In this week’s Ravaya column (in Sinhala language), I probe why sections of Lankan society are habouring growing fears of social media, especially Facebook.
A few have called for a blanket ban of Facebook, which the secretary to the Ministry of Media has assured (in his Twitter feed) would not happen. There is an urgent need, however, to enhance public understanding in Sri Lanka of social media use, with particular attention on safety precautions, privacy protection and cyber civility.
I have drawn insights from a recent Colombo event on ‘Online safety for children and youth in Sri Lanka’ organised by Unicef Sri Lanka which brought together a few dozen web-savvy young people.
කාලයෙන් කාලයට අළුතෙන් මතුව ආ සංසිද්ධීයක් අල්ලාගෙන එයට හැකි තරම් පහරදීම හා ඒ ගැන අස්ථාන බියක් ඇති කර ගැනීම අපේ සමාජයේ ගතියක්.
මෙරටට රේඩියෝ යන්ත්‍ර හඳුන්වා දුන් 1930 ගණන්වල ඒවා පුපුරා යන්නට, ගිනි ගන්නට හැකි භයානක පෙට්ටි යයි ඇතැමුන් කී බව මා කුඩා කාලයේ ආච්චි ආවර්ජනය කළා. 1960-70 දශකවල චිත්රකථා මාධ්‍යය අපේකරණය වෙද්දි එයට නැගූ අවලාද හා චෝදනා ගැන මීට ඉහත කොලමකින් අප කථා කළා. ළමා මනස දුෂණය කිරීම, අපේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීම, සමාජයේ ප්රචණ්ඩත්වය තීව්ර කිරීම, කාලය කා දැමීම ආදී බරපතල චෝදනා මේ අතර තිබුණා.
1979-82 කාලයේ ටෙලිවිෂන් මෙහි ආ විට ටික කලෙකින් අපේ ළමා හා තරුණ පරපුර නෙත් අඳ වූ ඔලමොට්ටලයන් වනු ඇතැයි අපේ සුචරිතවාදියෝ මොර දුන්නා. ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් මාධ්‍යයටත් ප්රබලව එල්ල වූ මේ සැකයන් හා භීතිකාවන්ට ලක් වන අළුත්ම ප්‍රවණතාව වෙබ්ගත සමාජ මාධයයි (Social Media). විශේෂයෙන්ම ෆේස්බුක් Facebook නම් සංවෘත, මිතුරු සාමීචි වෙබ් වේදිකාවයි.
සමාජ මාධ්‍ය යන නම පවා සමහරුන්ගේ අවඥාවට ලක්ව ඇති බව පෙනෙනවා. එක් පුවත්පත් ලිපියක් මෑතදී කීවේ සමාජ මාධ්‍ය යනු සමාජ ශාලා (ක්ලබ්ස්) යයි හැඟීමක් අපේ සමහරුන් නොදැනුවත්කම නිසා ඇති කර ගෙන තිබෙන බවයි!
අන් හැම මාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණයක් මෙන් ම සමාජ මාධ්‍යවලත් විවිධාකාර සමාජයීය බලපෑම් තිබෙනවා. මේ අතර සමහරක් අහිතකර වීමේ ඉඩක් ද පවතිනවා. ඒ ඉඩ අවම කර ගෙන සමාජ මාධ්‍යවල ධනාත්මක විභවය උපරිම කර ගන්නට අවශ්‍යයි.
සමාජ මාධ්‍ය යනු Facebook පමණක් නොවෙයි. දොරටුපාලක අධිපතිවාදයකින් තොරව අදහස් සන්නිවේදනය කළ හැකි බ්ලොග් blogඅවකාශ, ඉතා කෙටි හා ක්ෂණික සන්නිවේදන කළ හැකි ට්විටර් Twitter වේදිකාව, රූප බෙදා ගත හැකි Flickr වැනි නිදහස් සේවාවන් මෙන් ම විඩියෝ බෙදා ගත හැකි YouTube වැනි සේවාවන් සියල්ලත් සමාජ මාධ්‍යවලට අයත්.
