Into the Comet: To Go Where No Lankan Movie has Gone Before…

Feature published in Ceylon Today Sunday newspaper, 30 March 2014

To Go Where No Lankan Movie has Gone Before…

By Nalaka Gunawardene

Photos courtesy Dreams & Magic Entertainment

Space Station being envisaged for 'Into the Comet' Sinhala science fiction feature film by Thilanka Perera
Space Station being envisaged for ‘Into the Comet’ Sinhala science fiction feature film by Thilanka Perera

A young Lankan computer animation specialist and film professional is to direct an ambitious new feature film which is all about space travel.

Thilanka Perera is teaming up his father, veteran TV and film professional Maheel R Perera, to adapt one of Sir Arthur C Clarke’s short stories, “Into the Comet”.

This will be the first science fiction movie in Sinhala, as well as the first film of any genre to be produced in 3D Stereo in Sri Lanka, according to its producers, Dreams & Magic Entertainment (Pvt) Limited.

The production process was launched at the Cinnamon Grand Hotel in Colombo on 24 March 2014 with Economic Development Minister Basil Rajapaksa as chief guest.

The minister also unveiled the official website of the production, at http://www.intothecomet.com

In the short story, which was originally published in the American Magazine of Fantasy & Science Fiction in 1960, the entire story takes place inside a spaceship carrying a group of scientists to study a comet at close range.

“It is a challenge to turn this story into a full length movie, which we currently expect to run into around an hour and 40 minutes,” Thilanka said at the launch. “Our efforts will boost the capacity for movie special effects and Computer-generated imagery (CGI) in Sri Lanka.”

Thilanka, who first made a name for himself in computer animations when he was 12, has since gained industry experience in photography, videography and other digital technologies. This will be his maiden cinematic venture.

For co-producer Maheel Perera, ‘Into the Comet’ film has been in the making for over 15 years. Research and development work started in the late 1990s, but the film did not go into production as the necessary technology and resources were not available.

“We always wanted to do a world class production, and received Sir Arthur Clarke’s blessings at the time,” Maheel recalled. “We presented him an enlarged photo of the original spaceship envisaged for the movie, which he hung in his office room wall.”

This time around, Kelaniya University physics lecturer Charith Jayatilake has joined the effort as co-producer, providing the investment.

“Our cinema industry is hesitant to leap forward, to take chances with new technologies. It has not been easy for us to find a financier willing to support our innovation,” Thilanka said.

Maheel Perera serves as script writer and Stereo 3D adviser for the movie, while cinematography will be handled by Kavinda Ranaweera.

Thilanka hopes to identify his cast in the coming weeks primarily from among stage actors.

The movie’s success will depend critically on a strong cast and characterization. Some elements are to be added to the original storyline so as to provide an enhanced sense of drama and human touch, he said.

comet

When Arthur C Clarke wrote the short story, which he originally titled “Inside the Comet”, the Space Age itself was in its infancy (having started in 1957). At that time, no human had yet traveled to space (Yuri Gagarin went up in April 1961).

Also, little was known about the make up and inside working of comets, periodical icy objects that come hurtling towards the sun every now and then. But Clarke extrapolated from what astronomer Fred Whipple had theorised in 1950.

Whipple speculated — correctly, as it turned out — that comets were really ‘dirty snowballs’ with their nucleus, a few kilometers in diameter, made of ices of water, ammonia, carbon dioxide and methane. There are also dust particles, which together make comets spectacular phenomena when they approach the sun.

The story involves a hastily assembled spaceship to get closer look at a spectacular comet that appears once every two million years. Astronomers on board accomplish their mission, but as the ship readies to return to Earth, its onboard computer suddenly malfunctions.

The disabled spaceship can no longer automatically plot the right path. The crew and craft risk being whisked off into deep space with the comet.

Then George Pickett, the sole journalist on board who is part Japanese, has a brainwave. He remembers how his granduncle used the Abacus – an ancient calculating tool still in use in parts of Asia and Africa – when working as a bank teller. He persuades the ship’s crew to use improvised abacuses to manually carry out thousands of calculations needed for maneuvering the spaceship…

Futuristic city scape generated by computer graphics for movie Into the Comet
Futuristic city scape generated by computer graphics for movie Into the Comet

Clarke envisaged more than half a century ago how a multinational space crew embarks on a scientific expedition – comparable, in some ways, to polar expeditions on Earth.

“Into the Comet” the movie will go into production later this year, and is due to be completed in 2015.

Several Arthur C Clarke stories have formed the basis of cinematic or TV adaptations in the past. The best known is 2001: A Space Odyssey (1968), whose core story came from a 1948 Clarke short story titled ‘The Sentinel’. It was expanded by director Stanley Kubrick who co-wrote the screenplay with Clarke.

In 1984, Peter Hyams directed 2010: The Year We Make Contact based on 2010: Odyssey Two that Clarke wrote in 1982 as a sequel to the original. And in the mid 1990s, Steven Spielberg optioned the movie rights to Clarke’s 1990 novel The Hammer of God. But the resulting movie, Deep Impact (1998) was so different from the book that Clarke did not get any on-screen credit.

See also – 2 January 2010: 2010: The Year We Make Contact…?

28 April 2008: H R Premaratne: The artist who built a space station for 2001

Into the Comet Sinhala Feature film goes into production - Ceylon Today 30 March 2014
Into the Comet Sinhala Feature film goes into production – Ceylon Today 30 March 2014

සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

In an op-ed written in 2008, titled Mobile Phones – Everyman’s New Trousers?, I said:

“The mobile phone is the biggest social leveller in Sri Lankan society since the trouser became ubiquitous (initially for men, and belatedly for women). Our elders can probably recall various arguments heard 30 or 40 years ago on who should be allowed to wear the western garb: it was okay for the educated and/or wealthy mahattayas, but not for the rest. Absurd and hilarious as these debates might seem today, they were taken very seriously at the time.

“Make no mistake: the mobile is the trouser of our times –- and thus becomes the lightning rod for class tensions, petty jealousies and accumulated frustrations of an elite that sees the last vestiges of control slipping away.”

Six years on, pockets of resistance and cynicism still prevail. I was taken aback by a recent Sinhala-language commentary appearing in the official magazine of a respected Lankan development organisation that reiterated many such prejudices. In this week’s Ravaya column (in Sinhala), I look at how Lankans in lower socio-economic groups perceive benefits from their mobile phones. I draw from LIRNEasia’s research on teleuse at bottom of the pyramid.

Young woman uses her mobile phone on the road - Photo by Niroshan Fernando
Young woman uses her mobile phone on the road – Photo by Niroshan Fernando

‘මානව ඉතිහාසය යනු අධ්‍යාපනය හා ව්‍යසනය අතර තරග දිවීමක්’ යයි ව්‍යක්ත ලෙසින් වරක් කීවේ ප‍්‍රකට බි‍්‍රතාන්‍ය ලේඛක හා සමාජ විචාරක එච් ජී වෙල්ස්. මෙය ඉතා හරබර කියමනක් මෙන්ම මානව ශිෂ්ටාචාරය මුහුණ දෙන ලොකු ම අභියෝගය කැටි කරන්නක්.

ලක් සමාජයට අදාලවත් වෙනත් ආකාරයේ තරග දිවීම් නිරන්තරයෙන් සිදුවනු මා දකිනවා. පෞරාණිකත්වය හා නූතනත්වය එකිනෙකා අභිබවා යන්නට පොර කනවා. විවෘත වූත්, ආත්ම විශ්වාසය පෙරටු කර ගත්තා වූත් ගෝලීය මානසිකත්වය සමග ගතානුගතික වැඩවසම් දුපත් මානසිකත්වය නිරතුරු ගැටෙනවා.

අප නවීන ලෝකයෙන් ඈත් වී, අතීත සශ‍්‍රීකත්වයක් මෙනෙහි කරමින් (රාවනා වැනි) ප‍්‍රවාදයන්ට යළි පණ පොවමින් සිටිය යුතු යැයි තර්ක කරන බාල-වැඩිහිටි පිරිස් මෙන් ම දුපතෙන් ඔබ්බට අපේ බුද්ධිය, ශිල්ප කුසලතාවන් රැගෙන ගොස් ලෝකය ජය ගත යුතු යයි තරයේ විශ්වාස කරන අයත් සිටිනවා. පරිනත සමාජයක මේ කොයි කාටත් තමන් කැමති දෙයක් ඇදහීමට ඉඩ තිබිය යුතුයි.

ජංගම දුරකථන මෙරටට හඳුන්වා දුන්නේ 1989දී. ඒ නිසා මේ තාක්‍ෂණයේ ලංකාගමනයට 2014දී වසර 25ක් පිරෙනවා. මුලින් රුපියල් ලක්‍ෂයක් පමණ අධික මිල වූ (ගඩොල් බාගයක් තරම් විශාල) ජංගම දුරකථනවලින් ඇරැඹුණු මේ සේවා වසර කිහිපයක් ඇතුළත සාමාන්‍ය ජනයා අතර ගැවසෙන එදිනෙදා උපකරණයක් බවට පත් වුණා.

එය අහම්බෙන් සිදු වූවක් නොව 1990 දශකය මැද චන්ද්‍රිකා රජය හඳුන්වා දුන් දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයක්. දශක ගණනක් ඒකාධිකාරය හිමි කරගෙන සිටි රාජ්‍ය ටෙලිකොම් සේවයට අමතරව නිසි ලෙස නියාමනය කැරෙන රාමුවක් තුළ තරගකාරි සමාගම්වලට ද දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයට පිවිසීමට ඉඩ සලසා දුන්නා.

මේ සම්බධයෙන් තීරණාත්මක ලෙස මුල් වූ මෙරට මුල්ම ටෙලිකොම් නියාමක මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙන පරිදි 1990 දශකයෙන් පසු මෙරට දුරකථන හා අනුබද්ධිත සේවා ව්‍යාප්ත කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මහජන මුදලක් වැය කර නැහැ. තනිකරම වෙළඳපොල ප‍්‍රවාහයන් හරහා දෙස් විදෙස් ආයෝජන ඇද ගනිමින් මේ ක්‍ෂෙත‍්‍රය ඉක්මනින් පුළුල් වූවා. එසේම තරගකාරිත්වය හරහා ග‍්‍රාහකයන් ගෙවිය යුතු ගාස්තු සැළකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වුණා.

සංවර්ධනය ගැන තුලනාත්මකව හා සංවේදීව සිතන ජනතා සංවිධාන අතර පවා හනමිටි අදහස් හා කල් ගිය සංඛ්‍යාලෙඛන මත පදනම් වූ වැරදි මතයන් හමු වනවා. මීට දශක දෙකකට පෙර දුරකථන සම්බන්ධයෙන් තිබූ යථාර්ථය මුළුමනින් වෙනස් වී ඇතත් තවමත් ජංගම දුරකථන සුපිරි පැලැන්තියකට බර වූ හා වියදම් අධික තාක්‍ෂණයක් යයි දුර්මතය සමහරුන් බැහැර කර නැහැ.

මෙරට ප‍්‍රධාන පෙළේ ජන සංවිධානයක නිල සඟරාවේ මෑතක පළ වූ විග‍්‍රහයක් (බත් වෙනුවට ‘‘රයිස්’’ කකා ‘‘රීලෝඞ්’’ දමන ජංගම සමාජයක්) මා කම්පනයට පත් කළා. නව තාක්‍ෂණයට විචාරශීලීව විවෘත වූ මනසක් කවදත් ඔවුන් සතු බව මා අත්දැකීමෙන් දන්නවා. එහෙත් එබඳු තැනෙක පවා පසුගාමී අදහස් ඇති අය සිටිය හැකියි. මේ උධෘත බලන්න.

‘‘බිරිය රැකියාවක් කළත් නොකළත්, ඇතැම් විටෙක දෙදෙනාට ම ස්ථිර ආදායමක් නැති වුණත්, ඉඳහිට ලැබෙන ගානකින් හෝ ණයක් තුරහක් වීමෙන් හෝ සතියකට දවසක් දෙක්කවත් ‘රයිස්’ කෑම හා ‘රීලෝඞ්’ දැමීම මග නොහරි.’’

‘‘තමන්ගේම වාහනයක, පොදු ප‍්‍රවාහණ සේවයක, පයින් ඇවිද යන අවස්ථාවට පිරිමින්ටත් වඩා කාන්තාව සිය ජංගම දුරකතනය කනට ළං කර ගත් ගමන්ය. ඇත්තම කියනවා නම් අද කාන්තාව බහුතරයක්ම තම තනියට ළං කර ගෙන සිටින්නේ ජංගම දුරකථනයයි. ඒ නිමක් නැති කතාව වෙනුවෙන් තමාම හෝ කාට හරි කියා හෝ ‘රීලෝඞ්’ දැමිය යුතුය.’’

‘‘නිවසේ බතක් උයා පිහා ගන්නට තරම් වත් කාලයක් නැතිව, කඩෙන් ‘රයිස්’ කකා, ‘රීලොඞ්’ දම දමා, මේ කතා කරන්නේ කාටද? මොනවා ගැනද? විශේෂයෙන් ම රැකියාවක් නොකරන ගමේ කාන්තාව මේ දුරකතන සංවාදය පවත්වා ගන්නේ කවර ප‍්‍රතිඵලයක් වෙනුවෙන්ද?’’

මේ ලේඛකයා කාන්තා විරෝධී මෙන්ම නූතනත්වයට එරෙහි අතිශය පටු විග‍්‍රහයක් කරනවා. (මෙය තම සංවිධානයේ නිල මතය නොවන බවට එහි ප‍්‍රධානින් මට සහතික වූවා.) මේ මත දරන්නට තනි පුද්ගලයකුට ඉඩක් ඇතත්, ඒවා විවාදාත්මකයි.

ලේඛකයාට අනුව හැමදාමත් ගමේ කතුන් ළිඳ ළඟ නැත්නම් වැට ළඟ ම කථා කළ යුතු ද? මානසික විවේකය සඳහා ජංගම දුරකථනයක් හරහා කිසිවකුට කථාබහ කිරීම කාන්තාවන්ට අකැප ද? සන්නිවේදන සේවා භාවිතයේදී ගැහැණු පිරිමි භේද තිබිය යුතු ද? රැකියාවක් නොකළත් ගෙදරදොර බොහෝ වැඩ කරන කාන්තාව සැමදාමත් ගෙයිමුල්ලේ හූල්ලමින් හුදකලාවේ සිටීම සාධාරණ ද?

කාන්තාවන් තමාගේම ජංගම දුරකථනයක් හිමිකර ගත යුතු ද එයින් කැමති කෙනකු හා සාමිචියේ යෙදිය යුතු ද ආදි පුද්ගල මට්ටමේ ප‍්‍රශ්න කොහේවත් සිටින සුචරිතවාදීන්ට අදාල කාරණා නොවේ. ඒ හරහා මතු වන්නේ ඔවුන්ගේ කුහක බවයි.

Rural woman in Sri Lanka using a mobile phone - Photo by Niroshan Fernando
Rural woman in Sri Lanka using a mobile phone – Photo by Niroshan Fernando

තොරතුරු තාක්‍ෂණයන් හරහා තොරතුරු සමාජය ආසියාවේ නැගී එන රටවල ස්ථාපිත වන සැටි විධිමත්ව අධ්‍යයනය කරන ලර්න්ඒෂියා LIRNEasia පර්යේෂණායතනය, අඩු ආදායම්ලාභි ජනතාව දුරකථන භාවිත කරන රටා 2006 සිට සොයා බලනවා. ගම් හා නගරවල දහස් ගණන් අපේ ගැහැණු පිරිමි දුරකථන යොදා ගන්නේ කුමකට ද? ඔවුන් ඒ සඳහා කරන වියදම කෙබඳු ද? රුචි අරුචිකම් මොනවා ද? මේ ආදිය ගැන රැස් කර ගත් වටිනා දත්ත සමුදායක් ලර්න්ඒෂියා සතුයි.

මේ සමීක්‍ෂණය අවසන් වරට කළ 2011 වසරේදී දිවයිනේ විවිධ ප‍්‍රදේශ නියෝජනය වන පරිදි තෝරාගත් 1,200ක් දෙනා සම්බන්ධ කර ගත්තා. එයින් 40%ක් පිරිමි හා 60%ක් කාන්තාවන්. 15% නාගරික හා ඉතිරි 85% ග‍්‍රාමීය. සමීක්‍ෂණයට පාත‍්‍ර වූ ගෘහස්තයන්ගෙන් 88%ක ස්ථාවර හෝ ජංගම දුරකථනයක් තිබුණා. (මේ සමීක්‍ෂණය කළේ වෙළඳපොළ සමීක්‍ෂකයන්ගේ විග‍්‍රහයට අනුව සමාජ ආර්ථික ස්ථර D හා E නම් ගණයට වැටෙන ගෘහස්ත පමණක් සම්බන්ධ කර ගෙනයි. මෙරට මේ ගණයට වැටෙන මෙරට ජනගහන ප‍්‍රතිශතය 44%ක් වනවා.)

පොදුවේ මෙම ආදායම් මට්ටමේ 71% ලාංකිකයන් දුරකථනයක් හිමිව හෝ පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව 2011 වන විට ලබා තිබුණා. දැන් වන විට මේ තත්ත්වය තවත් දියුණු වී තිබිය යුතුයි. පෙර වසරවල මෙන්ම 2011දීත් දුරකථනයක් හිමිකාරිත්වයේ හා භාවිතයේ වාසි මොනවාදැයි විමසනු ලැබුවා.

