fatty acids) නම් අහිතකර මේදයත්, ලූණුත් හිතකර මට්ටම්වලට වඩා බෙහෙවින් ඇති බවයි.

ආහාර අරභයා හිතකර මට්ටම් (safe limits) කියන්නේ කුමක්ද? යම් සුළු මාත‍්‍රාවලින් ආහාරයේ ඇති සංඝටක ජීර්ණය කොට එක්කෝ බැහැර කිරීමට නැතිනම් අවශෝෂණයට ශරීරයට හැකියි. එහෙත් සීමා ඉක්ම වූ විට එම හැකියාව බිඳ වැටෙනවා. එසේම අහිතකර මට්ටම්වලින් නිතර එම සංඝටක ශරීරගත වන විට දිගු කාලීන නිදන්ගත රෝගවලට තුඩු දෙනවා.

fast_food_kills

සිය සොයා ගැනීම් ගැන CSE ආයතනයේ කර්මාන්ත හා පරිසරය ගැන ප‍්‍රධානී චන්ද්‍ර භූෂන් කිවේ, ‘‘මේ අහිතකර ආහාර බොහොමයක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන ආහාර සමාගම් විසින් නිෂ්පාදිතයි. ඒ වෙළඳනාම ලෝක ප‍්‍රසිද්ධයි. මේ සමාගම් ඇමරිකාවේ මෙම නිෂ්පාදනම අලෙවි කරන විට අන්තර්ගතය ගැන නිවැරදිව හා විස්තරාත්මකව ලේබල්වල තොරතුරු සඳහන් කරනවා. එහෙත් ආහාර ලේබල් කිරීම ගැන ලිහිල් නීතිරීති ඇති අපේ වැනි රටවල ඔවුන් එය යන්තමින් කරනවා. මේවාට එරෙහිව නඩු පැවරුවොත් ඔවුන් උසාවියේදී කියන්නේ රටේ නීතියට අනුකූලව ක‍්‍රියාකරන බවයි.’’

මේ අනුව අහිතකර ආහාරවලින් පාරිභෝගිකයා රැක ගන්නට මුල් පියවර ගත යුත්තේ අපේ රටවල නීති හා රෙගුලාසි වඩාත් තද කිරීමෙන් හා ඒවා හරිහැටි ක‍්‍රියාත්මක කිරීමෙන්.

මේ ගැන CSE ඉන්දියානු බලධාරීන්ට කර ඇති නිර්දේශ එලෙසින්ම අපටත් අදාළ කර ගත හැකියි.

  • සියලූ ක්ෂණික හා කඩිනම් ආහාර වර්ග පාසල් කැන්ටින් මෙන්ම ළමයින් ගැවසෙන වෙනත් ස්ථානවල අලෙවිය තහනම් කරන්න.
  • සෞඛ්‍යයට දිගු කාලීනව අහිතකර බවට වෛද්‍යවරුන් තහවුරු කළ සියලූ ආහාර මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීමේදී දැඩි සීමාවලට යටත් කරන්න.
  • ආහාරපාන අලෙවියට සකසන විට විස්තරාත්මක තොරතුරු පැකට්ටු හෝ ලේබල්වල අඩංගු කිරීම අනිවාර්ය කරන්න. විශේෂයෙන් සංතෘප්ත මේද, ට‍්‍රාන්ස් ෆැට්ස්, සීනි හා ලූණු අන්තර්ගතය මෙන්ම පෝෂණ සංඝටක ගැන ද විස්තර සඳහන් විය යුතුයි.
  • අවන්හල්, සුපර් මාකට් හෝ සාමාන්‍ය කඩ හරහා විකුණන ක්ෂණික හා ඉක්මන් ආහාර සියල්ලේ ලූණු, සීනි හා මේද ප‍්‍රතිශතය අඩු කිරීම නීතිගත කරන්න.
  • ඩෙන්මාර්කය හා හංගරිය වැනි රටවල් දැනටමත් කර ඇති පරිදි මේද අධික ලෙස අඩංගු ආහාරවලට මේද බද්දක් (fat tax) අය කිරීම හරහා ඒවායේ මිල වැඩිවීමට සලස්වන්න.

