සිවුමංසල කොලූගැටයා #85: අපට සිටින්නේ නව නිපැයුම්කරුවන් ද? පේටන්ට්ධාරින් ද?

In this week’s Ravaya column (in Sinhala), published on 30 September 2012, I discuss how to nurture a culture of innovation in Sri Lanka — a topic that I’ve been writing and talking about for over two decades.

On the eve of the first major national exhibition of inventions, I discuss the role of Sri Lanka Inventors’ Commission (SLIC), state agency mandated to promote innovation, and talk to its head, Deepal Sooriyaarachchi.

I revive a question first asked when Apple co-founder Steve Jobs departed one year ago: how do we nurture innovation in our kind of conformist and hierarchical societies don’t give mavericks a fleeting chance. Our cultures instead suppress individualism and iconoclasts. What is to be done?

Sahasak Nimawum: Sri Lanka’s national exhibition of inventions and inventors

ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය කරන ”සහසක් නිමැවුම්” ජාතික ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 30, ඔක්තෝබර් 1 හා 2 දිනවල කොළඹ BMICHහිදී පැවැත් වෙනවා. අපේ නව නිපැයුම්කරුවන්ගේ කුසලතා හා නිර්මාණ රටට කියා පෑම මේ ප‍්‍රදර්ශනයේ අරමුණයි.

නව නිපැයුම්කරුවන්ට අතහිත දීමට 1979දී මේ රාජ්‍ය ආයතනය බිහි කරන ලද්දේ දුරදක්නා දැක්මක් තිබූ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි විසින්. කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් සැදුම් ලත් එය දැනට තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වනවා. ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ හා ආචාර්ය රේ විජේවර්ධන වැනි කීර්තිමත් ලාංකික නව නිපැයුම්කරුවන් කලකට පෙර දැරූ කොමසාරිස් තනතුර දැන් හොබ වන්නේ අලෙවිකරණ ක්‍ෂෙත‍්‍රයේ විශේෂඥයකු වන දීපාල් සුරියාරච්චියි. පෞද්ගලික අංශයේ ප‍්‍රධාන විධායක තනතුරු දරා ඇති ඔහු මෙරට නව නිපැයුම්කරුවන්ට වෙළඳපොල ජය ගැනීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ඇති අයෙක්.

නව නිපැයුම් කොමිසම ගැන කලක් තිස්සේ අවධානයෙන් සිටින මට පෙනෙන්නේ එය පිහිට වූ 1979 අංක 53 දරණ පණතින් ලබා දී ඇති වරම හා බලතල කාලයෙන් කාලයට වෙනස් ලෙසින් ක‍්‍රියාත්මක කොට ඇති බවයි. විටෙක උද්‍යොගිශීලිවත්, තවත් විටෙක නිද්‍රාශීලීවත් සිටි මේ ආයතනය ගැන මෙරට නව නිපැයුම්කරුවන් තුළ එතරම් පැහැදීමක් නැති බව ඔවුන් සමඟ කථාබහ කිරීමෙන් මා දන්නවා.

විද්‍යා ලේඛකයකු ලෙස මාධ්‍ය හරහා නව නිපැයුම් ගැන ලිවීම මා දශක දෙකකට වැඩි කාලයක් කරන දෙයක්. නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ නව නිර්මාණ හඳුන්වා දෙන “මාලිමා” නම් ටෙලිවිෂන් වැඩසටහන් මාලාව මේ වසර මුල සිට මා රූපවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් කරනවා. 2009-10 කාලයේ සියත TV නාලිකාවෙන් “නවකම්” නම් වැඩසටහනෙන් ද මා එබන්දක් කළා. මේවා හරහා විවිධ වයස් මට්ටම්වල හා පසුබිම්වලට අයත් නව නිපැයුම්කරුවන් මුණ ගැසීමටත්, තොරතුරු විපරම් කිරීමටත් මට අවස්ථාව ලැබුණා.

පොදුවේ ගත් විට මෙරට නව නිපැයුම්කරුවන් දැඩි උද්‍යොගයෙන්, කැපවීමෙන් හා ඒකායන අරමුණින් ක‍්‍රියා කරන පිරිසක්. සිය පවුලේ, පාසලේ හෝ කාර්යාලයේ දිරි ගැන්වීමක් ලැබුණත් නැතත් ධෛර්යවන්තව සිය ගමන යන්නට සවිය ඔවුන්ට තිබෙනවා. එහෙත් මේ පිරිස තුළ අපේ ජන සමාජයේ ඇති පුද්ගල හා චරිතගතිවල විවිධත්වය එලෙසින් ම හමුවනවා.

ඇතැම් නව නිපැයුම්කරුවන් සංකල්පමය නව්‍යකරණයෙන් නොනැවතී ප‍්‍රායෝගිකව වෙළඳපොළ ජය ගන්නට වෙර දරන අතර තවත් සමහරු පසෙකට වී තමන්ගේ නව අදහස් හා නිපැයුම් රජය නැතිනම් වෙනත් පාර්ශවයක් මැදිහත්ව ප‍්‍රවර්ධනය කරන තුරු බලා සිටිනවා.

නව නිපැයුමක බුද්ධිමය දේපළ තහවුරු කැරෙන පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීම මහත් උත්සාහයෙන් කළ යුතු, කල් ගත වන හා ශ‍්‍රමය වැය වන කටයුත්තක්. එය මා කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ. එහෙත් හැම උපාධිලාභියා ම සැබෑ උගතකු නොවන්නා සේ හැම පේටන්ට්ධාරියා ම සැබෑ නිපැයුම්කරුවකු වන්නේත් නැහැ. පේටන්ට් යනු නව නිපැයුමක එක්තරා අදියරක් පමණයි.

දීපාල් කියන්නේ “පේටන්ට් බලපත‍්‍රයක් හරියට ඉඩමක හෝ නිවසක ඔප්පුවක් වගෙයි. හිමිකම තහවුරු කිරිමටත්, යම් ගණුදෙනුවකටත් එය ඕනෑ කරනවා. ඔප්පුවක් මෙන් පේටන්ට් එකක් ද නිර්මාණයක සීමා හා මායිම් හුවා දක්වනවා. එහෙත් එතැනින් ඔබ්බට පේටන්ට් එකක් යනු ලියවිල්ලක් පමණයි. එයින් නිපැයුම්කරුවාට හා සමාජය වැඩක් වන්නේ එම නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත හැකි ලෙස වෙළඳපොලට ඒමෙන්.”

Deepal Sooriyaarachchi
වෙනත් වචනවලින් කිව හොත් පේටන්ට් එකක් හිස් ඉඩමක් හෝ පාලූ නිවසක් හෝ අයිති කර ගෙන සිටීමට සමානයි. දීපාල් තව දුරටත් පැහැදිලි කරන පරිදි: “බොහෝ දෙනා සිතන්නේ යම් සංකල්පයක් පේටන්ට් කළ පසු එය තව දුරටත් අන් අයට දියුණු කිරීමට ඉඩක් නැත කියායි. එය සැබෑවක් නොවෙයි. එමෙන් ම බුද්ධිමය අයිතිය තහවුරු කළ පසු නිපැයුමක් මුලාදර්ශය (prototype) මට්ටමට ගොඩ නැගිමේදී එම ක්‍ෂෙත‍්‍රයේ මේ දක්වා අන් අය කර ඇති දේ සොයා බැලීමත්, අන් අය පේටන්ට් කොට ඇති අදහස් පාදක කර ගනිමින් වඩාත් ඉදිරියට යාමත් ගත හැකි හොඳම පියවරයි.”

පේටන්ට් එකක් හෝ කිහිපයක් දැඩි ඇල්මෙන් හා ආඩම්බරයෙන් බදා ගෙන, එයින් ඔබබ්ට කිසිදු පියවරක් නොතැබූ හා එසේ නොවීම ගැන රජයට හා සමාජයට දොස් කියමින් සිටින නිපැයුම්කරුවන් ද විටින් විට මට හමු වනවා. මේ අය ගැන අනුකම්පා කරන අතර ඉතිහාසය පුරා ඔවුන් වැනි අය ඕනෑ තරම් සිටි බවත් සිහිපත් කළ යුතුයි.

අමෙරිකාවේ ජේටන්ට් කාර්යාලය 1790 සිට 2008 දක්වා කාලය තුළ පේටන්ට් මිලියන 8කට වඩා නිකුත් කර තිබෙනවා. ගෙවෙන හැම වසරක ම නිසි විමර්ශනවලින් පසු අළුත් පේටන්ට් 150,000ක් පමණ නිකුත් කරනවා. මේවා අතරින් නව භාණ්ඩ හෝ සේවා ලෙස වෙළඳපොලට ළඟා වන්නේ සීමිත සංඛ්‍යාවක් පමණයි.

පේටන්ට් කළ හැම නිපැයුමක් ම වෙළඳපොළට නොඑන්නට හේතු රැසක් තිබෙනවා. දැනට වෙළඳපොළේ හා පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටළුවක් විසඳීම අත්‍යවශ්‍යයි. එමෙන් ම එසේ විසඳන අතර එය භාවිතයට පහසු, සාධාරණ මිළ ඇති, මනා සේ බෙදා හැරෙන හා අලෙවිකරණය කැරෙන භාණ්ඩයක් හෝ සේවාවක් හෝ විය යුතුයි.

”නව්‍යකරණයේ වැදගත් ම ගුණාංගය නම් පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනා ගෙන නිපැයුම් එ්වාට නිසි පරිදි අනුහුරු (adapt) කිරීමයි,” දීපාල් කියනවා.

පේටන්ට්වලට ඔබ්බෙන් තිබෙන ඊළඟ අභියෝග ජය ගැනීමේදී මෙරට නව නිපැයුම්කරුවන්ට මඟ පෙන්වීම හා ආයෝජකයන් සොයා දීම සඳහා නවනිපැයුම්කරුවන්ගේ කොමිසම ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හා ශ‍්‍රීජයවර්ධනපුර සරසවියේ පශ්චාත් උපාධි කළමණාකරණ ආයතනය (PIM) සමඟ සහයෝගයෙන් ක‍්‍රියා කරනවා.

දිගු කලක් තිස්සේ නිලධාරිවාදය හා උගත්වාදය කරපින්නා ගත් කොමිසම, මෑතක පටන් නව නිපැයුම්කරුවන් කේන්‍ද්‍ර කොට ගෙන, ඔවුන්ට ගරුසරු ලෙසින් ආමන්ත‍්‍රණය කරමින්, සුහද මට්ටමකින් සිය අරමුණු සාක්‍ෂාත් කර ගන්නට තැත් කරන බව පෙනෙනවා. රාජ්‍ය ආයතනයක මෙවන් ආකල්පමය වෙනසක් කිරීම පහසු නැහැ.

මෙරට නව නිපැයුම් ක්‍ෂෙත‍්‍රයේ නිලධාරිවාදයට එහා යන උගත් අධිපතිවාදයක් ද තිබෙනවා. පොතේ උගතුන් හා සරසවි ඇදුරන් මේ ආයතනවලට පිවිසී තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්නට අහිංසක නව නිපැයුම්කරුවන්ට අසාධාරණ කොන්දේසි පැනවීමේ අවලස්සන සම්ප‍්‍රදායක් තිබෙනවා.

නව නිපැයුම්කරුවන් තම දෙපතුළට කැඳවන, ඔවුන්ගේ නවතම අදහස් විද්වත් ඇගැයීමට යයි කියා ලබා ගෙන තමන්ගේ පර්යේෂණ නිබන්ධනවලට ඒවා රහසේ ම ඇතුලූ කරන ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් ද මෙරට සිටිනවා. කොමිසම ටිකෙන් ටික නිලධාරිවාදය දුරු කරන අතරේ මෙරට උගතුන්ගේ දැඩි අධිපතිවාදයෙන් නව නිපැයුම්කරුවන් රැක ගන්නට ද යම් පියවර ගත යුතුයි.

ශ‍්‍රිමත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ මා සේවය කළ දශක දෙක තුළ ඔහු හමු වීමට විවිධාකාරයේ නව නිපැයුම්කරුවන් පැමිණියා. තමා කෙතරම් කාර්ය බහුල වුවත් නව නිපැයුම් හා සංකල්ප රැගෙන එන අයට විශේෂ සැළකිල්ලක් දැක්වීම ඔහුගේ සිරිත වුණා. ඒ බොහෝ අවස්ථාවල සන්නනිවේදනයෙන් හා පසුවිපරම්වලින් මා සම්බන්ධ වුණා.

පෞද්ගලික කාර්යාලයක ඇති සීමා තුළ දිය හැකි උපරිම දිරි ගැන්වීම, දැනුම හා ජාත්‍යන්තර සබඳතා ආදිය ලබා දීමෙන් අනතුරුව නිපැයුම්කරුවන් සමහරකු මොරටුවේ පිහිටුවා තිබෙන, ආතර් සී. ක්ලාක්ගේ නම දී ඇති (එහෙත් ක්ලාක් පරිපාලනයට කිසිසේත් මැදි නොවූ) රාජ්‍ය තාක්‍ෂණ ආයතනයට යොමු කරනු ලැබුවා. එබඳු අවස්ථාවල නව නිපැයුම්කරුවන්ගේ සමාජ තරාතිරම හා අධ්‍යාපන පසුබිම ක්ලාක්ට වැදගත් නොවූවත්, ඒ රාජ්‍ය ආයතනයේ ලොක්කන්ට එය මහ ලොකු සාධකයක් වූ සැටි මට සිහිවන විට තවමත් කම්පනයක් හට ගන්නවා.

ගතානුගතික නිලධාරීන්ට හා උඩඟු උගතුන්ට වඩා වෙනස් ආකල්ප දරණ වත්මන් කොමසාරිස්වරයා, නව නිපැයුම්කරුවන් හරියට කලාකරුවන් වැනි යයි පවසනවා.

”නව නිපැයුම්කරුවන් බහුතරයක් දෙනා තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටින, අමුතු ආකාරයට සිතන අය. එබඳු අය හඳුනාගෙන ඔවුන්ට නිසි ඇගැයීම හා දිරි ගැන්වීම දිය යුතුයි. ජාත්‍යන්තර ක‍්‍රීඩා තරඟාවලදී පදක්කම් දිනා ගෙන මෙරටට පැමිණෙන ක‍්‍රීඩකයන් උත්සවාකාරයෙන් ගුවන් තොටුපලේ පිළිගන්නා ලෙසින් ම නව නිපැයුම් තරඟවලදී සම්මාන දිනා සිය රට එන නිපැයුම්කරුවන්ටත් පිළි ගැනීමක් දිය යුතුයි,” ඔහු කියනවා.

නව නිපැයුම් කරන්නට උසස් අධ්‍යාපනය හා පශ්චාත් උපාධි තිබිය යුතුම ද?

දීපාල් කියන්නේ අසම්මත විදියට සිතීම අධ්‍යාපනය හා සෘජුව සම්බන්ධ නැති බවයි. සමහර නව නිපැයුම්වලට විද්‍යා හා තාක්‍ෂණික දැනුම ප‍්‍රයෝජනවත් වුවත් වැදගත් ම අවශ්‍යතාවය නම් විවෘත මනසකින් හා දැඩි කුතුහලයකින් හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමේ හැකියාවයි. ඒත් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය බොහෝ විට කරන්නේ සිසුන්ගේ මේ හැකියාවන් මොට කිරීමයි!

ඇපල් සමාගමේ ආරම්භක, නිපැයුම්කරු ස්ටීව් ජොබ්ස් මීට වසරකට පෙර මිය ගිය අවස්ථාවේ (2011 ඔක්තෝබර් 16 කොලමින්) මා මතු කළ ප‍්‍රශ්නය වුයේත් එයයි. මා කී පරිදි: “බොහෝ ආසියානුවන්ට මෙන් ම ලාංකිකයන්ට ද තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ සහජ හැකියාවක් තිබෙනවා. එහෙත් ඒ විභවය දැගලිල්ලක්, දඩබ්බරකමක් හරහා අළුත් සංකල්පයක් හෝ නිපැයුමක් හෝ බවට පත් වන්නට පියවර ගණනාවක් පසු කළ යුතුයි. ස්ටීව් ජොබ්ස්ලා අපේ රටවල බිහි නොවන්නේ පහසුකම් හා ආයෝජන නැති නිසා පමණක් නොවෙයි. අසම්මතයට සිතන ‘විකාරකාරයන්ට’ අපේ සමාජවල ඉඩක් නොදෙන නිසා යයි මා තර්ක කරනවා…අළුත් දෙයක් හිතන, කියන හා අත්හදා බලන දරුවන් හා තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල්වලින්, පාසලෙන්, සරසවියෙන් හා ජන සමාජයේ අන් අයගෙන් දැඩි පීඩනයකට ලක් වනවා.”

නව නිපැයුම් සංකල්පයන් හට ගන්නේ පවත්නා තත්ත්‍වය එලෙසින් පිළි නොගන්නා, වඩා හොඳින් යම් යම් දේ කරන්නට ක‍්‍රම සොයා යන පුද්ගලයන් අතින්. ඕනෑ ම සමාජයක එබඳු අය ඉන්නේ ටික දෙනයි. රජයට හා විද්වත් ආයතනවලට හැක්කේ මේ දුර්ලභ මානව සම්පත් හඳුනාගෙන ඔවුන්ට නිසි පහසුකම්, මඟපෙන්වීම හා පිළිගැනීම ලබා දීම පමණයි.