Telecom Regulatory Commission of Sri Lanka statistics

2011 මෙන්ම ඊට පෙර කරන ලද මේ ආකාරයේ ලර්න්ඒෂියා සමීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ දුරකථන භාවිතයේ ලොකුම වටිනාකම ලෙස අඩු ආදායම්ලාභීන් සලකන්නේ මානව සබඳතා පවත්වා ගැනීම හා හදිසියකදී සම්බන්ධ වීමේ හැකියාවයි. ආර්ථික හා ජීවනෝපාය වාසි එන්නේ ප‍්‍රමුඛත්වයෙන් ඉන් පසුවයි. http://lirneasia.net/projects/2010-12-research-program/teleusebop4/

මෙය අඩු වැඩි වශයෙන් සමීක්‍ෂණයට හසු කර ගත් බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය හා තායිලන්තය යන රටවල නියැදිවලටත් අදාල වූවා. (එහෙත් ඉන්දියාවේ හා පාකිස්ථානයේ දුරකථනයක් හිමි කර ගැනීම තමන්ගේ සමාජ තත්ත්වයට රුකුලක් වන බව වැඩි දෙනෙකු සිතනවා.)

ලාංකිකයන් දුරකථන භාවිතයේ වඩාත් වැදගත් වාසි ලෙසට තෝරනු ලැබුවේ: 1) හදිසියකදී අන් අය සමග සන්නිවේදනයේ හැකියාව; 2) පවුලේ උදවිය හා හිතමිතුරන් සමග සබඳතා පවත්වා ගැනීම; 3) යම් ගමන්බිමන් අඩු කර ගත හැකි වීම.

දුරකථනයක ආර්ථික වාසි නම් කිරිමට කී විට ලැබුණු පිළිතුරු වූයේ: 1) ගමන් බිමන් අඩු කර ගැනීම; 2) එදිනෙදා වැඩකටයුතු වඩාත් හොඳින් සැළසුම් කොට කළ හැකි වීම; 3) රැකියාවට හෝ ව්‍යාපාරයට අදාල පුද්ගලයන් සමග ලෙහෙසියෙන් සන්නිවේදනය කළ හැකි වීම.

ජංගම දුරකථන එදිනෙදා උපකරණයක් බවට පත් වී පිරිමි හා ගැහැණු දෙපිරිසේ ම මානව අවශ්‍යතා සම්පාදනය කර දෙන සමීප සේවාවක් බවට පත්ව තිබෙනවා. දුරකථන භාවිතා කරන රටාවන් හා රුචි අරුචිකම් සසඳා බලන විට පිරිමි හා ගැහැණු අතර සැළකිය යුතු වෙනස්කම් නැති බවත් මේ සමීක්‍ෂණයෙන් පෙනී යනවා. සන්නිවේදනයට පිවිසියාම අපි සියළු දෙනා මානවයෝ!

පරම්පරාවකට පෙර දුරකථන දුර්ලභ හා ඇමතුම් වියදම් සහගත වූ නිසා ඉතා අරපරෙස්සමින් හා සකසුරුවමෙන් ඇමතුම් ගන්නට එකල අප පුරුදු වුණා. ඒ යථාර්ථය දැන් වෙනස්.

සිතේ සැනසිල්ලට හෝ අස්වැසිල්ලට (peace of mind) ඇමතුමක් ගැනීම කිසිසේත් වරදක් හෝ නාස්තියක් නොවෙයි. ටෙලිකොම් සමාගම්වලින් ලබා දෙන විවිධ පැකේජයන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගනිමින්, වැය කරන මුදලට හැකි තාක් වැඩි ඇමතුම් හෝ SMS හෝ වෙනත් සේවා ගැනීමට අද තරුණ තරුණියෝ දක්‍ෂයි.

අවිනිශ්චිතබව හා අසහනයන් හමුවේ ඔවුන් මෙසේ නිතර දුරස්ථ සාමිචි කිරිමට හැකි වීම මානසික සුවයක්. එයට ඔවුන් වියදම් කරන්නේ දුරස්ථ සන්නිවේදනය අගය කරන නිසා. වයස 60 පසු කළ නැන්දලා මාමලාට මෙය තේරුම් ගන්න අමාරුයි.

අප කම්පා කළ සඟරා ලිපිය නිර්නාමිකව ලියූ ලේඛකයා එය අවසන් කරන්නේ මුළු ලක් සමාජයම මහා විපතකට ලක්ව ඇතැයි විලාප නගමින්. මේ උධෘතය බලන්න.

‘‘බෞද්ධ සංස්කෘතියෙන් හැඩ ගැසී ඇතැයි කීවත්, ලාංකික සමාජයට මේ බර දරා ගැනීමට හැකියාවක් නැති බව මේ ‘සන්නිවේදන සුනාමියට’ රට ගසා ගෙන යන සැටියෙන් පෙනේ.’’

ලක් සමාජයට සන්නිවේදන සුනාමිය දරා ගත නොහැකි යයි ලේඛකයා කියන්නේ කුමන පර්යේෂණාත්මක පදනමක් මත ද? අපට ටෙලිවිෂන්, ඉන්ටර්නෙට්, ජංගම දුරකථන අවශ්‍ය නැතැයි කියමින් සුචරිතවාදී අතලොස්සක් එදත් අදත් විරෝධය දැක් වූ බව අප දන්නවා. එහෙත් බහුතරයක් ලාංකිකයන් මේ සන්නිවේදන සුනාමියෙන් නොගිලී එය ජය ගැනීමට තැත් කරන බවත් පැහැදිලියි.

උතුරු කොරියාව හා (මෑතක් වන තුරු) බුරුමය මෙන් විශ්ව ගම්මානයෙන් මුළු රටම ඈත් කර පවත්වා ගන්නට හදන්නේ වැඩවසම්වාදී සමාජ රටාවකට එබඳු හුදකලාව වඩා ගැලපෙන නිසා විය යුතුයි. අපටත් වඩා ප්‍රෞඩ ඉතිහාසයක් ඇති භාරතය අතීත උරුමය හා නූතනත්වය මනාව තුලනය කර ගනිද්දී මේ දෙකෙන් එකක් තෝරා ගන්න යැයි අපේ පණ්ඩිතයන් කියන්නේ ඇයි?

මෙරට මෑත සන්නිවේදන පෙරළිය ආපසු හැරවිය හැකි ප‍්‍රවනතාවක් නොවෙයි. කළ යුතුව ඇත්තේ වඩාත් හරවත් හා ආචාරශීලි සන්නිවේදන සඳහා නූතන තාක්‍ෂණ මෙවලම් යොදා ගැනීමයි. එහිදී අධ්‍යාපන හා වෙළඳපොළ තොරතුරුවලට මෙන් ම හිතේ සැනසිල්ලට ද නිසි වටිනාකමක් දීම අවශ්‍යයි.

infographic courtesy ReadMe.lk

සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

In this week’s Ravaya column (in Sinhala language), I probe why sections of Lankan society are habouring growing fears of social media, especially Facebook.

A few have called for a blanket ban of Facebook, which the secretary to the Ministry of Media has assured (in his Twitter feed) would not happen. There is an urgent need, however, to enhance public understanding in Sri Lanka of social media use, with particular attention on safety precautions, privacy protection and cyber civility.

I have drawn insights from a recent Colombo event on ‘Online safety for children and youth in Sri Lanka’ organised by Unicef Sri Lanka which brought together a few dozen web-savvy young people.

Social Media montage

කාලයෙන් කාලයට අළුතෙන් මතුව ආ සංසිද්ධීයක් අල්ලාගෙන එයට හැකි තරම් පහරදීම හා ඒ ගැන අස්ථාන බියක් ඇති කර ගැනීම අපේ සමාජයේ ගතියක්.

මෙරටට රේඩියෝ යන්ත‍්‍ර හඳුන්වා දුන් 1930 ගණන්වල ඒවා පුපුරා යන්නට, ගිනි ගන්නට හැකි භයානක පෙට්ටි යයි ඇතැමුන් කී බව මා කුඩා කාලයේ ආච්චි  ආවර්ජනය කළා. 1960-70 දශකවල චිත‍්‍රකථා මාධ්‍යය අපේකරණය වෙද්දි එයට නැගූ අවලාද හා චෝදනා ගැන මීට ඉහත කොලමකින් අප කථා කළා. ළමා මනස දුෂණය කිරීම, අපේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීම, සමාජයේ ප‍්‍රචණ්ඩත්වය තීව‍්‍ර කිරීම, කාලය කා දැමීම ආදී බරපතල චෝදනා මේ අතර තිබුණා.

1979-82 කාලයේ ටෙලිවිෂන් මෙහි ආ විට ටික කලෙකින් අපේ ළමා හා තරුණ පරපුර නෙත් අඳ වූ ඔලමොට්ටලයන් වනු ඇතැයි අපේ සුචරිතවාදියෝ මොර දුන්නා. ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් මාධ්‍යයටත් ප‍්‍රබලව එල්ල වූ මේ සැකයන් හා භීතිකාවන්ට ලක් වන අළුත්ම ප‍්‍රවණතාව වෙබ්ගත සමාජ මාධයයි (Social Media). විශේෂයෙන්ම ෆේස්බුක් Facebook නම් සංවෘත, මිතුරු සාමීචි වෙබ් වේදිකාවයි.

සමාජ මාධ්‍ය යන නම පවා සමහරුන්ගේ අවඥාවට ලක්ව ඇති බව පෙනෙනවා.  එක් පුවත්පත් ලිපියක් මෑතදී කීවේ සමාජ මාධ්‍ය යනු සමාජ ශාලා (ක්ලබ්ස්) යයි හැඟීමක් අපේ සමහරුන් නොදැනුවත්කම නිසා ඇති කර ගෙන තිබෙන බවයි!

අන් හැම මාධ්‍ය හා සන්නිවේදන තාක්‍ෂණයක් මෙන් ම සමාජ මාධ්‍යවලත් විවිධාකාර සමාජයීය බලපෑම් තිබෙනවා.  මේ අතර සමහරක් අහිතකර වීමේ ඉඩක් ද පවතිනවා.  ඒ ඉඩ අවම කර ගෙන සමාජ මාධ්‍යවල ධනාත්මක විභවය උපරිම කර ගන්නට අවශ්‍යයි.

සමාජ මාධ්‍ය යනු Facebook පමණක් නොවෙයි. දොරටුපාලක අධිපතිවාදයකින් තොරව අදහස් සන්නිවේදනය කළ හැකි බ්ලොග් blogඅවකාශ, ඉතා කෙටි හා ක්‍ෂණික සන්නිවේදන කළ හැකි ට්විටර් Twitter වේදිකාව, රූප බෙදා ගත හැකි Flickr වැනි නිදහස් සේවාවන් මෙන් ම විඩියෝ බෙදා ගත හැකි YouTube වැනි සේවාවන් සියල්ලත් සමාජ මාධ්‍යවලට අයත්.

පොදුවේ සමාජ මාධ්‍යවල දැකිය හැකි ආව්ණික ලක්‍ෂණ කිහිපයක් තිබෙනවා. කාගේවත් අවසරයක්, අධීක්‍ණයක් නැතිව කැරෙන මේ සන්නිවේදන ලිහිල් හා විවෘතයි. තවමත් බොහෝ දුරට වැඩවසම් මානසිකත්වයක් ඇති අපේ සමාජයේ මෙබඳු මත දැක්වීම්වලට ඉඩකඩ සිමිතයි. පාසලේ, සරසවියේ, කාර්යාලවල හා වෙනත් බොහෝ තලයන්හිදී තරුණ තරුණියෝ විවිධ ධූරාවලීන්ට   (hierarchies) යටත්ව කි‍්‍රයා කරනවා. එහෙත් දොරටුපාලයන් නැති, අධිපතිවාදයෙන් තොර කලාපයක් වන සයිබර් අවකාශයේ එබඳු සීමා නැහැ.

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 Aug 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

ඉන්ටර්නෙට්  මාධ්‍යයේ ලංකාගමනය සිදුවූයේ 1995 අපේ‍්‍රල් මාසයේ නිසා දැන් මේ මාධ්‍යය සමග අපේ සම්බන්ධයට වසර 19ක් පිරෙනවා. මිනිස් ජීවිතයක නම් මේ කඩඉමට පැමිණෙන විට යම් පරිනත බවක් අපේක්‍ෂා කරනවා. ඉන්ටර්නෙට් මාධ්‍යයේ සමාජයීය බලපෑම් ගැන පරිනත සංවාදයක් කරන්නට නම් හුදෙක් තාක්‍ෂණය,  නීතිය හෝ ඊනියා සුචරිතවාදයට වඩා ඔබ්බට යන විග‍්‍රහයන් අවශ්‍යයි.

20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

මේ බුද්ධිමය නායකත්වය ලබා දීමට මෙරට සරසවි ඇදුරන් හා පොතේ උගතුන් බහුතරයක් අසමත්.  මේ මාධ්‍යය ගැන වැඩිපුර ම අවබෝධයක් ඇත්තේ එය සමග හැදුණු වැඩුණු මෙරට මුල් ඩිජිටල් පරම්පරාවටයි.  ඉස නිකට නොපැසුනත් මේ මාධ්‍යය ගැන වඩාත් හරවත් හා යථාර්ථවාදි උපදෙස් සෙසු සමාජයට දිය හැක්කේත් ඔවුන්ටයි.

24 June 2012: සිවුමංසල කොලූගැටයා #72: ඉන්ටර්නෙට් නොදැන ගොස් මංමුලා වූ උගත්තු…

මේ ඩිජිටල් පරපුරට සවන්දීමේ සංවාදශීලි රැස්වීමක් පසුගියදා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් Unicef ආයතනයේ ශ‍්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළා.  සමාජ මාධය භාවිතය ගැන පෞද්ගලික අත්දැකීමෙන් හා ගවේෂණාත්මක අවබෝධයෙන් කථා කළ හැකි  හා මේ නව අවකාශය ජය ගන්නට ආත්ම ශක්තිය ඇති තරුණ තරුණියන් රැසක් එයට සහභාගී වූවා.

මේ සංවාදයට එක් වූ සැවොම එකඟ වූයේ අවධි වූ සිහියන්, ප‍්‍රවේශම්කාරිව සයිබර් අවකාශයේ සැරසැරීම අද කාලයේ අත්‍යවශ්‍ය කුසලතාවක් බවයි.

‘‘අපේ සමාජය අළුත් හැම දෙයකට ම ප‍්‍රතිචාර දක්වන්නේ බොහොම ගතානුගතිකවයි. නව තක්‍ෂණයක හෝ ප‍්‍රවණතාවක ගති සොබා නොවිමසා මතු පිටින් පෙනෙන දෙයින් එයට දොස් කීම බහුලව  කැරෙනවා’’ යයි මෘදුකාංග ඉංජිනේරු හා සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරික ගයාන් විජේවික‍්‍රම කියනවා.

ඔහුගේ මතය සයිබර් අවකාශයේ සැබෑ අවදානම් මොනවාදැයි හරි හැටි හඳුනාගෙන ඒවායින් ප‍්‍රවේශම් වීමේ ක‍්‍රමවත් සමාජ සූදානමක් ඇති කළ යුතුයි.  මාධ්‍යයට බිය වී එය තහනම් කිරීම හෝ ළමයින් එයින් ඈත් කිරීම හෝ නිසි ප‍්‍රතිචාරය නොවේ.

‘භෞතික ලෝකයේ නොහඳුනන අයගෙන් ප‍්‍රවේශම් වන්නට යයි අප දරුවන්ට කියනවා. නොදන්නා කෙනෙකුට අපේ පෞද්ගලික තොරතුරු හෝ රූප දෙන්නේ නැහැ.  මේ හා සමාන ප‍්‍රවේශම්කාරි බවක් නොතිබීම අද සමාජ මාධ්‍ය භාවිතයට ගොස් අමාරුවේ වැටීමට ප‍්‍රධාන හේතුවක්’ ඔහු කියනවා.

සයිබර් අවකාශයේ ප‍්‍රධාන අවදානමක් නම් අපේ අනන්‍යතාවය වෙන අයකු විසින් අනවසරයෙන් පැහැර ගැනීමයි (identity theft). බොහෝ කොට මෙය සිදු වන්නේ අප හඳුනන (එහෙත් සැබෑවටම අපට හිතවත් නොවන) කෙනකු හරහායි.

Facebook ගිනුම් අරභයා මෙරට බලධාරින්ට ලැබෙන පැමිණිලිවල අති බහුතරයක් මේ ගණයට වැටෙනවා.  තමාගේ නමින් අනවසර ගිනුමක් පවත්වා ගැනීම හෝ තමන් සතු වූ ගිනුම හදිසියේ පැහැර ගැනීම හරහා තමන්ට හානිකර රූප, ප‍්‍රකාශ පළ කිරීම ගැන මේ පැමිණිලි ලැබෙනවා.  විමර්ශනය කරන විට හෙළි වන්නේ එබඳු අක‍්‍රමිකතා පිටුපස බොහෝ විට සිටින්නේ විරසක වූ පෙම්වතුන් හෝ ඉරිසියාවට පත් හිටපු මිතුරන් බවයි. මෙය සමීපතයන් අතර password හෝ මුරපද බෙදා ගැනීමේ පසු කාලීන විපාකයක්.

මූලික මට්ටමේ ආරක්‍ෂක උපක‍්‍රම වන්නේ තමන්ගේ විවිධ සයිබර් සේවා ගිනුම් (accounts)වලට හරිහමන් මුරපද දීමයි.  ලෙහෙසියෙන් වෙන අයකුට අනුමාන කළ නොහැකි මුරපද භාවිතයත්, කිසිම හේතුවක් නිසා සමීපතයන්ට පවා එය නොකීමත් ඉතා වැදගත්.

එහෙත් අපේ බොහෝ දෙනා ඉතා ලිහිල් ආකාරයේ මුරපද තෝරා ගැනීම, එකම මුරපදය විවිධ භාවිත ගිනුම්වලට යෙදීම, රහසිගත බව නොසළකා හිත මිතුරන්ට එය පැවසීම, බොහෝ කලක් එකම පුර පදය පවත්වා ගැනීම වැනි වැරදි රැසක් කරන බව හෙළි වී තිබෙනවා.