පොදුවේ සමාජ මාධ්‍යවල දැකිය හැකි ආව්ණික ලක්ෂණ කිහිපයක් තිබෙනවා. කාගේවත් අවසරයක්, අධීක්‍ණයක් නැතිව කැරෙන මේ සන්නිවේදන ලිහිල් හා විවෘතයි. තවමත් බොහෝ දුරට වැඩවසම් මානසිකත්වයක් ඇති අපේ සමාජයේ මෙබඳු මත දැක්වීම්වලට ඉඩකඩ සිමිතයි. පාසලේ, සරසවියේ, කාර්යාලවල හා වෙනත් බොහෝ තලයන්හිදී තරුණ තරුණියෝ විවිධ ධූරාවලීන්ට (hierarchies) යටත්ව කි‍්‍රයා කරනවා. එහෙත් දොරටුපාලයන් නැති, අධිපතිවාදයෙන් තොර කලාපයක් වන සයිබර් අවකාශයේ එබඳු සීමා නැහැ.
23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය
4 Aug 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය
ඉන්ටර්නෙට් මාධ්‍යයේ ලංකාගමනය සිදුවූයේ 1995 අපේ‍්‍රල් මාසයේ නිසා දැන් මේ මාධ්‍යය සමග අපේ සම්බන්ධයට වසර 19ක් පිරෙනවා. මිනිස් ජීවිතයක නම් මේ කඩඉමට පැමිණෙන විට යම් පරිනත බවක් අපේක්ෂා කරනවා. ඉන්ටර්නෙට් මාධ්‍යයේ සමාජයීය බලපෑම් ගැන පරිනත සංවාදයක් කරන්නට නම් හුදෙක් තාක්ෂණය, නීතිය හෝ ඊනියා සුචරිතවාදයට වඩා ඔබ්බට යන විග්රහයන් අවශ්‍යයි.
20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?
මේ බුද්ධිමය නායකත්වය ලබා දීමට මෙරට සරසවි ඇදුරන් හා පොතේ උගතුන් බහුතරයක් අසමත්. මේ මාධ්‍යය ගැන වැඩිපුර ම අවබෝධයක් ඇත්තේ එය සමග හැදුණු වැඩුණු මෙරට මුල් ඩිජිටල් පරම්පරාවටයි. ඉස නිකට නොපැසුනත් මේ මාධ්‍යය ගැන වඩාත් හරවත් හා යථාර්ථවාදි උපදෙස් සෙසු සමාජයට දිය හැක්කේත් ඔවුන්ටයි.
24 June 2012: සිවුමංසල කොලූගැටයා #72: ඉන්ටර්නෙට් නොදැන ගොස් මංමුලා වූ උගත්තු…
මේ ඩිජිටල් පරපුරට සවන්දීමේ සංවාදශීලි රැස්වීමක් පසුගියදා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් Unicef ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළා. සමාජ මාධය භාවිතය ගැන පෞද්ගලික අත්දැකීමෙන් හා ගවේෂණාත්මක අවබෝධයෙන් කථා කළ හැකි හා මේ නව අවකාශය ජය ගන්නට ආත්ම ශක්තිය ඇති තරුණ තරුණියන් රැසක් එයට සහභාගී වූවා.
මේ සංවාදයට එක් වූ සැවොම එකඟ වූයේ අවධි වූ සිහියන්, ප්රවේශම්කාරිව සයිබර් අවකාශයේ සැරසැරීම අද කාලයේ අත්‍යවශ්‍ය කුසලතාවක් බවයි.
‘‘අපේ සමාජය අළුත් හැම දෙයකට ම ප්‍රතිචාර දක්වන්නේ බොහොම ගතානුගතිකවයි. නව තක්ෂණයක හෝ ප්‍රවණතාවක ගති සොබා නොවිමසා මතු පිටින් පෙනෙන දෙයින් එයට දොස් කීම බහුලව කැරෙනවා’’ යයි මෘදුකාංග ඉංජිනේරු හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ගයාන් විජේවික්‍රම කියනවා.