Ceylon Today profiles ‘Sivu Mansala Kolu Getaya’ book

Nalaka Gunawardene, photo by Sarath Kumara
“Question, When At Crossroads”

With that title, Ceylon Today on Sunday 23 September 2012 carries a profile of my new Sinhala language book, Sivu Mansala Kolu Getaya (SMKG for short).

The article is written by Yashasvi Kannangara based on an interview with myself, and her reading of the book that came out last week.

A recurrent theme in SMKG is my interest in Sri Lanka’s ‘Children of ’77’ — the generation who were born after the economy was liberalised in 1977 which, in turn, ushered in radical changes in our society, culture and media. So I’m intrigued to be profiled by a member of that very generation, @YashasviK!

Here’s an excerpt, where she quotes me directly:

“I studied in the Sinhala medium, but with effort became bilingual and began writing in English. For the past 20 years, I have written in English, so it was not easy to begin writing in Sinhala again. Even though I have training and an educational background in Sinhala, when I made a comeback in 2011, I had to find my feet in a world of Sinhala writing and communication, my style of writing is essentially conversational Sinhala. In a sense, with this column, I have come back home. The last time I wrote in Sinhala was in another century and in what now feels like another country!”

Read full article here

Disclosure: I’m also a columnist for Ceylon Today, where I write When Worlds Collide every Sunday.

Question, when at crossroads: Ceylon Today, 23 September 2012

සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

This is the text of my (Sinhala language) column in Ravaya newspaper of 23 September 2012. I review two new books, both of much public interest, and written by two senior professionals who have been passionately committed to public safety for decades.

Protect Your Child from Injury (in Sinhala) is written by Dr Wijaya Godakumbura, while Traffic Signs, Road Markings and Traffic Signals is authored by T Perinpanayagam, a retired senior police officer.

T Perinpanayagam (left) and Dr Wijaya Godakumbura: Life-long commitment to safety

මේ සාහිත්‍ය මාසයයි. කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සතියයි. මේ නිසා මෑතදී මට හමුවූ පොත් දෙකක් ගැන අද කථා කරනවා.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ අළුත් පොත් සිය ගණනක් එළි දකිනවා. (මගේ 2011 කොලම් අතරින් 44ක් අඩංගු පොතක් ද ඒ අතර වනවා.) අතිශයින් විවිධ වූ රසිකත්වයකට හා පාඨක සමුහයකට දායාද කැරෙන මේ පොත් අතර නිර්මාණාත්මක මෙන්ම දැනුම වඩන පොත් ද තිඛෙනවා. පොතක අගය තීරණය වන්නේ එය පාඨකයන්ට සමීප වන ආකාරයටයි.

ඇතැම් පොත් චින්තන විප්ලවයන් කරන අතරේ තවත් පොත් ඉතා ප්‍රායෝගික ලෙසින් ජීවිතය අර්ථවත්, සාරවත් කර ගන්නට අත්වැලක් සපයනවා. හැම පොතකට ම ජීවිත බේරන්නට බැහැ. එබඳු පොත් ලියැවෙන්නේ ඉඳහිටයි. ගෙවී ගිය සති කිහිපය තුළ දිවි සුරකින දැනුම කැටි කර ගත් හරවත් පොත් දෙකක් එළි දක්වන උත්සවයන් මෙහෙයවීමේ වරම මට ලැබුණා. ඒවා ලියා ඇත්තේ මා අගය කරන, පොදු උන්නතියට කැපවුණු වෘත්තිකයන් දෙදෙනකු විසින්.

එයින් එක ලේඛකයෙක් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ වෛද්‍යවරයෙක් හා නව නිපැයුම්කරුවෙක්. අනෙක් ලේඛකයා සිය කැපවීම නිසා ජනාදරයට පත් වූ හා ජාත්‍යාන්තර පිළිගැනීමක් ලද පොලිස් නිලධාරියෙක්.

Protect Your Child from Injury – Book by Dr Wijaya Godakumbura
සුදීප ආරක‍ෂිත කුප්පි ලාම්පුවේ (www.safebottlelamp.org) නිපැයුම්කරුවා හා ප්‍රවර්ධකයා ලෙස ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජෝති විජය ගොඩකුඹුර මා මීට පෙර හඳුන්වා දී තිඛෙනවා (2012 ජනවාරි 15 කොලම). වසර 45ක් තිස්සේ මාධ්‍ය හරහා සෞඛ්‍ය දැනුම ඛෙදා දෙන ඔහු 1971දී ලියූ “වෛද්‍යවරයෙක් කථා කරයි” නම් කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වුණා. දශක හතරකට පසු ඔහු ලියූ දෙවන සිංහල පොත නම් කර ඇත්තේ “අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න” කියායි.

වාර්ෂිකව ලොව පුරා මිලියන් 5.5ක් (ලක‍ෂ 55 ක්) දෙනා විවිධ අනතුරුවලින් මිය යන අතර ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යාව 12,000ක් පමණ වනවා. වැඩි වශයෙන් පුවත් වාර්තාකරණයට හසු වන්නේ මෙයින් සියයට 22ක් පමණ වන මාර්ග අනතුරුයි. එයට අමතරව දියේ ගිලීම්, පිලිස්සීම්, වැටීම්, විෂවීම්, මිනිමැරුම්, සියදිවි නසා ගැනීම් හා වෙනත් හදිසි අනතුරු නිසා නිකරුණේ හා අකාලයේ බොහෝ ජීවිත විනාශ වන සැටිත්, ඒ අතරින් ළමා ජීවිතවලට සිදුවන අනතුරු වැඩියෙන් ම ඛේදජනක වන සැටිත් වෛද්‍ය ගොඩකුඹුර සංඛ්‍යා ලේඛන දක්වමින් විස්තර කරනවා.

ළමයින්ට අනතුරු වීමේ හැකියාව වැඩියි. ඔවුන්ගේ අනතුරු හඳුනා ගැනිමේ හැකියාව අඩු අතර කුතුහලය හා හැම දෙයක් ම ගවේෂණය කිරීමේ ආසාව ඉහළයි. මේ සංයෝගය ඇතැම් විට මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන බව ඔහු කියනවා.

“ඔවුහු දණ ගෑම, ගස් මතට නැගීම, පටු ස්ථාන අතරින් රිංගා යෑම, ගේට්ටුව මත පැද්දීම, තරප්පු අත්වැල දිගේ පහතට ලිස්සා යාම, දිවීම වැනිදේට ආශා කරති. යමක් අල්ලා ගැනීමේ සහ එය මුඛය තුළට දැමීමේ හැකියාව කුඩා කාලයේදීම වර්ධනය වන හෙයින් වස ශරිරගතවීමේ ප්‍රවණතාවයක් තිබේ. ආවරණයක් නැති ළිඳකට දණ ගා යන බිළිඳා, තම සෙවනැල්ල දැක එය අල්ලන්නට උත්සාහ කරයි. ගිනිදැල් දැකීමෙන් ආශ්වාදයක් ලබන හෙයින් යමක් දැල්වීමට අවස්ථාවක් ලදහොත් ඔවුන් එසේ කිරීමට ඉඩ ඇත.”

මෙකී නොකී විවිධාකාරයේ අනතුරු වීමේ හැකියාව අප හැමගේ ගෙදර, වත්ත පිටියේ, මහමඟ, කඩමණ්ඩිවල හා කාර්යාලවල එමට තිඛෙනවා. ඩෙංගු මදුරු උවදුර ගැන රජයට හා පළාත් පාලන ආයතනවලට දොස් තබන අප, ගෙදරදොරේ වෙනත් දිසි හා අදිසි අනතුරුවලින් අපේ දරුවන් බේරා ගන්නට කළ හැකි සියල්ල කරනවා ද? අනතුරුවලින් ජීවිත හානි සිදුවූ විට අසීමිත ලෙස කඳුළු සළන අපේ ටෙලිවිෂන් නාලිකා, අනතුරු වැළැක්වීමට පුළුල් ලෙස ජාතික සංවාදයක් ඇති කරන්නට සෑහෙන ගුවන් කාලයක් කැප කරනවා ද?

සෑම දිනක ම වළක්වා ගත හැකිව තිබු හදිසි අනතුරක් වළක්වා නොගත් හෙයින් දරුවකු අහිමිවීම නිසා ලෝකයේ පවුල් 2,000ක් අධික මානසික පීඩාවට පත් වන බවත්, දරුවන් පස් වැනි වියට පා තබන විට ඔවුන්ගේ ජීවත්වීමට ඇති විශාලතම බාධකය හදිසි අනතුරු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) උපුටා දක්වමින් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අනතුරු දෙආකාරයි. “හිතාමතා ම කෙරෙන” හා “ඉබේ සිදුවන” (නොහොත් හදිසි අනතුරු) වශයෙන්. එහෙත් ගැඹුරට සිතීමේදී කිසිදු අනතුරක් ඉබේ සිදු නොවන බවත්, හදිසි අනතුරු සිදු වනවා නොව “සිදු වන්නට බොහෝ දෙනා ඉඩ හරින” බවත් ඔහු තර්ක කරනවා.

මෙයට ප්‍රධාන හේතු වන්නේ නොදන්නාකම හා නොසැලකිල්ලයි. “මේ බව වටහා ගෙන තමාගේ නොදන්නාකම හෝ නොසැලකිල්ල නිසා තමාගේ හෝ වෙනත් අයකුගේ දරුවකුව අනතුරක් වීමට ඉඩ නොතැබීම අප සැමගේ වගකීමයි,” ඔහු අවධාරණය කරනවා.

අනතුරුවලින් සියයට 95ක ම ළමා මරණ සිදු වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළු අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලයි. එමෙන්ම සෑම එක් මරණයකට ම සාපේක‍ෂව දහසක් දෙනා අනතුරුවලට මුහුණ පා දිවි ගලවා ගන්නවා. එහෙත් ඒ ඇතැම් දෙනා සදහට ම දුබලතා, සමේ කැලැල් හෝ මෝළයේ ආබාධ සමඟ ජීවත් වනවා.

ළමයින් අනතුරුවලින් බේරා ගැනීම දෙමවුපියන්ගේ හා සෙසු වැඩිහිටියන්ගේ වගකීමක් වන අතර එයට තුඩු දෙන සමාජ හා ආර්ථීක සාධක ගැන සමස්ත සමාජයට හා රජයට ද වගකීමක් පැවරෙනවා. උදාහරණ නම් ක්‍රීඩා පිට්ටනි නැතිකමින් මහ පාරේ සෙල්ලම් කරන ළමයින්, මහමාර්ග හා දුම්රිය මාර්ග අයිනේ (මිදුලක් නැතිව) නිවාස පිහිටා තිබීම, තාප්ප රහිත ළිං, වැටක් රහිත තරප්පු පේලි, අඩු මිළැති අනාරක‍ෂිත කුප්පි ලාම්පු භාවිතය.

වෛද්‍ය ගොඩකුඹුර කියන්නේ නැතිබැරිකම ළමා අනතුරුවලට විවිධාකාරයෙන් දායක වන බවයි. උදා: ළමයින් හට සුපරික්‍ෂාව ලබා දීමට අපහසුවීම හා දැනුම, තොරතුරු හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන්ට අවස්ථා හිඟ වීමයි.

අනතුරු වළක්වා ගැනීමේ දශක ගණනක සිය දැනුම හා අත්දැකීම් වෛද්‍ය ගොඩකුඹුර මේ පොතේ සරලවත් තර්කානුකූලවත් කැටි කොට තිබෙනවා. ඔහු එය තුන් ආකාරයකට වර්ග කරනවා. අනතුරක් මුළුමනින් ම වළක්වා ගැනීම ප‍්‍රාථමික ක‍්‍රියා මාර්ගයයි. යම් හෙයකින් අනතුරක් වූ විට ශාරිරික අනතුරු අවම කිරීම (උදා: ආසන පටි හා හෙල්මට් භාවිතය) ද්විතීය ක‍්‍රියා මාර්ගයයි. අනතුරකින් ශාරිරික හානි වූ විට ඵල විපාක අවම කිරීම තෘතීය ක‍්‍රීයා මාර්ගයයි (උදා: ප‍්‍රථමාධාර නොපමාව ප‍්‍රතිකාර දීම, නිසි පුනරුත්ථාපනය).

මේ පොතේ මා දකින සුවිශේෂත්වය නම් අනතුරු වළක්වා ගන්නට, එක් එක් අයට ගත හැකි ලොකු හා කුඩා පියවර නිරවුල්ව ඉදිරිපත් කර තිබීමයි. මෙය දුවන ගමන් කළ මාධ්‍ය වාර්තාවක් නොවෙයි. කලක් තිස්සේ මහත් ඕනෑකමින් හා ක‍්‍රමීය මට්ටමින් අධ්‍යයනය කොට, මනසින් හා හදවතින් කරන විග‍්‍රහයක්.

බෝවන රෝග වළක්වා ගන්නට රජය හා සමාජය දක්වන උනන්දුව අනතුරු වැළැක්වීමට ලැබී නැති බවත්, අනතුරුවලින් ආරක්‍ෂිත සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සියළු තොරතුරු දැනටමත් සෞඛ්‍ය හා අනෙකුත් අදාල බලධාරීන් සතුව ඇති බවත් කතුවරයා පෙන්වා දෙනවා.

Book on Traffic Signals, Road Signs and Traffic Lights, by T Perinpanayagam
අනතුරුවලින් සංඛ්‍යාත්මකව වැඩි ප‍්‍රතිශතයකට වග කියන මාර්ග අනතුරු ගැන සිය ජීවිත කාලය පුරා මහත් කැපවීමෙන් ක‍්‍රියා කරන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටී. පෙරින්පනායගම් මහතාගේ නවතම කෘතිය ”රථවාහන සංඥ, මාර්ග සළකුණු හා ආලෝක සංඥ” නමින් පසුගියදා ප‍්‍රකාශයට පත් වුණා.

වෛද්‍ය ගොඩකුඹුර මෙන් ම පෙරින්පනායගම් මහතා ද දිවි සුරකින්නට සිය දිවිය කැප කළ, තම ක්‍ෂෙත‍්‍රයේ ගැටළු හා අභියෝග මනා සේ අධ්‍යයනය කොට, මහත් ඕනෑකමින් සන්නිවේදනය කරන්නෙක්.

අපේ මහාමාර්ගවල කලක සිට පැවත එන රථවාහන සංඥ හා මාර්ග සළකුණු මෙන් ම අළුත් ඒවා ද දැන් දක්නට ලැබෙනවා. ඒ ගැන අළුතින් රිය පදවන්නට පටන් ගන්නා අයටත් කලක් තිස්සේ රිය පදවන හැමටත් නිරවුල් හා පැහැදිලි දැනුමක් ලබා දීම මේ කතුවරයාගේ අරමුණයි.

නමුත් හුදෙක් රියදුරන්ට පමණක් නොවෙයි. මහමග ඇවිදින, බයිසිකල් හා මෝටර් සයිකල් පදවන සැමටත් අදාළ ප‍්‍රායෝගික දැනුම හා උපදෙස් මෙහි අඩංගුයි. එපමණක් නොවෙයි රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට හා මාර්ග සළකුණු පිහිටුවීම හා නඩත්තු කිරීම කරන පළාත් පාලන ආයතන සහ (මාර්ග අධිකාරිය වැනි) සෙසු රාජ්‍ය ආයතනවලටත් වැදගත් වන සංකල්පමය නිරවුල් බව මේ පොතෙන් සැකෙවින් හා සරලව ලබා දෙනවා.

1957දී උප පොලිස් පරික්‍ෂකයකු ලෙස ශ‍්‍රී ලංකා පොලිසියට බැඳුණු පෙරින්පනායගම් මහතා 1993-1997 කාලය තුළ රථවාහන පරිපාලනය පිළිබඳ මෙරට මුල් ම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කොට විශ‍්‍රාම ගියා. රථවාන පොලිස් නිලධාරීන් පළඳින විශේෂිත සුදු ඇඳුම, තොප්පිය හා සුදුපටිය 1987දී ඔහු විසින් නිර්මාණය කරන ලද්දක්.

ආරක්‍ෂිත මහාමාර්ග හා ප‍්‍රවේශම්කාරී මාර්ග භාවිතය ගැන ඔහුගේ උනන්දුව පොඩියක්වත් අඩු වී නැහැ. මාර්ග හා රථවාහන පුහුණු අධ්‍යාපන ආයතනයේ සභාපති හැටියටත්, දෙස් විදෙස් විද්වත් සමිති සමාගම් ගණනාවක ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් ඔහු සිය ක්‍ෂෙත‍්‍රයේ සක‍්‍රියව නිරතව සිටිනවා.

