Amazing Science in Colombo: Long Shadow of Pulp Science Fiction

Amazing Science

AMAZING SCIENCE comes to Colombo, Sri Lanka, on 4 July 2014 as part of the French Spring Festival organised by Alliance Française de Kotte in COLOMBO and its partners.

Here’s the day’s program, to be held at Sri Lanka Foundation Institute, Independence Avenue, Colombo. I’ll be speaking on “Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination” at 11 AM, and repeating it again at 1 PM.

Amazing Science in Colombo - Programme for 4 July 2014
Amazing Science in Colombo – Programme for 4 July 2014

Amazing Science is a travelling exhibit put together by French scientific institutes inspired by American ‘pulp’ science fiction magazines during the first half of the 20th century.

As the creators say, it “takes you on an exploratory journey into uncharted territory, on the frontiers of pulp culture, science fiction and scientific research”.

The exhibition revives the old “pulp” look through a blend of scientific research, creative writing and popular culture. From the infinitely small to the infinitely large, the most advanced areas of science are now the realm of unexpected encounters with the real and the imaginary worlds. Each of the exhibition panels features scientific visuals based on a specific research area.

spring2014-7-1038x576

Here’s the Abstract of our own talk:

Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination

by Nalaka Gunawardene, science writer
and S M Banduseela, science fiction translator

‘Pulp magazines’ is a generic term for inexpensive magazines published in the United States from 1896 to the 1950s. They provided popular entertainment, especially before broadcast television became well established, and carried illustrated short stories and serialized stories in categories like adventure, travel, detective and science fiction.

This illustrated presentation will look at the role pulp magazines played in promoting science fiction writing and reading as part of 20th century popular culture. Many who later became mainstream writers, such as Robert A Heinlein, Arthur C Clarke, Isaac Asimov and Ray Bradbury first established themselves by writing to such publications.

In this talk, we look at how pulp science fiction inspired scientific discovery and innovation in areas as diverse as space exploration, computer science, robotics, evolution and materials science.

Amazing Science in Colombo - 4 July 2014
Amazing Science in Colombo – 4 July 2014

සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the role of mainstream and social media in the immediate aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town in Sri Lanka on 15 June 2014.

For over 48 hours, there was little coverage of the incidents in newspapers, or on radio and TV. This gap was partly filled by social media and international media reports – but only to the extent they have outreach in the island. Those who rely on local newspapers, radio and TV had to settle for ‘radio silence’ while media gatekeepers hesitated and held back.

I covered the same ground in my English column last week:
When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Only candid voices in Sri Lanka's mainstream media these days come from political cartoonists!
Only candid voices in Sri Lanka’s mainstream media these days come from political cartoonists!

‘‘කොහොමද වැඬේ? අන්න ඔහේලා ආවඩපු සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!’’

අළුත්ගම හා බේරුවල ප‍්‍රචණ්ඩත්වය ඇති වී පැය 48ක් ඉක්ම යන්නට කලින් මා අමතා මෙසේ කීවේ සරසවියක ඇදුරුකමක් දරන උගතෙක්.

ඔහුගේ ‘‘චෝදනාව’’ වූයේ අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ට්විටර් (Twitter) හා ෆේස්බුක් (Facebook) වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා අධිවේගීව සංසරණය වන බවත්, ඒ හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යා හැකි බවත්. අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ ප‍්‍රකාශ තවත් බොහෝ දෙනකු මෑත දිනවල කරනු මා ඇසුවා.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සිදු වූ ජුනි 15 ඉරිදා සිට පැය 24 – 48ක් ගත වන තුරු ප‍්‍රධාන ප‍්‍රවාහයේ බොහෝ මාධ්‍ය එය වාර්තා කළේ ඉතා අඩුවෙන් හා සුපරීක්‍ෂාවෙන්. එයට හේතුව විය හැක්කේ එම පුවත සැලවීමෙන් වෙනත් ප‍්‍රදේශවල ද කලහකාරි ක‍්‍රියා ඇති වේය යන සැකයයි.

මීට අමතරව රජයෙන් නිල වශයෙන් හෝ නිල නොවන මට්ටමින් මාධ්‍යවලට බලපෑම් එල්ල වූවා ද යන්න දන්නේ අදාල මාධ්‍ය කතුවරුන් හා හිමිකරුවන් පමණයි. එබන්දක් වූවා යයි කිසිවකුත් ප‍්‍රසිද්ධියේ කියා නැති නිසා ඒ ගැන අනුමාන කිරීමේ තේරුමක් නැහැ.

පුවත් පැතිර යා හැකි මාර්ග ගණනාවක් අද මෙරට තිබෙනවා. ජංගම දුරකථන ව්‍යාප්තිය නිසා බහුතරයක් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව ලබා තිබෙනවා. මිලියන් 20.5ක් වන ලාංකික ජනගහනයට ජංගම දුරකථන ගිනුම් මිලියන 20ක් පමණ හා ස්ථාවර දුරකථන මිලියන් 2.7ක් පමණ තිබෙනවා.

මෑත වසරවල ඇමතුම් ගාස්තු පහළ වැටීම නිසාත්, SMS ඊටත් වඩා අඩු වියදම් සහිත වීම නිසාත් අද පෙරට වඩා දුරකථන හරහා ලාංකිකයන් සන්නිවේදනය කරනවා. රටේ එක් තැනෙක ප‍්‍රබල සිදුවීමක් ඇති වූ විට මාධ්‍ය එය වාර්තා කළත්, නැතත් දුරකථන හරහා පෞද්ගලික මට්ටමින් පැතිර යාමේ ඉඩ පෙර කවරදාකටත් වඩා අද ඉහළයි.

එබඳු පෞද්ගලික තොරතුරු හුවමාරුවේදී අතිශයෝක්ති, විකෘති වීම් හා ප‍්‍රබන්ධකරණය ද එයට එක් වීමේ ඉඩ තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නිසි වේලාවට රටට ම තොරතුරු බෙදා දුන්නා නම් දුරකථන හා නව මාධ්‍ය හරහා යම් සන්නිවේදන සිදු වීමෙන් ඇතිවන සමාජ හානිය සමනය කර ගත හැකිව තිබුණා.

Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka
Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka

සමාජ මාධ්‍ය තවමත් අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා.

එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පමණක් ගිනුම් හිමියන් මිලියන් එක හමාරකට වඩා මෙරට සිටිනවා. එහෙත් එහි බොහොමයක් සාමීචි සංවෘතව සිදු වන නිසා මිතුරු ඇරැයුම් ලත් අයට පමණක් ඒවා ග‍්‍රහණය වනවා.

නමුත් ට්විටර් වේදිකාව කාටත් විවෘතයි. මෙරට ට්විටර් භාවිත කරන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ නැහැ. 2013 මැදදී එක් ඇස්තමේන්තුවක් වූයේ 14,000ක් පමණ බවයි. මේ වන විට එය විසි දහසකට වැඩි විය හැකියි. එක ට්විටර් පණිවුඩයක් (ට්වීට් එකක්) අකුරු හෝ වෙනත් සංකේත 140කට සීමා වනවා. එබඳු සීමාවක් තුළ වුව ද සූක්‍ෂම හා ව්‍යක්ත ලෙස පණිවුඩ දිය හැකියි.

ට්විටර් මාධ්‍යයේ ගිනුමක් විවෘත කළ විට තමන් කැමති අන් ට්විටර් භාවිත කරන්නන් කියන කරන දේ ස්වයංකී‍්‍රයව නිරික්සිය හැකියි (follow). ක‍්‍රීඩා, චිත‍්‍රපට හෝ වෙනත් ක්‍ෂෙත‍්‍රවල නමක් දිනා ගත් ප‍්‍රකට පුද්ගලයන් හා දේශපාලන නායකයන්ගේ ට්විටර් අනුගාමික සංඛ්‍යාව වැඩියි.

උදා: 2014 ජුනි 22දා වන විට මහේල ජයවර්ධනට අනුගාමිකයන් 110,000ක්, කුමාර් සංගක්කාරට ලක්‍සයක් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුමට අනුගාමිකයන් 38,000ක් පමණ සිටියා. අනුගාමිකයන් වැඩි දෙනකු සිටින අයකු කියන දේ වඩා ඉක්මනින් ප‍්‍රතිරාවය වී පැතිරෙන්නට ඉඩකඩ වැඩියි.

සමාජ මාධ්‍යවලට ආවේණික වූ විශ්වාසය තක්සේරු වීමේ ක‍්‍රමවේද තිබෙනවා. ඒ අනුව අනුගාමික සංඛ්‍යාව පමණක් නොව ට්වීට් පණිවුඩ ප‍්‍රතිරාවය කැරෙන වාර ගණන හා ආකර්ෂණය වන පාඨක අවධානය ආදී සාධක සැළකිල්ලට ගෙන කෙනකුගේ ට්විටර් බලපෑම (influence) ස්වයංකී‍්‍රයව ගණන් බැලෙනවා. මහජන විශ්වාසය (trust) යන්න හැමට ම දිනා ගත හැකි ගුණයක් නොවෙයි.

අළුත්ගම සිදුවීම්වලට රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ එවකට බොලීවියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් නිකුත් කළ කෙටි පණිවුඩ කිහිපයක්. ජනාධිපතිවරයා (හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය) ජුනි 15 වනදා ඉංග‍්‍රීසියෙන් ට්විට් පණිවුඩ 2ක් ද, ජුනි 16 වනදා සිංහලෙන් ට්වීට් 2ක් හා දෙමළෙන් ට්වීට් 3ක් ද නිකුත් කළා.

සිංහල ට්වීට් පණිවුඩ වූයේ ‘‘නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවකුට ඉඩ නොතබන අතර, මා සියළු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි’’. දෙවැනි පණිවුඩය ‘‘අලූත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරික්‍ෂණයක් පවත්වනු ලැබේ’’

මෙරට ජන ගහනයෙන් ඉන්ටර්නෙට් භාවිත කරන 20-25%ක ප‍්‍රමාණයට පමණක් ග‍්‍රහණය වන මේ පණිවුඩ එබඳු අවස්ථාවක රජයේ නිල ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. රටේ 75-85% ගෘහස්ථයන්ගේ හමුවන ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය හරහා ද කෙටියෙන් වුවත් සන්සුන්ව සිටීමේ ආයාචනයක් කළ හැකිව තිබුණා. මෙබඳු අවස්ථාවල ඉහළ මට්ටමේ, වගකිවයුතු කෙනකුගේ කට හඬින්ම පණිවුඩයක් ඇසීමට අද සමාජය පුරුදු වී සිටිනවා (ආපදාවක් වූ විට විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන්නා සේ).

සමාජ මාධ්‍ය හරහා ජුනි 16-17 දිනවල තොරතුරු හා ඡායාරූප ගලා ගියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ඒ ගැන මුනිවත රකිමින් සිටි පසුබිම තුළයි. මීට පරම්පරාවකට හෝ දෙකකට පෙර නම් ඕනෑකමින් පුවත් අන්ධකාරයක් (media blackout) ටික දිනකට හෝ පවත්වා ගැනීමට හැකි වුණා. මන්ද තැපෑල හැරුණ විට පෞද්ගලික මට්ටමින් තොරතුරු හුවමාරුවට අවශ්‍ය තරම් දුරකථන හා වෙනත් මාධ්‍ය නොතිබීම නිසා.

එහෙත් 21 වන සියවසේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් වෙතින් එවන් පුවත් අන්ධකාරයක් මතු වූ විට ජනතාව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් වෙත යොමු වනවා.

Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror
Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror

First Post (India): 17 June 2014: Social media breaks Sri Lankan media’s shameful silence

ප‍්‍රමිතියක් සහිතව සමබරව පුවත් සන්නිවේදනයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිටියත් මේ විකල්ප සන්නිවේදනයට යොමු වන බොහෝ දෙනකුට එබන්දක් නැහැ. එනිසා තොරතුරු විකෘති වීමට ඉඩ වැඩියි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අත්‍යවශ්‍යම වූ මොහොතක නිහඬවීමේ අවදානම මෙයයි.

අලූත්ගම සිදුවීම් ගැන වෙබ් අඩවි, ෆේස්බුක් හා ට්විටර් හරහා කම්පාවට පත් රටවැසියන් අදහස් දැක්වූවා. මෙය ඔවුන් අදහස් ප‍්‍රකාශනයට තමන්ට ඇති පුරවැසි අයිතිය යොදා ගැනීමක්.

අජිත් පැරකුම් ජයසිංහ හා මාතලන් වැනි ප‍්‍රමුඛ පෙළේ සිංහල බ්ලොග් රචකයන් හරවත් ලෙස මේ සිදුවීම් විග‍්‍රහ කළා. සුචරිතවාදී නොවී, අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔවුන් කථා කළා.

ට්විටර් යොදා ගනුනේ Breaking News මට්ටමේ අළුත් තත්ත්ව වාර්තා බෙදා ගන්නයි. ප‍්‍රචණ්ඩත්වයට ලක් වූ ප‍්‍රදේශ හා අවට සිටත්, වෙනත් තැන්වල සිටත් නොයෙක් දෙනා තොරතුරු ට්වීට් කළා.

මේ අතර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ගණනාවක් ද සිටියා. සමහරුන් මෙරට සිට ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අයයි. සිද්ධියක සැබෑ තොරතුරු තහවුරු කර ගෙන පමණක් වාර්තා කිරීම ඔවුන්ගේ මූලික විනය හා ආචාර ධර්මවල කොටසක්. මා නම් ට්විටර් හරහා ප‍්‍රතිරාවය කළේ මෙබඳු විශ්වාස කටයුතු මූලාශ‍්‍රවලින් ආ පුවත් පමණයි. මෙරට සිටින විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සිය ෆේස්බුක් පිටු හරහා අලූත්ගම සිදුවීම්වලට අදාල ක්‍ෂෙත‍්‍ර ඡායාරූප රැසක් මුදා හැරියා.

සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව මේ ගැන කීවේ ‘‘ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය කුමන හෝ හේතුවක් නිසා අලූත්ගම ගැන නිහඬව සිටියා. ඒවායේ සේවය කරන සමහර මාධ්‍යවේදීන් සිදුවීම වූ ප‍්‍රදේශයට ගොස් තොරතුරු රැස් කළත් ඒවා ප‍්‍රකාශ කිරීමට මුල් දෙදින තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ තොරතුරු සමහරක් සමාජ මාධ්‍ය දිගේ ගලා ගියත් බහුතරයක් අපේ ජනතාව සිදුවීම් ගැන දැන ගත්තේ කල් ගත වීයි.’’

ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අමන්ත පෙරේරා කීවේ තොරතුරු දැන ගන්නට තිබූ ප‍්‍රධානතම මූලාශ‍්‍රය බවට සමාජ මාධ්‍ය පත්වූයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය මුළුගැන්වුණු නිසා බවයි.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර බෙදීම බොඳ වී ගොස් බිඳ වැටුණු බව මගේ වැටහීමයි. එය හොඳ ප‍්‍රවණතාවක්. අපේ ජන සමාජයට අවශ්‍ය කඩිනමින් නිවැරදි හා සමබර තොරතුරු දැන ගැනීමටයි. එය කුමන හෝ මාධ්‍යයක් හරහා ලැබේ නම් එයට ඉක්මනින් මහජන පිළිගැනීමක් ගොඩ නැගෙනවා. තොරතුරු අන්ධකාරයක් පවත්වා ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහය කර ගත්තේ තමන්ටම හානියක්.

Stand Up Against Racismප‍්‍රචණ්ඩත්වය, ජාතිවාදය හා ආගම්වාදයට එරෙහිව ජනමතය ප‍්‍රකාශ කරන හා සාමකාමී ජනයා එක්සත් කරන තැනක් බවට ද සයිබර් අවකාශය පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය රට ගිනි තබනවා යයි චෝදනා කරන්නෝ නොදකින අනෙක් පැත්ත මෙයයි.

තව දුරටත් ප‍්‍රභූන්ට හා ඉසුරුබර උදවියට පමණක් සීමා නොවූ ඉන්ටර්නෙට් භාවිතය වඩාත් සමාජගත වෙත්ම ජාතීන් අතර සහජීවනය, සමාජ සාධාරණය හා යහපාලනය වැනි සාරධර්ම සඳහා පොදු ජනතාව දැනුවත් කරන්නට හා පෙළ ගස්වන්නට සමාජ මාධ්‍ය යොදා ගත හැකියි. මෙය අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය වැනි රටවල දැනටමත් සිදු වන්නක්.

අවසාන විනිශ්චයේදී සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් යනු සන්නිවේදනයට ඉඩ සලසන වේදිකා පමණයි. වේදිකාවට පිවිසෙන අය වියරුවෙන් හා අසංවරව මොර දෙන අවස්ථා තිබෙනවා. එහෙත් වාචාලයන්ට දේශපාලන වේදිකා උරුම කොට දී සංවේදී හා සංවර වූවන් බැස ගියා සේ සයිබර් අවකාශය ද අන්තවාදී ටික දෙනකුට ඉතිරි කොට සෙසු අප ඉක්ම නොයා යුතුයි. මේ සයිබර් වේදිකා හුදී ජන යහපතට හා යහ පාලනයට හැකි තාක් යොදා ගත යුතුයි.

