සයිබර් කැඩපත් පවුර: බ්ලොග් හරහා සයිබර් අවකාශයේ නිර්මාණ හා සංවාද රැසක්

Some say that blogging is in decline and claim that the days are numbered for this art of web-based writing and sharing of all kinds of content. But not (yet?) in Sri Lanka’s local languages of Sinhala and Tamil, where vibrant blogospheres exist, sustaining their own subcultures and dynamics.

In this article (in Sinhala) written in April 2017 and published in Desathiya magazine of November 2017, I I look around the Sinhala language blogosphere in Sri Lanka, and offer a few glimpses on how the myriad conversations are unfolding. In that process, I also try to demystify blogs — about which popular myths and misconceptions persist in Lankan society (some of them peddled by the mainstream media or uninformed mass media academics).

Sinhala language Blogging in Sri Lanka: An overview by Nalaka Gunawardene, Desathiya magazine, Nov 2017

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ හොඳම බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල තෙවන වරටත් 2017 මාර්තු 25 කොළඹදී පැවැත්වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අවස්ථා හා අභියෝග ගැන කතා කිරීමට මට ඇරැයුම් කොට තිබුණා.

2017 ඇරඹෙන විට මෙරට ජනගහනයෙන් 30%ක් පමණ දෙනා නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කළ බව රාජ්‍ය දත්ත තහවුරු කළා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. වෙබ්ගත වන ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයින් ලබන තොරතුරු ඔවුන් හරහා විශාල පිරිසකට සමාජගත වන නිසා.

මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගතයන් කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් යනු තම අදහස් හා මතවාදයන් සෘජුවම වෙබ්ගත කිරීමයි. බ්ලොග් (blog) ඉංග්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග්  (web log) යන වදන් දෙක එකතු වීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.

බ්ලොග්වලට වචන, රූප, වීඩියෝ හෝ හඬ හෝ මේවායේ මිශ්‍රනයක් යොදා ගත හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) හැකියාව ඕනැම වෙබ් පාඨකයකුට තිබීමයි. අන්තර්ක්‍රියාකාරී බවයි.

බ්ලොග් ලේඛනය පුරවැසි මාධ්‍යකරණයේ (Citizen Journalism) එක් පැතිකඩක්. පුරවැසි මාධ්‍යකරණය ගැන විවිධ අර්ථ දැක්වීම් හා විග‍්‍රහයන් තිබෙනවා. සරලතම විදියට කිවහොත් මාධ්‍ය ආයතනගතව, වැටුප් ලබමින් මාධ්‍යකරණයේ නියැලෙනවා වෙනුවට එම කාරිය ම නොමිලයේ, පොදු අවකාශයේ උද්යෝගයෙන් කරන අය පුරවැසි මාධ්‍යවේදීන්.

අපේ උරුමයේ කොටසක්

Nelum-Yaya logo

නව සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් ප‍්‍රචලිත හා ලාබදායක වීම නිසා රටේ හා ලෝකයේ තමන් අවට සිදු වන දේ ලිඛිතව හා රූප හරහා හසු කර ගනිමින් ‘සාක්‍ෂි දැරීමේ’ (bearing witness) හැකියාව අද බොහෝ දෙනකුට ලැබී තිබෙනවා. කැමරාවක් සහිත ජංගම දුරකථනයක් (smartphone) මෙයට සෑහෙනවා.

මේ හැකියාව ලැබී තවමත් දශක දෙකක්වත් ගත වී නැහැ. ඓතිහාසිකව මෙසේ සාක්‍ෂි දැරීමේ හා වාර්තා කිරීමේ හැකියාව තිබුණේ ආයතනගත මාධ්‍යවේදීන්ට පමණයි. ඒ සීමිත බලය හරහා ඔවුන්ට යම් ප‍්‍රතාපවත් බවක් හා අධිපති බවක් ද ආරෝපණය වූවා.

පුරවැසි මාධ්‍යකරුවන්ගේ ආගමනය හරහා ඒ යථාර්ථය උඩුකුරු වනවා. අධිපති මාධ්‍යවේදයේ සමහරුන් තමන්ගේ සමාජ තත්ත්වය දියාරු වීම හා නැතිවීම ගැන කැමැති නැහැ. ඔවුන් බ්ලොග් රචකයන් හෙළා දකින්නේ එනිසායි.

පුරවැසි මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් වන්නේ කිසිදු අවසරයක්, පාලනයක් නැතිව කෙලින් ම අදහස් දැක්වීම. අප අද කාලේ එය ඉන්ටර්නෙට් හරහා කරන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත්ත ද එයට සංකල්පමය වශයෙන් දිගු ඉතිහාසයක් තිබෙනවා.

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී/ලිපි ලිව්වේ අවසර ලබා ගෙන නොවෙයි. සීගිරි බිතු සිතුවම්වල සිටින අප්සරාවන් ගැන සියවස් ගණනක් පුරා එහි ගිය ඇතැම් දෙනා තමන්ගේ අදහස් හා හැගීම් එහි ලියා තිබෙනවා. සීගිරි කුරුටු ගී/ලිපි ලියූ හැම අයකු ම මීට සියවස් ගණනකට පෙර මෙරට විසූ පුරවැසි මාධ්‍යවේදීන්!

කාශ්‍යප රජු විසින් සීගිරිය රාජධානිය කර ගනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී. දැනට දන්නා පැරණි ම සීගිරි කුරුටු ගී 6 හා 7 වන සියවස්වලට අයත්. බහුතරයක් කුරුටු ගී 8, 9 හා 10 වන සියවස්වල ලියා ඇතැයි ද සුඵ සංඛ්‍යාවක් 11 සිට 13 වන සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි ද පුරා විද්‍යාඥයන් කියනවා.

සීගිරි කුරුටු ගී අසාමාන්‍යයි. කිසිවකුගේ අවසරයක්, අධීක්‍ෂණයක් හෝ අනුදැනුමක් නැතිව නිදහසේ අදහස් පළකොට තිබෙනවා. ඒ සඳහා ලියූ අයගේ තරාතිරම, උගත්කම බලපා නැහැ. (අකුරු ලිවීමේ/කෙටීමේ හැකියාව සීමාකාරී සාධකය වූ බව සැබෑවක්.)

සීගිරි කුරුටු ගී/ලිපි ලියූ අපේ ආදිතමයෝ පුරෝගාමී පුරවැසි මාධ්‍යවේදීන් ලෙස සැළකිය හැකිදැයි සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීවගෙන් මා විමසුවා. ඔහු එයට එකඟ වුණා. හේතුව ඔවුන්ට ඉහළින් තීරණ ගන්නා කිසිදු කතුවරයකු හෝ අවසර දෙන්නකු නොසිටි නිසා.

Sigiriya Graffiti image courtesy – Kassapa’s Homage to Beauty by Siri Gunasinghe

නූතන පුරවැසි මාධ්‍යකරුවෝ

අද අප දන්නා ආකාරයෙන් වෙබ් අවකාශය (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැන සිටීම  ඕනෑ වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී. බ්ලොග් ලිවීමට පරිගණක භාෂා දැනුම ඕනැ නැහැ. සාමාන්‍යයෙන් පරිගණකයක් හසුරුවන්නට හා යම් බසකින් ටයිප් කරන්නට දැන සිටීම ප්‍රමාණවත්. මේ සඳහා නොමිලේ වෙබ් ඉඩ ලබා දෙන සයිබර් වේදිකා බිහි වුණා (Blogger 1999; WordPress 2003).

අද බොහෝ පුවත්පත්වල අන්තර්ගතයට වඩා සාරගර්භ, සන්වාදශීලී අන්තර්ගතයන් බ්ලොග් අවකාශයේ හමු වන බව දිගු කාලීන නිරීක්ෂන මත මගේ වැටහීමයි.

බ්ලොග්කරණය හිතෙන හා ඉඩපාසු තිබෙන වෙලාවට ස්වේච්ඡාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.

ශ්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය නිතිපතා සක්‍රිය සිංහල බ්ලොග් රචකයන් 400ක් පමණ සිටින බවයි. මගේ වැටහීමට අනුව නම් මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන දහසකට වැඩි දෙනකු සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. අඩුවෙන් විකිණෙන දිනපතා පත්තරවලට වඩා පාඨක පිරිසක් නිතිපතා කියවන ජනප්‍රිය බ්ලොග් ලේඛකයන් කීප දෙනකු දැන් සිටිනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

පුරවැසි මාධ්‍යවේදීන් ආධුනිකයන් ද? සමහර ආයතනගත මාධ්‍යවේදීන් තමන් වෘත්තිකයන් බවත්, එතැනට පැමිණීමට පුහුණුවක් හා අභ්‍යාසයක් කලක් ප‍්‍රගුණ කළ බවත් කියමින් පුරවැසි මාධ්‍යවේදීන් හෑල්ලූ කරන්නට තැත් කරනවා. එහෙත් අද වන විට මේ ආධුනික/වෘත්තික බෙදුම බොඳ වී ගිහින්.

2016 හොඳම දේශපාලය බ්ලොග් ලිපිය ලියූ තරිඳු උඩුවරගෙදර, නාලක ගුණවර්ධන අතින් සම්මානය ලබා ගනී

 බ්ලොග් අවකාශයේ විචිත්‍රත්වය

 බ්ලොග් ලේඛකයන් විවිධ සමාජ, අධ්‍යාපනික හා වෘත්තීය පසුබිම්වලින් මතුවනවා. ඔවුන් අතර විවිධත්වය ඉහළයි. පාසල් හා සරසවි සිසුන්, ගුරුවරුන්,  රාජ්‍ය පරිපාලන නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් හා විශ්‍රාමිකන් ඒ අතර සිටිනවා. ඇතැම් වෘත්තීය මාධ්‍යවේදීන් ද තමන්ට නිල වශයෙන් කීමට නොහැකි දේ පවසන්නට බ්ලොග් කරනවා. මා 2007දී බ්ලොග් ලිවීම  ඇරඹුවේ එම අරමුණින්.

බහුතරයක් අපේ බ්ලොග් ලේඛකයන් ලියන්නේ තම සැබෑ නමින්. එහෙත් ආරූඪ නමින් ලියන අයද සිටිනවා. එයට හේතු තිබෙනවා (උදා: රාජ්‍ය සේවකයන්ට හා තවත් සමහර වෘත්තිකයන්ට රැකියාවෙන් පනවා ඇති සීමා නිසා).

ආරූඪ නමින් ලිවීම ඕනැම ලේඛකයකුට ඇති අයිතියක්. මාර්ටින් වික්‍රමසිංහ හා ඩී බී ධනපාල වැනි දැවැන්තයොත් එසේ කර තිබෙනවා.

නමුත් වෙබ්ගතව අදහස් පළ කරන අයටද රටේ නීති අදාලයි. සාවද්‍ය හා ද්වේශසහගතව යමක් ලිව්වොත් අපහාස නීතිය යටතේ සිවිල් නඩුවක් පැවරිය හැකියි. ආරූඪනම්වලට මුවා වී අභූත චෝදනා හෝ බොරු පතුරවන්නට බැහැ.

බ්ලොග් අවකාශයේ ඉතා හරබර තොරතුරු හා සංවාද රැසක් නිරතුරුව දිග හැරෙනවා. කාලීන සමාජ, ආර්ථික හා දේශපාලනික මාතෘකා ගැන නව මානයන්ගෙන්, නිදහස් හා හරවත් අදහස් රැසක් පළ කැරෙනවා. එයට අමතරව ගද්‍ය හා පද්‍ය ක්ෂේත්‍ර දෙකෙහිම නව නිර්මාණ ලියැවෙනවා. බොහෝ බ්ලොග් වචනවලට සීමා වුවත් සමහරක් බ්ලොග්වල මුල තැන ලැබෙන්නේ ඡායාරූප, කාටූන්, මල්ටිමීඩියා (බහුමාධ්‍ය) නිර්මාණවලටයි.

බ්ලොග් ලේඛකයන් ලියන්නේ ආත්ම තෘප්තියට. එහෙත් ස්වේච්ඡාවෙන් බ්ලොග්කරණ‍යේ නියැලෙන්නන් ගැන සමාජයේ ඇතැම් දුර්මත තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ආධාර බලාපොරොත්තුවෙන් හෝ වාණිජ පරමාර්ථ ඉටු කර ගැනීමේ අරමුණින් යුතුව බ්ලොග්කරණයේ නියැලෙන බවට ඇතැම් පිරිස් විසින් චෝදනා නැගුව ද එම චෝදනාවලට කිසිදු පදනමක් නැහැ.

මෙවර නෙළුම්යාය සම්මාන දිනූ ලේඛකයන් පරාසය දෙස බැලූ විට බ්ලොග් අවකාශයේ විචිත්‍රත්වය පෙනනවා. හොඳම බ්ලොග් රචකයා සඳහා ප්‍රථම ස්ථානය දිනා ගත්තේ නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දුයි. රැකියාවට විදෙස්ගතව සිටින රවි වැනි බ්ලොග් ලේඛකයන් රැසක් සිටිනවා.

දෙවන ස්ථානය දිනූ “සොඳුරු සිත” බ්ලොගය ලියන්නේ මාතර රජයේ පාසලක උද්‍යෝගිමත් විද්‍යා ගුරුවරියක් වන වත්සලා. පන්තිකාමරයේ, පාසලේ හා ගමේ සිදුවීම් සංවේදී හා චමත්කාර ලෙසින් හසු කර ගන්න ඇය සමත්.

තෙවන ස්ථානය දිනූ “ඉකොනොමැට්ටාගේ බොජුන්හල” බ්ලොගය ලියන ඉකොනොමැට්ටා, දත්ත හා කරුණු මනා ලෙස භාවිත කරමින් බොහෝ තත්කලීන දේ විග්‍රහ කරන්නෙක්. නව දැනුම උකහා ගෙන රසවත්ව බෙදා ගන්නෙක්.

හතරවන ස්ථානය දිනූ “Transylvania” ද්විභාෂික බ්ලොගය ලියන කැනඩාවේ නිවැසි වෛද්‍ය රුවන් එම්. ජයතුංග, මනෝචිකිත්සාව පිළිමඳ විශේෂඥයෙක්. මෙරට ප්‍රබන්ධ සාහිත්‍යයේ චරිත හා දේශපාලන චරිත මනෝවිශ්ලේෂන කෝණයෙන් විද්වත්ව විග්‍රහ කරන්නට සමතෙක්.

බ්ලොග් සම්මාන දිනූ ලේඛකයන් අතර උතුරේ රජයේ රෝහල්වල යුද්ධ කාලයේත් ඉන් පසුවත් සේවය කළ වෛද්‍ය බෝධිනී සමරතුංග ද වනවා. “අනිත් කොන” බ්ලොගය හරහා බෙදා ගැනෙන ඇගේ අත්දැකීම් අනුවේදනීයයි. ඇගේ දැක්ම මානව හිතවාදීයි.

2016 වසරේ හොඳම ඉංග්‍රීසි බ්ලොගය සඳහා සම්මාන දිනූ සුභා විජේසිරිවර්ධන, මෙරට සිටින ඉතා කුසලතා සම්පන්න තරුණ සමාජ ක්‍රියාකාරිනියක්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන අලුත් විදියට සිතන හා ලියන ලේඛිකාවක්.

නෙළුම්යාය (http://nelumyaya.com) සංස්කාරක හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් බෙහෙවින් පුළුල් වී ඇති බවයි. නව පන්නයේ නිර්මාණාත්මක සාහිත්‍යයක් දැන් බ්ලොග් හරහා මතු වී තිබෙනවා.

සම්මාන දුන් නිමිති දෙස බලන විටද මෙය පැහැදිලියි: අතීතකාම, ඉතිහාසය, කෙටිකථා, පරිවර්තන, ප්‍රහසන, නවකතා, විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා හා තාක්ෂණ, සංගීතය, සංචාරක හා ඡායාරූප, සාහිත්‍ය කලා විචාර ආදිය ඒ අතර වනවා. ඉස්සර පත්තරවලින් මතු වූ නවක ලේඛකයෝ දැන් බ්ලොග් අවකාශයෙන් මතු වනවා. මේ නව යථාර්තය වියපත් කතුවරුන් හෝ පණ්ඩිතයන් දකින්නේ නැහැ.

Among leading Sri Lankan bloggers – L to R Subha Wijesiriwardena, Ajith Perakum Jayasinghe, Dr Ruwan M Jayatunge

බ්ලොග් උපසංස්කෘතියක්

බොහෝ බ්ලොග් රචකයන් ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා. එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහි වන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතු යැයි ධර්මකීර්ති මතු කරන තර්කයට මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල් වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලුතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි කියනවා.

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහි වූයේ 2005 අප්‍රේල් මාසයේ. කොත්තු (www.kottu.org) නම් වන එහි ස්වයංක්‍රීයව අලුත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමැති අයට එතැනින් ක්ලික් කොට මුලු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. මීට අමතරව දැන් සතුටු වැස්ස, ලාංකීය සිතුවිලි, ටොප් සිංහල බ්ලොග් වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලු ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලුත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැන ගැනීමට මෙවැන්නකට පිවිසීම ප්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන, බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් (www.boondi.lk), කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් (www.vikalpa.org) කැපී පෙනෙන උදාහරණයි.

සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රබල භූමිකාවක් හිමි කර ගත්, W3Lanka නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කියන්නේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි. තව යා හැකි හා යා යුතු දුර බොහෝයි.

Among leading Lankan bloggers in Sinhala – L to R – Ajith Dharmakeerthi, Dr Bodhini Samaratunga, Priyantha Hewage alias Maathalan

ලාංකික බ්ලොග් අවකාශය  වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

මෙයට එක් හේතුවක් නම් බොහෝ දෙනකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. 2015 නෙළුම්යාය සම්මාන උළෙලේදී  මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප්‍රධාන ප්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයි.

ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බ්ලොග් ලේඛකයන් දෙදෙනාගෙන් එක් අයෙක් (අනෙක් බ්ලොග් ලේඛක මන්ත්‍රීවරයා බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා.). ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ‘සතර දිගන්තය’ නමින් බ්ලොගයක් ලියන පරණවිතානයන්ට ඇතැම් සහෘදයන් අවවාද කොට තිබෙනවා!

බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරනවා. 2015 ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

Desathiya Nov 2017 issue: Are we ready for new media?

හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමු වනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග්‍රහණය වන සැටි ගැන එය කැඩපතක්.

මේ කෙටි විග්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත්‍රත්වය හා ගතිසොබා හඳුනා ගන්න. ප්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

 

Advertisements
Posted in Blogging, Citizen journalism, citizen media, digital media, Digital Natives, ICT, Internet, Journalism, New media, public interest, social media, Sri Lanka, Writing. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »

සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

In this week’s Ravaya column (in Sinhala language), I probe why sections of Lankan society are habouring growing fears of social media, especially Facebook.

A few have called for a blanket ban of Facebook, which the secretary to the Ministry of Media has assured (in his Twitter feed) would not happen. There is an urgent need, however, to enhance public understanding in Sri Lanka of social media use, with particular attention on safety precautions, privacy protection and cyber civility.

I have drawn insights from a recent Colombo event on ‘Online safety for children and youth in Sri Lanka’ organised by Unicef Sri Lanka which brought together a few dozen web-savvy young people.

Social Media montage

කාලයෙන් කාලයට අළුතෙන් මතුව ආ සංසිද්ධීයක් අල්ලාගෙන එයට හැකි තරම් පහරදීම හා ඒ ගැන අස්ථාන බියක් ඇති කර ගැනීම අපේ සමාජයේ ගතියක්.

මෙරටට රේඩියෝ යන්ත‍්‍ර හඳුන්වා දුන් 1930 ගණන්වල ඒවා පුපුරා යන්නට, ගිනි ගන්නට හැකි භයානක පෙට්ටි යයි ඇතැමුන් කී බව මා කුඩා කාලයේ ආච්චි  ආවර්ජනය කළා. 1960-70 දශකවල චිත‍්‍රකථා මාධ්‍යය අපේකරණය වෙද්දි එයට නැගූ අවලාද හා චෝදනා ගැන මීට ඉහත කොලමකින් අප කථා කළා. ළමා මනස දුෂණය කිරීම, අපේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීම, සමාජයේ ප‍්‍රචණ්ඩත්වය තීව‍්‍ර කිරීම, කාලය කා දැමීම ආදී බරපතල චෝදනා මේ අතර තිබුණා.

1979-82 කාලයේ ටෙලිවිෂන් මෙහි ආ විට ටික කලෙකින් අපේ ළමා හා තරුණ පරපුර නෙත් අඳ වූ ඔලමොට්ටලයන් වනු ඇතැයි අපේ සුචරිතවාදියෝ මොර දුන්නා. ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් මාධ්‍යයටත් ප‍්‍රබලව එල්ල වූ මේ සැකයන් හා භීතිකාවන්ට ලක් වන අළුත්ම ප‍්‍රවණතාව වෙබ්ගත සමාජ මාධයයි (Social Media). විශේෂයෙන්ම ෆේස්බුක් Facebook නම් සංවෘත, මිතුරු සාමීචි වෙබ් වේදිකාවයි.

සමාජ මාධ්‍ය යන නම පවා සමහරුන්ගේ අවඥාවට ලක්ව ඇති බව පෙනෙනවා.  එක් පුවත්පත් ලිපියක් මෑතදී කීවේ සමාජ මාධ්‍ය යනු සමාජ ශාලා (ක්ලබ්ස්) යයි හැඟීමක් අපේ සමහරුන් නොදැනුවත්කම නිසා ඇති කර ගෙන තිබෙන බවයි!

අන් හැම මාධ්‍ය හා සන්නිවේදන තාක්‍ෂණයක් මෙන් ම සමාජ මාධ්‍යවලත් විවිධාකාර සමාජයීය බලපෑම් තිබෙනවා.  මේ අතර සමහරක් අහිතකර වීමේ ඉඩක් ද පවතිනවා.  ඒ ඉඩ අවම කර ගෙන සමාජ මාධ්‍යවල ධනාත්මක විභවය උපරිම කර ගන්නට අවශ්‍යයි.

සමාජ මාධ්‍ය යනු Facebook පමණක් නොවෙයි. දොරටුපාලක අධිපතිවාදයකින් තොරව අදහස් සන්නිවේදනය කළ හැකි බ්ලොග් blogඅවකාශ, ඉතා කෙටි හා ක්‍ෂණික සන්නිවේදන කළ හැකි ට්විටර් Twitter වේදිකාව, රූප බෙදා ගත හැකි Flickr වැනි නිදහස් සේවාවන් මෙන් ම විඩියෝ බෙදා ගත හැකි YouTube වැනි සේවාවන් සියල්ලත් සමාජ මාධ්‍යවලට අයත්.

පොදුවේ සමාජ මාධ්‍යවල දැකිය හැකි ආව්ණික ලක්‍ෂණ කිහිපයක් තිබෙනවා. කාගේවත් අවසරයක්, අධීක්‍ණයක් නැතිව කැරෙන මේ සන්නිවේදන ලිහිල් හා විවෘතයි. තවමත් බොහෝ දුරට වැඩවසම් මානසිකත්වයක් ඇති අපේ සමාජයේ මෙබඳු මත දැක්වීම්වලට ඉඩකඩ සිමිතයි. පාසලේ, සරසවියේ, කාර්යාලවල හා වෙනත් බොහෝ තලයන්හිදී තරුණ තරුණියෝ විවිධ ධූරාවලීන්ට   (hierarchies) යටත්ව කි‍්‍රයා කරනවා. එහෙත් දොරටුපාලයන් නැති, අධිපතිවාදයෙන් තොර කලාපයක් වන සයිබර් අවකාශයේ එබඳු සීමා නැහැ.

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 Aug 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

ඉන්ටර්නෙට්  මාධ්‍යයේ ලංකාගමනය සිදුවූයේ 1995 අපේ‍්‍රල් මාසයේ නිසා දැන් මේ මාධ්‍යය සමග අපේ සම්බන්ධයට වසර 19ක් පිරෙනවා. මිනිස් ජීවිතයක නම් මේ කඩඉමට පැමිණෙන විට යම් පරිනත බවක් අපේක්‍ෂා කරනවා. ඉන්ටර්නෙට් මාධ්‍යයේ සමාජයීය බලපෑම් ගැන පරිනත සංවාදයක් කරන්නට නම් හුදෙක් තාක්‍ෂණය,  නීතිය හෝ ඊනියා සුචරිතවාදයට වඩා ඔබ්බට යන විග‍්‍රහයන් අවශ්‍යයි.

20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

මේ බුද්ධිමය නායකත්වය ලබා දීමට මෙරට සරසවි ඇදුරන් හා පොතේ උගතුන් බහුතරයක් අසමත්.  මේ මාධ්‍යය ගැන වැඩිපුර ම අවබෝධයක් ඇත්තේ එය සමග හැදුණු වැඩුණු මෙරට මුල් ඩිජිටල් පරම්පරාවටයි.  ඉස නිකට නොපැසුනත් මේ මාධ්‍යය ගැන වඩාත් හරවත් හා යථාර්ථවාදි උපදෙස් සෙසු සමාජයට දිය හැක්කේත් ඔවුන්ටයි.

24 June 2012: සිවුමංසල කොලූගැටයා #72: ඉන්ටර්නෙට් නොදැන ගොස් මංමුලා වූ උගත්තු…

මේ ඩිජිටල් පරපුරට සවන්දීමේ සංවාදශීලි රැස්වීමක් පසුගියදා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් Unicef ආයතනයේ ශ‍්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළා.  සමාජ මාධය භාවිතය ගැන පෞද්ගලික අත්දැකීමෙන් හා ගවේෂණාත්මක අවබෝධයෙන් කථා කළ හැකි  හා මේ නව අවකාශය ජය ගන්නට ආත්ම ශක්තිය ඇති තරුණ තරුණියන් රැසක් එයට සහභාගී වූවා.

මේ සංවාදයට එක් වූ සැවොම එකඟ වූයේ අවධි වූ සිහියන්, ප‍්‍රවේශම්කාරිව සයිබර් අවකාශයේ සැරසැරීම අද කාලයේ අත්‍යවශ්‍ය කුසලතාවක් බවයි.

‘‘අපේ සමාජය අළුත් හැම දෙයකට ම ප‍්‍රතිචාර දක්වන්නේ බොහොම ගතානුගතිකවයි. නව තක්‍ෂණයක හෝ ප‍්‍රවණතාවක ගති සොබා නොවිමසා මතු පිටින් පෙනෙන දෙයින් එයට දොස් කීම බහුලව  කැරෙනවා’’ යයි මෘදුකාංග ඉංජිනේරු හා සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරික ගයාන් විජේවික‍්‍රම කියනවා.

ඔහුගේ මතය සයිබර් අවකාශයේ සැබෑ අවදානම් මොනවාදැයි හරි හැටි හඳුනාගෙන ඒවායින් ප‍්‍රවේශම් වීමේ ක‍්‍රමවත් සමාජ සූදානමක් ඇති කළ යුතුයි.  මාධ්‍යයට බිය වී එය තහනම් කිරීම හෝ ළමයින් එයින් ඈත් කිරීම හෝ නිසි ප‍්‍රතිචාරය නොවේ.

‘භෞතික ලෝකයේ නොහඳුනන අයගෙන් ප‍්‍රවේශම් වන්නට යයි අප දරුවන්ට කියනවා. නොදන්නා කෙනෙකුට අපේ පෞද්ගලික තොරතුරු හෝ රූප දෙන්නේ නැහැ.  මේ හා සමාන ප‍්‍රවේශම්කාරි බවක් නොතිබීම අද සමාජ මාධ්‍ය භාවිතයට ගොස් අමාරුවේ වැටීමට ප‍්‍රධාන හේතුවක්’ ඔහු කියනවා.

සයිබර් අවකාශයේ ප‍්‍රධාන අවදානමක් නම් අපේ අනන්‍යතාවය වෙන අයකු විසින් අනවසරයෙන් පැහැර ගැනීමයි (identity theft). බොහෝ කොට මෙය සිදු වන්නේ අප හඳුනන (එහෙත් සැබෑවටම අපට හිතවත් නොවන) කෙනකු හරහායි.

Facebook ගිනුම් අරභයා මෙරට බලධාරින්ට ලැබෙන පැමිණිලිවල අති බහුතරයක් මේ ගණයට වැටෙනවා.  තමාගේ නමින් අනවසර ගිනුමක් පවත්වා ගැනීම හෝ තමන් සතු වූ ගිනුම හදිසියේ පැහැර ගැනීම හරහා තමන්ට හානිකර රූප, ප‍්‍රකාශ පළ කිරීම ගැන මේ පැමිණිලි ලැබෙනවා.  විමර්ශනය කරන විට හෙළි වන්නේ එබඳු අක‍්‍රමිකතා පිටුපස බොහෝ විට සිටින්නේ විරසක වූ පෙම්වතුන් හෝ ඉරිසියාවට පත් හිටපු මිතුරන් බවයි. මෙය සමීපතයන් අතර password හෝ මුරපද බෙදා ගැනීමේ පසු කාලීන විපාකයක්.

මූලික මට්ටමේ ආරක්‍ෂක උපක‍්‍රම වන්නේ තමන්ගේ විවිධ සයිබර් සේවා ගිනුම් (accounts)වලට හරිහමන් මුරපද දීමයි.  ලෙහෙසියෙන් වෙන අයකුට අනුමාන කළ නොහැකි මුරපද භාවිතයත්, කිසිම හේතුවක් නිසා සමීපතයන්ට පවා එය නොකීමත් ඉතා වැදගත්.

එහෙත් අපේ බොහෝ දෙනා ඉතා ලිහිල් ආකාරයේ මුරපද තෝරා ගැනීම, එකම මුරපදය විවිධ භාවිත ගිනුම්වලට යෙදීම, රහසිගත බව නොසළකා හිත මිතුරන්ට එය පැවසීම, බොහෝ කලක් එකම පුර පදය පවත්වා ගැනීම වැනි වැරදි රැසක් කරන බව හෙළි වී තිබෙනවා.

වඩාත් ප‍්‍රශස්ත මුරපදයක් තේරිම ගැන නොමිලයේ උපදෙස් සයිබර්  අවකාශය පුරාම හමු වනවා.  එසේම අදියර දෙකක මුරපද : (two-step verification) දැන් සමහර සයිබර් සේවාවලින් ලද හැකියි. Google, WordPress වැනි නිදහස් සේවා තම සාමාජිකයන්ට මෙය නිර්දේශ කරනවා. එහිදී තමා තෝරා ගත් රහසිගත මුරපදය ඇතුල් කළ විට එයට සම්බන්ධිත ජංගම දුරකථනයට  SMS හරහා  තාවකාලික රහස් අංකයක් එසැනින් ලැබෙනවා.  අදාල ගිනුමට පිවිසිය හැක්කේ මුරපදය හා අංකය දෙකම හරියට ගැලපේ නම් පමණයි.  මේ රහස් අංකය අහම්බෙන් ජනනය වන නැවත භාවිතයක් නැති එකක්.

විශේෂයෙන් කාර්යාලවල, සයිබර් කැෆේ හා නැණසල ආදි ස්ථානවල පොදුවේ භාවිත කැරෙන පරිගණක හරහා සයිබර් අවකාශයට පිවිසෙන විට මුරපදයන් සුරැකීමත්, වෙනත් ආරක්‍ෂිත උපක‍්‍රම ගැන විමසිලිමත් වීමත් වැදගත්.  එසේම මුරපද යොදා තමන් විසින් පිවිසි ගිනුම්වලින් යළිත්  ඕනෑකමින්ම බැහැරවීම (log out) අවශ්‍යයි.

අපේ සමහරුන් තමන්ගේ පෞද්ගලික ඊමේල් හා ෆේස්බුක් ගිනුම් පොදු පරිගණකවල විවෘත කොට ඒවා යළිත් බැහැර නොවී තබනවා.  එවිට වෙනත්  ඕනෑම කෙනෙකුට එයට පිවිසී  ඕනෑම මගඩියක් කළ හැකියි.  නිවසේ දොර ජනෙල් අගුලූ නොදමා විවෘතව තබනවා වැනි අවදානම් සහගත ක‍්‍රියාවක්.

පරිගණක, ස්මාට්ෆොන් හා වෙනත් සන්නිවේදන තාක්‍ෂණ ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය තාක්‍ෂණික දැනුම (එනම් තොරතුරු සාක්‍ෂරතාව) පමණක් සෑහෙන්නේ නැහැ. ප‍්‍රවේශම්කාරිව, කාර්යක්‍ෂමව හා ආචාරශීලීව සයිබර් අවකාශයේ සැරිසැරීමට ඉන්ටර්නෙට් සාක්‍ෂරතාව (cyber literacy)  හා සමාජ මාධ්‍ය සාක්‍ෂරතාව (social media literacy) ද අවශ්‍යයි. මේවා මෙරට බහුලව හමුවන පරිගණක උපකාරක පන්තිවලින් හරිහැටි ලබා දෙන කුසලතාවයන් නොවෙයි.

Megara Tegal

Megara Tegal

තරුණ මාධ්‍යවේදිනියක් වන මෙගාරා ටෙගාල් කියන්නේ ලක් සමාජයේ ඉන්ටර්නෙට්  භීතියට අපේ බහුතරයක් මාධ්‍ය ද  වගකිව යුතු බවයි.  පාඨක හා ග‍්‍රාහක සංත‍්‍රාසය ඇති කරන ආකාරයේ ප‍්‍රවෘත්ති ආවරණයත්, ‘Facebook මාරයා’ වැනි වචන භාවිතයත් මෙයට දායක වනවා.

‘‘Facebook යනු කාටත් නොමිළයේ බැඳිය හැකි සමාජ මාධ්‍ය ජාලයක්. වේදිකාවක්.  ප‍්‍රශ්න මතු වන්නේ එයට බැඳෙන සමහරුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි නිසයි.  ඒත් අපේ මාධ්‍ය වාර්තා බලන විට Facebook යනු මහා භයානක, දුෂ්ට හා දුෂිත තැනක් වැනි හැඟීමක් හටගත හැකියි’’ මෙගාරා කියනවා.

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ මාධ්‍යවේදීන් හා මාධ්‍ය කතුවරුන්ට මේ නව තාක්‍ෂණ හා මාධ්‍ය ගැන නිසි අවබෝධයක් නැති වීමයි.  ඉන්ටර්නෙට් ආගමනයෙන් පසු ගෙවී ගිය මුල් වසර කිහිපයේ එය තේරුම් ගත හැකි වුවත් තවමත් මේ නොදන්නාකම හා දුර්අවබෝධය පවතින්නේ ඇයි?

මගේ මතය: ඉන්ටර්නෙට් මාරයා, Facebook මාරයා වැනි යෙදුම් තමන්ගේ මාධ්‍ය ලිපිවල ලියන්නේ ඉන්ටර්නෙට් හීනමානයෙන් පෙළෙන උදවියයි.  තමන් නොදත් හෝ තමන් අසමත් නව තාක්‍ෂණයක් සමාජයේ අන් අයට ලැබෙනවාට නොරිසි මේ අය පොදුවේ ඉන්ටර්නෙට් ගැනත් සමාජ මාධ්‍ය ගැනත් අතිශයෝක්තියෙන් බියකරු කථා පතුරවනවා.

