සිවුමංසල කොලූගැටයා #95: ඩිජිටල් තාක්ෂණයෙන් ජන උරුමය රකින මෝජි රීබා

In this week’s Ravaya column (in Sinhala), I write about an Indian friend of mine: Moji Riba, filmmaker and cultural anthropologist, who lives and works in India’s north-eastern Arunachal Pradesh.

It’s an isolated remote and sparsely populated part of the country that is home to 26 major tribal communities,. Each one has its own distinctive dialect, lifestyle, faith, traditional practices and social mores. They live side by side with about 30 smaller communities.

A combination of economic development, improved communications, the exodus of the young and the gradual renunciation of animist beliefs for mainstream religions threatens Arunachal’s colourful traditions. “It is not my place to denounce this change or to counter it,” says Moji. “But, as the older generation holds the last link to the storehouse of indigenous knowledge systems, we are at risk of losing out on an entire value system, and very soon.”

For the past 15 years, he has been documenting it on video and photos. Read my English blogposts about him in Nov 2008 and Jan 2009.

I caught up with him in Delhi last week, which inspired this column.

Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards
Moji Riba has been working since 1997 to document Arunachal Pradesh's rich cultural heritage. Image courtesy Rolex Awards

ගෝලීයකරණය නැතහොත් Globalization ගැන අපේ ඇතැම් දෙනකු කථා කරන්නේ සැකයෙන් හා බියෙන්. එසේ කලබල වන අය මේ සංසිද්ධිය හරිහැටි තේරුම් ගෙන නැහැ.

ගෝලීයකරණය යනු හැම සමාජයක් හා ආර්ථිකයක් ම එක අච්චුවේ පිටපත් බවට පත් කිරීම නොවෙයි. වෙළඳ සබඳතා, දේශ සංචාරයන්, කලාපීය සහයෝගිතාව හා තොරතුරු තාක්ෂණය ආදී ක්ෂෙත‍්‍රවලදී ස්වාධීන රටවල් තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින් යම් මට්ටමකින් ඒකාබද්ධ වීමයි.

ගෝලීයකරණයේ අංගයන් යොදා ගෙන අපේ සාංස්කෘතික උරුමයන් හා දායාදයන් රැක ගත හැකියි. අද මා කථා කරන්නේ එබඳු ප‍්‍රයත්නයක යෙදී සිටින ඉන්දියානු මිතුරකු ගැන.

ඔහුගේ නම මෝජි රීබා (Moji Riba). වයස 40යි. ඔහු උපන්නේ හා හැදුනේ වැඩුනේ ඉන්දියාවේ අරුණාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ. එය මහා නගරයක් හෝ ප‍්‍රකට ප‍්‍රාන්තයක් නොවෙයි. තිබෙන්නේ ඉන්දියාවේ ඊසානදිග කෙළවරේ. චීනය, බුරුමය හා භූතානය සමඟ දේශසීමා තිබෙන මේ ප‍්‍රාන්තය භූමියෙන් ශ‍්‍රී ලංකාවටත් වඩා විශාලයි (වර්ග කිලෝ මීටර් 83,743). එහෙත් 2011දී ජනගහණය මිලියන් 1.4යි. ජන ඝනත්වය ඉතා අඩු, කඳුකර ප‍්‍රදේශවලින් බොහෝ විට සැදුණු අරුණාචල් ප‍්‍රාන්තයේ වැඩි කොටසක් හිමාල කඳුවැටියෙන් වැසී තිබෙනවා.

ජන සංඛ්‍යාව සාපේක්ෂව අඩු වූවත් ජන විවිධත්වය අතින් අරුණාචල් ප‍්‍රාන්තය ඉන්දියාවේ පමණක් නොව මුළු ආසියාවේ ම ඉහළින් සිටිනවා. එකිනෙකට වෙනස් භාෂා 30ක් හා උප භාෂා (dialects) දුසිම් ගණනක් එහි තිබෙනවා. මෙයට හේතුව තමන්ට ම ආවේණික සංස්කෘතීන් ඇති සුළු ජන කොටස් රැුසක් මේ ප‍්‍රදේශයේ සහස‍්‍ර ගණනක් තිස්සේ ජීවත් වීමයි.

අරුණාචල් ප‍්‍රාන්තයේ හමු වන්නේ ඉන්දියාවේ මහා හින්දු සංස්කෘතික ප‍්‍රවාහයට බෙහෙවින් වෙනස් වූ, වඩාත් බුරුම හා ටිබෙට් ආභාෂය ලද සංස්කෘතීන් ගොන්නක්. මේ සෑම එකකට ම ආවේණික ජන කලා ශිල්ප, සිරිත් විරිත්, ඇදහිලි හා ගති පැවතුම් තිබෙනවා. ඒකීය ඉන්දියානු ජනරජය තුළ මෙබඳු සංස්කෘතීන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට එරට ව්‍යවස්ථාවෙන් ම ඉඩ සලසා තිබෙනවා.

එසේ වූවත් නවීකරණය සමඟ මේ සමහර ජන කොටස්වල අළුත් පරම්පරා සාම්ප‍්‍රදායික උරුමයන් දිගට ම පවත්වා ගන්නට එතරම් උනන්දු නැහැ. මෙය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා දැකිය හැකි ප‍්‍රවණතාවක්. පුද්ගල මට්ටමෙන් විග‍්‍රහ කරන විට පරම්පරා උරුමයන් ඉදිරියට ගෙන යාමට කිසිවකුට බල කළ නොහැකියි. එහෙත් අරුණාචල් ප‍්‍රාන්තයේ අතිශය විචිත‍්‍ර වූත්, ලොව කිසිදු තැනෙක හමු නොවන්නා වූත් ජන උරුමයන් රැක ගැනීමේ අවශ්‍යතාව මානව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා.

ජන සංස්කෘතියක් යනු සජීව හා ගතික දෙයක්. කෞතුකාගාර ගත කරන්නට බැහැ. එය යම් තරමකින්වත් හසු කර ගත හැක්කේ ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය හරහායි. මේ බව මනාව තේරුම් ගත් මෝජි, 1997දී සිය ප‍්‍රාන්තයේ ජන කලා, සිරිත් විරිත්, නැටුම් හා අනෙකුත් පැතිකඩ නවීන ඩිජිටල් ඡයාරූප හා වීඩියෝ හරහා වාර්තා කිරීමේ පෞද්ගලික මට්ටමේ ව්‍යාපෘතියක් ඇරඹුවා.

‘‘නවීකරණයත් සමඟ ආ ප‍්‍රවාහයන් නිසා මගේ පරම්පරාවේ බොහෝ දෙනා සාම්ප‍්‍රදායික උරුමයෙන් පිටතට පා වී යන හැටි මා දකිනවා. ඒ අය ගැන විනිශ්චයක් දීමට මට ඕනෑ නැහැ. නමුත් අපේ වැඩිහිටියන්ගේ පරම්පරාවේ හමු වන ස්පර්ශ කළ නොහැකි උරුමය (intangible heritage) අප ඩිජිටල් ක‍්‍රම මඟින්වත් ලේඛනගත නොකළොත් ඒවා සදහට නැසී යාමේ අවදානමක් තිබෙනවා’’ ඔහු කියනවා.

කලබලකාරී නවීකරණය වෙනුවට වඩාත් සියම් හා සුපරීක්ෂාකාරී ලෙසින් නවීන ලෝකයේ තමන්ට ගැලපෙන දේ පමණක් ළං කර ගැනීමට සංවේදී බව හා විචක්ෂණ ගුණය මෝජිට තිබෙනවා. ඔහු ඉන්දියාවේ අංක එකේ මාධ්‍ය සරසවිය ලෙස සැලකෙන නවදිල්ලියේ ජමීලා මිලියා ඉස්ලාමියා සරසවියෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලැබූ අයෙක්. මේ තරම් උගත්කමක් හා පුහුණුවක් ලබන බොහෝ ඉන්දියානුවන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ආයතනවල රැකියා ලබා ගෙන මහ නගරවල පදිංචි වනවා. එහෙත් මෝජි නගරයෙන් නවීන සන්නිවේදන තාක්ෂණය දැනුම හා කුසලතා ගෙන තම ගම් පළාතට ගියා.

Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha's birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)
Surrounded by young monks, Moji Riba films rituals celebrating Buddha’s birth at Galden Namgyal Lhatse monastery. Tawang, Arunachal Pradesh, India, 2008 (Photo courtesy Rolex Awards)

සංස්කෘතික පර්යේෂණ හා ලේඛනගත කිරීමේ කේන්ද්‍රය (Centre for Cultural Research and Documentation, CCRD) අරඹමින් තවත් ඔහු වැනි ම කිහිප දෙනෙකු සමඟ ප‍්‍රාන්තයේ ජන සංස්කෘතිය ගැන වීඩියෝ වාර්තා චිත‍්‍රපට නිපදවීම ඇරඹුවා.

‘‘මගේ ප‍්‍රාන්තයේ සංස්කෘතික උරුමය මා දකින්නේ ඉලාස්ටික් පටියක් හැටියටයි. අපට යම් සීමා තුළ මේ පටිය විස්තාරණය කළ හැකියි. කාලයේ හා නවීකරණයේ ප‍්‍රවාහයන් නිසා අතීතයේ සිට පැවත ආ උරුමයන් ඒ අයුරින් ඉදිරියට ගෙන යාමට අමාරුයි. එහෙත් අඩු තරමින් ඒ ගැන විස්තරාත්මක ලේඛනගත කිරීමක් අප කරනවා’’ යැයි ඔහු කියනවා.

මෝජි මට මුලින් හමු වූයේ 2003දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී. මා සංවිධානය කළ දකුණු ආසියාතික ටෙලිවිෂන් හා වීඩියෝ පුහුණු වැඩමුළුවකට ආ මේ නිහඬ තරුණයා හැම දෙනාගේ ප‍්‍රසාදය හා ගෞරවය දිනා ගත්තා. ඔහු නිපද වූ වාර්තා චිත‍්‍රපට කිහිපයක් මා දැක තිබෙනවා.

මේවා දුවන ගමන් කළ ටෙලිවිෂන් වාර්තා නොවෙයි. සති හෝ මාස ගණන් මහත් ඉවසීමෙන් හා කැපවීමෙන් කේෂත‍්‍රයේ රූපගත කොට සියුම් ලෙසත්, සෞන්දර්යාත්මක ලෙසත් සංස්කරණය කළ ඩිජිටල් කලා කෘති හැටියට මා දකිනවා. 1997-2008 කාලය තුළ එබඳු වාර්තා චිත‍්‍රපට 35ක් පමණ ඔහු අධ්‍යක්ෂණය කළා.

ඒවායින් සමහරක් මානව විද්‍යා හා සංස්කෘතික උරුමය ගැන තේමාගත වූ චිත‍්‍රපට උළෙලවලත්, ඉන්දියාවේ දුර්දර්ශන් ජාතික ටෙලිවිෂන් නාලිකාවේත් තිරගත වී තිබෙනවා. විශාල පේ‍්‍රක්ෂක සමූහයකට ඉලක්ක කරනවා වෙනුවට මේ නිර්මාණ වඩාත් ගැලපෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් දේශනාගාර, විද්වත් රැස්වීම් ආදියේ පෙන්වන්නටයි.

‘‘අප මේ චිත‍්‍රපට හරහා උත්සාහ කරන්නේ සංක‍්‍රාන්ති කාලයක සිටින අපේ ප‍්‍රාන්තයේ විවිධ ජන කොටස් තමන්ගේ සංස්කෘතික උරුමය, ස්වභාවික පරිසරය හා සමාජ-ආර්ථික සංවර්ධනය යන සාධක තුන තුලනය කර ගන්නා හැටි වාර්තාගත කරන්නයි. එහිදී අපේ මතවාදයන් ඒ වාර්තාකරණයට අප එකතු කරන්නේ නැහැ,’’ මෝජි කියනවා.

වාර්තා චිත‍්‍රපටයක් නිපදවීමට පැය ගණනක් පටිගත කළ රූප රාමුවලින් අවශ්‍ය කොටස උකහා ගත් පසු ඉතිරිය බොහෝ විට සංරක්ෂණය වන්නේ නැහැ. එහෙත් මෝජි වසර 15ක් පුරා පටිගත කළ හැම පටයක් ම ප‍්‍රවේශමින් සංරක්ෂණය කරනවා.

මේ ගැන වඩාත් ගැඹුරින් පර්යේෂණ කරන්නට 2004දී අරුණාචල් ප‍්‍රාන්ත අගනගරය වන ඉතානගර්හි රාජීව් ගාන්ධි සරසවියේ ජන සන්නිවේදන අංශයත් සමඟ එක් වී ඩිප්ලෝමා පාඨාමාලාවක් ද ඔහු ආරම්භ කළා. ඔහුගේ කාලය ඉගැන්වීමට, පර්යේෂණවලට හා කේෂත‍්‍ර මට්ටමේ රූපගත කිරීම්වලට බෙදී යනවා.

Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)
Riba teaches Hage Komo the basic camera skills that will allow the young Apatani to film an interview with his father and an animist priest, thus recording his tribe's oral history (Photo courtesy Rolex Awards)

මෑතක් වන තුරු අරුණාචල් ප‍්‍රාන්තය විදේශික සංචාරකයන්ට අවසර නැතිව ඇතුළු විය නොහැකි, සීමා වූ ප‍්‍රදේශයක් ලෙස පැවතියා. එහෙත් දැන් චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ජංගම දුරකථන සේවාවන් හා ගමනාගමන පහසුකම් ආදිය පුළුල් වීමත් සමඟ සමාජ නවීකරණය වේගවත් වෙලා.

මේ නිසා ජන කලා හා සංස්කෘතික ලේඛනගත කිරීමේ අමුතු ආකාරයේ ව්‍යාපෘතියක් මෝජි 2009දී යෝජනා කළා. තෝරා ගත් ගම්මාන 15ක දක්ෂ ගැමි තරුණ තරුණියන් 15 දෙනකුට ඩිජිටල් වීඩියෝ තාක්ෂණය භාවිතය පුහුණු කරනවා. (අද කාලේ මේවා මැජික් නොවේ. ලෙහෙසියෙන් උගත හැකියි).

ඉන්පසුව ඔවුන්ට ඩිජිටල් වීඩියෝ කැමරා දී වසරක් පුරා තම ගම්මානයේ චාරිත‍්‍ර වාරිත‍්‍ර, උත්සව, වැඩිහිටියන්ගේ මතකයන් හා ආවේණික දෑ පටිගත කරන්නට සලස්වනවා. හැම ගමකින් දළ වශයෙන් වීඩියෝ පැය 300ක් පමණ එකතු වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. අවසානයේ මේ සියල්ල ප‍්‍රාන්ත කෞතුකාගාරයේ හා සරසවියේ ද අනුදැනුම ඇතිව පොදු තැනෙක සංරක්ෂණය කොට පර්යේෂකයන්ට අධ්‍යයනය කරන්නට ලබා දෙනවා.

එකිනෙකට වෙනස් භාෂා කථා කරනා ජන කොටස් සැමගේ විශ්වාසය දිනා ගෙන ඔවුන්ගේ සහයෝගයෙන් කරන මේ ව්‍යාපෘතියෙන් වසර කිහිපයක ඇවෑමෙන් වීඩියෝ පැය 4,000ක් පමණ එකතු වීමට නියමිතයි. මෙය කාල කැප්සියුලයක් (time capsule) ලෙස මෝජි හඳුන්වනවා. ජන සංස්කෘතිය නිතිපතා පරිණාමය වන නිසා අපට කළ හැක්කේ අද දවසේ එහි ගති සොබා හසු කර ගැනීම පමණක් බව ඔහු දන්නවා.

ජීවිතයේ උපතේ සිට මරණය දක්වා හැම අවස්ථාවකට ම ආවේණික සිරිත් විරිත් ඔවුන්ට තිබෙනවා. දරුවකුගේ උපත, අස්වනු නෙළීම, විවාහ මංගල්‍යයන්, මළවුන් සිහි කිරීම ආදිය ඒ අතර සුවිශේෂයි. මේ සිද්ධීන් හැම ජන කොටසකට ම පොදු වූවත් ඔවුන් ඒවා සමරන ආකාරය එකිනෙකට වෙනස්. එක් මහ ජාතියක් සංඛ්‍යාත්මකව හමු නොවන අරුණාචල් ප‍්‍රාන්තයේ හැම දෙනා ම සුළු ජාතියක්.

මේ අසාමාන්‍ය සංස්කෘතික ව්‍යායාමය ඔහු නම් කරන්නේ කඳුකරයේ ඇස (Mountain Eye) ව්‍යාපෘතිය ලෙසයි. ශාස්ත‍්‍රීය වටිනාකමක් ඇති මෙබඳු කටයුතුවලට බොලිවුඞ් ආකර්ෂණය හෝ වෙළඳපොළ විභවයක් නැති නිසා අවශ්‍ය වියදම ඉන්දියාව තුළින් සොයා ගැනීම ලොකු අභියෝගයක්.

ස්විට්සර්ලන්තයේ රෝලෙක්ස් ඔරලෝසු සමාගම සුවිශේෂි පර්යේෂණ හා ගවේෂණවලට අනුග‍්‍රහය දක්වන්නට තරගකාරී මට්ටමින් තෝරා ගන්නා රෝලෙක්ස් ත්‍යාගයක් (Rolex Award for Enterprise) 2008දී මෝජි රීබාට ප‍්‍රදානය කළා. එයින් ලැබුණු ත්‍යාග මුදලත්, ලෝක මට්ටමේ ප‍්‍රසිද්ධියක් යොදා ගෙන සුපුරුදු නිහඬ රටාවට මෝජි තමන්ගේ ව්‍යාපෘතිය පෙරට ගෙන යනවා.

ජන සංස්කෘතිය කෞතුකාගාර හෝ සරසවිවලට කොටු වන්නට ඉඩ නොතබා ඔහු එය තරුණයින් වඩාත් ගැවසෙන කැෆේ, සිනමා ශාලා හා සාප්පු සංකීර්ණවලට චිත‍්‍රපට ගෙන යනවා. පාසල් දර්ශන සංවිධානය කරනවා. අරුණාචල් භාෂා 9කින් ගැයෙන් ගීත ඇතුළත් CD තැටියක් නිපදවා බෙදා හරිනවා.

අරුණාචල් ප‍්‍රාන්තයේ ආවේණික ජන සංස්කෘතිය අද මුහුණ පා සිටින්නේ හුදෙක් ඉන්දියාවට පිටතින් සිට ගලා එන ප‍්‍රවාහයන්ට පමණක් නොවෙයි. රට තුළම සංඛ්‍යාත්මකව බහුතරයක් වූ හින්දි බස කථා කරන මහා සංස්කෘතියේ ප‍්‍රබල බලපෑමත්, ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා එන වෙළඳ පොළ හා ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑමත් ඔවුන්ට ඍජුව ම එල්ල වී තිබෙනවා.

