සිවුමංසල කොලූගැටයා #144: ටෙලිවිෂන් යුගයේ මුල් ම ජන නායකයා – ජෝන් එෆ්. කෙනඩි

In this week’s Ravaya column (in Sinhala), I look back at the world’s first President of the Television Age – John F Kennedy. How did he ride the airwaves to the hearts and minds of American voters? What combination of wits, looks and charisma made him an ideal icon for the Television Age in its Golden Age? And what lessons JFK holds for all image-conscious politicians who want to appear on television?

John Fitzgerald Kennedy (1917-1963)
John Fitzgerald Kennedy (1917-1963)

අමෙරිකාවේ 35 වන ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි (John F Kennedy) ඝාතනයට ලක් වීමේ 50 වන සංවත්සරය නොවැම්බර් 22දාට යෙදී තිබුණා. එරට වසර 237ක ඉතිහාසයේ ජනාධිපතිවරුන් 44 දෙනෙකු සිටියත්, ඔවුන් අතරින් සිවු දෙනෙකු ඝාතනයට ලක් වූවත්, කෙනඩි තරම් ජන අවධානයට හා කුතුහලයට ලක් වූ ජන නායකයකු නැති තරම්.

කෙනඩි සාහසිකයකුගේ වෙඩි පහරට ලක් වූයේ 1963 නොවැම්බර් 22දා. ටෙක්සස් ප‍්‍රාන්තයේ ඩලස් නුවර මහජන ප‍්‍රදර්ශනයකට සහභාගි වීමට එදින ඔහු බිරිඳ ජැකලයින් (ජැකී) සමග එහි පැමිණියා. මධ්‍යහනය පසු වී ටික වේලාවකින් රථ පෙරහරකින් ඔහු නගර මධ්‍යය බලා ගමන් කරමින් සිටියේ වහලය විවෘත කළ මෝටර් රථයක. මග දෙපස පෙළ ගැසුණු ජනයා පී‍්‍රතිඝොෂා කරමින් සිටින විට හදිසියේ දුර සිට ස්නයිපර් (කුරුමානම්) තුවක්කුකරුවකු තැබූ වෙඩි පහර වැදී කෙනඩි රථය තුළ ඇද වැටුණා.

එසැනින් කි‍්‍රයාත්මක වූ ඔහුගේ ආරක්‍ෂකයන් ළඟ තිබූ රෝහලකට ඔහු රැගෙන ගියා. මේ සමග රැස්ව සිටි ජනයා භීතියටත්, සංත‍්‍රාසයටත් පත් වුණා. ජනාධිපති සමග ගමන් කරමින් සිටි මාධ්‍ය පිරිසේ වාර්තාකාරියක් ජනාධිපතිට වෙඩි වැදීම ගැන ප‍්‍රවෘත්තිය රටට දුන්නේ විනාඩි කිහිපයක් ඇතුළත.

Reuters: How the JFK assassination transformed media coverage

එතැන් පටන් ඒ මුඵ රටමත්, ලෝකයත් සලිත වී මහත්  ඕනෑකමින් පුවත් මාධ්‍යවලට සවන් දුන්නා. අද මෙන් සන්නිවේදන තාක්‍ෂණය දියුණු නොවූ එවකට පැවති පහසුකම් හරහා නිවැරදි හා අඵත් ම තොරතුරු දෙන්නට අමෙරිකානු රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය ඉතා වෙහෙස වී කි‍්‍රයා කළා.

ජනාධිපති කෙනඩි වෙඩි පහරින් මිය ගිය බව මුලින් රේඩියෝ නාලිකා මගිනුත්, ඉනික්බිති ටෙලිවිෂන් හරහාත් නිවේදනය වුණා. ඒ සමග මේ ජනපි‍්‍රය නායකයාගේ වියෝව ගැන මහත් සේ කම්පාවටත්, සංවේගයටත් පත් වූ අමෙරිකානු ජනයා ඊළඟ දින කිහිපය ගත කළේ ටෙලිවිෂන් යන්ත‍්‍ර අබියසයි.

Footage of the incident captured by Abraham Zapruder, with home-movie camera

මාධ්‍ය ඉතිහාසය අධ්‍යයනය කරන පර්යේෂකයන් කියන්නේ ටෙලිවිෂන් මාධ්‍යය අමෙරිකානු සමාජයේ ප‍්‍රධානතම කාලීන තොරතුරු මූලාශ‍්‍රය බවට පත් වීමට තීරණාත්මක ලෙස බලපෑවේ කෙනඩි ඝාතනය හා ඉනික්බිති එළැඹි දින කිහිපය බවයි.

ඒ දක්වා එසැනින් පුවත් ගෙන ඒමේ රේඩියෝවට තිබූ හැකියාව හීන නොවූවත් මෙබඳු අවස්ථාවක රූප-ශබ්ද දෙකේ සංකලනයේ වැදගත්කම නිසා වැඩි දෙනෙකු (එවකට තිබූ කඵ-සුදු යන්ත‍්‍ර හරහා) ටෙලිවිෂන් මාධ්‍යයට යොමු වූවා යයි සිතිය හැකියි. එවකට පැය විසිහතරේ ටෙලිවිෂන් නාලිකා ලොව කොතැනකවත් තිබුණේ නැහැ. (ඒ අන්දමේ මුල් ම නාලිකාව වූ CNN ඇරැඹුණේ 1980දී.) එවකට බොහෝ ටෙලිවිෂන් නාලිකා සවසට ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයකුත්, දින පුරා කෙටි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයකුත් සිදු කළා.

එහෙත් 1963 නොවැම්බර් 22, 23, 24 හා 25 දිනවල මේ සම්ප‍්‍රදාය බිදිමින් තොරතුරු මතුව එන හැම විටෙක ම එය තහවුරු කර ගත් වහා ප‍්‍රචාරය කිරීමේ සජීව, එසැනින් පුවත් ආවරණයේ සම්ප‍්‍රදාය බිහි වුණා. මේ නිසාත් කෙනඩි ඝාතනය ටෙලිවිෂන් ඉතිහාසයේ සංධිස්ථානයක්.

ඒ වන විට අමෙරිකාවේ ජාතික මට්ටමේ ටෙලිවිෂන් ජාල 3ක් තිබුණා (ABC, CBS හා NBC). මේ තුන ම තමන්ගේ එදිනෙදා වැඩසටහන් වහා නතර කරමින් හදිසි තත්ත්වය වාර්තා කිරීමට පටන් ගත්තා. ඔවුන් එසේ කළේ දැඩි සංයමයක් හා වෘත්තීය බවක් පෙන්නුම් කරමින්. පේ‍්‍රක්‍ෂකයන් කලබල හෝ කුපිත නොවන අයුරින්, ලැබෙන තොරතුරු හැකි තාක් ඉක්මනින් හා නිරවුල්ව ප‍්‍රචාරය කරන්නට ඔවුන් උත්සාහ ගත්තා.

Walter Cronkite announces the death of JFK on CBS News
Walter Cronkite announces the death of JFK on CBS News

අඩසියවසකට පෙර සිදු වූ මේ විකාශයන් දැන් ඉන්ටනෙට් හරහා YouTube වීඩියෝ ලෙස අපට නැරඹිය හැකියි. එසේම එම සුවිශේෂි ප‍්‍රවෘත්තිය ආවරණයට සහභාගී වූ තවමත් ජීවතුන් අතර සිටින මාධ්‍යවේදීන්ගේ ආවර්ජනා ද අපට මේ ගෙවී ගිය සතිවල වාර්තා චිත‍්‍රපට ලෙස දැක ගත හැකි වූවා. http://edition.cnn.com/SPECIALS/us/jfk-assassination-anniversary

මේ අතරින් වඩාත් කැපී පෙනුණු හා අමතක නොවන කාර්යයක් ඉටු කළේ CBS නාලිකාවේ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා පුවත් කියවන්නා වූ වෝල්ටර් ක්‍රොන්කයිට් (Walter Cronkite). අමෙරිකාවේ නැගෙනහිර වේලාවෙන් පස්වරු 2.38ට සජීව ලෙසින් පෙනී සිටිමින් ඔහු ගැඹුරු එහෙත් ඉතා සන්සුන් විලාසයෙන් ජනාධිපතිවරයාගේ අභාවය වාර්තා කළා. (ඒ වන විටත් තහවුරු නොවූ වාර්තා වෙනත් මාධ්‍ය හරහා පිට වී තිබුණත් නිල වශයෙන් එය තහවුරු කරමින් රටට හා ලොවට ප‍්‍රවෘත්තිය දුන්නේ ක්‍රොන්කයිට්.)

එදා ඔහු පැය ගණනක් තිස්සේ සජීව වාර්තාකරණයේ යෙදෙමින් CBS මැදිරියේ සිට කළ මාධ්‍ය මෙහෙවර අමෙරිකානු ටෙලිවිෂන් ඉතිහාසයේ උච්චස්ථානයක් සනිටුහන් කළා. ආවේගශීලී නොවී, කුමන්ත‍්‍රණවාදී මතවාද කිසිවක් පතුරුවන්නේ නැතිව, තොරතුරු පමණක් සැකෙවින් හා නිරවුල්ව ඉදිරිපත් කිරීමට ඔහුට මනා කුසලතාවක් තිබුණා.

මේ මොහොත සිහිපත් කරන එවකට දරුවකු හැටියට එය නැරැුඹූ අමෙරිකානු මාධ්‍යවේදියෙක් කියන්නේ: ‘‘ජාතිය ම ශෝකබරිත වූ ඒ දිනයේ මුඵ ඇමෙරිකාවට ම පියකු වුණේ වෝල්ටර් ක්‍රොන්කයිට්.’’ (අන්කල් වෝල්ටර් යන සුරතල් නමින් පරම්පරා දෙකක අමෙරිකානුවන් අතර ජනාදරයට පත් මේ මාධ්‍ය දැවැන්තයා ගැන වෙන ම කථා කළ යුතුයි. ඔහු කලක් අමෙරිකාවේ වැඩිපුර ම ජන විශ්වාසය දිනා ගත් මිනිසා – most trusted man in America – වශයෙන් සැළකුණේ හේතු සහගතවයි.)

ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් නොතිබි ඒ යුගයේ එසැනින් තොරතුරු ලබා ගන්නට තිබුණේ රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය පමණයි. වෙඩි තැබීම සිදු වූ තැන, තුවාල ලැබූවන් ගෙන ගිය පාක්ලන්ඞ් රෝහල ආදී තැන්වල සිට ඇසින් දුටුවන් සමග  ක්ෂණික සම්මුඛ සාකච්ඡා කරමින් සිදු වන්නේ කුමක් ද යන්න තේරුම් ගන්නට වාර්තාකරුවන් උත්සාහ ගත්තා.

The Assassination of President Kennedy CNN… by VidsnMore

The Assassination of President Kennedy CNN… by VidsnMore

වසර 50ක් ගත වීත් තමන් එම පුවත මුලින් ම ඇසූ මොහොතේ සිටියේ කොතැන ද කරමින් සිටියේ කුමක්ද යන්න හැම අමෙරිකානුවකුට ම වගේ තවමත් මතකයි. ඔවුන්ගේ මතකය තීව‍්‍ර කළේ ටෙලිවිෂන් පුවත් වාර්තාකරණයයි.

මේ සිදුවීම් මාලාව වඩාත් ත‍්‍රාසජනක වූයේ වෙඩි තැබීම කළ ලී හාවි ඔස්වල්ඞ් (Lee Harvey Oswald) නම් හිටපු සොල්දාදුවා ඉක්මනින් අත්අඩංගුවට ගැනීම හා දින දෙකක් ඇතුළත (අධිකරණයට ගෙන යන අතර) ඔහු වෙඩි තබා ඝාතනය කිරිම නිසායි. මේ ඝාතනය කරනු ලැබුවේ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය හෙළිදරව් වීම වළක්වන්නට බවත් බොහෝ දෙනා විශ්වාස කළා.

කෙනඩි ඝාතන කුමන්ත‍්‍රණවාදී තර්ක විතර්ක අද දක්වාත් එරට මහත්  ඕනෑකමින් සංසරණය වනවා. ජෝන් කෙනඩි චරිතය හා කෙනඩි පවුල ගැන පොත්පත්, වීඩියෝ හා වෙනත් මාධ්‍ය ප‍්‍රකාශන 40,000ක් පමණ ගෙවී ගිය අඩ සියවස තුළ පළ වී තිබෙනවා. කෙනඩි උන්මාදය තවමත් පහව ගොසින් නැහැ.

JFK යන මුලකුරු තුනෙන් හැදින්වෙන මේ දේශපාලකයා හා ජන නායකයාට ජනපි‍්‍රය සංස්කාතියේ ඇත්තේ අද්වීතීය ස්ථානයක්. මෙයට හේතුව කුමක්ද?

කෙනඩිට ජනාධිපති තනතුරේ සිටිය හැකි වූයේ දින දහසක් වැනි කෙටි කාලයක් පමණයි. (1961 ජනවාරි 20 – 1963 නොවැ 22). ඊට පෙර ඔහු මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් සභිකයකු ලෙස වසර 6ක් හා සෙනෙට් සභිකයකු ලෙස වසර 7ක් කටයුතු කළා. ඩිමොක‍්‍රැටික් පක්ෂ අපේක්‍ෂකයා ලෙස තරග වැදී 1960 නොවැම්බරයේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා විට වයස 43යි. එදා මෙදා තුර අමෙරිකානු ජනාධිපති වූ ලාබාල ම පුද්ගලයා ඔහුයි. එසේ ම එම තනතුරට පත් වූවන් අතරින් නිර්මාණශීලී හා පත‍්‍රකලා හපන්කම්වලට පුලිට්සර් ත්‍යාගයක් (Pulitzer Prize) ලැබූ එක ම තැනැත්තායි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව කෙමෙන් මතුව ආ මාධ්‍ය කේන්‍ද්‍ර කරගත් තොරතුරු සමාජය ගැන කල් තබා වටහා ගත් කෙනඩි, මාධ්‍ය හරහා තමන්ගේ ප‍්‍රතිරූපය සියුම් ලෙස ගොඩ නැගීමටත්, එමගින් ජනමතය හැසිරවීමටත් සමත් වුණා. මේ හැකියාව ප‍්‍රගුණ කළ මුල් ම ජන නායකයා ලෙස ඔහු හැදින්විය හැකියි.

jfk at press conference smiling

1930 ගණන්වල යන්තමින් ඇරැඹි ටෙලිවිෂන් විකාශයන් හරිහැටි බටහිර සමාජයන්හි ස්ථාපිත වූයේ 1950 දශකයේදී. මෙය මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී කෙතරම් තීරණාත්මක ද යන්න බොහෝ ජ්‍යෙෂ්ඨ හා වයෝවෘද්ධ දේශපාලකයන් තේරුම් ගත්තේ නැහැ. කඩවසම් පෙනුමක්, ජනකාන්ත (charismatic) පෞරුෂයක් හා මුඛරි නොවූ හරබර කතිකත්වයක් තිබූ කෙනඩි, ටෙලිවිෂන් හරහා තමන්ගේ 1960 මැතිවරණ ව්‍යාපාරය අති සාර්ථක ලෙස මෙහෙය වූවා.

ඔහුගේ ප‍්‍රතිමල්ලවයා වූයේ 1953 – 1960 කාලය තුළ එරට උපජනාධිපති වූ, කෘතහස්ත හා බුද්ධිමත් දේශපාලක රිචඞ් නික්සන්. ටෙලිවිෂන් ඉතිහාසයේ මුල් වරට ප‍්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා අතර ටෙලිවිෂන් විවාදයක් පවත්වනු ලැබුවේ එම මැතිවරණයට පෙරාතුවයි. 1960 සැප්තැම්බර් – ඔක්තෝම්බර් කාලයේ මේ දෙදෙනා විවාද හතරකට සහභාගී වුණා. කරුණු හා තර්ක අතින් දෙදෙනා කරට කර සිටියත් ටෙලිවිෂන් මාධ්‍යයට අවශ්‍ය පරිදි හැඩ ගැසෙන්නට නික්සන්ට බැරි වුණා.

විවාදය මුඵල්ලේ ම කෙනඩි සැහැල්ලූවෙන්, සිනාබරිතව සිටි අතර වඩා අත්දැකීම් බහුල නික්සන් දහඩිය පිසදමමින්, නොසන්සුන් හා නොරිස්සුම් ආකාරයට සිටිනු ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයන් දුටුවා. මේ ශරීර ගති ලක්‍ෂණ (body language) ටෙලිවිෂන් මාධ්‍යයට ඉතා වැදගත්.

විවාද අවසන් වූ පසු මාධ්‍ය මගින් ජනමත සමීක්ෂන කරනු ලැබුවා. විවාදය ටෙලිවිෂන් හරහා නැරඹූ බහුතරයකගේ මතය වූයේ කෙනඩි එයින් ජය ගත් බවයි. එහෙත් එය ම රේඩියෝ හරහා සවන්දුන් (දෙදෙනාගේ ශරීර ගති සොබා නොදුටු) අය බහුතරයක් සිතුවේ නික්සන් වඩාත් දක්‍ෂ ලෙස විවාද කළ බවයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය ප‍්‍රබල ලෙස ඇවිලෙමින් තිබූ ඒ යුගයේ රටේ ඉරණම හා සුභසිද්ධිය භාර ගන්නට වඩාත් සුදුස්සා තමා බව ටෙලිවිෂන් මාධ්‍යයේ පිහිටෙන් කෙනඩි අමෙරිකානු ඡුන්දදායකයන්ට ඒත්තු ගැන්වූවා. 1960 නොවැ 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් නික්සන් පරදවා ඔහු ජය ගත්තේ සුඵ ඡුන්ද පරතරයකින් (කෙනඩි ඡුන්ද 49.7%, නික්සන් 49.5%)

Kennedy vs. Nixon – 1st 1960 Debate

කෙනඩි කෙතරම් දක්‍ෂ හෝ ශේ‍රෂ්ඨ රාජ්‍ය නායකයකු වූවා ද යන්න අද දක්වා එරටත්, ලෝකයේ අන් තැන්වලත් විවාදයට ලක් වනවා. ඒ ගැන ඒකමතිකත්වයක් නැහැ. එහෙත් ජනපි‍්‍රය සංස්කෘතියේ හා මාධ්‍ය ලෝකයේ නම් ඔහුට අසමසම තැනක් හිමි වී හමාරයි.