ඔහුගේ මතය සයිබර් අවකාශයේ සැබෑ අවදානම් මොනවාදැයි හරි හැටි හඳුනාගෙන ඒවායින් ප්‍රවේශම් වීමේ ක්‍රමවත් සමාජ සූදානමක් ඇති කළ යුතුයි. මාධ්‍යයට බිය වී එය තහනම් කිරීම හෝ ළමයින් එයින් ඈත් කිරීම හෝ නිසි ප්‍රතිචාරය නොවේ.
‘භෞතික ලෝකයේ නොහඳුනන අයගෙන් ප්‍රවේශම් වන්නට යයි අප දරුවන්ට කියනවා. නොදන්නා කෙනෙකුට අපේ පෞද්ගලික තොරතුරු හෝ රූප දෙන්නේ නැහැ. මේ හා සමාන ප්රවේශම්කාරි බවක් නොතිබීම අද සමාජ මාධ්‍ය භාවිතයට ගොස් අමාරුවේ වැටීමට ප්‍රධාන හේතුවක්’ ඔහු කියනවා.
සයිබර් අවකාශයේ ප්‍රධාන අවදානමක් නම් අපේ අනන්‍යතාවය වෙන අයකු විසින් අනවසරයෙන් පැහැර ගැනීමයි (identity theft). බොහෝ කොට මෙය සිදු වන්නේ අප හඳුනන (එහෙත් සැබෑවටම අපට හිතවත් නොවන) කෙනකු හරහායි.
Facebook ගිනුම් අරභයා මෙරට බලධාරින්ට ලැබෙන පැමිණිලිවල අති බහුතරයක් මේ ගණයට වැටෙනවා. තමාගේ නමින් අනවසර ගිනුමක් පවත්වා ගැනීම හෝ තමන් සතු වූ ගිනුම හදිසියේ පැහැර ගැනීම හරහා තමන්ට හානිකර රූප, ප්‍රකාශ පළ කිරීම ගැන මේ පැමිණිලි ලැබෙනවා. විමර්ශනය කරන විට හෙළි වන්නේ එබඳු අක්‍රමිකතා පිටුපස බොහෝ විට සිටින්නේ විරසක වූ පෙම්වතුන් හෝ ඉරිසියාවට පත් හිටපු මිතුරන් බවයි. මෙය සමීපතයන් අතර password හෝ මුරපද බෙදා ගැනීමේ පසු කාලීන විපාකයක්.
මූලික මට්ටමේ ආරක්ෂක උපක්‍රම වන්නේ තමන්ගේ විවිධ සයිබර් සේවා ගිනුම් (accounts)වලට හරිහමන් මුරපද දීමයි. ලෙහෙසියෙන් වෙන අයකුට අනුමාන කළ නොහැකි මුරපද භාවිතයත්, කිසිම හේතුවක් නිසා සමීපතයන්ට පවා එය නොකීමත් ඉතා වැදගත්.
එහෙත් අපේ බොහෝ දෙනා ඉතා ලිහිල් ආකාරයේ මුරපද තෝරා ගැනීම, එකම මුරපදය විවිධ භාවිත ගිනුම්වලට යෙදීම, රහසිගත බව නොසළකා හිත මිතුරන්ට එය පැවසීම, බොහෝ කලක් එකම පුර පදය පවත්වා ගැනීම වැනි වැරදි රැසක් කරන බව හෙළි වී තිබෙනවා.