2011-2020 කාලය මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. එයට දේශීය වශයෙන් අනුබල දෙන්නේ WHO සංවිධානයයි. ශ‍්‍රී ලංකාවේ දිනකට මාර්ග අනතුරු 150ක් සිදු වන අතර එයින් ජීවිත අහිමි වන සංඛ්‍යාව 6 දෙනෙකු පමණ වන බවත්, 1977-2007 දක්වා 30 වසරක කාලය තුළ මාර්ග අනතුරු නිසා ලාංකිකයන් 40,000කට වැඩි පිරිසක් මිය ගිය බවත් WHO දේශීය නියෝජිත ආචාර්ය එෆ්. ආර්. මේථා පොතට පණිවුඩයක් ලියමින් කියනවා.

මේ පොත් දෙකේ ම කතුවරුන් අපට මතක් කරන්නේ අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට ඔබ්බෙන් තවත් සමාජ බලපෑම් රැසක් ද ඇතිවන බවයි. දිවි ගලවා ගෙන ආබාධිත වන අය, නැවතත් රැකියාවක් කිරීමේ වරම අහිමි වන අය නිසා ඔවුන්ගේ පවුල්වලට, සමාජයට හා ආර්ථිකයට ඇති වන විපාක එක එල්ලේ ගණන් බැලීම පවා අපහසුයි.

සියළුම අනතුරුවලින් තොරවු රටක් හෝ සමාජයක් හෝ නැහැ. එහෙත් පොදු හා පෞද්ගලික පියවර තුළින්, දැනුවත්වීම හා අවධි වූ සිහියෙන් ක‍්‍රියා කිරීම හරහා අනතුරු අවම කරගත් දියුණු රටවල් මෙන් ම දියුණු වන රටවල් ද තිබෙනවා.

වෛද්‍ය ගොඩකුඹුර හා පෙරින්පනායගම් වැනි විද්වතුන්ගේ දැනුමෙන් හා දැක්මෙන් ලක් සමාජය නිසි ඵල නෙළා ගන්නට නම් රාජ්‍ය, විද්වත්, පෞද්ගලික හා ස්වෙච්ඡ සංවිධාන ඒ උතුම් අරමුණු වටා ඒකරාශි විය යුතුයි. ඒ සඳහා ඇස් හා මනස විවර කරවන මේ පොත් දෙක, සෑම ගෙදරක ම තිබිය යුතුයි.

සිවුමංසල කොලූ ගැටයා පොතක් ලෙස එළි දකියි

Sivu Mansala Kolu Getaya book cover: A Ravaya Publication

විද්‍යාව, තාක්‍ෂණය, සංවර්ධනය හා තොරතුරු සමාජය ගැන සරල හා සංසන්දනාත්මක විග‍්‍රහයන් රැසක් අඩංගු “සිවුමංසල කොලූ ගැටයා” ග‍්‍රන්ථය මෙවර කොළඹ ජාත්‍යාන්තර පොත් ප‍්‍රදර්ශනයේදී එළි දකියි.

විද්‍යා ලේඛකයකු හා මාධ්‍යවේදියෙකු ලෙස වසර 25ක දෙස් විදෙස් අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන විසින් “රාවය” පුවත්පතට ලියන ලද තීරු ලිපි 44ක් මේ පොතේ අඩංගු ය. එහි පෙරවදන ලියා ඇත්තේ මාධ්‍යවේදී අසෝක ඩයස් විසිනි.

ආතර් සී. ක්ලාක්, රේ විජේවර්ධන, සිරිල් පොන්නම්පෙරුම හා ඔස්මන්ඞ් ජයරත්න වැනි විද්වතුන් සමඟ සමීපව කටයුතු කළ නාලක, එ අත්දැකීම් කාලානුරූපව හා සරල බස් වහරකින් ඉදිරිපත් කරයි.

ශ‍්‍රී ලාංකික ජන සමාජයේ “හැත්තෑ හතේ දරුවන්” ගැන විශේෂ අවධානයක් යොමු කරන ලේඛකයා, ඔවුන් මෙරට පළමුවන “ටෙලිවිෂන් පරම්පරාව” හා මුල් ම “ඉන්ටර්නෙට් පරම්පරාව” බවට පත් වන සැටි ගැන කලෙක සිට අදහස් පළ කරන්නෙකි.

පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන සියළු මාධ්‍ය හරහා ද්විභාෂිකව සන්නිවේදනය කොට ඇති ඔහු, ගෝලීය තොරතුරු සමාජයේ ලාංකික ලකුණ කෙසේ ස්ථාපිත කළ යුතු දැයි මේ කෘතියේ ලිපි හරහා සාකච්ඡා කරයි.

රාවය ප‍්‍රකාශනයක් වන “සිවුමසල කොලූගැටයා” මිළ රු. 450කි. එය විශේෂ වට්ටමකට පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.

Dispatches from a Busy Intersection: New Sinhala Book Zooms In and Zooms Out

Dispatches from a Busy Intersection: New Sinhala Book Zooms In and Zooms Out

Sivu Mansala Kolu Getaya book cover: A Ravaya Publication

PROMOTIONAL NOTE FOR MY NEW BOOK IN SINHALA:

Colombo, Sri Lanka; 18 September 2012:

Science writer Nalaka Gunawardene’s new Sinhala book, Sivu Mansala Kolu Getaya (සිවුමංසල කොලූ ගැටයා), is being launched at the Colombo International Book Fair that runs from 18 to 26 September 2012.

A Ravaya Publication, the book is an edited collection of his weekly Sinhala columns by the same name, contributed to the Ravaya Sunday broadsheet newspaper in Sri Lanka during 2011.

Beginning in February 2011, Nalaka has sustained a column that touches on many and varied topics related to popular science, human development, mass media and information society. The book compiles 44 of these columns.

“The title is of my column is derived from its particular scope and angle. I stand at the intersection (or confluence) of science, development, media and culture. Once there, I often play the role of that cheeky lad who asked difficult questions, and once pointed out the Emperor(s) had nothing on when all others were either too polite or too scared to say so,” Nalaka says.

He calls the book a personalised exploration of how Sri Lanka can cope with many challenges of globalisation and modernisation. Nalaka writes in conversational Sinhala, rich in metaphor and analogy, and drawing on his own wide experiences as a journalist, filmmaker and development communicator. He often mixes the big picture level analysis (bird’s eye view) with ground level reality checks (toad’s eye view).

“I like to ‘zoom in’ and ‘zoom out’ when discussing topics as diverse as coping with HIV/AIDS, nurturing innovation, regulating the Internet, tackling climate change or farming without costing the Earth,” he says. “I do so with an open mind and sense of wonder. I have no particular ideology to promote and no sacred cows to protect!”

He adds: “As a journalist, I was trained to look for what’s New, True and Interesting (‘NTI Test’). Early on in my career, I went beyond simply reporting events, and probed the underlying causes and processes. With those insights, I can now offer my readers perspectives and seasoned opinion. These are much needed today as we swim through massive volumes of information, trying to stay afloat and make sense of it all.”

The book marks Nalaka’s return to Sinhala writing after an absence of two decades during which he communicated mostly in English to various international audiences. “In a sense, with this column I have come back home. The last time I wrote in Sinhala was in another century, and in what now feels like another country!” he says.

Trained as a science writer, Nalaka has been associated with mass media, communication and development spheres for 25 years both in Sri Lanka and at Asian regional level. A ‘Digital Immigrant’ who learnt Internet skills mid-career, he calls himself a “life-long student and experimenter” in mainstream and new media. Each week, after newspaper publication, his column engages online readers at: www.nalakagunawardene.com

සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

This week’s Ravaya column (in Sinhala) is about a maverick scientist: Dr Yang Saing Koma. For 15 years, this Cambodian agronomist has driven a grassroots revolution that is changing farming and livelihoods in one of the least developed countries in Asia.

A champion of farmer-led innovation in sustainable agriculture, Koma founded the Cambodian Centre for Study and Development in Agriculture (CEDAC) in 1997. Today, it is the largest agricultural and rural development organisation in Cambodia, supporting 140,000 farmer families in 21 provinces.

He has just been honoured as one of this year’s six recipients of the Ramon Magsaysay Awards — the Asian Nobel Prize. I wrote about him in a recent English column too.

Dr Yang Saing Koma, visionary behind Cambodia’s rice farming revolution – photo courtesy Cornell University SRI website

ලක් ගොවීන් රසායනික පොහොරට දැඩි සේ ඇබ්බැහි වීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. එ අතර කෘෂි විද්‍යා ක්‍ෂෙත‍්‍රය ද මනාව දත් පාඨකයකු කීවේ “ශ‍්‍රී ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට මෙබඳු ගෝලීය ප‍්‍රවණතාවලට එරෙහිවීමට අවශ්‍ය වුවත් ලෙහෙසියෙන් කළ නොහැකි බවයි”.

ඕනෑ ම ඇබ්බැහිකමකින් අත්මිදීම අසීරුයි. එහෙත් අපේ රට ඇතැම් දෙනා සිතන තරම් කුඩා හෝ “අසරණ” හෝ නොවන බව මා මීට පෙර මේ කොලමින් සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා. ඕනෑකම හා අධිෂ්ඨානය ඇත්නම් අපේ අයාලේ ගිය කෘෂි ක්‍ෂෙත‍්‍රය නැවතත් යහපත් ප‍්‍රතිපත්ති හා පුරුදුවලට යොමු කර ගත හැකියි.

ගෝලීය පසුබිම තුළ අපේ රටේ “අසරණකම” ගැන අශූභවාදී තර්ක කරන අයට මා ගෙන හැර දක්වන්නේ අපටත් වඩා කුඩා, දුගී බවින් අධික ආසියානු රටවල් යහ අරමුණු සාර්ථක ලෙස ජය ගන්නා හැටියි. රසායනික පොහොර මත අධික ලෙස යැපීමේ හරිත විප්ලව සංකල්පයෙන් මෑතදී ඉවත් වූ කාම්බෝජයේ උදාහරණය මා අද මතු කරන්නට කැමතියි.

1958 සිට පිලිපීනයේ ස්වාධීන පදනමක් විසින් වාර්ෂිකව පිරිනමනු ලබන රේමන් මැග්සායිසායි ත්‍යාගය (Ramon Magsaysay Award) ආසියානු නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වනවා. එය පිරිනමන්නේ සිය රටට, සමාජයට හා ලෝකයට සුවිශේෂී සේවයක් කරන අයටයි.

2012 මැග්සායිසායි ත්‍යාග අගෝස්තු 31 වනදා පිලිපීනයේ මැනිලා අගනුවරදී උත්සවාකාරයෙන් පිරිනමනු ලැබුවා. එහිදී මහජන සේවය සඳහා වන මැග්සායිසායි ත්‍යාගය කාම්බෝජයේ ආචාර්ය යැං සයිංග් කෝමාට (Dr. Yang Saing Koma) හිමි වුණා. සිය රටෙහි ගොවිතැන් කටයුතුවල නිහඬ විප්ලවයක් කරමින් සහල් නිෂ්පාදනය වැඩි කරන අතර ගොවීන්ගේ ජීවන තත්ත්වය හා ආත්ම අභිමානය දියුණු කිරීම ත්‍යාගයේ හේතු පාඨය ලෙස සඳහන් වුණා.

ආසියාවේ වඩාත් දුගී දුප්පත්කම වැඩි රටක් වන කාම්බෝජයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් 930යි. එරට සමස්ත ආර්ථික නිෂ්පාදනයෙන් සියයට 33ක් ලැබෙන්නේ බෝග වගාවෙන් හා සත්ත්ව පාලනයෙන්. එරට මිලියන් 14ක ජනයාගෙන් තුනෙන් දෙකක් ජීවිකාව සපයා ගන්නේ් වී ගොවිතැනින්.

සිය රටේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට නම් වී ගොවිතැනින් පටන් ගත යුතු බව ජර්මන් සරසවියකින් ශෂ්‍ය විද්‍යාවේ ආචාර්ය උපාධියක් ලබා 1995දී සිය රට පැමිණි ආචාර්ය කෝමා මනා සේ වටහා ගත්තා. එහෙත් බටහිරින් උගෙන අපේ වැනි රටවලට ආපසු පැමිණ එ් දැනුම ගෙඩි පිටින් ආරෝපණය කරන උගතුන්වට වඩා කෝමා වෙනස් චරිතයක්.

ඔහුට ක‍්‍රමීය චින්තනයක් තිබෙනවා. ප‍්‍රශ්නවල මුල සොයා ගවේෂණය කිරීමත්, රෝග ලක්‍ෂණවලට මතුපිටින් ප‍්‍රතිකර්ම යොදනවා වෙනුවට රෝග නිධාන සොයා ප‍්‍රතිචාර දැක්වීමත් ඔහුගේ ක‍්‍රමවේදයයි.

ගොවීන්ගේ අවශ්‍යතාවන්ට කේන්ද්‍ර වූ ගොවිතැන් පිළිවෙත් මතු කර ගැනීම මුල පටන් ම කෝමාගේ ප‍්‍රමුඛතාවය වුණා. බොහෝ රටවල් කරන්නේ ජාතික අස්වනු ඉලක්ක සාදා ගෙන, එවා සාක්ෂාත් කරන්නට ගොවීන් ඉත්තන් සේ යොදා ගැනීමයි. එ මහා පරිමාණ ව්‍යාපෘතිවලදී, කෙටි කාලීන අධික අස්වනු ලැබීම සඳහා උවමනාවට වඩා කෘෂි රසායන ද්‍රව්‍ය යොදමින් කඩිනම් අරගලයක් කරනවා. දේශපාලන උද්යෝගපාඨ හා ජාතිකාභිමානී ප‍්‍රකාශ හමාර වූ පසු ණය බරිත වූ ගොවීන් ගැන නිලධාරීන් හෝ දේශපාලකයන් හෝ තකන්නේ නැහැ (අඩු තරමින් ඊළඟ මැතිවරණය එලඹෙන තුරු!)

මේ ක‍්‍රමයට වෙනස් වූ, කළබල නැති, ගොවි හිතකාමී හා පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කරන්නට 1997දී කෝමා ගොවි කටයුතු අධ්‍යයන හා සංවර්ධනයට කැප වූ කාම්බෝජියානු කේන්ද්‍රය (Cambodian Centre for Study and Development in Agriculture, CEDAC) නම් රාජ්‍ය නොවන, ස්වෙච්චා සංවිධානය ඇරඹුවා. වසර 15ක් තුළ CEDAC ගොවි කටයුතු හා ග‍්‍රාම සංවර්ධනය පිළිබඳ කාමිබෝජයේ විශාලතම ජනතා සංවිධානය බවට පත් වී තිබෙනවා. අද ඔවුන් පළාත් 21ක ගොවි පවුල් 140,000ක් සමඟ ගනුදෙනු කරනවා. ගොවි තොරතුරු ජාල හරහා තවත් විශාල ගොවි ජනතාවක දැනුම වැඩි කරනවා.

Dr Yang Saing Koma photo courtesy Friedrich Naumann Foundation Southeast & East Asia

ආචාර්ය කෝමා අප සාමාන්‍යයෙන් සිතින් මවා ගන්නා ආකාරයේ (රැවුල වවා ගත්, උද්‍යොගපාඨ කියමින් මොර දෙන) විප්ලවවාදියකු නොවෙයි. ඔහු සිරුරින් කෙසග, සිහින් හඬින් කථා කරන, ඉතා ආචාරශීලී පුද්ගලයෙක්. එහෙත් මේ කුඩා මිනිසා චින්තන විප්ලවයක් හරහා කාම්බෝජ ගොවිතැන නව මගකට යොමු කර තිබෙනවා. උගත්කමේ මාන්නය පොඩියක්වත් නැති මේ අපුරු විද්‍යාඥයා ගොවීන්, කෘෂි පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් මෙන් ම අදාළ පෞද්ගලික සමාගම් නියෝජිතයින් සමඟත් සාමූහිකව කටයුතු කරමින් පොදු උන්නතියට ක‍්‍රියා කරන අයෙක්.

කෝමා සහ CEDAC ආයතනයේ බලපෑම ඉතා හොඳින් කියා පාන උදාහරණය නම් වී වගාවේ SRI ක‍්‍රමය (System of Rice Intensification) කාම්බෝජයේ ව්‍යාප්ත කිරීමයි. දශකයක් තුළ වී ගොවීන් 100,000කට වැඩි දෙනෙකු SRI ක‍්‍රමයට නම්මවා ගන්නටත්, එ් හරහා එරට වී අස්වැන්න 60%කින් වැඩි කරන අතර රසායනික පොහොර හා දෙමහුම් වී ප‍්‍රභේද භාවිතය බොහෝ සෙයින් අඩු කිරීමටත් හැකි වී තිබෙනවා.

2002දී ටොන් මිලියන 3.82ක් වූ කාම්බෝජ වාර්ෂික වී නිෂ්පාදනය 2010 වන විට ටොන් මිලියන් 7.97 දක්වා ඉහළ ගියා. මේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් SRI ක‍්‍රමය හරහා ලැබුණු බව එරට රජය පිළි ගන්නවා. 2005දී කාම්බෝජය නිල වශයෙන් SRI ක‍්‍රමය එරට වී නිෂ්පාදන ක‍්‍රමෝපායක් බවට පත් කළා.

