සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)

Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi

සිවුමංසල කොලූගැටයා #101: නිව්ස්වීක් කඩදාසියෙන් සමු ගනියි!

In this week’s Ravaya column (in Sinhala), I look back at the Newsweek magazine’s illustrious history of nearly 80 years, and reflect on the phenomenon of news magazines: are their days numbered, at least in print?

Newsweek magazine Last Print Issue 31 Dec 2012
‘‘අප කවදාවත් ගතානුගතික සඟරාවක් හෝ බයගුළු ප‍්‍රකාශනයක් හෝ වූයේ නැහැ. අප ඩිජිටල් මාධ්‍යයට මුළුමනින් අවතීර්ණ වන්නේත් අලූත් දෙයක් කිරීමේ එම එඩිතර ගුණය පෙරදැරි කරගෙනයි. යම් දිනෙක අපේ තරගකාරී ප‍්‍රකාශන සියල්ල ද අප පුරෝගාමීව යන මේ මෙඟහි ම ගමන් කරනු ඇති!’’

නිව්ස්වීක් (Newsweek) ජාත්‍යන්තර පුවත් සඟරාවේ අවසන් මුද්‍රිත කලාපයට (2012 දෙසැම්බර් 31) විශේෂ පණිවුඩයක් ලියමින් එහි කර්තෘ ටීනා බ‍්‍රවුන් එසේ කියා සිටියා.

සඟරාවේ ප‍්‍රකාශකයන් හා වත්මන් කතුවරුන් අවධාරණය කර සිටියේ මෙය දශක අටක් වයසැති සඟරාවේ අවසානය නොව අලූත් ආරම්භයක් පමණක් බවයි. වෙළඳපොළ හා තාක්ෂණය වෙනස් වන ආකාරයට පරිනාමීයව හැඩ ගැසීමක් ලෙස ඔවුන් එය හඳුන්වා දුන්නා.

2012 දෙසැම්බර් මස 31 වනදා නිකුත් කළ අවසන් මුද්‍රිත කලාපය ම සිය ඉතිහාසය දෙස හැඟීම්බරව නෙතග බැල්මක් හෙළන්නට ඔවුන් කැප කළා. ටයිම් හා නිව්ස්වීක් සතිපතා පුවත් සඟරා කියවමින් හැදුනු, එයින් ආභාසය ලත් මට මෙය හැඟීම්බර අවස්ථාවක්. ලෝක ව්‍යාප්ත මාධ්‍ය පවුලේ දැවැන්තයකුගේ ප‍්‍රබල සන්ධිස්ථානයක්. මුද්‍රිත මාධ්‍යයේ වර්තමානය හා අනාගතය ගැන මෙනෙහි කරන්නට නිමිත්තක්.

First issue of Newsweek

First issue of Newsweek

නිව්ස්වීක් උපන්නේ 1933 පෙබරවාරි 17 වනදා. එය ඇරඹුවේ තොමස් ජේ. සී. මාටින්. මුල් ම කතුවරයා වූයේ සැමුවෙල් ටී. විලියම්සන්. 1923 මාර්තු 3 වනදා අරඹන ලද ටයිම් (TIME) සඟරාවට තරගකාරී ප‍්‍රකාශනයක් වූ මෙය, දශක ගණනාවක් පුරා අමෙරිකාවේත්, ජාත්‍යන්තර මට්ටමිනුත් ප‍්‍රධාන පෙළේ පුවත් සඟරාවක් ලෙස පිළිගැනීමට පාත‍්‍ර වුණා. එහි උච්ච අවධියේ ලොව පුරා පිහිට වූ කාර්යාල 23ක වාර්තාකරුවන් හා ජායාරූප ශිල්පීන් සිය ගණනක් සේවය කළා. වසර 80කට ආසන්න කාලයක් තුළ මුද්‍රිත සඟරාවේ කලාප 4,150ක් පළ කරනු ලැබුවා.

ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක හිතකර තරගකාරිත්වයක් මත ක‍්‍රියා කළා. මේ ප‍්‍රකාශන දෙක ම සිය ප‍්‍රධාන කාර්යාලයන් පිහිට වූයේ අමෙරිකාවේ ප‍්‍රකාශන මාධ්‍ය කේන්ද්‍රය වන නිව් යෝක් නුවර මැන්හැට්න් දුපතේ එකිනෙකට නොදුරින්. වෙළඳ පොළේ පත්තර ලෑලි හා පොත් සාප්පු හරහා මෙන් ම දායකත්වය හරහා ද මේ සඟරා අලෙවි කරනු ලැබුවා.