මෙවැනි ප‍්‍රවාහයන් හමුවේ ඇතැම් දෙනා හූල්ලමින් හා දෙස් තබමින් කල් ගත කළත් මෝජිගේ ප‍්‍රතිචාරය බෙහෙවින් වෙනස්. ළිඳට වැටුණු මිනිසකු ළිං කටින් ම ගොඩ ආ යුතු සේ ඔහු කරන්නේ නව සන්නිවේදන තාක්ෂණයන් යොදා ගෙන තම ජනයාගේ උරුමය රැක ගන්නට තැත් කිරීමයි. ඔහු මෙය පෞද්ගලික ජීවිතයේදීත් ක‍්‍රියාත්මක කරනවා. හින්දි හා ඉංග‍්‍රීසි භාෂා ව්‍යක්ත ලෙස හසුරුවන්නට උගත් ඔහු වයස විසි ගණන්වල සිය මවුබස වන ගැලෝ භාෂාව (Galo) උගත්තා. දැන් ඔහු එය සිය ලාබාල පුතුන් දෙදෙනාට කුඩා වයසේ සිට උගන් වනවා.

‘‘අපේ දරුවන්ට ගීයක් ගයන්න කී විට ඔවුන් ගයන්නේ හින්දි නැතහොත් ඉංග‍්‍රීසි ගීත. අප දැන් තැත් කරන්නේ තමන්ගේ ම බසින් සින්දු කීමේ අමතර හැකියාව අළුත් පරම්පරාවේ හැමට ලබා දෙන්නයි,’’ මෝජි කියනවා.

‘‘විසි එක් වන සියවසේ සුළු ජන කොටස්, ගෝත‍්‍රික හා ආදිවාසී පිරිස් පසුගාමීව හෝ මුළුගැන් වී සිටිය යුතු යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ප‍්‍රධාන ප‍්‍රවාහයට නතු නොවී අපේ සුවිශේෂි අනන්‍යතාව රැක ගනිමින් නවීකරණය වන්නට හැකියි,’’ මෝජී රීබාගේ දර්ශනය එයයි.
http://tiny.cc/MojiR1

Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)
Hage Komo gets video instructions from Moji Riba, who is enlisting local young people to capture the oral histories, languages and rituals of their tribes for his project. Komo films his father gathering bamboo in a grove outside Hari Village. (Photo courtesy Rolex Awards)

සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile
Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition
The Reefs of Taprobane, 2002 edition
ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara
Nishad Jayasundara
ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana
Ray Jayawardhana
උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010
Stanford University Fish Research group in Antarctica 2010

සිවුමංසල කොලූගැටයා #93: අධ්‍යාපන ක‍්‍රමයෙන් විකෘති වන අපේ දරුවෝ

In this week’s Ravaya column (in Sinhala), I discuss the brutal, almost inhuman pressures the formal education system — schools, teachers and most parents — exert on our children.

I explored similar ground in an English essay written 10 years ago, titled Let’s Restore the Joy of Learning!

My daughter was six at the time, and I was hoping she would be spared the worst of the Lankan educational system as she grew up. Alas, things have only become worse in that decade. I’ve tried to buffer her from the worst excesses: while she does not have parental pressure to ‘get ahead at any cost’, she is being driven by her school to ‘perform’ so as to ‘maintain the school’s glory’!

See also my June 2010 blog post: Why isn’t school very cool? Have we asked our kids yet?

A hapless school kid being primed for the Great Rat Race - cartoon by W R Wijesoma, 1994

කලක් මගේ සහෘදයකු වූ ජ්‍යෙෂ්ඨ කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් කාලීන දේශපාලන හා සමාජයීය ප‍්‍රවණතා ගැන විනිවිද දකින සියුම් දැක්මක් තිබූ කෙනෙක්. ඔහු සිය කාටූන් හරහා විටින් විට මතු කළ තේමාවක් වූයේ විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ අධික විෂයානුබද්ධ දැනුම හා අසංවේදී ක‍්‍රියා නිසා පීඩාවට පත් වන අපේ දරුවන් ගැනයි. ඔහු එය සංකේතාත්මකව නිරූපනය කළේ සිරුරේ ප‍්‍රමාණයටත් වඩා විශාල වූ පොත් කර ගසා ගෙන ආයාසයෙන් ගමන් කරන පාසල් දරුවකුගේ රූපයකින්.

සැබෑ ජීවිතය විප‍්‍රරූපණය කිරීමට (caricaturise) කාටූන් ශිල්පීන්ට නිර්මාණාත්මක නිදහසක් තිබෙනවා. එහෙත් මීට වසර 15කට 20කට පෙර විජේසෝමයන් කී දේ ඇත්තට ම සිදු වනවා. මහ පොත් ගොන්නක් ගෙන යාම නිසා ශාරීරික ආබාධවලට පත් දරුවන් ගැන වෛද්‍යවරුන් වාර්තා කරන්නේ වසර ගණනාවක සිට. මේ නිසා වඩාත් ශ‍්‍රමක්ෂතා විද්‍යානුකූලව (ergonomically) සැකසූ බෑගයක් දරුවන්ට දීමේ උත්සාහයක් තිබෙනවා. එය හොඳ ප‍්‍රතිචාරයක් වුවත් ප‍්‍රශ්නයේ මුල එතැන නොවෙයි.

මෙතරම් පෙළ පොත් කන්දරාවක ඇති දැනුම් සම්භාරයක් නිසි සේ උකහා ගන්නට අපේ දරුවන්ට ස්වාභාවික හා සාධාරණ ධාරිතාවක් තිබේ ද? නැත්නම් නිල අධ්‍යාපන තන්ත‍්‍රයත්, දෙමවුපියනුත්, ජන සමාජයත් නිර්දය ලෙසින් මේ බර දරුවන්ගේ සිරුරට හා මනසට පටවන්නේ ඇයි?

විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ හොඳ මෙන් ම නරක ද තිබෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට අවංකව උද්ඝෝෂණය කරන අය පවා ක‍්‍රමීය මට්ටමින් පාසල් හා සරසවි ක‍්‍රමයේ දුර්වලතා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.

මා මේ දැවැන්ත සමාජ ප‍්‍රශ්නය ගැන කථා කරන්නේ සෙද්ධාන්තිකව නොවෙයි. නුදුරු දිනයක තරගකාරී ප‍්‍රසිද්ධ විභාගයකට පෙනී සිටින දියණියක් මටත් සිටිනවා. උවමනාවට වඩා අතිශයින් පුම්බන ලද විෂයය මාලාවන් ගණනාවක බර කර ගසා ගෙන දැනුම් කන්දක් නගින්නට ඇය හා ඇගේ මිතුරියන් ගන්නා මහත් වූ ආයාසය මා බලා සිටින්නේ කම්පාවෙන් හා වේදනාවෙන්.

ගෙවී යන සෑම සතියක ම මට සිහි වන්නේ මා පාසල් යන කාලයේ නැරඹූ සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ නාට්‍යයයි. පාසලත්, ටියුෂන් පන්තියත් යන දෙකෙන් එහාට හරිහැටි නිදා ගන්නවත්, හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නැති, අතිශය පීඩාකාරී තත්ත්වයක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසු සිසුවියන් කල් ගත කරනවා. දැන් දැන් මේ තත්වය පහේ ශිෂ්‍යත්වයටත් අදාල වන බව වාර්තා වනවා.

දශක කිහිපයක් තිස්සේ අප බොහෝ දෙනෙකු (කැමති වුවත් නැති වුවත්) යෙදී සිටින්නේ මහා ලාංකික මූසික තරගය (Great Lankan Rat Race) නම් නොනවතින තරග දිවීමකයි. එයට කුඩා කල සිට ම දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් විසින් දරුවන් සූදානම් කරන්නේ මහත් ඕනෑකමින්.

අවසාන විනිශ්චයේදී හොදින් උගෙන, විභාග ඉහළින් සමත්වී රටට ලෝකයට වැඩ දායක කෙනෙකු වීම උතුම් අරමුණක්. එහෙත් බෙහෙවින් පටු හා ඒකාකාරී ලෙසින් සකස් වූ අධ්‍යාපන ක‍්‍රමයක සීමිත අවස්ථා සඳහා අතිශය තරගකාරීව එකිනෙකා සමග කුලල් කා ගන්නට දරුවන්ට සිදුව තිබෙනවා. මෙබඳු නිර්දය පොර බැදීමකදී වඩාත් සංවේදී, ස්වාභාවයෙන් ආක‍්‍රමණශීලී හෝ තරගකාරී නොවන, තමන්ගේ ම පරිකල්පන ලෝකයට නිමග්න වූ දරුවන් මුළු ගැන්වෙනවා.

ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලූපුල් පෙරේරා මේ පිළිබඳව විවෘතව අදහස් දක්වන විද්වතෙක්. කය, මනස හා පෞරුෂත්වය යන සියල්ල වර්ධනය කරන සමබර ඉගැනුමක් වෙනුවට ඉතා විශාල තොරතුරු ප‍්‍රමාණයක් ආයාසයෙන් ස්මරණය කිරීමට ළමයින්ට බල කරන අපේ අධ්‍යාපන ක‍්‍රමය ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට දැඩි අහිතකර බලපෑම් කරන බව ඔහු නිතර පෙන්වා දෙනවා.

ඔහුගේ ම වචන වලින් මෙය කෙටියෙන් කියන්නේ ‘පොත නැමැති උගුලේ පැටලිලා – පීඩනයට පත් වෙලා’ යනුවෙන්.

සමාජයට හා රටට අවශ්‍ය වන්නේත්, අධ්‍යාපනයේ අවසන් අරමුණ වන්නේත් ඇවිදින දැනුම් කෝෂ්ඨාගාර බිහි කරන්නට නොව, දැනුම, බුද්ධිය හා සමාජයීය කුසලතා යන සියල්ල මනාව තුලනය කරගත් පුද්ගලයන් බවට පාසල් දරුවන් පත් කරන්නටයි. එහෙත් වත්මන් ක‍්‍රමයේ යාන්ත‍්‍රික ලෙස කරුණු උගැනීමටත්, අතිශය තරගකාරී විභාගවලදී එය වැමෑරීමටත් දෙන විශාල ප‍්‍රමුඛතාවය නිසා පූර්ණ පෞරුෂයක් දියුණු කිරීමට තිබෙන අවස්ථා මග හැරී යන බව ඔහු කියනවා.

මෙබඳු තොරතුරු සමුදායක් මතක තබා ගැනීමට තැත් කිරීම අද වැනි තොරතුරු සමාජය ඉදිරියට ගිය කාලයක තව දුරටත් අවශ්‍ය හෝ ප‍්‍රයෝජනවත් හෝ වේද?

තොරතුරු මහ ගොඩක් ධාරණය කරගත් පමණට එය දැනුම බවට පත් වන්නේ නැහැ. දැනුම යනු අවබෝධය හා අදාලත්වය අනුව මනස තුළ සකසා ගත් තොරතුරුයි.

අපේ මොළය තොරතුරු දැනුම ලෙස ගබඩා කර ගන්නා ක‍්‍රම දෙකක් ඇති බව වෛද්‍ය පෙරේරා කියනවා. එකක් කෙටි කාලීන මතකයයි. අනෙක දිගු කාලීන මතකයයි. අප දිනපතා ලබන බොහෝ අත්දැකීම් හා අපට හමුවන තොරතුරු කෙටි කාලීන මතකයේ තාවකාලිකව රැඳුනත් දිගු කාලීන මතකයට ඒවා බහුතරයක් කිඳා බසින්නේ නැහැ.

තොරතුරක් එසේ කිඳා බසින්නට නම් අප යමක් විමර්ෂණය කොට, මනසින් කිරා මැන බලා ඕනෑකමින් ග‍්‍රහණය කළ යුතුයි. එය කාලය හා ශ‍්‍රමය වැය වන, සෙමෙන් හා ඉවසීමෙන් කළ යුතු ක‍්‍රියාවක්. දුවන ගමන් කළ හැකි දෙයක් නොවේ.

කලා, විද්‍යා, වාණිජ කෙෂ්ත‍්‍රවල ඕනෑ ම විෂයයක් උගැනීමේදී එය ක‍්‍රමානුකූලව, ආසාවෙන් කිරීම වඩාත් ප‍්‍රතිඵලදායක ක‍්‍රමයයි. එහෙත් අති විශාල ලෙස පුළුල් කරන ලද විෂයමාලාවන් සීමිත පාසල් කාලයක් තුළ උගැනීමේ අභියෝගයට මුහුණ දෙන විට මේ ප‍්‍රශස්ත ක‍්‍රමවේදයන්ට ඉඩක් ඉතිරි වන්නේ නැහැ.

සරල උපමාවකින් මොළය කළයකටත්, දැනුම ජලයටත් සමාන කරමින් වෛද්‍ය පෙරේරා කියන්නේ කළයකට ජලය පිරවිය යුතු රටාවක් හා සංයමයක් ඇති බවයි. අධිවේගීව කළයක් පුරවන්නට තැත් කළොත් එහි ස්වාභාවික ධාරිතාව දක්වා හෝ හරිහැටි පිරෙන්නේ නැහැ. ඊටත් කලින් පිටාර ගලන්නට පටන් ගන්නවා.

මිනිස් මොළය මීට වඩා අතිශයින් සංකීර්ණ වුවත් මේ උපමාව ක‍්‍රියාවලිය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත්. අද අධ්‍යාපන ක‍්‍රමය අධිවේගීව යන ගමනෙන් දරුවන්ටත්, රටටත් ප‍්‍රශස්ත ප‍්‍රතිඵල ලබා ගන්නට නොහැකි වී තිබෙනවා. හෙමින් හෙමින් සීමිත පරාසයක් වුව හොදින් ප‍්‍රගුණ කිරීම මීට වඩා ප‍්‍රයෝජනවත්.

දැනුම ඉතා ඉක්මනින් පුළුල් වන අද කාලයේ අපේ දරුවන්ට ඒ නව ලොවත් සමග පෙරට යන්නට නම් මෙකී අධිවේගී ධාවනය අත්‍යවශ්‍ය බවට සමහරුන් තර්ක කරනවා. විෂයය මාලාවන් සංශෝධනය වන හැම විටෙක ම ඒවා තව තවත් විශාල කිරීමට හේතුව ලෙස දක්වන්නේ මෙයයි.

එහෙත් මෙය තව දුරටත් පිළිගත හැකි තර්කයක් නොවේ. අද අපට අවශ්‍යව ඇත්තේ ඇවිදින දත්ත ගබඩා බිහි කිරීම නොව තොරතුරු සාගරයේ නිසි ලෙස සැරිසරමින් යාමේ කුසලතාවයත්, සොයා ගත් තොරතුරු දැනුම ලෙස අදාල කර ගෙන ගැටළු විසදීමේ හැකියාවත් ඇති පුද්ගලයන් බිහි කිරීමයි.

ලේඛකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයෙකු හා 18 වන සියවසේ ප‍්‍රාඥයකු ලෙස පිළි ගැනෙන ඉංග‍්‍රීසි ජාතික සැමුවෙල් ජොන්සන් (1709 – 1784) ඉංග‍්‍රීසි භාෂාවේ මුල් ම ශබ්දකෝෂය සම්පාදනය කළා. ඔහුගේ කාලයේ ලොව පැවති දැනුම් ප‍්‍රමාණය අදට වඩා බෙහෙවින් සීමිත වුවත් එවකට පවා හැම තොරතුරක් ම යාන්ති‍්‍රක ලෙස ධාරණය කිරීමේ තේරුමක් නැති බව ඔහු දැන සිටියා.

දැනුම පිළිබඳව හොඳ ම උපදේශයක් ඔහු දී තිබෙනවා: ”දැනුම (knowledge) දෙයාකාරයි. එක්කෝ යම් විෂයයක් ගැන අප හොඳින් දන්නවා. නැතිනම් ඒ ගැන තොරතුරු සොයා ගත හැකි ක‍්‍රමවේදයන් හා මූලාශ‍්‍රයන් අප දන්නවා. පුස්තකාලයකට පිවිසෙන අප මුලින් කළ යුත්තේ එහි සූචිය පරිශීලනය කරන සැටි දැන සිටීමයි.”

ලේඛකයකු වීම ගර්වයක් හැටියට සැළකූ මගේ පාසල් මිතුරකු සිටියා. ලේඛන කලාවට ලැදියාවක් තිබූ අප ඒ සඳහා නිර්මාණශීලී අත්හදා බැලීම් කරමින් ශිල්පීය ක‍්‍රම ප‍්‍රගුණ කර ගන්නා අතර ඔහු කළේ ශබ්දකෝෂ කටපාඩම් කිරීම පමණයි. පසු කලෙක ඔහු බර වචන දහස් ගණනක් දත්, එහෙත් හරිහැටි එක් රසවත් වැකියක් හෝ ඡ්දයක් හෝ ලියා ගන්නට නොහැකි අවසනාවන්ත තත්ත්වයට පත් වුණා.

තොරතුරු ගබඩා කිරීමේ පටු අරමුණින් කරන උගැනීමේ අවසන් ප‍්‍රතිඵලයත් මීට සමාන්තරයි. (ලේඛකයකු ලෙස මා යොදා ගත්තේ එදිනෙදා වචන සීමිත සංඛ්‍යාවක්. සංකීර්ණ සංකල්ප පවා සරල එදිනෙදා බසින් ප‍්‍රකාශ කිරීම තමයි සන්නිවේදනයේ අභියෝගය!)

දැනුම් කන්ද තරණය කිරීමේ දුෂ්කර කි‍්‍රයාවේ කිසිදු දොසක් නොදකින බොහෝ දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් ප‍්‍රධානීන් සිටිනවා. ඔවුන් ඇතැම් දෙනාගේ මතය නම් අද කාලයේ ළමුන් සහජයෙන් “අලස” බවත්, මෙබඳු දරදඩු විනයකට යටත් නොකළොත් ඔවුන් කිසි දිනෙක සිය උත්සාහයෙන් විෂයයන් උගෙන විභාග සමත් නොවනු ඇති බවත්. ඉඳහිට ඇතැම් දරුවන් ගැන මෙය අදාල විය හැකි වුවත්, මානසික හිංසනයක් පොදුවේ සාධරණීකරණය කරන්නට මෙය තර්කයක් ලෙස යොදා ගැනීම බිහිසුණුයි.

තරග විභාග ආසන්න වන විට ඇතැම් දරුවන් මානසික රෝගවලට ගොදුරු වන්නේත්, ආන්තික අවස්ථාවල සිය දිවි නසා ගන්නේත් මේ දැඩි පීඩනය දරා ගත නොහැකි වූ විටයි. කලකට ඉහත ඉඳහිට වාර්තා වූ මෙබඳු අවාසනාවන්ත සිදුවීම් දැන් හැම තරග විභාගයක් ගැන ම වාර්ෂිකව අසන්නට ලැබෙනවා.