වඩාත් ප‍්‍රශස්ත මුරපදයක් තේරිම ගැන නොමිලයේ උපදෙස් සයිබර්  අවකාශය පුරාම හමු වනවා.  එසේම අදියර දෙකක මුරපද : (two-step verification) දැන් සමහර සයිබර් සේවාවලින් ලද හැකියි. Google, WordPress වැනි නිදහස් සේවා තම සාමාජිකයන්ට මෙය නිර්දේශ කරනවා. එහිදී තමා තෝරා ගත් රහසිගත මුරපදය ඇතුල් කළ විට එයට සම්බන්ධිත ජංගම දුරකථනයට  SMS හරහා  තාවකාලික රහස් අංකයක් එසැනින් ලැබෙනවා.  අදාල ගිනුමට පිවිසිය හැක්කේ මුරපදය හා අංකය දෙකම හරියට ගැලපේ නම් පමණයි.  මේ රහස් අංකය අහම්බෙන් ජනනය වන නැවත භාවිතයක් නැති එකක්.

විශේෂයෙන් කාර්යාලවල, සයිබර් කැෆේ හා නැණසල ආදි ස්ථානවල පොදුවේ භාවිත කැරෙන පරිගණක හරහා සයිබර් අවකාශයට පිවිසෙන විට මුරපදයන් සුරැකීමත්, වෙනත් ආරක්‍ෂිත උපක‍්‍රම ගැන විමසිලිමත් වීමත් වැදගත්.  එසේම මුරපද යොදා තමන් විසින් පිවිසි ගිනුම්වලින් යළිත්  ඕනෑකමින්ම බැහැරවීම (log out) අවශ්‍යයි.

අපේ සමහරුන් තමන්ගේ පෞද්ගලික ඊමේල් හා ෆේස්බුක් ගිනුම් පොදු පරිගණකවල විවෘත කොට ඒවා යළිත් බැහැර නොවී තබනවා.  එවිට වෙනත්  ඕනෑම කෙනෙකුට එයට පිවිසී  ඕනෑම මගඩියක් කළ හැකියි.  නිවසේ දොර ජනෙල් අගුලූ නොදමා විවෘතව තබනවා වැනි අවදානම් සහගත ක‍්‍රියාවක්.

පරිගණක, ස්මාට්ෆොන් හා වෙනත් සන්නිවේදන තාක්‍ෂණ ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය තාක්‍ෂණික දැනුම (එනම් තොරතුරු සාක්‍ෂරතාව) පමණක් සෑහෙන්නේ නැහැ. ප‍්‍රවේශම්කාරිව, කාර්යක්‍ෂමව හා ආචාරශීලීව සයිබර් අවකාශයේ සැරිසැරීමට ඉන්ටර්නෙට් සාක්‍ෂරතාව (cyber literacy)  හා සමාජ මාධ්‍ය සාක්‍ෂරතාව (social media literacy) ද අවශ්‍යයි. මේවා මෙරට බහුලව හමුවන පරිගණක උපකාරක පන්තිවලින් හරිහැටි ලබා දෙන කුසලතාවයන් නොවෙයි.

Megara Tegal
Megara Tegal

තරුණ මාධ්‍යවේදිනියක් වන මෙගාරා ටෙගාල් කියන්නේ ලක් සමාජයේ ඉන්ටර්නෙට්  භීතියට අපේ බහුතරයක් මාධ්‍ය ද  වගකිව යුතු බවයි.  පාඨක හා ග‍්‍රාහක සංත‍්‍රාසය ඇති කරන ආකාරයේ ප‍්‍රවෘත්ති ආවරණයත්, ‘Facebook මාරයා’ වැනි වචන භාවිතයත් මෙයට දායක වනවා.

‘‘Facebook යනු කාටත් නොමිළයේ බැඳිය හැකි සමාජ මාධ්‍ය ජාලයක්. වේදිකාවක්.  ප‍්‍රශ්න මතු වන්නේ එයට බැඳෙන සමහරුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි නිසයි.  ඒත් අපේ මාධ්‍ය වාර්තා බලන විට Facebook යනු මහා භයානක, දුෂ්ට හා දුෂිත තැනක් වැනි හැඟීමක් හටගත හැකියි’’ මෙගාරා කියනවා.

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ මාධ්‍යවේදීන් හා මාධ්‍ය කතුවරුන්ට මේ නව තාක්‍ෂණ හා මාධ්‍ය ගැන නිසි අවබෝධයක් නැති වීමයි.  ඉන්ටර්නෙට් ආගමනයෙන් පසු ගෙවී ගිය මුල් වසර කිහිපයේ එය තේරුම් ගත හැකි වුවත් තවමත් මේ නොදන්නාකම හා දුර්අවබෝධය පවතින්නේ ඇයි?

මගේ මතය: ඉන්ටර්නෙට් මාරයා, Facebook මාරයා වැනි යෙදුම් තමන්ගේ මාධ්‍ය ලිපිවල ලියන්නේ ඉන්ටර්නෙට් හීනමානයෙන් පෙළෙන උදවියයි.  තමන් නොදත් හෝ තමන් අසමත් නව තාක්‍ෂණයක් සමාජයේ අන් අයට ලැබෙනවාට නොරිසි මේ අය පොදුවේ ඉන්ටර්නෙට් ගැනත් සමාජ මාධ්‍ය ගැනත් අතිශයෝක්තියෙන් බියකරු කථා පතුරවනවා.

Sanjana Hattotuwa speaking on Social Media & Youth Patterns and trends of adoption into the future’ - photo courtesy Unicef Sri Lanka Facebook page
Sanjana Hattotuwa speaking on Social Media & Youth Patterns and trends of adoption into the future’ – photo courtesy Unicef Sri Lanka Facebook page

ඉන්ටර්නෙට් භාවිතයේදී ඇති වන අක‍්‍රමිකතා හා මූල්‍යමය වංචා ආදිය ගැන මෙරට නීති සම්පාදනය වී ඇතතත් සමාජ මාධ්‍ය ගැන තවමත් රාජ්‍ය තන්ත‍්‍රයට පැහැදිලි අවබෝධයක් නැහැ.  විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුවගේ අදහස සමාජ මාධ්‍ය ගැන දෙබිඩි පිළිවෙතක් රජයට ඇති බවයි.

‘‘එක් පසෙකින් ජනාධිපතිවරයා හා මහ බැංකු අධිපතිවරයා සෘජුව ම ලක් ජනතාවට සමීප වන්නට සමාජ මාධ්‍ය (Twitter) හරහා සංවාද කරනවා. ඒ අතර සමාජ මාධ්‍ය මහත් වසංගතයක් යයි ජනාධිපතිවරයා ම ප‍්‍රසිද්ධියේ කියනවා. සමාජ මාධ්‍ය මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යයි ආරක්‍ෂක ලේකම්වරයා දේශනයකදී කියනවා. මේ පරස්පරයන් නිසා සමාජ මාධ්‍ය ප‍්‍රශස්ත ලෙස සමාජ උන්නතියට යොදා ගැනීම දුෂ්කර වනවා’’ සංජන කියනවා.

4 Sep 2011: සිවුමංසල කොලූගැටයා #30: නීතිය, සාමය, ජාතික ආරක‍ෂාව හා ඉන්ටර්නෙට්

ටික දෙනකුගේ උද්ඝෝෂණ නිසා රජය සමාජ මාධ්‍ය මෙරට තුළ තහනම් කිරීමක් නොකරන බව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ප‍්‍රකාශ කොට තිබෙනවා.  දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය  භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා  අවධාරණය කරනවා.

සමාජ මාධ්‍ය නියාමනයට රාජ්‍ය කමිටුවක් පත් කැරෙන බවට මෑතකදී වාර්තා වුවත් ඒ ගැන වැඩි තොරතුරු හෙළිවී නැහැ. සංජන හත්තොටුව කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.  එසේම සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවාගත් අනන්‍යතා (pseudonimity) හෝ හරහා ද්වේශසහගත ලෙස  තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවත් ඔහු කියනවා.

වික්ටෝරියානු අධිසුචරිතවාදය වෙනුවට සදාචාරාත්මක හා ආචාරශීලි රාමුවක් තුළ සයිබර් සන්නිවේදන කිරීමේ අවශ්‍යතාවය ද අපේ සමාජයේ ප‍්‍රවර්ධනය කළ යුතුයි.  නැතිනම් ඩිජිටල් පරම්පරාවේ දැලිපිහිය අතට ගත් වඳුරන් වැනි පිරිසක් බිහි වීමේ අවදානම තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

“Of all the institutions arrayed with and against a President, none controls his fate more than television,” President Richard Nixon wrote in 1989, some 16 years after he resigned.

TV reporters, he said, in many ways “are political actors just like the President, mindful of their ratings, careful of preserving and building their power.” The media, he wrote, “have to be outfoxed, outflanked and outperformed.”

As Los Angeles Times noted shortly after Nixon’s 1994  death, his relationship with broadcast television was an especially chequered one. But then, many politicians around the world struggle on how get the best out of this pervasive yet demanding medium that can make or break a political career in our media saturated times.

In this week’s Ravaya column (in Sinhala language), I look at how Lankan politicians across the political spectrum have risen to this challenge. It’s a fair question to ask now that we’ve had broadcast TV for 35 years, and our first ‘Television Generation’ has grown up — and some of them are active in politics. I haven’t seen this aspect explored in academic writing, but hope my views inspire more detailed study of this fascinating topic…

Cartoons are by my one-time senior colleague W R Wijesoma.

Cartoon by W R Wijesoma, first published in The Island on 24 January 1989
Politicians playing havoc on TV: Cartoon by W R Wijesoma, first published in The Island on 24 January 1989

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට හෝ පළාත් පාලන ආයතනවලට තේරී පත්වීමේ ක‍්‍රියාදාමය අද අපේ රටේ මැතිවරණ පොරයක් බවට පත්ව තිබෙනවා.  එහිදී අපේක්‍ෂකයන් යම් ප‍්‍රතිඥා හා පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරිමත්, ඒවාගේ ගුණාගුණ විවාදයට ලක් කිරීමත් පුළුල්ව කැරෙනවා.

පත‍්‍රකලාවේදී මලල්ගොඩ බන්දුතිලක සූරීන් ලියූ ‘ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය’  ග‍්‍රන්ථයට අනුව මෙරට ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම ඇරඹුණේ 1911දී.  එහෙත් මුළු ලංකාවට ම ඡන්ද කොට්ඨාශ 4කින් පටන් ගත් මැතිවරණ ක‍්‍රමවේදය පුළුල් වූයේ 1931දී සර්වජන ඡන්දය ලැබීමෙන් පසුවයි. 1947 මහ මැතිවරණය තෙක් දේශපාලන පක්‍ෂ වශයෙන් තරග කිරීම වෙනුවට අපේක්‍ෂකයන් තමන්ගේ පසුබිම හා ජනප‍්‍රියත්වය මත ඡන්ද දිනා ගැනීම සිදු වූවා.

1947න් පසු දේශපාලන පක්‍ෂ වශයෙන් සංවිධානගත වී මැතිවරණ තරග කිරීම බහුලව කෙරුණත් ජනකාන්ත චරිත පෙරමුණට ගැනීම දශක ගණනක් තිස්සේ මෙරට මැතිවරණ ව්‍යාපාරවල පැවති ලක්‍ෂයක්.

20 වන සියවසේ මැතිවරණවලට සාපේක්‍ෂව වත්මන් මැතිවරණ ව්‍යාපාර ශෛලියෙන් හා ක‍්‍රමවේදයෙන් වෙනස් වන්නේ කෙසේ ද?  (අප කථා කරන්නේ දේශපාලන සංස්කෘතිය ගැන නොවෙයි.)

මැතිවරණ සඳහා නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් සූක්‍ෂම ලෙස යොදා ගැනීම වඩාත් ප‍්‍රබලව මතුව තිබෙනවා.  මෙරට වඩාත් සමාජගත වූ ජන මාධ්‍යය වන ටෙලිවිෂන්, මැතිවරණවලට හා දේශපාලන ප‍්‍රතිරූප ගොඩනැංවීමේදී කෙතරම් වැදගත් සාධකයක් ද? (නිල සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන පරිදි තව දුරටත් රේඩියෝව නාගරිකව හෝ ග‍්‍රාමීයව හෝ අංක එක තැනෙහි නැහැ!)

මේ ගැන මෙරට විද්වත් පර්යේෂණ කෙරී ඇත්දැයි මා විපරම් කළත් එබදු සොයා ගැනීම් ප‍්‍රකාශිතව නැහැ.  ටෙලිවිෂන් ආගමනයෙන් 35 වසරක් ගෙවී ඇති නිසා මේ පැතිකඩට මාධ්‍ය හා සමාජ විද්‍යා පර්යේෂකයන් අවධානය යොමු කළ යුතු යයි මා සිතනවා. එයට තුඩු දිය හැකි මූලික අදහස් දැක්වීමක් අද කරනවා.

ජාතික මට්ටමේ මැතිවරණවලට තරග කරන දේශපාලන පක්‍ෂවලටත්, ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ටත් රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් ගුවන් කාලය ලබා දීම කලෙක සිට ක‍්‍රියාත්මක වනවා.  එහෙත් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා රැසක් තිබෙන අද කාලේ වැඩිපුර ප‍්‍රතිරූප ගොඩනැංවෙන්නේ ටෙලිවිෂන් සංවාද හා ප‍්‍රවෘත්ති ආවරණය හරහායි.

හැම දේශපාලන පක්‍ෂයටම හා දේශපාලන චරිතයටම එක සේ පෞද්ගලික ටෙලිවිෂන් ආවරණය ලැබෙන්නේ නැහැ.  (එයට පසුබිම් වන විසමතා හා එහි දිගු කාලීන විපාක වෙනම විග‍්‍රහ කළ යුතුයි.)  එසේම කෙතරම් ගුවන් කාලයක් ලැබුණත් එයින් හරිහැටි ඵල නෙලා ගැනීමට කුසලතාවය නැති චරිත ද සිටිනවා.  මෙය අපට වඩා දිගු ටෙලිවිෂන් ඉතිහාසයක් ඇති ඇමරිකාව, යුරෝපය හා ජපානය වැනි සමාජයන්හි ද හමු වන විසමතාවයක්.

‘ටෙලිවිෂන් යුගයේ මුල්ම ජන නායකයා’ හැටියට පිළිගැනෙන ජෝන් එෆ්. කෙනෙඩි ගැන 2013 නොවැම්බර් 24 වනදා කොලමින් විග‍්‍රහ කළා. කෙනෙඩිගේ මාධ්‍ය ආදර්ශය එදා මෙදා තුර ලොව පුරා දේශපාලකයන් සමීපව අධ්‍යයනය කරනවා.  සහජ හැකියාව, වාග්චාතුර්යය, සුහද බව, හාස්‍යජනක බව හා අවශ්‍ය පමණට ගැඹුරුවීම වැනි ගුණාංග රැසක සියුම් සංකලනයක් කෙනෙඩිගේ සාර්ථකත්වයට හේතු වූවා.

John F Kennedy (left) and Ronand Reagan
John F Kennedy (left) and Ronand Reagan

පසු කලෙක මාධ්‍ය හරහා හෘදයාංගම ලෙස සිය ජනතාවට සමීප වීමට සමත් ලෝක නායකයන් අතර රොනල්ඞ් රේගන් හා නෙල්සන් මැන්ඩෙලා කැපී පෙනුණා.  වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දුන් හැටි 2013 ඔක් 20 වනදා කොලමින් අප කථා කළා.

දකුණු ආසියාවේ රාජීව් ගාන්ධි, බෙනාසීර් භූතෝ හා මොහමඞ් නෂීඞ් ටෙලිවිෂන් ජය ගත් නායකයන් බව මගේ තක්සේරුවයි.  රාජ්‍ය බලය හෝ ව්‍යාපාරික සහයෝගය හෝ හරහා වැඩි ගුවන් කාලයක් තමන්ට ලබා ගන්නවා වෙනුවට සූක්‍ෂමව හා නිර්මාණශීලිව ටෙලිවිෂන් මාධ්‍යය මෙහෙයවීමේ කලාව මේ නායකයන් දැන සිටියා.

(බෙනාසිර්ගේ ටෙලිවිෂන් ප‍්‍රධානියා හා නෂීඞ්ගේ මාධ්‍ය උපදේශකවරයා මුණ ගැසී මා කථාබහ කොට තිබෙනවා.  ඔවුන් දෙපල ම කීවේ කෙතරම් ධනයක් හා තාක්‍ෂණයක් තිබුණත් අවසන් විනිශ්චයේදී තම දේශපාලන නායකයන් ජනතාවට සමීප වූයේ ඒ සාධක නිසා නොව සහජ හැකියාව හා ආයාසයෙන් ප‍්‍රගුණ කර ගත් ටෙලිවිෂන් හරහා ජනතාව ඇමතීමේ හැකියාව නිසා බවයි.)

ටෙලිවිෂන් හරහා දේශපාලනය විද්‍යාවකට වඩා කලාවක්.  එය මුළුමනින් ශාස්ත‍්‍රාලීය පර්යේෂණ හරහා තේරුම් ගැනීම අපහසුයි. ‘ටෙලිවිෂන් අත් ගුණය’ කියා යමක් සමහර දේශපාලකයන්ට හා ජන නායකයන්ට තිබේ යයි මට සිතෙනවා. ඉංග‍්‍රීසි බසින් media savvy කියනවා (මාධ්‍ය භාවිතයේ බුහුටි බව).