වී වගාවේ SRI ක‍්‍රමය මුලින් ම අත්හදා බලා හඳුන්වා දුන්නේ අප‍්‍රිකා මහද්වීපයට සමීප මැඩගස්කාරයේයි. 1980 ගණන්වල සුළුවෙන් ඇරඹි මේ ක‍්‍රමය මේ වන විට වී වගා කරන ඝර්ම කලාපයේ බොහෝ රටවල පැතිරී තිබෙනවා. SRI ක‍්‍රමය මෙරටට හඳුන්වා දී ඇතත් එතරම් ප‍්‍රචලිත වී නැහැ.

SRI ක‍්‍රමයේදී උත්සාහ කරන්නේ වඩාත් සකසුරුවම් ලෙසින් වාරි ජලය යොදා ගෙන වී වගා කිරීමට. සාම්ප‍්‍රදායිකව කුඹුරුවලට විශාල ජල ප‍්‍රමාණයක් යොමු කරනවා. 1990 ගණන්වලදී ආචාර්ය රේ විජේවර්ධන වරක් මට කීවේ වී කිලෝ එකක් නිපදවන්නට වාරි ජලය ටොන් 20ක් පමණ යොදන බවයි. මේ ජලයෙන් ඉතා වැඩි ප‍්‍රමාණයක් කරන්නේ වෙල් යායේ වල් පැළෑටි බිහි වීම වැළැක්වීම. වී ශාකය වර්ධනයට එතරම් ජලය කන්දරාවක් උවමනා නැහැ.

වල් පැළෑටි පාලනය සඳහා ජලය වෙනුවට තෙත කොළරොඩු (leaf mulch) යොදන SRI ක‍්‍රමයේදී කුඹුරුවල ජල අවශ්‍යතාවය බාගයකටත් වඩා අඩු කරනවා. ජල හිඟයට නිතර මුහුණ දෙන අද කාලේ මෙය විශාල සහනයක්.

SRI ක‍්‍රමයේ තවත් වෙනසක් නම් ඉතා ලාබාල (දින 10-12) වියේදී ගොයම් පැළ නිශ්චිත දුරකින් කුඹුරේ සිටුවීමයි. එමෙන් ම ගොයම් පැළ අතර (පසට නයිට‍්‍රජන් පොහොර තනා දීමේ ස්වභාවික හැකියාව ඇති) වෙනත් බෝග වවන්නට (inter-cropping) ගොවීන් උනන්දු කරවනවා. මෙබඳු පියවර කිහිපයක් හරහා අඩු ජලයක් හා අඩු රසායනික පොහොර යොදා වුවත් හොඳ අස්වැන්නක් ලද හැකියි.

1999දී SRI ක‍්‍රමය ගැන විදෙස් සඟරාවක ලිපියක් කියවූ ආචාර්ය කෝමා මුලින් එය තමන්ගේ වෙල් යායේ අත්හදා බැලූවා. ”මට උවමනා වුයේ මේ සංකල්ප කාම්බෝජයේ තත්ත්වයන්ට ගැලපෙනවා ද යන්න තහවුරු කර ගන්නයි. එය ප‍්‍රතිථල පෙන්වන විට මා අසල්වැසි ගොවි මහතුන් කැඳවා එය පෙන්නුවා. මුලින් ඔවුන් මේ ක‍්‍රමය විශ්වාස කළේ නැහැ. මා සතු සියළු දැනුම ඔවුන්ට දී මා කිව්වේ එය අත්හදා බලන්න කියායි”.

මෙසේ කුඩා පරිමාන වී ගොවීන් ටික දෙනෙකුගෙන් පටන් ගත් කාම්බෝජයේ SRI ක‍්‍රමය වසර කිහිපයක් තුළ රට පුරා ව්‍යාප්ත වී ගියා. එය ඉබේ සිදු වුයේ නැහැ. කෝමා හා CEDAC ආයතනය ආදර්ශක කෙත් යායන් පවත්වා ගෙන ගියා. රට පුරා සංචාරය කරමින් ගොවීන්ට ශිල්පක‍්‍රම කියා දුන්නා. ගොවි සඟරාවක්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය හරහා අත්දැකීම් බෙදා ගත්තා.

“මා හැම විට ම අපේ ගොවීන්ට කියන්නේ පොතේ උගතුන් වන අප කියන දේ එක විට පිළි ගන්නට එපා. ඔබ ම අත්හදා බලන්න. ඔබේ ගැටළු විසඳමින් වැඩි අස්වනු ලබා දෙන ක‍්‍රමවේදයක් පමණක් දිගට ම භාවිත කරන්න.”

කෝමා, ගොවීන්ගේ සහජ බුද්ධිය හා ප‍්‍රායෝගික දැනුම ඉතා ඉහළින් අගය කරන අසාමාන්‍ය ගණයේ උගතෙක්. “ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ සිටින ඉහළ ම විශේෂඥයන් වන්නේ කුඩා පරිමාණයේ ගොවියන් හා ගෙවිලියන්. විද්‍යාව ෙසෙද්ධාන්තිකව උගත් අප වැනි අය ගොවීන්ගෙන් ගුරුහරුකම් ලද යුතුයි! ඔවුන්ගෙන් උගනිමින්, ඔවුන් සමඟ ගොවිතැනේ ගැටළු විසඳීම කළ යුතුයි!”

කෝමා මෙසේ කියන විට මට සිහි වන්නේ ආචාර්ය රේ විජේවර්ධනගේ එ සමාන ආකල්පයන්. (2011 අගෝස්තු 21 හා 28 කොලම් බලන්න.) මූණ ඉච්ඡවට ගොවි රජා හා ගොවි මහතා ආදී යෙදුම් භාවිතා කළත් අපේ පොතේ උගතුන් හා පර්යේෂකයන් ගොවීන් ගැන දරණ ආකල්ප මා හොඳාකාර දැක තිබෙනවා. ලොව පුරා මේ පොත-කෙත අතර පරතරය තිබෙනවා.

කාම්බෝජයේ කෘෂිවිද්‍යා උපාධිධාරීන් ගොවි බිමට ගෙන ගොස් ඔවුන් සැබැවින් ම ගොවිතැනට යොමු කරන්නට කෝමා උත්සාහ කරනවා. SRI ක‍්‍රමයේ සාර්ථකත්වයෙන් පසු ඔහු තෝරා ගෙන ඇති ඊටත් වඩා භාර දුර අභියෝගය නම් එරට ගතානුගතික සරසවි හා වෘත්තීය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ දැක්ම පුළුල් කිරීමයි.

“මා හැම ගොවියකු ම දකින්නේ මනුෂ්‍යයකු හැටියටයි. ඔවුන්ට උපතින් ලද සහජ බුද්ධියත්, කුසලතාවයත් තිබෙනවා. එයට අමතරව අප බොහෝ දෙනාට නැති ප‍්‍රායෝගික අත්දැකීම් රැසක් තිබෙනවා. අප උත්සාහ කරන්නේ ගොවීන්ට ගෞරවාන්විතව සළකමින් ඔවුන් සමඟ සහයෝගයෙන් ගොවිතැන් කටයුතු වඩාත් ඵලදායී හා පරිසර හිතකාමී කරන්නටයි.” ඔහු කියනවා.

පරිසර හිතකාමී ගොවිතැනේදී අළුත් සංකල්ප හා ක‍්‍රමවේදයන් ගොවින් තුළින් ඉස්මතු කිරිමේ අරමුණින් ආසියාව හා අප‍්‍රිකාව පුරා කි‍්‍රයාත්මක වන PROLINNOVA නම් පර්යේෂණ ජාලයකට 2004 සිට CEDAC ආයතනය සම්බන්ධ වී සිටිනවා. මේ ජාලයේ දශකයක ක‍්‍රියාකාරකම් ගැන කෙටි වාර්තා චිත‍්‍රපට මාලාවක් 2010-11දී මා නිෂ්පාදනය කළා. එහි එක් කතාවක් සඳහා අප තෝරා ගත්තේ කාම්බෝජයේ ප‍්‍රති-හරිත විප්ලවයයි.

“ගොවියාට සවන් දෙන්න. ඔහුගේ මතයට ගරු කරන්න. සෙමින් සෙමින් පවත්නා තත්ත්වය වෙනස් කරන්න!” විනාඩි 40ක් පුරා ඔහු පටිගත කළ විඩියෝ සම්මුඛ සාකච්ඡව පුරා නැවත නැවතත් කීවේ මෙයයි. සාකච්ඡවේ ඉංග‍්‍රිසි පිටපත කියවන්න http://tiny.cc/KomaInt

විද්‍යා ගුරුකුලවාදයක් හෝ දේශපාලන මතවාදයක් හෝ කුමන්ත‍්‍රණ මානසිකත්වයක් නැති මේ දාර්ශනික කෘෂි විද්‍යාඥයාට අවශ්‍ය කාම්බෝජයේ ගොවීන්ගේ ජිවන මට්ටම නඟා සිටුවමින් එරට පරිසරය හා සොබා සම්පත් රැක ගැනීමයි. ඔවුන් දෙදෙනා කිසි දිනෙක මුණ නොගැසුනත්, කාම්බෝජයේ රේ විජේවර්ධන හැටියට යං සයින් කෝමා මා දකින්නේ එ නිසයි.

කෙටි වාර්තා චිත‍්‍රපට නරඹන්න: http://tiny.cc/ProFilms

සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

The chronic kidney disease (CKDu) that has already affected thousands in its heartland of farming, has brought into sharp focus some serious environmental concerns that ecologists have long highlighted. These stem from our farmers’ high reliance on inorganic (chemical) fertilisers.

While some fertiliser is needed to sustain soil fertility when growing crops repeatedly on the same land, the ‘Green Revolution’ from the 1960s urged Lankan farmers to use large volumes of fertiliser, provided to them on massive state subsidies. That, in turn, led to indiscriminate use and waste — and higher agricultural runoffs.

Farmers aren’t thrifty because they get fertiliser at a fraction of the market price. In this week’s Ravaya column (in Sinhala, on 2 September 2012), I look at what this national addiction to chemical fertiliser is doing to both our economy and ecology. I also look at organic alternatives and probe why they are not being adopted more widely.

I covered similar ground in an English column on 26 August 2012: Watch out! Everybody Lives Downstream…

High inputs to make high yields – at a heavy price

1960 ගණන්වල මහත් උද්‍යොගයෙන් අරඹන ලදුව, රටේ නිල ප‍්‍රතිපත්තිය ලෙස ක‍්‍රියාත්මක වූ හරිත විප්ලවයේ ප‍්‍රධාන අංගයක් වූයේ අධික ලෙස කෘත‍්‍රිම රසායනික පොහොර, පලිබෝධනාශක හා වල් නාශක ආදිය භාවිතයට ගොවීන් යොමු කිරීමයි. වෙල් ගොවිතැනේ මෙන් ම හේන් ගොවිතැනේදීත් කෘෂි රසායන බහුල ලෙස යෙදීම අද බොහෝ ගොවීන්ගේ පුරුද්දක්.

විද්‍යාත්මකව මෙය හඳුන් වන්නේ බාහිරින් වගා බිමට වැඩිපුර එකතු කරන ගොවිතැන (High external input farming) කියායි. කෙටි කාලීනව මෙයින් වැඩි අස්වනු ලබා ගත හැකි වුවත් දිගු කාලීනව පරිසරයට මෙන් ම අපේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් ඇති කරන බවට ඇති තරම් සාක්‍ෂි ගෙවී ගිය අඩ සියවස පුරා හමු වී තිබෙනවා.

එහෙත් තවමත් අපේ කෘෂි ප‍්‍රතිපත්තීන්ගේ පදනම හරිත විප්ලවයේ සංකල්පයි. එය මතවාදීව ප‍්‍රශ්න කළ රේ විජේවර්ධන, රනිල් සේනානායක බඳු අදීන විද්‍යාඥයන්ගේ අදහස් අපේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා කෘෂි නිලධාරීන් නොසළකා හැරියා.

කුමන හෝ ක‍්‍රමයකින් අස්වනු වැඩි කර ගෙන කන්නයෙන් කන්නයට හා වසරින් වසරට එ ගැන උදම් ඇනීම අපේ කෘෂි නිලධාරීන් මෙන් ම දේශපාලකයන් ද යසට කරනවා. දිගු කාලීනව පසේ සාරවත් බවට (soil fertility), මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට ඇති විය හැකි බලපැම් ගැන හිතන්නේ, කථා කරන්නේ ටික දෙනයි.

අධික කෘෂි රසායන යෙදීමෙන් තොරව ගොවිතැන් කිරීමට නොදන්නා හෝ නොහැකි හෝ තරමට අපේ ගොවීන් මේ වන විට එයට ඇබ්බැහි වී සිටිනවා. ගොවීන් මෙයින් යළිත් මුදවා උත්සාහ ගැනීමට නොයෙක් ස්වේචඡ සංවිධාන හා පර්යේෂණ ආයතන උත්සාහ කළත් රටේ නිල ප‍්‍රතිපත්තිය තවමත් බරක් දෙන්නේ කෘෂි රසායන භාවිතයටයි.

මෙය හොඳින් ම පෙන්නුම් කැරෙන්නේ රසායනික පොහොර භාවිතය දෙස බලන විටයි. පසේ සාරවත් බව ගොවිතැන් දී තීරණාත්මක සාධකයක්. එය රැුක ගැනීමට ගොවීන් පාරම්පරිකව විවිධ පියවර ගත්තා. එක ම බිමක දිගින් දිගට බෝග වගා කරන විට එහි සාරය අඩු වනවා. එවිට පොහොර යෙදීම ගොවිතැනේ මුලික ක‍්‍රියාවක්. ගොම හා කොළරොඩු ආදිය මෙන් ම ස්වාභාවිකව පසට නයිට‍්‍රජන් නිපදවා දෙන පැළෑටි වැවීම ද සියවස් ගණනක් තිස්සේ ගොවීන් කළා.

රසායනික පොහොර කරන්නෙත් පැළැටිවලට අවශ්‍ය පෝෂණය ලබා දීමයි. එහෙත් නිසි කලට, නිසි පරිමාවට යොදනවා වෙනුවට අනවශ්‍ය තරම් එම පොහොර වගා බිමට යෙදු විට මේ පොහොර ජලයේ දියවී ටිකෙන් ටික යටිගං බලා දිවෙනවා. මෙය හඳුන්වන්නේ අපධාවය (Agricultural Runoff) කියායි.

අපධාවය මුළුමනින් නතර කිරීමට බැරි වුවත් අරපිරිමැස්මෙන් හා උපදෙස් දී ඇති පරිදි භාවිතයෙන් එය අවම කර ගත හැකියි. අපේ බොහෝ ගොවීන් උවමනාවට වඩා පොහොර යොදනවා. නොදැනුවත්කම හා නොසැළකිල්ල එයට හේතු විය හැකියි. තවත් හේතුවක් නම් පොහොර සහනාධාරය යටතේ ඉතා අඩු මිලට පොහොර ලැබීමයි.

නොමිළයේ ලැබෙන වාරි ජලයත්, ඉතා සහන මිළකට ලැබෙන රසායනික පොහොරත් නිසා අපේ බොහෝ ගොවීන් අරපිරිමැස්ම හා සැකසුරුවම් බව අමතක කරලා. අන්තිමේදී වාරි ජලය වගාබිම් හා කෙත්වතුවලින් නික්ම යන්නේ අනවශ්‍ය තරම් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ද රැුගෙනයි. මේ අපධාවය යටිගං බලා යද්දී ගස්වැල්, ජලාශ, වනාන්තර මෙන් ම මිනිස් ජනාවාසවලට ද මුසු වනවා. එයින් ඇති වන දිගුකාලීන බලපෑම් ගැන අපට තේරුම් යන්නේ කල් ගත වූ පසුයි.

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හරිහැටි හේතු කාරකයක් තවමත් පැහැදිලි ලෙස හඳුනා ගෙන නැහැ. අනුමාන කැරෙන සාධක ගණනාවක් අතර කෘෂි රසායන ද්‍රව්‍යවලින් කාන්දු වී ජලයට එකතු වන ආසනික්, කඨින ජලය හා මුසු වී ශරීරගත වීමත් තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

ශ‍්‍රී ලංකාවේ ගොවිතැන, පරිසරය රැුක ගැනීම හා ජීවන මට්ටම් දියුණු කිරිම යන සාධක තුන ඉතා සමීපව සබැඳී තිබෙනවා. කකුල් තුනකින් යුත් බංකුවක් වගෙයි. මෙයින් එකකට වැඩි අවධානයක් දී අනෙක් දෙක නොසළකා හැරියොත් පැවතිය යුතු සියුම් තුලනය නැති වී යනවා. එවිට බංකුව පෙරළෙනවා. මේ සාධක තුන සමතුලිත ලෙස ඉදිරියට ගෙන යාමේ අභියෝගයට නිදහසෙන් පසු හැම රජයක් ම මුහුණ දුන්නා.