සිහි තබා ගත යුතු අනෙක් කරුණ නම් විවෘතව අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ගලා යාමට බාධක රැසක් පවතින අප සමාජයේ සාපේක්‍ෂව අළුතින් මතුව ආ ඉන්ටර්නෙට් වැනි මාධ්‍යයක් අනවශ්‍ය රාජ්‍ය නියාමනයට හෝ වාරණයට නතු වීම වළක්වා ගත යුතු බවයි.

අසභ්‍ය හා අපහාසාත්මක දේ සමාජගත වීම වැළැක්වීමට යයි කියමින් ඇතැම් ඉන්ටර්නෙට් වෙබ් අඩවිවලට පිවිසිම අවහිර කිරීම (website blocking) ඇරඹුණේ 2007දී. එහෙත් මේ වන විට ස්වාධීන දේශපාලන විග‍්‍රහයන් හා මතවාද රැගත් වෙබ් අඩවි ගණනාවක් ද අවහිර කරනවා. අධිකරණ අධීක්‍ෂණයකින් තොරව, හරිහැටි නීතිමය රාමුවක් නොමැතිව කරන මෙය සයිබර් වාරණයක්.

සමාජ මාධ්‍ය සංවරව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නැති වූ විට අපේ පොදු යහපතට යයි කියමින් ඕනෑවට වඩා නියාමනයක් හා වාරණයක් කරන්නට රාජ්‍ය තන්ත‍්‍රය ඉදිරිපත් වීමේ අවදානමක් ඇති නිසයි.

See also: 30 Years Ago: How ICTs Are Changing Sri Lanka

BqQN4IxCIAEKHnW.jpg large

 

 

සිවුමංසල කොලූගැටයා #172: රන් සේ දිදුලන සරුවපිත්තල මාධ්‍ය ලෝකය

In this week’s Ravaya column (in Sinhala, published on 15 June 2014), I turn the spotlight on the world of media itself. In particular, how the Lankan print and broadcast media exploits freelance writers and other creative professionals who are paid extremely low rates even by highly profitable media companies.

I cite my own experiences with the world of print and broadcasting, where editors and staff journalists have no hesitation in getting outsiders to work for practically free. Is this fair or right, I ask, when the same media stands for social justice in their editorial positions.

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

”ටෙලිවිෂන් එකේ කථා කරනවට මහත්තයට හොඳට ගෙවනවා ඇති නේද?”

මා නිතිපතා ගනුදෙනු කරන සිල්ලර කඩේ මුදලාලි වරක් මගෙන් ඇසුවේ බොහෝම නිර්ව්‍යාජවයි. අවුරුදු 45ක් පුරා එකම තැන සිට වෙළඳාම් කරන මුදලාලි, ලෝකය දිහා උපේක්ෂාවෙන් බලා සිටින්නකු මිස ඕපාදුප සොයන්නකු නොවෙයි.

දශක ගණනාවක සිට මා මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිවිෂන් නාලිකාවල වැඩසටහන්වලට සම්බන්ධ වන බව ඇත්තයි. එසේම ටෙලිවිෂන් මාධ්‍යය තුළ දැන්වීම් හා අනුග්‍රාහක ගාස්තු ලෙස අති විශාල මුදල් කන්දරාවක් සංසරණය වන බවත් සැබෑයි.

එහෙත් ටෙලිවිෂන් මාධ්‍යයේ ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරන පූර්ණ කාලීන සේවකයන්ට හෝ පිටත සිට සම්පත් දායකත්වය ලබා මා වැනි අයට හෝ එයට සමානුපාතික අන්දමේ ගෙවීම් නම් ලැබෙන්නේ නැහැ. වසර 35ක් සපිරුණු මෙරට ටෙලිවිෂන් කර්මාන්තයේ වැඩි දෙනකු නොදන්නා යථාර්ථය එයයි.

මාධ්‍ය ලෝකය හා ප්‍රකාශන කර්මාන්තය ක්‍රියාත්මක වන ආකාරය ගැන බොහෝ දෙනකූ දන්නේ නැහැ. එසේම මේ කර්මාන්තවල ඛේදජනක සැබෑ තත්ත්වය අත්දැකීමෙන් දන්නා අය එය ලෙහෙසියෙන් අන් අයට කියන්නේත් නැහැ. මේ නිසා දුර්මත දිගටම සමාජගත වනවා.

ගෙවී ගිය දෙවසර තුළ මා සිංහල පොත් තුනක් එළි දැක් වූ බව දත් ගණකාධිකාරි මිතුරෙක් ඇසුවේ ”ලක්ෂ ගාණක් හම්බ වෙන්න ඇති නේද” කියායි. මෙරට වෙළඳපොලට (යාන්තමින් හෝ) දරා ගත හැකි පරිදි මගේ පොත් මිල කර තිබුණේ රුපියල් 500ට ආසන්න මිලකටයි. එක් පොතකින් පිටපත් දහසක් මුද්‍රණය කරනවා නම් පොතක අලෙවි වටිනාකම ලක්ෂ පහක් බව මගේ මිතුරා ගණන් බැලුවා.

සංඛ්‍යාත්මකව එය නිවැරදි වුවත් ලොව කොතැනකවත් කිසිදු ප්‍රකාශයකු ලේඛකයාට ඒ මුළු මුදල දෙන්නේ නැහැ. එසේ දීමට හැකියාවක් නැත්තේ පොතේ පිටු සැළසුම හා මුද්‍රණයට යන නිෂ්පාදන වියදමත් ඉන්පසු බෙදා හැරීමේ හා අලෙවිකරණ වියදමත් සියල්ල පියවා ගත යුත්තේ පොතේ මිලෙන් බැවින්. පොත් සාප්පුවල පොතක් තබාගෙන විකිණීම සඳහා වට්ටම් වශයෙන් මිලෙන් සියයට 30-40ක් දිය යුතු වනවා.

මේ ආකාරයෙන් බලා ගෙන ගිය විට ලේඛකයාට 10%ට වඩා ඉතිරි වන්නේ නැහැ. යථාර්ථය නොදත් අය සිතන්නේ පොත් ලිවීමෙන් බොහෝ ලේඛකයන් පොහොසත් වන බවයි.

ප්‍රකාශන ෙක්ෂත්‍රයේ ලොව හැම තැනෙකම කර්තෘ භාගය ලෙස ගෙවන්නේ 10%යි. නමුත් ඉන්දියාව, චීනය, ඉංග්‍රීසි කියවන බටහිර ලෝකය ආදි වෙළඳපොලවල (ජනප්‍රිය පොතක) විකිණෙන පිටපත් ගණන අධික නිසා කර්තෘ භාගය 10% බැගින් වුවත් එකතු වී සැළකිය යුතු මුදලක් ලේඛකයාට ලැබෙන අවස්ථා බහුලයි.

එහෙත් පොත් විකිණෙන සංඛ්‍යාව සීමිත වූ අපේ රටේ සාමාන්‍යයෙන් පොතකින් පිටපත් 500ක් හෝ 1,000ක් මුද්‍රණය කැරෙනවා. එය විකිණී ගියොත් ඉන් පසු තවත් 500ක් හෝ 1,000ක් ඊලඟ මුද්‍රණය ලෙස නිකුත් කරනවා. මුල් මුද්‍රණයෙන් ඔබ්බට යන්නේ ජනප්‍රිය බවින් අධික දේශපාලන පොතක්, ප්‍රේම කථාවක්, ආගමික පොතක් හෝ විභාගයකට නිර්දේශ කැරෙන පොතක් පමණයි.

පොත් ලියා පොහොසත් වූ ලේඛකයන් නොවෙයි අඩු තරමින් ලේඛනයෙන් එදිනෙදා ආදායම උපයා ගන්නා වෘත්තීය ලේඛකයන් පවා අපේ රටේ හමු නොවන්නේ මේ නිසයි. එහෙත් පොත් ලියා ධනපතියන් වූ අය ගැන දූසමාන ආරංචි මීට සියවසකට පමණ පෙරත් මෙරට පැතිර ගිය සැටි මාර්ටින් වික්‍රමසිංහයන් එක් තැනෙක ලියා තිබෙනු මට මතකයි.

මාධ්‍ය ලෝකයේ වෙළඳපොළ ආකෘතිය පොත් ප්‍රකාශනයට වඩා වෙනස්. පුවත්පත් බොහෝ කොටම ආදායම් උපයා ගන්නේ පිටුවලින් කොටසක් දැන්වීම්කරුවන්ට විකිණීමෙන්. (පත්තරයක විකිණෙන මිල එහි මුද්‍රණ වියදමවත් ආවරණය කරන්නේ නැහැ.)

එහෙත් හුදෙක් දැන්වීම්වලට පමණක් කිසිවකු පත්‍ර හා සඟරා මිලදී නොගන්නා නිසා හොඳ ප්‍රවෘත්ති, විශේෂාංග හා වෙනත් අන්තර්ගතයන් අත්‍යවශ්‍යයි. බොහෝ මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන මාණ්ඩලික ලේඛකයන්ට හා වාර්තාකරුවන්ට පමණක් මෙය සම්පාදනය කළ නොහැකියි. ඒ නිසා පිටත සිට ලිපි සපයන, නිදහස් ලේඛකයන් (Freelance writers) නමින් හඳුන්වන අයගේ සේවය ලබා ගන්නවා.

මාණ්ඩලික ලේඛකයන්ට මාසික වැටුප්, කාර්යාලීය පහසුකම් හා වෙනත් දීමනා දිය යුතු නමුත් නිදහස් ලේඛකයන්ට ගෙවන්නේ නිර්මාණයකට යම් සුළු ගෙවීමක් පමණයි. ආයතන පරිපාලනය පැත්තෙන් බලන විට මෙය ඉතා සකසුරුවම්කාරි වැඩක්. ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත් ආයතන සියල්ලම පාහේ නිදහස් ලේඛකයන්ට හා විද්වත් ලිපි සපයන්නන්ට ගෙවන්නේ සොච්චමක්.

1984 සිට ජාතික පුවත්පත් හා සඟරාවලට ලිපි ලිවීම ඇරඹු පසු මා ඉක්මනින් වටහා ගත්තේ එකම මාධ්‍ය සමාගමේ සිංහල ප්‍රකාශන ගෙවන ගණන මෙන් හතර පස් ගුණයක් එහිම ඉංග්‍රීසි ප්‍රකාශනවලට ලිවීම සඳහා ගෙවන බවයි. එහෙත් ද්විභාෂිකව ලියන නිදහස් ලේඛකයන් ඉතා ටික දෙනකු පමණක් සිටින බැවින් මේ වෙනස්කම බෙහෝ දෙනා දන්නේ නැහැ.

වරක් මේ ගැන මා විමසූ විට දිවයින පත්‍රයේ එවකට සිටි කතුවරයෙක් කීවේ ”සිංහලෙන් ලියන්නට ඕනෑ තරම් සිටිනවා. පත්තරේ නම දා ගන්නට, ප්‍රසිද්ධ වෙන්නට කැමති අය නොමිලයේ වුණත් අපට සොයා ගත හැකියි” කියායි.

එය සැබෑවක් විය හැකි වුවත් සමාජ සාධාරණත්වය ගැන කතුවැකියෙන් නිතර කථා කරන පත්තර තුළ ම ලේඛක ශ්‍රමය සුරා කෑම මුළුමනින් වැරදි වැඩක්.

එම සංවාදය ඇති වී වසර 25ක් ගත වීත් සිංහල පත්තරවල තවමත් පිටු බාගයක ලිපියකට ගෙවන්නේ රු. 500 – 1,000ත් අතර ගණනක්. එහෙත් එම සමාගම්වලම ඉංග්‍රීසි පත්තරවලින් එක් ලිපියකට රු. 3,000 – 6,000 අතර ගෙවනවා.

මෙරට මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානින් විටින් විට මට ජාත්‍යන්තර සමුළුවලදී මුණ ගැසෙනවා. එබඳු තැන්වලදි ඔවුන් වඩා විවෘතව කථා බහ කරනවා. සිංහල ලේඛකයන්ට හා ඉංග්‍රීසියෙන් ලියන ලේඛකයන්ට විශාල වෙනස්කමක් සහිතව ගෙවීම ගැන මා වරක් එක් ප්‍රධානියකුගෙන් සුහදව විමසුවා.

දෙබිඩි ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන්නට කළමණාකරණයෙන් උපදෙස් දී නැති බව පැහැදිලි කළ ඔහු කීවේ එම ගෙවීම් මට්ටම් නිර්ණය කරන්නේත්, ගෙවීම් නිර්දේශ කරන්නේත් කර්තෘ මණ්ඩල මට්ටමින් බවයි. සිංහල ප්‍රකාශනවල කතුවරුන් බොහෝ විට ලේඛකයන්ට හැකි තාක් අඩුවෙන් ගෙවීම් කොට සිය ප්‍රතිපාදන ඉතිරි කර ගන්නා බවත්, එහෙත් ඉංග්‍රිසි පත්‍ර කතුවරුන් ඊට වඩා ලේඛකයන්ට ගෙවන බවත් ඔහු කීවේ මා විමතියට පත් කරමින්.

Meet the Media!

විද්යුත් මාධ්‍යවල ශ්‍රම සූරා කෑම ඊටත් වඩා දරුණුයි. ටෙලිවිෂන් යනු ඉතා ලාබදායකව පවත්වා ගෙන යන වාණිජ ව්‍යාපාරයක්. ප්‍රේක්ෂකයන් ටෙලිවිෂන් බලන්නේ දැන්වීම් සඳහා නොවෙයි. දැන්වීම්වලින් විශාල ආදායම් උපයා ගන්නට නම් ඒ අතරතුර හරවත් යමක් රසවත් ලෙසින් ඉදිරිපත් කළ යුතුයි. මෙයට බොහෝ කොටම දායකවන්නේ ටෙලිවිෂන් ආයතනවල තනතුරු නොදරණ, බටහිරින් පැමිණෙන ශිල්පීන් හා විද්වතුන්.

ඉන්දියාව, තායිලන්තය, පාකිස්ථානය වැනි රටවල නම් ටෙලිවිෂන් සංවාදවලට සහභාගී වන විද්වතුන්ට හා සමාජ ක්‍රියාකාරින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගෙවීමක් ද කරනවා. එහෙත් අපේ රටේ ඒ අයට බොහෝ විට කිසිම දීමනාවක් ගෙවන්නේ නැහැ. ඉඳහිට කරන ගෙවීම ද ඉතා අඩු මට්ටමක පවතිනවා. එය ප්‍රශ්නයක් හෝ විසමතාවක් බව බොහෝ ටෙලිවිෂන් නිෂ්පාදකවරුන් හෝ ආයතන ප්‍රධානින් පිළිගන්නේත් නැහැ.

”ටෙලිවිෂන් එකේ නොමිළේ පෙනී සිටීමට කැමති ඕනෑ තරම් අය ඉන්නවා. වෛද්‍යවරු, නීතීඥයෝ, ගුරුවරුන්, සූපවේදීන් වැනි අය ටෙලිවිෂන් හරහා සමාජ ප්‍රතිරූප ගොඩ නගා ගන්නවා. අප කරන්නේ ඔවුන්ට වේදිකාවක් දීමයි. හරි නම් ඒ සඳහා ඔවුන් අපට ගෙවිය යුතුයි!” නාලිකා ප්‍රධානියෙක් වරක් මා සමග තර්ක කළා.

රූපවාහිනී නාලිකාවේ පැය බාගයක තරුණ අධ්‍යාපනික වැඩසටහනක් ඉදිරිපත් කිරීමට (පටිගත කිරීමක් සඳහා පැය 4ක් පමණ වැය කළ පසු) 2012දී මට ගෙවනු ලැබුවේ රු. 1,250ක්. එහෙත් ඔවුන් තත්ත්පර 15ක හෝ 30ක වෙළඳ දැන්වීමකට ගුවන් කාලය සඳහා ලක්ෂ ගණනක් අය කරනවා. මේ බව දන්නා අය සිතන්නේ ටෙලිවිෂන් අන්තර්ගතයට දායක වන අප වැනි අයට ද ලක්ෂ ගණනින් නොවුවත් දහස් ගණනින්වත් ගෙවීම් කරනු ඇති කියායි!

ටෙලිවිෂන් මාධ්‍යයේ උච්චතම වාණිජකරණය වන ක්‍රිකට් තරග සජීව විකාශයන්ගේ තත්ත්වය ද මෙයට සමානයි. කලක් තිස්සේ මා සිතා සිටියේ අඩු තරමින් ක්‍රිකට් විස්තර විචාරකයන්ට එම ක්‍රීඩාවට සාපේක්ෂව ඉහළ ගෙවීමක් ලැබෙනවා කියායි.

එහෙත් මෙරට සිටින ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් විස්තර විචාරකයකු මීට දෙවසරකට පමණ පෙර මට කීවේ ලෝක කුසලාන මට්ටමේ එක් දින තරගයක පැය කිහිපයක් සජීව සිංහල විස්තර විචාරය සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ නාලිකාවක් ගෙවන්නේ රුපියල් පන් දහසක් බවයි. (ඉංග්‍රීසි විචාරකයන්ට වැඩිපුර ගෙවනවා.)