2002දී ඉංග‍්‍රීසි ලිපියක් ලියමින් මා තර්ක කළේ මේ කුරිරු අධ්‍යාපන ක‍්‍රමය අපේ රටේ ඉතා පුළුල්ව හා ආයතනගතව සිදු වන ළමා අපයෝජනයක් බවයි. දශකයක් ගත වීමෙන් පසු ඒ තත්ත්වය උග‍්‍ර වී ඇතත් විසඳුමක් පෙනෙන්නට නැහැ.

විජේසෝමගේ කාටූන් හා සෝමලතා සුබසිංහගේ නාට්‍ය හරහා කලක් තිස්සේ ලක් සමාජයට කියන දෙය තව දුරටත් නොසළකා සිටීමට බැරි මට්ටමට ප‍්‍රශ්නය උඩු දුවා ඇති බව පෙනෙනවා. කුහකකම්, පටු මානසිකත්වයන් හා බොරු මානයන් පසෙක දමා අපේ දරුවන් බිහිසුණු අධ්‍යාපන ක‍්‍රමයෙන් බේරා ගත යුතුව තිබෙනවා.

උගත්කම ඉහළින් අගය කරන සමාජයක් මේ ආකාරයට දැනුම හඹා යන්නට හා එය ඊළඟ පරපුරට කාවද්දන්නට තැත් කිරීම තේරුම් ගත හැකියි. එහෙත් අප කරන දෙයින් හොඳට වඩා නරකක් සිදු වේ නම් ඒ ගැන යළිත් සිතා බැලිය යුතුයි නේද?

සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!

In this week’s Sunday column in Ravaya newspaper (in Sinhala), I’ve written about polar explorer Sir Robert Swan’s 2041 campaign to preserve the Antarctica as the world’s last great wilderness.

I covered similar ground in an English column on 11 Nov 2012: When Worlds Collide #41: Hands Off Antarctica! Protecting the Last Great Wilderness

Follow-up column on 2 Dec 2012: සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

Robert Swan and his 2041 campaign for Antarctica

අප බොහෝ දෙනෙකුගේ දැක්ම හා ආකල්ප අපේ වටපිටාව මඟින් පෝෂණය වනවා. මානවයින්ගෙන් බහුතරයකට තමන්ගේ ගම, පළාත හෝ වැඩි ම වුව හොත් උපන් රටෙන් ඔබ්බට පුළුල් වූ චින්තනයක් නැහැ. එහි වරදක් නොමැති වුවත් ඉඳහිට හෝ අප ටික දෙනෙකුවත් ග‍්‍රහලෝකයේ මටිටමින් සිතීම අවශ්‍යයි.

පටු මානව බෙදීම්වලින් සීමා නොවූ මෙබඳු ග‍්‍රහලෝකමය දැක්මක් අත්දැකීමක් මනා සේ ලබන දෙපිරිසක් සිටිනවා. එනම් අජටාකාශගාමීන් හා ධ‍්‍රැව ගවේෂකයන්. අපේ ලෝකයේ පුළුල් චිත‍්‍රය ග‍්‍රහණය කර ගන්නා ඔවුන් වැඩි දෙනෙකු ඉන්පසු ලෝක සාමය, න්‍යෂ්ටික අවිහරණය, පරිසර සංරක්ෂණය වැනි උදාර අරමුණු වලට සිය ජීවිතය කැප කරනවා.

මා විවිධ අවස්ථාවල අමෙරිකානු හා රුසියානු අජටාකාශගාමීන් කිහිප දෙනෙකු හමු වී තිබෙනවා. ධ‍්‍රැව ගවේෂකයකු මා මුල් වරට හමු වුයේ මීට දින කිහිපයකට පෙරයි. ඔහු 56 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික ශ‍්‍රීමත් රොබට් ස්වෝන් (Sir Robert Swan).

ධ‍්‍රැව ගවේෂණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අධික ශීතල, දේශගුණ විසමතා ඇතුළු ආන්තික පාරිසරික තත්ත්වයන් නිසා. උත්තර ධ‍්‍රැවය (ආක්ටික් හිම කඳු) හා දක්ෂිණ ධ‍්‍රැවය පිහිටි ඇන්ටාක්ටිකා අයිස් මහද්වීපය ගවේෂණය කිරීමේ සියවසකට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

මේ වකවානුව තුළ රොබට් ස්වෝන්ගේ පුරෝගාමී වික‍්‍රමය වූයේ කිසිදු යාන්ත‍්‍රික උපකාරයකින් තොරව ධ‍්‍රැව දෙකට ම පා ගමනින් ඇවිද ගෙන යාමයි. 1986 ජනවාරියේ කුඩා කණ්ඩායමක් සමග ඔහු කිලෝමිටර් 1,400ක් ඇන්ටාක්ටිකාව හරහා ගමන් කොට දක්ෂීණ ධ‍්‍රැවයට ළගා වුණා. 1989 මැයි මාසයේ ආක්ටික් අයිස් අතරින් උත්තර ධ‍්‍රැවයටත් පයින් ම ගියා.

Sir Robert Swan, polar explorer
මේ චාරිකාවලින් පසුව ධ‍්‍රැව ප‍්‍රදේශ සංරක්ෂණය කිරීමේ වැදගත්කම හොඳාකාර තේරුම් ගත් ඔහු පාරිසරික ක‍්‍රියාකාරිකයකු වුණා. දැනට දශක දෙකකට වැඩි කාලයක් ඔහු කරන්නේ ලොව පුරා සංචාරය කරමින් පිවිතුරු බලශක්තිය, දේශගුණික විපර්යාස ඇතුළු පාරිසරික තේමා ගැන දේශන කිරීමයි.

ඔහු වඩාත් උනන්දු වන්නේ ඇන්ටාක්ටිකාව පිළිබදවයි. උත්තර ධ‍්‍රැවයට සමීප පෙදෙස්වල එස්කිමෝවරුන් සිටියත් ඇන්ටාක්ටිකාවේ නිත්‍ය මානව ජනාවාස නැහැ. එහි ඇත්තේ විද්‍යා පර්යේෂණාගාර පමණයි. 1957දී ඇරඹුණු මේ පර්යේෂණ කටයුතු දැන් වඩාත් පුළුල වී තිබෙනවා. ඇන්ටාක්ටික් ගිම්හානයේදී විවිධ රටවලින් පැමිණෙන 4,000කට අධික විද්‍යාඥ හා සහායක පිරිසක් සති හෝ මාස කිහිපයක් එහි ගත කරනවා.

ඇන්ටාක්ටිකාව අප සිතනවාට වඩා විශාලයි. බිම් ප‍්‍රමාණයෙන් වර්ග කිමී මිලියන් 14ක්. එනම් ඕස්ටේ‍්‍රලියාව මෙන් දෙගුණයක්! මෙයින් 98% වැසී තිබෙන්නේ කිමී 1.6ක් පමණ ගැඹුරට විහිදෙන අයිස් තට්ටුවකින්. ලෝකයේ මිරිදිය සම්පත්වලින් 70%ක් ම ඇත්තේ මේ අයිස් මහාද්වීපයේයි.

ඇන්ටාක්ටිකාව අසාමාන්‍ය හා විශ්මයජනක තැනක්. එය ලෝකයේ සීතල අධිකතම හා සුළං කුණාටු බහුලතම භූමියයි. එපමණක් නොව වියලි බව අධිකතම ස්ථානයයි. සාමාන්‍යයෙන් අප කාන්තාරයක් දැඩි සේ උණුසුම් යයි සිතනවා. එහෙත් කතරක නිර්වචනය අහසින් ලැබෙන ජල ප‍්‍රමාණය ඉතා අඩු වීමයි. මෙනයින් බලන විට වසරකට මිලි මීටර් 200කට අඩු වර්ෂාපතනයක් හා හිමපතනයක් ලබන ඇන්ටාක්ටිකාව ඇත්තට ම සීතල කාන්තාරයක් (cold desert).

ඇන්ටාක්ටිකාවේ ඓතිහාසිකව ජනාවාස බිහි වූයේ නැහැ. නූතන යුගයේ මුල් වරට මිනිස් ගවේෂකයන් එහි පා තැබුවේ 1895දී. එතැන් පටන් ටිකෙන් ටික මේ මහා අයිස් මහාද්වීපය ගවේෂණයට විවිධ රටවල දේශාටකයන් යොමු වුණා.

ඇන්ටාක්ටිකාවේ මැද පිහිටි දක්ෂිණ ධ‍්‍රැවයට මුලින් ම ළඟා වීමේ බි‍්‍රතාන්‍ය හා නෝර්වීජියානු තරඟයකින් ජය ගත්තේ රෝල්ඞ් අමන්ඞ්සන් (Roald Amundsen) නම් නෝවීජියානු ගවේෂකයා 1912 ජනවාරියේ.

එහෙත් ඇන්ටාක්ටිකාව ඉනික්බ්ති දශක කිහිපයක් අත් හැර දමා තිබුණා. 1957-58 කාලයේ ලෝක භූ භෞතික වර්ෂය නම් ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගිතාවය යටතේ ඇරැඹුණු විද්‍යාත්මක පර්යේෂණාගාර අද වඩාත් පුළුල් මට්ටමින් පවත්වාගෙන යනවා. ඇමෙරිකාව හා යුරෝපීය රටවලට අමතරව ජපානය, ඉන්දියාව වැනි රටවලටත් ඇන්ටාක්ටික් පර්යේෂණාගාර තිබෙනවා.

ඇන්ටාක්ටිකාව අයිති කාට ද? 1959දී රටවල් 12ක් මූලික වී සම්මත කර ගත් ඇන්ටාක්ටික් ගිවිසුම (Antarctic Treaty, www.ats.aq) නම් ජාත්‍යන්තර නීතිය යටතේ එය කිසිදු තනි රටකට අයිති නොවන, ලෝකයටම පොදු බිම් ප‍්‍රදේශයක්. විද්‍යාවට හා සාමයට කැපවුණු මහාද්වීපයක්. ඇමෙරිකාව හා සෝවියට් දේශය නිරත වී සිටි සීතල යුද්ධයේ උච්ච අවධියකදී ඒ දෙරටත් එකඟ වෙමින් ඇන්ටාක්ටික් ගිවිසුම ඇති කර ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික කේෂත‍්‍රයේ සුවිශේෂී සිද්ධියක්. 1962දී බල පැවැත්වීම ඇරඹි මේ ගිවිසුමට අද රටවල් 50ක් අත්සන් තබා සිටිනවා.

ඇන්ටාක්ටිකාවට යන විවිධ රටවල පර්යේෂකයන් සාමූහිකව ගවේෂණවල යෙදෙන්නේ මේ ගිවිසුමේ රාමුව තුළයි. ඒ අනුව ඇන්ටාක්ටිකාව හමුදා කටයුතුවලට යොදා ගැනීම හා ඛනිජ සම්පත් වාණිජ මට්ටමින් උකහා ගැනීම සපුරා තහනම්.

1991දී මේ ගිවිසුමේ පාරිසරික සන්ධානයක් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී සම්මත වුණා (Madrid Protocol). ඒ අනුව මුළු ඇන්ටාක්ටිකාව ම පාරිසරික රක්ෂිත කලාපයක්. එහි පර්යේෂණ කිරීමට පවා පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තා අවශ්‍යයි. එහි සියළු ජීවීන්ට (සතුන් හා පැළෑටි) රැකවරණය සැළසෙනවා.

මේ මැඞ්රිඞ් සන්ධානය වසර 50ක් බල පවත්වනවා. එය නැවත විමර්ශනයට නියමිත 2041දී. අද ලෝකයේ ඛනිජ සම්පත් පිළිබඳ ගිජු බවක් දක්වන ඇතැම් රටවල් සන්ධානය විමර්ශනය කරන විට එහි සැර බාල කොට ඇන්ටාක්ටික් ඛනිජ සම්පත් ඩැහැ ගැනීමට උත්සාහ කරනු ඇතැයි රොබට් ස්වෝන් ඇතුළු සමහර පරිසරවේදීන්ට බියක් තිබෙනවා.

මේ නිසා ඇන්ටාක්ටික් පාරිසරික රැකවරණය සදහට ම පවත්වා ගන්නට ඔහු 2041 නම් ස්වේච්ඡ පදනමක් අරඹා තිබෙනවා. ග‍්‍රීන්පීස් වැනි ලෝක පාරිසරික ක‍්‍රියාකාරී සංවිධාන ද කලෙක සිට ඇන්ටාක්ටිකාවේ සාමූහික අයිතිය හා පරිසර සුරැකුම ගැන උද්ඝෝෂණ කළත්, එම තේමාවට කැප වූ සංවිධානය ලෙස 2041 කැපී පෙනෙනවා. www.2041.com

”ඇන්ටාක්ටිකාව අද ලෝකයේ ඉතිරි වී තිබෙන විශාල ප‍්‍රමාණයේ අවසාන ස්වාභාවික ප‍්‍රදේශයයි. එය රැක ගැනීම හා මානව සංහතියට පොදු බිමක් ලෙස පවත්වා ගැනීම අපට තිබෙන අභියෝගයයි,” ස්වෝන් කියනවා.

1985 දෙසැම්බර් – 1986 ජනවාරි මාස වල ස්වෝන් ඇතුළු කණ්ඩායම හිම කතර හරහා දිගු ගමනක යෙදුනේ කිසිදු වාහනයක හෝ සත්වයන්ගේ හො උපකාරයක් නැතිවයි. ටික දිනෙකින් තමන්ගේ ඇස් වලට වර්ණය වෙනස් වූ බවත්, පිටතට නිරාවරණය වූ මුහුණු සම පුපුරා ලේ ගලන්නට වූ බවත් ඔහු කියනවා. 20 වන සියවස මුල දී මේ දුෂ්කර චාරිකාවේ යෙදුණු පුරෝගාමී ධ‍්‍රැව ගවේෂකයන්ට එබන්දක් සිදු වී නැහැ. මේ වෙනසට හේතුව කුමක් ද?

ආපසු මිනිස් වාසයට පැමිණි විගස එයට හේතුව ඔවුන් තේරුම් ගත්තා. එනම් දක්ෂිණ ධ‍්‍රැවයට ඉහල වායුගෝලයේ ඇති වූ ඕසෝන් සිදුරයි. 20 වන සියවසේ දශක ගණනක් පුරා විවිධ කාර්මික රසායන ද්‍රව්‍ය වායු ගෝලයට මුදා හැරීම නිසා ටිකෙන් ටික ක්ෂීන වූ ඕසෝන් වියන හරහා හිරුගේ සිට එන හානිකර පාරජම්බුල කිරණ මිහි මතට වැටීමට පටන් ගත්තා. මේ තත්වය වඩාත් උග‍්‍ර වූයේ දක්ෂිණ ධ‍්‍රැවය ආසන්න ප‍්‍රදේශවලයි.

රොබට් ස්වෝන් ඇතුළු ගවේෂක කණ්ඩායම මේ අළුතින් ක්ෂීන වූ ඕසෝන් වියන හරහා එන හානිකර කිරණ වල බලපෑම සෘජුව අත් වින්දා. ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර සොයා ගනු ලැබුවේ ඊට මාස කිහිපයකට පෙර 1985 මුලදී බි‍්‍රතාන්‍ය ඇන්ටාක්ටික් පර්යේෂක පිරිසක් විසින්.

ඊට තෙවසරකට පසු ස්වෝන් ආක්ටික් හිම කඳු අතරින් උත්තර ධ‍්‍රැවයට පයින් යන විට ඊට වෙනස් ආකාරයේ අභියෝගයකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් උත්තරාර්ධ ගෝලයේ උණුසුම උච්ච වන්නේ වසරේ මැද කාලයේ. එවිට යම් තරමකට ආක්ටික් අයිස් වාර්ෂිකව දිය වනවා. (යලිත් සීත සෘතුවට ඒවා තැන්පත් වනවා.) එහෙත් පොතේ හැටියට අයිස් දියවීමට නියමිත ජූනි මාසයට වඩා දෙමසක් පමණ කලින් ආක්ටික් අයිස් දියවන බව ඔහුට පෙනී ගියා. මේ නිසා සැළසුම් කර තිබූ ගමන් මාර්ගය විටින් විට වෙනස් කිරීමට ඔහුගේ කණ්ඩායමට සිදු වුණා.

මේ අත්දැකීම් නිසා අද අප ග‍්‍රහලෝක මට්ටමින් මුහුණ පා සිටින පාරිසරික ප‍්‍රශ්න ගැන හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ඔහු ලබා ගත්තා. එහෙත් ඔහු අන්තවාදී හරිතවේදියකු නොවෙයි.

“අප බිහි වන්නට කලින් අපේ පෘථිවිය වසර බිලියන ගණනක් පැවතුණා. අප වඳ වී ගිය දිනෙකත් මේ ග‍්‍රහලෝකය පවතිනු ඇති. අපට තිබෙන අභියෝගය මිහිතලය මත අපේ වර්ගයාගේ හා අපෙන් අනතුරට පත්ව සිටින අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමයි,” ඔහු කියනවා.

ස්වෝන් පිවිතුරු බල ශක්තිය ගැන ලොව පුරා දේශපාලන හා ව්‍යාපාරික නායකයන් දැනුවත් කිරීමේ අරමුණින් දේශන හා සංචාර කරනවා. “පරිසරයට සහජයෙන් නැඹුරු වූ ටික දෙනෙකු අතර මෑතක් වන තුරු කෙරුණු සංරක්ෂණ ව්‍යායාමය, අප සමාජ හා ආර්ථික ප‍්‍රධාන ප‍්‍රවාහයේ කොටසක් කළ යුතුයි. තිරසාර සංවර්ධනය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගන්නට හැකි වන්නේ හැම දෙනා ම එහි කොටස් කරුවන් වූවොත් පමණයි,” ඔහු කියනවා.

මෙබඳු පුළුල් දැක්මක් වැඩි දෙනෙකුට ලබා දීමේ අරමුණින් 2003 සිට වාර්ෂිකව ඔහු කෙටි කාලයන් සඳහා ඇන්ටාක්ටිකාවට තරුණ පිරිස් හා ව්‍යාපාර කළමණාකරුවන් කැඳවා ගෙන යනවා.

ලොකු කුඩා හැම ව්‍යාපාරිකයා ම එක කෝදුවෙන් මැන සැකයට පාත‍්‍ර කරන, ආර්ථික වර්ධනයට ගන්නා රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා මාර්ග මුළුමනින් ප‍්‍රතික්ෂේප කරන මනෝ ලෝකයක ජීවත් වන අපේ ඇතැම් හරිතවේදීන්ට මෙබඳු තතු දන්නා, මහ පොළොව හරිහැටි හඳුනන පාරිසරික ක‍්‍රියාකාරිකයන් හොඳ ආදර්ශයක්.

Composite satellite image of Antarctica

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

I have an interview (in Sinhala) on science communication for their 25th anniversary issue, which can be found here.

I have followed up with an expansion of some of these ideas in my Sunday column in Ravaya newspaper. My theme this week is science journalism (a subset of science communication) — why is it important for modern societies and what challenges are faced by Lankan science journalists.