Sanjana Hattotuwa speaking on Social Media & Youth Patterns and trends of adoption into the future’ - photo courtesy Unicef Sri Lanka Facebook page

Sanjana Hattotuwa speaking on Social Media & Youth Patterns and trends of adoption into the future’ – photo courtesy Unicef Sri Lanka Facebook page

ඉන්ටර්නෙට් භාවිතයේදී ඇති වන අක‍්‍රමිකතා හා මූල්‍යමය වංචා ආදිය ගැන මෙරට නීති සම්පාදනය වී ඇතතත් සමාජ මාධ්‍ය ගැන තවමත් රාජ්‍ය තන්ත‍්‍රයට පැහැදිලි අවබෝධයක් නැහැ.  විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුවගේ අදහස සමාජ මාධ්‍ය ගැන දෙබිඩි පිළිවෙතක් රජයට ඇති බවයි.

‘‘එක් පසෙකින් ජනාධිපතිවරයා හා මහ බැංකු අධිපතිවරයා සෘජුව ම ලක් ජනතාවට සමීප වන්නට සමාජ මාධ්‍ය (Twitter) හරහා සංවාද කරනවා. ඒ අතර සමාජ මාධ්‍ය මහත් වසංගතයක් යයි ජනාධිපතිවරයා ම ප‍්‍රසිද්ධියේ කියනවා. සමාජ මාධ්‍ය මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යයි ආරක්‍ෂක ලේකම්වරයා දේශනයකදී කියනවා. මේ පරස්පරයන් නිසා සමාජ මාධ්‍ය ප‍්‍රශස්ත ලෙස සමාජ උන්නතියට යොදා ගැනීම දුෂ්කර වනවා’’ සංජන කියනවා.

4 Sep 2011: සිවුමංසල කොලූගැටයා #30: නීතිය, සාමය, ජාතික ආරක‍ෂාව හා ඉන්ටර්නෙට්

ටික දෙනකුගේ උද්ඝෝෂණ නිසා රජය සමාජ මාධ්‍ය මෙරට තුළ තහනම් කිරීමක් නොකරන බව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ප‍්‍රකාශ කොට තිබෙනවා.  දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය  භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා  අවධාරණය කරනවා.

සමාජ මාධ්‍ය නියාමනයට රාජ්‍ය කමිටුවක් පත් කැරෙන බවට මෑතකදී වාර්තා වුවත් ඒ ගැන වැඩි තොරතුරු හෙළිවී නැහැ. සංජන හත්තොටුව කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.  එසේම සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවාගත් අනන්‍යතා (pseudonimity) හෝ හරහා ද්වේශසහගත ලෙස  තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවත් ඔහු කියනවා.

වික්ටෝරියානු අධිසුචරිතවාදය වෙනුවට සදාචාරාත්මක හා ආචාරශීලි රාමුවක් තුළ සයිබර් සන්නිවේදන කිරීමේ අවශ්‍යතාවය ද අපේ සමාජයේ ප‍්‍රවර්ධනය කළ යුතුයි.  නැතිනම් ඩිජිටල් පරම්පරාවේ දැලිපිහිය අතට ගත් වඳුරන් වැනි පිරිසක් බිහි වීමේ අවදානම තිබෙනවා.

Moving Images Blog: 2010 numbers summary from WordPress

The stats helper monkeys at WordPress.com mulled over how this blog did in 2010, and here’s a high level summary of its overall blog health:

Healthy blog!

The Blog-Health-o-Meter™ reads Wow.

Crunchy numbers

The Louvre Museum has 8.5 million visitors per year. This blog was viewed about 210,000 times in 2010. If it were an exhibit at The Louvre Museum, it would take 9 days for that many people to see it.

In 2010, there were 91 new posts, growing the total archive of this blog to 575 posts. There were 284 pictures uploaded, taking up a total of 22mb. That’s about 5 pictures per week.

The busiest day of the year was September 22nd with 1,089 views. The most popular post that day was Communicating Disasters: Lessons From Titanic to Asian Tsunami by Arthur C Clarke.

Where did they come from?

The top referring sites in 2010 were dragtotop.com, mahalo.com, en.wordpress.com, search.conduit.com, and facebook.com.

Some visitors came searching, mostly for titanic, nelson mandela, girl video, strange creatures, and pay it forward.

Attractions in 2010

These are the posts and pages that got the most views in 2010.

1

Communicating Disasters: Lessons From Titanic to Asian Tsunami by Arthur C Clarke December 2007
3 comments

2

Obama Girl: Can this little video change history? November 2008
4 comments

3

Asian Tsunami of December 2004: A moving moment frozen in time December 2007
2 comments

4

Why do we still go to the movies in the 21st Century? January 2010
2 comments

5

Michael Jackson (1958 – 2009): Mixed celebrity, entertainment and good causes June 2009
15 comments