ලැබෙන ශිල්පී ගෙවීම ගැන බොහෝ දෙනා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. එහෙත් වැඩි ගෙවීම් ගැන කථා කරන විට මාධ්‍ය ආයතන ප්‍රධානින් කියන්නේ මේ ෙක්ෂත්‍රයට පිවිසී නමක් හදා ගන්නට බලා සිටින නවකයන් ඕනෑ තරම් සිටින බවයි. ඔවුන් නොමිලයේ හෝ තම සේවය ලබා දෙන්නට සූදානම්ලු.

මේ සටකපට තර්ක හරහා සම්පත් දායකයන්ට සදාකාලිකව අඩුවෙන් ගෙවා ශ්‍රමය සූරාකෑමේ හැකියාව ලැබී තිබෙනවා. වසර අවසානයේ තමන් කෝටි ගණන් ලාබ ඉපද වූ බව කියමින් පුරම්බාන්නට ටෙලිවිෂන් නාලිකා පාලකයන්ට ඉඩ ලැබෙනවා.

අපේ රටේ මාධ්‍ය ප්‍රකාශන හා නාලිකාවල ලාබ ලැබීම ඉහළ යද්දී ගුණාත්මක බව පිරිහීමට හේතු ගණනාවක් තිබෙනවා. එයින් එකක් නම් මාණ්ඩලික මාධ්‍යවේදීන්ට හා නිදහස් ලේඛකයන්/විද්වතුන්ට සාධාරණ ගෙවීමක් නොකිරීම. එහෙත් වැඩවසම් මානසිකත්වයෙන් හිමිකරුවන්ට හැකි තරම් ලාබ උපයා දෙන මාධ්‍ය ජ්‍යෙෂ්ඨයන් සිටින තුරු මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි සිතීමට අමාරුයි.

See also:

8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකිද?

30 Dec 2012: සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

30 June 2013: සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

In this week’s Ravaya column (in Sinhala), I introduce a recent anthology of rationalist essays compiled and edited by leading Sinhala language writer Ajith Thilakasena. I was asked to talk about the book at a recent meeting of the Sri Lanka Rationalists’ Association. Since I too have contributed a chapter, I cannot review the book; this is merely an exploration of the book’s provocative contents.

I have covered similar ground in an English op-ed in January 2012:
Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

 

අජිත් තිලකසේන සූරීන් මෙරට සිටින ප‍්‍රතිභාපූර්ණ නිර්මාණශීලී ලේඛකයෙක්. දක්‍ෂ ප‍්‍රබන්ධ රචකයකු, කවියකු වනවාට අමතරව ඔහු වඩාත් සරල ලෙසින් සිංහල බස ලිවීමට පිලි සහ හල් කිරීම් සමරූපීකරණය කිරීමේ සම්ප‍්‍රදායක් යෝජනා කොට එය ප‍්‍රගුණ කරන්නෙක්.

මෙයට සමාන්තරව තිලකසේන සූරීන් අදීන හා අතිශයින් විචාරශීලී චින්තනයක් ඇති හේතුවාදියකු ද වනවා. ඔහු සංස්කරණය කළ ‘‘හේතුවාදී ලිපි’’ නම් කෘතිය එළි දැක්වීමේ රැස්වීමක් මාර්තු මස අගදී හේතුවාදී සංගමයේ අනුග‍්‍රහයෙන් කොළඹදී පවත්වනු ලැබුවා. එහිදී මේ අළුත් පොත ගැනත්, පොදුවේ මෙරට හේතුවාදී සාහිත්‍යය ගැනත් කථා කිරීමට එස්. එම්. බන්දුසීල සූරීන්ට හා මට ඇරැයුම් කොට තිබුණා.

අප දෙදෙනාගේ ම ලිපි ‘‘හේතුවාදී ලිපි’’ සංග‍්‍රහයේ තිබෙනවා. මේ නිසා පොත පිළිබඳව විචාරයක් අපට කළ නොහැකි වුවත් සරසවි ප‍්‍රකාශනයක් වන මෙය හඳුන්වාදීම හා එහි කාලීන වැදගත්කම පෙන්වාදීම අපේ කථාවල මූලික හරය වූවා.

පසුගිය දශක කිහිපයක් තුළ මෙරට පුවත්පත් හා සඟරාවල පළ වූ හේතුවාදී හා විචාරශීලි ලිපි රැසක් ද මේ පොතේ එකතු කොට තිබෙනවා. මුල් අවස්ථාවේ එම ලිපි කියවීමට නොලැබුණු පාඨකයන්ටත්, ඒවා යළි කියවනු රිසි අයටත් මේ පොත මාහැඟි සංග‍්‍රහයක්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා. එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පොතේ පරිච්ෙඡ්ද 27 සමන්විත වන්නේ ලිපි 20කින් සහ දේශන හා සම්මුඛ සාකච්ඡාසටහන් 7කින්. එයට අමතරව ලේඛනගත විය යුතු කෙටි සටහන් 31ක් ද හේතුවාදී චින්තනයට අදාල සරල ඉංග‍්‍රීසි – සිංහල ශබ්දමාලාවක් ද පොතේ තිබෙනවා.

Ajith Thilakasena
Ajith Thilakasena

සංස්කාරක අජිත් තිලකසේන හේතුවාදී හා විචාරශීලී චින්තනයක් අපට අවශ්‍ය ඇයි ද යන්න පූර්විකාවේ මැනවින් පහදා දෙනවා.

‘‘ජ්‍යෙතිර් ඇඳුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටුකර ගන්න විවිධ දේවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු කියනවා.

පූර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘60දශකය ආරම්භ වෙනවාත් එක්කම ඒබ‍්‍රහම් ටී. කොවූර් දැඩි ආගමික හික්මීම්වලටත්, මිථ්‍යා විශ්වාසවලටත් ගැලී සිටි ලක් වැසි ජනතාවගේ චින්තන ලෝකය ආක‍්‍රමණය කළා. ඔවුන්ගේ පිළිගැනීම් දැඩි ප‍්‍රශ්න කිරීම් මාලාවකට ලක් කළා. මෝහාන්ධකාරයේ ගැලී සිටි ජනතාවගේ ගැටලූවලට බුද්ධියෙන් හා විද්‍යාවෙන් පිළිතුරු සොයා තම නිගමන පොදු මහජනතාවට තේරෙන බසින් සහ නිරවුල් සුගම ශෛලියකින් ඉදිරිපත් කරන්නට හැකි වීම කොවුර් සතු වූ විශිෂ්ට ගුණාංගයක්.’’

1964දී කොවූර් මුල් වරට ප‍්‍රසිද්ධ කළ 23 ආකාරයේ අභියෝග පත‍්‍රය මේ පොතේ නැවත පළ කොට තිබෙනවා. අනාවැකි කීමේ හැකියාව, දේව බල හෝ වෙනත් අද්භූත බල හෝ ප‍්‍රාතිහාර්යජනන ශක්ති ඇතැයි කියා ගන්නා ඕනෑම කෙනෙකුට ‘‘හැකි නම් කර පෙන්වන්න’’ යය මේ අභියෝග ඉදිරිපත් කළේ රුපියල් දස ලක්‍ෂයක් ද ත්‍යාගයක් ලෙස පිරිනමමින්. එහෙත් එදා මෙදා තුර එතෙර මෙතෙර කිසිවකුත් මේ අභියෝග භාර ගෙන නැහැ.

Dr Abraham T Kovoorකොවූර්ගේ තවත් වැදගත් ලිපියක් මේ පොතේ අඩංගුයි. 1960ගණන්වල මහාචාර්ය කේ. එන්. ජයතිලක නූතන තාරකා විද්‍යාව හා බෞද්ධ ඉගැන්වීම් සසඳමින් මේ දෙකෙහි සමාන්තර බවක් පෙන්වා දීමට උත්සාහ කළා. Buddhist Cosmologyහෙවත් බෞද්ධ විශ්වවේදය නමින් හුවා දක්වන්නට තැත් කළ එය, සැබෑ නොවන බව බෞද්ධ ධර්ම ග‍්‍රන්ථ අධ්‍යයනයෙන් පසු කොවූර් සාවධානව හා ආචාරශීලීව පෙන්වා දුන්නා.

එසේ කරමින් කොවූර් කීවේ මෙයයි:‘‘අභාවයට ගිය හෝ තවමත් පවත්නා ආගම් අතුරෙන් අනාත්ම ධර්මයන්, නිර්මානී දෙවියකු නොසිටීමත්, අනගි සදාචාර ශික්‍ෂාත් නිසා බෞද්ධ දර්ශනය වඩාත් හේතුවාදීයි. එහෙත් බුද්ධිමය වංචා මාර්ගයෙන් සත්‍ය කරුණු විකෘති කොට බුද්ධාගමට බලකණු සපයන්න යාමෙන් එයට යහපතට වඩා සිද්ධ වන්නේ අයහපතක්.’’

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

බොරු ඇදහිලි ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1968වසරේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා කළ දේශනයක සටහන් ද මෙහි වැදගත් පරිච්ෙඡ්දයක්. සාහිත්‍ය විචාරයට පමණක් නොව තියුණු ලෙස සමාජ විචාරයටත් ඔහු යොමු වූ සැටි මෙයින් මනාව පෙනෙනවා.

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ. මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී. එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිථ්‍යාවක් බවට පත් වී තිබේ.’’

‘‘සත්‍යය, මුසාව, රැවටීම, අවංකකම – මෙවැනි යහගුණ හා නුගුණ අවශ්‍ය වන්නේ පරලොව උදෙසා ද එසේ නැත්නම් තමා ජීවත්වන සමාජයේ ඔවුනොවුන් අතර පැවතිය යුතු සම්බන්ධය උදෙසා ද? මානව භක්තිය ඇති කෙනකුට තවත් කෙනකු බොරුවෙන් රැවටීමට හෝ ඔහුගේ ජීවිතය විනාශ කර දැමීමට හෝ ශක්තියක් නැත…. පරලොව උදෙසා අවශ්‍ය බව කියන පින් පව් මෙලොව සමාජ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ චර්යාධර්ම වශයෙන් පෙන්වා දිය හැකිය.’’

මෙතැනදී සරච්චන්ද්‍රයන් මතු කරන්නේ ප‍්‍රායෝගික වූත්, නිර්ආගමික වූත් දර්ශනයක්. හේතුවාදීන්ගේ චින්තනයේ හරයත් මෙයයි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යයි සරල ලෙස ලඝු කිරීම යම් තරමකට සම කළ හැකි වන්නේ මාක්ස්වාදීන් යනු රාජ්‍ය විරෝධීන් යයි කලකට පෙර ඇතැම් දෙනා තුළ තිබූ දුර්මතයටයි. මේ දෙක ම වැරදියි.

හේතුවාදයේ මූලික ප‍්‍රවේශය නම් කියන්නා කෙසේ කීවත් අසන්නා සංශයවාදීව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමයි. එහිදී ආගම්, සාමයික දර්ශන, දේශපාලන මතවාද, විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළු අන් හැම දෙයක්මත් ප‍්‍රශ්න කිරීමට පාත‍්‍ර වනවා.

දේශපාලන මතවාද හා ආර්ථික ක‍්‍රමවේද සියුම්ව විවේචනය කිරීමට සමත් අපේ බොහෝ උගතුන් පවා ආගම් අරභයා එවන් විචාරශීලි බවක් පෙන්වන්නේ නැහැ. සාමයික හා ආගමික ඉගැන්වීම් යයි පූජකයන් විග‍්‍රහ කරන හැම දෙයක්ම දොහොත් මුදුනින් පිළි ගැනීම බොහෝ විට කරනවා. බුදු දහමේ නම් මෙසේ නොකරන මෙන් තරයේ අවවාද කොට තිබෙනවා (කාලාම සූත‍්‍රය).

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka
Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka

හේතුවාදීන් කරන්නේ දේශපාලනික, ආර්ථික හා වෙනත් ක්‍ෂෙත‍්‍රයන් මෙන්ම සියළු ආගමික හා සාමයික ඉගැන්වීම් හා විග‍්‍රහයන් ද විචාරශීලීව හා තර්කානුකූලව විමර්ශනය කිරීමයි (එනම් කාලාම සූත‍්‍රය හරිහැටි පිළිපැදීමයි!).

මෑතදී මිය ගිය ප‍්‍රකට ඉන්දියානු ලේඛක කුෂ්වාන්ත් සිං (1915-2014) වරක් දලයි ලාමාතුමා සමග කළ සංවාදයක් සිංහලට පෙරළා මේ පොතෙහි ඇතුළත් කොට තිබෙනවා. පාප්තුමා හැරුණු කොට රාජ්‍ය නායක මට්ටමේ සිටින ලොව එකම සාමයික නායකයා වූත්, ලොව ඉතාම ප‍්‍රකට බෞද්ධ නායකයා වූත්, නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමාතුමා බුදුදහම හා නූතනත්වය තුලනය කරන්නට මහත් සේ වෙර දරන කෙනෙක්.

එම තනතුරට පත් 14වැනියා වන ඔහු ඊට පෙර සිටි දලයි ලාමාතුමාගේ නැවත ඉපදීමක් සේ නිර්ණය කරනු ලැබ දලයි ලාමා ලෙස පත් කර ගනු ලැබුවේ 1950දී. 1959දී චීනය විසින් ටිබෙටය ආක‍්‍රමණය කොට අල්ලා ගත් පසු ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා හා අනුගාමිකයන්ට එදා පටන් ඉන්දීය රජයේ විශේෂ රැකවරණය ලැබෙනවා.

ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියකු ලෙස දලයි ලාමාතුමා සමග සාකච්ඡා කරන කුෂ්වාන්ත් සිං, පුනරුත්පත්තිය ගැන තමා කිසිසේත් විශ්වාස නොකරන බව කියනවා. මේ ගැන කලබල හෝ කෝප නොවී ඉතා සන්සුන් ලෙසින් දලයි ලාමා සිං සමග සංවාද කරනවා. ජීවිතයේ දුක සැප, මරණය ආදිය ගැන දෙදෙනාගේ අදහස් හොඳට ම වෙනස්. නිර්ආගමික වූ සිං, ලෞකික දර්ශනයකින් ලෝකය විග‍්‍රහ කරනවා. එකිනෙකාට ගරු කරමින් එහෙත් එකඟ නොවෙමින් මේ කරන කථා බහ කියැවීම ම මනසට ප‍්‍රබෝධයක්.

වෙනත් බොහෝ ආගමික හා සාමයික නායකයන්ට වඩා පුළුල් වූ මනසක් හා හාස්‍යලොලී පෞරුෂයක් දලයිලාමාට ඇති බව පෙනී යනවා. කථාව අවසානයේ පුනරුත්පත්තිය කිව හැකි (එනම් පසුගිය ආත්ම මතකයට නගා ගත හැකි)එකදු මුස්ලිම් දරුවකු ගැන දන්නවාදැයි සිං අසනවා. (ඉස්ලාම් ධර්මයේ නැවත ඉපදීමක් කියැවෙන්නේ නැහැ.)

එතැනදී දලයි ලාමා මහ හයියෙන් සිනාසෙමින් මෙසේ පිළිතුරු දෙනවා. ‘‘එතන ඇත්තක් තියෙනවා තමා. ඒ උනත් මම පුනරුත්පත්තිය විශ්වාස කළේ නැත්නම් මට වැඩ නැතුව යනවා!!’’

මේ තරම් නිර්ව්‍යාජ හා විවෘත ලෙස තම ධර්මය ගැන කථා කළ හැකි ආගමික නායකයන් ඉන්නේ කී දෙනා ද?

‘‘හේතුවාදී ලිපි’’ පොතෙහි ඇත්තේ ආගම් ගැන විචාරශීලීව විමසීම පමණක් නොවෙයි. සමහර ලේඛකයෝ ඇදහිලි හා ජන විශ්වාස (නාඩි වාක්‍ය, පිරිත් නූල්, අංජනම් එළි, අල්ලේ රේඛා මගින් සාස්තර කීම, කේන්දර බැලීම ආදිය)ගැන ප‍්‍රශ්න කරනවා – විවෘතව මත දක්වනවා. තවත් ලිපිවලින් අද්භූත හෝ පාරභෞතික යයි සැළකෙන (භූතයෝ, යකුන්, අවතාර, ආවේශවීම)ආදී සංසිද්ධීන් විග‍්‍රහ කැරෙනවා.

‘‘දේශීය දැනුම’’ හා ‘‘සාම්ප‍්‍රදායික ඥානය’’ වැනි කඩතුරාවලට මුවා වෙමින් කිසිදු තාර්කික ප‍්‍රශ්න කිරීමකින් හෝ නීතිමය නියාමනයකින් තොරව ලක් සමාජයේ කැරෙන ගුප්ත ව්‍යාපාරයන්ගේ පදනම සමහර ලිපි මගින් සියුම් ලෙස විමර්ශනය කරනවා.