ටෙලිවිෂන් හරහා ජනහද දිනන්නට රූපකාය හා වාග් චාතුර්යය පමණක් සෑහෙන්නේ නැහැ. Charisma යයි ඉංගී‍්‍රසියෙන් කියන සිත් ඇද ගන්නා ජනකාන්ත ගුණය ද තිබිය යුතුයි. එයටත් වඩා තීරණාත්මක වන්නේ නිර්ව්‍යාජ වූ මිත‍්‍රශීලී බවක් තිබීමයි. එය ආයාසයෙන් මතු කර ගන්නට අමාරුයි. සමහරුන්ට එය සොබාවයෙන් පිහිටනවා.

මහජන රැස්වීම් වේදිකාවල ජනයා අමතන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් ශෛලියක් ටෙලිවිෂන් මාධ්‍යයේදී යොදා ගත යුතුයි. ටෙලිවිෂන් කැමරාව කෙනකුගේ මුහුණේ සමීප දසුන් හසු කර ගන්නට සමත්. එහිදී ආවේගයන් ප‍්‍රබල ලෙස ඉස්මතු කැරෙනවා.

එසේ ම වේදිකාවල උද්වේගකර ලෙසින් කථා කළ හැකි වුවත් ටෙලිවිෂන් මාධ්‍යයේදී හැකි තාක් සිනහ බරිතව, සැහැල්ලූවෙන් හා හෘදයංගම ලෙසින් කථා කිරීම අවශ්‍යයි. මන්ද යත් පේ‍්‍රක්‍ෂකයන් සමූහ වශයෙන් නොව තනි තනිව විසිත්ත කාමරවල හෝ වෙනත් තැන්වල සිට එය නරඹන නිසා.

අපේ රටේත්, වෙනත් පෙර අපර දෙදිග බොහෝ රටවලත් ජන නායකයන්ට මේ දෙආකාරයේ කථා ශෛලිය පවත්වා ගැනීම අපහසුයි. අපේ තරුණ දේශපාලකයෝ පවා වේදිකා ඇමතුම් ශෛලිය ටෙලිවිෂන් මාධ්‍යයටත් යොදා ගන්නට තැත් කොට අසාර්ථක වනවා.

W R Wijesoma's cartoon in The Island - 18 March 1982
W R Wijesoma’s cartoon in The Island – 18 March 1982

මෙරට ටෙලිවිෂන් මාධ්‍යය ඇරැඹෙන විට රාජ්‍ය නායකයා වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන. මුල් ටෙලිවිෂන් දශකය පමණ ගෙවී ගියේ ඔහුගේ පාලන කාලයේ වුවත් ඔහු ටෙලිවිෂන් සමඟ එතරම් ගනුදෙනු කළේ නැහැ. ඉඳහිට ටෙලිවිෂන් සාකච්ඡාවක් කළ විට පවා සැහැල්ලූවෙන් නොසිටි බව මට මතකයි.

කොටින්ම කියතොත් ජේ. ආර්. ජනතාවට හෘදයාංගම ලෙස ඇමතීමේ හැකියාව තිබූ නායකයෙක් නොවෙයි. ඔහුගේ මුල් බස වූ ඉංග‍්‍රීසියෙන් පවා ඔහුට තිබුණේ ගාම්භීර හා ශාස්ත‍්‍රීය මට්ටමේ ශෛලියක්.

ඔහුගේ කැබිනට් ඇමතිවරුන් අතර විවිධාකාර දක්ෂයන් රැසක් සිටියත් ටෙලිවිෂන් මාධ්‍යයට මනා ලෙසින් අනුගත වූයේ (මාධ්‍ය භාර) රාජ්‍ය ඇමති හා කථානායක ආදී තනතුරු දැරූ ආනන්දතිස්ස ද අල්විස්. ඔහු ද්විභාෂා දක්ෂයෙක්. එමෙන්ම සැහැල්ලූවෙන්, විහිළුවෙන් හරබර දේ කීමේ හැකියාව ඔහුට තිබුණා.

Dr. Ananda Tissa De Alwis Stampශ‍්‍රී ලංකාවේ ටෙලිවිෂන් පරිණාමය විමසිලිමත්ව බලා සිටින මා මෙරට ටෙලිවිෂන් ජය ගත් මුල් ම දේශපාලකයා ලෙස සලකන්නේ ඔහුයි. ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන, සමීප හිතවතෙකු සමඟ පිළිසඳරේ යෙදෙන ආකාරයෙන් කථා කිරීමේ හැකියාව ඔහු ඉක්මනින් ප‍්‍රගුණ කළා. වේදිකා කථා කිරීමේ ශෛලියට වඩා මෙය ඉතා වෙනස් වන බව ඔහු හඳුනා ගත්තා.

ආනන්දතිස්ස ද අල්විස්ගේ ටෙලිවිෂන් හැකියාව උරගා බැලූණු එක් අවස්ථාවක් මට හොඳට මතකයි. 1983 ජූලි ඛේදවාචකයේ අවසන් අදියර එළඹෙද්දී රටේ ජනතාව සන්සුන් කිරීමට රජය වෙනුවෙන් රට ඇමතුවේ ඔහුයි. කොළඹට කිසිදු කොටි ප‍්‍රහාරයක් එල්ල නොවූ බවත්, එකම කොටියන් සිටියේ දෙහිවල සත්තු වත්තේ බවත් කියමින් එබඳු සංවේගදායක හා සංත‍්‍රාසමය මොහොතක පවා ටෙලිවිෂන් හරහා රට වැසියන් අස්වැසීමට ඔහු උත්සාහ ගත්තා.

මෙරටට ටෙලිවිෂන් හඳුන්වා දෙන අවධියේ මුල් තැන ගෙන කි‍්‍රයා කළ රාජ්‍ය නිලධාරියා වූ ආචාර්ය සරත් අමුණුගම පසු කලෙක සකි‍්‍රය දේශපාලනයට පිවිසුණා. ආනන්දතිස්ස ද අල්විස්ට පසු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් අතර ටෙලිවිෂන් හරහා හදවත් ඇමතීමේ හා ලයාන්විත තර්කනයේ කුසලතාව හොදින් ම ප‍්‍රගුණ කර ඇත්තේ ආචාර්ය අමුණුගමයි.

ඔහු කියන දෙයට අප එකඟ වුවත් නැතත් ඔහුගේ දේහ චලනය, මුහුණේ මදහාසය හා කටහඬ පාලනය තරුණ දේශපාලකයන් හා අනෙකුත් ජනමතයට බලපෑම් කිරීමට කැමති කොයි කවුරුත් සමීපව අධ්‍යයනය කිරීම වටිනවා.

ජනාධිපති පේ‍්‍රමදාස චතුර වේදිකා කථිකයෙකු වුවත් සිය කථා ශෛලිය ටෙලිවිෂන් අවශ්‍යතා සඳහා වෙනස් කර ගත්තේ නැහැ. නමුත් ටෙලිවිෂන් මාධ්‍යයේ බලය වටහා ගත් ඔහු හැම නාලිකාවක ම ප‍්‍රවෘත්ති ආවරණයේ අධි නියෝජනයක් නිල බලයෙන් ලබා ගත්තා. මෙය කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් වරක් සියුම් ලෙස උපහාසයට ලක් කළා.

Cartoon by W R Wijesoma, first published in The Island on 3 March 1993
Cartoon by W R Wijesoma, first published in The Island on 3 March 1993

දේශපාලන වේදිකා මෙන්ම විද්වත් සභාවලදීත් තැනේ හැටියට කථිකත්වය වෙනස් කිරීමේ හපනුන් වූ අනුර බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක වැනි අය ද ටෙලිවිෂන් මාධ්‍යයේ හෘදයාංගම ශෛලිය හරිහැටි හසු කර ගත්තේ නැහැ.

මෙය මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල අත්දුටු සත්‍යයක්. සජීව සභාවල චතුර හා උද්වේගකර කථිකයන්ට ටෙලිවිෂන් මැදිරියක අජීවී ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන එය හරහා රටක් පුරා විසිරී පේ‍්‍රක්‍ෂක පිරිසක් සාර්ථක ලෙස ඇමතීමේ සුවිශේෂි හැකියාව බොහෝ විට ලබා ගැනීම අපහසු වනවා.

දැනට සකි‍්‍රය දේශපාලනයේ සිටින අයගේ ටෙලිවිෂන් කථන හැකියාව වෙන් වෙන්ව ඇගැයීමට මා කැමති නැහැ. අපේ පළමුවන ටෙලිවිෂන් පරම්පරාවේ සාමාජිකයන් ගණනාවක් ද දේශපාලනයේ නියැලෙනවා. 1980 හා 1990 දශකවල ටෙලිවිෂන් සමග හැදුණු වැඩුණු පමණට ම මේ සැම අයකුම දක්‍ෂ ටෙලිවිෂන් සන්නිවේදකයන් වන්නේ නැහැ.

දේශපාලන සංවාදවලදි විනීතව, සිනහ බරිතව, උපහාසාත්මකව කථා කිරීමේ හැකියාව තියුණු කර ගත් තරුණ දේශපාලකයන් කිහිප දෙනකු සිටිනු පෙනෙනවා. එමෙන්ම වේදිකාවක හා ටෙලිවිෂනයේ වෙනස නොහඳුනන, ටෙලිවිෂන් හරහා අනවශ්‍ය ලෙසින් කෑ මොර දෙන තරුණ දේශපාලකයන් ද සිටිනවා.

21 වන සියවසේ ජන ජීවිතය වඩාත් විද්්‍යුත් හා වෙබ් මාධ්‍යවලට සමීප වෙද්දී සාම්ප‍්‍රදායික දේශපාලන රැස්වීම් හා වේදිකා කථාවල සාපේක්ෂ වැදගත්කම කෙමෙන් අඩු වී යනවා. එළැඹෙන වසර හා දශකවල දේශපාලනයේ වඩාත් තීරණාත්මක සාධකය වනු ඇත්තේ තම අදහස් හා ප‍්‍රතිපත්ති මාධ්‍ය හරහා වඩාත් විශ්වසනීය ලෙසත්, චිත්තාකර්ෂණීය ලෙසත් සන්නිවේදනයේ හැකියාවයි.

මෙය මුදල් වියදම් කිරීමෙන් පමණක් ලබා ගත හැක්කක් නොවෙයි. මහා ලොකුවට මාධ්‍ය හරහා තම ප‍්‍රචාරණය ගෙන ගිය සමහර ධනවත් දේශපාලකයෝ යළි යළිත් මෙරට ඡන්දදායකයන් විසින් ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා.

අනාගත දේශපාලනයට ගෙයින් ගෙට යාම හෝ පෝස්ටර්, බැනර්, කටවුට් ගැසීමට වඩා ටෙලිවිෂන් හා වෙබ් හරහා ජන හදට සමීප වීමේ හැකියාව  ඕනෑ වන බව නම් පැහැදිලියි.

සිවුමංසල කොලූගැටයා #158: දේශීය බීජ හා ගොවි උරුමය රැක ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I summarise concerns about the draft new Seed Act of Sri Lanka proposed by the government’s Department of Agriculture. Many farmer groups and environmental activists have serious misgivings about proposals to centralise all seed sharing and trading in the head of the Department of Agriculture. Activists see this seriously undermining those using and protecting traditional varieties of seed and engaged in organic farming.

An English summary of these concerns is found here: New Internationalist, 28 January 2014: Sri Lankan farmers resist new seed law

Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 - Image courtesy http://lankapura.com
Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 – Image courtesy http://lankapura.com

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජිත නව බීජ පනතේ කෙටුම්පත මේ වන විට ගොවි සංවිධාන හා හරිතවේදීන් අතර විවාදාත්මක වී තිබෙනවා.  නව පනතෙන් සුළු ගොවියාගේ පාරම්පරික බීජ අයිතිය සීමා වන්නට හෝ නැති වන්නට හෝ ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ගොවිතැන් ගැන විචාරශීලිව බලා සිටින මා මේ උද්ඝෝෂණය ගැන අවධානය යොමු කළා. ක‍්‍රියාකාරිකයන් ගණනාවකට සවන් දුන්නා.  අද ගොනු කරන්නේ එසේ රැස් කර ගත් කරුණු හා අදහස්වලින් කොටසක්.

දැනට ක‍්‍රියාත්මක වන්නේ 2003 අංක 22 දරණ බීජ පනතයි. යෝජිත නව පනතෙන් පවතින පනතේ බලතල අභිබවා යමින් බීජ පිළිබඳ ඒකාධිකාරයක් කෘෂි නිලධාරින්ට හා බීජ බෙදා හරින සමාගම්වලට ලබා දෙනු ඇතැයි එයට එරෙහි ගොවි සංවිධාන කියනවා.

නව පනත් කෙටුම්පතේ එය හඳුන්වා දෙන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව රැකීමට හා නියාමනයටත්, දේශීය බීජ කර්මාන්තයේ සංවර්ධනයට හා ජාන සම්පත් සුරැකීමටත් අරමුණු කැරෙන බවයි. සියළු වැවිලි බෝග, අපනයන බෝග, ඖෂධ පැළෑටි, සත්ව ආහාර වර්ග ආදිය මේ පනතින් ආවරණය වනවා.

ගොවි සංවිධාන කැළඹී ඇත්තේ යෝජිත බීජ පනතින් රටේ සියළු බීජ  හා අනෙක් රෝපණ ද්‍රව්‍ය පිළිබඳ මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  පත් කිරීමේ යෝජනාවයි.  ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිපදවීම, ළඟ තබා ගැනීම, බෙදා හැරීම,  හුවමාරු කිරීම හා විකිණීම තහනම් වීමට යෝජිතයි.

එසේම පනතතේ විධි විධාන කඩ කරන අය පරීක්‍ෂා කිරීම, ප‍්‍රවාහනය සෝදිසි කිරීම, හා වැරදිකරුවන් වන අයට දඩ නියම කිරිමට හෝ මාස 6කට සිරගත කිරීමට අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට ලැබීමට යෝජිත බලය, පොලිස් බලතල පවා ඉක්මවා  යාමක් බව ගොවි සංවිධාන කියනවා.

මේ කෙටුම්පත ගැන විස්තරාත්මක විවේචනයක් කරන බුද්ධි ජයසූරිය තර්ක කරන්නේ වානිජකරණය වූ කෘෂිකර්මාන්තයක චින්තන රාමුව තුළ පිහිටා මෙය සකස් කර ඇති බවයි. එහි කිසිදු තැනෙක ‘ගොවියා’ යන වචනය නොයොදා ඒ වෙනුවට ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන්’ යන තාක්‍ෂණික යෙදුම පමණක් භාවිත කිරීම ගැන ඔහු විමතිය පළකරනවා.

ගොවිතැනින් ජීවිකාව සලසා ගන්නා කුඩා පරිමාන ගොවීන් අති බහුතරයක් සිටින මෙරට, මේ නව පනත හරහා  කෘෂි සමාගම් හා කෘෂි  වෙළඳපොලකට යොමු වීම පැහැදිලි බවත්, එය සුළු ගොවීන්ට අසාධාරණ බවත් ඔහුගේ මතයයි.

‘‘තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රමයකට කැරෙන ගොවිතැන් ප‍්‍රවර්ධනය ගැන අපේ කෘෂි නිලධාරින් මේ දක්වා සැබෑ උනන්දුවක් දක්වා නැහැ.  මේ නිසා ඔවුන් ගැන කිසි විශ්වාසයක් තබන්නේ කොහොමද?’’ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයෙ (MONLAR)  සරත් ප‍්‍රනාන්දු අසනවා.

‘‘ගොවි රජා යයි මහ ඉහළින් වර්ණනා කරන අපේ ගොවියාට කොන්දේසි, තහංචි හා දණ්ඩන රැසක් පනවා ඔහු බියපත් කිරීමේ උත්සාහයක් මෙහි තිබෙනවා.  මෙය ගොවීන්ට පමණක් නොවෙයි පාරිභෝගිකයන්ට ද අහිතකර පනතක් බව අපේ විග‍්‍රහයයි,’’ ප‍්‍රනාන්දු කියනවා.

Sarath Fernando - Photo by Aditya Batra, Down to Earth Magazine
Sarath Fernando – Photo by Aditya Batra, Down to Earth Magazine

බීජ රැක ගෙන ඉතිරිකර ගැනීම, හුවමාරු කර ගැනීම, විකිණිම, අභිජනනය හා දියුණු කිරීම ගොවියාගේ මූලික අයිතිවාසිකමක් බවත්, එය නිලධාරින්ට පාවා දිය නොහැකි බවත් බීජ අයිතීන් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

ඔවුන් කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ විවිධ කෘෂිකාර්මික බෝගවලට අදාල බීජ වර්ග 3,000කට වැඩි සංඛ්‍යාවක් ලක් ගොවීන් විසින් පාරම්පරිකව වගා කරමින්, රැක ගනිමින් හා හුවමාරු කර ගනිමින් ඇති බවයි.

බීජ අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාමන්කඩවල ශ‍්‍රී පියරතන හිමියන් කියන්නේ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් දෙමුහුන් බීජ වර්ග මෙන් නොව සාම්ප‍්‍රදායික බීජ වැවීමට අධික ලෙස  රසායනික පොහොර හෝ කෘමිනාශක අනවශ්‍ය බවයි.

“කෘෂි රසායනික  අධික ලෙස  භාවිතය නිසා බෝ නොවන නිදන්ගත රෝග හට ගන්නා බව අපේ විශ්වාසයයි.  වකුගඩු රෝගය පමණක් නොවෙයි, පිළිකා රෝග රාශියක් ද ඇති වනවා. මේ දැඩි අවදානම දැන දැනත් අපේ ගොවීන් බොහෝ දෙනකු තවමත් කෘෂි රසායනිකවල ඇලී ගැලී සිටිනවා.  එය එක් හේතුවක් නම් වැවීමේ (තාවකාලික) පහසුව.  තව හේතුවක් නම් කෘෂි රසායනිකවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලැබෙන රාජ්‍ය ප‍්‍රවර්ධනය.  මේ කෘෂි රසායනික නැතිව වගා කිරීමේ අවස්ථාව අපේ ගොවීන්ට ලබා දෙන්න යයි අපි රජයෙන් ඉල්ලා සිටියත් තවම ප‍්‍රතිචාරයක් නැහැ,” එහිමියන් කියනවා.

අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ අධික කෘෂි රසායනික භාවිතය ගොවීන්ට නිර්දේශ කරමින් සිටින අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොබාවික ක‍්‍රම මගින් ගොවිතැන් කිරීම හා දේශීය බීජ ගැන එතරම් උනන්දු වන ආයතනයක් නොවෙයි.  (හරිත විප්ලවය ගැන කෙතරම් විවේචන කළත් එය තවමත් ලක් රජයේ නිල ප‍්‍රතිපත්තියයි! එය ක‍්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන රාජකාරියයි!)

මේ වැඩියෙන් යොදා වැඩි අස්වනු නෙළා ගැනීමේ (high external input agriculture) සම්ප‍්‍රදායට විකල්පයක් ලෙස ජෛවීය පොහොර හා සොබාවික පලිබෝධනාශක යොදා ගෙන වගා කිරීමේ කාබනික ගොවිතැනක් (organic farming) ද සුළු පරිමානයෙන් මෙරට තිබෙනවා.  2014 ජනවාරි 26දා කොලමින් අප එය විග‍්‍රහ කළා.

කාබනික ගොවිතැන් කරන ගොවීන් බොහෝ කොට භාවිත කරන්නේ පාරම්පරිකව ලැබී ඇති දේශීය බීජයි.  නිල තන්ත‍්‍රයෙන් අනුග‍්‍රහයක් නැතිව වුවත් තම තමන් අතර හොඳ දේශීය බීජ හුවමාරු කර ගැනීමක් මේ දක්වා ගොවීන් කර ගෙන ආවා.

රාජ්‍ය නොවන  සංවිධාන (NGO)වලට දොස් කීම පුළුල්ව කැරෙන අද කාලයේ මතක් කිරීම වටින්නේ අයාලේ ගිය රාජ්‍ය කෘෂි ආයතන අවිචාරශීලීව අඩසියවසක් තිස්සේ හරිත විප්ලවයට ආවඩන අතරේ දේශීය බීජ හා කාබනික/සොබාවික ගොවිතැන මෙපමණටවත් රැකී ඇත්තේ  NGO කැපවීම නිසා බවයි.

2003 (පවතින) පනතින් ගොවියකු තමා වැවූ බීජ තොගයක්, තමාගේ බිමෙහිදී වෙනත් අයකුට දීම හෝ විකිණීම හෝ නියාමනය කැරුණේ නැහැ.  සුළු පරිමානයෙන් එකිනෙකා අතර බීජ හුවමාරු කර ගැනීම ගොවින් බොහෝ කලක සිට කරනවා.

යෝජිත පනතේ 18 වන වගන්තියට අනුව දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් සුරැකීම, ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය  හුවමාරු කර ගැනීම, බෙදා හැරීම හෝ ලබා දීම දෙපාර්තමේන්තු බලධරයාගේ අවසරයකින් තොරව නොකළ යුතු වනවා.  ගොවි හා පාරිසරික ක‍්‍රියාකාරිකයන් කියන්නේ බීජ පිළිබඳව සාම්ප‍්‍රදායිකව ගොවීන්ට තිබූ අයිතිවාසිකම මෙයින් අහෝසි වන බවයි.

නව පනත යටතේ තාක්‍ෂණ හා උපදේශක කමිටුවක් පිහිටුවීමට යෝජිතයි.  2003 පනතේ එබඳු කමිටුවකට ගොවි ජනතාව නියෝජනය කරන දෙදෙනෙකුට අවසර තිබුණත්, නව පනතේ එය දක්වා ඇත්තේ ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පිිළිබඳ විද්‍යාත්මක ශික්‍ෂණයක් සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු’ පත් කළ හැකි බවයි.  මෙහි යටි අරමුණ විය හැක්කේ ගොවි නියෝජනය නැති කොට පොතේ උගතුන්ට පමණක් කමිටුව සීමා කිරීම ද?  පනතේ විවේචකයන් මේ බිය පළ කරනවා.

MONLAR ආයතනයේ සරත් ප‍්‍රනාන්දු කියන්නේ මෙරට ගොවිතැනේ රාජ්‍ය නියාමනයට ඉඳුරා ම ලක්විය යුතු පැතිකඩ ද තිබෙන බවයි.  “මහා පරිමාණ රසායනික පොහොර හා වල් නාශක, පලිබෝධනාශක භාවිතය හරහා අපේ ආහාරවලට උග‍්‍ර වස විස එකතු කිරීමත්, එබඳු කෘෂි රසායනික නොමැතිව වගා කරන්නට බැරි  නවීන දෙමුහුම්  බීජ ප‍්‍රභේද  ප‍්‍රවර්ධනය කිරීමත් අනිවාර්යයෙන් මීට වඩා දැඩි පාලනයකට පත් කිරීම අවශ්‍යයි.”

‘‘රටේ නීති රීති තද කළ යුතතේ මේ දෙආකාරයේ කි‍්‍රයාවල යෙදෙන අයටයි.  එසේ නැතිව සුළු ගොවියාට නොවෙයි!’’ ඔහු අවධාරණය කරනවා.

අපේ සමහර ගොවීන් ද වැරදි කරන බව ප‍්‍රනාන්දු පිළිගන්නවා. “පරිසරය වනසන, ආහාර විස කරන ක‍්‍රියා ගොවීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනවා.  එබඳු අකටයුතුකම් පාලනය කරන්නට අවශ්‍ය නීති රජය ගෙනෙනවා නම් අප එයට එක හෙළාම කැමතියි!”

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

යෝජිත පනත් කෙටුම්පත මෙරට ක‍්‍රියාකාරිකයන් විසින් බීජ රැක ගැනීමේ ඉන්දියානු ජනතා ව්‍යාපාරයේ බල කණුවක් වන ආචාර්ය වන්දනා ශිවාට (Dr Vandana Shiva) යොමු කරනු ලැබුවා.  එය අධ්‍යයනය කළ ඇය ද පවසන්නේ ඇතැම් වගන්ති හා යෝජිත විධිවිධාන සුළු ගොවීන්ගේ පාරම්පරික බීජ අයිතීන්ට පහරක් බවයි.

ඇය කියන්නේ කුඩා පරිමාණයෙන් දේශීය වී ප‍්‍රභේද හා අනෙකුත් දේශීය බෝග වගාවේ නිරත ගොවීන් මේ නව පනතේ රාමුවෙන් නිදහස් කළ යුතු බවයි.

19 January 2014:  සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

යෝජිත බීජ පනත මහජන අදහස් දැක්වීම සඳහා 2013 අග සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙනවා.  එය හොඳ පියවරක්.  එහෙත් එපමණක් සෑහෙන්නේ නැහැ.  යෝජිත විධි විධාන අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ජනතාවට තේරෙන ලිහිල් බසින් පැහැදිළි කළ යුතුයි.

පනත් කෙටුම්පත් කරන්නේ ගරු ගාම්භීර හා දරදඬු නීතිමය බසින්.  එයින් ඔබ්බට ගොස් තම අරමුණු ප‍්‍රශස්ත ලෙස  සන්නිවේදනය කිරීමේ අභියෝගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබෙනවා. එසේ කරන විට ගොවි හා සෙසු ජන සංවිධානවල විරෝධතා සාවධානව සැළකිල්ලට ගෙන සංවාදයකට එළැඹීමත්  වැදගත්.  පරිනත සමාජයන්හි නව නීති හා රෙගුලාසි සම්මත කර ගන්නේ එබඳු පුළුල් සංවාදවලින් පසුව පමණයි.

මෙහිදී ආවේගශීලි නොවී ඉලක්කගතව මත දැක්වීමේ වගකීම ගොවි, හරිත හා අනෙක් ජන සංවිධානවලට හා ස්වාධීන විද්වතුන්ට තිබෙනවා.

Sri Lanka traditional rice - image from Wikipedia
Sri Lanka traditional rice – image from Wikipedia

බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රැස්වීමකට මෑතදී නිරික්‍ෂකයකු ලෙස මා  සහභාගී වූවා.  එසේම ඔවුන් නව බීජ පනතට එරෙහිව ලියූ  පත‍්‍රිකා හා ඇතැම් පුවත්පත් ලිපි ද කියැවුවා.

මේ ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු සැකයක් නැහැ.  එහෙත් ඔවුන්ගේ ක‍්‍රමවේදය ගැන මට ප‍්‍රශ්න තිබෙනවා.  සංකීර්ණ අද සමාජයේ ප‍්‍රශ්න සරලව විග‍්‍රහ කළ නොහැකියි. මාතෘකාවට අදාලව, කෙටියෙන් හා තර්කානුකූලව කරුණු ගොනු කිරීමට අපේ බොහෝ ක‍්‍රියාකාරිකයන් අසමත්.

මහා කුමන්ත‍්‍රණ, පාවාදීම් හා ද්‍රෝහිකම් ගැන ආවේගශීලි මතවාදයන් සමග මුසු වීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක හා විද්‍යාත්මක තර්කවල සැර බාල වීමේ අවදානම තිබෙනවා.

මිටියක්  පමණක් අත තිබෙන තැනැත්තාට හැම ප‍්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇණයක් හැටියට යයි කියමනක් තිබෙනවා.  හීන්සීරුවේ හා උපක‍්‍රමශීලීව උද්ඝෝෂණ කිරීමේ හා මහජන මත ගොඩනැගීමේ සියුම් කලාව අපේ හරිතවේදීන් හා ගොවි සංවිධාන ප‍්‍රගුණ කළ යුතුයි. ඉන්දියාවේ බීජ උරුමය රැක ගන්නට ගොවි සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ගෙන යන උද්ඝෝෂණවලින් අපේ ඇත්තන්ට ආදර්ශ ගත හැකියි.

මෙහිදී ප‍්‍රතිපත්තිගරුක වීම පමණක් මදි.  ගාන්ධිතුමා හා නෙල්සන් මැන්ඩෙලා වැනි පරමාදර්ශී චරිතවලින් පවා ලැබෙන ආදර්ශය නම් ආවේගයට වඩා සන්සුන් තර්කයට හා විනීත සංවාදයට බොහෝ දේ කළ හැකි බවයි.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

සිවුමංසල කොලූගැටයා #156: අයින්ස්ටයින්ගේ ලංකා සංචාරය ගැන තොරතුරු මතු වෙයි

In this week’s Ravaya column (in Sinhala), I share info on Albert Einstein’s short visit to Ceylon in October 1922 on his way to Japan. This is based on a recent talk given by physicist Dr Kirthi Tennakone, who has unearthed this info from Einstein diaries and other archival records.

I’m yet to write this in English, but intend doing so shortly.

Albert & Elsa Einstein - Photo courtesy  Wikimedia Commons
Albert & Elsa Einstein – Photo courtesy Wikimedia Commons

20 වන සියවසේ මහා ප‍්‍රාඥයෙකු හැටියට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) කෙටි සංචාරයකට මීට දශක නවයකට පෙර ලංකාවට ආ බව ඔබ දන්නවා ද?

ජර්මනියේ උපත ලබා අමෙරිකාවේදී මිය ගිය මේ මහා මොළකාරයා, ජිවිත කාලයේ නොයෙක් දේශ සංචාරවල යෙදුණා. 1922 ඔක්තෝබර් අගදී ඔහු සිය බිරිඳ එල්සාත් සමග මෙහි ආවේ ජපානයේ දේශන කිරීමට යන අතරතුරේයි. ගුවන් ගමන් නොතිබි ඒ යුගයේ එබඳු සංචාර සිදු කළේ නැව් ගමනින්. බොහෝ නැව් පෙර අපර දෙදිග බලා යද්දී දිනකට හෝ දෙකකට කොළඹ වරායේ නවත්වනවා.

අයින්ස්ටයින්ගේ ලංකා ගමන ගැන වැළලී ගිය තොරතුරු ඉස්මතු කර ගත්තේ ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් විසින්. කලක් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ  (IFS) අධ්‍යක්‍ෂවරයා වූ ඔහු දැන් ඇමරිකානු සරසවියක උගන්වනවා.

Prof Kirthi Tennakone
Prof Kirthi Tennakone

මෙරටත්, අමෙරිකාවේත්, ඊශ‍්‍රයාලයේ ජෙරුසලමේ අයින්ස්ටයින් ලේඛනාගාරයේත් ගවේෂණ කිරීමෙන් තොරතුරු මතු කර ගන්නට ඔහුට හැකිව තිබෙනවා. මෑතදී ජාතික විද්‍යා පදනමේ දේශනයකදී ඔහු මේ තොරතුරු ඉදිරිපත් කළා.

අයින්ස්ටයින් හා එල්සා 1922 ඔක්තෝබර් 8 වනදා ප‍්‍රංශයේ මාසේ වරායෙන් ගමනාරම්භ කළා. ඔවුන් රැගත් කිතානෝ මාරු  (Kitano Maru) නම් ජපන් මගී නොෟකාව ඊජිප්තුවේ පෝට් සෙඞ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං, චීනයේ ෂැංහයි යන වරායන්හි නතර කරමින් සති පහක චාරිකාව හමාර කළේ නොවැම්බර් 17 වනදා ජපානයේ කෝබේ නුවර වරායෙන්.

මේ ගමනට වියදම් කළේ ඔහුට ජපානයට ඇරයුම් කළ සනෙහිකෝ යමාමොතෝ Sanehiko Yamamoto නම් ජපන් ප‍්‍රකාශකයායි. ඔහුගේ තෝකියෝවේ කයිසෝහා Kaizosha ප‍්‍රකාශන සමාගම මුලික වී මාසයකට අධික කාලයක් ජපානයේ විවිධ තැන්වල අයින්ස්ටයින්ට විද්වත් දේශන සංවිධානය කරනු ලැබුවා.

1922 වන විට දශකයක පමණ කාලයක් තිස්සේ හැම වසරක ම භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට අයින්ස්ටයින්ගේ නම යෝජනා වුවත් නොබෙල් කමිටුව ඒ හැම වතාවකම හේතු නොදක්වා ත්‍යාගය වෙනත් අයට පිරිනැමුවා.

1919 වන විට තත්ත්වය වෙනස් වුණේ බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ආතර් එඩිංටන් පූර්ණ සූර්යග‍්‍රහණයක් නිරීක්‍ෂණය කොට අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයේ න්‍යායාත්මක පදනම තහවුරු කර තිබු නිසයි. එහෙත් මේ වන විට ජර්මනියේ බලධාරින් යුදෙව් සම්භවය සහිත උගතුන්ට කැනහිලිකම් කිරීම අරඹා තිබුණා.  යුදෙව්වකු මෙන් ම අතිශයින් සාමවාදියකු (pacifist) ද වූ අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය නොදෙන ලෙස ජර්මන් වියතුන් හා නිලධාරින් නොබෙල් කමිටුවට රහසේ බලපෑම් කළා.

1922 ඔක්තෝබරයේ ඔහු ජපානය බලා නැව් නගින විට නැවත වාරයක් අයින්ස්ටයින්ගේ නම නොබෙල් ත්‍යාගයට යෝජනා වී තිබුණා. 1921 වසර සඳහා  නොබෙල් ත්‍යාගය 1922 ඔක්තෝබර් මුලදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල යුතුව තිබණත් එය නොවැම්බර් මැද දක්වා අසාමාන්‍ය ලෙස කල් ගියා.  මේ අවිනිශ්චිත බව අයින්ස්ටයින්ට මානසිකව බලපෑවා.

Kitano Maru Japanese shipping liner
Kitano Maru Japanese shipping liner

යුදෙව් බුද්ධිමතුන්ට හා ප‍්‍රභූන්ට ප‍්‍රහාර එල්ල කරන අහිතකර වාතාවරණයක් එවකට යුරෝපයේ පැවති නිසා  කලකට යුරෝපයෙන් ඈත් වී සිටීමේ වැදගත්කම ද අයින්ස්ටයින් තේරුම් ගත්තා.

ඇල්බට් හා එල්සා කොළඹ වරායට ළගා වුණේ 1922 ඔක්තෝබර් 26 වනදා සවස. ‘කිතානෝ මාරු‘ නැව ජෙටියේ ගාල් කළ පසු ඔවුන් හමු වූ මුල් ම ලාංකිකයා වුයේ අයින්ස්ටයින් නමට ලැබී තිබූ ටෙලිග‍්‍රෑම් රැගෙන ආ සිහින්, සුදුවන් රැවුලක් ඇති පුද්ගලයෙක්. සමහර විට වරාය සේවකයකු හෝ නැව් සමාගම් සේවකයකු විය හැකියි. තම කාරිය ඉටු කොට එයට ‘ටිප් ’ එකක් ඉල්ලා සිටි බවත්, මේ මිනිසා ගැන කණගාටුවක් ඇති වූ බවත් අයින්ස්ටයින් දින පොතේ ලියා තිබෙනවා.

අයින්ස්ටයින් යුවල කොළඹ දෙදිනක් ගත කළා. ඔක්තෝබර් 27 වනදා ඔවුන් නගර සංචාරයකට නැවෙන් එළියට ආ විට ඒ සඳහා තිබුණු එක ම ප‍්‍රවාහන ක‍්‍රමය වූයේ රික්ෂෝයි. තවත් මිනිසෙකු ඇද ගෙන යන වාහනයකට අයින්ස්ටයින් කැමති වූයේ නැහැ. ‘රුපියල් දෙකයි – රුපියල් දෙකයි’ යනුවෙන් ඝෝෂා කරමින් ජෙටිය අවට පොර කන රික්ෂෝකරුවන් දුටු අයින්ස්ටයින් මවිත වූවා. එවිට නැවේ නිලධාරියකු කීවේ: ‘ඔබ දැන් ඉන්නේ පෙරදිග රටක. එහි යථාර්ථයට මුහුණ දෙන්න’ කියායි.