ගෙවී යන හැම වසරකම අනිසි ආහාර රටා නිසා නිදන්ගත රෝග සෑදීම වැඩිවන බව පෙර අපර දෙදිගම කැරෙන වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වෙනවා. අප මෙහිදී කතා කරන්නේ ආහාරවලට මුසුව එන වසවිස ශරීරගත වීමෙන් ඇතිවන දිගු කාලීන හානි ගැන නොවෙයි. ඒ බලපෑම්වලට අමතරව ජන සමාජය වසවිස ලෙසින් නොදකින සීනි, ලූණු හා මේද විශේෂයන් ද අධික භාවිතයෙන් දිගුකාලීන බරපතළ රෝග ඇතිවීම ගැනයි. මේ දෙකම මීට වඩා සමාජ අවධානයට හා ප‍්‍රතිපත්ති තීරක අවධානයට ලක් විය යුතුයි.

මෙහිදී වෛද්‍යවරුන් නොවන සෙසු විද්‍යාඥයන්ට ද කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාවට කැප වුණු රාජ්‍ය හා සිවිල් සමාජ ආයතන සමග එක්වී වෙළෙඳපොලේ අලෙවි කැරෙන සංරක්ෂිත ආහාර හා ඉක්මන් ආහාරවල අන්තර්ගතය නිතිපතා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතුයි. බැර ලෝහ ඇතුළු විවිධ රසායන ද්‍රව්‍ය ආහාරවල තිබිය හැකි උපරිම ආරක්ෂිත මට්ටම් දේශීය වශයෙන් ප‍්‍රමිතිගත කළ යුතුයි. (බොහෝ ආහාරපාන රසායන ද්‍රව්‍ය සඳහා එබඳු උපරිම මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණය කර තිබෙනවා.)

ආන්දෝලනයට තුඩු දෙන කිරිපිටි විස වීමක් හෝ ආහාර ආරක්ෂාව පිළිබඳ වෙනත් ප‍්‍රශ්නයක් මතු වූ අවස්ථාවල මේවා හරිහැටි පිිරික්සන්නට මෙරට රසායනාගාර පහසුකම් නැතැයි කියවෙනවා. පිටරට යවා පිරික්සූ විට එම ක‍්‍රියාදාමයේ විශ්වසනීයත්වය සමහරුන් ප‍්‍රශ්න කරනවා.

හැමදාමත් මේ නැති බැරිකම් කියමින් සිටිනු වෙනුවට අඩු තරමින් එක් අංග සම්පූර්ණ රසායනාගාරයක් මෙරට පිහිටුවා එය පවත්වා ගෙන යන්නට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කළ යුතුයි. රටක් දියුණු වනවා කියන්නේ අධිවේගී මාර්ග හා වෙනත් කොන්ක‍්‍රීට් යටිතල පහසුකම් සැදීම පමණක් නොවෙයි. මෙවැනි පහසුකම් ද අප සාදා ගත යුතුයි.

එසේම අද කාලේ බොහෝ දෙනාට ඉක්මනින් ආහාර පිළියෙල කර ගැනීමට වුවමනාවීම සමාජ යථාර්ථයක් ලෙස පිළි ගෙන එයට උපකාර වන එහෙත් සිරුරට අහිතකර නොවන ආහාර විශේෂ නවෝත්පාදනය කර ප‍්‍රවර්ධනය කළ යුතුයි.

පෝෂණ ගුණය නොනසා, රසකාරක හා සංරක්ෂක රසායන නොයොදා යම් ආහාර සැකසුම් බිහි කරන්නටත්, ඒවා වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් පිළියෙල කරන්නටත් හැකි වූවොත් එබන්දකට හොඳ වෙළඳපොළ විභවයක් තිබෙනු ඇති. අපේ නව නිපැයුම්කරුවන්ට මේ අභියෝගයට ප‍්‍රතිචාර දැක්විය හැකිද?

Maggi and other instant noodles offer convenient, affordable meals

Maggi and other instant noodles offer convenient, affordable meals

ඉන්දියානු කළමනාකරණ ආයතනය නම් ප‍්‍රකට සරසවියේ ව්‍යාපාරික ක‍්‍රමෝපායන් පිළිබඳ මහාචාර්ය එස්. රඝුනාත් කියන්නේ මැගී ඇතුළු ක්ෂණික නූඞ්ල්ස් වර්ග ඉන්දියාවේ දුගී ජන කොටස් අතර මහත් සේ ජනප‍්‍රියවීමට (ප‍්‍රචාරණයට අමතරව) සමාජ-ආර්ථික සාධක ද තිබූ බවයි.