පොතට ලිපි සපයා ඇති වෛද්‍යවරුන් තමන්ගේ ක්‍ෂෙත‍්‍රයට අදාල කාලීන මාතෘකා ගැන නිවහල් මත දක්වනවා. විශ්ව ශක්තියෙන් හෝ යාඥා බලයෙන් බරපතල (පිළිකා ඇතුළු) නිදන්ගත රෝග සුව කළ හැකි ද? කැඩුම් බිඳුම් ප‍්‍රකෘති තත්ත්වයට පත් කළ හැකි ද?

යන්නන් වාලේ අන් අය පසුපස යාම නිසා බුද්ධියෙන් මෙතරම් දියුණු යුගයක පවා ප‍්‍රාථමික සිතුම් පැතුම්වලට ඇබ්බැහිව එල්බෙමින් සිටින අති විශාල පිරිසක් ලොව සිටින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය ලිපියේ කියනවා.

ඔහු එය අවසන් කරන්නේ මෙසේයි. ‘‘මගේ පෞද්ගලික අදහස්වල හැටියට මගේ කිසිදු වැඩක් නැකතට කරලා නැහැ. පොරොන්දම් බලලා නැහැ. ජ්‍යෙතිෂය පසුපස හති දම දමා දුවලා නැහැ. මම මෙතෙක් කටයුතු කරලා තියෙන්නේ ඕවා සියල්ල මිථ්‍යා කාරණා හැටියට සළකලායි.’’

පූර්විකාවේදී අජිත් තිලකසේනයන් තව වැදගත් කරුණක් මතු කරනවා. මෙරට ඉතිහාසයේ වාර්තාගත ලොකුම ව්‍යසනය වූ 2004 දෙසැම්බර් 26 වනදා සුනාමිය පුරෝකථනය කරන්නට කිසිදු ජ්‍යොතිර් ඇදුරකුටවත් හැකි වූයේ නැහැ.

ඔහු කියන හැටියට ‘‘ජ්‍යොතීර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියන දේවල් බොරු වූ අවස්ථා දැක දැකත් ඒ පසුපස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ.’’

පුර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘බෞද්ධ සංස්කෘතිය ශ‍්‍රී ලංකා සමාජය තුළ හිමි කර ගෙන ඇති තැන ප‍්‍රශ්න කළ යුතු නෑ. එහෙත් ආගම (ඇදහිල්ල) ඇතුළත් විය යුත්තේ කෙනකුගේ පුද්ගලික පරිමණ්ඩලයට. ආගමක් ඇදහීම හෝ නොඇදහීම ඔහුගේ/ඇයගේ කැමැත්ත පරිදි විය යුතුයි….’’

රාජ්‍යය නිර්ආගමික වීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා. ‘‘ආණ්ඩුවට ආගමක් නැහැ’’ යන්න ප‍්‍රථම අගමැති ඞී. එස්. සේනානායක කී බව මතක් කරමින් ඔහු කියන්නේ, ‘‘එක් ආගමකට ප‍්‍රමුඛස්ථානය දෙන වගන්තියක් 1972ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඛේදයක්. එයට මුල් වූයේ මාක්ස්වාදී නායකයෙක් වීම උත්ප‍්‍රාසය දනවන්නක්. එයින් පස්සේ හැම ආණ්ඩුවක්ම ක‍්‍රියාවෙන් ‘සර්ව ආගමික’ වුණා.’’

Ceylon Rationalist Association: 1970 Memorandum on a New Constitution for Sri Lanka (letter from Dr Abraham T Kovoor to Dr. Colvin R. De Silva, Minister of Constitutional Affairs)

පූර්ණ ආගමික වූ මහත්මා ගාන්ධි පවා කටයුතු කළේ ඉන්දියාව ඓහික (secular) රාජ්‍යයක් කරනු සඳහායි. ඇදහිල්ල පුද්ගලික දෙයක් කොට ඔහු සැළකුවා. ආගමික ආයතනය නඩත්තුවට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම ගාන්ධි අනුමත කළේ නැති බවත් තිලකසේනයන් සිිහිපත් කරනවා.

මේ අයුරින් පුළුල් මහජන සංවාදයට ලක් විය යුතු තේමා රැසක් මේ පිටු 166ක කුඩා පොතේ අඩංගුයි. නමින් ‘‘හේතුවාදී ලිපි’’ වුවත් හේතුවාදී තලයෙන් ඔබ්බට මේ විචාරශීලී දැක්ම ගෙන යාම හදිසි කාලීන අවශ්‍යතාවයක් බව නම් පැහැදිලියි.

පොත රැගෙන කියවා බලන්න!

See also:

25 Sep 2011: සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 March 2012: සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා –  ඒකට අපි සැරසෙනවා!

25 March 2012: සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

18 Dec 2013: “ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

6 April 2014: සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

ක්‍රිව 2500දී පෘථිවිය දෙස බැලීමක්: ආතර් සී ක්ලාක් ලියු අවසාන කෙටිකථාව

In his last published short story, written only a few months before his death, Sir Arthur C Clarke envisioned a world without religions by the year 2500.

Yes, ALL organised, institutionalised religions (i.e. those with holy scripture, priests and places of worship) will gradually go into oblivion! No exceptions.

He offered this in a futuristic story titled The View From 2500 A.D., published in Forbes.com in November 2007, as part of a special online edition on the future.

In it, Sir Arthur described the development of reliable psychological probes, using which any suspected individual could be ‘painlessly and accurately interrogated, by being asked to answer a series of questions’. While its original purpose is to keep the world safe from criminals and terrorists, the “Psi-probe” soon proves to be useful on another front: to weed out religious fanaticism – and all religions themselves – which is a greater threat to humanity.

Read the original English story: The View from 2500 A.D. by Arthur C Clarke

S M Banduseela with Sir Arthur C Clarke
S M Banduseela with Sir Arthur C Clarke

A few weeks ago, with the concurrence of the Arthur C Clarke Estate, I invited S M Banduseela, the most prolific translator of Clarke’s work in Sri Lanka, to render this last story into Sinhala. Here it is, being published for the first time here:

 ක්‍රිව 2500දී පෘථිවිය දෙස බැලීමක්

ආතර් සී ක්ලාක් ලියු අවසාන කෙටිකථාව

පරිවර්තනය එස්.  එම්.  බන්දුසීල

අවුරුදු 2,500කට පසු අද අප සිටින වාසිදායක තත්වයේ සිට, බියකරු 21  වැනි සියවස දෙස ආපසු හැරී බලන විට එවැනි දුක්ඛිත යුගයක් පසු කර මිනිස් වර්ගයා තවමත් පැවතීම ඇදහිය නොහැකි දෙයක් ලෙස පෙනේ. ඉතාම අනතුරුදායක මොහොත වූයේ 2010 වර්ෂය බව දැන් නිවැරදිව කිව හැකියි.

ඉන් අවුරුදු පනහකට පමණ පෙර ප්‍රධානම තර්ජනය වූයේ තාප න්‍යෂ්ටික ආයුධයි. කෙසේ වෙතත් මේවා නිපදවිය හැකි වූයේ විශාල මූල්‍ය සම්පත් හා උසස් මට්ටමේ තාක්ෂණයක් යන දෙකම ඇති ධනවත් රටවලට පමණි.

නමුත් සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත ලෙස එක්වරම විද්යුත්-චුම්බක ස්පන්ද බෝම්බය නිපදවීමත් සමග තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේය. මෙම භයංකර උපක්‍රමයේ මූලාරම්භය පැහැදිලි නැත. සංකල්පයකට නියම කාලය පැමිණි විට, සෑම අවස්ථාවකම සිදු වී ඇත්තාක් මෙන් එය එකිනෙකාගෙන් ස්වාධීනව කීප තැනකම සොයා ගන්නට ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රසිද්ධ විස්තරයක් පළ වූයේ “පොපියුලර් මැකනික්ස්” නම් සඟරාවේ 2001 සැප්තැම්බර් කලාපයේයි. එයට සංස්කාරක යොදා තිබු ශීර්ෂපාඨය වඩාත් භාවෝද්දීපක විය:“ඉ-බෝමබය: ඇසිපිය ගසන තරම් ඉක්මනින් ශිෂ්ටාචාරය අවුරුදු200ක් ආපස්සට යැවිය හැකි විද්යුත්-චුම්බක බෝම්බයක් සෑදීමට ඕනෑම ත්‍රස්තවාදියෙකුට අවශ්‍ය වන්නේ ඩොලර්400ක් පමණයි!”

ඉ-බෝම්බයේ හදවත වුයේ ඉතා සරල උපක්‍රමයකි. අවශ්‍ය වුයේ තඹ දඟරයක් හා එය වටා දැමීමට පුපුරන ද්‍රව්‍යයක් පමණි. එය පිපිර වූ විට ඇති වන ප්‍රබල චුම්බක ස්පන්දය සියලු ඉලෙක්ට්‍රොනික පද්ධති අක්‍රිය කරනවා පමණක් නොව එය ඕනෑම තැනකට නිවැරදිව ඉලක්ක කර යැවිය හැකි වේ.

මෙම ලිපියේ රූපසටහන්ද සහිතව සියලු විස්තර අඩංගු වූ බැවින් ඕනෑම කෙනෙකුට සාර්ථක ඉ-බෝම්බයක් නිපදවිය හැකි වූයේය. ඇත්ත වශයෙන්ම සිදු වූයේත් එයයි!

පළමුවැනිමෙන් ම වාසනාවකට මෙන් අවසාන ඉ-බෝම්බය සාදන ලද්දේ කලින් දැන නොසිටි ආසියානු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසිනි. කුඩා බඩුනැවක එය නිවියෝර්ක් වරායට ගෙන ගිය ඔවුන් උපරිම අවුල්සහගත තත්වයක් නිර්මාණය කිරීම සඳහා එය පුපුරවා හැරියේ මධ්‍යම රාත්‍රියේයි.

මෙහොතකින් සියලු විදුලි උපකරණ ක්‍රියා විරහිත විය. මෙයට ආලෝක පද්ධති පමණක් නොව සියලු විදුලි සංදේශ හා පරිගණක උපකරණ ද ඇතුළත් විය. සියලු ගුවන්විදුලි හා රූපවාහිනි මධ්‍යස්ථාන අක්‍රිය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට තොරතුරු නොලැබීමෙන් අවුල දෙගුණ තෙගුණ වුයේය. වහාම මිය ගියේ හෘදඋත්තේජක පැලඳ සිටි සිය ගණනක් පමණි.

එක් අතකින් ඔවුන් වාසනාවන්ත යයි කිව හැකියි. ඊළඟ දින කීපය තුළදී කිසිම ආහාරයක් ලබා ගත නොහැකි වූ අතර ඒවා බෙදා හැරීමේ මගක් ද නොවීය. සියලු ජලපොම්පාගාර පද්ධති කියාවිරහිත වූ බැවින් පානීය ජලය ලබා ගත හැකි වූයේ නැත. අසල ප්‍රදේශවලින්   මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පෙර පිපාසය හා කුසගින්න නිසා සිය ගණනක් මිය ගොස් තිබුණි.

නමුත් 2001 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ යෝධ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉතා ඉක්මනින් යථා තත්වයට පත් වීමෙන් නිව්යෝර්ක නගරය ප්‍රදර්ශනය කළ ශ්‍රේෂ්ඨත්වය එය නැවතත් වරක් පෙන්නුම් කළේය.

එක්සත් ජාතීන්ගෙන් ලැබුන සහයෝගය ද මෙහිදී බොහෝ දුරට උපකාරී විය. මෙයට හේතු වූයේ මෙවැනි පහරදීමක අවදානම ලෝකය පුරාම ඇති බව සෑම රටක්ම අවබෝධ කර ගැනිමයි.

ඊළඟට පැන නැගුණ ප්‍රශ්නය වුයේ මෙවැනි ආයුධයකින් ආරක්ෂා වන්නේ කෙසේ ද යන්නයි. විශේෂ පුද්ගලයන් පොළොව යට ලෝහ කුටි තුළ ආරක්ෂා කළ හැකි වුවත් මුළු ජනගහනය සඳහා එය ප්‍රායෝගික පියවරක් නොවීය.

වාසනාවකට මෙන් අවසාන විසඳුම ලැබුණේත් ප්‍රශ්නය ඇති කළ තාක්ෂණය තුළින්මයි. විශ්වසනීය මානසික පරීක්ෂක (psychological probes) නිපදවීමත් සමග ඕනෑම සැකසහිත පුද්ගලයෙක් ඉතා පහසුවෙන් හා කිසිම වේදනාවකින් තොරව මේ මගින් විමර්ශනයට ලක් කළ හැකි වූයේය. අවශ්‍ය වූයේ ප්‍රශ්නමාලාවකට පිළිතුරු ලබා ගැනීම පමණි.

මෙම ප්‍රශ්නවලින් බොහොමයක් ඉතා අහිංසක ඒවා වූ අතර සමහරක් අමූලික අසත්‍යයන් විය. නමුත්  ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මානසික පරීක්ෂකය ක්‍රමාංකනය කර ගැනීමට ඒවා අවශ්‍ය විය.

ඊළඟ පියවර නම් ඉතා විවාදාත්මක විය. අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමට ලක් කරන ලද අතර ඔවුන දැක්වූ සහයෝගයට ගෙවීමක් කරන ලදී. මෙහිදී දුෂ්කරතාවය වූයේ සම්පුර්ණ ප්‍රතිඵලය නිවැරදි බව සහතික කිරීමට යම් කිසි ජාතියක   පරීක්ෂාවට ලක් කළ යුතු නියැදියේ ප්‍රමාණය තීරණය කිරීමයි.

මිනිස් ඉතිහාසයේ සිදු වූ මෙම යෝධ මානසික සමීක්ෂණයේ එක් ප්‍රතිපලයක් වූයේ ශිෂ්ටාචාරයට ඇති ප්‍රධාන අනතුර ආගමික අන්තවාදය පමණක් නොව ආගම් බවයි. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය” යන සුප්‍රසිද්ධ කියමනෙන් මෙය කැටි කොට දැක් වේ. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

රාජ්‍ය තාන්ත්‍රිකයන්, පූජකයන් හා දේශපාලනඥයින් යුග ගණනාවක් තිස්සේ දේශනා කර ඇති වචන බිලියන ගණනක් වූ භක්තිමත් කුණුකසල, වංචනික විලම්බීත හෝ (ඔවුන් අවංක වී නම්) උන්මත්තකයන්ගේ නන්දෙඩවිලි බව මෙයින් සක්සුදක් සේ පැහැදිලි විය.

මානසික පරීක්ෂකය තුළින් ලබා ගත් අලුත් තොරතුරු නිසා, මිනිස් මනස ආසාදනය කළ ඉතාම දරුණු “චිත්ත වයිරසය” සංවිධානාත්මක ආගම් බව අවබෝධ කර ගැනීමට මිනිස් වර්ගයාට හැකි වූයේය.

දැන් මෙම උපකරණය අපට මිනිස් සිත් මිලියන ගණනක් ඉලෙක්ට්‍රොනික ලෙස සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දී ඇති බැවින් සුපිරි මනසක් (“supermind”) තැනීමට ප්‍රයත්නයක් දැරිය යුතු යයි අදහසක් ඉදිරිපත් වී තිබේ. මෙයින් එයට සම්බන්ධ වන අයගේ පුද්ගලිකත්වය නැති වී යෑමේ අවදානමක් තිබේ. මේ නිසාම මෙහි හොඳනරක පිළිබඳව නිමක් නැති වාදවිවාද පැවැත්වෙයි.

සමහරුන්ගේ අදහස වී ඇත්තේ එවැනි මිනිස් සිත් ඒකාබද්ධ වීමක් ආශීර්වාදයක් විය හැකි බවයි. නියම යුතෝපියාවකට යා හැකි එකම මග ද එය විය හැකියි.

ඉන් ඔබ්බටත් යමින් සමහර විටක මෙම සුපිරි මනස, තරු වෙතට දූරානූභූතික සංඥාවක් (telepathic signal) යැවීමට ඉඩ තිබේ. එයින් කියවෙනු ඇත්තේ ගැලැක්සීය ප්‍රජාව සමග සම්බන්ධ වීමට පෘථිවි ග්‍රහලෝකය දැන් සූදානම් බවයි…

සුපිරි මනස සාදරයෙන් පිළිගනිමු!

Read interview God, Science, and Delusion: A Chat With Arthur C. Clarke in Free Inquiry magazine (Vol 19, No 2; 1999)

Read Arthur C Clarke’s well known quotes on religion

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka
Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka

සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Khushwant Singh (1915-2014), writer and journalist who died on 20 March 2014 aged 99. He is best remembered for his satire, humour and trenchant secularism. I make special mention of his defiance of death threats from Sikh fundamentalists in the 1980s, and his vocal stand against all organised religions.

Khushwant Singh (1915-2014)
Khushwant Singh (1915-2014)

මොන යකකුට, දෙවියකුට හෝ රජයකටවත් බිය නොවී අභීතව දශක ගණනක් ලේඛන කලාවේ යෙදුණු ඉන්දීය ලේඛක කුෂ්වාන්ත් සිං (Khushwant Singh) 99 හැවිරිදිව 2014 මාර්තු 20 වනදා මිය ගියා.