වෙනත් විකල්පයක් නැති බැවින් එල්සා හා ඇල්බට් රික්ෂෝවල නැගී වීදි සංචාරය කළා. එදින ඔහු දිනපොතේ ලියුවේ මෙයයි. ‘ලාංකික රික්ෂෝකරුවන් සිරුරෙන් කුඩා වූවත් ඔවුන්ට යොධ සවියක් ඇති බව පෙනෙවා. තවත් මනුෂ්‍යයකුගේ සවියෙන් ගමන් කිරීම මට මහත් පිළිකුල් සහගත කාරියක් වුවත් වෙන් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. එල්සා කීවේ මේ රැකියාවෙන් ඔවුන් පණ ගැට ගසා ගන්නා බවයි.’

Colombo Rickshaw drivers Street Scene in 1906 - Courtesy Lankapura.com
Colombo Rickshaw drivers Street Scene in 1906 – Courtesy Lankapura.com

කොළඹ නගරයේ ‘හින්දු ප‍්‍රදේශ’ හා ‘බෞද්ධ පන්සලක්’ තමන් නැරඹු බව අයින්ස්ටයින් දිනපොතේ ලියනවා. මේ පිටකොටුව ප‍්‍රදේශය හා කැළණිය පන්සල විය හැකි යයි තෙන්නකෝන් අනුමාන කරනවා. නැත්නම් කැළණිය යයි කියා වෙනත් පන්සලක් ඔවුන්ට පෙන්වන්නට ඇත් ද? තෙන්නකෝන්ට එබඳු දෙගඩියාවක් ද තිබෙනවා.

කොළඹ කොටුව ගැන අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ යන්තමින්. වරාය ගැන පමණයි. තමන් දුටු ස්ථානවලට වඩා මිනිසුන් හා ගැහැණුන් ගැන සාපේක්‍ෂව වැඩිපුර දිනපොතේ ලියා තිබෙනවා.

කොළඹ යාචකයන් ගැන ඔහු ලීවේ මෙයයි. ‘නාඳුනන අයකු දුටු විට රොත්තක් මෙන් එක් රැස් වන මේ යාචකයන් තමන්ගේ දුක් ගැනවිලි ගැන කියමින් සිඟමන් ඉල්ලන්නට ඉතා සමත්. එයින්  ඕනෑම සිතක් උණු විය හැකියි.’

යාචකයින් මෙන් ම මහමග දුටු වෙනත් දුගී පෙනුම ඇති ලාංකිකයන් ගැන ද අයින්ස්ටයින් සානුකම්පිතව ලියනවා. ‘දුඹුරු හෝ කාල වර්ණ සම ඇති මේ අයගේ මුහුණුවල බොහෝ හැගීම් ප‍්‍රකාශ වෙනවා. ඇත්තට ම ප‍්‍රභූ සම්භාවයක් තිබී පසුව අසරණ වූ ගතියක් පෙනෙනවා. දුක්ඛිත පෙනුමට යටින් සියුම් ප්‍රෞඩත්වයක් ද දැකිය හැකියි.’

තවත් සටහනක තමා දුටු ලාංකිකයන් ගැන අයින්ස්ටයින් මෙසේ කියනවා. ‘ඔවුන්ගේ සිරුරු කුඩා වුවත් සවිමත් මුහුණු පියකරු හා ඉවසිලිමත් පෙනුමකින් යුක්තයි. දරුණු හෝ ප‍්‍රචණ්ඩ බවක් පෙනෙන්නට නැහැ. එසේම කඩපිල්වල ලොකු ගාල ගෝට්ටයක් ද නැහැ. පෝට් සේඞ්හිදී අප දුටුවාක් මෙන් කලබලකාරී නොවී සැහැල්ලූවෙන් දිවි ගත කරන බවක් පෙනෙනවා.’

Old Fort Lighthouse Clock Tower Colombo Ceylon c.1910. Photo courtesy Lankapura.com
Old Fort Lighthouse Clock Tower Colombo Ceylon c.1910. Photo courtesy Lankapura.com

කොළඹ ප‍්‍රදෙශ කිහිපයකට ඉතා කෙටි සංචාරයකින් පසුව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කළ නිරීක්‍ෂණ එතරම් නිවැරදි නොවන බව තෙන්නකෝන් කියනවා. මුළු රටක් ජාතියක් ගැන එසේ ඉක්මන් නිගමන වලට එළඹීම විද්‍යානුකූල නැහැ. වෙනත් බොහෝ පැතිකඩවලින් විවෘත හා රැඩිකල් මනසක් තිබූ අයින්ස්ටයින් ලංකා සංචාරය කරන කාලයේ තවමත් පාරිසරික නියතිවාදය (environmental determinism) නම් සංකල්පය විශ්වාස කළ බව තෙන්නකෝන්ගේ විග‍්‍රහයයි.

මේ සංකල්පයේ හරය නම් මානව සමාජවල ප‍්‍රගතිය ඔවුන් වෙසෙන පරිසරයන් හා දේශගුණය මගින් මුළුමනින් නිර්ණය වන බවයි. (19 වන සියවසේ මතුව ආ මේ සංකල්පය 20 වන සියවස මුලදී ක‍්‍රමයෙන් ප‍්‍රතික්‍ෂෙප වූවා.)

අයින්ස්ටයින් ලංකාවට එන විට මේ මානසිකත්වයෙන් සිටි බව තෙන්නකෝන් කියනවා. සීමිත නීරික්‍ෂණ මත පදනම්ව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කියා ඇත්තේ මෙබන්දක්: ‘‘(ශීත ඝෘතු පවතින රටවලට වඩා) වසර පුරා සිරුරට දරා ගත හැකි ඝර්ම කලාපීය දේශගුණයක් පවතින ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි. ගුණයෙන් පිරිහුණු, රළු හා කෑදර යුරෝපීයයන්ට වඩා මොවුන් සංවරශීලියි. එහෙත් යුරෝපීයයන් භෞතික පරිසරය ජය ගන්නේ ඔවුන් සතු එම ගුණාංග නිසාමයි.’‘

කොළඹ වරායේ නැව් වලින් බඩු එහා මෙහා ගෙන යන කම්කරුවන් හා මුහුදේ ගිලී තිබෙන නැව් බඳ පවිත‍්‍ර කරන කිමිදුම්කරුවන් කෙතරම් වෙහෙසී වැඩ කළත් සිනහ වෙමින් හා නිරහංකාරව සිටි බවද අයින්ස්ටයින් වාර්තා කොට තිබෙනවා.

‘නගර සංචාරයේදී අයින්ස්ටයින් යුවල කොළඹ ධනවතුන් ප‍්‍රභූන් හා යුරෝපීය පාලකයන් පදංචිව සිටි ප‍්‍රදේශ ද පසු කර යන්නට ඇති. එහෙත් සාමාන්‍ය ජනයා ගැන උනන්දු වූ ඔහු මේ ප‍්‍රභූන් ගැන කිසිවක් දිනපොතේ ලියා නැහැ’ තෙන්නකෝන් කියනවා.

York Street Colombo Ceylon c.1920s
York Street Colombo Ceylon c.1920s

අයින්ස්ටයින් ඒ වන විට ලෝක ප‍්‍රසිද්ධ චරිතයක් වූවත් ඔහුගේ කෙටි කොළඹ සංචාරය ගැන කිසිදු නිල වාර්තාවක් මේ දක්වා සොයා ගත නොහැකි වූ බව තෙන්නකොන් කියනවා. එසේ ම කොළඹ සිටි දෙදින තුළ කිසිදු නිල උත්සවයකට හෝ සාදයකට ඔහු සහභාගී වූ බවට සාක්‍ෂියක් ද නැහැ. අයින්ස්ටයින්ගේ සංචාරය ගැන මෙරට බි‍්‍රතාන්‍ය පාලකයන් දැන සිටියා විය යුතුයි.

නිල උත්සව පිළිගැනීම් හා පම්පෝරි ගැන තැකීමක් නොකළ අයින්ස්ටයින් දිනපොතේ එබන්දක් සටහන් නොකළා වුවත් වෙනත් වාර්තා පැවතිය හැකි ද?  තමා ජාතික ලේඛනාගාරයේ ගවේෂණය කළත් මේ දක්වා සොයාගත හැකි වූයේ අයින්ස්ටයින් සමග ටයිම්ස් ඔෆ් සිලෝන් පත‍්‍රයේ වාර්තාකරුවකු කළ සාකච්ඡාව හා ගමන ගැන කෙටි පත‍්‍ර වාර්තා පමණක් යයි තෙන්නකෝන් කියනවා.

‘‘ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්තාකරුවා හොඳින් කරුණු අධ්‍යයනය කොට පැමිණ අයින්ස්ටයින් සමග සාකච්ඡා කළ බව එය මනා සේ ලියා ඇති ආකාරයෙන් පැහැදිලියි.  අද මෙන් ඉක්මනින් තොරතුරු සොයාගත නොහැකි වූ ඒ කාලයේ පවා අළුත් ම පර්යේෂණ තත්වය මේ වාර්තාකරුවා දැන සිටි බව පෙනෙනවා’’

දෙදිනක කෙටි නතර වීමකින් පසු කිතානෝ මාරු නැව යළිත් ගමනාරම්භ කළා.  ඔක්තෝම්බර් 29දා මධ්‍යයනයේ කොළඹ වරායෙන් පිටත්ව යද්දී අයින්ස්ටයින් දිනපොතේ ලිව්වේ ‘‘ලංකාව ගස්වැල්වලට නම් පාරාදීසයක්.  එහෙත්  එහි වැසියන් නම් ගෙවන්නේ දුක්බර දිවියක්’’ කියායි.

නොවැම්බර් 2 වනදා නැව සිංගප්පූරුවට ළඟා වුණා.  එහිදී විවිධ නිල හා ශාස්ත‍්‍රිය උත්සව ගණනාවක් සංවිධානය කර තිබූ අතර, ඒවා ගැන අයින්ස්ටයින් දිනපොතේ මෙන් ම වෙනත් (මාධ්‍ය හා අනෙක්) මූලාශ‍්‍රවල ද වාර්තා වී තිබෙනවා.

එතැනින් යාත‍්‍රා කළ නැව නොවැම්බර් 9 වනදා හොංකොං වරායට ද නොවැම්බර් 13 වනදා චීනයේ ෂැංහයි වරායට ද ළඟා වූවා. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය අයින්ස්ටයින්ට පිරිනමා ඇති බව ඔහු දැන ගත්තේ මේ දෙනුවර අතර මුහුදේ සිටියදී.  ඒ නොවැම්බර් 11 වනදා.

සාම්ප‍්‍රදායිකව වසරේ දෙසැම්බර් 10 වනදා නොබෙල් ත්‍යාග පිරිනමනවා  (සාම ත්‍යාගය නෝර්වේ අගනුවර ඔස්ලෝ නුවරදීත් ඉතිරි සියළු ත්‍යාග ස්වීඩන් අගනුවර ස්ටොකෝම්හිදීත්). එහෙත් තමාට පිරිනැමුණු නොබෙල් ත්‍යාගය පිළිගන්නට අයින්ස්ටයින් ස්ටොකෝම් ගියේ නැහැ.  දිගට ම ජපන්  සංචාරය කර ගෙන ගියා.  ජපානයේ ඉතා ඉහළින් ඔහුට සළකණු ලැබුවා.

පසු දිනෙක අයින්ස්ටයින් තම නොබෙල් ත්‍යාගය එකතු කර ගත්තා. ජර්මනියේ අධික උද්ධමනය නිසා ආර්ථික අහේනියට මුහුණ පා සිටි ඔහුට තෑගි මුදල වෙලාවේ හැටියට ලොකු උපකාරයක් වූවා.

අයින්ස්ටයින් චරිතය හා එවකට පැවති සමාජයීය හා දේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කළ කීර්ති තෙන්නකෝන් කියන්නේ අයින්ස්ටයින් තම යුගයේ ප‍්‍රවණතා සියුම්ව ග‍්‍රහණය කළ කෙනකු බවයි.  සමහරුන් සිතන තරම් ප‍්‍රායෝගික දේවල් නොතැකූ හා තමන්ගේ ම කල්පනා ලෝකයක ජීවත් වූ අයකු නොවන බවයි.

ඔහුට තියුණු දේශපාලනික හා සාමයික දැක්මක් ද තිබුණා. ඒ ගැන වෙන ම කථා කළ යුතුයි.

Colombo harbor 1914, Ceylon. Image courtesy Lankapura.con
Colombo harbor 1914, Ceylon. Image courtesy Lankapura.con
Street Scene at Main Street, Colombo, 1900s: Image courtesy Lankapura.com
Street Scene at Main Street, Colombo, 1900s: Image courtesy Lankapura.com

අජිත් තිලකසේන සංස්කරණය කළ ‘හේතුවාදී ලිපි’ පොත නිකුත් වෙයි

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ.  මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී.  එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිත්‍යාවක් බවට පත්වී තිබේ.’’

මේ වටිනා ප‍්‍රකාශය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1968දී.  පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා ‘20 වන සියවසේ බුද්ධිමතාගේ ඇදහීම කුමක් විය යුතුද?’ යන මැයෙන් දේශනයකදී.

ඒ දේශනයේ උධෘත කිහිපයක් අජිත් තිලකසේන ලේඛකයා විසින් සංස්කරණය කරන ලද ‘හේතුවාදී ලිපි’ නම් අළුත් පොතේ අඩංගුයි.  එය සරසවි ප‍්‍රකාශනයක් ලෙස 2014 ජනවාරියේ නිකුත් වුණා.

ලෝකයේ ප‍්‍රකට හා සම්භාවනීය නිදහස් මතධාරින් ගණනාවකගේ සහ මෙරට අදීන චින්තකයන් කිහිප දෙනෙකුගේ විවෘත මත දැක්වීම් පෙළ ගස්වා ඇති මේ පොතේ පිටු 166යි.  ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අනුදැනුම ද ඇතිව මේ පොත සකස් කොට තිබෙනවා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට අමතරව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා.

එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පුනරුත්පත්තිය ගැන දලයි ලාමා තුමාගේ අදහස්, ඇදහිලි ගැන මහත්මා ගාන්ධිතුමාගේ විග‍්‍රහයක් මෙන්ම අද්භූත හා ප‍්‍රාතිහාර්ය ලෙස සැළකෙන දේ අරඹයා 1962දී ආචාර්ය කොවූර් නිකුත් කළ ප‍්‍රසිද්ධ අභියෝගය ද සරල හා ලිහිල් සිංහලෙන් මේ පොතෙන් කියවිය හැකියි.

අජිත් තිලකසේනයන්ගේ ඇරයුමෙන් මේ පොතට එක් ලිපියක් මා රචනා කළා. එහි මාතෘකාව ‘මිනිසුන් උමතු කරන මනෝ වයිරසය’. ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් සියළු සංවිධානගත ආගම් ගැන ජීවිත කාලය පුරා කියු හා ලියු අදහස්වල සම්පිණ්ඩනයක් මේ ලිපියේ මා ගොනු කළා.

ක්ලාක්ගේ ජිවිතයේ අවසන් වසර 21 (1987-2008) කාලයේ පර්යේෂණ සහායක ලෙස සමීපව වැඩ කිරීමෙන් මා ලද වටිනා දායාදයක් නම් ආගම් දර්ශන ඇතුළු වෙනත් බොහෝ විෂයයන් හා තේමාවන් ගැන ඔහුගේ නිවහල් අදහස් උකහා ගත හැකි වීමයි.

මේ ලිපිය මා ලිව්වේ ඉංගී‍්‍රසියෙන් ඇති ඔහුගේ ප‍්‍රකාශිත පොත්පත්, මාධ්‍ය සාකච්ඡා හා අප‍්‍රකාශිත දේශන පිටපත් වැනි මූලාශ‍්‍ර රැසක් සීරුවෙන් පරිශීලනය කිරීමෙන් පසුවයි.

ආගම් ගැන විවෘත මත දැක්වීමකදී බොහෝ දැන උගත් අය පවා අනවශ්‍ය තරම් ආවේගශීලි වන නිසා සාවධානව මේ ගැන  ක්ලාක්ගේ අදහස් කැටි කිරීමට මා උත්සාහ කළා.  මගේ පෞද්ගලික අදහස් මෙහි නැහැ.  මා හුදෙක් ඔහුගේ අදහස් සිංහලෙන් බෙදා ගන්නා සන්නිවේදකයා පමණයි.

මගේ ලිපියට අමතරව ක්ලාක්ගේ තවත් බුද්ධිමය දායකත්වයක් මේ පොතේ තිබෙනවා එනම් ‘රාජ්‍ය පාලනය හා ආගම’ ගැන ඔහුගේ අදහස්වල සිංහල අනුවාදයක්. 2007 දෙසැම්බරයේ ඔහුට වයස 90 පිරුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයේ FOCUS විද්‍යා සඟරාව සමග කළ මාධ්‍ය සාකච්ඡාවක උධෘතයක්.  එය ඔහු කළ අවසන් සාකච්ඡාවලින් එකක්.

See also:

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

The ascent or descent of Man?
The ascent or descent of Man?

සිවුමංසල කොලූගැටයා #155: මොකක්ද මේ කලබලේ?

In this week’s Ravaya column (in Sinhala), I continue my exploration of the global Slow Movement, which started with Slow Food in Italy in 1986, originally as a defiance of fastfood. It has since inspired other pursuits of doing things more reflectively and deliberately slowly – such as Slow Cities, Slow Reading, Slow Travel and Slow Art.