වඩාත් ප්රශස්ත මුරපදයක් තේරිම ගැන නොමිලයේ උපදෙස් සයිබර් අවකාශය පුරාම හමු වනවා. එසේම අදියර දෙකක මුරපද : (two-step verification) දැන් සමහර සයිබර් සේවාවලින් ලද හැකියි. Google, WordPress වැනි නිදහස් සේවා තම සාමාජිකයන්ට මෙය නිර්දේශ කරනවා. එහිදී තමා තෝරා ගත් රහසිගත මුරපදය ඇතුල් කළ විට එයට සම්බන්ධිත ජංගම දුරකථනයට SMS හරහා තාවකාලික රහස් අංකයක් එසැනින් ලැබෙනවා. අදාල ගිනුමට පිවිසිය හැක්කේ මුරපදය හා අංකය දෙකම හරියට ගැලපේ නම් පමණයි. මේ රහස් අංකය අහම්බෙන් ජනනය වන නැවත භාවිතයක් නැති එකක්.
විශේෂයෙන් කාර්යාලවල, සයිබර් කැෆේ හා නැණසල ආදි ස්ථානවල පොදුවේ භාවිත කැරෙන පරිගණක හරහා සයිබර් අවකාශයට පිවිසෙන විට මුරපදයන් සුරැකීමත්, වෙනත් ආරක්ෂිත උපක්‍රම ගැන විමසිලිමත් වීමත් වැදගත්. එසේම මුරපද යොදා තමන් විසින් පිවිසි ගිනුම්වලින් යළිත් ඕනෑකමින්ම බැහැරවීම (log out) අවශ්‍යයි.
අපේ සමහරුන් තමන්ගේ පෞද්ගලික ඊමේල් හා ෆේස්බුක් ගිනුම් පොදු පරිගණකවල විවෘත කොට ඒවා යළිත් බැහැර නොවී තබනවා. එවිට වෙනත් ඕනෑම කෙනෙකුට එයට පිවිසී ඕනෑම මගඩියක් කළ හැකියි. නිවසේ දොර ජනෙල් අගුලූ නොදමා විවෘතව තබනවා වැනි අවදානම් සහගත ක්‍රියාවක්.
පරිගණක, ස්මාට්ෆොන් හා වෙනත් සන්නිවේදන තාක්ෂණ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය තාක්ෂණික දැනුම (එනම් තොරතුරු සාක්ෂරතාව) පමණක් සෑහෙන්නේ නැහැ. ප්රවේශම්කාරිව, කාර්යක්ෂමව හා ආචාරශීලීව සයිබර් අවකාශයේ සැරිසැරීමට ඉන්ටර්නෙට් සාක්ෂරතාව (cyber literacy) හා සමාජ මාධ්‍ය සාක්ෂරතාව (social media literacy) ද අවශ්‍යයි. මේවා මෙරට බහුලව හමුවන පරිගණක උපකාරක පන්තිවලින් හරිහැටි ලබා දෙන කුසලතාවයන් නොවෙයි.

තරුණ මාධ්‍යවේදිනියක් වන මෙගාරා ටෙගාල් කියන්නේ ලක් සමාජයේ ඉන්ටර්නෙට් භීතියට අපේ බහුතරයක් මාධ්‍ය ද වගකිව යුතු බවයි. පාඨක හා ග්රාහක සංත්රාසය ඇති කරන ආකාරයේ ප්රවෘත්ති ආවරණයත්, ‘Facebook මාරයා’ වැනි වචන භාවිතයත් මෙයට දායක වනවා.
‘‘Facebook යනු කාටත් නොමිළයේ බැඳිය හැකි සමාජ මාධ්‍ය ජාලයක්. වේදිකාවක්. ප්‍රශ්න මතු වන්නේ එයට බැඳෙන සමහරුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි නිසයි. ඒත් අපේ මාධ්‍ය වාර්තා බලන විට Facebook යනු මහා භයානක, දුෂ්ට හා දුෂිත තැනක් වැනි හැඟීමක් හටගත හැකියි’’ මෙගාරා කියනවා.
මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ මාධ්‍යවේදීන් හා මාධ්‍ය කතුවරුන්ට මේ නව තාක්ෂණ හා මාධ්‍ය ගැන නිසි අවබෝධයක් නැති වීමයි. ඉන්ටර්නෙට් ආගමනයෙන් පසු ගෙවී ගිය මුල් වසර කිහිපයේ එය තේරුම් ගත හැකි වුවත් තවමත් මේ නොදන්නාකම හා දුර්අවබෝධය පවතින්නේ ඇයි?
මගේ මතය: ඉන්ටර්නෙට් මාරයා, Facebook මාරයා වැනි යෙදුම් තමන්ගේ මාධ්‍ය ලිපිවල ලියන්නේ ඉන්ටර්නෙට් හීනමානයෙන් පෙළෙන උදවියයි. තමන් නොදත් හෝ තමන් අසමත් නව තාක්ෂණයක් සමාජයේ අන් අයට ලැබෙනවාට නොරිසි මේ අය පොදුවේ ඉන්ටර්නෙට් ගැනත් සමාජ මාධ්‍ය ගැනත් අතිශයෝක්තියෙන් බියකරු කථා පතුරවනවා.

ඉන්ටර්නෙට් භාවිතයේදී ඇති වන අක්‍රමිකතා හා මූල්‍යමය වංචා ආදිය ගැන මෙරට නීති සම්පාදනය වී ඇතතත් සමාජ මාධ්‍ය ගැන තවමත් රාජ්‍ය තන්ත්රයට පැහැදිලි අවබෝධයක් නැහැ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුවගේ අදහස සමාජ මාධ්‍ය ගැන දෙබිඩි පිළිවෙතක් රජයට ඇති බවයි.
‘‘එක් පසෙකින් ජනාධිපතිවරයා හා මහ බැංකු අධිපතිවරයා සෘජුව ම ලක් ජනතාවට සමීප වන්නට සමාජ මාධ්‍ය (Twitter) හරහා සංවාද කරනවා. ඒ අතර සමාජ මාධ්‍ය මහත් වසංගතයක් යයි ජනාධිපතිවරයා ම ප්‍රසිද්ධියේ කියනවා. සමාජ මාධ්‍ය මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යයි ආරක්ෂක ලේකම්වරයා දේශනයකදී කියනවා. මේ පරස්පරයන් නිසා සමාජ මාධ්‍ය ප්රශස්ත ලෙස සමාජ උන්නතියට යොදා ගැනීම දුෂ්කර වනවා’’ සංජන කියනවා.
4 Sep 2011: සිවුමංසල කොලූගැටයා #30: නීතිය, සාමය, ජාතික ආරකෂාව හා ඉන්ටර්නෙට්
ටික දෙනකුගේ උද්ඝෝෂණ නිසා රජය සමාජ මාධ්‍ය මෙරට තුළ තහනම් කිරීමක් නොකරන බව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ප්‍රකාශ කොට තිබෙනවා. දැනුවත් වූ හා ප්රවේශම්කාරි සමාජ මාධ්‍ය භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරනවා.
සමාජ මාධ්‍ය නියාමනයට රාජ්‍ය කමිටුවක් පත් කැරෙන බවට මෑතකදී වාර්තා වුවත් ඒ ගැන වැඩි තොරතුරු හෙළිවී නැහැ. සංජන හත්තොටුව කියන්නේ නියාමනය නොව සයිබර් සාක්ෂරතාවය හා දැනුවත්බව තීව්ර කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේම සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවාගත් අනන්‍යතා (pseudonimity) හෝ හරහා ද්වේශසහගත ලෙස තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප්රවණතා වැඩිවෙමින් පවතින බවත් ඔහු කියනවා.
වික්ටෝරියානු අධිසුචරිතවාදය වෙනුවට සදාචාරාත්මක හා ආචාරශීලි රාමුවක් තුළ සයිබර් සන්නිවේදන කිරීමේ අවශ්‍යතාවය ද අපේ සමාජයේ ප්‍රවර්ධනය කළ යුතුයි. නැතිනම් ඩිජිටල් පරම්පරාවේ දැලිපිහිය අතට ගත් වඳුරන් වැනි පිරිසක් බිහි වීමේ අවදානම තිබෙනවා.