ඔහුගේ දැඩි විවේචනවලට නිතර හසු වූ දේශපාලකයන්, කලාකරුවන් හා වෙනත් නාමධාරී ඉන්දියානුවන් හැම කෙනකු ම පාහේ මතභේද පසෙක ලා මේ ලේඛකයාට ප‍්‍රණාමය පුද කළා.

ඉංග‍්‍රීසිය මවුබස ලෙස හැසරවීමේ හපන්කම තිබූ ඉන්දීය ලේඛකයන් අතර මුල් තැන ගත් ඔහු තමන්ටම ආවේණික ශෛලියක් බිහි කළේ උපහාසය, කථාන්තර කීමේ හැකියාව හා සැමට ‘ටිකිරි ටොකු’ දීමේ දක්‍ෂකම හරහායි.

‘‘මා ඉන්දියානුවකු වන්නේ ඇයි?’’ යයි වරක් ලිපියක් ලියමින් ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නා. ‘‘මට ඒ ගැන අභිමතයක් තිබුණේ නැහැ. මා උපන්නේ මෙරටයි. හැබැයි උපදින්නට කලින් මගෙන් ඇසුවා නම් මීට වඩා ඉසුරුබර, මෙතරම් ජනාකීර්ණ නොවූ, කන බොන දේ ගැන මේ තරම් බොරු සීමා පනවා නොගත්, ආගම් අන්ධ ලෙස නොඅදහන වෙන රටක් මා තෝරා ගන්නවා!’’

ඔහුගේ ජීවන දර්ශනය මේ උත්තරයේ කැටි වී තිබුණා යයි කිව හැකියි. මවු රට, තමන්ගේ ජාතිය, සංස්කෘතික උරුමය හා බලයේ සිටින රජයන් හා පාලකයන් අදීනව හා තර්කානුකූලව විවේචනය කිරීමට සමත් වූ ඔහු කිසිදු තරාතිරමක් නොබලා ඕනෑ ම ජගතකු නිර්දය ලෙස උපහාසයට ලක් කිරීමට ද මැලි වූයේ නැහැ. විශේෂයෙන් උගත්කම, වංශවත්බව, තනතුරේ ලොකුකම ආදිය නිසා හිස උදුම්මා ගත් අය ඔහුගේ පෑන් පහරින් දිගට ම බෑට කෑවා.

වෘත්තීය ජීවිතය මුල් කාලයේදී නීතීඥයකු ලෙසත්, ඉන් පසුව ඉන්දීය විදේශීය සේවයේ නිලධාරියකු ලෙසත් කළක් ක‍්‍රියා කළ ඔහු 1950 ගණන්වල පටන් වෘත්තීය ලේඛකයකු හා පත‍්‍ර කලාවේදීයකු ලෙස කටයුතු කළා. ජීවිතයේ අඩසිවසකට වැඩි කලක් තිස්සේ පොත් අසූ ගණනක්, පුවත්පත් තීරු ලිපි (කොලම්) දහස් ගණනක් හා වෙනත් ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් රචනා කළා.

මේ හැම එකකම සුවිශේෂී ගුණය වූයේ සරල, සුමට හා මිත‍්‍රශීලී වූ ඉංග‍්‍රීසි බසින් නිර්මාණය වීමයි. බොහෝ පොත පත කියවූ, දේශසංචාර කළ හා ශාස්ත‍්‍රීය නැඹුරුවක් තිබූ චරිතයක් වුවත් කුෂ්වාන්ත් ඉතිහාසය, දර්ශනවේදය, දේශපාලනය, සාහිත්‍යය හා කාලීන මාතෘකා රැසක් ගැන ගැඹුරු වූත්, තුලනාත්මක වූත් විග‍්‍රහයන් ලිව්වේ කාටත් තේරෙන බසින්.

Khushwant-Singh -  cartoon by Prabhakar Wairkar
Khushwant-Singh – cartoon by Prabhakar Wairkar

පත්තර කලාවට ආ විට ඔහු එයට සරිලන ශෛලියකින් කි‍්‍රයා කළා. 1970 දශකයේ ඉන්දියාවේ ජනප‍්‍රියම සඟරාව වූ ඉලස්ටේ‍්‍රටඞ් වීක්ලි ඔෆ් ඉන්ඩියා හි (Illustrated Weekly of India) කතුවරයා ලෙස ඔහු ජනප‍්‍රිය සංස්කෘතියට මුල් තැන දුන්නා. ව්‍යාපාරික, කලා ක්‍ෂෙත‍්‍රයන්ගේ අක‍්‍රමිකතා හෙළිදරවු කරන අතර බොරු ප‍්‍රතිරූප ගොඩ නගා ගෙන සිටි (බොල් පිළිම ආකාරයේ) නාමධාරින්ට එරෙහි වූවා.

කුෂ්වාන්ත්ගේ පත‍්‍ර කලාවේ සදාදරණීය කාලය වූයේ මේ සඟරාවේ කතුවරයා ලෙස කි‍්‍රයා කළ අවුරුදු නවයයි (1969-78). බාර ගන්නා විට සතියට පිටපත් 65,000ක් අලෙවි වූ සඟරාව මාස කිහිපයකින් හාර ලක්‍ෂය දක්වා වැඩි කිරීමට ඔහු සමත් වුණා. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමාගමට අයත්, 1880දී ඇරඹී මේ සඟරාව ඉන්දීය ජන සමාජයට ඉතා සමීප ප‍්‍රකාශනයක් බවට පත් වූයේ ඔහුගේ කාලයේයි.

බංග්ලාදේශයේ නිදහස් සටන (1971), ඔපෙක් තෙල් අර්බුදය (1973), ඉන්දියාවේ මර්දනකාරී හදිසි නීතිය (1975) හා පාකිස්ථානු අගමැති අලි බූතෝ එල්ලා මැරීම (1977) වැනි භාරතය හා ලොව කැළඹූ සිදුවීම් ගැන විමර්ශනාත්මකවත් සරලවත් විග‍්‍රහ කිරීමට සඟරාව සමත් වුණා. ලිපි ලේඛන ඔපවත් කරන්නට මනාව ඡායාරූප යොදා ගැනීමත් මරියෝ මිරැන්ඩා හා ආර් කේ ලක්‍ෂ්මන් වැනි චිත‍්‍ර/කාටුන් ශිල්පීන් සම්බන්ධ කර ගැනීමත් කළා.

ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ හා ඇගේ පුත් සංජේ ගාන්ධිගේ හිතවතකු හා අනුගාමිකයකු වීම නිසා කුෂ්වාන්ත්ගේ ස්වාධීනත්වය හා විශ්වසනීයත්වය පළුදු වුණා. එහෙත් බලවත් අගමැතිනියක ලෙස ඉන්දිරා රට පාලනය කරන කාලයේ ඇය සමග ප‍්‍රසිද්ධියේත්, පෞද්ගලිකවත් වාද විවාද කරන්නත් ඇගේ සමහර දරදඬු ප‍්‍රතිපත්තිවලට එරෙහි වන්නත් හැකි පෞරුෂය කුෂ්වාන්ත්ට තිබුණා.

පසු කලෙක ඔහු ස්වංලිඛිත චරිතාපදානයේ කීවේ ඉන්දියානු දේශපාලනයේ හා රාජ්‍ය පාලනයේ බොහෝ වැරදුණු තැන්වලට මුල් වූයේ ඉන්දිරාගේ දරදඬු පාලන ශෛලිය බවයි.

IBN TV's tribute to Khushwant Singh played on the image of editor inside the light bulb - the graphic used by him when he edited Illustrated Weekly of India (1969-78)
IBN TV’s tribute to Khushwant Singh played on the image of editor inside the light bulb – the graphic used by him when he edited Illustrated Weekly of India (1969-78)

1980-83 වකවානුවේ ඔහු හින්දුස්ථාන් ටයිම්ස් (The Hindustan Times) පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා වුණා. නව දිල්ලියේ හා උතුරු ඉන්දියාවේ වඩාත් ප‍්‍රබල දිනපතා පුවත්පත වූ එහි කතුවරයාට සමන්ත ඉන්දියාවේ ම දේශපාලන හා ප‍්‍රතිපත්ති ප‍්‍රවාහයන්ට ලොකු බලපෑමක් කළ හැකියි.

ප‍්‍රබල ව්‍යාපාරික පවුලක් වූ බිර්ලාවරුන්ට අයත් මේ පත‍්‍රයේ කතුවරයා ලෙස කුෂ්වාන්ත් මාණ්ඩලික වාර්තාකරුවන්ට හා විශේෂාංග ලේඛකයන්ට හැකි තාක් කර්තෘ මණ්ඩල නිදහස හා වගකීම් දුන් බව ප‍්‍රකටයි. හිමිකරුවන්ගේ මැදිහත්වීම් සමනය කරන්නටත්, දේශපාලන බලපෑම් අවම කරන්නටත් ඔහු උත්සාහ කළා.

1980 දශකය මුලදී ඉන්දියාවේ අන්තවාදී සික්වරුන් පිරිසක් අකාලි ඩාල් පක්‍ෂය හරහා සංවිධානය වෙමින් කාලිස්ථාන් (Khalistan) නම් වෙනම රාජ්‍යයක් ඉල්ලා උද්ඝෝෂණ කළා. සම්භවයෙන් සික්වරයකු වුවත්, සික් සාංස්කෘතික උරුමය ගැන ආඩම්බර වුවත් කුෂ්වාන්ත් මේ ක‍්‍රියා මාර්ගය ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. මේ උද්ඝෝෂණය සික් ජනයාටත්, ඉන්දියාවටත් අහිතකර බව පෙන්වා දුන්නා.

රටේ ප‍්‍රසිද්ධතම සික්වරයකු ලෙස කුෂ්වාන්ත් ගත් මේ ස්ථාවරය ගැන අන්තවාදී සික් පිරිස දැඩි ලෙස කෝප වුණා. තර්කයට ප‍්‍රතිතර්කය මතු කරනු වෙනුවට ඔවුන් ඔහුට මරණ තර්ජන එල්ල කළා.

මේ වන විට ඔවුන් සන්නද්ධ අරගලයකට යොමු වී සිටි නිසා කුෂ්වාන්ත්ට පොලිස් ආරක්‍ෂාව ලබාදීමට ඉන්දීය රජය ක‍්‍රියා කළා. එහෙත් තර්ජන කිසිවකට නොසැළුණු කුෂ්වාන්ත් දිගින් දිගට ම තම සහෝදර සික්වරුන්ගේ අදුරදර්ශී ප‍්‍රචණ්ඩ පිළිවෙත් සිය පුවත්පත හරහා විවේචනය කළා.

කුෂ්වාන්ත් තමන්ට ලැබුණු මරණ තර්ජන ගැන තම ප‍්‍රකාශනයේ මෙසේ පළ කළා.

‘‘ගෙවී ගිය සතියේ දිනෙක මුද්‍රිත පත‍්‍රිකාවක් මට තැපෑලෙන් ලැබුණා. එහි කියා තිබුණේ එය ලැබෙන හැම දෙනාමත්, ඔවුන්ගේ පවුල්වල උදවියත් කාලිස්ථානයේ සතුරන් ලෙස හඳුනාගෙන ඇති බවත් දින දහයක් ඇතුළත ඔවුන් මරා දමන බවත්.’’

‘‘මෙයට පෙර සිවු වසරක් තිස්සේ විටින් විට දුරකථනයෙන් හෝ තැපෑලෙන් හෝ මෙයට සමාන මරණ තර්ජන මට ලැබී තිබෙනවා. එහෙත් මුද්‍රිත තර්ජනයක් ලැබුණු මුල් වතාව මෙයයි. එසේම නිශ්චිත දින ගණනක් ඇතුළත මරනු ලබන බවට කියන්නේත් පළමු වතාවටයි. මින් පෙර පරුෂ වචනයෙන් මට බැන වැදී අවසන් ගමනට සූදානම් වී සිටින්න යයි කීවා පමණයි.’’

‘‘මේ තර්ජන අතරමැද නොසැලී හා නිදි නොවරා මගේ වැඩ කර ගෙන යන්නට මා පුරුදුව සිටිනවා. මගේ වයසේ හැටියට රෝගාතුර වී මාස ගණනක් රෝහල්ගත වී ඔත්පලව සිට මිය යනවාට වඩා ඉක්මන් මරණයක් ලැබුණොත් මාත් එයට කැමතියි. එපමණක් නොවෙයි, මෙසේ මරා දමනු ලැබුවොත් මා වෘත්තියට දිවි පිදු වීරයකු ද වනවා. මා මේ බොරුවට වීරකම් කථා කරනවා නොවෙයි. සික්වරයකු වුවත් මා තරමක බියගුල්ලෙක්. මගේ ඝාතකයන් වන්නට කුරුමානම් අල්ලන උදවිය දන්නවා හරියට තර්කයක් හා වාදයක් දිනා ගන්නට බැරි කෙනකුගේ අවසාන තර්කය වෙඩි උණ්ඩය බව.’’

‘‘මා මුල සිටම විශ්වාස කළේත්, ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටියේත් සික් ධර්මයේ හා සංස්කෘතියේ හරයන්ට කාලිස්ථාන සංකල්පය මුළුමනින්ම විරුද්ධ හා නොගැලපෙන බවයි. කිසිවකුගේ නිර්නාමික තර්ජනවලින් මේ මතය දැරීම හා එය පළ කිරීම මා නතර කරන්නේ නැහැ. ඔබට දැන ගන්නට ඕනෑ නම් මා ඔප්පු කර පෙන්වන්නම් මගේ පෑන ඔබ සතු කඩුවකට, රයිෆලයකට හෝ කලශ්නිකෝෆ් තුවක්කුවකට වඩා බලවත් බව.’’

‘‘හැබැයි මේ මුද්‍රිත තර්ජන පත‍්‍රිකාව එක් අතෙකින් මා සන්තාපයට පත් කළා. මෙබඳු පත‍්‍රිකාවක් මට පමණක් එවන්නට එය මුද්‍රණය කළ යුතු නැහැ. සිය ගණනක්, සමහර විට දහස් ගණනක් තවත් අයට මෙහි පිටපත් යවා ඇති. මේ තර්ජනකරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ මා සිටින්නේ පහලට වන්නට විය යුතුයි. මට වඩා වැදගත් ඉලක්කයන් බිලි ගත්තාට පසුව ඔවුන් මා හඹා එනු ඇති. මෙය මගේ ආත්මාභිමානයට පහරක්. කාගෙවත් ඝාතන ලයිස්තුවකට මා ඇතුළත් කරනවා නම් මා කැමතියි එහි මුලින්ම, ඉහළින්ම සිටින්නට. මගේ සැඟවුණු ඝාතකයෝ මට මේ අවසාන ගෞරවය ලබා දෙනු ඇතැයි මා සිතනවා.’’

indira_gandhiසික්වරුන්ගේ ශුද්ධ වූ රන් දෙවොල ඉන්දීය හමුදාව විසින් යටත් කිරීමෙන් සිදු වූ විශාල ලේ වැගිරීමට පළි ගැනීමක් වශයෙන් 1984 ඔක්තෝම්බර් 31 වනදා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඇගේ ම සික් ආරක්‍ෂකයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

හින්දුස්ථාන් ටයිම්ස් පත‍්‍රයේ කතුවරයා ලෙස තුන්වන වසරේ සේවා කාලය දිගු කරන විට හිමිකරු හා ප‍්‍රකාශක කේ. කේ. බිර්ලා ඉතා සුහදව කුෂ්වාන්ත්ගෙන් මෙසේ ඇසුවා. ‘‘සර්දා සාහිබ් (ලොකු මහත්තයා), විශ‍්‍රාම යන්න එහෙම කල්පනාවක් නැද්ද?’’

ඒ වන විට කුෂ්වාන්ත්ගේ වයස 69යි. ඔහු මෙසේ පිළිතුරු දුන්නා. ‘‘මා විශ‍්‍රාම ගන්නේ මගේ නිසල දේහය ගිනි දල්වන්ට රැගෙන යන විටයි.’’

අන්තිමේදී වයස 99ක් සපිරුණු පසුවත් ඔහු ලිවීම නතර කළේ නැහැ. වයස්ගත වීමත් සමග තරමක ශාරීරික දුබලතා මතු වුවත් ඔහු ඉතා හොඳ සිහියෙන් හා ධනාත්මක, උපහාසාත්මක මනසකින් දිගට ම පසු වූ බව සමීපතයෝ කියනවා.

හින්දුස්ථාන් ටයිම්ස් පත‍්‍රයට තමාගේ සතිපතා කොලම අවසානය දක්වා ම ලියුවා. කුෂ්වාන්ත්ගේ දේශපාලන ස්ථාවරයන් හා හිතවත්කම් ගැන ප‍්‍රතිවිරුද්ධ මත ඉන්දීය සමාජයේ කෙතරම් තිබුණත් ඔහුගේ කොලම මිතුරන්, පසමිතුරන් සැවොම නොවරදවා කියවූවා.