දින දහසක ධුර කාලය තුළ ඔහු දිගු කාලීනව එරටට හා ලෝකයට බලපෑම් ඇති කළ තීරණ රැසක් ගත්තා. (උදා: හඳට මිනිසුන් ගොඩ බැස් වූ ඇපලෝ වැඩපිළිවෙල දියත් කිරීම, බර්ලින් තාප්පයට ප‍්‍රතිචාර දැක්වීම, කඵ අමෙරිකානුවන්ට සම තැන් දීමට එකඟ වීම.)

Joseph S Nye looks at the real John F Kennedy

ඔහුගේ විදේශ ප‍්‍රතිපත්ති හා දේශිය ප‍්‍රතිපත්ති විවේචනය කරන අය පවා අවිවාදයෙන් පිළිගන්නා එක් කරුණක් තිබෙනවා. එනම් ටෙලිවිෂන් යුගයේ මුල් ම ජන නායකයා කෙනඩි බවයි. ටෙලිවිෂන් හරහා හැම ගෙදරක ම විසිත්ත කාරමයට පිවිසී ජනයා අමතා ඔවුන්ට සමීපවීමේ හෘදයාංගම කලාව දේශපාලන ලෝකයට හඳුන්වා දුන්නේ කෙනඩියි.

එසේ ම සිය ධූර කාලය තුළ ඔහු රාජ්‍ය නායකයා ලෙස මාධ්‍යවලට නිතර සම්මුඛ සාකච්ඡා ලබා දුන්නා. සංකීර්ණ ප‍්‍රශ්න ගැන කෙටියෙන්, ව්‍යක්තව හා විශ්වසනීය ලෙස කථා කිරීමේ සහජ හැකියාවක් ඔහුට තිබුණා. දේශපාලනික වශයෙන් ප‍්‍රතිපක්‍ෂයට සහාය දෙන ජනයා පවා තමා කියන දෙයට නම්මවා ගැනීමේ අසාමාන්‍ය චිත්තාකර්ෂණීය ගුණයක් ද තිබුණා. පසු කලෙක රොනල්ඞ් රේගන්, බිල් ක්ලින්ටන් මෙන් ම බරක් ඔබාමා වැනි (ධූර කාල දෙකකට පත් වූ) ජනාධිපතිවරුන් එරට ජනයාට සමීප වූයේ කෙනඩි හෙළිපෙහෙළි කර දුන් ටෙලිවිෂන් මාවතේ ඉදිරියට ගමන් කරමින්.

1960න් පටන් ගත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වීම දැන් එරට දේශපාලන හා මැතිවරණ සම්ප‍්‍රදායයේ අත්‍යවශ්‍ය අංගයක්. ටෙලිවිෂන් හරහා විශ්වසනීය ලෙසින් ජන සමාජයට සමීප විය නොහැකි නම් කෙතරම් උගත්, බුද්ධිමත්, වංශවත් හා අත්දැකීම් බහුල දේශපාලකයකුට වුවත් එරට ඉහළ ම තනතුරට පත්වීමට නොහැකියි. (මෙය හුදෙක් තරුණ අපේක්‍ෂකයන්ට වාසි සළසනවා යයි සිතීම වැරදියි. රොනල්ඞ් රේගන් මුලින් එම තනතුරට පත් වන විට වයස 69යි.)

අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා ගිය වසරේ විමසුවා. ඔහු කීවේ එබඳු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි.

මෙබඳු ස්වාධීනත්වයක් ළඟදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි. මාත් එයට එකඟයි.

John F. Kennedy motorcade, Dallas, Texas, Nov. 22, 1963. Partially restored version of original file with some artifacts removed - original photo by Victor Hugo King, via Wikipedia
John F. Kennedy motorcade, Dallas, Texas, Nov. 22, 1963. Partially restored version of original file with some artifacts removed – original photo by Victor Hugo King, via Wikipedia

Did youth vote and social media make a difference in Colombo Municipal Council Election of Oct 2011?

Did youth vote and social media make a difference in Colombo Municipal Council election in Sri Lanka held in October 2011?

This was the question that Chanuka Wattegama and I asked ourselves and set out to answer when invited to contribute a chapter to a regional book on how social media are influencing elections in Asia.

Social Media and Elections in Asia-Pacific - The Growing Power of the Youth Vote - book coverThe book, titled “Social Media and Elections in Asia-Pacific – The Growing Power of the Youth Vote“, has just been published by Konrad-Adenauer-Stiftung’s Media Programme Asia based in Singapore. It is edited by Alastair Carthew and Simon Winkelmann, and available for free download.

The book comprises 10 chapters covering 11 nations written by local contributors from Australia, Indonesia, Japan, Malaysia,  New Zealand, Singapore, South Korea, Sri Lanka, the Philippines, Taiwan and Thailand.

It examines trends and outcomes surrounding recent elections in these countries — and how social media influenced election campaigning and voting, especially among young voters.

Topics include:

• Use of social media surrounding elections
• Digital electioneering
• How social media can make a difference
• How important is voting to young people?
• Detailed polling of political trends

Our summary for the Sri Lanka chapter:

The Colombo Municipal Council (CMC) is the local government body that administers Sri Lanka’s largest city and its commercial capital. Its last election, held in October 2011, saw the nationally ruling coalition losing this key municipality while winning all other municipalities as well as many of the smaller local government bodies.

What made CMC election outcome different? This election saw some apolitical activists and researchers engaging the mayoral candidates on social media, questioning and critiquing their election manifestos and trying to hold them accountable. Did these online activities influence voter behaviour? What lesson does this hold for other elections and the overall political landscape in Sri Lanka?

Read full book at KAS website

Download Sri Lanka Chapter: Did youth vote and social media make a difference in Colombo Municipal Elecction in 2011 – book chapter

Down to Earth magazine wins Greenaccord International Media Award

By Nalaka Gunawardene in Naples, Italy

India’s Down to Earth magazine was presented with the first Greenaccord International Media Award at an international conference held in Naples, Italy, last week.

The award, newly established by the Rome-based non-profit group Greenaccord, recognises outstanding media contributions to covering issues of environment and sustainable development.

Tommaso Sodano, deputy mayor of the City of Naples, presented the award at the conclusion of the 10th Greenaccord International Media Forum held from 6 to 9 November 2013.

Darryl D'Monte (centre) receives Greenaccord International Media Award on behalf of Down to Earth magazine, India - Naples, 9 Nov 2013
Darryl D’Monte (centre) receives Greenaccord International Media Award on behalf of Down to Earth magazine, India – Naples, 9 Nov 2013 – Photo courtesy Greenaccord Press Office

“We asked all our Asian colleagues for nominations for this inaugural award, and many of them recommended Down to Earth magazine that has covered sustainability issues from a developing country perspective for 21 years,” said Alfonso Cauteruccio, President of Greenaccord.

Down to Earth is a fortnightly magazine focusing on issues of science and environment. It is published by the Centre for Science and Environment (CSE), a leading research and advocacy group in India. Founded by leading journalist and activist Anil Agarwal in May 1992, it provides reportage, analysis and commentary on a broad range of issues related to environment and development.

From the beginning, the magazine has challenged its readers to think about sustainable development. It inspires and encourages its readers to become more environment-friendly.

Darryl D’Monte, senior Indian journalist and a former editor of the Times of India, accepted the award on behalf of Down to Earth editors and publishers.

“Anil Agarwal was a trail-blazing journalist who combined knowledge and advocacy. Down to Earth, launched just before the Earth Summit in Rio in mid 1992, reflects that vision,” D’Monte said in his acceptance speech.

D’Monte recalled how Agarwal and CSE played a key role in the early days of global climate negotiations, especially in focusing global attention on per capita emissions of global warming greenhouse gases.

“Climate change is as much politics as it is science, and Anil was well aware of that. He approached all debates well armed with statistics, analysis and a southern perspective, which is also the Down to Earth magazine’s approach to issues,” he added.

Darryl D'Monte talks about Down to Earth magazine at Greenaccord Forum in Naples
Darryl D’Monte talks about Down to Earth magazine at Greenaccord Forum in Naples – Photo courtesy Greenaccord Press Office

Down to Earth presents accessible content intended for interested non-specialists including policy makers. Articles are often investigative, in-depth, all presented in well edited and designed form. In recent years, it has developed an extensive website at www.downtoearth.org.in.

The magazine has been an important vehicle for many CSE campaigns in the public interest, including its exposes on pesticide residues in popular soft drinks and bottled water brands, and agitation for cleaner air in Delhi and other metropolitan areas in India.

CSE’s right to clean air campaign resulted in New Delhi becoming the world’s first city to introduce compressed natural gas (CNG) for all public transport vehicles, D’Monte said.

Greenaccord is a non-profit association, headquartered in Rome, and founded to be of service to the world of information and training that deals with environmental issues. The association is made up of journalists and professionals who volunteer their time to provide training to their colleagues.

Since 2003, Greenaccord organises an annual gathering of journalists and scientists concerned about sustainability – which has become one of the largest such gatherings taking place on a regular basis.

සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

How can we protect ourselves from slow poisoning by agrochemical residues in our food? In this week’s Ravaya column, I discuss two options for Sri Lanka: organic farming, and the in-situ testing of farm produce for residues (after determining maximum residue levels).

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Pesticides on a Plate
Image courtesy Pesticide Action Network

‘ජාතියට වස කවන්නෝ කවරහුද’ මැයෙන් ගිය සතියේ මා ලියූ කොලම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා.

උඩරට අර්තාපල් හා එළවඵ වවන ගොවීන්ගේ පලිබෝධ නාශක භාවිතය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් කළ සමීක්‍ෂණයක් මත පදනම් වී මා හෙළි කළේ අපේ සමහර ගොවීන් දැන දැන ම විස රසායන යෙදු ආහාර වෙළඳපොළට එවන සැටියි.

තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන්ට සපයන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

සමහර පාඨකයන් මේ සෘජු ප‍්‍රශ්න කිරීමට කැමති වූයේ නැහැ. සති කිහිපයකට පෙර හේන් ගොවීන් ගැන සානුකම්පිතව කථා කළ මේ කොලමින් ම දැන් ඔවුන් හෙළා දකින්නේ ඇයිදැයි කිහිප දෙනකු මගෙන් විමසුවා.

දැඩි සේ එල්බගත් කිසිදු මතවාදයක් නැති නිසා මට සාක්ෂි හා තර්ක පදනම් කර ගෙන එසේ කළ හැකියි. ගොවීන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළත් ඔවුන් ද රටේ නීතියට හා සමාජ සම්මතයට අනුකූලයි. එයට පිටුපාන විට සහේතුකව ඔවුන් විවේචනය කළ යුතුයි.

ගොවියා හා ගොවිතැන මැදහත්ව විග‍්‍රහ නොකර හැගීම් බරිතව ප‍්‍රතිපත්ති සම්පාදනයේ බරපතල අහිතකර විපාක අප සැවොම අත් වි`දිනවා. ගොවීන්ට ගරුසරු ඇතිව සැළකිය යුතු බව ඇත්තයි. එහෙත් ඒ ගෞරවය ඔවුන්ට හිමි වන්නේ පාරිභෝගික අපට වින නොකරන තාක් කල් පමණයි.

Pest and farmer cartoon

රසායනික පොහොර හෝ අධික විෂ සහිත පලිබෝධ නාශක නොයොදා, ස්වාභාවික පොහොර හා පලිබෝධ පාලන ක‍්‍රම මගින් බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මුඵ රට ම එක්වරම මෙබඳු කාබනික ගොවිතැනකට යොමු විය හැකි නේදැයි එක් පාඨකයෙක් යෝජනා කළා. තර්කයක් හැටියට එය ඉතා හොඳයි. එහෙත් ප‍්‍රායෝගිකව එය කිරීමට දිගු කලක් ගත වනවා. දැඩි නීතිරීති හා දණ්ඩන හරහා මෙබන්දක් කඩිනම් කළ නොහැකියි.

ඇත්තට ම කාබනික ගොවිතැන ශී‍්‍ර ලංකාවේ කලෙක සිට කරනු ලබනවා. එයට කැප වූ ගොවි සමිති හා සංවිධාන ද තිබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදිතයන් දේශීය වෙළඳපොළට යම් තරමක් මුදා හැරිය ද බහුතරයක් පිටරට යවනවා.

අපේ රටේ නිපදවෙන හොඳම තේ කොළ පිටරට යැවෙන්නා සේ ම බොහෝ කාබනික ආහාර ද විදෙස් වෙළඳපලවලට යන්නේ ඒවාට ඉහළ මිළක් ගෙවන්නට යුරෝපය, අමෙරිකාව, ජපානය වැනි රටවල නැඹුරුවක් ඇති නිසායි. මෙරට වෙළඳපොලේ ද කාබනිකව වැවූ සහල්, පළතුරු හා එළවඵ අනෙක් (රසායනික යොදා වැවූ) ආහාරවලට වඩා මිළෙන් ඉහළයි.

සෞඛ්‍යාරක්‍ෂාව සඳහා වුවත් වැඩි මිළක් ගෙවා කාබනිකව වැවූ ආහාර නිතිපතා මිළට ගත හැක්කේ අප කීයෙන් කී දෙනාට ද? කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි. එසේ නොවන තාක් කල් එය ඉහළ මධ්‍යම පාංතික සුඵතරයකගේ හා පරිසරවේදීන්ගේ වරප‍්‍රසාදයක්ව පවතිනවා.

අපේ කලාපයේ ජනගහනයෙන් දෙවැනි කුඩා ම රට වන භූතානය වසර 2020 වන විට සිය ගොවිතැන මුඵමනින් ම කාබනිකව කිරීමට ඉලක්ක කරනවා.

2013 පෙබරවාරියේ නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර තිරසාර සංවර්ධන සමුඵවකදී භූතාන් කෘෂිකර්ම ඇමති පේමා ග්‍යම්ෂෝ (Pema Gyamtsho) මෙය ප‍්‍රකාශයට පත් කළා. සොබාදහම සමග සහජීවනයෙන් විසීම මූලික කර ගත් බෞද්ධ දර්ශනයට අනුව යමින් ද සිය ජනයාගේ සෞඛ්‍යය සැළකිල්ලට ගනිමින් ද මේ තීරණයට එළඹුණු බව ඔහු කියා සිටියා.

මුඵ රටේ ජනගහනය ලක්ෂ 7ක් සිටින භූතානය වැනි කුඩා රටකට මෙබඳු වෙනසක් කිරීම ලෙහෙසියි. දැනටත් කෘෂිරසායනික භාවිතා කරන්නේ එරට ගොවීන්ගෙන් සුඵ ප‍්‍රතිශතයක් පමණයි.

‘‘කාබනික ගොවිතැනෙන් පමණක් අපේ සියඵ ආහාර බෝග නිපදවා ගැනීමට යොමු වීමට අපට වසර කිහිපයක් අවශ්‍යයි.’’ භූතාන අමාත්‍යවරයා කියනවා.

භූතානයේ කාබනිකව වවන රතු සහල්, ඇපල් හා හතු ආදිය දැනටමත් ඉහළ මිළකට දියුණු රටවලට විකුණනවා. මුඵ රට ම කාබනික ගොවිතැන පමණක් කරන විට ඔවුන්ට ලෝක වෙළඳපොළේ තම නිෂ්පාදිත සඳහා වඩාත් හොඳ ඉල්ලූමක් මතු වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි.

භූතානය පිවිසි මාර්ගයට රටක් ලෙස අපටත් කෙදිනක හෝ යොමු වීමට හැකි නම් ඉතා  අගෙයි. එහෙත් භූතානයේ මෙන් තිස් ගුණයක පමණ ජනකායක් සිටින අපේ රටේ ආහාර අවශ්‍යතා සහ වෙළඳපොළ සංකීර්ණත්වය ඊට වඩා ඉහළයි. ඒ නිසා කුඩා රටවල් මෙන් ඉක්මන් ප‍්‍රතිපත්ති වෙනසකට යොමුවීම අපහසුයි.

සමස්ත ගොවිතැන කාබනික කිරීම දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් අපට ඉක්මනින් ගත හැකි යම් කි‍්‍රයාමාර්ග ද තිබෙනවා.

ආහාරපානවල පැවතිය හැකි උපරිම පලිබෝධ නාශක ශෙෂයන් (Maximum Residue Levels) නිර්ණය කොට නීතිගත කළ යුතුයි. එම සීමාවන් නීතිගත නොකර තිබෙන තුරු වෙළඳපොලේ විකිණෙන ධාන්‍ය, එළවඵ හා පළතුරුවල වසවිස ඇති බවට තහවුරු කළත් නීතියෙන් දඩුවම් කිරීම අපහසු වනවා.

මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය, පාරිභෝගික හා කෘෂිකර්ම අමාත්‍යාංශ මනා සේ සම්බන්ධීකරණය වීම ඉතා වැදගත්. එසේ ම පලාත් පාලන ආයතනවලට ද පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට ද මීට වඩා සකී‍්‍රයව මැදිහත් වියහැකියි.

Dr. Bhichit Rattakul
Dr. Bhichit Rattakul

මෙහිදී මට සිහිපත් වන්නේ 1990 දශකය අගදී තායිලන්තයේ බැංකොක් නගර ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා (Governor of Bangkok) ලෙස ඡන්දයෙන් පත්වූ ආචාර්ය භිචිත් රතකුල් (Dr Bhichit Rattakul) ගත් නිර්භීත කි‍්‍රයාදාමයයි.