Vidusara science magazine – 25th anniversary issue cover 7 Nov 2012

විදුසර සතිපතා විද්‍යා පුවත්පතට වසර 25ක් පිරෙන්නේ මේ මාසයේයි. 1987 නොවැම්බර් අරඹන ලද මේ ප‍්‍රකාශනය, පරම්පරාවක පමණ කාලයක් පවත්වා ගෙන ඒම වැදගත් මාධ්‍ය ජයග‍්‍රහණයක්.

විදුසර ඇරඹීමට පිඹුරුපත් සකසන අවස්ථාවේ මා එම ප‍්‍රකාශන සමාගමේ ඉංග‍්‍රීසි පුවත්පතේ විද්‍යා ලේඛකයකු වූ නිසා ඒ ගැන උපදෙස් දෙන විද්වත් කමිටුවකට මා ද සම්බන්ධ කර ගනු ලැබුවා. විදුසර මුල් සතිවලදී එයට මා ලිපි කිහිපයක් ලියුවත් ඉන් පසු මා කිසි ලෙසකින් හෝ එයට සම්බන්ධ වූයේ නැහැ. ඔවුන්ට තෝරා ගත් මාර්ගයේ යන්නට ඉඩ දී මා මට ආවේනික වූ විද්‍යා සන්නිවේදන චාරිකාවක නිරත වූවා.

එහෙත් අවසාන විනිශ්චයේදී විදුසරේත්, මගේත් අරමුණු සමාන්තරයි. එනම්, විද්‍යාව හා තාක්ෂණය පොදු උන්නතියට වඩා හොදින් දායක වීමට අවශ්‍ය සංවාද ඇති කිරීමයි. මේ නිසා විද්‍යා සන්නිවේදනයේ අභියෝග ගැන අද අපි කථා කරමු.

විද්‍යා මාධ්‍යකරණය (Science Journalism) යනු ඊට වඩා පුඑල් වූ විද්‍යා සන්නිවේදන (Science Communication) කි‍්‍රයාදාමයේ එක් කොටසක් පමණයි. විද්‍යා අධ්‍යාපනය, විද්‍යා සමිති සමාගම්, විද්‍යා ප‍්‍රබන්ධකරණය, විද්‍යාවට කැප වූ කෞතුකාගාර, ප‍්‍රදර්ශන හා වෙනත් කි‍්‍රයාකාරකම් රැසක් ද විද්‍යා සන්නිවේදනයට අයිතියි. විද්‍යා මාධ්‍යකරණය මේ අතරින් කැපී පෙනෙන්නේ අද කාලේ මාධ්‍යවලට තොරතුරු සමාජයේ ඇති මුල් තැන නිසායි.

විද්‍යා මාධ්‍යකරණයේ වසර 25ක් පුරා නියැලී සිටින මට, මේ ක්ෂේත‍්‍රය ගැන මගේ ම නිර්වචනයක් හා විග‍්‍රහයක් තිබෙනවා. විද්‍යා මාධ්‍යවේදීන් යනු විද්‍යාව හා තාක්ෂණය ගැන විචාරශීලීව ආවරණය කරන, හරිදේට ආවඩන අතර වැරදි දෙය නොබියව විවේචනය කරන පිරිසක්. වෘත්තීය විද්‍යඥයන්ගේ හොරණෑවක් හෝ ලවුඞ්ස්පීකරයක් ලෙසින් අපගේ සමාජ මෙහෙවර සීමා කර නොගත යුතුයි.

මේ කාර්යය හරිහැටි කිරීමට නම් විද්‍යාව හා තාක්ෂණය ගැන පසුබිම් දැනුමක් අවශ්‍ය වූවත් විද්‍යා විෂයකින් උසස් අධ්‍යාපනය හැදෑරීම අතවශ්‍ය නැහැ. ලෝකයේ සම්මානනීය විද්‍යා මාධ්‍යව්දීන් අතර ඉංගී‍්‍රසි සාහිත්‍යය, ගී‍්‍රක හා රෝමන් සභ්‍යත්වය හා ජපන් භාෂාව උගත් අය ද සිටිනවා.

විද්‍යා මාධ්‍යකරණය යනු විද්‍යාව ජනපි‍්‍රය කිරීම ම (Science Popularization) නොවේ. පාසල් හා සරසවි විෂයමාලාවල ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් බෙදා වෙන් කොට උගත්ත ද ජන සමාජයේ අපට විද්‍යාව හා එහි ප‍්‍රායෝගික භාවිතය වන තාක්ෂණය හමු වන්නේ අපේ පැවැත්මට හා දියුණුවට සම්බන්ධ වූ ආකාරයටයි. විද්‍යා මාධ්‍යකරණයේදී අපට තිබෙන වගකීම විෂයානුබද්ධ දැනුම රටට බෙදීම නොව ජීවිතයට අදාල දිවි සුරකින දැනුම තර්කානුකූල ලෙසින් හා තේරෙන බසින් කොයි කාටත් සන්නිවේදනය කිරීමයි. එය සිදු විය යුත්තේ මාධ්‍යකරණයේ මුලික සාරධර්ම සියල්ලට අනුකූලවයි.

ලොව පිළිගත් විද්‍යා මාධ්‍යවේදියෙකු වන බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් ඩික්සන් (David Dickson) කියන්නේ ද විද්‍යා මාධ්‍යකරණය හුදෙක් විද්‍යාත්මක තොරතුරු ප‍්‍රචාරණයට හෝ විද්‍යාව ජනපි‍්‍රය කිරීමට හෝ සීමා නොවන බවයි. මේවා අතුරු ඵලයන් වන නමුත්, විද්‍යා මාධ්‍යකරණය අද වන විට දියුණු සමාජයන්හි ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සම්ප‍්‍රදායක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

David Dickson, photo by UNESCO
කලක් New Scientist සඟරාවේ කතුවරයා හා Nature සහ Science යන පර්යේෂණ සඟරා දෙකෙහි ම ප‍්‍රවෘත්ති කතුවරයා ලෙස සේවය කොට පුඑල් අත්දැකීම් ඇති මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන්, විද්‍යා මාධ්‍යකරණයේ සමාජ හා දේශපාලනික මෙහෙවර ගැන දැඩි අවධානයෙන් සිටින කෙනෙක්.

ඔහුගේ ම වචනවලින්: “පොදු උන්නතිය (public interest) සුරැකීමට සටන් කරන මාධ්‍යවේදියකු යයි කී විට බොහෝ දෙනාගේ සිතට එන්නේ දේශපාලන මාතෘකා ගැන වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ගැනයි. මන්ද යත් මාධ්‍ය නිදහසටත් පොදු උන්නතියටත් වැඩිපුර අභියෝග එල්ල වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයෙන් නිසා. එහෙත් වඩ වඩාත් විද්‍යාව හා තාක්ෂණය සමාජයේ, ආර්ථිකයේ හා රාජ්‍ය පාලනයේ තීරණවලට සෘජු බලපෑම් කරන අද කාලෙයේ එම සාධක සුඑවෙන් තකන්නට බැහැ. විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික තේරීම් නවීන සමාජයන්ගේ පෙර ගමනට අත්‍යවශ්‍ය නිසා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා සෙසු සමාජය එම තීරණ, විකල්ප හා ප‍්‍රථිපල ගැන මනා සේ දැනුවත් වීම අතවශ්‍යයි. විද්‍යා මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අන් කවරදාටත් වඩා දැන් සමාජයට ඕනෑ වී තිබෙනවා.”

Science journalism is a key to good governance, SciDev.Net editorial by David Dickson, 13 April 2007.

විද්‍යාව හා තාක්ෂණය මත නවීන ජන සමාජයන් හා ආර්ථිකයන් වඩාත් පදනම් වන තරමට එම විෂයයන් ගැන විචාරශීලීව හා සංශයවාදීව (skeptically) විග‍්‍රහ කිරීමේ හැකියාව ද වඩා වැදගත් වනවා. විද්‍යාත්මක සංකල්පවලට වන්දනාමාන කිරීම නැතහොත් තාක්ෂණයට අනවශ්‍ය ලෙස බිය වීම යන මේ අන්ත දෙකට ම නොගොස් තුලනාත්මකව සිතීමේ හැකියාව අද දවසේ රාජ්‍ය පාලනයේ, ව්‍යාපාර කළමණාකරනයේ, සිවිල් සමාජයෙ හා අන් ක්ෂේත‍්‍රවල නියුතු අයට අවශ්‍ය වනවා. මේ සිතීමේ හැකියාව තීව‍්‍ර කරන්නටත්, වඩාත් නිවැරදි හා තර්කානුකූල තීරණවලට එළඹෙන්නටත් උදවු කරන්නේ විද්‍යා මාධ්‍යවේදයයි.

විදුසර විද්‍යාව හා තාක්ෂණය ගැන වෙන් වූ වාර ප‍්‍රකාශනයක් ලෙස අරඹන අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ එවකට සිටි පරිපාලකයන්ගෙන් මා උදක් ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දිනපතා සහ ඉරිදා පුවත්පත්වලින් මේ විෂයයන් ආවරණය කිරීම කිසිසේත් අඩු නොකරන ලෙසයි. එහිදී මා උපමිතියට ගත්තේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයයි. කී‍්‍රඩා ගැන ගැඹුරින් වාර්තා කරන සඟරා පළ කරන මාධ්‍ය ආයතන පවා සිය දිනපතා පුවත්පත්වල කී‍්‍රඩා වාර්තා නතර කර නැහැ. එබදු ආකල්පයක් විද්‍යාව ගැනත් පැවතිය යුතු කාලයක් අද එළඹී තිබෙනවා.

Isaac Asimov, photo by AP World Wide Photos
මීට වසර 25කට පමණ පෙර අමෙරිකානු විද්‍යා ලේඛක හා විද්‍යා ප‍්‍රබන්ධ කථා රචක අයිසැක් ඇසිමෝෆ් (Isaac Asimov) කළ ප‍්‍රකාශයක් අදටත් අදාලයි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු නවීන සමාජයක ජීවත් වූවත් අප බොහෝ දෙනා තවමත් මේ ක්ෂේත‍්‍රවලට ආගන්තුකයන් බව ඔහු නිරීක්ෂණය කළා. “අප බහුතරයක් දෙනා වෘත්තීය බේස්බෝල් හෝ බාස්කට්බෝල් කී‍්‍රඩකයන් නෙවෙයි. එහෙත් එම කී‍්‍රඩා තරඟයක් නරඹා එහි ගුණාගුණ ගැන දැනුම් තේරුම් ඇතිව සංවාද කළ හැකි මට්ටමට අප ඒ කී‍්‍රඩා ගැන දන්නවා. වෘත්තීය විද්‍යාඥයන් කරන කියන දේ පිටතින් බලා සිට ඒ ආකාරයෙන් විචාරශීලීව විග‍්‍රහ කිරීමේ හැකියාව අප සැවොම ලබා ගතහොත් කෙතරම් අපූරු ද?” ඔහු ප‍්‍රකාශ කළා.

ආර්ථික අතින් වඩාත් ඉසුරුබර සමාජවල පවා මේ තත්ත්වය තවම උදා වී නැත්නම් දියුණු වන රටවල එබන්දක් පැතීම යථාර්ථවාදී ද? තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන දැලි පිහියක් බඳු මෙවලමක් නිසා අපේ වැනි රටවලට නොපමාව විද්‍යාත්මක සාක්ෂරතාවය (scientific literacy) අවශ්‍ය බව මගේ අදහසයි.

එය රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට හා ආර්ථික සංවර්ධනයට සීමා වූවක් නොවෙයි. පුද්ගලයන් හා පවුල් හැටියටත් අප ගන්නා තීරණවලට විද්‍යාත්මක සාක්ෂරතාවය බලපානවා. එය මනා සේ නොතිබීම නිසා පොතේ උගතුන් පවා විවිධ මිථ්‍යාවාදයන් අවිචාරශීලීව අදහන සැටිත්, කූඨ වංචනිකයන්ගෙ උපක‍්‍රමවලට අසුවන සැටිත් අප මීට පෙර කථා කළා. (2012 ජනවාරි 22 හා ජනවාරි 29 කොලම් හරහා හේතුවාදී චින්තනය ගැන කළ විග‍්‍රහයන් කියවන්න.)

ඕනෑ ම වෘත්තීය ක්ෂේත‍්‍රයකට ආවේණික බාධාක තිබෙනවා. ඒවා අභියෝග ලෙස සළකමින්, එම අභියෝග ජය ගනිමින් කි‍්‍රයා කිරීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. විද්‍යා මාධ්‍යකරණයේදී අප නිතර මුහුණ දෙන අභියෝග දෙකක් තිබෙනවා.

විද්‍යා පර්යේෂණ කා සඳහා ද? අපේ රටේ පර්යේෂණ සඳහා වැය කෙරෙන සීමිත මුදල් ප‍්‍රමාණය මුඑමනින් ම වාගේ රාජ්‍ය ප‍්‍රතිපාදනයි. බහුතරයක් රටේ ජනතාවගේ මුදල් හා ඉතිරිය විදේශාධාර ලෙස ලබා ගත් මුදල්. එහෙත් පොදු මුදලින් කෙරෙන පර්යේෂණ ගැන පොදු ජනතාවට වග කියන විද්‍යාඥයන් හැම තැනක ම නැහැ. ඒ වෙනුවට ආයතනික රෙකුලාසි, නිලධාරීවාදය හා වෙනත් හේතු දක්වමින් විද්වත් දැනුම හා විග‍්‍රහයන් සමාජයට ලබා නොදී මඟහරින පර්යේෂණ ආයතන තිබෙනවා.

මේවායින් තොරතුරු උකහා ගැනීම ඉතා අසීරු කාර්යයක්. තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතිය නීතියෙන් තහවුරු නොවූ අපේ රටේ, සාමාන්‍ය ජනතාවට හෝ මාධ්‍යවේදීන්ට හෝ නිල තොරතුරු හා පර්යේෂණ ප‍්‍රථිඵල දැන ගැනීමට යි. එයට හොඳ ම මෑත උදාහරණය නිදන්ගත වකුගඩු රෝගය ගැන කළ වසර තුනක පර්යේෂණවල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් පුරා හෙළිදරවු නොකර තබා ගැනීම. රහසිගත පර්යේෂණවලින් පොදු උන්නතියක් කෙසේ සළසන්න ද?

පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් කොහි ද? මෙය මා නිතර මතු කරන ප‍්‍රශ්නයක්. නිතර හමු වන දැවැන්ත අභියෝගයක්. මෙරට වෘත්තීය විද්‍යාඥයන් පන් දහසක් පමණ හා ජ්‍යෙෂ්ඨයන් සිය ගණනක් සිටියත් ප‍්‍රතිපත්ති හෝ ජන සමාජයට අදාල විද්‍යාත්මක කරුණක් ගැන ප‍්‍රසිද්ධියේ, සිය නමින් අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

බහුතරයක් දෙනා සිය විශේෂඥ විෂය ගැන පවා මාධ්‍යවලට කථා කිරීමට මැළියි. නැතිනම් බියයි. (බියට සාධාරණ හේතු ද තිබෙනවා.) සමහරුන් පෞද්ගලිකව ප‍්‍රබල අදහස් දැක්වූවත් එය ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මාධ්‍යකරණයේදී මූලාශ‍්‍ර නමින් හඳුන්වා දෙන තරමට ඒවායේ විශ්වසනීයත්වය වැඩි වනවා. මේ මූලික අවශ්‍යතාවය සපුරා ගන්නට විද්‍යා මාධ්‍යවේදීන්ට දෛනික අරගලයක් කළ යුතුව තිබෙනවා.

මේ අභියෝග ශී‍්‍ර ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපය පුරා අඩු වැඩි පමණින් දැකිය හැකියි. විද්‍යාව හා තාක්ෂණ දියුණුවෙන් අපට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින ඉන්දියාවේ පවා මේ විසමතා හමුවනවා. එහෙත් අපට වඩා බෙහෙවින් පරිණත වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් හා මාධ්‍ය සම්ප‍්‍රදායයන් ඉන්දියාවේ ඇති නිසා එරට විද්‍යා හා තාක්ෂණ මාතෘකා ගැන මාධ්‍ය වාර්තාකරණය වඩා හරවත් හා සමබරයි. මා උත්සාහ කරන්නේ ඉන්දියානු මට්ටමටවත් සමීප වන්නටයි. එයින් ඔබ්බට ජපන් හා බටහිර රටවල විද්‍යා මාධ්‍යකරණ ප‍්‍රමිතීන් ද යම් දිනෙක අප ඉලක්ක කළ යුතුයි.

විදුසර මේ ප‍්‍රමිතිකරණයේ කුමන තැනක සිටී ද යන්න මට ඇගැයීමට නොහැක්කේ දිගු කලක් මා ඒ ප‍්‍රකාශනයේ පාඨකයකු නොවන නිසයි. එහෙත් අවිචාරයේ හා අන්ධ වන්දනාවේ ඇලී ගැලී සිටින ලක් සමාජයේ ඇස් විවර කරන්නට 25 වසරක් තුළ විදුසර යම් පමණකට දායක වූවා යයි කිව හැකියි. ඒ ගැන එයට සම්බන්ධ සියඑ දෙනාට අපේ ප‍්‍රණාමය!

විදුසර තව යා යුතු දුර බොහෝයි. ඒ ගමන දුෂ්කරයි. කාලානුරූපව හැඩ ගැසීමට බැරි හැම ප‍්‍රකාශනයක් ම මාධ්‍ය ඩාවින්වාදයට අනුව වඳ වී යන බවත් විදුසර කතුවරුන් හොඳාකාර දන්නවා විය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #90: වකුගඩු රෝගය හරහා මතුවන ‘ජනමාධ්‍ය රෝගය’

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.

I talked about this at at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012. An English article based on my talk appeared in Ceylon Today a few days ago:
Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

I have just written up similar views (NOT a translation!) for my weekend Sinhala language column in Ravaya broadsheet newspaper:

CKDu infographic courtesy Center for Public Integrity, USA

ආසියා පැසිෆික් කලාපයේ ජාතික විද්‍යා ඇකඩමි එකතුවේ ජාත්‍යාන්තර සමුළුවක් ඔක්තෝබර් 16-19 දිනවල කොළඹදී පැවැත් වුණා. එහි එක් අංගයක් ලෙස විද්‍යා සන්නිවේදන නායකත්වය ගැන එක් දින සැසිවාරයක් සංවිධානය කර තිබූ අතර විවිධ රටවලින් පැමිණි ආරාධිතයන් එය අමතා කථා කළා.

අපේ ජාතික විද්‍යා ඇකඩමියේ ඇරැයුමින් එයට සහභාගි වූ මට පසුව පෙනී ගියේ විද්‍යා සන්නිවේදනය ගැන ශී‍්‍ර ලංකාවෙන් කථා කළ එක ම දේශකයා මා බවයි. සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවල සත්කාරක රටේ දේශකයන් තෝරා ගන්නේ විවාදයට ලක් නොවන, ජාතිකත්වය මතු කරන ආකාරයේ ප‍්‍රවේශම් සහගත තේමාවක්.