නිව්ස්වීක් අන්තිම මුද්‍රිත කලාපයේ එක් විශේෂාංගයක් වන්නේ දිගු කලක් ටයිම් කතුවරයකුට සිටි ජිම් කෙලී හා එබඳු ම කලක් නිව්ස්වීක් කතුවර වූ එවන් තෝමස් දෙදෙනා තම තමන්ගේ සඟරා දෙකේ නිරතුරු තරගය ගැන සුහද ආවර්ජනා කිරීම. අවසාන විනිශ්චයේ දී දෙපිරිස ම කළේ පොදු උන්නතිය වෙනුවෙන් පාඨකයන්ට වැඩ කිරීම. උසස් ම මාධ්‍ය සදාචාරයත් එයයි!

දිනපතා පුවත්පත් එයට පෙර දින සිදු වූ දේ වාර්තා කරනවා. යම් තරමක පුවත් විග‍්‍රහයක් ද ගෙන එනවා. සති අන්ත පුවත්පත්වල (අපේ රටවල ඉරිදා, ඉස්ලාමීය රටවල සිකුරාදා) ඊට ඔබ්බට යන පුවත් විමර්ශනයක් හා විශේෂාංග ලිපි ඇතුළත් වනවා. මේ දෙයාකාරයේ ම අන්තර්ගතයන්ට වඩා ගැඹුරින් එහෙත් කාලානුරූපීව සිදුවීම් හා ප‍්‍රවණතා ගැන වාර්තා කරන්නත්, සංවාද කරන්නත් පුවත් සඟරා උත්සාහ කරනවා.

පුවත් සඟරා සම්ප‍්‍රදාය බි‍්‍රතාන්‍යයේ The Economist විසින් ඇරඹුවේ 1843දී. එය වඩාත් ජනප‍්‍රිය වූයේ TIME සඟරාව සමඟයි. (නාමකරණය ගැන නිරවුල් අවබෝධයක් අවශ්‍යයි. TIME යනු ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන පුවත් සඟරාවයි. එහි නම ලියන්නේ මුළුමනින් ම ඉංග‍්‍රීසි කැපිටල් අකුරුවලින්. Times යනු ඉංග‍්‍රීසි බසින් පත්තර පළ කරන රටවල් රැසක දිනපතා හෝ සති අන්ත පත්තරවලට බහුලව යෙදෙන නමක්. බි‍්‍රතාන්‍යය, අයර්ලන්තය, ඉන්දියාව, අමෙරිකාව ආදී රටවල ටයිම්ස් පත්තර තිබෙනවා. පොදු නමක් තිබුණත් එකකට එකක් සම්බන්ධ නැහැ. ටයිම් සඟරාව හා ටයිම්ස් පත්තර පටලවා නොගත යුතුයි.)

කවරයේ යොදන රූපයක් තේමා කර ගෙන සඟරාව ඇතුළත පිටු ගණනාවක් පුරා විස්තරාත්මක විග‍්‍රහයක් හෝ වාර්තාකරණයක් ගෙන ඒමේ කවරයේ කථාව (cover story) සම්ප‍්‍රදාය ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක සාර්ථකව කළා.

නිව්ස්වීක් මා නිරතුරුව කියවූ සඟරාවක් නොවෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල නිව්ස්වීක්ට වඩා ටයිම් සඟරාව ඉදිරියෙන් සිටියා. එයට එක් හේතුවක් නම් හොංකොං නුවර කේන්ද්‍ර කර ගෙන ආසියානු සංස්කරණයක් ටයිම් සතිපතා පළ කරද්දී නිව්ස්වීක් කළේ ජාත්‍යන්තර සංස්කරණයක් (Newsweek International) පමණක් වීමයි. (ජපන් බසින් නිව්ස්වීක් කලක් පළ කෙරුණා.) එහෙත් ලෝකය සසල කර වූ හෝ ලෝක ව්‍යාප්තව අවධානය යොමු වූ සිදුවීම් ගැන ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක වාර්තා කරන්නේ කෙසේ ද යන්න ගැන මා පාසල් සිසුවකුව සිටි කාලයේ පටන් ම අවධානය යොමු කළා.

ටයිම් සඟරාව යම් පමණකට අමෙරිකානු ප‍්‍රධාන ප‍්‍රවාහයට අනුගත වන අතර, නිව්ස්වීක් ඊට වඩා ලිබරල් හා විකල්ප මතාධාරී වූ අවස්ථා බොහෝ තිබුණා. අන්තිම මුද්‍රිත කලාපයෙන් මෙතෙක් ආ මඟ ගැන ආවර්ජනය කරද්දීත් නිව්ස්වීක්හි වත්මන් හා විශ‍්‍රාමික පුවත්පත් කලාවේදීන් හා කතුවරුන් හුවා දක්වන්නේ මේ ගතිගුණයයි.