ඔහු ප‍්‍රධාන ප‍්‍රවාහයේ ඉන්දියානු සමාජයෙන් ඕනෑකමින් ම වෙනස් වූ තවත් සාධකයක් වූයේ නිර්ආගමික ස්ථාවරයයි. සික් උරුමය ප‍්‍රගුණ කරමින්, තලප්පාවක් පැළඳ හා ආවේණික රැවුලක් වවා සිටියත් ඔහු කිසිදා ආගමික වතාවත් හෝ පුද පූජාවලට සහභාගී වූයේ නැහැ. දේවවාද හෝ අදේවවාද හෝ මත පදනම් වූ කිසිදු සංවිධානගත ආගමක් නැතහොත් සාමයික දර්ශනයක් නොපිළිගත් ඔහු කීවේ හොඳ නරක පිළිබඳ හොඳම විනිශ්චය තමන්ගේ හෘදය සාක්‍ෂිය බවයි.

‘‘ආගම් සියල්ලේම මනෝමය මූලය වන්නේ නොදන්නා දේ ගැන මිනිසුන් තුළ පවතින බියයි’’ ඔහු කියා සිටියා. ‘‘දෙවියන් කියා කෙනෙකු සිටී ද නැත් ද යන්න ගැන පලකට නැති වාද කරනවා වෙනුවට අප සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ නම් කෙනකු හොඳ හෝ නරක හෝ චරිතයක් වීමට දෙවියන් පැවතීමේ අදාලත්වයක් නැති බවයි. කිසිදු ආගමක් ධර්මයක් නොඅදහන කෙනෙකුට වුව ද ඉතා හොඳ පුද්ගලයකු විය හැකියි. එමෙන්ම දිවා රාත‍්‍රී දෙවියන් අදහන වඳින පුදන තක්කඩියෝත් එමට සිටිනවා!’’

ඔහු 2012 හා 2013දී ලියා පළ කළ අන්තිම පොත් දෙකෙන් සිය නිර්ආගමික දර්ශනය වඩාත් පැහැදිලි කළා. සංවිධානගත ආගම්වල නිර්දය ලෙස පහර දීම ඔහු නතර කළේම නැහැ. සියළු ආගම්වල පූජකයන් පරපෝෂිත දුෂිතයන් හැටියට හඳුන්වා දුන්නා.

ඉන්දියාවේ සියළු ආගම් ගැන ගැඹුරු වූ ශාස්ත‍්‍රීය දැනුමක් තිබුණත් ඔහු එදිනෙදා චරිතගති සකස් කර ගත්තේ කෙලිලොල්, සැහැල්ලූ හා විනෝදකාමී ලෙසටයි. උගත්කමින් හිස උදුම්මාගත් පණ්ඩිතයන්ට හා උපාසකරාළලාට මෙය දරා ගන්නට අපහසු වුණා.

කුෂ්වාන්ත් ගැන තව බොහෝ දේ මෙනෙහි කළ හැකියි. ගතානුගතිකත්වයට, සුචරිතවාදයට හා දෛවවාදයට (fatalism) ප‍්‍රබල ලෙස එරෙහි වූ ඔහු තනි ගසක් තනි කරලක් මෙන් තමාට ආවේණික ජීවන රටාවක් හා ලේඛන කලාවක් දිගු ජීවිතය පුරා ප‍්‍රගුණ කළා. අන්තිමේදී ඔහු මිය ගියේ තම සොහොන් කොතේ ලිවිය යුතු වැකි ද රචනා කොටයි.

‘‘මෙතැන නිදන්නේ මිනිසුන්ට හෝ දෙවියන්ට තැකීමක්
නොකළ අයෙක්. ඔහුට ඔබේ කඳුළු නාස්ති කරන්න එපා.
ඔහු අමිහිරි දේ ලිවීමෙන් තෘප්තියක් ලැබූවෙක්.
මේ යකඩයා මැරුණ එක හොඳ යයි සිතා සැනසෙන්න!’’

Khushwant-Singh & his chosen epitaph

අජිත් තිලකසේන සංස්කරණය කළ ‘හේතුවාදී ලිපි’ පොත නිකුත් වෙයි

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ.  මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී.  එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිත්‍යාවක් බවට පත්වී තිබේ.’’

මේ වටිනා ප‍්‍රකාශය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1968දී.  පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා ‘20 වන සියවසේ බුද්ධිමතාගේ ඇදහීම කුමක් විය යුතුද?’ යන මැයෙන් දේශනයකදී.

ඒ දේශනයේ උධෘත කිහිපයක් අජිත් තිලකසේන ලේඛකයා විසින් සංස්කරණය කරන ලද ‘හේතුවාදී ලිපි’ නම් අළුත් පොතේ අඩංගුයි.  එය සරසවි ප‍්‍රකාශනයක් ලෙස 2014 ජනවාරියේ නිකුත් වුණා.

ලෝකයේ ප‍්‍රකට හා සම්භාවනීය නිදහස් මතධාරින් ගණනාවකගේ සහ මෙරට අදීන චින්තකයන් කිහිප දෙනෙකුගේ විවෘත මත දැක්වීම් පෙළ ගස්වා ඇති මේ පොතේ පිටු 166යි.  ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අනුදැනුම ද ඇතිව මේ පොත සකස් කොට තිබෙනවා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට අමතරව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා.

එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පුනරුත්පත්තිය ගැන දලයි ලාමා තුමාගේ අදහස්, ඇදහිලි ගැන මහත්මා ගාන්ධිතුමාගේ විග‍්‍රහයක් මෙන්ම අද්භූත හා ප‍්‍රාතිහාර්ය ලෙස සැළකෙන දේ අරඹයා 1962දී ආචාර්ය කොවූර් නිකුත් කළ ප‍්‍රසිද්ධ අභියෝගය ද සරල හා ලිහිල් සිංහලෙන් මේ පොතෙන් කියවිය හැකියි.

අජිත් තිලකසේනයන්ගේ ඇරයුමෙන් මේ පොතට එක් ලිපියක් මා රචනා කළා. එහි මාතෘකාව ‘මිනිසුන් උමතු කරන මනෝ වයිරසය’. ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් සියළු සංවිධානගත ආගම් ගැන ජීවිත කාලය පුරා කියු හා ලියු අදහස්වල සම්පිණ්ඩනයක් මේ ලිපියේ මා ගොනු කළා.

ක්ලාක්ගේ ජිවිතයේ අවසන් වසර 21 (1987-2008) කාලයේ පර්යේෂණ සහායක ලෙස සමීපව වැඩ කිරීමෙන් මා ලද වටිනා දායාදයක් නම් ආගම් දර්ශන ඇතුළු වෙනත් බොහෝ විෂයයන් හා තේමාවන් ගැන ඔහුගේ නිවහල් අදහස් උකහා ගත හැකි වීමයි.

මේ ලිපිය මා ලිව්වේ ඉංගී‍්‍රසියෙන් ඇති ඔහුගේ ප‍්‍රකාශිත පොත්පත්, මාධ්‍ය සාකච්ඡා හා අප‍්‍රකාශිත දේශන පිටපත් වැනි මූලාශ‍්‍ර රැසක් සීරුවෙන් පරිශීලනය කිරීමෙන් පසුවයි.

ආගම් ගැන විවෘත මත දැක්වීමකදී බොහෝ දැන උගත් අය පවා අනවශ්‍ය තරම් ආවේගශීලි වන නිසා සාවධානව මේ ගැන  ක්ලාක්ගේ අදහස් කැටි කිරීමට මා උත්සාහ කළා.  මගේ පෞද්ගලික අදහස් මෙහි නැහැ.  මා හුදෙක් ඔහුගේ අදහස් සිංහලෙන් බෙදා ගන්නා සන්නිවේදකයා පමණයි.

මගේ ලිපියට අමතරව ක්ලාක්ගේ තවත් බුද්ධිමය දායකත්වයක් මේ පොතේ තිබෙනවා එනම් ‘රාජ්‍ය පාලනය හා ආගම’ ගැන ඔහුගේ අදහස්වල සිංහල අනුවාදයක්. 2007 දෙසැම්බරයේ ඔහුට වයස 90 පිරුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයේ FOCUS විද්‍යා සඟරාව සමග කළ මාධ්‍ය සාකච්ඡාවක උධෘතයක්.  එය ඔහු කළ අවසන් සාකච්ඡාවලින් එකක්.

See also:

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

The ascent or descent of Man?
The ascent or descent of Man?

Crossing the ‘Dev-Code’ Divide: Easier said than done?

Cartoon by Popa Matumula - Courtesy Cartoon Movement
Cartoon by Popa Matumula – Courtesy Cartoon Movement

“To garner public support for their causes, the development community must connect with rest of society using everyday phrases, metaphors and images. That is a far better strategy than expecting everyone to understand their gobbledygook.”

This is the central argument in my latest op-ed essay, just published on the Communication Initiative blog.

Titled Crossing the ‘Dev-Code’ Divide, I revisit a theme familiar to my regular readers: getting development pr0fessionals to communicate better.

Another excerpt:

“After working with technological ‘geeks’ and development workers for many years, I know they have at least one thing in common: their own peculiar languages that don’t make much sense to the rest of us.

“Talking in code is fine for peer-to-peer conversations. But it’s a nonstarter for engaging policy makers and the public.”

An example of coded language is the oft-bandied Millennium Development Goals (MDGs) – lofty ideals, badly packaged.

This essay is a tribute to my mentor and former colleague Robert Lamb (1952 – 2012), who was a grandmaster in communicating development to public and policy audiences using simple language and powerful imagery.

Working with Robert for 15 years, I saw how he brought seemingly dreary development issues alive on TV and video – dominant media of his time — through simple and sincere story telling. He mixed inter-governmental processes with stark ground level realities. In three decades he produced or commissioned hundreds of international TV documentaries exploring what sustainable development meant in the real world.

Read the full essay: Crossing the ‘Dev-Code’ Divide

Republished in The Nation newspaper, Sri Lanka, 16 Feb 2014

Cartoon by Patrick Chapette
Cartoon by Patrick Chappatte, IHT

See also related blog posts:

November 2009: Satinder Bindra: It’s the message, stupid (and never mind the UN branding)!

July 2009: Asia’s Other Eclipse: The one that doesn’t make TV news!

March 2009: Mixing oil and water: Media’s challenges in covering human security

March 2009: Missing Mothers: How acronyms and jargon can kill innocent women

April 2007: MDG: A message from our spin doctors?

April 2007: Say MDG and smile, will ya?

සිවුමංසල කොලූගැටයා #151: පිටසක්වලයාගේ අකරතැබ්බය: සත්‍යජිත් රේ නොහැදු චිත‍්‍රපටයේ කථාව – 2

Indian filmmaker Satyajit Ray (1921-1992) was keen to make India’s first science fiction movie, and in 1967 wrote a script for a film to be called The Alien, based on his own short story “Bankubabur Bandhu” (“Banku Babu’s Friend”). The story was about an alien spaceship that landed in rural Bengal, carrying a highly intelligent and friendly alien being with magical powers.

Ray’s friend Arthur C Clarke recommended and introduced him to Hollywood, but the film never reached production. In this week’s Ravaya column (in Sinhala), I continue the story of what happened to The Alien.

Thanks to writer and film historian Richard Boyle for sharing excerpts from his as-yet unpublished manuscript on this topic, which is one of the greatest might-have-beens in the history of the cinema.

See Part 1: සිවුමංසල කොලූගැටයා #150: සත්‍යජිත් රේගේ එළි නොදුටු සිනමා සිහිනය – පිටසක්වලයා

L to R - Satyajit Ray, Arthur C Clarke, Mike Wilson
L to R – Satyajit Ray, Arthur C Clarke, Mike Wilson

ලෝක පූජිත ඉන්දියානු සිනමාකරු සත්‍යජිත් රේ (1921 – 1992) දශක ගණනක් සිහින මැවුවත් හදන්නට බැරි වූ පිටසක්වලයා (The Alien) චිත‍්‍රපටය ගැන අප ගිය සතියේ කථා කළා. (1979දී රිඞ්ලි ස්කොට් නම් බි‍්‍රතාන්‍ය සිනමාකරුවා තැනූ Alien චිත‍්‍රපටය හා එහි අනුගාමී කෘතීන් අපේ කථාවට කිසිසේත් සම්බන්ධයක් නැහැ.)

1961දී ළමා සඟරාවකට ප‍්‍රබන්ධ කථාවක් ලියමින් පිටසක්වලින් පිටිසර බෙංගාලි ගමකට පැමිණෙන අහිංසක හා මිත‍්‍රශීලී ජීවියකු ගැන සත්‍යජිත් රේ පරිකල්පනය කළා. සම්භාවනීය විද්‍යා ප‍්‍රබන්ධ රචක ආතර් සී. ක්ලාක්ගේ යෝජනාවකට අනුව 1967දී ඔහු එය චිත‍්‍රපට තිර රචනයක් ලෙස කෙටුම්පත් කළා. එය ජාත්‍යන්තර නිෂ්පාදනයක් ලෙස කිරීමට හොලිවුඞ් චිත‍්‍රාගාර ආයෝජක මට්ටමින් සම්බන්ධ කරන්නට ක්ලාක්ගේ නිර්දේශය මත මැදිහත් වූයේ ඔහුගේ මිතුරා මයික් විල්සන් (1934-1995).

එහෙත් රේ හා විල්සන් සහයෝගිතාව සාර්ථක නොවූ සැටිත්, පිටසක්වලයා චිත‍්‍රපටය කිසි දිනෙක බිහි නොවූ වගත් අප විස්තර කළා.

1967දී තිර රචනය කළ The Alien කථාව, 1982දී ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ E.T. the Extra-Terrestrial චිත‍්‍රපටයේ කථාවට බොහෝ සෙයින් සමාන වීම අහම්බයක් ද?

ප‍්‍රබන්ධ සාහිත්‍යයේ මෙන් ම චිත‍්‍රපට ඉතිහාසයේත් එක සමාන කථා වස්තූන් රැගත් නිර්මාණ එකිනෙකා නොහඳුනන නිර්මාණකරුවන් විසින් ස්වාධීනව බිහි කළ තවත් අවස්ථා හා උදාහරණ තිබෙනවා. එහිදී සැබැවින් ම අදහස් කාන්දුවීමක් සිදු වූවා යයි තහවුරු කිරීම ඉතා අසීරුයි.
‘නිර්මාණ කොල්ලය’ බඳු චෝදනාත්මක යෙදුමක් මෙබඳු සිද්ධීන්ට යොදා ගන්නට තරම් ප‍්‍රබල සාක්‍ෂි නැහැ. සත්‍යජිත් රේ පවා කිසි විටෙක ස්පිල්බර්ග්ට සෘජුව අභියෝග කළේ නැහැ. එහෙත් එබන්දක් සිදු වුණා දෝ කියන සැකය 1992දී මිය යන තුරු ම රේ ගේ සිතේ තිබූ බව ඔහුගේ සමීපතයෝ වාර්තා කරනවා.

බොහෝ චිත‍්‍රපටවල වීරයකු හා දුෂ්ටයකු හමුවනවා. එහෙත් සැබෑ ජීවිතයේ සිද්ධීන් ඊට වඩා සංකීර්ණයි. මේ සිදුවීම් මාලාවේ ‘දුෂ්ටයා’ මයික් විල්සන් ද?

Satyajit Ray's drawing of the friendly Alien, sketched for 1967 draft screenplay & ET in 1982
Satyajit Ray’s drawing of the friendly Alien, sketched for 1967 draft screenplay & ET in 1982

මේ ප‍්‍රශ්නය මා බි‍්‍රතාන්‍ය ජාතික ලේඛක රිචඞ් බොයිල්ට යොමු කළා. 1974 සිට මෙරට පදිංචිව සිටින රිචඞ් කලක් (බි‍්‍රතාන්‍ය) චිත‍්‍රපට කර්මාන්තයේ නියැලී සිට දැන් පර්යේෂණාත්මක ලේඛකයකු ලෙස කි‍්‍රයා කරනවා. සිනමා ඉතිහාසය ගැන විශෙෂ උනන්දුවක් දක්වන ඔහු මයික් විල්සන් සමීපව ඇසුරු කළා පමණක් නොව මයික්ගේ පෞද්ගලික ලිපි ලේඛන සියල්ලේ වත්මන් භාරකරු ද වනවා.

රේ – ක්ලාක් – විල්සන් ති‍්‍රත්වය අතර හුවමාරු වූ ලියුම් හා වෙනත් මූලාශ‍්‍ර රැසක් මත පදනම් වී The Alien චිත‍්‍රපටය බිහි නොවීමේ පසුබිම් කථාව ඔහු කෙටුම්පත් කර තිබෙනවා. තවමත් ප‍්‍රකාශිත නොවූ ඒ පොතේ උධෘතයන් ගණනාවක් රිචඞ් මට කියැවීමට ලබා දුන්නා. සිද්ධිදාමය ගැන මැදහත්ව විමර්ශනය කරන්නට ඔහු වෙර දරා ඇති බව පෙනෙනවා.