කෘෂිරසායන අනිසි භාවිතය තායි ගොවීන් අතර ද බහුල නරක පුරුද්දක්. මධ්‍යම රජයෙන් මෙයට පිළියම් සොයන තුරු බලා නොසිට අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල වාසීන්ට වඩාත් සුරක්‍ෂිත ආහාර ලබාදීමට ආචාර්ය රතකුල් වැඩපිළිවෙලක් යෙදුවා. ඔහු වෘත්තියෙන් විද්‍යාඥයකු වීමත් මෙයට උදව් වන්නට ඇති.

බැංකොක් හා අවට වෙසෙන මිලියන් 10කට වැඩි ජනකායකට අවශ්‍ය එළවඵ හා පළතුරු සැපයෙන්නේ සයි මූම් වොං (Si Moom Wong) නම් තොග වෙළඳපොළ හරහා. එරට පුරා වවන බෝග නිෂ්පාදිත දිනපතා මෙහි ගෙන එනවා. දිනකට ලොරි 2,000ක් පමණ බැගින්.

මේ තොග වෙළඳපොලේදී නිෂ්පාදිත සාම්පල් ලබාගෙන එහිදී ම ඉක්මනින් පලිබෝධ නාශක ශේෂයන් සඳහා ඒවා පරීක්‍ෂා කිරීමට ජංගම රසායනගාරයක් පිහිටුවනු ලැබුවා.  ඕනෑ ම ගොවියකුගෙන්, අතරමැදි තොග වෙළෙන්දකුගෙන් හෝ වෙනත් අලෙවිකරුවකුගෙන් සාම්පල් ලබා ගෙන පිරික්සීමේ නිල බලය ලත් රසායන විද්‍යා තාක්‍ෂණවේදීන් පිරිසක් ඔහු එයට අනුයුක්ත කළා.

නීතිගත උපරිම පලිබෝධනාශක ශෙෂයන් ඉක්මවා ගිය සියඵ ම එළවඵ හා පළතුරු තොග පිටින් අලෙවියට ඉඩ නොදී ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. මුලදී මේ දැඩි පියවරෙන් සැලූණු ගොවීන් හා වෙළඳුන් උද්ඝෝෂණ කළා.

ඕනෑ ම රටක ගොවීන්ට ලොකු ජනමතයක් හා මාධ්‍ය අනුකම්පාවක් මතු කළ හැකියි. එහෙත් අපක්‍ෂපාතී, නිර්භය හා පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් හරහා ආචාර්ය රතකුල් ඇතුඵ කාර්ය මණ්ඩලය මේ බලපෑම්වලට කිසි විටෙක හිස නැමුවේ නැහැ. මධ්‍යම රජයේ දේශපාලන බලපෑම්වලට ද නතු නොවී නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පෞරුෂය හා කැපවීම මේ නගරාණ්ඩුකාරයාට තිබුණා.

මේ නීතිගරුක පුද්ගලයා සමග සෙල්ලම් කරන්නට බැරි බව ටික දිනකින් ම තායි ගොවීන් තේරුම් ගත්තා. මහන්සියෙන් වවා ගත් ඵලදාව විකුණා ගන්නට  ඕනෑ නම් පලිබෝධ නාශක අධික ලෙස භාවිතය නොකළයුතු බව ඔවුන්ට වැටහුනා. සති කිහිපයක් ඇතුළත තොග වෙළඳපොලේ ප‍්‍රතික්‍ෂෙප වන තොග ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් පහත වැටුණා. ඒ කියන්නේ පාරිභෝගිකයාට වඩාත් හිතකර ඵලදාවක් ලද හැකි වූ බවයි.

පලිබෝධ නාශක ශෙෂයන්ගේ උපරිමය ගැසට් කිරීමෙන් පසුව අපේ රටෙත් මෙබන්දක් කළ හැකි නම් කෙතරම් අගෙයි ද?

පිටකොටුවේ හෝ දඹුල්ලේ තොග වෙළඳ සංකීර්ණයන්ගේ ඉක්මන් පරීක්‍ෂාවන් හරහා ප‍්‍රතිඵල කාටත් පෙනෙන ලෙස ප‍්‍රකාශයට පත් කරමින්, සීමාව ඉක්ම වූ තොග සහමුලින් ම ප‍්‍රතික්‍ෂෙප කරන්නට හැකි වේ ද? එයට අපේ ගොවීන් හා වෙළඳුන් කෙසේ ප‍්‍රතිචාර දක්වයි ද?

අපක්‍ෂපාතී හා නිර්භය ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. මහජන සම්බන්ධතා, මාධ්‍ය ආවරණය හා පාරිභෝගිකයන්ගේ සහයෝගය දිනා ගැනීම ද අවශ්‍යයි. බැංකොක් නගරාණ්ඩුකාරවරයා උපක‍්‍රමශීලිව ඒ සියඵ සාධක පෙළ ගස්වා ගත්තා.

එසේ නැතිව නීතියේ බලයෙන් පමණක් වෙනසක් ඇති කිරීමට උත්සාහ කිරීම නොසෑහෙන බව මෑත කාලයේ අපේ පාරිභෝගික ඇමතිවරයා ලත් අත්දැකීම්වලින් පෙනී යනවා.

2002දී මා හඳුනන බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක් බැංකොක් අත්දැකීම ද පාදක කර ගෙන BBC නාලිකාවට වාර්තා චිත‍්‍රපටයක් (Toxic Trail) නිපද වුවා. එහි එක් තැනෙක ආචාර්ය රතකුල් මෙහෙම කියනවා.

‘‘අධික ලෙස රසායන යෙදු ආහාර වෙළඳපොලට එනවා ද යන්න ගැන රජය මෙන් ම පාරිභෝගිකයන් ද නිතිපතා විමසිලිමත් වියයුතුයි. අපේ බොහෝ පාරිභෝගිකයෝ ඉතා හොඳ පෙනුම ඇති, කිසිදු පලූද්දක් නැති එළවඵ හා පළතුරු සොයනවා. එබඳු ඵලදාව  ඕනෑවට වඩා රසායනික යොදා ඇත්දැයි සැක සහිතයි. යම් තරමකට හිල් සැදුණු, කෘමීන් විදි බවට ලකුණු ඇති එළවඵ හා පළතුරු එතරම් දැඩි ලෙස රසායනික යෙදීමකට ලක්ව නැතැයි සිතිය හැකියි.’’

අපේ පරිසරවේදීන් සහමුලින් කාබනික ගොවිතැන ගැන දිගුකාලීන සිහින දකින අතර බැංකොක් අත්දැකීම මෙරට කි‍්‍රයාත්මක කරන්නට එඩිතර දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ සමග සහයෝගයෙන් වැඩ කළොත් කෙතරම් අපූරුද?

හැමදාමත් කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් සිටිනවා වෙනුවට ජනසමාජයට ප‍්‍රයෝගිකව හොඳ දෙයක් කරන්නට පරිසරවේදීන්ට මෙය අගනා අවස්ථාවක්.

සිංහලයට හඩ කැවූ BBC වාර්තා චිත‍්‍රපටය විස වගාවට වැට බඳිමු නරඹන්න:

සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the public health implications of rising levels of pesticide residues in our food. I cite research by the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI) on pesticide use habits of upcountry vegetable and potato farmers, which makes alarming reading.

Among other things, researchers found that up to a quarter of surveyed farmers grow some chemicals-free vegetables their own use! So this is not a matter of ignorance, but willful poisoning of the unsuspecting consumer.

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Generic photo courtesy - Rice & Curry Blog
Generic photo courtesy – Rice & Curry Blog

ජාතික විසවීම් වැළැක්වීමේ සතිය ලෙස ඔක්තෝබර් 28 – නොවැම්බර් 3 කාලය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා.

විසවීම් ප‍්‍රධාන වශයෙන් දෙආකාරයි. දැනුවත්ව හා  ඕනෑකමින් (සියදිවි හානි කර ගැනීමේ අරමුණින්) මාරාන්තික විස ශරීරගත කර ගන්නා අය සිටිනවා. එය මානුෂික මෙන් ම සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්.

දෙවැනි ආකාරය නම් නොදැනුවත්ව හා නිරායාසයෙන් විසවීම් නිසා රෝගී වීම හෝ මිය යාම. මෙහිදී විසවීමේ ප‍්‍රතිඵල ඉක්මනින් මතු විය හැකියි. නැතිනම් සුඵ මට්ටමේ විසවීම් කලක් තිස්සේ ශරීරය තුළ එකතුවීමෙන් කල් යාමේදී නිදන්ගත රෝගාබාධ හටගත හැකියි.

නූතන සමාජයේ විවිධ අවශ්‍යතා හා පහසුකම් සඳහා අප භාවිතා කරන එදිනෙදා රසායන ද්‍රව්‍ය සමහරක් මෙසේ සුඵ පරිමාවෙන් ශරීරගත වීමේ විපාක ගැන දැන් වඩාත් අවධානය යොමු කැරෙනවා. මේවායේ අහිතකර විපාක මතුවන්නට වසර හෝ දශක ගණනක් ගත වන බැවින් එය ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හසු වන්නේ නැහැ.

එමෙන්ම හේතුකාරකය හා ප‍්‍රතිඵලය අතර සෘජු සබඳතාවක් සැම විට තහවුරු කරන්නට ද බැහැ. (මානව දේහය එකවිට බහු විධ බලපෑම්වලට ලක් වන නිසා.) එක් වරම විසවීමක් නොපෙනෙන නිසා හේතු කාරකය සොයා ගැනීම වෛද්‍යවරුන්ට පවා අසීරුයි.

ගොවිතැනේදී රසායනික පොහොර හා පලිබෝධ නාශක අනිසි හා අධික ලෙස භාවිතා කිරීමෙන් ඒවායේ ශෙෂයන් (agrochemical residues) අපේ ආහාර හා බොන ජලයට ද එකතු වන බව දැන් අප දන්නවා. මේ ශෙෂයන් ශරීරගත වීමෙන් එක්වර රෝගීවීමක් නොපෙනුනත් කලක් තිස්සේ පටකවල තැන්පත් වීමෙන් ශරීර පද්ධතිවලට හානි විය හැකියි. ඇතැම් ආකාරයේ පිළිකා ඇති කිරීමට ද මේ ශෙෂයන් දායක විය හැකියි.

ශරීරය තුළ ටිකෙන් ටික රසායනික සංචිත වීම Bio-accumulation ලෙස විද්‍යාත්මකව හඳුන්වනවා. සිංහලෙන් ජෛවීය රාශිභූත වීම යයි කිව හැකියි.

පාරිසරික විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මේ ගැන කලක සිට මහජන අවධානය යොමු කරන්නට උත්සාහ ගත් අයෙක්.

සෞඛ්‍ය බලධාරීන් හා මාධ්‍ය මුල් කාලයේ වැඩි අවධානය යොමු කළේ පළිබොධනාශක අධික ලෙස ශරීරගත වීම (ඕනෑකමින් හෝ නොදැනුවත්කමින්) නිසා රෝගීවීම හා මිය යාම ගැනයි. එහෙත් එයට වැඩි දිගුකාලීන ව්‍යසනයක් මේ සෙමෙන් වස වීම නිසා සිදුවන බව රනිල් කියනවා.

පළිබොධ නාශක ශෙෂයන් අපේ කෑම මේසයට එන ක‍්‍රම ගණනාවක් තිබෙනවා. එයින් එක් ප‍්‍රධාන මාර්ගයක් නම් ආහාර බෝග වැවීමේදී හා ගබඩා කිරීමේදී අනිසි ලෙස රසායනික භාවිතය.

අස්වැන්න රැක ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා බෙහෙවින් අධික රසායන භාවිතයකට අපේ බොහෝ ගොවීන් පුරුදුව සිටිනවා. මෙය නොදැනුවත්කමටත් වඩා ඇබ්බැහිකම, අවිචාරශීලී බව හා අන්ධානුකරණය වැනි හේතු නිසා සිදුවන්නක්.

ශ‍්‍රී ලංකාවේ එළවලූ ගොවීන් පලිබෝධනාශක භාවිත කරන ආකාරය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් අධ්‍යයනය කොට තිබෙනවා. කඳුකරයේ නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික් දෙකෙහි ගොවීන් 240ක් අහඹු ලෙස තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල 2013 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. මේ අධ්‍යයනය කළේ එම්. එම්. එම්. අහීයාර්, එම්. ටී. පද්මජානි හා එම්. ඒ. සී. එස්. බණ්ඩාර නම් පර්යේෂකයන් තිදෙනායි.

මෙරට වෙළඳපොළේ දැනට අලෙවි කැරෙන පලිබෝධනාශක වෙළඳ නාම 462න් 73ක් මේ සමීක්ෂණයට පාත‍්‍ර වූ එළවලූ හා අර්තාපල් ගොවීන් පාවිච්චි කරන බව හෙළි වුණා. මේවා සියල්ල නීත්‍යනුකූලව, රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වා බෙදාහරින විස රසායනික ද්‍රව්‍යයි. ප‍්‍රශ්න මතු වන්නේ පරිහරණයේදීයි.

ඉක්මනින් වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා පලිබෝධ නාශක නිසි මාත‍්‍රාව ඉක්මවා අධික ලෙස යෙදීම බොහෝ ගොවීන් කරන බව HARTI සමීක්ෂණයෙන් නැවතත් තහවුරු වුණා.

එයින් සොයා ගත් ගොවි චර්යා කිහිපයක් මෙසේයි.

  • ගොවීන්ගෙන් 40%ක් දෙනා පලිබෝධකයන් කිසිවකතුත් පෙනෙන්නට නැතත් පුරුද්දට මෙන් පලිබෝධ නාශක ඉසිනවා.
  • පලිබෝධ නාශක නිර්දේශිත මාත‍්‍රාව හා වාර ගණන නොසෑහෙන බවට බොහෝ ගොවීන් අතර විශ්වාසයක් තිබෙනවා. බහුතරයක් ගොවීන් නිර්දේශිත මාත‍්‍රාව මෙන් එක හමාර ගුණයක් හෝ ඊට වඩා යොදනවා.
  • සමහර ගොවීන් විවිධ පලිබෝධ නාශක එකට මිශ‍්‍ර කොට යොදනවා. ඒ හරහා පලිබෝධයන් ක්ෂණිකව මැරී වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂ කරනවා.
  • ඇතැම් ගොවීන් සිතන්නේ බෝග වර්ධනයට ද පලිබෝධ නාශක උදවු වන බවයි! (ඒ සඳහා වෙනම රසායනික පොහොර ද යොදනු ලැබුවත්.)
  • අස්වැන්න නෙළා ගන්නට දින 10 – 14කට පෙර කිසිදු රසායනිකයක් බෝගයට ඉසීම නොකළ යුතුයි. මෙය ශෙෂ ඉතිරිවීම වළක්වාලීමේ උපක‍්‍රමයක්. එහෙත් උඩරට එළවඵ හා අර්තාපල් ගොවීන්ගෙන් තුනෙන් එකක් ම මේ අවම කාලයට ගරු නොකරන බව පිළිගත්තා.

අපේ සමහරුන් සිතන තරම් නොදැනුවත් හෝ නූගත් ගොවීන් අද කාලේ නැහැ. සමීක්‍ෂණයට ලක්වූ ගොවීන්ගෙන් 75%ක් පළිබෝධ නාශක පරිසරයට හානි කරන බවත්, ගොවීන්ගේ හිතමිතුරු ගැඩිවිලූන් වැනි සතුන් ද මරා දමන බවත් දැන සිටියා.

Poster by Pesticide Action Network - Asia Pacific
Poster by Pesticide Action Network – Asia Pacific

එමෙන්ම ඔවුන් අහිංසකයන් ද නොවෙයි. ගොවීන් අතරින් 25%ක් දෙනා තමන්ගේ පවුලේ ආහාරය සඳහා වසවිස නොයොදා වෙන ම පාත්තිවල එළවඵ වවන බව පිළි ගත්තා. (එසේ විවෘතව පිළිගැනීමට මැළි වූ ගොවීන් ද සිටියා විය හැකියි.)

HARTI සමීක්‍ෂණයේ වඩාත් ම බියජනක සොයා ගැනීම ලෙස මා දකින්නේ මෙයයි. තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන් සඳහා දැන දැන ම වෙළඳපොලට එවන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

මෙය සරසවියක් හෝ රාජ්‍ය නොවන ආයතනයක් කළ සමීක්‍ෂණයක් ද නොවෙයි. රාජ්‍ය පර්යේෂණායතනයක් කළ සමීක්‍ෂණයක්.

මේ තරම් සාහසික කි‍්‍රයා කලාපයකට අපේ සමහර ගොවීන් යොමුව සිටින්නේ ඇයි යන්න පුඵල් ලෙස සංවාදයකට ලක් කළ යුතුයි. “සුඵ පරිමාණ ගොවියා වෙළඳපොළේ සිරකරුවකු වී සිටීම” වැනි සරල තර්කවලින් මේ කුහකත්වය පහදා දිය නොහැකියි.

මේ සමීක්‍ෂණයෙන් ම හෙළි වූයේ කෘෂි ව්‍යාප්ත නිලධාරීන් හරහා දැනුම හා උපදෙස් ලබා ගෙන ඇත්තේ ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණක් බවයි. බහුතරයක් එක්කෝ සෙසු ගොවීන්ගෙන් අසා දැන ගන්නවා. නැත්නම් පළිබෝධ නාශක විකිණීමට තිබෙන ළඟ ම ඇති කඬේ මුදලාලිගෙන් සියඵ උපදෙස් ලබා ගන්නවා.

කෘෂි ව්‍යාප්ති නිලධාරීන් වගාබිමට නොපැමිණියත් පළිබෝධ නාශක සමාගම්වල ප‍්‍රවර්ධන නියෝජිතයන් නම් ගොවීන් ළඟට ම පැමිණ ‘‘විසඳුම්’’ නිර්දේශ කරන බව ද හෙළි වුණා. මෙය ද අඵත් හෙළිදරුව්වක් නොවෙයි.

‘ළඟ එන කෘෂි රසායනික සුනාමිය’ තේමාවෙන් 2013 මාර්තු 17දා කොලමෙන් මා ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක් වන මැලේසියානු ජාතික ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) උපුටා දැක්වූවා. “අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි!”

ආචාර්ය හියොං කීවේ: “ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්.”

ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනෙන පළිබෝධ නාශක නියාමනය කැරෙන්නේ 1980 පළිබෝධ නාශක පාලන පනත යටතේයි. ආහාර බෝග වෙළඳපොලට එනවිට ඒවායේ පළිබොධ නාශක ශෙෂයන් ‘නිර්දේශිත මට්ටම්වලට වඩා අඩුවෙන්’ තිබිය යුතු යයි එහි කියනවා. එහෙත් වසර 33ක් ගත වීත් මේ නිර්දේශිත මට්ටම් මොනවාදැයි නිර්ණය කර නැහැ!

පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්‍ෂණය ගැන අපට වඩා තැකීමක් කරන රටවල නම් අවසර දෙන උපරිම ශෙෂ මට්ටම් (Maximum Residue Levels) පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. එය පිළිපදිනවා ද යන්න ගැන විටින්විට අහඹු පරීක්‍ෂා ද කැරෙනවා.

එහෙත් අපේ රටේ තවම මෙබඳු ආරක්‍ෂිත පියවර කිසිවක් හඳුන්වා දී නැතැයි ප‍්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IPS) පර්යේෂක රවීන් ඒකනායක 2013 මාර්තුවේ පළ කළ විග‍්‍රහයක පෙන්වා දෙනවා. http://tiny.cc/IPSFS.

මේ පසුබිම තුළ සාහසික ගොවීන්ට දැන දැන ම විස යෙදු එළවඵ අපට දිගට ම සපයන්නට හැකිව තිබෙනවා.

රසායනික පොහොර හා අධික විසැති පළිබෝධ නාශක මත මේ තරම් යැපෙන ගොවිතැන තවමත් මේ රටේ නිල කෘෂි කාර්මික ප‍්‍රතිපත්තියයි. මහජන සභාවලදී දේශපාලකයන් හා නිලධාරීන් කුමක් කීවත් 1960 ගණන්වල සිට හැම රජයක් ම කි‍්‍රයාත්මක කළ “වැඩිපුර දමා – වැඩිපුර උකහා ගැනීමේ” ගොවිකම (high external input agriculture) දැන් ජාතික මට්ටමේ ඇබ්බැහිකමක් වී හමාරයි.

යමකට ඇබ්බැහි වූවන්ට තම කි‍්‍රයාවල වරදක් හෝ දිගුකාලීන විපාක හෝ හරිහැටි තේරෙන්නේ නැහැ. අයාලේ ගිය අපේ ගොවිකම යළිත් හරිමඟට ගත යුත්තේ ගොවීන් අතරමං නොකර, රටේ ආහාර හිඟයක් හෝ අහේනියක් ද ඇති වීමට ඉඩ නොතබායි.

කාබනික ගොවිතැනට තනිකර මෙය කළ හැකි ද යන්න තුලනාත්මකව විවාද කළ යුතුයි. පරිසරවේදීන් හෝ ජාතිකවාදීන් හෝ නිර්දේශ කරන හැම දෙයක් ම ප‍්‍රායෝගික නොවිය හැකියි. එහෙත් ඔවුන්ට ද සවන් දිය යුතුයි.

ගොවිතැන, ගොවිකම හා ගොවියා ගැන අපේ සමාජයේ ගෞරවය මුසු වූ ධනාත්මක හැගීම් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායක වන්නේ 12%ක් වුවත් එය තවමත් සැළකිය යුතු ජන සංඛ්‍යාවකට ජීවිකාව සපයනවා. තමන් ගොවිතැනෙහි තව දුරටත් නියැලීමට නොකැමැති නව පරම්පරාවේ අය බොහෝ දෙනා පවා ගොවිකම ගැන රොමැන්ටික් හා අතීතකාමී හැගීම්වලින් යුතුව කථා කරනවා.

මෙයට ඓතිහාසික හේතු ඇතත් ගොවිතැන් ගැන තර්කානුකූලව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමට මේ හැගීම්බර තත්ත්වය බාධාවක්. ජාතියට වස කවන ගොවීන් ඒ තැනට ඇද දැම්මේ කුමන ප‍්‍රවාහයන් ද කියා හඳුනාගෙන ක‍්‍රමීය විසඳුම් සොයා යා යුතුයි.

සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ

My latest column in Ravaya broadsheet newspaper (in Sinhala) looks at China’s air pollution problems that keep getting worse, taking pollutant readings off the charts. Urban air quality in Winter 2012/13 was so bad that Chinese themselves called it ‘Airpolcalypse‘.

Children wear anti pollution masks at Tiananmen Square in Beijing, Feb 2013
Children wear anti pollution masks at Tiananmen Square in Beijing, Feb 2013

නාගරික ප‍්‍රදේශවල ඉපිද හැදෙන වැඩෙන සමහර දරුවන් වනාන්තර, වන සතුන් හා සොබා දහමේ වෙනත් දායාදයන්ගෙන් දුරස්තවීම බොහෝ රටවල දැකිය හැකියි. එහෙත් වළාකුලෙන් හා මීදුමෙන් තොර වූ පැහැබර නිල් අහස හා බැබළෙන හිරු කිසිදා නොදුටු දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින රටක් ගැන ඔබ අසා තිබෙනවා ද?

පුදුමයි, ඒත් ඇත්තයි. මේ මහජන චීනයේ බේජිං හා ෂැංහයි මහා නගර දෙකෙහි ඇතැම් කුඩා දරුවන්ගේ දෛනික යථාර්ථයයි. චීනයේ මාධ්‍යවේදීන්, පර්යේෂකයන් හෝ විද්වතුන් වන මිතුරන් ගණනාවක් මට සිටිනවා. ඔවුන්ගේ දරුවන්ගේ අත්දැකීමත් මෙයයි.

එයට හේතුව අධික වාත දුෂණය නිසා චීන මහ නගරවල දිවා රාතී‍්‍ර ප‍්‍රකාශ-රසායනික දුමාරයක් (Photo chemical smog) බිහිව තිබීමයි. එය සෞඛ්‍යයට වින කරනවාට අමතරව, දුරදැකීමේ හැකියාව ද සීමා කරනවා. එබඳු ප‍්‍රදේශවල පැහැදිලි අහසක් දැකගන්නට ඇත්තේ ම නැති තරම්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව අද ලෝකයේ අතිශයින් ම දුෂිත වූ වාතය හමුවන නගර 20න් 16ක් ම ඇත්තේ චීනයේ. 2008 බේජිං ඔලිම්පික් තරගාවලියට පෙර එනුවර වාත දුෂණය ගැන දැඩි ජාත්‍යන්තර අවධානය යොමු වුණා. මෙතරම් ප‍්‍රබල ලෙස දුෂිත වාතය ඇති නගරයක තරග වදින කී‍්‍රඩකයන්ට අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි දැයි බිය පහළ වුණා.

තම ජාතියේ ප්‍රෞඩත්වය ඔලිම්පික් සත්කාරය සමග ඉතා සමීපව බද්ධ කර තිබූ නිසා චීන රජය ඔලිම්පික් පැවැත්වෙන්නට සති ගණනකට පෙර පටන් අසාමාන්‍ය පියවර ගත්තා. කර්මාන්ත ශාලා ටික කලකට වැඩ නතර කළා. වාහන නගරයට පිවිසීම දැඩි ලෙස සීමා කළා.

මෙබඳු පියවර හරහා තාවකාලිකව බේජිං හා අවට වාත දුෂණය තරමක් සමනය කර ගෙන ඔලිම්පික් පැවැත්වූවත් එයින් පසු යළිත් පෙර තිබුණාටත් වඩා දුෂණය උත්සන්න වී ඇති බව එරට පාරිසරික හා සෞඛ්‍ය නිලධාරීන් පිළි ගන්නවා.

2013 ජනවාරි – මාර්තු කාලයේ වාත දුෂණ තත්ත්වය ඉතා දරුණූ වුණා. ඇතැම් දිනවල බේජිං නුවර වාත දුෂණ මට්ටම WHO සම්මත උපරිම සීමාවන් මෙන් 30ගුණයක් තරම් ඉහළ ගියා.

Make no mistake: Air pollution kills you slowly
Make no mistake: Air pollution kills you slowly

මෙයට වැඩිපුර ම දායක වූයේ PM2.5 නමින් හඳුන්වන අර්ධ වශයෙන් දහනය වූ ඉතා කුඩා අංශුයි. ආශ්වාසය හරහා පෙනහඵ තුළට ගොස් බරපතල සෞඛ්‍ය හානි කිරීමේ හැකියාව මේවාට තිබෙනවා. දිගු කලක් තිස්සේ PM2.5 අංශු ශරීරගත වූ විට ඒ මගින් ශ්වසන ආබාධ පමණක් නොව පෙනහඵ පිළිකා හා හෘදරෝග ද ඇති කළ හැකි බව දැන් සොයා ගෙන තිබෙනවා.

වාත දුෂණය නිසා මීදුම සහ දුම මිශ‍්‍ර පටලයක් ඇති වී දින ගණනක් තිස්සේ අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල පෙනීම සීමා කළා. දිවා කාලයේ පවා වාහනවල ලයිට් දමා ගෙන පැදවීමට සිදු වූ අතර, ගුවන් ගමන් රැසක් අවලංගු කරනු ලැබුවා.

WHO ගණන් බලන අන්දමට එළිමහනේ වාත දුෂණය නිසා ලොව පුරා වසරකට අවම වශයෙන් මිලියන් 2ක් ජනයා අකාලයේ මිය යනවා. මෙයින් 65%ක් මරණ සිදු වන්නේ ආසියාවේ. ඒ අතරින් චීනය ප‍්‍රධානයි. එරට වසරකට මේ සංඛ්‍යාව මිලියන් 1.2ක් පමණ වනවා. රෝගාතුර වී වසර ගණන් දුක් විඳින සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩියි. දරුවන් හා මහඵ අය වාත දුෂණයෙන් වැඩිපුර පීඩා විඳිනවා.

හැම සීත සෘතුවකදී ම චීනයේ විදුලි පරිභෝජනය ඉහළ යනවා. නිවාස උණුසුම් කරන්නට දැන් බොහෝ නිවැසියන් යොදා ගන්නේ විදුලියයි. විදුලි ජනනයට වැඩිපුර ගල්අගුරු භාවිත කරන එරට විදුලි බලාගාරවලින් මතුව එන වාත දුෂණය කර්මාන්ත ශාලාවලින් පිටවන දුෂණය ඉක්මවා ගොස් තිබෙනවා.

බේජිං දුෂක දුමාරය උත්සන්න වන දිනවලට දැන් අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකාවලට පවා මීදුම් පටලය පෙනෙනවා. එමෙන් ම එම දුමාරය ටිකෙන් ටික සුළං හමන දිශාව අනුව චීනය තුළ වෙනත් ප‍්‍රදේශවලටත්, කොරියාව හා ජපානය වැනි අසල්වැසි රටවලටත් ඇදී යනවා.

මෙය නතර කිරීමට නොහැකි වූවත්, චීනයේ පරිසර දුෂණයෙන් තමන් පීඩාවට පත් විය යුත්තේ ඇයි ද යන්න අද අසල්වැසි රටවල් මතු කරන ප‍්‍රබල ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

දුමාරය උග‍්‍ර වන සීත කාලයට යම් තාවකාලික (පැලැස්තර) විසඳුම් සෙවීමට බේජිං හා ෂැංහයි මහා නගර දෙකේ බලධාරීන් උත්සුක වනවා. අත්‍යවශ්‍ය සේවා නොවන සමහර කර්මාන්ත ශාලා වසා තබන්නටත්, රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ධාවනය දැඩි ලෙස සීමා කරන්නටත් ඔවුන් කි‍්‍රයා කරනවා.

2012 නොවැම්බරයේ තනතුරට පත් චීනයේ අගමැති ලී කේකියැංග් (Li Keqiang) ප‍්‍රතිඥා දුන්නේ තම ධූර කාලය තුළ පාරිසරික සංරක්‍ෂණයට මුල් තැනක් දෙන බවයි. එසේම 2016 වන විට බලශක්තිය සඳහා ගල් අගුරු දහනය නතර කොට විකල්ප ප‍්‍රභවයන් යොදා ගන්නටත්, වාහන දහන දුමාරය වඩා දැඩි ලෙස නියාමනය කරන්නටත් බේජිං බලධාරීන් සැළසුම් කරනවා.

එහෙත් මතුවී ඇති අධික වාත දුෂණය සමනය කරගන්නට වසර කිහිපයක් ගත වනු ඇති. ඒ අතර කාලයේ එළිමහනේ මුවවැසුම් පැළඳගෙන ගමන් කරන්නටත්, නිවෙස් තුළ වාතය පිරිසුදු කරන යන්ත‍්‍ර (air purifiers) භාවිත කරන්නටත් එරට නාගරික වැසියන්ට සිදුව තිබෙනවා.

රෙදි සෝදන යන්ත‍්‍ර, පරිගණක හා ටෙලිවිෂන් මෙන් වාත පිරිසුදු කරන යන්ත‍්‍ර ද චීන මධ්‍යම පාන්තික නිවෙසක අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත් වෙලා. වායුසමන යන්ත‍්‍රවලට වඩා සුක්‍ෂම ලෙසින් වාතයේ දුෂක පෙරා ඉවත් කිරීමේ හැකියාව මේ යන්ත‍්‍රවලට ඇතත් ඒවායේ මිළ අධිකයි. එමෙන් ම ඒවා කි‍්‍රයාත්මක කරන්නට අවශ්‍ය බලශක්තිය ජනනයට තව තවත් ගල් අගුරු හා ඛනිජ තෙල් දහනය කළ යුතුයි. මේ නිසා මෙය කිසිසේත් තිරසාර විසඳුමක් නොවෙයි.

2013 පෙබරවාරියේ චීන කැබිනට් මණ්ඩලය නව ඉන්ධන ප‍්‍රමිතීන් හඳුන්වාදීමට ප‍්‍රතිපත්තියක් හා කාල රාමුවක් අනුමත කළා. එහෙත් ප‍්‍රායෝගිකව මෙය කෙතරම් සාර්ථක වේ ද යන්න සැක සහිතයි.

දශක ගණනාවක් පුරා චීන රජයට අයත් ඛනිජ තෙල් සමාගම් හා විදුලිබල සමාගම් සිය රටේ ප‍්‍රමිතීන් හා පාරිසරික නීතිරීති නොතකා හිතුමතේ කි‍්‍රයා කොට තිබෙනවා. ඔවුන්ට විරුද්ධව රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට නිලධාරිතන්ත‍්‍රය මේ දක්වා කි‍්‍රයා නොකිරීම, වාත දුෂණය මේ තරම් දරුණු වීමට ප‍්‍රධාන හේතුවක්.

චීනයේ පාරිසරික ප‍්‍රශ්න එරට ආර්ථික වර්ධනයට ද බලපෑම් කිරීම ඇරඹිලා. රටක පරිසර දුෂණයේ වටිනාකම ගණනය කිරීම ඉතා අසීරු කාරියක්. අකාලයේ මිය යන ජීවිතවලට මිළක් දෙන්නේ කෙලෙස ද?

එහෙත් අහිතකර වාතය, ජලය හා ආහාර නිසා රෝගී වන අයට ප‍්‍රතිකාර කිරීමේ වියදම හා ඔවුන්ට මග හැරෙන වැඩ කරන දින සංඛ්‍යාවේ අගය ආදිය ගණන් බැලිය හැකියි. මේ අනුව 2010දී පරිසර දුෂණවලින් එරට තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3.5%ක් නැතහොත් ඩොලර් බිලියන් 230ක් ක්ෂය වූ බව චීනයේ පාරිසරික සැළසුම් පිළිබඳ ජාතික ඇකඩමිය (පරිසර අමාත්‍යාංශය යටතේ ඇති නිල ආයතනයක්) කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.

මේ සංඛ්‍යාව ඉතා විශාල වුවත් (සංසන්දනය සඳහා සමස්ත ශී‍්‍ර ලංකා ආර්ථිකය ඩොලර් බිලියන් 60ක් පමණ වනවා). එය පරිසර ප‍්‍රශ්නවල සම්පුර්ණ බලපෑම් තක්සේරුවක් නොවන බව එරට විද්වතුන් පිළි ගන්නවා. එමෙන් ම සමහර පාරිසරික තත්ත්වයන්ගේ අහිතකර බලපෑම් (උදා: පිළිකා) හට ගන්නේ වසර ගණන් කල් ගත වී නිසා ආර්ථික විද්‍යාත්මක ගණන් බැලීමකට එය හසු කර ගැනීම අසීරුයි.

බිලියන් 1.3ක් වන චීන ජනතාවට මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස හා වෙනත් භෞතික අවශ්‍යතා සම්පාදනය කිරීමටත්, රට තුළ යටිතල පහසුකම් දියුණු කරන්නටත් චීන රජයට හැකිව තිබෙනවා. ඉස්සර වගේ දැන් කිසිවකුත් සාගින්නේ සිටින්නේ නැහැ.

දුගී බවින් සිය ජනයා ඉහළට එසවීමේදී මෑත ඉතිහාසයේ මහජන චීනය තරම් ඉක්මනට හා මහා පරිමාණයෙන් එය සිදු කළ වෙන කිසිදු රටක් නැහැ. කොමියුනිස්ට් දේශපාලන රාමුවක් තුළ වෙළඳපොල ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වා දෙමින් 1979දී චීනය ඇරැඹු ප‍්‍රතිසංස්කරණ නිසා ගෙවී ගිය වසර 35කට ආසන්න කාලය තුළ මිලියන් 600ක් චීන ජාතිකයන් අන්ත දුගී මට්ටමින් (එනම් දිනකට අමෙරිකානු ඩොලර් 1.25 හෝ රුපියල් 160) අත් මිදී ඊට වඩා ආදායමක් ලබන මට්ටමට පත්ව සිටිනවා. මෙය අගය කළ යුතු මානුෂීය හපන්කමක්.

එහෙත් අතමිට සරු වූ පමණට වඩාත් හිතකර ජීවන මට්ටමක් තවමත් ලැබී නැති බව අති බහුතරයක් චීන ජනතාවට දැන් වැටහෙමින් පවතිනවා. වසර 35 තුළ අධිවේගී ආර්ථික වර්ධනයක් ඔවුන් ලබා ගත්තේ එහි පාරිසරික හා සෞඛ්‍ය විපාක ගැන තැකීමක් නොකර, ඒකායන අරමුණින් ‘සංවර්ධනය’ ගැන පමණක් අවධානය යොමු කිරීම හරහායි.

චීනය දැන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයයි. එය ජපානය ඉක්මවා යමින් එතැනට පත්වූයේ 2010දී. ඉදිරි වසර කිහිපය තුළ, සමහර විට 2016 පමණ වන විට අමෙරිකාව ද අභිබවා මුල් තැනට එන්නට හැකි යයි ආර්ථික විද්‍යාඥයන් අනුමාන කරනවා.

මෑතක් වන තුරු චීනයේ නිල ස්ථාවර වූයේ ‘ටිකක් අපවිත‍්‍රවීම් සිදු වූවත් රටේ ආර්ථික වර්ධනය පවත්වා ගන්නට සැවො ම කැප කිරීම් කළ යුතු බව’යි. දැන් ටිකෙන් ටික මේ ‘අපවිත‍්‍රවීම්’ සුඵ පටු නොවන බව පිළි ගැනෙනවා.

භෞතික සැප සම්පත් අතින් එක් පරම්පරාවක් තුළ ලොකු ඉදිරි පිම්මක් පැන්නත් නිදහසේ එළිමහනේ ඇවිද යන්නට නොහැකි, නිවෙස් තුළට වී යාන්ත‍්‍රිකව පිරිසුදු කරන වාතය ආශ්වාස කරමින් ‘පාරිසරික සිරකරුවන්’ බවට පත් වීමේ තේරුමක් ඇත්දැයි එරට උගත් මධ්‍යම පාන්තිකයන් දැන් වඩ වඩාත් ප‍්‍රශ්න කරනවා. චීන කොමියුනිස්ට් පාලන ඉතිහාසයේ මුල් වතාවට මෙබඳු සංවාද සඳහා තරමක හෝ අවකාශයක් ලබා දී තිබෙනවා.

Chinese social media image protesting air pollution in China, Feb 2013
Chinese social media image protesting air pollution in China, Feb 2013

සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

I have devoted another weekend column in Ravaya newspaper (in Sinhala) to celebrate the memory of the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993). This time, I talk about his time at the United Nations, first as communication chief at UNFPA, and then as Deputy Executive Director at UNICEF.

See also:
සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

Varindra Tarzie Vittachi
Varindra Tarzie Vittachi

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993), වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

1975-80 වකවානුවේ ජනගහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුදලේ (UNFPA) සන්නිවේදන ප‍්‍රධානියා ලෙසත්, 1980-88 වකවානුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසත් තනතුරු හොබවමින් ටාසි කළේ පත‍්‍ර කලාවේ තමන් ප‍්‍රගුණ කළ නිරවුල් හා සත්‍යවාදී සම්ප‍්‍රදායන් මේ ජාත්‍යන්තර ආයතනවලටත් නිසි ලෙස කාවැද්දීමයි.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝකයේ රාජ්‍යයන් පමණක් සාමාජිකත්වය දරණ, ආණ්ඩුවල සාමාජික ගාස්තුවලින් නඩත්තු කරන අන්තර්-රාජ්‍ය සංවිධාන පවුලක් (inter-governmental organisations). එය කිසිදු නිර්වචනයකින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ගණයට වැටෙන්නේ නැහැ.

එ.ජා. සංවිධානවල කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර තරගකාරී මට්ටමින් බඳවා ගන්නා අතර ඔවුන් සියඵ සාමාජික රාජ්‍යයන්ට වගකීමට බැදී සිටිනවා. තනි රටක රාජ්‍ය සේවකයකු බලයේ සිටින රජය සමග ගනුදෙනු කළ යුතු නමුත් එ.ජා. සේවකයෝ රාජ්‍යයන් 193ක් සමග සීරුවෙන් වැඩ කළ යුතුයි. මෙය ලෙහෙසි වැඩක් නොවේ.

ටාසි එ.ජා. සංවිධාන ජාලයේ ඉහළට ම ගිය ලාංකිකයන් ටික දෙනාගෙන් කෙනෙක්. එබදු උසස් තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් හා ලෝක භාෂා 6න් අඩු තරමින් එකකවත් මනා හැකියාව මෙන් ම තීක්‍ෂණ බුද්ධියත්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ගනුදෙනු කිරීමේදී හොඳ හිත දිනා ගැනීමේ හැකියාවත් තීරණාත්මක සාධක වනවා.

එබදු තනතුරකට ආයාසයෙන් පත්වන බොහෝ දක්‍ෂයන් කරන්නේ තනතුරු රැක ගෙන, කිසිවකුත් උරණ නොකර ආයතනික සීමා තුළ යම් වැඩ කොටසක් කිරීමයි. එහෙත් සහජයෙන් ම පෙරළිකාරයකු වූ ටාසිට මේ ඇඟ බේරා ගෙන වැඩ කිරීමේ කලාව පුරුදු නැහැ. ඔහු UNFPA හා UNICEF ආයතන දෙකෙහි ම බුද්ධිමය හා ආකල්පමය වෙනසක් කළා.

මෙයට උදාහරණ හා රස කථා එමට තිබෙනවා. 1995 වසරේ මාස තුනක් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ මා ගත කළ කාලයේ ටාසි ගැන තොරතුරු විපරම් කරන්නට මා උත්සුක වූණා. ටාසි කළ කී අසාමාන්‍ය දේ ගැන අපූරු මතකයන් තිබු නිලධාරීන් කිහිප දෙනකු මට හමු වුණා.

එ.ජා. සංවිධාන ජාලය තුළ මෙන් ම වෙනත් බොහෝ දෙස් විදෙස් විදවත් ආයතනවලත් සංවර්ධනය ගැන සංවාදවලදී ඕනෑවට වඩා සෙද්ධාන්තික වීම හා ‘ඉන්ටලෙක්චුවල් වීම’ ටාසි නොඉවසූ දෙයක්.

ඔහු ජනගහන අරමුදලේ වැඩ කරන කාලයේ කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම් ගැන ලෝක මට්ටමේ විවාදයක් පැවතුණා. තමන් දරුවන් කීදෙනකු ලබනවා ද, ඔවුන් අතර කාල පරතරය කුමක් විය යුතු ද, උපත් පාලන ක‍්‍රම භාවිතා කරනවා ද ආදී මූලික මානුෂික තීරණ ගැනීමට කාන්තාවන්ට අයිතියක් ඇති බව පිළි ගැනීමට ඇතැම් රටවල් හා පිරිස් නොකැමැති වූණා.

මෙබදු සංවේදී ප‍්‍රශ්නවලදී ආණ්ඩුවලට හැක්කේ අවශ්‍ය ප‍්‍රතිපත්ති හා අයිතීන් තහවුරු කිරීම මිස ඉන් ඔබ්බට පෞද්ගලික තීරණවලට අත පෙවීම නොවන බව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ මතය වුණා. රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා බුද්ධිමතුන් මහා ලොකු වචන හරඹවලින් මේ තර්ක කරනු බලා සිටි ටාසි, ඉතා සරල එහෙත් ගැඹුරු වැකියකින් මුඵ සංවාදය ම කැටි කර දැක්වූවා. “Governments don’t have babies; people do!” (දරුවන් ලබන්නේ මිනිසුන් මිස ආණ්ඩු නොවේ!)

අනවශ්‍ය ලෙස තාක්‍ෂණික හා නීතිමය විවාදවල පැටලෙන්නට අති සමත් සංවර්ධන කි‍්‍රයාකාරිකයන්ට හා බුද්ධිමතුන්ට ටාසි විටින් විට මෙබදු සරල වැකි හරහා ප‍්‍රායෝගික යථාර්ථය පෙන්වා දුන්නා.

සංවර්ධනය යනු සැබෑ ලෝකයේ නිතිපතා ජීවන අරගලයක යෙදෙන සැබෑ මිනිසුන් හා ගැහැණුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන අතර ඔවුන්ගේ ජීවන බර හැකි තාක් සැහැල්ලූ කිරීම බව ටාසි තරයේ විශ්වාස කළා. එම සංවර්ධනය හරවත් වන්නේ එය පාරිසරිකව හා සමාජයීය වශයෙන් තිරසාර වූ විට පමණක් බවත්, සංවර්ධනය හුදෙක් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවලින් මැනිය නොහැකි බවත් ඔහු දැන සිටියා.

ජාත්‍යන්තර තලයට අපේ වැනි රටවලින් යන බොහෝ විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් ඉන් පසුව අපේ ම මිනිසුන් ගැන බොහෝ විට කථා කරන්නේ නොදියුණු සතුන් ගැන බදු පහත් වූ ආකල්පයකින්. මෙබදු අවස්ථාවල සැබෑ ලෝකයේ නිරීක්‍ෂණ, යථාර්ථවාදීව හා සානුකම්පිකව විග‍්‍රහ කිරීමට පත‍්‍ර කලාවේදියකු ලෙස තමා ලබා තිබූ පුහුණුව හා අත්දැකීම් ටාසි අවියක් හා සවියක් කරගත්තා.

එ.ජා. සංවිධානය කි‍්‍රයාත්මක වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේදී මෙසේ සත්‍යවාදී වීම අසීරු හා අවදානම් කාරියක්. බොහෝ රටවල විදේශ සේවා නිලධාරීන් එ.ජා. සංවිධානයේදී කරන්නේ තමන්ගේ රටේ තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් සෙසු රටවලට කරුණු කීම හා අමිහිරි සත්‍යයන් හැකි තාක් වසන් කිරීමයි. එය ‘ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ’ විධියේ වැඩක්.

දියුණු වන ලෝකයේ තිත්ත ඇත්ත මෙන් ම ලෝක මාධ්‍ය හරිහැටි වාර්තා නොකළ සුබවාදී ප‍්‍රවණතා ද ටාසි එක සේ ලෝක ප‍්‍රජාවට වාර්තා කළා – විග‍්‍රහ කළා. 1980 දශකය වන විට ටාසි ගැන ලෝක ප‍්‍රජාව තුළ තිබූ ගෞරවනීය පිළිගැනීම නිසා ඔහු කියන දෙයට රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ අවධානය යොමු වුණා.

UNFPA ආයතනයේ සිටිය දී ටාසි කළ අමුතු වැඩක් ගැන වසර ගණනක් ගත වීත් එහි කථා කැරෙනවා. රාජ්‍ය නිලධාරී හා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සම්මේලන නිව්යෝක් නුවර එ.ජා. කාර්යාලයේ නිතර පැවැත් වෙනවා. මෙවැන්නක් භාරව සිටි ටාසි, ආරම්භක දිනයේ සියඵ නියෝජිතයන්ට සාම්ප‍්‍රාදායිකව දිවා ආහාරයට ඇරැයුම් කළා. එහෙත් පැයක දිවා කාලය සඳහා ම දුන්නේ කුඩා පාන් ගෙඩියක් (bread-roll) හා වතුර වීදුරුවක් පමණයි.

හැම දෙනා ම විමතියට පත්වූ විට ටාසි ඉතා සන්සුන්ව මෙසේ කියා තිබෙනවා. “නෝනාවරුනි, මහත්වරුනි, තෙවැනි ලොව ප‍්‍රශ්න ගැන කථා කරන්නට මෙහි පැමිණි ඔබ සැමට තෙවැනි ලොව බහුතරයක් දෙනාගේ සාමාන්‍ය දිවා ආහාරය දීම උචිත යයි මා සිතුවා. ඇත්තට ම ඔබ ඉදිරියේ ඇති පිරිසිදු වතුර වීදුරුව හා අඵත් පාන් ගෙඩිය පවා තෙවැනි ලොව අපේ බොහෝ සහෝදර ජනයා නොලබන තරමේ සංග‍්‍රහයක්.”

කිසිදු නියෝජිතයකු මුවින් නොබැන මේ සංග‍්‍රහය නිහතමානීව භුක්ති විදි බවත්, ඒ ගැන තවමත් සමහරුන් කථා කරන බවත් UNFPA නිලධාරියා මට කීවා.

UN Headquarters in New York, photo by Nalaka Gunawardene
UN Headquarters in New York, photo by Nalaka Gunawardene

ටාසිගේ සමහර ප‍්‍රකාශයන් හිතාමතා ම ආන්දෝලනාත්මක ලෙස කරනු ලැබුවා. හැම වසරේ ම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල එ.ජා. මහා මණ්ඩලයේ සැසිවාරය රාජ්‍ය නායක මට්ටමින් නිව්යෝක් මූලස්ථානයේ පවත් වනවා. බොහෝ රාජ්‍ය නායකයන් එය ඇමතීමට පිරිවරත් සමග දින කිහිපයකට එහි එනවා.

සැසිවාරය ආරම්භක දිනයේ හා විශෙෂ මත ගැටුමක් සිදු වුවහොත් පමණක් (ෆිදෙල් කැස්ත්‍රෝ, ගඩාෆි, නිකිතා කෘෂ්චෙෆ් වැනි පෙරළිකාර චරිත එහි පැමිණි විට) එය ලොව ප‍්‍රධාන පුවත්සේවාවලට ප‍්‍රවෘත්තියක් වනවා. එසේ නැති විට රාජ්‍ය නායකයන් දුසිම් ගණනින් පැමිණීම නිව්යෝක් නුවර මාධ්‍ය ආයතනවලට හෝ අමෙරිකානු මාධ්‍යවලට හෝ පුවත් වටිනාකමක් ඇති කරන්නේ නැහැ. (බොහෝ රාජ්‍ය නායකයන් එහි එන්නේ සිය රටේ මාධ්‍ය හරහා පම්පෝරිය වාර්තා කිරීමටයි.)

මෙබදු එක් අවස්ථාවක කුඩා රටක රාජ්‍ය නායකයකු එ.ජා. මහ සමුඵව අමතන්නට නියමිතව සිටියදී ඒ නියෝජිත පිරිසේ වන්දිභට්ටයකු ටාසිගෙන් ඇසුවේ ‘කොහොමද අපේ ලොක්කාගේ මේ නිව්යෝක් චාරිකාව ලෝක ප‍්‍රවෘත්තියක් කළ හැක්කේ?’ කියා.

ටාසි එක එල්ලේ දුන් උත්තරය: ‘ලොක්කා කියන දෙයින් නම් පුවත් මවන්නට බැහැ. හැබැයි කවුරු හරි ලොක්කට සභාව ඇතුලේ වෙඩි තිබ්බොත් නම් ලෝක ප‍්‍රවෘත්තියක් ෂූවර්!’ (මේ යෝජනාවට නියෝජිතයාගේ ප‍්‍රතිචාරය වාර්තා වී නැහැ.)

James P Grant
James P Grant
ළමා අයිතිවාසිකම් හා සුබ සාධනයට කැප වූ ඹභෂක්‍ෑත්‍ ආයතනයේ ටාසි දෙවැනියාව සිටි කාලයේ එහි ප‍්‍රධානියා වූයේ නොබියව ඇත්ත කථා කළ අමෙරිකානුවකු වූ ජේම්ස් පී. ග‍්‍රාන්ට්. මේ දෙදෙනා ඉතා දක්‍ෂ ලෙස ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග ගනුදෙනු කළා. ග‍්‍රාන්ට් හා ටාසි නිතර භාවිත කළ ප‍්‍රබල රූපකයක් තිබුණා.

එවකට සංඛ්‍යා ලේඛනවලට අනුව වයස 5 සපිරෙන්නට කලින් වළක්වා ගත හැකි බෝවන රෝග හා මන්දපෝෂණය ආදී දරිද්‍රතා සාධකවලින් ලොව පුරා ළමයින් මිලියන් ගණනක් වාර්ෂිකව මිය ගියා. මේ විශාල සංඛ්‍යා සාමාන්‍ය ජනතාවට එක්වර සිතා ගන්නට අමාරුයි.

එනිසා මේ දෙපළ එය මෙසේ ප‍්‍රකාශ කළා. ‘‘කුඩා දරුවන් පුරවා ගත් 747 ජම්බෝ ජෙට් යානා කිහිපයක් බිමට වැටී සියඵ දෙනා ම මිය යන සැටි සිතන්න. එබදු අනතුරු වසරේ හැම දවසක ම සිදු වනවා යයි ද සිතන්න. ලොව පුරා අකල් ළමා මරණ ගණන එයටත් වැඩියි!’’

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලාංකික උරුමය ගැන අතිශයෝක්තියක් හෝ අවතක්සේරුවක් හෝ නැතිව මැදහත්ව කථා කිරීමට ඔහු සමත් වුණා. අපේ හොඳ දේ ආඩම්බරෙන් හුවා දක්වන අතර වැරදි දේ නිර්දය ලෙස විවේචනය කළා. 1990-92දී ජනාධිපති පේ‍්‍රමදාසගේ සමහර ප‍්‍රතිපත්ති රජයේ Daily News පත‍්‍රය හරහා ලිපි ලියමින් ඔහු නොබියව විවේචනය කළ සැටි මට මතකයි.

මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් ගැඹුරු විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

ගෙවී යන සියවසේ සංවර්ධනය පිළිබඳ මානව සංහතියේ ප‍්‍රගති වාර්තාව (රිපෝට් කාඞ් එක) සමාලෝචනය කරමින්, එළඹෙන සියවසේ අභියෝග ගැන ඔහු සුභවාදීව කථා කළා. පත‍්‍රකලාව ගැන දැඩි ඇල්මක් කුඩා කල පටන් ම මා තුළ තිබුණත් මෙබදු සංවර්ධන මාතෘකා ගැන මාධ්‍යකරණයට මා යොමු වීමට ටාසිගේ බලපෑම් ද හේතු වූවා.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මේ තලයන්හි සැරිසරන මා ලද විශිෂ්ඨතම ප‍්‍රශංසාවක් හැටියට සළකන්නේ ‘ටාසිගෙන් පසු ලංකාවෙන් බිහි වූ දක්‍ෂ සංවර්ධන සන්නිවේදකයා’ යයි වරක් ජාත්‍යන්තර සමුඵවකදී මා හදුන්වා දෙනු ලැබීමයි.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්.

සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!

I draw from the Global Status Report on Road Safety 2013, released by WHO in mid March 2013, for this week’s Ravaya column (in Sinhala). I discuss how the attitudes of Lankan road users — pedestrians, cyclists and motorists — contribute to road traffic accidents.

The challenge of reducing Sri Lanka’s alarmingly high rate of road accidents needs technocratic, sociological and attitudinal responses. This isn’t simply a law and order issue, or one that can be fixed by traffic engineering.

Cartoon by W R Wijesoma, first published on 14 February 1994
Cartoon by W R Wijesoma, first published on 14 February 1994

සංකීර්ණ වූ අද සමාජයේ ප්‍රශ්න ඕනෑවට වඩා සරල හා ලිහිල් විග්‍රහ කිරීම අවදානම් සහගතයි. දිගින් දිගට ම ඉහළ නගින මාර්ග අනතුරු ගැන ඇතැම් දෙනා කියන්නේ වාහන සංඛ්‍යාව සීමා කිරීමෙන්, රියදුරන්ට දැඩි දඬුවම් දීමෙන් හා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමෙන් එය පාලනය කර ගත හැකි බවයි.

මේ ක්‍රියාමාර්ග අවශ්‍ය වූවත් සෑහෙන්නේ නැහැ. මාර්ග අනතුරු සිදු වන්නේ හුදෙක් වාහන සංඛ්‍යාව වැඩිවීම නිසා ම නොවෙයි. අපට වඩා වාහන මෙන් ම ජන ඝනත්වය වැඩි රටවල් අනතුරු අවම කර ගෙන තිබෙනවා.

යල් පැනගිය රොමෑන්ටික් මතවාදවලට වඩා අද අවශ්‍ය වන්නේ පර්යේෂණාත්මක තොරතුරු හා විග්‍රහයන් මත පදනම් වී, ආවේගශීලී නොවී තුලනාත්මකව මේ බිහිසුණූ සමාජ ප්‍රශ්නය ක්‍රමානුකූලව විසදීමයි. අනතුරක් සිදු වූ තැන ලේ හා කදුඵ හරහා කරන මතුපිට වාර්තාකරණයෙන් ඔබ්බට සිතා බැලීමේ ලොකු වගකීමක් මාධ්‍යවලටත් තිබෙනවා.

මාර්ග අනතුරු හුදෙක් නීතිමය හා වෛද්‍යමය ප්‍රශ්නයකට වඩා මහා සංවර්ධන අභියෝගයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය WHO මෙන් ම ලෝක බැංකුවත් කියනවා. මාර්ග අනතුරුවලින් රටක දළ දේශීය නිෂ්පාදිතය සියයට 2ක් පමණ අපතේ යන බව ආර්ථීක විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

මාර්ග අනතුරු පිළිබඳ ලෝක තත්ත්ව වාර්තාවක් (Global Status Report on Road Safety 2013) දෙවන වරටත් WHO සම්පාදනය කොට තිබෙනවා. මේ එක්සත් ජාතීන්ගේ විශෙෂිත ආයතනයේ සාමාජික රටවල් 182ක් ලබාදුන් දේශීය දත්ත හා අධ්‍යයනයන් සම්පිණ්ඩනය කරමින් නිමැවුණූ සංසන්දනාත්මක වාර්තාවක්. 2010 අග දක්වා ලැබුණු දත්ත එයට ඇතුළත්. http://tiny.cc/RSR13

මේ වාර්තාවට අනුව ලොව පුරා මාර්ග අනතුරු නිසා වසරකට මිලියන් 1.24ක් (දොලොස් ලක්ෂ හතලිස් දහසක්) දෙනා එතැන ම හෝ අනතුරෙන් දින 30ක් ඇතුළත මිය යනවා. මෙහි සාමාන්‍ය අගය දිනකට 3,400ක්. ශී‍්‍ර ලංකාවේ දිනකට 6 – 7 දෙනකු මාර්ග අනතුරුවලින් මිය යාම ද මෙයට දායක වනවා.

මිය යන සංඛ්‍යාවට වඩා අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තාවකාලිකව හෝ සදහට ම හෝ ආබාධිත වනවා. මේ සංඛ්‍යාව ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගැනීම අපහසු නමුත් එය ලොව පුරා මිලියන් 20 – 50 අතර වෙතැයි අනුමාන කැරෙනවා. ඒ හරහා පවුල්වලට හා රටේ ආර්ථීකයට සිදුවන ඵලදායීතාවයේ පාඩුව අති මහත්.

මාර්ග අනතුරු යනු සංකීර්ණ සාධක රැසක් ඒකරාශි වීමේ ප්‍රතිඵලයක්. එයට වාහනවල තත්ත්වය, රියදුරන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය, මහාමාර්ගවල තත්ත්වය මෙන් ම පදිකයන්ගේ හැසිරීම ද දායක වනවා. අනතුරුවලදී බොහෝ විට පදිකයන් හා පාපැදිකරුවන් වැඩි හානියට පත් වූවත් ඔවුන් මුඟමනින් ම නිර්දෝෂී වන්නේ ද නැහැ.

Roadsafetyමාර්ග අනතුරුවලට බලපාන ප‍්‍රධාන හානිකර සාධක පහක් හදුනාගෙන තිබෙනවා. මෝටර් බයිසිකල් ධාවකයන් හා මගීන් හෙල්මට් නොපැළදීම, වාහන රියදුරන් හා මගීන් ආසන පටි නොපැළදීම, අධී වේගයෙන් ධාවනය, බීමත්කමින් ධාවනය හා කුඩා දරුවන් නිසි ලෙස වාහන තුළ ගෙන නොයාම මේ සාධකයි.

ගිය වසරේ ‘ඔබේ දරුවා අනතුරුවලින් රැක ගන්න’ නම් පොත ලියූ, අනතුරු වැළැක්වීම ගැන ජීවිත කාලය පුරා කැප වී වැඩ කරන විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර, මෙරට මාර්ග අනතුරු සංඛ්‍යා ලේඛන හා රෝහල් අත්දැකීම් දිගු කලක් අධ්‍යයනය කරනවා. ඔහු කියන්නේ බීමතින් රිය පැදවීම මාර්ග ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක් බව සැබෑ වුවත්, තවත් සාධක ගණනාවක් ද තිබෙන බවයි.

ඔහු කියන හැටියට, අධික ලෙස විඩාපත් වී රිය පැදවීම හා නිදිමත නිසා ද සැළකිය යුතු අනතුරු සංඛ්‍යාවක් සිදු වනවා. එහෙත් අනතුරක් සිදු වූ වහා කම්පනය නිසා නිදිමත පහ වී යන බැවින් එය තහවුරු කරන්නට අමාරුයි. (එසේ ම නිදිබර වූ බව පිළිගන්නවා වෙනුවට බොහෝ රියදුරන් කියන්නේ පාරට බල්ලකු හෝ පුසකු පැන්නා වැනි කථාවක්.)

හොඳ අවධියෙන් සිටින රියදුරන් අනතුරුදායක අවස්ථාවල අනිච්ජානුගව (involuntarily) ගන්නා ප‍්‍රතික‍්‍රියා නිසා මාර්ග අනතුරු වළක්වා ගන්නා නමුත් විඩාපත් හා නිදිමත ගතිය සහිත රියදුරන්ට එසේ කරන්නට බැරි බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

විඩාව හුදෙක් ශාරීරික පමණක් නොව මානසිකව ද තිබිය හැකියි (පැය ගණනක් මනස වෙහෙසා එක දිගට පොත්පත්වල හෝ පරිගණකයක වැඩ කළ අයට). ගෙවී ගිය පැය 24 තුළ පැය 5කට වඩා අඩු නින්දක් ලද විටකදී හා අලූයම 2 හා 5 අතර කාලයේ වාහන පැදවීමෙන් වැළකුණොත් අනතුරු 19% අඩු කර ගත හැකි බව නවසීලන්ත පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා.

දියුණු වන ලෝකයේ මාර්ග අනතුරු ප‍්‍රවණතා ගැන ලිපියක් මීට වසර කිහිපයකට පෙර බි‍්‍රතාන්‍යයේ New Scientist විද්‍යා සඟරාවේ පළ වුණා. එය අරඹා තිබුණේ ‘In many Third World countries, it is better to be late than never’ කියායි. එනම් බොහෝ දියුණුවන රටවල ගමනක් යන විට ප‍්‍රමාද වී හෝ ප‍්‍රවේශමින් යාම ඇඟට වඩා ගුණ බවයි.

ඇත්තටම නොනිසි හා අසීමිත කලබලයෙන් රිය පදවන්නෝ අන් අයට වඩා කාලය ඉතිරි කර ගන්නවා ද?

මා රිය පදවන්නේ සෙමින් හා පරීක්‍ෂාකාරීව. මෙය මගේ ඇතැම් මිතුරන්ගේ අවඥාවට හා සරදමට ලක්වනවා. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් පාරේ ගත කිරීමට සිදු වන බවට ඔවුන් අනතුරු අඟවනවා. මෙය අතිශයෝක්තියක් මිස ඇත්තක් නොවේ.

මෙය පර්යේෂණාත්මක මට්ටමින් සසදා ඇත්දැයි මා දන්නේ නැහැ. එක් පෞද්ගලික අත්දැකීමක් මට තිබෙනවා. කොළඹ සිට මහනුවරට ඇති කිමී 115 දුර යන්නට අවම වශයෙන් පැය තුනක් ගත වනවා. එය ජාත්‍යන්තර මට්ටමින් නම් මන්දගාමී වේගයක්.

මේ ගැන නිතර මැසිවිලි නඟන මගේ නොඉවසිලිමත් මිතුරකුත්, මාත් මීට කලකට පෙර එක ම මොහොතේ වාහන දෙකක මේ ගමනට පිටත් වුණා. අතරමඟ නොනවතා දිගට ම ගමන් කළා.

නලාව (හෝන් එක) නාද කරමින්, අන් අයට සාප කරමින්, වාහන ඉස්සර කරමින් අනෙකවිධ අවදානම් ගනිමින් මගේ මිතුරා රිය පදවන සැටි මා දන්නවා. මගේ සුපුරුදු වේගයෙන් මා මහනුවරට ළඟ වන විට ඔහු එහි ගොස් විනාඩි 10ක් පමණ ගත වෙලා. ඒ තත්පර 600ක වාසියට ඔහු කොතරම් අන්තරායකාරී වුවා ද?

‘ඔබේ රටේ රියදුරන් වාහන එලවන්නේ ඇක්සලරේටරයෙන් ද නැති නම් නලාවෙන්ද?’ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල මාත් සමඟ දින කිහිපයක් මෝටර් රථයකින් ගමන් කළ යුරෝපීය මිතුරෙක් විමතියෙන් මෙන් මගෙන් ඇසුවා. එයට හේතුව අපේ බොහෝ රියදුරන් නිතර නිතර නොඉවසිල්ලෙන් නලාව ගැසීමයි.

රතු එළියට නතර වූ වාහන පේලියක් තැඹිලි එළිය දිස්වත් ම අඩු තරමින් එක් රියදුරෙක්වක් නලාව ගසනවා. පදිකයන්ට පාර හරහා යන්නට අයිතිය ඇති කහ ඉරක් අබියස නතර කළත් පිටුපසින් සිටින සමහර රියදුරන්ට ඉවසිල්ලක් නැහැ. එපමණක් නොවෙයි, වාහන තදබදය ඉතා හොදින් පෙනෙන්නට තිබියදීත් – යන්නට කිසිදු ඉඩක් නැති විටදීත් – සමහරුන් ඔහේ නලාව ගසනවා!

ඇත්තට ම වාහනයකට නලාවක් සවිකර ඇත්තේ හදිසි අවස්ථාවක නාද කිරීමට පමණයි. විනයානුකූලව රථ පදවන ජපානය, සිංගප්පුරුව හා නවසීලන්තය වැනි රටක මහ මගෙහි නලා නාදය ඇසෙන්නේ ඉඳහිටයි. මෙය ඉතා කුඩා දර්ශකයක් වුවත් අපේ රියදුරන්ගේ ආකල්ප හා හැසිරීමේ තිබෙන අඩුපාඩු එයින් පෙන්නුම් කැරෙනවා.

Decade of Action for Road Safetyමා දන්නා ඉතා අපරීක්‍ෂාකාරී හා අන්තරාදායක රියදුරන් අතර පොතේ උගතුන් හා වෘත්තිකයන් ද සිටිනවා. ඔවුන් සමහරුන් දියුණු රටවල රිය පදවන විට මුඵමනින් නීතිගරුක හා ආචාරශීලි වන නමුත් සිය රටේදී ඒ සංයමය කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මේ ඇයි?

මේ සමහරුන් අපේ රටේදී ආසන පටි පැළඳගෙන රියපදවන්නට කැමති නැහැ. (එය ඇඟට අපහසුවක් යයි සළකන නිසා). තවත් සමහරුන් රිය පදවමින් ජංගම දුරකථනය භාවිත කරන්නේ රථ වාහන පොලීසිය සමඟ හැංගිමුත්තන් කෙළිමින්….

මෙහි ආන්තික උදාහරණයක් නම් වෛද්‍යවරියක් වන මගේ මිතුරියක් දෙහැවිරිදි සිය දරුවා ද රථයේ නංවා ගෙන නිතිපතා හා සිත් සේ ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය පැදවීමයි. Hands-free උපාංගයක් පවා ඇය යොදා ගන්නේ නැහැ. ඇමතුමක් අතරමඟ පොලිස් නිලධාරියකු දුටුවොත් ඇය මඳකට කථාව නතර කරනවා. පොලිස් ඇසට පෙනෙන මානය පසු වූ විට නැවත දුරකථනය අතට ගන්නවා. තමා කිසි දිනෙක නීතියට හසු වී නැති බව ඇය ආඩම්බරයෙන් කියනවා.

අපේ බොහෝ රියදුරන් මේ තරම් නොඉවසිලිමත් ඇයි? බස් රියදුරන් දෛනික ආදායම් ඉලක්කයක් හඹා යන බව අප දන්නවා. එක ම මාර්ගයේ ධාවනය වන බස් රථ තරගයට අධිවේගීව ගමන් කරමින් සියඵදෙනාට අන්තරාවක් ඇති කරන සැටි අප දකිනවා.

එහෙත් ඉවසීමක් නැතිව රිය පදවන්නේ ඔවුන් පමණක් නොවේ. තදබදය පවතින නාගරික මාර්ගවල ලොකු කුඩා වාහන පදවන බොහෝ දෙනකුට නොසන්සිදුණු ආසාවක් තිබෙනවා. අන් හැමදෙනා ම පසුකර තමන් පමණක් කෙසේ හෝ ඉදිරියට යන්න. එහිදී මාර්ග නීති කඩ කිරීම හා ආචාරශීලි නොවී දැඩි ආක‍්‍රමණශීලි ලෙස රිය පැදවීම නිතර සිදුවනවා.

මේ ගැන මෙනෙහි කරන හෝ පර්යේෂණ කරන අය කියන්නේ නිසි ලෙස රියදුරු පුහුණුව නොලැබීම, අධ්‍යාපනයේ දුර්වලකම් හා නීතිය කි‍්‍රයාත්මක වීමේ අඩුපාඩු මීට දායක වන බවයි. එහෙත් මේ සාධක ඉක්මවා යන ආකල්පමය, සමාජයීය හා මානසික හේතූන් ද තිබෙන බව පෙනෙනවා.

කලා ක්‍ෂෙත‍්‍රයෙන් වෙළඳපොල සාර්ථකත්වය ලැබු මගේ මිතුරෙක් රිය පදවන්නේ හැකි සෑම විට ම මහපාරේ රේස් දිවීමේ අරමුණින්. පාරේ කිසිවකුට තමා පසු කර යාමට ඉඩ නොදෙන බවත්, තමා රිය පදවන්නේ ‘පිරිමිකමට සරිලන ලෙසින්’ බවටත් ඔහු උදම් අනනවා. කලාකරුවකු ලෙස මානව හිතවාදය, අවිහිංසාව හා අනුකම්පාව ගැන පෙනී සිටින මේ දෙබිඞ්ඩා, මහ පාරේ රිය පදවන විට ඒ උතුම් ගුණාංග කිසිවක් ප‍්‍රගුණ කරන්නේ නැහැ!

හීනමානය හා වෙනත් පෞරුෂත්ව දුර්වලකම් ඇති අය අතට අධිබලැති වාහන ලැබුණු විට සිදු වන දෙය අප දිනපතා මහමඟ දකිනවා. මේ මානසික තත්ත්වයන්ට හුදෙක් අධ්‍යාපනයෙන් හෝ නිතී මගින් හෝ පමණක් පිළියම් කළ හැකි ද?

මාර්ග අනතුරු ගැන රාජ්‍ය හා ජන අවධානය වැඩි කරන්නට මාර්ග ආරක්ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකයක් (2011-2020) WHO ප‍්‍රමුඛ කරගත් එක්සත් ජාතීන් විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. Decade of Action for Road Safety, 2011-2020.

මාර්ග අනතුරු මුළුමනින් නැති කරන්නට අමාරුයි. එහෙත් නිසි සැළසුම්, විනය හා නීති හරහා එය අවම කර ගත හැකියි.

සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

In this week’s Ravaya Sunday newspaper column (in Sinhala), I’ve written a tribute to Dr Carlo Fonseka, Emeritus Professor of Physiology at the University of Colombo, rationalist and public intellectual, who turned 80 earlier this month.

I’m still working on an English tribute. For now, I’ve covered some of this ground in an English op-ed written in January 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.
Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.

මා බෙහෙවින් ගරු කරන හා අගය කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් 2013 මාර්තු 4 වනදා 80 විය සම්පූර්ණ කළා.

කාලෝ ෆොන්සේකා යනු විචිත්‍ර වූත්, බහුවිධ පැතිකඩවලින් සැදුම් ලද්දා වූත් අපූරු චරිතයක්. ඔහු වෛද්‍යවරයකු හැටියට පරම්පරා දෙක තුනක ලාංකික වෛද්‍යවරුන්ට උගන්වා, පුහුණු කර තිබෙනවා. කලා රසිකයකු හා ගීත රචකයකු හැටියට ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වයෙන් ඔහු විද්‍යා-කලා ප්‍රවාහයන් දෙකෙහි ම සිය නිපුනත්වය මනාව පෙන්නුම් කරනවා. වාමාංශික දේශපාලන චින්තනයක් මත පදනම් වී ඔහු සමාජ සාධාරණත්වය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන සම්ප්‍රදායක් සඳහා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑවා.

මෙකී නොකී නොයෙකුත් කෝණවලින් කාලෝගේ සමාජ මෙහෙවර ඇගැයීමට ලක් කළ හැකියි. අද මා තැත් කරන්නේ පොදු උන්නතියට කැප වුණු බුද්ධිමතකු (Public Intellectual) හා අදීන හේතුවාදී චින්තකයකු ලෙස ඔහුගේ අඩසියවසකට වැඩි කාලයක උඩුගම් බලා පිහිනීම ගැන මෙනෙහි කරන්නයි.

කාලෝ ෆොන්සේකා යන නාමය මා මුල් වරට ඇසුවේ 1970 දශකය මුලදී ලාබාල පාසල් සිසුවකු ලෙස. ගිනි පෑගීමේ වෛද්‍ය විද්‍යාත්මක සැබෑ තත්ත්වය ගවේෂණාත්මකව හෙළි කරමින්, ඒ සඳහා කිසිදු ගුප්ත බලවේගයක පිහිට අවශ්‍ය නැති බව ප්‍රායෝගිකව පෙන්වීම නිසා ඒ වන විට කාලෝ ලක් සමාජයේ ප්‍රකට හා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටියා. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් 1960දී ඇරැඹූ හේතුවාදීන්ගේ සංගමය හරහා හැම දෙයක් ගැන ම විචාරශීලීව සීතීමේ හා විවෘතව විවාද කිරීමේ සමාජ සංගායනාවක පෙරගමන්කරුවකු බවට මේ තරුණ වෛද්‍ය කතිකාචාර්යවරයා පත් වුණා.

රේඩියෝවෙන් ඔහු අසා සිටි මා මුල් වරට කාලෝට සජීව ලෙසින් සවන් දුන්නේ 1980 දශකයේදී. හරියට ම තැන හා වසර දැන් මතක නැති වුවත් ‘විද්‍යාත්මක චින්තනය’ ගැන දේශනයේ හරය මට අද මෙන් මතකයි.

කාලෝ කෙතරම් ආකර්ශනීය කතිකයෙක් ද යන්න විවාද හා සාහිත්‍ය සංගම් කටයුතුවල නියැලි පාසල් සිසුවකු වූ මා ඉක්මනින් තේරුම් ගත්තා. එදා මෙදා තුර විවිධ අවස්ථාවල කාලෝට සවන්දීමෙන් මෙය තවත් තහවුරු වී තිබෙනවා.

කාලෝ පාසල්, සරසවි, විද්වත්, කලාකරු මෙන් ම දේශපාලන වේදිකාවලත් තැනට උචිත ලෙසින් කථා කිරීමේ අති සමතෙක්. තැනේ සහ වෙලාවේ හැටියට හරබර යමක් සන්සුන්ව, උපහාසාත්මකව හා මනා අංගචලනයන්ගෙන් පරිපූර්ණව කථා කරන ඔහු, කිසි දිනෙක ද්වේෂ සහගතව හෝ අපහාසාත්මකව හැසිරෙනු මා දැක නැහැ. එබන්දක් ගැන ආරංචියක් හෝ නැහැ.

කාලෝ ඉතා හැඟීම්බරව කථා කළ අවස්ථා ද තිබෙනවා. මා දන්නා උදාහරණය විජය කුමාරතුංගයන්ගේ 1988 අවමගුලේ දී ඔහු කළ (රූපවාහිනී හරහා රට ම දුටු) කථාවයි. ජුලියස් සීසර්ගේ අවමගුලේ දී මාක් ඇන්ටනී කළ කථාවට සමාන වූ ඒ කථාව කාලෝගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූවා…

කාලෝ කථාවට මෙන් ම විවාදයටත් සමතෙක්. ප‍්‍රතිමල්ලවයන් කියන දේ සාවධානව අසා සිට, සියුම් හා තර්කානුකූල (එහෙත් සැම විට ම ආචාරශීලී) ලෙසින් ප‍්‍රතිචාර දක්වන්නෙක්. සමහර වෙලාවට යමකු විනාඩි ගණනක් ගරු ගාම්භීරව ගොඩ නගන තර්ක, කාලෝ තත්පර ගණනකින් උපහාසාත්මකව බිඳ හෙළනවා!

දුර සිට ඔහු අගය කළ මා කාලෝ හදුනා ගත්තේ මගේ විද්‍යා ගුරුවර අසංග අබේසුන්දර සූරීන් හරහා. 1980 දශකයෙදී අබේසුන්දරයන් පළ කළ ‘මානව’ ප‍්‍රගතිශීලි විද්‍යා සඟරාවේ පාඨක ප‍්‍රශ්නවලට කාලෝ නිතිපතා පිළිතුරු දුන්නා. මේ පිළිතුරු වාර්තා කර ගන්නට අප කිහිප විටක් කාලෝ හමු වන්නට ගියා. මානව ජෛව විද්‍යාව, පරිනාමය, හේතුවාදය, ගුප්ත සංකල්පවල විද්‍යාත්මක පැත්ත ආදී බහුවිධ මාතෘකා ගැන දැනුම නිරවුල් ව හා අදීනව පළ කිරීමේ ඔහුගේ සහජ හැකියාව මා හරිහැටි දැන ගත්තේ ඒ කාලයේයි.

ඒ හැදුනුම්කම ඔස්සේ පසු කලෙක මාධ්‍යවේදියකු හා විද්‍යා ලේඛකයකු ලෙස මා විවිධ අවස්ථාවල කාලෝ මුණ ගැසී, සම්මුඛ සාකච්ජා පවත්වා තිබෙනවා. අප දෙදෙනා එක ම විද්වත් වේදිකාවේ කථා කොට තිබෙනවා. කාලෝ සැබෑ බුද්ධිමතකු වුවත් උගත්කමේ මාන්නයෙන් හා උද්දච්චකමින් හිස පුම්බා නොගත් ඉතා නිහතමානී චරිතයක්.

මතකයේ රැදුණු එක් අවස්ථාවක් නම් 1986දී සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව නැවත දිස් වූ විට කල්පනා සඟරාවට මා ලියූ විස්තරාත්මක කවරයේ කථාවට ඔහු දැක්වූ අදහස්. වල්ගාතරුව නිසා ලෝකයේ යුධ ගැටුම් උත්සන්න විය හැකි යයි ද, පුද්ගලයන්ට හා සමාජයට අසුබ කාලයක් උදා වන්නේ යයි ද ජ්‍යොතිෂවේදීන් කර තිබූ අනතුරු ඇඟවීම් ගැන විද්‍යාත්මක විග‍්‍රහයක් කරන මෙන් කාලෝගෙන් මා ඉල්ලා සිටියා.

යුද්ධ ගැන ඔහු කීවේ මෙයයි. “1968දී විල් හා ඒරියල් ඩුරාන්ට් කියන ඉතිහාසඥ යුවල වෙඵම් 10කින් සමන්විත, ඉතිහාසය පිළිබඳ විශාල කෘතියක් ප‍්‍රකාශයට පත් කළා. මේ කෘතියේ ඔවුන් කියනවා ඒ වන විට (1968) මිනිසාට අවුරුදු 3,421ක් ඈත අතීතයට දිව යන ලිඛිත ඉතිහාසයක් තිබෙන බවත්, ඒ මුඵ කාලය මුඵල්ලේ ම සංග‍්‍රාම හෝ යුද්ධ නොතිබුණේ අවුරුදු 268ක පමණක් බවත්. ඉතින් යුද්ධ තිබුණු, යුද්ධ පටන්ගත් හැමදාමත් අහසේ වල්ගාතරු පෑවුවා ද? වල්ගාතරු හා සංග‍්‍රාම අතර සම්බන්ධයක් තිබෙතැයි අපට පිළිගන්නට බෑ.”

ඉතිහාසය, දර්ශනවාදය ආදී ක්‍ෂෙත‍්‍රයන්හි කාලෝගේ අවබෝධය කෙතරම් පුඵල් ද යන්නට ඉඟියක් මේ පිළිතුරුවලින් අපට ලැබෙනවා. ඔහු බොහෝ විට කථා කරන්නේ සාක්ෂි හා මූලාශ්‍ර උපුටා දක්වමින්.

ජ්‍යොතිෂය ගැන කථා කිරීම පවා කාලය නාස්ති කිරීමකැයි තාරකා විද්‍යාඥයන් බහුතරයක් කියන පසුබිම තුළ කාලෝ ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා කරන්නේ තමන්ගේ ක‍්‍රමවේදය පහදා දෙන ලෙසටයි.

1986දී කල්පනා සඟරාවට ඔහු කී පරිදි: “මුල් යුගයේ තාරකා විද්‍යාව (astronomy) සහ නක්‍ෂත‍්‍රය හෙවත් ජ්‍යෙති ශාස්ත‍්‍රය (astrology) කියන දෙක ම එකටයි තිබුණේ. පුරාණ බැබිලෝනියානු, ඊජීප්තු වැසියන්ට ඉර-හඳ-තාරකාවල හැසිරීම ගැන අනාවැකි කීමේ සෑහෙන හැකියාවක් තිබුණා. ගැලීලියෝ පවා මුල් කාලයේදී ජීවිකාව ගෙන ගොස් තිබෙන්නේ නක්‍ෂත‍්‍ර අනාවැකි කීමෙන්. ඒත් කල් යාමේදී තාරකා විද්‍යාව සීඝ‍්‍රයෙන් දියුණු වී ආවා. අද ඇත්තට ම තත්පරයට අනාවැකි කිව හැකි විද්‍යාවක් ඇත්නම් ඒ තාරකා විද්‍යාවයි. අනාවැකි කීමේ හැකියාව නක්ෂත‍්‍රයෙන් ගිලිහී ගොසින් තාරකා විද්‍යාවට භාර වී තියෙනවා.

“මෙවර හැලීගේ වල්ගාතරුව පායන විටත් විවිධ භයානක අනාවැකි පළ කර තියෙනවානෙ. ඔය නක්ෂත‍්‍රයේ හා අනාවැකි කාරයන්ගේ හපන්කම් උරගා බලන්නට මේක හොඳ අවස්ථාවක් හැටියටයි මා නම් දකින්නේ. නක්‍ෂත‍්‍රය පරිහරණය කරන අය සමඟ සාකච්ජා කොට, පැහැදිළි, තියුණු අනාවැකි ලබා ගන්නට ඕනෑ. ඒ අනාවැකි, නිගමනවලට එළඔණු ආකාරය ගැන ශාස්තී‍්‍රය පදනමත් ඒ අය අපට කියා දෙන්නට ඕනෑ. ඊට පස්සේ පාලක පරීක්‍ෂණයක් හැටියට, නක්‍ෂත‍්‍රය ගැන මොකුත් නොදන්නා, කිසිම දෙයක් විශ්වාස නොකරන අයටත් ඔය මොනවා හරි අනාවැකි ටිකක් පළ කරන්නට කියනවා. දෙගොල්ලන්ගේ ම අනාවැකි වාර්තා කර තබන්නට ඕනෑ. වල්ගාතරුව ඇවිත් ගියාට පස්සේ, අදාළ කාල සීමාව තුළ නක්‍ෂත‍්‍රකාරයින් කී අනාවැකි කොයි තරම් සැබෑ වුණා ද කියා සොයා බැලිය යුතුයි. එසේ සැබෑ වන්නේ දහයක් කිව්වා ම එකක් – දෙකක් හරි යන (සම්භාවිතාව පිළිබඳ) සංකල්පය මත නම්, නක්‍ෂත‍්‍රයෙන් අනාවැකි කියන්නට බැරි බව පෙනී යාවි….”

Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012
Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012

එදත් අදත් කාලෝ තුළ මා දකින වැදගත් ගුණයක් නම් මෙසේ විවෘත මනසකින් යුතුව ඕනෑ ම සමාජයීය හෝ ශාස්ත්‍රීය හෝ ගැටඟවක් විග්‍රහ කිරීමේ හැකියාවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයකු දක්වා ඉහළට ගියත් ඔහු දේශීය හා පෙරදිග වෛද්‍ය විද්‍යාවන් හෙළා දකින්නේ නැහැ. එසේ ම බටහිර වෛද්‍ය ක්‍රමයට තවමත් තේරුම් ගත නොහැකි වූ සංසිද්ධීන් මිනිස් සිරුරේ හා මනසේ ඇති බව ඔහු නිහතමානීව පිළිගන්නවා.

හේතුවාදියකු හැටියට කාලෝ ප්‍රඥාගෝචරයි. අන්ධ භක්තිය හෝ විශ්වාස වෙනුවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ (facts) හා තර්කානුකූල පදනමක් මත ඕනෑ ම දෙයක් විමර්ශනය කරනවා. එහෙත් විකල්ප දැනුම් ක්‍රම අවඥාවෙන් බැහැර කරන්නේ ද නැහැ.

ගිය වසරේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව ලක්බිම පුවත්පත හා හේතුවාදී සංගමය හරහා කාලෝ නිකුත් කළ ප්‍රසිද්ධ අභියෝගයේ මූලික හරයත් එයයි. ඉන්ද්‍රජාලික හෝ ඇස්බැන්දුම් කිරීමට ඉඩක් නැති සුපරීක්ෂාකාරී තත්ත්වයන් යටතේ ගුප්ත ක්‍රියාවක් සිදු කිරීමටත්, අහම්බයට එහා යන ස්ථීරසාර මට්ටමකට ප්‍රතිඵල පෙන්වීමටත්, කාලෝ සකලවිධ ගුප්තවේදීන්ට ඇරැයුම් කළා. එහෙත් ඔහුගේ අභියෝගය පිළි ගන්නවා වෙනුවට ඇතැම් ගුප්තවේදීන් කළෙ ඔහුට මතවාදීව පහර දීමයි.

විචාරශීලී වීමේ අගය ගැන කාලාම සූත‍්‍රය පාදක කර ගනිමින් කාලෝ කරන විග‍්‍රහය අපේ සමාජයට දිනපතා උදේ සවස අසන්නට සැළැස්විය යුතු බව මගේ හැඟීමයි. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා. (එහෙත් සැබැවින් නිදන අය අවධි කළ හැකි වුවත් බොරුවට නිදන්නන් අවධි කළ හැකිද?)

Carlo Fonseka's open challenge to assorted black magicians of Lanka, 2012 - LKR 1 million to prove themselves (image courtesy Lakbima)
Carlo Fonseka’s open challenge to assorted black magicians of Lanka, 2012 – LKR 1 million to prove themselves (image courtesy Lakbima)

කාලයාගේ ඇවෑමෙන් කාලෝ මෘදු මෙලෙක් වී සිටියි ද?

සමහර හේතුවාදීන් හා නිදහස් මතධාරීන් කියන්නේ කාලෝ පෙර තරම් නිර්දය ලෙස මිථ්‍යාවට පහර නොදෙන බවයි. ඇතැම් විට වයසත් සමඟ කාලෝ පෙරට වඩා ඉවසිලිමත් හෝ උපේක්ෂා සහගත හෝ වී ඇති. එහෙත් අධ්‍යයනයෙන් හා තර්කනයෙන් නිවැරදි යයි ප්‍රත්‍යක්ෂ කර ගත් ස්ථාවරයක රැදී සිටිමින් එය ප්‍රවර්ධනය කරන්නට නම් අද අප දකින කාලෝ එදා ගිනි පෑගූ කාලෝ තරම් ම අධිෂ්ඨානශීලීයි. නීර්භීතයි.

බොහෝ මිථ්‍යාවන් හා ප්‍රශ්නවලට එරෙහිව එකවර මැදිහත් වනු වෙනුවට වැදගත් සමාජයීය ගැටඵ කිහිපයක සැළකිය යුතු වෙනසක් කරන්නට තමන් පසු කාලීනව තීරණය කළ බව කාලෝ වරක් මට කීවා. එසේ ඉලක්කගත වීම හා උපක්‍රමශීලී වීම 21 වන සියවසේ හැම සමාජ ක්‍රියාකාරිකයකුට ම අවශ්‍යයි.

ලෝකයේ දැවැන්ත ම විනාශකාරී ව්‍යාපාරයක් වන දුම්කොළ සමාගම්වලට එරෙහිව දුම්වැටි පාලනය සවිමත් කිරීමට ඔහු ගෙන යන අරගලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ගිනි පෑගීමේ මුලාව හෙළිදරවු කළාටත් වඩා අති විශාල සේවයක් දුම්පානයෙන් ඇති වන ඇබ්බැහිකම දුරලීම හරහා කාලෝට කළ හැකි බව මගේ විශ්වාසයයි. දුම්කොළ ඇබ්බැහියෙන් ලාංකිකයන් මුදා ගැනීමේ උත්සාහය යම් තරමකට සාර්ථක බව පෙනෙනවා.

එහෙත් ඊටත් වඩා ගැඹුරු වූත්, දිගු කාලීනව අතිශයින් හානිකර වූත් ජාතික ව්‍යාධියක් නම් මිථ්‍යාවට, අවිද්‍යාවට හා ව්‍යාජ විද්‍යාවන්ට (pseudo-science) අපේ ඇත්තන්ගේ ඇති දැඩි නැඹුරුවයි. මේ ඇබ්බැහිකමින් ලක් සමාජය මුදා ගන්නට ජීවිත කාලයක් පුරා කාලෝ කරන ව්‍යායාමය කෙදිනක මල්ඵල ගැන්වේ ද?

කාලෝ ගැන සැබෑ රස කථා (anecdotes) රැසක් තිබෙනවා. ඔහුගේ ආත්ම චරිත කථාව ලිවීමට අදහසක් තිබේදැයි ගිය වසරේ මා විමසූ විට එබන්දක් සැළසුම් කර නැති බව පැවසුවා. ඔහු දිගු කලක් පවත්වා ගෙන ආ දිනපොත් ගොන්න ද වේයන් කා විනාශ කරලා. අඩු තරමින් ඔහුගේ මතකයන් ඔහුගෙන් අසා පටිගත කොට සටහන් කර ගන්නට හැකි නම් එයත් අපේ ජාතික මතකයේ (Memory of the Nation) වටිනා කොටසක් වනු ඇති.

කිසි දිනෙක කිසිවකුට ගිනි නොදුන් මේ ජීවකයාට, තවත් දිගු කලක් මේ ගිනි ගත් දිවයිනේ සන්තානය සමනය කරන්නට හැකි වේවා යන්න අපේ පැතුමයි!

ඡායාරූපය: සනී නවගත්තේගම

සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

This week’s Ravaya column (in Sinhala) is about the rising exports of hazardous pesticides coming to the developing world from China.

Similar ground was covered in English in The Coming Pesticide Tsunami: Made in China?

Filipino rice farmer spraying pesticides
Filipino rice farmer spraying pesticides

1955දී තමන් නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය වසර දහයකට වැඩි කාලයක් ඝර්ම කලාපීය රටවල ගොවීන්ට ප‍්‍රවර්ධනය කිරීමෙන් පසු එය තමන් අතින් සිදුවු ‘ලොකු වරදක්’ යයි කීර්තිමත් ලාංකික ඉංජිනේරු රේ විජේවර්ධන ප‍්‍රසිද්ධියේ කියා සිටියා. හරිත විප්ලවය ආරම්භයේ පටන් එහි පෙරගමන්කරුවකු වූ ඔහු 1960 දශකය අවසන් වන විට එහි මූලික දැක්ම ප‍්‍රශ්න කළා.

ගොවිතැනේදී අධික ලෙස බාහිරින් ගෙනෙන පොහොර, කෘමිනාශක හා වල් නාශක ආදිය නිසා වගාබිමේ සමතුලිතතාව බිඳ වැටෙන බව ඔහු පසුව වටහා ගත්තා. කෙටි කාලීනව අධික අස්වනු ලැබිය හැකි වුවත් හරිත විප්ලව ක‍්‍රමවේදයන් නිසා වසර කිහිපයකින් වගාබිම් නිසරුවීම, පරිසර දුෂණය හා බරපතල සෞඛ්‍ය ගැටඵ මතු වන සැටි දැන් අප දන්නවා.

සියවස් ගණනාවක් තිස්සේ ආසියාව පුරා කුඹුරුවල ගොවීන් වී වගා කළේ කෘෂි රසායනවල පිහිටෙන් නොවෙයි. කුඹුරුවල ස්වාභාවික ව හමුවන කෘමීන්, මකුඵවන්, පක්ෂීන් හා වෙනත් සතුන් සමග පාරිසරික සමබරතාවක් පවත්වා ගන්නා සැටි ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා.

එහෙත් හරිත විප්ලවයේ රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වගාවට හානි කරන මෙන් ම වගාවට හිතකර සතුන් ද එක සේ විනාශ කළා. රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායන වතුරේ දිය වී ඇල දොල හා ගංගා හරහා සමස්ත පරිසරයට ම මිශ‍්‍ර වුණා. මේ විෂ රසායනික අපේ ආහාරවලට සෘජුව මෙන් ම වක‍්‍රවත් ඇතුඵ වුණා.

මෑත කාලයේ හරිත විප්ලවවාදියෝ සැළකිය යුතු සංඛ්‍යාවක් තමන්ගේ වැරදි පිළිගනිමින්, කල්ගත වී හෝ ඒවා නිවැරදි කරගන්නට තැත් කරනවා. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) කියන්නේ හරිත විප්ලවයේ විශාල කාර්යභාරයක් ඉටු කළ ලෝක ව්‍යාප්ත කෘෂි පර්යේෂණායතන ජාලයේ සාමාජිකයෙක්.

පසුගිය අඩ සියවස තුළ ආසියානු රටවල සහල් නිෂ්පාදනය වැඩි කිරීමට, සහලින් ආසියානු රටවල් ස්වයංපෝෂිත කිරීමට හා ආහාර හිගයන් වළක්වා ගන්නට විශාල පර්යේෂණාත්මක දායකත්වයක් IRRI ලබාදී තිබෙනවා. අධික ලෙස කෘෂි රසායන භාවිත කරමින් අධික අස්වනු හඹා යාම අහිතකර බව දැන් ඔවුන් පිළි ගන්නවා. මේ ගැන ප‍්‍රසිද්ධියේ කථා කරන ජ්‍යෙෂ්ඨ IRRI විද්‍යාඥයෙක් මෑතදී මට මුණ ගැසුණා.

Dr K L Heong of IRRI
Dr K L Heong of IRRI

ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක්. මැලේසියානු ජාතිකයකු වන ඔහු බි‍්‍රතාන්‍යයේ ඉම්ජීරියල් සරසවියෙන් ආචාර්ය උපාධියත්, ලන්ඩන් සරසවියෙන් DSc අධිඋපාධියත් ලැබූ, දශක ගණනක් පුරා ආසියාවේ වී වගාවේ කෘමීන් පිළිබඳ පර්යේෂණ කළ අයෙක්. සත්ත්ව විද්‍යාවට සීමා නොවී ගොවීන්ගේ ආකල්ප පිළිබඳ සමාජ විද්‍යාත්මක ගවේෂණ කරමින් කුඩා පරිමාණයේ වී ගොවීන්ට ඇති ප‍්‍රශ්න හා අවශ්‍යතා මැනවින් හදුනාගත් විද්වතෙක්.

ජෛව ලෝකයේ වැඩිපුර ම ජීවී විශේෂ හමු වන්නේ කෘමීන් වශයෙන්. ගම් නගර, වනාන්තර හා ගොවිබිම් යන සැම තැනෙක ම කෘමීන් සිටිනවා. මෙයින් බහුතරයක් කෘමීන් මිනිස් අපට හෝ බෝගවලට කිසිදු හානියක් කරන්නේ නැහැ. හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා වෙනත් කෘමීන්, මකුඵවන් හා අනෙකුත් ස්වාභාවික සතුරන් (විලෝපීයයන්) සිටිනවා.

මිනිසා යොදන කෘෂි රසායනික නිසා මේ සමතුලිතතාවය බිඳ වැවෙනවා. බොහෝ වගාබිම්වලට කෘමි නාශක අන්‍යවශ්‍ය පමණක් නොව ඒවායේ ප‍්‍රයෝජනයට වඩා හානිය වැඩි බව 1950 දශකයේ සිට ප‍්‍රබුද්ධ ජෛව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 1962දී අමෙරිකානු විද්‍යාඥ රේචල් කාසන් නිහඬ වසන්තය පොතෙන් දුන් මූලික පණිවුඩය වූයේත් එයයි (2013 ජනවරි 13 කොලම බලන්න).

ආචාර්ය හියොං කාසන්ගේ පණිවුඩය ප‍්‍රතිරාවය කරන වත්මන් පරපුරට අයත්. දියුණු රටවල කෘෂි රසායනික භාවිතය අඩු වන්නට පටන් ගෙන ඇතත් අපේ වැනි දියුණු වන රටවල ඒවා වැඩි වැඩියෙන් භාවිත වන බව ඔහු කියනවා.

කෘෂි රසායනික සුනාමියක් ළග එන බවත්, එහි බහුතර දායකත්වය ලැබෙන්නේ චීන සමාගම් වලින් බවත් ආචාර්ය හියොං අනතුරු අගවනවා. අපේ පරිසරවේදීන් මෙය නොදන්න හැඩයි.

කලක් තිස්සේ පාරිසරික හා සෞඛ්‍ය කි‍්‍රයාකරිකයන් චෝදනා කරන්නේ බටහිර රටවල භාවිතය තහනම් කළ අධික විෂ ඇති කෘෂිරසායනික, එම රටවල බහුජාතික සමාගම් විසින් දියුණුවන ලෝකයේ තවමත් අලෙවි කරන බවයි. මෙය ඓතිහාසිකව සත්‍ය වුවත් බටහිර රටවල පරිසරවේදීන්ගේ බලපෑම් නිසා එසේ කිරීමේ හැකියාව දැන් සීමා වී තිබෙනවා.

අද වන විට සංඛ්‍යා ලේඛන හරහා පැහැදිලි වන යථාර්ථය නම් අපේ රටවලට අධික විෂ සහිත කෘෂි රසායනික අලෙවි කරන්නේ ප‍්‍රධාන කොට ම චීන හා ඉන්දියානු සමාගම් විසින් බවයි.

”උතුරු – දකුණු විස රසායනික අලෙවිය(North-South dumping) ගැන අපි කලෙක සිට දැන සිටියා. එහෙත් දැන් වැඩිපුර සිදුවන්නේ දකුණු – දකුණු අලෙවියක් (South-South dumping). මේ ගැන අපේ රටවල කි‍්‍රයාකාරිකයන් එතරම් දැනුවත් වී නැහැ,” ආචාර්ය හියොං කියනවා.

skullපසුගිය දශකය තුළ ලෝකයේ විශාලතම කෘමිනාශක නිෂ්පාදකයා හා පිටරට යවන්නා බවට චීනය පත් වෙලා. චීනයේ රාජ්‍ය දත්ත පදනම් කොට ගෙන හියොං මෙය පෙන්වා දෙනවා.

”2000දී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් පමණ වූ චීනයේ කෘමිනාශක නිෂ්පාදනය 2009 වන විට ටොන් ලක්ෂ 20 ඉක්මවා ගියා. එහෙත් එරට තුළ කෘමිනාශක භාවිතය වැඩි වී ඇත්තේ ඉතා සුඵ වශයෙන්. ඒ කියන්නේ මේ අතිරික්කය ඔවුන් පිටරටවලට විකුණනවා.”

මේවා යන්නේ කොහේ ද?

දැඩි පාරිභෝගික හා සෞඛ්‍ය ආරක්‍ෂණ නීති නිසා දියුණු රටවලට යවන්නට බැහැ. එහෙත් එබදු නීති නොමැති හෝ නීති නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන හෝ ආසියානු හා අපි‍්‍රකානු රටවලට ඒවා අලෙවි කරන බව හියොං සාක්ෂි සහිතව පෙන්වා දෙනවා.

මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. සිය රට තුළ අධික විසැති රසායනික භාවිතය ටිකෙන් ටික සීමා කරන්නට 1983 සිට චීනය පියවර ගන්නවා. 2007දී ඕගැනෝ ෆොස්ෆරස් කාණ්ඩයේ කෘමිනාශක ගණනාවක දේශීය භාවිතය තහනම් කළා. එහෙත් මේ කර්මාන්තයේ නිරත චීන සමාගම් 2,000ක් පමණ තිබෙන අතර සිය රට භාවිතය තහනම් වූ කෘමිනාශක පවා තවදුරටත් නිපදවා පිටරට යැවීමට ඔවුන්ට අවකාශ තිබෙනවා.

කිසි රටක් විවෘත ලෝක වෙළඳපොලේ කුමක් අලෙවි කරනවා ද යන්න ගැන අපට සෘජුව බලපෑම් කළ නොහැකියි. එහෙත් අපේ රට තුළට ගෙන ඒමට ඉඩ දෙන්නේ මොනවා ද යන්න තීරණය, අධීක්‍ෂණය හා පාලනය කිරීමට අපට හැකි විය යුතුයි.

ජාතික මට්ටමේ කෘෂි වෙළඳ දත්ත එක්තැන් කරන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) සංඛ්‍යා ලේඛන වෙබ් අඩවියට අනුව 2010දී ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනා කෘමිනාශකවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 47 (රුපියල් බිලියන් 5.8 ක්). 2011දී ඒ අගය ඩොලර් 60.15 දක්වා ඉහළ ගියා (රුපියල් බිලියන් 7.5). මේ දෙවසරේ මෙරටට ගෙනා කෘමිනාශක පරිමාවන් එහි සඳහන් නැහැ. එහෙත් හුදෙක් මිළ වැඩි වීම නොව ගෙන ආ පරිමාව වැඩි වීමක් ද සිදුව ඇතැයි අපට අනුමාන කළ හැකියි. බිලියන් ගණන් ගෙවා මෙරටට මේ විෂ අධික ද්‍රව්‍ය ගෙන එන්නේ කොහි සිට ද? http://faostat.fao.org

චීන කෘමිනාශක සමාගම්වල දායකත්වය නිසා පරිමාවෙන් හා වටිනාකමින් වැඩි වන ලෝක කෘෂි රසායනික වෙළදාමෙන් බේරී සිටීමට අපේ රටවල අදාල නීති, රෙගුලාසි හා අධීක්‍ෂණය වහා ම සවිමත් කළ යුතු බවට හියොං අවධාරණය කරනවා. අපේ ආරක්‍ෂාව අප ම සළසා ගතයුතුයි.

”අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි,” හියොං කියනවා.

බොහෝ ගොවීන් තම වගා බිමේ කෘමි ප‍්‍රශ්න ගැන උපදෙස් පතා ගෙන යන්නේ තමන්ට ආසන්න ම කෘෂි රසායනික අලෙවි කරන්නා ළගට. එය ගමේ සිල්ලර කඩයක් විය හැකියි. මේ කුඩා කඩවල මුදලාලිලා තමන් ළග ඒ මොහොතේ තිබෙන හෝ තමන්ට වැඩි ම වෙළඳ වට්ටම ඇති රසායනිකය මුදලාලි ගොවියාට නිර්දේශ කරනවා. අවශ්‍ය මාත‍්‍රාවට වඩා ඉසීමෙන් ඉක්මන් හා හොඳ ප‍්‍රතිඵල ලැබේ යයි වැරදි පිළිගැනීමක් ද ගොවීන් අතර තිබෙනවා.

හියොං කියන්නේ අධික වස විස මෙසේ හිතුමතයට සිල්ලරට අලෙවි කිරීම සිදු වන තාක් කල් කෘෂි රසායනික අවභාවිතය පාලනය කළ නොහැකි බවයි. රටට ගෙන ඒමේදී කුමන කොන්දේසි මත එය කළත් ප‍්‍රායෝගික ව එය කි‍්‍රයාත්මක වන්නේ සිල්ලර වෙළෙන්දා හා ගොවියා අතර ගනුදෙනුවේදීයි.

බොහෝ රටවල කෘෂි රසායනික රටට ගෙන ඒම, බෙදා හැරීම හා අලෙවිය ගැන නීති හා රෙකුලාසි මාලාවක් තිබෙනවා. එහෙත් එය හරියට රජතුමාට හකුරු හැදුවා වගේ වැඩක්. ඉතා පිවිතුරු ලෙසින් හකුරු හදනවා යයි ප‍්‍රතිඥා දුන්නත් වැඬේට බැස්සාම එය කෙරුණේ වෙනස් විධියට. ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි!’ යන කියමන අප අතර තිබෙන්නේ මෙවැනි පරස්පරයන් විස්තර කරන්නටයි.

හැබැයි හකුරුවලට වඩා බෙහෙවින් විස සහිත කෘෂි රසායනික ගැන එබදු දෙබිඩි පිළිවෙතක් තව දුරටත් පවත්වා ගත නොහැකියි.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධ අලෙවිය උදාහරණයක් ලෙස ගනිමින් හියොං කියන්නේ වට්ටෝරු හරහා බෙහෙත් ගන්නට නම් ඒ සඳහා පුහුණුව හා අවසර ලැබූ ඖෂධවේදියකු සිටින ෆාමසියකට යා යුතු බවයි. සිල්ලර කඩවලට එබදු බෙහෙත් විකුණන්නට ඉඩක් නැහැ. ඖෂධවේදීන් සහතික කිරීම එම වෘත්තිකයන් හරහා ම සිදුවීම බොහෝ රටවල ක‍්‍රමවේදයයි. අවම වශයෙන් එබදු ස්වයං නියාමන ක‍්‍රමයකට වස විෂ විකිණීමත් ඉක්මනින් ම යොමු විය යුතු බව හියොං කියනවා.

”ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්” හියොං කියනවා.

රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය බොහෝ රටවල රාජ්‍ය කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ ප‍්‍රබල අංගයක්. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයත් එයයි. කෘෂි රසායනික රටට ගෙන්වීම ලියාපදිංචිය ලත් රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික සමාගම් විසින් ද කලක පටන් කරනු ලබන නීත්‍යානුකූල වෙළදාමක්. එහෙත් ඒවායේ සිල්ලර අලෙවිය නිසි ලෙස නියාමනය හා අධීක්‍ෂණය නොවන බවට වෛද්‍යවරුන් මෙන් ම පරිසර විද්‍යාඥයන් ද පෙන්වා දෙනවා.

මේ ගැන වඩා ප‍්‍රගතිශීලි ආසියානු රටවල් තිබේදැයි මා ඇසුවා. වියට්නාමය හා මැලේසියාව යම් තාක් දුරට කෘෂි රසායනික පාලනයට ප‍්‍රතිපත්තිමය පියවර ගෙන ඇතැයි ද මේ ගැන අත්දැකීම් කලාපීය වශයෙන් බෙදා ගැනීම ඉතා ප‍්‍රයෝජනවත් බව ද ඔහු කීවා. http://tiny.cc/Pestsu

Hazardous Pesticides freely used across Asia
Hazardous Pesticides freely used across Asia