Landmark Newsweek cover storyඋදාහරණයක් හැටියට අප‍්‍රිකානු සම්භවය ඇති කළු අමෙරිකානුවන් සම අයිතිවාසිකම් ලබා ගැනීමට 1950 – 1960 දශකවල ගෙන ගිය අරගලය වාර්තා කිරීමේ දී නිව්ස්වීක් ඉදිරියෙන් සිටියා. කළු ජාතිකයන්ගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු සානුකම්පිතව හසු කර ගනිමින් මැදහත්ව නිව්ස්වීක් කළ දිගු කාලීන වාර්තාකරණය සම අයිතීන් දිනා ගැනීමටත්, අමෙරිකානු ජන සන්තානය සදහට වෙනස් කිරීමටත් දායක වූ සැටි නිව්ස්වීක් සඟරාවේ මුල් ම කළු ජාතික කතුවරයා වූ මාක් විටෙකර් පෙන්වා දෙනවා.

මානව සංහතියෙන් හරි අඩක් වන කාන්තාවන්ට සම තැන් දීම ගැනත්, නිව්ස්වීක් සඟරාව සෙසු අමෙරිකානු ප‍්‍රකාශනවලට වඩා උද්‍යෝගයෙන් වාර්තා කළා. 1960 ගණන්වල මතුව ආ ස්ත‍්‍රීවාදයේ (Feminism) සමාජයීය, දේශපාලනමය හා සාංස්කෘතික බලපෑම් ගැන මුල්වරට කවරයේ කථාවක් කළ ප‍්‍රධාන සඟරාව වූයේ නිව්ස්වීක්. ඒ 1970දී. ඒ වසරේ ම කර්තෘ මණ්ඩලය තුළ සම අවස්ථා හා සුදුස්සාට සුදුසු තැන ඉල්ලා නිව්ස්වීක් පුවත්පත් කලාවේදී කාන්තා පිරිසක් නඩු මඟට පිවිසියා.

සාමාන්‍යයෙන් මාධ්‍ය හාම්පුතුන්ට නඩු කියා දිනුවත් එතරම් දුර යන්නට බැරි යථාර්ථය තුළ, ඔවුන් පුවත්පත් කලාවේ කාන්තා සහභාගීත්වයේ නිම් වළලූ පුළුල් කළා. 1972දී තීරු ලිපි රචනයට මුල් වරට කාන්තාවක් හවුල් කර ගත් නිව්ස්වීක්, 1975දී ජ්‍යෙෂ්ඨ කතුවර තනතුරට කාන්තාවක් පත් කළා. එතෙක් කල් පිරිමි කතුවරුන්ට පර්යේෂණ සහාය දෙමින් අවශේෂ භුමිකා රඟපෑ අමෙරිකානු පත‍්‍රකලාවේදිනියන්ට කුසලතාව හා කැපවීම හරහා ඉහළට එන්නට මඟ විවර වූයේ ඉන් පසුවයි.

නිව්ස්වීක් අමෙරිකාව හා බටහිර ලෝකයෙන් ඔබ්බට දියුණු වන ලෝකය දෙසත් මැදහත්ව බලන්නට උත්සාහ කළා. මේ ගැන අවසන් මුද්‍රිත කලාපයේ නිසි ආවර්ජනයක් නැතත් 1980 ගණන්වල ආසියානු, අප‍්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවලින් මතුව ආ ස්වාධීන චින්තකයන්ට හා දක්ෂ ලේඛකයන්ට සඟරාවේ තීරු ලිපි ලිවීමේ අවස්ථාව උදා කර දුන් බව මට හොඳට මතකයි.

Tarzie Vittachi

Tarzie Vittachi

නිව්ස්වීක් හරහා තුන්වන ලෝකයේ දැක්ම මැනවින් සන්නිවේදනය කළ එබඳු එක් චරිතයක් වූයේ ලාංකික පුවත්වත් කතුවර ටාසි විට්ටච්චි (Tarzie Vittachi). ඔහු මෙරට පුවත්පත් කරන කාලයේ (1950 දශකයේ) මා ඉපිද නොසිටි බැවින් මා ඔහු හඳුනාගත්තේ නිව්ස්වීක් හා බොස්ටන් නුවරින් පළ කෙරුණු WorldPaper නම් පුවත්පත් අතිරේකය තුළින්. (එය කලක් මෙරට Observer පත‍්‍රයත් සමඟ නොමිලේ බෙදා දුන්නා.)

සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ලෝක බල තුලනය වැනි මහා ප‍්‍රශ්න ගැන සරල, සුමට ඉංග‍්‍රීසියෙන් — ඇතැම් විට හාස්‍යජනක ලෙසින් — වචන 400ක් වැනි (තනි සඟරා පිටුවක සීමාව) සංඛ්‍යාවක් හරහා ලිවීමට ටාසි අති දක්ෂයකු වුණා. ටාසිගේ නිව්ස්වීක් කොලම් දැන් සොයා ගන්නට අමාරුයි. කවදා හෝ ඒවා පොතක් ලෙස එකතු වනවා නම් අපූරුයි.

නිව්ස්වීක් මෙන් ම පුවත් සඟරා කලාවේ ස්වර්ණමය අවධිය 1960 – 1970 දශකයන් විය යුතුයි. 1980දී මුල් ම පැය විසි හතරේ ටෙලිවිෂන් නාලිකාව CNN හා 1990 දශකයේ ඉන්ටර්නෙට් ආගමනය හරහා පුවත් වෙබ් අඩවි බිහිවීම තුළින් පුවත් සඟරාවල සුවිශේෂි බව අඩු වන්නට පටන් ගත්තා. මේ තාක්ෂණ හා වෙළඳපොළ ප‍්‍රවාහයන්ට අනුවර්තනය වන්නට පුවත් සඟරා දැඩි ප‍්‍රයත්නයක යෙදුණා.

දුවන ගමන් පුවත් වාර්තා කරන ටෙලිවිෂන් හා බොහෝ පුවත් වෙබ් අඩවිවලට වඩා සන්සුන්ව, දැක්මක් හා ගැඹුරක් ඇතිව කාලීන තොරතුරු හා ප‍්‍රවණතා විග‍්‍රහයට පුවත් සඟරාවලට තවමත් ඉඩක් තිබෙනවා. (මෙය ඉතා හොඳට කරන්නේ ඉන්දියාවේ ඉංග‍්‍රීසියෙන් සතිපතා පළ කෙරෙන පුවත් සඟරා කිහිපයයි. ඒ ගැන වෙනම කථා කළ යුතුයි.)

නමුත් දැන්වීම්කරුවන් සහ ග‍්‍රාහකයන් ටිකෙන් ටික ක්ෂීන වීම හරහා නිව්ස්වීක් පාඩු පිට පාඩු ලබන්නට පටන් ගත්තා. දශක හතරක් වොෂිංටන් පෝස්ට් යටතේ තිබුණු සඟරාව 2010දී ණය කන්දරාවක් ද සමඟ ඩොලර් 1ක මිලට කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබුවා. එය Daily Beast නම් වෙබ් අඩවියක් හා බද්ධ කෙරුනේ එතැන් පටන්. මේ දීගය හරිහැටි සංයෝග නොවූ බවත්, අන්තිමේදී ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සඟරාව අඳ බාල පිරිසක් විසින් නොමරා මැරූ බවත් නිව්ස්වීක් විශ‍්‍රාමිකයන් චෝදනා කරනවා. ඇත්ත කථාව හරිහැටි නොදැන ඒ ගැන විනිශ්චයක් දීම අපහසුයි.

මා දන්නා තරමට ශ‍්‍රී ලංකාවේ සතිපතා පුවත් සඟරාවක් බිහි වූයේ ම නැහැ. අපේ වෙළඳපොළ එබන්දකට ප‍්‍රමාණවත් නැති වීම එක් හේතුවක්. 1978දී ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය නිලධාරියකුව සිටියදී ඇරඹු දෙසතිය පුවත් සඟරාව අප රටේ එයට ආසන්න ම වූ ප‍්‍රකාශනය විය යුතුයි. ඉංග‍්‍රීසියෙන් මාසික පුවත් සඟරා ලෙස ඇරඹූ Counterpoint, Montage වැනි ප‍්‍රකාශන මෙන් ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මර්වින් ද සිල්වා කලක් කර ගෙන ගිය දෙසතිපතා සඟරාවක් වූ Lanka Guardian ද, පරිනාමීය ප‍්‍රවාහයන්ට හසු වී නතර වෙලා.

ජාත්‍යන්තරව කලක් ලොකු හපන්කම් කළ Asiaweek සඟරාව 2001දීත්, Far Eastern Economic Review සඟරාව 2009දීත් වැසී ගියා. සතියකට පිටපත් මිලියන් 3ක් අලෙවි වන ටයිම් සඟරාව මේ කේෂත‍්‍රයේ දැන් ඉතිරිව සිටින එක ම දැවැන්තයායි. තමන්ගේ ප‍්‍රතිවාදියාට අත් වූ ඉරණම දෙස බලන විට තම අනාගතය ගැනත් යම් අවිනිශ්චිත බවක් ටයිම් සඟරාවේ කතුවරුන්ට සමහර විට දැනී ඇති…

Newsweek covers - among 4,150 in its print history