ක‍්‍රමීය මට්ටමින් මෙබඳු ප‍්‍රශ්න ගැන පුළුල්ව විග‍්‍රහ කිරීමේ හැකියාව ඇත්තේ විද්වතුන් ඉතා ටික දෙනෙකුටයි. එබඳු දැක්මක් තිබූ ආචාර්ය රේ විජේවර්ධන හරිත විප්ලවයේ මුල් යුගයේ එහි පෙර ගමන්කරුවකු වුණත් 1960 දශකයෙන් පසු එය ප‍්‍රබලව විවේචනය කළා. හරිත විල්පවයෙන් අපේ ගොවීන්ට, ආර්ථිකයට හෝ සොබා සම්පත්වලට සැළකිය යුතු සෙතක් අත් නොවූ බව ඔහු 2010 මිය යන තුරු ම අවධාරණය කළා. http://tiny.cc/RayRav1

රූපවාහිනි නාලිකාවේ නව නිපැයුම් පිළිබඳ මා ඉදිරිපත් කරන “මාලිමා” වැඩසටහනට මෑතදී පැමිනි කේ. එම්. විජේපාල මහත්තයා වසර ගණනාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍ෂෙත‍්‍ර නිලධාරියකු ලෙස සේවය කොට දැන් තමාගේ ම කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. නුවරඑළියේ ඔහුගේ සමාගම හරහා මුළුමනින් ජෛවීය ද්‍රව්‍ය යොදා තනන කාබනික පොහොර, වල්නාශක, කෘමිනාශක හා අනෙකුත් කෘෂි රසායන අලෙවි කරනවා. එ සියල්ල ඔහු කලක් තිස්සේ අත්හදා බලා සොයා ගත් වට්ටෝරුවලට අනුව නිෂ්පාදිතයි.

ගොඩ හා මඩ ඕනෑම බෝගයකට යෙදිය හැකි GOLF (Gold Organic Lanka Fertilizer) නම් කාබනික පොහොරක් ඔහු නිපදවා තිබෙනවා. ශාක වර්ධනයට අවශ්‍ය සියළු මුලද්‍රව්‍ය අඩංගු මේ පොහොර තනා ගන්නා සැටි මාලිමා තුළින් ම ඔහු පෙන්වා දුන්නා. එයට අමුද්‍රවය ලෙස ගන්නේ එළඟිතෙල්, මීපැණි, මෝරතෙල් ගුලි, කොහොඹ තෙල්, තල්/පොල්/කිතුල් පැණි හා බියර් ආදී ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ. මේවා ජලයේ මුසු කිරීමේ නිසි අනුපාතයන් දැක්වෙන වට්ටෝරුවට ශ‍්‍රි ලාංකික ජේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙනවා. මේ පොහොර යෙදීමෙන් රසායනික පොහොර වලට සමාන හෝ වැඩි අස්වනු ලබා ගත හැකි බව තේ පර්යේෂණායතනය (TRI), කාර්මික පර්යේෂණායතනය (ITI) හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වාධිනව තහවුරු කර තිබෙනවා.

Malima: Episode 10 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

මේ කාබනික පොහොර ගෙදරදී ම තනා ගැනීමට අනුපාත හා පියවර කියා දෙන උපදෙස් පත‍්‍රිකාවක් මෙරට ගොවීන්ට නොමිළයේ ලබා දෙන්නට විජේපාල මහත්තයා ඉදිරිපත්ව සිටිනවා. (එ සඳහා ලිපිනය ලියු, මුද්දර ගැසු කවරයක් යවන්න: විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය).

භාවිතයට සුදානම් කල GOLF පොහොර දියර බෝතලයක් රු. 2,500 මිළට ඔහුගේ ආයතනයෙන් මිළට ගත හැකියි. රසායනික පොහෙර වෙළඳාමේ නියුතු බහුජාතික හා දේශීය සමාගම් සමඟ තරඟකාරීව අලෙවිකරණයට ඔහු ලැහැස්තියි. එහෙත් ඔහු කියන හැටියට මේ ජෛවීය පොහොර ප‍්‍රචලිත කරන්නට තිබෙන ලොකු ම බාධකය රසායනික පොහොර සහනාධාරයයි.

පොහොර සහනාධාරයට වසර 50ක අතීතයක් තිබෙනවා. එය මුලින් හදුන්වා දුන්නේ 1962දී. හරිත විප්ලවයේ අධි අස්වනු ලබා දෙන වී ප‍්‍රභේද වගා කිරීමේදී වගා බිමට වැඩියෙන් පොහොර දැමීම අවශ්‍ය වුණා. ගොවීන්ට එම අමතර වියදම එක්වර දරා ගත නොහැකි වූ නිසාත්, සහල් මිළ ඉහළ යාම වළක්වන්නටත්. රජය විසින් සහන මිළකට පොහොර දීම ඇරඹුවා.

කෙටි කලෙකින් එය ජාතික ඇබ්බැහිවීමක් බවට පත් වුණා. ඉන් පසු බලයට පත් රජයන්ට ද පොහොර සහනාධාරය පවත්වා ගෙන යාමේ බලපෑම් ඇති වුණා. විවිධ සංශෝධනය යටතේ එය ඉදිරියට විත් තිබෙනවා. (එය නතර කැරුණේ 1989-1994 කාලයේ පමණයි.)

2005 සිට පොහොර සහනාධාරය යටතේ යුරියා, MOP හා TSP යන රසායනික පොහොරවල කිලෝග‍්‍රැම් 50 මල්ලක් රු. 350 ඉතා සහන මිළකට ගොවීන්ට ලබා දෙනවා. ලෝක වෙළඳපොලේ පොහොර මිළ කොපමණ වුවත්, වසර 6කට වඩා මේ මිළ පවත්වා ගෙනවිත් තිබෙනවා. එහි සැබෑ වියදමෙන් සියයට 90කට වඩා මහා භාන්ඩාගාරය විසින් දරනු ලබනවා.

මෙරට භාවිත වන රසායනික පොහොරවලින් අති බහුතරයක් පිටරටින් ගෙන්වනවා. 2010 සඳහා වැඩිපුර ම චීනයෙන්. ඊළඟ ප‍්‍රභව වුයේ තුර්කිය හා ඊජිප්තුව. මෙය වසරකට රුපියල් බිලියන 50-60ක් පිටරට ඇදී යන මහා පරිමාණ ගනුදෙනුවක්.

ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව 2010දී ලියා අති පරිදි වාර්ෂිකව පොහොර සහනාධාරය සඳහා මහා භාණ්ඩාගාරය ඉතා විශාල මුදලක් වැය කරනවා. 2009දී මෙය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.6ක්ද රජයේ සමස්ත වියදමෙන් සියයට 3ක් ද වුණා. ”නිසි ඉලක්කගත කිරීමකින් තොරව ලබා දෙන පොහොර සහනාධාරයේ ප‍්‍රතිලාභ ලබන්නේ දුගී කුඩා ගොවීන්ට වඩා සාපේක්‍ෂව අතමිට සරු ගොවීන්” යයි ඔහු කියනවා.

මේ සහනාධාර දෙන්නේ රටේ මහජනතාවගේ මුදල්වලින්. පොහොර සහනාධාරයේ මුඛය අරමුණු හරිහැටි ක‍්‍රියාත්මක නොවන බව මේ ගැන අධ්‍යයනය කළ ආර්ථික හා කෘෂි විද්‍යා පර්යේෂකයන් බොහෝ දෙනා පෙන්වා දෙනවා. නමුත් සහනාධාරය වඩාත් ක‍්‍රමානුකූල කිරීම දේශපාලන වශයෙන් අපහසු කාරියක් බව ද ඔවුන් පිළි ගන්නවා.

මෙරට සිටින ප‍්‍රවීණ කෘෂි විද්‍යාඥයකු හා කෘෂි ප‍්‍රතිපත්ති උපදේශකයකු වන මහාචාර්ය සී. එස්. වීරරත්නගේ මතය: ”දිගින් දිගට වගා කරන බිමකට යම් පමණින් පොහොර යෙදීම අවශ්‍යයි. නමුත් දැන් සිදුවන්නේ අවශ්‍යතාවයක් ඇති හා නැති වගා බිම්වලට සහන මිළට ලැබෙන පොහොර යෙදීමයි. හරි නම් අවශ්‍යතාව තහවුරු කිරිමට පසේ සාරවත් බව රසායනිකව පිරික්සිය යුතුයි”.

මේ අයුරින් විග‍්‍රහ කරන විට ප‍්‍රශ්නයේ අක්මුල් ඇත්තේ වැරදි කෘෂි ප‍්‍රතිපත්තින්ගේ බව පැහැදිලියි. එ් මුලට නොගොස් අතරමැද අවස්ථාවලට සම්බන්ධිත ආයතන, සමාගම් හෝ වෙනත් ‍”දුෂ්ටයන්” සොයා යාමේ දැඩි ආසාව ඇති අයට නම් සැබෑ හේතුවලට වඩා ඕනෑ වන්නේ ෙදාස් පැවරීමට කවුරුන් හෝ කරලියට ගැනීමයි!

රේ විජේවර්ධනගේ අදීන චින්තනයේ උරුමක්කාරයකු ලෙස මා දකින්නේ පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායකයි. අපේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති හා කෘෂි ප‍්‍රතිපත්ති ගැන 1980 දශකයේ සිට ම නොබියව විවේචනය කරන ඔහු කියන්නේ රසායනික පොහොර සහනාධාරය දැන් රටට ම කොඩිවිනයක් වී ඇති බවයි. එය මග සිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්.

“වසරකට අඩු තරමින් රුපියල් බිලියන් 50ක් පොහොර සහනාධාරයට වැඩ කරනවා. එය නතර කළොත් අපේ ආහාර මිළ එක්වර ඉහළ යනවා. එය දිගට ම දීමෙන් අපේ පසේ සාරවත්බව විනාශ වනවා. අපි කුමක් කරමු ද?”

රනිල් මෙය දකින්නේ අපේ අධ්‍යාපනික හා විද්‍යා පර්යේෂණ ක්‍ෂෙත‍්‍රවල චින්තනමය සෝදාපාලූවක ප‍්‍රතිඵලයක් ලෙයසි. ”කූට වෙළඳුන් ටික දෙනකු, දුෂිත නිලධාරීන් සමහරකු ද සමඟ එක්වී අපේ ගොවීන් රසායනික පොහොරට දිගට ම ඇබ්බැහි කර ගෙන සිටිනවා. එය අපේ වගා බිම් හා සමස්ත පරිසරය විනාශ කරද්දී අපේ බහුතරයක් උගත්තු ඇස් කන් පියා ගෙන මුවින් නොබැන සිටිනවා. මෙයයි අපේ ඛේදවාචකය!”

මේ පුළුල් කෝණයෙන් බලද්දී නිදන්ගත වකුගඩු රෝගය ඊට වඩා විශාල ගරා වැටීමක එක් රෝග ලක්‍ෂණයක් පමණක් විය හැකියි. වකුගඩු රෝගයට කෘෂි රසායනිකයන්ගේ සෘජු දායකත්වයක් ඇතත් නැතත් (තවමත් මේ ගැන පර්යේෂණ කරනවා) රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායනවලට අප දෙන ඉහළ ප‍්‍රමුඛතාවය දැඩි සේ විමසා බැලීම හදිසි අවශ්‍යතාවයක්.

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

In this week’s Ravaya column (in Sinhala), I look at a public health emergency in Sri Lanka: Chronic Kidney Disease of unknown etiology (abbreviated as CKDu).

CKDu was first reported in the early 1990s from a single Province in our heartland of farming, but it has now spread across approximately 17,000 sq km (a quarter of the island), which is home to around 2.5 million people. Several thousand have already died; the exact number is not clear. Over 15,000 people are kept alive with regular kidney dialysis.

Investigating causes of this ailment — still not pinned down to a particular cause or factor — has been contentious with scientists, nationalists and politicians trying to hijack the issue for their own agenda setting. Some journalists have added fuel to the fire with sensationalist reporting and fear-mongering. In this column, I ask everyone to focus on the prolonged suffering of those already affected and their families.

I covered similar ground in an English column two weeks ago:
When Worlds Collide #29: Science and Politics of Kidney Disease in Sri Lanka

වියලි කලාපයේ දශක දෙකක පමණ කාලයක් පුරා සෙමෙන් මතුව විත් දැන් මහා පරිමානයේ මානුෂික ඛේදවාචකයක් බවට පත්ව තිබෙන නිදන්ගත වකුගඩු රෝගය ගැන යළිත් අවධානය යොමු වී තිබෙනවා.

සාමාන්‍යයෙන් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩපණ කරන්නේ දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි ශාරීරික ආබාධයක්. එහෙත් මේ සාධක නැතිවත් වකුගඩු හරිහැටි ක‍්‍රියා නොකිරීම නිසා පීඩාවට පත් රෝගීන් ගැන 1990 දශකය මුල සිට වියලි කලාපයේ කෘෂිකාර්මික ප‍්‍රදේශවලින් වාර්තා වන්නට පටන් ගත්තා. මේ තත්ත්වය ලක් වූ බහුතරයක් වයස 30 හා 60 අතර වූ පිරිමින්. ඔවුන් බොහෝ දෙනා ගොවීන් හෝ ගොවිබිම් කම්කරුවන් හෝ ලෙස ජීවිකාව සළසා ගත් අයයි.

රජරට නිදන්ගත වකුගඩු රෝගය ලෙස බහුලව හැදින්වෙන මේ රෝගී තත්ත්වයට හරිහැටි හේතු කාරකයක් තවමත් පැහැදිලි ලෙස හඳුනාගෙන නැහැ. එ නිසා ම ඉංග‍්‍රීසියෙන් මෙයට දී ඇති නිල නාමය ‘නාඳුනන හේතුකාරක ඇති කරන වකුගඩු රෝගය’ Chronic Kidney Disease of unknown etiology හෙවත් CKDu. මේ වන විට මේ රෝගය නිසා සිය ගණනක් මිය ගොස් තිබෙනවා. සංඛ්‍යා ලේඛනවල පරස්පරතා නිසා හරියට ම මේ ගණන සොයා ගැනීම අපහසුයි.

දැනට මේ රෝගයත් සමග ජීවත්වන සංඛ්‍යාව අඩු තරමින් 15,000ක් පමණ වනවා. ඔවුන්ට තමන්ගේ සිරුරේ බහිශ‍්‍රාවීය ක‍්‍රියා හරිහැටි ස්වාභාවිකව සිදු නොවන නිසා රුධිර කාන්දු පෙරීම (Kidney Dialysis) දින හතරකට වරක් කළ යුතු වනවා. එක් වරකට මෙයට වැය වන වියදම රු. 12,000ක්. වසරක් පාසා මේ රෝගී තත්ත්වයට ගොදුරු වන සංඛ්‍යාව වැඩිවත් ම එ සඳහා රජයේ රෝහල් හරහා දරණ වියදම ද ඉහළ නගිමින් තිබෙනවා. (2005 සමස්ත වියදම රු. මිලියන් 350).

මේ රෝගය ගැන පර්යේෂණ කිරීම හා එයට හේතුකාරක මෙන් ම පිළියම් සොයා ගැනීම අද අපේ විද්‍යාඥයන් හමුවේ ඇති විශාල අභියෝගයක්.

මෙය විෂබීජයක් හෝ වාහකයකු හෝ හරහා පැතිරෙන බෝවන රෝගයක් නොවෙයි. එය ආරෙට එන පාරම්පරික රෝගයක් ද යන්නත් පැහැදිලි නැහැ. එ ගැන පර්යේෂණයක් පේරාදෙනිය සරසවියේ විද්‍යාඥ පිරිසක් කර ගෙන යනවා. රෝග කාරකය ලෙස වැඩිපුර සැක කැරෙන්නේ පාරිසරික සාධකයක්. එය කුමක් ද?

මිනිස් අප එක්වර පාරිසරික බලපෑම් රැසකට පාත‍්‍ර වනවා. අප කන, බොන දෑ හරහා මෙන් ම ආශ්වාස කරන වාතය හා ජීවත්වන ප‍්‍රදේශයේ භූ විද්‍යාත්මක ස්වරූපය පවා දිගු කාලීන වශයෙන් මිනිස් සිරුරට බලපෑම් එල්ල කළ හැකියි. මේ බහුවිධ බලපෑම් අතරින් එකක් වෙන්කර හඳුනා ගෙන එය මේ රෝග තත්ත්වයට සෘජු ලෙස ම හේතු කාරක වේ යයි තීරණය කිරීම ඉතා අසීරුයි.

විද්‍යාත්මක ක‍්‍රමයේදී කල්පිතයකින් ඇරඹී නිරීක්ෂණ හා අත්හදා බැලීම් හරහා යම් නිගමනවලට එළැඹෙන්නේ සීරුවෙන්. එබඳු නිගමන සෙසු විද්‍යාඥයන් හරහා ප‍්‍රශ්න කිරීමට හා අභියෝගයට ලක් විය හැකියි. වසර ගණනක් ගතවීත් වකුගඩු රෝගය ගැන තවමත් වාද විවාද හා තර්ක විතර්ක පවතින්නේ එ නිසයි. විද්‍යාවේ හැටි එහෙමයි.