රේ මුලින් සැළසුම් කර තිබුණේ පිටසක්වලයා චිත‍්‍රපටය ඉන්දියානු පේ‍්‍රක්‍ෂකයන්ට පමණක් ඉලක්ක කොට බෙංගාලි බසින් නිර්මාණය කරන්න. ඔහු එකල ඉතා සීමිත මුදල් ආයෝජනයකින් කලාත්මක සිනමා නිර්මාණ කිරීම ප‍්‍රගුණ කොට සිටියා. විද්‍යා ප‍්‍රබන්ධ කියැවීමට හා ලිවීමට ලැදි ඔහුට ඉන්දියාවේ මුල් ම විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය බිහි කිරීමේ අරමුණ ද තිබුණා.

ආතර් සී. ක්ලාක් ගැන රේට ඉමහත් ගෞරවයක් හා ලැදියාවක් තිබුණා. ක්ලාක්ගේ යෝජනාව පිළි ගනිමින් මෙය ජාත්‍යන්තර චිත‍්‍රපට නිෂ්පාදනයක් බවට පත් කිරීමට රේ ඉතසිතින් කැමති වූයේ එනිසායි. එසේ ම අමුතු චරිතගති තිබුණත් මයික් විල්සන් සමඟ දෙතුන් වසරක් රේ ගනුදෙනු කළේ ද මයික්ව හඳුන්වා දුන්නේ ක්ලාක් නිසායි.

‘මයික් විල්සන්ට චිත්තාකර්ෂණීය පෞරුෂයක් තිබුණා. ඔහු නිර්මාණශීලීයි. කාර්යශූරයි. එහෙත් ඔහුට ම ආවේණික කි‍්‍රයා කලාපයක් තිබුණා. සමහර වෙලාවට සුහදව දැඩි බලපෑම් කරන්නට ඔහු සමතෙක්’’ යයි රේ ලියා තිබෙනවා.

තම චිත‍්‍රපටයට අවශ්‍ය හොලිවුඞ් සම්බන්ධීකරණයත්, නම දිනූ අමෙරිකානු හා බි‍්‍රතාන්‍ය නඵවන් සොයා යාමේ කාර්යයන් කළෙ මයික් බව රේ නොවලහා කියනවා. එහෙත් අද මෙන් ඊමේල් හා ක්ෂණික සන්නිවේදන නොතිබූ ඒ යුගයේ ටෙලෙක්ස් කේබල් හා ගුවන් තැපැල් මගින් රටවල් අතර සහයෝගිතා ව්‍යාපෘති කරද්දී වැරදි වැටහීම් හා මතගැටුම් ඇති වීම පුදුමයක් නොවෙයි.

1967 සති කිහිපයක් පුරා රේ විසින් රචිත පිටසක්වලයා දළ තිර රචනය රැගෙන මයික් හොලිවුඞ්පුරයට ගියා. ඔවුන් දෙදෙනා ම වෙනුවෙන් ව්‍යාපාරික මට්ටමින් ආයෝජනයන් ගැන සාකච්ඡා කරන්නට රේ තමාට නීතිමය බලය පැවරූ බව මයික් කීව ද පසු කලෙක රේ එය සනාථ කළේ නැහැ.

රිචඞ් බොයිල් කියන හැටියට The Alien තිරරචනය ඉන්දියාවේ දී බුද්ධිමය අයිතිය ලියාපදිංචි කිරීම රේට අතපසු වී තිබෙනවා. එය හොලිවුඞ් ගෙන ගිය මයික්, තමන් දෙදෙනාගේ ම නමින් එහි බුද්ධිමය අයිතිය අමෙරිකාවේ ලියාපදිංචි කළා. එසේ කළේ වැඩි හොඳට බවත්, වෙනත් කිසිවකු ඒ අදහස් යොදා චිත‍්‍රපටයක් හැදීම වැළැක්වීමට බවත් මයික් කියා සිටියා. එහෙත් තිර රචනයේ 90%ක් තමාගේ දායකත්වය තිබූ නිසා මේ හවුල් අයිතිය අසාධාරණ හා වැරදි බව රේ ගේ මතය වූවා. දෙදෙනා අතර විරසකයට මූලික සාධකයක් වූයේ මෙයයි.

ස්ටැන්ලි කුබ්රික් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ නීතිඥයා වූ ලූයී බ්ලාවු (Louis Blau) හරහා ඉන්දුස් චිත‍්‍රපට (Indus Productions) නම් නව සමාගමක් ඇරැඹූ මයික්, කොලම්බියා සමාගම සමග සියඵ ගනුදෙනු එම සමාගම හරහා කිරීමට උපදෙස් දුන්නා. මේ විධිවිධානය ද රේ ගේ නොසතුටට හේතු වූ බව පෙනෙනවා.

රේ ඊට පෙර හොලිවුඞ් සමග එතරම් ගනුදෙනු කර තිබුණේ නැහැ. 1958දී පාතර් පංචාලි අමෙරිකාවේ පෙන්වන විට කෙටි සංචාරයකට හොලිවුඞ් ගියත් එහි සටකපටකම් හා අන්තරායන් ගැන ඔහුට අත්දැකීම් තිබුණේ ද නැහැ. රිචඞ් බොයිල් කියන්නේ හොලිවුඞ් අරභයා සත්‍යජිත් රේ අහිංසකයකු වූ බවයි.

පිටසක්වලයා ගැන සැළසුම් කරද්දී කොලම්බියා සමාගමේ වියදමෙන් හොලිවුඞ්, නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර සංචාරය කරන්නත්, ඉහළම පෙළේ හෝටල්වල නවාතැන් ගන්නත් රේ හා මයික්ට හැකි වුණා. රේ මේ අමුතු ලෝකය දෙස බැලූවේ උපේක්‍ෂා සහගතවයි.

1967 ජූනි 12දා හොලිවූඞ් පුවත් සඟරාව වන Vanity Fair මහ ඉහළින් වාර්තා කළේ සම්මානනීය ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රේ හා නිෂ්පාදක මයිකල් විල්සන් පිටසක්වල ජීවියකු ගැන ජාත්‍යන්තර චිත‍්‍රපට නිෂ්පාදනයක් අරඹන බවයි. පීටර් සෙලර්ස් ප‍්‍රධාන චරිතය රඟන එහි රූ ගත කිරීම් බහුතරයක් බෙංගලායේ සිදුවනූ ඇති බවත්, ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන් 1.3ක් බවත් එහි කියැවුණා. මෙය ඒ දක්වා රේට තිබුණු චිත‍්‍රපට අරමුදල්වලට වඩා බෙහෙවින් වැඩි මුදලක්.

එහෙත් රේ හා මයික් නොපෑහීම නිසා චිත‍්‍රපටය කිසි දිනෙක රූ ගත කිරීම් අදිරයට ළගා වුණේ නැහැ. මේ අවාසනාවන්ත තත්වය ගැන ඇසූ ආතර් සී. ක්ලාක්, රේ හා මයික් අතර සංහිදියාවක් ඇති කරන්නට බොහෝ උත්සාහ කළත් එය අසාර්ථක වුණා.

‘මයික් හා මා එකට වැඩ කරද්දී ඔහුගේ ශෛලිය මට ඇල්ලූවේ නැහැ. ලන්ඩනයේ අප සිටි එක් අවස්ථාවක චිත‍්‍රපට සමාගම සමඟ අප කරන සියඵ කථාබහ හීන්සීරුවේ පටිගත කරන්නට මයික් කි‍්‍රයා කළා. මේ කර්මාන්තයේ කිසිවකු කට වචනයට විශ්වාස කළ නොහැකි යයි මයික් තර්ක කළා’’ රේ ආවර්ජනය කොට තිබෙනවා.

රේ ඉතා ඉවසිලිමත් වූ චරිතයක්. ලෙහෙසියෙන් කලබල නොවන හා තරහා නොයන කෙනෙක්. එහෙත් මයික් සමග වැඩ කරන්නට අමාරු වූ විට ටිකෙන් ටික ඔහු දුරස්ථ වුණා. මේ කාලයේ රේ තව දුරටත් තමාගේ බෙංගාලි චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කිරීම නතර කළෙ නැහැ. 1967දී චිරියාකානා Chiriyakhana චිත‍්‍රපටය නිකුත් වූ අතර ඊළඟ බෙංගාලි චිත‍්‍රපයට මුදල් සෙවීමට ද ඔහු වෙහෙසෙමින් සිටියා.

1968 අගෝස්තු 15දා රේ ක්ලාක්ට ලියුමක් ලියමින් The Alien ව්‍යාපෘතිය ඉදිරියට යන්නට නම් මයික් එයින් ගෞරවනීය ලෙස ඉවත් විය යුතු යයි කාරුණික ඉල්ලීමක් කළා. ‘‘මයික් දක්‍ෂයෙක්. එමෙන්ම උද්‍යොගශීලීයි. එහෙත් අප දෙදෙනා බෙහෙවින් වෙනස් චරිත. ඔහු නිෂ්පාදකයා ලෙස තබා ගෙන මේ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නට මට බැහැ. මා චිත‍්‍රපටය තැනූ පසු මයික්ට විධායක නිෂ්පාදක ලෙස නාමාවලියේ පිළිගැනීමක් දීමට මා සූදානම්. එහෙත් මගේ පාඩුවේ මේ චිත‍්‍රපටය හදන්නට නම් මයික් නැතිව වැඬේ පටන්ගත යුතුයි.’’

දෙපාර්ශවය එකඟ කර ගෙන ව්‍යාපෘතිය ද බේරා ගන්නට ක්ලාක්ටත් නොහැකි වුණා. 1968 අගෝස්තු 28දා ක්ලාක් රේට ලියුමක් ලියමින් කීවේ: ‘කවුද හරි කවුද වැරදි කියා වාද කරමින් නොසිට මේ අසිරිමත් කථාව චිත‍්‍රපටයකට නැංවිය හැකි නම් කෙතරම් අපූරු ද? එයට සුදුසු පසුබිමක් ඇති කරන්නට මා තවමත් උත්සාහ කරනවා. එහෙත් මට කළ හැකි දේ සීමිතයි.’

සත්‍යජිත් රේ චරිතාපදානයක් ලියූ බි‍්‍රතාන්‍ය ලේඛක ඇන්ඩෘ රොබින්සන් කියන්නේ පිටසක්වලයා කථාව චිත‍්‍රපටයකට නැගීමේ අදහස 1970 දශකය පුරා ම පාහේ රේගේ හිතේ තිබුණු බවයි. ඒ ගැන විටින් විට ඔහු කොලම්බියා චිත‍්‍රපට සමාගම සමග කථා කළත් අදහස යළි පණ ගැන්වීමට නොහැකි වුවා. ඔහු එය අත්හැර දැම්මේ Close Encounters of the Third Kind (1977) හා ET (1982) නම් ස්ටීවන් ස්පිල්බර්ග් චිත‍්‍රපට දෙක ලෝකය කුල්මත් කළ පසුවයි.

සත්‍යජිත් රේ මෙන් ම ස්ටීවන් ස්පිල්බර්ග් ද ඇසුරු කළ ක්ලාක්, මේ දෙදෙනා අතර නිර්මාණ කොල්ලයක් වී යයි පිළි ගත්තේ නැහැ. පිටසක්වල ජීවීන් මොලොව ඒම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ප‍්‍රබල තේමාවක් බැවින් මෙබඳු අවිහිංසක පිටසක්වලයකු ගැන කථාවක් ස්වාධීනව මේ නිර්මාණකරුවන් දෙදෙනාට පරිකල්පනය වීම පුදුමයක් නොවේ යයි ක්ලාක් ලියා තිබෙනවා.

ක්ලාක් හා රේ මිතුදම දිගට ම පැවතුණා. The Alien ගැන ශෝකබරිතව ආවර්ජනා ලියන විට පවා රේ කිසි විටෙක ක්ලාක්ට දොශාරෝපණයක් කළේ නැහැ.

කල්කතාවෙන් පළ කැරෙන The Statesman පත‍්‍රයේ 1980 ඔක්තෝබර් 5 වනදා ‘පිටසක්වලයාගේ අකරතැබ්බය’ (Ordeals of the Alien) නමින් ලිපියක් ලියූ රේ තමාගේ අමිහිරි අත්දැකීම ලේඛනගත කළා. ඒ වන විට ස්වාමි සිවකල්කි නමින් හින්දු පූජකයකු බවට පත්ව සිටි මයික් විල්සන් එය කියවා කර්තෘට ලියුමක් ලියමින් තමාගේ පැත්ත විස්තර කළා.

එම ලියුම හරහා මයික් කීවේ තමා නිර්මාණ හොරකු නොවූ බවත්, චිත‍්‍රපටය නිපදවීමේ නොතින් ආසාව හා උද්‍යොගය මත කටයුතු කළ බවත්. එසේ ම මහා සිනමාකරුවාව හොලිවුඞ් කපටියන්ගෙන් බේරා ගන්නට තමා යම් ආරක්‍ෂණ පියවර ගත් බවට මයික් තර්ක කළා.

මයික් සිය ලියුම අවසන් කළේ මෙසේයි: ‘රේ හා මා අතර මතභේද තිබූ බව සැබෑ නමුත් ඔහු ලෝකයේ ශෙෂ්ඨතම සිනමාකරුවෙක්. මා ඉන්දියාවට උදක් ම කියන්නේ ඔහුට රිසි පරිදි චිත‍්‍රපට නිර්මාණය කරන්නට දේශීය මට්ටමින් සියඵ සම්පත් හා පහසුකම් ලබා දෙන්න කියායි.’

රේගේ සිනමා විශිෂ්ඨත්වය ලොවට පෙන්නුම් කරන්නට හොලිවුඞ් සමාගමක පිහිට අවශ්‍ය වූයේ නැහැ. බටහිර චිත‍්‍රපට නිෂ්පාදනයට වෙන් කැරෙන මුදල් හා තාක්‍ෂණ පහසුකම් නැතිවත් සදාදරණීය සිනමා කෘති රැසක් (වෘතාන්ත චිත‍්‍රපට 29ක්, වාර්තා චිත‍්‍රපට 5ක් හා කෙටි චිත‍්‍රපට 2ක්) ඔහු අධ්‍යක්‍ෂණය කළා.

(විශෙෂ ස්තූතිය: රිචඞ් බොයිල්)

සිවුමංසල කොලූගැටයා #150: සත්‍යජිත් රේගේ එළි නොදුටු සිනමා සිහිනය – පිටසක්වලයා

Renowned Indian filmmaker Satyajit Ray (1921-1992) directed 36 films, including feature films, documentaries and shorts. He was also a fiction writer, publisher, illustrator, calligrapher, graphic designer and film critic.

In 1967, Ray wrote a script for a film to be called The Alien, based on his own short story “Bankubabur Bandhu” (“Banku Babu’s Friend”) which had appeared in Sandesh, the Ray family magazine, in 1962. The story was about an alien spaceship that landed in a pond in rural Bengal, carrying a highly intelligent and friendly alien being with magical powers and best capable of interacting with children.

Ray was keen to collaborate with Hollywood for making this movie that required special effects and a higher budget than his other movies. His friend Arthur C Clarke recommended and introduced him to Hollywood, but the film never reached production. Years later, when Steven Spielberg made ET, Ray and his friends noticed remarkable similarities between the two stories. Coincidence?

In this week’s Ravaya column (in Sinhala), I relate the story behind the story of what happened to The Alien. This is reconstructed from Ray’s own published account, Ordeals of The Alien. I’m grateful to writer and film historian Richard Boyle for sharing excerpts from his as-yet unpublished manuscript on this topic, one of the greatest might-have-beens in the history of the cinema.

See also: The Alien from India: Satyajit Ray’s Hollywood Journey

Satyajit Ray (1921-1992) Photo courtesy http://seudolab.com
Satyajit Ray (1921-1992) Photo courtesy http://seudolab.com

ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රේ (1921 – 1992) ලොව පහළ වූ විශිෂ්ඨතම චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස අවිවාදයෙන් පිළි ගැනෙනවා. (අපේ බොහෝ දෙනකු රායි වශයෙන් උච්චාරණය කළත් ඔහුගේ පෙළපත් නම ඇත්තට ම රේ බව මා බෙංගාලි මිතුරියක් හරහා තහවුරු කර ගත්තා.)

1955දී පාතර් පංචාලි චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණයෙන් ඇරැඹුණු ඔහුගේ සිනමා දිවිය වෘතාන්ත චිත‍්‍රපට 29ක්, වාර්තා චිත‍්‍රපට 5ක් හා කෙටි චිත‍්‍රපට 2ක් ලෙස ඔහුගේ ජීවිතය අවසානය තෙක් ම විහිදුණා. චිත‍්‍රපට 36ක් නිර්මාණය කිරීමට අමතරව ඔහු ප‍්‍රබන්ධ කථා රචකයකු, චිත‍්‍ර ශිල්පියකු හා සඟරා කතුවරයකු ලෙස ද කලා ක්‍ෂෙත‍්‍ර ගණනාවක හපන්කම් කළා.

අද අප කථා කරන්නේ රේ නොහැදු චිත‍්‍රපටයක් වූ The Alien කථා වස්තුව හා ඒ වටා ඇති වූ සිදුවීම් මාලාව ගැනයි. චිත‍්‍රපට ඉතිහාසයේ බිහි නොවූ අනගි නිර්මාණ අතර මේ කථාවත් තිබෙනවා. එයට පසුබිම් වූ හැමදෙනා ම දැන් ජීවතුන් අතර නැහැ.