එහෙත් ඇඟ බේරා ගෙන කථා කිරීමේ නිල අවශ්‍යතාවයක් හෝ වෘත්තිමය පුරුද්දක් හෝ මට නැති නිසා මෙරට පැන නැගී ඇති, විද්‍යා සන්නිවේදනයට ද බරපතල අභියෝග එල්ල කරන මාතෘකාවක් ගැන මා විවෘතව අදහස් දැක්වූවා. එනම් රජරටින් මතුව ආ නිදන්ගත වකුගඩු රෝගය හා එයට ලක් සමාජයේත්, මෙරට මාධ්‍යවලත් ප‍්‍රතිචාරයයි. අද මා ගොනු කරන්නේ ඒ වියත් සභාවට මා දැක් වූ අදහස්වල සම්පිණ්ඩනයක්.

2012 සැප්තැම්බර් 2 වනදා කොලමින් (වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව) මා කී පරිදි මෙය මාධ්‍යවලට ප‍්‍රබල මාතෘකාවක් වුවත් ලෙහෙසියෙන් ග‍්‍රහණය කර ගත හැකි දෙයක් නොවෙයි. වකුගඩු රෝගයේ හේතුකාරක විය හැකි සාධක ගණනාවක් ගැන තවමත් නොවිසඳුණු විද්‍යාත්මක වාද විවාද තිබෙනවා. එහෙත් සම්පූර්ණ සත්‍ය අවබෝධයක් මතු වන තුරු පිළියම් යෙදීම ප‍්‍රමාද කරන්නටත් නොහැකියි.

දැනටමත් රෝගාතුර වූ සියළු දෙනාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සපයන අතර එම රෝගය වාර්තා වන ප‍්‍රදේශවල වෙසෙන සෙසු ජනයාට ප‍්‍රවේශම් විය හැකි ප‍්‍රායෝගික ක‍්‍රම සොයා දීම හා දැනුවත් කිරීම වැදගත්. මෙහිදී පිවිතුරු පානීය ජලය සැපයීමේ වැදගත්කම පිළි ගෙන තිබෙනවා.

වකුගඩු ශරීරයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. රුධිරයේ බහිශ‍්‍රාවීය ද්‍රව්‍ය හා වැඩිපුර ජලය පෙරා වෙන් කොට බැහැර කිරීම නියාමනය කරන්නේත්, ඒ හරහා රුධිරයේ හා ශරීරයේ රසායනික සමතුලිතතාව පවත්වා ගන්නේත් වකුගඩු මගින්. එය දිවා රාත‍්‍රී කි‍්‍රයා කරන පෙරහනක් වැනියි.

සමස්ත සමාජය දෙස බැලූ විට ජන මාධ්‍යවල සමාජයීය භූමිකාවත් එයට සමානයි. නිවැරදි තොරතුරුත්, නිරවුල් විග‍්‍රහයනුත් සමාජයට ඉතිරි කරමින් සම්ප‍්‍රපලාපයන්, මුසාවන්, මිථ්‍යාවන් හා අනෙකුත් විකෘති කිරීම් බැහැර කිරීම මාධ්‍යවලින් සමාජය බලාපොරොත්තු වනවා.

රෝගී වූ වකුගඩුවලට ජෛව විද්‍යාත්මක කාර්යය හරිහැටි කරන්නට නොහැකි වනවා සේ ම ‘රෝගී’ වූ ජනමාධ්‍යවලට ද සිය සමාජ මෙහෙවර හරිහැටි කර ගත නොහැකි බව මගේ මතයයි. මෙය මා ඉංග‍්‍රීසියෙන් කීවේ “Mass kidney failure is followed by a mass media failure” කියායි.

මෙසේ කියන්නේ මෙරට සිංහල හා ඉංග‍්‍රීසි මාධ්‍ය (පාරිසරික සගරා හෝ විශේෂිත වාර ප‍්‍රකාශන නොවේ) වකුගඩු රෝගය වාර්තා කරන ආකාරය ගැන කලක් තිස්සේ ඕනෑකමින් බලා සිටින, මේ ක්‍ෂේත‍්‍රයේ ම පය ගසා සිටින කෙනෙකු හැටියටයි.

මුද්‍රිත මාධ්‍ය ගත් විට, අන්තර්ගතය මූලිකව කොටස් තුනකට බෙදිය හැකියි. කර්තෘ මණ්ඩල සම්බන්ධයක් නැති, එහෙත් පැවැත්මට අවශ්‍ය වෙළඳ දැන්වීම් එක් කොටසක්. ඉතිරි කියවන අන්තර්ගතය තුළ ද මාණ්ඩලික ලේඛකයන් ලියන දේ මෙන් ම බැහැර සිට ලබා දෙන විද්වත් ලිපි තිබෙනවා. විද්වත් ලිපිවල මත දැක්වීම ඒවා ලියන අයගේයි. මා මෙහිදී අවධානය යොමු කරන්නේ කර්තෘ මාණ්ඩලික ලේඛකයන් අතින් ලියැවෙන මාධ්‍ය අන්තර්ගතය ගැනයි. මාධ්‍ය කලාවේ සාරධර්ම රැකීම වැඩිපුර අපේක්‍ෂා කරන්නේත් මේ සන්නිවේදන තුළයි.

පුවත්පත් කලාවේ මූලික සාරධර්මයක් ලෙස සැළකෙන්නේ සමබරතාවය රැකෙන පරිදි වාර්තාකරණය විය යුතු බවයි. එනම් ප‍්‍රශ්නයක් හෝ සිද්ධියක් ගැන වාර්තා හෝ විග‍්‍රහ කරන විට එයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට සාධාරණ නියෝජනයක් ලබා දීමයි.

වකුගඩු රෝගය පිළිබඳ වාර්තාකරණයේදී අපේ ඇතැම් පුවත්පත් හා විද්යුත් මාධ්‍ය නාලිකා ක‍්‍රියා කර ඇත්තේ එබඳු පුළුල් විග‍්‍රහයක යෙදෙන අන්දමින් නොවෙයි. සංකීර්ණ ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ ග‍්‍රාහකයන්ට නොවලහා ඉදිරිපත් කොට අවසාන විනිශ්චය ඔවුන්ට භාර කරනු වෙනුවට තෝරා ගත් තොරතුරු හා මතවාදයන් කිහිපයක් පමණක් ප‍්‍රතිරාවය කරනු දැකිය හැකියි. එයට සමාන්තරව තමන් ප‍්‍රවර්ධනය කරන මතවාදයට වෙනස් වූ මතවලට හා එම මතධාරීන්ට සමච්චල් කිරීමත්, ඇතැම් විට වාග් ප‍්‍රහාර එල්ල කිරීමත් සිදු වනවා.

පරිසර සංරක්‍ෂණය හා මහජන සෞඛ්‍යය වැනි පොදු උන්නතියට සෘජුව අදාල තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන විට මාධ්‍යවේදීන්ගේ භූමිකාව කෙසේ විය යුතු ද?

කලක් තිස්සේ ලොව පුරා මාධ්‍ය සම්ප‍්‍රදායක් වූයේ මාධ්‍යවේදියාගේ පෞද්ගලික මතිමතාන්තර වාර්තාකරණයට මිශ‍්‍ර නොකළ යුතු බවයි. යම් මතවාදයක් හෝ අදහසක් පළ කරන්නට ඕනෑ නම් එය කතුවැකියට හෝ කතුවැකි පිටුවේ මත දැක්වීමට සීමා වුණා. එහෙත් 1970 දශකයේ පටන් සෞඛ්‍යය, පරිසරය හා මානව මානව හිමිකම් ආදී තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍යවේදියා දරණ ස්ථාවරය හා මතය ද යම් තාක් දුරට වාර්තාකරණයේ පිළිබිඹු වීම සාධාරණ යයි ප‍්‍රගතිශීලී මාධ්‍යකරුවන් අතර පිළි ගැනීමක් මතුව ආවා. මෙය ඉංග‍්‍රීසියෙන් advocacy journalism ලෙස හඳුන්වනවා.

නාගරික සිදුවීම් හා පුවත් මවන්නන් කේන්ද්‍ර කොට ගත් අපේ බොහෝ ජනමාධ්‍ය මුල් කාලයේ වකුගඩු රෝගය වාර්තා කලේ ඉඳහිට හා යාන්තමට. එය බොහෝ දෙනෙකුට බලපාන රෝගයක් බව පසක් වූ විට මේ තත්ත්වය වෙනස් වූවත්, තවමත් විවිධ මානයන් විග‍්‍රහ කරමින් සානුකම්පික වූත්, මැදහත් වූත් වාර්තාකරණයක් කරන්නට අපේ බොහෝ මාධ්‍ය සමත් වී නැහැ.

ඒ වෙනුවට වකුගඩු රෝගය සංත‍්‍රාසය දනවන හෙඩිම් සපයන හා හරිත ක‍්‍රියාකාරිකයන් සමහර දෙනෙකුගේ න්‍යාය පත‍්‍රයට අනුගත වන අන්දමේ මාධ්‍ය ”කට ගැස්මක්” බවට පත් වී තිබෙන බව කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි.

වකුගඩු රෝගය වාර්තාකරණයේදී ඉස්මතුව එන්නේ පොදුවේ අපේ ජනමාධ්‍ය ෙක්‍ෂත‍්‍රයේ පවතින විසමතා හා දුර්වලතායි. එයින් සමහරක් නම්: ප‍්‍රශ්නයක විවිධ පැතිකඩ විපරම් කරනු වෙනුවට මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන පෙර තේරීමක් කළ පැතිකඩ දෙක තුනකට පමණක් අවධානය යොමු කිරීමත අදාල පාර්ශවයන් කිහිපයක් සිටින අවස්ථාවක තෝරා ගත් දෙතුන් දෙනෙකුගේ මත පමණක් දිගට ම විස්තාරණය කිරීමත සහ සංකීර්ණ ප‍්‍රශ්නයක් උවමනාවට වඩා සරලව හා මතුපිටින් පමණක් කඩිමුඩියේ වාර්තා කිරීම හරහා ග‍්‍රාහකයන්ගේ මනස වඩාත් ව්‍යාකූල කිරීම.

එමෙන්ම තහවුරු කරගත් තොරතුරු මත වාර්තාකරණය පදනම් කර ගන්නවා වෙනුවට ඕපාදුප, කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් හා ප‍්‍රහාරාත්මක බස හැසිරවීම ද අපේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිතර දැකිය හැකියි.

මෙය අදහස් ප‍්‍රකාශනයේ හා මාධ්‍ය නිදහසේ කොටසක් යයි යමකුට කිව හැකියි. තර්කයක් ලෙස එය සත්‍ය වුවත්, ආපදා හා වෙනත් හදිසි අවස්ථාවල විශාල ජන සංඛ්‍යාවක් විපතට හා දුකට පත්ව සිටින විට, එය කි‍්‍රකට් තරඟාවලියක් හෝ මැතිවරණයක් හෝ ගැන වාර්තා කරනවාට වඩා සංයමයකින් හා සංවේදීව කරනු ඇතැයි මාධ්‍ය ග‍්‍රාහකයන් අපේක්ෂා කරනවා.

මාධ්‍යවේදීන්ට තොරතුරු මූලාශ‍්‍ර ඉතා වටිනවා. බොහෝ දෙනෙකු කලක් තිස්සේ උත්සාහයෙන් ගොඩ නඟා ගත් සබඳතා තිබෙනවා. කඩිමුඩියේ දුරකථනයෙන් පවා තොරතුරක් විමසීමට, අදහසක් ලබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්. එහෙත් මූලාශ‍්‍ර වන ඇතැම් දෙනාට තමන්ගේ ම න්‍යාය පත‍්‍ර ද තිබෙනවා. මාධ්‍ය හරහා තම මතවාද පතුරුවන්නට ඔවුන් තැත් කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. එහෙත් මූලාශ‍්‍රවලට ඕනෑ ලෙසට අවිචාරවත්ව ක‍්‍රියා නොකිරීමටත්, සමබරතාවය පවත්වා ගැනීමටත් මාධ්‍ය ආයතන ප‍්‍රවේශම් විය යුතුයි.

වකුගඩු රෝගයේ මාධ්‍ය වාර්තාකරණය කලක් තිස්සේ බලා සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයෙකු මට කීවේ මේ ගැන වාර්තාකරණයේදී අපේ බොහෝ මාධ්‍ය තම මූලාශ‍්‍රවලට බෙහෙවින් හෝ මුළුමනින් හෝ නතු වී ඇති බවයි. තර්කානුකූල නොවන, සාක්‍ෂි මත පදනම් නොවූ විග‍්‍රහයන් හා විනිශ්චයන් මහජනතාව අතරට යළි යළිත් ගියේ එනිසායි.

වාර්තාකරණයේ දුර්වලතාවල වගකීම මුළුමනින් මාධ්‍යවලට පැවරීමට ද නොහැකියි. උග‍්‍ර වෙමින් පවතින මේ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නය හා ඛේදවාචකය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්වත් උපදෙස් ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය 2009-2011 කාලයේ අපේ විද්‍යාඥ කණ්ඩායම් 10ක් හරහා ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ විමසමින් පර්යේෂණ කළා. එය මේ දක්වා මේ ගැන සිදු කළ වඩාත් ම විස්තරාත්මක අධ්‍යයනයයි. එහි වාර්තාව මේ වසර මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා. එය මෙතෙක් (2012 ඔක් 31 දක්වා) ප‍්‍රකාශයට පත් නොකිරීම හරහා සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ තත්ත්වය ව්‍යාකූලවීමට ඉඩ හැරියා.

මේ අතර WHO අභ්‍යන්තර වාර්තාවකැයි කියන, එහෙත් කිසිදු නිල ලක්ෂණයක් (ලිපි ශීර්ෂයක්, වැඩි විස්තර ලබා ගත හැකි ක‍්‍රමයක්) නොමැති, පිටු 3ක කෙටි ලේඛනයක් ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු 2012 අගෝස්තු මස මැදදී මාධ්‍යවලට ලබා දුන්නා. එය WHOහි බව තහවුරු කිරීමක් හෝ විචාරයක් හෝ නොමැතිව ගෙඩි පිටින් ප‍්‍රකාශයට පත් කිරීමට අපේ ඇතැම් මාධ්‍ය පෙළඹුණා.

විද්‍යාත්මක කරුණක් ගැන අපේ මාධ්‍ය මෙතරම් අපරික්ෂාකාරී වන්නේ ඇයි? දේශපාලනික හෝ ක‍්‍රීඩා ආන්දෝලනයක් ගැන තහවුරු නොවූ ලේඛනයක් ලැබුණොත් මෙලෙසින් එය පළ කිරීමට කතුවරුන් සූදානම් ද?

මේ උද්වේගකාරී වාර්තාකරණය ගැන සාධාරණ ප‍්‍රතිතර්ක මතු කළ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් මෙකී මාධ්‍ය විසින් ඉක්මනින් හංවඩු ගසනු ලැබුවේ ”පලිබෝධ නාශක සමාගම්වල මුදල් බලයට නතු වූවන්” හැටියටයි. එයට සාක්ෂි තිබේ ද? නැතිනම් කුමන්ත‍්‍රණවාදී තර්කයක් පමණ ද?

වසර 25ක් පුරා එදත් අදත් මා කියන්නේ පලිබෝධ නාශක, රසායනික පොහොර ඇතුළු සියළු නවීන විද්‍යාත්මක මෙවලම් ප‍්‍රවේශමින් පරිහරණය කළ යුතු බවයි. ඒවාට විරුද්ධවීමේ පූර්ණ අයිතියක් පරිසරවේදීන්ට තිබෙනවා. එහෙත් ඇතැම් පරිසරවේදීන් ප‍්‍රායෝගික විකල්ප යෝජනා නොකර, රාජ්‍ය ප‍්‍රතිපත්ති හා විද්වත් මතයන් විවේචනය කරන විට, එම තර්ක ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මැදහත් විද්වතුන්ගේ මත විමසීමට මාධ්‍යවලට වගකීමක් ද තිබෙනවා.

වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය ගැන සංවාදයේදී අවශ්‍ය තරමට සිදු නොවූයේ ද එයයි. ඒ වෙනුවට ජනතාව බියපත් කරවන, රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කරන හා මැදහත් විද්‍යාඥයන්ට නිරපරාදේ චෝදනා එල්ල කරන වාර්තාකරණයක් අප දකිනවා.

මෙබදු වාර්තාකරණයකින් මානසික කම්පනයට පත් මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා මහාචාර්යවරයෙකු මට කීවේ මෙයයි: “එප්පාවල ඇපටයිට් නිධිය බහු ජාතික සමාගම්වලට දෙන්නට යන විට ප‍්‍රතිපත්තිමය හේතු මත එයට විරුද්ධ වීම නිසා මට මරණ තර්ජන පවා ලැබුණා. එසේ පොදු උන්නතියට ජීවිත කාලයක් ක‍්‍රියා කළ මට, ජනතාවට වස කවන ජාති ද්‍රෝහියකු යයි චෝදනා කරන්නේ ඇයි?”

මේ මහාචාර්යවරයාට දිගට ම අවලාද නගන ජාතික පුවත්පතක්, ඔහු යැවූ පිලිතුර පවා පළ කොට නැහැ. (පිළිතුරු දීමේ අයිතිය සුරැකීමට අපේ බොහෝ මාධ්‍ය ආයතන ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දෙනවා.) මේ මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥයන් රැසක් වකුගඩු රෝගයේ හේතුකාරක ගැන විවිධ කල්පිතයන් ගවේෂණය කරමින් සිටිනවා. ඔවුන්ගේ එක ම අරමුණ මෙහි අක්මුල් පාදා ගැනීමයි.

බලන්න: http://tiny.cc/CKDuMed

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

සිවුමංසල කොලූගැටයා #89: ප‍්‍රවාහන විප්ලවයක් කළ හැකි රළ නොනඟන බෝට්ටුව

In this week’s Ravaya column (in Sinhala), I profile I S W Karunathilaka, inventor of a waveless boat design that saves fuel and protects river banks. He just won the inaugural Ray Award for nurturing innovation excellence in Sri Lanka.

When I first met Karunathilaka three years ago, when he was experimenting with a model that measured 40 inches by 12 inches (101.6 cm x 30.5 cm). I interviewed him on Siyatha TV, showcasing his work in progress and discussing its future potential. He has come a long way since.

English post (NOT a translation): Waveless, Eco-friendly Boat wins the ‘Ray Award’ 2012

I S W Karunathilaka, winner of the ‘Ray Award’ 2012. Photo by Mevan Peiris/Snap Photography

දැනටමත් රාජ්‍ය පිළි ගැනීමක් ලද ශී‍්‍ර ලාංකික නව නිපැයුම්කරුවකුට සිය නිර්මාණය වෙළඳපොලට ගෙන යාමට උදවු වන රේ විජේවර්ධන සම්මානය පළමුවරට ඔක්තෝබර් 17 වනදා පිරිනැමුණා.

ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් පසුගිය වසර ගණනාවක් තිස්සේ යම් නිර්නායකයන්ට අනුකූලව නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන ලබා දෙනවා. එසේ සම්මාන ලැබූ ඕනෑ ම නව නිපැයුම්කරුවකුට මෙම ත්‍යාගයට ඉල්ලූම් කළ හැකිව තිබුණා. ලැබුණු ඉල්ලූම්පත් 56 අතුරින් විද්වත් මඩුල්ලක් තෝරාගත් නව නිපැයුම්කරුවන් 6 දෙනෙකුගේ කෙටි ලැයිස්තුවක් සැප්තැම්බර් අගදී ප‍්‍රකාශයට පත් කළා.

මේ හය දෙනාගෙන් රේ සම්මානය දිනා ගත්තේ හොරණ දේවමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ඉන්ද්‍ර ශ‍්‍රී වෛද්‍යරත්න (I S W) කරුණාතිලක. ඔහුගේ නව නිපැයුම වන්නේ ජලයේ ගමන් කරන විට රළ තරංග බිහි නොකරන, පරිසර හිතකාමී බෝට්ටු සැළසුමක්.

සම්මාන ප‍්‍රදානයට මුල් වූයේ රේ විජේවර්ධන භාරය හා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි. මූල්‍ය අනුග‍්‍රහය දුන් කොමර්ෂල් බැංකුව ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක් දක්වා මුදලින් උපකාර කරන අතර තාක්ෂණික උපදෙස් මොරටුව සරසවියෙන් ලැබෙනු ඇති. ත්‍යාගය හරහා සිය නව නිපැයුම වෙළඳ පොලට ගෙන යාම කරුණාතිලකගේ ඊළඟ අභියෝගයයි.

ගණකාධිකාරීවරයෙකු ලෙස වෘත්තීය පුහුණුව ලැබුවත්, ඔහුගේ අරමුණ වූයේ අළුත් යමක් අරඹා ඒ හරහා ව්‍යවසායකයකු වීමටයි. එහිදී පවුලේ උරුමයක් යළි පාදා ගන්නට ඔහු උත්සාහ කළා.

1915 සිට 1940 දක්වා කාලයේ ඔහුගේ සීයා කළු ගෙඟ් මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය කළ බෝට්ටු සේවාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. මේ ඔස්සේ යමින් එබන්දක් නැවත කළ හැකි දැයි ඔහු සොයා බැලූවා. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ පාරිසරික නීති යටතේ මෙරට අභ්‍යන්තර ගංගා, ඇල දොලවල මෝටර් බෝට්ටු පැදවීම තහනම් කොට ඇති බවයි.

එයට හේතු තිබෙනවා. මෝටර් බෝට්ටු වේගවත්ව ගමන් කරන විට ඒවා දෙපස මෙන් ම පිටුපසින් ද ජල තරංග නැතහොත් රළ බිහි වනවා. මේ රළ විහිදී ගොස් ඉවුරුවල වැදීමෙන් ටිකෙන් ටික ඉවුරු ඛාදනයට ලක් වෙනවා.

මීට අමතරව බෝට්ටු ධාවනය ජලජ ජීවින්ටත් අහිතකරයි. නීති විරෝධී හෝ පාරිසරික අගතිගාමී කර්මාන්තයක නියැලීමට කරුණාතිලක කැමති වූයේ නැහැ. එහෙත් කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රවාහන විකල්පයක් ලෙස බෝට්ටු යොදා ගැනීමේ විභවය ඔහු දැන සිටියා. ඉවුරු ඛාදනය නොකරන, පරිසර හිතකාමී බෝට්ටුවක් තැනීම ගැන ඔහු අත්හදා බැලීම් කළා.

නව නිපැයුම්කරුවන් සැමවිට වෙහෙසෙන්නේ අසම්මත චින්තනය හරහා ගැටළු විසඳීමට. බෝට්ටුවක් ජලයේ ගමන් කරන විට එමගින් ජල තරංග හා රළ ඇති වන්නට එහි හැඩය හා වේගය යන සාධක දෙක ම බලපානවා. බොහෝ බෝට්ටුවල හැඩය ඉංගී‍්‍රසි V අකුරට යම් තරමකට සමානයි. එනම් පතුලට යන විට නැම්මක් සමග එය සිහින් වනවා.

මෙය සැම විට ම එසේ විය යුතු ද? කරුණාතිලක වෙනස් හැඩතල සහිත බෝට්ටුවල ආකෘති තනමින් කුඩා ජල තටාකවල කලක් තිස්සේ රළ බිහි වීම නිරීක්ෂණය කළා. අන්තිමේදී ඔහු සොයා ගත්තේ රළ බිහි වීම අවම කල බෝට්ටු සැලසුමක්.

එයට අනුව බෝට්ටුවේ බඳ (hull) දෙකක් තිබෙනවා. පිටත බඳ සෘජුකෝණාශ‍්‍රයක් වැනියි. ඇතුළත බඳ ඇතුළට වක‍්‍ර වූ නැම්මක් සහිතයි. මේ බඳ දෙක අතර යම් ඉඩක් තිබෙනවා. මේ ඉඩට ජලය ඇතුළු විය හැකියි. බෝට්ටුවේ ගමන් කිරීම නිසා ස්වාභාවිකව හට ගන්නා තරංග මෙකී බඳ දෙක අතර ඉඩෙහි බිදී යනවා. එහෙත් බෝට්ටුවෙන් පිටතට විහිදෙන රළ තරංග බිහි වන්නේ නැහැ. මෙහි සුවිශේෂී වෙනස එයයි.

Prototype of waveless eco-boat designed by I S W Karunatilake
මේ සැළැස්මේ තව නව්‍යකරණයන් තිබෙනවා. අවර පෙත්ත (propeller) සවි කර ඇත්තේ බෝට්ටුවේ කෙළවරක නොව එහි මැදයි. මේ නිසාත් රළ බිහි වීම අඩු වනවා. බහුලව බෝට්ටු තැනීමට යොදා ගන්නා ෆයිබර් ග්ලාස් වෙනුවට මේ බෝට්ටුව තනා ඇත්තේ ඇලූමිනියම් හා වානේ වලින්. (මළ බැඳීම වළක්වන්නට ඇනෝඩික ආරක්ෂණයක් යොදා තිබෙනවා.) ෆයිබර් ග්ලාස් මෙන් නොව මේ ලෝහමය ද්‍රව්‍ය යම් දිනයක ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි බව ඔහු කියනවා.

බෝට්ටුව ගමන් කරන විට රළ තරංග බිහි නොවනවා කියන්නේ ශක්තිය අපතේ නොයන බවයි. මේ නිසා වෙනත් බෝට්ටුවට වඩා මෙය ඉන්ධන භාවිතයෙන් ද කාර්යක්ෂම හා අරපිරිමැසුම්දායකයි. බෝට්ටුවේ බඳේ හැකි සෑම තැනක ම දේප පුරවා තිබෙන නිසා මෙය අනතුරකදී දියේ ගිලීමට ඇති ඉඩ ඉතා අඩු බව ද කරුණාතිලක කියනවා.

මා මුල් වරට කරුණාතිලක හමු වූයේ 2009 අවසාන කාර්තුවේ. සියත TV නාලිකාවේ නව නිපැයුම් පිළිබඳ වැඩසටහනකට මා ඔහු සමඟ සාකච්ඡාවක් කළා. ඒ වන විට ඔහු සිටියේ අඟල් 40 x අඟල් 12 ප‍්‍රමාණයේ බෝට්ටු ආකෘතියක් සමඟ අත්හදා බැලීම් කරමින්.

ගෙවී ගිය තෙවසර තුල ඔහු බොහෝ ඉදිරියට ඇවිත්. ජල මාර්ගවල දුවන ප‍්‍රාග්දර්ශයක් (prototype) 2011 අවසානයේ සිට ඔහු අත්හදා බලනවා. එහි මඟීන් 50 දෙනකු හෝ කිලෝ ග‍්‍රෑම් 4,000ක් දක්වා භාණ්ඩ ගෙන යා හැකියි.

ප‍්‍රාග්දර්ශ බෝට්ටුවට පැයට කිලෝමීටර් 8ක වේගයෙන් ගමන් කළ හැකියි. මීට වඩා බෙහෙවින් කුඩා, මගීන් 6 දෙනෙකු ගෙන යා හැකි, පැයට කිමී 100 දක්වා වේගයෙන් යා හැකි පරිසර හිතකාමී බෝට්ටුවක් ද ඔහු දැන් සැළසුම් කර තිබෙනවා. එය විශාල බෝට්ටුවේ සියළු ම ගුණාංග ඇති එහෙත් වේගය වැඩි යාත‍්‍රාවක්.

තම බෝට්ටු සියල්ලේ පැද්දීමේ සංවේදනය (Rolling Effect) නැති කොට තිබෙන බවත්, එයට ගොඩ වූ පසු කෙනෙකුට දිය මත සිටින බවට ඇඟට නොදැනෙන තරම් ස්ථාවර බවත් කරුණාතිලක කියනවා.

මෙතැනට එන්නට බොහෝ කැපවීම් කළ බව ඔහු කියනවා. තිදරු පියකු වන ඔහු ගණකාධිකාරී වෘත්තිය නවතා දමා පූර්ණ කාලීනව මෙබඳු යාන්ත‍්‍රික නිමැවුම් කටයුතුවල නිරතව සිටිනවා. මෝටර් රථවාහන අමතර කොටස් හා ලී බෝට්ටු තැනීම ද ඔහු ජීවිකාවක් ලෙස කරනවා. එහෙත් රළ නොනඟන පාරිසරික හිතැති බෝට්ටුව ඔහුගේ ප‍්‍රියතම ව්‍යාපෘතියයි. එය තව දුරටත් දියුණු කළ හැකි ක‍්‍රම ගැන ඔහු දැන් අධ්‍යනය කරනවා.

වෙනත් සාධකවලින් පරිසර හිතකාමී වුවත් මේ බෝට්ටුව ධාවනය වන්නේ ඛනිජතෙල් දහනය කරන එන්ජිමකින්. ඒ වෙනුවට ජෛවීය ද්‍රව්‍ය දහනය කොට බලය ලබා ගන්නා ගැසිෆයර් (gasifier) එකක් බෝට්ටුවේ සවි කළ හැකි ද යන්න ඔහු දැන් සොයා බලනවා. ජෛව ඉන්ධන දහනයෙන් බලශක්ති ජනනය ගැන මෙරට පුරෝගාමියෙකු වූ රේ විජේවර්ධනගේ චින්තනය එදත් අදත් තමන් ප‍්‍රබෝධමත් කළ බව කරුණාතිලක කියනවා.

වෙනත් බෝට්ටු මෙන් ඉවුරු ඛාදනය නොකරන නිසා සැළසුම් මට්ටමේදී ම කරුණාතිලකගේ බෝට්ටුවට අභ්‍යන්තර ජල මාර්ගවල ධාවනයට අවසරය ලැබී තිබෙනවා.

The RAY Award Logo
“නව නිපැයුමක් කඩදාසියකට පමණක් සීමා වනවා නම් එය බිහි කිරීමේ එතරම් තේරුමක් නැහැ. නිපැයුමක් වාණිජ මට්ටමින් ජන සමාජයට හා වෙළඳපොළට යා යුතුයි. එසේ වෙළඳපොල ජයගත් ප‍්‍රායෝගික නව නිපැයුම් කරුවන් ටික දෙනා අතර රේ විජේවර්ධන සිටිනවා. මගේ ඉලක්කය මේ බෝට්ටුව සාර්ථක ව්‍යාපාරයක් මට්ටමට ගෙන යාමටයි,” ඔහු කියනවා.

සංචාරක කර්මාන්තයටත්, එදිනෙදා මගී ප‍්‍රවාහනයටත් මේ බෝට්ටු යොදා ගත හැකියි. මීට අමතරව ජල ගැලීම් ආපදා සිදු වන අවස්ථාවල ඉතා සීරුවෙන් ගමන් කරමින් විපතට පත් වූවන් බේරා ගන්නට ද මේ බෝට්ටුව යොදා ගත හැකි බව නිපැයුම්කරුවා පෙන්වා දෙනවා.

මෙරට බිම් ප‍්‍රමාණයෙන් සියයට 10කට වැඩි ප‍්‍රමාණයක් වසා පැතිරුණු ගංගා, ඇල දොල, වැව් හා ජලාශ රාශියක් තිබෙනවා. එහෙත් ජල මාර්ග හරහා බඩු හා මඟී ප‍්‍රවාහනයට දක්වා ඇත්තේ ඉතා අඩු සැළකිල්ලක්. විනෝද ගමන්වලට පමණක් නොව නිතිපතා ප‍්‍රවාහනයට ද ජල මාර්ග යොදා ගත හැකියි.

මෙය තේරුම් ගත් ඕලන්ද ජාතිකයෝ බටහිර වෙරළට සමාන්තරව හලාවත සිට කළුතර දක්වා තීරයේ ඇල මාර්ග ගණනාවක් තැනුවා. මේ ඇල මාර්ග ගමනාගමනයට යොදා ගැනීම කලකට ඉහත සිදු වුවත් අද එය අතපසු වී තිබෙනවා.

මාර්ග තදබදයට ලාබදායක විකල්පයක් ලෙස සමහර ප‍්‍රදේශවල අභ්‍යන්තර ජල මාර්ග යොදා ගත හැකි බව අධ්‍යයන හරහා තහවුරු වී තිබෙනවා. හැබැයි මගී ප‍්‍රවාහනය විධිමත් ලෙස ජල මාර්ග හරහා කිරීමට පරිසර හිතකාමී හා ඉන්ධන පිරිමසින බෝට්ටු පමණක් සෑහෙන්නේ නැහැ. ඒ සඳහා නිසි ලෙස නඩත්තු කැරෙන ඇල මාර්ග, බෝට්ටුවලට පිවිසීමට ජෙටි හා ජීවිතාරක්ෂක උපක‍්‍රම ද අවශ්‍යයි.

සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.

When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.

What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?


“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව‍්‍ර ලෙස දැනුනේ ඉංගී‍්‍රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’

සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්‍යවේදිනියක හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප‍්‍රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප‍්‍රජතාන්ත‍්‍රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.

පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප‍්‍රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.

වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්‍රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප‍්‍රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප‍්‍රවාහයන් ගැන මාධ්‍යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.

පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප‍්‍රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.

පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි‍්‍රතාන්‍ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප‍්‍රජාතන්ත‍්‍රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)

Map of Pakistan, courtesy Lonely Planet
පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප‍්‍රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්‍යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්‍ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්‍ය සම්ප‍්‍රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්‍යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්‍ය පද්ධතියක් එහි ඇති බවයි.

පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් හා මාධ්‍ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප‍්‍රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග‍්‍රහයන්. ඇතැමුන් බොහෝ ප‍්‍රශ්නවලට මුල ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක‍්‍රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.

එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත දරණ මාධ්‍යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්‍ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.

අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් යුගයේ පැවතුණේ රාජ්‍ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්‍ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප‍්‍රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන තනතුරු දීමට එහා යන ප‍්‍රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්‍රිත මාධ්‍ය නම් රාජ්‍ය ග‍්‍රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි‍්‍රයා කරනවා.)

අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්‍ය කේෂත‍්‍රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්‍ය පර්යේෂණ හා ප‍්‍රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්‍රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.

ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්‍යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප‍්‍රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප‍්‍රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප‍්‍රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප‍්‍රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප‍්‍රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.

තරගකාරීත්වය නිසා එරට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප‍්‍රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප‍්‍රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග‍්‍රහය බොහෝ විට එක සමානයි.

පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත‍්‍රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්‍යුත් මාධ්‍ය කේෂත‍්‍රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.

එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්‍ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.

බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ‍්‍රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.

ප‍්‍රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්‍යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.

පාකිස්ථානයේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක‍්‍රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප‍්‍රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව‍්‍ර මට්ටමක තිබෙනවා.

පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්‍යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප‍්‍රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.

මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක‍්‍රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක‍්‍රියා කරන්නට බැරි වී තිබෙනවා.

2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප‍්‍රධාන නගරවලින් දුර බැහැර ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.

වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක‍්‍රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.

දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්‍ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්‍ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.

මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්‍යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග‍්‍රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්‍යාපාරික අරමුණුවලට වඩා මාධ්‍ය ව්‍යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්‍යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්‍යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් පවා එක් වුණා.

පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්‍ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්‍යවේදීන් පිළි ගන්නවා.

මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්‍යෝගය පොදු උන්නතියට වඩාත් ප‍්‍රශස්ත ලෙසින් යොදා ගන්නටයි.

සිවුමංසල කොලූගැටයා #87: පියාපත් සොයා ගිය රයිට් සොහොයුරන්ගේ දිරිය කථාව

Continuing my discussion on inventions and innovation, in this week’s Ravaya column (in Sinhala, published 14 Oct 2012), I recount the story of the Wright brothers as indefatigable innovators.

Several others had designed heavier-than-air machines during the 19th Century, but none had been as practical as the Wright Brothers. While other experimenters put more emphasis on developing powerful engines, the Wright Brothers focused on developing a reliable method of pilot control.
As cycle repairers, they believed – correctly – that an unstable vehicle like a flying machine could be controlled and balanced with enough practice. They tinkered endlessly with models and prototypes, and also used a small, home-built wind tunnel to collect more accurate data and insights. Such experimentation made their design more efficient and navigable. The rest is history…

Wilbur (left) and Orville Wright – photo from Wikipedia

මෙරටින් බිහි වූ කීර්තිමත් නව නිපැයුම්කරු ආචාර්ය රේ විජේවර්ධන සිහි වීමට ඔහුගේ නමින් නම් කළ රේ ත්‍යාගය (The Ray Award) මුල් වරට 2012 ඔක්තෝබර් 17 වනදා කොළඹදී ප‍්‍රදානය කැරෙනවා. දැනටමත් නව නිපැයුමක් සඳහා ජනාධිපති සම්මානය ලැබු ලාංකික නිපැයුම්කරුවකුට සිය නිර්මාණය වෙළඳපොළට ගෙන යාමට උදවු කිරීම මේ ත්‍යාගයේ අරමුණයි. බොහෝ නව අදහස්, සංකල්ප නිපැයුම් අන්තිමේදී හිර වන්නේත් එතැනයි.