වකුගඩු රෝගයට හේතු විය හැකි යයි අනුමාන කැරෙන සාධක ගණනාවක් ගැන පර්යේෂණ කෙරී ගෙන යනවා. කිසිදු අනුපිළිවෙලකට නොමැතිව මේවා සම්පිණ්ඩනය කළහොත්:
• භූගත ජලයේ දියවී ස්වාභාවිකව තිබෙන ෆ්ලෝරයිඞ් පානය කිරීම
• ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය ස්වාභාවිකව අධික භූගත ජලය, බාල වර්ගයේ ඇලූමීනියම් භාජනවල තැන්පත් කර පානය කිරීම
• කැල්සියම් බඳු ඛනිජ වර්ග සාපේක්ෂව වඩාත් ස්වාභාවිකව මුසුව ඇති කඨින ජලය (hard water) පානය කිරීම
• ජලාශවල හා වාරිමාර්ගවල ජලය එක් තැන්වන විට හට ගන්නා cyanobacteriaවලින් ශ‍්‍රාවය කැරෙන විෂ ද්‍රව්‍ය පානීය ජලය හරහා ශරීරගත වීම
• කැඞ්මියම් නම් රසායනික මූලද්‍රව්‍යය ආහාර හරහා ශරීරගත වීම
• පලිබෝධනාශක හා රසායනික පොහොරවල අනුමත මට්ටමට වැඩියෙන් ආසනික් මූලද්‍රව්‍යය අඩංගු වී, එය කඨින ජලය ඇති ප‍්‍රදේශවල ජලය හා මුසු වී ශරීරගත වීම.
• නිසි ප‍්‍රමිතීන්ගෙන් තොරව නිපදවන මත්පැන් අධික ලෙස පානය කිරීම
ඇතැම් ආයුර්වේද ඖෂධ වර්ග භාවිතය. විශේෂයෙන් සප්සඳ (Aristalochia indica) යොදා තනා ගන්නා බෙහෙත් ගැන පර්යේෂකයන් අවධානය යොමු කර තිබෙනවා.

මේ විය හැකියාවන් අතරින් මෑතදී වැඩිපුර මාධ්‍යවල කථාබහ කෙරුණේ කෘෂිරසායන හරහා පරිසරයට එකතු වන ආසනික් පිළිබඳවයි. මේ කල්පිතය මතු කළ විද්‍යාඥ පිරිසේ එක් අයෙක් තමන්ට එ ගැන මූලික ඉඟිය ලැබුණේ දේව බලපෑමක් හරහා යයි පැවසූ නිසා එය ආන්දෝලනයට තුඩු දුන්නා.

විද්‍යාඥයන්ට පෞද්ගලික ජීවිතයේ තමන් කැමති දේශපාලන හා සාමයික (ආගමික) ඇදහීමකට නිදහස තිබෙනවා. එහෙත් එබඳු ඇදහිල්ලක් විද්‍යාත්මක කරුණු ගවේෂණයේ ක‍්‍රමවේදයට ඇඳා ගැනීම විවාදාත්මකයි.

කෘෂි රසායන ද්‍රව්‍ය හරහා අපට වස විස කැවෙන පෙවෙන බව රහසක් නොවෙයි. එහෙත් නිදන්ගත වකුගඩු රෝගයට හරියට ම හේතු කාරකය ආසනික් ද? හේතුකාරක විය හැකි අනෙක් සාධක අභිබවා එය නිසැකව ම සනාථ කළ හැකි ද?

අපේ වෛද්‍ය පර්යේෂකයන්, භූ විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා අනෙකුත් පර්යේෂකයන් අතර එබඳු එකඟතාවයක් තවම මතුවී නැහැ.

තර්ක විතර්ක හරහා ඔප්පු කළ හැකි සහ නැවත නැවතත් සිදුකර පෙන්විය හැකි (replicable) සාක්ෂි මත පදනම් වූ නිගමනවලට එළැඹීම ලොව පුරා පිළිගත් විද්‍යා පර්යේෂණ ක‍්‍රමවේදයයි. ප‍්‍රාතිහාර්යයන් (miracles), ගුප්ත බලවේගයන් හා තර්කයෙන් බාහිර වූ පරම සත්‍යයන් විද්‍යාවේ නැහැ.

මිනිසුන් සිය ගණනකගේ ජීවිත බිලිගත්, තවත් විශාල සංඛ්‍යාවක් රෝගාතුර කළ ආබාධයක හේතු කාරක සොයා යද්දී ගුප්ත හෝ ශුද්ධ බලවේගවලට එ සත්‍ය ගවේෂණය භාර දෙන්නට නොහැකියි.

Cartoon by Sidney Harris

අනෙක් කාරණය නම් මිනිස් අපගේ මැදහත්වීමකින් තොරව ස්වාභාවිකවත් ඇතැම් වස විෂ වීම් හා ආපදා ඇති විය හැකියි. බංග්ලාදේශය හා ඉන්දියාවේ බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ ඇතැම් ප‍්‍රදේශවල භූගත ජලයේ අසාමාන්‍ය ලෙස ආසනික් ප‍්‍රමාණය වැඩිවීම එයට හොඳ උදාහරණයක්. අපේ සමහර පරිසරවේදීන් මිහිතල මෑණියෝ නැතිනම් මහී කාන්තාව කියමින් පෘථිවියට වන්දනාමාන කළාට සමහර වෙලාවට මේ ග‍්‍රහලෝකය නිර්දය ලෙස භූ රසායනික හා වෙනත් ස්වාභාවික සංසිද්ධීන් ඇති කරනවා. සක‍්‍රීය ග‍්‍රහලොවක ජීවත්වීමේ යථාර්ථය එයයි!

වකුගඩු රෝගය ගැන මෙතෙක් මා කියැවු හොඳම මැදහත් විග‍්‍රහය 2011 දෙසැම්බරයේ Ceylon Medical Journal විද්වත් සඟරාවේ පළ වුණා. එ. ආර්. වික‍්‍රමසිංහ, ආර්. ජේ. පීරිස්-ජෝන් හා කේ. පී. වනිගසුරිය නම් පර්යේෂකයන් තිදෙනා මේ රෝගය පිළිබඳව මේ දක්වා ඉදිරිපත් කොට ඇති විවිධ කල්පිත හා අනුමාන සඳහන් කරමින් අවධාරණය කළේ පර්යේෂණ තව දුරටත් කළ යුතු බවත්, එ්වායේ ප‍්‍රතිඵල සෙසු විද්‍යාඥයන්ගේ ඇගැයීමට ලක් කැරෙන (peer-reviewed) විද්වත් සඟරාවල පළවිය යුතු බවත්. නව දැනුම පිළි ගැනීමට ලක් වන්නේ නිසි ක‍්‍රමවේදයක් හරහා දැඩි සංයමයකින් යුතුව ජනනය කළ විටයි.

ඔවුන් තව දුරටත් කීවේ: ”නිදන්ගත වකුගඩු රෝගයට තුඩු දෙන සාධක එකකට වැඩි ගණනක් තිබිය හැකියි. මේ දක්වා ඉදිරිපත්ව ඇති හා පර්යේෂණ ප‍්‍රතිඵල අනුව එකදු කල්පිතයක් හෝ ඔප්පු වී නැහැ. මේ රෝගය අදාළ ප‍්‍රදේශවල ජනයාට මහත් බලපෑමක් ඇති කරන නිසාත්, රටේ සෞඛ්‍ය සේවාවට ලොකු වියදමක් නිසාත් මෙය හරියාකාර තේරුම් ගෙන නිසි ප‍්‍රතිචාර දැක්වීම ජාතික ප‍්‍රමුඛතාවක් වනවා.” http://tiny.cc/CKDuCMJ

වකුගඩු රෝගයේ සැබෑ තත්ත්වය හොඳාකාරව දන්නේ අදාළ ප‍්‍රදේශවල රෝහල් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවක පිරිසයි. හඳුනා නොගත් රෝගයක් වසරක් පාසා වැඩි වැඩියෙන් දෙනා රෝගාතුර කරන විට එය වටා විවිධ ආවේගයන් මතුවී එම ස්වභාවිකයි. භීතිය, ශෝකය, සැකය මෙන් ම ඉච්ඡුාභංගත්වය ද එ් අතර වනවා. වකුගඩු රෝගයට ලක් වුවන්ට බෙහෙත් හා රුධිර කාන්දු පෙරීම දෙන අතරේ එ් පවුල්වල අයට මානසික අස්වැසිල්ල ලබාදීම ද ඉතා වැදගත්.

මෙබඳු තත්ත්වයකට අපට ඇති ආසන්න ම අත්දැකීම නම් 2004 දෙසැම්බරයේ ආ සුනාමියයි. එහෙත් සුනාමිය මෙන් මතු පිටින් කිසිදු භෞතික හානියක් නොකොට, සෙමෙන් සෙමෙන් මිනිසුන්ට පමණක් වින කරන මේ රෝගය හරිහැටි ග‍්‍රහණය කර ගැනීමත් බොහෝ දෙනෙකුට අසීරුයි.

මාධ්‍යවේදීන්ටත් මේ අභියෝගය තිබෙනවා. බොහෝ මාධ්‍ය කඩිමුඩියේ කරන වාර්තාකරණයට (Breaking News) මේ රෝගය හසු කර ගැනීම අමාරුයි. එහි බහුවිධ පැතිකඩ තිබෙනවා. විශාල බිම් පෙදෙසක් පුරා පැතිර ගිය හා විවිධ මතිමතාන්තරවලට ලක් වූ වකුගඩු රෝගය ගැන යන්තමින් වාර්තා කළොත් මහජනයා අතර අනවශ්‍ය භීතියක් ඇති වීමේ අවදානම තිබෙනවා.

මෙබඳු ව්‍යසනයකදී මාධ්‍යවේදීන් කළ යුත්තේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ මත දරණ විද්‍යාඥයන් කොයි කාටත් එක සේ අදහස් ප‍්‍රකාශනයට ඉඩ ලබා දෙමින් මැදහත් වේදිකාවන් ලෙස කටයුතු කිරීමයි. එසේ නැතිව විද්‍යාඥයන් අතර අනවශ්‍ය ලෙස මත ගැටුම් බිහි කිරීමවත්, තමන් පෞද්ගලිකව වඩාත් දන්නා හඳුනන විද්වතුන්ගේ මතවාදයන්ට වැඩි ප‍්‍රමුඛතාවයක් දීමවත් නොවෙයි.

ප‍්‍රතිපත්ති තීරකයන් හා නිලධාරීන් බහුතරයක් තම තොරතුරු සඳහා මුලාශ‍්‍ර කර ගන්නේ විද්වත් සඟරා නොව ජනමාධ්‍ය වාර්තායි. මේ නිසා තොරතුරු නිවැරදිව දීමටත්, තමන් කරන විග‍්‍රහයන් වඩා තුලනාත්මකව හා වගකීමකින් කිරීමටත් මේ ප‍්‍රශ්නය වාර්තාකරන හැම මාධ්‍යවේදියකුට ම යුතුකමක් තිබෙනවා. උවමනා වන්නේ ආන්දෝලන ඇති කරමින් ඛේදවාචකය තවත් උග‍්‍ර කිරීම නෙවෙයි!

අපේ සමාජයේ ප‍්‍රශ්නයක් ප‍්‍රබලව පැන නැගෙන විට එයට වගකිව යුතු පුද්ගලයන් නැතිනම් ආයතන ගැන බොහෝ දෙනා සැලකිලිමත් වනවා. සංකීර්ණ වත්මන් සමාජයේ හැම සංසිද්ධිකයක ම “දුෂ්ටයකු” සොයා ගැනීම අපහසු වුවත්, ආසන්න වශයෙන් හෝ ෙදාස් පැවරයි හැකි කෙනෙකු සොයා යාම සම්ප‍්‍රදායක් වෙලා. පුද්ගලයකු සොයා ගන්නට බැරි විට “විදෙස් බලපෑම්”, CIA, “බහුජාතික සමාගම්”, “ඩයස්පෝරාව” හා “කඩාකප්පල්කාරී මාෆියාවන්” වැනි සාමුහික ලේබල් ඇලවීමේ රුචියක් සමහරුන්ට තිබෙනවා.

ප‍්‍රශ්නවල අක්මුල් සොයා තේරුම් ගැනීම එවා විසඳීමට උපකාර වන බව ඇත්තයි. එහෙත් ලොව හැම දෙයක් ම එ සරල ආකාරයට විග‍්‍රහ කළ නොහැකියි. සෘජුව හෝ වක‍්‍රව හෝ මිනිස් බලපෑමක් නැතිව සිදුවන ව්‍යසන ද තිබෙනවා. සුනාමිය හට ගත්තේ කාගේ වරදින් ද? භූමිකම්පාවලට ෙදාස් කිව හැක්කේ කාට ද? දුෂ්ටයා “මිහිතල මෑණියන්” විය හැකි ද?

නිදන්ගත වකුගඩු රෝගය අධ්‍යයනය කොට නිසි ප‍්‍රතිචාර දැක්වීමේදී අද හදිසි අවශ්‍යතාවය “දුෂ්ටයා” හෝ “දුෂ්ටයන්” හඳුනා ගැනීම නොව විපතට පත් ජනයාට උදවු උපකාර කිරීමයි. අනතුරේ සේයාවේ වෙසෙන මිලියන් 2.5ක් ජනයා එයට බිලි වීමෙන් වළක්වා ගැනීමයි.

මේ අවස්ථාවේ අපේ විද්‍යාඥයන් දැඩි සංයමයෙන් හා අධිෂ්ටානයෙන් යුතුව විසඳුම් සොයා යා යුතුයි. මෙය කුමන්ත‍්‍රණවාදී තර්කවලටල පදනම් විරහිත චෝදනාවලට හා පාඨකයන් බියපත් කරවන මාධ්‍ය වාර්තාවලට සුදුසු තැන හෝ කාලය හෝ නොවෙයි!

සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

In my Ravaya column (in Sinhala) for 26 August 2012, I’ve written about the making of Ran Muthu Duwa, the first colour Sinhala feature film made in Sri Lanka, was released 50 years ago in August 1962.

Ran Muthu Duwa was a trail-blazer in the Lankan cinema industry in many respects. It not only introduced colour to our movies, but also showed for the first time the underwater wonders of the seas around the island.

I covered similar ground in my English column on 12 Aug 2012: From Great Basses Reef to ‘Ran Muthu Duwa’ – Story of Ceylon’s First Colour Movie

The Serendib Trio in later years – L to R: Shesha Palihakkara, Arthur C Clarke, Mike Wilson

මුළුමනින් ම වර්ණයෙන් නිෂ්පාදිත මුල් ම සිංහල චිත‍්‍රපටය වු “රන් මුතු දුව” මුල් වරට තිරගත වීම ඇරුඹී අඩ සියවසක් පිරෙන්නේ මේ මාසයේ. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන් මුතු දුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා.

රන් මුතු දුව සිනමා තාක්‍ෂණ ශිල්පීන් හා නළු නිලියන් රැුසක් එක් තැන් කළ, එ වන තුරු පැවති ශෛලියට වඩා වෙනස් වූ ආරක චිත‍්‍රපටයක්. එය කලාත්මකව මාහැගි නිර්මාණයක් නොවුවත් සංත‍්‍රාසය හා වින්දනය නොඅඩුව ලබා දුන් නිසා බෙහෙවින් ජනප‍්‍රිය වුණා. වාණිජ මට්ටමින් අති සාර්ථක වූ රන් මුතු දුව ලැබු ආදායම් වාර්තාව 1979 දක්වා නොබිඳී පැවතුණු බවයි මෙරට චිත‍්‍රපට ඉතිහාසඥයන් සඳහන් කරන්නේ.

රන් මුතු දුව සිනමා සමාගමක් හෝ චිත‍්‍රාගාරයක් මුල් වී තැනු චිත‍්‍රපටයක් නොවෙයි. එයට මුල් වූයේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්. එහි කථාව, තිර රචනය, කැමරාකරණය හා අධ්‍යක්‍ෂණය කලේ මයික් විල්සන්. ඔහු ලේඛනයට, ජායාරූප කලාවට, සිනමාවට මෙන් ම කිමිදීමටත් හපන්කම් දැක් වූ අයෙක්. එය නිෂ්පාදනයට අවශ්‍ය මුදල්වලින් වැඩි කොටසක් යෙදවූයේ විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු ලෙස එ් වන විටත් ලොව පුරා නමක් දිනා ගෙන සිටි ආතර් සී. ක්ලාක්.

මේ දෙදෙනා 1950 දශකය මැදදී ලංකාවට පැමිණ, මේ දුපත අවට මුහුදේ කිමිදීමේ ලැදියාව නිසා මෙරට පදිංචිවීමට තීරණය කර තිබුණා. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවන් අතර සිටි ඔවුන් කිමිදීමේ පුහුණුව ලැබු ලාංකිකකයන් කිහිප දෙනෙකු ද සමඟ දකුණුදිග හා නැගෙනහිර වෙරළෙන් ඔබ්බෙහි පිහිටි බොහෝ ස්ථාන ගවේෂණය කරමින් සිටියා. මේ අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලාස් (Rodney Jonklaas) හා බොක්සිං ශූර හෙක්ටර් එකනායක ද සිටියා.

1956දී දිවයිනේ වෙරළාසන්න ස්ථාන රැසක කිමිදෙමින් ගවේෂණය කළ ඔවුන්ගේ අත්දැකීම් එක් රැුස් කර ක්ලාක් රචිත The Reefs of Taprobane ^1957& චාරිකා සටහන, ඔහු ශ‍්‍රී ලංකාව ගැන ලියු මුල් ම පොතයි.