I explored similar grounds in English in a July 2013 column: Stuck in Fast Forward? Slow Down!

slow-down

ක්ෂනික ආහාර (fastfood)වෙනුවට ලැසි ආහාර (slowfood)ගැන මා ලියූ කොලමට විවිධ ප‍්‍රතිචාර ලැබුණා. එබඳු ප‍්‍රපංචයක් කෙතරම් මෙරටට අදාල ද කියා විමසූ පාඨකයන් මෙන් ම විදේශීය (සංකර)සංකල්ප බලෙන් අපේ ජන සමාජයට කාවද්දන්නට තැත් කරනවා යයි චෝදනා කළ අය ද සිටියා.

මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ජාලය සංකේතවත් කරන ක්ෂනික ආහාරවලට ප‍්‍රතිරෝධයක් ලෙස ලැසි ආහාර 1986දී ඉතාලියෙන් මතුව ආවත් එය ලිහිල් මට්ටමේ ඇමරිකානු විරෝධයක්වත් නූතනත්වයට එරෙහි වීමක්වත් නොවන බව අප පැහැදිලි කළා.

ක්ෂනික ආහාර සෞඛ්‍යයට අහිතකර විපාක ගෙන දෙන බව කලක සිට ප‍්‍රකට කරුණක්. එහෙත් එම වෛද්‍ය විද්‍යාත්මක යථාර්ථයට සීමා නොවී ක්ෂනික ආහාර නියෝජනය කරන (එහෙත් එයට සීමා නොවූ) අධිවේගී ජීවන රටාව වඩා පුළුල්ව විවේචනයට හසු කරන්නට ගත් උත්සහයක් ලෙස සෙමින් කෑම හෙවත් ලැසි ආහාර ව්‍යාපාරය මා දකිනවා.

slow-food-32.3

අනෙක් වැදගත් කරුණ නම් ආහාර පරිභෝජනයෙන් ඇරඹුණත් මේ වන විට සෙමින් සංකල්පය වෙනත් බොහෝ එදිනෙදා කි‍්‍රයා දක්වා ව්‍යාප්ත වී ඇති බවයි. සෙමින් පොත් කියවීම (slow reading), සෙමින් දේශ සංචාරය (slow travel), සෙමින් මාධ්‍ය පරිශීලනය (slow media), සෙමින් කලා කෘති රස විදීම (slow art)ආදී තවත් විවිධ දිශාවලට ලැසි ව්‍යාපාරය විකාශනය වී තිබෙනවා.

මේ සියල්ල දැඩි සංවිධාන ව්‍යුහයකින් තොරව, කි‍්‍රයාකාරීකයන්ගේ උද්යෝගය හා කැපවීම හරහා මතුව ආ ප‍්‍රවණතායි. මෙබඳු ජනතා ව්‍යාපාරවලට රාජ්‍ය තාන්ති‍්‍රක සාධක අදාල නැහැ. ලැසි ආහාර සෙමින් කෑමේ ඉලක්කය තම තමන්ගේ දේශීය හා ආවේණික ආහාර පානත් ඒ වටා බැඳුණු උපසංස්කෘතියත් නැවත සිහිපත් කර දීමක්.

එය අධිවේගී නවීන ජීවන රටාවට විකල්පයක්. මහා දේශපාලන අරගලයක් මතු පිටින් නොපෙනුණත් ගෝලීයකරණයට හා පාරිභෝගික සමාජයේ ආතතියට සියුම් ප‍්‍රතිචාර දැක්වීමක් ඒ තුළ තිබෙනවා.

Slow යන්නට මන්දගාමී වැනි යෙදුමක් මා භාවිත කරන්නේ නැහැ. හේතුව සෙමින් යම් දේ කිරීම කිසිසේත් අලසවීමක් නැතහොත් අකාර්යක්‍ෂම වීමක් නොවන නිසයි.

සෙමින් සෙමින් යමක් කිරීමට අප සවිඥානිකව (ඕනෑකමින්)තීරණය කළ යුතුයි. බොහෝ විට එය පුද්ගල මට්ටමේ තීරණයක්. කාර්යබහුල කෙනෙකුට හෝ පූර්ණ කාලීන ශිෂ්‍යයන්ට මෙය ප‍්‍රායෝගික නොවන්නට පුළුවනි. සමාජ ප‍්‍රවණතා තම යථාර්ථයට අදාල කර ගන්නට කෙනකුට අවකාශය තිබෙනවා.

සෙමින් ව්‍යාපාරය (www.slowmovement.com)බොහෝ කොට ම පුද්ගලික මට්ටමේ තේරීම් හා රුච්කත්වය මත පදනම් වුවත් සමහර අනුසංකල්ප දැන් වඩාත් පුළුල්ව ප‍්‍රජා හා රාජ්‍ය පරිපාලන මට්ටමට ද බලපා තිබෙනවා.

GK cmyk snailහොම උදාහරණය නම් 1999දී ඉතාලියෙන් ම මතු වූ ලැසි නගර (Slow Cities)  සංකල්පයයි. එහිදී කුඩා නගර තමන්ගේ පොදු අවකාශයන් හා නාගරික භූමිය වඩාත් ජන හිතකාමී විදියට සකස් කර ගන්නවා. සමහර වීදිවල කිසිදු වාහනයක් ධාවනයට ඉඩ නොදී පදිකයන්ට හා බයිසිකල්කරුවන්ට පමණක් වෙන් කරනවා. රථවාහන තදබදය, ජනාකීර්ණත්වය, වාත දුෂණය හා නාගරික කලබලය සමනය කොට ´kElñka uසෙමින් දිග හැරෙන එදිනෙදා ජීවන රටාවකට අවශ්‍ය යටිතලපහසුකම් ඔවුන් සකස් කර ගන්නවා.

ලැසි නගර සාක්ෂාත් කර ගන්නට නගර පරිපාලකයන් හා එහි වැසියන් ගත යුතු නිශ්චිත පියවර 50ක් හඳුනා ගෙන තිබෙනවා. නාගරික ප‍්‍රවාහනය, නිවාස කලාපකරණය, නාගරික පරිසරය රැක ගැනීම, සාංස්කෘතික විවිධත්වයට මුල් තැන දීම හා ශරීර සුවතාවයට හිතකර පියවර ආදිය ඒ අතර වනවා. වාහනවලට වඩා බයිසිකල් පදින්නන් හා පදිකයන්ට මුල් තැන ලැබෙන ආකාරයේ වීදි සැළසුම් ඒ අතර වැදගත්.

පුනර්ජනනීය (සුනිත්‍ය)බලශක්ති ප‍්‍රභවයන් මනාව දියුණු කොට ගෙන, පරිසර දුෂණය අවම කර ගනිමින්, වඩාත් තිරසාර සංවර්ධනයකට යොමු වීම මේ ලැසි නගරවල වැදගත් ඉලක්කයක්.

ලැසි නගර ව්‍යාපාරයේ සාමාජිකත්වය ලද හැක්කේ මෙකී ගුණාංග 50සපුරා ගත්, ජනගහනය 50,000ට අඩු නගරවලට පමණයි. 2013 වන විට නගර 168ක් ලැසි නගර ව්‍යාපාරයේ සාමාජිකයන්ව සිටියා.

එයින් බහුතරයක් ඇත්තේ යුරෝපයේයි. එහෙත් ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ජපානය, දකුණු කොරියාව, අමෙරිකාව යන රටවලටත් එය පැතිර ගොස් තිබෙනවා. චීනයේත් මෑතදී එක් කුඩා නගරයක් මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා.

අධිවේගී කලබලකාරිත්වයට වඩා ජීවන තත්ත්‍වය අගය කරන නගරාධිපතිවරුන් හා නගර වැසියන් මේ ව්‍යාපාරයට බැදීමට පෙරුම් පුරනවා. ලැසි නගර භෞතික ශරීර සුවතාවයට මෙන්ම මානසික සුවයටත් වැඩදායකයි.

Don\’t run races with me…

සෙමින් පොත් කියැවීමේ ප‍්‍රවණතාවයක් ද ලොව මතු වෙමින් තිබෙනවා. බොහෝ රටවල ගතානුගතික අධ්‍යාපන ක‍්‍රම හරහා දරුවන් හුරු කරන්නේ හැකි තරම් පොතපත ඉක්මනින් කියවා ග‍්‍රහණය කර ගන්නයි. එහිදී ප‍්‍රමාණාත්මකව මිස ගුණාත්මකව කියැවීම අගය කරන්නේ නැහැ. වැඩිහිටියන් වූ විටත් අවිවේකී බව නිසා බොහෝ දෙනා උඩින් පල්ලෙන් පොත් කියවන්නට පෙළඹනවා.

පුවත්පත් හා සරා අධිවේගීව කියැවීම පුළුල් සිරිතක්. එහෙත් නවකථාවක්, කෙටිකතා සංග‍්‍රහයක් හෝ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයක් එක හුස්මටකියවනවාට වඩා ටිකෙන් ටික ග‍්‍රහණය කිරීමට අප සමහරුන් කැමතියි. මා පොත් කියවන්නේ මේ විදියටයි. අවශ්‍ය විටෙක හදිසියේ තොරතුරු සමුදායක් උකහා ගැනීමේ හැකියාව ඇතත් මා  ඕනෑකමින් සමහර පොත් දින, සති හෝ මාස ගණනක් පුරා කඩින් කඩ කියවනවා.

මගේ සමහර කලබලකාරී මිතුරන් මෙය දකින්නේ මන්දමානසික කි‍්‍රයාවක් හැටියට. එත් කමක් නැහැ! කියැවීම යනු හුදෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක ප‍්‍රකාශිත කරුණු හා අදහස් ග‍්‍රහණය කිරීම පමණක් නොවෙයි. හො ලේඛකයන් පාඨකයන්ගේ මනස කිති කවන, පරිකල්පනය දියුණු කරන හා සිතන්නට පොළඹ වන නිර්මාණ කරනවා.

මා ජීවිත කාලය තුළ පොත් කොපමණ සංඛ්‍යාවක් කියවා ඇත්දැයි ඉහිට කෙනකු අසනවා. මා එය ගණන් තබා ගන්නේ නැහැ. කියවන හැම පොතක් ම එක සේ අප මනස කුල්මත් කරන්නේ ද නැහැ. පොත් කියවන එක මැණික් ගරනවා වගේ වැඩක්. බොරලූ හා තිරුවානා ගල් රැසක් අතර වටිනා මැණික් ද හමු වනවා. කලබලකාරයන්ට එබඳු මැණිකක් අතට ම පත් වුණත් එහි අගය වැටහෙන්නේ නැහැ!

අද දැනුම් සාගරයත් සමග ගනුදෙනු කරන්නට මෙසේ ලැසි කියැවීම ප‍්‍රමාණවත් ද? ශිෂ්‍යයන්ට හා වෘත්තිකයන්ට අවශ්‍ය දැනුම් ගවේෂණයට වේගයක් තිබිය යුතුයි. එහෙත් ආත්ම වින්දනයට කරන ගවේෂණවල වේගය අප තනිව තීරණය කළ යුතුයි.

Carl Honore
Carl Honore

ලොව වටා සෙමින් ව්‍යාපාර ගැන පොතක් ලියු කාල් හොනොරේ Carl Honoré නම් කැනේඩියානු පත‍්‍ර කලාවේදියා කියන්නේ ‘‘අධිවේගී හැම දෙයක් ම දියුණුයි හා වඩා හොයි යන නූතන අදහස පිළි නොගන්නා පිරිසක් ලොව සිටිනවා. ඔවුන් නූතනත්වය පිටු දකින හෝ ප‍්‍රාග්-නූතන පුරාණත්වයට නැවත යා යුතුයි කියන ගතානුගතිකයන් නොවෙයි. ඔවුන් හදන්නේ නූතනත්වය තමන්ට රිසි හා පහසු වේගයකට තම ජීවිතවලට අදාල කර ගන්නයි.’’

ඔහු මේ ප‍්‍රවණතාව දකින්නේ අධිවේගී ජීවිතවලට පොඩි බ්‍රේක් පාරක් හැටියටයි. 2004දී ඔහු ලියු සෙමින් ගියොත් හොයි(In Praise of Slow)පොත අතිශයින් ජනපි‍්‍රය වී තිබෙනවා. හැම දෙයක් ම හැකි තාක් හො, පිළිවෙල කරන්නට තැත් කරමු. යම් කිසි සන්සුන් හා තැන්පත් බවක් ජීවිතයට එක් කර ගනිමුඔහුගේ පොතේ මූලික පණිවුඩයයි.

හොනරේ කියන්නේ නූතන සමාජය පෙර පරම්පරාවලට වඩා භෞතික සම්පත්වලින් පොහොසත් වුවත් කාලය අතින් වඩාත් දුප්පත් වී ඇති බවයි (time poverty).

අඩුවෙන් නිදා ගනිමින්, අවදියෙන් සිටින පැය ගණන පුරා හැකි තරම් වැඩ ප‍්‍රමාණයක් කරන්නට වලිකන බොහෝ දෙනාට සැබෑ මානසික විවේකය අමතකව ගොසින්. ‘‘විනාඩි හා පැය ගණන ගණන් කිරීමට වඩා හැම මොහොතක් ම වි ගැනීම වැදගත්. ලැසි ව්‍යාපාරය කලබලකාරී හා නොසන්සුන් ලෝකයට මතක් කර දෙන්නේ මේ සනාතනික පණිවුඩයයි!‘‘

මෙය කිරීමේ අවකාශය ඇත්තේ අතමිට සරු අයට පමණක් ද? බොහෝ නව ප‍්‍රවණතා මතුව එන්නේ මධ්‍යම පාංතිකන්ගෙන් බව සැබෑවක්.  ඕනෑකමින් ජිවන රටාව සෙමින් හා සැහැල්ලූවෙන් ගත කිරීමේ තීරණය විශ‍්‍රාමිකයන්ට සීමා වූවක් ද නොවෙයි. අද තරුණ වියේ හා මැදි වියේ පසුවන ඇතැම් අය ද තමන්ට හැකි අවස්ථාවල අඩු වේගයකට පත් වන්නට උත්සාහ කරනවා.

Canada-coverයෝගී ව්‍යායාම්, නිර්ආගමික භාවනා ක‍්‍රම හා වෙනත් පෙරදිග ක‍්‍රමවේදයන් කලබලකාරී ලෝකයට මේ සහා අත්වැලක් සපයනවා. මේ සහා නාගරිකයන් දුර ගෙවා ගම්බද ප‍්‍රදේශවලට යා යුතු නැහැ. ජනාකීර්ණ නගරවල වූව ද අවම ප‍්‍රමාණයක් විවෘත හරිත ප‍්‍රදේශ (වෙරළ තීරු, පිට්ටනි, උද්‍යාන හා ඇවිදීමට ප‍්‍රදේශ)පවත්වා ගැනීමේ වැදගත්කම දස නගර සැලැසුම් ශීල්පීන් පිළි ගෙන තිබෙනවා.

මේ අතර කවදත් ගුණාත්මක අඵත් දේ අත්හදා බලන්නට රිසි කැනේඩියානු ජාතිකයෝ ලැසි බව සහා ලෝක දිනයක් ද  (International Day of Slowness) තෝරා ගෙන තිබෙනවා. වසරේ ජූනි 21දා. උත්තර අර්ධගෝලයේ ගිම්හාන සෘතුව නිල වශයෙන් ඇරඹෙන්නේ එදිනටයි.

ලැසි සංකල්පය රටක හෝ සමාජයක ඵලදායීතාවට කෙසේ බලපායි ද? වැඩ කරන පැය ගණනට වඩා එකී කාලය තුළ කොපමණ  ඕනෑකමකින් හා කාර්යක්‍ෂමව වැඩ කරනවා ද යන්නයි වැදගත්. හොනරේ කියන්නේ ස්කැන්ඩිනේවියානු රටවල වැඩ කරන නිල පැය ගණන සාපේක්‍ෂව අඩු වුවත් ජනයා එයින් වඩාත් තෘප්තිමත් වීම හරහා ඵලදායීතාව වැඩි වී ඒ රටවල ආර්ථිකයන් සවිමත් මට්ටමක පවත්වා ගන්නා බවයි.

අවධි වූ සිහියෙන් යුතුව කලබල නැතිව හැම දෙයක් ම කිරීමේ කලාව පෙරදිග අපට අළුත් දෙයක් නොවෙයි. ජපන්, චීන හා භාරත සම්ප‍්‍රදායන්ගේ සෙමින් හා අවධියෙන් හැම දෙයක් ම කිරීමේ ගුණය ඉස්මතු කරනවා. දැන්  ඕනෑ වී ඇත්තේ එම උරුමයේ මැකී ගිය මුල් යළි පාදා ගැනීම පමණයි!

Mel Gunasekera (1973 – 2014): Goodbye, spirited friend!

Keep it short and simple, Mel always said.

I still try to follow that advice even in grief when she has been taken away so senselessly and abruptly.

Asker of Questions. Seeker of clarity. Gone without an answer.

Mel Bye Meme

Digital monument: http://www.lankabusinessonline.com/mel

My tribute on Groundviews.org: Goodbye, Mel

More reflective essay: Who Really Killed Mel Gunasekera?

The same essay was published by Lanka Business Online where Mel was founder editor: http://www.lankabusinessonline.com/news/who-really-killed-mel-gunasekera/1884945427

Reproduced in The Nation newspaper, 9 Feb 2014

Quoted by BBC Online, 8 Feb 2014

සිවුමංසල කොලූගැටයා #153 කාබනික ගොවිතැන: උද්‍යොග පාඨවලින් ඔබ්බට?

Go organic! That call is heard increasingly in Sri Lanka, which has been late to get on this bandwagon. Much of the island nation’s organically produced fruit, spices and vegetables was exported to high-paying overseas markets until recently. But concerned with health effects of agrochemical residues in the good, more Lankans are now looking for organic products.