සාම්ප‍්‍රදායික ආහාර වේලක් (බත් සහ ව්‍යංජන හෝ රොටි වර්ග) පිළියෙල කිරීමට වැඩි කාලයක් මෙන්ම වියදමක්ද අවශ්‍යයි. උසස් අධ්‍යාපනයට හෝ රැකියා කිරීමට හෝ වඩ වඩාත් ඉන්දියානුවක් යොමු වීම සමග කාලය සොයා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ඔවුන්ගේ උදව්වට ආවේ ඉක්මනින් ගෙදරදී සාදා ගත හැකි මැගී වැනි ක්ෂණික ආහාරයි. බත් වේලක වියදමෙන් තුනෙන් එකක් වීම අමතර වාසියක් වුණා.

නූතන කලබලකාරී සමාජයේ බොහෝ දෙනකු කාලය පිරිමසන උපක‍්‍රම සෙවීම සුලබ දෙයක්. එයට හේතුව අලස බව නොව ඉතිරි කර ගන්නා කාලයෙන් අමතර යමක් ඉගෙනීමට හෝ ආදායමක් ඉපැයීමට හැකි වීමයි. මේ නිසා ගුණදායක හා පෝෂ්‍යදායක ආහාර ප‍්‍රවර්ධනය කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. එවන් ආහාර දරා ගත හැකි (අඩු) මිලකට ගත හැකි වීමත්, ලෙහෙසියෙන් පිළියෙල කර ගත හැකි වීමත් ඉතා වැදගත්.

Advertisements

7 Responses to “සිවුමංසල කොලූගැටයා #226: ඉක්මන් ආහාරයේ දිගුකාලීන විපාක රැසක්”

  1. කුරුටු ගෑ ගී පවුර Says:

    රජයක් විදිහට මේ දිහා බැලිය යුතුයි…. අපි රටක් විදිහට මේවා ගැන විමසා බැලිය යුතුයි… නැත්තං රටේ ජනතාව මේවාට පුරුදු වෙලා ලෙඩ වෙනවා විතරක් නෙමෙයි ඒකට වියදම් කරන්නට වෙන්නෙත් ජනතාවගේ ම මුදල්…… අපි කලින් මේවා තේරුම් අරන් හදාගත්තොත් තමා වටින්නේ… ඉන්දියාවේ තත්වය අපිට හිතන්න දෙයක් දීලා තියෙනවා… හැබැයි හිත හිත හිටියට මදි….

  2. බස්සි Says:

    වටිනා ලිපියක්. අවබෝධයෙන් යුතුව අත්හැරීම තමයි වැදගත්. ගොඩක් අය ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වෙන්නේ කාර්යබහුල වීම නිසා. ඒ වෙනුවට පහසුවෙන් සකසාගත හැකි විකල්ප ආහාර හඳුන්වා දෙන්න පුලුවනි නම් කොයිතරම් වටිනවද?

    මට එදිනෙදා මුණගැහෙන සමාජ ස්තරය මේ ගැන දරන්නේ අමුතුම අදහසක්. ක්ෂණික ආහාර අහිතකර බව ඔවුන්/ අපි දන්නවා. හැබැයි තියෙන ගැටලුව තමයි ස්වාභාවික ආහාර කියලා අපි පාවිච්චි කරන එලවලු, පලතුරු වලට යොදන කෘමිනාශක සහ වල්නාශක මාත්‍රාවන් වුනත් කිසිම ප්‍රමිතියකට යටත් නොවීම. ඉතින් අපි නගරයේ වෙලඳසැලකින් සැලඩ් එකක් කන්න ගියත්, ‘මේවට දාන පලතුරු මොනවද දන්නෙ නෑ!’ කියමින් සැකසූ ආහාර දිහාවටමයි යොමුවෙන්නේ.

    ඒකට හොඳම උදාහරණයක් තමයි, මගේ මිතුරෙක්ගේ නෑදෑයෝ ඉන්නවා බදුල්ලේ, බෝංචි වගාකරුවෝ. ඔවුන් වවන බෝංචි ඔවුන් ආහාරයට ගන්නෙ නෑ. හේතුව තමයි; “ආපෝ මෙව්වට ගහන බේත් කන්දරාවට කෑවොත් මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නෑ!”

    ගෙවතු වගාවට යොමුවීමයි ඉතිරි වෙලා තියෙන එකම විකල්පය. ඒත්, කෝ ඉඩකඩ?

    ඒ වගේම අපි ආහාරයට ගන්න තුනපහ වර්ග සැකසීමේදිත් බොහෝවිට කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අධිමාත්‍රා වලින් යොදනවා නේද?