රේ සංදේශ් නම් ළමා සඟරාවට ලියූ මුල් ම ප‍්‍රබන්ධය වූයේ ‘බන්කුබාබු බන්දු’ (Bankubabur Bandhu, බන්කු බාබුගේ මිතුරා) නම් කථාවයි. 1961දී ලියූ එහි තේමාව වූයේ අප‍්‍රකට බෙංගාලි ගම්මානයකට අහම්බෙන් පැමිණෙන, අහිංසක පිටසක්වල ජීවියකු එම ගමෙහි වෙසෙන බන්කු බාබු නම් ගැමියකු සමග මිතුරු වන සැටියි.

රේට චිත‍්‍ර ශිල්පයේ ද කුසලතා තිබූ නිසා ඔහු එම කථාව සමග පළ කිරීමට රේඛා චිත‍්‍රයක් නිර්මාණය කළා. එයින් දැක්වෙන්නේ ලොකු හිසක් හා සුවිසල් ඇස් ඇති, එහෙත් බැලූ බැල්මට ම මිත‍්‍රශීලී බවක් පෙනෙන පිටසක්වල ජීවියෙක්. මේ රූපකාය එවකට බටහිර ලෝකයේ විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ හා ජනපි‍්‍රය සංස්කෘතියේ ප‍්‍රචලිත වූ ආකෘතියක්.

නමුත් බහුතරයක් විද්‍යා ප‍්‍රබන්ධවල පිටසක්වල ජිවීන් නියෝජනය වූයේ ආක‍්‍රමණශීලී, ප‍්‍රචණ්ඩ හා බිහිසුණු ආකාරයටයි. මේ ප‍්‍රවණතාවෙන් මුඵමනින් ම වෙනස් වූ අවිහිංසකත්වයක් තම කථාවේ ජීවියාට රේ ලබා දුන්නේ ඔහුගේ පෙරදිග දර්ශනය නිසා ද? නැත්නම් නිර්මාණශීලී කථා පරාසය තුළ අඵත් හා වෙනස් යමක් කිරීමේ අවශ්‍යතාවය හදුනා ගත් නිසා ද?

අපට දැන් කළ හැක්කේ මේ ගැන අනුමාන කිරීම පමණයි. නිර්මාණයේ පසුබිම ගැන රේ එතරම් විස්තරාත්මකව ලියා නැහැ.

1960-70 දශකවල නිතර ඉන්දියාවට ආගිය හා ඉන්දීය විද්වතුන් හා කලාකරුවන් සමීපව ඇසුරු කළ ආතර් සී. ක්ලාක්, සත්‍යජිත් රේ දැන හඳුනා ගත්තා. ඉන්දීය ප‍්‍රභූ පන්තියේ සංවරශීලී බව අගය කළ ක්ලාක් වරක් කීවේ ඉංගී‍්‍රසි බස ඉතා මනරම් ලෙසින් හැසිරවීමට හා උච්චාරණය කිරීමට හැකි අය අතුරෙන් රේට ලොව මුල් තැනක් ලැබෙන බවයි.

රේගේ පිටසක්වලයා කථාව කියවා මහත් පැහැදීමට පත් ක්ලාක්, එය හොඳ වෘතාන්ත චිත‍්‍රපටයකට කදිම කථා වස්තුවක් බවත් ඒ සඳහා හොලිවුඩ මට්ටමින් ආයෝජනයක් සොයා ගත හැකි බවත් තරයේ විශ්වාස කළා. ඒ වන විට සිනමා ලෝකයේ සම්මානීය තත්ත්වයට රේ පත්ව සිටියත් හොලිවුඞ් සමග ගනුදෙනු කර තිබුණේ නැහැ.

මේ කාලේ ක්ලාක් MGM සමාගම නිෂ්පාදනය කරන අභ්‍යවකාශ ගවේෂණයට සම්බන්ධ අමුතු ම තාලේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් ලියා තිරයට නැංවීමට බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ස්ටැන්ලි කුබ්රික් සමග සමීපව වැඩ කරමින් සිටියා. 1964-68 වකවානුවේ නිර්මාණය කරනු ලදුව 1968දී 2001: A Space Odyssey නමින් ප‍්‍රදර්ශනයට ආවේ ඒ චිත‍්‍රපටයයි.

මේ ප‍්‍රයත්නය නිසා තමන් කාර්යබහුල වූ බැවින් රේ හා හොලිවුඞ් අතර සම්බන්ධීකරණය කිරීමේ වගකීම ක්ලාක් තම සමීප මිතුරා වූ මයික් විල්සන්ට පැවරුවා. ක්ලාක් සමග ම 1956දී ලංකාවට පැමිණ පදිංචි වූ බි‍්‍රතාන්‍ය ජාතික මයික් ඒ වන විට රන්මුතුදුව ඇතුඵ සිංහල චිත‍්‍රපට කිහිපයක් අධ්‍යක්‍ෂණය කොට නමක් දිනා ගෙන සිටියා.

ක්ලාක්ගේ මඟ පාදා දීම අනුව මයික් විල්සන් හා සත්‍යජිත් රේ පැරිස් නුවරදී මුල් වරට මුණ ගැසී The Alien චිත‍්‍රපටයට නැංවීම ගැන කථා කළා. ඒ 1967 අපේ‍්‍රල් මාසයේ. එහි ප‍්‍රධාන චරිතය රඟපෑමට ප‍්‍රකට බි‍්‍රතාන්‍ය නඵ පීටර් සෙලර්ස් තෝරා ගෙන ඒ ගැන සෙලර්ස් සමග පැරිසියේදී සාකච්ඡා කළ සැටි රේ පසු කලෙක විස්තරාත්මකව ලියා තැබුවා. http://tiny.cc/SRTA

Illustration by Satyajit Ray for his original 1961 story Bankubabur Bandhu
Illustration by Satyajit Ray for his original 1961 story Bankubabur Bandhu

ඒ මුල් හමු වීම සිදුවන විට රේගේ කිසිදු චිත‍්‍රපටයක් සෙලර්ස් දැක තිබුණේ නැහැ. මේ අඩුව තරමකට හෝ පුරවන්නට මයික් එවේලේ ම රේගේ චිත‍්‍රපට බෙදා හරින ලන්ඩන් සමාගමට කථා කළ බවත්, පසු දින වන විට චාරුලතා චිත‍්‍රපටයේ පිටපතක් ඔවුන් කඩිමුඩියේ පැරිසියට එවූ බවත් රේ කියනවා.

රේ, සෙලර්ස් හා මයික් තිදෙනා කුඩා පැරිස් සිනමාහලක මෙය නැරඹූ පසු සෙලර්ස් කියා ඇත්තේ ‘ඔබේ ඉන්දීය නඵවන් චරිතාංග නිරූපනයට අති දක්‍ෂයි. ඉතින් ඔබේ චිත‍්‍රපටයට මා කුමට ද?’ එහෙත් ලොව පුරා ජනපි‍්‍රය වූ සෙලර්ස් වැනි දක්‍ෂ නඵවකු සමග වැඩ කිරීමේ වාසිය රේ දැන සිටියා.

පැරිසියෙන් පසු ලන්ඩනයට ගිය රේ, තමා විසින් චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ස්ටැන්ලි කුබ්රික්ට හා රොමන් පොලාන්ස්කිට හඳුන්වා දුන් සැටි ක්ලාක් එක් අතීතාවර්ජනයක ලියා තිබෙනවා.

‘ස්ටැන්ලි ලෙහෙසියෙන් තවත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකුගේ ගුණ ගයන්නේ නැහැ. එහෙත් රේ ගැන ඉතා ඉහළින් හා උද්‍යොගයෙන් කථා කළා.’ ක්ලාක් කියනවා. පෙරදිග හා අපරදිග යා කරන පාලමක් හැටියට ක්ලාක් මෙහිදීත් කි‍්‍රයා කොට තිබෙනවා.

Mike Wilson
Mike Wilson

එහෙත් මයික් හා රේ සංයෝගය නම් හරි ගියේ නැහැ. මයික් දක්ෂයකු හා චිත්තාකර්ෂණීය චරිතයකින් හෙබි කෙනකු වූවත් මුල පටන් ම තමාට ඔහු ගැන යම් කුකුසක් තිබූ බව රේ පසුව කියා සිටියා. මයික් රේට කීවේ The Alien තිර රචනය ලියන්නට තමාත් හවුල් විය යුතු බවත්, ඒ වෙනුවෙන් මේ ජ්‍යෙෂ්ඨයාට  ඕනෑ ම ආවතේව සහායක් දක්වමින් අසීමිත කාලයක් වුව ද කල්කතාවේ රැදී සිටීමට තමා සූදානම් බවත්. අන්තිමේදී තිර රචන කෙටුම්පතට මයික් සැළකිය යුතු දායකත්වයක් නොදුන් බව රේගේ මතයයි.

1967 ජුනි මාසයේ රේට හොලිවුඞ් පුරයට යන්නට මයික් සියඵ විධිවිධාන යෙදුවා. එහි පැමිණි මොහොතේ පටන් ප‍්‍රභූ (VIP) මට්ටමෙන් සැළකිලි දෙන්නටත්, අමෙරිකානු චිත‍්‍රපට නිෂ්පාදකයන් හා චිත‍්‍රාගාර සමග සාකච්ඡුා ලබා ගන්නටත් මයික් කි‍්‍රයා කළා.

ප‍්‍රමුඛතම චිත‍්‍රාගාර සමාගමක් වූ කොළම්බියා චිත‍්‍රපට සමාගම Columbia Pictures රේ අධ්‍යක්‍ෂවරයා ලෙස තබා ගෙන The Alien නිපදවන්නට කැමැති වුණා. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආයෝජනයක් කරන්නට ද ඔවුන් සුදානම් වුණා. ආසියානු චිත‍්‍රපටකරුවන්ට අද මෙන් හොලිවුඞ් පුරයේ දොර ලෙහෙසියෙන් විවර නොවූ ඒ යුගයේ මෙය අසාමාන්‍ය ගණයේ සිදුවීමක්.

Ray's drawing of the friendly Alien, sketched for 1967 draft screenplay of The Alien film
Ray’s drawing of the friendly Alien, sketched for 1967 draft screenplay of The Alien film

එහෙත් එතැන් පටන් ව්‍යාපෘතිය හරිහැටි පෙරට ගියේ නැහැ. එයට හේතු හරියට ම දත් සියඵ දෙනා දැන් අප අතර නැහැ. රේ හා මයික් මේ ගැන වෙනස් ආවර්ජනා ලියා තැබුවා. මෙය කවුද හරි – කවුද වැරදි යන්න අපට තීරණය කළ හැකි තරම් ලෙහෙසි සිද්ධිදාමයක් නොවෙයි.

තිර රචනය ලිවීමේදී රේ හා මයික් හවුලේ වැඩ කිරීම සාර්ථක වූයේ ම නැහැ. දුම්පානය, මධුවිත හා කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූ මයික් සමග එයට වෙනස් ගති පැවතුම් තිබූ රේ නොපෑහුනා විය හැකියි.

ලන්ඩනයේ සිට ආපසු කල්කතාවට යන්නට සැරසෙන විට මයික් තමන්ට හදිසියේ හවුල් ගිවිසුමක් අත්සන් කරන්නට කීවත් එය නොකළ බව රේ ලියා තිබෙනවා. එය කල්කතාවට එවන්න යයි කියා රේ ඉන්දියාවට ගියා. නමුත් ගිවිසුම ආවේ නැහැ. ටික කලකට පසු රේ මුණගැසීමට ආ කොලම්බියා සමාගමේ නියෝජිතයෙක් රේට කීවේ මේ ව්‍යාපෘතියෙන් කෙසේ හෝ මයික් විල්සන් ඉවත් කළ හොත් එය නොවරදවා ම රූගත කිරීම්වලට යොමු කළ හැකි බවයි.

The Alien චිත‍්‍රපට ව්‍යාපෘතිය සිදු නොවන බව තේරුම් ගත් රේ එය තම සිතෙන් ඈත් කිරීමට කණගාටුවෙන් නමුත් තීරණය කළා. මේ ගැන ඔහු පසුව ලියුවේ මෙලෙසයි. ‘‘වසරක් පමණ මේ ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නැහැ. හදිසියේ ම ආතර් ක්ලාක් මට ලියුමක් ලියා දැනුම් දුන්නේ මයික් විල්සන් හිස මුඩු කොට, දකුණු ඉන්දියාවේ කැලෑවක භාවනා කරන්නට ගිය බවයි. එයට ටික කලකට පසු (ස්වාමි කෙනෙකු බවට පත්) මයික් මට ඉතා කෙටි ලියුමක් ලියමින් තිර රචනයේ හවුල් අයිතිය තමන් අත් හරින බව කීවා.’’

මයික් එය ප‍්‍රකාශ කළේ අමුතු වදන් පෙළකින්. මයික් රේට ලියූ අන්තිම ලිපියේ තිබුණේ මෙපමණයි. ‘‘පි‍්‍රය රාවණා, සීතාව ඔබ රඳවා ගන්න. ඇය මුඵමනින් ම ඔබට හිමියි. ඇය සමග එක්ව මුඵ ලොව ම කුල්මත් කරන්න.’’ : (“Dear Ravana. You may keep Seetha. She is yours. Keep her, and make her and the world happy.“)

මේ අවසන් ලියුම් ගනුදෙනුව සිදුවූයේ 1970දී පමණ විය යුතුයි. ඉනික්බිති වෙනත් චිත‍්‍රපට ගණනාවක් නිපදවීමේ නිරත වූ රේට පිටසක්වලයා ගැන සිතන්නට අවකාශයක් තිබුණේ නැහැ.

1982දී ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ E.T. the Extra-Terrestrial  නම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වූයේත් පිටසක්වලින් එන බුද්ධිමත්, මැජික් බඳු චිත්ත බලයන් ඇති හා ඉතා මිත‍්‍රශීලී ජීවියෙක්. ET මුලින් ම හමු වී මිතුරු වන්නේ අමෙරිකානු දරුවන් කිහිප දෙනකු සමගයි. එරට හමුදා නිල තන්ත‍්‍රය ET හසු කර ගන්නට තැත් කළත් ඔහුගේ චිත්ත බලයෙන් හා දරුවන්ගේ උපක‍්‍රමශීලී බව නිසා එයින් ගැලවී යළිත් තමන් ආ ලෝකයට පිටත් වී යාමේ සංත‍්‍රාසමය කථාව මේ චිත‍්‍රපටයේ දිග හැරෙනවා.

ET නිපදවා ප‍්‍රදර්ශනයට මුදා හරින තුරු මේ ගැන කිසිවක් රේ දැන සිටියේ නැහැ. එය නැරැඹූ පසු මේ කථාව තමන් දශක දෙකකට පෙර ලියූ ‘බන්කුබාබු බන්දු’ ළමා කථාවට බෙහෙවින් සමාන බව රේ වටහා ගත්තා. මේ පසුබිම දැන සිටි ඉන්දීය චිත‍්‍රපට විචාරකයන් හා මාධ්‍යවේදීන් ද මේ සමානකම ප‍්‍රසිද්ධියේ පෙන්වා දීමට පටන් ගත්තා.

ඉන්දීය මාධ්‍ය අමතා රේ කීවේ: ‘මා කොලම්බියා චිත‍්‍රපට සමාගමට ලියා දුන් තිර රචනයේ කෙටුම්පත හොලිවුඞ් පුරයේ එවකට සංසරණය වූ බව දන්නවා. ඒ කථාව හා ET අතර සමානකම් බොහෝයි. මෙය අහඹු සිදුවීමක් කියා බැහැර කරන්නට අමාරුයි.’

මේ වාර්තා ඇසූ ස්පිල්බර්ග්, තමා කිසි දිනක The Alien තිර රචනය දැක නැති බවත්, ඒ ගැන කිසිවක් අසා තිබුණේවත් නැති බවත් අවධාරණය කළා. ‘‘එම තිර රචනය හොලිවුඞ් ආ කාලයේ මම උසස් පෙළ පාසල් සිසුවෙක්. මා මේ ගැන හාංකවිසියක්වත් දැන සිටියේ නැහැ!’’

කෙසේ වෙතත් 1960-70 දශකයේ The Alien චිත‍්‍රපටය නිපදවූවා නම් එයට යම් සමාන කථා පුවතක් රැගත් ET චිත‍්‍රපටය මෙතරම් ජනපි‍්‍රය හෝ නැවුම් හෝ නොවන්නට හොඳට ම ඉඩ තිබූ බව මැදහත් විචාරකයෝ කියනවා.

(1979දී රිඞ්ලි ස්කොට් නම් බි‍්‍රතාන්‍ය සිනමාකරුවා තැනූ Alien චිත‍්‍රපටය හා එහි අනුගාමී කෘතීන් අපේ කථාවට කිසිසේත් සම්බන්ධයක් නැහැ.)

Continued: සිවුමංසල කොලූගැටයා #151: පිටසක්වලයාගේ අකරතැබ්බය: සත්‍යජිත් රේ නොහැදු චිත‍්‍රපටයේ කථාව – 2