1961 මාර්තු මස මැදදී දකුණු වෙරළේ යාලට කිමී 13ක් මුහුද දෙසින් පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) හා කුඩා රාවණා කොටුව (Little Basses Reef) නම් වන ප‍්‍රදීපාගාර අසල මුහුදේ කිමිදෙමින් සිටි මේ පිරිසට මුහුදුබත් වු නැවක සුන්බුන් හමු වුණා. මේ නැවේ තිබී 1703 වසරේ ඉන්දියාවේ මෝගල් අධිරාජයකු නිෂ්පාදිත රිදී කාසි තොගයක් ඔවුන් සොයා ගත්තා.

සාගරයේ කිමිදෙමින් ගවේෂණය කරන බොහෝ දෙනාට ජිවිත කාලයකට වරක් හෝ මෙබඳු සොයා ගැනීමක් අහම්බෙන්වත් හමු වන්නේ නැහැ. මේ අසාමාන්‍ය සොයා ගැනීම තව දුරටත් ගවේෂණය කරන්නට තමන්ගේ ම බෝට්ටුව්ක් මිළට ගැනීමේ උවමනාව අපේ කිමිදුම්කරුවන්ට මතු වුණා. එ් දිනවල අමෙරිකානු ඩොලර් 10,000ක් පමණ එයට අවශ්‍ය වුණා. චිත‍්‍රපටයක් තනා එයින් ලැබෙන ආදායමින් බෝට්ටුව මිළට ගැනීමට ඔවුන් තීරණය කළා.

එ වන මයික් විල්සන් විට මෙරට දිය යට රූපගත කළ මුල් ම වාර්තා චිත‍්‍රපටය වූ Beneath the Seas of Ceylon (විනාඩි 25, 1958) නිපදවා යම් පිළි ගැනීමක් ලබා තිබුණා. එහෙත් වෘතාන්ත චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කොට අත්දැකීම් තිබුණේ නැහැ.

ගිලූණු නැවක නිධානයක් සොයා යන, දිය යට ජවනිකා රැගත් කථාවක් චිත‍්‍රපට කිරීමේ දැඩි ආශාවෙන් හා අධිෂ්ඨානයෙන් සිටි මයික් විල්සන්, එයට ආතර් ක්ලාක් ද කැමති කරවා ගත්තා. නළු නිලියන් යොදා ගනිමින් කථාන්තරයක් පැය දෙකහමාරක් පුරා කියැවෙන වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව ක්ලාක් පෙන්වා දුන්නා. එහෙත් තම සගයාගේ උද්‍යොගය නිසා එයට යම් මුදලක් වැය කරන්නට ඔහු එකඟ වුණා. ඉතිරි මුදල මයික් සොයා ගත්තේ මෙරට ප‍්‍රමුඛ පෙලේ චිත‍්‍රපට සමාගමකින්.

මෙය චිත‍්‍රපටය සඳහා නිෂ්පාදකයා ලෙස ශේෂා පලිහක්කාර සම්බන්ධ වුණා. වෘත්තියෙන් නැටුම් කලාවේ නියැලි සිටි ශේෂා, 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් තැනු “රේඛාව” චිත‍්‍රපටියේ බොරුකකුල්කාරයාගේ චරිතයත්, තවත් චිත‍්‍රපට චරිතත් රඟපා නමක් දිනා ගෙන සිටියා.

ක්ලාක්, විල්සන් හා පලිහක්කාර ත‍්‍රිත්වය එක්ව පිහිටුවා ගත් සෙරන්ඩිබ් ප‍්‍රඩක්ෂන්ස් Serendib Productions නම් සමාගම නිපද වූ ප‍්‍රථම චිත‍්‍රපටය රන් මුතු දුවයි.

රන් මුතු දුවේ නළු නිලි පිරිසට එවකට සිටි ප‍්‍රමුඛ පෙළේ මෙන්ම නැග එන තරු ද සම්බන්ධ කර ගනු ලැබුවා. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, ජිවරානි කුරුකුලසුරිය, ඔස්ටින් අබේසේකර, තිලකසිරි ප‍්‍රනාන්දු, ෂේන් ගුණරත්න හා වින්සන්ට් වාස් ඔවුන් අතර වුණා.

ගාමිණි ෆොන්සේකා කථාවේ වීරයා වන විට ඔහුට එරෙහි වන දුෂ්ඨයාගේ චරිතයට වෘත්තීය නළුවකු නොවු කිමිදුම්කරු හෙක්ටර් එකනායක යොදා ගන්නට මයික් තීරණය කළා. ගාමිණි ෆොන්සේකාට කඩිමුඞ්යේ කිමිදුම් ශිල්පය ඉගැන්විම ද හෙක්ටර්ට භාර වුණා.

රන් මුතු දුව චිත‍්‍රපටයේ බොහෝ ජවනිකා රූපගත කරනු ලැබුවේ ති‍්‍රකුණාමලයේ. දිය යට දර්ශන හා සටන් මිලිමීටර් 16 සේයා පටවල රූපගත කොට පසුව මිමී35ට විශාල කරනු ලැබුවා. චිත‍්‍රපටයේ සංස්කරණ හා නිම කිරීමේ කටයුතු ලන්ඩනයේ ටෙක්නිලකර් රසායනාගාරයේ සිදු කළා. කිමිදෙමින් සිනමා රූපගත කිරීම් එතරම් ප‍්‍රචලිත නොවු එකල, මයික්ගේ දිය යට කැමරා කෝණ හා අධ්‍යක්‍ෂණය ගැන බි‍්‍රතාන්‍ය සිනමා ශිල්පීන් පවා මවිත වූ බව වාර්තාගතයි.

මයික්ට සිංහල බස එතරම් හුරු නොවු නිසා සහාය අධ්‍යක්‍ෂණයෙන් හා සිංහල දෙබස් රචනයෙන් දායක වුයේ සිනමා ශිල්පී තිස්ස ලියනසුරියයි. රන් මුතු දුව සංස්කරණය කළේ ටයිටස් තොටවත්ත සිංහල සිනමාවේ මුල අඩ සියවසේ බිහි වූ තාක්‍ෂණික හා නිර්මාණශීලී වශයෙන් ඉතා ම කෘතහස්ත සංස්කාරකවරයා හැටියට පිළිගැනෙනවා. ඔහු එ වන විට රේඛාව (1956), සන්දේශය (1960) හා දස්කොන් (1962) වෘතාතන්ත චිත‍්‍රපට සංස්කරණය කොට සිටියා.

රන් මුතු දුව සංස්කරණයට ටයිටස් බි‍්‍රතාන්‍යයේ ටෙක්නිකලර් රසායනාගාරයේ වර්ණ චිත‍්‍රපට පිළිබඳ පුහුණුවක් ලැබු බවත්, වර්ණ තුලනය හා ශබ්ද පරිපාලනය වැනි තාක්‍ෂණික අංශ ගැන මනා අවධානයකින් ටයිටස් මේ චිත‍්‍රපටය නිම කළ බත් නුවන් නයනජිත් කුමාර ලියු තොටවත්ත චරිතාපදනායේ කියැවෙනවා. දුර්වල කථාවක් වුවත් දක්‍ෂ සංස්කරණය හරහා විනෝදාස්වාදය ගෙන දෙන චිත‍්‍රපටයක් බවට පත් කරන්න ටයිටස්ට තිබු හැකියාව ශේෂා පලිහක්කාර එහි පසසා තිබෙනවා.

රන් මුතු දුවේ සංගීත අධ්‍යක්‍ෂණය කළේ විශාරද ඩබ්ලිව්. ඞී. අමරදේව. එය ඔහු චිත‍්‍රපටයකට එබඳු දායකත්වයක් සැපයු මුල් වතාවයි. ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියු ගීත තුනක් චිත‍්‍රපටයේ ඇතුළත් වුණා. නාරද දිසාසේකර හා නන්දා මාලීනි ගැයු ”ගලන ගඟකි ජිවිතේ” ගීතයට 1964 පැවති ප‍්‍රථම සරසවිය චිත‍්‍රපට උළෙලේ 1962 හොඳම චිත‍්‍රපට ගීතයට පිරිනැමෙන සම්මානය හිමි වුණා.

මේ කලා හා තාක්‍ෂණික සුසංයෝග දෙස හැරී බලන චිත‍්‍රපට ඉතිහාසඥ රිචඞ් බොයිල් කියන්නේ දක්‍ෂයන් රැසක් එක් තැන් කර ගෙන අළුත් විදියේ වැඩ කරන්නට මයික් විල්සන්ට හොඳ හැකියාවක් තිබ බවයි. ”ඔහු සමඟ එකට වැඩ කළ පිරිසේ බොහෝ දෙනෙකු පසුව සිංහල සිනමාවේ ලොකු හපන්කම් කළා. මයික් නිර්මාණය කළ චිත‍්‍රපටවලට වඩා එ් දායකත්වය වටිනවා” බොයිල් කියනවා.

1962 අගොස්තු මුල් වරට මහජන ප‍්‍රදශනය ඇරඹුණු රන් මුතු දුව, ඇතැම් සිනමාහල්වල දින 100 ඉක්මවා ප‍්‍රදර්ශනය වුණා. ඉන්ක්බිති මේ චිත‍්‍රපටය තවත් කිහිප වතාවක් ඉදිරි දශක දෙක තුන තුළ ප‍්‍රදර්ශනයට ආවා. එහෙත් අඩ සියවස සපිරෙන මේ මොහොතේ මේ පළමු සිංහල වර්ණ චිත‍්‍රපටයේ එක් පිටපතක් හෝ ශ‍්‍රී ලංකාවේ ඉතිරි වී නැහැ. චිත‍්‍රපට සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ බොහෝ පැරණි චිත‍්‍රපටවල ඉරණම එයයි.

රන් මුතු දුව හදන්නට අත්වැල් බැඳගත් සෙරන්ඩිබ් තුන්කට්ටුව යළිත් චිත‍්‍රපටයක් සඳහා එ්කරාශි වුයේ නැහැ. සෙරන්ඩිබ් සමාගම තවත් චිත‍්‍රපට දෙකක් නිපද වුවත් එයට මුල් වුයේ මයික් හා ශේෂා දෙපළ පමණයි.

1964-68 කාලය පුරා ලෝකයේ සම්භාව්‍ය චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ ස්ටැන්ලි කුබ්රික් සමඟ එක්ව 2001: A Space Odyssey නම් අමුතු මාදිලියේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය හැදීමට ආතර් ක්ලාක් යොමු වුණා. එය වෙනම ස්මරණය කළ යුතු නිර්මාණ ක‍්‍රියාදාමයක්.

1970 දශකයේ සියළු ලෞකික සම්පත් හා දු දරුවන් හැර දමා හින්දු පූජකයකු බවට පත් වූ මයික් විල්සන්, සිය ජිවිතයේ අවසන් දශක දෙක ගත කළේ ස්වාමි සිවකල්කි නමින්.

චිත‍්‍රපට ලෝකයෙන් වෙනත් ව්‍යාපාරවලට හා කලා කටයුතුවලට ඇදී ගිය ශේෂා පලිහක්කාර 2000 දශකයේ නැවත වරක් චිත‍්‍රපටයකට සම්බන්ධ වුණා. එහෙත් පෙර කළ වික‍්‍රමයන් කරන්නට අවකාශයක් තිබුණේ නැහැ. මයික් 1995දීත්, ක්ලාක් 2008දීත්, ශේෂා 2009දීත් මිය ගියා.

1990 දශකය අගදී රන් මුතු දුවේ පිටපතක් ලොව කොතැනක හෝ ඉතිරිව ඇත්දැයි ක්ලාක් සිය ජාත්‍යන්තර සබඳතා හරහා විපරම් කළා. ටෙක්නිකලර් හා Rank සමාගම් ඔස්සේ ලද ආරංචිය වුයේ ඉතාලියේ එක් සංරක්‍ෂණාගාරයක එබන්දක් ඇති බවයි. එයින් එක් ප‍්‍රදර්ශන පිටපතක් පිට කරන්නට ඔවුන් බි‍්‍රතාන්‍ය පවුම් 18,000ක් (අද රු 3,748,000) ඉල්ලා සිටියා.

චිත‍්‍රපටය අළුත් ලාංකික පරම්පරාවකට පෙන්වන්නට ක්ලාක්ට හා ශේෂාට ලොකු ඕනෑකමක් තිබුණා. එහෙත් මෙරට කිසිදු ප‍්‍රදර්ශන මණ්ඩලයකින් හෝ චිත‍්‍රපට සංස්ථාවෙන් හෝ එයට නිසි උනන්දුවක් ප‍්‍රකාශ නොවු නිසා එතරම් මුදලක් වැය කොට රන් මුතු දුව යළි ලංකා දුපතට ගෙන එමේ අවදානම ඔවුන් ගත්තේ නැහැ.

රන්මුතු දුවේ හරිහමන් DVD පිටපතක්වත් අද සොයා ගන්නට නැහැ. දැනට සංසරණයේ ඇත්තේ මීට කලකට පෙර එය රූපවාහිනී නාලිකාවේ පෙන්වූ විටෙක එයින් පටිගත කර ගත් දුර්වල පිටපත්. YouTube හරහා වෙබ් මාධ්‍යයට එක් කර ඇත්තේත් මෙබඳු පිටපත්. 1960 දශකයටත් පෙර තැනු වෙනත් චිත‍්‍රපට ඩිජිටල් ක‍්‍රම හරහා යළි උපදින (Digital Remastering) මේ කාලයේ රන් මුතු දුවේ පලූදු නොවූ ෘඪෘ පිටපතක්වත් නොතිබීම කණගාටුදායකයි.

සිංහල සිනමාවේ මුල් යුගයේ දකුණු ඉන්දියානු ආභාෂය හා දමිල අධ්‍යක්‍ෂවරුන් හා නිෂ්පාදකයන්ගෙන් ලැබුණු දායකත්වය ගැන අධ්‍යයන කෙරී තිබෙනවා. මෙරට වාර්තා චිත‍්‍රපට කලාවේ මුල් යුගයේ බි‍්‍රතාන්‍යය හා ඉතාලි ජාතික සිනමා ශිල්පීන් රජයේ චිත‍්‍රපට එකකය (GFU) හරහාත් සම්බන්ධ වුණා.

එහෙත් මෙරට සිංහල වෘතාන්ත චිත‍්‍රපට කලාවේ හා කර්මාන්තයේ මයික් විල්සන්ගේ භූමිකාව තවමත් අගැයීමකට ලක් වී නැති බව මගේ වැටහීමයි. මේ අසාමාන්‍ය හා විචිත‍්‍ර චරිතය ගැන කවදා හෝ ලේඛනගත විය යුතුයි.

විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ ආතර් සී. ක්ලාක්ගේ මෙහෙවර ගැන අඩු වැඩි පමණින් දන්නා බොහෝ දෙනා පවා ඔහු කිමිදුම්කරුවකු හා සිංහල චිත‍්‍රපට ආයෝජකයකු ලෙස ලබා දුන් දායකත්වය ගැන දන්නේ ඉතා අඩුවෙන්.

සිවුමංසල කොලූගැටයා #79: ඊයම් දුෂණය ජය ගත් අපට දැන් ඞීසල් සල්ෆර් අභියෝගයක්

In this week’s Ravaya column (in Sinhala), I look back at the scientific, legal and policy struggles in Sri Lanka that finally god rid of lead additives in petrol (gasoline) in 2002. It is a success story in safeguarding public health and combating environmental pollution that holds valuable lessons in a new challenge that confronts us: how to reduce sulphur content in the diesel distributed in Sri Lanka that currently contains one of the highest sulphur levels in Asia. This is now urgent and important with WHO confirming diesel fumes cause lung causer.

Similar ground was covered in my English column on 15 July 2012: When Worlds Collide #24: Kicking Lead in Petrol – Lessons for Cleaning up Dirty Diesel?

The cancer we breathe everyday, courtesy Ceylon Petroleum Corporation, CPC!

අපේ දරුවන් විවිධාකාර අනතුරු හා අතවරවලින් බේරා ගන්නේ කෙසේ ද යන්න බොහෝ දෙමවුපියන්ට අද තිබෙන විශාල ප‍්‍රශ්නයක්. බාහිරින්, ඇතුළතින් — සිතු හා නොසිතු — ප‍්‍රභවයන්ගෙන් මතු වන අනේකවිධ උපද්‍රවවලින් දරුවන් පමණක් නොවෙයි, වැඩිහිටියන්ට පවා බේරී සිටීම ලොකු අභියෝගයක්.

පණ කෙන්ද රැුක ගැනීමේ දෛනික අරගලයේදී බොහෝ දෙනා වැඩි අවධානය යොමු කරන්නේ ඇසට පෙනෙන හා අනෙකුත් පංචඉන්ද්‍රියන්ට ලෙහෙසියෙන් ගෝචර වන උවදුරු ගැනයි. මාධ්‍යවල පවා අවධානය ඇත්තේ එතැනයි. ඒ අතර අදිසි උවදුරු ද වැඩියෙන් මතු ව එනවා. ඒවායේ දිගු කාලීන අහිතකර විපාක අපට දැනෙන විට ප‍්‍රමාද වැඩියි. වාත දුෂණය වැනි එබදු උවදුරු ගැන මා නිතර කථා කරන්නේ ඒවාට ඇති තරම් ජන අවධානය යොමු නොවන නිසයි.