    මේ ආහාර සම්බන්ධ ගැටලුවට තිරසාර විසඳුමක් ලැබෙන්නේ කවදාද කියල හිතාගන්න අමාරුයි.

    (අපි මේකට යොදාගත්තු ‘ගොඩ වෙදකම’ තමයි, ගමේ ගිහින් එනකොට කොරටුවේ එලවලුත් ගෙදර හාලුත් පටවාගෙන එන එක. පෝච්චි වල පලා, මිරිස් ආදිය වවා ගන්න එක. තුනපහ ලැබෙන්නෙත් ගෙදරින්. ඒත් ඒ කොයිතරම් කාලයකටද?)

  3. ගස්ලබ්බා Says:

    ඔබ හරි.නියමිත තත්ව පරීක්ශන කළ හැකි පරීක්ශනාගාරයක් සහ දෑ හිතකාමී විද්‍යාඤයින් අවශ්‍යයි.නැත්නම් ආසනික් ගැටලුවට වූවා සේ දෙවියන් ගෙන් විසඳුම් ඉල්ලමින් බකං නිලාගෙන ඉන්න සිදුවේවි.ඒ අතරේ සැබෑ වෙනසකට අහිතකර තෙල් පොහොර කන්ටේනර් ගණන් අපේ පොළෝතලයට එක් වේවි..

  4. mppgunasinghe Says:

    අන්තර්ජාලය පරිහරණය නොකරන පොදු ජනතාව අතරද මේ වටිනා තොරතුරු සාකච්ඡාවට ලක් කරවීමට හැකිනම් එය වටිනා මෙහෙවරක් වේවි.

  5. virtualpathum Says:

    මගේ නම් අදහස බලධාරීන් කරන තුරු නොසිට අපි අපිම මේ වෙනුවෙන් සැලකිලිමත් වෙලා වැඩ කරගන්න ඕනේ කියන එක.

    උදාහරණයක් විදියට අප දෙදෙනා සති අන්ත වල එලියට යනවිට කුඩා බැක් පැක් එකක වතුර බෝතලයක් හෝ දෙකක්, දොඩම් යුෂ බෝතලයක් (නිවසේදී සදා ගත්) කුඩා චොකලට් හෝ බිස්කට් වර්ගයක් අරන් යනවා.

    මේ විදියට එලියට බැස්සහම ගොඩක් වෙලාවට ඔය ක්ෂණික කෑම කන්න හිතෙන වෙලාවට අපි ළඟ තියෙන පොඩි දෙයක් කාල ඉන්න පුළුවන්. දවල්/රෑ කෑමටත් බොහෝ වෙලාවට කඩේ තියෙන මෙනු එක බලල හොඳයි කියල හිතෙන දේවල් තියෙන කඩ වලින් කනවා.

    මාසෙකට විතර සැරයක් ඔය ක්ෂණික කෑමත් කනවා. ඒ කනකොටත් එයාල දෙන Combo (මෙහෙ නම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්/පැණි බීම/සහ අදාල බර්ගර් එක) එක වෙනුවට A le carte( බර්ගර් එක විතරක්) අරන් ඒ වෙනුවට උණුසුම් තේ එකක් ගන්නවා. නැත්නම් අපි ළඟ තියෙන දොඩම් යුෂ හෝ වෙනත් දෙයක් බොනවා. එහෙම කරන කොට එකක් අපේ මුදල් ඉතිරි වෙනවා අනිත් එක අනවශ්‍ය කෑම කන එක අඩු කරගන්න පුළුවන්.

    අනිත් එක තමයි ටිකක් ගණන් වුනත් කාබනික ආහාර තියෙන කඩ වලින් කන එක. ඒවාට යන වියදම ගැන වැඩියි කියල හිතෙන වෙලාවට පස්සේ කාලෙක බෙහෙත් වලට යන වියදම සහ ලෙඩ රෝග ගැන හිතල බලන එක.

  6. Nandasiri Wanninayaka Says:

    එත් අරුණි ශපිරෝ දරන්නේ වෙනත් අදහසක්. https://arunishapiro.wordpress.com/2015/07/06/%E0%B7%80%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%B8%E0%B7%90%E0%B6%9C%E0%B7%93-%E0%B6%B1%E0%B7%96%E0%B6%A9%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A/ මීට පෙර ඇන්කර් කිරිපිටි වල DCD ඇතැයි කියූ වෙලේත් ඇය ගත්තේ සමාන ස්ථාවරයක්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: