සිවුමංසල කොලූගැටයා #144: ටෙලිවිෂන් යුගයේ මුල් ම ජන නායකයා – ජෝන් එෆ්. කෙනඩි

In this week’s Ravaya column (in Sinhala), I look back at the world’s first President of the Television Age – John F Kennedy. How did he ride the airwaves to the hearts and minds of American voters? What combination of wits, looks and charisma made him an ideal icon for the Television Age in its Golden Age? And what lessons JFK holds for all image-conscious politicians who want to appear on television?

John Fitzgerald Kennedy (1917-1963)
John Fitzgerald Kennedy (1917-1963)

අමෙරිකාවේ 35 වන ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි (John F Kennedy) ඝාතනයට ලක් වීමේ 50 වන සංවත්සරය නොවැම්බර් 22දාට යෙදී තිබුණා. එරට වසර 237ක ඉතිහාසයේ ජනාධිපතිවරුන් 44 දෙනෙකු සිටියත්, ඔවුන් අතරින් සිවු දෙනෙකු ඝාතනයට ලක් වූවත්, කෙනඩි තරම් ජන අවධානයට හා කුතුහලයට ලක් වූ ජන නායකයකු නැති තරම්.

කෙනඩි සාහසිකයකුගේ වෙඩි පහරට ලක් වූයේ 1963 නොවැම්බර් 22දා. ටෙක්සස් ප‍්‍රාන්තයේ ඩලස් නුවර මහජන ප‍්‍රදර්ශනයකට සහභාගි වීමට එදින ඔහු බිරිඳ ජැකලයින් (ජැකී) සමග එහි පැමිණියා. මධ්‍යහනය පසු වී ටික වේලාවකින් රථ පෙරහරකින් ඔහු නගර මධ්‍යය බලා ගමන් කරමින් සිටියේ වහලය විවෘත කළ මෝටර් රථයක. මග දෙපස පෙළ ගැසුණු ජනයා පී‍්‍රතිඝොෂා කරමින් සිටින විට හදිසියේ දුර සිට ස්නයිපර් (කුරුමානම්) තුවක්කුකරුවකු තැබූ වෙඩි පහර වැදී කෙනඩි රථය තුළ ඇද වැටුණා.

එසැනින් කි‍්‍රයාත්මක වූ ඔහුගේ ආරක්‍ෂකයන් ළඟ තිබූ රෝහලකට ඔහු රැගෙන ගියා. මේ සමග රැස්ව සිටි ජනයා භීතියටත්, සංත‍්‍රාසයටත් පත් වුණා. ජනාධිපති සමග ගමන් කරමින් සිටි මාධ්‍ය පිරිසේ වාර්තාකාරියක් ජනාධිපතිට වෙඩි වැදීම ගැන ප‍්‍රවෘත්තිය රටට දුන්නේ විනාඩි කිහිපයක් ඇතුළත.

Reuters: How the JFK assassination transformed media coverage

එතැන් පටන් ඒ මුඵ රටමත්, ලෝකයත් සලිත වී මහත්  ඕනෑකමින් පුවත් මාධ්‍යවලට සවන් දුන්නා. අද මෙන් සන්නිවේදන තාක්‍ෂණය දියුණු නොවූ එවකට පැවති පහසුකම් හරහා නිවැරදි හා අඵත් ම තොරතුරු දෙන්නට අමෙරිකානු රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය ඉතා වෙහෙස වී කි‍්‍රයා කළා.

ජනාධිපති කෙනඩි වෙඩි පහරින් මිය ගිය බව මුලින් රේඩියෝ නාලිකා මගිනුත්, ඉනික්බිති ටෙලිවිෂන් හරහාත් නිවේදනය වුණා. ඒ සමග මේ ජනපි‍්‍රය නායකයාගේ වියෝව ගැන මහත් සේ කම්පාවටත්, සංවේගයටත් පත් වූ අමෙරිකානු ජනයා ඊළඟ දින කිහිපය ගත කළේ ටෙලිවිෂන් යන්ත‍්‍ර අබියසයි.

Footage of the incident captured by Abraham Zapruder, with home-movie camera

මාධ්‍ය ඉතිහාසය අධ්‍යයනය කරන පර්යේෂකයන් කියන්නේ ටෙලිවිෂන් මාධ්‍යය අමෙරිකානු සමාජයේ ප‍්‍රධානතම කාලීන තොරතුරු මූලාශ‍්‍රය බවට පත් වීමට තීරණාත්මක ලෙස බලපෑවේ කෙනඩි ඝාතනය හා ඉනික්බිති එළැඹි දින කිහිපය බවයි.

ඒ දක්වා එසැනින් පුවත් ගෙන ඒමේ රේඩියෝවට තිබූ හැකියාව හීන නොවූවත් මෙබඳු අවස්ථාවක රූප-ශබ්ද දෙකේ සංකලනයේ වැදගත්කම නිසා වැඩි දෙනෙකු (එවකට තිබූ කඵ-සුදු යන්ත‍්‍ර හරහා) ටෙලිවිෂන් මාධ්‍යයට යොමු වූවා යයි සිතිය හැකියි. එවකට පැය විසිහතරේ ටෙලිවිෂන් නාලිකා ලොව කොතැනකවත් තිබුණේ නැහැ. (ඒ අන්දමේ මුල් ම නාලිකාව වූ CNN ඇරැඹුණේ 1980දී.) එවකට බොහෝ ටෙලිවිෂන් නාලිකා සවසට ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයකුත්, දින පුරා කෙටි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයකුත් සිදු කළා.

එහෙත් 1963 නොවැම්බර් 22, 23, 24 හා 25 දිනවල මේ සම්ප‍්‍රදාය බිදිමින් තොරතුරු මතුව එන හැම විටෙක ම එය තහවුරු කර ගත් වහා ප‍්‍රචාරය කිරීමේ සජීව, එසැනින් පුවත් ආවරණයේ සම්ප‍්‍රදාය බිහි වුණා. මේ නිසාත් කෙනඩි ඝාතනය ටෙලිවිෂන් ඉතිහාසයේ සංධිස්ථානයක්.

ඒ වන විට අමෙරිකාවේ ජාතික මට්ටමේ ටෙලිවිෂන් ජාල 3ක් තිබුණා (ABC, CBS හා NBC). මේ තුන ම තමන්ගේ එදිනෙදා වැඩසටහන් වහා නතර කරමින් හදිසි තත්ත්වය වාර්තා කිරීමට පටන් ගත්තා. ඔවුන් එසේ කළේ දැඩි සංයමයක් හා වෘත්තීය බවක් පෙන්නුම් කරමින්. පේ‍්‍රක්‍ෂකයන් කලබල හෝ කුපිත නොවන අයුරින්, ලැබෙන තොරතුරු හැකි තාක් ඉක්මනින් හා නිරවුල්ව ප‍්‍රචාරය කරන්නට ඔවුන් උත්සාහ ගත්තා.

Walter Cronkite announces the death of JFK on CBS News
Walter Cronkite announces the death of JFK on CBS News

අඩසියවසකට පෙර සිදු වූ මේ විකාශයන් දැන් ඉන්ටනෙට් හරහා YouTube වීඩියෝ ලෙස අපට නැරඹිය හැකියි. එසේම එම සුවිශේෂි ප‍්‍රවෘත්තිය ආවරණයට සහභාගී වූ තවමත් ජීවතුන් අතර සිටින මාධ්‍යවේදීන්ගේ ආවර්ජනා ද අපට මේ ගෙවී ගිය සතිවල වාර්තා චිත‍්‍රපට ලෙස දැක ගත හැකි වූවා. http://edition.cnn.com/SPECIALS/us/jfk-assassination-anniversary

මේ අතරින් වඩාත් කැපී පෙනුණු හා අමතක නොවන කාර්යයක් ඉටු කළේ CBS නාලිකාවේ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා පුවත් කියවන්නා වූ වෝල්ටර් ක්‍රොන්කයිට් (Walter Cronkite). අමෙරිකාවේ නැගෙනහිර වේලාවෙන් පස්වරු 2.38ට සජීව ලෙසින් පෙනී සිටිමින් ඔහු ගැඹුරු එහෙත් ඉතා සන්සුන් විලාසයෙන් ජනාධිපතිවරයාගේ අභාවය වාර්තා කළා. (ඒ වන විටත් තහවුරු නොවූ වාර්තා වෙනත් මාධ්‍ය හරහා පිට වී තිබුණත් නිල වශයෙන් එය තහවුරු කරමින් රටට හා ලොවට ප‍්‍රවෘත්තිය දුන්නේ ක්‍රොන්කයිට්.)

එදා ඔහු පැය ගණනක් තිස්සේ සජීව වාර්තාකරණයේ යෙදෙමින් CBS මැදිරියේ සිට කළ මාධ්‍ය මෙහෙවර අමෙරිකානු ටෙලිවිෂන් ඉතිහාසයේ උච්චස්ථානයක් සනිටුහන් කළා. ආවේගශීලී නොවී, කුමන්ත‍්‍රණවාදී මතවාද කිසිවක් පතුරුවන්නේ නැතිව, තොරතුරු පමණක් සැකෙවින් හා නිරවුල්ව ඉදිරිපත් කිරීමට ඔහුට මනා කුසලතාවක් තිබුණා.

මේ මොහොත සිහිපත් කරන එවකට දරුවකු හැටියට එය නැරැුඹූ අමෙරිකානු මාධ්‍යවේදියෙක් කියන්නේ: ‘‘ජාතිය ම ශෝකබරිත වූ ඒ දිනයේ මුඵ ඇමෙරිකාවට ම පියකු වුණේ වෝල්ටර් ක්‍රොන්කයිට්.’’ (අන්කල් වෝල්ටර් යන සුරතල් නමින් පරම්පරා දෙකක අමෙරිකානුවන් අතර ජනාදරයට පත් මේ මාධ්‍ය දැවැන්තයා ගැන වෙන ම කථා කළ යුතුයි. ඔහු කලක් අමෙරිකාවේ වැඩිපුර ම ජන විශ්වාසය දිනා ගත් මිනිසා – most trusted man in America – වශයෙන් සැළකුණේ හේතු සහගතවයි.)

ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් නොතිබි ඒ යුගයේ එසැනින් තොරතුරු ලබා ගන්නට තිබුණේ රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය පමණයි. වෙඩි තැබීම සිදු වූ තැන, තුවාල ලැබූවන් ගෙන ගිය පාක්ලන්ඞ් රෝහල ආදී තැන්වල සිට ඇසින් දුටුවන් සමග  ක්ෂණික සම්මුඛ සාකච්ඡා කරමින් සිදු වන්නේ කුමක් ද යන්න තේරුම් ගන්නට වාර්තාකරුවන් උත්සාහ ගත්තා.

The Assassination of President Kennedy CNN… by VidsnMore

The Assassination of President Kennedy CNN… by VidsnMore

වසර 50ක් ගත වීත් තමන් එම පුවත මුලින් ම ඇසූ මොහොතේ සිටියේ කොතැන ද කරමින් සිටියේ කුමක්ද යන්න හැම අමෙරිකානුවකුට ම වගේ තවමත් මතකයි. ඔවුන්ගේ මතකය තීව‍්‍ර කළේ ටෙලිවිෂන් පුවත් වාර්තාකරණයයි.

මේ සිදුවීම් මාලාව වඩාත් ත‍්‍රාසජනක වූයේ වෙඩි තැබීම කළ ලී හාවි ඔස්වල්ඞ් (Lee Harvey Oswald) නම් හිටපු සොල්දාදුවා ඉක්මනින් අත්අඩංගුවට ගැනීම හා දින දෙකක් ඇතුළත (අධිකරණයට ගෙන යන අතර) ඔහු වෙඩි තබා ඝාතනය කිරිම නිසායි. මේ ඝාතනය කරනු ලැබුවේ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය හෙළිදරව් වීම වළක්වන්නට බවත් බොහෝ දෙනා විශ්වාස කළා.

කෙනඩි ඝාතන කුමන්ත‍්‍රණවාදී තර්ක විතර්ක අද දක්වාත් එරට මහත්  ඕනෑකමින් සංසරණය වනවා. ජෝන් කෙනඩි චරිතය හා කෙනඩි පවුල ගැන පොත්පත්, වීඩියෝ හා වෙනත් මාධ්‍ය ප‍්‍රකාශන 40,000ක් පමණ ගෙවී ගිය අඩ සියවස තුළ පළ වී තිබෙනවා. කෙනඩි උන්මාදය තවමත් පහව ගොසින් නැහැ.

JFK යන මුලකුරු තුනෙන් හැදින්වෙන මේ දේශපාලකයා හා ජන නායකයාට ජනපි‍්‍රය සංස්කාතියේ ඇත්තේ අද්වීතීය ස්ථානයක්. මෙයට හේතුව කුමක්ද?

කෙනඩිට ජනාධිපති තනතුරේ සිටිය හැකි වූයේ දින දහසක් වැනි කෙටි කාලයක් පමණයි. (1961 ජනවාරි 20 – 1963 නොවැ 22). ඊට පෙර ඔහු මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් සභිකයකු ලෙස වසර 6ක් හා සෙනෙට් සභිකයකු ලෙස වසර 7ක් කටයුතු කළා. ඩිමොක‍්‍රැටික් පක්ෂ අපේක්‍ෂකයා ලෙස තරග වැදී 1960 නොවැම්බරයේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා විට වයස 43යි. එදා මෙදා තුර අමෙරිකානු ජනාධිපති වූ ලාබාල ම පුද්ගලයා ඔහුයි. එසේ ම එම තනතුරට පත් වූවන් අතරින් නිර්මාණශීලී හා පත‍්‍රකලා හපන්කම්වලට පුලිට්සර් ත්‍යාගයක් (Pulitzer Prize) ලැබූ එක ම තැනැත්තායි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව කෙමෙන් මතුව ආ මාධ්‍ය කේන්‍ද්‍ර කරගත් තොරතුරු සමාජය ගැන කල් තබා වටහා ගත් කෙනඩි, මාධ්‍ය හරහා තමන්ගේ ප‍්‍රතිරූපය සියුම් ලෙස ගොඩ නැගීමටත්, එමගින් ජනමතය හැසිරවීමටත් සමත් වුණා. මේ හැකියාව ප‍්‍රගුණ කළ මුල් ම ජන නායකයා ලෙස ඔහු හැදින්විය හැකියි.

jfk at press conference smiling

1930 ගණන්වල යන්තමින් ඇරැඹි ටෙලිවිෂන් විකාශයන් හරිහැටි බටහිර සමාජයන්හි ස්ථාපිත වූයේ 1950 දශකයේදී. මෙය මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී කෙතරම් තීරණාත්මක ද යන්න බොහෝ ජ්‍යෙෂ්ඨ හා වයෝවෘද්ධ දේශපාලකයන් තේරුම් ගත්තේ නැහැ. කඩවසම් පෙනුමක්, ජනකාන්ත (charismatic) පෞරුෂයක් හා මුඛරි නොවූ හරබර කතිකත්වයක් තිබූ කෙනඩි, ටෙලිවිෂන් හරහා තමන්ගේ 1960 මැතිවරණ ව්‍යාපාරය අති සාර්ථක ලෙස මෙහෙය වූවා.

ඔහුගේ ප‍්‍රතිමල්ලවයා වූයේ 1953 – 1960 කාලය තුළ එරට උපජනාධිපති වූ, කෘතහස්ත හා බුද්ධිමත් දේශපාලක රිචඞ් නික්සන්. ටෙලිවිෂන් ඉතිහාසයේ මුල් වරට ප‍්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා අතර ටෙලිවිෂන් විවාදයක් පවත්වනු ලැබුවේ එම මැතිවරණයට පෙරාතුවයි. 1960 සැප්තැම්බර් – ඔක්තෝම්බර් කාලයේ මේ දෙදෙනා විවාද හතරකට සහභාගී වුණා. කරුණු හා තර්ක අතින් දෙදෙනා කරට කර සිටියත් ටෙලිවිෂන් මාධ්‍යයට අවශ්‍ය පරිදි හැඩ ගැසෙන්නට නික්සන්ට බැරි වුණා.

විවාදය මුඵල්ලේ ම කෙනඩි සැහැල්ලූවෙන්, සිනාබරිතව සිටි අතර වඩා අත්දැකීම් බහුල නික්සන් දහඩිය පිසදමමින්, නොසන්සුන් හා නොරිස්සුම් ආකාරයට සිටිනු ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයන් දුටුවා. මේ ශරීර ගති ලක්‍ෂණ (body language) ටෙලිවිෂන් මාධ්‍යයට ඉතා වැදගත්.

විවාද අවසන් වූ පසු මාධ්‍ය මගින් ජනමත සමීක්ෂන කරනු ලැබුවා. විවාදය ටෙලිවිෂන් හරහා නැරඹූ බහුතරයකගේ මතය වූයේ කෙනඩි එයින් ජය ගත් බවයි. එහෙත් එය ම රේඩියෝ හරහා සවන්දුන් (දෙදෙනාගේ ශරීර ගති සොබා නොදුටු) අය බහුතරයක් සිතුවේ නික්සන් වඩාත් දක්‍ෂ ලෙස විවාද කළ බවයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය ප‍්‍රබල ලෙස ඇවිලෙමින් තිබූ ඒ යුගයේ රටේ ඉරණම හා සුභසිද්ධිය භාර ගන්නට වඩාත් සුදුස්සා තමා බව ටෙලිවිෂන් මාධ්‍යයේ පිහිටෙන් කෙනඩි අමෙරිකානු ඡුන්දදායකයන්ට ඒත්තු ගැන්වූවා. 1960 නොවැ 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් නික්සන් පරදවා ඔහු ජය ගත්තේ සුඵ ඡුන්ද පරතරයකින් (කෙනඩි ඡුන්ද 49.7%, නික්සන් 49.5%)

Kennedy vs. Nixon – 1st 1960 Debate

කෙනඩි කෙතරම් දක්‍ෂ හෝ ශේ‍රෂ්ඨ රාජ්‍ය නායකයකු වූවා ද යන්න අද දක්වා එරටත්, ලෝකයේ අන් තැන්වලත් විවාදයට ලක් වනවා. ඒ ගැන ඒකමතිකත්වයක් නැහැ. එහෙත් ජනපි‍්‍රය සංස්කෘතියේ හා මාධ්‍ය ලෝකයේ නම් ඔහුට අසමසම තැනක් හිමි වී හමාරයි.

දින දහසක ධුර කාලය තුළ ඔහු දිගු කාලීනව එරටට හා ලෝකයට බලපෑම් ඇති කළ තීරණ රැසක් ගත්තා. (උදා: හඳට මිනිසුන් ගොඩ බැස් වූ ඇපලෝ වැඩපිළිවෙල දියත් කිරීම, බර්ලින් තාප්පයට ප‍්‍රතිචාර දැක්වීම, කඵ අමෙරිකානුවන්ට සම තැන් දීමට එකඟ වීම.)

Joseph S Nye looks at the real John F Kennedy

ඔහුගේ විදේශ ප‍්‍රතිපත්ති හා දේශිය ප‍්‍රතිපත්ති විවේචනය කරන අය පවා අවිවාදයෙන් පිළිගන්නා එක් කරුණක් තිබෙනවා. එනම් ටෙලිවිෂන් යුගයේ මුල් ම ජන නායකයා කෙනඩි බවයි. ටෙලිවිෂන් හරහා හැම ගෙදරක ම විසිත්ත කාරමයට පිවිසී ජනයා අමතා ඔවුන්ට සමීපවීමේ හෘදයාංගම කලාව දේශපාලන ලෝකයට හඳුන්වා දුන්නේ කෙනඩියි.

එසේ ම සිය ධූර කාලය තුළ ඔහු රාජ්‍ය නායකයා ලෙස මාධ්‍යවලට නිතර සම්මුඛ සාකච්ඡා ලබා දුන්නා. සංකීර්ණ ප‍්‍රශ්න ගැන කෙටියෙන්, ව්‍යක්තව හා විශ්වසනීය ලෙස කථා කිරීමේ සහජ හැකියාවක් ඔහුට තිබුණා. දේශපාලනික වශයෙන් ප‍්‍රතිපක්‍ෂයට සහාය දෙන ජනයා පවා තමා කියන දෙයට නම්මවා ගැනීමේ අසාමාන්‍ය චිත්තාකර්ෂණීය ගුණයක් ද තිබුණා. පසු කලෙක රොනල්ඞ් රේගන්, බිල් ක්ලින්ටන් මෙන් ම බරක් ඔබාමා වැනි (ධූර කාල දෙකකට පත් වූ) ජනාධිපතිවරුන් එරට ජනයාට සමීප වූයේ කෙනඩි හෙළිපෙහෙළි කර දුන් ටෙලිවිෂන් මාවතේ ඉදිරියට ගමන් කරමින්.

1960න් පටන් ගත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වීම දැන් එරට දේශපාලන හා මැතිවරණ සම්ප‍්‍රදායයේ අත්‍යවශ්‍ය අංගයක්. ටෙලිවිෂන් හරහා විශ්වසනීය ලෙසින් ජන සමාජයට සමීප විය නොහැකි නම් කෙතරම් උගත්, බුද්ධිමත්, වංශවත් හා අත්දැකීම් බහුල දේශපාලකයකුට වුවත් එරට ඉහළ ම තනතුරට පත්වීමට නොහැකියි. (මෙය හුදෙක් තරුණ අපේක්‍ෂකයන්ට වාසි සළසනවා යයි සිතීම වැරදියි. රොනල්ඞ් රේගන් මුලින් එම තනතුරට පත් වන විට වයස 69යි.)

අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා ගිය වසරේ විමසුවා. ඔහු කීවේ එබඳු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි.

මෙබඳු ස්වාධීනත්වයක් ළඟදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි. මාත් එයට එකඟයි.

John F. Kennedy motorcade, Dallas, Texas, Nov. 22, 1963. Partially restored version of original file with some artifacts removed - original photo by Victor Hugo King, via Wikipedia
John F. Kennedy motorcade, Dallas, Texas, Nov. 22, 1963. Partially restored version of original file with some artifacts removed – original photo by Victor Hugo King, via Wikipedia

සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

In this week’s Ravaya column (in Sinhala), I discuss how Nelson Mandela was a master communicator in terms of public speaking skills, media relations and strategy.

See also: Invictus – Clint Eastwood and Morgan Freeman serve more Mandela magic

Nelson-Mandela in prison

නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය (Apartheid) හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජන සම්මතවාදී රාමුවකට එරට යොමු කළේ ඉමහත් පරිශ‍්‍රමයකින්. එම සංක‍්‍රාන්තියේදී ප‍්‍රතිවිරුද්ධ මත දරණ, ආවේගශීලී අනුගාමිකයන් හා සහෘදයන් සමග සාවධානව සාකච්ජා කරමින්, එහෙත් සිය මූලික අරමුණු පාවා නොදෙමින් ඔහු ගිය ගමන විසි වන සියවසේ දිරිය ජිවිතයක කථාවයි.

ඒ හපන්කම් කරන්නට ඔහුගේ ප‍්‍රතිපත්තිගරුක බව හා අධිෂ්ඨාන ශක්තිය මෙන් ම ව්‍යක්ත සන්නිවේදන හැකියාව ද උපකාරී වුණා. මැන්ඩෙලා සාර්ථක නායකයකු වූයේ මිනිස් සිතුම් පැතුම් හඳුනා ගෙන, උපක‍්‍රමශීලී ලෙසින් සන්නිවේදන ක‍්‍රම හා තාක්‍ෂණයන් යොදා ගැනීම හරහායි. මේ ගැන ටිකක් විපරම් කිරීම වටිනවා.

මැන්ඩෙලාගේ සන්නිවේදන කුසලතාව හුදෙක් ඔහුගේ චිත්තාකර්ෂණීය ගති සොබාව (charisma) නිසා ම මතු වන්නක් නොවෙයි. එය පිටුපස පැහැදිලි චින්තනයක් තිබෙනවා.

20 වන සියවස මුල් කාලයේ (1918) ඉපිද, දෙවන ලෝක යුද්ධ සමයේ තරුණ වියට පත් වූ මැන්ඩෙලා ගෙවී ගිය සියවසේ සන්නිවේදන තාක්‍ෂණයන්ගේ ප‍්‍රගමනය සීඝ‍්‍රව සිදු වූ සැටි පෞද්ගලිකව අත් දුටුවා.

ඔහු උපදින විට රේඩියෝ හා සිනමා මාධ්‍ය තවමත් ලෝකයට අඵත්. දේශීය මට්ටමේ ටෙලිවිෂන් විකාශයන්, ලෝක මට්ටමේ චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ඉන්ටර්නෙට් මාධ්‍යය හා ජංගම දුරකථන සේවා යන සියල්ල ම පැන නැගී, කෙමෙන් ජන සමාජයේ ප‍්‍රචලිත වනු ඔහු බලා සිටියා.

දකුණු අපි‍්‍රකාවේ සුඵතර සුදු පාලකයන්ගේ දරදඩු, වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා. එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා.

Nelson Mandela hands the 1995 Rugby World Cup to Francois Pienaar, captain of South African team (Photo courtesy The Sun, UK)

සිරගත කර සිටි 1962 – 1990 වකවානුවේ ඔහුට බරපතල සන්නිවේදන සීමා පනවා තිබුණා. එයින් වසර 18ක් ඔහු ගත කළේ රොබන් දුපත (Robben Island) නම් බන්ධනාගාර දිවයිනේ. කේප්ටවුන් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 7ක් මුහුදට වන්නට පිහිටි මේ කුඩා දිවයිනේ සිර කරනු ලැබූ මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයන්ට යළි කිසිදා නිදහසක් ලැබෙතැයි ලෝකයා හෝ ඔවුන්වත් සිතුවේ නැහැ.

රේඩියෝ අසන්නට හෝ පත්තර කියවන්නට හෝ දේශපාලන සිරකරුවන්ට බොහෝ විට අවකාශ තිබුණේ නැහැ. තම පවුලෙන් ලියුමක් පවා ලද හැකි වූයේ මාස හයකට වතාවක් පමණයි. එමෙන් ම සිර ගෙදර ජීවිතයේ සමහර කාලවලදී ඔහුට කැලැන්ඩරයක් හෝ ඔරලෝසුවක්වත් පාවිච්චි කරන්නට ඉඩ ලැබුණේ නැහැ.

සිර ගතව සිටි දිගු කාලය තුළ සුදු සම ඇත්තවුන් සමග තිබූ කේන්තිය කෙමෙන් පහව ගිය බවත්, ඒ වෙනුවට විෂම ක‍්‍රමය ගැන තමන්ගේ කෝපය හා පිළිකුල වඩාත් තීව‍්‍ර වූ බවත් මැන්ඩෙලා සිය ආත්ම චරිත කථාවේ (Long Walk to Freedom, නිදහසට ගිය දිගු ගමන) කියනවා.

සිර ගෙදර බරපතල කම්කරු වැඩ කරන අතර මනස ඒකාග‍්‍ර කර ගනිමින්, තම මර්දකයන්ගේ චරියාව සමීපව අධ්‍යයනය කරමින් මැන්ඩෙලා අනාගත දකුණු අපි‍්‍රකාව ගොඩ නඟන සැටි සැළසුම් කළා. කර්කෂ තත්ත්‍වයන් හමුවේ එයින් නොසැළී පැහැබර අනාගතයක් ගැන සිතීමට හැක්කේ බෙහෙවින් අධිෂ්ඨානශීලී පුද්ගලයකුට පමණයි.

සීමා බන්ධන මැද වුවත් රට, ලෝකය හා ඓතිහාසික ප‍්‍රවාහයන් ගැන ඔහු ගැඹුරින් අධ්‍යයනය කළා. පොදුවේ නූතන ලෝකයේත්, විශේෂයෙන් දකුණු අපි‍්‍රකාවේත් මිනිසුන් සිතන පතන ආකාරය නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් මගින් බලපෑමට ලක් වන සැටි ඔහු මෙනෙහි කළා.

නිදහස පතා අරගල කළ වෙනත් විප්ලවකරුවන් බොහෝ විට තැත් කළේ මුඵමනින් තමන්ගේ මතයට හැකි තාක් ජනයා හැකි ඉක්මනින් නතු කර ගන්නයි. එහෙත් මැන්ඩෙලා සිය ජනයාට අවිහිංසාවාදීව හා තර්කානුකූලව සිතන්නට බලපෑම් කළා.

උද්වේගකර කථා හා වචන හරඹයන්ට වඩා නූතන මාධ්‍ය හරහා ජන මනසට සැහැල්ලූ ලෙසින් සමීප විය හැක්කේ කෙසේ ද යන්න ඔහු සොයා බැලූවා. මේ නිසා මැන්ඩෙලා පරමාදර්ශීය ජන නායකයකු වනවාට අමතරව සූක්‍ෂම ජන සන්නිවේදකයකු ද වනවා.

වසර 27ක් දේශපාලන සිරකරුවකු ලෙස සිටීමෙන් පසු 1990 පෙබරවාරි 11 වනදා මැන්ඩෙලා නිදහස් කරනු ලැබුවා. මේ ඓතිහාසික සිදුවීම වාර්තා කරන්නට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් කේප්ටවුන් නුවරට පැමිණියා.

මෙතැන් පටන් තමන් කියන හැම වචනයක් ම, කරන හැම කි‍්‍රයාවක් ම ඉතා සමීප ලෙසින් මාධ්‍ය විසින් හසු කර ගන්නා බවත්, තම දේහ චලන ඉගිවලින් පවා තම ජනයා යම් පණිවුඩ උකහා ගන්නා බවත් මැන්ඩෙලා තේරුම් ගත්තා. කැමරා සිය ගණනක් ඉදිරිපිට තාවකාලික වාසි තකා චණ්ඩියකු වනවා වෙනුවට දැඩි සංයමයෙන්, උපේක්‍ෂා සහගතව යුක්තිය හා සාධාරණය සඳහා ක‍්‍රමීය වෙනසක් කිරීමට ඔහු කි‍්‍රයා කළා.

ඔහු ජීවිතයේ මුල් වතාවට ප‍්‍රවෘත්ති සාකච්ජාවක් ඇමතුවේ හිරෙන් නිදහස් වුවාට පසුදා. 1963ට පෙර යටිබිම්ගත දේශපාලනය කරන කාලේ ඔවුන්ට ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඇමතීමට ඉඩක් තිබුණේ නැහැ. එවකට එරට ටෙලිවිෂන් තිබුණේ ද නැහැ.

වයස 71දී තම මුල් ම ප‍්‍රවෘත්ති සාකච්ජාව අමතමින් මැන්ඩෙලා සාවධානවත්, උපේක්‍ෂා සහගතවත් ANC ප‍්‍රතිපත්ති හා ස්ථාවරය පැහැදිලි කළා. ලොව පුරා මාධ්‍ය ආයතනවලින් ආ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට හැකි තාක් සත්‍යවාදීව උත්තර දුන්නා. එතැනින් පටන්ගත් මැන්ඩෙලාගේ මාධ්‍ය ජීවිතයට පොඩියක්වත් විරාමයක් ලැබුණේ නැහැ.

ටෙලිවිෂන් කැමරාවලට කථා කළ යුතු විලාසය හා එහිදී පවත්වා ගත යුතු දේහ චලන ආදිය තලතුනා වියේදී වුවත් මැන්ඩෙලා ඉක්මනින් ම ප‍්‍රගුණ කළා. ඔහු තැනේ, වෙලාවේ හා මාධ්‍යයේ හැටියට තම කථිකත්වය වෙනස් කිරීමට දක්‍ෂයි. ගාම්භීර හා ගැඹුරු සංකල්ප පවා සන්සුන්ව හා සුහදව කියන්නට ඔහුට ඇති හැකියාව විශිෂ්ඨයි.

1990 වන විට දකුණු අපි‍්‍රකාව පැවතියේ මහත් ව්‍යසනයක් අභිමුඛවයි. දශක ගණනක් තිස්සේ කැකෑරෙමින් තිබූ කඵ ජනයාගේ කෝපය එක් පසෙකිනුත්, ඔවුන්ගේ ඉමහත් ප‍්‍රාර්ථනා තව පසෙකිනුත් තුලනය කර ගන්නට අවශ්‍ය වුණා.

නිදහස ලැබූ මොහොතේ පටන් මැන්ඩෙලා කළේ සුදු පාලකයන් සමග සාකච්ජා විවෘතව හා මාධ්‍ය විසින් වාර්තා වන පරිද්දෙන් පමණක් කිරීමයි. රහසිගත ගනුදෙනු හෝ හොර ‘ඞීල්’ කිසිවකට ඉඩ දුන්නේ නැහැ. තමාගේ විශ්වාසනීයත්වය හා මාධ්‍ය හරහා රටත් ලෝකයත් ග‍්‍රහණය කිරීමේ හැකියාව ඔහු යොදා ගත්තේ ඉතා අසීරු දේශපාලන කි‍්‍රයාදාමයක් පාරදෘශ්‍ය ලෙසින් පවත්වා ගන්නටයි. මෙයත් ඔහුගේ සන්නිවේදන හැකියාවේ තවත් උදාහරණයක්.

අතිශයින් දුෂ්කර සංක‍්‍රාන්ති සමයක් පසුකර, රට අරාජික වන්නට ඉඩ නොතබා කි‍්‍රයා කළ මැන්ඩෙලා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු ANC පක්‍ෂය එරට පැවති මුල් ම සර්වජන මැතිවරණයෙන් පැහැදිලි ජයක් අත් කර ගත්තේ 1994 අපේ‍්‍රල් මාසයේ. එරට මුල් ම කඵ ජාතික රාජ්‍ය නායකයා ලෙස 1994 මැයි 10 වනදා මැන්ඩෙලා දිවුරුම් දී වැඩ බාර ගත්තා. ඒ වන විට වර්ණභේදවාදය තුරන් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට පිවිසීම උදෙසා එරට අවසන් සුදු ජනාධිපති F W ඩි ක්ලර්ක්ට හා මැන්ඩෙලාට 1993 නොබෙල් සාම ත්‍යාගය ලැබී හමාරයි.

One poem + two men = Rainbow Nation

රටේ දේශපාලන බලය මැතිවරණයක් හරහා දිනා ගත්ත ද ආර්ථික බලය තවමත් බොහෝ කොට සුදු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් සතු බවත්, රට හදන්නට ඒ අයගේ දායකත්වය නැතිව ම බැරි බවත් මැන්ඩෙලා වටහා ගත්තා. එහෙත් ඓතිහාසිකව අසාධාරණකම්වලට ලක්ව සිටි කඵ ජාතික බහුතරය, ඉක්මන් විසඳුම් හා සාධාරණයක් පතන බවත් ඔහු දැන සිටියා.

සම්මානනීය අමෙරිකන් නඵ හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ක්ලින්ට් ඊස්ට්වුඞ් 2009දී නිපද වූ Invictus නම් චිත‍්‍රපටයට හසු වන්නේ මැන්ඩෙලා ජනාධිපති වී මුල් මාස 18 තුළ සංහිදියාව හා සහජීවනය ඇති කරන්නට ඉතා සියුම් හා උපක‍්‍රමශීලී ලෙස කටයුතු කළ ආකාරයයි. සැබෑ සිදුවීම් මත පදනම් වී තැනූ මේ චිත‍්‍රපටය මැන්ඩෙලාගේ සන්නිවේදන හැකියාවේ උච්චස්ථානයක් මනාව කැටි කර දක්වනවා.

බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයන් සුලබව කරන දෙයක් නම් රාජ්‍ය බලය යොදා ගෙන ජාතික මෙන් ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා හරහා දිගට හරහට රටවැසියන් ඇමතීමයි. ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන් පැය ගණන් ටෙලිවිෂන් හරහා රට අමතන්නට සමතුන්.

ඕනෑ නම් මැන්ඩෙලාටත් එබන්දක් කළ හැකිව තිබුණා. එහෙත් ටෙලිවිෂන් හරහා නිතර නිතර පෙනී සිටින දේශපාලකයන් ජනතාවට ඉක්මනින් එපා වන බව ඔහු තේරුම් ගත්තා.

1995දී ලෝක රග්බි පාපන්දු (රගර්) තරඟාවලිය පැවැත් වීමේ වරම දකුණු අප‍්‍රිකාවට ලැබී තිබුණා. රගර් කී‍්‍රඩාවේ යෙදෙන ප‍්‍රබල ජාතික කණ්ඩායමක් එරට තිබුණා. ජාතික යයි කීවාට එම කණ්ඩායමේ වැඩිපුර ම සිටියේ සුදු ජාතිකයන් හා මිශ‍්‍රිත සම්භවයක් තිබූ කී‍්‍රඩකයන්. වර්ණභේදවාදය බල පැවැති වසර 50කට ආසන්න කාලයේ රගර් සුදු ජාතික වරප‍්‍රසාදයක්ව තිබුණා. මේ නිසා රගර් ගැන බහුතරයක් ජනතාව තුළ තිබුණේ උදාසීනත්වයක් සහ කොන් කිරීමක්.

1994 මැයි මාසයේ මැන්ඩෙලාගේ ANC පක්‍ෂය මැතිවරණය ජය ගෙන බලයට පත් වූවත් රගර් කී‍්‍රඩා කණ්ඩායමේ ඉක්මන් වෙනසක් කළ හැකි පසුබිමක් තිබුණේ නැහැ. දශක ගණනාවක් තිස්සේ කඵ ජාතිකයන්ට හරිහැටි කී‍්‍රඩා අවස්ථා නොදීම නිසා කුසලතාව ඇති කී‍්‍රඩාකයන් ඔවුන් අතරින් බිහිව සිටියේ නැහැ. මේ නිසා 1995 ලෝක රගර් ශුරතාවලියට එරට නියෝජනය කළේ බහුතරයක් සුදු කී‍්‍රඩකයින්ගෙන් සමන්විත වූ පිළක්.

වර්ණභේදවාදය පැවති කාලය පුරා ම වාගේ දකුණු අපි‍්‍රකානු රගර් කණ්ඩායමට එරෙහිව විදෙස් පිළක් තරග වදින විට දකුණු අපි‍්‍රකාවේ බහුතරයක් කඵ ජනතාව කළේ විදෙස් පිළට ආවැඞීමයි.

මේ ආකල්පය වෙනස් කොට, ජාතික රගර් කණ්ඩායමට ‘චියර්’ කරන්නට මුළු රට ම කුළුගැන්විය හැකි නම් කෙතරම් අපූරු ද කියා මැන්ඩෙලා කල්පනා කළා. රගර් පිළේ නායක ප‍්‍රංශුවා පිනාර් (François Pienaar) හමු වී මේ ගැන කථාබහ කළ ජනාධිපති මැන්ඩෙලා, රට එක්සත් කිරීමට රගර් ශූරතාවලිය අවස්ථාවක් කර ගන්නට එකඟත්වයකට ආවා.

කී‍්‍රඩාකයන්ගේ සමේ වර්ණය කුමක් වුවත් ඔවුන් නියෝජනය කරන්නේ සමස්ත දකුණු අපි‍්‍රකාව ම බව මැන්ඩෙලා තම පාක්‍ෂිකයන්ට මතක් කරනවා. ඔවුන් සමහරක් විශ්වාස කරන්නේත් නැහැ බහුතර කඵ ජනයා මෙබඳු සුදු පිළකට චියර් කරාවිය කියා.

එහෙත් තරගවලිය ඇරැඹී ටික දිනකින් එය සිදු වනවා. දකුණු අපි‍්‍රකාව සහභාගි වූ දෙවන තරගය වන විට සුදු, කඵ, මිශ‍්‍රිත වර්ණ හා ජාති හේද නොතකා මුඵ රටම තම පිළට ආවඩනවා. මෙය මතක ඇති කාලෙක සිදු නොවූ අරුමයක්. එයට ප‍්‍රබල ලෙස දායක වන්නේ කී‍්‍රඩා තරග සජීව ලෙස ටෙලිවිෂන් හරහා රටට ම පෙන්වීමයි.

ජාතික ඒකාග‍්‍රතාවය, ජාතීන් අතර සංහිදියාව. සමගිය ආදී උතුම් සංකල්ප ගැන ඕනෑ තරම් හරවත් ලෙස රටවැසියා අමතා කථා කිරීමේ කථික හැකියාව මැන්ඩෙලා සතු වුණා. එසේ ම ඉතා ජනපි‍්‍රය රාජ්‍ය නායකයකු හැටියට ඕනෑ නම් ටෙලිවිෂන් ගුවන් කාලය එයට ලබා ගැනීමේ බලතල හා වරප‍්‍රසාදය ද ඔහුට තිබුණා. එහෙත් ඔහු කළේ ටෙලිවිෂන් හරහා බණ කීම වෙනුවට ව්‍යංගාර්ථයෙන් එහෙත් ප‍්‍රබලව මේ සංකල්ප නිරූපණය වන රගර් ශූරතාවලිය රටට පෙන්වීමයි.

Invictus චිත‍්‍රපටයේ උච්ච අවස්ථාව එළැඹෙන්නේ රගර් දැවැන්තයන් වන නවසීලන්ත පිළට එරෙහිව අවසන් මහ තරගය සමගයි. තියුණු තරගයකට පසු දකුණු අපි‍්‍රකාව ලෝක රගර් කුසලානය දිනා ගන්නවා. මුඵ රට ම එකම පී‍්‍රති ඝෝෂාවක් බවට පත් වනවා.

ඊට මාස කීපයකට පෙර බහුජන උදහසට ලක්ව සිටි ජාතික රගර් කණ්ඩායම කොයි කාගේත් වීරයන් බවට පත් වනවා. මේ හරහා තමන් ද අඵත් දකුණු අපි‍්‍රකාවේ ගෞරවනීය කොටස්කරුවන් බව සුදු ජනයාටත් තේරුම් යනවා.

වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන තාක්‍ෂණය හා මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දෙනවා.

සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

Boatman photo

යුද්ධය බරපතල ලෙසින් සිදු වන 2007 කාලෙදි මම ටිකක් භයානක වැඩක් කළා. කොළඹ පැවති දකුණු ආසියාතික සමාජ කි‍්‍රයාකාරිකයන් හා මාධ්‍යවේදීන්ගේ වැඩමුඵවක් අමතා ආරම්භක දේශනය කරමින් මා කීවේ ඔවුන් බොහෝ දෙනකුත්, මාත් ‘බෝම්බකරුවන්’ බවයි!

කොයි වේලේ කොතැනක බෝම්බ පිපිරේදැයි ලක් සමාජය බියෙන් සිටි, ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වූ එම වකවානුවේ එබන්දක් පැවසීමත් අවදානම් සහගතයි. ඒත් මා අදහස් කළේ මනස් බෝම්බ. මා එය ඔවුන්ට පැහැදිලි කළා.

ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987)  වරක්  කීවේ ‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. ඒවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ ඒවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’

කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

ඒ අරුතින් ගත් කල මාධ්‍ය හරහා ලියන කියන දේ මා දකින්නේ මනසේ පුපරා යන කාල බෝම්බ තනා මුදා හැරීමක් හැටියටයි. භෞතික බෝම්බ වගේ නොවෙයි, මනස් බෝම්බ පුපුරා යන සැටි එකවර අපට පෙනෙන්නේ නැහැ. සමහර විට අදහසක් මනසට කිදා බැස ගත් බව, එය ග‍්‍රහණය කර ගත් අය පවා සවිඥානිකව වටහා නොගන්නට පුඵවන්.

මනස් කාලබෝම්බ උපමිතිය මා වැන්නවුන් කරන කාරිය මැනවින් හසු කර ගන්නවා වුවත් එය ටිකක් බිහිසුණුයි. පශ්චාත් යුධ සමාජයක් (කලක් තිස්සේ ආවඩනු ලැබූ) කලහකාරී ආවේග සමනය කර ගන්නට තැත් කරන අද වැනි කාලයක මීට වඩා සාමකාමී උපමිතියක් ඇත්දැයි මා කල්පනා කළා.

එවිට මගේ මනසට ආවේ පාලම් හා ඔරුපාරු  පිළිබඳ සිතුවිල්ල. මේ සියල්ලෙන් කරන්නේ දෙගොඩක් නැතහොත් දෙඉවුරක් යා කිරීම. සිවුමංසල කොලූගැටයා හරහා මා කරන්නෙත් සංකල්පීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් බෙදුණු දෑ යා කරන්නට තැත් කිරීම.

වත්මන් ලක් සමාජය නොයෙක් අයුරින් විනිවිද දැකිය හැකියි. ඓතිහාසිකව හෝ ජෛව විද්‍යාත්මකව හෝ උරුම වූ ලේබල් අපේ බොහෝ දෙනා සිය ජීවිත කාලය පුරා අලවා ගෙන සිටිනවා. උපතේදී අහම්බෙන් හිමි වූ ජාතිය, ආගම, කුලය ආදී ලේබල් ගැන විවෘතව සිතන්නේත් ප‍්‍රශ්න කරන්නේත් ඉතා ටික දෙනයි.

උපතෙන් පසුව සමාජ ආර්ථික හේතු සාධක නිසා අප වැටුණු ගොඩවල් ද තිබෙනවා. සිංහල පමණක් දත් අය, දෙමළ පමණක් දත් අය මෙන්ම ද්විභාෂික හා ඉඳහිට ති‍්‍රභාෂික අය ද අප අතර සිටිනවා.

උපතෙන් ලද ලේබල් මෙන් ම මෙකී දෙවැනි ආකාරයේ නැඹුරුවීම් ද අපට  ඕනෑ නම් උත්සාහයෙන් වෙනස් කර ගත හැකියි. අවම වශයෙන් අප අයත් නොවන අනෙකුත් (පිටස්තරයන් හෙවත් ‘අනෙකා’ ලෙස අප දකින) පිරිස් ගැන අපේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කර ගත හැකියි.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් දිවයිනක් වූ පමණට අප දුපත් මානසිකත්වයට සීමා විය යුතු නැහැ. දැනුම හා සංකල්ප මට්ටමෙන් වැඩෙන්නට නම් අපේ සමීප දෙයින් හා අපට හුරුපුරුදු දෙයින් ඔබ්බට අප නෙත් යොමු කළ යුතුයි. චිත්ත ගවේෂණය පුඵල් කළ යුතුයි. මේ කොලම හරහා මා උත්සාහ කරන්නෙත් එබඳු චාරිකාවලට අපේ පාඨකයන් යොමු කරන්න.

මෑතදී නිකුත් වූ මගේ දෙවැනි කොලම් එකතුවේ පසු කවරයට කෙටි වදනක් ලියමින් තරුණ ලේඛක දිලීප අබේසේකර මෙහෙම කියනවා.

‘‘ලෝකය තිබෙන්නේ ලංකාවේය කියා තවමත් සිතා ඉන්නා අපට සිවු මංසල කොලූ ගැටයා කලාතුරකින් හමු වෙන ජාතියේ කෙනෙකි. එහෙත් මෙහෙ වගේම ද? මෙහෙ වගේ දේවල්වලට එහෙ මොනව ද කරන්නේ? ඇත්තට ම මෙහෙට වඩා එහෙ වෙනස්දැයි අපට ම තෝරා බේරා ගන්නට ඔහු කරුණු ගෙන හැර පාන්නේ ය. ඉරිදාට රාවයේ සිවුමංසල කොලූ ගැටයා කියවන මා දන්නා බොහෝ දෙනකු සුබවාදී හුස්මකින් සදුදාට මුහුණ දෙනු පෙනේ.’’

හැබැයි එහෙ මෙහෙ යා කරන වැඬේ ලේසි නැහැ. ඇසදිසි මානයෙන් එහා කොයි දේ ගැනත් සැකයෙන් බලන්නට පොළඹවන අද කාලේ එය ලොකු අභියෝගයක්.

මා ලියන දේ කරුණු හා තර්ක මත පදනම් වූවත් මා හුදෙක් දැනුම බෙදන්නකු නොවෙයි. (දැනුම  ඕනෑ නම් අද කාලේ ඉන්ටර්නෙට් හරහා එය ලබා ගත හැකි මූලාශ‍්‍ර තිබෙනවා.) මට පතුරුවන්නට මතවාදයක් ද නැහැ. මා ලියන්නේ මගේ පාඨකයන්ගේ මනස කිති කවන්නට, පොඩියක් විවර කරන්නට හා යම් දේ ගැන ඔවුන්ට වැඩිදුර සිතන්නට පෙළඹවීමට පමණයි.

යුද්ධය හමාර වීමෙන් පසු දිගට හරහට පාරවල් හා පාලම් හදනවා. භෞතික සංවර්ධනයට නිසි යටිතල පහසුකම් අවශ්‍යයි. (අන්තවාදී හරිතවේදියෝ මොනවා කිව්වත් හැමදාම ගල් යුගයේ හිටියා වගේ ඉන්න බැහැ!)

නමුත් කොන්කී‍්‍රට් හෝ ලෝහමය පාලම් විතරක් මදි. අපේ සමාජය තුළත්, අපේ රට හා පුඵල් සෙසු ලෝකය අතරත් මානසික හා චින්තනමය මට්ටමෙන් නිසි පරිදි යා කැරෙන මනෝ පාලම් ද (bridges inside our minds) අවශ්‍යයි.

මේ දෙක සමාන්තරව සිදු නොවුණොත් කොන්කී‍්‍රට් පාලම් ගොඩක් මැද වුවත් අප සංකල්පීය වශයෙන් බෙදී, හුදකලා වී දිගට ම සිටිනු ඇති.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රබලව පෙනුණු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශෙෂයෙන්ම නවකථා හා චාරිකා සටහන්) සිංහලයට පරිවර්තනය කිරීම දැන් මහා පරිමානයෙන් සිදුවන සැටියි. පරිවර්තනවල නිවැරදි බව හා භාෂා අගය ගැන මා තක්සේරු කර නැහැ. නමුත් මේවා බිහි වන්නේ වෙළඳපොල ඉල්ලූමක් ඇති නිසයි. අපේ පාඨකයන් තමන්ට හුරු බසින් වුවද මේ දුපතෙන් එහා යථාර්ථයන් හා මායා ලෝකයන් (ෆැන්ටසි) ගැන උනන්දු වන බව එයින් අපට සිතා ගත හැකියි.

එහෙත් පරිවර්තනවලට ඔබ්බට යන සංසන්දනාත්මක හා තුලනාත්මක විග‍්‍රහයන් දුර්ලභයි. අපේ සිංහල පුවත්පත්වල විදේශ විත්ති විචාර හැටියට තවමත් බහුලව පළ වන්නේ වම-දකුණ දෙපිළට බෙදී ලෙස ඇණ කොටා ගත් සීතල යුද්ධය කාලේ මල බැඳුණු තර්කයි. සීතල යුද්ධය (1990) අවසන් වී වසර 23ක් ගත වීත් අපේ ‘විදේශ පුවත් විචාරකයන්ගේ’ ඇස් ඇරී නැහැ.

තොරතුරු සමාජය, ජනපි‍්‍රය සංස්කෘතිය, ගෝලීයකරණය, නව මාධ්‍ය හා වෙනත් විසි එක් වන සියවසේ ප‍්‍රබල ප‍්‍රවාහයන් ගැන අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ද පිඵණු  වූ හෝ අන්තගාමී වූ හෝ විග‍්‍රහයන්.

Sivu Mansala Kolu Getaya - two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya – two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene

මේ අඩුපාඩු හා හිදැස් වසන්නට තනි ප‍්‍රකාශනයකට හෝ තනි ලේඛකයකුට හෝ පමණක් බැහැ. එහෙත් සිවුමංසලේ සිට අවට පිරික්සමින්, විවිධ ප‍්‍රශ්න මතු කරමින් අප තැත් කරන්නේ යම් තරමකටවත් ඒ විචාරශීලී දිශාවට අපේ සමාජය යොමු කරවන්න.

නිසි පාලම් ඇති තරම් බිහි වන තුරු බලා නොසිට මට හැකි පරිද්දෙන් ටික දෙනෙකුවත් එගොඩ මෙගොඩ ගෙන යනවා. මේ අරුතින් බැලූ විට මා ඔරුපාරු පදවන්නකු වගෙයි.

මගේ ඔරුවේ ගමන් කරද්දී පොඩි පසුබිම් කථනයක් ද තිබෙනවා! මා සමග ටික වේලාවක් ගමනේ යෙදෙන මගීන්ට (පාඨකයන්ට) මා එගොඩ හා මෙගොඩ ගති සොබා කියා දෙනවා. ගමන් කරන ප‍්‍රවාහයේ යම් විසිතුරු ද පාඨකයන් දකිනවා.

එගොඩට වඩා මෙගොඩ හොඳ යයි මා කිසි විටෙක කියන්නේ නැහැ. මා ගමන් කරන දිශාවට අනුව එගොඩ හා මෙගොඩ නිරතුරු වෙනස් වනවා.

එමෙන්ම මගීන්ට/පාඨකයන්ට මගේ අදහස් බලහත්කාරයෙන් පටවන්න තැත් කරන්නේ නැහැ. එමෙන් ම මට මුදලක් ගෙවා මගේ ඔරුවේ ප‍්‍රචාරණය කැරෙන අන් අයකුගේ අදහස් ද නැහැ. සියඵ අදහස් සංවාදයට විවෘතයි.

ඔහේ යනවා වෙනුවට කථා සාමීචියේ යෙදෙමින්, ඔවුනොවුන් අතර සංවාද කරමින් විවෘත වූත් ප‍්‍රබෝධජනක වූත් මනසකින් ගමනේ යෙදෙනවා දකින්නට මා කැමතියි. ඒ නිසා ඔරුකාරයාගේ උපමිතිය මට හොදින් ගැලපෙනවා.

හොඳ දෙයක් ගැන යහපත් ප‍්‍රතිචාර දැක්වීම අපේ බොහෝ අයගේ සිරිතක් නොවේ. මට ස්තුති හෝ ප‍්‍රශංසා කරන පාඨක ප‍්‍රතිචාර ද ලැබෙතත් බහුතරයක් ප‍්‍රතිචාර එන්නේ මා ලියූ දෙයකින් කලබලයට හෝ කෝපයට හෝ පත් වූ අයගෙන්. සමහරුන් මහත් ආවේගශීලී වනු දැකිය හැකියි. අන්ධ භක්තිය හා ඇදහිලි මත තමන්ගේ සියඵ මතවාද ගොඩ නංවා ගෙන සිටින අයට පුංචි පහේ ප‍්‍රශ්න කිරීමක්වත් දරා ගන්නට අමාරු වගෙයි.

මතවාද පතුරුවන්නෝ තැත් කරන්නේ මිනිසුන්ගේ ඔලූගෙඩි විවෘත කොට තමන්ගේ මතය එයට වත් කොට ආයෙත් වසා සීල් තබන එකයි. මාවෝ සේතුං වරක් ජනතාවගේ මනස සමාන කළේ පාලකයන්ට  ඕනෑ දෙයක් ලිවිය හැකි හිස් සුදු කඩදාසිවලට.

එහෙත් ඇත්තට ම අප කළ යුත්තේ පාඨකයන්ගේ මනස විවෘතව පවත්වා ගැනීම. කිසිදු තනි ප‍්‍රවාහයකට එහි අරක් ගෙන මනස සින්නක්කර ගන්නට ඉඩ නොතැබීම. බහුවිධ අදහස් හා තර්ක විතර්කවලට ඔලූගෙඩි ඇතුලේ වගේ ම සමාජයේ හැම තැන ම පොදු අවකාශයේත් නිදහස රැක ගැනීම.

යම් දිනෙක නිසි පාලම් බිහි වී, ඔරු පාරු භාවිතය අනවශ්‍ය වීම සමාජ පරිනාමයේ සොබාවයි. සමහර විට අනාගතයේදී කොලූගැටයාගේ ඔරුවටත් ඉල්ලූමක් හෝ අදාල බවක් නැති විය හැකියි. මෙරට සියඵ හෝ බොහෝ මාධ්‍ය මා කරන දේ ම කරන්නට ගත් විට මා මේ පාරුව නවතා දමනවා. පාලම්වලින් එතෙර කළ හැකි මහා පරිමානයෙන් තනි පුංචි ඔරුකරුවකුට එගොඩ මෙගොඩ යා කළ නොහැකි නිසා…

එතෙක් කල් ඔහොම යං! එගොඩහ යන්නෝ – මෙගොඩහ එන්නෝ තව කවුරු ද ඉන්නේ?

සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Nelson Mandela whose 95th birthday was on 18 July 2013 — which was marked worldwide as Nelson Mandela Day.
See also my English essay published earlier this week:

Waiting for My Own Mandela…not any longer!

(Note: The two cover similar ground, but I don’t translate myself.)

President Nelson Mandela at UN General Assembly Oct 1995 - UNDPI Photo by G  Kinch

‘‘පිටසක්වල බුද්ධිමත් ජීවීන් රැගත් යානයක් පැමිණ ඔබේ ලෝකයේ නායකයා වෙතට අප යොමු කරන්න යැයි ඉල්ලා සිටියොත් මා නොපැකිලාව කියන්නේ නෙල්සන් මැන්ඩෙලා හමු වන්නට කියායි. ඔහු තරම් අපේ මානව සංහතියේ ඉදිරි දැක්ම හා අපේක්‍ෂා සංකේතවත් කළ තවත් නූතන නායකයකු මට නම් සිතා ගන්නට බැහැ.’’

මා එසේ (ඉංගී‍්‍රසියෙන්) ලිව්වේ මීට දශකයකට පමණ පෙර. එය කියවූ බොහෝ දෙනෙකු එයට එකඟ වූයේ දකුණු අපි‍්‍රකානු නායකයා වැනි පරමාදර්ශී චරිතයක් මුඵ ලෝකයේ ම දායාදයක් වන නිසායි. සියඵ මතවාද පසෙක දමා අප නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් එක් සිත් වන්නේ එබැවින්.

මැන්ඩෙලා ජනාධිපති සිටියදී වරක් ඔහුට සජීව ලෙස සවන් දීමේ අවස්ථාව මට ලැබුණා. ඒ 1995 ඔක්තෝබරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර එජා මූලස්ථානයේ පැවැත් වූ රාජ්‍ය නායක මහ සමුඵවේදී. ලෝක ව්‍යාප්තව තරගකාරී මට්ටමින් පිරිනැමෙන මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලබා මා ඒ දිනවල සිටියේ එජා සංවිධානය අධ්‍යයනය කරමින් හා වාර්තා කරමින්.

1995 ඔක්තෝම්බර් 22-24 තෙදින තුළ රාජ්‍ය නායකයන් හා ආණ්ඩු නායකයන් 150කට අධික සංඛ්‍යාවක් එහි පැමිණියා. ඒ අතර කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, පලස්තීන නායක යසර් අර්ෆත් ආදී විචිත‍්‍ර චරිත සිටියත් මා ඉතා  ඕනෑකමින් සවන් දුන්නේ නෙල්සන්  මැන්ඩෙලාටයි.

මෙබඳු විශෙෂ අවස්ථාවල හැම රාජ්‍ය නායකයාට ම ලැබෙන්නේ විනාඩි 5ක් පමණයි. අන් බොහෝ නායකයන් සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ති‍්‍රක කථා කරද්දී තමන්ට ලැබුණු තත්පර 300න් මැන්ඩෙලා උපරිම ප‍්‍රයෝජන ගත් සැටි මට මතකයි.

එය දාර්ශනික වූත්, කාව්‍යමය වූත් කථාවක්. සියඵ දකුණු අප‍්‍රිකානුවන්, සියඵ අපි‍්‍රකානුවන් මෙන් ම දුප්පත් හා අසරණ ලෝකයේ සැම තැනෙක ම වෙසෙන සියඵ දෙනා වෙනුවෙන් ඔහු කථා කළා. එසේ කථා කිරීමේ සදාචාරමය අයිතියක් ඔහුට තිබූ බවට විවාදයක් නැහැ.

නිව්යෝක්හි ගත කළ සති කිහිපයේ මගේ කාමර සගයා වූයේ එවකට 25 හැවිරිදි වූ, දකුණු අපි‍්‍රකානු විද්යුත් මාධ්‍ය සංස්ථාවේ (SABC) නිෂ්පාදක ඩාන්ටේ මෂීලේ (Dante Mashile). 1990දී වර්ණභෙදවාදී ප‍්‍රතිපත්ති අත් හිටු වන විට ඔහුට වයස 20යි. මේ නිසා කඵ සමක් සහිතව ඉපදීම නිසා ම සිය මවු රටේ විදින්නට සිදු වූ අවමන් හා අසාධාරණකම් ගැන අත්දැකීම් හා මතකයන් ඔහුට තිබුණා.

මැන්ඩෙලා ඇතුඵ ANC (African National Congress) පාක්‍ෂිකයන්ගේ දශක ගණනක අරගලය නිසා නොවන්නට තමා වැන්නකුට කිසි දිනෙක SABC නියෝජනය කරමින් පිටරටකට යන්නට හෝ තමන්ගේ කුසලතාවන්ට සරිලන රැකියාවක නිරත වන්නට හෝ ඉඩ නොලැබෙන බව ඩාන්ටේ පුන පුනා කී දෙයක්.

1994 වසර ඩාන්ටේගේ රටේ මෙන් ම මගේ රටේත් දේශපාලන සංධිස්ථානයක් සනිටුහන් කළා.

1994.04.27දා පැවැත් වූ, දකුණු අපි‍්‍රකාවේ සියඵ වැඩිහිටියන්ට සර්වජන ඡුන්ද බලය හිමි වූ මුල් ම මහ මැතිවරණයෙන් ANC ජයග‍්‍රහණය කළා. එහි නායකයා හැටියට මැයි 10දා නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකානු ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ ඇරඹුවා.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එදා මෙදා තුර අපේක්‍ෂකයකු ලද ඉහළ ම ඡුන්ද ප‍්‍රතිශතය (62%) ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති බවට පත් වූයේ ඊට මාස කිහිපයකට පසු 1994 නොවැම්බර් 12දා.

1995 ඔක්තෝබර් වන විටදීත් මේ නායකයන් දෙපළ ගැන අපේක්‍ෂා රැසක් ඩාන්ටේ හා මා වැනි තරුණයන් තුළ පැවතුණා. නිව්යෝක් නුවර වැස්ස හා සීතල මැද්දේ හිමිදිරියේ අපේ දෙරටේ නායකයන් එජා සමුඵව අමතනු අසන්නට අප පෙළ ගැසුණේ ඒ නිසායි. ලෝක ඉතිහාසයේ එතෙක් පැවති ලොකු ම නායක හමුවට දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණා.

1994-1999 වකවානුවේ පස් අවුරුදු ධූර කාලයක් නිමා කළ මැන්ඩෙලාට ලෙහෙසියෙන් ම තවත් ධූර කාලයකට නීතමය අවසරය තිබුණා. ජන ප‍්‍රසාදය ද පැවතුණා. එහෙත් බොහෝ අපි‍්‍රකානු නායකයන් මෙන් බලලෝභීව තනතුරේ එල්ලී සිටිනු වෙනුවට ඔහු ගෞරවනීය ලෙස විශ‍්‍රාම ගියා.

ඒ වන විට මුඵ ලෝකයට ම ආදර්ශයක් වන ඉතා ප‍්‍රගතිශීලි නව ව්‍යවස්ථාවක් හා තවත් ජන හිතකාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති රාශියක් ඔහු හඳුන්වා දී තිබුණා. ජනපි‍්‍රයත්වය සඳහා සිල්ලර වැඩ කරනවා වෙනුවට දිගු කාලීනව හිතකර ක‍්‍රමීය වෙනස්කම් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය බහු විධ මත සන්ධානයන් ගොඩ නැගීමත් මැන්ඩෙලාගේ සුවිශෙෂී නායකත්වයේ සළකුණක්.

අඩ සියවසක් තිස්සේ වර්ණභේදවාදී රාජ්‍ය තන්ත‍්‍රයට පෑගී, මිරිකී සිටි බහුතරයක් දකුණු අපි‍්‍රකානුවන් තමන්ගෙන් ඉක්මන් ප‍්‍රතිඵල බලාපොරොත්තු වන බව මැන්ඩෙලා දැන සිටියා. එමෙන්ම ඓතිහාසික අකටයුතුකම් හා අසාධාරණයන් ගැන කල්ගත වී හෝ විභාග කිරීමත්, යුක්තිය ඉටු කිරීමත් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තා.

එසේ වුවත් දකුණු අපි‍්‍රකාව නිජබිම කර ගත්, බුද්ධිමත් හා කාර්යශූර සුදු හම ඇති විශාල පිරිසක් සිටින බවත්, නව දේශය ගොඩ නැංවීමේදී ඔවුන්ගේ අත්දැකීම් හා දක්‍ෂතා නැතිව බැරි බවත් මැන්ඩෙලා දුරදක්නා නුවණින් වටහා ගත්තා.

මුඵ ලෝකයේ ම ප‍්‍රශංසාවට ලක් වූයේ දශක ගණනක් කඵ ජනයා හිංසනයට හා පීඩනයට ලක් කළ සුදු දකුණු අපි‍්‍රකානුවන් (රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක හමුදා හා පොලිස් නිලධාරීන්, වර්ණභෙදවාදය සාධාරණීකරණය කළ අවස්ථාවාදී විද්වතුන්) සියඵ දෙනාට සමාව දීමේ අසාමාන්‍ය කි‍්‍රයාදාමයයි.

රාජ්‍ය බලය හා පාර්ලිමේන්තු බහුතරය යොදා ගෙන සුදු දකුණු අපි‍්‍රකානුවන්ගෙන් පළි ගැනීමට මැන්ඩෙලාට  ඕනෑ තරම් අවකාශ තිබුණා. වර්ණභෙදවාදය යටතේ දැඩි කොන්කිරීම් හා වද දීම්වලට ලක් වූ ANC පාක්‍ෂිකයන් සමහරුන් ද බල කර සිටියේ එබන්දක් කළ යුතු බවයි.

එහෙත් වෛරීය හෝ ද්වේශ සහගත මාර්ගයක් වෙනුවට සමාව දෙමින් පාඩම් උගැනීමේ මාර්ගයට (forgive, but not forget) අමාරුවෙන් වුවත් මේ විශාල රට යොමු කරන්නට මැන්ඩෙලා සමත් වුණා.

ඔහුගේ නායකත්වය යටතේ මේ ආදර්ශවත් මානුෂීය පිළිවෙත් කි‍්‍රයාත්මක කරන්නට තවත් දේශපාලන හා සමාජ නායකයන් ගණනාවක් ඉදිරිපත් වීම තීරණාත්මක ලෙස බලපෑවා. 1984 නොබෙල් සාම ත්‍යාගය ලද, වර්ණභෙදවාදයට ජීවිත කාලය ම එරෙහි වූ කේප්ටවුන්හි ආච්බිෂොප්වරයා ලෙස කටයුතු කළ ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu) ඒ අතර කැපී පෙනුණා. දකුණු අපි‍්‍රකාවේ සත්‍යය සෙවීමේ හා සංහිදියාවේ කොමිසමේ ප‍්‍රධානියා ලෙස 1995-98 කාලයේ ඔහු දැඩි සංයමයකින් යුතුව මෑත ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් විමර්ශනය කළා. (South African Truth and Reconciliation Commission)

මැන්ඩෙලා කිසි දිනක මුණ ගැසී කථා නොකළත් ඔහුගේ කථාව ලොවට කී හා ඔහුගේ අරගලයට සහාය දුන් ලේඛකයන් දෙදෙනකු හදුනා ගන්නට මට අවස්ථාව ලැබුණා. මේ දෙදෙනා ම සමේ වර්ණයෙන් සුදු වීම ඔවුන්ගේ කාර්යයට කිසිසේත් බාධාවක් වූයේ නැහැ.

කි‍්‍රස්ටිනා ස්කොට් (Christina Scott) කැනඩාවේ උපත ලබා පසු කලෙක දකුණු අපි‍්‍රකාවට සංක‍්‍රමණය වූ ලේඛිකාවක් හා රේඩියෝ මාධ්‍යවේදිනියක්. ඇය, මැන්ඩෙලා ගැන චරිතාපදානයක් රචනා කළා. ඔහුගේ ජීවිත කථාව හා නිදහසේ අරගලය ගැන සරල ඉංගී‍්‍රසියෙන් කියැවෙන ඒ කෘතිය සඳහා විවිධ අවස්ථාවල ඇය මැන්ඩෙලා හා ඔහුගේ කාර්ය මණ්ඩලය සමග තොරතුරු ගවේෂණය කළා.

මැන්ඩෙලා හා ANC ගැන 1960 දශකය මැද සරසවි සිසුවකුට සිටින කාලයේ පටන් මහත්  ඕනෑකමින් වාර්තා කරන අනෙක් මිතුරා නම් අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෂෙක්ටර් (Danny Schechter). වර්ණභේදවාදයට එරෙහි අරගලය බටහිර මාධ්‍ය වලින් දිගට ම වාර්තා කිරීමේ දී ඔහු ඉමහත් සේවයක් කර තිබෙනවා. South Africa Now නම් ටෙලිවිෂන් කාලීන පුවත් වැඩසටහනක් වසර තුනක් (1988-1991) සතිපතා නිෂ්පාදනය කළ ඔහු මැන්ඩෙලා ගැන ගවේෂණාත්මක වාර්තා චිත‍්‍රපට පහක් ද නිපදවා තිබෙනවා.

ඩැනී කියන්නේ මැන්ඩෙලා සිය දිගු ජීවිතය පුරා යථාර්ථයේ අභියෝගවලට ප‍්‍රතිචාර දක්වමින් පරිනාමය වූ බවයි. තරුණ වියේ රාජ්‍ය හිංසනයට එරෙහිව ඔහු යටිබිම්ගත විප්ලවවාදියකු වුණා. මර්දනකාරී රාජ්‍යයට එරෙහිව සැළසුම් හා ආක‍්‍රමණ කළා. ඉනික්බිති දේශපාලන සිරකරුවකු ලෙස ඔහු වඩාත් තර්කානුකූලව හා සානුකම්පිත ලෙසින් සිය රටේ ගැඹුරට කිදා බැස ගත් බෙදීම්වලට මුල අවබෝධ කර ගෙන විසඳුම් ගවේෂණය කළා.

ප‍්‍රතිපත්තිගරුක එහෙත් ප‍්‍රායෝගික නායකයකු ලෙස මැන්ඩෙලා විවිධ මතධාරී කැරලිකරුවන් හා කි‍්‍රයාකාරිකයන් ඒකරාශී කළා. ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂා බිඳ වැටෙන්නට නොදී දිගු ගමනක් ගියා. අන්තිමේ දී මුඵ ලෝකයේ ම සම්මානනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියකු හා සදාදරණීය පරමාදර්ශී චරිතයක් බවට පත් වුණා.

ඩැනී කියන හැටියට: ‘‘මැන්ඩෙලා අංග සම්පුර්ණ මිනිසෙකු නොවෙයි. ඔහුගේ චරිතයේ දුර්වල තැන් තිබුණා. ඔහු සමහර විට නාහෙට නාහන කෙනෙක්. යම් අවස්ථාවල ඔහුගේ ස්ථාවරයන්හි පරස්පර විරෝධතා ද තිබුණා. එහෙත් ඔහුගේ අවංක බව හා කැපවීම පිළිබඳ නම් කිසිවකුත් කිසි විටෙක සැක කළේ නැහැ. තම පාක්‍ෂිකයන්ගේ පමණක් නොව විරුද්ධවාදීන්ගේ පවා ගෞරවයට ඔහු ලක් වූයේ මෙසේ විවෘත මනසකින් සත්‍ය ගරුක වීම නිසා යයි මා සිතනවා.’’

මැන්ඩෙලා තමාට වන්දනාමාන කරන වන්දිභට්ට පිරිසක් (cult) බිහි වන්නට ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට තම චින්තනය හා ඉදිරි දැක්ම ප‍්‍රවර්ධනය කරන ලෝක ව්‍යාප්ත පදනමක් (Nelson Mandela Foundation) හා ජාතියේ මතකය සුරකින ආයතනයක් (Nelson Mandela Centre of Memory) බිහි කරන්නට අනුගාමිකයන් හා අනුග‍්‍රාහකයන් යොමු කළා.

වසර 40ක් පමණ තිස්සේ දකුණු අපි‍්‍රකාවේ සමාජයීය හා දේශපාලන ප‍්‍රවණතා විග‍්‍රහ කරන ඩැනී ෂෙක්ටර් කියන්නේ මැන්ඩෙලා ඇතුඵ ANC පරමාදර්ශවාදීන්(idealists) කලක් තිස්සේ සිහින මැවූ සර්ව සාධාරණ හා සමානාත්මතාවය රජයන දකුණු අප‍්‍රිකාවක් තවම බිහි වී නැති බවයි. සුදු ධනපතියන් පමණක් වෙනුවට සුදු, කඵ හා දුඹුරු ධනපතියන්ට දුගී ජනයා සූරාකෑමට මාර්ගය සැළසුවා යයි ඇතැම් දෙනා මැන්ඩෙලාට දොස් කියනවා.

එහෙත් මහා විනාශයක් අභිමුඛව සිටි සුවිසල් රටක් 1994 මැයි මාසයේ බාර ගෙන, වසර 5ක් තුළ එය දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමට පත් කිරීම ඔහුගේ ලොකු ජයග‍්‍රහණයක්.

දකුණු අපි‍්‍රකාව යනු අපි‍්‍රකා මහාද්වීපයේ විශාලතම ආර්ථිකයයි. අද එය දියුණු වන ලෝකයේ ප‍්‍රබල ආර්ථිකයන් අතර ප‍්‍රමුඛයි. එහෙත් දුගී දුප්පත්කම, අපරාධ හා ප‍්‍රචණ්ඩත්වය හා වෙනත් බොහෝ සමාජයීය හා සංවර්ධනාත්මක අභියෝග රැසක් ඔවුන් හමුවේ තිබෙනවා.

මැන්ඩෙලා විශ‍්‍රාම ගියේ ක‍්‍රමීය විපර්යාසයන් සිදු කොට, ආයතනික ව්‍යුහයක් ඇති කිරීමෙන් පසුවයි. ඔහුගෙන් පසුව බලයට පත් වූ නායකයන්ට ඔහුට තරම් පුඵල් චින්තනයක් හා අධිෂ්ඨාන ශක්තියක් නැති වීම නිසා යම් පසුබෑමක් හට ගත් බව ඇත්තයි. එහෙත් වෛරීය දේශපාලනය හා බෙදුම්වාදී අන්ත ජාතිකවාදය වෙනුවට කොයි කවුරුනුත් හවුල් කරගෙන යන දිගු ගමනකට මුල පිරීම ගැන මැන්ඩෙලාට සුදු-කඵ හැම දකුණු අපි‍්‍රකානුවෙක් ම ප‍්‍රණාමය දක්වනවා.

පසුගිය දශකය තුළ මා තුන් වතාවක් දකුණු අප‍්‍රිකාවේ සංචාරය කොට තිබෙනවා. සුදු-කඵ-දුඹුරු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් රැසක් මුණ ගැසී කථා බහ කොට තිබෙනවා. තම රටේ බරපතල සමාජ හා ආර්ථික ප‍්‍රශ්න ඇතත් ඔවුන් හැම දෙනකු ම අනාගතය පිළිබඳ අපේක්‍ෂා සහගතයි.

යටත්විජිතවාදයෙන් හෝ සුඵතර සුදු පාලනයකින් හෝ නිදහස් වූ වෙනත් අපි‍්‍රකානු රටවල් ගිය මගට වඩා සමබර වූත්, තිරසාර වූත් මාර්ගයකට තම රට යොමු කළේ මැන්ඩෙලා බව ඔවුන් පිළි ගන්නවා. මැන්ඩෙලා ඉතා අමාරුවෙන් පීලි මාරු කොට, මහා ව්‍යසනයක් මග හරවා යොමු කළ සහජීවන මාර්ගයේ දිගට ම යාම බහුවාර්ගික, බහු ආගමික රටක් හැටියට දකුණු අපි‍්‍රකාවට ඇති හොඳම විකල්පය බව ඔවුන් දන්නවා.

1995 මැන්ඩෙලා ලියූ ස්වයං චරිතාපදානයට ඔහු දුන් නම Long Walk to Freedom (නිදහසට ගිය දිගු ගමන). ඒ ගමන වර්ණභේදවාදය හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වීමෙන් පමණක් නතර නොවන බව ඔහු නිතර මතක් කළා.

ඔහුගේ එක් ප‍්‍රකට ප‍්‍රකාශයක් වූයේ මෙයයි. ‘‘නිදහස කරා යන කිසිදු ගමනක් ලෙහෙසි වන්නේ නැහැ. අප ප‍්‍රාර්ථනා කරන කඳු මුදුනට ළගා වීමට පෙර මරණයේ සේයාව පතිත වූ බියකරු නිම්න හරහා අපට යළි යළිත් ඇවිදින්නට සිදුවනු ඇති….’’

දකුණු අපි‍්‍රකානුවන්ට තව බොහෝ දිග ගමනක් යන්නට තිබෙනවා.

Waiting for My Own Mandela…not any longer!

President Nelson Mandela at UN General Assembly Oct 1995 - UNDPI Photo by G  Kinch
President Nelson Mandela at UN General Assembly Oct 1995 – UNDPI Photo by G Kinch

Updated: 6 Dec 2013 Nelson Rolihlahla Mandela (1918 – 2013): Thank You and Goodbye!

In a wistful essay titled ‘Memories of War, Dreams of Peace, hurriedly put together in mid May 2009 as Sri Lanka’s long and brutal civil war ended, I wrote: “Our political leaders, in whom we entrust our collective destiny, now face a historic choice… African analogies can go only so far in Asia, but at this juncture, it is tempting to ask: would our leaders now choose the Mandela Road or the Mugabe Road for the journey ahead?”

Four years on, that now reads rather naïve. In hindsight, I should have known better — and not pinned any hopes on political leaders again.

I say “again” because, just once before in my life, I did so: In mid 1994, six months after Nelson Mandela became the first majority elected President of South Africa, we Lankans elected Chandrika Bandaranaike Kumaratunga as our own President, with the largest ever electoral mandate (62% of votes).

Like many others at the time, I expected Chandrika to usher in a more pluralistic, accountable and caring form of government. Little did we know that it would all be squandered after her first 1,000 days…

I touch on this briefly in a 95th birthday tribute to Nelson Mandela, published in Ceylon Today newspaper as well as on Groundviews.org website.

The essay draws on my own memorable experience of listening to Mandela speak at the UN Headquarters in New York, in October 1995, and my three brief visits to post-apartheid South Africa over the past dozen years.

Oh, President Chandrika also came to the UN in New York on that occasion, accompanied by her astute foreign minister, the late Lakshman Kadirgamar — who came closest to being Lanka’s moral and intellectual colossus of global stature.

My South African room mate in New York, Dante Mashile, and I lined up hours ahead of the event to get through the intense UN security. On that chNelson-Mandela-ta-intilly and windswept October morning in uptown Manhattan, we were two bright-eyed, idealistic young men fired by the audacity of hope.

In the end, my own leader didn’t walk her talk. But Dante’s did. That made all the difference for our two nations…

The Rainbow Nation had a troubled birth, and nearly two decades on, it’s still a work in progress. There are huge imperfections, and the reality falls short of aspirations. But without Mandela’s statesmanship, things could have been far worse.

As I note in this new essay:

“I have finally realized the futility of waiting for my own Mandela. There won’t be one, and there’s no time to waste.

“We must carry the flame ourselves — even if it’s only a candle in the wind.”

Read full text on Groundviews.org and join the conversation: Waiting for my Own Mandela…

Waiting for My Own Mandela - Ceylon Today, 18 July 2013
Waiting for My Own Mandela – Ceylon Today, 18 July 2013

සිවුමංසල කොලූගැටයා #115: ගම හා නගරය අතර අතරමං වූ ලක් සමාජය

In this weekend’s Ravaya column (in Sinhala), I ask: are there real cities in Sri Lanka that embody liberal values and distinctive identities that cities – both in the East and West – have. If not, what are our urban areas? Over-built neighbourhoods to which residents have transplanted their village mindsets — including feudalism that is rampant in our villages?

I covered similar ground in an English column last week:
When Worlds Collide #63: Looking for Real Cities in Sri Lanka

Colombo Harbour - image courtesy SriLankan Airlines
Colombo Harbour – image courtesy SriLankan Airlines

‘‘පළමුවෙන් ම කිව යුත්තේ මට වෙනත් බොහෝ දෙනෙකුට මෙන් සුන්දරත්වයෙන් මතක් කළ හැකි, නිවාඩුවකට එසේත් නැති නම් වසරකට වරක් එළැඹෙන සිංහල අලූත් අවුරුද්දට ගොස් පී‍්‍රතියෙන් ගත කළ හැකි ගමක් නැති බව ය. ලස්සන ගහ කොළ, තුරුලතා, ගංගා, විල්, ජලාස මා උපන් ගමෙහි නැත. ‘කොඩි ගහයට’ උපන් මා ‘අමු කොළඹ’යෙකි. දුවිල්ල, ඝෝෂාව, රඵ පරඵ කට හඩ, උස් ගොඩනැගිලි, තට්ටු නිවාස, මුඩුක්කු, කර්මාන්ත ශාලා මේ සියල්ල සහිත නගරයකින් මේ කථාව මා ආරම්භ කළ යුතු ය.’’

ප‍්‍රවීන පත‍්‍ර කලාවේදී ඒ. ඞී. රන්ජිත් කුමාර සූරීන් 1997දී ලියූ ‘කොස් ගස් හන්දිය’ නම් ආත්ම චරිත කථාව ඇරඹෙන්නේ එලෙසයි. ගම ගැන මගේ කථාවත් මීට ටිකක් සමානයි.

කොළඹට බෙහෙවින් තදාසන්න පිටකෝට්ටේ ඉපිද හැදී වැඞී එවක් පටන් ඇතුල් කෝට්ටේ, නාවල හා නුගේගොඩ ආදී අවට නගරවල වෙසෙන මට ද වර්ණනා කරන්නට තරම් ගමක් නැහැ. මගේ වගතුග අසන සමහරුන් දුර බැහැර ගමක් මට නොතිබීම ගැන අනුකම්පාවෙන් කථා කරනවා. එහෙත් ගම පිළිබඳ අතිශයෝක්තියක් හෝ රොමැන්ටික් එල්බ ගැනීමක් නැති මට, නගර ගැන වඩා මැදහත්ව සිතිය හැකියි.

සිංහල දෙමළ අවුරුදු කාලයට කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ජනයා හා වාහන අඩු වනවා. දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලින් පැමිණ පදිංචිව සිටින බොහෝ දෙනා තමන්ගේ ගම්බිම් බලා යාම ඊට හේතුවයි. ටික දිනකට හෝ උපතින් ම නාගරිකයන් වන අපට අපේ නගරය ඉතිරි වනවා.

ගමෙන් කොළඹට ආ මගේ සමහර මිතුරන් සෘජුව හෝ වක‍්‍රව හෝ මා වැන්නවුන් දකින්නේ අක්මුල් නැති (rootless), ‘සංකර’ වූ පාවෙන්නවුන් හැටියටයි. කලක් මා ඔවුන් සමඟ තර්ක කළෙ ඔවුන් තම ගම්වලට ලැදි වන තරමට ම මා මගේ උපන් නගරයට ලැදි වන බවයි.

වසරේ බොහෝ කාලයක් නගරවල වෙසෙමින්, එහෙත් නගරවලට දොස් තබමින් (සැබෑ ලෝකයේ තව දුරටත් ඉතිරිව නැති හෝ සොයා ගන්නට ඉතා අපහසු) සුන්දර ගමකට ආවඩන අයත් සමඟ මා දැන් වාද කරන්නේ නැහැ.

ගමෙහි තවදුරටත් ජීවත් නොවූවත්, ගම් වශයෙන් සැබැවින් ම හැදින්විය හැකි සමාජයන් එන්න එන්න දුර්ලභ වූවත් අපේ බොහෝ දෙනා ගම නැමැති රොමැන්ටික් සංකල්පයේ දැඩි සේ එල්බගෙන සිටිනවා. අතීතකාමය (nostalgia) මෙන් ම කාලානුරූපව වෙනස්වීමට ඇති නොකැමැත්ත ද එයට හේතු විය හැකියි.

19 වන සියවස අගදී රුසියාවේ ප‍්‍රභූ පැළැන්තිය ගැන ලියෝ ටෝල්ස්ටෝයි වරක් කීවේ ‘ඔවුන් සිය රටේදීත් විදේශිකයෝ, පිටරටවලදීත් විදේශිකයෝ’ කියායි. ඉහත ආකාරයේ මගේ මිතුරන් නගරයේදීත් පිටස්තරයෝ හා (තවදුරටත් ගමට ඔවුන් නොගැලපෙන නිසා) ගමේදීත් පිටස්තරයෝ යයි මට විටෙක සිතෙනවා.

නගරයක් යනු කුමක් ද?

උස ගොඩනැගිලි, පුඵල් හා බහුධාවන තීරු ඇති මහා මාර්ග, තට්ටු නිවාස, වෙනත් යටිතල පහසුකම්, කාර්යාල සංකීර්ණ, සාප්පු සංකීර්ණ ආදිය ඒකරාශි වූ පමණටම යම් තැනක් නගරයක් බවට පත් වනවා ද? භෞතික සාධකවලට අමතරව චින්තන මට්ටමේ නාගරික අනන්‍යතාවයක් ඇත් ද?

මේ ප‍්‍රශ්න අධිවේගී ලෙස නාගරීකරණයට ලක්වන බොහෝ රටවල විවාදයට ලක්ව තිබෙනවා. ලෝක මට්ටමින් බැලූවහොත් මේ වන විට මානව සංහතියෙන් හරි අඩකටත් ටිකක් වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ නගරවලයි.

නගර බිහි වීම ශිෂ්ටාචාර පරිනාමයේ එක් අවස්ථාවක්. එයට උදාහරණ මොහන්ජොදාරෝ, ඇතන්ස්, රෝමය මෙන් ම සහස‍්‍රයක් මෙරට රාජධානියව පැවැති අනුරාධපුරයත් දැක්විය හැකියි. කලාකරුවන්, චින්තකයන්, විද්‍යාඥයන් බොහෝ විට බිහි වන්නේ නගරවල සමාජ-ආර්ථික තෝතැන්න හරහා.

මේ නිසා නගර යනු හුදෙක් ‘ගම්මාන මත පරපෝෂිත වූ, සංකර මිනිසුන් වෙසෙන, මනුසත් බවෙහි ශුෂ්ක භූමි’ ලෙස සමහර ග‍්‍රාමවාදීන් කරන ලිහිල් විග‍්‍රහය පිළි ගන්නට අමාරුයි.

එහෙත් අපේ රටේ සැබැවින් ම නගර ලෙස ශිෂ්ටාචාර සම්ප‍්‍රදායට අනුගත වන ප‍්‍රපංචයන් අද දවසේ තිබේ ද? නොඑසේ නම් ඇත්තේ නාගරික ප‍්‍රදේශ පමණක් ද? අනුරාධපුරයෙන් පසු හරිහමන් එක නගරයක්වත් මෙරට බිහිවී ඇත් ද? නැතිනම් ඒ ඇයි?

ණයට ගත් විදේශ මුදල් විශාල ලෙස වැය කරමින් අධිධාරිතාවකින් යුතු යටිතල පහසුකම් ගොඩනැගු පමණට පසුගාමී වූ ස්ථානයක් හා ප‍්‍රජාවක් ක්ෂණික නගරයක් බවට පත් කළ හැකි ද? මේ ප‍්‍රශ්න අප පුඵල් ලෙස සංවාදයට ලක් කළ යුතුයි.

Manu Joseph
Manu Joseph
2013 ජනවාරියේ මනු ජෝසෆ් (Manu Joseph) නම් ඉන්දියානු පත‍්‍ර කලාවේදියා සහ ගත්කතුවරයා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට ලිපියක් ලියමින් තර්ක කළේ සීඝ‍්‍රයෙන් දියුණු වන නූතන ඉන්දියාවේ වචනයේ පරිසමාප්තයෙන් නගරයක් යයි කිව හැකි එකක්වත් බිහිව නැති බවයි.

පෙරඅපර දෙදිග ම නූතන සමාජයන් නගර හැටියට හදුනා ගන්නා ප‍්‍රපංචයේ මූලික ලක්‍ෂණ ගෙන හැර බැලූ විට එබදු ගතිසොබා එක් තැන් කරන එකදු නගරයක් වත් ඉන්දියාවේ නැතැයි ද ඒ වෙනුවට ඇත්තේ ග‍්‍රාමීය විසමතා හා අගතීන් ජනාකීර්ණ නාගරික ප‍්‍රදේශවලට ගෙඩිපිටින් ම බද්ධ කිරීම පමණක් යයි ද ඔහු කියා සිටියා.

2011 ඉන්දීය ජන සංගණනයට අනුව මිලියනකට හෝ වැඩි ජන සංඛ්‍යාවක් වෙසෙන, පරිපාලනමය වශයෙන් නාගරික යයි හදුන්වන ප‍්‍රදේශ 46ක් ඉන්දියාව පුරා විසිර තිබෙනවා. (සංසන්දනය සඳහා කොළඹ නගරයේ පදිංචිකරුවන් සංඛ්‍යාව ද මිලියනයක් පමණ වනවා.) මේ අතර අතිවිශාල නගර (Megacities)ලෙස වර්තමානයේ හදුන්වන, ජනගහනය මිලියන් 10ට වඩා වැඩි නාගරික ප‍්‍රදේශ තුනක් ද ඉන්දියාවේ තිබෙනවා (මුම්බායි, දිල්ලිය, කොල්කතාව).

මෙසේ තිබියදීත් මනු ජෝසෆ් ප‍්‍රබලව තර්ක කරන්නේ සංකල්පමය වශයෙන් නගරයක තිබිය යුතු විවෘත මානසිකත්වය (ලිබරල්වාදී බව) ස්වාධීන මතධාරිත්වය හා ගතානුගතික වාර්ගික බෙදීම් හා ලේබල් වලින් නිදහස් වී සිතීමේ හා කි‍්‍රයා කිරීමේ හැකියාව, නාගරික ප‍්‍රදේශවල වෙසෙන උගත්-නූගත්, ධනවත්-දිළිදු, බාල-මහලූ බොහෝ ඉන්දියානුවන්ට නොමැති බවයි.

මේ නිසා නාගරික පහසුකම් ඇති ස්ථානවල පදිංචි වූවත් ඔවුන් තවමත් සිතන්නේ, කථා කරන්නේ හා තීරණ ගන්නේ ගමේදී කළ කී විදියට ම බවත්, මේ නිසා ඉන්දියාවේ සැබෑ නගර බිහිව නැති බවත් ඔහු කියනවා.

ඉතින් ගමේ විදියට සිතීමේ ඇති වරද කුමක් ද?

නගරයක ඉපිද උසස් මධ්‍යම පාංතික පසුබිමක හැදුණු වැඩුණු මහත්මා ගාන්ධි, ඉන්දියානු ගම ගැන බෙහෙවින් වර්ණනාත්මකව කථා කළ අයෙක්. ‘ඉන්දියාවේ ආත්මය හමුවන්නේ ගම්වලයි.’ ඔහු කියා තිබෙනවා.

මෙය සැබෑ වුවත්, සම්පුර්ණ සත්‍යය නොවෙයි. ‘‘ඉන්දියානු ගම, සමහරුන් සිතන තරම් සරල හෝ පිවිතුරු හෝ නැහැ. ඉන්දියාවේ සමාජ විසමතා හා ප‍්‍රශ්න බොහොමයක් පැන නගින්නේ ගමෙන්. ගමේ යථාර්ථය හොදින් ම දන්නේ ගම්වල ජීවත්වන කුලවතුන් හෝ ධනවතුන් නොව පීඩිත ජනතාවයි.’’ ජෝසෆ් කියනවා.

ඉන්දියානු ගම ගැන යථාර්ථවාදීව විග‍්‍රහ කළ අයෙක් නම් ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූ ආචාර්ය බී. ආර්. අම්බෙඞ්කාර්. මීට 60 වසරකට පෙර ඔහු කීවේ මෙයයි: ‘‘ඉන්දියානු උගතුන් හා බුද්ධිමතුන් ගම නිර්මල හා පූජනීය දෙයක් ලෙස හුවා දක්වන්නට හරි කැමතියි. එහෙත් ඔවුන් නොදකින බිහිසුනු යථාර්ථයක් හැම ගමක ම තිබෙනවා. ඉන්දියානු ගම යනු පටු මානසිකත්වයේ, වර්ගවාදී බවෙහි, වැඩවසම් ක‍්‍රමයේ හා නොදන්නාකමේ ඇලී ගැලී සිටින පසුගාමී සමාජයක්.’’

Mahatma Gandhi (L) and Dr B R Ambedkar
Mahatma Gandhi (L) and Dr B R Ambedkar

එදා මෙදා තුර නිදහස් ඉන්දියාවේ ආර්ථික හා සමාජ ප‍්‍රගතිය නිසා මේ යථාර්ථය එතරම් වෙනස් වී නැතැයි ද, ගම්වල තිබූ සමාජ විසමතා නාගරික ප‍්‍රදේශවලටත් ප‍්‍රතිරෝපණය කිරීම නම් හොඳ හැටි සිදුව ඇතැයි ද ජෝසෆ් කියනවා.

21 වන සියවසේ ඉන්දියාවේ නවීකරණය පිළිබඳ සංවාදයේ මූලික සාධකයක් වී ඇත්තේ පීඩිත හා ගතානුගතික ගමේ සංකල්පයේ අන්ධ ලෙස එල්බගත් පිරිස් සැබෑ නගර බිහිවීමට එරෙහිව මතවාදීව, ප‍්‍රතිපත්තිමය හා භෞතික ලෙසින් කි‍්‍රයා කිරීමයි. ඔහු කියන හැටියට (සහ මාත් මුඵමනින් එකඟ වන පරිදි) නාගරික ප‍්‍රදේශ යනු සැබෑ නගර නොවෙයි!

මනු ජෝසෆ් මේ ලිපිය ලියන්නට ආසන්න ම හේතුව වූයේ 2012 දෙසැම්බර් 16 වනදා නවදිල්ලියේ ගමන් කරන බස් රථයක් තුළදී මිනිසුන් හය දෙනෙකු විසින් තරුණියක සමූහ දුෂණය කිරීමයි. මේ ප‍්‍රවෘත්තියත් සමඟ ස්තී‍්‍ර දුෂණය හා හිංසනයට පමණක් නොව නගරවල ආරක්‍ෂාව, නීතිය හා සාමය ආදි කරුණු ගැන ප‍්‍රබල ජනමතයක් ඉන්දියාව පුරාම මතු වුණා.

මෙබදු අපරාධවලට නූතනත්වය හා ‘සංකර වූ කාන්තාවන්’ ද වගකිව යුතු බවට ප‍්‍රතිමතයක් ද ඇතැම් ගතානුගතික පිරිස් මතු කළා. මේ ප‍්‍රතිමතය නියෝජනය කළේ පසුගාමී ග‍්‍රාමීය මානසිකත්වයයි.

සාම්ප‍්‍රදායික ඉන්දියානු ගමේ පීඩිතයන් අතර වැඩිපුර ම පීඩිත කාන්තාවන් බවත්, ගැමි මානසිකත්වය නගරවලට එලෙසින් ම ඔසවා ගෙන ආ අය කාන්තා හිංසනයේ වරද කාන්තාවන් මත ම පටවන්නට තැත් කිරීම පුදුමයක් නොවන බවත් ජෝසෆ් කියනවා.

‘‘මෙබදු අපරාධ ලෝකයේ ඕනෑ ම රටක, ඕනෑ ම නගරයක සිදු විය හැකියි. එහෙත් මේ සිදුවීමට පසු ඉන්දියාව සිසාරා මතුව ආ මධ්‍යම පාන්තික ආවේගයන් රජයට හා බලධාරීන්ට කෙලින් ම චෝදනා කළේ අපේ නගර එකක්වත් කාන්තාවන්ට ආරක්‍ෂාකාරී නැති බවයි.’’

ජෝසෆ් ඇතුඵ වෙනත් ප‍්‍රබුද්ධ ලේඛකයන් හා බුද්ධිමතුන් මෙය දකින්නේ ඉන්දියාව අධිවේගීව නවීකරණය වීමේදී මතු වන සංකල්පමය පරස්පරයක් හා අභියෝගයක් හැටියට. අධිවේගී මාර්ග, පාලම්, තට්ටු නිවාස, හෝටල් හා සාප්පු සංකීර්ණ ගොඩ නඟන වේගයට මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් කරන්නට කිසිදු රජයකට බැහැ.

ශී‍්‍ර ලංකාවේ නාගරීකරණය ඉන්දියාවේ පරිමාණයට හා වේගයට වඩා අඩු වුවත් මේ පරස්පරයන් හා මත ගැටුම් අපටත් අදාලයි. එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත ඉවසා දරා ගැනීමේ හා සංවාද කිරීමේ හැකියාවෙන් නම් ශී‍්‍ර ලංකාව සිටින්නේ ඉන්දියාවට වඩා බොහෝ පිටුපසින්.

සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)
Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi

සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

Map of Pakistan, courtesy Lonely Planet
In this week’s Ravaya column (in Sinhala), I take a look at rampant conspiracy theories in Pakistan, arguably the most conspiracy-happy country in South Asia. This is partly inspired by my recent visit to Karachi, a strong contender for the title ‘conspiracy capital of the world’.

From weather extremes to food shortages, and from political violence to maternal health, every aspect of life in Pakistan is linked to a ‘foreign conspiracy’ supposedly meant to undermine the nation.

Some of these tall tales provide harmless amusement, while others have dire consequences for public health and safety. I cite two examples: resistance to polio vaccination, and misplaced and widespread fear of iodised salt.

‘හොඳ කුමන්ත‍්‍රණ කථාවකට අපි කවුරුත් කැමතියි!’

මගේ මාධ්‍ය මිතුරකු ළඟදී මට මෙසේ කීවේ මෑතක පටන් අපේ රටේ වඩාත් ප‍්‍රබලව පැතිර යන නොයෙක් අභව්‍ය හා මායාරූපි (ෆැන්ටසි) කුමන්ත‍්‍රණ කථා ගෙඩි පිටින් විශ්වාස කරන අය සිටින බව මා පෙන්වා දුන් විටයි.

සමහරුන් කියන හැටියට අපේ දුපතට වින කරන්නට, රජය හා ජන සමාජය අස්ථාවර කරන්නට විජාතික දේශපාලනික හා වාණිජ බලවේග රාශියක් පෙළ ගැසී සිටිනවාලූ. මෙබඳු කථාවලින් ජන සමාජයක මානසික තත්ත්වය ගැන දළ හැඟීමක් ලද හැකියි.

එහෙත් අපේ කුමන්ත‍්‍රණ දුපතටත් වඩා බොහෝ සෙයින් මේ ‘කලාව’ ප‍්‍රගුණ කළ රටක් දකුණු ආසියාවේ තිබෙනවා. ඒ තමයි පාකිස්ථානය. මිලියන් 180ක් පමණ ජනගහනයක් වෙසෙන, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වූ මේ රට තරම් කුමන්ත‍්‍රණවාදී කථා බිහි කරන, පතුරුවන හා අදහන තවත් රටක් මට නම් හමු වී නැහැ.

පසුගිය සැප්තැම්බරයේ මා කරච්චි නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ පාකිස්ථානයේ කුමන්ත‍්‍රණවාදී මානසිකත්වය නෙතඟ බැල්මක් ලැබුණා.මගතොටේ දී මෙන් ම සරසවි හා විද්වත් සභාවලත් අතිශයින් නිර්මාණශීලි වූ එහෙත් කිසිදු පදනමකින් තොර භීතිකා හා කුමන්ත‍්‍රණ කථා සංසරණය වන හැටි මා දුටුවා.

එහිදී තර්කානුකූල වීම, සාක්ෂි සොයා යාම හෝ වෙනත් බුද්ධිගෝචර ක‍්‍රියාදාමයක් වෙනුවට ලිහිල් හා ආවේගශීලි පදනමක් මත බොහෝ ජනමාධ්‍ය, වෘත්තිකයන්, දේශපාලකයන් හා අනෙකුත් ජනමතය හසුරුවන්නන් ක‍්‍රියා කරනවා.

එරට දේශපාලකයන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ හා මැතිවරණ පොරොන්දු ආදිය ගැන කිසිදු විශ්වාසයක් නොතබන උගත් නාගරික ජනයා පවා රටට හා ජාතියට එරෙහි බහුවිධ කුමන්ත‍්‍රණ තිබේ යැයි තරයේ අදහනවා.

සරල එදිනෙදා සිදුවීමක් වූවත් පැය හෝ දින කිහිපයක් ඇතුළත ලෙහෙසියෙන් ම විදේශික බලවේගයක හෝ අදිසි හස්තයක බලපෑමක් හෝ බවට පත් කර ගනු ලබනවා. කුමන්ත‍්‍රණයක කොටසක් ලෙස විග‍්‍රහ කැරෙනවා. එය පසුපස සිටින විජාතික බලවේගය ලෙස වැඩිපුර ම නම් කරනු ලබන්නේ අමෙරිකාව හා ඉන්දියාවයි. මීට අමතරව ඉස්ලාම් විරෝධී යැයි සලකා ඊශ‍්‍රාලයත්, පොදුවේ බටහිර රටවල් මෙන් ම ගෝලීය මට්ටමෙන් වෙළඳාමේ යෙදෙන බහුජාතික සමාගම් ද නිතර කුමන්ත‍්‍රණ චෝදනා ලබනවා.

සොබා දහමේ ක‍්‍රියාවන් පවා මේ කුමන්ත‍්‍රණවාදී කථාවලට හසු වනවා. වෙලාවට වැස්ස නොලැබුණොත් එය පාකිස්ථානය ‘මට්ටු කරන්නට’ දියුණු රටක් කළ ‘කාලගුණ පාඩමක්’. එකවර බොහෝ වැසි ලැබී ගංවතුර ඇති වූ විට එයත් විජාතික ‘කාලගුණ ප‍්‍රහාරයක්’.

මේ කුමන්ත‍්‍රණවාදී කථා එරට ප‍්‍රබල ම ජනමාධ්‍ය වන ටෙලිවිෂන් පුවත් නාලිකාවලට Breaking News සඳහා නිරතුරුව මාතෘකා සපයනවා. එබඳු වාර්තාකරණයේදී මෙබඳු කථා බරපතල ලෙස කියන්නටත් වාද විවාද කරන්නටත් මුකරි බව තිබෙන අන්තවාදී විද්වතුන් (ටෙලි-පණ්ඩිතයන්) රොත්තක් ද බිහිව සිටිනවා.

පාකිස්ථානු සමාජයේ සැබෑ ප‍්‍රශ්න හා විසමතා ගැන නොබියව වාර්තා කරන පුවත් නාලිකා අතර (2012 ඔක් 21දා කොලම බලන්න) මෙබඳු කට කථා, ප‍්‍රබන්ධ කථා හා ප‍්‍රලාප බෙදා හරින නාලිකා ද තිබෙනවා. දුෂමාන ආරංචි තහවුරු කිරීමකින් තොරව කාලීන තොරතුරු ලෙස ප‍්‍රචාරය කිරීම නීතිවිරෝධි නොවූවත් සදාචාර විරෝධි හා සමාජ විරෝධි ක‍්‍රියාවක්. මෙය නියාමනය කරන්නට පාකිස්ථානු රජය ඍජු උත්සාහයක් නොගන්නේ මාධ්‍ය නිදහසට හරස් වීමේ චෝදනාව මතු වන නිසා.

පාකිස්ථානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට විශාල නිදහසක් තිබෙනවා. එහෙත් ඒ නිදහස තුළ වගකීමකින් යුතුව ක‍්‍රියා කරන්නේ සමහර මාධ්‍ය පමණ යි. විශේෂයෙන් ම දේශිය බසින් වාර්තාකරණයේ යෙදෙන නාලිකා සමහරක් කෙටිකාලීන ජනප‍්‍රියත්වය සඳහා කුමන්ත‍්‍රණ රටට බෙදීම සරුවට කරනවා!

පාකිස්ථානයේ සාක්ෂරතාව අඩුයි. පිරිමි අකුරු කියවීමේ හැකියාව 70%යි. කාන්තාවන් අතර එය 46%යි. අධ්‍යාපන මට්ටම් සීමිත වීම නිසාත්, දැඩි වැඩවසම්වාදී සමාජයක් නිසාත්, එරට බොහෝ දෙනකු විචාරශීලි වනවා වෙනුවට ආවේගශීලි වීම දැකිය හැකියි. දැඩි ලෙස ආගම්වාදී වීම පාකිස්ථානු සමාජයේ තවත් ලක්ෂණයක්. එරට ජනමතය හැසිරවීමේ විශාල බලයක් පූජකයන්ට තියෙනවා.

එරට නිර්මාතෘ මොහමඞ් අලි ජින්නා පූජක බලය සීමා කොට රාජ්‍යකරණයේ යෙදුණත්, ඉන්පසුව බලයට පත් වූ (හෝ බලය අල්ලා ගත්) නායකයෝ කෙටි කාලීන වාසි තකා සමාජ සංස්ථා දැඩි ලෙස ඉස්ලාමීයකරණය වන්නට ඉඩ දුන්නා. සියලූ දෙනා නොවූවත් බොහෝ ආගමික නායකයන් රටට හා සමාජයට එරෙහිව බහුවිධ බලවේග පෙළ ගැසී ඇති බවට නිතර මොර ගානවා. කුමන්ත‍්‍රණ අදහන පසුබිම සකස් වන්නේ එලෙසයි.

සමහරක් කුමන්ත‍්‍රණ කථා හුදු විනෝදාස්වාදය සපයන අතර, ඉතිරි ඒවා ජනයා මුලා කරමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට, සෞඛ්‍යයට හා යහ පුරුදුවලට හරස් වනවා. මේ දෙවැනි කාණ්ඩයට අයත් දැඩි සේ ප‍්‍රචලිත වූ කුමන්ත‍්‍රණවාදයක් පෝලියෝ ප‍්‍රතිශක්තීකරණයට සම්බන්ධයි.

Polio vaccinaation in Pakistan - AFP Photo
Polio vaccinaation in Pakistan – AFP Photo

මුළු ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමේ දැවැන්ත ප‍්‍රයත්නයක අවසන් අදියරට පිවිස සිටින මේ අවස්ථාවේ පෝලියෝ හමු වන රටවල් තුනක් ඉතිරිව තිබෙනවා. එනම් නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය. පාකිස්ථානයේ 2012 දී වාර්තාගත පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 58යි. http://www.polioeradication.org

මේ මට්ටමට පෝලියෝ පාලනය කර ගත්තේ දශක ගණනාවක සිට පාකිස්ථානු රාජ්‍ය සෞඛ්‍ය සේවය හා ස්වේච්ඡ සංවිධාන විසින් කරගෙන ආ ප‍්‍රතිශක්තීකරණය නිසා. එහෙත් සමහර දෙමවුපියන් තම දරුවන්ට පෝලියෝ එන්නත දීම ප‍්‍රතිකේෂ්ප කරනවා. එයට හේතුව පෝලියෝ එන්නත “ඉස්ලාම් ජාතිය වඳ බවට පත් කරන්නට බටහිර රටවලින් ක‍්‍රියාත්මක කුමන්ත‍්‍රණයක්” යැයි රාවයක් පැතිරීම.

කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නැති මේ කටකථාව මත එල්බ ගෙන තම දරුවන් භයානක පෝලියෝවට ගොදුරු වන්නට ඉඩ දෙන තරමට සමහර දෙමවුපියන් එය අදහනවා!

මහජන සෞඛ්‍යයට විශාල වශයෙන් බලපාන තවත් පාකිස්ථානු මිථ්‍යාවක් අයඞීන් මිශ‍්‍රිත ලූණු වටා ගෙතී තිබෙනවා.

අයඞීන් අපේ ශරීර ක‍්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් ස‍්‍රාවය කරන හෝමෝන දෙකක් නිපදවීම සඳහා සිරුරට කුඩා පරිමාවලින් අයඞීන් ඕනෑ. මුහුදු මාළු මේ ක්ෂුද්‍ර පෝෂකය ස්වාභාවිකව ලැබෙන හොඳ ප‍්‍රභවයක්. එහෙත් මුහුදු මාළු ලෙහෙසියෙන් හමු නොවන දුර බැහැර ගොඩබිම ප‍්‍රදේශවල වෙසෙන ජනයාට අයඞීන් ඌණතාව හට ගත හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට ලෝක ජනගහනය බිලියන් හතෙන් බිලියන් 2ක් අයඞීන් ඌණතා අන්තරායන්ට මුහුණ දෙනවා. ළමයින් වැඩෙන කාලයේ හරිහැටි අයඞීන් නොලැබීම නිසා ඔවුන් මන්දබුද්ධික විය හැකියි. අයඞීන් ඌණතාව නිසා හට ගන්නා අනෙක් ආබාධය නම් ගලගණ්ඩයයි.

සුළු අමතර වියදමක් දරා විශාල ජන සංඛ්‍යාවකට ලෙහෙසියෙන් අයඞීන් ලබා දීමේ උපක‍්‍රමය ලෙස ලොව පුරා මහජන සෞඛ්‍ය විශේෂඥයන් දැන් පිළි ගන්නේ ලූණුවලට අයඞීන් ස්වල්පයක් එකතු කිරීම. අමෙරිකාවේ අයඞීන් මිශ‍්‍රිත ලූණු අලෙවිය ඇරඹුණේ 1946දී. ගෙවී ගිය දශක කිහිපය තුළ බොහෝ රටවල මෙය හඳුන්වා දී තිබෙනවා.

පාකිස්ථානය අයඞීන් ඌණතාව බහුල රටක්. එරට ජනගහනයෙන් භාගයකට අයඞීන් හරිහැටි ලැබෙන්නේ නැහැ. මේ නිසා දිගුකාලීනව හට ගන්නා දැඩි අලස බව හා අඩු බුද්ධි මට්ටම පාකිස්ථානයේ සමාජ ප‍්‍රගතියට හා ඵලදායීතාවට අහිතකරයි.

එහෙත් “අයිඞීන් මිශ‍්‍රිත ලූණු කන්න එපා!” පාකිස්ථානයේ අන්තවාදීන් ජනතාවට අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ අයඞීන් එකතු කරන්නේ මුස්ලිම් ජනයා අතර වඳබව ඇති කිරීමට බටහිර කුමන්ත‍්‍රණයක් ලෙස බවයි!

කිසිදු අතුරු ආබාධයක් ඇති නොකරන ලොව පිළිගත් මෙබඳු සරල සෞඛ්‍ය පියවරකට පවා පාකිස්ථානයේ අස්ථාන භීතියක් හා ප‍්‍රතිරෝධයක් මතුවීම සෞඛ්‍ය සේවයකයන් කම්පාවට පත් කරනවා. සෞඛ්‍ය බලධාරීන් හා වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, අයඞීන් මිශ‍්‍රිත ලූණු භාවිතය නතර කරන්නට සැළකිය යුතු ජන කොටසක් පෙළඹී සිටිනවා. මෙය සමහර උගත් මධ්‍යම පාන්තික පවුල් අතරත් හමුවන බියකරු ප‍්‍රවණතාවක්.

මේ අස්ථාන භීතියට පසුබිම කුමක් ද?

පාකිස්ථානයේ අධික ජනගහන වර්ධනය දිගු කාලීනව රටට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම් ගැන 1995දී විද්‍යාත්මකව තක්සේරු කළ එරට රාජ්‍ය නිලධාරීන්, මාතෘ හා ප‍්‍රජනන සෞඛ්‍යය ගැන ජනයා දැනුවත් කිරීමට විශාල පරිමානයේ සන්නිවේදන දියත් කළා. රජයට අයත් PTV ටෙලිවිෂන් නාලිකාව හරහා කාන්තාවන්ට පෝෂණ හා සෞඛ්‍ය දැනුම සරලව කියා දුන්නා. අයඞීන් නිතිපතා ආහාරයේ තිබීම වැදගත් බව ද කියැවුණා.

එම දර්ශනය අවසානයේ එය නිර්මාණය කළේ රජයේ ප‍්‍රාථමික සෞඛ්‍යය හා පවුල් සැළසුම් පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Primary Health and Family Planning) බව කියැවෙන නාමාවලියක් පෙන්වනු ලැබුවා. අයඞීන් ගැන කථා කොට මොහොතකට පසුව මේ දෙපාර්තමේන්තු නම දිස්වීම නිසා ටික දෙනකු මේ දෙක අනිසි ලෙස සම්බන්ධ කරමින් කුමන්ත‍්‍රණවාදී තර්කයක් මතු කළා.

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy - Network for Consumer Protection)
Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy – Network for Consumer Protection)

පවුල් සෞඛ්‍යය යනු පුළුල් විෂයයක්. ළමා හා මාතෘ පෝෂණය, ළමා රෝගවලින් ආරක්ෂා වීම ආදී සංකල්ප සමඟ පවුලක දරුවන් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම හා ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍යය ගැන විශේෂ අවධානය යොමු කිරීම ද එයට ඇතුළත්.

එහෙත් කුමන්ත‍්‍රණවාදියෝ එය පවුල් සෞඛ්‍යය පවුල් සැලසුම් කිරීමට පමණක් ලඝු කොට “ජාතිය කප්පාදු කරන්නට රජය හා විජාතිකයන් ගන්නා උත්සාහයක්” යැයි බොරු බියක් පතුරවනවා. ජන මනස මෙසේ දුෂණය කිරීම හරහා කාන්තාවන් හා දරුවන්ගේ ජීවිතවලට කරන හානිය ගැන කිසිවකු සිතන්නේ නැහැ!

පාකිස්ථානයේ කුමන්ත‍්‍රණ මේනියාව යථාර්ථයෙන් හා වගකීම්වලින් අත්මිදීමේ බොළඳ උත්සාහයක් යැයි එරට ප‍්‍රමුඛ පෙලේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක අධ්‍යක්ෂවරියක් මට කියා සිටියා. “මේ විකාර කථා වැඩිපුර ම අදහන්නෙත් පතුරු වන්නෙත් පිරිමි උදවිය. ඔවුන් කැමතියි කථාන්තර කියමින් එදිනෙදා කළ යුතු දේ කල් දමමින් වගකීම්වලට මුහුණ නොදී සිටින්න. මේක දැන් වසංගතයක් වෙලා!” ඇය කීවා.

ප්‍රෞඪ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, උගත් මධ්‍යම පාන්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටින, අපට වඩා මාධ්‍ය නිදහස තිබෙන පාකිස්ථානයේ මෙබඳු පසුගාමී මානසිකත්වයක් දැඩි ලෙස මුල් බැස ගත්තේ කෙසේ ද?

අනේ අපේ රටේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ! අපි සාක්ෂරතාවයෙන් හා අධ්‍යාපනික මට්ටම්වලින් ඉහළ, ලෙහෙසියෙන් රවටන්නට බැරි මිනිසුන් වෙසෙන දේශයක්…

සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

As Sri Lanka marks 65th anniversary of independence this weekend, I dedicate my Ravaya column to the memory the brilliant Lankan engineer, designer and artist H R Premaratne who was closely associated with preparation for the historic ceremony held in Colombo.

English article on the same topic published in Ceylon Today, 3 Feb 2013.

First Ceylon Independence ceremony - Colombo, 10 Feb 1948, painted by H R Premaratne
First Ceylon Independence ceremony – Colombo, 10 Feb 1948, painted by H R Premaratne

ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් දේශපාලන නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වනදා. එය සැබෑ නිදහසක් ද යන්න ගැන තවමත් විවාද පවතින නමුත්, එම නෛතික තත්ත්වය ලබා ගැනීම මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක්.

එදා මුල් ම නිදහස් උත්සවය පවත්වනු ලැබුවේ අද නිදහස් ස්මාරකය පිහිටා තිබෙන කොළඹ ටොරින්ටන් චතුරස‍්‍රයේ (දැන් නිදහස් චතුරස‍්‍රය). 1948 පෙබරවාරි 10දා බි‍්‍රතාන්‍ය කිරුළ නියෝජනය කරමින් මෙහි පැමිණි ග්ලොස්ටර් ආදිපාදවරයා මෙරට රජයේ ප‍්‍රධානීන්ට අදාළ ලියකියවිලි භාර දීමේ අවස්ථාවට හරිහමන් රැස්වීම් ශාලාවක් තිබුනේ නැහැ. නිදහස ලැබීම ස්ථිර වී ගෙවී ගිය මාස කිහිපය තුළ එබඳු ලොකු ගොඩනැගිල්ලක් තැනීමට සෑහෙන කාලයක් ලැබුනේ ද නැහැ.

එහෙත් එබන්දක් නොපෙනෙන පරිදි 1948 පෙබරවාරි 10 උත්සවය මහත් හරසරින් පවත්වනු ලැබුවා. එහි පසුබිම් කථාව මෙරට සිටී ප‍්‍රවීනතම පුවත්පත් කතුවරයකු වූ ඞී බී ධනපාල සූරීන් සිය ‘Among Those Present’ ග‍්‍රන්ථයේ සැකෙවින් වාර්තා කරන්නේ මෙහෙමයි.

‘‘බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ටොරින්ටන් චතුරස‍්‍රයේ ගොඩ නඟා තිබූ අතිවිශාල හා අවලස්සන වූ ගුවන්යානා නිවහනක් (Hanger) එච් ආර් පේ‍්‍රමරත්න විසින් විසිතුරු උත්සව ශාලාවක් බවට හරවා තිබුණා. උඩරට රැළි පාලම් මඟින් දේදුන්නේ වර්ණ ළෙල දුන්නේ මේ දිවයිනේ මෙතෙක් දැක ඇති ඉතා ම චිත්තාකර්ෂණීය වර්ණ සංයෝජනය බවට එය පත් කරමින්. හැම කුළුණකින් ම අපේ සාම්ප‍්‍රදායික කලා උරුමය පිළිබිඹු කළා. මේ සියල්ල නූතන විශ්වකර්මයකුගේ හපන්කමක් වගෙයි.’’

Ceylon Independence 1948: Newsreel coverage by British Pathe:

CEYLON INDEPENDENCE

කවුද මේ පේ‍්‍රමරත්න?

හපුගොඩ රන්කොත්ගේ පේ‍්‍රමරත්න සූරීන් විසි වන සියවසේ ශ‍්‍රී ලංකාවේ බිහි වූ අතිදක්ෂ හා විචිත‍්‍ර චරිතයක්. විද්‍යා හා කලා ක්ෂේත‍්‍ර දෙකෙහි ම කුසලතා තිබූ, රාජ්‍ය නිලධාරියකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු ලෙස දශක ගණනක් මෙරටට සේවය කළ විද්වතෙක්.

මහනුවර උපත ලබා, ධර්මරාජ හා නාලන්දා විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ පේ‍්‍රමරත්න, 1931දී බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ සරසවියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා B Sc උපාධියක් ලබා ගත්තා. සියරට පැමිණීමෙන් පසු ටික කලක් ලංකා තාක්ෂණික විද්‍යාලයේ (ටෙක්නිකල් කොලේජ්) ඉගැන් වූ ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳුණා.

H R Premaratne
H R Premaratne
එහෙත් එවකට එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියකුව සිටි උද්දච්ච ඉංග‍්‍රීසි ජාතිකයකු යටතේ වැඩ කිරීමට නොකැමතිව, 1935දී ඊට වඩා අඩු තනතුරකට රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට ගියා. Public Works Department (PWD) යනුවෙන් ප‍්‍රකට වූ එමඟින් සියලූ රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තු කිරීම මෙන් ම මුල් යුගයේ ගුවන් තොටුපළ වැනි පහසුකම් පවත්වා ගෙන යාම ද සිදු කළා.

මේ දෙපාර්තමේන්තුවේ වසර 30ක් සේවය කළ පේ‍්‍රමරත්න 1957 – 1965 කාලයේ එහි ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළා. කලක් එම විෂය භාර අමාත්‍යවරයා වූ (පසුව අගමැති) ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ඇතුළු ඇමතිවරුන් ගණනාවක් සමඟ වැඩ කළ පේ‍්‍රමරත්න ඕනෑ ම අභියෝගයක් භාර දිය හැකි, කාර්යශූර හා නිර්මාණශීලි රාජ්‍ය නිලධාරියකු ලෙස නමක් දිනා සිටියා.

නිදහස් උළෙල පවත්වන්නට හරිහැටි ගොඩනැගිල්ලක් නැති විට එයට හොඳ විකල්පයක් සොයා දීමේ අභියෝගය එයින් එකක්. වානේ හා යකඩ තහඩුවලින් තනා තිබූ ගුවන්යානා නිවහන ඊට බෙහෙවින් ම වෙනස් වූත්, පියකරු වූත් රැස්වීම් ශාලාවක් බවට සති කිහිපයක් තුළ පරිවර්තනය කරන්නට ඔහු සුදු රෙදි යාර 20,000ක් හා පාට කඩදාසි යාර 20,000ක් පමණත්, ගෝනි (ජූට්) රෙදි යාර 9,000ක තොගයකුත් යොදා ගත්තා.

පුරාණ ලංකාවේ භාවිත වූ සිංහ කොඩි හා (යාපනයට ආවේණික) නාන්දි කොඩිත්, මුස්ලිම් සාංස්කෘතික සංකේතත් රැළි පාලම් හා කුළුණු අතර මනා සේ සංකලනය කිරීමේ සෞන්දර්යාත්මක සැළසුම කළේ පේ‍්‍රමරත්නයි. නිදහස් උළෙලේ කල් පවතින මතකයන්ගෙන් එකක් බවට පත් වූයේ මේ සැරසිලියි.

මුල් ම නිදහස් උළෙල වාර්තාකරණයට දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් හා චිත‍්‍රපටකරුවන් රැසක් සිටියා. එහෙත් එවකට තිබුනේ කළු-සුදු සේයාපට පමණයි. මේ නිසා තමන් නිර්මාණය කළ විචිත‍්‍ර උත්සව මඩුවේ අසිරිය මතු පරම්පරාවලට දැක ගත හැකි ලෙසින් පේ‍්‍රමරත්න විශාල ප‍්‍රමාණයේ තෙල් සායම් චිත‍්‍රයක් ඇන්දා. දශක ගණනාවකට පසු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් මිලට ගත් මේ චිත‍්‍රය දැන් කොළඹ ජනාධිපති මන්දිරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. (ඡායාරූපය).

මේ කටයුත්තට සමාන්තරව යටත් විජිත ලේකම්වරයා භාවිත කළ අරලියගහ මන්දිරය අගමැති නිල නිවහන ලෙස පිළිසකර කිරීමත්, පරණ පාර්ලිමේන්තු මන්දිරයේ සභා ගර්භය මුළුමනින් අලූත්වැඩියා කිරීමත්, ගරා වැටෙමින් තිබූ තැපැල් ගොඩනැගිල්ලක් සෙනෙට් සභාව සඳහා යළි ගොඩ නැංවීමත් 1947-48 වකවානුවේ PWD මඟින් කළ තවත් හපන්කම් කීපයක්. ඒ හැම එකකට ම පේ‍්‍රමරත්නගේ දායකත්වය ලැබුණා.

ඔහු දෙපාර්තමේන්තු ප‍්‍රධානියා වීමෙන් ටික කලකට පසු 1957 අගෝස්තුවේ මහ ගංවතුරෙන් වියළි කලාපයේ හානියට පත් මාර්ග පිළිසකර කිරීමේ අභියෝගයට මුහුණ දුන්නා. ඊට වඩා ලොකු අභියෝගයක් මතු වූයේ 1958 ජනවාර්ගික කෝලාහලවලින් පසුවයි. අග‍්‍රාණ්ඩුකාර ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක විසින් නිසි බලධාරියා ලෙස පත් කරනු ලැබූ පේ‍්‍රමරත්න, විපතට පත් ජනයාගේ හදිසි අවශ්‍යතා හා තාවකාලික පහසුකම් සැපයීම භාරව ක‍්‍රියා කළා.

පේ‍්‍රමරත්නයන් මේ කාර්යවල නියැලී සිටින අතරේ ශ්‍රීමත් ඔලිවර්ගෙන් හදිසි කැඳවීමක් ලැබුණා. ඔහු රජ ගෙදරට යන විට ඔහුගේ අමාත්‍යවරයා වූ මෛත‍්‍රීපාල සේනානායකත් එහි සිටියා.

යාපනයේ නාගදීප විහාරයට හානි සිදු වී ඇති බවත්, එය වහා පිළිසකර කළ යුතු බවත් කී ශ‍්‍රීමත් ඔලිවර්, මේ සඳහා අවශ්‍ය සියළු අරමුදල් හා බලතල පේ‍්‍රමරත්නට ලබා දෙමින් එක් කරුණක් අවධාරණය කළා. “මේ වැඬේ ඉක්මනින්, හොදින් සිදුකර හමාර වන තුරු මුළුමනින් ම රහසිගතයි!”

නාගදීප හානියේ තොරතුරු දකුණේ ජනතාවට දැන ගන්නට ලැබුණොත් ගැටුම් නැවත වරක් ඇවිලිය හැකි බවට ශ්‍රීමත් ඔලිවර්ට බියක් තිබුණා. මේ පුපුරණසුළු ප‍්‍රවෘත්තිය පිට නොකරන්නට ඔහු පුවත්පත් කතුවරුන් සමග ද එකගත්වයකට එන්නට ඇති බවට පේ‍්‍රමරත්න අනුමාන කළා.

අවශ්‍ය අමුද්‍රව්‍ය හා දක්‍ෂ බාස් උන්නැහේලා පිරිසක් ද රැගෙන පේ‍්‍රමරත්න නාගදීපයට ගියා. ඉතා වෙහෙස මහන්සි වී, අධි වේගයෙන් එහෙත් ප‍්‍රවේශමින් නාගදීප විහාරය හා ඒ අවට භූමිය පෙර තිබූ තත්ත්වයට යළි පත් කරන්නට මේ පිරිසට සති හයක් ගත වුණා. සමස්ත කි‍්‍රයාදාමය රහසක් ලෙස පවත්වා ගත්තා. (1996 දී ප‍්‍රකාශයට පත් වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ ‘ගමන නොනාමෙයි’ නම් දේශපාලන නවකථාවේ 36 වන පරිච්ෙඡ්දයේත් මේ සිද්ධිය කථාවක් සේ ලියා තිබෙනවා. ලංකාදීප කතුවර ඞී. බී. ධනපාල මේ රහසිගත මෙහෙයුම ගැන දැන සිටි බවට එයින් ඉගි කැරෙනවා.)

නාගදීපයට හානියක් වූ බව රටේ බොහෝ දෙනා දැන ගත්තේ වසර ගණනාවකට පසුව යැයි 1991දී මා සමඟ කළ දීර්ඝ පුවත්පත් සාකච්ඡවකදී පේ‍්‍රමරත්න ආවර්ජනය කළා.

පේ‍්‍රමරත්නගේ කලා කටයුතු වඩාත් සක‍්‍රිය වූයේ ඔහු 1965දී රජයේ සේවයෙන් විශ‍්‍රාම ගිය පසුවයි. තෙල් සායම් චිත‍්‍ර ඇඳීම හා මූර්ති නෙළීම ඔහු වඩාත් උද්‍යොගයෙන් කළා. ඔහු නිර්මාණය කළ චිත‍්‍රවලින් සමහරක් කොළඹ කලාගාරයේත්, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේත් ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. ඔහුගේ දිගු කාලීන මිතුරකු වූ ආතර් සී. ක්ලාක්ගේ ජීවමාන ප‍්‍රමාණයේ සිතුවම මොරටුව සරසවියේ දැකිය හැකියි. ඔහු විසින් පිටපත් කරන ලද සීගිරි බිතු සිතුවම් සමහරක් 1967දී සාහසිකයන් විසින් තාර ගා විනාශ කිරීම නිසා සදහට ම අහිමි වුණා.

පේ‍්‍රමරත්නගේ නවෝත්පාදනයක් වූනේ ෆයිබර්ග්ලාස් යොදා ගෙන අපේ පැරණි ප‍්‍රතිමා, කැටයම්, සඳකඩපහන ආදියේ ආකෘති තාත්ත්වික ලෙස නිර්මාණය කිරීමයි. මේ නිසා පුරාවිද්‍යා වටිනාකම ඉහළ මුල කෘතීන් සංරක්ෂිතව තබා ආකෘති තැනින් තැන ගෙන යාමේ හැකියාව ලැබුණා. අනුරාධපුර හා පොළොන්නරුවේ ප‍්‍රකට ප‍්‍රතිමා විසි ගණනක ෆයිබර්ග්ලාස් ආකෘති 1969-70 කාලයේ ඔහු නිර්මාණය කළේ නැෂනල් ජියෝග‍්‍රැෆික් සංගමය අමෙරිකාවේ වොෂිංටන් නුවර සංවිධානය කළ ඉහළ පෙලේ ලංකා ප‍්‍රදර්ශනයකටයි.

2001 A Space Odyssey (1968) Space Station One by Robert McCall1966-67 කාලයේ ඔහු තවත් අපූරු වැඩක් කළා. ඒ කාලයේ ආතර් සී. ක්ලාක් හා ස්ටැන්ලි කුබ්රික් දෙදෙනා 2001: A Space Odyssey නම් අසාමාන්‍ය වෘතාන්ත චිත‍්‍රපටය නිපදවීමේ සිවු වසරක ප‍්‍රයත්නයේ නියැලී සිටියා. පරිගණක නොදියුණු ඒ යුගයේ චිත‍්‍රපට special effects සියල්ල ආකෘති හරහා ඉතා වෙහෙස වී කළ යුතුව තිබුණා.

2001 චිත‍්‍රපට ජවනිකා ගණනාවක් පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිග හැරෙනවා. ඒ සඳහා ඉතා සූක්ෂම ආකාරයේ ආකෘතියක් ලන්ඩනයට නුදුරු බෝහැම්වුඞ් චිත‍්‍රාගාරයේ තනනු ලැබුවා. ක්ලාක්ගේ නිර්දේශය මත ඒ කටයුත්තට හවුල් වූ පේ‍්‍රමරත්න, අමෙරිකානු හා බි‍්‍රතාන්‍ය තාක්ෂණවේදීන් සමඟ මාස ගණනක් එහි වැඩ කළා.

1974-78 කාලයේ බුරුමයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු තායිලන්තය, සිංගප්පූරුව හා ලාඕසයට ද අනුයුක්ත කර තිබුණා. 1980 දශකයේ වසර ගණනාවක් ඔහු ආතර් සී. ක්ලාක්ගේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළා (මොරටුවේ පිහිටි රාජ්‍ය ආයතනය නොවේ.) මා ඔහුගෙන් බොහෝ දේ උගත්තේ ඒ කාලයේයි.

ලංකා කලා සංගමය, ඉංජිනේරු ආයතනය වැනි සංවිධානවල සභාපති හැටියටත්, රජයේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියකු ලෙසත් ක‍්‍රියා කොට පුළුල් දැනුමක් හා අත්දැකීම් සමුදායක් තිබූ ඔහු කිසි දිනෙක උඩඟු වුනේ නැහැ. පොඩි වැඩක් කොට ලොකු ප‍්‍රසිද්ධියක් පතන අය බහුල අද කාලේ පේ‍්‍රමරත්න වැනි දැවැන්තයන් ගැන බොහෝ දෙනා අසා නැහැ.

කොළඹ විජේරාම පාරේ තිබුණු ඔහුගේ පැරණි ගෙදර හරියට කලාගාරයක් බඳු වුණා. ඔහු නිම කළ හා වැඩ කරමින් සිටි චිත‍්‍ර, මූර්ති හා වෙනත් නිර්මාණ අතරට වී වයස 80 ඉක්ම යන තුරු ගත කළා. ඔහුගේ එක ම පුතා 1960 ගණන්වල බි‍්‍රතාන්‍යයේ නිත්‍ය පදිංචියට ගියා. 1980 දශකයේ බිරිඳ මිය යාමෙන් පසු ඔහු තනිකඩව නිර්මාණකරණයේ යෙදුණා.

1992දී ඔහු කොළඹින් ආපසු මහනුවරට ගිය පසු කිසි දිනෙක මට හමු වූයේ නැහැ. එහෙත් ඔහු කී කථාවක් මට තවම මතකයි. “අතමිට සරු ලාංකිකයන් පවා කලා නිර්මාණයකට සාධාරණ මිලක් ගෙවන්නට අදිමදි කරනවා. මේ නිසා අපේ සමාජයේ පූර්ණ කාලීන චිත‍්‍රශිල්පීන්, මූර්තිශිල්පීන් හා ලේඛකයන් බිහි වන්නේ නැහැ. මගේ චිත‍්‍රයකට රුපියල් විසිපන් දහසක් ගෙවන්නට මැලි වූ අය එමෙන් දෙගුණයක් ගෙවා ඩිනර්සෙට් ගන්නවා. මෙයයි අපේ යථාර්ථය.”

Official MGM trailer for 2001: A Space Odyssey

සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.

When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.

What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?


“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව‍්‍ර ලෙස දැනුනේ ඉංගී‍්‍රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’

සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්‍යවේදිනියක හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප‍්‍රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප‍්‍රජතාන්ත‍්‍රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.

පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප‍්‍රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.

වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්‍රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප‍්‍රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප‍්‍රවාහයන් ගැන මාධ්‍යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.

පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප‍්‍රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.

පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි‍්‍රතාන්‍ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප‍්‍රජාතන්ත‍්‍රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)

Map of Pakistan, courtesy Lonely Planet
පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප‍්‍රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්‍යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්‍ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්‍ය සම්ප‍්‍රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්‍යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්‍ය පද්ධතියක් එහි ඇති බවයි.

පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් හා මාධ්‍ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප‍්‍රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග‍්‍රහයන්. ඇතැමුන් බොහෝ ප‍්‍රශ්නවලට මුල ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක‍්‍රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.

එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත දරණ මාධ්‍යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්‍ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.

අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් යුගයේ පැවතුණේ රාජ්‍ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්‍ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප‍්‍රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන තනතුරු දීමට එහා යන ප‍්‍රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්‍රිත මාධ්‍ය නම් රාජ්‍ය ග‍්‍රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි‍්‍රයා කරනවා.)

අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්‍ය කේෂත‍්‍රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්‍ය පර්යේෂණ හා ප‍්‍රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්‍රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.

ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්‍යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප‍්‍රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප‍්‍රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප‍්‍රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප‍්‍රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප‍්‍රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.

තරගකාරීත්වය නිසා එරට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප‍්‍රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප‍්‍රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග‍්‍රහය බොහෝ විට එක සමානයි.

පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත‍්‍රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්‍යුත් මාධ්‍ය කේෂත‍්‍රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.

එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්‍ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.

බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ‍්‍රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.

ප‍්‍රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්‍යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.

පාකිස්ථානයේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක‍්‍රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප‍්‍රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව‍්‍ර මට්ටමක තිබෙනවා.

පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්‍යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප‍්‍රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.

මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක‍්‍රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක‍්‍රියා කරන්නට බැරි වී තිබෙනවා.

2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප‍්‍රධාන නගරවලින් දුර බැහැර ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.

වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක‍්‍රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.

දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්‍ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්‍ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.

මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්‍යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග‍්‍රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්‍යාපාරික අරමුණුවලට වඩා මාධ්‍ය ව්‍යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්‍යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්‍යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් පවා එක් වුණා.

පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්‍ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්‍යවේදීන් පිළි ගන්නවා.

මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්‍යෝගය පොදු උන්නතියට වඩාත් ප‍්‍රශස්ත ලෙසින් යොදා ගන්නටයි.