ඞීසල් දුමාරයේ නියත පිළිකාකාරක හැකියාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය WHO ප‍්‍රකාශ කොට දැන් සති කිහිපයක් ගත වී ඇතත් ඒ ගැන මෙරට එතරම් සංවාදයක් හෝ මහජන කැළඹීමක් හෝ තවමත් ඇති වී නැහැ.

මුළු ආසියාවේ ම වඩාත් ම සල්ෆර් අන්තර්ගතය වැඩි ඞීසල් දිගින් දිගට ම භාවිත කරන හා එම දහන දුමාරයට නිරතුරුව මුහුණ දෙන අප, ඞීසල් දුමාරයේ පිලිකා-කාරක හැකියාව ගැන තැකීමක් නොකරන්නේ ඇයි?

ඞීසල් දුමාරය වඩාත් පිරිසිදු කිරිමේ දැඩි හා හදිසි අවශ්‍යතාවය මතුවී තිබෙනවා. ඞීසල් වාහන භාවිතය නතර කළ නොහත් වුවත් වඩාත් පිවිතුරු (එනම් සල්ෆර් අන්තර්ගතය අඩු) ඞීසල් දහනය කිරිම හා එන්ජින් මනාසේ නඩත්තු කිරිම හරහා දහන දුමාරයේ වාරක අවදානම තරමක් අඩු කර ගත හැකියි. ඞීසල් දුමාරය පාලනය කර ගන්නට උත්සාහ කරද්දී මෑත යුගයේ සාර්ථක වූ අරගලයකින් පාඩම් උගත හැකියි.

පෙට‍්‍රල්වලට ඊයම් මිශ‍්‍ර කිරීම ඇරඹුණේ 1920 ගණන්වලදී. අභ්‍යන්තර දහන එන්ජින් තුළ පෙට‍්‍රල් දහනය වන විට එය වඩාත් ප‍්‍රශස්ත කිරීම පිළිගැටුම්කාරකයක් ලෙසින් ඒ සඳහා යොදා ගත්තේ ටෙට‍්‍රා ඊතයිල් ලෙඞ් (Tetraethyl Lead, TEL) නම් සංයෝගයයි.

ඊයම් මුලද්‍රව්‍යයේ විෂවීමේ ඉතිහාසය දැන සිටි වෛද්‍යවරුන් ඒ දිනවල ම මේ ගැන අනතුරු ඇගවූවා. එහෙත් තෙල් සමාගම් හා රථවාහන නිෂ්පාදකයන් එය පිළිගත්තේ නැහැ. ඉතා කුඩා සාන්ද්‍රනයකින් පෙට‍්‍රල්වලට මුසු කරන TEL හරහා විෂවීමට තරම් ඊයම් පිට විය නොහැකි බවට ඔවුන් තර්ක කළා.

පෙට‍්‍රල් දහන දුමාරය හරහා ක්ෂුද්‍ර ඊයම් අංශූ වාතයට පිට වනවා. මේවා ආශ්වාස කිරීමෙන් පෙනහළු හරහා රුධිරයට මිශ‍්‍ර වනවා. දිනපතා මේ ක‍්‍රියාදාමය සිදුවන විට ටිකෙන් ටික රුධිරගත ඊයම් ප‍්‍රමාණය වැඩි වන බවත් එය මිනිස් සිරුරට බරපතල දිගුකාලීන විපාක ඇති කරන බවත් 1950 දශකය වන විට වෛද්‍ය පර්යේෂකයන් සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.

විශේෂයෙන් ම දරුවන්ගේ හා ළමයින්ගේ මොළයේ වැඞීම අඩාල කරන්නටත්, ඉගෙනීමට බාධා කරන්නටත්, හැසිරීමේ විසමතා ඇති කරන්නටත් රුධිරගත ඊයම් සමත් වනවා. මේ බව දැන දැනත් පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිමේ සම්ප‍්‍රදාය දිගට ම කරගෙන යන්නට තෙල් සමාගම් උත්සාහ කළා. විෂ රසායන විද්‍යාවේ පුරෝගාමියකු වූ හාවඞ් සරසවියේ මහජන සෞඛ්‍යය පිළිබඳ ප‍්‍රධානී ඇලිස් හැමිල්ටන් වෛද්‍යවරිය ජෙනරල් මෝටර්ස් ප‍්‍රධානියාට වරක් ප‍්‍රසිද්ධියේ චෝදනා කළේ මෙය මහදවාලේ දැනුවත්ව කරන මිනිස් ඝාතන රැල්ලකට සම කළ හැකි බවයි.

දිගු කලක් තිස්සේ වෛද්‍යවරුන්, පර්යේෂකයන් හා පරිසරවේදීන් ප‍්‍රබල සාක්ෂි ඇතිව කළ උද්ඝෝෂනවල ප‍්‍රතිඵලයක් හැටියට 1970 වන විට පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිම නතර කළ යුතු යයි ඇමෙරිකානු රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. 1980 වන විට දියුණු ලෝකයේ අන් සියළු රටවල ද පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිම නතර වුණා.

එහෙත් දියුණුවන රටවල බෙදා හැරෙන හා දහනය කැරෙන පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරීම තව වසර ගණනාවක් සිදු කෙරුණා. මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නොව ලෙහෙසියට වාසියට වඩාත් ම ලාබදායක මාර්ගය තෝරා ගැනීමට බටහිර හා අරාබි තෙල් සමාගම්වල තිබු කෑදරකමේ ප‍්‍රතිඵලයයි. තම ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ගැන දියුණුවන රටවල බොහෝ රාජ්‍යයන් දරණ උදාසීන ආකල්පය නිසාත් කලක් තිස්සේ පෙට‍්‍රල් හරහා ඊයම් විෂවීම අපේ රටවල සිදු වුණා.

මෙය පිටුදැකීමේ හා නතර කිරීමේ උත්සාහය මතුව ආයේ පරිසරවේදීන් හා විද්‍යාඥයන් හරහායි. ඊයම් විෂවීමේ දිගුකාලීන ප‍්‍රතිවිපාක කල් තබා දුටු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් ආධාර ආයතන ද ඊයම් භාවිතය නතර කිරිමට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය ආධාර ලබා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ භාවිත වූ පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිමේ උද්ඝෝෂණය සාර්ථක වන්නට දශකයක කාලයක් ගත වුණා. ආවේගශීලි නොවී, ඉවසීමෙන් හා ක‍්‍රමානුකූලව කටයුතු කිරීම හරහා පාරිසරික හා සෞඛ්‍යමය අතින් වැදගත් කඩඉම් පසු කිරීමට හැකි බවට මෙය හොඳ උදාහරණයක්.

මෙරට වාත දුෂණය ගැන විද්‍යාත්මකව අධ්‍යයනයක් ඇරඹුණේ 1980 දශකය මුලදී. මේ ගැන මුල් ම පුළුල් අධ්‍යයනය 1989-91 කාලයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) සිදු කළා. මධ්‍යම පරිසර අධිකාරිය (CEA) 1991-92 කාලයේ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල කළ තවත් අධ්‍යයනයකින් සොයා ගත්තේ වාහන තදබදය හා වාත දුෂණය අතර සෘජු සබඳතාවයක් ඇති බවයි.

ඒ දක්වා කර්මාන්තශාලා ප‍්‍රධාන කොට දායක වූ මෙරට වාත දුෂණයට වාහන දුමාරය හේතු වන බවට සාක්ෂි මතු වීමේ ආරම්භය එයයි. සල්ෆර් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්, කාබන් මොහොන්කසයිඞ්, අර්ධ ලෙස දහනය වු සියුම් අංශු මෙන් ම ඊයම් අංශු ගැන ද අවධානය යොමු වීම ඇරඹුණා.

1992දී කොළඹ පැවති රාජ්‍ය සම්මන්ත‍්‍රණයකදී කොළඹ හා අවට ප‍්‍රදේශ සඳහා Clean Air 2000 නම් වැඩසටහන සම්මත කර ගනු ලැබුවා. වසර 2000 වන විට නාගරික වාත දුෂණය පාලනය කර ගන්නට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය, තාක්ෂණික හා මුල්‍යමය රාමුව මේ හරහා ලැබුණා. මෙයට රාජ්‍ය නිලධාරීන්, සරසවි ඇදුරන්, සෙසු විද්‍යාඥයන්, මෝටර් රථ සමාගම් නියෝජිතයන් හා පරිසරවේදීන් සහභාගි වුණා.

පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීම මධ්‍යගත ක‍්‍රියාවක්. එවකට මෙරට ඛනිජතෙල් බෙදා හැරීමේ ඒකාධිකාරිය තිබුණේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවයි (CPC). එහි තෙල් පිරිපහදුවේ යම් වෙනස්කම් හරහා ඊයම් විරහිත පෙට‍්‍රල් ලබා ගැනීම කළ හැකි බව විශ්වාස කෙරුණා. එහෙත් සැබවින් ම එය සිදුවීමට වසර ගණනාවක් ගියා. බලපෑම් කරන්නටත්, නීති මාර්ගයට එළමෙන්නටත් සිදු වු සැටි පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ සිහිපත් කරනවා.

“පෙට‍්‍රල් දහනයෙන් පිටව එන ඊයම් රුධිරගත වීමෙන් ඇතිවන හානිය ඉතා හොදින් දැන සිටියත්, මෙරට පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීමේ රෙකුලාසි මාලාව නිලධාරි ක්ෂේත‍්‍රය හරහා ගමන් කළේ ඉතා සෙමින්. තෙල් සංස්ථාව දැක්වුයේ උදාසීන ආකල්පයක්. දිගින් දිගට ම බලපෑම් කරන්නට අපට සිදු වුණා,” හේමන්ත කියනවා.

1995දී කැළණිය සරසවියේ රසායන විද්‍යාඥ ආචාර්ය මාලිනී ඇරැව්ගොඩ හා එම්. එස්. පෙරේරා වැදගත් සොයා ගැනීමක් කළා. කොළඹ හා අවට ජනාකීර්ණ මාර්ග නිරතුරුව භාවිත කරන ජන සමුහකයගේ රුධිරගත ඊයම් ප‍්‍රමාණ ඔවුන් මැන බැලූවා. WHO නිර්දේශිත උපරිම මට්ටම්වලට වඩා තුන් ගුණයකට වැඩි රුධිරගත ඊයම් මට්ටමක් රථවාහන පොලිස් නිලධාරීන්ගේ ඇති බවත් ත‍්‍රිරෝද රථ රියදුරන් හා පදික වෙළදුන්ගේ ද අධික මට්ටම් ඇති බවත් අනාවරණය වුණා. නාගරික පාසල් සිසුන්ගේ පවා රුධිරගත ඊයම් මට්ටම අධික බව ඔවුන් සොයා ගත්තා.

මේ සොයා ගැනීම් 1995 අග පැවති විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරයේ ඉදිරිපත් කළ ඔවුන් ඊළග වසරේ එය පර්යේෂණ නිබන්ධනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළා. http://tiny.cc/BldPb මේ තොරතුරු ප‍්‍රකට වුවොත් වාහන හැසිරවීමේ රාජකාරියට නිලධාරින් මැලි වේ යැයි කලබල වූ උසස් පොලිස් නිලධාරියෙක් මේ ප‍්‍රතිඵල රහසිගතව තබා ගැනීමේ උත්සහායක් කළ බව ඒ ගැන වාර්තා කළ අපට මතකයි.

මේ අතර කොළඹ සරසවියේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවිද්‍යා මහාචාරිනී මනෝරි සේනානායක තවත් පර්යේෂණයක් කරමින් ප‍්‍රබල සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ බොරැල්ල මහාමාර්ගවල උදේ දවල් ඇවිද යන පාසල් සිසුන්ගේ රුධිරගත ඊයම් මට්ටම ඉතා වැඩි බවයි.

මෙතරම් සාක්ෂි මතුව එද්දීත් තෙල් සංස්ථාව නොයෙක් තාක්ෂණික හේතු දක්වමින් ඊයම් ඉවත් කිරීම තව දුරටත් ප‍්‍රමාද කළා. මේ අකර්මන්‍යතාවය ගැන කම්පාවට පත් පාරිසරික නීතීඥ ලලනාත් ද සිල්වා 1998දී එවකට සිටි පාරිසරික අමාත්‍යවරයා ප‍්‍රධාන වගඋත්තරකරු ලෙස දක්වමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. රටේ භාවිත වන ඛනිජතෙල් ඉන්ධන නිසි ප‍්‍රමිතියකට අනුගත නොකිරීම හා වාහන දහන දුමාරයේ වාත දුෂක පාලනයට නිසි පියවර නොගැනීම හරහා තම ජීවත්වීමේ අයිතිය (Right to Life) තර්ජනයට ලක් වී ඇති බවට ඔහු තර්ක කළා.

මේ ගැන සිහිපත් කරමින් ලලනාත් මෑතදී මට කීවේ “යම් කර්මාන්ත හා ව්‍යාපාරික බලපෑම් නිසා පෙට‍්‍රල්වලින් ඊයම් දුරු කිරීම තෙල් සංස්ථාව දිගට ම කල් දමන බව අපට හොදාකාර පෙනී ගියා. CPC සමග සාකච්ඡ රැසක් අප පැවැත් වූවත් දෙන පොෙරාන්දු ඉටු නොවන බව දුටු විට අවසාන ක‍්‍රියා මාර්ගය ලෙසයි අප ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ.”

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකරුවන් පස් දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් මේ පෙත්සම මෙරට පාරිසරික නීති ඉතිහාසයේ කඩඉමක්. සීමාසහිත පාරිසරික පදනමේ (EFL) විධායක අධ්‍යක්ෂක ලෙස එවකට ක‍්‍රියා කළ ලලනාත් දෙස් විදෙස් විද්‍යාත්මක සාක්ෂි ගොනු කරමින් දීර්ඝ කරුණු දැක්වීමක් කළා.

මේ පෙත්සම විභාගයේදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීම ඇතුළු වාත දුෂණය අවම කිරීමට තවත් පියවර ගැනීමට ප‍්‍රතිඥා දුන් බවත්, එහෙත් තෙල් සංස්ථාව තමන්ගේ කොටස ඉටු කිරීමට තවත් සිවු වසරකට ආසන්න කාලයත් ගත් බවත් ලලානාත් කියනවා.

අන්තීමේදී මෙරට පෙට‍්‍රල් වලට ඊයම් මිශ‍්‍ර කිරිම නතර කරන නිශ්චිත පියවර ගත්තේ 2002දී නව රජයක් බලයට පත් වීමෙන් පසුවයි. ඕනෑකම ඇත්නම් අමාරු යයි කල් මැරූදේත් ඉක්මණින් කළ හැකියි!

ඊයම් රුධිරගත වී එතරම් කලක් නොපවතින නිසා 2002දී ගත් පියවරේ ප‍්‍රතිඵල වසරක් තුල විද්‍යාත්මකව තහවුරු කරනු ලැබුවා. 2003දී මහාචාර්ය මනෝරි සේනානායක නැවත වරක් බොරැල්ල ප‍්‍රදේශයේ උදේ දවල් ගමන් කරන පාසල් සිසු පිරිසකගේ රුධිරගත ඊයම් මැන බැලූ විට සැළකිය යුතු අඩු මට්ටම් වාර්තා වුණා.

“පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිමට (පිරිපහදු මට්ටමින්) කරන ලද ආයෝජනයට වඩා ඉතා විශාල හා වැදගත් ප‍්‍රතිලාභයක් අපේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අතින් අපට ලැබී තිබෙනවා,” යයි 2003දී විද්වත් දේශනයක් පවත්වමින් ඇය කියා සිටියා.

පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිම අද වන විට ලොව පුරා බොහෝ රටවල සිදුකොට අවසන්. මෙය ගෙවී ගිය දශක දෙක තුළ ලෝක මට්ටමින් ලද පාරිසරික ජයග‍්‍රහණ අතලොස්ස අතරින් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හදුන්වනවා.

ඞීසල්වල ඉහළ සල්ෆර් අඩු කර ගැනීමේ උද්ඝෝෂණවලදී මේ සාර්ථක අත්දැකීමෙන් පාඩම් උගත හැකියි. නිශ්චිත මැන බැලීම් හා දත්ත මත පදනම් වූ හරවත් තර්ක ඉදිරිපත් කිරීම හා රාජ්‍ය නිලධාරින් හා ව්‍යාපාරිකයන් සම`ග හැකි තාක් සාකච්ඡා ම`ගින් ප‍්‍රශ්න විස`දා ගැනීමට උත්සාහ කිරිම එයින් දෙකක්. නීතිමය බලපෑම්වලට යොමු විය යුත්තේ අන් මාර්ග හරහා වෙනස්කමක් ලබාගත නොහැකි විටයි. එමෙන් ම පොදු ජනතාව හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම හරහා උද්ඝෝෂණයට අවශ්‍ය පුළුල් සහයෝගය ලබා ගැනීමත් ඉතා වැදගත්.

22 July 2012: සිවුමංසල කොලූගැටයා #76: ඞීසල් දුමාරයෙන් මතු වන පිළිකා උවදුර