රේ විජේවර්ධනගේ ප‍්‍රියතම නිපැයුම්කරුවන් වූයේ මුල් ම සාර්ථක ගුවන් යානය නිපදවූ රයිට් සොහොයුරන්. ඔවුන් දෙදෙනාගේ දිරිය කථාව ඉතා සමීපව අධ්‍යයනය කළ රේ නිතර කීවේ සියවසකට පසුව වුව ද ලොව හැම තැන සිටින, ඕනෑ ම තාක්‍ෂණයකට සම්බන්ධ නව නිපැයුම්කරුවන්ට මේ දෙපලගෙන් බොහෝ පාඩම් උගත හැකි බවයි.

විල්බර් හා ඕවිල් රයිට් අමෙරිකානු මැද පාංතික පවුලක උපන්නේ 19 වන සියවසේ මැද. විල්බර් 1867දී හා ඕවිල් 1871දී. ඔවුන්ගේ පියා බිෂෝප්වරයකු වූ නිසා කලින් කලට පදිංචිය මාරු කරන්නට සිදු වුණා. කුඩා කාලයේ දරුවන්ට සොබාවික පරිසරය මෙන් ම යාන්ත‍්‍රික දේවල් ගැනත් ඕනෑ තරම් ගවේෂණය කිරීමට දිරි දුන්නේ ඔවුන්ගේ මවයි. ගෙදර ඕනෑ ම බඩුවක් ගලවා ඒවා වැඩ කරන හැටි සොයා බලන්නටත්, දියුණු කිරීම් යෝජනා කරන්නටත් ඇය දරුවන් උනන්දු කළා.

රයිට් සොහොයුරන් තරුණ වියේදී මුලින් පිවිසුණේ පුවත්පත් කර්මාන්තයට. ඔහායෝ ප‍්‍රාන්තයේ ඬේටන් නුවර මුද්‍රණාලයක් මිළට ගෙන එය හරහා ප‍්‍රාදේශීය පත්තරයක් පළකිරිම ඇරඹුවා. කර්තෘ මන්ඩල මෙන්ම ව්‍යාපාරික අංශය ගැනත් පුළුල් දැක්මක් ඔවුන්ට තිබුණත් ඒ වකවානුවේ පැවති සීමිත වෙළඳපොල හා තාක්‍ෂණය නිසා ඒ උත්සාහය සාර්ථක වූයේ නැහැ. මේ නිසා පත්තර කර්මාන්තය නවතා දමා ඔවුන් බයිසිකල් වැඩපොළක් ඇරඹුවා.

බයිසිකලය යුරෝපයේ නිපදවා හඳුන්වා දෙනු ලැබුවේ 1817දී. එය 1890 වන විට අමෙරිකාවේ වඩා ජනාදරයට පත් නිපැයුමක් බවට පත් වුණා. මෝටර් රථ තවමත් පුළුල් භාවිතයට පැමිණ නොතිබුණ ඒ කාලයේ බයිසිකලයක් හිමි කර ගැනීම ලොකු ඉදිරි පිම්මක් ලෙස සැළකුණා. 1892දී රයිට් සොහොයුරෝ බයිසිකල් කුලියට දීම, අළුත්වැඩියාව හා වැඩි දියුණු කිරීම ඇරඹුවා. එය ටික කලකින් ඉතා සාර්ථක ව්‍යාපාරයක් වුණා.

බයිසිකලය කියන්නේ සාමුහික නිපැයුමක්. එය සියවස් ගණනක් තිස්සේ දුසිම් ගණනක් නිපැයුම්කරුවන් අතින් වැඩි දියුණු වී තිබෙනවා. එය අද දක්වා ම සිදුවන ක‍්‍රියාදාමයක්. රයිට් සොහොයුරෝ විවේක ඇති හැම විට ම උත්සාහ කළේ ආයාසය අඩු, ආරක්‍ෂාව වැඩි ආකාරයට බයිසිකලය දියුණු කරන්න. මේ ගැන ඔවුන් දෙදෙනා දිගින් දිගට අත්හදා බැලීම් කළා. ඔවුන්ගේ කිසි වැඩක් සිද්ධාන්තයට සීමා වූයේ නැහැ.

1890 දශකය අමෙරිකාවේත්, යුරෝපයේත් තාක්‍ෂණික හා කාර්මික නවෝදයක් මතුව ආ කාලයක්. එක් පසෙකින් මෝටර්රථය වැඩි දියුණු කරන්නටත්. තවත් පසෙකින් ගුවනින් පියාසර කළ හැකි යානයක් තනනන්නටත් නව නිපැයුම්කරුවන් රැසක් යොමුව සිටියා.

ගුවනින් යාමේ උත්සාහයන් අතර පෙරමුණේ සිටි ඔටෝ ලිලියන්තාල් (Otto Lilienthal) ග්ලයිඩරයක් කඩා වැටී මිය යාමේ පුවත ඔවුන් දැන ගත්තේ 1896 මැදදී. පක්‍ෂීන්ගේ පියාපත් කෘත‍්‍රිම ලෙස තනා ඔවුන්ගේ පියාසර කිරීම අනුකරණය කරන්නට ලිලියන්තාල් වසර ගණනක් අත්හදා බැලීම් කළා. ඔහු හා අනෙක් සමකාලීනයන්ගේ වැඩ ගැන පත්තර වාර්තා හා වෙනත් තොරතුරු රැස් කර ගත් රයිට් සොහොයුරෝ ඒ අයට හරි ගිය හා වැරදුණු තැන් ගැන දීර්ඝ වශයෙන් වාද විවාද කළා.

එරට අගනුවර වොෂිංටනයේ ස්මිත්සෝනියන් (Smithsonian) විද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ ප‍්‍රකට විද්‍යාඥයකු වූ සැමුවල් ලැංග්ලි (Samuel Langley) වාෂ්ප බලයෙන් ක‍්‍රියා කරන, මිනිසුන් රහිත ගුවන් යානයක් නිපදවන්නට දැඩි උත්සහයක යෙදී සිටියා. ඔහුගේ උගත් බව හා සමාජ තරාතිරම නිසා මේ අත්හදා බැලීම්වලට මාධ්‍යවල ලොකු ප‍්‍රසිද්ධියක් ද ලැබුණා. එහෙත් ඔහුගේ එක ම යානයක් හෝ සාර්ථක ලෙස පියාසර කළේ නැහැ.

1896 වන විට නාමධාරී අමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ සයිමන් නිව්කෝම්බ් ද (Simon Newcomb) තර්කානුකූලව හා ගනිතානුකූලව “ඔප්පු කර” පෙන් වූයේ වාතයේ බරට වඩා වැඩි කිසිවක් ගුවන්ගත කිරීමට නොහැකි බවයි! ඔහු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් කීවේ ගුවන් යානයක් නිපදවීම කිසිදා සාර්ථක නොවන බවයි!

ඉතින් මේ පඬිවරුන් හා දැනමුත්තන් බැරි යයි සහතික කළ දෙයක් උත්සාහ කරන්නට කුඩා නගරයක බයිසිකල් කාර්මිකයන් දෙදෙනෙකු පෙළඹුණේ ඇයි? එයට එක එල්ලේ පිළිතුරක් නැහැ. කුඩා කළ සිට හැම දෙයක් ම ප‍්‍රායෝගිකව කර බැලීමේ චරිත ලක්‍ෂණයත්, නොපසුබස්නා ධෛර්ත්, අසීමිත කුතුහලයත් නිසා රයිට් සොහොයුරෝ නිහඬව, තමන්ගේ පාඩුවේ පියාඹන යානයක් තැනීමේ පෞද්ගලික අත්හදා බැලීම් කරගෙන ගියා. ඒ ගැන දැන සිටියේ පවුලේ උදවියත්, වැඩපොළේ සේවකයනුත් පමණයි.

ඒ දක්වා ගුවන් යානා සැලසුම් කළ වෙනත් කිසිවකුට නොතිබූ දැනුමක් හා අත්දැකීම් සමුදායක් රයිට් සොහොයුරන්ට තිබුණා. එනම් බයිසිකල් සමබරව තබා ගැනීම (බැලන්ස් කිරීම) ගැන පුළුල් අවබෝධයයි. පොළොවෙන් ඉහළට එසවෙන ඕනෑ ම යානයක් සමබරව තබා ගැනීමේ වැදගත්කම ඔවුන් ඉතා හොඳින් දැන සිටියා.

ගුවන් ගත වන යානයක ක‍්‍රියාකාරිත්වයට තීරණාත්මකව බලපාන සාධක හතරක් ඔවුන් හඳුනා ගත්තා. ඒවා නම් එහි බර, එසවීම (lift), බාධාව (drag) හා තෙරපුම (thrust). පක්‍ෂීන් පියාසර කිරිමේදී ඔවුන් සහජයෙන් ලද හැකියාවත්, සොබාදහමින් ලැබුණු පියාපත් සැළසුමත් සංකලනය වී ක‍්‍රියා කරන සැටි මාස ගණනක් තිස්සේ ඉතා සමීපව ඔවුන් අධ්‍යයනය කළා. ඊට පසු එය අනුකරණය කරමින් විවිධ ග්ලයිඩර නිර්මාණය කළා.

මේ ග්ලයිඩර් පියාසර කරන්නට විවෘත අවකාශයන්, හොඳට සුළං හමන හා කඩා වැටුණොත් හානිය අවම වන මුහුදු වැල්ල හා නොගැඹුරු මුහුද අවට තැනක් අවශ්‍ය වුණා. උද්‍යොගය කෙතරම් තිබුණත් ආරක්‍ෂාව ගැන ඔවුන් කවදත් සැලකිලිමත් වුණා. එරට කාලගුණ සේවයෙන් ඔවුන් විමසීම් කළා එබඳු තැන් පිළිබඳව. ඒ අනුව වඩා හොඳ තැනක් ලෙස උතුරු කැරලයිනාවේ කිටි හෝක් (Kitty Hawk) නම් වෙරළා ප‍්‍රදේශය තෝරා ගෙන තාවකාලිකව එහි පදිංචියට ගියා.

මේ සඳහා අවශ්‍ය මුදල් ඔවුන් සපයා ගත්තේ තමන්ගේ ම කුඩා ව්‍යාපාරයෙන්. මදි පාඩුවට පියාගෙන් ණයක් ඉල්ලා ගත්තා. වෙනත් කිසිදු අනුග‍්‍රාහකයකු සොයා ගියේ නැහැ. අනුග‍්‍රාහකයන් සම්බන්ධ කරගත් විට මානසික පීඩනය හා බැඳීම් වැඩි වන නිසා.

1900දී උතුරු කැරලයිනාවට පැමිණි මේ දෙන්නා වසර තුනක් තමන්ගේ අත්හදා බැලීම් කළා. හෑම පසුබෑමක් ම දැඩි ලෙස ස්වයං විවේචනය කරමින් සංකල්පමය හා ප‍්‍රායෝගික ඉදිරි ගමනක යෙදුණා.

පියාසර යානයට අවශ්‍ය බලය ලබා ගන්නට සැහැල්ලූ එන්ජිමක් තනා ගැනීමේ අභියෝගයට රයිට් සොහොයුරන් මුහුණ දුන්නා. මෝටර් තාක්‍ෂණය ප‍්‍රාථමික මට්ටමක පැවති ඒ කාලයේ එය ලෙහෙසි වුයේ නැහැ. ඔවුන්ගේ “ලොකු බාස්” චාලි ටේලර්ගේ උදව්වෙන් අවශ්‍ය විදියේ කුඩා එන්ජිමක් තනා ගත්තා.

1903 මැද වන විට එන්ජිම ද සවිකළ පියාසර යානයක සැබෑ ප‍්‍රමාණයේ ආකෘතියක් නිර්මාණය කළ ඔවුන් එයට බුද්ධිමය හිමිකම පතා පේටන්ට් ඉල්ලූම්පතක් අදාල රාජ්‍ය ආයතනයට යොමු කළා. එහෙත් ඒ වන විට ගුවන් යානා සැලසුම් ගැන කෙළවරක් නැති ඉල්ලූම්පත් ලැබෙමින් තිබු නිසා අමෙරිකානු පේටන්ට් කාර්යාලය එය නැවත හරහා එව්වේ “මේක හදන්න බැරි යන්ත‍්‍රයක්” කියමින්. එහෙත් රයිට් සොහොයුරෝ එයින් අධෛර්්‍යය වුණේ නැහැ.

ඔවුන්ට ගුරුහරුකම් දෙන්නට උගතුන් සිටියේ ද නැහැ. එය ඔවුන්ට ආශිර්වාදයක් හා වාසියක් වුණා. වැඩක් කරන අතරේ මාධ්‍ය හා මහජන අවධානය යොමු වීම අහිතකර බව ඔවුන් විශ්වාසය කළා.

එහෙත් ඔවුන්ගේ ප‍්‍රබල ම තරඟකරුවා වූ සැමුවෙල් ලැංග්ලි තමන්ගේ උගත්කම හා සිවිල් බලය යොදා ගෙන අගනුවර ජාතික මාධ්‍යවලින් සෑම අත්හදා බැලීමක් ම වාර්තා කිරීමට කටයුතු කළා. එහෙත් පිට පිට කඩා වැටෙන මේ උත්සාහයන් නිසා ලැංලිගේ විකාර (Langley’s Folly) නමින් මාධ්‍යවලින් ඔහුට විකට නමක් ද පටබඳිනු ලැබුවා!

මිනිස් වාසය අඩු, පහසුකම් සීමිත දුර බැහැර තැනකට වී රයිට් සොොහයුරන් කළ දුෂ්කර කාර්යයේ සාර්ථක ප‍්‍රතිඵල ලැබුණේ 1903 අගදි. 1903 දෙසැම්බර් 17 පැහැබර උදාසන ලෝක ඉතිහාසයේ මුල් ම සාර්ථක ගුවන් ගමන කරන්නට ඔවුන්ට හැකි වුණා. තනි මිනිසකුට දිගා වී හැසිරවීමට හැකි ලෙසින් තනා තිබු “The Flyer” මේ මුල් ම ගුවන් යානයෙන් ඓතිහාසික මංගල චාරිකාව ගියේ ඕවිල් මල්ලි. ඒ අසිරිමත් අවස්ථාව දැක ගත්තේ විල්බර් අයියාත්, අවට තිබූ ජිවිතාරක්‍ෂක මුරපොළක සේවක පිරිසක් පමණයි.

මුල් ම ගුවන්ගමන ඉතා කෙටි එකක්. යානය වේගවත්ව වැල්ලේ දිව ගොස් ගුවන්ගතව සිටියේ තත්පර 12යි. ඒ කාලය තුළ අඩි 120ක් (මීටර් 36.5ක්) දුර ගමන් කළා. යාන්ත‍්‍රික ගුවන් යානයක් එන්ජින් බලයෙන් සාර්ථකව ගුවන්ගත වූ මුල් ම අවස්ථාව එයයි.

First successful flight by Wright brothers on 17 Dec 1903

නිරීක්‍ෂකයන් කිහිප දෙනා අතර සිටි ජෝන් ඩැනියල්ස් නම් පුද්ගලයා එවකට තිබු වරකට තනි සෝයාරුවක් ගත හැකි කැමරාවකින් මේ ඓතිහාසික අවස්ථාව ජායාරූප ගත කළා. එබන්දක වැදගත්කම රයිට් සොහොයුරෝ දැන සිටියා. එදින ම දහවල් වන විට තවත් කිහිප වතාවක් සාර්ථක කෙටි ගුවන් ගමන්වල යෙදුණු ඔවුන් තමන්ගේ නිර්මාණයේ ක‍්‍රියාකාරිත්වය මනා සේ තහවුරු කළා.

ඉතින් ඊට පස්සේ?

ඉනික්බිති සිදුවීම් ද නව නිපැයුම්කරුවන් මුහුණ දෙන සමාජ අභියෝග සංකේතවත් කරනවා. එදින ම සවස රයිට් සොහොයුරෝ තමන්ගේ වික‍්‍රමය ගැන කියා සිය පියාට ටෙලිග‍්‍රෑම් එකක් යැව්වා. මේ ආරංචිය නගරයේ පුවත්පතට රයිට් පවුල ලබා දුන්නත් කතුවරුන් එය එතරම් විශ්වාසය නොකළ බව පෙනුණා.

රට පිළි ගත් මහා උගතුන්ටත් බැරි වූ දෙයක් අපේ විංකල් කොලූවන්ට ඇත්තට ම කළ හැකි ද යන විමතිය ඔවුන්ට මතු වන්නට ඇති. ඔවුන් ප‍්‍රවෘත්තිය පළ කළේ ප‍්‍රමුඛතාවයක් නොදී කුඩාවටයි!

ඉදිරි සති කිහිපය තුළ වැඩි ජන පිරිසක් අබියස නැවත නැවතත් තම ගුවන් යානය පියාසර කළ පෙන් වූවත් මෙබන්දක් ඇත්තට ම සිදු වන බව එරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ විද්වතුන් හා මාධ්‍ය පිළි ගන්නට ටික කලක් ගත වුණා. අමෙරිකානු පේටන්ට් කාර්යාලය කෙතරම් නිර්දය ලෙස නිලධාරිවාදය මතු කළා ද යත් රයිට් සොහොයුරන්ගේ සාර්ථක සැලසුම දිගින් දිගට ම නොතකා හැරියා. අමෙරිකානු පේටන්ට් එකක් ලැබුණේ 1906 මැයි මාසයේයි.

මුල් ම සාර්ථක ගුවන් ගමනින් පසු තම නව නිපැයුම රටට හා ලෝකයට ඒත්තු ගැන්වීමේ අභියෝගය රයිට් සොහොයුරෝ හොඳින් ජය ගත්තා. ඕවිල් අමෙරිකාවේ රැඳී සිටිමින් නිපැයුම් ප‍්‍රවර්ධනය කරද්දී විල්බර් යුරෝපයේ සංචාරය කරමින් විද්‍යාත්මක හා ව්‍යාපාරික සබඳතා සවිමත් කළා. ගුවන් යානය නිපදවීමට දැඩි ලෙස උත්සාහ කළ යුරෝපීය නිපැයුම්කරුවන් කිහිප දෙනෙකු පසුව රයිට් සොහොයුරන් සමඟ සුහදව හා සහයෝගයෙන් කටයුතු කළා.

මාධ්‍ය සමඟ ගනුදෙනු කිරීම ද ඔවුන්ට අභියෝගයක් වුණා. යුරෝපයේ පුවත්පත් ඔවුන් ගැන ඉහළින් වර්ණනා කරද්දීත් සිය රටේ සමහර පුවත්පත් ඔවුන්ගේ හපන්කම් හෑල්ලූ කිරීම ගැන ඔවුන්ට යම් කම්පාවක් හට ගන්නට ඇති. එහෙත් තහවුරු කළ තම නිපැයුම ගැන විවෘතව කථා කරන්නට ඔවුන් සැම විට සූදානමින් සිටි අතර අසාධාරණ හෝ ද්වේෂ සහගත මාධ්‍ය විවේචන නොතකා හැරියා.