Is this an upper middle class fad, or can organic food become the mainstream? What about the significant price difference? What assurance of quality and where are the certification schemes?

In my latest Ravaya column (in Sinhala), I survey the small but rapidly growing organic produce market in Sri Lanka, and raise some questions that need regulatory and consumer attention.

Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla - image courtesy Good Market Facebook page
Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla – image courtesy Good Market Facebook page

කෘත‍්‍රිම (රසායනික) පොහොර හෝ කෘමිනාශක, වල්නාශක වැනි කෘෂි රසායනික හෝ යොදා නොගෙන සොබාවික ක‍්‍රමයට බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මෙය අළුත් ක‍්‍රමයක් නොවෙයි. වසර දහස් ගණනක් පුරා පෙර අපර දෙදිග ම භාවිතා වූ අත්දුටු ක‍්‍රමයක්. මෑත දශකයන්ගේ කෘෂි රසායනික භාවිතයට ඇබ්බැහි වීම නිසා අපෙන් ඈත් වූ කාබනික ගොවිතැනේ අගය දැන් යළිත් වැටහී තිබෙනවා.

ගිය වසර අගදී කොළඹ සම්බෝධි විහාර භූමියේ සෙත්සුව මැදුර නම් වූ කාබනික ආහාර අලෙවි සැලක් ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවා. එය සම්බෝධි විහාරයේ හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA) සාමුහික ප‍්‍රයත්නයක්. මාධ්‍ය වාර්තාවලට අනුව ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ සද්කාරියට දායක වීම පිණිස රසායනික පොහොර භාවිතයෙන් වැළකී ආහාර බෝග වවන ලෙසයි.

වස විසෙන් තොර ආහාර වැවීම හා පරිභෝජනය ගැන රටේ ඉහළ ම මට්ටමින් අවධානය යොමු වීම හොඳ ප‍්‍රවණතාවක්. එහෙත් රටේ නායකයා යහපත් දෙයක් කරන්නට යැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීම පමණක් සෑහෙන්නේ නැහැ.

අපේ ගොවිතැන මෙතරම් විස භාවිතයට යොමු වුණේ අඩ සියවසකට වැඩි කලක් අපේ ම රජයන් පවත්වා ගෙන යන කෘෂි ප‍්‍රතිපත්ති නිසායි. ඒ නිසා ගොවීන්ගේ හෘද සාක්ෂියට හා බුද්ධියට ආයාචනා කරන අතර මේ ජාතික ප‍්‍රශ්නයට තුඩු දුන් සාධක හඳුනා ගෙන රාජ්‍ය මට්ටමින් හා සමාජයීය මට්ටමින් ප‍්‍රතිකර්ම යෙදීම ද අත්‍යවශ්‍යයි.

(මා මීට පෙර ද මේ කොලමින් කියා ඇති පරිදි) කෘෂි රසායනිකවලට ඇබ්බැහිවීම හරියට මත්ද්‍රව්‍යවලට පුද්ගලයකු ඇබ්බැහි වූවා වැනියි. කලකට පසු එය නැතිව ම බැරි වනවා. එයින් අත්මිදීමට අවංක උත්සාහයක් හෝ  ඕනෑකමක් නැති වෙනවා. රටක් හැටියට අපට සිදුව ඇත්තේ එයයි.

කලක් තිස්සේ පැවතුණු දැඩි ඇබ්බැහිකමකින් මිදීමට පුද්ගලයකුට මෙන් ම ප‍්‍රජාවකටත් ලොකු ආයාසයක් හා තල්ලූවක් අවශ්‍යයි. දුම්කොළවලට ඇබ්බැහි වූවන් බොහෝ දෙනකු එහි මාරාන්තික විපාක දැන දැනත් එය නතර නොකරන්නේ දැන් අතහැරිය නොහැකි තරම් එහි එල්බ ගෙන සිටින නිසයි.  ඕනෑ ම ඇබ්බැහිකමක් දුරලන්නට ආයාචනාවලට සමාන්තරව ප‍්‍රතිපත්තිමය, නියාමක හා වෙළඳපොල මට්ටමේ පියවර ද අවශ්‍යයි.

අපේ රටේ කාබනිකව වවන ලද එලවළු හා පලතුරු මෑතක් වනතුරු වැඩිපුර ම පිටරට යවනු ලැබුවා. එහෙත් කෘෂි රසායනික අධිභාවිතයේ හා අනිසි භාවිතයේ බරපතල සෞඛ්‍ය විපාක හඳුනා ගැනීම සමග කාබනික ආහාර බෝග සඳහා දේශීය වෙළඳපොල ඉල්ලූම ද මතු වෙමින් තිබෙනවා.

මෙය හුදෙක් මධ්‍යම පාංතික විලාසිතාවක් ද? නැතහොත් වස විසෙන් තොර ආහාරපාන මිලියන් 20කට වැඩි සියළු ලක්වැසියන්ට ලබා දෙන්නට හැකි ද? වෙළඳපොල ආර්ථිකය තුළ මේ සඳහා රජයකට කෙතරම් බලපෑම් කළ හැකි ද?

The Good Market (Sri Lanka) Logo
The Good Market (Sri Lanka) Logo

පාර්ලිමේන්තු සංකීර්ණයට යන මාර්ගයේ බත්තරමුල්ලේ පිහිටි දියත උයන නම් පොදු ස්ථානයේ බ‍්‍රහස්පතින්දාට නූතන පන්නයේ පොලක් පැවැත් වෙනවා. Good Market නම් වූ එතැන අලෙවි කැරෙන්නේ සුළු පරිමාන ආහාරපාන හා වෙනත් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍යයි. බොහෝ ඒවා ගෘහස්ථව නිපදවා තිබෙනවා. කෘෂි රසායනික නොයොදා ගෙවතුවල වැවූ එලවළු හා පළතුරු ඒ අතර විශේෂයි.

බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා 2013 නොවැම්බර් මෙරටට ආ වෙලේ මේ Good Marketහි කාබනික ආහාර වවන්නෝ ඔහුට විශේෂ අලෙවියක් කළා. ඔහු තමන්ගේ ආහාරපාන ගැනත් පරිසරය ගැනත් ඉතා සැලකිලිමත් වන කෙනෙක්. ලොව කොතැන ගියත් කෑමට ගන්නේ කාබනිකව වැවූ එළවලූ, පළතුරු හා ධාන්‍යන්, සොබාවික ලෙස සත්ත්ව පාලනය කොට ලබා ගත් මස් වර්ගත් පමණයි.

තමන්ගේ අරක්කැමියා හා කාර්ය මණ්ඩලය සමග සංචාරය කරන චාල්ස් කුමරුට මේ අන්දමට කෑමබීම සම්පාදනය කර ගැනීම ප‍්‍රශ්නයක් නොවෙයි. එහෙත් ඔහුගේ රටේත්, අපේ රටේත් සාමාන්‍ය ජනයාට එය තවමත් ලොකු අභියෝගයක්.

Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka - Nov 2013 in Colombo
Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka – Nov 2013 in Colombo – Photo courtesy Good Market Facebook page

එයට හේතුව කාබනිකව වවන ආහාරවල මිල අනෙකුත් ආහාරවලට වඩා අවම වශයෙන් සියයට 30 – 40ක් වැඩි වීමයි. ඉහළ මධ්‍යම පාංතිකයින් ටික දෙනෙකුට මේ මිල ප‍්‍රශ්නයක් නොවුවත් අන් අයට ඒ අමතර වියදම නිතිපතා දරා ගැනීමට අමාරුයි. කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි.

මේ මූලික වෙළඳපොල යථාර්ථය නොදැන හෝ නොදැක අප සැම කාබනික ආහාර පමණක් පරිභෝජනය කළ යුතු යැයි අපේ සමහර පරිසරවේදීන් කියන්නේ මේ පොළවේ පය ගසා ගෙන ද? නැතිනම් වෙනත් හරිත ලෝකයක කොටු වෙලා ද?

ඕනෑ ම සමාජයීය ප‍්‍රශ්නයකට නිර්දේශ කරන විසඳුම් ප‍්‍රායෝගික විය යුතුයි. ‘පාන් නැති නම් කේක් කාපල්ලා’ ආකාරයේ නිර්දේශ යථාර්ථවාදී නොවනවා සේ ම අසංවේදියි.

තවත් සමහර පරිසරවේදීන් කියන්නේ වහා ක‍්‍රියාත්මක වන පරිදි කෘෂිරසායන මෙරටට ගෙන්වීම හා භාවිතය තහනම් කළ යුතු බවයි. එවිට වෙනත් විකල්ප නැති නිසා සියළු ගොවිතැන් කාබනිකව කැරෙනු ඇතැයි ඔවුන් සිතනවා.

සමාජ ප‍්‍රශ්න විසඳීමට සීමා, තහංචි හා දණ්ඩන යෙදීම කලක සිට අපේ රටේ ජනප‍්‍රිය පුරුද්දක්. තහනම් කිරීම හරහා ප‍්‍රශ්න සැබෑවට විසඳෙනවා වෙනුවට ඒ වටා නීත්‍යනුකූල නොවූ වෙළඳාමක් සිදු වීම ඇරඹෙනවා. කළුකඩ සම්ප‍්‍රදාය කියන්නේ එයටයි.

නූතන ජන සමාජයන්ගේ මිනිසුන් කන බොන සැටි රාජ්‍යයට පාලනය කරන්නට නොහැකියි. වෙළඳපොලේ ආහාර හිඟයක් පවතින කාලවලට පමණක් යම් සලාක ක‍්‍රම අනුගමනය කළ හැකියි. (බිඳ වැටුණු සෝවියට් දේශයේත්, වෙළඳපොල ක‍්‍රමයට විවෘත වන්නට පෙර මහජන චීනයේත් සාමාන්‍ය ජනයා එදිනෙදා මිලට ගන්න ආහාරපාන මොනවාද හා කොපමණක් ද යන්න නිලධාරි තන්ත‍්‍රයක් දැඩි සේ පාලනය කළා. අද ඒ රටවලත් එබන්දක් කැරෙන්නේ නැහැ.)

රාජ්‍යයට කළ හැක්කේ සමබර ආහාරවේලක හා නිසි පෝෂණයේ වැදගත්කම ගැන ජන සමාජය දැනුවත් කරන අතර දිගුකාලීනව සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කිරීමට හැකි යැයි මනාව තහවුරු වූ ආහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ලබා දීමයි.

එහෙත් එය සෞඛ්‍ය විද්‍යාත්මක පදනමකට එහා ගියොත් ප‍්‍රශ්නයක් වනවා. නිර්මාංශ ආහාරයේ වැදගත්කම පිළිගෙන එය සියයට සියයක් හෝ යම් තරමක් ප‍්‍රගුණ කරන අය අප අතර සිටිනවා. එසේ ම මස්මාළු කෑමට කැමති අය ද සිටිනවා. මේ දෙපිරිසට ම තමන් රිසි සේ ආහාර සම්පාදනයට ශිෂ්ට සමාජයක ඉඩ තිබිය යුතුයි. යමක් තහනම් කිරීම හෝ බලෙන් ජනතාව මත පැටවීම වැඩවසම් සමාජ ලක්ෂණයක් මිස නූතන යුගයට ගැලපෙන සිරිතක් නොවෙයි.

සෙත්සුව මැදුරට සමාන්තරව healthysrilanka.lk නමින් අළුත් වෙබ් අඩවියක් ද අරඹා තිබෙනවා. කාබනික ආහාර පමණක් නොව ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් සියළු ආහාරපාන මිලට ගැනීම හා සම්පාදනය ගැන ප‍්‍රායෝගික උපදෙස් එහි තිබෙනවා. දැනට ඉංග‍්‍රීසියෙන් පමණක් අන්තර්ගතය ඇති එහි සිංහල හා දෙමළ බසින් ද සන්නිවේදන සිදු වනු ඇතැයි අප පතනවා.

රටක් කාබනික ආහාරවලට වඩාත් නැඹුරු වන විට ඒ වටා වෙළඳපොල විභවයක් ගොඩ නැෙඟනවා. එවිට එයට අදාල ප‍්‍රමිතීන් හා සහතික කිරීම් ක‍්‍රමවේදයන් (certification schemes) බිහි විය යුතුයි. හේතුව එළවලූවක් හෝ පළතුරක් බැලූ බැල්මට කාබනික යැයි පාරිභෝගිකයකුට කිව නොහැකි වීමයි. යම් අමතර මිලක් ද ගෙවා සෞඛ්‍ය සම්පන්න අරමුණින් කාබනික ආහාරයක් (ධාන්‍ය, එලවළු, පලතුරු, කිරි) මිලට ගෙන පරිභෝජනය කරන විට එහි බොරුවක් හෝ වංචාවක් නැතැයි සහතික විය යුතුයි.

කාබනික ආහාර ඇත්තට ම එසේ වවන ලද බවට සහතික කරන ක‍්‍රමවේදයන් යුරෝපා රටවල හා ජපානයේ හමු වනවා. ඒ රටවලට කාබනික ආහාර යවන අපේ රටේ ගොවීන් ද එම ප‍්‍රමිතිවලට අනිවාර්යයෙන් අනුකූල වනවා.

එබඳු ප‍්‍රමිතීන් හා සහතික වීමේ ක‍්‍රම (standards and certification) දේශීය වෙළඳපොලට ද අවශ්‍යයි.

කාබනිකව වගා කර ගත් ආහාර ලොව බොහෝ රටවල මිලෙන් තරමක් හෝ සැලකිය යුතු වශයෙන් වැඩි බව සත්‍යයක්. එහෙත් අපේ රටේ මේ වෙළඳපොල විසමතා වඩාත් තීව‍්‍ර වන්නේ කෘෂි රසායනිකවලට ලැබෙන සහනාධාර නිසයි. මහජන මුදල්වලින් මහා පරිමාණ පොහොර සහනාධාරය පවතින තුරු මෙරට කාබනික ගොවිතැනට හරිහැටි ස්ථාපිත වන්නට ඉඩක් නැති බව සුළුතරයක් වන කාබනික ගොවීන් දන්නවා. අප එය විස්තරාත්මකව මේ කොලමින් පෙන්වා දී තිබෙනවා.

K M Wijepala exhibits his organic fertiliser suited for any  crop  - Photo by Janaka Sri Jayalath
K M Wijepala exhibits his organic fertiliser suited for any crop – Photo by Janaka Sri Jayalath

නව නිපැයුම් පිළිබඳ මා රූපවාහිනි නාලිකාවේ 2012 ඉදිරිපත් කළ “මාලිමා” වැඩසටහනට වරක් පැමිනි කේ. එම්. විජේපාල මහත්තයා නුවරඑළියේ ඔහුගේ සමාගම හරහා මුළුමනින් ජෛවීය ද්‍රව්‍ය යොදා තනන කාබනික පොහොර, වල්නාශක, කෘමිනාශක හා අනෙකුත් කෘෂි රසායන අලෙවි කරනවා. එ් සියල්ල ඔහු කලක් තිස්සේ අත්හදා බලා සොයා ගත් වට්ටෝරුවලට අනුව නිෂ්පාදිතයි.

ගොඩ හා මඩ  ඕනෑම බෝගයකට යෙදිය හැකි GOLF (Gold Organic Lanka Fertilizer) නම් කාබනික පොහොරක් ඔහු නිපදවා තිබෙනවා. ශාක වර්ධනයට අවශ්‍ය සියළු මුලද්‍රව්‍ය අඩංගු මේ පොහොර තනා ගන්නා සැටි මාලිමා තුළින් ඔහු පෙන්වා දුන්නා. එයට අමුද්‍රවය ලෙස ගන්නේ එළඟිතෙල්, මීපැණි, මෝරතෙල් ගුලි, කොහොඹ තෙල්, තල්/පොල්/කිතුල් පැණි හා බියර් ආදී ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ. මේවා ජලයේ මුසු කිරීමේ නිසි අනුපාතයන් දැක්වෙන වට්ටෝරුවට ලාංකික ජේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙනවා. http://tiny.cc/Malima10

මේ පොහොර යෙදීමෙන් රසායනික පොහොරවලට සමාන හෝ වැඩි අස්වනු ලබා ගත හැකි බව තේ පර්යේෂණායතනය (TRI), කාර්මික පර්යේෂණායතනය (ITI) හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වාධිනව තහවුරු කර තිබෙනවා.

මේ කාබනික පොහොර ගෙදරදී ම තනා ගැනීමට අනුපාත හා පියවර කියා දෙන උපදෙස් පත‍්‍රිකාවක් මෙරට ගොවීන්ට නොමිළයේ ලබා දෙන්නට විජේපාල මහත්තයා ඉදිරිපත්ව සිටිනවා. (එ් සඳහා ලිපිනය ලියු, මුද්දර ගැසු කවරයක් යවන්න: විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය).

රසායනික පොහෙර වෙළඳාමේ නියුතු බහුජාතික හා දේශීය සමාගම් සමඟ තරඟකාරීව අලෙවිකරණයට ඔහු ලැහැස්තියි. ඔහු කියන හැටියට මේ ජෛවීය පොහොර ප‍්‍රචලිත කරන්නට තිබෙන ලොකු ම බාධකය රසායනික පොහොරවලට ලැබෙන රාජ්‍ය සහනාධාරයයි.

Malima: Episode 10 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

පොහොර සහනාධාරය යටතේ 90%ක් සහන මිලට රසායනික පොහොර ලැබීමට දිගු කලක් තිස්සේ හුරු වූ ගොවීන් දැන් එය අයිතිවාසිකමක් ලෙස සලකනවා. වස විස ගොවිතැනට වැට බැඳීමට අවංක උවමනාවක් ඇත්නම් මහා පරිමානයේ පොහොර සහනාධාරයට එළිපිට ම එරෙහි වන්න.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