පොදුවේ ගත් විට රයිට් සොහොයුරන්ගේ ජීවිත කථාවෙන් අපේ නව නිපැයුම්කරුවන්ට බොහෝ දේ උගත හැකියි. එක ලොකු පාඩමක් නම් නව නිර්මාණයක් තහවුරු කිරීමෙන් තමන්ගේ ගමන නතර නොවන බවයි.

සිවුමංසල කොලූගැටයා #86: නව අදහස් හා නිපැයුම් බදා ගනිමු ද – බෙදා ගනිමු ද?

In this week’s Ravaya column (in Sinhala), published in issue for 7 Oct 2012, I share my impressions of Sahasak Nimawum, the first national inventors exhibition of Sri Lanka held on Sep 30, Oct 1 and 2 in Colombo.

Organised by Sri Lanka Inventors Commission, it brought together over 900 innovations – including some 400 by school children from around the island.

I spent many hours at the exhibition, talking to dozens of exhibitors and taking hundreds of photos. Clearly, I can only share a few overall impressions in a column like this. I’ll be using the other info in my future writing aimed at critically cheerleading innovation in Sri Lanka.

Sahasak Nimawum 2012 entrance – photo Janaka Sri Jayalath

සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනයේ තෙදින ම මා හැකි තරම් කල් එහි ගත කරමින් 900කට අධික ප‍්‍රදර්ශන කුටිවලින් බහුතරයක් නැරඹුවා. හැකි හැම විටෙක ම නව නිපැයුම්කරුවන් සමඟ ඔවුන්ගේ නිර්මාණ ගැන කථා බහ කළා. මේ තොරතුරු ගවේෂණය නව නිපැයුම් ගැන මා කරන මාධ්‍ය කටයුතුවලට ප‍්‍රයෝජනවත් වන අතරේ එය මගේ දැක්ම පුළුල් කිරිමටත් දායක වුණා.

නව නිපැයුම් තේමාව යටතේ පමණක් ජාතික මට්ටමින් මෙබඳු ප‍්‍රදර්ශනයක් පැවැත්වු ප‍්‍රථම වතාව මෙයයි. මෙරට නව නිපැයුම් එක් තැන් කැරෙන විවිධාකාරයේ ප‍්‍රදර්ශන පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) තම වාර්ෂික සැසිවාරයට අනුබද්ධිතව ඔක්තෝබරයේ පවත්වන Techno ප‍්‍රදර්ශනයේ විශේෂ අංගයක් වන්නේ නව නිපැයුම්කරුවන්ගේ තරඟයයි. ශ‍්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS), ඇතැම් සරසවි හා ප‍්‍රධාන පෙළේ පාසල් ද නව නිපැයුම් තරඟ හා ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. මේ සියල්ල ප‍්‍රශංසනීයයි.

එහෙත් රාජ්‍ය ආයතනයකට ඇති පුළුල් කැඳවීමේ හැකියාව (convening power) ඔවුන්ට නැහැ. සහසක් නිමැවුම් සඳහා දීපව්‍යාප්ත නියෝජනයක් ලබා ගන්නට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එම හැකියාව දක්‍ෂ ලෙස භාවිත කළා. තොරතුරු ඒකරාශි කිරීමේ හා බෙදා හැරීමේ යම් අඩුපාඩු තිබුණත් ප‍්‍රථම උත්සාහයක් හැටියට සහසක් නිමැවුම් පිළිබඳව අපේ ප‍්‍රණාමය කොමිසමේ සමස්ත කාර්ය මණ්ඩලයට ම හිමි වියු යුතුයි.

සහසක් නිමැවුම් අත්විඳි මගේ නිරීක්‍ෂණ කිහිපයක් තිබෙනවා. ප‍්‍රදර්ශනයේ මා සිත්ගත් නව නිපැයුම් ගැන වෙන වෙන ම විස්තර කරනු වෙනුවට මෙබඳු කොලමකින් කළ හැක්කේ ප‍්‍රවණතා ගැන සටහනක් කිරිමයි.

ප‍්‍රදර්ශනය ජාතික වශයෙන් වැදගත් කෙෂත‍්‍ර 7කට තේමා වශයෙන් ගොනු කර තිබුණා. එනම් ආබාධිත පුද්ගලයන් වඩාත් ස්වාධීන කිරීම, ආහාර පාන, පරිසර සංරක්‍ෂණය, බලශක්ති විසඳුම්, පොදුජන ආරක්‍ෂාව, අධ්‍යාපනික උපකාරක, හා පිටරටින් ගෙන්වන දේට නිසි ආදේශක. නිල මට්ටමින් මෙසේ වර්ග කළත් බොහෝ නව නිපැයුම්කරුවන් කරන්නේ තමන් අවට පරිසරයේ හා ජන සමජයේ ප‍්‍රශ්න විසඳන්නට තැත් කිරීමයි.

දිගු කලක් ලක් සමාජයේ නිසි අවධානයට ලක් නොවූ ආබාධිත පුද්ගලයන්ගේ සුවිශේෂී අවශ්‍යතා ගැන නව නිපැයුම්කරුවන් දැන් වැඩියෙන් ප‍්‍රතිචාර දක්වනවා. වැඩි දියුණු කළ කිහිලිකරු, අතක ඇඟිලි අහිමි අයට දෘඩ ග‍්‍රහනය (grip) ලබා දෙන උපාංග, කෘත‍්‍රිම අත් හා පාද ආදීය දේශිය අමුද්‍රව්‍ය යොදා නිපදවීමේ උත්සාහයන් කිහිපයක් තිබුණා. වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවන් හා අනෙක් විද්වතුන් බහුතරයක් ආබාධ ඇති අයගේ අවශ්‍යතා දිගින් දිගට නොතකා හරින රටක නව නිපැයුම්කරුවන් ඒවාට විසඳුම් සොයා යාම අගය කළ යුතුයි.

මා දුටු බොහෝ නව නිපැයුම් විප්ලවකාරී නොවූවත් පුද්ගල හෝ නිවෙස් මට්ටමින් එදිනෙදා දිවියේ ආයාසය අඩු කොට ආරක්‍ෂාව ද වැඩි කළ හැකි ආකාරයේ දියුණු කිරිම්. බිම් මට්ටමේ නවෝත්වාදනය ගැන ලොව ප‍්‍රමුඛ පෙළේ විශේෂඥයකු වන ඉන්දියානු ආචාර්ය අනිල් කේ. ගුප්ත පුන පුනා කියන්නේත් අපේ වැනි රටවලට වැඩිපුර ම අවශ්‍ය මේ ආකාරයේ නිපැයුම් බවයි.

Jaffna school girls presenting one of their inventions – Photo by Janaka Sri Jayalath

ගෘහනියන්ට, ගොවීන්ට, කම්කරුවන්ට හා අනෙක් වැඩ කරන ජනතාවට සුළු මට්ටමින් හෝ සහනයක් හා වියදම් ඉතිරි කිරීමක් ගෙන දිය හැකි, නොවිසඳුණු අභියෝග ගැන 2012 ජනවාරි 8 කොලමින් මා විග‍්‍රහ කළා. මේ අභියෝග සමහරකට අපේ පාසල් දරුවන් හා වැඩිහිටි නිපැයුම්කරුවන් දැන් ප‍්‍රතිචාර දක්වනවා. පේටන්ට් මට්ටමට යා හැකි වූවත් – නොවූවත්, පොදු උන්නතිය සළකා බලා මේවා හැකි තාක් ප‍්‍රවර්ධනය කළ යුතුයි.

බුද්ධිමය හිමිකම් රැක ගැනීම හැම නිපැයුම්කරුවකුගේ ම අයිතියක් හා වගකීමක්. එහෙත් අප ගිය සතියේ කථා කළ පරිදි මෙරට ඇතැම් නිපැයුම්කරුවන් පේටන්ට් හඹා යාම උන්මාදයක් කර ගෙන තිබෙනවා. පේටන්ට් එකතු කිරිමෙන් ඔබ්බට නොයන නිපැයුම්කරුවන්ගේ ඔවුන්ට හෝ සමාජයට හෝ එතරම් ප‍්‍රයෝජනයක් නැහැ.

අපේ වැනි රටක වසරකට පේටන්ට් නිකුත් කැරෙන සංඛ්‍යාව ඉහළ නැංවිය යුතු නමුත් එ්වා වෙළඳපොළට හෝ සමාජයට ගෙන ඒම ගැන මීට වඩා උනන්දුවක් ද තිබිය යුතුයි. එමෙන්ම මාධ්‍ය හරහා සහ මහජන ප‍්‍රදර්ශන ඔස්සේ සිය නව අදහස් රටට ඉදිරිපත් කිරීමටත්, ඒ ගැන විචාරයන්ට නිසි ප‍්‍රතිචාර දීමටත් හැකි පෞරුෂය අපේ නිපැයුම්කරුවන් තුළ ඇති කළ යුතුයි.

ප‍්‍රදර්ශනයේ සිය නිර්මාණ පෙන් වූ 400ක් පමණ පාසල් දරුවන් අතර උතුරු නැගෙනහිර පළාත්වලින් ආ දරුවන් රැසක් ද සිටියා. යුද්ධය පැවති කාලයේ ඉතා දුෂ්කර දිවි ගෙවූ ඔවුන් හැම සම්පතක් ම සකසුරුවම් ලෙසින් ප‍්‍රයෝජනයට ගන්නට පෙළැඹුණු බව අනුමාන කළ හැකියි.

එකල විදුලි බලය නොමැතිව, බැටරි අලෙවිය ද තහනම් වූ නිසා බයිසිකල් ඩයිනමෝ හරහා රේඩියෝ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කළ බව මා අසා තිබුණා. බලශක්තිය, ආහාර කල් තබා ගැනීම, කුඩා කර්මාන්ත ආදී ක්‍ෂෙත‍්‍ර රැුසකට උපකාර වන නව අදහස් ත‍්‍රිකුණාමලය, මන්නාරම, යාපනය හා මඩකලපුව දිස්ත‍්‍රිකක්වලින් ආ පාසල් සිසුන් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ඉංග‍්‍රීසි බස හැසිරවීමත්, පෞරුෂයත් ඇතැම් දකුණේ පාසල් දරුවන්ට වඩා ඉහළයි. මේ නිර්මාණශීලිත්වය නිසි මඟට යොමු කිරීම අප කාගේත් වගකීමක්.

සහසක් නිමැවුම් ප‍්‍රදර්ශන කුටි සිය ගණනක් අතර සැරිසරු මට විවිවධාකාරයේ චරිත මුණ ගැසුණා. ඉතා වැඩි දෙනෙකු මගේ සුහද ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේ උද්‍යොගයෙන්. එහෙත් පාසල් සිසුන් ගණනාවකගේ නව නිමැවුම් එක් රුස් කළ එක් තැනෙකදී පමණක් ඒ විවෘත බව තිබුණේ නැහැ. මාධ්‍ය භාවිතය සඳහා ජායාරූප ගැනීම පවා ඔවුන් ප‍්‍රතික්‍ෂෙ කළා. එහි සිටි පාසල් දරුවන් කීවේ තමන්ගේ අදහස් “කොල්ලකෑම වළක්වන්නට” එසේ පියවර ගන්නා බවයි.

බුද්ධිමය හිමිකම් ගැන දැනුවත්වීම ඉතා හොඳයි. ඒත් මහජන ප‍්‍රදර්ශනයකට පැමිණ තොරතුරු බෙදා නොගෙන බදා ගෙන සිටීමේ තර්කානුකූල බවක් නැති බව ඔවුන් තේරුම් ගත්තේ නැහැ. මෙය කොළඹ ආනන්ද විද්‍යාලයේ නිල ස්ථාවරය ද යන්න විමසන්නට ගුරුවරයකු හෝ වැඩිහිටියකු ඒ මොහොතේ එහි සිටියේ නැහැ.

අදහස් “කොල්ලකන්නට” එන්නේ කවුදැයි මා ඇසු විට එයට පිළිතුරු දීමට මේ දරුවන්ට හැකි නොවුවත්, ව්‍යාපාරිකයන්ගෙන් හා විදේශිකයන්ගෙන් ප‍්‍රවේශම් විය යුතු බව එක් අයෙක් යාන්තමට සඳහන් කළා.

ලක් සමාජයේ මෙබඳු “බිල්ලන්” ගැන පුළුල්ව පැතිර ඇති භීතිකාව දැන් කුඩා දරුවන්ටත් වැළදී තිබෙන බව පෙනෙනවා. එහෙත් බොහෝ දෙනෙකු නොදකින අදිසි උවදුරු ගැන ඉඟියක් ද ප‍්‍රදර්ශන කුටි සමහරෙක දී මට අසන්නට ලැබුණා.

පොතෙන් ඉහළට ඉගෙන සමාජ සම්මතයේ උගතුන් යයි කියන පිරිසක් සිටිනවා. බොහෝ නව නිපැයුම් බිහි වන්නේ ඒ උගතුන් හා වෘත්තීය පර්යේෂකයන් අතින් නොව සැබෑ ලෝකයේ ජීවන අරගලයේ යෙදෙන ගැහැණුන් හා මිනිසුන් අතින්.

මෙරට නව නිපැයුම්කරුවන් බහුතරයක් විද්‍යා උපාධිධාරීන් නොවෙයි. ඇතැම් දෙනා තාක්‍ෂණවේදීන් (technicians) හා කාර්මිකයන් (mechanics). තවත් සමහරුන්ගේ ජීවිකාව සම්පුර්ණයෙන් වෙනස් දෙයක්. මේ අය මතු කරන නව අදහස්, ප‍්‍රායෝගික නිපැයුම් දක්වා ගෙන යන්නට යම් විද්වත් දැනුමක් අවශ්‍ය වන අවස්ථා තිබෙනවා. එහිදී මුල් සංකල්පයේ බුද්ධිමය හිමිකම් සුරැකෙන පරිදි ඒ මග පෙන්වීම ලැබිය යුතුයි. එහෙත් බොහෝ විට මෙරට සිදු වන්නේ පොතේ උගතුන්ගේ අධිපතිවාදයට නිපැයුම්කරුවන් නතු වී අසරණවීමයි!

සැබෑ අදහස් කොල්ලකෑම කලක් තිස්සේ සිදුවන්නේ අපේ සමහර සරසවි හා පර්යේෂණායතන තුළයි. (මේ ගැන සාක්ෂි මා ළඟ තිබෙනවා.) පොතෙන් උගත් අපේ උදවිය නව නිපැයුම්කරුවන් ගැන දක්වන අධිමාන ආකල්පය වෙනස් වන තුරු මේ දෙපිරිස අතර සාධාරණාත්මක (equitable) සහයෝගයක් ඇති වන්නේ නැහැ.

“ඔය මජං බාස් උන්නැහේලා සහ කම්මල්කාරයෝත් එක්ක අපි වගේ අයට පුළුවන් ද එකට වැඩ කරන්න?” ඉංජිනේරු ක්‍ෂෙත‍්‍රයේ ආචාර්ය උපාධි ලද මගේ මිතුරෙක් වරක් අවඥවෙන් කීවා. “මහන්සි වෙලා ඉගෙන ගත්තෙ නැත්නම් අපිත් එ් අය වගේ තමයි!”

ආචාර්ය අනිල් ගුප්ත වැනි පුළුල් දැක්මක් ඇති විද්වතුන් නැති අපේ රටේ මෙවැනි අධිපතිවාදීන් තමන්ට රිසි සේ නව නිපැයුම්කරුවන් සියුම් ලෙස ගසා කනවා. මේ ගැන හඬක් නැගීමට පවා නොහැකි තරමට අපේ නිපැයුම්කරුවන් අසරණයි. පේටන්ට් ඉල්ලූම්පත් ඇගැයීමට, සම්මාන විනිශ්චය කිරීමට රාජ්‍ය ආයතන හැම විට ම යොදා ගන්නේ පොතේ උගතුන්. මේ නිසා අධිපතිවාදය තවත් තහවුරු වනවා.

සහසක් නිමැවුම් ප‍්‍රදර්ශනයේ තම නිපැයුම් පෙන් වූ සම්මානලාභී නිපැයුම්කරුවන් සමහරකුටත් මෙබඳු උගතුන්ගෙන් අයුතු යෝජනා ලැබී තිබෙනවා. “ඔබේ නිපැයුම ගැන ආචාර්ය උපාධියක් කරන්නට මගේ ශිෂ්‍යයකුට ඉඩ දෙන්න” යයි එක් උගතකු කියනවා. එබඳු බොහෝ අවස්ථාවල දැඩි උත්සහයෙන් නව අදහස් ගෙන ආ නිපැයුම්කරුවා පත් වන්නේ “පර්යේෂණ සහකාරක” මට්ටමට.

මේ අධිපතිවාදය ගැන විවෘතව සිය නමින් මාධ්‍ය හරහා කථා කරන්නට කිසිදු නිපැයුම්කරුවකු ඉදිරිපත් නොවන්නේ ප‍්‍රතිප‍්‍රහාර එල්ල වීමේ බියෙන්. ඇත්තට ම දරුවන් බිය විය යුත්තේ මේ උගත් මහත්-හොරුන් කරන බුද්ධිමය කොල්ලයන් ගැනයි.

වාර්ෂිකව ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනයක් පවත්වන්නට කොමසාරිස් දීපාල් සුරියආරච්චිට ලොකු ඕනෑකමක් තිබෙනවා. ඉදිරි වසරවලට යෝජනාවක්: තමන්ගේ නිපැයුම් පෙන්වන හා අන් අයගේ නිපැයුම් බලන අතරේ නව නිපැයුම්කරුවන්ට නිරවුල් නීතිමය හා තාක්‍ෂණික මග පෙන්වීම ලබා දෙන සාකච්ඡ පැවැත්විය හැකි නම් අගෙයි.

අපේ ටෙලිවිෂන් නාලිකාවලින් මීට වඩා මෙබඳු ධනාත්මක තොරතුරු ආවරණය වීම ද අවශ්‍යයි. ඉඳහිට සම්මානයක් දිනු නිපැයුම්කරුවකු හුවා දැක්වීම පමණක් මදි. නවෝත්පාදනය වටා බැඳුණු ආර්ථික හා සමාජයීය සාධක ගැන දිගින් දිගට අප සමාජයේත්, මාධ්‍ය හරහාත් සංවාදයක් ගොඩ නැගිය යුතුයි.

තමන්ගේ නව අදහස් හා නිපැයුම්වල අභිමානය පවත්වා ගන්නා අතර සැබෑ හෝ මවා ගත් කොල්ලකෑම්වලට නිසි ආරක්‍ෂිත උපක‍්‍රම ගන්නට නිපැයුම්කරුවන් සවිමත් කළ යුතුයි. බදා ගන්නවා වෙනුවට බෙදා ගැනීම වටිනා බව ඔවුන්ට අප තර්කානුකූලව පහදා දීම අවශ්‍යයි.

Photos: ජනක ශ‍්‍රී ජයලත්

Asurumuni Didula Loliya, a student of Matugama St Mary’s College, shows his mobile colour light – Photo by Janaka Sri Jayalath